Friday, July 31, 2015

විහංඟනාවී: තිස් එක්වන කොටස

"අයුමි...අපි කන්න යන්න හදන්නේ එන්න..." දවල් ප්‍රියන්ති කෝල් එකක් දෙද්දිත් ඈ උන්නේ කල්පනාබර වෙලා බොඳවුණ ඇස් වලින් යුතුව.
"මට දැන්ම බඩගිනි නෑ ප්‍රියා...ඔයාලා කන්න" අයුමි කිව්වේ බරවුණ හඬින්.
"මොකද මේ කටහඬ අමුතු වෙලා? හෙම්බිරිස්සාව හැදිලා වගේ. අසනීපයක්ද?" ප්‍රියන්ති ඇහුවා.
"ඔව් අනේ. ඔලුව චුට්ටක් බරයි වගෙ, ඒකයි මම පස්සේ කන්නම්"
"ආ...මම පැනඩෝල් දෙකක් එවන්නම්. උණු වතුර ටිකක් බොන්න. ඒත් නොකා ඉන්න එපා" ප්‍රියන්ති එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
අයුමි ආයෙම පුටුවේ පස්සට ඇදිලා කල්පනාබර වුණා. රවීන් මොනා කරන්වද කියලා ඈ දැනගෙන හිටියේ නෑ. ඒත් ඈ ආපහු තමගේ කාමරේට ආවට පස්සේ ඔහු ඒ පැත්තේවත් ආවෙ නෑ. ඈට කතා කලෙත් නෑ. ඉතින් අයුමිගේ හිත තවත් රිදුනා විතරයි.
"අයුමි...මේ තනූ. අද හවස යනවා නේද? මට නොහානුත් කෝල් කලා. ඔයා පහට වැඩ ඇරිලා යන්න එපා ඉන්න. නොහාන්ලා කිව්වා එයාලා වාහනේක එන හන්දා අපි දෙන්නව ඔෆිස් ලඟින් ගන්නම් කියලා"
දෙකට විතර තනූජා කතා කල වෙලෙත් අයුමි උන්නේ බලාගත්තු අත බලාගෙන දුකෙන්. රවීන් ඔෆිස් එකෙන් ගිය වග ඈ එතකොට දැනගෙන උන්නු නිසා.
"අනේ මන්දා තනූ" ඈ කිව්වේ කිසීම දෙයක් කරන්න ඇගේ හිතේ පිරියක් නොතිබ්බ හන්දා.
"අනේ පිස්සු නම් කියන්න එපා හොඳේ. පව්නේ අයුමි, ඉන්වයිට් කරාම නොගිහින් හොඳද. ඔන්න ලෑස්ති වෙලා ඉන්න. අපි පහයි කාලට විතර ඔතනට එනවා" තනූජා එහෙම කියලා ෆෝන් එක තිබ්බේ ආයෙම අයුමිට මොනවත්ම කියන්න ඉඩ නොතියා.
හවස තුන හතර වෙද්දි ක්ලයන්ටලාගෙන් ආපු කෝල් නිසයි, ඒ හන්දම ඉක්මණ් කරන්න ඕණවුණ වැඩ හන්දයි අයුමිට හිත හිත ඉන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒත් දවල්ටත් කාලා නොහිටපු නිසා ඈට දැනුනේ ලොකු විඩාපත් ගතියක්. ඒ එක්කම හිසත් තිබ්බේ පුපුරන්න තරම් කකියමින්. උදේ යශෝධට කිව්ව නිසා නොවෙන්න, හවස ගමන යන්න ආසාවක් වත්, පුලුවන් කමක් වත් ඈට දැනුනේ නෑ.
බැරිම තැන ඈ පහල තට්ටුවට බැස්සේ ප්‍රියන්තිගෙන් පැනඩෝල් දෙකක් ඉල්ලගන්න. පැනඩෝක් දෙක බීලා කෑම කාමරෙන් එලියට එද්දි ලොබීකේ උන්නු ප්‍රියන්තියි, හ්සඉකයි, සමින්දයි සේරමල්ල උන්නේ මොකක්දෝ දෙයක් දැකලා බය වෙලා වගේ එලිය බලාගෙන. අයුමිත් එබුනේ ඒ මොකක්ද බලන්න. එවෙලෙම වගේ පුදුමාකාර ආවේගෙකින් ඉක් ඉක්මණින් ඔෆිස් එක ඇතුලට ඇවිදගෙන එමින් උන්නේ රවීන්. ඊට පිටිපස්සෙන් ඒ තරම්ම වගේ වේගෙකින් ඇවිදගෙන ආවේ කොන්ඩේ කරල්, අයුමි විතර උස, ඒත් ටිකක් මහත, ලස්සන ගෑණු කෙනෙක්. අයුමිගේ හිත නතර වුණා වගේ ඈට දැනුනා. 'ඒ කවුද?' ඒ ගෑණු කෙනා යද්දි සමින්දලා ඈට හිස වනලා යන්තම් හිනා පාද්දි අයුමි බලාගෙන උන්නේ ගල් වෙලා වගේ. තමන් දිහා බලන්න තප්පරේකට යොමු වුණ ඒ රවුම් ඇස්, තරහින් උල් වුණ දෙතොල්, කොහේදිදෝ දැකලා පුරුදුයි වගේ කියලා ඈට කල්පනා වුණා. කොහොමින් හරි දෙන්නම උඩ තට්ටුවට වැදිලා නොපෙනී ගියාට පස්සේ අයුමි ප්‍රියන්තිලා දිහා බැලුවා.
