Friday, April 25, 2014

පනස් හත්වන කොටස



"අනේ මන්දා. මෙහාටද එන්නේ?" මමත් ඇස් පුංචි කරලා බැලුවේ ඒ කවුද කියලා අඳුනගන්න.
අපේ ගෙදරට එමින් උන්නු දෙනාගෙන් පලවෙනියා දැක්ක ගමන්ම මම ලඟ තිබ්බ දොර අල්ලගත්තේ මාව වැටෙයි කියලා හිතුණ නිසා. ඊලඟ මොහොතේ භූපයි, පුබුදු අයියයි අපේ සාලෙට ගොඩ වෙද්දි මම එතන උන්නේ හීනෙන් වගේ. තාත්තත් මුකුත්ම හිතාගන්න බැරිව අන්ද මන්ද වෙලා වගේ බලාගෙන උන්නා. භූප ඒ දිහටි ඇස් මා දිහාට පාලා යන්තමට හිණා වුණාම මගේ ඇස් වලට කඳුලු පිරුණා.
"මාමෙ" භූප තාත්තට කතා කලා.
"මේ...මම...මම ඒත් බැලුවා මේ කවුද කියලා මේ වෙලාවේ. අ..මේ..මේ..වාඩිවෙන්නකෝ" තාත්තත් උන්නේ කලබල වෙලාදෝ කියලා මට හිතුණා.
මම නම් උන්නේ කතා කරගන්නවත්, හෙල්ලෙන්නවත් බැරි තරම් පුදුම වෙලා, අඩපණ වෙලා. තාත්තා මා දිහාත් බැලුවා. ටික වෙලාවක් යනකල් එතන ඇති වුණේ නිහඬ බවක්.
"මේ...ඉතිං ළමයෝ මොකද මේ රෑ වෙලාවේ, මොකක් හරි හදිසියක් වත් ද?"
මම භූප දිහා බැලුවා. ඔහු උන්නේ ඇදිලා ගිහිල්ලා වගේ වුණත් ඒ ඇස් වල තිබ්බේ දීප්තියක් කියලා මට හිතුණා.
භූප උත්තරයක් දෙන්න කලින් ගේ ඇතුලෙන් ඇහුණා අම්මගෙයි, චේතියගෙයි කටහඬ. අපි හැමෝම හැරිලා ඒ දිහාව බැලුවේ එකට. එතකොටම වගේ චේතියත් ඇතුල් සාලේ ඉඳලා අපි උන්නු දිහාට එන්න ආවා. මට දැනුනේ මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ හැඟීමක්.
"දෝණි මෙන්න මේ පුතා යන්න හදනවා..ඔයා..." එහෙම කියාගෙන් ආපු අම්මා සාලේ උන්නු කට්ටිය දැකලා ඉද්ද ගැහුවා වගේ නැවතුණා. ඒ එක්කම වගේ තමයි චේතියත් එතනට ආවේ. චේතියට එක පාරටම මුකුත් හිතාගන්න බැරි වෙන්න ඇති. ඔහු අපි හැමෝම දිහා බැලුවේ වික්ෂිප්ත වෙලා වගේ. ඒත් ඊලඟ මොහොතේ ඒ ඇස් වල පිරුණේ කේන්තියක්.
"මොකක්ද මේ මෙතන වෙන්න? මෙයා මොකද මෙහේ කරන්නේ? චේතිය ඇහුවේ භූප දිහා බලලා.
භූප චේතියට දිහා අවඥාවෙන් වගේ බලලා අහක බලාගත්තා.
"අපේ මහත්තයා... හැබෑටම මොකක්ද මේ වෙන්නේ? මේ ළමයා මොකද මෙහේ කරන්නේ?" අම්මත් ඇහුවා.
මම තාමත් උන්නේ දොරට ඇලීගෙන.
"ඉතිං ආපු කාරණාව අහන්න යද්දිම නොවැ ඔයාලා ආවේ. චේතිය පුතේ, ඔයා දැන් ඔය යන්නද හදන්නේ?" තාත්තා ඇහුවේ තාමත් දොරකඩ ඉඳගෙන භූපට රවමින් උන්නු චේතියගෙන්.
"නෑ...මට දැනගන්න ඕන මොකක්ද මේ වෙන්නේ කියලා"
"එහෙම නම් ඔය ලමයත් ඔහෙන් වාඩිවෙන්නකෝ" තාත්තා කිව්වේ ලඟම තිබුණ පුටුවට බරවෙන ගමන්.
"දෝණි..එනවා යන්න ගෙට" අම්මා මට සැර වුණා.
