Wednesday, December 28, 2011

හතරවන කොටස

"වේල ඉල්ලාන්දවන්දා...වේල තෙරින්ජවන්දාන්...වීරමාන වේලකාරන්..ඉදු න්‍යායමාන වේලකාරන්...(මේ වැඩ දන්න,වීර වැඩකාරයෙක්, මේ සාධාරණව වැඩකරන වැඩකාරයෙක්)"
ආන්යා රාධාත් එක්ක පෝටිකෝවට වෙලා වේලිච්ච ඇඳුම් වගයක් නවමින් ඉද්දි ගෝපි බයිසිකලේ කොහේදෝ ගිහින් ආවේ සින්දුවක් කියාගෙනමයි. ආන්යා ඒ දිහාව බලද්දි ගෝපි බයිසිකලෙන් බැහැලා ගේ ලඟට ආවා.
"මොකෝ ගෝපි? කෝ අනූ?" ආන්යා අහුවා.
"පොඩි මාතියා අර දොරේලා එක්ක මොකදෝ සෙල්ලම් කරනවා. මම ආවේ කැරම් බෝඩ් එක ගෙනියන්න"
"දොරේලා කිව්වේ?" ආන්යා ආයෙම ඇහුවා.
"අපේ කොලඹ පෙරිය දොරේගේ පුතාලා"
"ආ... අනූ දැන් ඒ අයත් එක්ක සෙට් වෙලාද? අරන් යන්න එහෙනම්" ආන්යා කිව්වා.
"අභි මාතියා නෝනා ගෙන ඇහුවා අද" කැරම් බෝඩ් එක උස්සගෙන එන ගමන් ගෝපි කිව්වාම ආන්යගේ හිත ටිකක් ගැස්සුනා වගේ වුණා.
"මං ගැන, මොනාද?"
"මොනාවත් නෙවෙයි, ඉන්නවද කොහොමද කියලා" ගෝපි ඇඟට පතට නොදැනී කිව්වා.
"එයාට මොකටද මගේ වගක් නේද රාධා?"
"අයියෝ බේබි...නිකමට අහන්න එති. එදා හම්බවුනා කිව්ව නිසා"
"හා හා ඒකෙන් කමක් නෑ. ඉක්මණට එන එකයි ඇත්තේ යන දේවාලෙක ගිහින්" ආන්යා කිව්වේ හිනා වෙලා.
ගෝපි ආයෙම යන්න ගියා. රාධා ආන්යා දිහා බැලුවා.
"බේබිලා කවද්ද ආයෙම නුවර යන්නේ?"
"තව සති දෙකකින් විතර, ඇයි?"
රාධා බිම බලා ගත්තා.
"බේබි ගියාම මට පාලුයි. අම්මා කියනවා දලු නෙලන්න යන්න කියලා නිකම් ඉන්න බැරි නම්"
රාධා එහෙම කිව්වාම ආන්යගේ හිතට ආවේ දුකක්. රාධා වත්තෙම ඉපදිලා වත්තටම සින්න වෙන්න යන එක අපරාදේ කියලා ඈට හිතුණා. වත්තේ උන්නු ගොඩාක් ගෑනු ළමයින්ට වුණේ ඒකම තමයි. කවදාහරි රාධා මේ වත්තෙන් එලියට ඇවිත් හොඳ ජීවිතයක් ගත කරනවා බලන්නයි ආන්යට ඕන වුණේ.
"පිස්සුද? ඔයා එහෙම යන්න එපා. ඔයාට පුලුවන් නේ වෙන මොනවා හරි කරන්න. මහන්න, එලවලු හදන්න, බෑග් අලවන්න වගේ දෙයක් හරි" ආන්යා එක පාරටම කිව්වා.
"අම්මා ඕවට කැමති නෑ බේබි. අප්පාත් එහෙමයි" රාධා කිව්වේ දුකින් වගේ.
"මම අම්මට කතා කරන්නම් කෝ. ඔය බය නොවී ඉන්න. මම අපේ අම්මටත් කියන්නම්" ආන්යා රාධාව අස්වසන්න උත්සාහ කලා.
රාධා ගෙදර ප්‍රශ්ණ නිසා හරි ගෙදර අයගේ නොදැනුවත්කම නිසා හරි ඉගෙන ගෙන තිබුණේ අටේ පංතියට විතරයි. ලියන්න, කියවන්න පුලුවන් වුණත් දලු නෙලනවා ඇරෙන්න වෙන මොකකටවත් ඈව ඇගේ දෙමව්පියෝ කැමති වුණේ නෑ.හෙට අනිද්දට කවුරුහරි කොල්ලෙක් හොයලා බන්දලා දුන්නම ඉවරයි කියලයි සෙල්ලම්ම නිතරම කිව්වේ. ඒත් රාධාට ඕන ඒක නෙවෙයි නිදහසේ, තමන් කැමති දෙයක් කරගෙන, තමන් ආදරේ කරන කෙනෙක් කසාද බැඳලා ජීවත් වෙන්න කියන එක දැනගෙන උන්නේ ආන්යා විතරමද කොහෙද.

