"මම කිව්වනේ ප්‍රියන්ති disturb...." රවීන් අයුමි දිහාට හැරුණේ එහෙම කියාගෙන. ඒත් ඔහුගේ වචන අතරමග නැවතුණා ඈව දැක්කම.
"අයුමි..." කලබලේට අතේ තිබුණ සිගරට් එක ජනේලෙන් එහා පැත්තට දාලා රවීන් මේසේ දිහාට එන්න ආවේ පුදුමෙන් වගේ ඈ දිහා බලාගෙන.
"සොරි මිස්ටර් රවීන්, මම කෝල් එකක් නොදී ආවට" ඈ කිව්වා සාමාන්‍ය විදියට, ඒත් ඔහු දිහා නොබලා.
"කමක් නෑ. මොකක්ද කාරණේ?" රවීන් කිව්වේ තමන්ගේ පුටුවට බරවෙන ගමන්.
ඒ පාර අයුමි ආපු කාරණේ කෙටියෙන් ඔහුට දැනුම් දුන්නා.
"ආ...හරි. මම ඉන්නවා කියලා දාගන්නකෝ. එයා එන වෙලාව confirm කරගන්න හතරහමාරද, පහද කියලා"
"හොඳයි"
"වෙන මොනාද?" රවීන් ඇහුවේ ඈ දිහා බලලා.
"එච්චරයි...අද උදේ වරුවේ මම pending වැඩ ටික කරන්න ගත්තා. හෙට හවස් වෙද්දි ඔක්කොම update කරගන්න පුලුවන් වෙයි" අයුමි කිව්වා.
"ම්ම්...ok"
"එච්චරයි දැනට. එහෙනම් හවස meeting එක එහෙම arrange කරන්නම්"
අයුමි agenda එකේ print out එක මේසේ මතින් තියලා
එන්න ලෑස්ති වුණා එතනින්. රවීන් පුටුවෙන් නැගිට්ටේ ඒ එක්කමයි.
"පොඩ්ඩක් ඉන්න..." රවීන් කිව්වේ ඈ දිහාට එන
ගමන්.
අයුමි නැවතුනා යන්ත්‍රානුසාරයෙන් වගේ. සාමාන්‍ය
තත්වෙට එමින් තිබුණ හදගැස්ම ආයෙම වැඩි වුණා. තමන් ලඟට ඇවිත් නැවතුන රවීන් දිහා එක
පාරක් බලලා ඈ බිම බලාගත්තා.
"අයුමි..." අයුමිගේ හිත ආයෙම නැවතුනා වගේ දැනුනා ඒ හඬ
ඇහෙද්දි. ඈ උත්සාහ කලේ හිතේ ඒ තිගැස්ම ඔහුට නොපෙන්වා ඉන්න.
"ඔව් මිස්ටර් රවීන්" අයුමි සාමාන්‍ය විදියට කතා කරන්න උත්සාහ කලා.
ඒත් රවීන් මුකුත්ම කිව්වේ නෑ එක පාරටම. ඔහු
ලොකු හුස්මක් අරන් ඈ දිහා බලපු හැටි ඈ දැක්කා.
"ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔහු ඇහුවේ එහෙම.
"ඇයි මිස්ටර් රවීන් එහෙම අහන්නේ?" අයුමි ඇහුවේ ඔහු දිහා යන්තම් බලන ගමන්.
"ඔයා වෙනස්...ගෙදර ඉඳන් මට කතා කරපු අයුමි නෙවෙයි
ඔයා අද" රවීන් කිව්වේ පොඩි එකෙක් වගේ.
අයුමි ඔහු දිහා බැලුවේ මොනා කියන්නද කියලා
හිතාගන්න බැරිව.
"ඇයි ඒ?" රවීන්
ඇහුවේ හෙමින්, දයාබරව.
