Tuesday, November 22, 2016

විහංඟනාවී : පනස් පස්වන කොටස

"ආ..මෙන්න මෙයා ඇවිල්ලා. මොකද අප්පේ දැන් සති අන්තෙත් ඉඳලා සඳුදම එනවා කියලා නේද ගියේ?"
රවීන්ට කලින් ඔෆිස් එක ඇතුලට ආපු අයුමි තිගැස්සුනා ඒ හඬට. ඈ අසලට හිනාවෙවී එමින් උන්නේ ප්‍රියන්ති. අයුමි හිනාවක් නගාගත්තේ අපහසුවෙන්.
"ඔව් අනේ. එන්න වුණා" ඈ කිව්වේ එච්චරයි.
"ඒ මොකෝ, බොසාට පාලුයි කියලා එන්න කිව්වද" ප්‍රියන්ති ඇහුවේ හිනාවෙවීමයි.
"ඔයාට නම් පිස්සු ප්‍රියා"
"පිස්සු නෙවෙයි. එදා ඔයා ගියාට පස්සේ බොසුත් කඟවේනා වගේ කඩාගෙන ඔෆිස් එකෙන් යන්න ගියා. අපි නම් හිතුවේ ඔයා..." ප්‍රියන්ති කිය කිය හිටපු දේ එහෙමම ඈ ගිල ගත්තේ අයුමිට පිටිපස්සෙන් ආපු කෙනෙක් දිහාට ඇහැ ගියාම. අයුමි දැනගත්තා ඒ රවීන් කියලා.
"ගුඩ් මෝනිං සර්..." ඒ පාර ප්‍රියන්ති ගරු සරු බවකින් කිව්වේ රවීන්ට යන්න ඉඩ දෙන ගමන්.
"ගුඩ් මෝනිං. ගුඩ් මෝනිං. මොකද මේ අවුරුදු ගානකින් හම්බවෙලා වගේ දෙන්න කිචි කිචි ගාන්නේ?" රවීන් එහෙම අහගෙනම උඩට යද්දි ප්‍රියන්ති උත්තරයක් දුන්නෙත් නෑ.
"හප්පා...මම දැක්කේ නෑ එයා ආපු වග. හා හා ඔයත් දැන් යන්න. නැත්තම් අනික්පාර තවත් එකක්. බොසා මේ දවස් වල ටිකක් අප්සට් පිට වගේ නේ ඉන්නේ" ප්‍රියන්ති කිව්වේ අයුමිව හිමින් තල්ලු කරන ගමන්.
"අප්සට් පිට කිව්වේ?" යන්න ගියපු අයුමි හැරිලා ඇහුවේ දැන් දැන් අහන දකින ඕන දේකින් සැලෙන්න තරම් ඇගේ හිත දුර්වල වෙලා තිබ්බ නිසා.
"අර ගෑනියෙක් ඇවිත් ගිය වෙලේ ඉඳන් බොස් ඉන්නේ අමුතු වෙලා කියලා ඔයාට තේරුණේ නැද්ද. අනේ මන්දා, ඔයාට කිව්වට මොකද පටන් ගන්න කොට පුදුමාකාර ඇල්මල් බැල්මක් තියෙන්නේ. එතකොට ඔය එක එක්කෙනා හැමදාම ඔෆිස් එකේ. එපා වුණාම මගාරිනවා. අපි ඒවට බොරු කියනවා. මිස්ටර් රවීන් අපට ගොඩාක්ම හිතවත් නිසා නොවෙන්න මම නම් මෙහෙම දේවල් කරන්න ආස නෑ අයුමි. ඇත්තටම. ඔයා දැන් යන්නකෝ. අපි පස්සේ කතා කරමු" ප්‍රියන්තිම ඒ පාර යන්න හැරුණා.
අයුමි උඩට එන්න ආවේ තවත් හිත අවුල් කරගෙන. නොකිව්වට ප්‍රියන්ති ගොඩක් දේවල් දන්නවා ඇති කියලා අයුමිට හිතුණා. ඒ පාර ඇගේ හිතේ ඇතිවුණේ නොඉවසිල්ලක්. කොහොමද, කවදද ඒ දේවල් දැනගන්නේ කියලා.
