"ලෑස්තිද...? අනුහස් ආන්යගේ කාමරේ දොර එහා පැත්තේ ඉඳගෙන කෑ
ගැහුවා.
"ඉන්න ඉන්න
එනවා" ආන්යා කිව්වේ ආයෙම පාරක් කඩා දාල උන්නු හිසකේ පීරන ගමන්.
"වාව්!"
ආන්යා එලියට යද්දි පොඩ්ඩක් ඈත් වෙලා ඈ දිහා බලපු අනුහස් කිව්වේ අමුතු හිනාවක්
පාලා.
"මොකෝ?" ආන්යා ඇහුවා.
"ගිනි කිරිල්ලි
වගේ යන්නේ ඈ. හොඳයි හොඳයි..."
"අනේ යන්න
අනූ...ඔයා හරිම නරකයි" ආන්යා කිව්වේ අනුහස් මගෑරලා සාලෙට යන ගමන්.
ආන්යා අද ඇඳගෙන උන්නේ අභී ඈට ගෙනැල්ලා දීපු සුදු පාට පුංචි ගවුම. ඒක
දණහිසගාවට විතරක් දිග, පුංචි බෝරිච්චි
අත් දෙකක් දාපු චාම් ගවුමක් වුණත් ඒක ඇන්දාම ආන්යගේන් දිස් වුණේ හුරතල් පෙනුමක්.
"එහෙනම් යමුද?" කාමරේ ඉඳන් ලෑස්ති වෙලා
ආපු තාත්තා ඇහුවේ සාලේ උන්නු අනුහස්ගෙන්.
"කෝ අම්මා?"
"එයි එයි..ආ...මේ
ඉන්නේ ලස්සනට" ආන්යව දැකපු තාත්තා කිව්වේ හිනාවෙලා.
ආන්යා ලැජ්ජාවෙන් රතු වුණා, ඈ බිම බලාගත්තේ
අනුහස් එක එක අංගවිකාර දක්වමින් ඈට විහිලු කරද්දි.
"ගෝපි නම් ඔන්න
කලින්ම ගිහින්...හදිසියකට ගෙදර පිරිමි පුලුටක් නෑ රාධාලගේ තනියට" එහෙම කිව්වේ
සාලෙට එමින් උන්නු අම්මා.
"අපි ඉක්මණට
එනවනේ...මම කියන්නම් මුත්තුසාමිට ඇවිත් බලන්න කියලා" තාත්තා කිව්වේ ඉස්ටෝරුවේ
මුරකාරයා ගැන.
කොහමහරි කට්ටියම එකතු වෙලා අභීලා උන්නු බංගලාවත යද්දි, එතනට තව කට්ටිය ඇවිත් උන්නු වග ආන්යට පෙනුනා.
"ආ..මේ අනෙක් වතු
වල මැනේජර්ස්ලත් ඇවිත් නේ. මනී මහත්තයා හොඳ පාටියක් ඔර්ගනයිස් කරලා වගේ
කාලෙකින්" තාත්තා කිව්වේ සතුටින්. මොකද ඔහුට ඔහුගේ මිත්‍රයෝ හම්බෙනවනේ.
"එහෙනම් ඉතින් අද
ගොඩක් අය යද්දි හතරගාතෙන් යයි" අම්මා කිව්වේ ඇනුම්පදයක්. ඒත් තාත්තා හිනාවුණා
විතරයි.
"ආ...මේ ආවේ අපේ
දෝනි...එන්න එන්න. ඔයා හරි ලස්සනයිනේ අද" ඇතුලට යද්දිම වගේ සාලේ මුල හිතගෙන
උන්නු අනුලා මැඩම් ආන්යව පිලිගත්තේ බොහොම උණුසුම්ව. තද නිල් පාට සල්වාර් ඇඳුමක්
ඇඳලා උන්නු ඈ අභීගේ අම්මට වඩා අක්කා කෙනෙක් කියලා දැන් කිව්වහැකි කියලා ආන්යට
හිතුණා.
