Thursday, November 19, 2015

විහංඟනාවී: පනස්වන කොටස

අයුමි කාමරෙන් එලියට ආවේ ගැහෙන හිතිං. කාමරේන් එබිලා බලද්දි, අම්මා උන්නේ සාලේ මැදට වෙලා හති දම දම වගේ.  
"ඇ...ඇ..ඇයි අ..අම්මා මේ?" අයුමි ඇහුවේ ගොත ගහමින්.
අම්මා එක පාරටම මුකුත් නොකියා අයුමි දිහා උඩ ඉඳන් පල්ලෙහාට දෙපාරක් විතර බැලුවේ තරහෙන් වගේ.
"මොකක්ද අර හන්දියේදි නැටුවයි කියන නාඩගම?"
අම්මා අහද්දි අයුමිගේ හිත ටිකක් බියපත් වුණා. ඒ හන්දම ඈ අම්මගෙන් දෑස අහක් කරගෙන බිම බලාගත්තා.
"මොකක්ද බං ඒ කතාව?" පැත්තක උන්නු ආච්චි අම්මා සාලෙ මැදට ආවේ එහෙම අහගෙන.
"අම්මා මොනා කියනවද කියලා මම නම් දන්නේ නෑ" අයුමි ඒ පාර කිව්වා.
"ඔව්...තොත්තා බබානේ. මොනවත් දන්නේ නෑ. තමුන් නොදන්නවට ගමේ මිනිස්සු දන්නවා ඇති දැන් මෙලහකට"
"මොකක්දෑ ළමයෝ වෙලා තියෙන්නේ? කියන සිංහලක් තේරෙන්න කියහල්ලකෝ" ඒ අස්සේ ආත්තම්මා අහනවා.
"වෙලා තියෙන දේ මෙයාගෙන්ම අහගන්න අම්මේ. දෙයි හාමුදුරුවනේ අර මහ මනුස්සයත් නැතිව මම මුන්ව හැදුවේ මේවා බලන්නද?" ඒ පාර අම්මා තවත් ආඩපාලි කියන්න පටන් ගත්තා.
"මොකක්ද දුවේ මේ කියන්නේ?" ආත්තම්ම ඊලඟට ඇහුවේ අයුමිගෙන්.
"මම දන්නෑ ආත්තම්මේ. මම දැනුවත්ව වරදක් කරලා නෑ" අයුමි හෙමින් කිව්වා.
"වරදක් කරලා නෑ? උඹ ඔය කටින්ද මද්දු කියන්නේ?” අම්මා ඒ පාර කිව්වා.
"අ..අම්මා, මොනාද මේ කියන්නේ?"
"කියන්නේ? කියන්නේ මට දැනගන්න ලැබුණ දේවල් මිසක වෙන මොනවද? අද අර හන්දියේ කා එක්කද මද්දු උඹ රණ්ඩු වුණේ? මොනවද අර හිමාලි ගෙදර ගිහින් තොර තෝංචියක් නැතුව කියවන්නේ? මොකටද කොම්පැනියේ අයිතිකාරයා උඹව හොයාගෙන ආවේ මෙහාට?"
අම්මා එහෙම අහද්දි අයුමිට තේරුණා වෙලා තියෙන වැඩේ. මේ ටික වෙලාවට හිමාලි ගෙදර ගිහිං ඒකත් කියලද? එහෙම හිතද්දි අයුමිගේ හිතේ හිමාලි ගැන ඇති වුණේ තරහක්.
"ඇයි හිමාලි අම්මට ඒක කිව්වේ නැද්ද?" අයුමි ඇහුවේ ඒ තරහින්මයි.
"මද්දු...මගෙන් කට පොඩි කරගන්න එපා. හිමාලි කිව්ව දේවල් බොරුද එතකොට? හන්දියේ මිනිස්සු කී දෙනෙක් දකින්න ඇද්ද මේ නඩගම? උඹට අපි ගැන වගක් නැත්තේ ඇයි මද්දු?"
අයුමිගේ හිතේ කැකෑරෙමින් තිබ්බ තිගැස්ම, නොරිස්සුම, කණගාටුව මේ සේරම එක්ක ඈට කියන්න ඕන මොනාද කරන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරි වුණා. රවීන්ගේ ප්‍රශ්ණේ මදිවට අම්මත් මෙහෙම පරල වෙලා කෑ ගහද්දි ඈට තේරුණේ නෑ මොනා කරන්නද කියලා. අනික් ඈ බලාපොරොත්තු වුණේ නෑ රවීන්ගේ ප්‍රශ්ණේ මේ විදියට ගෙදරට ආරංචි වෙයි කියලා. ඒත් ඈ හිත හයිය කරගත්තා.
"දැන් මේ උඹ කෑ ගහන්නේ හිමාලි කිව්ව දෙයක් ඈඳගෙනද? හැබෑටම උඹට පිස්සුද ලොකු දුවේ?  හිමාලි මේ ළමයි එක්ක ඊරිසියා වග උඹ දන්නෙම නැද්ද?" ආත්තම්මා ඇහුව.
"හිමාලි ඉරිසියා එක හරි කියමු. ඒත් අර හන්දියේ ගෙදර බණ්ඩා මාමත් ඉරිසියාද එතකොට. මම එද්දි කලු ජේන් අපේ ගෙවල් ලඟ හක්කලං කරනවා. ඒ ගෑණිත් දැකලා මේ රණ්ඩුව. හැබැටම කරන මගුලක් ගෙදර ඇවිත් කතා කරගන්න තිබ්බේ නැද්ද? මොකක්ද මද්දු මේවයේ තේරුම? වෙනදා හවස එන ගෑණි අද දවල් ඇවිත්. ඒ මදිවට හොයාගෙන වැඩ කරන තැන අයිතිකාරයා ඇවිත්. මොනාහරි හොරකමක් කරලද ආවේ මද්දු? කියනවා ඉතිං" අම්මා ආයෙම කෑ ගැහුවා.
"අම්මට පිස්සුද අම්මේ. මම එහෙම කරන්නේ මොකටද? අම්මට ඒ තරම්ම මාව අවිශ්වාසද?" අයුමි ඇහුවෙත් පොඩ්ඩක් සද්දෙන්.
"එහෙනම් කියනවා මොකටද ඒ මනුස්සයා ආවේ?"
අම්මා එහෙම ඇහුවම දෙන්න උත්තරයක් අයුමිට තිබුණේ නෑ.
රවීන් ගැන ගෙදරට කියන්න මේ අවස්ථාව නෙවෙයි කොහොමවත් කියලා ඈ දැනගෙන උන්නා. ඒත් අම්මා උන්නේ තාමත් ඈ දිහා බලාගෙන උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"මම දන්නෑ අම්මේ. මම කතා කලේ නෑ" බැරිම තැන අයුමි කිව්වා.
"එහෙනම් මමද දන්නේ? මට ඇත්ත කියපන් මද්දු, මොකක්ද උඹෙයි මේ මනුස්සයයි අතර තියෙන මේ ඇයි හොඳයිය?"අම්මා උන්නේ කිසිම දෙයක් කරලා සනසන්න පුලුවන් තත්වෙක නෙවෙයි.
"අම්මා මේ මොනාද කියන්නේ?"
"මද්දු...උඹට බෑ මේ අම්මව තම්බන්න. මට ඇත්ත කියපන්. මෙතන මොකාක් හරි කොස්සක් තියෙනවා. මොකක්ද මේ කරන දේවල් වල තේරුම?"
