Friday, February 28, 2014

පනස් තුන්වන කොටස



"මම භූප බලන්න යන්න ඕන" උදේ තේ බොන අතරේ, TV එකේ ඇස් ඔබාගෙන උන්නු අනුක්ට මම කිව්වා.
"අද?" මා දිහා එක පාරටම හැරිලා බලපු අනුක් ඇහුවා.
"ඔව් අනුක්..."
"අද මම පන්සලට යන්වනේ. එද්දි එක පහු වෙයි"
"මම තනියෙම යනවා. ඔයා එන්න ඕන නෑ" මම කිව්වේ ඇත්තටම.
"පිස්සුද...තනියෙම යන්න එපා. අනික අක්කලා බලයි කොහෙද යන්නේ කියලා" අනුක් කිව්වේ රහසින් වගේ.
"මම යන්නම ඕන. භූප එහෙම ඉස්පිරිතාලේ ඉද්දි මම කොහොමද මුකුත්ම නොදැන මෙහාට වෙලා ඉන්නේ?"
"දුලාරා... මේ අහන්න, ඔයාට තනියෙම යන්න බෑ. මම ඕන නම් එන ගමන් ඒ පැත්තේ ගිහින් ඔලුව දාලා එන්නම්. සම්පත් අයියාගෙන් විස්තරයක් අහගන්න පුලුවන් වෙයි නේ" අනුක් කිව්වේ අවධාරණයෙන්.
මම ඒ පාර මුකුත් කිව්වේ නෑ. අනුක් මොනවා කිව්වත්, කවුරු මොනවා කිව්වත් මම යනවා කියන තීරණේ තමයි මම උන්නේ.

අනුක් පන්සලට ගියාට පස්සේ මට දැනුනේ පාලුවක්. මම උදේ එකොලහ විතර වෙනකල් කාමරේට වෙලා පොතක් අල්ලගෙන වැඩ කරන්න උත්සාහ කරමින් හිටියා. ඒත් හිතේ තිබ්බ උද්‍යෝගය හරි තිගැස්ම නිසා හරි මට කිසි වැඩක් හරියට කරගන්න පුලුවන් වුණේ නෑ.
"උත්පලා අක්කේ" උදේ එකොලහට විතර මම උත්පලා අක්කව හම්බවුණේ එලියට යන වග කියන්න.
"ඔව් පැටියෝ ඇයි?" ඈ කවදත් පුරුදු විදියට මට කතා කලේ, අතේ තිබුණ බර ගිණුම් පොතක්ද කොහෙද මේසෙන් තියන ගමන්.
"මම...මම පොඩ්ඩක් නුවරට ගිහින් එන්න කියලා" හෙමින් මම කිව්වේ බිම බලාගෙන.
"නුවරට? කොහෙද ටවුමටද?"
"නෑ...මේ, ඉස්පිරිතාලෙට. මගේ යාලුවෙක් ඉන්නවා ඇඩ්මිට් කරලා"
"හානේ ඇත්තද?" මොනා වෙලාද?"
"මේ..මේ...පොඩි ඇක්සිඩන්ට් එකක්" මම කටට ආපු මුල්ම බොරුව කිව්වා.
"අයියෝ...මොකද වෙලා තියෙන්නේ?"
"විස්තරයක් දන්නේ නෑ. ගිහින් බලන්න ඕන" එක බොරුවක් කිව්වම ඒක වහන්න තව බොරු කීයක් කියන්න ඕනද?
"හා හා...එහෙනම් ගිහින් එන්නකෝ. හැබැයි ඉක්මණට එන්න ඕන. දන්න්වනේ, චේතිය හෙම ආවොත් ඔයාව තනියෙම යැව්වා කියලා අපට දොස් කියයි. ඔයා කොහොමත් එයාට කෝල් කරලා කියනවනේ නේද?  මල්ලි හිටියා නම් එයාවවත් යවන්න තිබ්බා. ඔයා ඩ්‍රයිවර් සීයා එක්ක යන්න"
"අනේ ඕන නෑ අක්කා. මම බස් එකේ යන්නම්" අවසර ලැබුණට පස්සේ ඉපිලුණු හිත නිසා මට ඕන වුණේ එතනින් ඉක්මණට යා ගන්න.
"අනේ එපා එපා. සිරිදාස සීයා එක්ක යන්න"
"ඕන නෑ අක්කා. ගෙදරට උවමනාවක් වුණොත් අනුක්වත් නෑනෙ. මට බස් වල ගිහින් පුරුදුයි. මම ගිහින් ඉක්මණට එන්නම්"
උත්පලා අක්කා තව මොනාවත් කියන්න කලින් මම එතනින් දුවලා එන්න ආවේ හිතේ සැනසීමකුත් එක්ක.
"මතක් කරලා චේතියට කෝල් එකක් දීලා කියන්න යන්වා කියලා" මට ඇහුණා උත්පලා අක්කා කෑ ගහන්වා.
නුවරට ආවටම පස්සේ මම තනියෙම කොහේ හරි යන මුල්ම ගමන වුණේ භූප බලන්න යන මේ ගමන්. හිත චකිතයක් නොතිබුණාමත් නෙවෙයි. ඒත් භූපව දකින්න තිබ්බ උවමනාව ඒ සේරටම වඩා බලවත් වුණා.
මම ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ බැහැලා ත්‍රී වීල් එකක ගියේ දොලහ වෙනකොටම වාට්ටුවට යා ගන්න මට ඕන  වුණ හන්දා. මම දුවලා දුවලා වාට්ටුවට පැත්තට යද්දි මම දැක්කා භූප වාට්ටුවෙන් එලියේ, බඩු බෑග් එකකුත් ලඟ තියාගෙන පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒ ලඟම උන්නේ රනිල් අයියා. මම ඒ පාර තව ටිකක් ඒ පැත්තට පය ඉක්මණ් කලා.
"දුලාරා?" මාව දැක්ක ගමන් දෙන්නම ඇස් ලොකු කරගත්තේ එකට.
"ඔයාලා ඇයි මේ එලියේ? ටිකට් කැපුවද?" මම ඇහුවේ ඒ දෙන්නගේ පුදුමය ගණන් නොගෙන.
"ඔව්...මේ..අපි උදේ බලන්න එද්දි කිව්වා ටිකට් කපනවා කියලා. සාලිය ගියා ඩොකුමෙන්ට්ස් අරගෙන එන්න" උත්තර දුන්නේ රනිල් අයියා.
මම භූප දිහා බැලුවා. ඒ පාර පුදුම වුණේ මම. භූප උන්නේ රැවුල ගොඩක් අඩු කලා කොණ්ඩෙත් පිලිවෙලකට පීරලා. වෙනදා ඉන්න අපිලිවෙල තාලෙන් නෙවෙයි.
"මොකද..හොඳයි නේද දැන්? පිලිවෙලකට මනුස්සයෙක් වගේ ඉන්නවා නේ?" මගේ මූණ දැකපු රනිල් අයියා කිව්වේ හිනා වෙවී.
"බලන්න දුලාරා මුන් දෙන්නා මට කරපු දේ? බලෙන්ම කැපුවා. බොහොම අමාරුවෙන් මේ ට්කවත් බේරගත්තේ" තවම්ත් වත මලානික වුණත් භූප කිව්වේ සැහැල්ලුවෙන්. මම හිනා වුණා. භූප සැහැල්ලුවෙන් ඉන්න එක මගේ හිතටත් එකතු කලේ සැහැල්ලුවක්.
"මේ..මම සාලියව බලලා එන්නම්. ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ" රනිල් අයියත් ඒ පාර වාට්ටුව පැත්තට යන්න ගියා.
"වාඩි වෙන්න " භූප මට කිව්වා.