"අප්පෝ මෙයාට ගෙදර මතක් වෙලා තියෙන්නේ"
අනුහස් හවස් ජාමේ ගෙදර එද්දි සාලෙට වෙලා හීටරේ ලඟ ගුලි වෙලා උන්නු ආන්යා කිව්වා. දොරට පිටුපාලා උන්නු අම්මාත් හැරිලා බැලුවා.
"ඔයා වගේ ගෙට වෙලා ඉන්න බෑ හලෝ අපට" අනුහස් කිව්වා.
"ගියාට නම් කමක් නෑ. වැඩේ කියන්නේ මේ වැඩක් කර ගන්න කෙනෙක් ගෙදර හරියක නැති එකයි ඕන වෙලාවට" අම්මා කිව්වා.
"හරි හරි අම්මා. හැමදාම යන්නේ නෑනෙ" අනුහස් හිස කස කස කිව්වා.
"ඒක නෙවේ කොහොමද අලුත් දොරේලා දෙන්නා?" ආන්යා සරදම් හිනාවක් මුවේ රඳවගෙන ඇහුවා.
"මොකටද අහන්නේ? දොරේලා හොඳා"
ආන්යා අනුහස්ට ගස්සලා අහක බලාගත්තා.
"විහිලු නෙවේ ලමයෝ ඇත්තටම කියන්නකෝ. කොහොමද දෙන්නා? මම අන්තිමට ඔය ළමයි දැක්කේ පොඩි කාලේ"
අම්මත් ඇහුවා.
"අනේ මාර හොඳයි අම්මා. කියලා වැඩක් නෑ. අපට හොඳට සැලකුවා. ලොක්කා නම් ටිකක් රිසර්ව්ඩ් වගේ උණාට අභි නම් නියම කොල්ලා. සල්ලිකාරයෝ වුණාට කිසිම ආඩම්බරයක් නෑ" අනුහස් කිව්වේ පැහැදීමෙන්.
"එහෙම තමා පුතේ බුද්ධිමත් ළමයි" අම්මා කිව්වෙත් පැහැදීමෙන්මයි.
ආන්යා හීටරේ තැඹිලි පාට කොයිල් එක දිහා බලාගෙන හිනා වුණා.
"මොකෝ මෙයා හිනා වෙන්නේ?" ඒක දැකපු අනුහස් ඇහුවා.
"ඔක්කොම හොඳයි, දිව උලුක් වෙන රාමයණේ එන නම් නැත්තම්"
ඒක අහපු අනුහස්ට බකස් ගාලා හිනා ගියා.
"ඇයි, ඒ ළමයින්ගේ නම් රාම්, ලක්ෂ්මන්ද?එහෙනම්  අභි කිව්වේ?" අම්මත් අන්දුන් කුන්දුන් වෙලා.
"මෙයයි මායි දන්න ඉතිහාසෙ. රාමායණේ  නෙවෙයි හලෝ, මහාභාරතේ. අභිමන්යු ඉන්නේ ඒකෙනේ. ලොකු එක්කෙනාගෙ-"
ඒත් ලොකු එක්කෙනා ගැන කියන්න අනුහස්ට ඉඩ ලැබුණේ නෑ, ඒ මොහොතේ ගෙදරට ආපු වාහනේක සද්දේ නිසා හැමෝගෙම අවධානේ වෙනස් වුණ හන්දා. තාත්තා ඇවිත්.
දවස ගොඩක් සීතල වුණ හන්දම ඉක්මණට රෑ කෑම කාලා නිදාගන්න ගෙදර හැමෝටම ඕන වුණ නිසා හතහමාර වෙද්දිම ආන්යා, අනික් අය එක්ක කෑම මේසෙට වාඩි වුණා.
"අන්න හොඳයි, අද අම්මා ඉස්සෝ කිරට උයලා" අනුහස් ඉස්සෝ බඳුන ලං කර ගන්න ගමන් කිව්වා. කොහොමත් අනුහස් මුහුදු කෑම වලට ආසයි.
"කන්න කන්න ඔයාටම තමා හැදුවේ" අම්මා කිව්වේ සෙනෙහසින්.
"එක නෙවෙයි තාත්තා...මම මේ කියන්නම කියලා හිටියේ. රාධාට සෙල්ලම්මා දලු කඩන්න යන්න කියනවලු. අනේ තාත්තා ඒකට එපා කියන්නකෝ. රාධා පව් නේ. මට වඩා අවුරුද්දයි නේ වැඩිමල්"
ආන්යා එහෙම කිව්වාම හැමෝගෙම ඇස් ඈ දිහාට යොමු වුණා.
"කවුද දූට කිව්වේ රාධාද?" තාත්තා ඇහුවා.
"හ්ම්" ආන්යා හිස වැනුවා.
"එහෙම කියලත් බෑනෙ. එතකොට දැන් ඉන්න ගෑණු උදවිය අයින් වුණාම දලු කඩන්නේ කවුද? දැන්ම ඉඳන් කවුරුහරි පුරුදු කර ගන්න එපෑ" එහෙම කිව්වේ අම්මා.
"මම නොකිව්වට ඕක දැන් අපට තියෙන ලොකු ප්‍රශ්ණයක්. මේ අලුත් පරම්පරාව කැමති නෑ වත්තේ මේ රස්සාවල් කරන්න" තාත්තා කිව්වා.
"අනේ මන්ද ඒ මොකෝ කියලා. හැම දේම දෙන නිසා වෙන්න ඇති" අම්මා කිව්වේ අමනාපෙන්."ඉපදෙද්දිම වත්තේ රස්සාව තියෙනවා, වැටිලා ඉන්න තැනක් තියෙනවා, බේත්හේත් දෙන්න, පොඩි ලමයි බලා ගන්න පහසුකම් සලස්සලා තියෙන්වා...වෙන මොනවද මිනිහෙක්ට ඕන මං අහන්නේ?" අම්මා තවදුරටත් කිව්වා.
"ඒකනේ" තාත්තත් එකඟ වුණා.
"ඒත් ඒ මිනිස්සුනේ සිතුම් පැතුම් අපට ඕන විදියට හිර කරලා තියා ගන්න අපට අයිතියක් නෑනෙ අම්මා. ඒ අය වහල්ලු නෙවේ නෙ" ආන්යා කිව්වේ ආවේගශීලීව.
"කට, කට...ඔයා කියන ඒවා ඇහුනොත් මේ වත්තේ උන් ස්ට්‍රයික් කරන්නත් පටන් ගනී. ආන්යා ඕන නැති දේවල් වලට ඇඟිලි නොගහා පැත්තකට වෙලා ඉන්න" අම්මා ආන්යට සැර කලා.
"ඔව් ඔව්. ඔයාගේ මේ ඒකාබද්ධ නිදහස් වතු කාන්තා සංගමේ නිසා තාත්තලගෙ හියුමන් රිසෝර්සස් ඩිපාට්මන්ට් එකටයි ප්‍රශ්ණ ඇති වෙන්නේ. රාධාට බැරි නම් නිකා ඉන්න කියලා ඔයා මෙන්න මෙහේ ඉන්න මීනු" අනුහස් කිව්වේ ඇත්තටමද විහිලුවටද කියලා ආන්යට තේරුණේ නෑ.
"ඔව් ඔව්. ඔයා තමන්ට අයිති නැති දේවල් නොකර ඉන්නකෝ" තාත්තත් අන්තිමට කිව්වා.
අනපු බත් කට කන්න පිරිය්ක් නැති වෙච්ච ආන්යා කෑම කන එක නවත්තලා සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා.
"අම්මේ මට තව ඉස්සෝ දෙන්නෙක් දාන්නකෝ"
අනුහස් කියනවා ඈට ඇහුණා.