"තේරුම මම කියන්නම් අම්මේ"
එහෙම කිව්වේ අයුමි නෙවෙයි. හොඳටම ගොලු වෙලා උන්නු ආත්තම්මයි, අයුමියි පුදුම වෙලා බලාගෙන උන්නේ දොර දිහාව. අම්මත් එක පාරටම හැරිලා ඒ පැත්ත බැලුවා. අයුමිට දැනුනේ කකුල් දෙක පණ නැති වෙලා යනවා වගේ හැඟීමක්.
දොරකඩ හිටගෙන උන්නේ රවීන්. යන්න ගිය ගමන නොයා ආපහු ඔහු ඇවිල්ලා තිබුණා අයුමිගේ ගෙදර හොයාගනම. දැනුන පුදුමය හෙමින් මැකිලා යද්දි, අයුමිගේ හිස මත ගිනි ජාලාවක් පත්තු වෙන්න ගත්තා ඊලඟට. දැන් මොනවායින් මොනවා වෙයිද, අම්මා කොහොම මේකට ප්‍රතිචාර දක්වයිද, කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඈ පිටිපස්සේ දොර උලුවස්ස තදින් අල්ලගෙන බීත්තියට තව ටිකක් හේත්තු වුණේ තමට කලන්තයක් හැදීගෙන එනවා වගේ දැනුන නිසා. රවීන් ඈ දිහාට එක බැල්මක් හෙලලා ආයෙම ඇගේ අම්මා දිහා බැලුවා. අම්මා උන්නෙත් ගොඩක් පුදුම වෙලා නිසාදෝ එක පාරටම ඈටත් කතා කරගන්න මතක් නොවුණ තරම් වුණා වෙන්න ඇති.
"මම රවීන් සේනානායක... අයුමි වැඩ කරන්නේ මගේ කම්පැනියේ" රවීන් කියනවා ඈට ඇහුණේ  හීනෙන් වගේ.
"ආ...."
ටිකක් පුදුම වෙලා උන්නු අම්මා එකපාරටම බැලුවේ අයුමි දිහාව. ඊලඟට ඈ ආයෙම රවීන් දිහාවට හැරුණා. රවීන් එවෙලේ උන්නෙත් අයුමි දිහා බලාගෙන. අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ ලොකුම නොරිස්සුම නැගීගෙන එද්දි. හිතේ තිබ්බ එකම ප්‍රශ්ණේ ඇයි මෙහෙම ඔහු ආපහු ආවේ කියන එක.
"එන්න මහත්තයා ගෙට"
අම්මා වියලි ස්වරයකින් කියනවත් ඈට ඇහුණා. ඊලඟට වෙන්න යන දේ ඈ බලාගෙන උන්නේ හොඳටෝම ගැහෙන හිතින්.
"මෙහෙම නොදන්වා, මේ වගේ වෙලාවක මේ විදියට ආපු එක කරදරයක් නම් මට සමාවෙන්න. ඒත් මීට වඩා කරන්න වෙන හොඳ දෙයක් මම දන්නේ නෑ"
ගේ ඇතුලට ඇවිත් ඉස්සරහම බිත්තිය අයිනේ තියලා තිබුණ වේවැල් පුටුවකට බර වුණ රවීන් එහෙම කිව්වේ එකට පටල පටල උන්නේ තමන්ගෙම දෑත දිහා බලාගෙන. උදේ ඇඳගෙන උන්නු ඇඳුම් පිටින්ම, හිසකේත් අවුල් වෙලා, විඩාපත් වෙලා වගේ උන්නු රවීන් දැක්කම අයුමිට දුකක් හිතුණේ නෑ.
"අනික මම මේක මෙහෙම එන්න හිටපු ගමනකුත් නෙවෙයි" රවීන් ආයෙම කිව්වේ අයුමි දිහා බලමින්.
එක පාරටම වෙච්ච දෙයින් පුදුම වුණ තරම හන්දදෝ අම්මා එක පාරටම කතා කලේ නෑ. ආත්තම්මා නම් උන්නේ සම්පූර්ණයෙන්ම ගොලු වෙලා.
"සර් ඇයි මෙහේ ආවේ?"
අයුමි එහෙම ඇහුවේ රවීන් ආයෙම මොනවත් කියන්න කලින්. ඒ පාර රවීන් ඈ දිහා බැලුවේ ටිකක් මවිත වෙලා වගේ.
"අයුමි..."
"ඇයි මෙහෙම ආවේ?" අයුමි ආයෙම ඇහුවා.
අයුමිගේ අම්මයි, ආත්තම්යි මාරුවෙන් මාරුවට අයුමි දිහායි, රවීන් දිහායි බැලුවේ තවත් වික්ෂිප්ත වෙලා වගේ.
"මම වෙන මොනාද කරන්නේ අයුමි? මම වෙන කොහොමද ඔයාගේ වැරදි වැටහීම නැති කරන්නේ?" රවීන් ඇහුවා.
"මොකක්ද මෙතන මේ සිද්ධ වෙන්නේ? මහත්තයා කරුණාකරලා පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?" බැරිම තැන අම්මා ඇහුවේ ටිකක් උස් හඬින්.  
ඒ පාර රවීන් අයුමිගේ අම්මා දිහාව බැලුවා. අයුමිගේ හද ගැස්ම අහේතුකව වැඩි වුණේ දැන් රවීන් මොනවා කියයිද කියලා හිතද්දි.
"මම කැමතියි අයුමිව කසාද බඳින්න" අයුමි ඊලඟට මොනවත් හිතන්නවත් කලින් රවීන් එහෙම කිව්වා.
අම්මලා ආයෙම ගොලු වුණා. ඒත් අම්මගේ ඇස් ඇවිත් නැවතුණේ අයුමි ලඟ. ඒ ඇස්වල තිබ්බ තියුණුකම දරාගන්න බැරිව අයුමිට බිම බැලුණා.
"මහත්තයා මේ මොනාද මේ කියන්නේ?" අම්මා ඊට පස්සේ ඇහුවා.
"අපි...දැන් කාලෙක ඉඳන් අඳුනනවා. අයුමි මං ගැන දන්නවා. මං එයා ගැන දන්නවා. මම හිතනවා මගේ ජීවිතේට ඕන අයුමි වගේ කෙනෙක් කියලා" රවීන් ඒ ටික කියලා ආයෙම අයුමි දිහා බැලුවා.
අයුමි උන්නේ අඬන්න ඔන්න මෙන්න වගේ. රවීන් මේ කරන වැඩෙන් වෙන්නේ දේවල් තවත් අවුල් වෙන එක කියලා ඈට දැනුනේ ඉවෙන් වගේ.
"ඒත් මහත්තයා, මහත්තයා මෙහෙම හදිසියේ ඇවිත් මේ විදියේ දෙයක් කිව්වම, අපි කොහොමද එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ දේවල් තීරණය කරන්නේ? මේවා එහෙම ආවට ගියාට අපට තීරණය කරන්න බෑ නේ" අම්මා ඒ පාර කිව්වා.
"ඔව් ඒක ඇත්ත. ඒක මට තේරෙනවා. ඒකයි මම කිව්වේ මම මේ ගමන මෙහෙම එන්න හිටපු එකක් නෙවෙයි කියලා. ඒමොනා වුණත් මම  එහෙම හදිසියේ දේවල් තීරණය කරන්න කියනවා නෙවෙයි" රවීන් කිව්වා අම්මා දිහා බලමින්.