"මැඩමුත් අද හරි
ලස්සනයි" ආන්යා කිව්වේ ඒකයි.
"ෂ්...මැඩම්
කියන්න එපා. අම්මා කියන්නකෝ...ආ...රූපා එන්න එන්න. අනේ ඇතුලට ගිහින් වාඩි වෙන්නකෝ
එහෙනම්" ඈ ආන්යාගේ
අම්මවත් පිලිගත්තා එහෙම. "හැබැයි ඉතින් ආන්යට නම් ටික වෙලා තනියෙම තමා ඉන්න
වෙන්නේ. අභී දවල් ඇවිත් නිදියගත්තු පාර තාම නිදි...ඔයා ආවාම ඇහැරවන්න කිව්වා, ඒත් පව් නේ නේද? අපි තව චුට්ටකින් ඇහැරවමු නේද?"
ආන්යා හිනා වුණා.
"ඒකට කමක් නෑ. මම
ඉන්නම්. ඇහැරවන්න ඕන නෑ පව්" එහෙම කියලා ආන්යා ඇතුලට ගියා අම්මලා එක්කම.
ඒ යද්දි එක පැත්තක මනී මහත්තයා අනෙක් මැනේජර්ලා වටකරගෙන බර කතාවක්.
"ආ...වීරේ, එන්න එන්න. අපි මේ එනකල්මයි හිටියේ..."
ඉතින් තාත්තා ඒ පැත්තට ගියා. අනෙක් පැත්තේ උන්නේ අම්මගේ සෙට් එක. ඉතින්
අම්මා ඒ පැත්තට ඇදුනා. සාලේ ඉතිරි වුණේ අනුහස් එක්ක ආන්යා විතරයි, මැනේජර්ස්ලගේ පොඩි ළමයි ටික ඇරෙන්න.
"කොහෙද දන්නෑ මේ
ආර්යන්...ආවට පස්සේ දැක්කෙම නෑනෙ" අනුහස් වටපිට බලද්දි ආන්යටත් නොබලා ඉන්න
බැරි වුණා.
"මම හොයාගෙන
එන්නම් මීනු...ඔයා මේ පොඩ්ඩෝ ටික එක්ක ඉන්න" අනුහසුත් සෙනග අස්සේ අතුරුදහන්
වුණා.
වැඩට උන්නු ගෑණු ළමයි දෙන්නෙක් ආන්යලට කේක් එක්ක බීම ඇල්ලුවා.
"දෝණි...එන්නකෝ
පොඩ්ඩක් අභීව බලලා එන්න යන්න" හදිසියේම කොහෙන්දෝ ආපු අභීගේ අම්මා කතා කලේ
ආන්යා පොඩි ළමයි එක්ක සෙල්ලම් කරමින් ඉද්දි.
"මම ඉක්මණට එන්නම්
ඈ" එහෙම කියපු ආන්යා අනුලා මැඩම් පස්සෙන් ඇදුනා.
අභීගේ කාමරේට ආන්යා එක පාරක්
ඇවිත් තිබුණත් අද අභීගේ අම්මා එක්ක,
එද්දි ඈට දැනුනේ වෙනස්ම හැඟීමක්.
"බලන්න්කෝ බබා වගේ
නිදි. පව් කොහෙටවත් හැරෙන්නත් බෑනෙ කකුල හන්දා"
ඇඳේ උඩුබැලි අතට හොඳටම නින්ද ගිහින් උන්නු අභීව දැක්කාම ආන්යටත් දැනුනේ
දුකක්.
"පස්සෙම ඇහැරවමු.
කමක් නෑනෙ?"
"කමක් නෑ
අම්මා" ආන්යා මුල්ම වතාවට එහෙම කිව්වා.
"යං"
"ශර්මිලා මොකද
පේන්න නැත්තේ අම්මා?" සාලෙට ඇවිදගෙන එන
අතරේ ආන්යා ඇහුවේ ඈ පේන්න නොහිටපු නිසයි.