Friday, December 23, 2011

තෙවන කොටස


දෙසැම්බර් මාසේ මේ කාලේ තිබුණේ වරු වැස්ස නිසා, හවස වහින්න කලින් උදේ හොඳට අව්ව පායලා තිබුණා. උදේ හතට විතර අවදි වුණ ආන්යා මූණ සෝදගෙන කෑම කන්න එද්දි තාත්තා කෑම කන්න මේසෙටත් ඇවිත්. කලින්දා රෑ තාත්තා එන්න ගොඩක් රෑ වුණ හන්දා තාත්තා එද්දි ආන්යා උන්නේ නින්දේ.
"ආ...ස්ලීපින් බියුටි දැනද නැගිට්ටේ?" තාත්තා ඇහුවේ හිනා වෙවී.
"ම්ම්...සීතලයි නේ උදේම නැගිටින්නේ කොහොමද? තාත්තා කීයටද ඊයේ ආවේ?"
ආන්යා කෑම මේසෙන් වාඩි වෙන ගමන් ඇහුවා.
"දොලහමාරයි එද්දි. මගදි කැබ් එකේ පැච් එකක ගියා නේ, අවිස්සාවේල්ල හරියෙදි, ඒකයි"
තාත්තා දුම් දමන ඉඳි ආප්ප බෙදා ගන්න ගමන් කිව්වා.
ආන්යත් ඉඳි ආප්ප දෙක තුනක් පිඟානට දා ගත්තා. අම්මත් මෙවෙලේ ඇවිත් රස පාට පොල් සම්බෝලයක් මේසේ උදින් තිබ්බා.
"කෝ අම්මා අනු? තාම නිදිද?"
"නෑ, ඕන්න උදේ පානදර ඇහැරලා කැලේ යනවා කියලා ගියා කුරුල්ලෝ බලන්න ගෝපිත් එක්ක"
"ඒක හොඳයි" තත්තා කිව්වා.
'කොහොමටත් ඉතින් එයාට ඒ කාලේ ඉඳලම ඔය පිස්සුව තිබ්බනේ..." අම්මා කිව්වේ තාත්තට අල හොදි බෙදන ගමන්.
ඊට පස්සේ ටික වෙලාවක් යනකල් කතා නොකර ආන්යයි, තාත්තයි දෙන්නම කෑම කෑවා.
ආන්යට මතක ඇති කාලෙ ඉඳලම අම්මා කෑවේ තාත්තයි, ඒ ගොල්ලොයි කාලා ඉවර වුණාම. ඒ අම්මාගේ ගෙදරත් එහෙම  කරපු නිසයි. අම්මා කිව්වේ හොඳ හැදිච්ච ගෑණු උදවිය කරන්න ඕන එහෙම කියලයි.
තාත්තා කොච්චර එපා කිව්වත් අම්මගේ මේ ගතිගුණ නම් වෙනස් වුණේ නෑ.
"අද අලුත් ඇසිස්ටන්ට් මැනේජර්ගේ පලවෙනි ඩියුටි දවස. පොඩි ඔරියෙන්ටේෂන් එකක් තියෙනවා.මනි මහත්තයාගේ පුතත් ඒවි මහිතේ" තාතා කාලා ඉවර වෙලා අම්මට කිව්වා.
"ඊයේ නාරදගේ ගෙදර ආවේ ඒ අයද?" අම්මා ඇහුවා.
"ඔව්...ඔය ලොකු පුතා නාරදගේ ක්ලාස් මේට්ලු ඉස්කෝලෙ යන දවස් වල. ඒකනේ එහේ නවතින්න ඇවිත් තියෙන්නේ" තාත්තා කිව්වේ යන්තම් හිනාවෙලා.
"ආ..එහෙමද?"
"අපරාදේ කියන්න බෑ හරිම හොඳ ළමයා. හොඳට සිංහල එහෙමත් පුලුවන් දෙන්නටම. සිංහල ඉස්කෝල වලටනේ ගියේ. කිසි ආඩම්බරයක් නෑ, ඒ වගේමයි දැනුමත්. ආනන්ද් මහත්තයට බය වෙන්න දෙයක් නෑ අනාගතේ ගැන නම්" තාත්තා ආයෙම කිව්වා.
ආන්යා කෙසෙල් ගෙඩියල් කන ගමන් තාත්ත දිහා බැලුවා.තාත්ත කොහොමත් සුබ්‍රමනියම් මහත්තයාගේ පවුලට ලැදියි. සුබ්‍රමනියම් මහත්තයත් තාත්තත ඒ වගේම සැලකුවා. මේ අතරේ ආන්යට මතක් වුණේ ගීතාන්ව.
"ලොකු අයියා එහෙම කොහොමද තාත්තේ?"
"ආ...ඉන්නවා, ඉන්නවා. හැබැයි ඉතින් ගෙදර නම් අපාය වගේ. අස් කරලා නෑ කාලෙකින්. මම මනුස්සයෙක් දාලා අස් කරෝලා දැම්මා. ගීතාන්ට ඕවා කරන්න වෙලාවක් නෑනෙ. මේ සති අන්තේ පුලුවන් වුණොත් එනවා කිව්වේ"
ඒක ඇහුවාම ආන්යට දැනුනේ සතුටක්.
"හරි ෂෝක්!"