"එහෙම කරන්නේ කොහොමද?"
ඒ පාර අයුමි කතා කලේ අම්මත් මොනාදෝ කියන්න කට හදද්දි. රවීන් අයුමි දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ප්ලීස් සර්...මෙහෙම කරන්න එපා. කරුණාකරලා දැන් මෙහෙන් යන්න" අයුමි ඒ පාර කිව්වේ බැගෑපත්ව.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නේ අදහාගන්න බැරුව වගේ.
"මොනාද ඔයා මේ කියන්නේ? අපට ආදරේ කරන්න පුලුවන් නම් ඇයි කසාද බඳින්න බැරි?" රවීන් ඇහුවේ එහෙම.
ටිකක් වෙලා ගල්භීත වෙලා වගේ උන්නු අම්මා අයුමි දිහාවට හිස හැරෙව්වෙත් ලොකු විමතියකින් වගේ.
"අම්මේ...අපි අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඒක තියෙන්නේ දැන් ටික කාලෙක ඉඳන්. සමහරවිට අයුමි ඒක ගෙදරට කියලා නොතිබෙන්න ඇති. ඒත් ඒක එයාගේ වරද නෙවෙයි. ඒක නොකියා උන්නේ මගේ උවමනාවට. ඇත්තම කිව්වොත් මගේ හිතේ පොඩි බයක් තිබුණා මේ දේවල් කිව්වොත් ගෙදරින් අකමැති වෙයිදෝ කියලා. ඒ හන්දා පරක්කු කලා මිස, මේක හොරෙන් කරගෙන යන්න අදහසක් තිබ්බාත් නෙවෙයි.
මම අම්මලට ඇත්තම කියන්නම්. මම බැඳලා දික්කසාද වුණ කෙනෙක්. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ වයිෆ් මගෙන් වෙන් වෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. මම අම්මලට මේවා හංගන්න ඕන නෑ. මම කවදාවත් මේවා අයුමිට හැංගුවෙත් නෑ. අයුමි වැඩ කරන කම්පැනිය මගේ. ඊට අමතරව අපේ පවුලේ හවුල් බිස්නස් එකක් තියනවා. හැමදේම නිරවුල්ව මගේ අයිතිය තියෙනවා. මගේ අතින් කවදාවත් අයුමිට අඩුපාඩුවක් වෙන්නේ නෑ" රවීන් කියාගෙන ගියා.
අයුමිගේ අම්මා උන්නේ ඒ පාර බිම බලාගෙන සේරම අහගෙන. ආත්තම්මා උන්නෙත් ගල් ගැහිලා වගේ පපුවට අතකුත් තියාගෙන රවීන් දිහා බලාගෙන. රවීන් ඇස් උස්සලා අයුමි දිහා බලද්දි ඈ උන්නෙත් කිසිම දෙයක් කියාගන්න බැරිව ගල් වෙලා වගේ. දැන් ඉතිං කිව්වත් මොනා කියන්නද?
"අම්මලා මේ ගැන කියන්නේ මොකද කියලා දැනගන්න මං කැමතියි" ඊට පස්සේ අයුමිගෙන් ඇස් අයින් කරගත්තු රවීන් ආයෙම අම්මා දිහාව බැලුවා.
කතා කරන්න කලින් අම්මා දිග සුසුමක් හෙලුවා. අයුමිගේ හිත පතුලට කිඳාබැස්සා වගේ දැනුනේ ඒ සුසුමේ තේරුම ඈ දන්න නිසා වෙන්න ඇති.
"මේ දේවල් එහෙම හදිසියේ තීරණය කරන්න බෑනේ මහත්තයෝ. අපේ තව දැනුම් තේරුම් තියෙන වැඩිහිටි උදවිය එක්කත් කතා කරන ඕන. මොකද තාත්තත් නැතුව මේ ළමයි හදද්දි හැමදේකටම අපට ලඟ උන්නේ ඒ උදවිය නිසා"
"මට තේරෙනවා අම්මේ. අම්මලා හිතලා උත්තරයක් දෙන්න. අයුමි ආයෙම ඔෆිස් එද්දි ඒ තීරණෙත් අරගෙන එන්න පුලුවන් වේවි කියලා මම හිතනවා" රවීන් කිව්වා.

අයුමි රවීන් දිහාම බලාගෙන උන්නේ වෙච්ච දේවල් අදහාගන්න තාමත් බැරිව. රවීන් ගෙදර ඇවිත් කතා කරන්න ඕන කියලා හිතපු දවස් ඈට තිබුණත්, මේ ඒකට වෙලාව නෙවෙයි කියලා ඇගේ හිත කිව්වා. රවීන් ගැන ඇගේ හිතේ ඇතිවෙලා තිබ්බ කලකිරීම වැඩි වුණාදෝ කියලා ඈට දැනුනේ ඔහු ගැන ඒ වෙලාවේ කිසිම හැඟීමක් හිත තුල නොතිබ්බ නිසා. හිතේ තිබ්බේ බයක්, තිගැස්මක්රවීන් කොයි වෙලේක හරි ගියාට පස්සේ මෙතන මොන ගිනි විජ්ජුම්බරයක් වේවිද කියලා.

Saturday, October 24, 2015

විහංඟනාවී: හතලිස් නමවන කොටස

පිටකොටුවෙන් බැහැලා අයුමි බස් එක තියෙන දිහාට ආවේ හිතේ හෝදිසියට මිසක, සිහි කල්පනාවක් ඇතුව නෙවෙයි. එන අතරමගදි රවීන් සියපාරක් විතර ඇගේ ෆෝන් එකට කෝල් කලත් ඈ ඒ ඒවට උත්තර දෙන්න ගියේ නෑ. ඈ දැනගෙන උන්නා රවීන් කලබල වෙලා ඇති වග. ඒත් මොකක්දෝ හේතුවකට ඈට ඔහු ගැන දුකක් දැනුනේ නෑ.
ඈ අවසිහියෙන් වගේ ඇවිත් බස් එකට නැගලා වාඩි වෙන්න එද්දි, ඈට දැනුනා කවුදෝ ඇගේ අතකට තට්ටු කරලා කතා කරනවා.  ඈ හැරිලා බැලුවේ පොඩි විමතියකුත් එක්ක. ඊලඟට ඒ විමතිය දෙගුණ වුණේ ඒ අසල සීට් එකක වාඩි වෙලා ඈ දිහා බලාගෙන උන්නු හිමාලි දැක්කම.
"ආ...හිමාලි අක්කා?"
අයුමි හිනාවෙන්න උත්සාහ කරමින් ඈ අසලට ගිහින් එතනින් වාඩි වුණේ හිත දොම්නසකින් පිරෙද්දි. නිදහසේ දුක් වෙන්නවත් ඉඩක් නැති හැටි කියලා ඈට හිතුණා.
"ඔයා කොහේද අද මෙහේ? මේ සති මැද ගෙදර යනවද? අයුමිගෙන් හිමාලි ඇහුවා.
"නෑ අක්කේ ගිය සති දෙක තුනේම ගේර යන්න වුණේ නෑනෙ. ඒ හන්දා මම දවස් දෙකක් නිවාඩු ඉල්ලගෙන ආවා සති අන්තෙත් ඉඳලම යන්න කියලා" අයුමි කිව්වේ කැලඹෙන හිත සන්සුන් කරගන්න උත්සාහ කරමින්.
