Saturday, March 2, 2013

විසි නමවන කොටස



ජේඩන් ටෙක්සාස් වෙත පිටත්ව ගොස් සතියක් පමණ යන තුරුම ඔහු නොමැති පාලුව දරුණු ලෙස මා පෙලුවේය. සියල්ලම පාලු සහ නීරස භාවයකින් මට දැනුනු අතර, විභාගය නොවන්නට සියල්ල වඩාත් නිර්‍රස ලෙස මට දැනෙන්නට ඉඩ තිබිණි. ජේඩන් ටෙක්සාස් ලඟා වූ පසු මට ඇමතුමක් දුන් පසු යලිත් මට ඇමතුවේ නැත. එනිසාම පාලුව වඩාත් දැඩි ලෙස මට දැනුනි.
"අනිවාර්යෙන්ම එයාට ගොඩක් වැඩ ඇති"
මගේ සුසුම් හෙලීම් ඉවනසු බැරි තැනදෝ සොනාලි මට කීවාය.
"නැත්තම්, වෙන කවුරුහරි සෙට් වෙලා ඇති...නේද?" පූජා මෙසේ කියා මා අවුස්සන්නට උත්සාහ කලාය.
"අනේ මේ...පිස්සු නොකියා ඉන්න පූජා. මේයාගේ හිත තවත් රිද්දන්නේ නැතුව" සොනාලි කීවාය.
නමුදු මම කිසිවක් නොකීමි. එය එසේ වන්නට ඇත්දෝයි කියා සිතන්නට මට නොහැකි විය. මා එතරම් ජේඩන් වෙත සිතින් බැඳී උන්නෙමි.
"පන්චලී...ඔයාට ස්කයිප් කෝල් එකක්" මගේ මේසය අසල වාඩි වී, මගේ ලැප්ටොප් පරිගණකයේ සටහන් වගයක් සොයමින් හුන් ලතිකා හදිසියේම මට දැනුම් දුන්නාය.
මමලහි කොට එතැනට දිව්වේ ඒ ජේඩන් විය හැකි දෝයි සිතමිනි.
එහෙත් පරිගණක තිරය මත ඇඳී තිබුණේ මගේ සොහොයුරියගේ නමයි.
"අක්කා...කොහොමද?"
මම පරිගණයක රැගෙන ඇඳ වෙත යමින් ඇසීමි.
"ඔයාට කොහොමද? විභාගේ නිසා වැඩ ඇති නේ?" අනෙක් පසින් අක්කාගේ මුහුණ පමණක් මට පෙනුනි.
"ඔව් අනේ. ඉවරයක් නෑ තාම...ඉතිං? කෝ මධුර අයියා?"
"තාම ආවේ නෑ. ඒක නෙවෙයි මම අහන්න කතා කලේ කවදද විභාගේ ඉවර කියලා"
"තව සති එකහමාරකින් විතර. විසි පස් වෙනිදට අන්තිම එක"
"ඊට පස්සේ නිවාඩුනේ නේද?"
"ඔව්"
"හරි...එහෙමනම් අපි එන්නම් ඔයාව එක්ක යන්න විසි  එන්නද විසි හත විතර? මම මේ ටිකට් ගන්න බලන්නයි කතා කලේඈ කියුවාය.
"ඔය දෙන්නම එනවද?"
"බලමුකෝ...මම කියන්නම ලං වෙලා දවස. අම්මත් කතා කරලා කිව්වා නිවාඩුවට ඔයාව මෙහේ ගෙන්න ගන්න කියලා. ලෑස්ති වෙලා ඉන්න හොඳේ?"
"හරි එහෙනම්"
"හොඳට විභාගේ කරන්න හොඳේ. ආ...අමතක වුණා, මේ ඩොක්ට සුදම් ඔයාව මතක් කරන්න කිව්වා..."
ඈ කී විට මම හිනැහුනෙමි.
"හරි හරි...මාත් හැමෝවම මතක් කලා කියන්න"
අක්කා ඇමතුම විසන්ධි කල පසු මා කල පළමු දෙය ෆේස්බුක් හරහා ජේඩන්ට පණිවිඩයක් ලිවීමයි.