තාත්තත් වැඩට ගියාට පස්සේ ආන්යට දැනුනේ පාලුවක්. අනුහස් තාම ගෙදර ඇවිත් තිබ්බෙත් නෑ. අව්ව පායපු වෙලාව නිසා අම්මයි, සෙල්ලම්මායි ගෙදර පිළිකන්නේ රෙදි සෝදනවා. ටීවී බලන්නත් කම්මැලි හිතුණ නිසා ආන්යා හිතුවා පාර පැත්තට ගිහින් එන්න.
"අම්මා, මම කුට්ටියි, රාධායි  එක්ක පාර දිහාට යනවා. අනු එනවද බලන්න"
කුස්සියට ගිහින් එලියට එබුණ ඇය අම්මට කියලා තුන්දෙනාඑක්ක පාරට එන්න ආවා. පාරක් කිව්වට ඒක මහා කලබලකාරී පාරක් නෙවෙයි. ඒකේ ගිය එකම වාහන වුණේ මැනේජර් නාරදගෙයි, ආන්යගේ තාත්තගෙයි කැබ් දෙක විතරයි. ඒ ඇරුණම කලාතුරකින් වත්තේ ලොරියක් දෙකක් එහේ මෙහේ ගියා. ඒ වුණත් ඒ පාර තාර දාලා, හොඳට මට්ටම් කරලා, පළලට හදලා තිබ්බ එකක්.
ආන්යා පාරට ඇවිත් දෙපැත්ත බැලුවා. මනුස්සයෙක් තියා බල්ලෙක් වත් පේන්න නෑ. අපි පාර දිගේ පහලට යමුද?" ආන්යා ඇහුවාම අනික් දෙන්නා හිස වැනුවා.
ඊට පස්සේ ඔවුන් තුන්දෙනා පාර දිගේ පහලට ඇවිදගෙන යන්න වුණා. අනුහස් බලන්න ගිය කැලේ තිබ්බේ තේ වත්ත පහල මායිමේ.
"මීනු බේබි...මේ බලන්නකෝ කහ මල්...අපි ඒවා පුපුරවමුද?"
නිත්‍යා හිටපු ගමන් නැවතිලා තේ වත්තේ එලිමහන් කොටසක් පෙන්නලා ආන්යගෙන් ඇහුවා. එතන කහ පාට කැලෑ මල් විශේයක් පිපිලා තිබුණා. කහ පාට හුලං පිරුණ පුංචි පැතලි බැලුම් වගේ මල් තිබ්බ මේ පැලෑටියේ මල් කඩාගෙන නලල මැද ගහලා පුපුරවන එක ආන්යගෙයි, නිත්‍යාගෙයි එක විනෝදාංශයක් වෙලා තිබුණා. 'පුටුස්' හඬින් ඒවා පුපුරද්දි දෙන්නම ලබුවේ ලොකු සතුටක්.
"හා...එන්න යමු කඩන්න"
ආන්යා නිත්‍යාවත් ඇදගෙන එතනට දිව්වා. ඊට පස්සේ දෙන්නත් එක්ක මල් කඩාගෙන නලලේ ගහලා පුපුරවන්න ගත්තේ තරඟෙට වගේ. රාධා පාරට වෙලා බලාගෙන හිටියා.
හැම මලක්ම පිපිරුවේ නෑ, පොඩි වුණා විතරයි. ඒ දෙන්න මේ වැඩේ කරමින් ඉන්න අතරේ ආන්යා දැක්කා කවුදෝ දෙන්නෙක් උඩ තේ වත්තේ ඉඳලා බැහැගෙන ඒ පැත්තට එනවා. ආන්යා කවදාවත් දැකලා නැති දෙන්නෙක්. එක්කෙනෙක් සැහැල්ලු ටී ෂර්ට් එකකුයි, ඩෙනිම් කලිසමකුයි ඇඳලා. අනික් කෙනා නම් පිලිවෙලකට කමිස කලිසම් ඇඳලා, බෙල්ට් දාලා. ඒ දෙන්න ලං වෙද්දි ආන්යට පෙනුනා, දෙන්නම උස, කදවසම් තරුණයෝ දෙන්නෙක් වග. ඇයයි, නිත්‍යායි එතනම හිටගෙන බලා ඉද්දි, ටී ෂර්ත් එක ඇඳපු කෙනා හිනාවීගෙන ඒ අය ලඟ නැවතුනා. අනික් කෙනා නම් උන්නේ අහක බලාගෙන. රාධාත් හෙමීට ආන්යා උන්නු තැනට කිට්ටු වුණා.
"එක්ස්කියුස් මී...මට කියන්වද ෆැක්ට්‍රි එකට යන පාර කොහොමද කියලා?"
'පාර නම් හොඳයි කියලා ආන්යට කියන්න හිතුණත් ඈ ඒ සිතිවිල්ල මැඩගෙන සුහද වෙන්න උත්සාහ කලා.
"මේ පාර දිගේම පහලට යද්දි, දකුණු අත පැත්තේ තියෙන්නේ. යද්දි පේනවා"
"ආ...හරි. තෑන්ක් යූ වෙරි මච්"
"යූ ආ වෙල්කම්"
ඒත් ඔහු යන වගක් පෙනුනේ නෑ.
"කමක් නැද්ද මම මේ පොඩි ළමයගේ ෆොටෝ එකක් ගත්තට..මේ මල් එක්කම?" ඔහු ඊලඟට ආන්යගෙන් ඇහුවා.
ඔහුට එහා පැත්තේ හිටපු කෙනා ඔහු දිහා බලලා නොඉවසිලිමත් හඬක් නැගුවා. ආන්යට හිතුණා ඒ අර අලුතින් ආව කිව්ව මැනේජර් වෙන්න ඇති කියලා ඇඳන් උන්නු විදිහට. එතකොට මේ අනික් කෙනා ආනන්ද් මහත්තයාගේ පුතා වත්ද?
"ආ...කමක් නැද්ද නිත්‍යා?" ඇය නිත්‍යාගෙන් ඇහුවේ නිකමට. නිත්‍යා මුකුත් හිතා ගන්න බැරුව වගේ බලාගෙන හිටියා.
"කමක් නෑ ගන්නකෝ එහෙනම්" ආන්යා මල් ගොල්ලෙන් අයින් වෙලා පාරට එන ගමන් කිව්වා.
දැන් අර ෆොටෝ ගන්න කෙනා නිත්‍යාව විවිධ පැති වලට හරවලා ෆොටෝ ගන්නවා. ආන්යා ඒ දිහා බලාගෙන ඉන්න ගමන්, එතන හිටගෙන අහක බලාගෙන උන්නු පුද්ගලයා දිහාත් ඇස් කොනකින් බැලුවා. ඔහු උස, පැහැපත්, මූණ පුර යන්තම් රැවුලක් වවපු, ආන්යලා කියන විදියටැ හැන්ඩි කෙනෙක් කියලා බැලු බැල්මට පෙනුනත්, ඔහු උන්නේ සසර එපා වෙලා වගේ කියලාත් ඇයට හිතුණා. ඒ වගේම ඔහු හරි පණ්ඩිත පාටයි කියලත් ඈ හිතුවා.'අනේ ඇසිස්ටන්ට් මැනේජර්ලට ගිය කල' ඈ කට කොනකින් හිනාවුණා. විනාඩි දහයකට විතර පස්සේ ෆොටෝ ගත්තු කෙනා ආන්යා දිහාට හැරුණා.
"තෑන්ක්ස්...මම ලස්සන ෂොට්ස් ටිකක් ගත්තා. බයි ද වේ මම අභිමන්යු...සුබ්‍රමනියම්...කෙටියෙන් කියන්නේ අභි.."
ආන්යගේ ඇස් උඩ ගියා. එහෙනම් මේ ඇත්තටම ආනන්ද් මහත්තයාගේ පුතා.
"ආ...ම..මම ආන්යා..ආන්යා වීරප්පෙරුම. ජෙනරල් මැනේජර් මගේ තාත්තා. මෙයා රාධා,  මේ නිත්‍යා"
" ඕ..ඇත්තද? නයිස් ටු මීට් යූ...මේ ඉන්නේ-" ඔහු අනික් පුද්ගලයා දිහාට අත දික් කරද්දිම ආන්යා මැදින් පැන්නා.
"මම දන්නවා, අලුත් ඇසිස්ටන්ට් මැනේජර් නේද? තාත්තා මට කිව්වා"
ඇය කිව්වාම අභිමන්යු ඈ දිහා බලලා අනික් පුද්ගලයා දිහා බැලුවා. ඔහු පළමු වතාවට ආන්යා දිහා බැලුවේ එවෙලේ.
"ඇසිස්ටන්ට්... මැනේජර්...?ආ ඔව් ඔව්, මේ එයා තමා. මේ ආර්යන්... අපි මේ ෆැක්ට්‍රි එකට යන ගමන්"
අභිමන්යු තතනමින් කිව්වා.
'ආර්යන්..නම නම් තියෙන්වා, ඒත් ඉන්න හැටි, හරියට කසාය බීපු ගොලුවා වගේ...' යටි හිතින් හිතමින් ආන්යා ඔහුට යන්තමට හිනා වුණා.
"කැන් වී ගෝ නව්...?" ආන්යා දිහා නොබලම ඔහු අභිමන්යුගෙන් ඇහුවා.
"යමු. එහෙනම් ආන්යා අපි යන්වා. සී යූ අරවුන්ඩ් දෙන්, බායි"
ඔවුන් දෙන්න යන්න ගියා. ආන්යයි, රාධා යි දෙන්නම ගල් ගැහිලා වගේ ඔවුන් යන දිහා බලාගෙන හිටියා. අභි උඩ පැන පැන හිනා වෙවී මොනවදෝ කියවමින් යද්දි, අනික් කෙනා මෝල්ගහක් ගිලලා වගේ කෙලින්ම ඇවිදගෙන යන හැටි ආන්යට පෙනුනා.
"බේබි..."
"හ්ම්ම්"
"අලුත් සින්න දොරේ නම් හැඩයි නේ?"
ආන්යා රාධා දිහා බැලුවේ සරදම් හිනාවක් මුවේ රඳවගෙන.
"රාධාගේ හිත ගියාද?"
"අනේ නිකං ඉන්න බේබි විහිලු නොකර. කාට හරි ඇහුනොත් මම ඉවරයි" රාධා රථු වෙලා.
"හරි, හරී...මම් නිකම් කිව්වේ. අපි යමු"