"එයා ඒ දවස්වලම
ගියා. ඉන්ඩියා යන්නත් එක්කම. මොකද එයාගේ නෑයෝ ගොඩක් ඉන්නේ එහේ. සාරි ගන්නයි, ජුවලරි හදන්නයි තව දන්නැද්ද රටේ නැති වැඩනේ. ඒ
දෙන්නා නම් ඉක්මණටම පිලිවෙලක් කරන්න ඕන. ආර්යන් දැන් අවුරුදු ගාණක් ඕක ඇද ඇද
ඉන්නේ. මට ශර්මිලාගේ ගෙදරට බොරු කියලා එපා වෙලා" එහෙම කියලා ඈ හිනාවුණත්
ආන්යගේ හිතට නම් ආවේ මොකක්දෝ දුකක්. ඒ ආන්යා ඒකට ඇත්තම හේතුව දන්න නිසා වෙන්න ඇති.
"වෙලාවකට මට
හිතෙනවා ආර්යන් හා කිව්වේ අපි හින්දද කියලත්...කවුද දන්නේ අභී වගේ එයත් වෙන කෙනෙක්
හොයාගෙන හිටියද කියලා නේද?" අභීගේ අම්මා එහෙම
කිව්වාම ආන්යට දාඩියකුත් දැම්මා. ඈ හිනාවුණේ හරිම අමාරුවෙන්.
"නෑ...මම නම් එහෙම
හිතන්නෑ" ආන්යා කිව්වා.
අභීගේ අම්මා ආයෙම කොහාටදෝ අතුරුදහන් වුණාට පස්සේ ආන්යා ආයෙම සාලේ තනි වුණා.
ඈ අනුහස් හොයාගෙන එලියට බැස්සේ ගේ ඇතුලේ තනියෙම ඉන්න පාලු හන්දා.
"අයියෝ
දොරෙ...මුඩියාද දොරේ...(අනේ මහත්තයා,
බෑ මහත්තයා). ඉප්ප ඉදු රෙන්ඩාවද තානේ?(මේ දෙවනි එක නේද?)අප්පා පාතා එන්න
නෙනක්කුම් (තාත්තා දැක්කොත් මොනා හිතයිද?)" ඒ හඬ ඇහුණේ ආන්යා උන්නු තැනට එහායින් තිබ්බ සමර් හට් එක ලඟ ක්‍රෝටන් පඳුරු
අතරින්.
"ඉල්ල, යෙනක වේනුම් (බෑ මට ඕනමයී) යෙන් මනස සරිල්ල ඩා...(මගේ හිත හරි නෑ බං)නා
ඉන්ද එල්ලම මරක්කනුම්...කුඩික්කාම එප්පුඩි මරක්කමුඩියුම්? (මට මේ සේරම අමතක කරන්න ඕන. නොබී කොහොමද අමතක
කරන්නේ?) යෙංග පාර්තාලුම් අවරෝඩය
කන්න, සිරිප්පු තාන් තෙරියද
(කොහේ බැලුවත් එයාගේ ඇස්, හිනාව තමා මට
පේන්නේ), කුඩිකාම නා යෙප්පුඩි ඩා
මරක්කමුඩියුම් (නොබී කොහොමද බං අමතක කරන්නේ?)...නී පොයිට්ට එඩතිට වා...(උඹ ගිහින් අරගෙන වරෙන්)" ආන්යට ඒ හඬ ඇහුනේ ඈතක
ඉඳන් එන්නා වගේ.
ඒ එක්කම ඇගේ හිත බිමට වැටුණ වීදුරු බෝලයක් වගේ විසිරුණා. හිතට ආපු ආවේගෙට ඈ
කෙලින්ම ඉස්සරහට ගියේ වේගෙන්. ඈ යද්දි හිස් විස්කි බෝතලයකුයි, වොඩ්කා බෝතලයකුයි අතේ තියාගෙන උන්නු ගෝපිත්, අසල පුටුවකට වාරු වෙලා වෙරිමතින් උන්නු ආර්යනුත්
ඈ දිහා බැලුවේ පුදුමෙන්.
