Sunday, May 20, 2012

හතලිස් වන කොටස


"හ්ම්ම්...මාස දෙකක් කියන්නේ කොච්චර දිග කාලයක්ද කියලා මට තේරුණේ මේ පාර තමා" අභී ආන්යට පිටුපාලා ඈත බලාගෙන කිව්වා.
"අභී මං දැන් යන්න ඕන. අම්මා මාව හොයනවත් ඇති" ආන්යා ඒ කියපු දේ නෑහුණා වගේ කිව්වා.
"මෙච්චර දුරුකතර ගෙවාගෙන ඔයා බලන්න දුවගෙන ආවට මං වෙනුවෙන් විනාඩියක්වත් ඉන්න බැරිද ඔයාට?" අභී ඇහුවේ ඈ දිහාට හැරිලා.
"විනාඩියකින් අපට සේරම දේවල් කතා කරන්න බෑනෙ අභී"
"ඔව් ඒක නම් ඇත්ත තමා. හරි දැන් මං ආවනේ අපට කතා කරන්න ඕන තරම් දවස් තියේවි. යං මම ගෙදරට ඇරලවන්නම්" අභී කිව්වේ පුරුදු දඟකාර ලීලාවෙන්මයි.
"එපා අභී මට තනියෙම යන්න පුලුවන්"
"එහෙම බෑනෙ. අන්නත් කිව්ව ඇරලවන්න කියලා. ඔය තරම් නපුරු වෙන්න එපා, යමු"
ඒ පාර කරන්න දෙයක් නැති තැන ආන්යා ඉස්සර වුණා. අභී ඈට සමපාත වුණේ ආයෙම කතාව පටන් ගන්න ගමන්.
"මම අන්නා හොයාගෙන එද්දි ඔයත් ඉඳීවි කියලා හිතුවේ නෑ. දන්නවනම් ගෙනාපු තෑගිත් අරන් එන්න තිබුණා"
අභි කිව්වාම ආන්යට ඔහු ගැන දුකකුත් දැනුනා. වෙච්ච කිසිම දේකට ඔහුගේ වැරැද්දක් නැති වග ඈ දන්න නිසා වෙන්න ඇති.
"තෑගි මොකටද?"
"ආදරේට නේ, වෙන මොකටද?" අභී කිව්වා.
"ඔන්න ඉතින් ආයෙම පටන් ගත්තා" ආන්යා කිව්වේ නොසතුටින්. අභී හිනා වුණා.
ආන්යා වටපිට බලමින් ආවේ වැරදිලාවත් ආර්යන් ඉඳීවිද් කියලා. මේක ඇහුවාම ඔහුට මොනා හිතෙන්න ඇත්ද කියලා ආන්යට හිතාගන්න බැරි වුණා. ආර්යන්ට දුක හිතෙන්න ඇත්ද? ඈ හිතුවේ හිතේ කොනක් රිදුම් දෙද්දි.
"මීනු..." පඩිපෙල නැගලා පාරට අවතීර්ණ වුනාම අභී ඈව ඇමතුවේ දයාබර හඬින්.
"ඇයි?" ආන්යා ඇහුවේ වැඩිය නොහිතා.
"ඔයා තරහා ගන්නේ නැත්තම් මම දෙයක් කියන්නද?"
"මොකක්ද?"
"මම...ඔයා ගැන අපේ අම්මට කිව්වා" අභී කිව්වාම ආන්යට තරු පෙනුනා.
"මොකක්? මං ගැන? මොනාද කිව්වේ?"
"කලබල වෙන්න එපා ඉතින්. නම කියලා නෙවෙයි, ඒත් මං කෙනෙක්ට ආදරේ කරනවා කියලා කිව්වා. එයා මට කැමති වුණොත් නම් ගම් කියන්නම් කියලා කිව්වා" අභී කියන්නේ පොඩි ළමයෙක් වගේ.
