Wednesday, January 30, 2013

විසි හත්වන කොටස



පුස්තකාලය දිශාවට දිවෙන මග ප්‍රධාන මං තීරුවට අවතීර්න වන තැනට පසෙකින් වූ තණ පිට්ටනිය හා ඒ වටා වැවුණු තුරු හිස් පෙල මත රන්වන් පැහැ වූ අවසාන හිරු කිරණ යාන්තමින් වැටී තිබිණි.තුරු පෙල යටින් තැනින් තැන පනවා තිබූ බංකු සමහරෙක තුරුල් වී උන් පෙම්වතුන් මෙවෙලේ කලු සෙවනැලි සේ පෙනුනි. සිතේ බුලුබු දමන කෝපය කෙමෙන් සංසිඳෙමින් පැවතිනි. එක අතකට මා මෙසේ ආ නොයුතුව තිබුණා නොවේදැයි මට සිතුණද, අනෙක් අතට එසේ කිරීමේ වරදක් නැතැයි කියාද සිත තර්ක කරන්නට විය. එය කෙසේ වූවත්, සොනාලි කියූ  දෙයෙහි ඇත්තක් වන බව මට පිලිගන්නටම සිදු විය. එහෙත් ඈ එ කිව යුතුව තිබුණේ එසේ නොවේ යැයි මම මටම කියා ගතිමි. ජේඩන් ගැන සෙනෙහසක් මා තුල පැවතියද එය එතනින් එහාට ගෙන යන්නට මා තුල වූ නොකැමැත්ත ඔවුන් කිසිදා වටහා නොගනීවි යැයි මට සිතිණි. ඒ මා අත්විඳි දෑ ඔවුන්ට අත්විඳින්නට නොවූ නිසා ද නැතිනම් ඔවුන්ගේ සිත මට වඩා ශක්තිමත් නිසාද කියා මා දැන නො උන්නෙමි.
සිතුවිල්ලේ නිමග්නව මම නගරය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය අසල හන්දිය දක්වාම පැමිණ හුන් වග මට පසක් වූයේ, පාරේ ධාවනය වූ වාහනයක් නලා හඳින් පියවි සිහියට ආ පසුවය. මම එතැන සිටගෙන දකුණට හෝ වම්ට යම්දැයි මොහොතක් කල්පනා කලෙමි. නොදන්නා නගරයක පාරක් දිගේ ඇවිද යාම නුසුදුසු දෙයක් විය හැකි වුවත්, නැවටත් කාමරයට යෑමට මට මෙවෙලේ උවමනාවක් තිබුණේ නැත. මාර්ගය දිඅ වේගයෙන් ඇදී ආ රියක් හන්දියෙන් හරවා විශ්වවිද්‍යාලය තුලට ඇතුලු වූ අතර, මම තවමත් පාර ඉද්දර සිටගෙන කල්පනා කරමින් උන්නෙමි.
"පංචලී...."
මා නොසිතූ මොහොතක පිටුපසින් ඇසුනේ පුරුදු කටහඬකි. මා නිරායාසයෙන්ම එදෙසට හැරෙන්නට ඇත. පාර මැද නතර කල පෙර කී වාහනයෙන් බැස මදෙසට දිව එමින් උන්නේ ජේඩන්ය.
"ජේඩන්....ඔයා...ඔයා මොකද මෙතන කරන්නේ?" තරමක් පුදුමයට පත් වූ මම ඔහුගෙන් ඇසීමි.
"ඒක අහන්න ඕන මමයි. ඔයා මොකද මේ තනියෙම රෑ මෙතන? කොහේ යන්නද ඉන්නේ?" ඔහු මට පිලිතුරක් නොදී එසේ ඇසුවේය.
මම එවර ඔහුට පිටුපා යලි පාර දෙසට හැරුණෙමි. කොහේවත් යන්න ආවා නෙවෙයි. නිකං ඇවිදගෙන ආවා විතරයි" මම නොසැලකිලිමත් ලෙස කියා දැමීමි.
""ඇවිදින්න, මේ  රෑ?එහෙම හදිසියේ ඇවිදින්න එන්න හිතුනේ ඇයි?" ඔහු මා අසලට එමින් ඇසීය.
"එහෙම හිතෙන්න බැරිද?" මම ඇසීමි.
"පංචලී...මට දැන් ගැටපද තෝරන්න නම් බෑ. කරුණාකරලා එන්න මම ඔයාව ආපහු ගිහින් දාන්න" ඔහු නො ඉවසිලිමත් ලෙස කීවේය.
"මට ටිකක් තනියෙම ඉන්න ඕන. ඔයා යන්න ආපු දිහාවක යන්න" මම කීවෙමි.
එවර ඔහු කිසිත් නොකියා මගේ බාහුවකින් තදින් අල්වාගෙන මා ඇදගෙන යන්නට උත්සාහ කලේය. මම ඊට විරුද්ධ වෙමින් ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කලෙමි.
"මාව අතාරින්න..." මම කීවෙමි.
"පිස්සු නැතුව මෙන්න මෙහේ එන්න යන්න" ඔහු තදින් පැවසුවේය.
"මාව අතාරින්න ජේඩන්, මට එන්න බෑ. කොහේද මේ මාව අරන් යන්නේ?"
"ආපහු හොස්ටල් එකට" ඔහු මාව තවදුරට ඇදගෙන යමින් කීවේය.
"මට යන්න බෑ" මම කීවෙමි.
ඔහුගේ රිය අසලටම විත් ඔහු මාගේ අත ගසා දමා මදෙස බැලුවේ නපුරු බැල්මකිනි.
"මොකද ඔයාට වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම දමලා ගහලා එන්න ආවේ? දන්නවද මෙහෙම රෑට තනියෙම ඇවිදින එක අනතුරුදායකයි කියලා?" ඔහු ඇසුවේ තදිනි.
"මට යන්න බෑ. මට ටිකක් මෙහෙම ඉන්න දීලා ඔයා යන්න ජේඩන්" මම කීවෙමි.
"මොකද වුණේ? මට කියන්න...මට තේරෙනව ඔයා ඉන්නේ ප්‍රශ්ණෙක කියලා" ඔහු එවර මදක් මුදු හඬින් විමසීය.
සරසවි බිමේ රැඳී හුන් සිසු සිසුවියන් එකා දෙන්න ඉඳහිට අපපසු කොටගෙන ඇවිද ගියෝය.
මම හිස වැනීමි. "ඒක ඔයාට විසඳන්න පුලුවන් දෙයක් නෙවෙයි ජේඩන්"
"වාහනේට නගින්න" ඔහු එවර වාහනය අසලට යමින් කීවේය.
"මං කිව්වනේ-"
"අපි යන්නේ එහේ නෙවෙයි, දැන් ඇවිත් නගින්න" ඔහු කීවේය.
"ඔයා ආපු ගමන යන්න ජේඩන්"
"මම...මම ආවේ නයෝමි මට කතා කරලා ඔයා මෙහෙම ගියා පොඩ්ඩක් මේ පැත්තේ බලන්න කියපු හන්දයි. හරිද? තේරුණාද?"
ඔහු කීවිට මම යලිත් පුදුම වීමි.
"නයෝමි?"
"ඔව්. එයාලා...අරහේ හැම තැනම ඔයාව හොයලා. අනික් පැත්තේ"
මට යම්කිසි වරදකාරී හැඟීමක් දැනුනි.
"එයාලා මොකටද එහෙම කරන්න ගියේ?"
"එහෙම ක්‍රන්න ගියේ? එහෙම කරන්න ගියේ එයාලත් ඔයා ගැන වද වෙන හන්දයි පංචලී...මං වගේම.ඒකම දේ ඒක ඔයාට නොතේරෙන එකයි" ඔහු කීවේ මද අමනාප්යකින් මෙනි.
එනිසාදෝ මසිතට පිවිසියේ දුකකි. මම හැඬුම්බරව බිම බලාගතිමි.
"ඔයා එනවද? නැද්ද?" ඔහු යලි එසේ ඇසුවේය.
