Friday, September 26, 2014

අසූ හත්වන කොටස



කවුදෝ කියලා තියෙනවා කරදර එද්දි එන්නේ එක පිටමයි කියලා. අනුක් ඇවිත් ගියාට පස්සේ හිතේ තිබ්බේ ලොකු හිඩැසක් වගේ එකක්. හිත කරදර වෙලා තිබ්බ ඒ දවස්වලම තවත් ඒකට කරදර එකතු වුණේ භූප හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්න පටන් ගෙන තිබුණ හන්දා.
වැඩට යන්න ආපහු පටන් ගෙන තිබ්බ හන්දා, භූප සතියකට දවස් තුනක්වත් උන්නේ ගෙදරඉන් පිට. ඒ දවස්වලදි හරියට බෙහෙත් බොනවදවත් කියලාවත් අපි දැනගෙන හිටියේ නෑ. අපි ඒක අහනවටත් ඔහු කැමති වුණේ නෑ. ඒනිසා මම වගේම භූපගේ ගෙදර අයත් හිටියේ නොසතුටින්. වෙනදා මම එනකල් මග බලාගෙන උන්නු භූප ගෙදර ඉන්න දවසටත් මම එනවට කැමති නෑ වගේ කියලා මට හිතුණා. ඒක මගේ හිතලුවක්ද කියන්න මම දන්නේ නෑ, ඒත් මට ඒක එහෙම දැනුනා. කවදාවත් නැති විදියට අපි අතරේ පුංචි පුංචි බහින් බස් වීමුත් ඔය අතරේ ඇති වෙන්න ගත්තම මගේ හිත තිබ්බේ යකාගේ කම්මල වගේ වෙලා.
"මම දන්නෑ අපේ අයියට මොනා වෙලාද කියලා දුලා"
මගේ ප්‍රශ්ණේ ගැන අහපු කේතකී කිව්වේ මගේ හිස අතගාමින්. අපි උන්නේ එලියේ අඹගහ යට බංකුවේ වාඩි වෙලා.
"ඇයි කේතකී එයා මෙහෙම කරන්නේ?" මම ඇහුවේ කඳුලු පිහින් ගමන්.
"අනේ මන්දා දුලා. එයා මහ හිතුවක්කාරයි. අම්මලත් ඉන්නේ හිතේ දුකෙන්"
"මට හිතෙනවා එයාට මාව එපා වෙලාදෝ කියලා. මම එයා වෙනුවෙන් කොච්චර දේවල් කලාද කේතකී? මම ජීවිතේ මේ වෙනකල් කැප කලේ එයා වෙනුවෙන්. ඇයි එයා ඒක තේරුම් නොගන්නේ? ඇති අමතක වෙලා වගේ ඉන්නේ?"
"මටත් තේරෙන්නේ නෑ දුලා...එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඔය මොනා කිව්වත්. මම ඒක දන්නවා සහතිකෙන්ම"
"ආදරේ නම් කොහොමද මෙහෙම කරන්නේ?" මම ඇහුවත් ඒකට උත්තරයක් කේතකී ගාව තිබ්බේ නෑ.
ඒ ප්‍රශ්ණේ එහෙම වෙද්දි අනෙක් පැත්තෙන් හිතට බරක් වෙලා උන්නේ අනුක්. එදා ගියායින් පස්සෙම ඔහු මට කතා කලේම නැහැ. කතා කරන්න ඕන වුණත් මම කතා නොකලේ තියෙන ප්‍රශ්ණ තවත් දුරදිග යවාගන්න ඕන නැති හන්දා. හිතට සහනයක් තිබුණේ ලොකු අයියගේ පුංචි දුව එක්ක ගත කරන කාලෙදි විතරයි. එහෙමත් නැති සමහර වෙලාවලදි මම තනියෙම කාමරේට වැදිලා කල්පනා කලේ කවදා කොහොම මේ දේවල් පිලිවෙලක් වෙලා හිතට නිදහසක් ලැබේවිද කියලා.
****
"භූප..."
මම එක සෙනසුරාදා දවසක ඔහුව බලන්න යද්දි ඔහු කාමරේට වැදිලා බරටම වැඩක. කාමරේ පොලව පුරාම ෆොටෝ මහ ගොඩක් අතුරලා, කකුල තියන්නවත් ඉඩ නෑ.
"හා..හා...පාගන්නේ නැතුව එන්න. ඇයි?" භූප ඇහුවේ මා දිහා යන්තමින් බලලා.
"මේ උදේ බොන්න ඕන බෙහෙත් තාම මේසේ උඩ. අම්මා දෙන්න කිව්වා" මම කිව්වේ ඔහුගේ බෙහෙත් පෙති කීපය වතුර වීදුරුවත් එක්ක දික් කරමින්.
"තියන්නකෝ මම බොන්නම්" ඔහු කිව්වේ මා දිහා නොබලා, පිංතූර එක දෙකක් තෝරලා පැත්තක තියන ගමන්.
"අනේ මේක බීලා ඔය වැඩේ කරන්නකෝ" මම කිව්වා.
ඔහු මා දිහා බැලුවේ කරදරකාරී කෙනෙක් දිහා බලන විදියට.
"තියන්න කිව්වනේ මම බොන්නම්. ඔයා අම්මට වැඩිය හපන් නේ"
"බේත් වේල මගාරින්න එපා භූප. ඔයාටමනේ හොඳ නැත්තේ" මම කිව්වේ ආදරෙන්, ඒත් හිතේ තිබ්බේ දුකක්.
"දැන් ඔය බෙහෙත් බිව්වා කියලා අපිට නොමැරී ඉන්න පුලුවන්ද?" ඔහු ඇහුවේ ආයෙම වැඩේට යොමු වෙන ගමන්. "අනික මට දැන් හොඳයි. ඔව්වා බොන්න ඕන නෑ"
"එහෙනම් දොස්තරලා දෙන්නේ මොකටද?"
"දෙන්නේ සල්ලි වලටනේ" භූප කිව්වේ උපහාසෙන් වගේ.
"අනේ මන්දා ඔයාට මොනා වෙලාද කියලා භූප" මම කිව්වේ ඉවසන්නම බැරි තැන.
"මට කරදර නොකර පොඩ්ඩක් ඉන්නවද" ඔහු ඊට පස්සේ කිව්වම මගේ හිත හොඳටම රිදුනා.
"ඉන්නවා නේන්නම්. දැන් මං කීයේ ඉඳන්ද ඉන්නේ? උදේ ඉඳන්. ඔයා සතියේ දවස් වලට ගෙදර නෑ, ඒ මදිවට ඉන්න දවස් වල කතා කරන්නෙත් නෑ" මම නෝක්කාඩුවක් කිව්වා.
"ඔයා එක්ක කතා කර කර ඉඳලා හරියන්නේ නෑනෙ. මේ වැඩ ඉවර කරන්න ඕන නේ. කතා කරනවට කවුරුත් ගෙවන්නේ නෑ දුලාරා"
ඔහුගේ නිර්දය වචන මගේ හිතට එකතු කලේ ලොකු දුකක්. මට ඇඬෙන්න ආපු තරමයි.
"අනේ ඇයි භූප ඔයා මෙහෙම කතා කරන්නේ? අපි දෙන්නට බැරිද ඔය වැඩේ කරන්න? ෆෝටෝ තෝරන්න මටත් පුලුවන්. ඇයි මාවත් ගන්න බැරි? වැඩ කරන ගමන් අපට කතා කරන්න බැරිද?"
"ඔයාට මේක කරන්න තේරෙන්නේ නෑ" භූප කිව්වේ මා දිහාවත් නොබලා.
මගේ හිතේ තිබ්බ දුක වැඩි වුණා එක්කම හිතට ආවේ ලොකු ආවේගයක්.
මම වීදුරුව දඩස් ගලාමේසේ උඩ තියලා ෆෝටෝ එහාට මෙහාට කරගෙන ඔහු අසලට ගියේ ඒ ආවේගෙන්මයි.
"දුලාරා...ඔය ...මේ...මොකක්ද කරන්නේ?"
"මොකක්ද කරන්නේ කියලා අහන්න ඕන මම භූප"
භූප මා දිහා බැලුවේ කෝපයෙන් වගේ.
"මොකක්ද දැන් වෙලා තියෙන්නේ?"
"මුකුත් වෙලා නැද්ද?"
"දුලාරා මේ...කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න, වහෙන් ඔරෝ නැතුව"
"ඔයා ඇයි මෙහෙම කරන්නේ භූප? බලන්න දැන් දවස් දහයකින් විතර අපි හම්බවුණේ. ඒත් ඔයාට මා දිහා බලන්නවත් වෙලාවක් නෑ"
"මේ දවස්වල වැඩ ගොඩයි. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ"
"ඒ වැඩ අස්සේ මාව එක පාරක්වත් මතක් වෙන්නේ නැද්ද ඔයාට? එක කෝල් එකක දෙන්නවත් ආ? මම කෝල් කරත් ඔයාට කතා කරන්න වෙලාවක් නෑ"
"පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා දුලාරා. මේ වැඩ මේ ඔෆිස් එකකට ගිහින් ඉඳගෙන කරන ඒවා නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ. ඉතිං එහෙම වෙලාවක් කියන්න බෑ නිදහසක් තියෙන. වැඩ ඉවර වෙද්දි රෑ වෙනවා. එවෙලෙට ඔයා නිදි"
ඔහු එහෙම කියද්දි මම ඔහු දිහා බලාගෙනම උන්නා.
"ඔයා වෙනස් වෙලා භූප" මම කිව්වේ දුකින්.
"මිනිස්සුන්ට හැමදාම එකවගේ ඉන්න බෑ" ඔහු කිව්වේ ආයෙම පිංතූර දිහාට යොමු වෙන ගමන්.
"ඔයාට මාව එපාද භූප?" මම ඇහුවේ හැණ්න්දුම්බරව.
"දැන් මම එහෙම කිව්වද?"
"කිව්වේ නැති වුණාට ඔයා හැසිරෙන්නේ එහෙම"
"මන්ස්ගාත ඔලුවට නොගෙන, මට මෙන්න මේ වැඩේ ඉවර කරන්න දෙන්න"
භූප ඊලඟට කිව්වා.
"බෑ. ඔයා දැන් මා එක්ක කතා කරන්න එන්නම ඕන" මම කිව්වේ හිතුවක්කාර විදියට.
"විකාර කියන්න එපා"
"මාව දැන් ඔයාට විකාරයක් වගේද පේන්නෙත්?"
"දුලාරා...පොඩි ළමයෙක් වගේ මුරණ්ඩු වෙන්න එපා. මේ වැඩේ ඉවර වෙලා අපි කතා කරමු"
"කවද්ද ඉවර වෙන්නේ?"
"දුලාරා...මගේ යකා අවුස්සගන්නේ නැතුව පොඩ්ඩක් මට මේක ඉවර කරන්න දෙනවද?"
"යකා අවුස්සගන්න?" මට හිතාගන්න බැරි වුණා ඒ කිව්වේ භූපමද කියලා.
"ඔයා මම එනවට අකමැති නම් කෙලින්ම කියන්න භූප. මෙහෙම කෙනහිලිකම් කරලා මට වද දෙන්න එපා"
"ඔයාට එහෙම හිතෙනවා නම් නෑවිත් ඉන්න" භූප කිව්වේ නිර්දය විදියට.
මම ඔහු දිහා බලාගෙන උන්නේ මගේම කන්දෙක අදහාගන්න බැරුව.
"මොකක්ද ඔයා කිව්වේ?"
"කිව්ව එක ඇහුණනේ. එන්න බැරි නම් එන්න එපා"
මගේ ඇස්වලට කඳුලු පිරුණේ ඇසිල්ලකින්. එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නෑ. මම එතනින් නැගිට්ටේ එන්න. භූප සුසුමක් හෙලුවා.
"මම යනවා" මම කිව්වා.
භූප මොනවත්ම නොකියා තමගේ වැඩේ කරමින් උන්නේ මම කියපු එක නෑහුණා වගේ.
"හැමදේකම සීමාවක් තියෙනවා. ඔයා මෙච්චර දවස් කරපු වෙනස්කම් මම ඉවසුවා භූප. ඔයාට මාව එපා නම්, ඒකත් කියන්න. එතකොට හරිනේ. එක පාරක් කිව්වා වගේ කියන්න" මම කිව්ව්වේ දුකෙන්, තරහින්.
මා දිහා බැලුවත් තවමත් මොනවත්ම කිව්වේ නෑ.
"මම ආයේ එන්නේ නෑ. ඔයාට මාව ඕන නම් එහාට එන්න" මම එහෙම කියාගෙන එලියට ආවේ ඇස් වලින් කඳුලු බේරෙද්දි.
අන්තිමට භූප හම්බවෙන්න හිතාගෙන සන්තෝසෙන් ගෙදරින් එලියට බැස්ස මම ආපහු ගෙදර ගියේ වේදනාවෙන් ඔද්දල් වුණ හිතක් එක්ක. මට එහෙම කියන්න කරන්න හේතුව දැනං උන්නේ භූපම විතරයි.
ඒත් මා එක්ක කතා කරන්න භූප අපේ ගෙදර ආවේ නෑ. එදා මුලු හවසම මම උන්නේ ජීවිතේ එපා වෙලා වගේ. ඔය අතරේ තමයි නුවරින් උත්පලා අක්කා කතා කලේ. ඈ ඉස්සෙලම කතා කරලා තිබුණේ අම්මට. වෙඩින් එක කියන්න කලින් මාව එක දෙවනි මනමාලියෙකුට දෙනවද අහන්න. යශෝ අක්කයි, ගෝතමී අක්කයි අනික් දෙන්නා. ඉතිං මටත් කතා කලාම මට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. මුලදි අම්මා චේතියගේ ප්‍රශ්ණේ නිසා අදි මදි කල වගක් පෙනුනත්, අන්තිමේදි අම්මා කැමති වුණා. තාත්තා නම් කිව්වේ මගේ කැමැත්තක් කරන්න කියලා. ඒකෙන් මේකෙන් ආපහු අස්ගිරියේ ගෙදර යන්න අවස්ථාවක් එලඹෙන එක තමයි අන්තිමට වුණේ. භූපගේ ප්‍රශ්ණේ යාන්තමට පොඩ්ඩක් අමතක වෙන්න ඒක හේතුවක් වුණේ, අම්මයි මමයි මුලු හවසම ඒ ගැන කතා කරමින් උන්නු නිසා.
මගේ හිත යට බලාපොරොත්තුවක් තිබුණා භූප කතා කරාවි කියලා. ඒත් ඔහු කතා කලේ නෑ. හිත තිබුණේ ගොඩක් පෑරිලා. හිතේ තිබුණ දුක කියන්න අනුක්වත් හිටියේ නෑ. කේතකීට කතා කරන්න මට හිතුණෙත් නෑ. ඉතිං මම තනියෙම්ම හිතේ සේරම දරාගෙන නිදාගත්තේ ඇස් වලින් ගලපු කඳුලු කොට්ටේ තෙත් කරද්දි.

