ගෙදර ආපු දවසෙම ගිහින් බෙහෙත් අරන් ආපු හන්දා, සිකුරාදා වෙද්දි මට උණ සනීප වෙලයි තිබුණේ. ඒත් හිත තිබුනේ නම් ලෙඩ වෙලා වගේ. එදා හවස යන්න ගියපු භූප ගැන ආරංචියක් මට ලැබුනේ නෑ, සිකුරාදා හවස කේතකී මාව හම්බවෙන්න එනකල්ම. අපේ කඩුල්ල ඇරගෙන කේතකීයි, එයාගේ අම්මයි අපේ
මිදුලට එද්දි මම උන්නේ ඉස්තෝප්පුවට වෙලා තාත්තගේ ලිය කියවිලි වගයක් ෆයිල් වලට දාන
ගමන්.
"දැන් සනීපද?"
කේතකී එහෙම ඇහුවේ ගෙට ගොඩ වෙන ගමන්. කේතකීගේ අම්මත් ඒ එක්කම ඉස්තෝප්පුවට ගොඩ වුණා. මම පුටුවෙන් නැගිට්ටේ පුරුද්දට වගේ.
"ඔව්..."
"කෝ ළමයෝ අම්මා, කුස්සියෙද?" කේතකීගේ අම්මා එහෙම ඇහුවේ ගෙයි ඇතුලට එබෙන ගමන්.
"නෑ...අන්න ටීවී එකේ මොනවද බලනවා. යන්න නැන්දේ මැද සාලේ" මම කිව්වා.
කේතකී නම් අනාරාධනාවෙන්ම මම හිටපු පුටුවට ලඟින් තිබුණ අනෙක් පුටුවේ වාඩි වෙලයි උන්නේ.
"හොර ලෙඩ දාගෙන, lectures කට් කරලා ගෙදර එනවා නේද?"
"ආ වැඩේමයි" මම කිව්වේ ආපහු වාඩි වෙන ගමන්.
"වැඩේ තමයි. අපේ අයියටත් ඉතින් හොඳ ජොබ් එක" කේතකී කිව්වේ අහක බලාගෙන හිනා වෙවී.
"මම අයියව බලෙන් එක්කගෙන ආවේ නෑ" මම කිව්වා.
"එතකොට එයාද බලෙන්ම ආවේ?" කේතකී ඇහුවේ මගේ දිහා බලලා.
එහෙම ඇහුවාම නම් මම නිරුත්තර වුණා. භූපට මොනම විදිහක වත් වරදක් කියන්න මට ඕන වුණේ නෑ.
"එයා උදව්වක්නේ කලේ" මම ඊට පස්සේ කිව්වා.
"හරි හරි. මොකෝ මම ඒක නොදන්නේ? දැන් හොඳටම හොඳද?"
"ඔව්. ඒත් තාම බෙහෙත් නම් බොනවා. දවස් පහකට දීලා තියෙන්නේ"
"හ්ම්..."
"අයියා පහුවදා ගියාද?" මම ඇහුවාම කේතකී මගේ දිහා බැලුවේ ඇස් කොනකින්.
"ඔය ගියේ. හැබැයි ගෙදර එද්දි නම් මට හිතුණා, අයියටත් උණදෝ කියලා" කේතකී කිව්වේ අහක බලාගෙන.
"ඇයි ඒ?"
"ඒ වගේ පෙනුනේ ඒකයි"
"එක දවසින් උණක් බෝ වෙන්නේ නෑනෙ" මම කිව්වා.
"ඔව් ඒක ඇත්ත. ඒක් මේක මේ අද ඊයේ හැදුණ උණක් නම් වෙන්න බෑ" කේතකී කිව්වම මගේ කන් රත් වුනා.
"මොනාද අනේ මේ ඔයා කියන්නේ?"
"කියන්නේ ඉතිං මට දැනෙන දේ තමයි. අම්මත්
ඇහුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා" කේතකී කිව්වා.
මගේ හද ගැස්ම වැඩි
වෙලයි තිබුණේ. භූප එහෙම උන්නේ මම නිසාද?
"ඊට පස්සේ?"