අයුමිට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ. ඒ හන්දා ඈ බිම බලාගත්වනම
උන්නා. රවීන් ඈ දිහා බලාගෙන ඉන්න ඇති විනාඩියක්
විතරම. ඒත් ඇගෙන් උත්තරයක් නොලැබුණාම ඔහු ආයෙම සුසුමක් හෙලා ඉවත බලාගත්තා.
"Have I done anything wrong?” රවීන් ඇහුවා.
"නෑ..."
"එහෙනම් ඇයි මෙහෙම හැසිරෙන්නේ?" රවීන් ඇහුවා.
අයුමි ඔහු දිහා බැලුවේ දයාවෙන්.
"මම කොහොමද හැසිරෙන්න ඕන?" අයුමි ඇහුවා.
රවීන් ඈ දිහා බලාගෙන උන්නේ ඒ කිව්ව එක
නොතේරුණා වගේ.
"ඔෆිස් එකේදි මම වෙන කොහොමද හැසිරෙන්න ඕන?"අයුමි ඇහුවේ ආයාචනාත්මකව.
රවීන් ආයෙම නිහඬ වුණා. අයුමිට දරන්න බැරි වුණේ ඒ
නිහඬ බව.
"මම දන්නෑ අයුමි...කවදාවත් මීට කලින් මම...මට
මෙහෙම වෙලා නැහැ. ඔෆිස් එකේ මගේ ස්ටාෆ් එකේ කිසිම කෙනෙක් එක්ක මේ විදියේ දෙයක්
වෙලා නෑ. මම ඒ වගේ දේවල් තදින්ම avoid කරපු
කෙනෙක්. මම දන්නෑ මට මොනා වෙලාද කියලා" රවීන් කිව්වේ කලකිරීමෙන් වගේ.
අයුමිගේ හිත රිදුනා. ඇත්තටම හුඟක්. ඒත් ඈට
යථාර්ථයට එරෙහි වෙන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. කරන්න ඕන වුණේ දේ හැඟීම් වලට වහල්
වෙන එක නෙවෙයි කියලා ඈ හිතුවේ රවීන්ගේ ප්‍රතිපත්ති ගැනත් හිතලා.
"මිස්ටර් රවීන්...ඒ කිසි දෙයක් වෙනස් කරන්න වෙලා
නෑ නේද? එහෙම හිතන්න එපා ප්ලීස්. හිතට එකඟ නැති දේවල්
කරන්න එපා. පහුගිය දවස් වල වුණ දේවල් මා එක්ක තිබුණාවේ. මිස්ටර් රවීන් ඒ ගැන
හිතන්න ඕන නෑ. ඒ කිසි දෙයක් මගෙන් පිට යන්නේ නෑ කවදාවත්" අයුමි කිව්වේ හිත
තදකරගෙන.
ඒ පාර රවීන් ඈ දිහා බලලා ඈ අසලට ආවා. අයුමි
ඔහුගෙන් ඈතට නොයා උන්නේ ආයාසයෙන්. ඈ බය වුණා ඒත්, හිත
ඔහු ඉස්සරහදි කඩා වැටේවි කියලා.
"මම ඒක දන්නවා..." රවීන් කිව්වේ අයුමිට සමීප
වෙලා.
"හිතට එකඟව කරන්න බැරි එකම දෙයයි තියෙන්නේ අයුමි. ඒ මොකක්ද කියලා ඔයා දන්නවා.. මම වැරදි ඇති. මම මහා හුඟක්
වැරදි ඇති. ඒත්...මේ දැනෙන දේවල්, හැඟෙන දේවල්
වැටක් ගහලා මට නවත්තගන්න බෑ. ඔයාට තේරෙනවද?" රවීන්
ඇහුවේ ඔහු දිහා බලාගෙන ගල් වෙලා උන්නු අයුමිගේ ඇස් වලට එබිලා.
අයුමි ගල් වෙලා උන්නත් ඇගේ හිතේ තිබ්බේ
කුණාටුවක්. නොසන්සුන්කම, කැලඹිල්ල, බය...