'ඔයා හොඳින් ඇති කියලා හිතන්වා... විභාගේ ඉවර වුණාම විසිහය  මාව එක්ක යන්න අක්කලා ඒවි. ඊට කලින් ඔයා ඒවි කියලා මම බලා ඉන්නවා...පරෙස්සමින් ඉන්න'
මම ලියූ පණිවිඩය නැවත කියවීමි. ඇතැම්විට ඔහු මෙය දැන තකහනියේ එන්නට බැරි නැතැයි කියා සිතුනෙන් මම යලි එය මකා දැමීමි. ලිවිය යුත්තක් සිතාගත නොහැකිව මම මද වේලාවක් පරිගණක තිරය මත දිස් වූ ඔහුගේ ඡායාරූපය දෙස බලා උන්නෙමි.
'දයාබර ජේඩන්...ඔයා එන්නේ කවදාද කියලා මට දන්වන්න. විභාගේ විසි පහ ඉවරයි. ඔයා එනකල් මම බලා ඉන්නවා. හදිසි නොවී වැඩ ඉවර කරගෙන එන්න'
ඉන්පසු මම එසේ ලීවෙමි.
ඉන්පසුව ගත වූ සතියක කාලය විටෙක වේගයෙන්ද, විටෙක සෙමෙන්ද ගෙවී ගියේය. ඩොලීස් හිදී හමු වී කෝපි කෝප්පයක් තොල ගානවා හැරෙන්නට, අන් කිසිවක්කරන්නට විභාග නිසා අපට ඉඩක් ලැබුණේ නැත. ඒ අතරේ ජේඩන් මට කතා කරාවි කියා බලා උන්නද ඔහු එසේ කලේද නැත. වෙනකක් තබා මා යැවූ පණිවිඩයට පිලිතුරක් හෝ එව්වේද නැත. ඉතින් මට හිත හිතා ඉන්නට ඔහු ගැන වූ හිතේ අමාරුවද විය. අවසානයේ, ඉබි ගමනින් ගතවෙමින් තිබූ කාලය, අවසන් විභාගය දින තෙක් අපව රැගෙන ගිය දවසද උදා විය.
"වෙලාව ඉවරයි. කරුණාකරලා ලියන එක දැන් නවත්වන්න. උත්තර පත්‍ර මට ලබා දෙන්න"
විභාග ශාලාධිපතිනියගේ හඬ ඇසෙද්දීත්, මම අවසන් ප්‍රශ්ණයේ පිලිතුර අවසන් කොට තිබුණේ නැත. සර්වශුභවාදී වක්‍යයක් ලියා හදිසියෙනම් එය අහවර කල මම, අසලට පැමිණි උත්තර පත්‍ර එකතු කරන්නාට එය භාර දී සැනසුම් සුසුමක් හෙලීමි.
"හුරේ හුරේ...විභාගේ  ඉවරයි..."මම ලතිකා සමග ශාලාවෙන් එලියට යද්දී, ඩීනෝ සහ මන්ජීත් සැහැල්ලුවා දරගත නොහී දඟලන තවත් සිසු සිසුවියන් රැසකට මැදිව කෑ ගසමින් උන්නහ.
"මේක නම් සමරන්නම ඕන...මොකද කියන්නේ යමුද අද රෑට නටන්න...ර්‍ඉයෝගේ DJ එකට?" එසේ විමසුවේ මන්ජීත්ය.
"නියම අදහස..ඔයාලා මොකද කියන්නේ?" එසේ ඇසුවේ ඩීනෝය.
"මට නම් අද බෑ. අද මම හොඳට නිදා ගන්න ඕන" එසේ කීවේ දැන් දැන් අප අතරට ආ පූජාය.
"මටත් අද නම් බෑ" මමද අදි මදි කලෙමි.
"ආ...ඔව්. මෙයාට ජේඩන් නෑනෙ" එසේ කීවේ එරික් ය.
මම ඔහු කීව නෑසුනාක් සේ අන් අය කියන දෑ දෙස බලාගෙන උන්නෙමි.