කල්පනාවෙන් කල්පනාවෙන් ගිය නිසාම ඔෆිස් රූම් එකට ඇතුල් වෙලත් අයුමි දැක්කේ නෑ රවීන් උන්නෙත් ඒක ඇතුලේ බව. ඔහුව දැක්ක ගමන්ම ඈ තිගස්සුනේ ඒකයි.
"මොකද මේ බය වෙලා වගේ?" රවීන් ඇහුවේ ඇගේ මූණේ පෙනුම දැකලා.
"නෑ මං මේ වෙන කල්පනාවක ආවේ"
"ම්ම්... මට හිතුණා. උදේ පානදරම මොකක් හරි ඕපදූපයක් අහගත්තද ප්‍රියන්තිගෙන්?" රවීන් ඇහුවේ විහිලුවෙන් වගේ.
ඒත් අයුමිට හිනාවෙන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ඈ මුකුත් නොකියම ගිහින් මේසේ උඩින් බෑග් එක තිබ්බේ හීන් සුසුමක් හෙලන ගමන්.
"දැන් ඔය මොකද මූණ එල්ලගෙන?" ඒ පාර රවීන්ගෙත් හඬ තිබ්බේ ටිකක් නොරිස්සුම් වෙලා.
"මුකුත් නෑ" අයුමි කිව්වේ ඔහු දිහා නොබලා.
"මුකුත් නැත්තේ මොකද. මොකක් හරි තියෙනවා. විකාර නොකර කියන්න මොකක්ද ප්‍රශ්ණේ කියලා" රවීන් ඒ පාර ඈ ලඟටම ඇවිත් ඇහුවා.
අයුමි ඔහු දිහා බලලා බිම බලාගත්තා.
"ඔව් ඉතිං දැන් මම විකාරයක් නේ ඔයාට" ඈ කිව්වේ හෙමින් උනත් ඒ වචන වල තිබ්බේ ලොකු නොරිස්සුමක්.
"අයුමි ප්ලීස්. ඔයාට ඕන රණ්ඩු වෙන්නද? ප්‍රියන්ති ඔයාට පහලදි මොනාද කිව්වේ?"
"ප්‍රියන්ති කියපු දෙයක් නෑ"
"එහෙනම්?"
"මම කොහොමද රවීන් මේ ඔෆිස් එකේ මෙහෙම වැඩ කරන්නේ? කට්ටිය මොනා හරි විදියකින් දැනගත්තොත් මම ඉන්නේ ඔයාගේ අපාට්මන්ට් එකේ කියලා, හිතන්න ඒක අපි දෙන්නටම හොඳ නෑ. විශේෂයෙන්ම ඔයාට. මට තේරෙන්නේ නෑ. මට ඉස්සර හිටියා වගේ ඔෆිස් එකේ ඉන්න දැන් මානසිකත්වයක් නෑ" අයුමි කිව්වේ ඇගේ හිතට වද දෙමින් තිබ්බ එක ප්‍රශ්ණයක් විතරයි.
රවීන් සුසුමක් හෙලුවා.
"ඉතිං මොකද්ද දැන් ඒකට කරන්න පුලුවන්?" ඔහු ඉන්පස්සේ ඇහුවා.
අයුමි ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඈ ඔහුගෙන් බලාපොරොත්තු වුණේ ඒ වගේ උත්තරයක් නෙවෙයි.
"එක්කෝ මම අපාට්මන්ට් එකෙන් යන්න ඕන. නැත්තම් මෙහෙන් යන්න ඕන" අයුමි කිව්වේ තරහටමයි.