තවත් ඔහුව තරහා ගස්සන්නට මම බිය වීමි. මෙවෙලේ ඔඋත් මා දමා යන්නට මට උවමනා නොවිනි. එනිසාම මම සෙමෙන් ගොස් ඔහුගේ රියේ දොර හැර එහි වාඩි ගතිමි. ඒ වූ කලී ඔහුගේ ජීප් රථය නොව, වහලය විවෘත කරන ලද ලෙක්සක් වර්ගයේම රතු පැහැ කාරයක් විය.
" ජේඩන්, කරුණාකලරා, මට පැය දෙක තුනක් නිදහසේ හිතන්න පුලුවන් තැනකට මාව ගිහින් දාන්න" මම එසේ කීවෙමි.
ජේඩන් මුවින් නොබැන විත් රථ්යට නැගී එය පණගන්වා, ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූයේය. සුලඟේ විසිත්‍රෙන කෙහෙරැල් වලට ඔහේ පාවෙන්නට ඉඩදී මම අරමුඋණකින් තොරව, නියොන් එලි වලින් දැන් දැන් එකලු වූ තුරු ලතාවලින් හෙබි මාර්ගය දෙස බලාගත්වනම පසු වීමි.
"පංචලී..." මද දුරක් ගිය තැන ඔහු මුදුව මා ඇමතුවේය." මොකද වුණේ කියන්න"
මම සුසුමක් හෙලුවෙමි. "ලොකු දෙයක් නෙවෙයි, අපි කාමරේදි පොඩ්ඩක් බහින් බස් වුණා" හිතේ වූ පීඩනය නිසාම මට කාට හෝ කතා කරන්නට උවමනා විණි.
"අපි කිව්වේ?"
"මායි...සොනාලියි"
"මොකක්? ඔයා රණ්ඩු වුනේ සොනාලි එක්කද?"
"එයා...මගේ හිත රිදෙන දෙයක් කියපු නිසා, මම එන්න ආවා. රණ්ඩු වුණාම නෙවෙයි" මම කීවෙමි.
"මොනා ගැනද එයා කිව්වේ?" එවර ඔහු ඇසීය.
"එක දෙයක් කියලා නෙවෙයි" මම එවර බොරුවක් ගැලපීමි.
"මං ගැනත්ද?" ඔහු මා සිත වටහාගත්තාක් සේ විමසුවේය.
"අපි මේ කතාව නවත්තමු" මම ඔහුට උත්තරයක් නොදී එසේ කීවෙමි.
ඉන්පසු ඔහු බොහෝ දුරක් යනතුරු කිසිත් විචාලේ නැත.
"මේ දවස් වල හැමෝම ඉන්නේ පීඩනයකින් නේ. එහෙන් විභාග, මෙහෙන් ව්‍යාපෘති, ඒ අස්සේ ඔය වගේ දේවල් ඉඳ හිට වෙනවා තමයි. වැඩිය හිතන්න එපා පංචලී. අනික යාලුවෝ එක්ක තරහා වෙන්නත් එපා...තනියෙම මොනවත් කරන්න බෑනෙ" අප අතර වූ නිහැඬියාව බිඳිමින් ඔහු එසේ කීවේය.
"මට ඕන පුලුවන් ඉකමණට මේක ඉවර කරලා මෙහෙන් යන්න. එතකොට සේරම හරියාවි" මම කීවෙමි.
"එතකොට...සේරම...හරියනවද?" ඔහු සෙමෙන් ඇසුවේ සිත රිදුන කලෙක මෙනි.
මට ඉබේටම ඔහු දෙස බැලිණි. මද වේලාවකට පෙර දැල්වුණු වීදි ලාම්පු එලියෙන් ඒ දෙනෙත් මට පෙනුනි. මහිත පුදුමාකර ලෙස සසලවාලන්නට ඒ බැල්මට පුලුවන් වූ අපූරුව...
ඔහුගේ සීතල අතක් ආසනයේ පසෙකින් වැටී තිබූ වූ මගේ සුරතේ වෙලිනි. මම අත ඇදගන්නට සෙමෙන් උත්සාහ කලද ඔහුගේ ග්‍රහණය දැඩි විය.
"ඔයා මගේ හිත රිද්දනවා, හොඳටෝම...ඒත්, ඔයාගෙන් ඈත් වෙන්න මට බෑ. මං දන්නෑ ඒ ඇයි කියලා. ඔයා ඒක දන්නවා නේද? එහෙම දැන දැන ඔහොම කියන්නේ ඇයි පංචලී?"
ඒ වදන් හමුවේ මොහොතකට මහිත නතර වූවාක් සේ මට දැනුනි. අන් කිසිදු පිරිමියෙකු, වෙනකක් තබා සංකේත් වත් මා හට මෙතරම් දයාබර වූ වගක් මට මතක තිබුණේ නැත.  මම සුසුමක් හෙලුවා මිස කිසිත් නොකීමි. ජේඩන් මගේ අත අතැර යලි සුක්කානමේ අත රඳවාගත්තේය. මම ඔහු දෙස හොරැහින් බැලීමි. දැලි රැවුලකින් හැඩි වී තිබූ ඒ වතේ වූයේ විඩාබර බවකි. නොකඩවා විභාග සඳහා මහන්සි වීම නිසා වන්නට ඇතැයි මම සිතීමි. ඔහු ගැණ හිතේ සියුම් දුකක් දලු ලන්නට විය. එමෙන්ම  ඔහුගේ උණුසුම හා සෙනෙහස අතැර යන්නට ලෝබ කමක් මතුල ගොඩනැගෙමින් පැවතිණි. වලාකුලක්වත් නොමැති පැහැදිලි අහසේ එක් පසෙකින් නැග එන සඳවත දෙසට මගේ දෙනෙත් යොමු විය.
"ඔයා රෑට කාලත් නැතුව ඇති නේද?" ජේඩන් විමසුවේය.
"මට බඩගින්නක් නෑ" මම කීවෙමි.
"ඒ වුණාට පස්සේ බඩගිනි වුණොත්?"
ඔහු එසේ කීවද මම මුනිවත රැක්කෙමි.
"ඔයා කැමති නම් අපි පිට කොහෙන් හරි-"
"මට බෑ ජේඩන්" ඔහු සිය වදන් පෙල අවසන් කරන්නටත් පෙර මම කීවෙමි.
"එහෙමද?" ඔහු සුසුමක් හෙලීය.
"දැන් ඔයා මොකද කරන්න හිතන්නේ?" ඔහු එවර ඇසීය.
"දන්නෑ...ඒත් ආපහු කාමරේට යන්න තාම හිතුවේ නෑ" මම කීවෙමි.
"ඒක තමයි හිත හරියන්නත් එක්ක අපි කන්න යමු. එක තැනක ඉඳගෙන කන්න බැරි නම් අපි කන්න දෙයක් අරගෙන පාරදිගේ ඇවිදගෙන යමු. රෑ කාලෙට නගර චතුරශ්‍රය හරිය ලස්සනයි..." ඔහු යලි කීවේය.
මම හොරැහින් ඔහු දෙස බලද්දී, ඔහු බලාපොරොත්තු සහගත විලාසයකින් මදෙස බලා උන්නේය.
"මං..." මම යමක් කියන්නට තනද්දී ඔහු මැදින් කතා කලේය.
"කරුණාකරලා පංචලී"
ඔහු හා යන්නට මට උවමනාවක් නොවිණි නම් එය, ඔහු සමග හිඳින්නට මා තුල වූ උවමනාව හා පෑහෙන්නවත් තරම් නොවුනු සේය. සිදු වූ සියලු දෑ මා තව තවත් ඔහු වෙත බැඳ දමා තිබුණා මිස, ඔහුගෙන් ඈත් වී ඉන්නට තිබූ උවමනාව සිතාමතාම යටපත් කර තිබිණි. මෙවෙලේ මට උවමනා වූ සහනය හා සැනසුම ඔහු ලඟ ඉඳිද්දී මෙතරම්ම දැනීම මහිත පුදුමයට පත් නොකලා නොවේ. එහෙත් සියලු නිදහසට කරුණු පැවසූවද උගුරට හොරා බෙහෙත් බොන්නට බැරි වග මට තේරුම් යමින් තිබිණි. සැමදාම මෙසේ ගමන් කලාක් මෙන් සඳ එලිය දිගේ මෙසේ ඇදී යන අප දෙදෙනා ගැන මට දැනුනේ පුදුමයකි. සෙමෙන් සෙමෙන් මා ජේඩන් වෙත ලං වෙනවා නොවේදැයි එවෙලේ මට සිතිණි. 