Thursday, December 22, 2011

සුභ නත්තලක් වේවා!

මගේ යාලුවනේ ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා!

Tuesday, December 20, 2011

දෙවන කොටස


ආන්යාගේ ගෙදර පිහිටලා තිබුණේ හැටන් ප්‍රදේශයේ ලස්සන තේ වත්තක් මැද. එහෙම වුණේ ආන්යගේ තාත්තා ඒ තේ වතු යාය අයිති සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා වුණ හන්දයි. සාමාන්‍යාධිකාරී වෙන්න කලින් ආන්යාගේ තාත්තා මේ වතු යායෙම වතු අධිකාරීවරයෙක් හැටියට කාලයක් වැඩ කලා. මේ පරිසරයට මිනිස්සුන්ට ආදරේ කරපු ආන්යගේ තාත්තා කොලඹ නොගිහින් වත්තෙම නතර වෙලා වැඩ කරන්න තීරණය කරපු නිසා, සහ ඒකට වතු අයිතිකාර ආනන්ද් සුබ්‍රමනියම් මහත්තයා කැමැත්ත දීපු නිසා අද වෙනකල්ම ආන්යලාට එහේම ඉන්න ඉඩ ලැබිලා තිබුණා.

කොළපාට තේ වතු, මාරගස්, ඈත පේන කඳු, මීදුම, වැස්ස, අහිංසක දෙමළ මිනිස්සු...මේ හැම දේටම තාත්තා තරම්ම ආන්යත් ආදරේ කලා. ඈට මේ පරිසරය දාල යන්න කවදාවත් ඕන වුණේ නෑ.
"කවදා හරි මෙහෙන් යද්දි මෙයාට තේ දළු නෙලන රස්සාවක් වත් අල්ලලා දෙන්න වේවි තාත්තා. නැත්තම් සාංකාව හැදිලා, පිස්සු හැදෙයි මෙයාට" අනුහස් ආන්යට නිතරම් විහිලු කලා.
"එහෙම නැත්තම්, වත්තේ මහත්ත්යෙක් හොයලා කසාද බන්දලා දෙන්න වෙයි" එහෙම කිව්වේ මේ දෙන්නගේ ලොකු අයියා වෙච්ච ගීතාන්.
ඔහු කොලඹ රැකියාවක් කරපු නිසා ආන්යලට අයිති නුගේගොඩ තිබ්බ ගෙදර ඔහු මේ දවස් වල පදිංචි වෙලා හිටියා. ආන්යා නම් කවදාවත් කොළඹට කැමති වුණේ නෑ. ඒ සමහරවිට ඈ ඉපදුන දවසේ ඉඳලම හැදුනේ වැඩුනේ මේ පරිසරයේ නිසා වෙන්න ඇති.
"බේබි..ලොකු නෝනා මේ කෝපි එක දෙන්න කිව්වා"
නාගෙන අහවර හිස පිහිමින් සාලෙට ආපු ආන්යට කෝපි කෝප්පයක් පිරිනමපු සෙල්ලම්මා කිව්වා.
සෙල්ලම්ම තමයි ආන්යගේ අම්මගේ උදව්වට වත්තෙන් දීලා උන්නු දෙමල ගැණු කෙනා. වයස පනහක් විතර වෙච්ච සෙල්ලම්මා, ඇගේ සැමියා රාමනුයි, ළම්යි තුන් දෙනා වුණ රාධායි, ගෝපියි, නිත්‍යායි එක්ක ජීවත් වුණේ ආන්යාගේ ගෙදර ලඟම හදාපු මුර නිවසේ. රාමන් රෑට වත්ත මුර කරලා දවල්ට පුලු පුලුවන් විදියට ආන්යගේ ගෙදර වැඩ වලට උපකාර කලා. රාමන්ට සහාය වුණේ ආන්යගේම වයසේ විතර වුණ ගෝපි. නිත්‍යා නම් පහ වසරේ ඉගෙන ගනිමින් උන්නු පොඩි ළමයෙක්. ගෝපි ආන්යා, අනුහස්, ගීතාන් තුන් දෙනාගෙම හොඳ යාලුවෙක්.
ගෝපිට තිබුණේ පුදුමාකාර චිත්‍රපට පිස්සුවක්. වැඩ නැති වෙලාවට ඔහු කලේ කාගෙන හරි ඉල්ලගෙන ආපු ඩීවීඩී පටයක් ගෙදරට වෙලා නරඹන එකයි. ඔහුගේ ලෝකේ වීරයා වුණේ ප්‍රවීණ දකුණු ඉන්දියානු නලුවෙක් වුණ රජිනි කාන්ත්. ඔහුටම ආවේනික ක්‍රියාදම අනුගමනය කරන්නත් ගෝපි අමතක කලේ නෑ. ආන්යට නම් ඒව දකිද්දි හොඳටම හිනා ගියා.
"මීනු බේබි...ඔන්න අපේ සුපර්ස්ටාර් රජිනිට හිනා වෙන්න එපා
ගෝපි ඒ වෙලාවට කැඩිච්ච සිංහලෙන් ආන්යට නෝක්කාඩු කියන්වා. අනුහස් විහිලුවට ගෝපිට කිව්වේ ගෝපි කාන්ත් කියලා.
"මේ හලෝ තරහද?" ආන්න්යා කෝපි කෝප්පෙත් අරන් සාලෙට යද්දි කොහේදෝ ඉඳන් ආපු අනුහස් ඇහුවා.
"අනේ යනවා අනූ යන්න, මම තරහයි තමා" ආන්යා ඔහු දිහා නොබලම කිව්වා.
"ඉතින් එහෙනම් තෙමෙන්න ආසයි කිව්වේ?"
ආන්ය අනුහස්ට උත්තරයක් නොදීම ගස්ස්ගෙන කුස්සියට ගියා. අම්මයි, සෙල්ලම්මායි රෑට උයන්න ලෑස්ති වෙනවා.
"උන් අම්මාව පාර්තාලුම් පයම්..උන් අප්පාව පාර්තාලුම් පයම්.."