මේ හැමදේකම සම්මිශ්‍රණයක්.
"ඒත්...ඔයාට ඕන නම් විතරක් ඒක, මගේ හිතේම තියාගන්න මට පුලුවන්" රවීන් ඊලඟට
කිව්වා.
අයුමි ඒකට මුකුත් කිව්වේ නෑ. ඒත් හැඟීම් වල දැඩි
කමට ඇගේ දෑස්වල කඳුලු පටලයක් බැඳුණා.
"ඔයාට ඕන මොකක්ද? මට
කියන්න අයුමි..." රවීන් මිමිණුවා.
අයුමි හිස වැනුවේ මොනා කරන්නද කියලා හිතාගන්න
බැරිව. මේ ප්‍රශ්ණේ මෙහෙම, අද මේ විදියට ඒවි කියලා ඈ බලාපොරොත්තු වුණේ නෑ. ඈ
අසරණව වගේ රවීන් දිහා බලාගෙන ඉද්දි, දෙන්නගෙම
දැහැන බිඳුණේ රවීන්ගේ දොරට ආයෙම කවුදෝ තට්ටු කරපු හඬට. අයුමි ඉක්මණින් ඔහු අසලින්
මෑත් වෙන්න හැදුවත්, ඔහු ඇගේ අතකින් අල්ලගත්තේ ඈව තවත් බය කරමින්.
ඊලඟට ඔහු අල්ලගෙන උන්නු අයුමිගේ අත ඔහුගේ පපුව
අසලටම ලං කරගෙන ඈ දිහා බැලුවා. අයුමිට ඔහුව පෙනුනේ බොඳ වෙලා. තප්පරයක්වත් යන්න
කලින් ආපහු ඇගේ අත තිබුණේ ඈ ලඟ. රවීන් ඈ දිහා බලාගෙන උන්නේ කියාගන්න බැරි හැඟීම් ගොඩක් ඒ බැල්මේ රඳවගෙන.
ඉක්මණින් ඇස් පිහගත්තු අයුමි කාමරේ ආපහු එන්න ආවේ,
ඔහු දිහා නොබලා. ඒ ඇස් ඒ තරම්ම ඈව සසල කරපු
හන්දා. ඈ දොර ඇරියම දොර ලඟ උන්නේ රවීන්ගේ ඩ්‍රයිවර්.
"මහත්තයා එන්න කිව්වා" අයුමි එහෙම කියාගෙන
මුකුත් නූන ගාණට එතනින් එන්න ආවා.
ඒ පිම්මෙම ඇවිත් කාමරේට වැදුනාමයි ඈට සැනසුම්
සුසුමක් හෙලුණේ. කවමදාවත් පිට පිරිමි කෙනෙක් එක්ක ඒ තරම් සමීපභාවයක් ඇති වෙලා නොතිබ්බ නිසාදෝ ඈ උන්නේ නොසන්සුන් වෙලා. රවීන් අල්ලගෙන උන්නු සුරත තාමත් දැවෙනවා වගෙයි ඈට දැනුනේ. තිගැස්සුණ පාරට වැඩි වුණ හදගැස්ම තවමත් අඩුවෙලා
තිබුණේ නෑ. ඈ දැනං හිටියේ නෑ රවීන්ගේ හිතේ තමන් ගැන තිබුණේ
මොනවගේ හැඟීම්ද කියලා හරියටම. ඒ නිසාමදෝ අයුමිගේ හිතේ තිබ්බේ මොකක්දෝ
අවිනිශ්චිතභාවයක් එක්ක වෙලිච්ච හැඟීම් සංකීර්ණයක්. වුණ දේවල් මතක් වෙද්දි අයුමිගේ
නොසන්සුන්භාවය වැඩි වුණා, ඒත්රවීන් ගැන තිබ්බ් සෙනෙහස තව ලියලන එක වලක්වගන්න
ඈට පුලුවන් වුණේ නෑ.
අයුමි හවස් වරුවම ගත කලේ නොසන්සුන් වෙලා.