"මොනවද මේ කරන්නේ?" ආන්යා ඇහුවේ ඇඬෙන්න ඔන්න
මෙන්න හඬකින්, කෑ ගහලා වගේ.
"ආන්යා..."
ආර්යන් කෙලින් වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ගෝපි...යනවා යන්න
මෙතනින් ඔය බෝතලුත් අරගෙන...යනවා ඉතින්" ආන්යා කවදාවත් නැතිව ගෝපිටත් සැර
වුණා.
"අයියෝ බේබි
කේගාන්න යෙපා බේබි...කාට හරි ඇහුණොත් මොකද වෙයි?" ගෝපි එතනින් ගියේ නැතිවම
කිව්වා. ආන්යා ඔහුව අතෑරලා ආර්යන් දිහාට හැරුණා.
"මොනවද ආර්යන්
අයියා ඔයා මේ කරන්නේ? ඔයා කියපු දේවල්
සේරම මට ඇහුණා...අනේ ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඔයා බිව්වා කියලා මොනවත් වෙන්නෑ කියලා ඔයාට තේරෙන්නැද්ද? ආර්යන් අයියා...අභී ඔයාගේ මල්ලි, මං... මං...එයාගේ" ආන්යා කිව්වේ ඇස් වලින්
කඳුලු වැටෙද්දිමයි.
ආර්යන් ඈ දිහා බලාගෙන උන්නේ,
වේදනාව පිරුණ මුහුනින්.
"ඔයා මගේ වෙන්නත්
තිබුණා"
"ආර්යන් අයියා
ප්ලීස්..."
"අයි ලව්ඩ් යූ
ෆස්ට්...බට් අයි කුඩ් නොට් ටෙල් ඉට් ටු යූ ෆස්ට්...වස් දැට් මයි ෆෝල්ට්? ඔර් වස් ඉට් ලවින්ග් යූ, ආන්යා ටෙල් මී..."
"ගෝපි මෙන්න මෙයාව
අරන් ගිහින් වෙරි බහින්න මොනා හරි දෙන්න...මෙයාගේ අම්මා දන්නවනම් පොලවේ පස්
කයි...දෙයියන්ගේ නාමෙට ඔච්චර බොන්න එපා ආර්යන් අයියා. බිව්වා කියලා මොනවත් වෙනස්
වෙන්නෑ"
ආන්යා කිව්වේ හිතේ ලොකු දුකක් පෙරලි කරද්දි.
"මම ඒක දන්නවා ආන්යා... දන්නවා …. මම බොන්නේ ඔයාව
අමතක කරන්න, සිහියෙන් ඉද්දි ඒක කරන්න බෑ..."
"අනේ ආර්යන් අයියා ප්ලීස්...මං වඳින්නම් දැන් ආයේ බොන්න එපා. අම්මා දැක්කොත්
හොඳ නෑ...ප්ලීස්" ආන්යා බැගෑපත් වුණා.
“ආන්යා...”
"වාංග පෝලාම් දොරේ.. වාංග පෝලාම්...වාංග (මහත්තයා එන්න යන්න..එන්න) ගෝපි වාරු නැති ආර්යන්ව ඇදගෙන ගියේ ඔහු තවත්
මොනවද මුමුණද්දිමයි.
ඒ යන දිහා බලාගෙන උන්නු ආන්යා අසල තිබ්බ අඳුරු බිත්තියට හේත්තු වුණේ හති දමමින්. ඇගේ හිතේ පෙරලි කරමින්
තිබ්බ දුක කඳුලු වලට දිය වෙලා ගලාගෙන ගියත් ආන්යා ඇඬුවේ නෑ. කොච්චර ඇඬුවත් දැන්
කිසිම දෙයක් වෙනස් වෙන්නෑ කියලා ඈ දන්න නිසා. ඒත් ඈ හන්දා ආර්යන් අර විදියට ජීවිතේ
නැති නාස්ති කරගන්න යන එක ඈට දරාගන්න පුලුවන් වුණේ නෑ. ආර්යන් නොපෙන්නුවට මොන තරම්
දුකක් වේදනාවක් ඒ හිත තුල පෙරලි කරනවා ඇද්ද කියලා හිතද්දි ආන්යට ඒක තවත් දරාගන්න
බැරි වුණා. ආර්යන්ව මේ විදියට දකින්න ඈ හීනෙකින්වත් හිතලා තිබුණේ නෑ. ආපහු ගේ
ඇතුලට යන්න බෑ හිතුණත්, අභී නිසා නොයා ඉන්න ඈට පුලුවන්කමක් තිබුනේ නෑ.