ඒ අස්සේ ගෝපි බොහොම හැඟීමෙන් යුතුව ගීයක් කියමින් මාලු කූරියෙක් කපනවා. ගීතේ පද පෙලක් ඉවර වෙන ගාණට මාළුවාට පිහි පාර වදිනවා. ආන්යා පස්සෙන්ම ආපු අනුහස් ගෝපි දිහාට ගියේ කට කොනකින් හිනා වෙමින්. රාධා ගෝපිට එහා පැත්තෙන් ඉඳගෙන පොල් ගානවා.
"මොකක්ද ගෝපි ඔය සිංදුව?" ආන්යා එහෙම අහගෙන කුස්සියේ බංකුවෙන් වාඩි වුණා.
"නිකං කටට ආවට කිව්වා බේබි" ගෝපි යන්තම් හිනාවෙලා කිව්වා.
"මම කෙරුවා නම් මෙලාට උයලත් ඉවරයි"
ගෝපි දිහාට නොපහන් බැල්මක් හෙලපු සෙල්ලම්මා කිව්වා. එතනට වෙලා රතු පාට කරවිල ඇට වගයක් එක්ක සෙල්ලම් කරමින් උන්නු නිත්‍යාව ආන්යා දැක්කේ මෙවෙලේ. ඈ යන්තම් අට හැවිරිදි, පුංචි, කලු වුණත් හරි ලස්සන දැරිවියක්.
"කුට්ටි සෙල්ලම් කරනවද?" ආන්යා ඇහුවාම ඇය ලැජ්ජාවෙන් හිනා වුණා.
නිත්‍යාට ගෙදරට ආදරේට කිව්වේ කුට්ටි (පැටියා) කියලා. ඒ නිසා ආන්යත් ඒ නමම ඈට භාවිතා කලා. පවුලේ එකම කෙල්ල වුණ ආන්යාට හැමදාමත් දැනුන සහෝදරියකගේ අඩුව පිරිමැහුණේ රාධායි, නිත්‍යායි නිසා.. පුංචි කාලේ අනුහස් ගීතාන් එක්ක කාර්, තුවක්කු අරගෙන සෙල්ලම් කරද්දි, ඒ කොලු සෙල්ලම් වලට ආන්යා ආස කලේ නෑ. ඒ නිසා ආන්යට සිද්ධ වුණේ බෝනික්කෝත් එක්ක තනියෙම සෙල්ලම් කරන්න. ඉතින් කාලෙකට පස්සෙ නිත්‍යාවයි, රාධාවයි ඈට මුණගැහුණම ඒ සමාගමය ඈ ගොඩක් ප්‍රිය කලේ ඒ නිසාම වෙන්න ඇති. ආන්යා නිත්‍යාට කරවිල ඇට වලින් ගනන් කරන හැටි කියලා දෙන්න වුණා. ගෝපි තවමත් සිංදු කියනවා.
"යෙනක එප්පෝ කඩෛකුම් ඉන්ද පලම්.." සින්දුව නාට්‍යාකාරයෙන් ඉවර කරපු ගෝපි ඩොක් ගාලා මාලු භාජනේ මේසේ උඩින් තිබ්බා.
"ඉරි , උනක්ක තාරේන් නල්ල පලම් (හිටපන් උඹට දෙන්නම් හොඳ ගෙඩියක්)
 පොල් ගාමින් උන්නු රාධා ගෝපිට රවලා කිව්වේ මාලු වතුර ඇගේ ඇඟටත් විසි වුණ නිසා.ඒ පාර අතු ගාමින් උන්නු සෙල්ලම්මාත් කොස්ස පැත්තක තියලා ගෝපිට රැව්වා.
"පැය දෙකක් විතර මාළුවා කැපුවා බේබි බලන්න" සෙල්ලම්ම ආන්යට කිව්වා ඊට පස්සේ.
"කමක් නෑ සෙල්ලම්මා, අම්මා ඕක ටක් ගාලා උයයි" අනුහස් ගෝපිට ඇහැක් ගහන ගමන් කිව්වා. ගෝපිත් හිනා වෙවීම අත් සෝදනවා ආන්යා බලාගෙන හිටියා
"ගෝපි දැන් කියන්නේ රජ්නි ගේ සිංදු නෙවෙයිද?" ආන්යා ඇහුවා.
"නේ,නේ,  මේක රජ්නිගේ බෑනාගේ සිංදුවක්. ධනුෂ්ගේ"
ගෝපි බරපතල කාරණාවක් පැහැදිලි කරන්නා වගේ කිව්වා.
"ආ..." ආන්යා හිස වැනුවේ හිනාව මැඩගෙන.
"ඔයා මේ මොනා අහනවද මීනු, රජ්නිගේ සහ එයාගේ නායන්ගේ සිංදු විතරයි මෙයා කියන්නේ" අනුහස් ගෝපිගේ පිටට තට්ටු කරලා කිව්වා.
"ඕක බැලුවාම අපේ බඩ පිරෙන්නෙ නෑ, මොන හරි වෙඩක් කරන්න ඉගෙන ගනින්" සෙල්ලම්මා ආයෙම ගෝපිට දෝස්මුරේ දානවා.
"හරි හරි, අපි යනවා කැරම් අතක් ගහන්න. මීනු එනවද?" අනුහස් කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"බලන්න එන්නම්, ගහන්න නම් බෑ. ගෝපි එක්ක කැරම් ගහන්නපුලුවන් කාටද?" ආන්යා කිව්වේ ගෝපි ඇත්තටම හොඳ කැරම් ක්‍රීඩකයෙක් වෙච්ච නිසා.
"අද තාත්තා එනවද අම්මා?" ආන්යා ඇහුවේ අම්මා අද කලින්ම උයන්න පටන්ගෙන තිබ්බ නිසා.
"ඔව්. හැබැයි රෑ වෙයි. මීටින් දෙක තුනකට ඉඳලා එන්න එපැයි"
ආන්යා නැගිට්ටා සාලෙට යන්න, නිත්‍යාවත් එක්කගෙනම.
"යෙන් අම්මාව පාර්තාලුම් පයම්...(මගේ අම්මව දැක්කම බයයී) " ගෝපි හිටි ගමන් සෙල්ලම්මා දිහාට පැනලා, බොරුවට බයෙන් ඇකිලෙනවා වගේ රඟපාලා අනුහස් උන්නු තැනට පැන්නා. එතන හිටපු හැමෝටම හිනා ගියා ඒක දැකලා.
"චී, පෝ ඩා..." සෙල්ලම්මා ගෝපිව එලෙව්වා කට කොනකින් හිනා වෙවීම.

