Thursday, November 19, 2015

විහංඟනාවී: පනස්වන කොටස

අයුමි කාමරෙන් එලියට ආවේ ගැහෙන හිතිං. කාමරේන් එබිලා බලද්දි, අම්මා උන්නේ සාලේ මැදට වෙලා හති දම දම වගේ.  
"ඇ...ඇ..ඇයි අ..අම්මා මේ?" අයුමි ඇහුවේ ගොත ගහමින්.
අම්මා එක පාරටම මුකුත් නොකියා අයුමි දිහා උඩ ඉඳන් පල්ලෙහාට දෙපාරක් විතර බැලුවේ තරහෙන් වගේ.
"මොකක්ද අර හන්දියේදි නැටුවයි කියන නාඩගම?"
අම්මා අහද්දි අයුමිගේ හිත ටිකක් බියපත් වුණා. ඒ හන්දම ඈ අම්මගෙන් දෑස අහක් කරගෙන බිම බලාගත්තා.
"මොකක්ද බං ඒ කතාව?" පැත්තක උන්නු ආච්චි අම්මා සාලෙ මැදට ආවේ එහෙම අහගෙන.
"අම්මා මොනා කියනවද කියලා මම නම් දන්නේ නෑ" අයුමි ඒ පාර කිව්වා.
"ඔව්...තොත්තා බබානේ. මොනවත් දන්නේ නෑ. තමුන් නොදන්නවට ගමේ මිනිස්සු දන්නවා ඇති දැන් මෙලහකට"
"මොකක්දෑ ළමයෝ වෙලා තියෙන්නේ? කියන සිංහලක් තේරෙන්න කියහල්ලකෝ" ඒ අස්සේ ආත්තම්මා අහනවා.
"වෙලා තියෙන දේ මෙයාගෙන්ම අහගන්න අම්මේ. දෙයි හාමුදුරුවනේ අර මහ මනුස්සයත් නැතිව මම මුන්ව හැදුවේ මේවා බලන්නද?" ඒ පාර අම්මා තවත් ආඩපාලි කියන්න පටන් ගත්තා.
"මොකක්ද දුවේ මේ කියන්නේ?" ආත්තම්ම ඊලඟට ඇහුවේ අයුමිගෙන්.
"මම දන්නෑ ආත්තම්මේ. මම දැනුවත්ව වරදක් කරලා නෑ" අයුමි හෙමින් කිව්වා.
"වරදක් කරලා නෑ? උඹ ඔය කටින්ද මද්දු කියන්නේ?” අම්මා ඒ පාර කිව්වා.
"අ..අම්මා, මොනාද මේ කියන්නේ?"
"කියන්නේ? කියන්නේ මට දැනගන්න ලැබුණ දේවල් මිසක වෙන මොනවද? අද අර හන්දියේ කා එක්කද මද්දු උඹ රණ්ඩු වුණේ? මොනවද අර හිමාලි ගෙදර ගිහින් තොර තෝංචියක් නැතුව කියවන්නේ? මොකටද කොම්පැනියේ අයිතිකාරයා උඹව හොයාගෙන ආවේ මෙහාට?"
අම්මා එහෙම අහද්දි අයුමිට තේරුණා වෙලා තියෙන වැඩේ. මේ ටික වෙලාවට හිමාලි ගෙදර ගිහිං ඒකත් කියලද? එහෙම හිතද්දි අයුමිගේ හිතේ හිමාලි ගැන ඇති වුණේ තරහක්.
"ඇයි හිමාලි අම්මට ඒක කිව්වේ නැද්ද?" අයුමි ඇහුවේ ඒ තරහින්මයි.
"මද්දු...මගෙන් කට පොඩි කරගන්න එපා. හිමාලි කිව්ව දේවල් බොරුද එතකොට? හන්දියේ මිනිස්සු කී දෙනෙක් දකින්න ඇද්ද මේ නඩගම? උඹට අපි ගැන වගක් නැත්තේ ඇයි මද්දු?"
