Monday, August 8, 2016

විහංඟනාවී : පනස් හතරවන කොටස

"බබී..."
නින්දත් නොනින්දත් අතරේ රවීන්ගේ හඬ හීනෙන් වගේ ඇහෙද්දි අයුමිට එක පාරටම හිතාගන්න බැරි වුණා මේ ඉන්නේ කොහොද කියලා. වුණ දේවල් එකින් එක ඈට මතක් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඒ සිතිවිලි ආයෙම හිත රිද්දුවත් ඈ ඇඳෙන් නැගිටලා වාඩි වුණේ රවීන් දිහාට පහන් බැල්මක් හෙලන ගමන්. ඔහු තාමත් උන්නේ කලින්දා ඇඳුම් පිටින්මයි. තේ එකකුත් අතින් අරන් ඇඳ ලඟ හිටගෙන උන්නු ඔහුව දැක්කම අයුමිට ඔහු ගැනත් දැනුනේ දුකක්.
"ඔයා තේ හැදුවද?"
"ම්ම්...ඔයා ඊයෙ කාලත් නෑනෙ. තේ එක නම් හොඳද මන්දා. මම දන්න විදියටයි හැදුවේ" රවීන් කිව්වේ තේ එක ඈ අතට දෙන ගමන්.
ඈ ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ සෙනෙහස ආයෙම අලුත් වෙද්දි.
"ඔයා ඇඳුම්වත්  මාරු කරලා නෑ" තේ එක අරන් අතේ තියාගෙන අයුමි කිව්වා.
රවීන් සුසුමක් හෙලලා ඇඳේ වාඩි වුණේ ඔහුගේ තේ එක ලඟ තිබ්බ මේසේ මතින් තියන ගමන්.
"හ්ම්ම්...ඔව්. වෙලාවක් උණේ නෑනෙ" රවීන් කිව්වා කල්පනාබරව වගේ.
අයුමි ඔහු දිහා බලාගෙනම උන්නේ ඔහු ගැන දුකක් හිතේ පැතිරෙද්දි.
"මම නිසා ඔයාට වුණ කරදරේ බලන්න රවීන්" අයුමි එහෙම කිව්වම රවීන් හිස හරවලා ඈ දිහා බැලුවා.
"මොනාද ඔයා මේ කියන්නේ?"
"හිතපු නැති දෙයක් නේ වුණේ. දැන් අපි මොනාද කරන්නේ? මම දැන් මොනාද කරන්නේ?" අයුමි කිව්වේ කලකිරීමෙන් වගේ.
"එන විදියට මූණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්  නෑනෙ බබී. හිතපු නැති දෙයක් නම් තමා වුණේ. ඒත් ඉතිං අන්තිමේදි වෙන්න ඕන වුණේ අපි එකතු වෙන එකනේ. දැන් ඒක ඉබේටම වෙලා. එච්චරයි වෙනස" රවීන් කිව්වා.
"ඒත්... මේ දේවල් මෙහෙම වෙන්න නෙවෙයි මට ඕන වුණේ. මම හිතුවේ නෑ මේවා මේ ඉක්මණට මෙහෙම වෙයි කියලා" අයුමි කිව්වේ ආයෙම සංතාපයට පත් වෙමින්.
"දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑනෙ බබී. දැන් අපි හිතන්න ඕන ඉස්සරහට කරන දෙයක් ගැන"
"ඒත් මම කොහොමද රවීන් එහෙම ගෙදර අමතක කරන්නේ. හැමදේම අතෑරලා මට කවුරුත් නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න හිත හදාගන්නේ? මම කොහොමද අම්මලාව අමතක කරන්නේ?" අයුමි ඇහුවේ හැඬුම්බර වෙමින්. 
"එහෙම කරන්න ඕන නෑ. අම්මලා දැන් තරහින් ඇත්තේ. ඒත් ටික දවසක් යද්දි සේරම හරියාවි. හැබැයි ඉතිං එතකල් ඉවසගෙන ඉන්න වෙනවා. අනික ඔයාට කවුරුත් නෑ කියලා ඔයා හිතන්න ඕනේ නෑනෙ. ඔයාට මම ඉන්නවා කියලා හිතෙන්නේ නැත්තේ ඇයි?" රවීන් අන්තිම ටික කිව්වේ පොඩි නොරිස්සුමකින් වගේද කියලා අයුමිට හිතුණා.
