Friday, May 29, 2015

දහසයවන කොටස

' ආයෙම වහින්න එනවද මන්දා'
හෝදන රෙදි ටික අතේ ගුලි කරගෙන බාත් රූම් එකට යන ගමන් කාමරේ ජනේලෙන් එපිට බලපු අයුමිට එහෙම හිතුණේ අලු පාට වලාකුලු වලින් බර වෙලා තිබුණ අහස දැක්කාම.
'කමක් නෑ රෙදි ටික හෝදලම දානවා' ඈ එහෙම හිතාගත්තේ රෙදි ගොඩ වුණාමත් කරදරේ හන්දා. ඇන්ටි කතා කරපු හන්දා පහලට ගිය තනූජා තවමත් කාමරේට ඇවිත් උන්නේ නෑ. ඒ හන්දා ඈටත් ලේසි වෙන්න එක්ක කලින්ම රෙදි ටික හෝදලා ඉවර කරන්නත් අයුමිට ඕනකම තිබුණා.
රෙදි දාන බේසම ගන්න අතරේ අයුමි දැක්කේ උදේ ගාගෙන යන්න කණ්ණාඩිය ලඟට ගෙනාපු ගමන් එහෙමම තියලා ගිය ඕඩිකොලෝන් බෝතලේ.  ඉස්සර ඉඳන්ම විලවුන් වෙනුවට අයුමි පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියේ ඕඩිකොලෝන්. සැර විලවුන් සුවඳවල් වලට වඩා ඈ ප්‍රිය කලා ඕඩිකොලෝන් වල මුදු සුවඳ. ඒ අතරේ අයුමිට ඉබේටම මතක් වුණේ රවීන්ව.
"අයුමි මොකක්ද පාවිච්චි කරන perfume එක? ඔයා ලඟින් එන්නේ චූටි බබලා ලඟින් එන සුවඳක්"
කලින් දවසක ලී බඩු වගයක් බලන්න රවීන් එක්ක වාහනේ යද්දි ඔහු එහෙම කිව්වේ ඈව ටිකක් විතර ලැජ්ජාවට පත් කරමින්.
"විශේෂ දෙයක් නෙවෙයි, ඕඩිකොලෝන්" ඈ හෙමින් කිව්වා ඒත්.
"ආ...පෙයාස් ද, බේබි ෂෙරමිද, ජොන්සන්ස්ද මොනාද?" රවීන් ඊලඟට ඇහුවේ එහෙම.
"බේබි ෂෙරමි"
අයුමි කිව්වම රවීන්ගේ මූණේ ඇඳුනේ අපූරු හිනාවක්.
"මට මතකයි ඒ දවස්වල අපේ පොඩි දෙන්නටත් ගෙනැත් දානවා. අනික් ඔක්කොම ජොන්සන්ස් ගත්තත්, ඕඩිකොලෝන් එක ගත්තේ ඔය මොකක් හරි දෙකෙන් එකක් තමා. ඒ සුවඳ එද්දි මට අපේ පොඩි දෝණිගේ චූටි කාලේ මතක් වෙනවා" රවීන් කිව්වේ ඔහුගේ දුවව මතක් කරමින්.
අයුමි හිනාවුණා යන්තම්. රවීන් ඒ පාර අහක බලාගෙන සුසුමක් හෙලුවම, ඈට ඔහු ගැන පුංචි දුකක් නොදැනුනා නෙවෙයි. ඒත් ඈ මොනා කියන්නද?
ඕඩි කොලෝන් බෝතලේ එහෙමම තියලා අයුමි රෙදි හෝදන්න පටන් ගත්තේ රවීන් ගැන මතක එක එක ආයෙම හිතේ ඇඳෙද්දි. රෙදි ටික හෝදලා දන්න වතුර පිරෙනකල් බලාගෙන ඉද්දි, ඔහු එක්ක ගත වුණ හැම මොහොතකම වුණ සිද්ධි හැම එකක්ම මේ තරම් මතක හිටියේ කොහොමද කියලා අයුමි හිතුවේ පුදුමෙන්. ඈට දැනුනා රවීන් ඈට ටිකින් ටික ලං වෙන්න උත්සාහ කරන වගක්. ඔහු ලැබෙන හැම වෙලාවකම වැඩ වලට අදාල නොවෙන දේවල් ගැන නිතරම එක්ක කතා කරන්න වුණාම ඈට හිතුණා, ඔහු හදන්නේ තමන්ගේ ජීවිතේ නොදන්න පැත්ත ඈට අඟවන්නදෝ කියලත්. දැන් දැන් ලඟදි ඔහු හැසිරෙන විදිය පවා වෙනස් වෙලා කියලා ඈට නිතරම හිතුණා.
"ජීවිතේ අපට ඕන දේවල් හැම වෙලේකම ලැබෙන්නේ නෑ අයුමි. ඒක අපි එක එක්කෙනාගේ කර්මය තමා"
දවල් කෑම කන්න රවීන් එක්ක එලියට ගිය දා හොටෙල් එක ඇතුලට යන්න මොහොතකට කලින්, සල්ලි ඉල්ලගෙන ආපු වයසක හිඟන කෙනාට රුපියල් විස්සක් දීලා එන ගමනෙදි රවීන් කියපු හැටි අයුමිට ආයෙම මතක් වුණා.