"පූර්ණි මැඩම්...බොස්ගේ කලින් වයිෆ්" එහෙම කිව්වේ සමින්ද.
සමින්දගේ වචන අයුමිට ඇහුණේ හීනෙන් වගේ. එතකොට 'ඒ ද පූර්ණි?'
අයුමිගේ හිත ආයෙම නොසන්සුන් වුණා. රවීන් උදේ ඉඳන් තරහින් උන්නේ පූර්ණි ඇවිත් හන්දද කියලත් ඈ කල්පනා කලා. අමාරුම වැඩ වුණේ කිසි වෙන්සක් නොපෙන්වා ඔෆිස් එකේ අය ඉස්සරහදි හැසිරෙන එක.  පස්සේ සමින්ද හසිකත් එක්ක ආපහු තමන්ගේ ඔෆිස් කාමරේට යන්න ගියාට පස්සේ, ලොබි එකේ ඉතිරි වුණේ ප්‍රියන්තියි, අයුමියි විතරයි.
"මැඩම් හිටි ගමන් ඔහොම එනවා. එදාට ඉතිං මෙතන ගිනි අවි සහ ගිනි කෙලි තමා. අනේ මන්දා අයුමි, මට නම් හිතාගන්න බෑ අවුරුදු ගනන මැරීගෙන ආදරේ කරලා, බැඳලා, ළමයිනුත් හම්බවුණාට පස්සේ මිනිස්සු කොහොම මෙහෙම වෙනස් වෙනවද කියලා. මේවා දැක්කම බඳින්නත් බයයි...නැද්ද හා?" ප්‍රියන්ති කිව්වේ පුටුවකට බරවෙන ගමන්.
අයුමි මුකුත් කිව්වේ නෑ ඒ කතාවට.
"ඔයා උඩට යන්න එපා දැන්ම. මගදි හම්බුණොත් පූර්ණි මිස් ඔයාටත් ගහයි. එක දවසක් ඒ වගේ මෙහේ මහා ගිනි විජ්ජුම්බරයක් වුණා අර රීටා ගෑනි එක්ක. එතකොට මේ දෙන්න වෙන් වෙලා ඒත් මම හිතන්නේ ඩිවෝස් වෙලා නෑ. එතකොට උඩ තට්ටුවේ මොකක් හරි renovation එකක් නිසා බොස් හිටියේ සමින්දලා ඉන්න රූම් එකේ. පූර්ණි මැඩම් එද්දි, රීටා මෙහේ ඇවිත් යන්න ලෑස්ති වෙලා ලොබි එකේ. ඇවිත් දුන්නා කම්මුල් පාරක්, දෙයියනේ මම ගල් ගැහුනා. එතකොට කට්ටිය පැනලා රණ්ඩුව බේරුවා. පූර්ණි මිස්ගේ බෝයි ෆ්‍රෙන්ඩුත් කාර් එකේ ඉඳලා දුවගෙන ආවා මට මතකයි. මේවා මහා පිස්සුයි අයුමි. සල්ලි තිබ්බට ජීවිත හරි විකාරයි මේ මිනිස්සුන්ගේ. කලකිරෙනවා...නේද?" ප්‍රියන්ති අහද්දි අයුමි උන්නේ ගල් ගිල්ලා වගේ අහක බලාගෙන.
රවීන් එක්ක රණ්ඩු වුණ එකේ දුක වසාගෙන ඇගේ හිතේ දැන් පැතිරෙමින් තිබ්බේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්. තමන් මේ පැටලිලා ඉන්නේ පඹගාලකදෝ කියලා ඈට නොහිතුණා නෙවෙයි.
"ඔයා මොකද මේ බය වෙලා වගේ ඒ පාර?" ප්‍රියන්ති ඇහුවේ ඇගේ හැඟීම් මූනෙන් පෙනුන හන්දද මන්දා.
"මට බෑග් එක ගන්න යන්නත් මොකක්ද වගේ ප්‍රියා" අයුමි කිව්වේ වෙන කිය්න්න දෙයක් මතක් නොවුණු තැන.
"යං අපි දෙන්නම ගිහින් අරන් එමු. දැන් පහටත් ලඟයි නේ"
ප්‍රියන්ති කැමත්තෙන්ම ඉදිරිපත් වුණ හන්දා අයුමිට සිද්ධ වුණා ඈ එක්ක උඩ තට්ටුවට යන්න.