දවස් දෙකක් යනකල්ම, භූප කතා කලෙත් නෑ, මම කතා කරන්න ගියෙත් නෑ. ඒ අතරේ උත්පලා අක්කා කතා කරලා කිව්වා ඊලඟ සති අන්තේ ඇඳුම් මහන්න දෙන්න එහේ එන්න කියලා. එහෙම ගියාම ආපහු අනුක්ව මුණගැහෙන එක සහතික හන්දත් මම උන්නේ අවුල් වෙලා. අන්තිමේදි බැරිම තැන මම භූපගේ ගෙදරට කතා කලා. ඒත් ඒ වෙද්දිත් ඔහු ආපහු වැඩට ගිහින්. වෙනදට කොහේ ගියත් මට කියන භූප මෙහෙම නොකියම ගියේ ඇයි කියන්න මම දන්නේ නෑ. ගොඩක් දුක හිතුණත් මම හිතට දිරි අරගෙන භූපගේ ෆෝන් එකට කතා කලා.
"හෙලෝ" දෙපාරක් රිං වෙද්දිම භූප ෆෝන් එක ඉස්සුවා.
"හෙලෝ..." මම කිව්වේ හෙමින්.
ඒ පාර භූප මොහොතකට නිහඬ වුණා.
"දැන් තරහා ඉවරද?" ඊලඟට ඔහු ඇහුවා.
"මම තරහා වුණේ නෑ. ඔයාට නේ තරහා ගිහින් තිබ්බේ" මම තාම කිව්වේ නිවුණ ස්වරයෙන්මයි.
"මට තරහා ගිහින් තිබ්බේ නෑ..."
"එහෙනම් මම යන්න හදද්දි නැවැත්තුවේවත් නැත්තේ?"
"යන්න හදද්දි නවත්තන්න ඕන නෑ, ඉන්න ඕන නම් යන්නේ නෑනෙ ඒනිසා" භූප කිව්වේ වියලි විදියට.
හිත ආයෙම පෑරුණා.
"ඒ කියන්නේ මම නෑවිත්ම හිටියත් ඔයාට කමක් නෑ?" මම ඇහුවා.
"ඔයාට එන්න ඕන නැත්තම් මම මොනා කරන්නද?"
භූප කිව්වම මගේ ඇස් වල කඳුලු පිරුණා. ඒ එක්කම මට හිනාවක් නැගුනේ මං ගැනම උපහාසෙන්.
"මාත් එහෙම හිතුවා නං නේද? ඔයාට එන්න ඕන නෑ කියලා හිතලා මාත් හිටියා නම්...අද මට මේ දේවල් අහන්න වෙන්නෙ නෑ"
"මම ඔයාට එන්න කිව්වේ නෑ දුලාරා. ඔයා එන්න ඕන කියලා මම බලාපොරොත්තු වුණෙත් නෑ"
"භූප...ඔයා කොහොමද ඔහොම මට කතා කරන්නේ? එතකොට මම ආපු එකද වැරැද්ද?" මගේ හඬ උස් වුණේ එවෙලේ.
භූප ආයෙම නිහඬ වුණා.
"ඔයාට මාව එපාද භූප?" මම ඊලඟට ඇහුවේ හැඬුම් වල්ක්වගන්න උත්සාහ කරමින්.
"දුලාරා...පොඩි දේවල් මෙහෙම ලොකු කරගෙන බොරුවට රණ්ඩු වෙන්න හදන්න එපා. ඔයා පොඩි ළමයෙක් නෙවෙයි නේ. එදා මට ටිකක් තරහා ගිය වග ඇත්ත. මම වැඩකනේ හිටියේ. විකාර හිතන්න එපා. මට ඔයා ඕන නෑ කියලා මම කිව්වේ නෑනෙ"
භූප කියද්දි මට ඇඬුනා හොඳටෝම.
"අඬන්න එපා දැන්. මම තරහා නෑ දුලාරා...ප්ලීස් අඬන්න එපා. මම දැන් ටිකක් බිසී. මං හවසට කතා කරන්නම් ම්ම්...හරිද?"
මම මොනවත්ම කිව්වේ නෑ. භූප මොනවා කිව්වත් හිත හැදිලා තිබුණෙත් නෑ.
"මං තියන්නද? අරහේ කට්ටිය බලා ඉන්නවා මම එනකල්..ම්ම්...මං තියන්නද?"
භූප අහද්දි මම මොනවත් නොකියා ෆෝන් එක කට් කලා. හිත තිබ්බේ කලින් තිබුණටත් වඩා අවුල් වෙලා.