"ඒක ඇත්ත" අයුමි කිව්වේ හීන් සුසුමක් හෙලලා.
"මිනිස්සු හිතනවා ඇති අපිව දැක්කම අපි හරි සතුටින් ඉන්නේ. වාහන තියෙනවා, සල්ලි තියෙනවා ඉතිං මොන ප්‍රශ්ණද කියලා"  රවීන් කිව්වා ඈට මතක තිබුණා.
ඔහු ඉඳගෙන හිටියේ අයුමිට ඉස්සරහ පුටුවක, ඈ දිහා කෙලින්ම බලාගෙන. අයුමි විටින් විට ඔහු දිහා බැලුවත් වැඩිපුරම උන්නේ අහක බලාගෙන.
"සල්ලි තියෙද්දි සමහර ප්‍රශ්ණ අඩුයි තමයි. ඒත් ඒකේ තේරුම ඒ මිනිස්සුන්ට දුකක නෑ කියන එක නෙවෙයි. සල්ලි වලට ගන්න බැරි හුඟක් දේවල් තියෙනවා. සමහරවිට ඒ අතින් බලද්දි සල්ලි නැති මිනිස්සු තියෙන මිනිස්සුන්ට වඩා පෝසත් කියලත් හිතෙනවා"
රවීන් එහෙම කිව්වේ දුකකින්ද? අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ ඒක විග්‍රහ කරගන්න බැරිව.
"දුක සැප දෙක හැමෝටම පොදු දෙයක්. බුදු හාමුදුරුවොත් එහෙම කියලා තියෙනවනේ" අයුමි කිව්වේ එහෙම.
රවීන් ඈ දිහා බලලා සුසුමක් හෙලපු හැටි මතක් වෙද්දි අයුමිගේ හිත තාමත් යන්තමට සසල වුණා වගේ.
"වෙලාවකට හිතෙනවා ජීවිතේ තියෙන්නේ දුක විතරමද කියලත් ඒ වුණාට" රවීන් ඉන් පස්සේ කිව්වා.
"එහෙමම නෑ. දුකක් වුණාම අපි ඒක මතක තියාගෙන විඳවනවා. කලින් විඳපු සැප, සතුට අමතක කරනවා. ඒ සැප සතුටට අපි ඇලුණ හන්දයි අද දුකක් ඇති වෙල තියෙන්නේ කියලා අපට මතක් වෙන්නේ නෑ"
"ම්ම්...හෙමිච්චා වගේ හිටියට අයුමිත් සෑහෙන දේවල් දන්නවා නේ" රවීන් කිව්වේ හිනාවක් පාලා. " ඒක හරි හොඳයි. එහෙම හිතන්න පුලුවන් එකත් කොච්චර දෙයක්ද?" ඒ එක්කම ඔහු ආයෙම කිව්වා.
අයුමි බිම බලාගෙන හිනාවුණා.
"ඔයා කියන එක සහතික ඇත්ත. ඇලෙන හන්දයි දුක ඇති වෙන්නේ. ඒත් දැන දැම වුණත් දේවල් වලට ඇලෙන එක නවත්තගන්න අපට බෑ සමහරවෙලාවට. මම නම් ඒ අතින් හරිම දුර්වලයි අයුමි" රවීන් කිව්වා.
"ඇයි එහෙම කියන්නේ?" අයුමි එහෙම ඇහුවේ මොකද මන්දා.
රවීන් මොහොතක් ඈ දිහා බලාගෙන උන්න ටිකක් මවිත වෙලා වගේ. ඊලඟට ඔහු සුසුමක් හෙලලා ඉවත බලාගත්තා.
"එහෙම කියන්නෙද? එහෙම කියන්නේ මම ඒ වගේ කියන එක මට තේරිලා තියෙන හන්දා"
"උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑනෙ" අයුමි කිව්වේ ඔහු කියන්නේ මොකක් ගැනද කියලාවත් නොදැන.
ඒ පාර රවීන් කෙලින්ම බැලුවේ අයුමිගේ දෑස් දිහාව. ඈ එක පාරටම ගල් වුණා වගේ ඒ ඇස් ඉස්සරහදි.
"සමහර වෙලාවට එහෙම කරන්න හිතුවත්, නතර වෙන්නේ තවත් ලංවෙලා"
අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ බය වෙලා වගේ. ඒත් එවෙලේ වේටර්වරයා කෑම අරගෙන ආපු හන්දා ඒ කතාව තවත් දුර ගියේ නෑ. ආපහු එන ගමනෙදි වැඩ ගැන මිසක වෙන දෙයක් ගැන අයුමි කතා කරන්න ගියෙත් නෑ. ඒත් ඈට දැනුනා තමනුත් රවීනුත් අතර ඇතිවුණ හැම නිහැඬියාවකදිම, කියාගන්න බැරි මොකක්දෝ හැඟීම් සමුදායක් ඔහුත්, තමාත් අතර පාවෙමින් තිබුණා වගේ කියලා ඈට දැනුනා. ඔහු ඈ දිහාට හෙලන හැම බැල්මකමත්, හීන් සුසුමකමත් ඒ හැඟීම් දැවටිලා තිබුණා. හවස team meeting එක ඉවර වෙලා එද්දි රවීන් ඈට යන්න කියලා හිස වැනුවෙත් වෙනදා වගේ නෙවෙයි කියලා අයුමිට හිතුණා. ඈ දොර ලඟදි ආපහු හැරිලා බැලුවේ අහේතුකව, ඒත් ඒ වෙලෙත් රවීන් තමන් දිහාම බලාගෙන උන්නු හැටි දැක්කම බරවුණ හිත තවමත් තිබ්බේ ඒ තත්වෙන්මයි.
