Monday, December 30, 2013

අවසරයි ලං වෙන්න: තිස් දෙවන කොටස

ඉරිදා හවස අම්මලා එක්කම පිටත් වෙලා ඇවිත් හොස්ටල් එකට එද්දි, කාමරේ ඉන්න අයගෙන් ඇවිත් උන්නේ චතුරි විතරයි. අනික් තුන් දෙනා පහුවදා උදේට පුරුදු විදියටම ගෙදර ඉඳන් එනවා ඇති කියලා මට හිතුණා. හොස්ටල් රූම් එකට පය තියපු ගමන් මම කලේ භූපට කෝල් කරපු එක.
"හලෝ...දුලාරා..." භූපගේ හඬ ඇහෙද්දි මට දැනුනේ හිත දියවෙලා යනවා වගේ හැඟීමක්. ඇස් වලට කඳුලු පිරුණේ ඉබේටම.
"භූප..."
"ඔයා හොස්ටල් ආවද?"
"ඔව්. දැනුයි ආවේ"
"අම්මලා ඇරලවලා ගියාද?"
"හ්ම්"
"ඔයාට මහන්සි නැත්තම්, මම එන්නද ඔයාව බලන්න? මට බැරි වුණානෙ ඔයාගේ අවුරුදු තෑග්ග දෙන්නත්" භූප කිව්වා.
මගේ හිත තවත් දුබර වුණේ ඔහු ගැන දැනුන සෙනෙහස නිසා.
"තෑගි ඕන නෑ. ඔයා දැන්මම එන්න. මට ඔයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා භූප" මම කිව්වා.
"හරි. මම ඇවිත් ring එකක් දෙන්නම්" භූප කිව්වා.
"ආපු වෙලේ ඉඳන් ඔයා ඉන්නේ හරියට දාහට අරගෙන සීයට දීලා වගේ. මොකෝ දුලා...ප්‍රශ්ණයක්ද?" ඇඳගෙන ආපු ඇඳුම් පිටින්ම ඇඳේ දිගාවෙලා කල්පනා කරමින් මම ඉද්දි එහෙම කිව්වේ චතූ.
මම චතූ දිහා බැලුවේ සුසුමක් හෙලන ගමන්.
"ප්‍රශ්ණ එකක් නෙවෙයි, වැලක් චතූ"
"මොකද වුණේ?" චතූ ඇහුවේ මගේ ඇඳ උඩින් වාඩි වෙන ගමන්.
මම චතූට මොනවත් කියන්න කලින්, භූපගේ රිංග් එක ආවා.
"මම ඇවිත් විස්තරේ කියන්නම්. අනේ තරහා නැතුව ඔෆිස් එක ඇරියාම මේ ලේට් පාස් එක දෙන්න චතූ"
එහෙම කියාගෙන මම කොමන් රූම් එකට යන්න ආවේ දුවගෙන. මම යද්දි භූප හෝල් එකේ මම එනකල් බලාගෙන උන්නා. පරණ පුරුදු අලු පාට ටී ෂර්ට් එකයි, ඩෙනිමකුයි ඇඳලා, දිග වැඩි නිසාදෝ කොණ්ඩේ පිටිපස්සෙන් එකතු කරලා බැඳලා උන්නත්, මගේ භූපමයි. මාව දැක්කම ඇස් වලයි, මූනෙයි ඇඳුනේ හිනාවක්. මට දුවගෙන ගිහින් ඔහුට තුරුලු වෙන්න හිතුණා. එක්කම කවදාවත් නැති විදියට හිතේ තිබුණේ දුකක්. අඬන්න හිතෙන තරම් දුකක්.
"හම්මේ...කල්පයක් විතර ගිහින් දකිනවා වගේ" භූප කිව්වේ මගේ අතක් අල්ලගන්න ගමන්.
මම හිණා වුණේ දෑස් බොඳ වෙද්දි.
"ඔයාට මහන්සි පාටයි දුලාරා. ඇස් දෙකත් රතු වෙලාද මන්දා"
"අපි යමුද?" මම ඇහුවේ ඔහු එක්ක තනි වෙලා කියන්න දාහක් දේවල් මට තිබුණ හන්දයි.
"ම්ම්...ඔයාට පොඩි surprise එකක් තියෙනවා එලියේ" භූප ඊට පස්සේ කිව්වේ හොර හිනාවක් පාන ගමන්.
" මොනාද?"
