Friday, May 30, 2014

හැටදෙවන කොටස



"මොකද දුලා මේ ඇසුත් ඉදිමිලා?"
උදේ ලයිබ්රිය ලඟදි මාව දැකපු චතූගේ පලවෙනි ප්රශ්ණේ වුණේ ඒක.
"අනේ මන්දා චතූ. නිදි මරලා නිසා වෙන්න ඇති" මම ඕනවට එපාවට කිව්වා.
"නිදි මරන්නේ මොකටද, exam කරනවයැ අපි?"
"මට නින්ද ගියේ නෑ ඊයෙ" මම කිව්වා.
"ගෙදර ඉඳලා ආපු නිසා වෙන්න ඇති" තාරකා කිව්වේ ID එක security guard ට පෙන්නන ගමන්.
"හ්ම්... එක නෙවෙයි, කෝ නිලීකා?"
"ATM එකට ගියා සල්ලි අරන් එන්න. ... අර එන්නේ"
ලයිබ්රි එකේ පඩිපෙලේ මැදක් නැගගෙන අපි බලාගෙන ඉද්දි, නිලීකා අශ්වයෙක් වගේ කඩා බිඳගෙන අපි ඉන්න පැත්තට පඩිපෙල නැගගෙන ආවේ කලබලේකින් වගේ.
"මොකෝ මේ නිලී?? කවුරුහරි පස්සෙන් එලවනවද?" චතූ ඇහුවේ හිනාවක් පාලා.
"භූප...භූප හිටියා අතන පොලොන්නරුව ලඟ" නිලීකා කිව්වේ හති දාන ගමන්.
ඒක අහපු ගමන් මට සේරම අමතක වුණා.
"මොනා...මේ දැන්?"
"ඔව්...මම සල්ලි ගන්න යද්දි දැක්කා. සාලිය අයියත්  හිටියා. මම මේ දුවගෙන ආවේ ඒක කියන්න" නිලීකා තාම හති දානවා.
"දුලා ඔයා ඔය කොහෙද යන්න යන්නේ?" එක පඩියක් බහිද්දිම මගේ අතකින් අල්ලගත්තු චතූ ඇහුවා.
"මම යන්න ඕන. මට භූප බලන්න ඕන" මම කිව්වේ ඇගෙන් අත මුදාගන්න ගමන්.
"මොකටද?"
"මට බලන්න ඕන චතූ"
අපි අතරේ කථාව පොඩි ඝෝෂාවක් වගේ වුණ නිසාදෝ පහල උන්නු මිස් කෙනෙක් අපි දිහා එක පාරක් බැලුවේ අවවාදාත්මක බැල්මකින්.
"දුලා මේ පිස්සු නටන්න හදන්න එපා"
"මම යන්න ඕන"
චතූගේ බලවත් විරෝධය මැද්දෙම මම අතේ තිබ්බ පොත් ටිකත් අරගෙනම දුවගෙන ඇවිත් මුලින්ම ගියේ ගෙම්බා එකට. ඒත් භූප එතන උන්නේ නෑ. පාර මම උඩ තට්ටුවටත් නැගලා බැලුවා. ඒත් භූපගේ සේයාවක් වත් තිබුණේ නෑ. මෑ හිත තිබ්බේ හොඳටම ගැහෙමින්. එක්කම ඔන්න මෙන්න පුපුරා හැලෙන්න ලං වුණ දුකකින්. හිතාගන්න බැරි වුණා ඊලඟට කොහේ දුවන්නද කියලා. ඒත් හිතේ හෝදිසියට මම WUS එකට දිව්වා. ඒත් කොහේවත් භූප උන්නේ නෑ. මම ආපහු පිස්සියක් වගේ දුවලා ආවේ ටී එක දිහාට. මම පඩිපෙල නැගලා පාර දිහාට ආවේ හිත දුකින් මිරිකෙද්දි. 'භූප ගිහින්ද?'
ඒත් ඊලඟ මොහොතේ දැක්ක දෙයින් මගේ හදවතත් නැවතුණා වගේ මට දැනුනා මොහොතකට. භූප උන්නා බස් ස්ටෑන්ඩ් එකේ. ඒත් තප්පර ගාණකට විතරයි, ඊලඟට ඔහු එතන නවත්තලා තිබුණ බස් එකට නැග්ගේ මම එතනට දුවද්දිමයි.
"භූප..." මට කෑ ගැහුණා.