"අපි දැනට මේක ඩොලීස් ගිහින් සමරමු" ලතිකා යෝජනා කලාය.
ඉතින් මුලු සවස් වරුවම අපි ඩොලීස් වෙත ගොස් කමින් සහ, සරසවියේ කඩමණ්ඩියේ ඇවිදිමින්  ඉතාමත් සැහැල්ලු සිතින් ගත කලෙමු.
"දැන් නම් ලොකු නිදහසක් දැනෙනවා...නැද්ද?" සවස නේවාසිකාගාරයට එමින් සිටියදී, පියාඹන්නට මෙන් දෑත් දෙපසට විහුදුවාලමින් නයෝමි කීවාය.
"ඒත් ඉතින් තව සති කීයද? ඊලඟට ව්‍යාපෘතිය පටන් ගත්තාම? ආයෙම හරක් වගේ වැඩ කරන්න වෙයි" එසේ කීවේ පූජාය.
"හරක් වගේ නම් ඉතින් වැඩ කරලා හරියන් එකක් නෑ මහිතේ. තේරුමක් නෑනෙ" නයෝමි සරදමට මෙන් කීවාය.
"අනේ යන්න"
පූජා සහ ලතිකා තව මොන මොනවාදෝ කියා ගන්නා අතර තුර සොනාලි මා හා එක් වෙමින් කතාව ඇරඹුවාය.
"ජෙඩන් තාමත් කතා කලේ නැද්ද?" ඈ ඇසුවේ සෙමෙනි.
"ම්හු...දන්නෑ ඇයි කියලා" මම සුසුමක් හෙලීමි.
"පණිවිඩයක් එවලත් නැද්ද?"
" නෑ...ඊයේ වෙනකලුත් නම් තිබ්බේ නෑ" මම කීඉවෙමි.
"මොකද මන්දා ඒ නම්" සොනාලි කල්පනාබරව කීවාය.
"අනිද්දා වෙද්දිවත් එයා නාවොත්, මට එයාව ආයෙම හම්බවෙන්න වෙන්නේ මාසෙකින් විතර. අනිද්දා මාව එක්ක යන්න අක්කලා ඒවි" මම කීවේ සියුම් දුකක් සිතේ පෙරලි කරද්දීය.
"මගේ හිත නම් කියනවා එයා ඒවි කියලා ඊට කලින්" සොනාලි කීවාය.
මම ඈට සිනාවක් පෑවෙමි."ස්තුතියි සොනාලි...අපි එහෙම හිතමු"
"පංචලී නැගිටින්නකෝ...අන්න ඔයාව හම්බවෙන්න කවුදෝ ඇවිත්ලු" දහවල් නේවාසිකාගාරයට පැමිණ, ඇඳට වැටුණු පසු තද නින්දකට වැටීහුන් මම කන ලඟින්ම ඇසුණු හඬ සහ මා සොලවන ආකාරය නිසා ගැස්සීමෙන් නින්දෙන් ඇහැරුණෙමි.
"මොකක්?" මම මේ කෑ ගසන්නේ කවුදැයි කියලා හඳුනාගන්නට යත්න දරමින්, නිදිගැට කැඩුවෙමි.
"ඔයාව හම්බෙන්න කවුද ඇවිත්" මා අසල උන්නේ නයෝමි වග මම දුටුවේ මෙවෙලේය.
"මාව හම්බ්වෙන්න? කවුද?" මම දනි පනි ගා ඇඳෙන් පනිමින් ඇසීමි.
"මම දන්නවයැ. කාමරේට කෝල් එකක් ආවා. සොනාලිත් නෑ තාම. ඩීනෝ එක්ක රවුමක් ගිහින් වෙන්න ඇති"
මම මුහුණ සෝදාගන්නට නාන කාමරයට දිව යන අතරේ ඈ කීවාය.
මම ලහි ලහියේ මුහුණ සෝදාගෙන, අසල ඇඳුම් කූඩයේ වූ ඇඳුමක් ඇඟලාගෙන, නයෝමිට කීවායින් නොකීවායින් පහලට දිව එන්නට ආවෙමි.