"It will never happen…”
කාමරේ ලඟට යද්දිම දෙන්නටම ඇහුණේ රවීන්ගේ උස් හඬ. දෙන්නම මූණෙන් මූණ බලාගත්තා. පස්සේ අයුමි දනි පනි ගාලා ගිහින් බෑග් එක අරගෙන, කම්පියුටරේ වහලා කාමරෙන් එලියට එන්න ආවා. පූර්ණි පහලට ඇවිත් පිටවෙලා යද්දි අයුමි උන්නේ ලොබි එකේ, තනූජලා එනකල් බලාගෙන.  පූර්ණි ඈ දිහාවත් නොබලා ඔෆිස් එකෙන් එලියට බැහැලා යන්න ගියා. පූර්ණිගේ පිටදිගේ වැටුණ ලස්සන කැරලි කොණ්ඩෙයි, ඇඳගෙන උන්නු රෝසපාට දිග සිල්ක් ගවුමයි එකම තාලෙන් ඇගේ වේගවත් ගමන එක්ක පැද්දෙන හැටි අයුමි දැක්කේ යන්තමින්. ඈට සුසුමක් හෙලුණා ඉබේටම. ඒ එක්කම හිතට පිවිසුණේ ලොකු බරක්. රවීන්ගෙයි, තමනුයි අතර තියෙන දේ ඈ දන්නවා නම් මොනා වේවිද කියලා ඈට හිතාගනන්වත් බැරිවුණා. ඒ එක්කම මොකක්දෝ පුංචි හීනමානයක් පූර්ණි දැක්කට පස්සේ අයුමිත දැනෙමින් තිබුණා. ඈ ඉස්සරහදි තමන් හැම අතකින්ම කොච්චර නොගිනිය හැකි තරම්ද කියලා ඈට හිතුණ හන්දා. ඒ පාර ඇගේ හිතේ ආයෙම පිරුණේ ආත්මානුකම්පාවක් එක්කම් ප්‍රශ්ණාර්ථ ගොඩක්. 'මොනවද මං මේ කරන්නේ? ඇයි මම මේ දේවල් වෙන්න ඉඩ දුන්නේ?'
හිත හිත ඉන්න අතරේ තනූජගෙන් රිං කට් එකක් එද්දිම වගේ රවීන් පඩිපෙල මුදුනේ පෙනී හිටියා. ඔහු දැක්කම ආයෙම ඇගේහිත විසිරුණා. ඒත් ඈඔහු දිහා යන්තම් බලලා එලියට එන්න ආවේ තනූජලව මුණගැහෙන්න. රවීන්ට එවෙලේ මූණදෙන්න උවමනාවක් ඈට තිබ්බත් ඒකට හැකියාවක් ඈට තිබුණේ නෑ.
"අයුමි ඕෆ් වුණාද?"
දොරකොඩ ලඟ හිටගෙන උන්නු අයුමිගේ කන ලඟින්ම රවීන්ගේ හඬ ඇහෙද්දි, තනූජලා උන්නේ ඔෆිස් එක ඉස්සරහ.
"ඔව්..." අයුමි හිස වැනුවා ඒත් ඇයි කියලා ඈ ඇහුවේ නෑ.
ඒත් රවීන්ට ඒක තේරුන වගක් පෙනුනෙත් නෑ, මොකද ඔහු එවෙලේ බලාගෙන උන්නේ තනූජලා ආපු වාහනේ දිහා හන්දා.
"යන්නං" අයුමි එහෙම කිව්වේ තනූජා වාහනේ ඉස්සරහ ඉඳන් ඈට අත වනද්දි.
"කවුද ඒ?" රවීන් ඇහුවා.
"යාලුවෝ...මම යන්නම්"
අයුමි එහෙම කියාගෙන නවත්තලා තිබ්බ පුංචි කාර් එක දිහාට එන්න ආවා. ඈ ලඟට යද්දි පස්සේ දොරෙන් එලියට බැස්සේ යශෝධ. බැහැලා ඈ නැග්ගට පස්සේ දොර වහලා ඇවිත් ඔහු අනික් පැත්තෙන් නැගලා අයුමි ලඟින් වාඩි වුණා. වාහනේ පිටත් වෙද්දි අයුමි හිස යන්තම් උස්සලා බලද්දි රවීන් තාමත් උන්නේ ඉස්සරහ දොර ලඟ. ඒ මූණේ තිබ්බ හැඟීම් කියවන්න ඈට තේරුණේ නෑ. ඒත් ඈට දැනුනා ඔහු උන්නේ හැඟීම් පාලනය කරගෙන වග. ඇගේ හිත දුක් වුණේ ඒ හිත රිදුනාවත්ද කියලා හිතෙද්දි. උදේ මොනා කිව්වා කලත්, රවීන් ගැන ඇගේ හිතේ අහිතක් තිබුණේ නෑ ආදරයක්ම මිස. තනූජලා මොන මොනවදෝ කියලා හිනාවෙද්දි ඈ බොරු හිනාවක් පාලා හැඟීම් හංගාන්න උත්සාහ කලේ ලොකු සුසුමක් හෙලලා.
***
"අයියා කාර් එක දුන්නේ දාහක් නීති දාලා, ඒ හන්දා දොරක් වත් හයියෙන් වහන්න එපා මගේ දෙයියෝ ඈ"
නොහාන් එහෙම කියමින් උන්නේ තනූජට. අයුමි එවෙලේයි දැනගත්තේ නොහාන් අරන් ඇවිත් තිබුණේ ඔහුගේ අයියගේ වාහනේ වග. තනූජා ඒකට මොනවදෝ කියනවා ඇහුණත් අයුමි උන්නේ වෙනම ලෝකෙක.
"මේ ඒක නෙවෙයි අයුමි...කවුද අර එන්න ලං වෙලා ඔයා ලඟට ඇවිත් කතා කලේ, බොස් ?" නොහාන් ඊලගන්නට අයුමිගෙන් ඇහුවා.
"ඔව්..."
"අර්ජුන් රාම්පාල් වගේ ඈතට දැක්කේ" නොහාන්ට එහෙම කියන්න මොන එහෙකට හිතුනද මන්දා. ඒත් එවෙලේ ඒ වචන ඇති කරපු වෙනස අයුමිට තේරුණේ නෑ.