Wednesday, September 24, 2014

අසූ හයවන කොටස



"දෝනී...තාත්තා තාමත් නෑනෙ. පොඩ්ඩක් කෝල් එකක් වත් දීලා  බලමුද? කුඩේවත් ගෙනිච්චද මන්දා"
මට තේ එකක් හදලා දීපු අම්මා කිව්වේ වැස්ස හන්දා කලින්ම අඳුරු වෙලා තිබ්බ එලිමහනට එබෙන ගමන්.
"තාම පහමාරේ කෝච්චිය එන්න නෑ අම්මා" මම කිව්වේ ඔරලෝසුව දිහාත් බලලා. වෙලාව සටහන් වෙලා තිබුණේ පහයි විස්ස විදිහට.
"කමක් නෑ කෝල් එකක් දීලා බලන්නකෝ" අම්මා කියපු හන්දා මම තේ එකත් අරන් ගෙට ආවේ තාත්තට කෝල් එකක් දෙන්න.
මම තාත්තට කෝල් එකක් ගන්න අතරේ යාන්තමට වාහනේක සද්ද්යක් ඇහුණත් මට ඒ ගැන ලොකු අවධානයක් යොමු වුණේ නෑ. කතා කරද්දි තාත්තා උන්නේ කොච්චියේ. කෝච්චිය විනාඩි පහලවක් විතර පරක්කු වුණා කියලා කියපු හන්දා ඒක අම්මට කියන්න මම සාලෙට එද්දි සාලේ අම්මා හිටියේ තනියෙම නෙවෙයි. මම තේ කෝප්පෙත් අල්ලගෙනම එතනම නැවතුණේ සාලේ අම්මා එක්ක කතා කරමින් උන්නු අනුක්ව දැකලා. අම්මට කලින් අනුක් මාව දැක්කා. ඒ දෙන්නම මා දිහා බැලුවේ එකටම.
"ආ..දෝණි. මෙන්න ඔයාව බලන්න යාලුවෙක් ඇවිත්" අම්මා කිව්වම මට හිනාවෙන්නවත් මතක් වුණේ නැති තරමයි.
"එන්න ගෙටයමු වාඩිවෙන්න පුතේ. අද උඅන්කලුත් ගෙදර නෑ කොලඹ ගිහින්. මොකද ලමයෝ මේ අද දැක්කා වගේ බලාගෙන ඉන්නේ? ඔන්න බලන්නකෝ නේද පුතේ, නුවර ඉඳන් ආවා විතරයි යාලුවොත් අමතක වෙලා, අඩු ගානේ ගෙදර ආවම පිලිගන්නෙවත් නෑ  නේද?"
අම්මා අනුක් එක්ක සුහදව කතා කරමින් එන වෙලේ මම උන්නේ අන්ද මන්ද වෙලා. මට හිතාගන්න බැරි වුණා අනුක් මේ ආයෙම ඇවිත් තියෙන්නේ මොකද කියලා.
"පුතා එහෙමනම් කතා කර කර ඉන්න. දැන් අන්කල් එනවත් ඇති. මම තේ එකක් හදාගෙන එන්නම්, වතුර උණු වෙලා තියෙන්නේ" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියාම, වැස්සෙන් අඳුරු වුණ සාලේ අනුක් එක්ක මම තනි වුණා.
"මොකක්ද අනුක් මේ කරන්නේ?" මම ඇහුවේ රහසින් වගේ අම්මා ආපහු කොයි වෙලේ එවිද නොදැන.
"මම දන්නෑ දුලාරා" අනුක් කිව්වේ බිම බලාගෙන.
"දන්නෑ...දන්නෑ? ඒක මහ පුදුම කතාවක් නේ. ඉස්සරවෙලා මම කතා කරද්දි දමලා ගහලා ගියා. දැන් කියන්නෙවත් නැතුව ආයෙම ඇවිත්. මොකක්ද අනුක් මේකේ තේරුම?" මම ඇහුවේ නොරිස්සුමක් හිතේ මෝදු වෙද්දි.
"මම ආවේ ඔයාගේ කුඩේ දීලා යන්න" මං කියපු කිසිම දෙයක් නෑහුණ ගාණට අනුක් එහෙම කිව්වම මගේ හිත ගොඩක් සසල වුණා. මට සුසුමක් හෙලුණේ ඉබේටම.
"අනේ අනුක්...ඔයා...ඔයා කොච්චර දුර ගිහින්ද ආයේ ආවේ? අපරාදෙනේ. ඔයාට යන්න තිබුණා. මම කුඩයක් ගන්නවනේ" මම කිව්වා.
"මගේ නොවෙන දේවල් ලඟ තියාගන්න මට බෑ. ඒක හිතට දුකක් ගේනවා විතරයි අන්තිමට" අනුක් කිව්වේ මට ඇනුම්පදයක්ද?
"ඔයා ඔය කියන්නේ කුඩේ ගැන නෙවෙයිනේ" මම ඇහුවේ ඒකයි.
"මම කතාකරන්නේ මොකක් ගැනද කියලා ඔයා දන්නවා" අනුක් ඒ පාර කිව්වේ මා දිහා කෙලින්ම බලලා.
"අනුක්...ඒ ගැන තවත් කතා කරන්න මට ඕන නෑ" මම අහක බලාගෙන කිව්වා.
"හ්ම්ම්...මම ඒකත් දනන්වා"
"එහෙනං?"
"මං ආවේ කුඩේ දීලා යන්න"
"කෝ කුඩේ?" මම ඇහුවා ආයෙම කතාව වෙන පැත්තකට යන්න නොදී.
"මෙන්න" අනුක් කුඩේ මට දික් කලා.
"ඔහොම තියන්න " මම කිව්වා.
අනුක් කුඩේ නොතියම මා දිහා බලාගෙන උන්නේ දුකකින් වගේද මන්දා.
"කුඩේ හන්දම ඔයා ආයෙම ආවේ අපරාදේ. දැන් යද්දි රෑ වෙයි.කුඩේ ලඟ තියෙන එක අමාරු නම් ඒක වීසි කරලා ඔයාට යන්න තිබුණා"
"අයිති නෑ කියලා එහෙම විසි කරන්න මට බෑ දුලාරා. ඒක ඔයා දන්නවා. අනික...මම ගියේ නෑ. මම මෙච්චර වෙලා අර හන්දියට වෙලා හිටියේ"
"හන්දියට වෙලා? ඇයි ඒ?" මම පුදුම වුණා වගේම හිත ආයෙම දුකකින් පිරුණා.
"මට ඔයා එක්ක තරහා වෙලා යන්න බැරි හන්දා" අනුක් කිව්වේ එච්චරයි.
ඊලඟට තේයි, කේක් වගේකුයි බන්දේසියක තියාගත්තු අම්මා සාලෙට ආවායින් අපේ කතාව නැවතුනා එතනම. මට දැනෙමින් තිබුණේ ලොකු අපහසුතාවයක්, කියන්න ඕන දේවල් අනුකට කියාගන්න බැරි වීම නිසා. ඒ අතරේ අම්මා,අනුක් අද ආපු එක ගෑනයි, ගෝතමී අක්කලා ගැනයි, උත්පලා අක්කගේ කටයුත්ත ගැනයි අනුක් එක්ක සංවදයේ යෙදිලා හිටියා. මම ඔහේ අහගෙන උන්නා මිසක ඒ කතා කරපු වචනයක්වත් මගේ ඔලුවට ගියේ නෑ.
"දෝණි...දෝණි..." අම්මා දෙපාරක්ම කතා කරද්දියි මට ඇහුනේ මම කොයි තරම් කල්පනාවේ ගිලිලා උන්නද කිව්වොත්.
"ආ..ඇයි... ඇයි අම්මා?"
"ඔය පේන්නෑ. මේ ලමයා කොයි වෙලේ බැලුවත් කල්පනාව" අම්මා අනුක්ට කිව්වම අනුක් මා දිහා බැලුවේ හොරැහින්.
"අනුක්ට නම් ජොබ් එකකට කතා කරලලු" අම්මා කිව්වා.
"අනේ ඇත්තද? කොච්චර හොඳද" වචන වල තිබ්බ උද්‍යෝගය මගේ ස්වරයේ තියෙන්න නැතුව ඇති.
අම්මා මා දිහා අමුතු විදියට බලලා ආයෙම අනුක් එක්ක කතාවට වැටුණා.
"මෙයත් ජොබ් කීපෙකට නම් දැම්මා. ඒත් තාම මුකුත් නෑ. අනික් කටයුතුත් දැන් බලන්න ඕන. පොඩි පුතාගේ වැඩේ ඉවර වුණාම අපි දුලාරාගේ කටයුත්තත් ඉවර කරන්න ඉන්නේ පුතේ. අන්කල් මට කිව්වා ඔයා මේ දෙන්නට ගොඩක් උදව් කරපු විත්තිය. අපි මොනා කිව්වත් ඉතිං ඔව්වා වෙන්නේ ලබා උපන් හැටියට නෙව" අම්මා කියද්දි මම අනුක් දිහා බැලුවා.
ඔහු බලාගෙන උන්නෙත් මා දිහා. ඒ ඇස් වල තිබ්බේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.
"පුතා දැම්ම යන්නේ නෑ නෙ? අන්කල් එන්කල් ඉඳලම යන්න"
"අනේ ගොඩ වෙලා ඉන්න නම් බෑ ආන්ටි. දැන් මම යන්නම්. රෑ වුණොත් ලොකු අම්මලාගෙන් ලෙඩේ. දන්නෑද්ද ඉතිං. මම ආයෙම වෙලාවක එන්නම්. කොහොමත් වෙඩින් එක කියන්න එන්න වෙයි නේ" අනුක් කිව්වා.