"ආ...එහෙමද? එතකොට ඔයා අර අතන මගින් නෙවෙයිද නගින්නේ?"  හිමාලි ඊලඟට ඇහුවා.
"ආ....නෑ හැමදාම එහෙම නගින්නේ නෑ අක්කා. අද කලින් ආව නිසා මෙහාටම ඇවිත් නගිනවා කියලා හිතුණා" අයුමි බොරුවක් කිව්වා.
"එතකොට ඔයා?" මන්දරී ඊලඟට හිමාලිගෙනුත් ඇහුවා.
"මම ට්‍රේනින් එකකට ආවා මෙහේ. අද කලින් ඉවර වුණ නිසා ගෙදර යන්න ආවේ" හිමාලි කිව්වා.
"ම්ම්...එහෙමද?" අයුමි ඕනවට එපාවට එහෙම කියලා සීට් එකට හේත්තු වෙලා දෑස් පියාගත්තා.
හිමාලි එක්ක කතා කර කර යන්න ඈට උවමනාවක් තිබ්බේ නෑ. වෙච්ච දේවල් හන්දා අයුමි උන්නේ ලොකු කම්පනේකට පත් වෙලා. ඈට ඕන වුණේ කොහේකට හරි වෙලා හයියෙන්ම අඬන්න ආයෙම. ඒ අතරේ ආයෙම අයුමිගේ ෆෝන් එක නාද වෙන්න ගත්තත් ඈ ඒක අතට අරන් සයිලන්ට් කරලා බෑග් එකේ දාගත්තේ හිමාලි ඒ දිහා අමුතු විදියට බලද්දි. රවීන් හොඳටම කලබල වෙලා වග ඈට දැනුනත්, සැන්ඩ්‍රා කියපු දේවල් ආයෙ ආයෙම ඇගේ හිතේ දෝංකාර දෙද්දි ඈ හිතුවේ ඒක ඔහුට වෙන්න ඕන දෙයක් කියලා. සැන්ඩ්‍රා ගැන ඇත්ත ඔහු කවදාවත් ඈට නොකිව්වේ ඇයි කියලා ඇගේ හිත අද ඇගෙන්ම ප්‍රශ්ණ කලා.
අයුමිගේ සැනසීමට හේතු වෙමින් බස් එක ටික දුරක් යද්දි ඈට ඉබේටම නින්ද ගියේ  මහන්සියයි, රස්නෙයි දෙකම නිසා. අවිස්සාවේල්ලට ලං වෙලා හිමාලි ඈට කතා කරද්දි ගැස්සිලා වගේ ඇහැරුණා අයුමිට එක පාරටම හිතාගන්න බැරි වුණා ඈ මොකද මේ බස් එකේ ඉන්නේ කියලත්. ඒත් හෙමින් හෙමින් ආයෙම වෙච්ච දේවල් හිතට කාන්දු වෙද්දි, ඇගේහිත ආයෙම මහා කාලකණ්ණි හැඟීමකින් බර වුණා.
අයුමි බස් එකෙන් බැහැලා හිමාලි එක්කම ගෙදර එන්න පිටත් වුණේ හැඟීමකින් තොරව. හිමාලි මොන මොනවදෝ අහද්දි ඈ, එවෙලෙට යමක් මිමිණුවත් ඒ උවමනාවකින් නෙවෙයි. ගෙදර එන මගට එද්දි අයුමිට හිතුණා එක අතකට ගෙදර නෑවිදින් බෝඩිමේ නැවතුණා නම් ඉවරයි කියලා. හිතේ මේ තරම් යුද්ධයක් ඇවිලෙද්දි ගෙදර අයට පේන්න මූනිච්චාවට හිනාවෙලා ඉන්නේ කොහොමද කියලා ඈ කල්පනා කලා. හිමාලි එක්ක ආපු පැය දෙකට කතා කරන එන මෙච්චරම අමාරු නම් දවස් දෙකක් එහෙම ඉන්නේ කොහොමද කියලා ඈ හිතලාවත් තිබුණේ නෑ.
අයුමිගේ කල්පනාව කොච්චර ගැඹුරු වුණාද කිව්වොත්, ගෙදර පැත්තට හැරෙන පාර අසල ඈ එනකල් බලාගෙන උන්නේ කවුද කියලා ඈ දැක්කේ නෑ ලඟට යනකල්ම.
"මද්දු...මද්දු...අර බලන්නකෝ කවුද අර අපේ පාර ලඟ ඉඳගෙන මේ පැත්ත බලාගෙන ඉන්නේ?"
අයුමි හිස උස්සලා බැලුවේ හිමාලිගේ හඬට.
ඒ එක්කම ඈට දැනුනේ ඇගේ හිස මතට අයිස් දහරාවක් වත්කලා වගේ හැඟීමක්.
පැජරෝ එකට හේත්තු වෙලා, එක අතක් බැඳගෙන, අනිකෙන් නිකට පිරිමදිමින්, නො ඉවසිල්ලෙන් වගේ ඒත් තියුණු බැල්මකින් ඈ එන දිහා බලාගෙන උන්නේ රවීන්! ඈට හිතාගන්න බැරි වුණා රවීන් ඒ වෙලාවේ එතනට කොහොම ආවද කියලා. ඈ උන්නු තැනම නැවතුණේ ඉබේටම. ටික දුරක් ඈ නැතිව ගිය හිමාලි හැරිලා බලලා ඈ නැති වග දැනගෙන නැවතිලා ආයෙම ඈ දිහා බැලුවේ පුදුමෙකින්. ඒත් අයුමිගේ ඇස් තිබ්බේ රවීන් ගාව. රවීන් උන්නේ හැඟීම් පාලනය කරගෙන වගේ, හයියෙන්ම හුස්ම ගනිමින්. අයුමිට හිතාගන්න බැරි වුණා එතනින් ඉස්සරහට යනවද ආපහු හැරෙනවද කියලා.
"මද්දු...මොකද?" ඒ අස්සේ හිමාලි ඇහුවා.
හිමාලි රවීන් දිහායි, අයුමි දිහායි මාරුවෙන් මාරුවට බල බල හෙමින් ඉස්සරහට ඇදුනා. ඒත් අඩි දෙක තුනක් යද්දිම රවීන් අයුමි ඉස්සරහට ආවේ හිමාලිවත් හොඳටම පුදුම කරවමින්.
"අයුමි...ඔහොම නවතින්න" රවීන් කිව්වේ විධානාත්මකව.
රවීන් ඉස්සරහටම ආව නිසා යන්න ඉඩක් අයුමිට තිබ්බේ නෑ. අයුමි එක්කම හිමාලිත් නැවතුණා. ඈ උන්නේ කිසිම දෙයක් හිතාගන්න බැරිව වගේ.
"ඔයා ඇයි ආවේ රවීන්?" අයුමි ඇහුවේ ඔහු දිහා කෙලින්ම බලලා.
"ඇයි ආවේ? මට නොකියම පිස්සෙක් වගේ ඔෆිස් එකෙන් එන්න ආවම මම වෙන මොකක්ද කරන්නේ? ඇයි ඔයා එහෙම දමලා ගහලා ආවේ අයුමි? කොහොමද ඔයා එහෙම දෙයක් කලේ මට?" රවීන් ඇහුවේ තරහත්, දුකත් මුසු ස්වරයකින්.