"ඔයාට නම් මොනා වෙලාද කියලා මම දන්නේ නෑ අයුමි. ඔය කියපු දෙකෙන් එකක් වත් වෙන්නේ නෑ. දැන් ඔයාට තියෙන ප්‍රශ්ණේ අපි ගැන දැණගත්තොත් කියන එකනේ. එහෙම නොදන්නවා නම් නොදන්නේ හසිකයි, ප්‍රියන්තියි විතරයි. අස්මිර්, සමින්ද දෙන්නම මේ ගැන දන්නවා. ඔයාට ඕන නම් ඔයාම ප්‍රියන්තිටයි, හසිකටයි කියන්න. නැතත් මෙහෙම යද්දි ඒ අය දැනගනියි. එක්කෝ දැනටමත් දන්නවත් ඇති. හරිද?" රවීන් කියාගෙන යද්දි අයුමිගේ හිතේ බරක් වගේ හැඟීම ටිකක් අඩු වුණා වගේ වුණත් හිතේ නොරිස්සුම සම්පූර්ණයෙන්ම පහ වුණේ නෑ.
"අයුමි මේ අහන්න. දෙයියන්ගේ නාමෙන් ඔය එක එක්කෙනාගෙන් දේවල් අහගෙන ඇවිත්, දේවල් හිතේ මවාගෙන මා එක්ක රණ්ඩු වෙන්න එපා" රවීන් එහෙම කිව්වම අයුමි ආයෙම ඇවිස්සුනා.
"ඔයා කොහොමද කියන්නේ ප්‍රියා මට මොනා හරි කිව්වා කියලා? එයා ඔයා ගැන එච්චර දේවල් දන්නවද, කියලා මාව අවුල් කරන්න තරම්?"
අයුමි එක පාරටම එහෙම අහපු නිසාදෝ ටිකක් පුදුම වුණ වගක් පෙන්නපු රවීන් උත්තර දෙන්න වෙලාව ගත්තා. 
"මම දන්නේ නෑ ඔයාට මොනා වෙලාද කියලා. මා එක්ක රණ්ඩු කරන්න එපා. එච්චරයි මං කියන්නේ. ප්‍රියන්ති මොනවත් දන්නවා කියලා මම කිව්වේ නෑනෙ. ඒත් දැන් මෙහේ වැඩ කරන්නේ කොහොමද, අරකද මේකද කියලා ඔයා කියන්න ගත්තේ මේ දැන් නේ. ප්‍රියන්තිත් එක්ක කතා කරලා ආවට පස්සේ නේ. ඔයාට මාව මෙච්චරම සැකද අයුමි? මෙච්චර දේවල් වුණාට පස්සෙත්? මම ඔයාට පිස්සෙක් වගේ ආදරේ කරද්දිත්?" තරහින් ගල් වෙලා තිබ්බ අයුමිගේ හිත එක පාරටම දිය වුණා වගේ වුණා ඒ අන්තිම වචන පෙල ඇහෙද්දි.
ඇගේ දෑස් වලට කඳුලු පිරීගෙන ආවේ ඊටපස්සේ. ඒත් රවීන් එවෙලේ ඈ උන්නු තැනින් ඈත් වෙලා ඔහුගේ මේසේ පැත්තෙන් ජනේලේ ලඟට ගිහින් උන්නා. කොහෙන්දෝ මන්දා ගත්තු සිගරට් එකක් ඔහු පත්තු කරගත්තේ පුරුද්දට වගේ. අයුමිගේ හිත සලිත වුණා ඒක දැක්කම. ඈ ඒ පාර රවීන් ලඟට හෙමින් පා නැගුවේ ඔහු ගැන දුකකුත්, වෙච්ච දේවල් ගැන පසුතැවිල්ලකුත් හිතේ ඇති වෙද්දි.
"රවීන්.." ඈ කතා කරද්දි රවීන් උන්නෙ සිගරට් එකත් අතේ තියාගෙන ජනේලෙන් එපිට බලාගෙන.
"රවීන්...අහන්න. අයෑම් සොරි. ප්ලීස් මා එක්ක තරහා වෙන්න එපා" අයුමි ආයෙම කිව්වත් ඔහු උන්නේ නෑසුකන්ව.