ඒක එහෙම වෙද්දි වැඩ කරන එකවත්,
වැඩ කරන්න හිත එකඟ කරගන්න එකවත් ලේසි වුණේ නෑ.
රවීන්ව හම්බවුණ වෙලේ ඉඳලා,
මීටින් එක වෙලාව එකකල්ම කිසිම වැඩක් කෙරුණේ නෑ වගේ ඈට දැනුනේ.
එක වෙලාවක ඈ හිතුවා ඇත්තටම මම මේ මොකක්ද කරන්නේ?"
කියලත්.
"අයුමි...conference room එකේ projector
එක arrange
කලා, Lap එක අරන් එනවද?"
ඈ කල්පනාවේ ඉද්දිමයි අස්මි කතා කලේ.
කල්පනාව පිටම අයුමි conference
room එකට ගියේ,
රවීන් ඉද්දි නොසන්සුන් නොවී presentation
එක කරගන්න පුලුවන් වෙයිද කියලා හිත හිත.
ඈ යද්දි අස්මි එක්ක රවීනුත් උන්නේ ඇතුලේ.
අයුමිට දැනුනා දෙකන් පෙති රත් වෙලා,
හදගැස්ම වැඩි වෙනවා.
රවීන් ඈ එන දිහා බැලුවේ ඇස් කොනකින්.
"මම ඊයේ සමින්දට අන්තිමට modify කරපු design එක දුන්නා අයුමි ඔයා ඒක ගත්තා නේද?"
අස්මි ලැප් ටොප් එක සම්බන්ධ කරන අතරේ රවීන් ඇහුවා.
"ඔව්"
අයුමි කිව්වේ ඔහු දිහා නොබලා.
"මේක හරි සර්...anything else?" අස්මි ඇහුවා රවීන්ගෙන්.
"No.
no. thank you Asmir. Please ask Saminda to come with Adam"
අයුමි බය වුණ විදිහටම රවීන් අස්මිව එලියට යැව්වා.
අයුමිට රවීන් එක්ක තනි වෙන්න ඕන නූනා නෙවෙයි,
ඒත් ඔෆිස් එකේදි අනවශ්‍ය ප්රශ්ණ ඇති වෙයි කියන බය ඊට වඩා ප්‍රබල වුණා.
"මගේ දිහා බලන්නේ නැද්ද?" රවීන් අස්මි ගියාට පස්සේ ඇහුවේ අයුමි laptop
එකේම මූණ ඔබාගෙන උන්නු නිසා.
රවීන් උන්නේ ඈට ඉස්සරහින් වාඩි වෙලා.
අයුමි ඇස් උස්සලා රවීන් දිහා බැලුවේ ඒ
වචන හිතේ පතුලටම දැනෙද්දි. රවීන් ඈ දිහා බලලා හිනාවක් පෑවා. අයුමිත් ඔහුට පෙරලා හිනාවක්
පෑවා. රවීන්ගේ දෑස්වල තිබුණ මත් ගතියක් මුසු හැඟීම්, ඇගේ හිත බර කලා.
"ඉස්සෙල්ලා ඇයි ඇස් වල කඳුලු පුරෝගත්තේ?"
රවීන් ඇහුවේ හුඟාක්ම දයාබරව.
අයුමි බිම බැලුවා. "මං
දන්නෑ"
"මම ඔයාව බය කලාද?"
රවීන් ඇහුවේ මුදුවට.
අයුමි සුසුමක් හෙලුවා උත්තරයක් දෙන්න කලින්.
"නෑ..."
"එහෙනං?"
"මුකුත් නෑ"
අයුමි කිව්වා.
" එහෙනම් අඬන්න ලෑස්ති වුණේ? " රවීන් කිව්වම අයුමි ඔහු දිහා බැලුවා.
"මට තාම වෙච්ච දේවල් හිතාගන්න බෑ මිස්ටර් රවීන්"
ඈ කිව්වේ හෙමින්.