පිටිපස්සෙම බංකුවක උන්නු වයසක අන්කල් කෙනෙක් ඇරෙන්නෑඅ හරියේ සෙනග වැඩිය උන්නේ නෑ. මොකද ලෙඩ්ඩු බලන්න එන අය හිටියේ වාට්ටු අස්සේ නිසා. මම භූප ලඟම තිබ්බ පුටුවට බර වුණා.
"තනියෙමද ආවේ?" භූප මුලින්ම ඇහුවේ එහෙම.
"හ්ම්"
"ම්ම්...මම හිතුවේ නෑ ආයේම ඔයා ඒවි කියලා" භූප ඊට පස්සේ කිව්වේ වෙනතක් බලාගෙන.
"ඇයි ඒ?"
"නිකං...මට එහෙම හිතුණා"
"ඔය මම එයි කියලා බලාපොරොත්තු වුණෙත් නැද්ද?"
මම එහෙම ඇහුවම භූප ඇස් කොනකින් මා දිහාට ඉක්මණ් බැල්මක් හෙලුවා. ඒත් උත්තරයක් දෙන්න කල් ගත්තා.
"එහෙම නෑ කියන්න මට බෑ..."
භූප එහෙම කිව්වම මට සුසුමක් හෙලුණේ ඉබේට.
"ඒත් මම හිතුවේ නෑ ඔයා තනියෙම එයි කියලා...ඒක නෙවෙයි දුලාරා. ඊයේ අර ඔයා එක්ක ආපු කෙනා...එයා...චේතියගේ නෑයෙක්ලු නේද?" භූප ඒක අහපු විදියට මට හිතුණේ ඔහු ඒක අහන්නේ කොයි වෙලේද කියලා උන්නා වගේ.
"හ්ම්...ලොකු අප්පච්චිගේ පුතා"
භූප මා දිහා බැලුවා.
"ඔයාට...එයාව විශ්වාසද? ඇයි එයා මෙහෙම දේවල් කරන්නේ? රනිල්ලා මට කිව්වා එයා අපි දෙන්න ගැන ගොඩක් හොයන්වා බලන්වා කියලා"
"මට එයාව විශ්වාසයි භූප"
"ඇයි එයා මේ දේවල් කරන්නේ?"
"එයා අපි දෙන්නට වුණ දේවල් දන්නවා. මම චේතියට අකමැතියි කියලත් එයා දන්නවා...මට...මට ඔයාව අමතක කරන්න බෑ කියලත් එයා දන්නවා..."
"ඒත්...ඒ නිසාම විතරක්?" භූප එහෙම අහද්දි මම ඔහුගේ දෑස් දිහා කෙලිම බැලුවා.
"භූප...මිනිස්සු හැමෝම අපි හිතන තරම් නරක නෑ. නරක මිනිස්සු ගොඩාක් හිටියත් හොඳ එක්කෙනෙක් හරිත් ඒ අතරේ ඉන්නවා..." මම කිව්වේ දයාවෙන්.
භූප මා දිහා මොහොතක් බලා ඉඳලා ආපහු ඇස් හරවගත්තා.
"ඔයාට විශ්වාස නම්...කමක් නෑ" භූප කිව්වේ හෙමින්.
ඒ හඬේ තිබුණ අමුත්ත මොකක්ද කියලා මට තේරුණේ නෑ. ඒත් මම නොදකින, මට නොහැඟෙන දෙයක් ඔහුට හැඟුනද?
"දැන් ඉන්න තැන ඔයාට කරදරයක් නෑ නේද දුලාරා?" ටිකක් වෙලා ඉඳලා භූප ආයෙම කතාව ඇරඹුවා.
මම උන්නේ සාලියලා එයිදෝ කියලා වාට්ටුව දිහා බල බල.
"නෑ...එහෙම කරදරයක් නෑ"
"එතකොට...චේතිය?"
"චේතිය?"
"ම්...මේ...එයා හැමදාම එහේ එනවද?"
භූපහේ හඬ වෙනස් වුණ හැටි මම අහගෙන උන්නේ හිතේ දුකක් යන්නතමට ඇඳෙද්දි.
"නෑ...හැමදාම එන්නේ නෑ. සතියකට  දෙකකට සැරයක් එනවා. කෝල් කරනවා..." මම කිව්වේ ඕනවට එපාවට.
භූප සුසුමක් හෙලුවා.
"එයා....ඔයාට ...කරදර කරනවද තාමත්?"
භූප ඇහුවම මම එක පාරටම උත්තරයක් දුන්නේ නැ. ඒත් මට පුංචි හිනාවක් ගියා. උපහාසෙට වගේ.
"කරදර කලත් නැතත් ඒකට අපි දෙන්නටම කරන්න දෙයක් නෑනෙ භූප"
භූප මා දිහා බැලුවා.
"ඔය කතා කරන්නේ ඔයාගේ තරහ දුලාරා. ඔයා නෙවෙයි"
"තරහා නොගෙන ඉන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මම කැමති දේවල් මගෙන් ඈත් කරලා, අකමැති දේවල් මට බලෙන් ලං කරන්න යද්දි මම සතුටු වෙන්නද ඕන?"
"දුලාරා..."
"ඔයාට කියන්න ලේසියි භූප. ඔයාට තියෙන්නේ මම නෑ කියලා හිත හදාගන්න විතරයි. ඒත් මට? මම ඔයා නිසා කැඩිච්ච හිත හදාගන්නත් ඕන. මම මේ ලොකෙන් අකමැතිම මනුස්සයාව මගේ ජීවිතේට පිලිගන්න හිත හදාගන්නත් ඕන. ඒක කරන්න ලේසි වැඩක්ද? මම හිතන්නෑ මම මුලු ජීවිත කාලෙම උත්සාහ කලත් ඒක කරන්න පුලුවන් වේවි කියලා. ඒත් මට ඒක කරන්නම වෙනවා. ඒත් මට ඉවසන්න වෙනවා. එහෙම වෙද්දි කේන්ති ගන්නවත් මට අයිතියක් නැද්ද?"
මම කියාගෙන යද්දි භූප මා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මම එහෙම කියන්නේ නෑ දුලාරා...ඔයාගේ කේන්තිය යනකල් මට ගැහුවත් මම මුකුත් කියන්නේ නෑ. ඔයාව මේ තත්වෙට ඇදලා දැම්මේ මම. ඒකට මම වන්දි ගෙවන්න ඕන" භූප කිව්වේ කලකිරීමෙන් වගේ.
"මට ඔයාගේ වන්දි ඕන නෑ. මම තනියෙම මගේ හිත හදාගන්නම්. ඒත්...ආයෙම මේ වගේ බීලා, නාස්ති වෙන්න හදලා මම අමාරුවෙන් හදාගත්තු හිත කඩාදාන්න එපා භූප" මම කිව්වේ ආයාචනාත්මකව.
භූපගේ මූණේ ඇඳිලා තිබුණ දුක වැඩි වුණා. ඔහු අනවසරෙන්ම අත  දික් කරලා මගේ අතකින් අල්ලගත්තම මාව වෙව්ලන්න වුණා.
"මම නිසා ආයෙම ඔයාට දුකක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ දුලාරා..."
මම ඔහුගේ අත දෝතින්ම අල්ලගත්තා. ඒ අත සීතලයි.
"ඔයා මොනාද කරන්න යන්නේ?"
"බය වෙන්න එපා...මම නාස්ති වෙන්නේ නෑ. ඔයා කිව්වා වගේ මම මගේ පවුල ගැන හිතන්න ඕන. නංඟි ගැන හිතන්න ඕන. එයාට කසාදයක් කරලා දෙන්න, අම්මලව වයසට ගියාම බලාගන්න විදියක් ගැන හිතන්න ඕන. මම හිතාගේන් ඉන්නේ පොඩි studio එකක් පටන් ගන්න. ගෙවල් දිහා නෙවෙයි මේ නුවරම. Wedding photo කරන්න. ඒ එක්කම මම statr Hotels වල වයලීන් solo කරනවා. ඔය දෙක තමා කරන්න හිතේ තියෙන්නේ දැනට. photo වැඩේ නම් තාම පටන් ගත්තා විතරයි. ඒක ටිකක් දියුණු කර ගන්න මගේම තැනක් පොඩියට හරි තියෙන්නේ ඕන. බලමු...ඉස්සරහට මොනා හරි කරන්න බැරි වෙන එකක් නෑ."