අයුමි රවීන් දිහා යන්තමින් බලලා ඔහුගේ උරහිසකට යන්තමින් හිස හේත්තු කරගත්තා. රවීන් හෙමින් සුසුමක් හෙලුවා.
"ඔය තේ එක බොන්නකෝ. මම උදේ කෑම ඕඩර් කලා. මම ඔෆිස් ගිහින් ගෙදර යන්නත් ඕන. දවසක්ම ගෙදර ගියේ නැති නිසා තාත්තත් ඇහුවා කතා කරලා. පොඩි දෙන්නාත් බලාගෙන ඉන්නවා ඇති නේ.
ඔයා දැන් ආයෙම බෝඩිමට යන්න ඕන නෑ. ඔයා මෙහේ ඉන්න දැනට. අපි බලමු මොකද්ද ඉස්සරහට කරන්නේ කියලා" රවීන් කියාගෙන ගියා.
අයුමි හිස උස්සලා රවීන් දිහා බැලුවා. රවීන් ඈ දිහා බැලුවා.
"මෙහේ මම කොච්චර කල් ඉන්නද රවීන්? මම වැඩට එන්නත් ඕන නේ"
"ඉතිං මෙහේ ඉඳන් වැඩට යන්න බැරි මොකද? මම ඔයාව පික් කරලා ආපහු ගෙනැත් දාන්නම්"
"ඒත්...එහෙම කරන්නේ කොහොමද?"
"මොකද්ද ඉතිං ඔයා කියන්නේ?"
"රවීන්...මම ඔයාගේ කවුරු විදියට මෙහේ ඉන්නද? කොච්චර කල් ඉන්නද?"
රවීන් ඒ පාර සුසුමක් හෙලලා හිස වැනුවේ 'ඔයාට කිසි දෙයක් තේරෙන්නේ නෑ' කියන්නා වගේ.
"බබී...අපට මේ හදිසියේ හෙට අනිද්දට මැරි කරන්න බෑනෙ. පොඩ්ඩක් මට කාලේ දෙන්න. සතියක් දෙකක්. වැඩ ටිකවත් හරියට finalize  කරගන්න කල්. අනික තාත්තට කියනන් ඕන. පොඩි දෙන්නට තේරුම් කරන්න ඕන. ඒවාට කල් ඕන නේ" රවීන් කිව්වා.
ඒක ඇහුවම අයුමිගේ හිතට දැනුනේ ලැජාවක් එක්කම නොරිස්සුමක්.
"මම දැන් ඔයාට මාව බඳින්න කිව්වද?" අයුමි ඇහුවේ ඒ නොරිස්සුම හන්දාමයි.
උත්තරයක් දෙන්න කලින් රවීන් ඈ දිහා බැලුවේ ටිකක් පුදුම වෙලා වගේ.
"රවීන් පිං සිද්ධ වෙයි මා බෝඩිමට ගිහින් දාන්න. මම එහේ ඉඳන් වැඩට එන්නම්. මේවා මගේම වැරදි මිස වෙන කිසි දෙයක් නෙවෙයි" අයුමි කිව්වේ තාමත් නොබීපු තේ එක මේසේ මතින් තියලා ඇඳෙන් නැගිටලා යන ගමන්.
"මොනවද ඔයා මේ කියන විකාර අයුමි?" ඒ පාර රවීන් උන්නෙත් තරහා ගිහින් වගේ.
"මට මේ දේ අද වෙලා තියෙන්නේ මගේ වැරදි  නිසා නෙවෙයිද?" අයුමි ඇහුවේ ඔහු දිහාවට හැරිලා.
"මොකද්ද දැන් ඒ වරද? අපි affair එකක් පටන් ගත්තු එකද? අපි ගොඩක් ලං වුණ එකද? ඒකද?"