"අයුමි...අද එනවද? මම මේ තේත් අරගෙන ආවා"
අයුමි පියවි ලෝකෙට ආවේ තනූජගේ කට හඬට. ඒ පාර ඈ දනි පනි ගාලා tap එක වහලා, රෙදි ටික මිරිකගෙන බාත් රූම් එකෙන් එලියට එන්න ආවා.
"මොකක අනේ, ඔය රෙදි දෙක හෝදන්න පැයක් ගියාද?" තනූජා ඇහුවේ අයුමිගේ තේ එක ඈ දිහාට පාන ගමන්.
"තෑන්ක්ස් තනූ. ඔහොම තියන්නකෝ. මම රෙදි ටික වනලා එන්නම්"
"අනේ මේ, මෙන්න මේ තේ එක බීලා යන්න. ඒක නිවිලා තියෙයි ඔයා slow motion රෙදි ටික වනලා එද්දි. අනික ඕවා තකහනියේ අඳින්නේ නෑනෙ" තනූජා කිව්වේ තේ එක ආයෙම දික කරලා.
ඒ පාර අයුමි තෙත රෙදි බාල්දිය බිමින් තියලා තේ එක අරන් ඇඳේ වාඩි වුණේ 'ඒකත් ඇත්ත' කියලා හිතන ගමන්.
"රෙදි හේදුවට මොකද දැන් ආයෙමත් වහීවිද මන්දා තනූ" අයුමි කිව්වේ තේ කෝප්පේ අරන් ජනේලේ අසලට ගිහින් එලියට එබිලා.
"දැන්ම වහින එකක් නෑ. හැබැයි රෑ වෙද්දි නම් වහින්න ඉඩතියෙනවා වගේ. කෝකටත් ඔයා වේලිච්ච රෙදි ටික අරගෙන, ඔය ටික අර බිත්තිය අයිනේ වැලේ වනන්න"
"හවස නම් කොච්චර වැස්සත් කමක් නෑ, වැඩට යන වෙලාවට වහින්නේ නැතිව. අද උදෙත් වැස්සෙන් බේරුණේ නූලෙන්" අයුමි කිව්වා.
"ඔව් අනේ ඒක නම් ඇත්ත"
අයුමි ආයෙම ජනේලේ ඇතුලෙන් අලු පාට අහස දිහා බැලුවා.
"ඔයා වැස්සට ආසද?"
අයුමිට ආයෙම මතක් වුණේ රවීන් එහෙම අහපු විදිය. හවස discussion එක ඉවර වෙද්දි වහින්න ගත්ත වෙලේ අයුමිගේ ඇස් නැවතිලා තිබුණේ රවීනේ කාමරේ ජනේලෙන් එපිට.
"ම්ම්" ඈ යන්තම් හිස වැනුවේ රවීන් දිහා යන්තම් බලලා.
"ඇයි?"
"ම්ම්...අනේ මංදා. වැස්ස දිහා බලාගෙන ඉද්දි ඒක භාවනාවක් වගේ දැනෙනවා මට"
"දවසක වැස්ස දිහා බලාගෙනම රහත් වෙලා ඉඳීවිද දන්නේ නෑ එහෙනම්"
රවීන් කිව්වම අයුමිට හිනා ගියා.
"හ්ම්ම්...ඉස්සර මම වැස්සට ආස නෑ.එලියට බහින්නත් නෑ, කොහේවත් යන්නත් නෑ. ඒත් දැන් මම වැස්සට ආසයි. වැස්ස වෙලාවට වාහනේ එලවගෙන කොහේ හරි ඈතක යන්න මං ආසයි" රවීන් කිව්වේ ජනේලෙන් එලිය බලාගෙන.
අයුමි අහගෙන උන්නා විතරයි. රවීන් හැරිලා ඈ දිහා බැලුවේ නොහිතපු වෙලාවක.  ඒත් ඈ දෑස් අහක් කරගන්නේ නැතිව යන්තම් හිනාවුණා.
"මට පිස්සු කියලා හිතනවද? මේ සීරියස් discussion අස්සේ වැස්ස ගැන කතා කරකර ඉන්න?" රවීන් ඇහුවෙත් හිනාවෙලා.
"නෑ..."
"වැස්ස ගැන, අව්ව ගැන, තරු ගැන, මල් පිපෙන හැටි ගැන කතා කරපු කාලයක් ඉස්සර මට තිබුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒවා එහෙමම නැති වෙලා ගියා. ඊට පස්සේ ඉතිරි වුණේ ජීවිතේ ප්‍රශ්ණ ගැන, ඉස්සරහට කරන දෙවල් ගැන, බජට් ගැන, ප්ලෑන් ගැන කතා කරන්න විතරයි" රවීන් කිව්වේ කලකිරීමකින් වගේද කියලත් අයුමිට හිතුණා.