"මීනු..."
"ආ..ඇයි අභී"
ආන්යා ගිලිලා උන්නු කල්පනාවෙන් මිදුනේ අභී කතා කලාම.
"ඔයාට මොකක් හරි
ප්‍රශ්ණයක්ද? ආපු වෙලේ ඉඳන්
කල්පනා කර කර ඉන්නේ" අභී ඇහුවේ නොසතුටකින් වගේ.
"අනේ නෑ...එහෙම
දෙයක් නෑ. මේ වෙච්ච දේවල්, හරි ඉක්මණට මෙහෙම
වුණා නේද කියලයිමං හිතුවේ" ආන්යා කිව්වේ ඇත්ත කියන්න ඈට බැරි හන්දා.
කකුල ටීපෝව උඩ තියාගෙන, සුදු දිග සැටියේ
වාඩි වෙලා උන්නු අභී අසුනේ හරි බරි ගැහුණා.
"මෙහෙම ඉඳලා ඉඳලා
කොන්දත් අමාරුයි" අභී කිව්වේ ඇඹරෙමින්.
"ආපහු කාමරේට
ගිහින් ඇලවෙනවද?" ආන්යා ඇහුවා.
"ම්හු...බෑ. එතකොට
අපි කතා කරන්නේ කොහොම්ද?"
"එහෙනම් ඔයා මේ
සැටියෙම දිගෑදෙන්න..." ආන්යා සැටියෙන් නැගිටිමින් කිව්වා.
ඊට පස්සේ ආන්යා ඔහුට සැටියේ දිගෑදෙන්න උදව් කලා.
"ඔව්, ඔව්,දැන්ම ඉඳන්
ස්වාමියාට සලකන්න පුරුදු වෙන එක හොඳයි" එහෙම කිව්වේ කොහෙදෝ ඉඳන් මොනවදෝ
හපමින් ආපු අනුහස්.
"සලකන්න පුරුදු
වෙන්න ඕනයැ?" ආන්යා ඇහුවේ කට
ඇද කරලා.
"නැත්තං...මොකෝ
ඔයාට ගෙදරදි ඕවා කරලා පුරුද්දක් තියෙන එකක්යැ?"
"මම හදලා
ගන්නම්කෝ" අභී කිව්වේ හිනා වෙවී.
"බලමුකෝ"
ආන්යා කිව්වේ දෙන්නටම.
"මම බොන්න දෙයක්
අරන් එන්නම්" ආන්යා නැගිට්ටා. අනුහසුත් ඈ පස්සෙන්ම ආවේ බොන්න දෙයක් ගන්න.
"කොහෙද අනූ හිටියේ
මම හැමතැනම හෙව්වා"
"අන්න අරහේ
බොනපාට්ලා ඉන්න හරියේ...ඔයා දන්නවද,
ආර්යන් ඔහොම හිටියට පට්ට බෙබේ කෙනෙක්නේ" අනුහස් එහෙම කිව්වාම ආන්යගේ
හිත සසැලුණා.
"චී...එහෙම කියන්න
එපා" ආන්යා කිව්වා.
"ඉතින් බෙබේට එහෙම
නොකියා මොනා කියන්නද? පොර කන් පාත්
වෙන්න ගහලා, ආන් අරහේ වමනේ
දානවා. අනේ මන්දා බැරිනම් මොකට බොනවද කියලා" අනුහස් කිව්වේ කජු දාපු දීසියක්
අතට ගන්න ගමන්. ආන්යගේ හිතට ආවේ ලොකු කණගාටුවක්.