"දෝණි මෙතන ඉඳපුවාවේ. වෙන්නේ මොනවද කියලා අපි කාටත් වඩා දැනගන්න ඕන එයා" තාත්තා කිව්වා.
අම්මා ඒකට සතුටු නොවුණත් තාත්තට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් මාව මුර කරන්න වගේ මා ලඟම හිටගෙන උන්නා.
චේතියත් වාඩි නොවීම මගේ අනික් පැත්තෙන් හිටගෙන උන්නා. මම හොරැහින් ඔහු දිහා බලද්දි ඔහු තාමත් උන්නේ භූප දිහා එක එල්ලේම බලාගෙන.
"ඉතිං කියමුකෝ බලන්න දැන් ආපු කාරණාව" තාත්තා ඇහුවේ කලබලයක් නැති ගාණට.
ඒත් මම නම් උන්නේ පුදුමාකාර විදියට ගැහෙමින්. භූප මේ විදියට අපේ ගෙදරට ආයෙම එයි කියලා මම හීනෙකින් වත් හිතලා තිබුණේ නෑ.
භූප කතා කරන්න පටන් ගත්තේ ලොකු හුස්මක් අරන්. ඒත් මම උන්නේ හුස්ම අල්ලගෙන, ඔහු කියන්න යන්නේ මොනවද කියලා ඇහෙනකල්.
"මම ආවේ...දුලාරා ගැන කතා කරන්න" භූප එහෙම කිව්වා විතරයි එතන ඇති වුණේ මහා නොසන්සුන්තාවයක්.
"මොකක්?" අම්මයි, චේතියයි දෙන්නම ඇහුවේ එකට වගේ.
මම නම් තව ටිකක් බිරන්තට්ටු වුණා. ඒත් තාත්තා නම් කලබල වුණ වගක් පෙනුනේ නෑ.
"පොඩ්ඩක් ඉන්නකෝ...ඔව් ඉතිං?" තාත්තා අම්මට එහෙම කියලා ආයෙම භූප දිහා බැලුවා.
"මාමා දන්නවනේ අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ, වැඩුනේ එකට. මං හිතන්නේ මම දුලාරට ආදරේ කරන්න පටන් ගත්තේ මට ආදරේ තේරෙන කාලේ ඉඳලමයි..." භූප එහෙම කියලා මා දිහා බැලුවම මට දැනුනේ මගේ හිත කඩාවැටුණා වගේ හැඟීමක්.
"දුලාරා මට ආදරේ කරන්න පටන් ගත්තේ ඊට ගොඩක් පස්සේ වුණත්, එයා මට පුදුමාකාර විදියට ආදරේ කලා. ඒක මම දන්නවා. ඒ ආදරේ මගේ ජීවිතේ වගේ මට. මම තාමත් දුලාරට ගොඩක් ආදරෙයි. හැමදේම අපි නොහිතපු විදියට වුණාම, හැමෝගෙම හොඳට මම හිතුවා අපි වෙන වෙන එක තමා එකම විසඳුම කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ඒක විසඳුමක් නෙවෙයි. මට දුලාරා දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ. මට දුලාරා නැතිව තවත් මේ විදියට ඉන්න බෑ. කොටින්ම මට මගේ හිත හදාගන්න බෑ වෙන් වෙලා ඉන්න"
භූප කියවගෙන කියවගෙන යද්දි, මගේ ඇස් වලින් කඳුලු නොනැවතී ගැලුවේ දුක හිත හිර කරවන තරම් වෙද්දි.
"තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ?"
එක පාරටම චේතිය භූප දිහාට කඩාගෙන පැන්නා. මම ඔහුගේ අතේ එල්ලුණේ අනවසරෙන්ම. තාත්තත් මෙවෙලේපුටුවෙන් නැගිට්ටා. ඒත් භූප හෙල්ලුණේවත් නෑ.
"තමුසේ දන්නවද තමුසේ මේ කරන්නේ මොකක්ද කියලා? වෙලාවකට නවත්තන්නයි, තව වෙලාවක පටන් ගන්නයි තමුසේ හිතන්නේ දුලාරගෙ හිත යකඩින් හදලා තියෙනවා කියලද? අනික දැනගන්නවා දුලාරා මාව බඳින්න කැමති වෙලා ඉවරයි"
චේතිය කෑ ගහද්දි, මම ඔහු දිහා බැලුවේ අදහාගන්න බැරිව. ඒත්...ඔහු කිව්වේ බොරුවක් නෙවෙයි. මම ඇත්තටම ඔහුට එහෙම කියලා තිබුනා. ඒ භූප ගැන මගේ හිතේ තිබුණ බය හන්දා.