"ගිහින් බලමු නේ"
භූප එහෙම කියලා මාවත් අල්ලගෙන එලියට යද්දි මම කල්පනා කලේ මොකක් වෙන්න ඇතිද කියලා.
"ඇස් පියාගන්න" දොර ලඟදි භූප කිව්වා.
මම ප්‍රශ්ණ නාහා ඇස් පියාගත්තා.
"ඔන්න පඩිය...හෙමින් බහින්න. හරි දැන් ඇස් අරින්න"
භූප කිව්වම මම ඇස් ඇරියා. එක්කම මට දැනුනේ ලොකු පුදුමයක්. අපි ඉස්සරහා දිලිසි දිලිසි තිබ්බේ මෝටර් බයික් එකක්. හරියටම කිව්වොත් රතු පාට Bajaj Discover එකක්.
"භූප...මේක ඔයාගෙද?" මම ඇහුවේ ඇස් ලොකු කරල කටත් ඇරගෙනමයි.
"ඔයාගෙද නෙවෙයි. මේක අපේ" භූප කිව්වේ හිනා වෙවී.
"හානේ...ඔය නම් මහා හොර ගෙඩියෙක්. බයික් එකක් ගන්න වග මට කිව්වෙවත් නෑ. කවද්ද මේක ගත්තේ?" මම ඇහුවේ මොහොතකට සේරම දුක් අමතක වෙලා.
"ගිය සතියේ. මේ නුවර එක්කෙනෙක්ගෙන්ම තමා ගත්තේ"
"එතකොට මේකට සල්ලි කොහෙන්ද?" මම ඇහුවා.
"හොරකං කලා" භූප කිව්වේ කට කොනකින් හිනාවෙන ගමන්.
"අනේ...කියන්නකෝ විකාර නැතිව"
"බාගයක් විතර මම ඔය musicals වලට ගිහිනුයි, පොඩි පොඩි photography වැඩ වලිනුයි හොයපුවා. ඉතිරි හරිය ඉතිං ගෙදරින් තමා. තාම කොහෙද ඉතිං අපි තනියෙම වාහන ගන්නේ" භූප කිව්වා.
මම ඔහු දිහා බැලුවේ සෙනෙහසින්. ඇස් වල තිබුණේ සතුටක්. නිසාම අකුණක් කෙටුවා වගේ ආයෙම හිත දුකින් බර වුණා. සේරම විස්තරේ කිව්වට පස්සේ ඇස් දුකින් පිරෙන කොට මම ඒක දරාගන්නේ කොහොමද කියලා මම දැනගෙන උන්නේ නෑ.
"මේක තමයි, ඔයාට මගේ අවුරුදු තෑග්ග. ඔන්න දැන් ඔයාට උදේට බස් වල තෙරපෙන්න ඕන නෑ. කිරිල්ලි වගේ මේකෙ නගලා යන්න පුලුවන්" භූප කිව්වා.
මම ඔහුගේ අත මිරිකගත්තේ හිතේ ආදරේ දෝරේ ගලද්දි.
"අවුරුද්දට මට ඔයාට මොනවත්ම ගන්න බැරි වුණා" මම ඊට පස්සේ කිව්වා.
"මගේ තෑග්ග මම ගන්නම්කෝ" ඔහු කිව්වේ මට පොඩ්ඩක් විතර ලං වෙන ගමන්. මම බිම බලාගත්තා මුකුත්ම නොකියා.
"අපි යමු නේද එහෙනම්?"

බයික් එකට නැගලා, භූපගේ බඳ වටේට අත් දෙක දාලා අල්ලගෙන මම හෙමිහිට ඔහුගේ පිට මතින් මූණ තියාගත්තා. වෙලාවේ මට දැනුන ඔහුගේ සුවඳ, උණුසුම හිත සුවපත් කලා වගේ මට දැනුනා. එවෙලේ යන්නතම් ඇඳුර වැටීගෙන එමිනුයි තිබුණේ. අපි කෙලින්ම ආවේ අපේ පුරුදු තැනට. පොලොන්නරුවට. බයික් එක පැත්තක නවත්තලා ඇවිත් ගල් කණුවක් උඩින් වාඩි වෙලා, මම භූපගේ උරහිසට හිස හේත්තු කර ගත්තා. භූප මගේ සුරත දෝතින්ම අල්ලගෙන උන්නා. අත් වල තිබුනේ උණුසුමක්.