"හැමදේම වැරදියි තමා" අයුමි කිව්වේ ඔහුගේ තරහින් රතු වුණ මූණ නොපෙනෙන්න බිම බලාගනිමින්.
"මගේ යකා අවුස්සන්න එපා අයුමි. මොනාද මේ කියන තේරුමක් නැති කතා? ඔයා මොකද්ද මට දැන් කරන්න කියන්නේ?" රවීන් ඇහුවෙත් ඇඳෙන් නැගිටලා ඈ දිහා බලාගෙන.
"මාව බෝඩිමට ගිහින් දාන්න" අයුමි කිව්වේ බිම බලාගෙන.
"ඔයා කොහේවත් යන්නේ නෑ. අපි මැරි කරනකල් ඔයා ඉන්නේ මෙහේ. එච්චරයි කතාව" රවීන් කිව්වේ තදින්.
අයුමි මොනවත්ම නොකියා බිම බලාගෙනම උන්නා.
"දැන් මේ තේ එක බොන්න. නොකා නොබී ඉඳලා ලෙඩ වෙන්නේ නැතුව. විකාර හිතනවා හිතන්
දේවල් නැතුව වගේ. ඔයාට තේරෙන්නේ නැද්ද මට ඕන ඔයා සතුටින් ඉන්නවා බලන්නයි කියලා?" රවීන් ආයෙම ඇහුවා.
අයුමි සුසුමක් හෙලුවා විතරයි. රවීන් ගැන තරහක් තවත් ඇගේ හිතේ තිබ්බේ නෑ.
"හැමදේම පැටලිලා රවීන්. මම දන්නේ නෑ මොනාද කරන්න ඔනේ කියලා" අයුමි කිව්වේ එතන බිත්තියට හේත්තු වෙන ගමන්.
රවීන් හෙමින් ඈ අසලට ඇවිදගෙන ඇවිත් ඇගේ අතකින් අල්ලගත්තේ මුදුවට.
"මම ඔයාට ඉන්නවානේ. වැඩිය හිතන්න එපා. ඔයාට මාව විශ්වාස නැද්ද අයුමි" රවීන් ඇහුවේ ඇගේ දෑස් වලට එබිලා.
අයුමි ඒ දෑස් දිහා බලාගෙන උන්නේ හිතේ දුක හෙමින් ඔහුගේ සෙනෙහසින් වැහෙද්දි.
රවීන් හෙමින් ඇගේ කම්මුලක් පිරිමැද්දලා හෙමින් ඒ කම්මුලම ඉම්බා.
"ඔයා බය වෙන්න එපා බබී.මම ඔයාට නැති වෙන්නේ නෑ. අපි ඉක්මණින්ම මැරි කරමු" ඈව තුරුල් කරගනන් ගමන් රවීන් කිව්වා.
අයුමි ඔහුට තුරුලු වුණේ ආදරෙන්.
"දැන් හොඳ ළමයා වගේ තේ එක බීලා, මූණ සෝදගන්න. එතකොට කෑමත් ඒවි. අපි ඔෆිස් යමු. නැත්තම් මෙහේ හිටියොත් ඔයා හිතලම ආයෙම අවුල් යයි" 


"ඔෆිස් ඇවිත් වැඩ කරන්න මට හිතක් නෑ රවීන්. මට මෙහේ තනියෙම ඉන්නත් බෑ තමයි. අනේ මන්දා මොනා කරන්නද කියලා"
"වැඩ කරන්න ඕන නෑ. ඔෆිස් එකට ඇවිත් ඉන්නකෝ" රවීන් කිව්වා.
අයුමි සුසුමක් හෙලලා රවීන් දිහා බලද්දි, ඇගේ හිතේ ඔහු ගැන මොකක්දෝ දුකකුත් උපන්නේ රවුලවත් කපලා නැතිව, විඩාපත් වුණ ඒ මූණයි ඇස් දෙකයි දැකලා. ඒ එක්කම ඈට හිතුණා දැන් ඔහු ඇරෙන්න වෙන කෙනෙක් ඈට නෑ නේද කියලා. ඒ සිතිවිලිත් එක්කම ආයෙම ගෙදර මතක් වුණාම ඇගේ හිත ආයෙම බර වුණා. ඈ බිම බලාගත්තේ ඒකයි.