"වුණේ මොකක්ද, ඇයි එහෙම වුණේ කියලා අපි දෙන්නම දන්නවා චේතිය. ලැජ්ජා නැති වැඩ කලේ මමද, තමුන්ද කියලා තමුන්ගෙන්ම අහලා දැනගනන්වා" භූප කිව්වා.
"හහ්...බලහල්ලකෝ කතාව. ලැජ්ජ වෙන්න ඕන කිසි දෙයක් මම කරලා නෑ. මම මොනා හරි කලා නම් කලේ දුලාරාගේ හොඳට. තමුසෙට පුලුවන්ද මම එයාට දෙන දේවල් වලින් දහයෙන් එකක් වත් එයාට දෙන්න? තමුසෙගෙ ඔය ෆොටෝ ගැහිල්ලෙන් ලෝකෙ හොල්ලන්න පුලුවන් කියලද හිතන්නේ?" චේතිය කෑ ගැහුවා.
"අනේ චේතිය..." මම පිංසෙණ්ඩු වුණා.
"මට ලෝකේ හොල්ලන්න ඕන නෑ. දුලාරට කන්න අඳින්න දෙන්න මට බැරිකමක් නෑ. ෆොටෝ ගහලා බැරි නම් කුඹුරක් කොටලා හරි ජීවත් වෙන්න මම දන්නවා" භූප කිව්වා.
මම භූප දිහා බැලුවේ කඳුලු පිරුණ ඇස් වලින්. මට ඔහු ලඟට දුවලා ගිහින් තුරුලු වෙන්න ඕන වුණා.
"දුලාරා...මට තවත් මේ කතා අහන්න බෑ. ඇයි නොකියන්නේ මාව බඳින්න කැමති වුණ වග?" චේතිය ඒ පාර හැරුණේ මා දිහාට.
මම ඔහු  දිහා බැලුවේ අසරණව. ඊට පස්සේ මම අම්මා දිහාත්, තාත්තා දිහාත් බැලුවා.
"මොනවද බලාගෙන ඉන්නේ? එහෙම දෙයක් පොරොන්දු වුණා නම් කියන්න ළමයෝ" අම්මා කිව්වෙත් සැරෙන් වගේ.
"දුලාරා...එදා මම කියපු දේ මතකයි නේ. මම වචන දෙකේ මිනිහෙක් නෙවෙයි. කිව්වොත් ඒ දේ කරන මිනිහෙක්. ඔයත් අන්න ඒ වගේ ඇති කියලා මම විශ්වාස කරනවා" චේතිය කිව්වේ හෙමින් ඒත් තර්ජනාත්මකව.
"දුලාරා" ඒ පාර භූපත් මට කතා කලා. මම ඒ පැත්තට හැරුණා.
"ඔයා බය වෙන්න එපා. ඔයාගේ හිතේ තියෙන දේ කියන්න ඔයා බය වෙන්න ඕන නෑ. මොනා වුණත් මම ඔයාට ඉන්නවා"  භූප කිව්වේ උන්නු තැනින් නැගිටින ගමන්.
"මොකක්ද උඹ කිව්වේ?"
ඒ පාර මාවත් පෙරලගෙන චේතිය පැන්නා භූප ලඟට. ඊලඟට වුණ දේවල් කොච්චර ඉක්මණට වුණාද කිව්වොත් මම දොර අල්ලගෙන නැගිටිද්දි, භූපයි, චේතියයි බිම පෙරලිලා එක පොදියට. තාත්තයි, පුබුදු අයියයි ඒ දෙන්නව වෙන් කරන්න උත්සාහ කරන්වා කෑ ගගහම.
"අනේ චේතිය අයියා එපා..." මමත් කෑ ගහගෙනම ඒ දෙන්න මැදට පැන්නා.
ඒ වෙද්දි තාත්තා යන්තම් චේතියව භූපගෙන් වෙන් කරගෙන. ඒත් චේතිය ගහන්න පනිනවා.
"මම උඹව තියන්නේ නෑ...!!!"
චේතිය ගහන්න පනිද්දි, පුබුදු අල්ලගෙන උන්නු භූප ආයෙමත් චේතියට ගහන්න පැන්නා. භූපගේ හිසේ පැත්තකිනුයි, නහයෙනුයි ලේත් ගලනව. ඒ මදිවට ඇහැ ලඟත් දම් පාට වෙලයි තිබුනේ.මට හීල්ලුණා.ඒ එක්කම මට ඇඬුණා. මම භූපයි, චේතියයි මැද්දට පැන්නේ කඳුලු වැටෙද්දිමයි. මට භූප දිහා බලන්න්වත් බැරි තරමේ දුකක් දැනෙමින් තිබුණා.