ඒත් එතකොට බස් එක අද්දලා. පා පුවරුවේ උන්නු භූපගේ පුදුම වුණ ඇස් විතරක් මම යාන්තමට දැක්කා. එතන හිටගෙන උන්නු අනික් අය මා දිහා බලනවා මම ගණනකට ගත්තේ නෑ. මම හැරිලා බලාගෙන උන්නේ අද්දලා ගිය බස් එක දිහා. AT එකේ අනික් කෙලවරටම මම දිහා බලාගෙන ඇවිදගෙන ගියා. ඈතට ගිය බස් එක ගජසිංහ පාලමත් පහු කරගෙන ඈතට යන්න ගියා. මම ATඑකේ බැම්මට වාරු වුණේ ඇස් වලින් කඳුලු වරුසාවක් කඩා වැටෙද්දි. හිතේ තිබුණ දුක, පසු තැවිල්ල මෙච්චරයි කියන්න පුලුවන් වුණේ නෑ. පස්සේ මම කඳුලු පිහ පිහ ආපහු පඩිපෙල බැහැලා ගෙම්බා එක පැත්තට එන්න ආවා. ඒත් ලයිබ්රි යන්න මට හිත තිබුණේ නෑ එවෙලේ. මගේ කකුල් මාවත් අරගෙන ගියේ පොලොන්නරුව දිහාට.
මම ගෙම්බා එක පහු කරගෙන ගිහින්, ඉඩ තිබුණ එකම ගල් කණුව උඩ වාඩි වුණා. අතේ තිබුණ ලේන්සුව දැනටමත් කඳුලු වලින් තෙත් වෙලයි තිබ්බේ හොඳටම. භූප මාව දැක්කද කියන එක මට විශ්වාසයක් තිබුණේ නෑ. ඒත් ඔහුව හරියට දැකගනන්වත් ලැබුණා නම් කියලා මම හිතුවේ හිත දුකින් වැලපෙද්දි. මම ආපහු හැරිලා ගෙම්බා එක පැත්ත බැලුවේ මුලු අතීතයම ආයේම හිතේ ඇඳෙද්දි. මම දන්නෑ එතන එහෙම මම කොච්චර වෙලා උන්නද කියලා. ඒත් මම නොදන උන්නු එකම දේ ඒක නෙවෙයි. ජීවිතේ මම ගොඩක්ම ආදරේ කරපු, මටම විතරක් ගොඩක්ම ආදරේ කරපු රුව ඈතට වෙලා හති හලමින් මා දිහා බලාගෙන උන්නු වග එවෙලේ මම දැනගෙන උන්නේ නෑ. අල්විස් පොන්ඩ් එක හරියේ ඉඳලම ඔහු මං වෙනුවෙන්ම ඒ මුලු දුරම දුවගෙන ආපහු ගෙම්බා එක ලඟට ආපු වග මම දැනගෙන උන්නේත් නෑ. මං ඉස්සරහට එන්න බැරිව හිත ලතවුණ තරම් මම දැන උන්නෙත් නෑ. හැමදේටම වඩා, මොහොතෙත් හිත මට පණටත් වඩා ආදරේ කරපු වගත් මම දැනගෙන උන්නේ නෑ. මොන තරම් අවාසනාවක්ද?

"ඔයාට ෂුවර්ද දැක්කේ භූපමයි කියලා?"
වෙච්ච සිද්ධිය හවස අනුක්ට කිව්වම අනුක් එහෙම ඇහුවා.
"ඔව්" මම කිව්වේ නහය පිහින ගමන්.
"ඉතිං එයා ඔයාව දැකලත්, එහෙමම යන්න ගියාද?" අනුක් ඇහුවේ ශියරින් වී එකට වාරි වෙලා මා දිහා බලන ගමන්. අපි උන්නේ Agri facultyයේ Engineering Department එක ලඟ මැද පාරේ වාහනේ නවත්තගෙන.
"දැක්කද කියන්න මට ෂුවර් නෑ අනුක්"
"ම්ම්... ඒකනේ. දැක්කා නම් එයා බහියි නේ"
අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවා.
"ඔයා හිතනවද එහෙම?"
අනුක් මා දිහා බැලුවේ දුකෙන් වගේ, ඒත් ඔහු හිස වැනුවා ඔව් කියන්න.
"මගේ හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ. අද හවස් වරුවේ library ගියත් මට මුකුත් කරන්න හිත එකඟ කර ගන්න බැරි වුණා" මම කිව්වේ හැඬුම්බරව.