තව සුලු මොහොතකට පසුව අප නගරයට පැමිණ උන්නෙමු. ඔහු පැවසූ ලෙසම, වීදි ලාම්පු දල්වා තිබූ මග දෙපස වූ විවිධාකාරයේ වෙලඳසැල් සහ අලංකාර නගරය සුන්දර විය. පිලිවෙලකට ගොඩනංවා තිබූ මේ ගොඩනැගිලි එකිනෙකා පරයමින් උස් උස්ව නැගී ඈතට පැතිර තිබූ අතර, ඒවායේ කහ පැහැති වීදුරු අතරින් නික්ම ආ එලි පදික වේදිකාවේ කහ පැහැ ආලෝක තිරු සාදා තිබිණි.
ජේඩන් වාහනයේ සිටම ඇනවුම් කල හැකි ආපනශාලාවකින් කෑම සහ උණු කෝපි මිලට ගත් අතර, ඉන්පසුව අප නතර වූයේ නගර චතුරශ්‍රය වටා ගොඩනංවා තිබූ කුඩා උයන තුලය. අප හැරුණු කොට එහි දහවලක තරම්ම සෙනගක් ගැවසෙනු දැකිය හැකි වූ අතර, පවුලේ උදවිය සහ බල්ලන්ද කැටුව ආ පිරිස් එහි විනෝදයෙන් පසු වෙනු මට පෙනුනි.
"මෙතන හරි කලබලයි, නේද?" මා පසෙකින් සිටගෙන වටපිටාවට නෙත් හෙලමින් උන් ජේඩන් විමසීය.
"හ්ම්...ඒත්, ඒකත් හොඳයි" මම කීවෙමි.
"එන්න අපි මෙහෙන් වාඩි වෙමු" අසල වූ තණබිම මත හිඳගත් ජේඩන් මට කීවේය.
බොහෝ තැන් වල එසේ මිනිසුන් හිඳගෙන උන්නෙන් මම මොහොතක් වටපිට බලා ඔහු අසලින්ම වාගේ හිඳගතිමි. අවට වූ මන්දාලෝකයෙන් ඔහුගේ වතේ සොම්නසක් වූ වග මට පෙනුනි.
"කන්න පංචලී" ඔහු මවෙත බර්ගර් සහිත කඩදාසි බෑගය පාමින් කීවේය. මම නිහඬවම එයින් එකක් අතටගෙන කන්නට පටන් ගත්තේ, සැබවින්ම මෙවෙලේ බඩගින්නක් මා තුල වූ බැවිනි.
"ඔයා කන්නැද්ද?" ඒ අතරේ මම ඔහුගෙන් ඇසීමි.
"ඔයා කන්නකෝ...මට කන්න පුලුවන් ගෙදර ගිහිනුත්" ඔහු එසේ පවසා කෝපි කෝප්පය තොල ගාන්නට විය.
"බැරි වෙලාවත් ඔයාට මාව හම්බ නූනා නම් ඔයා මොකක් කරාවිද අද?" මා කෑම ගෙන අහවර කරද්දී ඔහු විමසුවේය.
"මන්දා...හිත නිවෙනකල් පාර දිගේ ඇවිදගෙන යාවි මහිතේ" මම කීවෙමි.
"මම හම්බවුණ එක ඔයාට කරදරයක් වුණාද?"
"නෑ ජේඩන්...එහෙම නෑ" මම ඔහු දෙස බලා කීවෙමි.
"මම ටිකක් විතර සැර වුණාට තරහා වෙන්න එපා. ඒත්...ඔයා ඔය විදිහට හිතුවක්කාර වෙන හැටි දැක්කම මට කේන්ති ගියා" ඔහු කීවේය.
"ඒකට කමක් නෑ. මට තේරුම් ගන්න පුලුවන්" මම කීවෙමි. සැබවින්ම ඔහු ගැන මහිතේ කිසිදු අමනාපයක් මෙවෙලේ තිබුණේ නැත.ඔහු මට මද සිනාවක් පෑවේය. මසිතට ඔහු පිලිබඳව සංතාපයක් පිවිසුණි.
"ඔයා දන්නැතුව ඇති ඒත් පංචලී, මගේ ජීවිතේ මං කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් මේ තරම් දේවල් කරලා නෑ...සමහරවිට ඔයා ඒක විශ්වාස කරන එකක් නෑ" තව මොහොතක් හීඳි ඔහු ඈත බලාගෙන තෙපලුවේය.
ඒ වදන් ඊයම් බරු සේ බරට සිතේ තැන්පත් වද්දී, මම මුනිවත රැක්කෙමි.
"ඒත් ඒක තමයි ඇත්ත පංචලී"
"අපි ඕවා ගැන කතා නොකර ඉමු." මම කීවෙමි. ඉන්පසුව අප අතර යලි ගොඩනැගුනේ නිහැඬියාවකි.
සිනහවෙමින් දිව යන කුඩා ළමයෙකු පසුපස බුරමින් දිවයන බල්ලෙකු දෙස මගේ අවධානය යොමු විණි. සියල්ලෝ සතුටින් ඉන්නා වගක් පෙනෙන්නට තිබිණි. ඒ සවස් කාලය සතුටුදායක කරගන්නට මටද උවමනාවක් දැනුනි.
"අහම්බෙන් හරි ඔයාව හම්බවුණ එක හොඳයි. ඒක කොච්චර වේදනාවක් වුණත්, මට ඕන ඔයා එක්ක ඉන්න පුලුවන් හැම වෙලේකම" කිසිත් සිදු නොවූ සේ හිඳින්නට උත්සාහ දරන්නාක් මෙන් ජේඩන් පැවසීය.
"විභාගේ තව ටික දවසකින් ඉවර වේවි. ඊට පස්සේ ව්‍යපෘතිත් ඒ වගේම ඉවර වේවි, ඊට පස්සේ අපි හැමෝම ආයෙම ආපු ආපු දිහා වලට යන්න ඕන. ජීවිතේ හැටි එහෙමයි" මම ඔහු කීව නෑසුනා සේ කීවෙමි.
"ඒත් අපට ඕන නම් සමහරවිට නවතින්නත් පුලුවන් වේවි. ඒක වටිනවා කියලා හිතෙනවා නම්" ඔහු මට පිලිවදනක් ලෙස කීවේය.
මෙවෙලේ අවකැපෙන යමක් කියා ඔහු සිත රිදවන්නට මට උවමනා නොවිනි. එනිසාවෙන් මම මුනිවත රැකගෙන අහසේ පායා විත් තිබූ සඳවත දෙස බලා උන්නෙමි.
"හඳ හරි ලස්සනයි නේද?" මොහොතක් එදෙස බලා උන් ජේඩන් මගෙන් විමසීය.
"ඔව්...ඒක අහසේ තියෙනකල්, දුරින් තියෙනකල් ලස්සනයි තමයි. ඒත් ඇත්තටම ඒක ලඟට ගියොත් ඒක ලස්සනද? කිසිම ජීවයක් නැති හිස් ගෝලයක් විතරයි ඒක" මම කීවෙමි.
"දේක අසුබවාදී පැත්ත දකින්න ඔයා තරම් කෙනෙක් නෑ පංචලී ඇත්තමයි..." ඔහු කීවේ යන්තම් හිනැහී ය. "හඳ ලස්සන දුරින් තියෙන හන්දා නෙවෙයි පංචලී...ඒකට ඉරේ එලිය වැටිලා පරාවර්තනය වෙන හන්දයි අපට පේන්න. ඕනම දෙයක් එහෙමයි. ඉර හරියට ආදරෙන් පිරුණු හදවතක් වගේ. හැමදේම එලිය කරනවා, ලස්සන කරනවා ඒ ආදරෙන්. ඒ වගේම ජීවය රකින්නෙත් ඒ හිරු රැස්, ආදරේ වගේම.... හිරු එයාගේ ශක්තියෙන් මුලු සෞරග්‍රහ මණ්ඩලයම බැඳලා තියාගෙනයි ඉන්නේ. ආදරෙත් ඒ වගේ... තමන් ආදරේ කරන අය අල්ලගෙන තියාගන්නවා...ඒ ඉර නැතිවුණ දවසක මේ සේරම නිශ්ඵල, අවලස්සන දේවල් වේවි...ආදරේ නැති හිතකටත් වෙන්නේ ඒකමයි..."