"එපා...අනේ එපා. භූප...දෙයියන්ගේ නාමෙට අනේ යන්න භූප. අනේ මෙහෙන් යන්න...යන්න...මට එන්න බෑ භූප...මට බෑ...ඔයා යන්න..."
"දුලාරා..." භූප මා දිහා බැලුවේ බය වෙලා වගේ.
"යන්න...මට ආදරේ නම් යන්න භූප..." මම පිංසෙණ්ඩු වුණේ ඔහුගේ අතක එල්ලිලා.
"දුලාරා...මම ඔයා නැතුව යන්නේ නෑ. මා එක්ක එන්න"  භූප කිව්වේ මගේ කම්මුලකින් අල්ලලා.
"දෝණි..." මට ඒ අතරේ ඇහුණේ අම්මගේ කෝපය පිරුණ කටහඬ.
"අඩියක් හෙල්ලුණොත් බලාගෙනයි" ඒ පාර චේතිය කිව්වේ මගේ අතකින් අල්ලගන්න ගමන්. මම ඒ අත ගසාදාන්න උත්සාහ කලත්, දඬු අඬුවක් වගේ තදින් ඔහු මාව අල්ලගෙනයි උන්නේ.
"අනේ යන්න භූප..."
"මට ආදරේ නම් මා එක්ක එන්න දුලාරා...මම ඔයාව අරගෙන යනවා සත්තයි..."
"උඹ පරයා.." චේතිය මගේ අතින් ඇදලා දාලා ආයෙම භූප ලඟට පනින්න හැදුවා.
"භූප...කරුණාකරලා මෙතනින් යන්න ළමයෝ. මෙතන කලකෝලාහල කරලා ගම හිනස්සන්න හදන්නේ ඇයි? ඕකද ඔය ළමයගේ ආදරේ? අපට අවමාන කරලද ඔය ළමයා ආදරේ දිනන්න්න යන්නේ? දැන් දෝණි කිව්වනේ එන්න බෑ කියලා, තවත් මොනාද අහන්න ඉන්නේ?" චේතියව අමාරුවෙන් නවත්තගෙන උන්නු තාත්තා කිව්වේ කෑ ගහලා වගේ. භූප ආයෙම මා දිහා බැලුවා.
"ඔයා එනවද, නැද්ද?"
භූප ඇහුවම මම තාත්තා දිහා බැලුවා. තාත්තා මා දිහා බලාගෙන උන්නත් ඒ ඇස්වල තිබුණේ කෝපයක් විතරයි. ඊලඟට අම්මා...අම්මගේ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ. මට ඒ දෙන්නට අකීකරු වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"මට බෑ භූප....ඔයා  යන්න"
"මට ආදරේ නැද්ද දුලාරා...?"
"ආදරෙයි...මැරෙනකල්ම ආදරෙයි..." මම කිව්වේ අඬ අඬම.
"දුලාරා..."
"වරෙන් යකෝ යන්න..තවත් මොනාද අහන්න තියෙන්නේ?" පුබුදු අයියා භූපව ඇද්දා.
"දුලාරා..." භූප ආයෙම කෑ ගැහුවා.
"දුලාරා පලයන් ගෙට" ඒ පාර මාව ඇද්දේ අම්මා.
අවසඟව වගේ උන්නු මම අම්මා එක්කම ඇදිලා ගියා, භූපගේ අත අතෑරෙද්දි.
මම ගේ ඇතුලට ඇදිලා යද්දි මට යාන්තමට පෙනුණා ඇස් වලට වැටුණ හිසකේ අතරින් පෙනුණ භූපගේ ඇස් දෙක. ඒ ඇස් වල තිබුණේ පුදුමයක්ද? අදහාගන්න බැරිව වගේ ඒ ඇස් මා දිහා බලාගෙන ඉද්දි මම හිත් පිත් නැතුව වගේ අහක බලා ගත්තේ හිත කෑලි දහසකට විතර කැඩෙද්දි. අම්මා මාව කාමරේට තල්ලු කරලා දොර වැහුවා. මම දුවන්න උත්සාහ කලේ නෑ. දුවන්න මට පණක් තිබ්බෙත් නෑ. මම කලේ ඇඳේ වැතිරිලා හොඳටම අඬපු එක විතරයි. ඒ..තව සෑහෙන කාලෙකට මම භූපව දැකපු අන්තිම දවස...

Friday, April 4, 2014

පනස් හයවන කොටස



කෝච්චියේ නැගලා ඉස්සරෝම දවස් වල වගේ ගෙදර යද්දි, හිතට දැනෙමින් තිබුණේ මොකක්ක්දෝ සාංකාවක්. ඒක නිකම් හරියට ගොදාක් කල් ඈත් වෙලා උන්නු දිහාවකට ආයෙම ගියාම දැනෙන පාලුව මුසු සාංකාව වගේ එකක්.