"ඉතින් ඔයා එතනට
ගියේ කොකාකෝලා බොන්නද?" ආන්යා ඇහුවේ
කෝපෙන් වගේ.
"නෑ...නෑ...මම
බිව්වේ ස්ප්‍රයිට්...හැබැයි කලින් බියර්ද කොහෙද බීපු කෝප්පයක් සෝදන්නැතුව"
අනුහස් කිව්වේ ඇඟට පතට නොදැනී.
"අනූ..."
ආන්යා ඇස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවා.
"ඇයි...ඉතින්
කෝප්පේ හෝද හෝද ඉන්න බැරි නිසා එහෙමම බිව්වා"
"ඉන්නවා මං අම්මට
කියන්න"
"මොනාද?"
"කියනවා සුරාමේර
සිල්පදේ රකින හැටි"
"අනේ මේ පිස්සු
නම් කෙලින්න එපා කෙල්ලේ ඈ. පොඩි බියර් එකක් විතරයි ගත්තේ. සත්තයි...මේ අම්මට එහෙම
මේ ගැන කියන්නෑ....හරිද?"
"තමන් බිබී අනික්
අයට පද හදන හැටි?"
"හරි ඉතින් අපි
කන් පාත් වෙන්න බොන්නෑනෙ නගා"
ආන්යා අනුහස්ට ඇද කරලා අහක බලාගත්තා. ඒත් මොහොතකට ඇගේ හිත දිව්වේ ආර්යන්
දිහාට. ඔහු කවදා තමන්ගේ හිත නිදහස්කරාවිද කියලා ආන්යා හිතුවා.
"...අහන්නකෝ...ආන්යට
හොඳට සිංදු කියන්න පුලුවන්. මම දැකලා තියෙනවා"
කට්ටියම කාලා බීලා තැන් තැන් වල ඉඳගෙන ඉන්න වෙලාවේ අභී නිවේදනය කලේ හිටපු
ගමන්. ඔහු අසල උන්නු ආන්යා බයවෙලා වගේ වටපිට බැලුවා.
"අනේ බොරු
බොරු..." ආන්යා කිව්වේ අභීට රවන
ගමන්. 'මොනා කරනවද මන්දා'
"අනේ කියන්නකෝ
දෝණි අපටත් අහන්න" අනුලා මැඩම් කිව්වා.
"අනුහස් පියානෝ
ගහයි...එයත් මෙයාට දෙවනි නෑ" එහෙම කිව්වේ කොහේදෝ ඉඳලා ආපු නාරද.
"මට නම් බෑ
අභී..." ආන්යා හෙමින් කිව්වා.
"ප්ලීස් මීනු...මං
වෙනුවෙන්?"
ආන්යා හිස වන වන වටපිට බලද්දි ඈ දැක්කේ මේ දැන් නෑවා වගේ තෙත හිසකෙ පිටින්
උන්නු ආර්යන්ව. ආර්යන් ඈ දිහා බලලා අහක බලාගත්තා.
"ප්ලීස්
මීනු..." ඒ අස්සේ අභී වදේ ගහන්වා.
"ඔන්න ඔහේ එකක්
කියන්න මීනු...මම පියානෝ ප්ලේ කරන්නම්" අනුහස් කිව්වා.
ආන්යට තේරුණා දැන් නම් ගීතයක් කියන්නම වෙන වග. ඈ කල්ප්නා කලා මොහොතක් මොකක් කියන්නද කියලා. ඒ
එක්කම ඈට මතක් වුණේ අනුහසුයි, ඇයයි දෙන්නම්
ආදරේ කරපු ගීතයක්...අදට ගැලපෙනම එකක්.
"අරක...දීපිකා ප්‍රියදර්ෂනී
මැඩම්ගේ..." ආන්යා අනුහස්ට මතක් කලා.
එකපාරටම හැමෝම මීයට පිම්බා වගේ නිෂ්ශබ්ද වුණා.