"ඔයා නැතුව මේ දවස් ටිකේ මට මහා පුදුම පාලුවක් දැනුනේ දුලාරා. ඔයා නොදැක, කතා නොකර දවස් තුන හතරක් මම කොහොම උන්නද මන්දා"
භූප කිව්වේ ඔහුගේ කම්මුලක් මගේ හිසට හේත්තු කරගෙන. මම ඇස් පියාගෙන ඔහුගේ උරහිසට තවත් ටිකක් තුරුලු වුණා. දයාබර හඬ ඇහෙද්දි දැනටත් දුකින් පිරිලා තිබුණ හිත තවත් දුක්බර වුණා විතරයි.
"ඉතිං කියන්නකෝ...මම නැති දවස් ටිකේ මොක්ද කලේ?" භූප ඊට පස්සේ ඇහුවා.
"විශේෂ දෙයක් කලේ නෑ" මම කිව්වේ හෙමින්.
"ගෙදරට වෙලා ඔහේ හිටියද?"
"හ්ම්. ගෙදර වැඩ ටික කරනකොටම දවස හරි. අනික ගමෙ අයයි, තාත්තගේ යාලුවොයි හෙම ගෙදරට ආවා ගිය නිසා, වැඩිපුරම කලේ කැවිලි මේසේ එලන එකයි අස් කරන එකයි තමා" මම කිව්වම භූප හිනා වුණා.
"එතකොට මාතලේ ආවේ කවද්ද?"
"ඊයේ"
"ලොකු අයියලත් ආවද?"
"ඔව්. පොඩි අයියත් ආවා"
" දුලියත් ආවද? එතකොට කට්ටියම කොහොමද ලොකු අයියලගේ වාහනේ ආවේ?"
භූප එහෙම ඇහුවාම මම මොහොතකට ගොලු වුණා. දැන් දෙන්න වෙන උත්තරෙන් පස්සේ අපේ කතාව ඇදෙන්නේ මොන පැත්තටද කියලා මම හොඳටම දැනගෙන උන්නා. ගැන හිතේ තිබුණේ පොඩි බයක්.
"තාත්තා ආවේ ඒකෙ. මමයි, අම්මයි, පොඩි අයියයි ආවේ...චේතිය එක්ක" මම කිව්වේ වචනෙන් වචනේ හෙමින්.
භූප යන්තම් හිස හරවනවා මට දැනුනා.
"චේතිය ඔයාලව මාතලේට ඇරලුවද?" භූප ඇහුවා.
"හ්ම්"
"නංඟි මට කිව්වා සිකුරාදා ඔයාලගේ ගෙදර යද්දි එයා ඇවිත් හිටියා කියලා" භූප කිව්වා.
"ඔව්. එදා හවස තමයි එයා ආවේ" මම කිව්වේ සැලෙන හිතින්.
භූප සුසුමක් හෙලුවේ මගේ හිතට බරක් එකතු කරමින්. මට තේරුණා ඔහු ඉන්නේ දුකකින් වග.
"එයා...ආයෙම ඔයාට මොනා හරි කියන්න ආවද?" භූප ඇහුවා.
හඬේ තිබුණේ සැකයක් නෙවෙයි. මොකක්දෝ දුකක් කියලා මට දැනුනා. භූපගේ හිතට දුකක් දැනෙන එක මගේ හිතට දරාගන්න පුලුවන් වුණ දෙයක් නෙවෙයි. ඒත්...අපේ කතාවේ පේන තෙක් මානෙක දැන් තිබුණේ දුකම විතරයි. මට ගොඩක්ම දුක හිතුණේ ඒකයි. වචනයක් වත් නොකියා සිකුරාදා ඉඳලම හිතේ තිබුණ පීඩනය, භූප එක්ක ගතු කියන්න ඕන වුණ කාරණා සේරම මගේ හිතේ ඇති කරපු පීඩාව, භූපගේ ආදරේ ඉස්සරහදි දිය වෙලා යද්දි, ඇස් වලට කඳුලු පිරුණේ අපි දෙන්නා ගැනම උපන් දුකට.
"දුලාරා..."
මගේ ඇස් වලින් පලවෙනි උණු කඳුලු කැට දෙක භූපගේ උරහිස තෙත් කරද්දි ඔහු මා දිහාට හැරුණේ කලබලෙන් වගේ. ඒත් මම ඔහුගේ උරහිසේ මූණ ඔබාගෙනම උන්නා.