ඒ එන ගමනෙදි පහු වුණ හැම ස්ටේෂන් එකක් ගාණෙම, නිතර දැකලා හුරු පුරුදු හැම ගහක් කොලක් ගාණෙම මට භූපව මතක් වුණා. හිතේ ඇතුලේ ගුලි ගැහිච්ච දුකක් විටින් විට හිත වේදනාවට පත් කරද්දි මම ඔහේ ජනේලයෙන් එහා පැත්ත බලාගෙන උන්නේ, ,හමාගෙන ආපු හුලඟට ඇස් වල නිතර එතුණු කඳුලු පටලය වියලන්න ඉඩ දෙන්නත් එක්කමයි.
"දෝණිට බඩගිනිද, වඩේ අරන් දෙන්නද?" පොල්ගහවෙල ස්ටේෂන් එකේ කෝච්චිය නැවැත්තුවාම වඩේ වෙලෙන්දෙක් නැග්ග වෙලේ තාත්තා එහෙම ඇහුවා, හරියට මම පොඩි දවස් වල වගේම.
"හා" මම එහෙම කිව්වේ තාත්තා ගැන හිතේ උපන්න සෙනෙහස  නිසා. අනික මම දැනගෙන උන්නා තාත්තා එන්න ඇත්තෙත් දවල්ට හරි හැටි කෑමක් නොගෙන වග. අනික තාත්තා කැමපස් එකට එද්දි වෙලාව තුනයි  කාල විතර වුණ නිසා, තේ එකක් අරන් දෙන්නවත් වෙලාවක් තිබුණේ නැහැ.
"මෙන්න" තාත්තා මොහොතකින් මගේ අතට වඩේ බෑග් එකක් දුන්නා.
"තාත්තත් කන්නකෝ. දවල්ටත් කන්න නැතිව ඇති නේ නේද?"
"මම එන ගමන් ඒවා මේවා කකා ආවේ. අද උදේට කෑවෙත් දහයට විතර. ඒ නිසා බඩගින්නක් නෑ" තාත්තා කිව්වා.
තාත්තට මදහිනාවක් පාලා මම වඩේ එකක් අතට අරගෙන ආයෙම කල්පනාවට වැටුණා. ඒ පාර මගේ හිතට අනවසරෙන්ම ආවේ අනුක්.
"ගෙදර ගිය ගමන් කෝල් එකක් දෙන්න හොඳේ. මම බලාගෙන ඉන්නවා"
කෑම කාලා අහවර යන්න ලෑස්ති වුණ අනුක් මට කිව්වේ එහෙම.
"හා. ඔයත් බෙහෙතක් ගන්න ඕන හරිද? දැන් කෙලින්ම ගෙදර යන්න. හවසට ගිහින් බෙහෙතක් ගන්න" මම ඔහුට කිව්වා.
"හොඳමයි ලමාතැනී" අනුක් ඒ පාර ඒක විහිලුවකට අරන් උන්නේ.
"මේ විහිලු නෙවෙයි, මම කතා කරලා අහන්නම්කෝ උත්පලා අක්කාගෙන්"
අනුක් මා දිහා බලලා දඟකාර විදියට හිණාවුණා විතරයි.
"මම යන්නම් එහෙනම්, ලෙක්චර් එකට පරක්කු වෙනවා"
"හා..." ඔහු එහෙම කිව්වත් ඒ වචන වල අවසරයක් තිබුණේ නෑ. මම ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"ඔයා නැතුව ගෙදර මාර පාලු වෙයි...ඉක්මණට එනවා නේද?" අනුක් ඒ පාර ඇහුවේ හෙමින්.
"හ්ම්" මම හිස වැනුවේ මුකුත් කියන්න බැරි විදියට හිත ගොලු වුණ හන්දා.
"පරෙස්සමින් යන්න එහෙනම්" අනුක් කිව්වේ මගේ හිස අතගාලා.
ඒ මොහොත සිහි වෙද්දි හිතේ පුංචි දුකක් හටගත්තා අනුක් වෙනුවෙන්. මට තේරුණේ නෑ ඇත්තටම මේ හැඟීම් වලට, අපි අතරේ තියෙන මේ හිතවත්කමට දෙන නම මොකක්ද කියලා.
***
මම ගෙදර ආපු ගමන් කලේ අම්මා එක්ක සෙනුරි අක්කා බලන්න එයාලගේ ගෙදර දුවපු එක. මම යද්දි අක්කා සාලේ පුටුවක වාඩිවෙලා උන්නා. ඒ ලඟම උන්නේ එයාගේ අම්මා.