"මට කඳුලු එක්ක
කලියෙන්...මං දමා යන්න...
නෑ හයියක් මට ඔබ දැක දැක පලායන්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
අභීගේ ලයාන්විත පියානෝ පෙර වාදනය ඉවරවුණ ගමන් ආන්යගේ ගීතවත් හඬ බංගලාවේ
සාලෙත් හාත්පසමත් විහිදිලා ගියා. ආන්යගේ ඇස් ඉබේටම දිව්වේ ආර්යන් ලඟට. ආර්යන් සේරම
අමතක වෙලා වගේ ඈ දිහා බලාගෙන උන්නා.
"මේ පුර හඳකට පෝය
ලැබෙන අන්තිම දවසයි
හෙට අවපස වී මං එනවිට අඬන්න නරකයි...
තව එපා ඉන්න...ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
මොන හේතුවකටදෝ ආන්යගේ ඇස් වලට කඳුලු එකතු වුණා, ඒ ගීතයේ අරුත නිසාද, අභීගේ ලයාන්විත වාදනය නිසාද, නැත්තම් ඈත උන්නු ආර්යන්ගේ දිලිසෙන ඇස් දෙක
නිසාද කියලා ඈට තෝරගන්න පුලුවන් වුණේ නෑ.
“සඳ එන අහසක සුදු
සීතල සැමදා නුඹටයි...අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලඟමයි...දැන් ඉතින් යන්න...
දැන් ඉතින් යන්න අතැඟිලි බැඳුනම බැරිවෙයි මුදු පලඳවන්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
ගීතය ඉවර කරලා ආන්යා ඇස්පියාගත්තා. ඇස් වල කඳුලු පිට පනිනවා ඈට දැනුනා.
අභීගේ අතක පහසක්, අගේ අතකට දැනුනා.
අභී ඇගේ අත මිරිකගත්තා.
අනික් හැමෝම අත්පුඩි ගැහුවා,
මොන මොනවදෝ කියමින්.
"වාව්...හරිම
ලස්සනයි මීනු...මට ඇඬෙන්නත් ආවා. ඒකහරිම දුක සිංදුවක්
නේ" අභී කිව්වා.
ආන්යා ඇස් ඇරලා බලද්දි ඉස්සෙ ල්ලා උන්නු තැන ආර්යන් උන්නේ නෑ. ඒත් අනික්
අයගේ ඇස් තිබුණේ තමන් අසල නිසා ආන්යා අමාරුවෙන් හිනාවක් මුවට නගාගත්තා.
"අනුහස්ගේ පියානෝ
වාදනෙත් නොම්මර එකයි" නාරද කිව්වේ හැමෝම ඒක අනුමත කරද්දි.
"ස්ටාර් ශ්‍රී
ලංකා" හොඳටම බීලා උන්නු කවුදෝ කෑ ගහනවා ආන්යට ඇහුණා.
ආන්යගේ ඇස් හෙව්වත් ඊටපස්සේ ආර්යන්ව ඈට දකින්න ලැබුණේ නෑ.
"හෙට නම් මට යන්න
වෙනවා මීනු...”
රෑ පැදුරු සාජ්ජෙකට අනික් අය එකතු වෙලා ඉද්දි සාලේ කොනක තනි වෙලා ඉන්න අතරේ
අභී ආන්යට කිව්වා. අභී හන්දා ආන්යට පැදුරට යන්න ඕන වුණේ නෑ. අභීටත් ඕන වුණේ නෑ.
"ම්ම්" ආන්යා
සුසුමක් හෙලුවා.
අභී ආන්යගේ පිටිඅත්ල හෙමිහිට පිරිමැද්දා. ආන්යා ආයෙමත් සුසුමක් හෙලුවා.
"ගොඩ දවසකට එන්න
වෙන එකක් නෑ ආයෙත්. මට ඩ්‍රයිව් කරන්නත් බෑනෙ...ඔයා මාව බලන්න එනව්ද මීනු?"
"තාත්තා ආවොත්, එන්න බලන්නම්..."