"අභී...ප්ලීස් ඔය තේරුමක් නැති වැඩේ නවත්තන්න. මම කිව්වනේ මේක කෙරෙන්නෙ නෑ කියලා" ආන්යා කිව්වේ විඩාබරව.
"එහෙම නැවතීමේ තිතක් තියලා නවත්තන්න පුලුවන් නම් මට ඒක කරන්න තිබ්බ මීනු...ඒත් එහෙම බෑ. අනික මගේහිත කියනවා කවදාහරි ඔයා කැමති වේවි කියලා" අභී කිව්වා. මේ වෙද්දි දෙන්නම ගෙදර පේන මානෙට ඇවිත් හිටියේ.
"අයෑම් සෝ ග්ලෑඩ් ටු සී යූ අගේන්...ඒත් ඔයාව මීට වඩා ඩ්‍රැමටික් විදියට හම්බෙන්නයි මට ඕන වුණේ..." එහෙම කියලා අභී හිනා වුණා."ඒත් ඉතින් කොහොමහරි හම්බුනානෙ...ඒ ඇති"
ආන්යා ගේට්ටුවෙන් ඇතුල් වෙනකල්ම වෙන මුකුත් කිව්වේ නෑ. ඒ එද්දි ඈ දැක්කා අම්ම සාලෙට වෙලා මග බලාගෙන ඉන්නවා.
"ආනේ...මං ඒත් බැලුවා මේ කා එක්කද මේ ලමයා එන්නේ කියලා. මේ අභී නේ. එන්න එන්න ගෙට. යංකෝ, මං ලමාතැනීව පස්සේ අල්ලගන්නම්කෝ" අම්ම අන්තිමට ආන්යට කිව්වේ, අභීව සාදරෙන් පිලිගන්න ගමන්.
"ඒ මොකද ආන්ටි?" අභී ගෙට ගොඩවෙන ගමන් ඇහුවා.
"මෙන්න මෙහේ හිටපු ගමන් ගෙදරින් එලියට බැහැලා යන්න ගිහින් මම දන්නෙත් නෑ" අම්මා කිව්වේ ඉස්තෝප්පුවේ දොර ලඟ හිටගෙන උන්නු ආන්යට මදක් රවලා.
"ආන්යා ආවේ මාව බලන්න ආන්ටි, එයාට බනින්න එපා"
අභී බොරුවක් කිව්වා. ආන්යා ඔහු දිහා බැලුවේ තියුණු විදියට. ඔහු හිනාවුණා විතරයි.
"ඉතින් මේ ලමයා එන වගක් අපට කිව්වේ නෑනෙ"
"හදිසියේම ඇවිත් කට්ටිය සප්‍රයිස් කරන්නනේ මං ආවේ, ඒ නිසා එන වග අන්තිම වෙනකල් කවුරුත් දැනං හි‍ටියේ නෑ"
"ම්ම්...ඒකෙන් කමක් නෑ. කොහොමද ඉතින් ගිය ගමන? සේරම හොඳින් කර ගත්තද?" අම්ම ඇහුවේ පුටුවකට බරවෙන ගමන්.
"ඔව් ආන්ටි, සේරම හොඳින් කරගත්තා"
"ඉතින් ජොබ් එකක් හොයාගෙන එහේම නවතින්න වුනත් තිබ්බනේ"
"ම්...ඔව් ඉතින් එහෙමත් කරන්න තිබුණා. ඒත් ඉතින් මෙහේ දේවල් බලන්නත් එපැයි" අභී කිව්වේ ආන්යා දිහා බලලා ඇහැක් ඉඟිමරන ගමන්. ආන්යා ඉක්මණට අහක බලාගත්තා.
"ඔව් ඔව්. ඒකත් ඇත්ත තමා. දැන් අයියා මැරි කරලා ඉන්ඩියා ගියොත් මෙහේ බලාගන්න වෙන්නේ ඔයාටනේ"
අම්මා කිව්වාම ආන්යගේ හිත ආයෙම දිව්වේ ආර්යන් ලඟට. ඇගේ හිත ආයෙම පෑරුණා.