"හානේ...මම ඒත් බැලුවා කවුද මේ එන්නේ කියලා මේ හවස. අපේ චූටි නගා නෙ මේ. එන්න එන්න" සෙනුරි අක්කා කිව්වේ අමාරුවෙන් නැගිටින  ගමන්, හිනා කටකුත් එක්ක.
"ඔයාව බලලා යන්නමයි ආවෙ" මම කිව්වේ ඈ ලඟට ගිහින් අත් දෙකෙන් අල්ලගෙන.
"අනේ කොච්චර දෙයක්ද නේද අම්මේ? මම ඒත් හිතුවා නුවර ගිහින් අපිව අමතක වෙලා කියලා"
"පිස්සුද අක්කේ, කවදාවත් කිසි දෙයක් අමතක වෙන්නේ නෑ" මම කිව්වේ හිතේ දුකක් එතෙද්දිමයි.
මේ ගමේ හැම අඟලක් අඟලක් ගාණෙම මගෙයි භූපගෙයි සිහිවටන තිබුණා. ඒ හැම දෙයක්ම ගැනත් හිතලා වෙන්න ඇති මට එහෙම කියවෙන්න ඇත්තේ. අක්කා මා දිහා අමුතු විදියට බලද්දි මම ආයෙම හිනාවක් මවාගත්තා.
"ඉතිං ඉතිං ඔයාට කවද්ද ඉස්පිරිතාලේ නතර වෙන්න තියෙන්නේ?" මම ඇහුවා.
"හෙට යන්න ඉන්නේ නංන්ගි. දින දීලා තියෙන්නේ හෙට නේ"
"ආනේ... එහෙනම් හොඳ වෙලාවට මම ආවේ. හෙටම බබා හම්බවුණා නම් හරි ෂෝක්. නැන්දට චූටියව බලලම යන්න තිබ්බා"
මම එහෙම කිව්වම අක්කට හිනා. අපි එහේ හවස හත විතර වෙනකල් ඉඳලා ආපහු ගෙදර එන්න ආවේ, සෙනුරි අක්කගේ අම්මා උයලා තිබුණ අඹ මාලුවකුත් අරගෙන.
"ලොකු අයියා එන්න රෑ වෙන්නේ මොකෝ අම්මේ?" මම එන ගමන් ඇහුවේ අපි එනකලුත් අයියා නාව නිසා.
"එයා මේ දවස් ටිකේම ටිකක් වැඩිපුර වැඩ කරනවලු ලබන සතියේ නිවාඩු හෙම ගන්න වෙයි කියලා"
"ආ එහෙමද? එතකොට පොඩි අයියා? එයා ගෙදර එනවද?"
"ඔව්, හෙටත් ඒවි මහිතේ. කොහොමත් මාසෙකට දෙපාරක් විතරම නම් එනවාමයි. එයා නුවර ආවේ නැද්ද?" අම්මා ඇහුවා.
"ම්ම්...එක පාරක් ඇවිත් ගියා, අනුක්ලගේ අප්පච්චිත් ඉඳපු දාක"
"අනුක් කිව්වේ?"
"අනේ අම්මේ ගෝතමී අක්කගේ මල්ලිනේ" මට අමතක වුණා අම්මට ඒ තරම් අනුක් නිච්චි නැති වග.
"ආ..මේ ඒ ළමයද? කාටද ඔය නම් මතක. ඒ ළමයද තාම ඔයා එක්ක කැම්පස් යන්නේ?"
"හ්ම්."
"එතකොට චේතිය ළමයා?"
"එයා ඉන්න දාට ගිහින් දානවා" මම කිව්වේ ඕනවට එපාවට.
"ඒක නෙවෙයි දෝණි..." අම්මා එහෙම කියලා අහන්න යන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි කියලා මගේ හිත කිව්වා.
"ම්ම්"
"දැන්...ඔයා චේතිය ලමයට වචනයක් දීලද ඉන්නේ?" අම්මා ඇහුවම මම මොහොතකට ගොලු වුණා.
"ඇයි අම්මා එහෙම අහන්නේ?"
"අහන්නේ ඉතිං දැනගන්න නෙව. දැන් ඔයා සෑහෙන කලක් ඒ ළමයගේ නෑ ගෙදරක ඉන්නවා. ඒ ළමයා ඔයා ගැන හිතාගෙන එහේ යනවා එනවා, අපේ ගෙදර එනවා. ඉතිං මේ දේවල් කරන එකේ තේරුමක් මොකක් හරි තියෙන්නත් ඕන නෙවද?" අම්මා කිව්වාම මම මුනිවත රැක්කා.