"හැමදාම හැමදේම එකම විදියට තියෙන්නේ නෑනෙ" අයුමි හෙමින් කිව්වේ මේසේ මත තිබ්බ තමන්ගෙම දෑත් දිහාවේ ඇස් රඳවගෙන.
"හ්ම්ම්...ඒකත් ඇත්ත. සමහර වෙලාවට ජීවිතේ වෙන වෙනස්කම් නරක දේවල් වගේම හොඳ දේවලුත් ජීවිතේට අරන් එනවා. මගේ දරුවෝ දෙන්නා වගේ, මේ බිස්නස් එක වගේ, ඔයා වගේ..."
රවීන්ගේ අන්තිම වචන පෙල ඇහුණම අයුමිගේ හිත ගැස්සුන තරම්. ඈ රවීන් දිහා නොබලාම උන්නා.රවීන් ආයෙම මුකුත් කිව්වෙත් නෑ, ජනේලෙන් එපිට බලාගෙන කල්පනාබර වුණා මිසක. ඒ වෙලාවේ අස්මි මොකක්දෝ වැඩකට රවීන් හම්බවෙන්න අවායින්, අයුමිට එතනින් නැගිටලා එන්න අවසරයක් ලැබුණා. ඒත් හිතේ ගැස්ම ඒ සිද්ධිය මතක් වෙන වාරයක් පාසා අලුත් වුණා.
"ඕං ඉතිං පටන් ගත්තා අර අඳ, ගොලු බීරි සමාධියට සමවැදෙන්න. ඔය තේ එක නිවෙනවා හලෝ"
අයුමිව පියවි සිහියට ගෙනාවේ තනූජා.
"ආ...අනේ නෑ. මම මේ වෙන කල්පනාවක හිටියේ"
"මම දන්නවා ඒක. එවෙලෙට ඔයා සම්පූර්ණයෙන්ම මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ"
"එහෙම එකක් නෑ තනූ"
"නැත්තේ මොකෝ? ඔයා අඳ, ගොලු, බීරි වුණාට මම එහෙම නෑ. මම දැන් ටික දවසක ඉඳලා බලාගෙන ඉන්නේ ඔයා දිහා"
"අනේ විකාර කියන්න එපා තනූ"
"විකාර නෙවෙයි. කොල්ලෙක් ගැන නේ හිතන්නේ? මම දන්නවා. වෙලාවකට මූණේ ඇඳෙන මල් හිනාව හෙම දැක්කම ඒක මට පේනවා"
"පිස්සු ඔයාට හොඳටම" අයුමි කිව්වේ ලැජ්ජාවෙන් රතු වෙලා.
"මට නම් පිස්සු නෑ නංඟි. හැබැයි ඔයාට නම් හොඳ පිස්සුවක් හැදීගෙන එනවා වගෙයි මට පේන්නේ" තනූජා ඇදලා පැදලා කිව්වා.
"මොනා කියනවද මන්දා තනූ ඔයා"
"මම කියන්නේ ඔයා වෙලාවකට තනියෙම හිනා වෙවී කල්පනා කරන එක ගැන"
"මම එහෙම කලේ කොයි වෙලේද?"
"ඇයි මේ දැන්?"
"මම විශේෂ දෙයක් කල්පනා කලා නෙවෙයි තනූ"
"එතකොට ඔය මේසේ පුරා බලි කුරුටු අඳින එක? අකුරක් ලියනවා මකනවා. යටි හිතේ තියෙන ඒවා තමා ඔය ලියවෙන්නේ"
"ඔයා ඕන එකක් හිතාගන්න. මම යනවා රෙදි ටික වනන්න"
අයුමි ඒ වදෙන් බේරෙන්න ඕන නිසා තේ එකත් බාගෙට බීගෙනම රෙදි ටිකත් අරන් පහල තට්ටුවට බැස්සා. ඇගේ හිත ගැහෙමින් තිබුණේ ඇත්තටම තනූජා කියපු යටි හිතේ කතාව ඇත්තක්වත්ද කියලා හිතමින්. උඩු හිතේ හොල්මන් කරන රවීන් යටි හිතටත් රිංගලාද කියලා හිතද්දි ඈට දැනුනේ බයක්. රවීන්ගේ තත්වේ, තමන් වැඩ කරන්නේ ඔහු යටතේ කියන එක, මේ හැමදේම ඒ බය ඇති කරන්න හේතු වුණා.
ඒත් රවීන් කරන කියන දේවල් එක්ක, ඔහුට ස්වභාවිකවම උරුම වෙලා තිබ්බ ඕනම කෙනෙක් වශී කරගන්නාසුලු ගතිය ඉස්සරහදි තමන් පුංචි පුලුන් රොදක් තරම් සමහර වෙලාවට දුර්වල වෙනවා නේද කියලා ඈ කල්පනා කලේ කනස්සල්ලකින් වගේ.
"excuse me..."