අයුමිගේ හිතේ කැකෑරෙමින් තිබ්බ තිගැස්ම, නොරිස්සුම, කණගාටුව මේ සේරම එක්ක ඈට කියන්න ඕන මොනාද කරන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරි වුණා. රවීන්ගේ ප්‍රශ්ණේ මදිවට අම්මත් මෙහෙම පරල වෙලා කෑ ගහද්දි ඈට තේරුණේ නෑ මොනා කරන්නද කියලා. අනික් ඈ බලාපොරොත්තු වුණේ නෑ රවීන්ගේ ප්‍රශ්ණේ මේ විදියට ගෙදරට ආරංචි වෙයි කියලා. ඒත් ඈ හිත හයිය කරගත්තා.
"දැන් මේ උඹ කෑ ගහන්නේ හිමාලි කිව්ව දෙයක් ඈඳගෙනද? හැබෑටම උඹට පිස්සුද ලොකු දුවේ?  හිමාලි මේ ළමයි එක්ක ඊරිසියා වග උඹ දන්නෙම නැද්ද?" ආත්තම්මා ඇහුව.
"හිමාලි ඉරිසියා එක හරි කියමු. ඒත් අර හන්දියේ ගෙදර බණ්ඩා මාමත් ඉරිසියාද එතකොට. මම එද්දි කලු ජේන් අපේ ගෙවල් ලඟ හක්කලං කරනවා. ඒ ගෑණිත් දැකලා මේ රණ්ඩුව. හැබැටම කරන මගුලක් ගෙදර ඇවිත් කතා කරගන්න තිබ්බේ නැද්ද? මොකක්ද මද්දු මේවයේ තේරුම? වෙනදා හවස එන ගෑණි අද දවල් ඇවිත්. ඒ මදිවට හොයාගෙන වැඩ කරන තැන අයිතිකාරයා ඇවිත්. මොනාහරි හොරකමක් කරලද ආවේ මද්දු? කියනවා ඉතිං" අම්මා ආයෙම කෑ ගැහුවා.
"අම්මට පිස්සුද අම්මේ. මම එහෙම කරන්නේ මොකටද? අම්මට ඒ තරම්ම මාව අවිශ්වාසද?" අයුමි ඇහුවෙත් පොඩ්ඩක් සද්දෙන්.
"එහෙනම් කියනවා මොකටද ඒ මනුස්සයා ආවේ?"
අම්මා එහෙම ඇහුවම දෙන්න උත්තරයක් අයුමිට තිබුණේ නෑ.
රවීන් ගැන ගෙදරට කියන්න මේ අවස්ථාව නෙවෙයි කොහොමවත් කියලා ඈ දැනගෙන උන්නා. ඒත් අම්මා උන්නේ තාමත් ඈ දිහා බලාගෙන උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"මම දන්නෑ අම්මේ. මම කතා කලේ නෑ" බැරිම තැන අයුමි කිව්වා.
"එහෙනම් මමද දන්නේ? මට ඇත්ත කියපන් මද්දු, මොකක්ද උඹෙයි මේ මනුස්සයයි අතර තියෙන මේ ඇයි හොඳයිය?"අම්මා උන්නේ කිසිම දෙයක් කරලා සනසන්න පුලුවන් තත්වෙක නෙවෙයි.
"අම්මා මේ මොනාද කියන්නේ?"
"මද්දු...උඹට බෑ මේ අම්මව තම්බන්න. මට ඇත්ත කියපන්. මෙතන මොකාක් හරි කොස්සක් තියෙනවා. මොකක්ද මේ කරන දේවල් වල තේරුම?"
"තේරුම මම කියන්නම් අම්මේ"
එහෙම කිව්වේ අයුමි නෙවෙයි. හොඳටම ගොලු වෙලා උන්නු ආත්තම්මයි, අයුමියි පුදුම වෙලා බලාගෙන උන්නේ දොර දිහාව. අම්මත් එක පාරටම හැරිලා ඒ පැත්ත බැලුවා. අයුමිට දැනුනේ කකුල් දෙක පණ නැති වෙලා යනවා වගේ හැඟීමක්.