මා බැස ආ සෑම පඩියක් පාසාම, මගේ හද ගැස්ම වැඩි වූ අතර පැමිණ ඇත්තේ ජේඩන් වග මට සැකයක් නොවිණි.
මම පොදු කාමරයට දිව ගියේ, වැඩි වූ හද ගැස්මට අමතරව, හිතට එබිකම්කරන කෝල හැඟුමක්ද සමගිනි. මා එහි යද්දී, නේවාසිකාගාරයේ එක් පසෙක සිටගෙන මා එනමග බලාගෙන් හුන් පුද්ගලයා දැක මගේ ගමන් වේගය බාල වූයේ ඉබේටමය. මා දුටු වනම ඔහුගේ වතේ නම් අපූරු හිනාවක් ඇඳුනි.
මට හිනැහෙන්නටද අමතක විය. පිම්බී තිබූ සිත, සුලං හැරිය බැලුව්මක් සේ ඇකිලිනි.
"සුදම් අයියා...ඔයා?"
"හලෝ...කොහොමද? පුදුම වුණා නේද මාව දැකලා? මට පේන්වා මූණෙන්ම. ඉතිං කොහොමද?" ඔහු හිනැහෙමින්ම ඇසීය.
"ආ...මං...හොඳින් ඉන්නවා...ඈතමයි, මට ඔයා දැක්කම හිතාගන්න බැරි වුණා. ඉතිං ඔයා මේ පැත්තේ? හදි සි වැඩකට ආවද?" මම හිතේ නැගි නොසන්සුකම හා බලාපොරොත්තු කඩ වීම ඔහුට නොපෙන්වන්නට යත්න දරමින් කීවෙමි.
"ආ...හදිසි වැඩකට නම් නෙවෙයි...මං ආවේ ඔයාගේ අක්කලගේ වැඩකට"
"අපේ අක්කලගේ...වාඩි වෙන්නකෝ. මොකක්ද ඒ වැඩේ? එයාලා අනිද්දා මෙහේ එනවනේ" මම ඔහුට අසුනක් දක්වමින් කීවෙමි.
"ඇයි අක්කා ඔයාට කිව්වේ නැද්ද මං එන වග"
"නෑනෙ"
"එහෙනම් අද කියන්න වෙන්න ඇති ඉන්න ඇත්තේ. මේකයි...එයාලට ඕන වුණා ඔයාව එක්කගෙන එන්න එහාට. මගෙන් ඇහුවා පුලුවන්ද කියලා එක්ක එන්න. ඉතිං මං ආවේ ඔයාව අනිද්දා  බොස්ටන් එක්ක යන්න" ඔහු කීවේ හිනැහෙමිනි.
"මාව?" මම මිමිණුවෙමි.
"ඔව්... උදේ එකොලහට ෆ්ලයිට් එක. අපි එහාට යන්න වේවි නවයහමාර වෙද්දි වත්. ඒකයි මම අද ආවේ"
මගේ උගුරකට වියලී ඇති සෙයක් මට දැනුනු අතර. වෙනසක් නොපෙන්වා හිඳීම දුෂ්කර විය.
"මම හිතුවේ එන්නේ අක්කලා කියලා. එයාලට එන්න බැරි නම් අපරාදෙනේ ඔයාට කරදර කලේ. මට තනියෙම එන්නත් තිබ්බා" මම අක්කා ගැන උපන් සියුම් කෝපයකින් කීවෙමි.
"මට කරදරයක් නෑ පංචලී...ඇත්තම කිව්වොත් මම ආවේ හුඟක් කැමැත්තෙන්. මට ඔයා එක්ක කතා කරන්නත් දේවල් වගයක් තියෙනවා ඇත්තතම" ඔහු මෙවර මද බැරෑරුම් විලාසයකින් කීවේ මා බියට පත් කරමිනි.
"මා එක්ක? ඒ...ඒ මොනාද?"