"මොකක්ද බොස්ගේ නම?" නොහාන් ආයෙම ඇහුවා.
"ඒ...මෙයා බලන්නකෝ. මොකදට ඔච්චර විස්තර අහන්නේ?" ඒ අතරේ තනූජා නොහාන්ට පල් එක දැම්මා.
"අහන්නේ දැනගන්නනේ. මට ඒ ඔෆිස් එක නිකං දැකලා පුරුදු තැනක් වගේ. මොකක්ද නම කියන්නකෝ" නොහාන් කිව්වා.
"මේ...රවීන් සේනානායක" අයුමි හෙමින් උත්තර දුන්නා.
"රවීන් සේනානායක...? රවීන් කාශ්‍යප සේනානායක?" නොහාන් ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්" අයුමි උත්තර දුන්නම පුදුම වුණේ නොහාන් විතරක්ම නෙවෙයි.
"සීරියස්ලි...හා. ඔයා මාර තැනකනේ වැඩ කරන්නේ. මේ ඔයා දන්නවද එයා අපේ හොටෙල් ස්කූල් එකේ lectures දෙකකට ආවා හොටෙල් Interior Deco ගැන. මම දැනගෙන හිටියේ නෑනෙ ඔයා වැඩ කරන්නේ එතන කියලා. ඔයා එතන ඩිසයිනර් කෙනෙක්ද?" නොහාන් ඇහුවේ උද්‍යෝගයෙන්.
"ඔව්..."
"ඔයාගේ බොස්ගේ තාත්තත් හොඳ ආකිටෙක්ට්. ඒත් එයාලගේ මේන් බිස්නස් එක shipping ලු. රහල් සේනානයකනේ, ඔයාගේ බොස්ගේ අයියා?" නොහාන් රවීන්ගේ හත්මුතු පරම්පරාවම දන්න පාටකුයි පෙනුනේ.
"ආ...අනේ මම දන්නේ නෑ" අයුමි කිව්වා.
"උඹ කොහොමද එච්චර දේවල් දන්නේ?" ඒ පාර එහෙම ඇහුවේ යශෝධ.
"නෑ මම ඒ lecure එක තිබ්බ දවස්වල net එකේ ටිකක හොයලා බැලුවා කවුද මේ  කියලා. කොහොමත් මම Interior Decoration subject එකට ආසයිත් නේ"
"මට නම් මතකත් නෑ ඔය කියන ලෙක්චර් එක" අයුමිට ඇහුණා යශෝධ එහෙම කියනවා.
"මෙයාගේ මොලේ මේ දවස්වල පිරිලා තියෙන්නේ වෙන වෙන එව්වනේ. ඉතිං කොහෙද එව්වා මතක" ඒ යොහාන්ගේ උත්තරේ.
ඒත් අයුමිට ඒ කිසි දෙයක් ඔලුවට ගියේ නැහැ. අයුමි උන්නෙ ආයෙම කල්පනාබර වෙලා.  ඒ රවීන්ගේ පවුල වත්, අතීත විස්තර ගැනවත් නෙවෙයි, ඈ කල්පනා කලේ රවීන් දැන් මොනා කරනවා ඇතිද කියලා.
"මේ ඒක නෙවෙයි, කෝ අර එනවා කිව්ව යාලුවෝ දෙන්නා?" හිටි ගමන් තනූජා මතක් වුණ දෙයක් ඇහුවා.
"ඒ දෙන්නා එතනට එනවා, එතන ලඟ පාත ඒ දෙන්නම ඉන්නේ" නොහාන් කිව්වා.
කට්ටිය කයිය ගහන අතරේ අයුමි ෆෝන් එක අතට ගත්තේ රවීන් කෝල් කරලාවත් ඇත්ද බලන්න. ඒත් ඇගේම වෙලාවට ෆෝන් එක තිබ්බේ ඕෆ් වෙලා. දවසේ තිබ්බ කලබලේ හන්දා චාජ් කරන්න ඈට අමතක වෙලා තිබුණා.
"මොකෝ ෆෝන් එක දිහා බලාගෙන සුසුම් හෙලන්නේ?" යශෝධ හෙමින් ඇහුවේ ඉස්සරහ තනූජයි, නොහානුයි මොකක්දෝ ගැන මහා හයියෙන් වාද කරමින් ඉන්දැද්දි.
"ෆෝ එක ඕෆ් වෙලා, බැටරි බැහැලද කොහෙද?" අයුමි කිව්වා.
"ආ...ඔයාට කාට හරි කෝල් එකක් ගන්න ඕන නම් මගේ ෆෝන් එකෙන් ගන්න" යශෝධ කිව්වේ ඔහුගේ ෆෝන් එක අදින ගමන්.
"අනේ නෑ යශෝධ ඕන නෑ. මම මේ බැලුවේ ගෙදරින් කෝල් එකක් ඇවිත්ද කියලා. කමක් නෑ මම බෝඩිමට ගිහින්ම බලනවා දැන්" ඈ සුහද වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔයා අද මැලවිලා වගේ..." නිහඬවම ෆෝන් එක ආපහු සාක්කුව දාගත්තු යශෝධ කිව්වේ මොහොතකට පස්සේ.