"කවුද මද්දු මේ?" ඒ අස්සේ හිමාලි අහනවා.
"ප්ලීස් මිස්, මම දන්නේ නෑ ඔයා කවුද කියලා. ඒත් මේක අපේ පෞද්ගලික ප්‍රශ්ණයක්. අපට ඒක විසඳගන්න දීලා කරුණාකරලා ඔයා යන්න. තෑන්ක් යූ" රවීන් ඊලඟට හිමාලි දිහාට හැරිලා කිව්වේ ඉවසීම නැතිවුණ ගාණට.
"ඔයා කවුද මට එහෙම කියන්න?" ඒ වචන වලින් තරහා ඇවිස්සුන හිමාලි ඇහුවේ උස් තද ස්වරයකින්.
"හිමාලි අක්කා ඔයා යන්න. ඒත් මම වඳින්නම්, මම එනකල් අපේ ගෙදරට මුකුත් කියන්න එපා" අයුමි හිමාලිට ආයාචනා කලා.
"කවුද මේ මනුස්සයා?" හිමාලි ඇහුවා ආයෙම.
"මම අයුමිගේ බෝයිෆ්‍රෙන්ඩ්. ප්ලීස් මිස් දැන්වත් යන්න" රවීන් කිව්වා.
හිමාලි උඩ බිම බලද්දි, අයුමි හොඳටම කලබල වුණා.
"රවීන්...මොනවද ඔයා මේ කියන්නේ?"
"අයුමි මට පාර මැද මෙහෙම කතා කරන්න ඕන නෑ. කරුණාකරලා වාහනේට නගින්න" රවීන් කිව්වා.
"මට බෑ රවීන්. ප්ලීස් මෙහෙන් යන්න. අපි පස්සේ කතා කරමු" අයුමි ආයාචනා කලා.
හිමාලි තාමත් උන්නේ එතනම හිටගෙන.
"ආපු දේ කරගෙන මිසක මම යන්නේ නෑ. ඔයා ඇයි එහෙම දමලා ගහලා ආවේ? ඇයි එහෙම කලේ? ඔයා දන්නවද මං කොච්චර කලබල වුණාද කියලා?" රවීන් කෑ ගැහුවා.
"මට කතා කරන්න දෙයක් නෑ තවත්" අයුමි බැරිම තැන කිව්වා.
රවීන් ඈ දිහා බැලුවේ ටිකක් තිගැස්සිලා වගේ.
"එතකොට ඔයාට මට කියන්න තියෙන දේවල් අහන්න ඕනත් නැද්ද?" රවීන් ඇහුවේ පරාජිත හඬකින්.
"රවීන්, මට මේ වෙලාවේ මේවා කතා කරන්න මානසිකත්වයක් නෑ. කරුණාකරලා මට යන්න දෙන්න. අපි පස්සේ කතා කරමු. දැන් කතා කරන්න ගියොත් මේක කොහෙන් නවතියිද මම දන්නේ නෑ. මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න. මට ටිකක් නිදහසේ හිතන්න දෙන්න" අයුමි පිංසෙණ්ඩු වුණා.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නා මොහොතක් පරාජිත බැල්මෙන්ම. ඊට පස්සේ ඔහු හිස බිමට නවාගත්තා.
"කමක් නෑ. ඔයා කැමති තරමක් කල් අරගන්න. ඒත් මට දෙයක් ඔයාට කියන්න ඕන..."
එහෙම කියලා ඔහු ආයෙම අයුමි දිහා බැලුවා.
"මගේ හිතේ ඔයාට තියෙන ආදරේ බොරුවක්, මවාපෑමක් නෙවෙයි. ඔයා එක්ක ඉද්දි කවමදාවත් මම වෙන ගෑණු කෙනෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධයක් ඇති කරගෙන නෑ. සැන්ඩ්‍රා එක්ක ඔය කියන විදියේ දෙයක් වුණේ නෑ. පුලුවන් නම් විතරක් මාව විශ්වාස කරන්න"
රවීන් එහෙම කියලා අයුමි එතනම හිටගෙන ඉද්දිම ආයෙම වාහනේට නැගලා යන්න ගියා.
අයුමිගේ හිතේ පිරෙමින් තිබුණේ ලොකු දුකක. ඈ රවීන්ට ආදරේ කලා වුණත්, සැන්ඩ්‍රා ඇවිත් කියපු දේවල් බොරු කියලා තවමත් හිත පිලිගන්න සූදානම් වුණේ නෑ. ඇහැට නැගුණ කඳුලු බිංඳුවක් හෙමින් ඇඟිල්ලකින් පිහ ගත්තු ඈ ආපහු හැරෙද්දියි දැක්කේ හිමාලි තවමත් එතන වග. හිමාලි උන්නේ බය වෙලා වගේ ඈ දිහා බලාගෙන.
අයුමි හිමාලිට කතා නොකරම ගේ දිහාට එන්න හැරුණා. ඒත් හිමාලි ඈ එක්කම වගේ එන්න ආවා.
"මොකක්ද මද්දු ඒ වෙච්ච දේ තේරුම? ඒ ඔයා වැඩ කරන තැන අයිතිකාරයා නේද?" හිමාලි ඇහුවා.
ඒත් අයුමි මොනවත්ම කිව්වේ නෑ. ඔහේ ගේ දිහාට එන්නා ආවා මිසක. ඇගේ කන් තිබුණේ මොකක්දෝ ඝෝෂාවකින් පිරිලා වගේ. හිත තිබ්බේ එහමපිටින්ම අවුල් ජාලයක් වෙලා.
"මොකක්ද මද්දු මේ වැඩේ තේරුම? එක වෙලාවක හිමාලි ආයෙම අහනවා ඈට ඇහුණා.
ඈ ඒත් ඒකත් නෑහුණා වගේ තමන්ගේ ගෙදරට හැරෙන පාරෙන් හැරිලා එන්න ආවේ හිමාලි දිහාවත් නොබලා. අයුමිට හිතාගන්න බැරි වුණා ඊලඟට තමන් කරන්න ඕන මොනවද කියලා. ගෙදර මිදුලට යද්දි ආත්තම්මා උන්නේ මල් කඩ කඩ.
"ආ...මේ මොකෝඅ අද සති මැද්දෑවෙම ගෙදර එන්නේ?" ඈව දැකපු ගමන් ආත්තම්මා හිනාවක් පාලා ඇහුවා.
"නිවාඩුවක් දාලා ආවා ආත්තම්මේ, සති අන්තේ එන්නත් බැරිවුණ හන්දා" අයුමි එහෙම කියාගෙන ගෙට එන්න ආවා.
අම්මා තාමත් ගෙදර ඇවිත් උන්නේ නෑ. මල්ලිත් class ගිහින් නිසාදෝ ගෙදර තිබ්බේ පාලු බවක්. අයුමි තමන්ගේ කාමරේට වැදිලා බෑග් එක එහෙමම මේසේ උඩට වීසි කරලා ඇඳේ දිගාවුණේ, හිතේ තිබුණ, දුක, කනස්සල්ල, වික්ෂිප්තබව මේ හැමදේම ආයෙම හිතේ බලවත් වෙලා ඈට වද දෙද්දි.
"කෝ මද්දු ආවා නේද? කෝ දැන්? මද්දු..."