භූප කියද්දි මගේ හිතේ පැතිරුණේ සැනසීමක්. මගේ නොවුණත් ඔහු මම කියන දේ අහනවනේ. ඒත් මට හිතුණා ඔහෙ මෙහෙම හෙමි හෙමින් දියුණු වෙන්න උත්සාහ කරනකොට ඒකට අත දෙන්න මටත් ලඟින් ඉන්න තිබ්බා නම් කියලා. ඒත් අන්තිමේදි ඒ සිතිවිල්ල හිතේ ඇති කලේ දුකක් විතරයි.
"මගේ මුලු හදවතින්ම මම ඒකට සුබ පතනවා..." මම කිව්වා.
භූප මා දිහා බැලුවේ ආදරෙන්. ඉස්සර වගේම.
"දුලාරා..."
"ම්ම්..."
"කවදාහරි...මොනා හරි නිසා...ඔයාට ජීවිතේ තනියක් දැනුනොත්, ඔයාට එන්න මේ අද තියෙන බැමි දවසක වැරදිලා හරි ලිහිල් වුණොත්...ඔයාට තියෙන්නේ පිටිපස්ස හැරිලා බලන්න විතරයි. මම ඔයා පස්සෙන් හැමදාම ඉන්නවා....සත්තයි..."
භූපගේ වචන ඇස් වලට කඳුලු පුරවද්දි මම ඔහුගේ අත තවත් මිරිකගත්තා.
"දැන් මට තනියි භූප...ඒත්...මේ බැමි බිඳින්න තරම් මට හයියක් නෑ..."
"මම දන්නවා ඒක..."
"ඒත් මම ඔයාට ආදරේ කරන එක වලක්වන්න මේ ලොකේ මොන බැම්මකටවත් බෑ..."
භූප නිදහස් අතින් යන්තම මගේ කම්මුලක් ස්පර්ශ කලා.
"ඒත්...ලබන අවුරුද්දේ මේ වෙද්දි මොනා වෙලා තියෙයිද?"
"මම දන්නෑ..."
"චේතිය බලාගෙන ඉන්න එකක් නෑ..."
"ඊට කලින් මම මැරෙනවා නම් හොඳයි" මම කිව්වේ එච්චර නොහිතා.
භූපට හීල්ලුනා.
"දෙයියනේ...එහෙම හිතන්නවත් එපා. මගේ ආයුෂත් අරන් මගේ මැණික ජීවත් වෙන්න ඕන..."
භූප එහෙම කිව්වම මගේ ඇස් වලට කඳුලු පිරුණා.
"මට ඔයා නැතුව ඉන්න බෑ භූප...මම දන්නෑ මම මොනා කරන්නද කියලා මේ වෙන දේවල් ගැන. හැමදේම මහා සංකීර්ණ වෙලා...ඇත්තම කිව්වොත් මම ඔහේ ඉන්නවා. වෙන දෙයක් වෙද්දෙන් කියලා" මම කිව්වා.
භූප සුසුමක් හෙලුවා ආයෙම. මම දැනං උන්නා ඔහුට කියන්න දෙයක් නැති වග. ඒ ප්‍රශ්ණෙට අපි දෙන්නා ගාවම විසඳුම් තිබ්බේ නෑ.
"ඔය ගැන අපි කතා නොකර ඉමු. වෙන දෙයක් වෙයි..." මම ඊට පස්සේ කිව්වේ භූපගෙත් හිත හැදෙන්න එක්ක.
"කල්පනා නොවෙනවා නම් කොච්චර හොඳද? ඒත් එහෙම නොවී තියෙන්නේ නෑ. හැම වෙලේකම හිතෙන එකම දේ ඔයා ඉන්න තැනක හොඳින් ඇත්ද, හිතේ කදරයක් නැතිව ඇත්ද කියලා. අපි වෙන් වුණ පලියට ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ. දුලාරා...අපි වෙන් වුණේ ඔයාව චේතියට දෙන්න මට ඕන වුණ නිසා නෙවෙයි..."
"මම ඒක දන්නවා භූප...ඒත්...අන්තිමට වෙන්නේ ඒක"
භූප ආයෙම සුසුමක් හෙලුවා. තව කොච්චර මෙහෙම සුසුම් හෙල හෙල ඉන්නද?
"දුලාරා...මට ඔයාට බොරු කියන්න බෑ. ඒ මම ඔයාට ගොඩක් ආදරේ නිසා. එදා අර වැස්ස දවසේ ඔයා යන්න ගියාට පස්සේ මට හිතාගනන් බැරි වුණා ඊලඟට මම කරන්න ඕන මොකක්ද කියලා. ඒත් මට ඒ තීරනේ වෙනස් කරන්න විදියක් තිබුණේ නෑ. මම හිතුවා ඒත් ඒ කරපු දෙයින් ගොඩක් අයට, ඔයාට හොඳක් වෙයි කියලා. ඒත් අන්තිමට වුණේ ගොඩක් අයගේ හිත් හැදිලා මම මගේ ජීවිතේ වගේ අදහපු ඔයාගේ හිත හදන්න බැරි විදියට කැඩුණ එක. මට තාමත් දරාගන්න බැරි ඒක්යි..."
"අනේ ඇයි භූප අපට මෙහෙම වුණේ?" මම ඇහුවේ ඔහුගේ වචන නිස හැඟීම්බර වුණ හිත ආයෙම ඇස් කඳුලින් පුරවද්දි.
භූප මගේ දෑස් දිහා බලාගෙන උන්නා මොහොතක්.
"ඔයා දන්නවා නේද අපි මේ කරන්නේ මහා වරදක් කියලා?" ඊට පස්සේ ඔහු ඇහුවා.
"මම දන්නෑ...මට එහෙම හිතන්න ඕන නෑ" මම කිව්වේ හිතුවක්කාර විදියට.
භූප මගේ අත මිරිකගත්තා ආයෙම.
"මට ඔයාව ඕන...දුලාරා ඔයා මගේ..."
"ඔව්..."
ඒත් අපේ ඒ ආදරණීය කතාබහට තවත් දුර යන්න ඉඩ ලැබුණේ නෑ. සාලිය අයියයි, රනිල් අයියයි කොහේදෝ ඉඳන් එවෙලේ මතු වුණ නිසා.
"භූප මචං...වැඩේ හරි...හා නංඟි. ඔයත් ආවද? අපි යං එහෙනම් නේ?" සාලිය අයියා අපි ලඟට ආවා.
භූපයි මම යි නැගිට්ටේ එකටම. මම හෙමින් ඔහුගේ අතින් අත මුදා ගත්තා.
"දැන් කොහොමද යන්නේ?" මම ඇහුවා.
"අපි දෙරණ කැබ් එකකට කතා කලා. ඒක ඇවිත් තියෙන්නේ" රනිල් අයියා කිව්වේ භූපගේ බෑග් එක ගන්න ගමන්.
"උඹලට පිස්සුද? අපට බස් එකේ යන්න තිබ්බා"
"අනේ මේ මගුලක් කතා නොකර හිටපන්. ඒක අපේ වැඩක්. උඹ ලෙඩා. උඹ ඉන්න ඕන දැන් අපි කියන විදියට. දැණ් වරෙන් යන්න" සාලිය අයියා කියද්දි මට හිනාවක් නැගුනා.
භූපට මේ වගේ හොඳ යාලුවෝ ඉන්න එකත් මොන තරම් දෙයක්ද කියලා මට හිතුණා.