"මෙහේ දේවල් බලාගෙන, මෙහේම නවතින්න තමයි මගෙත් හිත"
අභී එහෙම කිව්වාම අම්මා හිනාවුණා. ඔහු ආයෙම ආන්යට ඉඟි කලා.
"එහෙමනම් ඉතින් මෙහෙන්ම කටයුත්තකුත් කරගන්න බැරියෑ නේද?" අම්මා කිව්ව්වේ විහිලුවට.
"මෙහෙන්? මේ ගෙදරින්? ආන්ටි ඔය ඇත්තටමද කියන්නේ?"
"අභී...ඔය පිස්සු කතා නවත්තගන්නකෝ" බැරිම තැන ආන්යා කෑගැහුවා.
"විහිලුවටනේ ළමයෝ" අම්මා කිව්වේ තවත් හිනාවෙන ගමන්.
"හරි හරි, ඔය විහිලු කලා ඇති දැන් ඔයා යන්නකෝ. අන්නා මගබලාගෙන ඇති" ආන්යා කිව්වේ අභී ඇත්තටම අම්මට මොනාහරි කියන්නත් බැරි නැති නිසා.
"ඔන්න ආන්ටි මාව එලවන්න යන්නේ මෙයා. හරි හරි, මං ආයේ එන්නම්කෝ තෑගිත් අරන්ම. ඔන්න ආන්ටි දූව ලෑස්ති කරලා තියන්න හොඳේ..."
අභී යන්න නැගිට්ටේ එහෙම කියාගෙන. අම්මා ආයෙම හිනාවක් පෑව.
"ගිහින් එන්නම් මීනු"
"මොකක්ද ළමයෝ අර ඒ ළමය අන්තිමට කිව්ව හරුපේ තේරුම?" අභී ගේටුවෙන් නොපෙනී යනකල් ඉඳලා අම්මා ඇහුවා.
"ඒක ඉතින් එයාම තමා දන්නේ" ආන්යා කිව්වේ ගේ ඇතුලට යන්න හැරෙන ගමන්.
"ආන්යා..."අම්මා ඈව අමතද්දි ඇගේ කකුල් නැවතුනේ ඉබේටම. අම්මා ආන්යට මේ නම කියන්නේ මොනා හරි බරපතල දෙයක් වුණාම විතරයි. ඈ අම්මා දිහාට නොහැරී නැවතුණා.
"මට ඇත්ත කියන්න, ඔය දෙන්නා අතර මොනාහරි.."
"අනේ පිස්සුද අම්මා එහෙම දෙයක් නෑ...අභීට පිස්සු කියලා අම්මා දන්නවනේ"
"ඒක නේන්නම්. මගේ ඇඟත් සීතල වුණා එකපාරටම අරහෙම හිතද්දි. තාත්තට රස්සාවත් නැතිවෙන පොට. කෝකටත් පුතේ අතේ දුරින් ආශ්‍රය කරන්න. ඔය කොච්චර කිව්වත් මිනිස්සුන්ගේ හිත හරිම පුදුමාකාරයි. දෙයක් හිතෙන විදියට මොනවත් කරන්න එපා, තේරුණාද?"
"තේරුණා අම්මා" ආන්යා එහෙම කිව්වේ ආයෙම මහාමේරු පරුවතේ හිස මත තියාගත්තා වගේ බර හැඟීමකින් මිරිකෙමින්.
අම්මයි තාත්තයි රෑ කතාවක් බලන අතරේ ආන්යත් ඒ ලඟට වෙලා නිදි කිර කිර උන්නේ තනිවුණ හැම මොහොතකම හිත දවන හඟීම් ගොන්නෙන් මොහොතකට හරි මිදෙන්න හිතාගෙන.