"මොනා වෙන්නද? පුරුදු විදියටම කසාය
බීපු ගොලුවා වගේ ගිහිං කාමරේට වැදුනා" කේතකි කිව්වා.
මට සුසුමක්
හෙලුනේ ඉබේටම.
"භූප ඉස්සරත් එහෙමට කතා කරන කෙනෙක් නෙවෙයි
නේද?" මම ඇහුවා ඊට පස්සේ.
ඒත් මට
උත්තරයක් දෙන්න කලින් කේතකීගේ අතේ තිබුණ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"අම්මෝ මෙන්න
මතක් කරද්දිම කතා කරනවා..." කේතකී කිව්වේ ෆෝන් එක මට පෙන්නන ගමන්.
"හෙලෝ
අයියා" කේතකී කතා කරද්දි නොසන්සුන් වීගෙන ආවේ මගේ හිත.
"නෑ...මම
මේ දුලාගේ ගෙදර ඉන්නේ. පිංකම ගැන කතා
කරන්න ආවා අම්මා එක්ක"
මම යන්තම්
හැරිලා කේතකී කතා කරන දේවල් අහගෙන උන්නා.
"ඔව් ඔව්. එයාට
දැන් ඇති උණක් නෑ. මේ යසට ඉන්නේ" කේතකී එහෙම කිව්වේ මම දිහා බලලා හිනා
වෙමින්."ආ...එහෙමද? රෑ වෙනවද? හරි හරි. හා අයියා. බුදු සරණයි"
කේතකී ෆෝන් එක
කට් කලා එහෙම කියලා. මම ඈ දිහා බැලුවේ භූප කිව්වේ මොනාද කියලා අහගන්න උවමනාවෙන්.
"අද රෑට එනවලු.
අනිද්දා පිංකමට වැඩ වගයක් කරලා දෙන්න කියලා කෝල් කලාලු පොඩි හාමුදුරුවෝ"
"ඇත්තද?"
"හ්ම්...ඔයාට
දැන් හොඳද කියලා ඇහුවා"
කේතකී කියන
ඒවා මට ඇහුනේ ඈතින් වගේ. මොකද එවෙලේ හිත මොකක්දෝ සතුටකින් පිරිලා ගිය හන්දා.
සෙනසුරාදා උදේ
වරුවේ ඉඳන්ම අපේ තාත්තයි,
ලොකු තාත්තයි
දෙන්නම උන්නේ පන්සලේ. රෑට තියෙන පිරිත් පිංකමට වැඩ කටයුතු ලෑස්ති කරන්න පංසලේ ප්‍රධානම
දායකයෙක් වුණ මේ දෙන්න මුල් තැන අරගෙන වැඩ කලා. ආච්චි අම්ම එදා උදේ අපේ ගෙදරට
ඇවිත් හිටියේ පහුවදා තියෙන දානමය පිංකමට අවුල්පත් විදියට දෙන කැවිලි හදන්න.
මමයි, සෙනුරි අක්කයි අලුවා වගයක් හදන්න ඕන වෙන
කලමනා හොයමින් ඉද්දියි,
කලින්දා මහ රෑ
ගෙදර ආපු පොඩි අයියා කුස්සියට එබුණේ.
"අම්මේ තේ එක
දෙන්නකෝ"
"ආ...මහත්තයා නැගිට්ටද?" එහෙම ඇහුවේ අලුවා වලට පිටි හලමින් උන්නු
ආච්චි අම්ම.
"කෝ අද ඔයාගේ හේමලයා
නැද්ද?" අයියා මොනවත් කියන්න
කලින් සෙනුරි අක්කා ඇහුවා.
"මොකා?"
"අයියෝ ඔයා සිංහල
දන්නෙත් නැද්ද? හේමලයා කියන්නේ
හෙවනැල්ලටනේ" මම කිව්වා.
"හරි හරි දැන් ඔය කවුරු
ගැනද අහන්නේ?" අයියා ඇහුවේ අම්ම දීපු
තේ එකත් අරගෙන කුස්සියේ බංකුවක වාඩි වෙන ගමන්.
"කවුද ඉතිං අර ඔයාගේ උඩරට නිලමේ
ගැන මිසක්කා" සෙනුරි අක්කා කිව්වා.