මගේ හිත සසල නොවුණා නෙවෙයි. ඒත් මම ඒක නොපෙන්න උන්නා. අනුක් යනවා දකින්න මට ඕන වුණේ නෑ දැන්ම.
"එහෙමද? ම්ම්...පොඩිත්තක් කතා කරගෙන ඉන්නකෝ එහෙමනම්. මම කුස්සියට දුවලා එන්නම්" අම්මා අනුක්ගේ අතේ තිබ්බ හිස කෝප්පෙත් අරන් ආයෙම කුස්සියට ගිය.
මම ඉස්සරහ උලුවස්ස ල බිත්තියට හේත්තු වෙලා තාමත් වහින වැස්ස දිහා බලාගෙන උන්නා. ඊලඟ මොහොතේ මම හැරෙන්නත් කලින් අනුක් උන්නේ මගේ ලඟට ඇවිත්. කොච්චර ලඟද කිව්වොත් මම හිස හරවාද්දි ඔහුගේ පපුවේ ගෑවෙන තරම් ලඟින්. ආයෙමත් මට අර පුරුදු විලවුන් සුවඳ දැනුනා. ඒත් ඒක්කම මම ඔහුගෙන ඇතට වුණේ අම්මා ආවොත් මොනා හිතයිද කියලා බයේ. අනුක් සුසුමක් හෙලුවා.
"ඇයි දුරස් වෙන්නේ කියලා මගෙන් අහ අහා ඇයි ඔයා මගෙන් දුරස් වෙන්නේ?" අනුක් ඇහුවා.
"අම්මා ආවොත් මොනා හරි හිතයි අනුක්. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා" මම කිව්වා.
අනුක් මුක්ත්ම නොකියා ආයේම් ලොකු හිසමක් උඩට ඇදගතා.
"හ්ම්ම්...තෑන්ක්ස් ඒක මතක් කරලා දුන්නට. ඒත් මම හිතුවා එක වෙලාවක, ඔයා ඉස්සරහදි මට මං වෙන්න පුලුවන් වෙයි කියලා. පොඩි ළමයෙක් වගේ හරි, මහා ලොකු ඉලන්දාරියෙක් වගේ හරි"
"ඇයි අනුක් මෙහෙම දේවල් කියන්නේ? මොනවද ඔයා මේ කියන්නේ ආ?" මම ඇහුවේ හිත ගොඩක් රිදුම් දෙද්දි.
අනුක් මගේ දෑස් දිහා බැලුවා.
"මං ඔයාට වෙනස් විදියට සලකලා තියෙනවද? මම ඔයා කියන ඒවා අහගෙන ඉඳලා නැද්ද? ඔයාගේ ලඟින් යාලුවෙක් වගේ ඉඳලා නැද්ද? ඇයි මෙච්චර මට රිද්දන්නේ අනුක්?"
"රිද්දන්න නෙවෙයි දෙයියනේ..." අනුක් කිව්වේ ඇස් අහක් නොකරගෙනම.
"ඒත් රිදෙනවා...මගේ හිතේ රිදෙනවා අනුක් ඔයා ඔහොම දේවල් කියද්දි"
අනුක්ගේ ඇස් තවත් හැඟීම්බර වුණා.
"මම ඔයා ගැන හිතන්නේ නෑ කියලා ඔයා කොහොමද හිතන්නේවත්. ඔයා මහේ නො ඉඳපු දවස් හැම එකකම මට ඔයාව මතක් වුණා නිකමට හරි. ඔයා දන්නෑ මගේ හිත රිදුන තරම් ඔයා මට නොකියාම ගිය වග දැනගත්තම. දුරස් වුණේ මම නෙවෙයි අනුක්. ඔයා..."
"ඔව්..." අනුක් කිව්වේ බිඳුනු හඬින්. "මම එහෙම කලේ මගේ සිතුවිල්ලක් නිසාවත් ඔයාට වරදක් වෙනවා බලන්න මට ඕන නැති හන්දා...මං ඒ තරම්....වැඩක් නෑ" අනුක් කියන්නගිය දේ නොකියා හිස වැනුවා.
"එතකොට මං?"
"ඔයා මට ආදරේ කරන්නේ නෑ දුලාරා. ඒ නිසා එහෙම දුක් වෙන එක, හිතන එක ඔයාගේ පැත්තෙන් වරදක් නෙවෙයි. ඔයා මට සලකන්නේ යාලුවෙක්ට වගේ..."
"මම දන්නෑ අනුක්...මට තර්ක කරන්න බෑ" මම හිස වැනුවා.,
අනුක් ආයෙම සුසුමක් හෙලලා, හිස වනලා මා දිහාට හැරුණා.
"තේරුමක් නෑ කතා කරලා. ඒත්...මට එක දෙයක් කියන්න"
"මොකක්ද?"
"මා එක්ක තරහා නෑ නේද?"
"නෑ..." මම හිස වැනුවා.
"තෑන්ක්ස්" අනුක් එහෙම කියලා මට ලං වෙලා මගේ නලල මුදුන සිපගත්තේ ඉක්මණින්. මට දැනුනේ ඔහුගේ තොල් ස්පර්ෂ වුණ තැන ගිනි ගන්නවා වගේ. තප්පර දෙක තුනකට ආයෙම මගේ ඇස් ඔහු ලඟ නැවතුනා.
"ඔහොම බලන්න එපා" අනුක් මිමිණුවා.
"ම්ම්?"
"I might kiss you"
මගේ ඇස් ලොකු වෙන්න ඇති ඔහු එහෙම කිව්වම. ඒත් ඇත්තටම එක මිලි තප්පරේකට මට හිතුණා ඔහුව සිප ගන්න. ඒත් ඒ සිතිවිල්ල පැහැදිලි වෙන්නත් කලින්ම මම ඒක හිතින් අහක් කලා.
"ඔයාගේ ඇස් හරියට ගින්නක් වගේ. මගේ හිත පිච්චෙනවා වගේ ඔය ඇස් දිහා බලද්දි" අනුක් ආයෙම මිමිණුවාම මම බිම බලාගත්තා.
"ඔයා වචන වලින් මට ඒත්තු ගන්නන්න හදන දේ, ඔය ඇස්වල නෑ දුලාරා. ඒ ඇස් ඔය හිත කියවන්න දන්නවා. ඒ නිසා මා දිහා ඔහොම බලන්න එපා. ඒ ඇත්ත දැක දැක මට මගේ හිත හදාගන්න බෑ" අනුක් කිව්වාම මගේ හිත ගැස්සුනා.
" මොකක්ද ඒ ඇත්ත?" මම ඇහුවා.
"ඔයාගේ හිතෙන් අහලා බලන්න" අනුක් කිව්වේ එච්චරයි.
මම ගොලු වෙලා බලාගෙන ඉද්දිම ඔහු අපේ ගේ ඇතුලට ගියේ අම්මට කතා කරලා එන්න. ඊලඟට ඔහු ගෙදරින් පිටත් වෙලා යනකලුත් මම උන්නේ උලුවස්ස ලඟ.
"මේ කුඩේ අල්ලන්න දෝණි අර ලමයට වාහනේට නගින්න" අම්මා කියනකල්ම මට ඒකවත් මතක් වුණේ නෑ.
මම කුඩෙත් අරගෙන අනුකව වාහනේට ඇරලවන්න ගියේ හිත දුකකින් ඇදුම් කද්දි. මට මෙච්චරටම අනුක්ගෙන් ඈත් වෙන්න බැරි කමක් දැනෙන්නේ ඇයි. වාහනේට නැගලා අනුක් ආයෙම මගේ ඇස් වලට එබුණා.
"මං ඔයාට ආදරෙයි දුලාරා...ගොඩක් ආදරෙයි. අපි මුණ ගැහෙන හැම වෙලාවකම මම මේක ඔයාට කියයි. ඒකට මට සමාවෙන්න. එහෙම නොකර ඉන්න මම දන්නේ නෑ"
අනුක් කිව්වේ එච්චරයි. මගේ ඇස්වල කඳුලු බලන්න නො ඉඳ ඔහු ඊලඟට වාහනේ පණගන්වලා හෙමින් පිටිපස්සට ගත්තා. මම එතනින් ඈත් වුණා මට ඉහෙනවට. මම ඔහු දිහා බලාගෙන උන්නත් ඔහු මා දිහා බැලුවේ නෑ ආයෙම. ඔහු යන්න ගියා...හිතේ ලොකු දුකක ඉතිරි කරලා.
"අපරාදේ කියන බෑ ලක්ෂෙකින් හොයා ගන්න බැරි ළමයෙක්"
අම්මා කිව්වේ මම ගෙට එද්දි. මම මුකුත් කිව්වේ නෑ ඒකට.
"ඒ වගේ කොල්ලෙක් හම්බවෙන කෙල්ලෙක් හරිම වාසනාවන්තයි" අම්මා එහෙම කියලා සුසුමක් හෙලුවා.
"ම්ම්" මම කිව්වේ ඕනවට එපාවට.
"ලබා උපන් හැටියට නේ හැමදේම වෙන්නේ. හා...දැන් යමු මොනා හරි රෑට උයන්නවත්. තාත්තාත් දැන් මග එනවා ඇති"
අම්මා එහෙම කියාගෙන ගෙට ගියා. මම දැනගෙන උන්නා අම්මා විස්සෝප වෙන්නේ මමයි, භූපයි ගැන කියලා. මට ඒ ගැන තිබ්බේ නොරිස්සුමක්. මොනා නැතත් භූප මට ගොඩක් ආදරෙයි කියලා මම දැනගෙන උන්නා. ඒ සේරටම වඩා ඔහුගේ අසනීපේ, ඔහුට මම නිසා වෙච්ච දේවල්, ඇති කරපු බැඳීම් බලවත් වුණා. කොහොමවත් මට ඔහුව අතාරින්න පුලුවන් කමක් වත් ඕනකමක්වත් තිබුණේ නෑ.