ගෙවුණේ පැයක්ද, විනාඩි ගාණක්ද කියන්න අයුමිට නිනව්වක් තිබ්බේ නෑ. සාලේ දිහාවෙන් අම්මගේ කටහඬ ඇහෙද්දි ඈ ඉබේටම ඇඳෙන් නැගිට්ටා. හිතේ මොකක්දෝ අහේතුක බයක් ඉපදුණේ අම්මගේ හඬේ තිබ්බ ස්වරය නිසා. අම්මා උන්නේ තරහින්ද? අයුමි කාමරෙන් එලියට  එබුණේ හිතේ ඒ දෙගිඩියාවත් එක්ක..

Saturday, October 3, 2015

විහංඟනාවී : හතලිස් අටවන කොටස

එදායින් පස්සේ අයුමි ඔෆිස් එකේ උන්නේ වැඩියෙම කා එක්කවත් කතා නොකරම වගේ. ප්‍රියන්තිලාට අමනාපයක් නොපෙන්නුවත් ඈ උත්සාහ කලා ඒ අය එක්ක වැඩිපුර භජනෙට නොයා ඉන්න. කොහොමත් රවීන් කමති වුණේ නෑ අයුමි ප්‍රියන්තිලා එක්ක ඕනාවට වඩා කුලුපග වෙන්න යන එකට.
"යාලු වුණාම වැඩ කරද්දි ප්‍රශ්ණ වැඩියි බබී. එතකොට කෙලින් මොනවත් කියන්නත් බෑ හිත රිදෙයිද කියලා. අනික, යාලුවෝ වුණාම හොඳ නරක මේ සේරම දේවල් කතා බහ කරලා දැනකියාගන්න හන්දා, වැඩියක්ම අමාරුයි මිනිස්සු මැනේජ් කරන්න. මොකද අන්තිමේදි ඒ අය කරන්නේ ඔයාගේ අඳුනගත්තු දුර්වල තැන් ඔයාටම විරුද්ධව පාවිච්චි කරන එක. මට ඒවා දැන හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ නිසා මම ඔයාට කියන්නේ, ඔය සේරමල්ලව අතේ දුරින් ඉන්න" රවීන් කිව්වේ එහෙම.
රවීන් දැනගෙන උන්නා වෙන්න ඇති අයුමිගේ හිතේ තිබ්බ පටලැවිල්ල.
ඔෆිස් ඇවිත් අයුමි කෙලින්ම තමන්ගේ රූම් එකට ඇවිල්ල වැඩ කරන්න පටන් ගත්තා මිස වෙනදා වගේ කතා බහ කරන්න පහල නැවතුනේ නෑ. ඒක මහ අමුත්තක් වුණත්, ඈට කරන්න වෙන දෙයක් තිබ්බෙත් නෑ.
"මැලේසියා වලින් මේල් එකක් ඇවිත් තියෙනවා. ම්ම්....ලබන මාසේ මැලේසියා යන්න වෙයි වගේ බබී. අර මෙහේ ස්පා එක කරන කට්ටිය එහේ එයාලගේ හොටෙල් එක ආපහු වෙනස් කරන්න යනවලු. එහෙම වුණොත් අපි ඒ වැඩේ බාර ගන්නවා නම් ඒ අය කැමතියි කියලා එවලා තියෙනවා"
බදාදා හවස් වරුවේ කම්පියුටරේට එබීගෙන නලල රැලි කරගෙන උන්නු රවීන් කිව්වා. අයුමිට දැනුනේ සතුටත්.
"ආනේ...කොච්චර ෂෝක් ද? ඒක අපට ලොකු බිස්නස් එකක් වෙයි නේද?"
"ම්ම්...ඒ විතරක් නෙවෙයි, South Asia වල අපේ බිස්නස් එකට publicity එකක් ගන්නත්ඒක ලොකු උදව්වක් වෙයි"
රවීන් අයුමි දිහා බලලා හිනාවෙලා කියද්දි ඒ ඇස් තිබ්බේ දිලිසෙමින්. අයුමිත් හිනාවුණා හදවතින්ම. එදා හවස් වරුවම අයුමි වැඩ කලේ හරිම උද්‍යෝගයෙන්, මේ ලැබුණ ආරංචිය එක්ක ඇතිවුණ සතුට හන්දම. ඒත් ඒ සතුට එදා හවසම මහා දුකකට හැරෙවි කියලා රවීන්වත්, අයුමිවත් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති.
හවස තුනහමාරට විතර, කවුදෝ ඇවිත් කාමරේ දොරට තට්ටු කරද්දි රවීනුයි, අයුමියි දෙන්නගේ මේස වලට වෙලා එදා තිබුණ වැඩ ටික ඉවරකරමිනුයි උන්නේ.
"come in..." රවීන් හිස නො උස්සාම කියද්දි අයුමි දොර දිහා බැලුවේ ඒ කවුද කියලා.
රවීන් කියලා කට ගන්නත් කලින්ම කාමරේට එක පාරටම කඩාගෙන වැදුණේ සැන්ඩ්‍රා. අයුමි ඈව දැක්ක ගමන් අහේතුකවම ගල් ගැහුණා. රවීනුත් උන්නු ඉරියව්වෙන්ම ඉඳගෙන සැන්ඩ්‍රා දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ. සැන්ඩ්‍රගේ වෙනදා තියෙන පිලිවෙල පෙනුම අද තිබුණේ නෑ කියලා බැලූ බැල්මටම අයුමිට පෙනුනා. සැන්ඩ්‍රාගේ ඇඳුම තරමටම අපිලිවෙල වෙලා තිබ්බ හිසකේ, නිසා අයුමිට ඈව පෙනුනේ බාගෙට පිස්සු හැදුණ කෙනෙක් වගේ.
" සැන්ඩ්‍රා...What a surprise! මොකෝමේ හදිසියෙන්ම, කියන්නෙවත් නැතුව? " ඒත් ඔහු ඇහුවෙ සන්සුන් ලීලාවෙන්.
"හදිසියෙන්? හදිසියෙන් නෑවිත් වෙන කොහොම එන්නද? නොකියම එන්න වුණේ මගේ කෝල්ස් වලට ඔය සර්ගෙ උත්තර නැති හන්දා" සැන්ඩ්‍රා කිව්වේ තරහින් වගේ.
ඇගේ පිටිපස්සෙන් ඇවිත් ඒ අසලින්ම වගේ හිටගෙන බය වෙලා වගේ උන්නු තරුණ සේවිකාව අයුමි දැක්කේ එවෙලේ.
"සැන්ඩ්‍රා Please come and sit down. මොකද වුණේ කියන්න කෑ නොගහා" රවීන් කිව්වේ පුටුවේ හරි බරි ගැහෙන ගමන්.
"වාඩි වෙන්න? මම මේ වාඩි වෙවී ඉන්න ආවා නෙවෙයි" සැන්ඩා කිව්වේ තදින්.
අයුමි රවීන් දිහා බැලුවේ මොනාවත්ම හිතාගන්න බැරිව. ඒ අතරේ ඈට පෙනුනා සැන්ඩ්‍රාගේ ගිනි පිටවෙන දෑස් තමන් දිහාට යොමු වෙනවා.
"එතකොට මේ වෙන්න ඇති අලුත්ම කැච් එක නේ? මම දැනගත්තා ඒ දවස්වල මෙයා ගැන කියවනකොට. කොහොමද රවීන් තමුසේ මේ වගේ චීප් දේවල් කරන්නේ? තමුසෙට ලැජ්ජා නැද්ද මේ වගේ දේවල් කරන්න. මේ වගේ ගැණුන්ව අමාරුවේ දාන්න?"