"හ්ම්...කවද්ද ආයේ
පේරාදෙණියේ යන්නේ?"
"තාම
දන්නෑ...කියලා නෑ"
"බලන්නකෝ ඒ දවස්
ටිකේ අපට එකට ඉන්න බැරිවුණ හැටි නේද?"
අභී කිව්වේ විස්සෝපෙන්.
"එහෙම හිතන්න
එපා...අපට කෝල් කරන්න පුලුවන් නේ"
"කෝල් කලාට මෙහෙම
ලඟ නෑනෙ මීනු" අභී ආන්යගේ අත අරගෙන පපුවට තියලා තදකර ගත්තා. අභී ගැන තියෙන
සෙනෙහස ආයෙම හිතේ ඉස්මතු වුණා. ඈ අත හෙමිහිට ඇදගන්න හැදුවා.
"අම්මලා දැක්කොත්..."
"ඉතින් ඔයා
මගෙනේ"
"ඒ වුණාට"
අභී බිත්තියේ පැති ලාම්පුවේ ලා කහපාට මන්දාලෝකයෙන් පේන ආන්යගේ දෑස් වලට
එබුණේ ලොකු කතාවක් කියන ඇස් වලින්. ආන්යට දැනුනා ආයෙම හිත පිච්චීගෙන යන හැඟීම. ඈ
ඉවත බලාගත්තේ ඒකයි.
"හෙට හැමෝම යනවද?" ආන්යා කතාව වෙනතක
හැරෙව්වා.
"හ්ම්...අන්නා නම්
දවස් දෙක තුනකින් එයි. ඒත් ආයෙම ඉක්මණට එහේ එන්න වෙනවා එයාට. එයාලගේ වෙඩින් එකට
දින දාගන්න උත්සවේ
ලබන මාසේ අග. ඊට පස්සේ මාස තුනකින් විතර වෙඩින් එක...ෂෝක් නේ" අභී කිව්වේ
හිනාවෙලා.
මේ අනපේක්ෂිත පුවත ආන්යව අන්ද මන්ද කලා. ඒත් ඈ දැන් ඒ ගැන හිතන්න ඕන කෙනෙක්
නෙවෙයි කියලා ඒ එක්කම ඇගේ හිත මතක් කරලා දුන්නා.
"හ්ම්...ශර්මිලාට
ගොඩක් හැපිවෙයි"
"හැප්පි හැප්පි
හැපි වෙයි"
ආන්යා හිනාවුණා.
"ඔයාව දාලා යන්න
තාමත් හිත හදාගන්න බෑ" ඈ හිනැහෙන දිහා බලාගෙන උන්නු අභී කිව්වා.
"ම්ම්...ඔය ඉතින්.
ඔහොම හිත හිත ඉන්න එපා දැන්. යන්නෙ ඔයා සනීප වෙන්නනේ...මං හැමදාම කතා කරන්නම්.
මෙසේජ් කරන්නම්. හොඳද?"
"ම්ම්" අභී
පොඩි ළමයෙක් වගේ හිස වැනුවා."අයි මිස් යූ ඕල් රෙඩී ප්‍රින්සස්..." අභී සුසුමක් හෙලලා
කිව්වේ ආන්යගේ දෝතම සිපගන්න ගමන්.
"අයැම් ගෝන මිස්
යූ ටූ..." ආන්යා මිමිණුවා.
"අයි මිස් යූ මෝ"
ආන්යා හිනාවුණා විතරයි, ඇස් අග කඳුලක්
එක්ක.
"පරෙස්සමින් ඉන්න
අභී, ඔයාට ඉක්මණට සනීප
වෙයි..."
"ඔයත් පරෙස්සමින්
ඉන්න..." එහෙම කියලා ඈ දිහා මොහොතක් බලාගෙන උන්නු අභී එකපාරටම පාත් වෙලා ඇගේ
කම්මුලක් සිපගත්තේ ආදරෙන්.
ආන්යා උරහිස හැකිලුවා.
"ලව් යූ සෝ මච් ප්‍රින්සස්"