අනුක් සුසුමක් හෙලුවා.
"දුලාරා..."
"මං භූපට ගොඩක් ආදරෙයි අනුක්...හිත මෙච්චර රිදෙන්නේ ඒකයි"
"ඒත් හිතන්නකෝ එයාව හම්බවුණාම කියලා, ඔයා මොනාද එයාට කියන්නේ?" අනුක් ඇහුවා.
මම මොහොතකට ගොලු වුණා. 'ඇත්තටම මම මොනාද කියන්නේ?'
"ඔයාව අරන් යන්න කියනවද?" අනුක් ඇහුවේ මගේ දිහාම බලාඑන.
"මට එහෙම කියන්න බෑ"
"එහෙනං?"
"මං දන්නෑ අනුක්" මම කිව්වේ අත් දෙකේ මූණ ඔබාගන්න ගමන්.
"දුලාරා...පොඩ්ඩක් හිතලා, කල්පනා කරලා වැඩ කරන්න ප්ලීස්. පිස්සෙක් වගේ හිතට එන දේවල් කරන්න යන්න එපා. හිත රිද්දගන්නේ ඔයාමයි"
අනුක් එහෙම කිව්වම මට ඔහු එක්ක තරහක් දැනුනේ නෑ. මම කලේ තේරුමක් නැති වැඩක් කියන එක මම නොදැන උන්නා නෙවෙයි.
"මං දන්නෑ එවෙලේ මට මොනා වුණාද කියලා. භූප ඉන්නවා කිව්වම මට ඕන වුණේ එයාව දකින්න විතරයි. එදා වුණ දේට පස්සේ එයාට මොනා වුණාදවත් නොදැන මම හිතින් විඳවපු තරම් දන්නේ මම විතරයි අනුක්. ලියුමක් විතරක් දීලා, මගෙන් මොනවත්ම නාහා එයා එහෙම යන්න ගියේ ඇයි කියලා අහන්න මට ඕන වුණා. එයා හිතාගෙන ඉන්නේ මම හැමදේම අමතක කරලා චේතියව මැරි කරන්න කැමති වුණා කියලා. එයා දන්නෑ අනුක් මම කොච්චර අසරණද කියලා. එයා දන්නෑ තාමත් මම එයාට ආදරේ කරනවා කියලා. සමහරවිට මට එයාව දකින්න ඕන වුණේ මේ හිතේ තෙරපෙන දේවල් නිසා වෙන්න ඇති"
මම කිව්වේ ඇස් වලට කඳුලු පිරෙද්දි. අනුක්ගේ මූණේ තිබුණේ අඳුරක්, දුකක්. මම ඔහුගේ දෑස් දිහා බැලුවම මට ආයෙම මතක් වුණේ භූපවමයි.
"මට තේරෙන්නෑ මොනා කියන්නද කියලා" අනුක් කිව්වේ අහක බලන ගමන්.
"මගේ හිත හරිම කලබලයි අනුක්. භූප කොහේ හරි හොඳින් ඉන්නවා ඇති කියලා ප්‍රත්‍යක්ෂයෙන්ම  දැන්ගත්තොත් සමහරවිට මට හිත හදාගන්න පුලුවන් වෙයි. ඒත් මම එයා ඉන්නේ කොහෙද, කරන්නේ මොනාද, කනවද බොනවද, මේ මොනවත් දන්නේ නෑ. මා එක්ක යාලු වුණ හන්දා එයාගේ ජීවිතේ කාලකණ්ණි වුණොත් මට ඒක දරාගන්න බැරි වෙයි. එයා එහෙම වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. මට ආදරේ කරපු එකට එයා විඳවන්න ඕන නෑ. මට දැනගන්න ඕන එයා හොඳින් ඉන්නවද කියලා...මට ඕන එයා ඉන්න තැනක සතුටින්, හොඳින් ඉන්නවා බලන්න අනුක්..."
මම කිව්වේ වැටෙන කඳුලු විටින් විට අල්ලෙන් පිහදාගන්න ගමන්. අනුක් සුසුමක් හෙලුවා.
"ඔයාට ඇත්තටම ඕන ඒකද දුලාරා?" ටික වෙලාවකට පස්සේ අනුක් එහෙම ඇහුවාම මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"මොකක්ද අහන එකේ තේරුම?"