දොරකඩ හිටගෙන උන්නේ රවීන්. යන්න ගිය ගමන නොයා ආපහු ඔහු ඇවිල්ලා තිබුණා අයුමිගේ ගෙදර හොයාගනම. දැනුන පුදුමය හෙමින් මැකිලා යද්දි, අයුමිගේ හිස මත ගිනි ජාලාවක් පත්තු වෙන්න ගත්තා ඊලඟට. දැන් මොනවායින් මොනවා වෙයිද, අම්මා කොහොම මේකට ප්‍රතිචාර දක්වයිද, කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඈ පිටිපස්සේ දොර උලුවස්ස තදින් අල්ලගෙන බීත්තියට තව ටිකක් හේත්තු වුණේ තමට කලන්තයක් හැදීගෙන එනවා වගේ දැනුන නිසා. රවීන් ඈ දිහාට එක බැල්මක් හෙලලා ආයෙම ඇගේ අම්මා දිහා බැලුවා. අම්මා උන්නෙත් ගොඩක් පුදුම වෙලා නිසාදෝ එක පාරටම ඈටත් කතා කරගන්න මතක් නොවුණ තරම් වුණා වෙන්න ඇති.
"මම රවීන් සේනානායක... අයුමි වැඩ කරන්නේ මගේ කම්පැනියේ" රවීන් කියනවා ඈට ඇහුණේ  හීනෙන් වගේ.
"ආ...."
ටිකක් පුදුම වෙලා උන්නු අම්මා එකපාරටම බැලුවේ අයුමි දිහාව. ඊලඟට ඈ ආයෙම රවීන් දිහාවට හැරුණා. රවීන් එවෙලේ උන්නෙත් අයුමි දිහා බලාගෙන. අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ ලොකුම නොරිස්සුම නැගීගෙන එද්දි. හිතේ තිබ්බ එකම ප්‍රශ්ණේ ඇයි මෙහෙම ඔහු ආපහු ආවේ කියන එක.
"එන්න මහත්තයා ගෙට"
අම්මා වියලි ස්වරයකින් කියනවත් ඈට ඇහුණා. ඊලඟට වෙන්න යන දේ ඈ බලාගෙන උන්නේ හොඳටෝම ගැහෙන හිතින්.
"මෙහෙම නොදන්වා, මේ වගේ වෙලාවක මේ විදියට ආපු එක කරදරයක් නම් මට සමාවෙන්න. ඒත් මීට වඩා කරන්න වෙන හොඳ දෙයක් මම දන්නේ නෑ"
ගේ ඇතුලට ඇවිත් ඉස්සරහම බිත්තිය අයිනේ තියලා තිබුණ වේවැල් පුටුවකට බර වුණ රවීන් එහෙම කිව්වේ එකට පටල පටල උන්නේ තමන්ගෙම දෑත දිහා බලාගෙන. උදේ ඇඳගෙන උන්නු ඇඳුම් පිටින්ම, හිසකේත් අවුල් වෙලා, විඩාපත් වෙලා වගේ උන්නු රවීන් දැක්කම අයුමිට දුකක් හිතුණේ නෑ.
"අනික මම මේක මෙහෙම එන්න හිටපු ගමනකුත් නෙවෙයි" රවීන් ආයෙම කිව්වේ අයුමි දිහා බලමින්.
එක පාරටම වෙච්ච දෙයින් පුදුම වුණ තරම හන්දදෝ අම්මා එක පාරටම කතා කලේ නෑ. ආත්තම්මා නම් උන්නේ සම්පූර්ණයෙන්ම ගොලු වෙලා.
"සර් ඇයි මෙහේ ආවේ?"
අයුමි එහෙම ඇහුවේ රවීන් ආයෙම මොනවත් කියන්න කලින්. ඒ පාර රවීන් ඈ දිහා බැලුවේ ටිකක් මවිත වෙලා වගේ.
"අයුමි..."
"ඇයි මෙහෙම ආවේ?" අයුමි ආයෙම ඇහුවා.