ඈ දිහා බලාගෙන උන්නු රවීන් හිස මතින් අතක් තියලා ඈට කතා කලේ ඇගේ හිත තේරුම් අරන් වගේ.
"ඔන්න ඉතිං ආයෙමත් ඔයා වෙච්ච දේවල් ගැන හිතන්න ගත්තා නේද? බබී...මේ අහන්න. හිතුවා කියලා කිසි දෙයක් වෙන්නේ නෑ දැන්. ඔයාට ඕනම නම් අපි තව දවසකින් දෙකකින් ගෙදරට කතා කරලා බලමු. ඒත් මම දන්නේ නෑ ඒකෙන් කොයි තරම් දුරට වැඩක් වේද කියලා. ඔයා දැන් මා එක්ක ඇවිත් ඉවරනේ කොහොමත්" රවීන් කියද්දි අයුමිගේ හිත තවත් රිදුනා විතරයි.
"මට ගෙදර ඉන්න තිබ්බා රවීන්. ගැහුවත්, බැන්නත් කමක් නෑ කියලා මට එහෙම ඉන්න තිබ්බා" ඈ කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"එහෙම කලා කියලා මොනා වෙන්නද? වෙන කෙනෙක් මැරි කරන්නද?"
"එහෙම නෙවෙයි...වෙච්ච දේවල් එක්ක අම්මලට කැමති වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑනෙ රවීන්" අයුමි කිව්වේ දෑස් පියාගන්න ගමන්.
වෙච්ච සේරම දේවල් ගැණ ඇගේ හිතේ තිබ්බේ පුදුමාකාර තරම් පසුතැවිල්ලක්. වරදකාරී හැඟීමක්. ඒ වෙලාවට හැමදේම සුන්දර වුණත්, ඒවයේ පසු විපාක කොයි තරම් දරුණුද, හිත රිදවනසුලුද කියලා හිතද්දි ඈට තමන් ගැනම ලැජ්ජාවකුයි, තරහකුයි දැනුනේ.
"මේ හැමදේම මගේ වැරදි නිසා. මම මහා පව්කාරියක් රවීන්. තාත්තත් නැතිව අපිව දුක් විඳලා හදපු අම්මවයි මම රිද්දුවේ. ඒගොල්ලන්ටයි මම ලැජ්ජා කලේ ඒකට මට සමාවක් නෑ" බිත්තියට හිස හේත්තු කරගෙන අයුමි කිව්වේ කලකිරීමෙන්. ඇගේ දෑස් වලට ආයෙම කඳුලු පුරමින් තිබුණා.
"මොනාද බබී මේ හිත හිත කියවන්නේ? මේ බලන්න..." රවීන් ඇගේ කම්මුලකට අතක් තියලා ඈව තමන් දිහාට හරවගනන් ගමන්.
"ඔයා ලැජ්ජාවෙන්න දෙයක් කරලා නෑ බබී. එහෙම වෙන්නේ අපි එකතු නූනා නම් නේ. මම ඔයාව දාලා ගියෙත් නෑ. මම යන්නෙත් නෑ. මම එහෙම මනුස්සයෙක් නෙවෙයි. මම ඔයාට ආදරේ කලේ ලං වුණේ ඔයා මගේම කරගන්න මිසක එහෙම අතෑරලා දාන්න නෙවෙයි. ඉතිං ඇයි ලැජ්ජා වෙන්නේ? දුක් වෙන්නේ? දැන් ඇති. දැන් අපි ඕක ගැන නොහිතා ඉමු. සේරම දවසක හරි යයි. ඔයා මාව විශ්වාස කරන්නකෝ"
ඇස් වල කඳුලු පුරෝගෙනම අයුමි රවීන්ට තුරුල් වුණා. කැමති වුණත්, අකමැති වුණත් ඈට මේ වෙලා තියෙන දේවල් ඒ විදියට පිලිගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.