"රවීන්...ප්ලීස්...රවීන් කියන්න"
ඔහු කිව්වා.
" බෑ"
"ඇයි?"
"මේ ඔෆිස් එක"
"දැන් කවුරුත් නෑනෙ"
රවීන් කිව්වම අයුමි ආයෙම අහක බලාගත්තා.
ඒ පාර රවීන් සුසුමක් හෙලුවා.
"මට තේරෙනවා ඔයාට දැනෙන විදිය අයුමි.
ඒකයි මම අහන්නේ?
මම ඔයාව බය කලාද?
මොකක් හරි අපහසුතාවයකට පත් කලාද?
එහෙම වුණා නම් I am
sorry. මට එහෙම කරන්න ඕන වුණේ නෑ"
රවීන් කිව්වේ වැරදිකාරයෙක් වගේ.
"එහෙම නෙවෙයි..."
ඈ ඉක්මණින් කිව්වා.
"එහෙම දෙයක් වුණේ නෑ.
ඒත්...මං දන්නෑ..."
"ඔයා අකමැති කිසි දෙයක් ඔයා කරන්න ඕන නෑ " රවීන් කිව්වා.
අයුමි රවීන් දිහා බැලුවේ ආයාචනාත්මකව,
ඇයි ඔහු තමන්ව තේරුම් නොගන්නේ කියලා.
රවීන් ඈ දිහා බැලුවම ආයෙම ඔහුගේ මූණේ
හැඟීම් වෙනස් වුණා. අයුමි ඉවත බලාගත්තා.
"අද දවස එනකල් මම බලාගෙන හිටපු තරම්
දන්නේ මං විතරයි. ඒත්...දැන්...මට මොනවත් හිතන්න බෑ. මගේ හිත කලබලයි, ප්ලීස් තේරුම්ගන්න" ඈ කිව්වේ හෙමින්.
රවීන් ඈ කියපුව අහගෙන උන්නේ ගල් ගැහිලා
වගේ මොහොතක්. ඊලඟ මොහොතේ ඔහු නැගිටලා ඈ අසලට ආවා.
"මට ඔයාව තේරෙනවා..."
ඔහු කිව්වේ ඈ අසල පුටුවකින් වාඩි වෙලා
ඈ දිහාට හැරිලා. අයුමි ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"මොනාද මං කරන්න ඕන?" රවීන් ඇහුවා.
අයුමි රවීන්ගේ දෑස් දිහා බලාගෙන උන්නේ
ඔහු වෙනුවෙන් ඉපදුන ආදරේ හිතෙන් දෝරේ ගලද්දි. රවීන්ට ඒක දැනෙන්න ඇති. ඔහු ගොලු
වෙලා වගේ ඈ දිහා බලාගෙන උන්නා මොහොතක්.
"මං දන්නෑ..." අයුමි ටිකකින්
කිව්වා.
" අපට
මෙහෙම කතා කරන්න බෑ. මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕන. ඔයාට කියන්න,
ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා මට. හවසට මං එනකල් ඉන්න.
මම ඔයාව ගිහින් දාන්නම්.
එතකොට අපි කතා කරමු"
රවීන් කිව්වේ රූම් එකේ දොර දිහා බලන ගමන්.
අයුමි මොනවත් කියන්න කලින් conference
room එකේ දොර ඇරුණා.
ඒ එක්කම ඇතුලට ආවේ සමින්ද client
එක්ක. අයුමි අමාරුවෙන් මූණට හිනාවක් නගා ගත්තා.
ඒ අතරේ රවීන් බොහොම සුහද විදියට ඔහුව පිලිගන්නවා ඈ බලාගෙන උන්නේ තාමත් කැළඹුණ හිතින්.