අනුක් කෙලින්ම මා දිහා බැලුවේ ආයෙම බැරෑරුම් මූණක් මවාගෙන.
"ඔයාට ඕන භූප ඔහොමම දුරින් ඉන්නද? එයා කොහේ හරි හොඳ ජොබ් එකක් හොයාගෙන, වෙන ගර්ල් කෙනෙව කසාද බැඳලා, ඔයාව අමතක කරලා ඉන්නවට ඔයා කැමතිද?"
අනුක් එහෙම කියද්දි මගේ හිතේ පිරුණේ මහා ලෝබකමක් භූප ගැන. ඇත්තටම මට පුලුවන් වෙයිද ඔහු වෙන ගෑනු ළමයෙක් එක්ක එකතු වෙනවා බලන්න? ඔහු මාව අමතක කරලා වෙන අතක් බලාගත්තොත් මට ඒක දරාගන්න පුලුවන් වෙයිද? මගේ හිත කෑ ගැහුව ඒක කරන්න බෑ කියලා. එහෙම දෙයක් වෙනවා මට බලං ඉන්න බැරි වග මම හොඳටම දැනගෙන උන්නා.
"පුලුවන්ද?" අනුක් ආයෙම ඇහුවා.
"මට ඒක කරන්න බෑ. භූප මගේ..." මම කිව්වේ හැඬුම්බරව.
ඔහු වෙන කෙනෙක් ගැන හිතයි කියන සිතුවිල්ල පවා මගේ හිතේ ඇති කලේ ලොකු ඉරිසියාවක්. අනුක් මද හිනාවක් පෑව. ඒත් මූණේ තිබ්බේ වේදනාවක්.
"එහෙනම් මොන එහෙකටද දුලාරා ඔයා චේතිය අයියා මැරි කරන්න හදන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද ඒක ඔයා, ඔය තුන් දෙනාටම කරන අසාධාරණයක් කියලා? එහෙන් භූප තැවෙනවා. මෙහෙන් ඔයා. ඊලඟට චේතිය අයියා. එයාට ආදරේ නොකරන, වෙන කෙනෙක් ගැන හිතන කෙල්ලෙක් එක්ක ඉන්න එක එයාට මොන තරම් වේදනාවක් වෙයිද?"
"ඒක කරගත්තේ එයා. මම බලෙන් එයාගේ කරේ එල්ලුනේ නෑ අනුක්. මට කමක් නෑ එයාට ඕන එකක් වුණාට. එයා මේ තීරණේ ගත්තේ මං ගැණ, මගේ භූපට තියෙන ආදරේ ගැන හොඳටම දැන දැන. ඉතින් ඒක එක්ක එන consequences එයා බලාපොරොත්තු වෙන්න ඕන" මම කිව්වේ නොරිස්සුමින්.
"දුලාරා...ඔච්චර නපුරු වෙන්න එපා"
"මමද නපුරු අනුක්? මම විතරද?"
"මේ හැම කෙනාටම තියෙන්නේ, රිදෙන තැලෙන හිත් දුලාරා...හැම හිතකම තියෙන්නේ ආදරේ" අනුක් කිව්වේ හෙමින්.
මම ඔහු දිහා බැලුවා. මූණේ තරම් පරාජිත බවක් තිබුණේ ඇයි කියන්න මට තේරුණේ නෑ.
"ඔයා මට මොනාද කරන්න කියන්නේ?" මම ඇහුවා.
"දැන් මොනවත් කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ. එකම දේ ඔයා ආයෙම භූපට බලාපොරොත්තු නොදී ඉන්න බලන්න. නැත්තම් මනුස්සයාගේ හිත තවත් රිදෙන එක විතරයි වෙන්නේ" අනුක් කිව්වා.
මගේ ඇස් ආයෙම කඳුලු පිරුවා.
"ඔයා කියන්නේ මට භූපව අමතක කරන්න කියලද?"
"මට එහෙම කියන්න බෑ. එහෙම කියන්න අයිතියකුත් නෑ. ඒත් තවත් එයාට ලං නොවී ඉන්න බලන එකයි හොඳ. මොකද, ආයෙම ඔය දෙන්නට එකතු වෙන්න බැරි නම් එහෙම කරන එක තේරුමක් නැති දෙයක් නිසා" අනුක් කිව්වා.