Monday, December 19, 2011

එක


වැස්ස... අහස කලු කරගෙන, හාත්පසම අඳුරු කරගෙන වහින සීතල වැස්ස. වෙලාවකට ආදරේ හිතෙන පොද වැස්සක් වෙලා වහින, වෙලාවකට බය හිතෙන අනෝරා වැස්සක වෙලා වහින, වැස්ස...බස් නැවතුමට වෙලා බෑග් එකත් කරේ එල්ලගෙන තව එකක් අතින් අරගෙන උන්නු ආන්යා වැස්ස දිහා බලාගෙන උන්නේ ආසාවෙන්. වැස්සත් එක්ක ආන්යගෙ තිබ්බෙ පුදුම සම්බන්ධකමක්. ඇගේ ජීවිතේ ගොඩක් වැදගත් දවස් හැම එකකදිම වගේ වැස්සකුත් තිබුණා, ඇය ඉපදිච්ච දවසෙත් හොඳටම වැහැපු බව අම්මා දවසක් කිව්වා ඇයට මතක් වුණා. වැස්ස මොන තරම් දේවල් වලට බාදා කලත් ආන්යාට නම් කවදාවත් වැස්ස ගැන අහිතක් දැනුනේ නෑ. අදත් එහෙමයි. ගෙයි එලිපත්තේ කණුවකට හේත්තු වෙලා ආන්යා වැස්ස දිහා බලාගෙන හිටියා.
"මීනු මොකද ඔය කරන්නෙ? අළුත් වැස්සේ තෙමෙන්නැතුව ගෙට එන්න ළමයෝ"
ගේ ඇතුලේ ඉඳන් ඔලුව දාපු අම්මා කිව්වා. ආන්යට ගෙදර අය කතා කලේ මීනු කියලා.
"මෙතන තෙමෙන්නේ නෑ අම්මා"
"මොකද නැත්තේ? ඔය පින්න ගෙට එන්නේ?"
"ටිකක් පිනි බෑවට මක් වෙනවද?" ආන්යා කිව්වේ වැස්ස දිහට අතක් දික් කරන ගමන්.
"තෙමෙන්න ඔච්චරම ආසද?" එහෙම ඇහුවේ ආන්යා ලඟට ආපු අනුහස්.
ඒ කියන්නේ ආන්යගේ නිවුන් සහෝදරයා. ඒ වුණත් අනුහස් ආන්යට වඩා විනාඩි තුනක් කලින් ඉපදුන නිසා ඔහු ආන්යට සැලකුවේ නංඟි විදිහට. නිවුන්නු වුණත් මේ දෙන්නගේ ගතිගුණ, අදහස්, කැමති දේවල් කොහොමවත් එක සමාන වුණේ නෑ. දෙන්නම ඉගෙන ගත්තේ පේරාදෙණියේ විශ්ව විද්‍යාලෙ. අනුහස් ඉගෙන ගත්තේ ඉංජිනේරු පීඨයේ, ආන්යා කෘෂිකර්ම පීඨයේ. මේ ගෙවුනේ විශ්ව විද්‍යාලේ ගියාට පස්සේ දෙන්නටම ලැබුණ පළවෙනි නිවාඩුව.
ආන්ය තමන් ලඟට ආපු අනුහස් දිහා බැලුවා, සාලෙට වෙලා පොතක් කියවමින් උන්නු ඔහු මෙතනට ආවේ මොකද කියලා.
"ආසයි තමා" ආන්යා කිව්වේ ආයෙමත් වැස්ස දිහාට ඇස් යොමන ගමන්.
"ඇත්තට? ඔන්න එහෙනම් තෙමෙන එකයි..." එහම කියපු අනුහස් ආන්යව එක පාරටම මිදුලට තල්ලු කලා. මහ වැස්ස නිමේෂයකින් ආන්යව තෙත බරිත කලා.
"අනේ අම්මා...මේ මෝඩයා කරපු දේ බලන්නකෝ..." ඇය ගිරිය යටින් කෑගැහුවේ වැස්සෙම තරහින් උඩ පැන පැන. අනුහස් හක හක ගාල හිනා වෙවී පෝටිකෝවට වෙලා උන්නේ ආන්යගේ තරහා තවත් වැඩි කරමින්. මේ අතරේ අම්මා එලියට ආවා. අනුහස් ඈතට වෙලා හිට ගත්තා කෝකටත්.
"මොකද ළමයිනේ මේ වෙලා තියෙන්නේ? ආපු වෙලේ ඉඳලා පොර කුකුල්ලු වගේ රණ්ඩු වෙනවා. අනූ ඔයා නම් ගාණට වැඩියි. බලන්න අර යසට හිටපු ළමයව වැස්සට තල්ලු කලා නේ. ඉන්නවකෝ තාත්තා එනකල්. මීනු දැන් ඉතින් තවත් ඔතන නොයිඳ ගෙට එන්න. ඇවිත් නා ගන්න. ඔය දෙන්න නම් මට පුදුම වදයක් දෙන්නේ ඇත්තමයි. අනූ ගෙට ගිහින් නංඟිට නාන්න ගීසර් එක දානවා, වැස්සට තල්ලු කලා නම්. මට නිදහසේ මේ වැඩේ ඉවර කර ගන්න දෙන්නේ නැති හැටි!තාමත් පොඩි ළමයි වගේ හැසිරෙන්නේ"
අම්මා අනුහස්ට සැර කරලා ආයෙම ගෙට වැදුණා.
තාත්තා දවස් තුනකට පිට ගිහිල්ලා උන්නු නිසා ඔෆිස් එකේ සමහර වැඩ බලන්න වුණේ ආන්යගේ අම්මට. දෙන්නගේ රණ්ඩු ඇල්ලිල්ල නිසා ඒකට බාධා වෙන එක නිසා ඈට තරහා යන්න ඇති කියලා ආන්යා හිතුවා.