අයියට හිනාවක්
ගියා.
"ආ...චේතියද? පොර අද ගෙදර ගියා. අම්මා බනිනවලු ගෙදර
එන්නෙම නෑ කියලා"
"අරුමයක්යැ? වැඩිපුරම ඉන්නේ මෙහේ නෙ" මම කිව්වා.
"පව් හලෝ එහෙම කියන්න
එපා. මනුස්සයට එහේ ගියාට එහෙමට යාලුවෙක් නෑ. ඉගෙනගත්තේ කොලඹ නේ. අනික ගෙදරත් ඉන්න
තරමක් සහෝදර සහෝදරියෝ ඉන්නේ රට. ගෙදර ඉන්නේ නාකි අප්පුලා දෙන්නෙකුයි, කුස්සි අම්මා කෙනෙකුයි, අම්මයි, අප්පච්චියි
විතරයි. අනික ඒ ගෙදරත් මහා ලොකුයි. කට්ටිය නැතිකොට පට්ට පාලුයි
ඉතිං මූ කැමති
නෑ පාලුවේ ඉන්න ගෙදර යන්න"
"එහෙමයි කියලා
ඉතිං ගෙදර නොගිහින් පුලුවනෑ" සෙනුරි අක්කා කිව්වේ පොල් ගාන ගමන්.
"අනේ
මන්දා...පොර කොහොමත් කැමති එක්කෝ මෙහේ එන්න. නැත්තම් කොලඹ ඉන්න”
අයියා එහෙම
කිව්වම නම් මට චේතිය ගැන පොඩි සංතාපයකුත් දැනුනා.
"කතාව තියලා ඔය
පොල් ටික ඉක්මණ් කරලා ගාලා ගන්නකෝ ළමයෝ" ආච්චි අම්මා ඕන්න පරල වෙන්න පටන්
අරන්.
"මේ ගානව ආච්චි
අම්මේ"
"පුතාත් උදේම පන්සල පැත්තේ යනවද?"
"යන්න ඉන්නේ අම්මා. පිරිත් මණ්ඩපේ හෙම හදන්න
තියෙනවා කියලා උදේ භූප කතා කරලා කිව්වා. ගිහිං උදව් වෙන්න ඕන"
භූපගේ නම
ඇහුණාම මට අයියා දිහා බැලුනේ ඉබේටම.
"අපි හවසටම එන්නම්, ගිලන්පස
කලමනායි, කැවිලියි අරගෙනම එන්නම්. පිරිතට රැයක් නිදි
මරන්නත් එපායැ" අම්මා අයියට
කිව්වා.
"හ්ම්...හරි"
අයියා එහෙම කිව්වේ බංකුවෙන් නැගිටලා මට හිස් කෝප්පේ දෙන ගමන්.
"අනේ මේ...මට කෝප්ප
හෝදන්න බෑ. හෝදලා යන්න" මම කිව්වේ ඒක ආපහු එයා අතට තල්ලු කරලා.
"මොනවද නංඟි...හෝදලා තියන්නකෝ"
එහෙම කියාගෙන
ඒක ලඟ තිබ්බ මේසේ උඩි තියලා එයා යන්න ගියා, මට මෝඩ
හිනාවක් පාලා.
"හේදුවාම අත ගෙවෙනවද?" මා දිහා නුරුස්නා බැල්මක් හෙලාගෙන ආපු අම්මා
කෝප්පේ හෝදන්න අරන් යන ගමන් කිව්වා.
මම කොච්චර
හිටියත් අම්මට හැමදාම අගේ පොඩි පුතා තමයි. මම අම්මා දිහාට කට ඇද කරලා සෙනුරි අක්කා
දිහා බැලුවා.
"අම්මගේ
පුතාලනේ..."