"Hello
Adam...Nice to see you again"
*****
මීටින් එක ඉවර වෙන්න ඔන්න මෙන්න
තියෙද්දි අයුමිගේ ෆෝන් එක බීප් ගෑවා. රවීන් ඇඩම් එක්ක කතා කරමින් උන්නු අවසරෙන්
අයුමි ඒක අරන් බැලුවේ මොකක්ද කියලා. මැසේජ් කරලා තිබුණේ ලොක්කයියා.
"මම හවසට ඔෆිස් එක ලඟට එනවා. එනකල්
ඉන්න" ඒකේ
සටහන් වෙලා තිබ්බේ එහෙම.
අයුමිට රවීන් දිහා බැලුණේ ඉබේටම. ඔහුත්
ඇස් කොනකින් ඈ දිහා බැලුවා. ලොක්කයියා එනවා නම් මොකද කරන්නේ?
"අයුමි පහල ඉන්නවද, මම එන්නම්"
මීටින් එක ඉවර වෙලා කට්ටියම යන්න ගියාට
පස්සේ රවීන්ගේ ඔෆිස් එකේ දොර අසලදි අයුමිට රවීන් කිව්වම ඈ ඔහු දිහා බැලුවේ
දුකෙන්.
"ම්ම්....
සොරි මිස්ටර් රවීන් මට
අද එන්න වෙන්නේ නෑ" ඈ කිව්වම රවීන්
ඈ දිහා බැලුවේ ඉක්මණින්.
"ඇයි?"
"ම්ම්...මගේ අයියා කෙනෙක් එනවලු එක්ක
යන්න" අයුමි කිව්වා.
"අයියා කෙනෙක්? ඒ කවුද?"
"මාමගේ පුතා"
"ඇයි එයා එන්නේ?" රවීන් ඇහුවේ ඇස් දෙක පුංචි කරලා.
"අම්මලා කියන්න ඇති මාව ගෙදර ගිහින්
දාන්න කියලා, අසනීප වෙලා උන්නු නිසා. මට යන්නම
වෙනවා"
රවීන් අයුමි දිහා බලාගෙන උන්නා මොහොතක්
මොනවත්ම නොකියා.
"තව දවස් ඕන තරම් තියේවි" අයුමි
කිව්වා.
"එක දවසක්වත් නාස්ති කරන්න මට ඕන
නෑ" රවීන් කිව්වේ ඇගේ හිත සසලමින්.
"ප්ලීස්...මට අද යන්න වෙනවා" අයුමි
කිව්වා.
"OK" රවීන් එහෙම කියලා කාමරේට වැදුනා.
අයුමිට හිතාගන්න බැරි වුණා, ඔහු ගියේ හිත රිදිලද කියලා. ඒක එහෙමම වුණත් ඈට
කරන්න දෙයක් තිබ්බේ නෑ. රවීන්ට හිතින් බැඳුන තරමටම, මේ නමක් නැති සම්බන්ධේ ගැන බයකුත් ඇගේ හිතේ තිබුණා. ඔෆිස් එකේ හොඳනම,
ගෙදර විශ්වාසය, මේ සේරම එක ක්ෂණයකින් නැති වෙන්න, මේ සම්බන්ධේ හේතු වෙන්න පුලුවන් වග ඈට අමතක වෙලා තිබුණේ නෑ. ඒත් ඈ
රවීන්ට ගොඩාක්ම හිතින් බැඳිලා උන්නේ. හැමදේම පරෙස්සමින් කරන්න ඈට ඕන වුණේ ඒකයි. හිතේ
දුකක් තිබ්බත් අයුමි එතනින් එන්න ආවේ වෙන කරන්න දෙයක් නැති නිසා. ලොක්කයියා
ඇවිත් තිබුණේ මාමා ගිහින් අයුමිව බලලා, ගෙදරට ඇරලවන්න කියලා ඔහුට කියලා තිබුණ
නිසා. අයුමි ලොක්කයියා එක්ක ආවේ හිත රිදුම් දෙද්දි. ඈ එතනින් එනකලුත් රවීන් ඔෆිස්
එකෙන් ගිහින් තිබුණේ නෑ. අයුමි දුක් වුණා. රවීන් ඇත්තේ හිත නොහොඳින් වග දන්න නිසා.