රෙදි වනමින්ම, සිතිවිලි අවුල් ජාලාවක පැටලිලා උන්නු අයුමිට ඇහුණා කවුරුහරි තමන්ට කතා කරන හඬ. ඈ හැරිලා බලද්දි ගේට්ටුව ලඟ හිටගෙන උන්නේ ඈ මීට කලින් දැකලා නුහුරු තරුණයෝ දෙන්නෙක්. බැලූ බැල්මට ඈට ඒ දෙන්නව පෙනුනේ මේ ලඟපාත බෝඩ් වෙලා උන්නු කැම්පස් ළමයි දෙන්නෙක් වගේ.
"ඔව් ඇයි?" ඈ ගේට්ටුව අසලට නොයාම ඔවුන්ගෙන් ඇහුවා.
" බෝඩිමේ ඇන්ටි ඉන්නවද?"
එහෙම ඇහුවේ එතන් උන්නු උස, තලෙලු කෙනා. කැරලි හිසකේ තිබ්බ ඔහුගේ තිබ්බේ ප්‍රසන්න පෙනුමක්. එතන උන්නු අනික් කෙනා තරමක් මිටි, මහත, සුදු එක්කෙන්ක්. හිසකේ කොටටම වගේ කපලා උන්නු නිසා ඔහුගේ බෝල ගතිය ඉස්මතු වෙලා පෙනුනා කියලා අයුමිට බැලු බැල්මට හිතුණා..
"ආ...ඉන්නවා. මොකක්ද කාරණේ??" අයුමි ඇහුවා.
"මේ..ඔයාලගේ ඇන්ටි කෑම... දෙනවා කියලා අපට ආරංචි වුණා.  ඒකයි මේ බලන්න ආවේ"
"ආ...ඔව් ඔව්. අම්...එන්නකෝ ඇතුලට.. මම ඇන්ටිට කතා කරන්නම්"
අයුමි එහෙම කියලා ගේට්ටුව ඇරලා දුන්නම දෙන්නම ඇතුලට ආවේ ඈට "තෑන්ක්ස්" කියාගෙන.
අයුමි ඇන්ටිට කතා කරලා, අර දෙන්න ගෙයි ඇතුලේ ඉද්දි ආයෙම එලියට ආවා වේලුණ රෙදි ටික අරගෙන යන්න. ඈ ඒ ටික අරගෙන  එද්දිමයි ඒ දෙන්න ගෙයින් එලියට බැස්සෙත්. ඒ එක්කම වගේ පස්සෙන් ආවේ තනූජා.
"වැඩේ හරි" අයුමි අහන්නත් කලින්ම අර සුදු,බෝල තරුණයා ඈට කිව්වේ හිනාවක් පාලා.
"ආ..එහෙම ?" අයුමි කිව්වා. "ම්ම්. තෑන්ක්ස්" එහෙම කිව්වේ අර කලු උස තරුණයා.
"ඔයාලා මේ ලඟද ඉන්නේ?" ඒ පාර කතාව ඇදගත්තේ තනූජා.
"ඔව්. අපි එහා පැත්තේ ලේන් එකේ ඉන්නේ. අපි නිතර කෑම ගන්න තැන මොකක්දෝ ප්‍රශ්ණයක් වෙලා කෑම නවත්තලා. මෙහේ කෑම දෙනවා කිව්වේ හන්දියේ ත්‍රීවීල් කරන කෙනෙක්"
"ආ..."
"ඔයාලා මෙහේ බෝඩ් වෙලාද ඉන්නේ?" ඒ ප්‍රශ්ණේ ඇහුවේ සුදු කෙනා.
"ඔව්"
"කැම්පස්ද?"
"නෑ නෑ. අපි දෙන්නම වැඩට යනවා" දිගටම කතා කලේ තනූජා.
"අපි හොටෙල් ස්කූල්" සුදු කෙනා කිව්වා.
"ආ.." අයුමියි, තනූජයි දෙන්නම හිනාවක් පාලා හිස වැනුවා.
"එහෙනම් අපි යමු නේද නොහාන්" එහෙම කිව්වේ උස කෙනා.
"හරි..හරි යමු. වැස්සකුත් එන්න වගේ නේ. අපි රෑට එන්නම් එහෙනම්" සුදු කෙනා කිව්වා දෙන්නටම.
"හා " තනූජා කියද්දි, අයුමි හිස වැනුවා.

අයුමි පස්සේ දැනගත්තේ ඒ කලු, උස කෙනාගේ නම යශෝධ කියලා. ඔහු ගැන ගෙදර ඇන්ටි කිව්වේ සිරියාවන්ත ළමයා කියලා. ඒ ඔහුගේ ශාන්ත පෙනුමත්, ඒ ශාන්ත බවම විහිදෙන දෑස් දෙකත්, ඒ ඉරියව් සේරමත් ඒ තරම්ම නිවිච්ච බවක් පෙනවපු හන්දා. නොහාන් තරම් කොමිටල් වුණේ නැති වුණත්, යශෝධ හැමවෙලේකම හිනාවෙලා උන්නු කෙනෙක් වග අයුමිලට තේරෙන්න කල් තිබුණා. ඒ එක්කම ඔහු ගැන තව තේරෙන්න, දැනෙන්න දේවල් අයුමිට නම් හුඟක්ම තිබුණා. ඒත්, වැස්සකට අර අඳිමින් තිබුණු ඒ හවස් වෙලාවේ නම් අයුමිටවත්, යශෝධටවත් ඒ ගැන මොනයම්මවත් දැනීමක් තිබුණෙම නෑ.