"...ගීතාන්ට නිවාඩුවක් ගන්න ඒත් බෑනෙ. ඒත් ඉතින් මේවා පරක්කු කරලත් බෑ...ළමයෝ, ඔය ඔයා ෆෝන් එක නේද රිං වෙන්නේ?" තාත්තා එක්ක මොකක්දෝ කතාවක උන්නු අම්මා ආන්යට ඇනලා ෆෝන් එක පෙන්නුවා.
"ආ...ඔව් ඔව්. කවුද මේ?" ආන්යා ෆෝන් එකත් අරන් එලියට ආවේ ගැහෙන හිතින්. අම්මලට වෙනසක් නොඅඟවා එලියට ආපු ආන්යා තිරය මත සටහන් වුණ ආර්යන්ගේ නොම්මරේ දිහා මොහොතක් බලාගෙන උන්නා.
"හලෝ..." ඈ ඊට පස්සේ කතා කලේ වෙව්ලන ස්වරයකින්.
ඒත් එහා පැත්තෙන් ඇහුනේ සුසුම් හඬක් විතරයි.
"හලෝ..." ආන්යා ආයෙම කතා කලා.
"ආ...ආන්යා...මේ මං" එහාපැත්තෙන් ඇහුණේ දුර්වල හඬක්.
"කියන්න..." ආන්යා කිව්වෙත් හෙමින්.
"ඔයාගේ හිතේ මං ගැන පොඩි දුකකවත් නැද්ද ආන්යා? මට ඔය හිතේ පොඩි ඉඩක් වත් තිබුණේ නැද්ද?" ආර්යන් එක පාරටම ඇහුවේ එහෙම.
"ඔයා මොනාද මේ අහන්නේ?" ආන්යා පුලුවන් තරම් හෙමින් ඇහුවේ අම්මලට ඇහේවි කියන බය නිසා.
"ඇයි මට අභී ගැන දේවල් හැංගුවේ? එයා ඔයාගෙන් අහලා තියෙන්නේ රට යන්නත් කලින්. ඇයි මට මොනවත්ම නොකිව්වේ? ඇයි?" ආර්යන්ගේ හඬ තවත් දුර්වලයි.
"ඒක කියන්න තරම් දෙයක් නූන නිසා..." ආන්යා උත්තර දුන්නා හිත තද කරගෙන.
"ඇයි එහෙම හිතුවේ. මගේම මල්ලි මං ආදරේ කරන කෙනාටම ආදරේ කරන එක සිම්පල් දෙයක්ද? ආන්යා ඔයා ඇයි හැමදේම මේ තරම් අන්ඩරෙස්ටිමේට් කරන්නේ?"
"මම අභීට ආදරේ නෑ. කැමතිත් නෑ. එයා මට යාලුවෙක් විතරයි. ඉතින් ඒ නිසයි මම ඒක ගණං නොගෙන උන්නේ. අනික අභී කියන්නත් එපා කිව්වා"
"ඔයා අභීට ආදරේ නැත්තම් කාටද ආදරේ? ඔයා මට ආදරේද?"
ආන්යා තප්පරයක් විතර නිහඬව ඉඳලා උත්තර දුන්නා. "මට ඔයාට ආදරේ කරන්න බෑ...ඔයා මගේ නෙවෙයි"
ඒ පාර නිහඬ වුණේ ආර්යන්.