කොහොමින් හරි, මුලු හවස් වරුවම නිහඬව උන්නු රවීන්, නිදන්න ඔන්න මෙන්න තියා මැසේජ් කරලා තිබ්බ.
“you
cannot be an African Violet. AVs are not so harsh. You are like a wild rose.
Cannot reach without hurting my self…” ඒ වචන වලින් අයුමිගේ හිත පෑරුණා.
“I am
sorry. I had no choice” අයුමි රිප්ලයි කලා.
“I don’t
wanna be a choice. You are not so for me”
“I am
sorry”
“Not
accepted”
“please…”
“No”
“I am hurt
more than you” අයුමි ලිව්වේ ඇත්තටම. ඒ පාර රවීන් හැරෙන තැපෑලෙන් උත්තර එව්වේ නෑ.
“ok.
Apology accepted” ඔහු අන්තිමේදි එහෙම කියලා එවලා තිබුණා.
“I will
see you tomorrow” අයුමි රිප්ලයි කලා.
“I’ll be
waiting. Good night”
“Good
night”
ෆෝන් එක පැත්තක තියලා අයුමි ඇඳේ අනික්
පැත්තට හැරිලා ඇරලා තිබුණ ජනේලෙන් පෙනුන රෑ කලුවර දිහා බලාගෙන කල්පනාවට වැටුණා.
තනූජා නම් උන්නේ නින්දේ. අයුමිට හිතුණා එක අතකට තනූජාගේ හිත මොන තරම් නිදහස් ඇද්ද
කියලා. සිද්ධ වෙන දේවල් ගැන අයුමිගෙ හිතේ සතුටකට වඩා තිබ්බේ මොකක්දෝ පටලැවිලිසහගත
හැඟීමක්. රවීන්ව හිතට එන හැම වෙලේකම, ඔහු ගැන ලෙන්ගතුකමක් දැනෙන හැම වෙලේකම, හිතේ එක පැත්තක් ඈට කිව්වේ ඒකේ මොකක්දෝ වරදක් තියෙනවා කියලා. ඇත්තටම
රවීන්ට තමන්ට ලං වෙන්න තරම් තියෙන හේතුව මොකක්ද කියලා ඈ ඇගෙන්ම ප්‍රශ්ණ කරගත්තා.
හොඳ ඩිසයිනර් කෙනෙක් වුණ පලියට ඒක එහෙම වෙන්න බෑ කියලයි හිතේ එක පැත්තක් කිව්වෙම.
ඈ රවීන් මුණගැහෙන්න එක ගෑණු අයගෙන් කාලක් තරම්වත් ලස්සන නෑ නේද කියලා හිතද්දි ඈට
දුකක් වගේම ඉරිසියාවකුත් දැනුනේ නිරායාසයෙන්ම. ඒ සිතිවිලි ඈගේ හිතේ තිබ්බ
නොසන්සුන්කම තව වැඩි කලා විතරයි.