අපි දෙන්නට ආයෙම කවදාවත් එකතු වෙන්න බෑ නේද කියන එක අනුක් කිව්වම, මගේ හිත ආයෙ ආයේ ඒකම මට මතක් කරන්න ගත්තම මට හිත වාවගන්න බැරි වුණා. භූපගේ ඇස්, හිනාව, කෙට්ටු සිරුර, දිග අපිලිවෙල හිසකේ, දිගටි ඇඟිලි, අත් වල සීතල, ඒත් ඔහුගේ දෙතොල් වල තිබුණ උණුසුම...මේ හැමදේම මතක් වෙද්දි මැරෙන්න තරම් දුකක් හිතට දැනුනා. මට හොඳටම ඇඬෙන්න ගත්තේ දුක හිත පිටාරගලන්න තරම් වැඩි වුණ හන්දා.
"දුලාරා..."
අනුක්ගේ හඬේ තිබ්බේ කලබල වුණ ස්වභාවයක්. මම දණහිසේ හිස ගහගෙන දිගටම ඇඬුවා.
"please දුලාරා...control yourself" පාර මගේ උරහිසකට අත තියලා අනුක් කිව්වේ දයාබරව. ඒත් අඬන එක නවත්තගන්න මට පුලුවන් වුණේ නෑ. පාර අනුක් ආයෙම මට අඬන්න එපා කිව්වේ නෑ. ඔහු කලේ හෙමින් මගේ හිස අතගාපු එක විතරයි. මම තව හුඟක් වෙලා යනකල් අඬන්න ඇති.
*******
අපි වෙන වුණ මුල් දවස්වල තිබුණා වගේ හිත් වේදනාවක්, කන්ස්සල්ලක්, කලකිරීමක් භූපව ඒ දැකපු දවසේ ඉඳලම ආයෙම හිතේ පැලපදියම් වෙලා තිබුණා. හිතේ හැම අස්සකල මුල්ලකම උන්නේ භූප විතරයි. භූපව ආයෙම දකින්න මට ඕන වුණ තරම් මෙච්චරයි කියන්න බෑ. ඒත් ඊට පස්සේ මම ඔහුව ආයෙම දැක්කේ නෑ. ඒ එක්කම අනුක්ගේ හැසිරීමෙත් මොකක්දෝ වෙනසක් වෙලා කියලා මට දැනුනා. ඔහු උන්නේ වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි කියලා මට හිතුණා. හැමවෙලේකම වගේ මම දකිද්දි ඔහු උන්නේ කල්පනාවක.
"අනුක්..."
මම එක වෙලාවක හවස තේ එක දෙන්න හොයද්දි ඔහු උන්නේ වත්තේ උණගහ යට යකඩ බංකුවේ ඉඳගෙන. පොතක් අතේ තිබ්බට ඔහු උන්නේ කල්පනාවක වග මට ඈත තියාම පෙනුනා.
"මම ඔයාව හෙවා හැමතැනම. ආ...තේ එක"
මා දිහා බලලා හිනාවක් පාපු අනුක්ට තේ කෝප්පේ දික් කරන ගමන් මම කිව්වා.
"අපරාදෙනෙ අරං ආවේ. මම එනවනේ කතා කලා නම්" අනුක් කිව්වේ ඒක අතට අරගෙන මටත් වාඩි වෙන්න බංකුවේ එහාට වෙන ගමන්.
"ඒකට කමක් නෑ...මොකක්ද පොත?" මම ඇහුවේ ඔහු අසලින් වාඩි වෙන ගමන්.
"ම්ම්...පටිච්ච සමුප්පාදය"
"ඈ?"
"පටිච්ච සමුප්පාදය ගැන ඉංග්‍රීසියෙන් ලියවුන පොතක්" අනුක් කිව්වේ පොත මට පෙන්නන ගමන්.
"ඒ පාර මහණ වෙන්නද අදහස?" මම ඇහුවේ හිණාවක් පාමින්.
අනුක් මා දිහා බැලුවේ ඇස් කොනකින්.
"ඇයි හොඳ නැද්ද?"
"අනේ සාදු සාදු...නරකක් නෑ කොහොමටවත්. කොච්චර දෙයක්ද හිත එකඟ කරගෙන මහණ වෙන්න පුලුවන් නම්" මම කිව්වා.
අනුක්ට හිනා වුණා.
"මම එච්චර පින් කරලා නෑ දුලාරා"
"ඇයි එහෙම කියන්නේ?"