"ඔයා තමයි. අම්මට වැඩේ කරගන්න දෙන්නේ නැත්තේ"
තාමත් හිනා වෙවී උන්නු අනුහස්ට ආන්යා රැව්වා.
"හරි හරි, දැන් මමද කෑ ගහලා අම්මව ගෙන්න ගත්තේ? මේ තව තෙමෙන්නැතුව ගෙට එන්න. මම ගීසරේ දාන්නම්" එහෙම කියපු අනුහස් ගෙට ගියා.
වැස්සට තෙමිච්ච ගමන්ම පොඩ්ඩක් සීතල දැනුනත් දැන් නම් වැස්සට තෙමෙන එක ආන්යට දැනුනේ විනෝදයක් විදිහට. ඇය අම්මා ආයෙම ඒවිද කියලා බලලා තණකොළ වවපු මිදුලට පැන්නා. වැස්ස නිසා මුලු මිදුලම මඩ වෙලා. ආන්යා මඩේම වටයක් කැරකුණා වැස්සට තෙමි තෙමීම. ඉස්සර පාසැල් යන කාලෙත් වැස්ස දවස් වලට යෙහෙලියෝ එක්ක මේ වගේ තෙමුණ හැටි ආන්යට මතක් වුණා. ආන්යගේ මේ වැහි නැටුම හදිසියේ නතර වුණේ ගෙදර මිදුලට හරවපු වාහනයක් නිසා. ආන්යා මුලින් හිතුවේ ඒ තාත්තා වෙන්න ඇති  කියලා. ඒත් තාත්තාගේ කැබ් එකට වඩා ගොඩක් අලුත් සුපිරි මොන්ටෙරෝ වර්ගයේ රථය දැක්කාම ආන්යාට ඒ කවුරු වෙන්න ඇතිද කියලා හිතා ගන්න බැරි වුණා. ඇය ගේ දිහාට යන්න ගෙදරයි, මිදුලයි අතරින් තිබ්බ පුංචි අඩි පාරට පැන්නෙත්, වාහනේ ඈ අසලම වගේ නතර කලෙත් එක්වරමයි. ඇය ඉක්මණට ගිහින් ගෙදර පඩිය උඩට නැග ගත්තා. ඇගේ ඇඳුම් වලින් වතුර බේරෙනවා.
"එක්ස්කියුස්මී මිස්..." ඇය ගෙදර ඇතුලට යන්න හදද්දි කෙනෙක් කතා කලා. ඇය හැරිලා බලද්දි වාහනේ එලවගෙන ආපු මැදි වයසේ වගේ පෙනුන රියදුරා වීදුරුව පාත් කරලා ඈ දිහා බලාගෙන හිටියා.
"ඔව්..."
"මේ..අර නාරද මංචනායක මහත්තයාගේ බංගලාවද?" රියදුරා ඇහුවා.
"නෑ නෑ. මේ වීරප්පෙරුම මහත්තයාගේ බංගලාව. නාරද මහත්තයාගේ බංගලාවට යන්න ඔය ආපු පාරෙම උඩට යන්න ඕන. තාර පාර ඉවර වෙන්නේ ඒ මහත්තයාගේ ගේ ලඟින් තමා"
ආන්යා කිව්වා.
"එහෙමද? හරි බොහොම ස්තුතියි නෝනා" රියදුරා  වීදුරුව වහගෙන වාහනේ පස්සට ගද්දි ආන්යා දැක්ක ඉදිරිපස අසුනේ උන්නු තවත් කෙනෙක් ඈ දිහා බලා උන්නු වග. ඒත් යාන්තම් කලු කරපු වීදුව නිසා ඒ කෙනාගේ මූණ ආන්යා හරියටම දැක්කේ නෑ. මේ කට්ටිය කවුරු වෙන්න ඇතිද කියලා ආන්යා කල්පනා කලා.
"කවුද ආවේ?" එහෙම අහගෙන අම්මා ආයෙමත් පෝටිකෝවට ආවා."ඔයා තාම මෙතනද? ලෙඩක් හදා ගන්නද හදන්නේ?"
"නෑ අම්මා, මං ගෙට යන්න හදද්දි තමා අර වාහනේ ආවේ" ආන්යා කිව්වේ ගේට්ටුවෙන් නොපෙනී ගිය වාහනේ පිටිපස්ස පෙන්නලා.
"මොනාද ඇහුවේ?"
"නාරද අයියගේ ගෙදර ඇහුවා"
"නාරදගේ?" අම්මා ටිකක් කල්පනා කලා. "අලුතින් එනවා කියපු ඇසිස්ටන්ට් මැනේජර්වත්ද?"
"ආපු වාහනේ නම් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්ගේ වෙන්න බෑ. මොන්ටෙරෝ අලුත්ම එකක්"
ආන්යා කිව්වේ හිසකෙස් වල වතුර එලියට ගසන ගමන්.
"ආනන්ද් මහත්තයාගේ ළමයි මේ දවස් වල් ලංකාවට ඇවිත් කියලා තාත්තා කිව්වා. එයාලාවත්ද දන්නේ නෑ? ඒත් අපර් ඩිවිෂන් එකේ අවුට් හවුස් එකට නේ ඒ අය එන්නේ" අම්මා තනියෙම කල්පනාවට වැටිලා.
"ඔන්න ඔහේ ආපු අය ගැන ආරංචි වේවි නේ අම්මා. ඔය තරම් හිතන්න දෙයක් නෑ. මම යනවා නා ගන්න"
ආන්යා අම්මා පෝටිකෝවේ ඉන්දැද්දිම ගෙට එන්න ආවා.