ඒ දෙන්න ඉස්සරහින් යද්දි ආපහු මමයි භූපයි පස්සෙන් ඇවිදගෙන ගියේ එකට.
"දුලාරා ගෙදර ගියේ නැද්ද ලඟදි?" භූප ඇහුවා.
"යන්න වුණේ නෑ. බොඩි ගාඩ්ලා එක්ක යනවට වඩා හොඳයි මෙහාටම වෙලා ඉන්න එක" මම කිව්වේ නොරිස්සුමින්.
"බොඩි ගාඩ් කිව්වේ චේතියද?"
"වෙන කවුද"
භූපගේ වත ආයෙම මැලවුණා.
"මමත් ගෙදර ගියේ නෑ මාස ගාණකින්. අම්මා නම් තරහත් වෙලා. ඒත්...අනේ මන්දා. යන්න හිත දෙන්නේ නෑ"
භූප එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවේ දුකකින්. ඒත් මොනවා කියලා ඔහුව සනසන්නද කියලා මට තේරුණේ නෑ.
අපි වාට්ටුව තිබ්බ ගොඩනැගිල්ලෙන් එලියට බහින්න යද්දි, සාලිය අයියයි, රනිල් අයියයි ඉද්ද ගැහුවා වගේ අපට ඉස්සරහින් නතර වුණේ එක පාරටම. අපි දෙන්නා තව ටිකෙන් ඒ දෙන්නගේ හැප්පෙනවා.
"මොකෝ බං?"
භූප එහෙම අහද්දි, ඒ නැවතෙන්න හේතුව මගේ ඇස් ගැටුනේ ඇසිල්ලකින්.මම ඉන්න තැනම ගල් ගැහුණා.  
ගිනි පිටවෙන දෑසින් යුක්තව අපි දිහාට හයියෙන් හයියෙන් එමින් උන්නේ චේතිය. තව හැඩි දැඩි පිරිමි දෙන්නෙකුත් එක්ක. ‘චේතිය මෙහාට ආවේ කොහොමද?’
"දුලාරා... එහෙනම් තමුසේ මෙතන...මම හිතුවා හරි.?" චේතිය කෙලින්ම ඇවිත් නැවතුණේ මා ලඟ.
එවෙලෙම භූපයි අනික් දෙන්නයිත් මා ලඟටම ආවා.
""දුලාරා...නගිනවා ගිහින් කාර් එකට" චේතිය මට විධානය කලා.
මම අහක බලා ගත්තා. ඒ පාර චේතිය කලේ මගේ අතකින් අල්ලගත්තු එක. මම ඔහුගේ අත ගසලා දාලා භූප ලඟට වුණා.
"චේතිය...කරුණාකලාරා පැත්තකට වෙන්න. දුලාරා මා එක්ක නවතින්න මෙහේ ආවේ නෑ. එයා එයි"
"මට උඹත් එක්ක කතාවක් නෑ. දුලාරා තමුසේ එනවද නැද්ද?" චේතිය ගිගිරුවා.
ඒ පාර භූප මාව මුවාකරගෙන ඉස්සරහට වුණා.
" අයින් වෙයන්…."
"චේතිය...මෙතන ඔයා හිතනව විදියේ දෙයක් වුණේ නෑ..." එහෙම කියාගෙන ඉස්සරහට ආවේ සාලිය අයියා.
"වුණේ මොකක්ද කියලා නොපෙන්නෙන්න මම පොට්ටයෙක් නෙවෙයි. භූප හොඳ හිතින් අයින් වෙයන්. මට නිකං ගැරඬි මරලා පව් පුරවගන්න ඕන නෑ"
"අයින් නූනොත්?" භූප ඇහුවේ චේතියට රවාගෙන.
"වෙන දේවල් මම එක පාරක් සහ සුද්දෙන්ම කිව්වා. ඒවා කරලා පෙන්නන්න මට සිද්ධ කන්න එපා"
චේතිය කෑ ගහද්දි වට පිට ගිය දෙතුන් දෙනුත් අපි දිහා බල බල ගියා.
"අනේ භූප..."
"මෙහෙ වරෙන්..."මම බයෙන් භූපගේ පිටිපස්සට වෙද්දි, චේතිය දඬු අඬුවක් වගේ අතකින් මාව ඇදලා ගත්තේ රෙදි බෝනික්කෙක් වගේ. ඒ එක්කම අනෙක් අතින් භූප අල්ලගත්තා.
"අතෑරපන්..." චේතිය තර්ජනය කලා. මෙවෙලේ සාලියයි, රනිලුයි එතනට එන්න උත්සාහ කලත් චේතියගෙ චක් ගෝලයෝ දෙන්න උන්නේ ඒ දෙන්නට එන්න ඉඩ නොදී රැකගෙන.
ඊලඟට චේතිය මාව වැරෙන් ඇදලා ගද්දි භූපට මාව අතෑරුණා.
"මාව අතාරින්න..." මම කිව්වේ තදින්.
"චටාස්!!" ඊලඟ මොහොතේ චේතියගේ අතක් මගේ කම්මුල මත පතිත වුණේ මම නොහිතපු විදියට. මම පස්සට විසි වුණා.
"චේතිය..." භූප කෑ ගැහුවා.
"මම උඹට කිව්වා...ආයෙම මතක් කරන්න ඉඩ තියන්න එපා"
එහෙම කියපු චේතිය තවමත් අවසඟව වගේ උන්නු මාවත් අතකින් ඇදගෙන එන්න ආවා. චේතියගේ වාහනේ තිබුණේ ඒ අසලමයි. මාව පිටිපස්සට දාලා චේතියත් පිටිපස්සෙන්ම නැග්ගා. වාහනේ එතනින් ඇද්දුවෙ විදුලි වේගෙන්. භූපගෙ ආංශුමාත්‍රයක්වත් දැකගන්න මට වෙලාවක් වුණේ නෑ. ඉතිං මට ඇඬෙන්න වුණා. ඒ චේතිය මට ගහපු නිසා නෙවෙයි. භූප මෙහෙම දාලා එන්න මට වුණ නිසා.
"දැන් අඬනවා...තමුසේ දන්නේ එච්චරනේ"
"ඇයි මට මෙහෙම වද දෙන්නේ?" මම කෑ ගැහුවා.
"තමුසේ තමයි ඕයි මේවා විහින් කරගන්නේ. තමුසේ තමයි මාව මෙහෙම නරුමයෙක් කරන්නේ"
"ඉතිං ඇයි එහෙනම් මට යන්න නොදෙන්නේ? ඇයි මාව මෙහෙම හිර කරන්නේ?"
"තමුසෙට තේරෙන්නේ නෑ...තමුසෙට තේරෙන්නෑ. මම මේ හැම දෙයක්ම කරන්නේ තමුසේ මට ඕන නිසා"
"ඒකද මට මෙහෙම ගහන්නේ? මට රිද්දන්නේ? ඇයි මාව මරලම දාන්නේ නැත්තේ? ආ...ඇයි ඒක් ටික නොකරන්නේ?" මම ආයෙම කෑ ගැහුවා.
"නවත්තගනිං ඔය කට..."
චේතිය කිව්වේ ඇස් නපුරු කරලා මා දිහා බලන ගමන්.
විනාඩි දහයක් වත් යන්න කලින් වාහනේ නැවතුනා. චේතිය බලෙන්ම වගේ මාව බස්සගත්තේ, ඔහුගේ Antique shop එක ලඟ. මම උන්නේ තාමත් අඬමින්. චේතිය කෙලින්ම මාව ඇදගෙන shop එක ඇතුලට යද්දි එතන වැඩ කරන අය බලාගෙන උන්නේ බය වෙලා වගේ.