"ඔන්න ගිය සතියේ දවසකත් ඒ ළමයා මෙහේ ආවා. ඇවිත් කිව්වා ගෙදරින් එක්ක එක්ක දවසක් කියන්න කියලා, මේ කාරණාව තීන්දුවක් කරගන්න" අම්මා එහෙම කිව්වම මම ගැස්සුනා.
"ඈ? ඉතිං අම්මා මට නිකං වත් කිව්වේ නෑනෙ. චේතිය එහෙම කිව්වම අම්මලා මොකද කිව්වේ?" මම ඇහුවේ ගැහෙන හිතිං.
"තාත්තා කිව්වා ඔයාගෙනුත් අහලා බලලා කියන්න ඕන කියලා. චේතිය ළමයා ගියේ නම් එච්චර හිත හොඳකින් නෙවෙයි ඒ නිසා"
අම්මා එහෙම කිව්වම මට සැනසුම් සුසුමක් හෙලුණා.
"අපි මේක මොනා හරි පිලිවෙලක් කරන්න ඕන දෝණි. පොඩි අයියා කියනවා ඔයා බඳිනකල් එයා බඳින්නේ නෑලු" මගේ හිත ආයෙම ගැස්සුනා.
"මොකක්? එයාට පිස්සුද මන්දා. බඳින්න තාම මම හිතලාවත් නෑ. අනික කාටවත් තියෙන හදිසියට මට බඳින්න බෑනෙ"
"එහෙම කියන්න එපා පුතේ. අයියා කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසා"
"අනේ විකාර. මට නම් දැන්ම බඳින්න බෑ ඔන්න" මම කියලා දැම්මා.
"එහෙම කියලා හරියන එකක් නෑ. චේතිය ළමයගේ අම්මලා ටිකක් බල කරන්වලු මේක කරන්නය කියලා"
"අනේ අම්මා...මේක මොන වදයක්ද? කැම්පස් ඉඳලා ගෙදර ආවමත් මේ වදේ නෙ. ඇයි මට මෙහෙම ඉන්න දෙන්න බැරි?"
"එහෙම කියලා පුලුවනෑ. ඔහොම කවදා වෙනකල් ඉන්නද? අනික දැන් හැමදේම හරි ගිහින් තියෙන වෙලේ තවත් පස්ස ගහන්නේ මොකටද?"
"අනේ මට බෑ අම්මා. මට...චේතියව බඳින්න බෑ"
"මොනවා?" ඒ පාර ගැස්සුනේ අම්මා. අම්මා උන්නු තැනම නැවතිලා මා දිහා බලාගෙන උන්නේ ඇස් ලොකු කරගෙන.
"ඔය ළමයගේ මොලේ හොඳ නැද්ද? මොනාද මේ කියන්නේ?"
"මං කියන්නේ ඇත්ත"
"අනේ පුතේ මේ, රට්ටු හිනස්සන වැඩ ආයෙම කරන්න ලැස්ති වෙන්න එපා. අනික ඔයා හොඳටම දන්නවනේ චේතිය ඔයා ගැන හිතාගෙන ඉන්න වග. මේ හැම උදව්වක්ම එයා කරන්නේ නිකං කියලද ඔයා හිතන්නේ? දුලාරා...පිං සිද්ධවෙයි ඔය මනස්ගාත දැන්වත් හිතිං අතාරින්න. තාම හිත හදාගෙන නැත්තම්, අද ඉඳන්වත් ඒක කරන්න උත්සාහ කරන්න. මටයි තාත්තාටයි වහ කන්න වෙන විදියේ වැඩක් නම් කරන්න ලෑස්ති වෙන්න එපා ඔන්න"
අම්මා එහෙම කියාගෙන මට ඉස්සර වුණේ අපි ගේ ලඟටම ඇවිල්ලා උන්නු නිසා.
“අම්මා” මම අම්මා පස්සෙන් දුවගෙන මිදුලට එද්දි මගේ හිත ආයෙම කඩා වැටුණේ මිදුලේ තිබ්බ වාහනේ දැකලා.'චේතිය ගෙදර ඇවිත්'
මම යද්දි චේතිය උන්නේ තාත්තා එක්ක සාලේ වාඩි වෙලා.
"ආ..ඕන්න ආවා" තාත්තා අපිව දැක්ක ගමන් කිව්වේ හිනාවෙලා.
මම චේතිය දිහා යන්තමට බලලා අහක බලාගත්තා.
"පුතා දැන්ද ආවේ?" අම්මා ඇහුවේ හිනා කටක් පුරෝගෙන.