"මම ඒක යන ගමන් කියන්නම්. අද මම එහා පැත්තේ නගරයේ හෝටලයක ඉන්නේ. හෙට මම යනවා මෙහේ මගේ යාලුවෙක් මුණගැහෙන්න. එයා ලඟදි තමයි, මෙහේ ඉස්පිරිතාලෙට ඇවිත් තියෙන්නේ. සමහරවිට හවස නම් ආයෙම මට ඔයාව හම්බවෙන්න පුලුවන් වේවි...ඔයා යාලුවෝ එක්ක වෙන වැඩක් දාගෙන නැත්නම්" ඔහු තවදුරටත් කීවේය.
"ආ...හෙට...හෙට හවස? ඔව්...බැරි වෙයි..ම්ම්.." මම එතරම් උනන්දුවකින් තොරව කීවෙමි. මහිතේ මෙවෙලේ මහා කුණාටුවක් වන් සිතුවිලි පොදියක් කැලඹෙමින් තිබිණි.
එහෙනම් අනිද්දා අටහමාර වෙද්දි, මම කැබ් එකක් අරන් එන්නම්. ඔයා ලෑස්ති වෙලා ඉන්නකෝ. හරිද? මම ගිහින් එන්නම්...හෙට අපි කතා කරමු"
ඔහු නැගිට සිටියේය.
මම ද යන්ත්‍රානුසාරයෙන් මෙන් නැගිට්ටෙමි. සියල්ලම උඩුයටිකුරු වී ගිය ලෙසක් මට මෙවෙලේ දැනෙමින් තිබිණි. ජේඩන් තවමත් ඇවිත් උන්නේ නැත.
"මොන පිස්සුවක්ද අනේ මේ? එයා මොකටද ඔයාව එක්ක යන්න ඇවිත් තියෙන්නේ?"
රාත්‍රියේ පැමිණි පසු මගේ දුක් කතාව අසා සොනාලි උන්නේද නොරිස්සුමිනි.
"ඔයාට හිතාගන්න බැරිද සෝනු, ඇයි මගේ අක්කා මෙහෙම කරන්නේ කියලා?" මම දුර්වල ලෙස විමසීමි.
සොනාලි සක්මන් කිරීම මවතා මදෙසට හෙලුවේ බියපත්  බැල්මකි.
"ඔයා කියන්නේ...?" ඈ මා සිතූ දෙය තේරුම් ගෙන තිබිණි.
"වෙන මොකටද එහෙනම්? එයාලට ඕන කොහොම හරි මාව සුදම්ට ජෝඩු කරන්න" මම සුසුමක් හෙලීමි.
මට හඬන්නට ඇවැසි විය.
"මේක මාර ප්‍රශ්ණයක් වුණානේ. කෝ අනේ මේ ජෙඩන් කියන යොදයා? කොහේ ගිහින්ද පණිවිඩයක්වත් නොතියා?"
"අනේ මන්දා සෝනු..එයා ආවත් නාවත්, අනිද්දාට ඉතිං මට යන්න වෙනවනේ" මම දුක්බරව කීවෙමි.
"හයියෝ...දැන් මොකද කරන්නේ?" සොනාලි බලවත් සේ චිත්තාපරව කීවාය.
"මම දෝතේ මුහුන සඟවාගෙන හිස වැනීමි. "මම දන්නෑ මොනා කරන්නද කියලා"
" අනිද්දට ඔයා නොයා හිටියොත්?" සොනාලි යෝජනා කලාය.
"හෙටත් ජේඩන් නාවොත්? මම මොකක්ද ගෙදරට කියන්නේ? ඉන්න හේතුවක් කියන්න බෑනෙ මට...අඩු ගාණෙ මම ජේඩන් ගැන එයාලට කියනකල්වත්" මම කීවෙමි.
"අපි ජේඩන්ට කතා කරලා බැලුවොත්? තියෙනවද නොම්මරේ ඔයා ගාව?" සොනාලි එවර ඇසුවාය.
"වැඩක් නෑ. ඒක වැඩ කරන්නෑ...මම කලින් බැලුවා" මම කීවෙමි.
සැබවින්ම ජේඩන් ගිය දිනවලම මම ඔහුගේ දුරකථනයට කතා කිරීමට උත්සාහ කලද එකලත් එය විසන්ධිව පැවතිනි.