 ඔහු මා නෙතු දෙස බලාගෙන සෙමෙන් සෙමෙන් මේ සියල්ල පවසද්දී, ඔහු කෙරේ වූ සෙනෙහසකින් මම පෙලෙන්නට වීමි. එය ගින්නක් සේ මා ඇතුලාන්තය උණුසුම් කල අතර, දෑස් සියුම්වට බොඳ කලේය. අන්තිමේදී අපි වදනක් වත් නොදොඩා එකිනෙකා දෙස තප්පරයක්, දෙකක් බලා උන්නෙමු. ඒ තප්පර කිහිපයේදී, ඔහුගේ වත මා වෙත බොහෝ ලංවී නතර වී තිබිණි. අවසානයේදී ජේඩන් සිය නලලත මාගේ නලලත මතට හේත්තු කල මොහොතේ මගේ දෑස් මුලින්ම පියවිනි. ඒ සුරතේ පහස මගේ කම්මුල් වලට දැනුනි.
" පංචලී..." ඔහු මා ඇමතුවා නොව මගේ නම රහසින් මෙන් තෙපලුවා පමණි. මම ගොලුවී උන්නෙමි. අනවසරයෙන්ම මීලඟ නිමේෂයේ ඔහු මා සිප ගන්නට ලං වද්දී මම වහා ඔහු කෙරෙන් ඈත් වීමි. ඒ සිතේ තිබුණු බරට තවත් හැඟීම් එකතු කරගන්නට මට උවමණා නොවූ බැවිනි. එහෙත් ඒ දෙනෙත් වල පැටලීගෙන වතේ වූ හැඟීම් ලය දවන කල සත්තකින්ම ඔහු කෙරෙහි මතුල ප්‍රේමයක් විණැයි එවෙලේ මම සහතික කොට පසක් කර ගතිමි.
"ඇයි?" ඔහු ඇසුවේ රහසින් මෙනි.
"එපා" මම හිස වැනීමි. ඔහු මා කම්මුල මත සිය අත තවත් තෙරපුවේය.
මම හිස හරව්න්නට උත්සාහ කලද ඔහු යලි මා වත ඔහු වෙත හරවගත්තේය.
"අපි යමුද?" සිතේ නැගීගෙන එන හැඟීම මා නොසන්සුන් කලෙන් මම එසේ ඇසීමි. ඔහු මා දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන උන්නේය.
"මාත් එක්ක එන්න" ඉන්පසු ඔහු සෙමෙන් කීවේය.
"ම්හු" මම හිස සැලීමි.
"ඇයි ඒ?"
"මට ඒක කරන්න බෑ"
"ඇයි ඒ?"
"මං දන්නෑ...මට තේරෙන්නේ නෑ" මම නෙතු පියාගෙන එසේ පැවසීමි.
"මට ඔයාව ඕන"
"මට තේරෙනවා..."
"එහෙනම් ඇයි අපට එකට ඉන්න බැරි?"
"එකට හිටිය පලියටම ආදරෙ රැකෙන්නේ නැති හන්දා"
"ඔයාට ඕන සදහටම මෙහෙම දුරින් ඉන්නද?" ජේඩන් ගේ හඬේ වූයේ චෝදනාත්මක ස්වරයකි.
"මේ ඉන්නේ දුරින් නෙවෙයි" මම කීමි.
"දුරයි...හිතින් අපි දුරයි" ඔහු කීය.
"නෑ ජේඩන්... අපි මොනවත් ඔය ගැන නොකියා ඉමු. කතා නොකර. මෙහෙම" මම කීවෙමි.
"ඔයා පිලිගත්තත්, නොගත්තත් ඔයා මගේ කියලා මම බාර අරන් ඉවරයි. ඒක වුණේ කවද්ද කියලා ඔයා දන්නවා" ඔහු කීවේ මගේ දෑතම සිය දෝතින් මිරිකාගනිමිනි.
"ඕක කොහොම කිව්වත් මගේ උත්තරේ මොකක්ද කියලත් ඔයා දන්නවා නේද?" මම ඇසීමි.
"නෑ පංචලී ඒ උත්තරේ මං බාරගන්නෑ. කවදාහරි ඔයා හරි උත්තරේ දෙනකල්ම මම මේක ඔයාගෙන් අහාවි"
කියන්නට දෙයක් මට මතක් නොවිනි. මම ඔහුගේ බැල්මෙන් දෙනෙත් මුදාගෙන, සෙමෙත් දෑතද ඔහුගෙන් නිදහස් කර ගතිමි.
"ඔයා මට ආදරෙයි....මං ඒක දන්නවා" එවර ඔහු සෙමෙන් එසේ තෙපලේය.
මා කිසිවක් කියන්නට මත්තෙන් සාක්කුවේ වූ ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට වූයෙන් ඔහු එය අතට ගෙන බැලුවේය. ඉන්පසු ඔහු කල්පනාබරව මෙන් මදෙස බලා දුරකථනයද රැගෙන නැගිට්ටේය. මම කුතුහලයෙන් යුතුව ඔහු දෙස බලා උන්නෙමි.
"මට විනාඩියක් දෙන්න"
"ෂුවර්"
ඔහු අප උන් තැනින් ඈතට ගොස් කතා කරන අතරතුර මම කඩදාසි බෑගයේ වූ අල පෙති එක දෙකක් සෙමෙන් සපමින් විදුලි පහන් එලියෙන් නැහැවුණු චතුරශ්‍රයේ ළමුන් දුව පනිනු බලා උන්නෙමි.
"මගේ යාලුවෙක්...ටෙක්සාස් වල ඉඳන්" මොහොතකට පසු යලි මා උන් දෙසට පැමිණ වාඩි ගත් ජේඩන් මට පැවසීය.
"ම්ම්...එහෙමද?"
"පංචලී..." එවර ඔහු කුමක්දෝ කතාවකට මුල පුරනු මට දැනුනි.
"ම්"
"ලබන සතියේ විභාගෙන් පස්සේ මට ටෙක්සාස් යන්න වෙලා තියෙනවා" ඔහු කී විට මම මදක් පුදුම වීමි.
"ටෙක්සාස්? ඒ මොකටද?"
"මගේ නිබන්ධනයේ වැඩකට. මම ඒක කරන්නේ එහේ විශ්ව විද්‍යාලයක ප්‍රොෆෙසර් කෙනෙකුත් එක්ක එකතු වෙලයි. සමහරවිට මේක හරි ගියොත් මට පුලුවන් වේවි එහේම රස්සාවක් හොයා ගන්න. ඉගෙන ගන්න ගමන්ම" ඔහු කීවේය.
"ටෙක්සාක් කියන්නේ, කාන්තාර පැත්තක් නෙවෙයිද? මට මතකයට ආ යමක් ඔහුගෙන් ඇසීමි.
ඔහුගේ මුවට එවර සිනාවක් නැගිනි."හ්ම්...ඔව්. අර කව් බෝයි ලා එහෙම ඉන්නේ, අන්න ඒ පැති තම"
නමුදු මට සිනාසෙන්නට නොහැකි විය.
"කොච්චර කාලෙකටද යන්නේ?" මම ඇසීමි.
"මේ වැඩේට නම් සති තුනයි, නැත්තම් හතරයි" ඔහු කීය.
"ඔයා ටෙක්සාස් වලට ආසයි වගේ" මම කීවේ ඔහුගේ දෑසෙ වූ දිස්නය දෙස බලමිනි.
"ම්ම්...ඔව්. මම එහෙට ආසයි. වැඩිපුර හිම වැටෙන්නෙත් නෑ. ජීවන වියදමත් අඩුයි සාපේක්ෂව. අනික මට එහේ හරි නිදහසක් දැනෙනවා" ඔහු කීවේය.