"මම මහණ වෙනවා කිව්වොත් අප්පච්චිට හාට් ඇතෑක් එකක් හැදෙයි. අක්කලට පිස්සු හැදෙයි. එකම කොල්ලා වුණ එකේ විපාකෙ" අනුක් එහෙම කියලා සුසුමක් හෙලුවා. "ඔක්කොමල්ලා බලාගෙන ඉන්නේ මම කැම්පස් ගිහින් ඉවර වෙනකල්, බිස්නස් බාර දෙන්න"
"හ්ම්ම්...එක අතකට පවුලේ එකම කෙල්ල හරි කොල්ලා හරි වුණාම හරි වදේ නේද? දැන් මට පේන්නෑ...නීති පන්දාහක් විතර පනවලා තිබුණේ තේරෙන කාලේ ඉඳලම" මම කිව්වේ හිනාවක් පාලා.
"මොනා කරන්නද? පවුල ගැන බලන්නත් ඕන නේ. මං හිතන්නේ අප්පච්චිත් ඉක්මණට ඔය දැන් කරන වැඩෙන් retire වෙලා මෙහේ ඒවි. ලොකු අක්කගේ මැරේජ් එක ඉක්මණ් කරන්නත් ඕන නිසා. එහෙම වුණොත් හොඳයි" අනුක් කිව්වා.
"ඉතිං ඕවද ඔයා මේ දවස්වල වරු ගණන් කල්පනා කර කර ඉන්නේ?" මම ඇහුවාම අනුක් මා දිහා බැලුවා.
"කල්පනා කරනවා? ඔයා කොයි වෙලේද මම කල්පනා කරනවා දැක්කේ?"
"හැම වෙලේම. මම බලන වෙලාවක් ඇත්තං ඔයා කල්පනාවක. උදේ යද්දි, එදර එද්දි, දවල් රෑ, TV බලද්දි, කද්දි...මේ හැම වෙලේකම" මම කිව්වා.
අනුක් මා දිහා බලාගෙන උන්නේ ලාවට හිනාවෙලා.
"වෙන වැඩක් නැද්ද?"
"ඇයි?"
"නෑ...ඔච්චරම precisely දකින්න ඔයා මා දිහා බලාගෙනම ඉන්නවා වෙන්න ඇති නේ"
මම ඔහුට රැව්වා බොරුවට.
"අනේ වැඩේමයි, මම කිව්වේ මම දැක්ක දේ"
"එතකොට බලාගෙන හිටියේ නෑ?"
"නෑ තමයි"
"එහෙනං කමක් නෑ" අනුක් කිව්වේ අහක බලාගන්න ගමන්.
"ඔය තේ එක බොන්න නිවෙනවා" මම කිව්වේ ඔහු තවමත් තේ එක අතේම තියාගෙන උන්නු නිසා.
ඊලඟට අපි දෙන්නම තේ බොනකල් අපි අතරේ ඇති වුණේ නිහඬ බවක්.
"ම්.....අනුක්?"
"කියන්න"
"ඇත්තටම මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?"
"මොකටද අහන්නේ?" ඔහු ඇහුවේ ඈත බලාගෙන.
"අහන්නේ දැනගන්න"
"දැනගෙන?"
"දැනගෙන මොනා හරි ප්‍රශ්ණයක් නම් උදව් කරන්න නේ"
මම එහෙම කිව්වාම අනුක් මා දිහා බලලා දයබර හිනාවක් පෑවා.
"ඉස්සෙල්ල අපි ඔයාගේ ප්‍රශ්ණ විසඳගෙන ඉමුකෝ නේද?" ඔහු කිව්වා.
"ඒවා ඉතිං මේ ආත්මේ විසඳෙන ඒවා නෙවෙයි"
"එහෙම කියන්න එපා...හැම ප්‍රශ්ණෙකටම විසඳුමක් තියෙන්වා"
"ඒත් එක අපට ඕන විසඳුම නෙවෙයි නම්?"
"ම්ම්..." අනුක් හිස වැනුවා. "එතකොට ඒක තවත් ප්‍රශ්ණයක්"
ඒ පාර අපි දෙන්නටම හිනා ගියෙ එකට..
"හරි හරි, ඒවා මේවා කියලා මම අහපු දේ මගාරින්න හදන්න එපා. මට ඇත්ත කියන්නකෝ, මොනාද ඔච්චර කල්පනා කරන්න තියෙන්නේ?" මම ඇහුවා.
"උත්තර ඕනමද?" අනුක් ඇහුව.