අයුමිගේ අම්මයි, ආත්තම්යි මාරුවෙන් මාරුවට අයුමි දිහායි, රවීන් දිහායි බැලුවේ තවත් වික්ෂිප්ත වෙලා වගේ.
"මම වෙන මොනාද කරන්නේ අයුමි? මම වෙන කොහොමද ඔයාගේ වැරදි වැටහීම නැති කරන්නේ?" රවීන් ඇහුවා.
"මොකක්ද මෙතන මේ සිද්ධ වෙන්නේ? මහත්තයා කරුණාකරලා පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?" බැරිම තැන අම්මා ඇහුවේ ටිකක් උස් හඬින්.  
ඒ පාර රවීන් අයුමිගේ අම්මා දිහාව බැලුවා. අයුමිගේ හද ගැස්ම අහේතුකව වැඩි වුණේ දැන් රවීන් මොනවා කියයිද කියලා හිතද්දි.
"මම කැමතියි අයුමිව කසාද බඳින්න" අයුමි ඊලඟට මොනවත් හිතන්නවත් කලින් රවීන් එහෙම කිව්වා.
අම්මලා ආයෙම ගොලු වුණා. ඒත් අම්මගේ ඇස් ඇවිත් නැවතුණේ අයුමි ලඟ. ඒ ඇස්වල තිබ්බ තියුණුකම දරාගන්න බැරිව අයුමිට බිම බැලුණා.
"මහත්තයා මේ මොනාද මේ කියන්නේ?" අම්මා ඊට පස්සේ ඇහුවා.
"අපි...දැන් කාලෙක ඉඳන් අඳුනනවා. අයුමි මං ගැන දන්නවා. මං එයා ගැන දන්නවා. මම හිතනවා මගේ ජීවිතේට ඕන අයුමි වගේ කෙනෙක් කියලා" රවීන් ඒ ටික කියලා ආයෙම අයුමි දිහා බැලුවා.
අයුමි උන්නේ අඬන්න ඔන්න මෙන්න වගේ. රවීන් මේ කරන වැඩෙන් වෙන්නේ දේවල් තවත් අවුල් වෙන එක කියලා ඈට දැනුනේ ඉවෙන් වගේ.
"ඒත් මහත්තයා, මහත්තයා මෙහෙම හදිසියේ ඇවිත් මේ විදියේ දෙයක් කිව්වම, අපි කොහොමද එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ දේවල් තීරණය කරන්නේ? මේවා එහෙම ආවට ගියාට අපට තීරණය කරන්න බෑ නේ" අම්මා ඒ පාර කිව්වා.
"ඔව් ඒක ඇත්ත. ඒක මට තේරෙනවා. ඒකයි මම කිව්වේ මම මේ ගමන මෙහෙම එන්න හිටපු එකක් නෙවෙයි කියලා. ඒමොනා වුණත් මම  එහෙම හදිසියේ දේවල් තීරණය කරන්න කියනවා නෙවෙයි" රවීන් කිව්වා අම්මා දිහා බලමින්.
"එහෙම කරන්නේ කොහොමද?"
ඒ පාර අයුමි කතා කලේ අම්මත් මොනාදෝ කියන්න කට හදද්දි. රවීන් අයුමි දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ප්ලීස් සර්...මෙහෙම කරන්න එපා. කරුණාකරලා දැන් මෙහෙන් යන්න" අයුමි ඒ පාර කිව්වේ බැගෑපත්ව.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නේ අදහාගන්න බැරුව වගේ.
"මොනාද ඔයා මේ කියන්නේ? අපට ආදරේ කරන්න පුලුවන් නම් ඇයි කසාද බඳින්න බැරි?" රවීන් ඇහුවේ එහෙම.
ටිකක් වෙලා ගල්භීත වෙලා වගේ උන්නු අම්මා අයුමි දිහාවට හිස හැරෙව්වෙත් ලොකු විමතියකින් වගේ.