"shop එක පැයකට වහනවා. එලියට ගිහිල්ලා එනවලා" චේතිය විධාන කරගෙනම නැග්ගේ ඊලඟ තට්ටුවට. නැගලා ඔහු ඇතුල් වුණේ ප්‍රධාන කන්තෝරු කාමරේට වෙන්න ඕන.
"චාමලී යන්න එලියට. shop එක පැයකට වහනවා" චේතිය කිව්වේ කාමරේ උන්නු secretary ට. ඇය යන්න ගියේ බය වෙලා වගේ අපි දිහා බලමින්.
ඇය ගියාට පස්සේ මාව ඒ ලඟ තිබ්බ සැටියට තල්ලු කරපු චේතිය දොර වහලා දැම්මා. චේතිය ගැන මට කිසි දවසක බයක් නොතිබ්බත් එවෙලේ නම් මම හොඳටම බය වුණා.'මොනාද මේ කරන්න යන්නේ?'
මම බය වෙලා උන්නත් චේතිය මා ලඟට ආවේ නෑ. ඔහු කලේ තරහින්ම කාමරේ ඔබ මොබ සක්මන් කරපු එක.
"තමුසෙට මොනා කරන්නද කියලා මම දන්නෑ" චේතිය එක වෙලාවක නැවතිලා මා දිහා බලලා කිව්වා.
"මම මෙච්චර දේවල් තමුසේ වෙනුවෙන් කරලත් තමුසේ රිංගන්නම හදන්නේ අරූගේ ගාවට...යන්න හදන්නෙම ඌ ගාවට.මොකක්ද මම තමුසෙට කරපු අඩුව...කියනවා මට ඒක?" ඔහු ඇහුවේ තදින්.
"ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බෑ..." මම කිව්වේ වෙව්ලමින්.
"ආ...එහෙමද? එහෙමද කුමාරිහාමි හිතාගෙන ඉන්නේ? එතකොට දැන් අරූ ගාවට ඔය ආදරේ හොයාගෙන යන්නයි කල්පනාව ඈ? අද ගියෙත් ඒක කතා කරගන්න වෙන්න ඇති"
චේතියට ඕන එකක් හිතාගන්න කියලා මම ඔහුට ගස්සලා අහක බලාගත්තා.
"මේ අහනවා දුලාරා...මේ අහනවා..." මා ලඟට ආපු ඔහු බලෙන්ම වගේ මාගේ මූණ ඔහු දිහාට හරවගත්තා.
"මම තමුසෙට සෑහෙන chances දුන්නා. තමුසෙට හැදෙන්න, තමුසෙගේ ගෙදර අයට ආපහු දුකක් නොදෙන්න. ඒත් තමුසේ ඒවා ඔක්කෝටම පයින් ගහලා ආයෙම ගියා අරූ ලඟට. මේ ඔක්කොම වුණේ මම තමුසෙට ඕනවට වඩා බුරුල දීපු හන්දා. තමුසෙට හොඳ නැති වෙයි කියලා අර ගෙදර අයටත් මුකුත්ම නොකියපු හන්දා. ඒත් තමුසේ ඒ මගේ හිත හොඳ කම අයුතු විදියට පාවිච්චි කලා... තමුසේ හිතාගෙන ඉන්නේ මම මොකෙක් කියලද? කොන්ද පණ නැති නපුංසකයෙක් කියලද?"
මම ඔහු දිහා බලාගෙන උන්නේ රවාගෙන.
"මට ඕන නම් මේ දැන්, මෙතනදි තමුසෙට ඕන දෙයක් කරන්න පුලුවන්. තමුසෙට වෙන මිනිහෙක් එක්ක යන්න බැරි කරන්න මට පුලුවන්. ඒත් මම එච්චර බලු මිනිහෙක් නෙවෙයි. මම තමුසෙට ඇත්තටම ගොඩක් ආදරෙයි...ඒ නිසා...තමුසෙට වරදක් කරන්න මට බෑ. ඒ නිසා මෙන්න මේක හොඳට අහගන්නවා...මීට පස්සේ මොනාම හරි වැරදි දෙයක් තමුසේ අතින් වෙලා තිබුණොත්, ඒකට වන්දි ගෙවන්න වෙන්නේ අර තමුසෙගේ ප්‍රේම කුමාරයට...මට තමුසෙට රිද්දන්න බෑ...ඒත් මම ඇනේ ගහන්න ඕන තැන දන්නවා, සේරටම වදින්න..."
චේතිය එහෙම කියද්දි මගේ හිත බයකින් පිරෙන්න ගත්තා. මාව අතෑරලා ලඟ තිබුණ සේප්පුව ලඟට ගිහින් ඒක ඇරපු චේතිය ඒකෙන් එලියට ගත්තේ පිස්තෝලයක්. මගේ මුලු ඇඟම සීතල වෙලා ගියා. මම උන්නේ වෙව්ලමින් අන්තිමට.
"හොඳට මේක අහගන්නවා...මම හොඳට හොඳයි, නරකට අන්තිම නරකයි. තමුසේ මගේ ගෑණි වෙන්න ඉන්නේ, ඒ නිසා හැසිරෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙයි, දැන් හරි පරක්කු වෙලා හරි. ඉන්න ඕන විදිය මම තමුසෙට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.  හැබැයි...වැරදිලා හරි තමුසේ අරූ එක්ක දිගටම ඇයි හොඳයි පවත්වනවා කියලා දැනගත්තොත්..." එහෙම කියාගෙන චේතිය මගේ මූණ ලඟටම ආවා.
"මම ඌට යහතින් ඉන්න ඉඩ තියන්නේ නෑ..!!" මට හීල්ලුණා.
"ඉතිං ඇයි මාව ඕකෙන් ඉවරයක් නොකරන්නේ? මේ සේරම මම නිසානේ" මම කෑ ගැහුවා.
"නෑ...තමුසේ ජීවත් වෙන්න ඕන. තමුසේ වරදක් කලොත් ඒකට තමුසේ විඳවන්න ඕන. තමුසෙට මැරෙන්න බෑ"
මම බයෙන්ම ගල් ගැහුණා ඒ කතාව ඇහුවම. චේතිය මෙවෙලේ කතා කරන්නේ දෙයක් කරන්නම හිතාගේන් වග තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ. මට භූප ගැන දැනුනේ අප්‍රමාණ බයක්. මාව වෙව්ලන්න ගත්තු තරමට මට කතා කරගන්න බැරි වුණා. මම චේතිය දිහා බලාගෙන උන්නේ පිලිකුලෙන්.
"මගේ ඉවසීමේ සීමව දැන් ඉක්මවා ගිහින් තියෙන්නේ දුලාරා... හිතන්න එපා මම මේ කරන්නේ විහිලුවක් කියලා. තමුසේ එක්කෝ මම කියන්ව විදියට ඉන්නවා. නැත්තම්...දෙයක් වුණාට පස්සේ විඳවන්න හිත හදාගන්නවා..."
චේතිය එහෙම කියලා යන්න ගියේ මට හිතන්න ඉඩ දෙන්න වගේ. මට මතක් වුණේ භූප එයාගේ අනාගතේ ගැන තියෙන පුංචි බලාපොරොත්තු ගැන මට කියපු හැටි. මගේ හිතේ තියෙන බය උත්සන්න වුණේ බැරිවෙලාවත් චේතිය ආපහු ඇවිස්සුනොත් භූපගේ ජීවිතේට, ඊට පස්සේ එයාගේ ගෙදර අයට මොනවා වෙයිද කියලා හිතද්දි. දැනටමත් ගොඩාක් අයගේ හිත් රිද්දලා, ජීවිත වලට දුකක් මුහු කරලා තිබුණ මට තවත් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. ඒ නිසා චේතිය තව පැය බාගෙකට විතර පස්සේ මා ලඟට එද්දි මම උන්නේ හිත දැඩි කරගෙන.
"දැන් හිතුවා ඇතිද? තව හිතන්න ඕනද?" චේතිය ඇහුවේ නිර්දය විදියට.