"අපෝ මම නම්  කාන්තාර වලට ආස නෑ. ඊට වඩා මම ආසයි හිම වලට" මම කීවෙමි.
ජේඩන් උස් හඬින් හිනැහුනේය.
"ඔයා කියන එක අහගෙන හිටියොත් කාට හරි හිතෙයි, ටෙක්සාස් කියන්නේ සහරා කාන්තාරේ වගේ එකක් එන්න ඇති කියලා. එහේ එච්චර නරක නෑ. එච්චර තියා කොහොමටවත් නරක නෑ" ඔහු ඉන්පසු කීවේය.
"ඔයාට හොඳ නම් ඉතින් හොඳයි" මම කීවෙමි.
ඒවර ජේඩන් තණ පලස මත වූ මා අතක් යලි මුදුවට ස්පර්ෂ කලේය. මට ඔහු දෙස බැලුනේ ඉබේටය.
"ඒ වුණාට මම හිම කුණාටු වලට ආසයි..." ඔහු සෙමෙන් එසේ තෙපලූ කල මගේ දෙකන් පෙති රත් වී, හිත මදක් නොසන්සුන් විය.
මම අත ඇදගෙන උකුල මත දෝතම ගුලි කර තබා ගතිමි.
"අපි දැන් යමුද?" මම ඔහු කීව නෑසුනා සේ ඇසීමි.
"හරි...ඔයාගේ කැමැත්තක්"
මා එසේ කීවත්, යලි නේවාසිකාගාරයට ගොස් සොනාලිට මුහුණ දෙන්නේ කෙසේදැයි මා කල්පනා කර තිබුණේ නැත. නමුදු දැනටමත් සිතගෙන උන් ජේඩන් අනුව මම ද නැගිට්ටෙමි.
"දැන් ගිහිල්ලා කට්ටිය එක්ක ආයෙම රණ්ඩු වෙන්න හෙම එපා" තණ පලසේ සිට රවුම් ගල් ඇතිරූ පටු මාවත දෙසට ඇවිද එන අතරේ ජේඩන් කීවේය.
"නෑ ජේඩන්...මම එහෙම කරන්නෑ. මට තේරෙනවා වරද මගේ කියලා" මම කීවේ සැබෑවටය.
"හ්ම්ම්...එහෙනම් කමක් නෑ"
ඉන්පසුව අප මද දුරක් තනි තනිව කල්පනා කරමින් ඇවිද ආවෙමු. ජේඩන් දමා යන්නට මසිතේ වූයේ ලෝබ කමකි.
"අහන්නකෝ..." ජේඩන් යලිත් වතාවක් නිහැඬියාව බින්දේය.
"කියන්න"
"මම ටෙක්සාස් ගිහින් එද්දි, විභාග ඉවර වෙලා තියේවි. ඊට පස්සේ එන්නේ අවසාන වාරෙට කලින් එන නිවාඩුව. ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ?"
"නිබන්ධනේ වැඩ තමයි. සමහරවිට ඒකට මම අක්කලාගේ දිහා යාවි"
"බොස්ටන්?"
"ම්ම්"
"පංචලී..."
"ම්"
"ඔයාගෙන් පොඩි දෙයක් ඉල්ලන්න ඕන"
"මොකක්ද ජේඩන්?"
"ඔයා මම ආපහු එන්න කලින් යන්නේ නෑ නේද?" ඔහු එසේ ඇසූ කල මහිතට පිවිසියේ මහත් සංතාපයකි. ඒ හඬේ වූයේ ආයාචනයකි. මම හුන් තැනම නැවතී ඔහු දෙස බලා උනිමි. අඩි දෙක තුනක් ගිය ඔහු හදිසියේ නැවතී මදෙස බැලීය.
"ඇයි මොකක්ද?"
"මුකුත් නෑ" මම යලි සෙමෙන් පිය මනින්නට වීමි.
"මම අහපු එකට ඔයා මුකුත් කිව්වේ නෑනෙ" ඔහු කීවේය.
මම ඔහු දෙස යන්තමින් බලා සුසුමක් හෙලීමි.
"මං ඉන්නම්" මම මිමිණුවෙමි.
ජේඩන් මදෙස බලා හිනැහුණේය. අප මේ වන විට වාහන නැවතුම්පොල වෙත සේන්දු වී උන්නෙමු.

වාහනයේ නැගී ආපසු එන අතරරුඅ අප අතරේ කතාවක් නොවූ තරමි. ඔහු රථය තුල වූ රේඩියෝව ක්‍රියාත්මක කර තිබූ අතර එහි මන්ද්‍ර ස්වරයෙන් ගීත වාන
ය වෙමින් තිබුණි. සඳ එලියෙන් නැහැවුණ හාත්පස සුන්දර වූ අතර, මුහුණේ හැපී, කෙහෙරැල් අවුල් කරන සුලඟ සැපදායක විය. වාහය නේවාසිකාගාරය වෙත හරවද්දී, ගියාට වඩා ඉක්මණ අප යලි ආවාදෝ කියා මට සිතිණි. නේවාසිකාගාරයට මදක් මෙපිටින් වාහන්ය නවා ජේඩන් මදෙස බැලීය.
"ඉතිරි ටික ගිහින් දානේ නැද්ද?" මම යන්තම් හිනැහී ඇසීමි.
ඔහු දරාගත නොහැකි අන්දමේ බැල්මකින් මදෙස බලා උන්නේය. මාගේ සිත දැවී යන්නාක් සේ මට දැනුනි.
"ටෙක්සාස් ගිහින් එනකල් ඔයාට මං කල් දෙන්නම් ආයේම්ත්. මම එක දවසක් කියපු, හැමදාම හිතන් දේ මොකක්ද කියලා ඔයා දන්න්වා. හොඳට හිතලා, ආයෙම පාරක්, මට උත්තරයක් කියන්න පංචලී" ඔහු කීවේ බැරෑරුම් ලෙසය.
මම දෙනෙත් බිමට යොමා ගතිමි.
"එහෙම කරනවද?"
"හ්ම්" තප්පර කිහිපයකට පසු මම හිස වැනීමි.
"ජීවිත කාලෙම ඔයා බලා ගන්න, ඔයාට ආදරේ කරන්න මම පොරොන්දු වෙනවා. මම පොරොන්දුවක් වුණොත් ඒක කඩන්නෑ, කවදාවත්"
ඔහු කී විට මම යලි හිස වැනීමි. ඒ එය මම දන්නා බව කීමටයි.
"අපි යමු" ඔහු රියෙන් බසිමින් කීය. "මේ ටික ඇවිදගෙන"
මමද ඉර්යෙන් බැස ඔහු අනුව ගමන් කරන්නට වීමි.
"අද...ආවට, මගේ හිත හැදුවට...ඔයාට ගොඩක් ස්තුතියි ජේඩන්" ඇවිද යන අතරේ මම කීවෙමි.
එය පවසන්නට මතුල වූයේ විශාල උවමනාවකි.
"ඕන වෙලාවක, ඔයා වෙනුවෙන්, ඕන දෙයක්"
ඔහු සිනා සී කීවත්, එය මහිත දුකෙන් පුරවා ලීය. ඒ විභාගය හෙට පටන් ගත් විට යලි අප බොහෝ කලකට හමු නොවන නිසාවද, නැතිනම් ඔහු ටික කලකට හෝ මගේ ඈතට යන්නට යන නිසාවද කියා පහදාගන්නට මට නොහැකි විය. නමුත් මතුල දුකක් විය.
"විභාගේට සුබ පතනවා"
 අවසානයේ අපි නේවාසිකාගාරය අද්දරටම පැමිණ උන්නෙමු. ජේඩන් උන්නේ මදෙස බලා මද සිනා පාමිනි. මගේ පපු කුහරය තුල ලොකු ගුලියක් හිර වූවා සේ දැනෙද්දී, ඒ සියලු සිතිවිලි වදන් වලට පෙල ගස්වාගන්නට නොහැකිව මම තැවුනෙමි.