"අභී...මට ඉන්න එකම සහෝදරයා. අපි කවදාවත් රණ්ඩු වෙලා, තරහා වෙලා නෑ. අභී ඕන කියන එක දෙයක්වත් මගේ ලඟ තියෙනවා නම් මම නොදී ඉඳලත් නෑ. ඒත් මම කවදාවත් හිතුවේ නෑ, එයාට ගොඩාක්ම ඕන දේ, මටත් ඕන එකම දේ වේවි කියලා. කරන්න දෙයක් නෑ ආන්යා. මම ඔයාට වගේම අභීටත් ගොඩාක් ආදරෙයි. අභී ඔයාට කොච්චර ආදරේද කිව්වොත්, එයා කියවන්නේ ඔයා ගැනම විතරයි. ඒ නිසා මං තීරණයක් ගත්තා ආන්යා... මේ පාර මොනම දෙයක් නිසාවත් මගේ හිත වෙනස් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. හැමදාම මම ඔයාගේ ජීවිතෙන් අයින් වෙන්න ඕන කියලා හිතාගෙන ගියත් ආයෙම ඔයාව මතක් වෙද්දි මට ඒක කරන්න බැරි වෙනවා. මම ආයෙම ඔයාට ලං වෙනවා. ඒ ඔයා නැතිව ඉන්න හිත හදාගන්න මට බැරි නිසා. ඒත් දැන් මට තවත් එහෙම කරන්න බෑ. මම ඔයාගේ ජීවිතෙන් අයින් වෙනවා, ඔයාට ඕන කරපු විදියටම. මම ශර්මිලාව බඳිනවා, ඔයාට ඕන වුණ විදියටම. ඔයා මං වෙනුවෙන් අභීට කැමති වෙන්න ආන්යා...ප්ලීස්...
"ඔයා මොනවද මේ කියන්නේ?" ආන්යට ආපු ආවේගෙට කෑගැස්සුනා. ඈ කලේ තව පඩි දෙකක් බැහැලා මිදුලට ආපු එක. හාත්පස තිබුණේ සිරුර විනිවිද යන සීතලක්, ඒත් රත් වෙලා උන්නු ආන්යට ඒක දැනුනේ නෑ.
"ඔයාට පිස්සුද? මොනාද මේ කියන්නේ? මං කොහොමද එහෙම කරන්නේ?"
"ඔයාට මට ආදරේ කරන්න බැරි මම වෙන කෙනෙක් එක්ක එන්ගේජ් නිසා. ඒත් අභීට එහෙම ප්‍රශ්ණයක් නෑ. එයා මං තරම්ම ඔයාට ආදරෙයි. සමහරවිට මටත් වඩා. ඒක මට ෂුවර්. ඉතින් ඇයි ඔයාට මං කියන අහන්න බැරි?"
"ඔයා මොන හිතකින්ද ඔහොම කියන්නේ? එහෙම දෙයක් වුණාම කියමු, අපි කොහොමද අපේ මූණු බලන්නේ? එක ගෙදර ඉන්නේ?"
"මූණු බලන්න බැරි දෙයක් තාම අපි කලේ නෑනෙ ආන්යා. අපි අතර මොනවද තිබ්බේ? මොනවත් නෑ. මායි ඔයාට ආදරේ කලේ. ඒ දුක මං දරාගන්නම්. ඒත් ප්ලීස් අභීගේ හිතට දුකක් දෙන්න එපා ආන්යා..."
"මට එයාට ආදරේ කරන්න බෑ. ආදරේ නොකරන කෙනෙක් එක්ක මං කොහොම ඉන්නද?"
"මේ මම ඉන්න හදන්නේ. ඔයා කියන නිසා මම කරන්න හදන්නෙත් ඒ වගේම දෙයක් තමා ආන්යා"
"හොඳයි මම මේක නොකලොත්?"
"මම ඒත් ශර්මිලාව බඳිනවා. එතකොට මම ආයෙම ඔයා ලඟට එන්නෙ නෑ කවදාවත්. ඔයාට ඕනත් ඒකනේ"
"ඔයා මාව බ්ලැක්මේල් කරන්න හදන්නේ...ඔයා දන්නවා මං..."
"මොකක්ද?"
ආන්යට ඇඬෙන්න වුණා. උණු කඳුලු ෆෝන් එකේ පැත්තකුත් තෙමාගෙන කම්මුල් දිගේ රූටලා ගියා.
"මොකක්ද කියන්න...අඩුගානෙ අදවත් කියන්න ආන්යා"
"මං දන්නෑ..." ආන්යා ආයෙම කඳුලු සලන්න ගත්තා.