ඒ පාර අයුමි ඔහුගේ අතේ තිබ්බ සිගරට් එක ඇදලා අරන් ජනෙල් පඩෛය උඩ තිබ්බ ඇෂ්ට්‍රේ එකට දාලා පොඩි කලා. ඔහු ඒත් ගල් රූපයක් වගේ උන්නා විතරයි.
"මා එක්ක කතා කරන්නකෝ රවීන්" අයුමි යන්තමට ඔහුගේ අතින් අල්ලලා බැගෑපත් වුණා.
රවීන් ඈ දිහා බැලුවේ ඒ වෙලාවේ. ඔහුගේ ඇස්වල තිබ්බේ මොකක්දෝ දුකක්.
"ඇයි මාව අවිශ්වාස කරන්නේ?" රවීන් ඇහුවේ මුදු හඬින්.
ඒ වචන ආයෙම අයුමිගේ දෑස්වලට කඳුලු ගෙනාවා.
"එහෙම...නෑ...රවීන්"
"ඇයි මේ මන්ස්ගත හිතේ මවාගෙන අපි දෙන්නා අතරේ ප්‍රශ්ණ ඇති කරගන්නේ? ඔයා හැමවෙලේම හිතන්නේ අපි අතරේ ලොකු පරතරයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑ. ඔයා මගේ. ඒ නිසාම මේ බිස්නස් එක, මගේ ළමයි මගේ හැමදේම ඔයාගේ. හැමදේම smoothly ලස්සනට පිලිවෙලක් කරගන්නේ කොහොමද කියලා මම හිත හිත වද වෙද්දි, ඔයා මෙහෙම වෙන එක මට අමතර බරක් අයුමි. එහෙම වෙන්න එපා. මට ඕන ඔයාව මගෙම කරගන්න. හැමදේම ලස්සනට විසඳගෙන ඔයාලගේ පවුලේ අයගේ හිතුත් හදලා හොඳින් ජීවත් වෙන්න. ඒක විශ්වාස කරන්න අයුමි. මම ඔයාව කිසි වෙලාවක රවට්ටන්නේ නෑ"
රවීන් එහෙම කියලා කතාව ඉවර කරද්දිම අයුමි කලේ දෝතිම ඔහුගේ අත අල්ලගෙන ඔහුට තුරුල් වුණ එක.
"මට සමාවෙන්න රවීන්" ඈ කිව්වේ කඳුලු ඔහුගේ අත තෙමද්දි.
"අඬන්න එපා ප්ලීස්. ඔය ඇඬුවා ඇති. මම දන්නවා ඔයා ගෙදර ප්‍රශ්ණේ නිසා ඉන්නේ අප්සට් එකේ කියලා. අපාට්මන්ට් එකේ තනියෙම ඉද්දි හිත හිත ඉඳි කියලා ඔෆිස් එක්ක ආවම මෙහෙදිත් ඔයා ඉන්නේ අවුල් වෙලා. ආපහු යන්න ඕනේ නම් ගිහින් රෙස්ට් කරනවද එහෙනම්?" රවීන් කිව්වේ ඇගේ හිස හෙමින් පිරිමදින ගමන්.
"මට තනියෙම ඉන්න බෑ එහේ" අයුමි කිව්වා.
"ම්ම්... එහෙනම් ඔෆිස් එකේ මොකක් හරි වැඩක් කරන්න බලන්නකෝ. මම දැන් පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්න  යන්න ඕන. තාත්තා දැනුත් කෝල් එකක් දුන්න කොහේද අහලා. මම ලන්ච් වලට එන්න බලන්නම්. ඊටපස්සේ අපි කලින් යමුකෝ" රවීන් කිව්වා.
අයුමි හිස වැනුවා හෙමින්. රවීන් ඊලඟට පාත් වෙලා හෙමින් ඇගේ හිස ඉඹලා ආයෙම හිස මුදුවට පිරිමැද්දා. අයුමි දෑස් පියාගෙන ඒ ආදරේ ඉවසගෙන උන්නේ, රවීන්ගේ ආදරේ, රැකවරණේ නැති වුණොත් ඈට  මේ ලෝකේ දැන් වෙන කිසි දෙයක්  නෑ නේද කියලා කල්පනා කරමින්.