"අනේ ඇයි මැණික මේ අඬන්නේ?" භූප ඇහුවේ මගේ මූණට එබෙන්න උත්සාහ කරන ගමන්.
ඒත් මම උන්නේ කතාකරගන්න පුලුවන් මට්ටමක නෙවෙයි. මට ඕන වුණේ හිතේ දුක නැති වෙනකල්ම අඬන්න විතරයි. භූපගේ දයාබර බව තව තවත් මගේ හැඬුම් වැඩි කලා විතරයි.
"දුලාරා, මොකද වුණේ කියලා මට කියන්න. චේතිය මොනා හරි කිව්වද? මට කියන්න දුලාරා..." භූප මගේ කම්මුලක් අල්ලගෙන කිව්වේ ආදරෙන්.
ඒත් උත්තරයක් නොදීම මම තව අඬද්දි ඔහු දෝතින්ම මගේ මූණ උස්සලා ඔහු දිහාට හරවගත්තා. මූණ මට පෙනුනේ හොඳටම බොඳ වෙලා. භූප ඊට පස්සේ කම්මුල් දිගේ බේරුණ කඳුලු පිහලා මට කතා කලා.
"ප්ලීස් දුලාරා... මට කියන්න ඇයි මේ අඬන්නේ කියලා? බලන්න මේ මගේ පපුව ගැහෙන හැටි? මට කියන්න මොකද වුණේ කියලා?"
"සේරම ගොඩක් අවුල් වෙලා භූප...හිතාගන්න බැරි තරම් අවුල් වෙලා" මම හැඬුම් අතරින්ම කිව්වේ, මුකුත් නොදැන ඔහු දුක් වෙන හැටි මට බලන්න බැරි නිසා.
ඒත් එක්කම මම දැනගෙන උන්නා, මේ කතාව කිව්වට පස්සේ සේරම ආයේ හදන්න බැරි විදියට වෙනස් වෙන වග. අපට කවදාවත් ඉස්සර වගේ ආයෙම ඉන්න බැරි වෙන වග. සමහරවිට මේක අපි දෙන්නටම සදාකාලික දුකක් වෙන්න පුලුවන් වග.
"මොකද වුණේ කියන්න. චේතිය මොනාද ඔයාට කිව්වේ?"
භූප එහෙම ඇහුවම මම හිස වැනුවා.
"මට කියපු දේ නෙවෙයි. අපේ ගෙදරට...අපේ අම්මලට..." මම කිව්වා.
"අම්මලට?"
"ඔව්"
මම කියපු දේ තේරුම් ගන්න භූපට පොඩි වෙලාවක් යන්න ඇති. මොකද මෙහෙම දෙයක් වේවි කියලා ඔහු හිතන්නවත් නැති හන්දා. ඔහු අදහාගන්න බැරිව වගේ එහෙම කල්පනා කර කර ඉද්දි, මම උන්නේ තවමත් අඬමින්.
"එයා...ගෙදරින් ඔයා ගැන අහලද?" භූප ඇහුවේ මා දිහා නොබලා.
මම හිස වැනුවා. "ඔව්"
"ඒක ඔයාට කිව්වේ කවුද? චේතියමද?"
ඔහු ඇහුවාම, මගේ හිත ආයෙම කඩා වැටුණා. මට කියන්න අමාරුම කාරණේ වුණේ ඒක.
"නෑ... අම්මයි තාත්තයි"
භූපට මම එහෙම කිව්වාම ඔහු මා දිහා බැලුවේ අන්ද මන්ද වෙලා. වුණේ මොකක්ද කියලා භූපට අමුතුවෙන් තේරුම් කරන්න ඕන වුණේ නෑ. භූප ඊට පස්සේ සෑහෙන වෙලාවක් උන්නේ, මගේ අතකුත් මිරිකගෙන කල්පනා කරපු එක. අන්තිමට මගේ ඇඬුම තුනී වෙලා යද්දි භූප ආයෙම කතා කලා.
"කවද්ද මේක වුණේ දුලාරා?"
"සිකුරාදා රෑ"මම කිව්වේ ඇස් දෙක පිහින ගමන්.
"එතකොට චේතිය මේක අම්මලට කියලා තියෙන්නෙත් ආපු පාරද?"