"ප්ලීස් ආන්යා...මට කරපු දේ අභීටත් කරන්න එපා. එයා බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉන්නේ. මට එයා දුක් වෙනවා දරන්න අමාරුයි"
"ඉතින් ඒකට මම මොනා කරන්නද? මට ඔයා කියන දේ කරන්න බෑ, බෑ, බෑමයි..."
"ඔයා මට ආදරේ නිසා..." ආර්යන් කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
"ඔව් දෙයියනේ ඔව්...ඒ නිසා තමයි. ඒ නිසා තමයි"
"ඒත් දැන් ඔයා පරක්කු වැඩියි ආන්යා. දැන් ආයෙත් මට හැරෙන්න බෑ. ඔයාට ඕන මගේ සතුට නම්, ඔයා අභීට කැමති වෙන්න..."
ආන්යට හයියෙන්ම ඇඬෙන්න ගත්තා.
"මම දැන්  යන්වා ආන්යා"
"කොහෙද? කොහෙද යන්න යන්නේ?"
" ඔයාටයි අභීටයි ඉඩ දීලා මං යනවා"
"අනේ යන්න එපා ආර්යන් අයියා...යන්න එපා. මට බෑ මේ දෙයියනේ මේ දේවල් මෙච්චර උහුලන්න. මට පිස්සු හැදෙයි"
"අපි හැමදේටම හුඟාක් පරක්කු වුණා වැඩියි ආන්යා. දැන් ඒකට කරන්න දෙයක් නෑ. මම දන්නවා අපේ ගෙදරින්, අභීගේ ගර්ල් විදියට ඔයාව කොහොමත් ඇක්සෙප්ට් කරයි. මම එහෙම කරන්න ඕන දෙයක් කරනවා"
"ඔයා මට ආදරේ නම් එහෙම කරන්නේ කොහොමද?"
"ඒක ඇත්ත වුණත් අභී වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ, ඒකයි"
ආපු ආවේගෙට ආන්යා ෆෝන් එක කට් කලා. ඒත් කඳුලු නවත්තගන්න ඈට සෑහෙන වෙලාවක් ගියා.
"මොකද ළමයෝ ඔය කලුවරේ හිටගෙන කරන්නේ? මං උන්නා කාමරේ වෙන්න ඇති කියලා. මොකද තාම ඔතන කරන්නේ? කවුද කෝල් කලේ?"
"මගේ යාලුවෙක් අම්මා. එයා ගෙදර එක්ක පොඩි ප්‍රශ්ණයක්..."
"ඉතින් මොකෝ මේ ඔයා අඬලා?"
"එයා අඬද්දි මටත් ඇඬුනා"
ආන්යා හිත තද කරගෙන බොරු පිට බොරු කිව්වා. ඒ ගැන ඈට දැනුනේ ලොකුම ලොකු පසුතැවිල්ලක්. මේ ප්‍රශ්ණේ නිසා තව කොච්චරනම් කල් අම්මටයි, තාත්තටයි මොන තරම් බොරු කියන්න වේවිද කියලා ඈ කල්පනා කලේ ලොකු හිතේ අමාරුවකින්.
"පිස්සු කෙල්ල...දැන් ගිහින් නිදාගන්න" අම්මා එහෙම කිව්වේ හිනාවෙලා, ඒත් ආන්යා කාමරේට යද්දි තාත්තා ඈ දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා ඈට යන්තමට පෙනුනා
කාමරේට ආපු ආන්යා ආයෙම ආර්යන්ට කතා කරන්න උත්සාහ කලා. ඒත් වැඩක් වුණේ නැහැ.
"ද නම්බර් යූ ඩයල්ඩ් කැනොට් බී කන්ටැක්ටඩ් රයිට් නව්..."
ආන්යා කොට්ටෙට හිස තියාගත්තේ ඇස් අගින් බේරුණු උණු කඳුලු කොට්ටය තෙත්කරමින් ගලද්දි.







1 comment:

  1. apoy me moko uen appa eke pareteme :( mona wenen yanewade manda??

    ReplyDelete