"හිතාගන්න බෑ, ජේඩන් මෙහෙම කරන්නේ මොකද කියලා. මනුස්සයට කරදරයක් වත් වෙලාද?"
"අනේ එහෙම කියන්න එපා සොනාලි..."
සොනාලි මදෙස බලා සුසුමක් හෙලුවාය.
"මට යන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නෑ. කරන්න පුලුවන් එකම දේ හෙටවත් ජේඩන් ඒවිද කියලා බලන එක විතරයි. අනේ මන්දා...එයා ඒවිද, නේවිද කියලා...මගේ ඔලුව පිස්සු වෙලා සෝනු. කිසිම පණිවිඩයක් වත් නැති හන්දා කොහෙන් හොයන්නද අපි?" මම අඳෝනාවක් කීවෙමි.
"අපි හෙටත් බලමු" සුසුමක් හෙලූ සොනාලි කීවාය.
නමුදු ජේඩන් පසු දින සවස් වන තුරුත් ආවේ නැත. මම බලවත් කලකිරීමටත්, බලාපොරොත්තු කඩවීමකටත් ලක්ව උන්නෙමි.සුදම් කිහිප විටක් මගේ ජංගම දුරකථනයට ඇමතුවද ඔහුට කතා කරන්නට මතුල පිරියක් නොවිණි.
"දෙයියන්ගේ නාමෙට පංචලී..මෙන්න මේ මංගල්ලෙට උත්තර දීලා ඉන්නකෝ. කී පාරක් වැදුනද?"
ඩොලීස් හි තේ පානය කරමින් ඉන්නා අතරතුරේ නයෝමි මට බැරිම තැන කීවාය.
මම යන්ත්‍රානුසාරයෙන් මෙන් එයට උත්තර දීමට කනට ලං කලෙමි.
"පංචලී..." නමුදු අනෙක් පසින් ඇසුනේ සුදම්ගේ හඬ නොවේ. ඒ ජේඩන්ගේ හඬ විය.
"ජේඩන්!" මට කෑ ගැසිනි.
මේසය වටා හුන් අපගේ යහලු යෙහෙලියන් සියලු දෙනා, කන්නට බොන්නට කටට ලං කල දේ පවා කටට නොගෙන මදෙස බලා උන්නේ දැඩි උනන්දුවෙන් මෙනි.
"අනේ...ජේඩන්...ඔයා කොහේද දෙයියනේ මෙච්චර කල් ගිහින් හිටියේ? මම බය වෙලා හිටපු තරමක්...කියන්න මට මොකද වුණේ? ඇයි කතාවත් නොකලේ?" මම එක දිගටම අසාගෙන ගියෙමි.
"මට සමාවෙන්න...ගොඩක් සමාවෙන්න. ඇවිත් මම හැමදේම කියන්නම්. ඒක දිග කතාවක්. මම අද රෑට එනවා පංචලී...හෙට උදේම ඔයා බලන්න එන්නම්" ඔහුගේ හඬ මට දැනුනේ ඈත දුරක සිට එන්නාක් මෙනි.
"හෙට?"
"ඔව්...මම දැන් යන්න ඕන. මම හෙට අනිවාර්යෙන්ම එනවා. ඔයා දකින්න හිතේ තියෙන්නේ පුදුමාකාර නො ඉවසිල්ලක්..ඇත්තමයි"
"ජේඩන්...හෙට..."
"හරි මේ...මම දැන් යන්න ඕන. එන්න ලෑස්ති වෙන්නත් ඕන. මම ඇවිත් කතා කරන්නම්...අපි හෙට කතා කරමු...තියන්නම්.."
"ජෙඩන්...ජේඩන්..." එහෙත් අනෙක් පසින් දුරකථනය විසන්ධි වී තිබිණි.
මම සුසුමක් හෙලා දුරකථනය මේසය මතට දැමීමි. හිතේ වූ දුක හා කැලඹිලේ තරමට මට හඬන්නට තරම් උවමනාවක් විය.
"මොකද කියන්නේ? හෙටලුද එන්නේ?" සොනාලි කාටත් කලින් ඇසුවාය.