"අනේ ඔව්. අද දවස ටිකක් වැඩ වැඩියි. මගේ හිස කකියන්න අරන් තිබ්බේ හවස් වෙද්දි" අයුමි බාගෙට බොරුවක් කිව්වා.
"ආනේ ඇත්තද? ඔලුව ගොඩක් රිදෙනවද?" යශෝධ ඇහුවේ දයාබරව.
"නෑ නෑ. ඒ තරම්ම නෑ. ටිකකින් හරියයි. මම පැන්ඩෝල් බීලා ආවේ.." අයුමි බොරුවක් කිව්වා.
යශෝධගේ මේ සමීපවීම, දයාබරත්වය, මේ සේරම අයුමිගේ හිතට කෙමෙන් කෙමෙන් එකතු කරමින් තිබුණේ නොසන්සුන්කමක්. දියත උයනට ගිහින් කෑම කන්න ගත කරපු මුලු වෙලෙත්, ඊට පස්සේ   පැත්තක වාඩි වෙලා කතා කරමින් උන්නු මුලු වෙලෙත් යශෝධ උන්නේ අයුමි ලඟින්මයි.
තනූජලයි, ආපු අනෙක් ගෑණු ළමයි දෙනන්යිත් හිතලම වගේ තමන් දෙන්නව තනි කලාදෝ කියලත් අයුමිට එක වෙලාවක සැකයක් උපන්නා.  යශෝධ අයුමිගෙන් පවුලේ විස්තර, ඉස්කෝලේ, ජොබ් එක, ඔය වගේ එක එක දේවල් ගැන අහද්දි අයුමි කලේ ඒවට පුලුවන් තරම් කෙටියෙන් උත්තර දුන්නු එක විතරයි. යශෝධ කියපු දෙයක් ඇරෙන්න අයුමි කිසි දෙයක් ගැන ඔහුගෙන් ඇහුවේ නෑ. ඔහුට එක අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලයි, අම්මයි, තාත්තයි දෙන්නම පෙන්ෂන් ගිය ගුරුවරු කියලයි ඔහු ඈට කිව්වා. අයුමිගේ විස්තර අහද්දි ඇගේ තාත්තා නැති වග දැනගත්තම යශෝධ දුක් වුණේ අවංකවම.
"ඒ අය වෙනුවෙන් අපට කරන්න පුලුවන් ලොකුම දේ, අපේ ජීවිත ලස්සනට ගොඩනගාගෙන, වැදගත් විදියට ජීවත් වෙන එකයි" කියලා යශෝධ කිව්වම ඒ වචන ඇගේ හිතට දැනුනේ තියුණුවට.
ඊට පස්සේ මුලු වෙලාවෙම ඈ හිත හිත උන්නේ ඒ ගැන. කොහොමින් හරි අන්තිමේදි කට්ටියම බෝඩිම් වලට ආපහු සේන්දු වෙද්දි රෑ හතහමාරත් පහු වෙලා තිබුණා. යශෝධ අයුමිට ගුඩ් නයිට් කියන්න මොහොතකට තනිකරගත්තු වෙලේ මොකක්දෝ හේතුවකට ඈගේ දෑස් නැවතිලා තිබ්බේ ඔහුගේ දෑස් මත. කාමරේට ආවට පස්සෙත්  අයුමි හිතමින් උන්නේ ඒ ගැන. ඒ ඇස්වල තිබ්බේ දයාබර බවක් එක්කම, අවංකබවක් කියලා ඈට හිතුණා. ඔහුගේ හිනාවෙත්, කතා කරපු වචන වලත් ඒ ගතිය එහෙමම තිබුණා කියලා ඈට දැනුනා. ඒත් දයාබර බව ඈව දැනටත් අහේතුකවම නොසන්සුන් කලා.
ඒ සිතිවිලි වල බලවත්කම හන්දා තනූජාගේ හැසිරීමේ තිබ්බ වෙනස අයුමිට තවම පෙනුනේ නෑ. ෆෝන් එක චාජ් වෙන්න ගහලා, නිදන්න ඇඳ හෙම හදලා ඉවර වෙද්දි  මූණකට සෝදගෙන, ඇඳුම් මාරු කරගෙන ඇඳේ වාඩි වෙලා උන්නු තනූජා ඈ දිහා බැලුවේ බැරෑරුම් විදියට. ඒ එක්කම ඒ ඇස්වල තිබුණේ කේන්තියක්ද?
"අයුමි..."
තනූජගේ වියලි ස්වරය ඇහුණම අයුමි ඈ දිහා බැලුවේ මදක් පුදුමෙන්.
"?"

"මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා, හැබැයි මට ඔයා ඇත්තම කියන්න ඕන"

Wednesday, July 29, 2015

විහංඟනාවී: තිස්වන කොටස



"ෂ් ෂ්...අයුමි"
උදේ බස් එකට දුවන වෙලේ පිටිපස්සෙන් එහෙම ඇහුණම අයුමි හැරිලා බැලුවේ කවුද කියලා. ඈ දිහාවට දුවගෙන එමින් උන්නේ වෙන කවුරුවත් නෙවෙයි යශෝධ. ඔහුව දැක්කා ගමන් තනූජා කියපු කතා මතක් වුණත්, අයුමි ඉක්මණින් සිතිවිලි හිතින් බැහැර කලේ ඔහුගේ හිනාව දැක්කම. තනුජා කිව්ව පලියට එහෙම හිතන එක හරි නෑ නේද කියලා ඈට හිතුණා යශෝධ ගැන මොනවත්ම නොදැන.