Friday, September 19, 2014

අසූ පස්වන කොටස


"හානේ...මේ අනුක් නේද? මචං මල්ලි ඔයා නම් ඔලුවේ පණ තියෙනකල් මැරෙන්නේ නෑ. අපි මේ කතා කර කර හිටියෙත් ඔයා ගැන"

භූප එක පාරටම එහෙම කියාගෙන ලොකු හිනාවක් එක්ක ගේ ඇතුලට අනුක්ව පිලිගද්දි මම උන්නේ සම්පූර්ණයෙම ගොලු වෙලා.

"මම කෝල් කරපු හන්දා වෙන්න ඇති නේ? මම කෝල් කලේ මීරිගම ස්ටේෂන් එක ලඟදි. ගේ අමතක වෙලා මම අන්න අරහේ වෙන පාරකත් ගියා. එක පාරනේ ආවේ. අනික ඒකත් ෂෝට් කට් එකකින්නේ. ඉතිං ඉතිං...දැන් නම් අයියට සෑහෙන සනීප පාටයි" අනුක් භූපගේ අතකිනුත් අල්ලගෙන කතාවට වැටුණේ ඉස්තෝප්පුවේදිම.

"හලෝ මැඩම්...කොහොමද? ඔන්න නොකියා ගිහින්, නොකියම ආවා" ඊලඟට බාගෙට තෙමුණ අනුක් මා ලඟට ආවේ එහෙම කියාගෙන.

ඇත්තටම ඔහු දැක්කම මට දැනුනේ පුදුමයක්. පොඩ්ඩක් විතර මහත් වෙලා උන්නු ඔහු, මූණ වැහෙන්නම රැවුලක් වවාගෙන උන්නු එකෙන් සෑහෙන වෙනස් වෙලා තිබුණා.

"බලන්නකෝ භූප මෙයාගේ හැටි? බමුණෙක් වගේ රැවුලකුත් වවාගෙන. මොකෝ ගියපු රටේ කෙස්, රැවුල් කපන්න තහනම්ද?" මම ඇහුවේ, අනුක් දැකපු ගමන් හිතේ ඇතිවුණ ගැස්ම සමනය කරගන්න උත්සාහ කරමින්.

"මොන රැවුල් කැපිලිද? ගිය දවසේ ඉඳන් අප්පච්චිගේ වැඩ වලට දිව්වා. පස්සේ රැවුල කපන්න යද්දි එහේ කෙල්ලෙක් මට කිව්වා මෙහෙම තමා ලස්සන කියලා. ඉතිං මටත් මොකද, ගාණත් ඉතුරුයිනේ කියලා නොකපම හිටියා. මෙයා මේ මට කියනවා, ඔයාගේ එක්කෙනත් මෙහෙම තමයි නේ" අනුක් කිව්වේ අතේ තිබ්බ මලු දෙක තුනක් මගේ අතට දෙන ගමන්.

භූප උන්නේ හිනා වෙවී.

"ඒකේ ෆැෂන් එක මෙයාලට තේරෙන්නේ නෑ"

"ඕකට කියන්නේ ෆැෂන් එක නෙවෙයි, කම්මැලිකම කියලා" මම දෙන්නට සරදම් කරමින් ඉද්දි කේතකීත් සාලෙට ආවා.

ඊලඟට හැමෝටම ආචාර, සමාචාර කරලා හෙම ඉවර වෙලා, උස්සගෙන් ආපු බෑග් එකෙන්ම අලුත් ඇඳුමකුත් මාරු කරගෙන අනුක් අපි එක්ක කෑම මේසෙට වාඩි වුණා. මම තාමත් උන්නේ මේ වෙච්ච දේවල් හිතාගන්න බැරුව.

"ඉතිං ඉතිං. කියන්නකෝ ඒ රටේ තොරතුරු" භූප කිව්වේ අනුක්ට බත් හැන්දක් බෙදන ගමන්.

අනුක් ලන්ඩන් ගැන මහා විස්තරයක් කියනවා අහගෙන මම හෙමි හෙමින් බත් කන්න ගත්තා.

"ඉතිං අපරාදෙනේ ඔයා ආවේ" විස්තරේ අහලා ඉවර වෙලා එහෙම කිව්වේ කේතකී.

"මේකනේ...ඔය කොච්චර දේවල් තිබ්බත් මට හරියන්නේ නෑ ලංකව තරම්. මං ආදරේ කරන, ආස කරන හැමදේම ලංකාවේ තියෙද්දි මම කොහොමද එහෙට වෙලා ඉන්නේ?" අනුක් කිව්වේ යටැසින් මා දිහාත් බලන ගමන්.

"එතකොට අර රැවුල බාන්න එපා කියපු කෙල්ලට මොකෝ වුණේ? එයා යන්න එපා කිව්වේ නැද්ද?" මම ඇහුවා ඒ බැල්ම නොදැක්කා වගේ.

"එපා කිව්වා. ඒත්...මං ආවා"

අනුක් කිව්වේ මගේ ඇස් දිහා ඕනකමින්ම බලාගෙන. මම ආයෙම අහක බලාගත්තා.මට ඇහුණා භූපයි, කේතකීයි හිනාවෙනවා.

"මං නම් කියන්නේ එක්ක එන්න තිබ්බේ" කේතකී කිව්වා.

"මේකනේ, එක්ක එන්න පුලුවන්. ඒත් ඊලඟට මොකෝ කරන්නේ?" අනුක් ඇහුවේ කේතකීගෙන්.

"මොනා කරන්නද, මැරි කරනවා මිස. එංගලන්තේ කෙල්ලෙක් නේ මොනා වුණත්"

කේතකී කිව්වම අනුක් කෑම පිඟාන දිහා බලාගෙන හිනා වුණා.

"මම මැරි කරන්නේ මම ආදරේ කරන කෙනෙක්ව" අනුක් එහෙම කිව්වම මගේ හිත ගැස්සුනේ අහේතුකව.

"හෝව් හෝව්. ඒ කියන්නේ අනුක්ට මෙහේ කෙල්ලෙක් ඉන්නවා?" එහෙම ඇහුවේ භූප.