හවස නාලා
පිරිසිදු වෙලා, බෝරිච්චි අත් අතියෙන
සුදු දිග ගවුම ඇඳගෙන මමත් අම්මලා එක්ක පන්සල් යන්න ලෑස්ති වුණා. ගමේ පන්සලේ හැම
අවුරුද්දකටම වතාවක් ගමටයි රටටයි සෙත් පතලා පිරිතක් දේශණා කරලා, පහුවදාට හාමුදුරුවරුන්ට දානයක් දෙන එක
නොවරදවාම සිද්ධ කෙරුණු දෙයක්.ගොඩක් වෙලාවට මේ කටයුත්ත, අලුත් අවුරුද්දෙන් පස්සේ එන අලුත් සහල්
මංගල්ලෙට කලින් තමයි කෙරුණේ. එදාට මුලු ගමම වගේ මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. පිංකම
කරන්නෙත්, දානෙ දෙන්නෙත් ගමේ
හැමෝගෙම සහභාගීත්වයෙන්.
"පොඩි දෝණි...මෙන්න මේ
සාරි පොටේ කට්ට ගහන්න ළමයෝ" සුදු සාරියකින් සැරසිලා ආපු ආච්චි අම්මා මට
කිව්වා.
ආච්චි
අම්මගෙයි, අම්මගෙයි දෙන්නගෙම
සාරි හදලා, මම සෙනුරි අක්කල්ගේ
ගෙදරට දිව්වේ පන්සල් යන්න ඈවත් එක්කගෙන එන්න. කොහොමින් කොහොම හරි
අපි හවස පහ විතර වෙද්දි ලෑස්ති වෙලා පන්සලට එන්න ආවා. ඒ වෙද්දි සෑහෙන උදවිය පන්සලට
ඇවිදිනුයි හිටියේ.
උදේ ඉඳන්ම
සංයමයකින් තිබුණ මගේ හිත මේ වෙද්දි පොඩ්ඩක් විතර නොසන්සුන් වෙන්න පටන් අරන්
තිබුණා. මම ඒක නවත්තගෙන ඉන්න හැදුවත් හිත මට ඒක්ට ඉඩ දුන්නේ නැති තරම්. ඒ උන්නු
මහා සෙනග අතරේ මගේ ඇස් හැමතැනම හෙව්වේ එකම එක රූපයක් විතරයි.
"දුලාරා"
මම හැරිලා
බැලුවා මගේ නම කියපු සද්දෙට. එවෙලේ හිනා වෙන්මින් මා දිහාට එමින් උන්නේ කේතකී.
"දැන්ද ආවේ?" කේතකී මගෙන් අහන ගමන් සෙනුරි අක්කට හිනාවක්
පෑවා. "කොහොමද අක්කේ?"
"ඉන්නවා ඉන්නවා. ඉතිං
කෝ අම්මලා?" සෙනුරි අක්කත් හිනා
වෙලා ඇහුවා.
"බුදු ගේ දිහාට ගියා.
තාත්තා නම් උදේ ඉඳන්ම පන්සලේ. අයියා කිව්වා එහේ මාමලා දෙන්නත් හිටියා කියලා"
කේතකී කිව්වා.
අපි වට පිට
බලද්දි, අපේ අම්මයි, ආච්චි අම්මයි, පුංචි
අම්මයිත් සෙනග අස්සේ කොහේදෝ අතුරුදන් වෙලා.
"අම්මලා ආවාසේ දිහාට
ගියා වෙන්න ඕන. ගිලන්පස ටික දෙන්න. අපි යමු නේද එහෙනම් බුදුන් වැඳලම එන්න"
සෙනුරි අක්ක යෝජනා කලාම, මායි කේතකීයි ඒ අනුව චෛත්‍යය දිහාට එන්න
ආවා.
"ඔන්න බලන්නකෝ, මේ පාර පිරිත් මණ්ඩපේ ලස්සන. අයියලා සේරම
ආයේ ඉස්තරම්ම විදියට ඒක කරලා තියෙනවා. මම හොරෙන් බැලුවා බණ ගෙයි පැත්තෙන්
එද්දි" කේතකී අපට කිව්වා.
"දැන් අයියා කෝ? අපේ පොඩි අයියා නම් අපි ගෙදරින් එනකොටත්
ඇවිත් හිටියේ නෑ" මම කිව්වේ භූප ගැන දැනගන්න මට ඕන වුන හන්දයි.
"දැන් දැන් තමා ගියේ.