"මගේ භූපට මුකුත් කරන්න එපා...මම කියන විදියකට ඉන්නම්"
අන්තිමට පරාජය බාරගන්න මම තීරණය කලා. ඒ භූප නිසා.  චේතිය හිනා වුණා මහා හයියෙන්.
"අන්න...අන්න ඇත්ත ආදරේ...එහෙම තම්යි ඉන්න ඕන. එහනම් දැන් ප්‍රශ්ණයක් නෑනෙ. තමන්ගේ සීමාව දැනගෙන ඉන්න විතරයි තියෙන්නේ"
චේතිය කිව්වා. මම උන්නෙ පිලිකුලෙන් මැඩිලා. ඒත් භූප නිසා මට කරන්න වෙන දෙයක් තිබ්බේ නෑ. මට ඔහු ලඟට යන්න බැරි වුණත්, ඔහුගේ පුංචි හීන ටික සැබෑ කරගෙන සැනසීමෙන් ජීවත් වෙන්න ඔහුට ඉඩ දෙන්න මට ඕන වුණා.

Tuesday, February 25, 2014

පනස් දෙවන කොටස



මම එනකල් මග බලාගෙන උන්නු අනුක් දැක්ක්ම හිතේ ඔහු ගැන ඉපදුනේ ලොකු ආදරයක්. ඔහු මේ සේරම කරන්නේ මට තියෙන ලෙන්ගතුකම නිසා නේද කියලා මට හිතුණා. ඒ වගේම මේ ලෝකේ වෙන කාටත් වඩා මම හිතන්නේ මොනවද, මට ඕන මොනවද කියලා දැනගෙන උන්නේ අනුක් කියලා මට හිතුණා.
"මොකෝ වුණේ?" ලඟට ආපු ගමන් අනුක් ඇහුවේ එහෙම.
"වෙනසක් වුණේ නෑ..." මම කිව්වේ සුසුමක් හෙලලා.
ඒ පාර ඔහුත් සුසුමක් හෙලුවා.
"එක දවසකින් සේරම වෙනස් කරන්න බෑනෙ දුලාරා..." ඔහු ඊට පස්සේ කිව්වා.
"කෝ සාලිය අයියලා?" මම ඇහුවේ ඒ දෙන්නා පේන්න නොහිටිය හන්දා.
"කොහේටද ගිහින් එන්න  යනවා කියලා ගියා. මම හිතන්නේ ඒ දෙන්නට ඔයාට මූණ දෙන්නත් බැරිවද කොහෙද. ඇයි කිව්වේ accident එකක් කියලනේ" අනුක් කිව්වා.
"මට තේරෙන්නේ නෑ අනුක් මොනා කරන්නද කියලා. භූප මෙහෙම විහින් නාස්ති වෙන්න හදන එක මට දරාගන්න අමාරුයි"
"අපි යන ගමන් කතා කරමු" අනුක් කිව්වා.
"මම දන්නවා භූප මෙහෙම කරන්නේ එයාගේ හිතේ තියෙන දුක නිසා වග. සමහරවිට මාව අතෑරලා එයා හරි හොඳට හිටිතා නම් හිත හදාගන්න ලේසි වෙන්නත් තිබුණා. ඒත් මෙහෙම වෙද්දි තව හිත පෑරෙනවා විතරයි" කාර් එක තිබුණ තැනට යන ගමන් මට ඇහුම්කන් දීගෙන ආපු අනුක්ට මම කිව්වා.
"ඒක ඇත්ත. එද්දි මමත් දැනගෙන හිටියේ නෑනෙ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මට කිව්වෙත් accident කියලා. බලාගෙන යද්දි මම හිතුවට වඩා තත්වේ හරි වෙනස්" අනුක් කිව්වා.
"ඒ කිව්වේ?" මම ඇහුවම අනුක් මා දිහා බැලුවා.
"seriously මම බලාපොරොත්තු වුනේ නෑ භූප මෙහෙමයි කියලා. ඔයාලගේ affair එක එයා නැවැත්තුවා කිව්වම මම හිතුවේ නෑ එයා මේ තරම් serious ඒක අරගෙන ඇති කියලා" අනුක් කිව්වාම හිතේ දුක වැඩි වුණා.
"මටත් හිතාගන්න බෑ අනුක්. එයා ඇයි දවස් දෙකක්ම නොකා නොබී ඉඳලා තියෙන්නේ? ඇයි එහෙම බීලා තියෙන්නේ? හිතාගන්න බෑ එක පාරටම එහෙම කලේ ඇයි කියලා" මම කිව්වා.
"ම්ම්...ගිය සතියේ අර Senet එක ලඟදි හම්බවුණා කිව්වා නේද? එදා ඔය දෙන්න රණ්ඩුවත් වුණාද? ඔන්න මොකක්ද එහෙම කතාවක් රනිල් අයියා කිව්වා" අනුක් මට අමතක වෙලා තිබුණ සිද්ධියක් මතක් කලා.
"රණ්ඩුවක්?...නෑ..ම්ම්...හැබැයි....අනේ අනුක්….. මම එදා කිව්වා මම චේතියව මැරි කරන්න යනවා කියලා ලබන අවුරුද්දේ. මම ඒක කිව්වේ එහෙම වෙනවට නෙවෙයි...ඒක..."
"භූපට රිද්දන්න ඕන නිසා...නේද?" මම ගොත ගහද්දි අනුක් ඇහුවා.
මම ඔහු දිහා බැලුවේ දෑස් ආයෙම කඳුලු පුරද්දි.
"මම දන්නෑ අනුක්...එවෙලේ මට මොනා වුණාද කියලා. භූප හිටපු විදියට මට තරහා ගියා වෙන්නත් ඇති...අනේ එතකොට මේ සේරම වුණේ ඒ නිසාද? දෙයියනේ….”
මම නිසා භූප මෙහෙම දෙයක් කරගත්තද කියලා හිතද්දි මට දැනුන දුක මෙච්චරයි කියන්න බෑ. ආපහු වාට්ටුවට දුවලා ගිහින් භූපගෙන් සමාව ඉල්ලන්න තරම් ආවේගයක් මට දැනුනා.
"දුලාරා...come down. ඉතිං ඔහොම කලබල වෙන්න එපා... වෙච්ච දේවල් වලට දැන් කරන්න දෙයක් නෑනෙ. ඔයා කලබල වෙන එකෙන් වෙන්නේ තවත් ඔයාගෙම හිත වුල් වෙන එකයි. මේ අහන්න...භූපට ඉක්මණට සනීප වෙයි. මම අර සම්පත් අයියා ට කියලා භූපගේ records බැලුවා. එහෙම ලොකු issue එකක් නෑ. බය වෙන්න කිසි දෙයක් නෑ" අනුක් කිව්වේ මාව අස්වසන්න.
"ඒ වුණත් භූප අප්සට් ගියේ මම කියපු කතාව නිසා නම්...? "
"ඔය ඉතිං...මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නේ ඔයාට මුකුත් නොකියා මම විතරක්ම ආවා නම් ඉවරයි කියලා"
මේ වෙනකොට අපි උන්නේ කාර් එක ලඟට ඇවිත්. මම ඔහු දිහා බලාගෙන ඉන්න තැන නැවතුණා. අනුක් හැරිලා බැලුවා.