Saturday, May 2, 2015

විහංඟනාවී- පහලොස්වන කොටස

සඳුදා උදේම අයුමි ඔෆිස් එකට ගියේ හෙමින් ඇදහැලෙමින් තිබුණ පොද වැස්සක් මැදින්. ඔෆිස් එකේ මිදුලේ රවීන්ගේ වාහනේ දැක්කම ඈ ටිකක් පුදුම වෙලා ඔෆිස් එක දිහාට පය ඉක්මන් කලා. පුදුම වුණේ රවීන් මීට කලින් මේ වගේ වෙලාවල සාමාන්‍යයෙන් එන්නේ නැති නිසා.
"සර් ඇවිල්ලද?"අයුමි අකුලපු කුඩේ කුඩ බාස්කට් එකට දාන ගමන් ඇහුවේ ප්‍රියන්තිගෙන්.
ප්‍රියන්ති ඈ දිහා බලලා හිනාවුණා.
"ගුඩ් මෝනිං. ඔව් ඔව්. ඔන්න උදේම ඇවිත් ඉන්නව මල් කුමාරිව බලන්න"
"මල් කුමාරි? ඒ කවුද?"
"ඔය ඉන්නේ. වෙන කවුද ඉතිං? අපේ මල් පෝච්චි එහෙම වෙනස් කරගෙන ආපු මල් කුමාරි ඔයානෙ" ප්‍රියන්ති එහෙම කියලා කෑම එකත් අරන් එන්න ආවා.
"ඔයාට හොඳටම පිස්සු. සර්ට ඇහුණොත් හෙම ඉවරයි. මං යනවා" අයුමි ප්‍රියන්තිට එහෙම කියාගෙන එන්න ආවා.
"කන්න එන්නේ නැද්ද?" ප්‍රියන්ති ඇහුවේ උස් හඬින්.
"ඔයලා කන්න මම එන්නම් ටක් ගාලා" ඈ පඩිපෙලේ මැද නැවතිලා කිව්වා.
උඩට නැගිද්දි ඇගේ හිත තිබ්බේ අමුතු වෙලා. ඇයි ප්‍රියන්ති නිතරම මේ වගේ කතා කියන්නේ?
අයුමි තමන්ගේ මේසේ ලඟට ගිහින් බෑග් එක හෙම තියලා කල්පනා කලේ ගිහින් රවීන්ට කතා කරනවද නැද්ද කියලා. ඈට පොඩි බඩගින්නකුත් දැනෙමිනුයි තිබුණේ එවෙලේ. ඈ කල්පනා කරමින් ඉන්න අතරේ ඇගේ ටෙලිෆෝන් එක රිං වෙන්න ගත්තා.
"ආ...අයුමි ඇවිල්ලද ඉන්නේ. පොඩ්ඩක් එන්න මේ පැත්තට" කතා කලේ රවීන්.
අයුමිට හිතාගන්න බැරි වුණා තමන් ආපු වග රවීන් දැනගත්තේ කොහොමද කියලා. ඒ ගැන හිත හිතම ඈ හෙමින් හෙමින් රවීන්ගේ ඔෆිස් කාමරේට ගියා.
"ගුඩ් මෝනිං මිස්ටර් රවීන්" අයුමි කිව්වේ දොර ඇරලා එබෙන ගමන්.
ලැප් ටොප් එකේ මොකක්දෝ බලමින් උන්නු රවීන් ඇස් උස්සලා ඈ දිහා බලලා හිනාවක් පෑවා.
"ගුඩ් මෝනිං... එන්න එන්න"
අයුමි ඒ පාර හෙමින් හෙමින් රවීන්ගේ මේසේ දිහාවට ඇවිදගෙන ගියේ හිනාවක් එක්කමයි.
"අද කලින් ඇවිත්" ඈ කිව්වා.
"ම්ම්..." රවීන් කරමින් උන්නු වැඩේ නවත්තලා පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා අයුමි දිහා බලාගෙනම හිස වැනුවා.
"ඔව්. අද එන්න හිතුණා. වාඩිවෙන්න ඉතිං" රවීන් ඊටපස්සෙ කිව්වා.
අයුමි පුටුවක් ඇදලා රවීන් ඉස්සරහින් වාඩි වුණා.
"කතා කලේ මොනා හරි හදිසි වැඩක් ද?" අයුමි බයෙන් සැකෙන් වගේ ඇහුවේ සර් කියන්නත් බැරි හන්දා.
"ඇයි, කතා කරන්න වැඩක් තියෙන්නම ඕනද?" රවීන් ඇහුවම අයුමි බිම බලාගත්තා.
"නෑ..මම හිතුවා..." ඒත් ඈ හිතපු දේ ඈ කිව්වේ නෑ.
"කතා කලේ මොකද මම එවපු sms එකට reply කලේවත් නැත්තේ අහන්න" රවීන් ඇගේ උත්තරේ නොසලකා කිව්වා.
අයුමිට යන්තම් ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"ආ...අනේ මම ඒක ගැන එච්චරම හිතුවේ නෑ. Monday හම්බෙමු කියලා තිබ්බ හන්දා" අයුමි කිව්වේ වරදක් කරපු ගාණට.