"ඔව්"
"ඇයි?"
"ඔයා කල්පනා කර කර ඉන්නවට මං ආස නෑ. එතකොට දේවල් තවත් පාලුවට, මූසල විදියට මට දැනෙන්නේ. ඒ නිසා කල්පනා කරන දෙයක් මා එක්ක කතා කරන්න" මම කිව්වේ ඇත්තම.
"ඇත්තටම?"
"ඇත්තටම"
අනුක් දිග හුස්මක් අරන් ඉස්සරහ බලාගත්තා.
"මම මේ දවස් වල හිතන්නේ චතුරාර්‍රය සත්‍ය ගැන...දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග...ඒත්, හැමවෙලේකම හිත ඇවිත් නතර වෙන්නේ දුකට හේතුව කියන තැන විතරයි. දුක නැති කරන මගට යන්න බැරි තරම් හිත කෙලෙස් වලින් පිරිලා දුලාරා..."
ඔහුගෙ වචන හිතට දැනුනේ සීතල දිය දහරාවක් වගේ. ඒ එක්කම මගේ හිතට පුංචි දුකක් දැනුනේ අනුක් දුක් වෙන වග ඇහුවම.
"ඔයා දුක් වෙන්නේ ඇයි අනුක්?"
"ම්ම්...ඇත්තම කිව්වොත්, ජීවිතේ මං ඇති කරගෙන තියෙන බැඳීම් නිසා" ඔහු කිව්වේ හෙමින්.
මගෙ හිත බර වුණා. ඔහු මේ කියන්නේ ගෙදර ප්‍රශ්ණ නිසා, ගෙදරඉන් එන වගකීම්, බැඳපු නැති අක්කලා, නැති වුණ අම්මා...මේ හැමෝම ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා. එහෙමත් නැත්තම්....
"ඒ බෑඳීම් අතරේ මාත් ඉන්නවද?" මම ඇහුවම අනුක් යන්තම් හිස හරවලා මා දිහා බැලුවා.
"ඔයා මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි, ඉතිං ඔයා නැති වෙන්නේ කොහොමද?"
අනුක් කිව්වම මගේ හිත හොඳටම සසල වුණා.
"අනුක්..."
"ඔයා දැන් මොනා කිව්වත් මොනවත් වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. දැන් කරන්න දෙයක් නෑ" අනුක් මම තව මොනවත් කියන්න කලින් කිව්වා.
හිත සසල් වීම හිත් රිදුමක්  දක්වාම වැඩි වෙනවා මට දැණුනා.
"එපා අනුක්..."
"ඔයා හැමදාම කියන්නේ ඕක දුලාරා"
"මගේ හිතට මෙච්චර දේවල් දරාගෙන ඉන්න බෑ..."
"ඔයාගේ හිතේ ඉඩක් මම ඉල්ලන්නනේ නෑ"
ඔහු එහෙම කිව්වම මට දුක හිතුණා.
"ඔයා හිතන්නේ මගේ හිතේ ඔයාට ඉඩක් නෑ කියලද?"
"ඔයාගේ හිතේ හැම ඉඩකම ඉන්නේ භූප විතරයි. ඒක මම දන්නෑ කියලද හිතන්නේ?"
"ඔයා මගේ හොඳම යාලුවා අනුක්...එහෙම යාලුවෙක් වෙනුවෙන් තියෙන ඉඩ ඔයාට හැමදාම තියෙනවා"
අනුක් මා දිහා බැලුවේ ඇස් වල අමුතුම හැඟීමක් පෙරලි කරද්දි.
"ඒක මම දන්නවා"
"එහෙනං?"
"මං වෙන මොනවත් ඉල්ලන්නේ නෑ. ඒත්...අපි දෙන්නම දන්නවා මම ඉල්ලුවොත් ඉල්ලන ඉඩ ඒක නෙවෙයි කියලා"
අනුක් එහෙම කිව්වම මොහොතකට මගේ හුස්මත් නැවතුණා වගෙයි මට දැනුනේ. මම එතනින් එන්න නැගිට්ටේ ඒ කතාව තවත් දුර ගෙනියන්න මට ඕන නැති නිසා.
"දුලාරා..."
"මං යනවා" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"ප්ලීස් වාඩි වෙන්න. මට මේක කියන්න දෙන්න"
ඒත් මම වාඩි වුනේ නැහැ.