මට අනුක් දිහා බැලුණා ඉබේටම. පුදුමෙකට ඔහු උන්නෙත් මා දිහා බලාගෙන.

"හපෝ නෑ...තාම නෑ" ඊලඟට ඔහු කිව්වේ මගේ බැල්මෙන් දෑස් මුදාගන්න ගමන්.

"හිටියෙත් නැද්ද?" භූප ඇහුවා.

අනුක් දිග සුසුමක් හෙලන්වා මට ඇහුණා. මම උන්නේ ඔහු දිහා නොබලා.

"හිටියා...ඒත් ඒක හරිගියේ නෑ"

"ඒ මොකෝ?" ඒ කේතකී.

"ඒක මේ..ඒකපාර්ශවික ආදරයක්. මං විතරයි. එයා මට ආදරේ කලේ නෑ"

"ෂික්...අපරාදේ. කෙල්ලගේ වෙලාව තමයි" එහෙම කිව්වේ භූප.

"කෙල්ලගේ නෙවෙයි, මගේ" අනුක් කිව්වා.

"ඕවා ගණං ගන්න එපා මල්ලියා. ඔයාට හොඳ හිතක් තියෙනවා. අනික් අයව තේරුම් ගන්න, අනික් අයට උදව් කරන්න. ඒ නිසා කවදාහරි ඔයා ප්‍රර්ථනා කරන විදියේ කෙනෙක් ඔයාට ලැබෙයි. නැති වෙච්ච දේවල් ගැන හිතන්න එපා" භූප කිව්වේ අනුක්ගේ පිටට තට්ටුවක් දාන ගමන්.

"ඒක ඇත්ත, මූදේ ඉන්නේ එක මාලුවෙක් නෙවෙයි නේ" මමත් ඒකට එකතු කරද්දි අනුක් මා දිහා බැලුවා.

"ඒකනේ..." කේතකී තව පපඩම් දෙක අනුක්ගේ පිඟානට දාන ගමන් කිව්වා.

අනුක් සුසුමක් හෙලලා මුකුත්ම නොකියා හිනා වුණා.  ඒ හිනාව ඇතුලේ තිබ්බ ඇත්ත මම දැනගෙන උන්නත් මට ඕන වුණේ ඒක අමතක කරන්න.

"මට ජොබ් එකකට කෝල් කලා කොලඹ" අනුක් කිව්වේ අපි කාලා ටිකක් ඉඳගෙන කතා කරමින් ඉන්න වෙලාවේ.

මම උන්නේ කේතකීට හෝදපු පිඟන් පිහදාන උදව් වෙවී. මම වැඩේ නවත්තලා අනුක් දිහා බැලුවා.

"ෂා මරුනේ. කොහෙද තැන? කවදා ඉතිං යන්න තියෙන්නේ?" භූප ඇහුවා.

"එක මේ කම්පියුටර් කම්පැනි එකක්. තියෙන්නේ කොල්ලුපිටියේ. අපේ සීනියර්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ කන්ටැක්ට් වලින් තමා සෙට් වුණෙත්. ඉන්ටර්විව් එක තියෙන්නේ හෙට හවස" අනුක් කිව්වා.

ඒ වචන මගේ හිතට එකතු කලේ අහේතුක සංතාපයක්. එතකොට අනුක් ආවේ ඒකයි කියලා හිත කිව්වා.

"එහෙනම් අද මෙහේ ඉඳලා හෙට යන්න" භූප කිව්වේ මම බලාපොරොත්තු නොවුණ විදියට.

"අනේ පිස්සුද අයියා. කරදර වෙන්න ඕන නෑ. අපේ අම්මගේ ලොකු අක්කලා ඉන්නේ නුගේගොඩ. මම එහේට එනවා කියලයි ආවේ" අනුක් කිව්වා.

"ඉතිං කතා කරලා කියන්න බැරියැ අද වෙන යාලුවෙක්ගේ ගෙදර නවතිනවා කියලා. මම කිව්වේ, මල්ලි මට...දුලාරට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපි හරියට කතාබහ කරලවත් නෑ. අනික මල්ලිට මොනා හරි විදියකින් උදව්වක් කරන්න තියේ නම් ඒක මට කරන්න ඕන" භූප එහෙම කිව්වම අනුක් මා දිහාත් බලලා පුංචි හිනාවක් පෑවා.

"පිස්සුද මේ මොනා කියනවද මන්දා. අපි අපිට උදව් නොකරගන්නවා නම් යාලුකමින් ඇති පලේ මොකක්ද? එහෙම හිතන්න ඕන නෑ. අහන්නකෝ..මම මේ ලොකු අම්මලගේ ගෙදර යන්නෙත් කාලෙකින්. ඉතිං වෙන දවසක ඉන්න එන්නම්" අනුක් කිව්වා.

"ඔය ලොකු නිලමෙලා අපේ පුංචි ගෙවල් වල නවතින්නේ නෑ භූප" මම මේසේ ලඟ ඉඳන් කිව්වේ සරදමට.

"ඒක තමයි නේද?"

"මම ලොකු නිලමේ කෙනෙක් නෙවෙයි"

අනුක් කිව්වේ නොරිස්සුමින් වගේ.

"හ්ම්ම්ම්. ඉන්න බෑ කියනවා නම් ඉතිං මොනා කරන්නද?" භූප කිව්වා.

"එහෙම නෙවෙයි අයියේ මම කොලඹ ගිහින් ආපහු එද්දි එන්නම්" අනුක් කිව්වා.

ඒ පාර භූපගේ වතේ ඇඳුනේ හිනාවක්.

"ආ...ඒක හොඳයි. එතකොට අපට නිදහසේ ටිකක් කතා කරන්නත් පුලුවන්" භූප කිව්වා.

කොහොමහරි කතා බහ කරමින් ඉඳලා අන්තිමට අපට යන එක ගැන මතක් වුණේ අපේ ගෙදරින් කෝල් එකක් ආව වෙලේ.   එක සීරුවට ඇදහැලෙමින් තිබ්බේ වැස්සේ අඩුවක් තිබුණේ නැතත්, අම්මා කතා කරපු හන්දා මට ගෙදර නොගිහින් බැරි වුණා.

"තාම වහිනවනේ හොඳටම" භූප කිව්වේ එලියට එබෙන ගමන්.

මාත් එහෙමනම් මේ ගමන්ම යන්නම්. ආන්ටිලට කතා කරලා යද්දි ටිකක් වෙලා යාවි නේ" බලාපොරොත්තු නොවුණ විදියට අනුක් ඉදිරිපත් වුණාම මට ඕන වුණේ නෑ ඒ උදව්ව පිලිගන්න.

"අනේ ඕන නෑ අනුක්. ඔයාට ආයෙම තෙමෙන්න වෙයි. මම ෂෝට් කට් එකෙන් දුවලා යන්නම්. ඔයාට වැස්ස පෑව්වම එන්න බැරියැ"

"ඉතිං අනුක් එක්ක ගියාම මොකද? ඔයා වැස්සේ තෙමීගෙන යන්න ඕනයැ" භූප කිව්වා.

භූපගේ අම්මත් කිව්වේ ඒකමයි. ඒ හන්දා අන්තිමේදි මට වුණේ අනුක් එක්ක ඔහුගේ වාහනෙන් අපේ ගෙදර එන්න පිටත් වෙන්න. ඉස්සරෝම කාලෙක වගේ මම ඉස්සරහ සීට් එකට නැග්ගේ ගැහෙන හිතින්. මම දන්නෑ ඇයි මට ඒ තරම් නොසන්සුන්කම දැනුනේ කියලා.

භූපගේ ගෙදරරින් වාහනේ එලියට ගන්නකල්ම අනුක් මා එක්ක කතා කලේ නෑ. එක සීරුවට ඇදහැලෙන වැස්ස අස්සේ පොඩි කඩුල්ල අතරින් වාහනේ එලියට ගන්න මුලු අවධානෙම යොමු කරගෙන උන්නු නිසා වෙන්න ඇති. වාහනේ පණගන්වද්දි රේඩියෝව එක පාරටම ක්‍රියාත්මක වුණම මම ටික විතර ගැස්සුනත් එක්ක. ඔහු එක නිවලා, වාහනේ පාරට දාලා ඔහු මා දිහා යන්තමින් බැලුවා. මම උන්නේ ඉස්සරහ බලාගෙන.

"දුලාරා..." අනුක් කතා කලේ රහසින් වගේ.

මගේ හිතට දැනුන හැඟීම මේකයි කියලා කියන්න බෑ වෙලේ. ඒක දුක, සතුට, අමනාපය, මේ සේරම හැඟීම් වල සම්මිශ්රණයක්. හිතේ හැඟීම් තෙරපුණ තරමට කතා කරගන්නත් අමාරු තරම් උගුර හිරවෙන ගතියකුත් මට දැනෙමින් තිබුණා.

"ඔයා මං එක්ක තරහද?" අනුක් ඇහුවා.

"මං දන්නෑ..."

"දුලාරා...I am sorry" අනුක් කිව්වම මම මුකුත්ම කිව්වේ නෑ. හන්දා ඊලඟටත් කතා කලේ ඔහුමයි.