ගෙදර ගිහින් නාලා ඒවි මහිතේ" කේතකී කිව්වා.
කේතකී එහෙම
කිව්වත්, භූපව අපට හම්බවුණේ
ඊටත් ගොඩ වෙලාවකට පස්සේ.
"දුලාරා...මේ මල් ටිකත්
ගිහින් දෙන්න බණ ගෙට. සුදු මල් වට්ටියක් ඕන කියන්වා පිරිත් මණ්ඩපේට" පිරිතට
ලෑස්ති වෙන පන්සල් මිදුලේ උන්නු ගමේ අක්කා කෙකෙක් මගෙ අතට මල් වට්ටියක් දීලා
කිව්වේ මම, පැදුරු වගයක් ගේන්න
අපේ බාප්පා හොයන්න යන අතරේ. සෙනුරි අක්කා උන්නේ අම්මලා එක්ක තේ හදන්න ලෑස්ති කරමින්.
ඒ පිරිත් අහන්න එන අයට දෙන්න. කේතකීත් උන්නේ එතන.
මම යන්න ගිය
වැඩේ නවත්තලා ඒ පාර මල් වට්ටිය අරගෙන බණ ගෙයි දිහාවට යන්න ආවා.
"ෂ්..ෂ්..." මම
හදිසියෙන්ම යන අතරේ ඇහුණ සදයක් නිසා මම වට පිට යන්තම් බැලුවත් එහෙම මට කතා කරන
කවුරුවත් මම දැක්කේ නෑ.
"දුලාරා" ආයෙම මම
එන්න හැරෙද්දි මට ඇහුණේ භූපගේ හඬ. මම එතනම නැවතිලා ආපහු හැරිලා බැලුවා. ඊලඟට මගේ
ඇස් නිලංකාර වෙලා ගියේ නොහිතපු විදියට භූප අතේ තිබුණේ කැමරාවෙන් මගේ ෆොටෝ එකක්
ගත්තු නිසයි.
"අනේ සොරි...නොකියම ඒක
ගත්තට. කියන්න ගියෝ pause එක වෙනස් වෙයි කියලා හිතුණා" භූප එහෙම කියමින් මගේ
ලඟට එද්දිත් මම උන්නේ ඇස් පොඩි කරමින්.
"සොරි තමා. මගේ ඇස්
නිලංකාර වෙලා ගියා" මම කිව්වේ ආපහු බණ ගෙයි දිහාට යන්න හැරෙමින්.
"ඔයා කොහෙද මේ තකහනියක්
දුවන්නේ ඉතිං?" එහෙම ඇහුවේ භූප එක්ක
උන්නු පුබුදු අයියා.
"මේ මල් ටික දෙන්න ඕන
බණ ගෙට. පිරිත් මණ්ඩපෙන් තියන්න" මම කිව්වා.
"හරි ඕක දෙන්නකෝ මම
ගිහින් දෙන්නම්. ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ" බලෙන්ම වගේ මගේ අතින් මල් වට්ටිය
ගත්තු පුබුදු අයියා මම මුකුත් කියන්නත් කලින් එතනින් ඈතට ගිහිල්ලා උන්නා. මම
හිටියේ හදිසියේම වුණ දේවල් හන්දා අන්ද මන්ද වෙලා.
"එයාට මක් වෙලාද, මල් වට්ටිය අරන් දිව්වේ?" මම ලඟ උන්නු භූප දිහාට හැරෙමින් ඇහුවා.
"ඔයානේ හදිසියෙන් වගේ
දුව දුව හිටියේ. ඒකයි එයත් දුවන්න ඇත්තේ" භූප එහෙම කිව්වේ මා දිහා බලලා
යන්තම් හිනා වෙලා.
හිතේ එතෙමින්
තිබ්බ කෝල ගතිය ආපහු ඉස්මතු වුණා ඒ හිනාවයි, ඒ දෑසයි ලඟදි.
මම බිම බලාගත්තේ ඒකයි.
"දැන් ඔයාට හොඳටම හොඳයි
නේද?" භූප ඇහුවා.
"හ්ම්" මම හිස
වැනුවා.