සැන්ඩ්‍රා කෑ ගහන වචනයක් පාස අයුමිගේ හිතේ ගිනි ඇවිලුණා. ඇගේ දෑස් නැවතිලා තිබ්බේ රවීන් ලඟ. ඈට හිතාගන්න බැරිවුණා මේ මොකද වෙන්නේ කියලා.
"සැන්ඩ්‍රා, ප්ලීස්. මොනාද මේ දොඩවන්නේ? Mind your language" රවීන් ඇහුවේ තරහින් වගේ. " This is my office not a bloddy pavement. Please stop making a scene. Mind your behavior"
“Bheavior??? Behavior my foot! You cheat, liar, you scum….are you a man? You are a bloody liar and nothing else” සැන්ඩ්‍රා කෑ ගැහුවේ පිස්සුවෙන් වගේ.
“Sandra…I won’t tell you twice. Either you mind your language and state whatever the hell you came to say, or else please leave” රවීන් කිව්වෙත් තරහින්.
"මාව යවන්න? හහ්...මාව යවන්න හිතුවා මදි. හිතුවද මාව එහෙම ලේසියෙන් අතාරින්න පුලුවන් වෙයි කියලා?"
"සැන්ඩ්‍රා!!!" රවීන් කෑ ගැහුවා.
ඒත් සැන්ඩ්‍රා සැලුණ වගක්වත් පෙනුනේ නෑ. මේ මොනවද වෙන්නේ කියලා තාමත් හිතාගනන් බැරිව අයුමි මාරුවෙන් මාරුවට සැන්ඩ්‍රා දිහායි, රවීන් දිහායි බලමින් උන්නා. සැන්ඩ්‍රා ඊලඟට හැරුණේ අයුමි දිහාට.
“You bloody virgin hunter! Not even a office clerk is safe from you. You wait…girl, yes I am talking to you. When he is done with you,  he will throw you also like a piece of toilet paper”
ඒ හැමදේම ඇහෙන්න ඇහෙන්න අයුමිව ගල් වුණා. ඒ එක්කම හිතේ පිරෙමින් තිබ්බේ මොකක්දෝ අපුල හැඟීමක්.
"සැන්ඩ්‍රා..." රවීන් කෑ ගහගෙනම පුටුවෙන් නැගිටලා කාමරේ මැදට එන්න ආවා.
"ඇයි? මට ගහන්නද? ඉතිං ගහනවා. තමුසෙට පුලුවන් එච්චරනේ. බොරු පොරොන්දු දෙනවයි, ගෑණු අමාරුවෙ දානවයි ඇරුණම" සැන්ඩ්‍රා කිව්වේ උපහාසෙන් වගේ හිනාවෙලා.
"මම කවද්ද තමුන්ට බොරු පොරොන්දු දුන්නේ? බොරු වෙන්නවත් මම කවද්ද පොරොන්දුවක් දුන්නේ?"
"හහ්...දැන් ඒවා මතක නෑ මහත්තයට. මැරිලා ඉපදිලා වෙන්න ඇති"
සැන්ඩ්‍රා කෑ ගහද්දි අයුමිට දැනුනේ කකුල් පණ නැති ගතියක්.
"I never knew you had short term memory loss. Or is it only the favourable things you remember? What about all those months we were lovers Raween? What about all those trips to islandwie hotels and Sigapore? What about all those nights where you could not sleep without me stroking your hair?” සැන්ඩ්‍රා කියාගෙන යද්දි අයුමිගේ තිගැස්සුනා ඒ වචන වලින්. ඇගේ හිතේ වේදනාව පොදි ගැහුණා.
“I devoted the best time of my life to you. I devoted my career for  you. I even devoted you my motherhood. What about the abortion I had to undergo Raween? How can you so easily forget all that as if coming through a new door to a whole new reality? What about those?”
 ඒ වචන පෙල ඇහුවා විතරයි අයුමිගේ  හිතේ දහසක් අකුණු පිපිරුවා. ‘Abortion???’
රවීන් දිහා ඈ එක පාරක් බැලුවේ ඒ කියපු එක බොරුවක් කියලා ඔහු කියාවි කියලා හිතලා. ඒත් ඔහු මොනවත් කිව්වේ නෑ. අහක බලාගත්තා මිසක මොහොතකට. අයුමි උන්නේ ඇතුලාන්තයෙන් කඩා වැටෙමින්. සැන්ඩ්‍රා උන්නේ පලවෙනි වතාවට කඳුලු පිහිමින්.
“I don’t know what you are talking about” රවීන් කිව්වේ තරහින්මයි.
“You liar…how could you talk like this? You…you did know I have undergone it”
“It was not my fault. I cannot take the responsibility of you being a slut!” රවීන් කිසිම තෙතක් නැතිව එහෙම කියද්දි අයුමිව තිගැස්සුණා. ඈ උන්නේ හොඳටම ගැහෙමින්.
ඒ වෙලාවේ සැන්ඩ්‍රාත් එක පාරටම නිහඬ වුණේ ඒ කියපු දේ අදහාගන්න බැරිව වගේ. ඊටපස්සේ ඇගේ හඬ බිඳුණා.
“So…this is what I get at the end, isn’t it? For loving you and for being loyal to you?”
“Oh please Sandra, stop kidding us. You and me we both know why you are here. You are here because of my money. Not for anything else”
සැන්ඩ්‍රා රවීන් දිහා බලාගෙන උන්නේ මරාගෙන මැරෙන්න තරම් කේන්තියකින් වගේ. ඒත් අයුමිට ඈ ගැන මොකක්දෝ දුකක් දැනුනා.
“I don’t need you bloody money. I want justice”
“There is nothing I can give you.  If we had something it was over long time back. Now please let us live in peace and leave….”
“ This is not over Raveen. I am gonna sue you for this insult. You will have to pay for all the suffering you gave me”
“Ok, bring it on! Bring it on!” රවීන් කිව්වෙ තරහින්මයි.
"දැනගන්නවා...ඊලඟට මේ ටික වෙන්නේ තමුසෙට. මේ මිනිහව විශ්වාස කරගෙන හිටියොත් වෙන්නේ ඒක තමයි. මම අද කිව්වා කියලා මතක තියාගන්නවා" ඊලඟට සැන්ඩ්‍රා කිව්වේ අයුමි දිහාට හැරිලා.
“For god’ sake get OUT!!!”
රවීන් සැන්ඩ්‍රා ලඟට ඇවිත් දොර දිහාට අතක් දික් කරලා කෑ ගැහුවා.
"හරි මම යන්නම්. ඒත් මේක මෙතනින් ඉවර නෑ. අන්න ඒක මතක තියාගන්නවා. මම ආයේ එනවා. මේ කරපු දේට වන්දි ගන්න මම එනවා"
සැන්ඩ්‍රා එහෙම කියලා කෑ ගහගෙනම කාමරෙන් පිටවෙලා යන්න ගියා.
අයුමිට ඒ පාර නම් තවත් හිටගෙන ඉන්න පුලුවන් වුණේ නෑ. ඈ එකපාරටම කඩාවැටුණා වගේ තමන්ගේ ආසනේ මත වැටුණා. රවීන් ඒක දැකපු ගමන් ඈ අසලට දුවලා ආවා.