"අම්මේ...අපි අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඒක තියෙන්නේ දැන් ටික කාලෙක ඉඳන්. සමහරවිට අයුමි ඒක ගෙදරට කියලා නොතිබෙන්න ඇති. ඒත් ඒක එයාගේ වරද නෙවෙයි. ඒක නොකියා උන්නේ මගේ උවමනාවට. ඇත්තම කිව්වොත් මගේ හිතේ පොඩි බයක් තිබුණා මේ දේවල් කිව්වොත් ගෙදරින් අකමැති වෙයිදෝ කියලා. ඒ හන්දා පරක්කු කලා මිස, මේක හොරෙන් කරගෙන යන්න අදහසක් තිබ්බාත් නෙවෙයි.
මම අම්මලට ඇත්තම කියන්නම්. මම බැඳලා දික්කසාද වුණ කෙනෙක්. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ වයිෆ් මගෙන් වෙන් වෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. මම අම්මලට මේවා හංගන්න ඕන නෑ. මම කවදාවත් මේවා අයුමිට හැංගුවෙත් නෑ. අයුමි වැඩ කරන කම්පැනිය මගේ. ඊට අමතරව අපේ පවුලේ හවුල් බිස්නස් එකක් තියනවා. හැමදේම නිරවුල්ව මගේ අයිතිය තියෙනවා. මගේ අතින් කවදාවත් අයුමිට අඩුපාඩුවක් වෙන්නේ නෑ" රවීන් කියාගෙන ගියා.
අයුමිගේ අම්මා උන්නේ ඒ පාර බිම බලාගෙන සේරම අහගෙන. ආත්තම්මා උන්නෙත් ගල් ගැහිලා වගේ පපුවට අතකුත් තියාගෙන රවීන් දිහා බලාගෙන. රවීන් ඇස් උස්සලා අයුමි දිහා බලද්දි ඈ උන්නෙත් කිසිම දෙයක් කියාගන්න බැරිව ගල් වෙලා වගේ. දැන් ඉතිං කිව්වත් මොනා කියන්නද?
"අම්මලා මේ ගැන කියන්නේ මොකද කියලා දැනගන්න මං කැමතියි" ඊට පස්සේ අයුමිගෙන් ඇස් අයින් කරගත්තු රවීන් ආයෙම අම්මා දිහාව බැලුවා.
කතා කරන්න කලින් අම්මා දිග සුසුමක් හෙලුවා. අයුමිගේ හිත පතුලට කිඳාබැස්සා වගේ දැනුනේ ඒ සුසුමේ තේරුම ඈ දන්න නිසා වෙන්න ඇති.
"මේ දේවල් එහෙම හදිසියේ තීරණය කරන්න බෑනේ මහත්තයෝ. අපේ තව දැනුම් තේරුම් තියෙන වැඩිහිටි උදවිය එක්කත් කතා කරන ඕන. මොකද තාත්තත් නැතුව මේ ළමයි හදද්දි හැමදේකටම අපට ලඟ උන්නේ ඒ උදවිය නිසා"
"මට තේරෙනවා අම්මේ. අම්මලා හිතලා උත්තරයක් දෙන්න. අයුමි ආයෙම ඔෆිස් එද්දි ඒ තීරණෙත් අරගෙන එන්න පුලුවන් වේවි කියලා මම හිතනවා" රවීන් කිව්වා.

අයුමි රවීන් දිහාම බලාගෙන උන්නේ වෙච්ච දේවල් අදහාගන්න තාමත් බැරිව. රවීන් ගෙදර ඇවිත් කතා කරන්න ඕන කියලා හිතපු දවස් ඈට තිබුණත්, මේ ඒකට වෙලාව නෙවෙයි කියලා ඇගේ හිත කිව්වා. රවීන් ගැන ඇගේ හිතේ ඇතිවෙලා තිබ්බ කලකිරීම වැඩි වුණාදෝ කියලා ඈට දැනුනේ ඔහු ගැන ඒ වෙලාවේ කිසිම හැඟීමක් හිත තුල නොතිබ්බ නිසා. හිතේ තිබ්බේ බයක්, තිගැස්මක්රවීන් කොයි වෙලේක හරි ගියාට පස්සේ මෙතන මොන ගිනි විජ්ජුම්බරයක් වේවිද කියලා.