"ඇයි පංචලී?" මගේ මුහුණේ වූ විලාසය දුටු හෙයින්දෝ ජේඩන් ඇසීඉය.
ඔහු මදක් මවෙත ලං වී මුදුවට මා වැලඳගත්තේය. සැබවිම එය ප්‍රේමණීය වැලඳගැ
න්ක් නොව මිත්‍රශීලි වැලඳගැන්මක් සේ මට දැනුනි.
"සුබ රාත්‍රියක්...දැන් බය වෙලා වගේ ඉන්න එපා. මං දන්න්වා සොනාලි ඔයාට ස
මාව දේවි. ඔයා වරද කරපු නිසා, සමාව ගන්න ඕන. හරිද?" ඔහු කීය.
ඔහු සිතනුයේ මා එයට බිය වනවා ඇති කියා වුව, මතුල ඇති කැලඹීම එය නොවන බව ඔහු දන්නේ නැත. නමුදු මම හිස වනා "හා" කීවෙමි.
මා දෑස් දෙස බලා හුන් ඔහු යලි මවෙත නැඹුරු වද්දී මට දෑස් පියවුණේ ඉබේටමය. එහෙත් ඔහු මා දෙතොල් සිප ගත්තේ නැත. බොහෝ කලෙකට පෙර කලෙක මෙන් මා කම්මුලක් සිම්බා පමණි.

"සුබ රාත්‍රියක්...ඔයාට. මම ගිහින් එන්නම්" ඔහු සැහැල්ලුවෙන් එසේ පවසා, මා කම්මුලක් මුදුවට ස්පර්ෂ කරගෙනම සමු ගෙන යන්නට ගියේය.
පඩිපෙල නැග ගිය මම දොරටුව අසලදී හැරී යලි ඔහු ගිය මග දෙස බැලීඉමි. එහෙත් ඒ වන විටත් ඔහුගේ රිය ඈතට ඇදී ගොස් අහවරය. මහිතේ වූයේ පාලුවක් බඳු හැඟීමකි. එහෙත් ඒ සෑම හැඟීමක් තුලින්ම මා හට යලි යලිත් පසක් වූ එකම දෙයක් විය.
'මං ආදරෙයි...ජේඩන්'

Valentines day I LOVE you wallpaper

Tuesday, January 15, 2013

විසි හයවන කොටස



මා බිය වූ පරිදිම සහ සිතේ එක් පසෙකින් මා බලාපොරොත්තුවූ පරිදිම ජේඩන් පසු දිනත්, ඊට පසු ගෙවුණු දින බොහෝමයකත් මා හමු වූයේය. එහෙත් ඒ හමු වීම් පුස්තකාලයට ඔහු එන යන විට හා මගකදී දකින අවස්ථාවන්ට පමණක් සීමා විය. මා හට පොරොන්දු වූ පරිදිම ඔහු හැසිරීම මසිතේ ඔහු ගැන වූ පැහැදීම වැඩි කරලන්නට සමත්ව තිබිණි. මා වඩාත් බිය වූයේ එම හැඟීමටයි. එනිසාම කෑම ගැනීමට හෝ තේ පානයට හෝ යන එකදු විටෙකවත්, ඔහු යන විටම නොයෑමට මම උත්සාහ කලෙමි. ඒ ඔහුට මෙසේ සිතින් ලං වීම මට දරාගත නොහැකි දෙයක් බවට පත් වෙනවා දකින්නට මට උවමනා නොවූ නිසාය. එහෙත් යලි එකදු වතාවක මා නොසිතූ පරිදි ඔහුට මා තනි කරගන්නට අවස්ථාව සැලසිනි. ඒ මා පාඩම් කොට අහවර නේවාසිකාගාරයට පියමනින එක් සවස් කාලයකය. මට බොහෝ වේලාවකට පෙර පුස්තකාලයෙන් පිටවී ගියද ඔහු අතරමග වූ ඕක් වටරවුමේ පනවා තිබූ ලී බංකුවකට වී මා එන මග බලා උන්නේය. අන් දිනවල මෙන් වදනක් දොඩා යන්නට මා සිතාගෙන ආවත්, ඔහු මා අසලට එත්ම හුන් තැනින් නැගිට මා අසලට ආවෙන් මම හදිසියේම ගොලු වී ගියෙමි.
"පංචලී දැන්ද එන්නේ?" ඔහු වෙනසක් නොපෙන්වා විමසීය.
"හ්ම්" මම ඔහු දෙස නොබලාම කීවෙමි.
"අපි ටිකක් කතා කරමුද?" ඔහු විමසුවේ මා තවත් නොසන්සුන් කරලමිනි.
"මම යන්න ඕන. වෙලා ගිහින්" මම ඉක්මණින් කීවෙමි.
"මම සති දෙකකටත් වඩා බලාගෙන හිටියා ඔයා එක්ක කතා කරන්න. ඔයා දන්නෑ කොච්චර අමාරුද කියලා ඒ වගේ ඉන්න. ඒත් මං එහෙම කලානෙ... කතා කරන්න ඕන කියන්නේ මට උදව්වක් ඕන නිසයි" ඔහු සෙසේ කී විට මට නිරායාසයෙන්ම ඔහු දෙස බැලිනි.
"උදව්වක්?"
"ඔව්"
මම ඔහු දෙස මද වෙලාවක් බලා උන්නෙ සැකමුසු දෑසිනි. ඔහුට එය වැටහෙන්නට ඇත.
"බොරුවක් නෙවෙයි. මම දන්නවා ඔයා මාව විශ්වාස නොකරාවි සමහරවිට. ඒත්...මම කියන්නේ ඇත්ත, සත්තකයි" ඔහු කීය.
ඔහු ගැන වූ සෙනෙහස අනුකම්පාවක්ව මහිත වසාගත්තේ නිමේෂයකිනි. එය මා තුල වූ විශාලම දුර්වලත්වය බව මා නොදැන උන්නා නොවේ. මම සුසුමක් හෙලීමි.
"හරි..."
"එදා වගේ විල ලඟට යමුද? මෙතන කලබල වැඩියි" ඔහු ඇසීය.
මම කිසිත් නොකීමි. එහෙත් ඔහුට මාගෙ සිතැඟි වැටහුන නිසාදෝ, ඔහු වටරවුමේ සිමෙන්ති පඩිය මතින් මගට පිලිපන්නේය. කතා බහකින් තොරවම අපි විල ලඟට ඇවිද ගියෙමු. එහිද සෙනග අඩුවක් නොවූවද, නිදහස් තැනක් සොයා ගන්නට අපහසුවක් නොවිනි. අන්තිමේදි මමත්, ජේඩනුත් සිමෙන්ති බංකුවකට පිටදීගෙන, සැඳෑ හිරු රැස් වැටී දිලිසෙන රිදීමය විල් තලය දෙස බලා උන්නෙමු.
"මොකක්ද මගෙන් උදව්වක් ඕන කිව්වේ?" ජේඩන්ගේ ගොලුවත ඉවසනු බැරි තැන මම විමසීමි.
"මට මගේ හිතේ තියෙන බර නිදහස් කරගන්නයි ඔයාගෙන් උදව් ඕන" එවරඔහු සෙමෙන් තෙපලේය.
"ඒ කියන්නේ මොකක්ද?"
"මං කියන දේ අහගෙන ඉන්න එක" ඔහු මදෙස නබලාම කීවේය.
"කියන්න...මං අහගෙන ඉන්නේ" මම කීවෙමි.
"මගේ හිත හරි නොසන්සුන්, පාඩම් කරන්නවත්, වෙන දෙයක් කරන්න්වත් හිත එකඟ කරගන්න අමාරුයි වෙලාවකට" ඔහු කතාව ඇරඹුවේය.
"ඒ...මං හින්දද ජේඩන්?" මම සිතට දිරි ගෙන ඇසුවෙමි.
"ඒකට උත්තරේ ඔයා දන්නවා" ඔහු කීවේය.
"උත්තරේ විසඳුමක් නෙවෙයි කියලත් ඔයා දන්නවා" මම කීවෙමි.