"මේ ඉන්න දුරට වඩා, තවත් ඔයාට ලං වෙන්න මම උත්සාහ කරන්නේ නෑ. I promis that to you. මම දන්නවා ඔයාගේ හිතේ භූපට තියෙන ඉඩ කවදාවත්, කාටවත් replace කරන්න බැරි වග. මට ඒ ගැන කතා කරන්න ඕන නෑ. මම කියන්න හදන්නේ මේකයි..." ඔහු කියද්දි මට ඔහු දිහා බැලුණා.
"මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ.ලං නූනට දුර යන්නත් මට බෑ. At least for the moment I can’t. ඒ වගේම, මගේ හිතේ ඉඩ ආයෙමත් වෙන කාටවත් දෙන්නත් මට බැරිවෙයි දුලාරා..."
ඔහු එහෙම කිව්වම තද කරගෙන උන්නු මගේ හිත විසිරුණා. මට අනුක් එක්ක තරහාගියේ නැහැ. ඒත් හිතේ ඇති වුණේ තැතිගැන්මක්. මේක කොහොමවටවත් වෙන්න ඉද දෙන්න බෑ කියලා හිත මොර දුන්නා.මුකුත්ම නොකියා මම එතනින් එන්න හැදුවේ ඒකයි. ඒත් අනුක් මගේ අතකින් අල්ලලා මාව නැවැත්තුවා. අත ඇදගන්නවත් මට පණක් තිබුනේ නෑ වගේ.
"මට යන්න දෙන්න" මම ඔහු දිහා බලලා කිව්වේ බැගෑපත්ව.
අනුක් මා දිහා බලාගෙනම උන්නා.
"ඔයාට ඕන මට තවත් රිද්දන්නද?" මම ඊට පස්සේ ඇහුවා.
ඒ පාර අනුක් මගේ අත අතනෑරම නැගිටලා මා ලඟට ආවා.
"හීනෙකින් වත් නෑ" ඔහු කිව්වේ මගේ ඇස් වලට එබිලා.
"එහෙනම් මෙහෙම කරන්න එපා" මම ඒ ඇස් වලින් මිදිලා බිම බලාගෙන කිව්වා.
"It’s little too late for that now. But I promis I will not bother you... මට මෙහෙම ඉන්න දෙන්න, මට ඔයාගෙන් ඕන එච්චරයි"
මම ආපහු ඔහු දිහා බැලුවා.
"මට ඔයාව තේරුම් ගන්න බෑ අනුක්"
"තේරුම් ගන්න හදන්න එපා"
කියන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව මම අහකබලාගත්තේ හෙමිහිට මගේ අත ඔහුගෙන් මුදාගන්න ගමන්.
"To be really honest...මං මේ දවස් ටිකේම කල්පනා කලේ ඔයා ගැන. භූප ගැන. Sometime I am really jealous of him…and still I feel sad about him more than that.  I really wish if there is anything I can do for you.. For you to go back to him… May be change time…”
“I told you through and through, nothing can be done now”
“I wish there was…I will do anything to see you smile… to see you are happy”
මම ඔහු දිහාම බලාගෙන උන්නේ කියාගන්න බැරි හැඟීම් ගොඩක් ඔහු ගැන මගේ හිතේ පිරෙද්දි.
“But why?” මම ඇහුවේ රහසින් වගේ. අනුක් මගේ දෑසට එබීගෙනම යාන්තමට හිනාවුණා.
“I will tell you one day…if there will be a time. If not…I want to keep it here. As a secret forever…a secret that, one day you will realize”
අනුක් කිව්වේ එච්චරයි. එතන ඉඳගෙන මම කල්පනා කලේ මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ කියලා. මට හෙමි හෙමීට තේරුම් යමින් තිබුණා අනුක් මොන තරම් ගැඹුරට මගේ ජීවිතේට සම්බන්ධ වෙලාද කියලා. මටවත් නොදැනී අනුක් මගේම ජීවිතේට මුහු වෙලා තිබුණේ හිතාගන්න බැරි විදියට. ඔහු මොනා කිව්වත් මට ඔහු එක්ක තරහා වෙන්න බැරි වුනේ ඒකයි. අනුක්ට මම ආදරේ කලේ නැති වග සක් සුදක් සේ පැහැදිලි වුණත්, දුරස් වෙන්න බැරි තරමට අපි බැඳිලා කියලා එවෙලේ මට පසක් වුණා. හිත ගොඩක්ම බය වුණේ ඒකයි.