"ගුඩ් මෝනිං" අයුමි කිව්වේ හිනාවෙලා.
"ගුඩ් මෝනිං" යශෝධ හෙමින් හතිලන ගමන් කිව්වා.
"කොහෙද මේ හති දාගෙන දුවන්නේ?"
"ඔයාව අල්ලන්න දුවගෙන ආවේ. යං යං මාත් බස් එකට යන්නේ" යශෝධ කිව්වා.
"ඔයා කොහෙද යන්නේ?" අයුමි ඇහුවේ ඔහු එක්ක ඉස්සරහට පියමනින ගමන්.
"Gall face. training නේ"
"ආ..." අයුමි හිස වැනුවා.
"අද වහින්නත් වගේ එනවා නේ. මට කුඩේකුත් නෑ" යශෝධ කිව්වේ අහස දිහා බලලා.
"ම්ම්...හරි ෂෝක්. අද දැන් කුඩයක් ගන්න වෙයි වැස්සොත්"
අයුමි කිව්වම යශෝධ හිනාවුණා.
"ඒ වගේ තමා පේන්නේ. ඒක නෙවෙයි කෝ ඔයාගේ යාලුවා වැඩට ගියාද?"
"ඔව් ඔව්. එයා උදේම යනවා. මොකෝ එයා ගැන අහන්නේ?" අයුමි හිනාවක් පාලා ඇහුවා.
"මනුස්සකමටනේ ඇහුවේ. මේ...අනේ...විකාර නම් හිතන්න එපා" යශෝධ කිව්වේ උස් හඬින්.
පාර අයුමිට තවත් හිනා ගියා.
"නෑ නෑ. මම විහිලුවට ඇහුවේ"
"ආ...ඒක මිසක්කා. මගේ පෞවත් ගැහෙන්න ගත්තා. ඔයා මට ගේමක් සෙට් වෙන කතා නේ කියන්නේ"
"විහිලුවට ළමයෝ ඇහුවේ" අයුමි ආයෙම කිව්වා.
හරි හරි. ඒක නෙවෙයි, ඔයාට කීයටද වැඩ ඉවර වෙන්නේ?"
"පහට ඇයි?"
"ම්ම්..."
"මොකක්ද?"
අයුමි  යශෝධ දිහා බලාගෙන උන්නේ මොනාද කියන්න හදන්නේ කියලා.
"හරි මේකයි. අද නොහාන්ගේ බර්ත්ඩේ එක. හවස අපි පොඩි ට්‍රීට් එකක් දෙනවා. ඔය දෙන්නටත් එන්න පුලුවන් වෙයිද? අපේ තව යාලුවෝ දෙන්නෙක් එනවා, ටීම් එකේ ගර්ල්ස්ලා දෙන්නෙක්"
"ආනේ ඇත්තද? ම්ම්...ගොඩක් හවස් වෙයිද?" අයුමි ඇහුවේ එහෙම දේකට බෑ කියන එක හරි නැති හන්දා.
"නෑ නෑ. අපිට හත විතර වෙද්දි එන්න පුලුවන්. මේ ලඟකට යමු, දියත උයනට වගේ " යශෝධ කිව්වා.
"දියත උයන කොහෙද?"
"කෝට්ටෙනෙ...අර Waters Edge Hotel එක ලඟ තියෙන්නේ"
"ම්ම්...මම තනූගෙනුත් අහලා කියන්නද? බැරි වෙන එකක් නෑ" අයුමි කිව්වා.
"OK. එන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නොහානුත් හැපි වෙයි"
"හා හා"
අයුමි බස් නැවතුන්මේදි යශෝධගෙන් සමු අරගෙන බස් එකට නැගලා එන්න ආවා. හිතන්න කිසි දෙයක් තිබුණේ නෑ ඈට, මොකද හවස් වෙන්න තව ගොඩක් වෙලා තිබ්බ නිසා.
අයුමි ඔෆිස් එකට යන්න පාර දිගේ ඇවිදගෙන යද්දි ඈත තියාම ඇගේ ඇහැ ගැටුනේ ඔෆිස් එක පැත්තේ ඉඳන් ආපු රවීන්ගේ වාහනේ පාරට දානවා. ඒත් ඒක ඇදුනේ බම්බලපිටිය පැත්තට හන්දා අයුමි ඒකේ ඇතුලේ උන්නේ කවුද කියලා දැක්කේ නැහැ. අයුමිගේ හිතේ ඇතිවුණේ කුකුසක්. ඒ පාර ඈ ඔෆිස් එක දිහාට පය ඉක්මණ් කලා.
"ගුඩ් මෝනිං මැඩම්..." අයුමි යද්දිම ලොබි එකේ ඉඳලා එහෙම කිව්වේ හසිකා.
"මෝනිං අනේ...ප්‍රියා ආවේ නෑ තව?" අයුමි එහෙම අහගෙනම ගියේ ඇඟිලි සලකුණ තියන්න.
"ආවා...මේකප් දාන්න ගිහින්" හසිකා කිව්වේ හිනාවක් පාලා.