"එහෙම කියන්න එපා. ඔයා දන්නෑ ඔයා මේ කරපු දේ මට කොච්චර වටිනවද කියලා. මම කවදාවත් හිතුවේ නෑ ආයෙම මට භූප එක්ක මෙහෙමවත් කතා කරන්න ලැබෙයි කියලා. ඒත් ඔයා නිසා ඒක මට කරන්න පුලුවන් වුණා. සත්තයි අනුක් ඔයාට මම ණයගැතියි. මම වෙනුවෙන් කරන මේ හැම දේකටම. ඔයා චේතියගේ කෙනෙක් වෙලත් අපි ගැන හැමදේම දැනගෙනත්, මට මෙහෙම උදව් කරන එකම කොච්චර ලොකු දෙයක්ද? ඒ හැම දේකටම ඔයාට ගොඩක් පිං. මේ ජීවිතෙත්, උපදින හැම ආත්මෙකමත් ඔයාට කවදාවක් ආදරෙන් අඩුවක් වෙන එකක් නෑ. ආදරේ නිසා ජීවිතේට දුකක් උරුම වෙන එකක් නෑ...ඔයා කරන්නේ ඒ තරම් ලොකු පිනක්..." මම කිව්වේ හැඟීම්බරව.
අනුක් මා දිහා බලාගෙන උන්නෙත් හැඟීම්බරව.
"පිස්සු කෙල්ල...ඔච්චර පින් අනුමෝදන් කරන්න දෙයක් මම කලාද? හා දැන් නගින්නකෝ..."
"මේක ලොකු පිනක් තමයි" මම කාර් එකට නගින ගමන් කිව්වා. "භූප මොනා කිව්වත්, මගේ හිතට පොඩි සැනසීමක් දැනෙනවා අනුක්...මම දන්නවා එයා තාමත් මට ආදරෙයි කියලා...එයා කරගත්තු දේවල් ගැන හිතේ දුකක් තිබ්බත්, එයා තවමත් මට ආදරෙයි කියලා දැනගත්තම හිතේ තිබුණ ලොකු තුවාලයක් සනීප වෙලා වගෙයි මට දැනෙන්නේ" මම කිව්වා.
අනුක් යන්තම් මා දිහා බලලා වාහනේ හෙමින් පාරට දැම්මා.
"එහෙනම් ඒ ඇති.. ඉතිං මට කියන්නේකෝ භූප මොකද කිව්වේ කියලා..."
ගෙදරට එනකල්ම වගේ මම අනුක්ට භූප කියපු කරපු දේවල් ගැන කිය කිය ආවා. අනුක් ඒ හැමදෙයක්ම සාවධානව අහගෙන උන්නා.
"ඔය කියන විදියට භූප ඔයාට ආදරේ නම්, ඇයි එයා මේක නවත්තමු කිව්වේ? මට හිතෙනවා දුලාරා අපිට පේනවට වඩා මොකක් හරි හැංගිච්ච වෙන හේතුවක් තියෙනවා කියලා මේ භූපගෙ තීරණේට හේතු වුණ" අනුක් අන්තිමට කිව්වේ කල්පනාකාරීව.
"හේතුව එයා අපෙයි, එයාගෙයි ගෙවල් දෙක ගැනම හිතන එක. එයාගෙයි අපේ අයියගෙයි යාලුවකම ගැන හිතන එක. ඒ අය අකමැති වෙලා අපි එකට ඉන්න එක ඒ අයට කරන වරදක් කියලයි භූප හිතන්නේ. ඒකයි. වෙන මොකක්ද?" මම කිව්වා.
"හ්ම්...සමහරවිට වෙන්න ඇති..." අනුක් එහෙම කිව්වත්, තාමත් උන්නේ කල්පනාකරමින්.
මම ඒ ගැන ලොකුවට අවධානය යොමු කරන්න ගියේ නෑ. මට ඕන වුණේ ඉක්මණට ගෙදරට ගිහින් කාමරේට වැදිලා තනි වෙන්න. තනිවෙලා අද වුණ දේවල් ආපහු මෙනෙහි කරන්න. භූපගේ ඇස්...ඒ කතා බස්...ඒ වචන... ඒවයේ තිබ්බ ආදරේ... ආයෙම මතක් කරලා සැනසෙන්න මට ඕන වුණා.

***
 "කෝ ලතා අම්මා අනුක්?"
හවස තේ බොන වෙලේ මම අනුක්ව හැම තැනම හෙව්වත්, ඔහු ගෙදර කොහෙවත් උන්නේ නෑ.
උත්පලා අක්කයි, ගෝතමී අක්කයි සාරී වගයක් තෝරන්න නුවරට ගිහින් උන්නු නිසා ගෙදර හිටියේ මායි යශෝ අක්කයි විතරයි.
"කොහේ ගිහින්ද මන්දා" මම කිව්වේ අනුක්ගේ තේ එක ආයෙම මේසේ උඩ තියන ගමන්.
"ඔය කොහේ හරි ඇති. එක්කෝ එලියේ වෙන්න ඇති" එහෙම කිව්වේ මේසේ ලඟ වාඩිවෙලා මොකක්දෝ සඟරාවක් කියවමින් උන්නු යශෝ අක්කා.
ඒ පාර මම එලියට බැස්සේ අනුක් ඒ ලඟ පාතකම ඉන්නවා ඇත්ද කියලා බලන්න. මිදුලේ අනුක්ගේ කාර් එක සෝදමින් උන්නු සිරිදාස සීයා මට හිනාවක් පෑවා.
"පොඩි නෝනේ"
"සීයා අනුක්ව හෙම දැක්කද?" මම ඇහුවේ නිකමට.
"අනුක් බේබි මේ දැන් දැන් අර වත්ත පහලට යනවා මම දැක්කා" සීය කිව්වම මම ටිකක් පුදුමත් වුණා.
"වත්ත පහලට?"
"ලොකු මැණිකෙගේ සොහොන දිහාට ගියා වෙන්න ඕන. මහත්තයා කොහොමත් නිතර එතනට යන්වා එනවා නේ නෝනේ"
සිරිදාස එහෙම කිව්වම මම දෙපාරක් නොහිතා ඒ පෙන්නපු දිහාට යන්න ආවා. අනුකේ අම්මව මිහිදන් කරලා තිබුණේ මේ ඉඩමෙමයි කියලා මම දැනගෙන උන්නේ නෑ.
වත්තේ අනික් හරිය කෙසේ වෙතත්, වත්ත කෙලවරටම වෙන්න තිබුණ පවුලේ සුසාන භූමියට යන හරිය නම් පිලිවෙලකට සුද්ද කරලා තිබුණා. ඒ නිසා අනුක් ගිය දිහා හොයා ගන්න මට අමරු වුණේ නෑ. කිරිගරුඬ සොහොන් ගෙවල් දෙකක් මැද්දේ කරවපු තවත් පොඩි සොහොන් ගැබක් ලඟ දනගහගෙන හිස නවාගෙන උන්නු අනුක්ව මම ඈත තියාම දැක්කා. හිතේ ඔහු ගැන උපන්නේ සංතාපයක්. මම හඬක් නොනගාම එතනට ගියේ ඔහුට බාධා කරන්න ඕන නැති නිසා. ඒත් ඔහුට මම ආපු වග දැනිලදෝ මම එතනට යද්දිම හිස හරවලා ඔහු මා දිහා බැලුවා.
"දුලාරා...ඔයා මෙතන?"
ඔහු අහද්දි මම බලාගෙන උන්නේ ඔහුගේ දුකෙන් මැලවුණ මූණ දිහායි, මදක් රතු වුණ ඇස් දිහායි.
"ඔයා ඇයි මෙතන අනුක්?" මම උත්තරයක් නොදීම ඇහුවා.
අනුක් ආපහු සොහින් ගැබ දිහාට හැරුණා.
"මම නිතරම මෙතන එනවා දුලාරා...අම්මව මතක් වුණාම" ඔහු කිව්වේ හෙමින්.
මමත් නැවිලා ඔහු අසලින්ම ඇණතියාගත්තා.
"ඔයාට අම්මව ගොඩක් මතක් වෙනවද?" මම ඇහුවේ වෙන කියන්න දෙයක් නැති නිසා.
"ගොඩ වෙලාවට" අනුක් කිව්වා.
ඔහුගේ නහය තිබුණේ බර වෙලා වගේ. මට හිතුණා ඔහු මෙතනදි හැඟීම්බර වෙන්න ඇති කියලා.