"ගෙදර ගියාම ලෝකෙම අමතකයි වගේ" රවීන් උන්නේ තාමත්ඈ දිහා එක එල්ලෙම බලාගෙන.
"නෑ...එහෙම දෙයක් නෙවෙයි"
"ම්ම්. කමක් නෑ. කමක් නෑ. ඒක ඔයාගේ කැමැත්තනේ"
රවීන් එහෙම කිව්වම මොනා කියන්නද කියලා අයුමිට තේරුණේ නෑ. ඈ බයවෙලා වගේ ඔහු දිහා දෑස් දලවගෙන බලාගෙන උන්නා විතරයි.
"හරි... ඒක පැත්තක දාමුකෝ. අපි සුරේෂ්ගේ වැඩේ අද ඉවර කරමු. ම්ම්...එතකොට ලබන සතියේ අපට පුලුවන් එහේ ගිහින් සේරම setup එක කරලා දාන්න. මේ පාර ප්‍රියන්තිත් යන්න ඕන...- මොකද මේ, ඇයි ඔය බයවෙලා වගේ බලාගෙන ඉන්නේ?" කියන්න ගිය විස්තරේ අතරමගදි නවත්තපු රවීන් ඇහුවා.
"නෑ"
"මම ඉස්සෙල්ල අහපු එක හන්දද?"
"නෑ නෑ"
"ළමයෝ...ඒක එච්චර හිතට ගන්න එපා. මම නිකං නේ කිව්වේ"
රවීන් කිව්වම අයුමි හිනාවුණේ අමාරුවෙන්.
"මම බලාගෙන හිටිය එක ඇත්ත වුණත්, Its ok. දැන් ඒක ඉවරනේ"
"I am sorry මිස්ටර් රවීන්" අයුමි කිව්වේ බිම බලාගෙන.
"ඒ පාර මිස්ටර් කෑල්ලක් අල්ලගෙන...ඔන්න ඕක අමතක කරන්න. දැන් හොඳ ළමයා වගේ ගිහින් ලැප් ටොප් එක අරන් එන්නකෝ" රවීන් කිව්වේ සැහැල්ලුවෙන් වගේ.
"හා. ආ..මේ..මම කාලම ආවට කමක් නැද්ද?" අයුමි ඇහුවේ බාගෙට පුටුවෙන් නැගිටගෙන.
"තාම උදේට කෑවේ නැද්ද?" රවීන් ඇහුවා.
"නෑ. කෑම ගෙනැත් තියෙන්නේ. කන්න ඕන"
"එහෙමද? මමත් තාම උදේට කෑවේ නෑ. එහෙනම් කාලම ඉමුකෝ"
රවීන් කිව්වට පස්සේ අයුමි තමන්ගේ ඔෆිස් කාමරේට දුවලා ගිහින් කෑම එකත් අරගෙන පහලට දිව්වේ ඉක්මණට කන්න හිතාගෙන.ඒ යද්දි ප්‍රියන්තිලා කාලා ඉවරත් වෙලා.
"අය්යෝ..අපි කාලත් ඉවරයි. කොහෙද මෙයා බොස්ව හොයාගෙන දිව්වනේ. දැන් ඉතිං තනියෙම තමා-" ප්‍රියන්ති  කියන්න ගිය එක නතර කරලා නොසන්සුන් වුණ වගක් පෙනුනේ එක පාරටම කෑම කාමරේ දොර ඇරුන නිසා.
"ආ...මිස්ටර් රවීන්..." ඊලඟ මොහොතේ ඈ එහෙම කිව්වම අයුමිත් ඒ පෑත්ත හැරිලා බැලුවා.
"කට්ටිය කාලා ඉවරද?" රවීන් ඇහුවේ ලස්සන හිනාවක් පාලා.
"ඔව්. අයුමි විතරයි ඉන්නේ. අපි කෑවා" ප්‍රියන්ති කිව්වා.
"හරි හරි. මමත් අද උදේම ආව නිසා කෑම එක අරන් ආවා" රවීන් කෑම මේසේ දිහාට යන ගමන් කිව්වා.
"එහෙනම් කාලා එන්න මිස්ටර් රවීන්. අපි යන්නම්"
ප්‍රියන්ති අයුමිට ඇහැකුත් ගහලා, රවීන්ට හිනාවෙලා කෑම කාමරෙන් එලියට යන්න ගියාම, අයුමිට දැනුනේ පුංචි අපහසුතාවයක්.
"අයුමි උදේට කන්නේ බත්ද?" අයුමි ඈතින් වාඩි වුණත් ඈ අසලටම වගේ ඇවිත් වාඩි වුණ රවීන් ඇහුවා.
"ආ..ඔව්" අයුමි කිව්වේ සම්බෝලයි, පරිප්පුයි, කරවල බැදුමයි තිබුණ බත් එක කොලෙන් මුවා කරගන්න ගමන්.
"ඒක හොඳයි. මටත් නම් වෙන මොන නැතත් උදේට දවල්ට බත්ම ඕන. ඒක අපි ගෙවල් වලින් පුරුදු වෙලා තියෙන හැටි වෙන්න ඇති නේද?" රවීන් කිව්වේ ඔහුගේ කෑම පෙට්ටිය අරින ගමන්.