අයුමිත් පිලිතුරු හිනාවක් පාලා උඩ තට්ටුවට එන්න ආවා. තමන්ගේ කාමරේට යන්නත් කලින්ම අයුමි කලේ ගිහින් රවීන්ගේ කාමරේට එබුණ එක. කාමරේ ලයිට් එකයි, AC එකයි දෙකම දාලා තිබුණා. මේසේ උඩ රවීන්ගේ උදේ කෑම එකයි, ඇරපු ලැප් ටොප් එකයිත් එහෙමම තිබුණා. ඒ පාර අයුමිට හිතුණේ රවීන් මොනා හරි අමතක වෙලා ඒක ගේන්න ගෙදර ගියා වෙන්න ඇති කියලයි.
අයුමි බලාපොරොත්තුවෙන් උන්නත් අන්තිමේදි රවීන් ඔෆිස් එකට එද්දි උදේ එකොලහත් පහු වෙලා තිබුණා. ඔහු එනකල් බල බල උන්නු අයුමි ඒ වෙද්දි නම් හිටියේ නොසන්සුන් වෙලා. රවීන්ට කෝල් කරන්න ඕන කියලා හිතුණත් ඔහු වැදගත් වැඩකවත්දෝ කියලා හිතලා ඈ කතා කලෙත් නැහැ. ඒ ගැන හිත හිත ඉන්න වෙලෙයි, හෙමින් දොරට තට්ටු කරලා රවීන් අයුමිගේ කාමරේට එබුණේ. මුලින්ම ටිකක් ගැස්සුනත් ඊලඟ මොහොතේ ඇගේ හිතට දැනුනේ සැනසීමක්.
අයුමි පුටුවෙන් නැගිට්ටේ ඔහු ඒවි කියලා හිතලා ඇතුලට. ඒත් ඔහු ආවේ නෑ.
"ඔයා කීයටද ආවේ?" රවීන් ඇහුවේ දොර ලඟම හිටගෙන.
"වෙනදා වෙලාවටම තමා. මම එද්දි දැක්කා වාහනේ යනවා" අයුමි කිව්වා.
අයුමි දිහා බලාගෙන උන්නු රවීන් ඒ පාර අහක බලාගෙන හීන් සුසුමක් හෙලුවා.
"ම්ම්... ඔව්, මට එලියට යන්න වුණ හදිසියේම.  හරි. ඔයා වැඩ කරන්න. පස්සේ කතා කරමු" රවීන් එහෙම කියාගෙන දොරත් වහගෙන යන්න ගියේ අයුමි ආයෙම මොනවත් අහන්නවත් කලින්.
ඈට හිතාගන්න බැරි වුණා ඇයි රවීන් එහෙම හැසිරුණේ කියලා. ටිකක වෙලා කල්පනා කරලා ඈ අන්තිමේදි කාමරෙන් එලියට ආවේ රවීන්ගේ කාමරේට යන්න. රවීන්ගේ කාමරේ දොර ලඟදි ඇගේ හිත තරමක් පැකිලුනත්, රවීන්ගේ අමුතු හැසිරීම හිතට එක් කරපු වදේ ඊට වඩා බලවත් වුණා. කාමරේ ඉස්සරහ පාටිෂන් එකේ උඩ වීදුරු ඇතුලෙන් කවර් කරලා තිබුණ නිසා අයුමිට පෙනුනේ නෑ ඔහු මොකද කරන්නේ කියලත්. ඒත් හිතට දිරි අරන් ඈ කාමරේ දොර ට තට්ටු කලා. කාමරේ ඇතුලේ සර බර සද්දයක් එක්කම ටිකකින් දොර ඇරියේ රවීන්මයි කවදාවත් නැතුව.
අයුමි කෙලින්ම බලාගෙන උන්නේ රවීන්ගේ දෑස් දිහා. ඒ ඇස්වල තිබුනේ ප්‍රශ්ණාර්ථයක්.
"අයුමි?"
"ඇතුලට එන්නද මම?" ඈ ඇහුවා.
රවීන් ඒ පාර දොර ලඟින් මෑත් වෙලා ඈට එන්න ඉඩ දුන්නා. ඇතුලට ගිහි අයුමි හැරිලා බැලුවා දොර ලඟ ඉඳන් ආපහු එමින් උන්නු රවීන් දිහාව. ඔහු උන්නේ මොකක්දෝ වෙනම කල්පනාවක වගේ.
"ඉඳගන්න...මොකක්ද කාරණේ?" මේසේ අසලට යන ගමන් රවීන් ඇහුවා.
ඒත් අයුමි ඉඳගත්තේ නෑ. ඈ රවීන් දිහාම බලාගෙන උන්නා ඔහු මේසේ අසලින් ඉඳගන්නකනුත්.
"ඉතිං කියන්න ළමයෝ" රවීන් ඈ දිහා පුදුමෙන් වගේ බලලා කිව්වා.
අයුමිගේ හිත හීන්වට රිදුනා හේතුවක් නැතුවම.
"ඔයා අද වෙනස්" අයුමි කිව්වේ චෝදනාමුඛයෙන්.
රවීන් ඈ දිහා ටික වෙලාවක් බලාගෙන උන්නේ ඒ කිව්ව එක නොතේරුණා වගේ.
"ඇයි ඒ එහෙම කියන්නේ?" ඔහු ඊලඟට ඇහුවා.
"මට එහෙම තේරෙනවා"
අයුමි දිහා තව මොහොතක් බලාගෙන උන්නු රවීන් හිස වැනුවා.