භූප ඊට පස්සේ
මොහොතක් විතර නිහඬවම උන්නා.
'ම්ම්...මං යන්නද?" ඒ නිහඬ බව ඉවසන්න බැරි තැන මම ඇහුවා.
"ඔයා කොහාටද යන්නේ?"
"බාප්පා හොයා ගන්න ඕන. තව
පැදුරු දෙක තුනක් අරන් එන්න කියන්න" මම කිව්වා.
"ඇයි දහම් පාසලේ පැදුරු?"
"ඒ ටික මදි"
"එහෙමද? හා...යමුකෝ එහෙනම්" භූප අන්වසරයෙන්ම
ඉස්සර වුණා. මට පුංචි හිනාවක් ගියේ ඔහු මා ලඟ උන්නු සතුටට.
"දන්නවද?" එහෙම යන ගමන්ම් භූප මගෙන් ඇහුවා.
"මොකක්ද?"
"ඔයා අද ලස්සනයි"
ඔහු එහෙම කිව්වාම මගේ කම්මුල් රතු වෙන්න ඇති.
"බොරු කියන්න එපා"
මම කිව්වේ හෙමින්.
"නෑ ඇත්තමයි. ඇත්තටම
ලස්සනයි"
"මම මීට කලින්
කොච්චරවත් මේ ඇඳුම ඇඳලා තියෙනවා" මම එහෙම කිව්වේ ඔහු දිහා නොබලා.
"මට මතකයක්
නෑ...සමහරවිට මම එහෙම උනන්දුවෙන් බලන්න නැතුව ඇති, දැන්
වගේ..." භූපගේ හඬ දයාබරයි. මගේ හිත වේගයෙන් නොසන්සුන් වෙමින් තිබුණා.
"දැන් වගේ?"
"හ්ම්...ඔව්. දැන් වගේ"
ඔහු එහෙම කියලා පොඩ්ඩක් නිහඬ වුණා. "දුලාරා..." ඊට පස්සේ ඔහු ආයෙම මාව
ඇමතුවා.
"ඇයි?" මම ඇහුවේ හෙමිහිට.
"කියන්න මට ඇයි එදා හවස ඔයා අර
විදියට ඇස් වල කඳුලු පුරව ගත්තේ කියලා?" භූප එහෙම
ඇහුවේ මම කොහෙත්ම බලාපොරොත්තු නොවුණ විදියට.
මට ඔහු දිහා
බැලුණේ ඉබේටම. ඔහුත් බලාගෙන උන්නේ මා දිහා. මම ආයෙම අහක බලා ගත්තා.
"මම මෙච්චර කාලෙකට
කවදාවත් දැකලා නෑ ඔයාව එහෙම. මම හෙණට අප්සට් ගියා. මම දන්නෑනෙ මගේ අතින් වරදක්
වුණාවත් ද කියලා"
"එහෙම දෙයක් නිසා
නෙවෙයි"
"එහෙනම්?"
"මම දන්නෑ භූප..."
මම කිව්වේ එච්චරයි.
"දුලාරා...ළමයෝ කෝ
බාප්පා හොයා ගත්තද?"
අපට ටික
එහායින් වෙන්න කොහේදෝ දුවමින් උන්නු පුංචි අම්මා හිටි ගම මාව දැකලා එතන ඉඳන්ම කෑ
ගහලා ඇහුවා.
"මේ හොයනවා පුංචි
අම්මා" මම කිව්වේ එක පාරටම ගැස්සුන හිතින් යුතුව.
"ටක් ගාලා හොයාගෙන
පණිවිඩේ කියන පුතේ...දැන් පිරිත පටන් ගන්න එතන ලෑස්ති කරන්වා ඇති නේ" පුංචි
අම්මා එහෙම කියාගෙනම සෙනග අස්සේ අතුරුදහන් වුණා. සුසුමක් හෙලපු මම මොහොතකට භූප
දිහා බැලුවා.
"අපි...පස්සේ කතා
කරමු" භූප මට කිව්වේ එහෙම.
මම ඔහුට
උත්තරයක් නොදීම එතනින් එන්න ආවා. හිත තිබුණේ වේගයෙන් ගැහෙමින්.