"ම්ම්" අයුමි හිස වැනුවා.
රවීන් ආපු හන්දා ඈට හරියකට කෑම කන්නවත් නොහැකියාවක් දැනෙමිනුයි තිබුණේ. ඒ එක්කම ඈ කල්පනා කලේ නෝන ත් නැත්තම් රවීන්ගේ ගෙදර උයනවා ඇත්තේ කවුද කියලා.
"සර් ගෙදරින්ද බත් ගේන්නේ?" අයුමි ඇහුවේ එකයි.
"ආ...ඔව් ඔව්. අපේ ගෙදර ඉන්නවා හොඳට උයන්න පුලුවන් නැන්දා කෙනෙක්. මට බත් ඕන වුණාට අපේ පොඩි දෙන්නා නම් බත් කන්න ආස නෑ. වෙන ඕන දෙයක් කයි බත් ඇර" රවීන් එහෙම කියලා හිනාවක් පෑවා.
අයුමිත් යන්තම් හිනාවෙලා ආයෙම කන්න පටන් ගත්තා.
"බෝඩිම් වල කෑම නම් එච්චර හොඳ නැතුව ඇති නේද?" ඊලඟට රවීන් ඇහුවා.
"ආ...වරදක් නෑ සර්. හොඳ නැතත් ඉතිං මොනා කරන්නද, කන්න එපැයි"
"ම්ම්...ඒක තමා නේද? යුනිවසිටි ඉන්න කාලේ මගේ යාලුවෝත් හිටියා බෝඩිම් වල නැවතුණ. මට මතකයි උන් ඇවිත් කියන්නෙත් ඔය කතාවම තමා" රවීන් කිව්වේ කෑම හෙමි හෙමින් කන ගමන්.
අයුමි කතාව අහගෙන ඉන්න අතරේ කටවල් දෙක තුනක් කාලා, කන එක නතර කලේ තවත් කන්න පිරියක් නොදැනුන නිසා.
"ඉතිං ඔය කාලා ඉවරද?" රවීන් ඇහුවා.
"ඔව්. කෑවා ඇති වගේ"
"ඔහොම කාලා ඉතිං ඇතිද?"
රවීන් කිව්වම අයුමි හිනාවුණා විතරයි. රවීන් තාම කමින් උන්නු නිසා ඈ හිටියේ මේසෙන් නැගිටගන්න බැරිව.
"බෝඩිමේ එවා නිතර කන්න බැරි නම් කන්න පුලුවන් තැනකින් ගෙන්න ගන්න" රවීන් කිව්වේ කරුණාවෙන් වගේ.
"බලමු" අයුමි කිව්වේ ඇහෙන නෑහෙන ගානට.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නේ දයාබරව.
"ආ...මේ මිස්ටර් සුරේෂ්ගේ වැඩේ ඉවර වෙද්දිම වගේ අර අනික් කොලඹ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න වේවි නේද?" ඈ ඒ පාර වැඩ ගැන කතා කරන්න පටන් ගත්තේ දැනුන අමුත්ත වහගන්න.
"ම්ම්..." රවීන් හිස වැනුවා. "අයුමි ගිහින් අත සෝදගන්න කමක් නෑ" ඊලඟට ඔහු කිව්වා.
අයුමි හිත යටින් සැනසුම් සුසුමක් හෙලලා, මේසෙන් නැගිට්ටලා අත සෝදගන්න ආවා.
"අයුමි අපි එකොලහට විතර අර finalize කරපු furniture ගන්න යමු. දවල්ට කෑම ඕඩර් කරන්න එපා. ඒ ගමන්ම අපි ලන්ච් එලියෙන් අරන් එමු" රවීන් කෑම කාමරෙන් එලියට එද්දි ඈට කිව්වා.
"හා..." අයුමි හිස වැනුවා විතරයි.

"ලැප් ටොප් එක අරන් එන්න" රවීන් එහෙම කියාගෙන ආයෙම ඈට හිනාවක් පාලා එතනින් යන්න ගියාම, ඇගේ හිත හීල්ලුණා වගේ ඈට දැනුනා. රවීන්ගේ කතා කරන දෑස්, ඒ හිනාව, ඒ විදිහ... මේ හැම දෙයක්ම මොකක්දෝ නුදුරු හුයකින් ඈව ඔහු දිහාට අදිනවදෝ කියලා ඈට එක මොහොතක හිතුණා. ඒත් ඇගේ හිතේම තවත් පැත්තක්, ඒ හැඟීම ඇතිවුණ වහාම හෙලා දැකලා ඒක යටපත් කලේ, රවීන් කියන්නේ බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න කෙනෙක් වගත්, ඔහු ඈ වැඩ කරන තැන අයිතිකාරයා කියන එකත් ඈට මතක් කරලා දෙමින්. ඒ එක්කම ඈට ඔහුව හොයාගෙන එන බවලත්තු ගැන කතාවක් යන්තමින් මතක් නූනා නෙවෙයි. මේ හැමදේම පැටලුණ හිතත් එකලස් කරගන්න උත්සාහ කරමින් ඈ දිග සුසුමක් හෙලලා තමන්ගේ ඔෆිස් කාමරේට යන්න ගියා.