"එහෙම එකක් නෑ"
"මට එහෙම දැනෙනවා" අයුමි කිව්වා.
"අයුමි ප්ලීස්... මොනා හරි අහන්න ආවා නම් අහන්න. නැත්තම් පිස්සු දේවල් හිතන්නැතුව ගිහින් වැඩ කරන්න" රවීන් කිව්වා.
රවීන් දිහා දෑස් දලවගෙන බලාගෙන උන්නු අයුමිගේ හිත ඒ වචන තවත් රිද්දුවා. ඈ බිමට නෙත් යොමාගත්තේ ඒකයි.
"අයෑම් සොරි" අයුමි එහෙම කියාගෙන එන්න හැරුණේ උගුරේ මොකක්දෝ ලොකු ගුලියක් හිර වෙනවා වගේ දැනෙද්දි.
ඒ එක්කම ඈට ඇහුනා රවීන් පුටුව ඇදගෙන මේසේ ලඟින් නැගිටිනවත්. ඒත් ඈ ආපහු හැරිලා බැලුවේ නෑ.
"අයුමි..." දොර ලඟ දි රවීන් ඇගේ අතකින් අල්ලගත්තම ඈ නැවතිලා ආයෙම ඔහු දිහාවට ටිකක් ඇදිලා නැවතුනා. ඒත් ඈ උන්නේ ඔහු දිහා නොබලා.
"ඔය හිත රිද්දගෙනද යන්නේ?" රවීන් ඇහුවම අයුමි හිස වනලා නෑ කිව්වා බොරුවට. 'හිත රිදුන වග දැන දැනත් අහන හැටි' කියලා ඈට හිතුණා.
"මේ අහන්න..." රවීන් අයුමිව අතින්ම අල්ලාගෙන ඔහුගේ පැත්තට හරවගත්තා.
"මේ දවස්වල මගේ හිත කලබලයි...පොඩ්ඩක් තේරුම් ගන්න" රවීන් කිව්වා.
"කොහොමද?" අයුමි ඇහුවේ ඔහු දිහා බලන ගමන්.
"මොකක්ද?"
"මොනවත්ම නොදැන තේරුම්ගන්නේ?"
රවීන් ඒ පාර නිරුත්තරව ඈ දිහා බලාගෙන උන්න මොහොතක්.ඊට පස්සේ සුසුමක් හෙලලා ඇගේ අත අතෑරියා.
"උභතෝකෝටික ප්‍රශ්ණ අහලා මගේ ඔලුව තවත් අවුල් කරන්න එපා ප්ලීස්..."
අයුමිගේ හිත ආයෙම පෑරුණා.
"මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි මට කියන්න බැරි?" අයුමි එආ පාර උන්නේ නො ඉවසිලිමත් වෙලා.
"අයුමි...ප්ලීස්...මට මගේ ප්‍රශ්ණ විසඳගන්න දෙන්න. මේක ඔයාට අදාල නෑ...මේක මගේ පෞද්ගලික දෙයක්" රවීන් එහෙම කිව්වම අයුමි තිගැස්සුනා.
'පෞද්ගලික' එච්චරයි ඇගේ හිතේ රැඳුනේ. රවීන් දිහා අදහාගන්න බැරිව වගේ බලාගෙන උන්නු ඈ අන්තිමේදි බිමබලාගත්තා.
"සොරි...මම ඒක දැනං හිටියේ නෑ..." ඈ කිව්වේ හෙමින්.
"අයුමි..." ඒ පාර රවීන්ගේ හඬ තිබ්බේ මුදු වෙලා.
"මම යන්නම්" අයුමි එහෙම කියලා දොර ඇරගෙන එලියට එද්දි රවීන් ආයෙම කතා කලා.
"අයුමි..." ඒත් ඈ පස්ස නොබලම දොර වහගෙන එලියට ආවා. ඈ තව අඩියක්වත් ගන්න කලින් රවීන්ගේ කාමරේ ඇතුලෙන් ඇහුණේ මොකක්දෝ වීදුරු බඩුවක් පොලවේ ගහන සද්දයක්. ඒ සද්දෙට අයුමිගේ ඇඟ හිරි වැටිලා ගියා වගේ. ඒත් ආපහු හැරෙන්නවත් බැරි තරමට ඈ උන්නේ ගල් ගැහිලා.
"මොකක්ද බං ඒ සද්දේ?" ඒ එක්කම කොන්ෆරන්ස් රූම් එක පැත්තෙන් මතු වුණේ සමින්දගේ හඬ. අයුමි එතන නොනැවතී තමන්ගේ කාමරේට දුවලා එන්න ආවේ සමින්දලා තමන්ව එතන දැකලා තවත් ප්‍රශ්ණයක් ඇති වෙන්න කලින්.
කාමරේ ඇතුලට ඇවිත් දොර වහගනිද්දිත් අයුමිගේ කම්මුල් තිබුණේ තෙමිලා. ඊට පස්සේ ගෙවුණ පැයක් විතරම ඈ කලේ බාත් රූම් එකට වැදිලා අඬපු එක. රවීන්ගේ හැසිරීම ඇගේ හිතට එක් කරලා තිබුණේ ඈට දරාගන්න අමාරු තරම් දුකක්. ඒ තමන් මහා හුඟක් හිතින් ඔහුට බැඳිලා උන්නු නිසා නේද කියලා ඈ කල්පනා කලෙත් කඳුලු අතරින්මයි.