"මම ඔයාව ගෙදර හැම තැනම හෙව්වා තේ බොන්න. බැරිම තැන එලියේ හොයන්න ආවමයි දැනගත්තේ ඔයා මෙතනට ආව වග"
"ඔයා ආපු එක හොඳයි...කොහොමත් මම වෙලාවක ඔයාව මෙතනට එක්ක එන්න හිටියේ" අනුක් කිව්වා.
අනුක් කියන දේ අහගෙනම මම දෑස් යොමු කලේ සොහොන් ඵලකය දිහාවට. වැස්සට සේදිලා නිසාදෝ සුදු කිරි ගරුඬ ඵලකය තිබුණේ යාන්තම් කහ ගැහිලා. අනුක් ආයෙම මුකුත් කිව්වේ නැහැ. අපි එහෙමම තව මොහොතක් උන්නා.
"ම්ම්...ඔයාට තනියෙම තව ඉන්න ඕන නම් මම උඩහට යන්නද?" මම ඇහුවේ ඔහු කතා නොකරපුම තැන. අනුක් මා දිහා හිස හරවලා බැලුවා. අපේ ඇස් හමු වුණා නොහිතපු විදියට.
ඒ යනන්තම් රත්පැහැ වුණ ඇස් වල තිබුණේ මොකදෝ ආයාචනයක් කියලා මට හිතුණා. ඒ එක්කම වෙනදා නොදැකපු විදියේ ඒත් මට තේරුම් ගන්න බැරි විදියේ හැඟීමකුත් ඒ බැල්මේ තිබුණා.
"එපා.." අනුක් කිව්වේ එච්චරයි.
ඒ ඇස් වල බැල්ම නිසා මට දැනුනේ අපහසුතාවයක්. මම ඉවත බලාගත්තේ ඒකයි.
"මට හිතෙනවා ඔයා මොකක්දෝ ප්‍රශ්ණයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා" මම ඊට පස්සේ කිව්වේ ඇත්තටම මගේ හිතට දැනෙමින් තිබුණ දේ.
"ඇයි?"
"මන්දා. මට එහෙම හිතුණා. මිනිස්සුට ගොඩ වෙලාවට තමන් ගොඩක් ආදරේ කරපු අය මතක් වෙන්නේ, ඒ අයව ඕන වෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් වෙලා හිත රිදුනම. මම ඒක හොඳටම දන්නවා. ඒකයි මම එහෙම ඇහුවේ….අනුක්..." මම එහෙම කියලා ආපහු  ඔහු දිහාට හැරුණම ඔහු මා දිහා බැලුවේ නෑ.
"මොනා හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට කියන්න. හිතේ තියාගෙන ඉන්න එපා...සමහරවිට මට විසඳුමක් දෙන්න බැරි වෙයි. ඒත් මට අහගෙන ඉන්න පුලුවන්. ඔයා ඔහොම දුකෙන් වගේ ඉද්දි, මටත් හිතට හරි නෑ. මොකක් හරි දුකක් තියෙනවා නම් ඒක බෙදාගත්තම අඩු වෙනවා. ඒක මට අත්දැකීමෙන්ම කියලා දුන්නේ ඔයාමයි" මම ඔහුට කිව්වේ දයාබරව.
“ප්‍රශ්ණයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ දුලාරා" මා දිහා දයාබරව බලපු අනුක් එහෙම කිව්වේ ආයෙම ඈතක නෙතු රඳවන ගමන්.
"ඒ කිව්වේ?"
මම එහෙම ඇහුවම අනුක් මා දිහාට ඉක්මණ බැල්මක් හෙලලා ආයෙම අහම බලාගත්තා.
"ඔයා අහන්නෙම උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ"
"ප්‍රශ්ණේ පේෂලී ගැනද?" ඒ පාර මම අහුක්ගේ ප්‍රශ්ණේ අනුමාන කරන්න උත්සාහ කරමින් ඇහුවා.
"පේෂලී? එයා කොහෙන්ද මෙතනට ගෑවුණේ?"
"ඇයි?"
"දුලාරා...for the last time. පේෂලී මගේ ගර්ල් නෙවෙයි. මගේ හිතේ එයා ගැන මොනවත්ම එහෙම අදහසක් නෑ"
අනුක් එහෙම කිව්වම මම පුදුම වුණා.
"එහෙම එකක් නෑ. එතකොට...කවුද මේ ඔයාගේ හිත රිද්දපු කෙල්ල?" මම ඇහුවා.
අනුක් ඒ පාර මා දිහා බැලුවේ ඇස් දෙකත් roll කරන ගමන්.
"එහෙම මොනවත් නෑ දුලාරා"
"මට කියන්න බැරි කෙනෙක්ද?" මම ආයෙම ඇහුවා.
අනුක් ඒ පාර අහක බලාගත්තා.
"ඔව්"
"එහෙනම් මම අහන්නේ නෑ" මම කිව්වා.
 "දුලාරා...පිස්සු දේවල් හිතන්න එපා. එහෙම මොකවත් නෑ. හිතේ තියෙන එකම දුක අම්මා අද මා ලඟ නැති එක විතරයි" අනුක් කිව්වා.
මගේ හිත උඩට කලු ගලක් පතිත වුණා වගේ, එකපාරටම හිත ලොකු අනුකම්පාවකිනුයි, දුකකිනුයි පිරුණා. තමන්ගේ දණහිස උඩ තියාගෙන උන්නු අනුක්ගේ අතක් උඩින් මම අත තිබ්බේ දෙපාරක් නොහිතා. අනුක් ඒ පාර නම් මා දිහා මුළු මූණම හරවලා බැලුවා.
"ඔයා තනි වෙලා නෑනෙ. දුක හිතන්නේ ඇයි? ඔයාට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. නෑයෝ ගොඩාරියක් ඉන්නවා. මම ඉන්නවා....මගේ හැම දුකකදිම මා එක්ක උන්නු ඔයාට, ඔයාගේ හැම දේකදිම මාත් ඉන්නවා කියලා මතක තියා ගන්න අනුක්..."
මම කියද්දි අනුක් මා දිහාම බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"ඔයා තරම් මාව වෙන කවුරුවත් තේරුම් අරන් නෑ. මම දන්නෑ කොහොමද එහෙම වුණේ කියලා. ඒත් ඒක තමයි ඇත්ත...මගේ හිත හදන්න ඔයා ගන්න මහන්සියට මම මුලු ජීවිතකාලෙම ඔයාට ණයගැතියි. මම අද මෙහෙමවත් ඉන්නේ ඔයා නිසා. ඒ නැතත්, ඔයාගේ හොඳ හිතම ඇති අනුක් මට. ඔයාවත් නොහිටින්න මට මෙලහකට පිස්සු හැදිලා. එච්චර එහෙම කරපු ඔයාට හිතේ දුක් පුරෝගෙන තනිවෙන්න දෙන්න බෑ මට. මම එහෙම වෙන්න දෙන්නේ නෑ"
මම කිව්වේ හදවතින්ම. අනුක් ගැන මගේ හිතේ තිබුණේ මහ පුදුමාකාර බැඳීමක්. ඒක මොකක්ද කියලා පහදන්න වත්, තේරුම් ගන්නවත් මට බැරි වුණත්, මම දැනගෙන හිටිය එකම දේ අනුක් මගේ ජීවිතේ එක්ක මුහු වෙලා ඉවරයි කියන එක විතරයි. වෙන් කරන්න බැරි තරමටම..
ලෙන්ගතුකම දෝරේ ගලන බැල්මකින් මා දිහා බලපු අනුක් හිනාවුණා, ඒත් ඒ හිනාව ඇතුලේ තිබුණේ මොකක්දෝ වේදනාවක් කියලා මට හිතුණා.
"අපි යමු"