"අද රෑට. මාව බලන්න හෙට උදේට"
"මොනා? එයා හෙට කීයට එන්නද?"
"දන්නෑ.." මම සෙමෙන් කීවෙමි.
"හෙට නේද ඔයා යන්නෙත්?" සියල්ල බලා හුන් එරික් ඇසුවේය.
"හ්ම්..."
"එතකොට?" පූජා ඇසුවාය.
"අනේ මන්දන්නෑ...මට තේරෙන්නෑ..."
"කෝ අපි ආයෙම අරන් කතා කරමු එයා ගත්තු නොම්මරේට" ඩීනෝ මගේ දුරකථනය අතට ගමින් කීවේය.
අපි මොහොතක් බලාපොරොත්තු සහගතව ඔහු දෙස බලා උන්නෙමු.
"වැඩක් නෑ..ඒක මගක තිබ්බ එකක් වෙන්න ඕන. mobile phone එකක් නෙවෙයි" ඔහු අන්තිමට කීවේය.
"ඔයා කණගාටු වෙන්න එපා. අපි ගේට්ටුව ලඟ රැකලා ඉඳලා හරි ජේඩන්ව අරන් එන්නම්" මන්ජීත් කීවේය.
මට මද සිනාවක් නැගිනි.
"එපා...එයා කීයට ඒවිද දන්නේ නෑනෙ"
"කරන්න තියෙන එකම දේ, එයාව උදේම ගෙන්න ගන්න එක. ඊට පස්සේ ඔයාලට කතා කරන්න පුලුවන් තරමක් වෙලා අරන් දෙන එක, අර ගොබිලාගෙන් බේරගෙන" මෙසේ කීවේ එරික් ය.
මම මේසය වට හුන් අනෙක් අය දෙස බැලීමි. ඔවුන් දුකෙන් මෙන් මදෙස බලා උන්නහ.
"දුක් වෙන්න එපා පංචලී...අපි මොනා හරි කරමු"
සවස කාමරයට ආපසු පැමිණි පසුමට, සිත තුල වේදනා දෙන තුවාලයක් ඇතුවාක් සේ දැනුනි. ඒ සිතිවිල්ලෙන් පරි පීඩිතව, මම අපරීක්ෂාකාරී ලෙස ගෙන ගිය යුතු දෑ එක එක බෑගයන්ට දමමින් අලස වූ පැය කිහිපයක් ගත කලෙමි. සොනාලි වරින් වර මදෙස දුකින් මෙන් බැලුවා මිස කිසිත් නොකීවාය. මා ඕනාවට එපාවට දමන දෑ පිලිවෙලකට බෑගයන්හි අසුරන්නට උත්සාහ කරමින් ඈ මා සමග උන්නාය.
"ඔයා නිවාඩුවට අයියගේ දිහා යන්නේ කවද්ද සෝනු?" මම මේ අතරතුරේ ඇසීමි.
"කියන්න බෑ...තව දවස් දෙක තුනකින් විතර සමහරවිට..."
"අහන්න...අපි පාන්දරින්ම ජේඩන්ගේ ගෙදරට කතා කරමු. කතා කරලා කොහොම හරි පැය දෙක තුනකට හරි එයාව ගෙන්න ගමු..." සොනාලි මගේ අතක් මුදුවට පිරිමැද කීවාය.
හිතේ දුකට මා නොහැඬූ නිසාදෝ සිතේ වූ පිපිරී යන තරම් වූ දුක මට දරන්නට නොහැකි තරම් විය. ගෙදරින් පිටව මුලින්ම මෙහේ එනදා පැවතියාක් මෙන් මූසල අඳුරු හැඟීමක්ද සිත වසා පැතිර තිබිණි.
"දැන් ඉතින් ඕවා නොහිතා, හිනාවෙලා ඉන්නකෝ. හෙටින් පස්සේ සේරම වෙනස් වේවි. ඊට පස්සේ කරන්න තියෙන්නේ බලාපොරොත්තුවෙන් ඉන්න එක විතරයි, ආයෙම හම්බවෙනකල්.." සොනාලි සිනාසී කීවාය.
"හ්ම්...අපි එහෙම හිතමු"