"පංචලී...ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු එවර මදෙසට හැරුනේ නොඉවසිලිමත් ලෙසිනි. "කොහොමද මම මෙහෙම ඉන්නේ? හැමදාම මෙහෙම ඉන්න පුලුවන්ද මිනිහෙක්ට? හරියට යාන්තම් දැන අඳුනන කෙනෙක් වගේ, හිනාවෙලා, ඔලුව වනලා, සති ගණන් කතා නොකර ඉන්නේ කොහොමද?" ඔහුගේ හඬේ කලකිරීමක් විනැයි මට සිතිණි.
"එහෙනම්...කතා නොකරම ඉන්න පුලුවන්" ඔහුගේ සිත රිදෙනු ඇති වග දැන දැනත් එසේ කියන්නට තරම් මම නපුරු වීමි.
"හැමවෙලේම, දුරස් වෙන එක ගැන විතරක් කියන්නේ ඇයි? ඇයි? මට මේ හැම දේම එපා වෙලා. මට බෑ තවත් මේ දෙවල් දරා ගන්න...එක්කෝ, ඔයා මට උදව් කරන්න ඕන මේ තත්වෙන් ගොඩ එන්න. එහෙම නැත්තම් මම යන්න ඕන ඔයාව නොපෙනෙන තරම් ඈතකට" ඔහු කීවේ වේදනාවෙන් මෙනි.
මා නෙතු කඳුලු පුරමින් තිබිණි. එහෙත් ඔහු හමුවේ හඬන්නට මට උවමනා නොවිනි.
"මං මොනා කරන්නද ජේඩන්?" මම ඇසුවෙමි.
"දෙයියනේ මම මෙච්චර බැගෑපත් වෙලත්, ඇයි බැරි ඔයාට ඔය හිත අතිතෙන් අයින් කරගෙන පොඩ්ඩක් මේ වර්තමානෙට එන්න? බලන්න, බලන්න මං...මං ඔයාට කොච්චර ආදරේද?"
ඔහු කී විට මහිත සහමුලින්ම කඩාඉහිරිණි. නෙතු කඳුලු පිට පැන්නෙන් මම වහා ඔහුගෙන් මුහුණ හරවාගතිමි. එසේ විනාඩියක් දෙකක් ගෙවෙන්නට ඇත. එහෙත් ඔහු කිසිත් කීවේ නැත. මම විල් තලයේ සිට එන සුලඟට කඳුලු වියලන්නට ඉඩ හැර ඔහු දෙස නොබලාම උන්නෙමි.
"මං මෙහෙන් යන එකයි හොඳම" අවසන දිග සුසුමක් හෙලූ ඔහු කීවේය.
මම සෙල් රුවක් සේ නොසැලී බලාගත්වනම බලාගෙන උන්නෙමි.
"ඔයාට උදව් ඕන වුණේ ඒ තීරණේ ගන්න නම්...ඔයා...එහෙමකරන එක තමයි හොඳ කියලා මාත් හිතනවා" මම යලි සිත දැඩි කොටගෙන කීවෙමි.
"මම දැනං හිටියා ඔයා ඔහොම කියන වග. ඒත්, මං හිතුවා එක මොහොතක ඔයා වෙන දෙයක් කියාවි කියලා" ජේඩන් බලාපොරොත්තු සුන් වූ හඬකින් කීවේය.
මම දිගු හුස්මක් උඩට ඇදගතිමි. ඒ මගේ පපුව තුල යමක් හිරවන්නාක් සේ දැනෙන්නට වූ නිසාය.
"මම, එක පාරක් බැඳලා, ඒ මනුස්සයට එපා වෙලා දාලා ගිය ගෑණියෙක් ජේඩන්. මගේ ඇතුලාන්තේ ආයෙම ජීවත් කරන්න කෙනෙක් නෑ. ජීවත් වෙන්න ඕනවට ඉන්නවා මිසක, මට එහෙමයි කියලා අරමුණකුත් නෑ. මම මේ දේවල් කරන්නේ මගේ දෙමව්පියන්ට තවත් රිද්දන්න මට බැරි නිසා විතරමයි. මං වගේ හිස් ආත්මයක් ඔයාගේ ජීවිතේට ඈඳගන්න හිතන්න එපා..." මම වෙව්ලන හඬින් එසේ කියා දැමීමි.
ජේඩන් මගේ උරහිසකින් අල්වා වැරෙන් මාව ඔහු වෙත හරවාගත්තේය. මොහොතකට අප දෙනෙත් එකිනෙක හා වෙලී පැවතිනි. මුලින්ම බිම බැලුනේ මට ය.
"ඔයාට පිස්සුද? හිතන්න එපා ඔහොම තමන් ගැනම. ඔයා හිස් ආත්මයක් නෙවෙයි පංචලී. ඔයා ඇතුලේ තාමත් අහිංසක, සුනදර ගෑණු කෙනෙක් ඉන්නවා. ඒක මම දන්නවා. දෙයියනේ ඒක මම විඳලා තියෙනවා. ඒ පංචලී මුලු රැයක් පුරාවට මගේ මේ පපුවේ හිස තියාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ අද වෙනකල් මේ පපුව ඇතුලේ ජීවත් වෙනවා. ඒක හෙටත් එහෙමම වේවි" එසේ කියා ඔහු මාගේ වත සිය වතේ තෙරපාගත්තේය. ඔහු මතක් කල දිනයේ සිතේ පතුලටම රිංගා ගත් සුවඳක් ඒ වතේ මට දනුනි. ඔහුගේ සුසුමක් මා කන්පෙත්තක් උණුසුම් කලේය. සත්තකින්ම ඒ උණුසුමින් මිදෙන්නට සිත ලෝබකම් පෑවේය. එහෙත් එය කල නොහැක්කක් වග ඒ සිතේම එක් පසක් කෑ ගසා පවසන්නට විය.
"මම ඔයාට ආදරෙයි...මහ ගොඩක්" ඔහු මා සවනතට කෙඳිරුවේය.
මම මහත් වෑයමකින් ඔහුගේ උණුසුමින් මිදී, එතැනින් නැගිටගතිමි.
"මට සමාවෙන්න ජේඩන්, මට බෑ" එතුවක් පවසා මම යලි නොනැවතී පිට්ටනිය සිසාරා දිව ආවෙමි. මගේ හුස්ම වේගවත් වුණු තරමටම දුකද දැඩි විය. එහෙත්, මා තුල ආදරයට වූ බිය, නැතිවීම් දරාගන්නට බැරි කම සියල්ලට වඩා බලවත්ව මා සිත තුල පවුරක් ගොඩනගා තිබිණි.

"ඔයාට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ පංචලී"
සොනාලි එසේ කීවේ කෝපයෙන් නොවේ. ඇගේ හඬේ වූයේ මද කලකිරීමකැයි මට සිතුණි.
මා ජේඩන්ව මුණැගැසුණු වග මා කියන්නටත් පෙර මගේ යෙහෙලියන් කිහිප දෙනා දැන හිඳීම කාමරයට මුලින්ම පැමිණි විට මා පුදුමයට පත් කරන්නට සමත් විය. එහෙත් බොහෝ විට සිදුවන පරිදිම ජේඩන් සමග මා සිටිනු දුටු අයෙක් නජීබා හට වග පවසා තිබිණි. එය කේලමක් නොව දුටු නිසා පැවසූවක් විතරක් බව මා නොදැන උන්නා නොවේ.ඉදින් සිදුවූ සියල්ල පවසනවා හැර මට කල හැකි අන් දෙයක් නොතිබිණි.
"ඔයා හිතන්නේ මම එහෙම කතා කරපු එක වරදක් කියලද?" මම ඇසීමි.
මෙවෙලේ කාමරයේ හුන් නයෝමි හා නජීබා සොනාලි දෙස බැලුවේ කුමක් කියන්නේද යන්න විමසීමට මෙනි.
"ඔයා මොකද හිතන්නේ? කරපු දේ හරි කියලද වැරදි කියලද?" සොනාලි මදෙසට තියුණු බැල්මක් හෙලා විමසුවාය.
මම ඇගේ බැල්ම මගැර ඉවත බලා ගතිමි.
"මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ" මම සෙමින් කීවෙමි.