"මට යන්න වුණේ හදිසියෙන්. කියන්න වෙලාවක් තිබ්බේ නෑ"

අනුක් කිව්වේ සමාව අයදින ස්වරයකින්. මම ඔහු දිහා එක පාරක් බලලා අහක බලාගත්තා.

"ප්ලීස් දුලාරා...තේරුම් ගන්නකෝ"

"තිබ්බේ නැත්තේ වෙලාවක්ද, ඕනකමක්ද?"

"ඔයා මා එක්ක ඉන්නේ තරහින්..." අනුක් කිව්වා.

"තරහින් තමයි. මම තරහයි තමයි. අඩුම ගාණේ එක මැසේජ් එකක්, එක රිංග් එකක්...මේ මොකවත් නැතුව ඔයා ගියේ හරියට මම ඉන්නවද නැද්ද වත් නොහිතා" මම කිව්වේ හිත තිබ්බ සංතාපය නිසා ඇතිවුණ තරහකින්.

"මං...මං හිතුවා ඔයාට මාව වදයක් වෙයි කියලා. මාව ඔයාට ඕන නැතිවෙයි කියලා"

"ඔයා එහෙම හිතුවේ කොහොමද? ඔහු තවත් කියන්න කලින් මම ඇහුවා. ඔහු නිරුත්තර වුණා.

"එහෙම හිතන්නේ කොහොමද? මම ඔයාට කොච්චර කිව්වද අනුක්. ඔයයි මගේ හොඳමා යාලුවා. අඩුගාණේ මම හිතාගෙන උන්නේ එහෙමයි. මම හිතුව මගේ දුක, සතුට අහන්න ඔයා ඉඳීවි කියලා හැමදාම. ඒත්..."

"මං ඔයාව දාලා ගියා නෙවෙයි දුලාරා. ඔයා දන්නවා මට ඒක කරන්නත් බෑ කියලා. ඒත් මං හිතුවා ඔයාට ටිකක් තනියෙම භූප එක්ක ඉන්න දෙන්න ඕන කියලා. මම ගොඩක් දේවල් අවුල් කලා ඔයාගේ හිතේ. එහෙම කලේ නොහිතා වුණත්, ඒක එහෙම වුණා. ඔයාගෙන් දුරට වෙලා මම හිටපු හැටි දන්නේ මං විතරමයි දුලාරා" අනුක් අන්තිම ටික කිව්වේ දයාබර හඬින්.

මට ඒකට කියන්න දෙයක් තිබ්බේ නෑ.

"මම දන්නවා මම තාමත් කරන්නේ වරදක් කියලා. මං අද මෙහේ එන්න ඕන නෑ. මට හෙට උදේ නුවරින් ඇවිත් එන්න තිබුණා. අනික ඔයා ඉන්නේ ගෙදර නම්, ඔයාගේ අප්පච්චිට කොහොම මූණ දෙන්නද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. ඒත් මම ආවා. ඇයි කියලා ඔයා දන්නවා. ඔයා හිතනවා නම් ඒක එහෙම නෙවෙයි කියලා ඔයා වැරදියි. මං මැරිලා ඉපදුනේ නෑ දුලාරා. මං මැරිලා ඉපදුනේ නෑ..."

"කමක් නෑ...මම හිතන්නෑ ගැන තවත්"

"මොනා ගැනද?"

"මට නොකියා ගිය එක ගැන. ඔයාව අල්ලලා තියාගන්න මට බෑ. ඔයාට එහෙම කරන්න එපා කියන්නත් මට බෑ. ඒත්...මට කියන්න පුලුවන් මං  ගැන"

"ඔයා ගැන මොකක්ද?"

"මට දුක හිතෙනවා කියලා" මම කිව්වේ  හැඟීම්බරව. අනුක් නිහඬ වුණා ආයෙම.

"I am really really  very sorry දුලාරා..." අනුක් ඊලඟට කියද්දි ඔහුගේ හඬත් තිබ්බේ හැඟීම්බර වෙලා.

මම සුසුමක් හෙලුවා අඬන්න බැරි කමට.

"මං දන්නෑ එදා හැටන් ඉඳන් ගිය දා ඉඳලා මට මොනා වෙලා තිබ්බද කියලා. මම හිටියේ මහා උභතෝකෝටික ප්‍රශ්ණෙක පැටලිලා වගේ. මම දැනගෙන උන්නු එකම දේ,මම හිතන දේවල් වැරදියි කියලා.මං රට යන්න හිතුවෙත් ඒකයි.ඔයා හිතපු දේ ඔයාට ලැබුණම ආයෙම මාව ඕනවෙන එකක් නෑ කියලා තමයි මගේ ඔලුවේ තිබ්බේ. ඒත්...මේ හිතට නොදැනුනා නෙවෙයි දුලාරා...හිත පුරා ඉන්න කෙනෙක් හිතන දේවල් හිතට නොදැනී තියෙන්නේ කොහොමද?"

අනුක් කිව්වේ මගේ හිතට දරාගන බැරි විදියේ ස්වරයකින්. මම ජනේලෙන් එපිට බලාගත්තේ මට ඇඬේවි කියලා හිතුණ හන්දා. 

"දන්නෑ ඇයි මට මෙහෙම වුණේ කියලා..." අනුක් කිව්වා ආයෙම.

"යාලුවෙක් ඇරෙන්න ඔයාට වෙන කෙනෙක් වෙන්න මට බෑ අනුක්" මම කිව්වා.

"මම එක දන්නවා දෙයියනේ. මම මෙච්චර විඳවන්නේ ඒ හන්දා නෙවෙයිද?"

"අනුක්..."

"දුලාරා මං දන්නවා මේක වැරදි වග. මම උත්සාහ නොකරනවා නෙවෙයි. මම මාස තුනක් රට ගිහින් කරන්න හැදුවෙත් ඒක. ඒත්...මං දන්නෑ ඇයි මට බැරි කියලා"

"අනේ අනුක්"

"මුකුත් කියන්න එපා. ප්ලීස් මට මෙහෙම ඉන්න දෙන්න. මේ දුරින් මේ වගේ ඉන්න දෙන්න" අනුක් කිව්වේ මගේ දෑස් වලට එබිලා.

මම ඒ ඇස් දිහා තප්පර කීපයක් බලාගෙන උන්නේ හිත මොකදෝ වේදනාවකින් රිදුම් දෙද්දි. ඊලඟ මොහොතේ අපි උන්නේ අපේ ගෙදර ඉස්සරහ.

"මගේ දිහා ඔහොම බලන්න එපා දුලාරා..." අනුක් කිව්වේ මගේ ඇස් මගෑරලා.

"ඇයි?"

"මං ඔයා නැතුව ඉන්න හිත හදාගන්න ඕන...ඒ නිසා"

"මගෙන් ඈත් වෙන්න හදන්නේ ඇයි?" මම ඇහුවේ එවෙලේ මගේහිතේ තිබ්බ ලොකුම ප්‍රශ්ණේ.

අනුක් මා දිහා බැලුවේ පුදුමෙන් වගේ.

"ඇයි අනුක් අපට ඉස්සර වගේ හොඳ යාලුවෝ වෙන්න බැරි?" මම ඇහුවා.

"ඒකට උත්තරෙත් ඔයා දන්නවා" අනුක් කිව්වා.

"අහන්න අනුක්.ඔයා දන්නවනේ මං ඔයා ගැන හිතන විදිහ. යාලුවෙක් විදියට ඔයාව මට ඕන. මේ කොහේවත් යන ආදරයක් හන්දා ඒ දේවල් නැති කරන්න හදන්න එපා. ප්ලීස්"

අනුක්ගේ මූණේ ඇඳුනේ දුකක්.

"මම ඔයාගෙන් ඈත් වෙන්නෑ දුලාරා. ඔයාට ඕනම වෙලාවක ඉස්සෙල්ලම ඔයා ලඟට එන්නේ මම. ඒත් මාව තේරුම් ගන්න. හිත හදාගන්න එක ලේසි නෑ" අනුක් කිව්වා.

"ඈත් වුණොත් ලේසිද?" මම ඇහුවා.

"මං දන්නෑ"

මම බිම බලාගත්තා හිත ආයෙම රිදුම් දෙද්දි.

"මෙහෙමයි...ඔයාට හිතෙනවා නම් ඒකයි හොඳම විසඳුම කියලා, ඔයා එහෙම කරන්න අනුක්. ආත්මාර්ථකාමී වෙලා ඔයාට දුකක් දෙන්න මට බෑ. ඒක කොච්චර අමාරු වුණත් මම ඒක කරනවා. ඔයා හන්දා. ඔයා තාමත්ම් මගේ හොඳම යාලුවා හන්දා"

"මං ඈතින් ඉන්න හදන්නේ,මට හිතට එකඟවා ආයෙම ඔයාගේ යාලුවා වෙන බැරි හන්දා දුලාරා.භූප මට මගේ සහෝදරයෙක් වගේ. මට බෑ මෙහෙම එයාට ද්‍රෝහී වෙන්න...ඒත්...මං ඔයාට ආදරෙයි. ඒක නැති කරගන්න මම දන්නේ නෑ"

මගේ හිත කීරි ගැහුණා ඒ වචන ඇහුණම.