"නෑ. අම්මා කිව්වේ මාස දෙකකට විතර කලින් කිව්වා කියලා"
" කියන්නේ චේතිය ඔයාට නොකිව්වට සේරම ground work කරලා..."
මම ආපහු භූපගෙ උරහිසට මූණ තෙරපගත්තා.
"අම්මලා මොනාද ඔයාට කිව්වේ?" භූප ඇහුවේ දුක්බර හඬකින්.
"චේතිය ගැන විස්තර තමයි"
"අම්මලා කිව්වද දුලාරා...එයාට කැමති වෙන්න කියලා?" භූප එහෙම ඇහුවේ මා දිහාට මූණ හරවලා.
"එහෙමම කිව්වේ නෑ. කිව්වේ ආශ්‍රය කරලා බලන්න කියලා"
"ඉතිං ඔයා මොකද කිව්වේ?"
"මම කිව්වා මට එයාව බඳින්න බෑ කියලා. මම එයාට කැමති නෑ කියලා"
"එතකොට?"
"අම්මලා ඒත් කියන්නේ ආශ්‍රය කලරා බලන්න කියලා. තේරුම් ගන්නකොට හරියයි කියලා. මට ඒක කරන්න බෑ භූප. මම චේතියට ආස නෑ. ඒත් එයා බොරුවට මවා පාලා ගෙදර සේරම වශී කරගෙන ඉන්නේ. අම්මලා එයාගේ සල්ලි වලට, නිල බලයට, එයා පෙන්නන හිතවත්කමට රැවටිලා. කවුරුත් අහන්නෑ මට ඕන මොකක්ද කියලා. හැමෝටම ඕන මම ගොල්ලන්න ඕන දේ කරන්න විතරයි"  මම කිව්වේ ආයෙම ඇස් කඳුලින් පිරෙද්දි. භූප මගේ හිස අතගෑවා.
"අම්මලට දොස් කියන්න එපා දුලාරා. එයාලා හිතන්නේ ඔයාට හොඳම දේ ගැන නේ. අනික එයාලා අපි ගැන දන්නෙත් නෑනෙ. අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා" භූප කිව්වා.
පාර මට ඔහු ගැන දැනුනෙත් නොරිස්සුමක්.
"මම අපි ගැන ගෙදරට කියන්නද? එහෙම වුණොත් ඔයා ඇවිත් අපේ අම්මලගෙන් අහනවද? අඩු ගාණේ අපේ අයියටවත් කියනවද?" මම ඇහුවා.
භූප සුසුමක් හෙලුවා. "මම දුලී එක්ක කතා කරන්නම්" භූප ඊට පස්සේ කිව්වා.
මම ඔහුගේ අත දෝතින්ම බදාගත්තේ ආදරෙන්.
"ඒත් මම දන්නෑ ඔයාගේ අම්මලා මාව මේ තත්වෙන් ඉද්දි කොහොම පිලිගනීද කියලා. මම චේතිය තරම් පෝසත් නෑ. නිල බලේකුත් නෑ. නිසා අම්මලා එක පාරටම කැමති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා"
“අම්මලා ගැන මටත් බය තියෙනවා භූප. ඒත් අපි කවදා වෙනකල් මේක හංගගෙන ඉන්නද? අම්මලා මොනා කිව්වත් ඔයාට ආදරේ කරන එක මට නවත්තන්න බෑ. බැරි වෙලාවත් මට චේතිය එක්ක යන්න වුණොත් මම පන්නවා කෝච්චියට. සත්තයි මම මැරෙනවා භූප..."
මම එහෙම කියද්දි භූප මගේ කට වැහුවා.
"ඕන නැති කතා කියන්න එපා. එහෙම මොනවත් වෙන්නේ නෑ. ඔයා බය නොවී ඉන්න. මම චේතියට ඔයාව ගෙනියන්න ඉඩ තියන්නෑ"
භූප කිව්වේ හුගේ නලල  මගේ නලලත තියලා, දෝතින්ම මගේ අත් දෙක අල්ලගෙන. ඇස් වල ආදරේ දිලිසුණා. මම ඇස් පියාගත්තා. හිතේ තිබුණ බර පොඩ්ඩක් සැහැල්ලු වෙලා වගේ මට දැනුනා. ඒත් භූපගේ හිතේ තිබුණ බර කොච්චරද කියලා එවෙලේ මට පෙනුනේ නෑ. හිත ඇවිලෙන තරම් මම දැනගෙන උන්නේ නෑ.