"මම නම් හිතන්නෑ ඒක වැරදියි කියලා. කතා නොකර ප්‍රශ්ණ විසඳන්න බෑ" එවර නයෝමි කීවාය.
"මට ජේඩන්ව තේරුම් ගන්න බෑ ඇත්තටම. ඒත් අවංකවම මගේ හිතට දැනෙන දේ කිව්වොත්...මට හිතෙනවා එයා ඇත්තටමයි ඔයාට ආදරේ කියලා" නජීබා එසේ කීවේ මහිත සසලවාලමිනි.
""මට ඒක ගැන මොනවත් කියන්න බෑ. එයා මොනවා හිතාගෙන ඉන්නවද, මොනා කරන්න යනවද කියලා කවුරුත් දන්නේ නෑනෙ. ඒක නෙවෙයි මෙතන තියෙන දේ.... පංචලී මට හිතෙනවා ඔයා ඔයාටම බොරුවක් කරගන්නවා කියලා" සොනාලි එසේ කී විට මම දෙස බැලුවෙමි.
"මොකක්ද කතාවේ තේරුම?" මම මදක් සැරෙන් මෙන් ඇසීමි. ඇගේ එම ප්‍රකාෂය මා බෙහෙවින් නොසන්සුන් කරන්නට සමත් විය.
"තේරුම තමයි ඔයත් ජේඩන්ට ගොඩක් කැමතියි කියන එක. එහෙම නෙවෙයි කියලා කියන්න එපා. ඒක මම තරම් හොඳින් තේරුම් ගත්තු කෙනෙක් නෑ. ඔයා එයාට කැමතියි, ඒත් ඔයා බයයි...කලින් වුණ දේවල් නිසා. එහෙම නෙවෙයිද?"
මගේ උගුර සිර වී එන්නාක් මෙන් මට දැන්ද්දී, කිසිවක් කියාගත නොහැකිව මම මොහොතක් සොනාලි දෙස බලා උන්නෙමි. නජීබා සහ නයෝමිද මදෙස බලා උන්නහ.
"ඇත්තම කිව්වොත් මට හිතෙනෙත් එහෙමයි පංචලී" නජීබ කීවාය.
මම කිසිවක් නොකියා බිම බලා ගතිමි.
"ඔයා කොච්චර නෑ කියලා හිතුවත් ඒක තමයි ඇත්ත" නයෝමි යලි කීවාය. "සමහර වෙලාවට අපි හිතනවා මේක හරියන්නෑ, මෙයා මට ගැලපෙන්නෑ, අනාගතේදි මොනා වෙයිද වගේ දේවල්...ඒත් අපට එහෙම හිත හිත ඉන්න බෑ හැම වෙලේම. සමහර වෙලාවට අපට අවදානමක් ගන්න වෙනවා. ඒකේ තේරුම හැමදේම අනිවාර්යෙන්ම වැරදෙනවා කියන එක නෙවෙයි. සමහරවිට ඒක ජීවිතේ අපි ගන්න හොඳම තීරණේ වෙන්නත් පුලුවන්. නිසා පංචලී, එක පාරක් වුණ දෙයක් හන්දා ඔහොම ජීවිතේම කලකිරෙන්න එපා. ජේඩන් ඔය තරම් ඔයාගේ පස්සෙන් එද්දි ඔයාට හිතෙන්නේ නැද්ද එයා අවංකවමයි ඔයාට ආදරේ කරන්නේ කියලා?" නයෝමි ඉන්පසු ඇසුවාය.
"සංකේත් අවුරුද්දකටත් වඩා මගේ පස්සෙන් ආවා. එයත් ඔය වගේම දේවල් කිවා කලා. එහෙම කරලත් එයාට අන්තිමට මාව එපා වුණා" මම සෙමෙන් හඬ අවදි කලෙමි. "මම ආයෙම දෙයක් කරන්න බය වෙන්න එකම හේතුව විශ්වාසේ නැතිකමම නෙවෙයි ජේඩන් ගැන. සමහරවිට සොනාලි කඉයන එක හරි ඇති. මම එයාට කැමති ඒක ඇත්ත වෙන්න ඇති. දැන් දැන් මට හිතෙනවා සංකේත් සමහරවිට යන්න ඇත්තෙ මගේ තිබ්බ වැරැද්දක් නිසාදෝ කියලා. මම ජේඩන්ට කැමතිවෙලා, ආයෙම මට තනි වෙන්න වුණොත් මට ඒක දරාගන්න බැරි වෙයි...ඒකයි මම මෙහෙම කරන්නේ. මට දුරින් ඉඳන් මෙහෙම ඉන්න ඒක ලේසියි...ඒකයි" මම අවසන හැඟුම්බරව උන්නෙමි.
" පාර ඔයා මොනාද ඔය හිතන්නේ? ඔයාම ඔයා ගැන ඔහොම හිතලා කොහොමද? ඔයාට පිස්සුද පංචලී? සංකේත් ගියා නම් ගියේ එයාගේ තියෙන අහේතුවට මිස ඔයාගේ වරදක් නිසා නෙවෙයි. ඒක අපට හොඳටම හිතාගන්න පුලුවන්. ඒ නිසා මම කියන්නේ ජේඩන් ගැන ඔයාගේ හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒකට ඉඩ දෙන්න කියලයි" එසේ කීවේ නයෝමි ය.
මට නිතැතින්ම සොනාලි දෙස බැලිනි. ඈ මදෙසට තීයුණු බැල්මක් හෙලාගෙන උන්නාය. එනිසාම ඇගේ බැල්ම මගැර මම බිම බලාගතිමි.
"මට ඒක කරන්න බෑ" මම කීවෙමි.
"පංචලී...එක්කෝ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඔයා එයාට කැමති වෙන්න ඕන. එහෙම නැත්තම්, එයාට බලාපොරොත්තු දෙන විදියට හැසිරෙන්නේ නැතිව ඉන්න ඕන..." සොනාලිගේ හඬ මහිත පාරන්නට විය. එනිසාම මහිතේ මද කෝපයක්ද ඉස්මතු විණි.
"මම එහෙම දෙයක් කලේ නෑ...අද මට එයා එක්ක කතා කරන්න සිද්ධ වුණා. එහෙම නැතුව මම එයාට අනවශ්‍ය බලාපොරොත්තු දුන්නා නෙවෙයි" හිතේ නැගි ආවේගය නිසාම මම හුන් තැනින් නැගිට එසේ පැවසීමි.
සියල්ලෝම එකවර වූ දෙයින් වික්ෂිප්තව මා දෙස බලා උන්නහ. තවත් එතන හිඳින්නට සිත් නුදුන් හෙයින් මම ඒ වේගයෙන හැරී කාමරයේ දොර වෙත ගියෙමි.
"පංචලී..." සොනාලි මා ඇමතුවාය.
එහෙත් මම දොර අසල වූ ඇඳුම් රාකයෙන් මගේ කබාය හා තොප්පියද රැගෙන එලිඅයට එන්නට ආවෙමි.
"පංචලී..." නජීබා කාමරයේ දොර අසලටත් ද විත් කෑ ගැසුවාය.
නමුදු මම එය නෑසුකන්ව එන්නට ආමි. මහිත තුල වූයේ නොරිස්සුමකට වඩා වේදනාවකි. ඒ, සොනාලි මා හට කියූ දෙය නිසාද, නැතහොත් ඈ කීවේ සත්‍යයක් නිසාද කියා මට සිතාගත නොහැකි විය. මම පොදු කාමරය හරහ විත් මදාලෝකයෙන් නැහැවුණු එලිමහනට පිවිසුනේ යන තැනක් හෝ කල යුතු දෙයක් ගැන නොසිතාය. ඩොලීස් වෙත යා හැකි වුවද මෙවෙලේ තනිව යෑම නොමනා යැයි සිතුනෙන් මම නගරය දෙසට වැටී ඇති මගෙහි අරමුණකින් තොරව ඇවිද යන්නට වීමි. ජේඩන් ගැනද,මිතුරියන් කියූ දෑ ගැනද, සංකේත් ගැනද මතකයන් පෙරලි කරන සිත මා වඩ වඩාත් හැඬුම්බර කරන්නට සමත් විය.