"අපි බහිමු..." මම වැස්සෙම බහින්න උත්සාහ කලේ තවත් මට එතන ඉන්න බැරි හන්දා.

ඒත් අනුක් මගේ අතකින් අල්ලගත්තා. මම හැරුණේ විදුලි වේගෙන්.

"ප්ලීස් අනුක්...මෙහෙම කරන්න එපා" මම බැගෑපත් වුණා.

ඒ පාර ඔහුගේ ග්‍රහණය ලිහිල් වුණා.

"මම ගෙදරට එන්නෙ නෑ" අනුක් ඊලඟට කිව්වා.

"ඇයි?"

"මට ඔයාගේ අප්පච්චිට මූණ දෙන්න බෑ දුලාරා. තාම බෑ" අනුක් කිව්වා.

"පිට පාරෙන්ම ගියා කියලා දැනගත්තොත් අයියා මොනා හරි හිතයි" මම කිව්වා.

"මම ආවේ මෙහේ කියලා කවුරුත් දන්නේ නෑ"

අනුක් ගෙදරට ඒවි කියලා හිත හදාගෙන උන්නු මට ආයෙම දැනුනේ දුකක්. ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ.

"අද තාත්තා ගෙදර නෑ. කොලඹ ගිහින්. ගෙදරටවත් නෑවිත් මෙහෙම පිට පාරෙන් යන්න එපා අනුක්. ප්ලීස් ගෙදරට එන්න" මම කිව්වේ ආයාචනත්මකව.

"හ්ම්...කමක් නෑ. යමුකෝ එහෙනම්" මොහොතක් කල්පනා කරපු අනුක් එහෙම කියලා ආයෙම වාහනේ පණගැන්නුවා.

ආයෙම රේඩියෝව ක්‍රියාත්මක වුණත් ඔහු ඒක නතර කරන්න උත්සාහ කලේ නෑ.

"හැමදාම වගෙම මම තාම අයිතිනුඹටයි..." කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ලයාන්විත හඬ රේඩියෝවෙන් ඇහෙද්දි මගේ හිත සසල වුණේ අහේතුකව. මම දැක්කා ඒ අතරේ අනුක් මා දිහා හොරැහින් බලනවා.

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී

හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී

නුඹ දන්න තරම් මගේ හිත ...... වෙන දන්න කෙනෙකු ලොව මට හමු වෙලා නැතී...

අනුක් වැස්සෙම අපේ කඩුල්ල ඇරලා එද්දි, ඒ ගීතයට මම මුලුමනින්ම නතුවෙලයි හිටියේ. ඒ වචන පෙල ඇහෙද්දි අනුක් බලාගෙන උන්නේ රේඩියෝව දිහා, නලලත් රැලි කරගෙන.

ඊලඟට වාහනේ අපේ ගේ අසලින් නතර කලාම මම බහින්න උත්සාහ කරද්දි අනුක් ආයෙම මගේ අතකින් අල්ලගත්තා. මම ඔහු දිහා බැලුවේ අසරණව.

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී

පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැතී

අදහන්න නමුත් හැකිවේද .....

නුඹ දුන්නෙ නැතත් නුඹේ, හිත මගෙ ළඟම ඇතී....

ගීතය අහගෙන, අපි මූණෙන් මූණ බලාගෙන උන්නා. අනුක්ගේ මූණේ තිබ්බේ දරාගනන් බැරි තරම් හැඟීම් ගොඩක්. ඒ ඇස්වල තිබ්බේ මහා දුකක්.

"ඇහුණද?" අනුක් ඇහුවේ හෙමින්.

"මොනවද?"

"හැමදාම වගෙම..මමත් තාමත් ඔයාගේ දුලාරා..."

අනුක් එහෙම කිව්වම මගේ ඇස් වලට කඳුලු පිරුණා. ඊලඟට ඔහු කලේ මම කොහෙත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්. සීට් එහෙන් නැවිලා ඔහු මගේ කම්මුලක් සිප ගත්තා. මම ගල් ගැහුණා. අපේ ඇස් අතර තිබ්බේ පුංචිම පුංචි පරතරයක් විතරයි මොහොතකට. ඒ දිගටි ඇස් වල තිබුණේ හිත පිච්චිලා අලු කරන්න පුලුවන් තරම් හැඟීම් ගොන්නක්. ඉස්සර වාහනේ පුරාවට විහිදුනු ඔහුගේ පුරුදු විලවුන් සුවඳ පවා ඒ වතෙන් අද මට හොඳටම දැනුනා. ඔහුගේ උණුසුම් සුසුම් මගේ කම්මුලේ තැවරුණා. ඒ ඒ උණුසුමට අවනත වෙන්න මට බෑ. මම ඔහුගෙන් ඈත් වුණේ විදුලි වේගෙන්.

"මෙහෙම කරන්න එපා අනුක්" මම කිව්වේ හැඬුම්බරව, මගේ අත මුදාගන්න උත්සාහ කරමින්.

ඔහු මගේ දෑස් දිහා බලාගෙනම උන්නා.

"මාව පව්කාරියෙක් කරන්න එපා අනුක්..." මම කිව්වේ ඔහුගේ දෑස් මගෑරලා බිම බලාගන්න ගමන්.

"දුලාරා..." අනුක් කිව්වේ පුදුමෙන් වගේ.

"මං භූපට ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි. ඔයා ඒක දන්නවා. මෙහෙම දේවල් කරන්න එපා අනුක්...තේරුම් ගන්න. මට ඒක දරාගන්න බෑ. ඔයාට තේරෙන්නේ නෑ මගේහිත විඳවන තරම් ඔයා හන්දා" මම කිව්වා.

මගේ හිතේ තිබ්බ දේවල් ගැන ඔහුට කිව්ව මුල්ම වතාව මේක වෙන්න ඇති. අනුක් මා දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.

"මෙහෙම කරන්න එපා...ප්ලීස්" මම වාහනේ දොර ඇරියේ අතත් ඇදගෙනම.  වැස්ස නිසා මම වාහනෙන් බැහැලා ගෙට දුවලා යද්දිම වගේ ආයෙම අනුක්ගේ වාහනේ පණගැන්වෙනවා මට ඇහුණා. මම හැරුණේ විදුලි වේගෙන්. ඒත් ඒ වෙද්දි අනුක් වාහනේ හරවගෙනත් ඉවරයි. මම වැස්සෙම මිදුලට පැන්නත් ඔහු නොනැවතීම යන්න ගියේ මාව ගොඩක් වේදනාවට පත් කරමින්. මම වැස්සෙම එහෙමම හිටගෙන උන්නේ ඇස් වලින් කඳුලු ගංගාවක්ම ගලද්දි.

"මොකද ලමයෝ වෙලා තියෙන්නේ? මොකදෑ ඔය වැස්සේ තෙමෙන්නේ?"

මාව පියවි ලොවට ගෙනාවේ අම්මගේ හඬ. මම දන්නෑ එතකල් මම කොච්චර වෙලා එහෙම හිටගෙන උන්නද කියලා. මම හෙමින් ගෙට ඇදුනේ ඕන එකක් කියලා.

"මදෑ එන වෙලාව. උදේ කීයටද ගියේ. කුඩයකුත් නැතුවද ආවේ?" අම්මා ඇහුවා.

මට දැණුනා මම වාහනේක ආපු වග අම්මා දන්නේ නැති වග. එතකොටයි මතක් වුණේ කුඩේ අනුක්ගේ වාහනේ ඇතුලේ වග.

"මම දුවලා ආවා" මම කිව්වේ එච්චරයි.

" ඇති යන්තම් එන්න හිතුණා. දැන් මම කතා කරලත් කොච්චර වෙලාද? මට නින්දකුත් ගිහින් හිටියේ වැස්ස නිසා. ඒ මදිවට මේ දණහිස ආයෙම රිදෙනවා. හා...යන්න යන්න දැන් මෙතන හිටගෙන ගේ තෙමන්නේ නැතුව ගිහින් නා ගන්න. නැත්තම් ලෙඩක් හැදෙයි. අනේ මන්දා මේවා කොහෙන් ඉවර වෙන්න යනවද කියලා"

අම්මා ඉස්තෝප්පුවේ වාඩි වෙලා දණහිස අතගගා තව මොනවදෝ මුමුණන්න වුණා. මම එතනින් මෑත් වෙලා එන්න ආවා. හිතේ රිදුම් නොදෙන තැනක් තිබුනේ නෑ. සේරටම වඩා අනුක් මෙහෙම දමලා ගහලා ගිය එක මට ඉවසන්න බැරි වුණා. ඒත් පුදුමෙකට අනුක් ගැන අහිතක් තිබ්බේ නෑ තවමත් හිතේ. ඒ අතරේ ජීවිතේ මට මේ තරම් සරදම් කරන්නේ ඇයි කියලා මම කල්පනා කලේ හිත මහා අවුල් ජාලයක් වෙලා හැඟීම් පැටලෙද්දි.