"ඔව් අම්මා. මේ දැන් ආවා විතරයි. කොහෙද මෙයා මට නිකංවත් කිව්වේ නෑනෙ ගෙදර එන වගක්. මම මගට යද්දි නිකමට නුවර ගෙදරට කෝල් එකක දුන්නාම ගෝතමී කිව්වේ. ඒ පාර මම ආයේම් එන්න ආවා" චේතිය කිව්වා.
"හදිසියේ එන්න හිතුවේ" මම හෙමින් කිව්වේ අම්මා මා දිහා බැලුවාම.
"අනික ඉතිං ගෙදර එන්න දවස් ගණන් හිත හිත ඉන්නෑත් නෑ නෙව. එහෙම හිතන්නත් ඕන නෑනෙ. ගෙදර එන්න හිතුණද එන්න ඕන. ආයේ ඕක නොකිව්වයැ කියල මහ දෙයක් වෙන්නේ නෑනෙ. හා එහෙනම් දෙන්නා එක්ක කතා කර කර ඉන්නකෝ. මම කන්තෝරුව වහලා එන්නම්" තාත්තා ඇඟට පතට නොදැනී එහෙම කියලා යන්න නැගිට්ටාම මට හිනාවක් නැගුණෙ ඉබේටම.
"මම පුතට බොන්න දෙයක් හදාගෙන එන්නම්" අපිව සාලේ තනි කරලා අම්මත් කුස්සියට යන්න ගියා.
ඒ පාර නම් මට දැනුනේ මහ අපහසුතාවයක්.
"මොකක්ද මේකේ තේරුම දුලාරා?" චේතියගේ හඬේ තිබුණේ අමනාපයක්.
"මොකක්ද?" මම ඇහුවේ ඕනවට එපාවට.
"ඔයාට මම මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තේ ඇයි? ඇයි මට නොකියා ආවේ?"
"හරි වැඩක්නේ. මගේ ගෙදර එන්නත් මම ඔයාගෙන් අවසර ගන්න ඕනද?" මම හිතේ ආවේගෙට එහෙම ඇහුවා.
චේතිය උන්නු තැනින් නැගිට්තේ ඒ වචන සැර වැඩි නිසාද මන්දා.
"මොකක්ද කිව්වේ?" චේතිය මගේ ලඟට ආවේ එහෙම අහගෙන. ඒත් මම බය වුණේ නැහැ.
"කිව්ව එක ඇහෙන්න ඇතිනේ"
"තමුසෙගේ කට හොඳටම වැඩියි දුලාරා. තමුසේ දන්නවද මම අද මේ ආපහු ආවේ කෑගල්ලත් පහු කරගෙන නුවර පැත්තට ගිහින් හරවගෙන. ඒ තමුසේ නිසා"
"මම එන්න කිව්වේ නෑනෙ"
"එන්න කියන නොකියන එක නෙවෙයි, ඇයි නිකමට හරි මට කෝල් එකක් දීලා නොකිව්වේ ගෙදර එන වග"
"මට වෙලාවක් තිබ්බේ නෑ"
"අනේ මේ බොරු නොකියා ඉන්නවා. එතකොට තාත්තව ගෙන්නගන්න ප්ලෑන් කරන්න වෙලා තිබ්බා? මේ මට කියන්න තමා වෙලාවක් තිබ්බේ නැත්තේ"
චේතිය එහෙම ඇහුවාම මම උත්තරයක් දුන්නේ නෑ. දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ.
"තමුසේ ආවේ ආයෙම අරූ හම්බෙන්න නේද?" ඒ පාර චේතිය ඇහුවා.
"මට කාවවත් හම්බෙන්න ඕන නෑ"
චේතිය ලොකු සුසුමක් හෙලුවා. ඔහුගේ හිත ඇතුලේ දැවෙන කෝපය කොච්චරද කියන මට දැනුනා.
"මේක හරියන්නේ නෑ. තමුසේ මෙහෙම ඉඳලා කවදාවත් මම කියන දේ අහන්නේ නෑ. මට තමුසේ කැමති වුණත් එකයි, නැතත් එකයි, ඒත් හෙට අනිද්දටම මම තමුසෙව බඳිනවා. ඊට පස්සේ බලමු ඔය නැටුම් නටන්නේ කොහොමද කියලා" චේතිය කිව්වා අන්තිමට.
මම එතනින් එන්න ආවා ඉස්සරහට. එතකොට තාත්තා කාමරේ වහලා සාලෙට ගොඩ වුණා විතරයි. ඒත් එක්කම වගේ ගේ ඉස්සරහට වැදුණේ torch එලියක්.
"කවුද මේ වෙලාවේ?" මායි තාත්තයි දෙන්නම ඒ දිහා බැලුවේ කුතුහලෙන්.