"අයුමි..."
"ප්ලීස් බබී මේ දේවල් පිලිගන්න එපා. මේ හැමදේම ඇත්ත නෙවෙයි"
අයුමි රවීන් දිහා ඇස් කොනකින් බැලුවේ ඇත්තටම ඔහුව විශ්වාස කරනවද නැද්ද කියලා හිතාගන්න බැරිව. ඈ උන්නේ ලොකුම ලොකු කම්පනයකට පත් වෙලා. ඈට රවීන් දිහා කෙලින් බලන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ.
"මගේ දිහා බලන්න. මාව විශ්වාස කරන්න බබී " රවීන් ආයාචනා කලා.
අයුමිගේ හිතේ රවීන් ගැන තිබ්බ පැහැදීම, විශ්වාසය පලුදු වෙලා වගෙයි ඈට දැණුනේ. සැන්ඩ්‍රා කියපු දේවල් ඈව තවත් නොසන්සුන් කලා. බය කලා. රවීන් ඈට කතා කරපු විදිහ මතක් වෙද්දි ඈට දැනුනේ ඇඟේ හීගඩු පිපිනවා වගේ. ඒ එක්කම කලින් දවස්වල ඔහු එක්ක වෙච්ච සේරම දේවල් ඈට ආයෙම මතක් වුණා. කවදාහරි දවසක ඈටත් සැන්ඩ්‍රට වෙච්ච දේම වුණොත්?
"අයුමි...මම කියන දේ අහන්න. සැන්ඩ්‍රා ඉන්නේ මා එක්ක තරහින්. මේ හැමදේම එයා අපි දෙන්නව වෙන් කරන්න කියන දේවල්. එයාට ඕන මගේ සල්ලි විතරයි" ඒ අස්සේ රවීන් ගේ හඬ ආයෙම ඈට ඇහුණේ ඈත ලෝකෙකින් එන්නා වගේ.
"මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න" ඈ වචන ගැටගහගත්තේ අමාරුවෙන්.
රවීන් ඈ දිහා බැලුවේ අසරණ වෙලා වගේ. ඒත් ඊලඟ මොහොතේ ඈ ලඟින් ඔහු ඈත් වුණා.
"හරි..." ඔහු එහෙම කියලා තමන්ගේ මේසේ අසලට ගිහින් ටික වෙලාවක් හිටගෙන උන්නා.
අයුමි උන්නේ තාමත් මොනවත් හිතාගන්න බැරිව. රවීන් ගැන ඇගේ හිතේ පැන නැගිලා තිබ්බේ කලකිරීමක්. රවීන් කොච්චර නෑ කියන්න උත්සාහ කලත් සැන්ඩ්‍රා එක්ක ඔහුගේ ලොකු සම්බන්ධය්ක් තිබිලා තියෙනවා කියන එක තේරුම්ගන්න අයුමිට අපහසු වුණේ නෑ. ඈව එක්ක ගියා වගේම සැන්ඩ්‍රාවත් හැම තැනකම එක්ක ගිය වග ඇත්ත නම්, සැන්ඩ්‍රා කියපු අනික් දේවලුත් වෙන්න ඉඩක් නැති වෙන්නේ කොහොමද කියලා ඈ ඇගෙන්ම ප්‍රශ්ණ කලා. අන්තිමේදි ඇගේ හිතේ ඉතිරි වුණේ මහා දුකක් එක්ක ලොකුම ලොකු කලකිරීමක් හැමදේ ගැනම. තමගේ හිතේ රවීන් වෙනුවෙන් තිබ්බ හීන සේරම පාටහේදිලා දියවෙලා යනවා වගේ ඈට දැනුනා.  ඈට ඕන වුණේ නෑ තවත් එතනට වෙලා ඉන්න. ඈට ඕනවුණේ ඔහේ හිස හැරුණ අතේ දුවලා යන්න. මේ දේවල් ඇගේ හිතට දරාගන්න අමාරු තරම් වුණා. රවීන් ඈ දිහා ආයෙම හැරිලා බලලා බාත් රූම් එක දිහාට යන්න ගියාම, අයුමිගේ හිතේ එක පාරටම පැන නැගුනේ එතන ඉන්න බෑ තවත් කියන හැඟීමමයි.  
ඈ කලේ බෑග් එක තිබ්බ විදියටම අරන් බඩු ටික ඔහේ ඔබාගෙන, කම්පියුටරේ shut down නොකරම එතනින් නැගිට්ට එක. හිත තිබ්බේ ගැහෙමින්. හිත කිව්වෙම රවීන් ඈව රැවැට්ටුවා කියලා. ඉතිං තවත් ඔහු ලඟ, මේ දේවල් විඳ විඳ ඉන්න ඈට හිත දුන්නේ නෑ. රවීන් එන්න කලියෙන් ඈ කාමරෙන් එලියට ඇවිත් කිසිම කෙනෙක්ට නොකියම ඔෆිස් එකෙන් එලියට බැහැලා එන්න ආවා. ඈ දැක්කා ඒ එද්දි ප්‍රියන්තියි, හසිකායි පුදුමෙන් වගේ ලොබි එක ඉස්සරහට ඇවිත් බලාගෙන ඉන්නවා.
කරන්න ඕන මොකක්ද කියලා නිනව්වක් ඈ තුල තිබ්බේ නෑ. ඒ හන්දම ඈත ආපු ත්‍රීවීල් එකකට අත දාලා ඈ ඒකට නැග්ගෙත් අරමුණකින් තොරව.
"කොහාටද මිස්?" ත්‍රීවීල් රියදුරා අහද්දියි ඈ ආයෙම පියවි සිහියට ආවේ.
"පිටකොටුවට" ඈ කිව්වා.

කොහොමත් එදා හවස ගෙදර යන්න ලෑස්ති වෙලා ආපු නිසා, ආයෙම බෝඩිමට යන්න ඈට ඕනවුණේ නෑ. ගියත් හිතේ නිදහසකින් ඉන්න බැරිවෙන වග ඈ දැනගෙන උන්නා. ඒ එක්කම ඈට කල්පනා වුණේ ගෙදරටත් බොරු දාහක් කියමින් තමන් කරපු සේරම දේවල් අද තමන්ටම පත්තු වෙලා නේද කියන එක. ඒත් ගෙදර යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඈට තිබ්බේ නෑ.  ත්‍රීවීල් එක හෙමින් පාර දිගේ ඇදෙද්දි, ඈට වෙච්ච දේවල් මතක් වෙලා පුදුමාකාර දුකක් දැනුනා. ඈට දැනුනේ ලොකේ තියෙන ලොකුම වංචාවට, රැවටීමට ඈව ලක් වුණා වගේ හැඟීමක්.  ඈ රවීන්ව ඒ තරම්ම විශ්වාස කරපු එක ගැනත් ඇගේ හිතේ තිබ්බේ පසුතැවිල්ලක්. ඇස් වලින් කඳුලු ගලාගෙන එද්දි ඒවා නවත්තන්න ඈට ඕනවුණේ නෑ. ඉතිං ඈ ඇඬුවා. බෑග් එකේ තිබුණ ලේන්සුව තෙත් වෙනකල්ම. ඒත් හිතේ දුක ඉවරයක් වුණේ නෑ. ඒක කවදාවත්ම ඉවරයක් වෙන එකක් නෑ කියලා ඈට හිතුණා.