"ඒක නෙවෙයි දැන් ඔයාගේ බෝඩිමට ගිහින් බඩු ටික අරන් එන්නත් ඕන නේද? මට ඒක අමතකත් වුණා. ඔයාට ඕන නම් ඔයාව මම දැන් ගිහින් දාන්නම්. බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න මම එන ගමන් පික් කරගෙන එන්නම් ඔයාව. එහෙම කරමුද?"
තුරුල් වෙලා, අඬලා, රණ්ඩු වෙලා ඉවර වෙලා රවීන් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් එහෙම ඇහුවේ අයුමි මේසේ ලඟට ගිහින් කම්පියුටරේ ඔන් කරද්දි.
"ආ...දැන් මම මේ වැඩක් කරන්න බැලුවේ. ඔයා යන්නකෝ රවීන්. අර shipping  company එකේ ඉන්ටීරියර් එකේ වැඩේ තව ඉවර නෑ. එදා...මම හදිසියෙන් ගියානේ. (අයුමි ඒක කිව්වේ ලැජ්ජාවෙන් වගේ). ඒක මම ඉවර කරන්න බලන්නම්. ලන්ච් වලට කලින් ඉවර උණොත් මම බස් එකේ බෝඩිමට ගිහින් බඩු ටික හදලා එන්නම්. හවස යද්දි අපට පුලුවන් නේ අරන් යන්න"
ඒ පාර රවීන්ගේ මූණට නැගුණේ හිනාවක්.
"ඇයි ඒ පාර හිනාවෙන්නේ?"
"නෑ...මගේ පොඩි වැඩකාරි දැකලා"
"වැඩකාරි?"
"ඔව් ඉතිං ඔයා වැඩ්ඩා නේ කොහොමත්. වැඩ කරද්දි ඔය ප්‍රශ්ණ ටිකක් ඔලුවෙන් අයින් වෙයි. බෝඩිමට යනවා නම් බස් එකේ යන්න එපා. කැබ් එකක් ගෙන්නගෙන යන්න"
"අනේ ඕන නෑ රවීන්. නිරපරදේ සල්ලි නේ"
"එහෙම නෑ. කම්පැනි එකේ අයිතිකාරයගේ වයිෆ් වෙලා ලැජ්ජ නැද්ද බස් වල යන්න?"
"වයිෆ් වුණාමනේ ඒ ලැජ්ජාව. එතකල් එහෙම එකක් නෑ"
"ඔය ඉතිං කියන දේ අහන්නකෝ ළමයෝ"
"හා හා හරි. දැන් ඔයා යන්නකෝ. තාත්තා බලාගෙන ඇති. පොඩි දෙන්නත් බලාගෙන ඇති"
"හ්ම්. මම ගිහින් එන්නම්කෝ එහෙනම්. බෝඩිමට යනවා නම් කෝල් එකක් දෙන්න හොඳේ"
"හා"
රවීන් හිනාවක් පාලා අයුමිගේ කම්මුලක් යාන්තමට අතගාගෙන කාමරෙන් පිට වුණා.
ඔහු ගිය දිහාව මොහොතක් බලාගෙන උන්නු අයුමි සුසුමක් හෙලලා ආයෙම කම්පියුටරේට එබුණේ වැඩේ ආපහු පටන් ගන්න.

3 comments:

  1. කොයි තරම් දවසක් බලා ගෙන හිටියද අලුත් කොටසක් දාන තුරු පරණ ඒවා කියව කියවා. thanks ලස්සන කොටසක් දැම්මට..

    ReplyDelete
  2. අනේ නෙතූ ඉස්සර වගේ සතිය ගානේ කථාව දාන්න අමාරුද? හරිම ලස්සනයි ඔයාගේ කථා. හැමදාම ඊළඟ කොටස කියවන්නේ කවද්ද කියලා පොත්ගුලට ගොඩවෙලා යන්නේ හරිම දුකින්...

    ReplyDelete