ඒ ගෑණු උදවිය ගැන මතක් වුණාම හිත වෙනම
තර්කයක් ඉදිරිපත් කරන්න ගත්තා. ඒ වගේ ගෑණු උදවිය ආශ්‍රය කරන කෙනෙක්ව කොහොමද
විශ්වාස කරන්නේ කියලා. රවීන් කියන්නේ එක පාරක් දික්කසාද වෙලා, ජීවිතේ හැල හැප්පීම් වලට ලක් වෙලා, ආදරේ ගැන, ජීවිතේ ගැන අත්දැකීම් ගොඩාක් තියෙන මනුස්සයෙක් නේද කියන සිතිවිල්ල
හිතේ ඉපදෙන එක වලක්වගන්න ඈට පුලුවන් වුණේ නෑ. අනික ඔහු ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා
කෙනෙක් කියන එකත්, ඔහු එක්ක බැරි වෙලාවත් සම්බන්ධයක් ඇති වුණොත්
අයුමිගේ අනාගතේ මොනවගේ වේවිද,
ඈ කරන්න හිතාගෙන ඉන්නේ මොනවද කියලා
දිගින් දිගටම හිත ප්‍රශ්ණ කරද්දි ඈට ඒකට උත්තර තිබුණේ නෑ දෙන්න. එහෙම වුණොත් ඔෆිස්
එකේ අය මොනවා කියාවිද, ගෙදරින් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක
ඈට හිතාගන්නවත් බැරි වුණා. අයුමි කවදාවත් තමන්ගේ ජීවිතේ ගැන එච්චර දුර හිතලා
තිබුණේ නෑ. විශේෂයෙන්ම ආදරේ පැත්තෙන්. ඒ
එක්කම ඇගේ හිතට ආවේ ටික දවසකට කලින් කෑම කකා ඉද්දි ප්‍රියන්ති කියපු කතාවක්.
"දැන් කාලේ දිවට දිව ගාගෙන හිටියත් මිනිස්සු විශ්වාස
කරන්න බෑ. මේ පත්තර බලද්දි පිස්සු හැදෙනවා" ප්‍රියන්ති දවල් කෑම කන වෙලාවේ
බත් ඔතාගෙන ආපු පත්තරේ බලලා.
"ඇයි?"
"මේ දෙයියෝ සාක්කි එකේ තියෙන්නේ 'සැමියාගේ හොඳම මිතුරා සමග බිරිය පැන ගොසින්. බිරිය සොයා දෙන්නැයි
කියා සැමියා පොලිසියේ'...හනේ අම්මේ මොන කාලයක්ද මන්දා මේ" ප්‍රියන්ති
සුසුමක් හෙලුවා.
"දැන් මේවා රටේ සාමාන්‍ය දේවල් වෙලා වගේ නේද?" අයුමි කිව්ව වග ඈට මතක් වුණා.
"කියලා වැඩක් නෑ. ඒක ඉතිං මේ ඔෆිස් එකේ ඉද්දි
පේන්නේ නැද්ද? ඔයා කාටවත් කියන්න හෙම එපා. ඔයා දන්නවනේ අර අපේ
බොස් හම්බෙන්න්න ඉඳ හිට එන රීටා?
එයාගේ කලින් හස්බන්ඩ් මෙයාගේ කලින් හොඳ
යාලුවෙක්ලු. බොස්ගේ වෙඩින් එකේ බෙස්ට්මන්ටත් ඉඳලා තියෙන්නේ එයාලු. කට්ටිය කියන්නේ divorce වෙන්න හේතුව මේ හුටපටේ කියලා"
ප්‍රියන්තිගේ කතාව මතක් වෙද්දි ඇඟ
හිරිවැටෙනවා වගෙයි අයුමිට දැනුනේ. ඒ පාර ඇගේ හිතේ පිරුණේ මහා ලොකු බරක්. පුංචි
බයක්, දුකක්, ඉරිසියාවකුත් එක්ක. හිත කියන දේ
පිලිගන්න අයුමිට ඕන වුණේ නෑ. ඒත් හිතේ තර්ක නොපිලිගන්න තරම් එඩිතර වෙන්න ඈට
පුලුවන් වුණෙත් නෑ. රවීන් එක්ක අයුමිට අනාගතයක් නෑ කියලා හිත පුන පුනා කිව්වා.
බැරි වෙලාවත් මේ වෙන දේවල් එක්ක මොනම හරි සම්බන්ධයක් ඇති වෙලා, කවදක හරි රවීන් අයුමිව අතෑරලා ගියොත් ඈට ඒක කොහොමවත් දරාගන්න බැරි
වේවි කියලා ඈ දැනගෙන උන්නා. ඒ සිතිවිල්ල එක්කම අයුමිගේ දෑස් තෙත් වුණේ ඉබේටම. හිත
රවීන්ව විශ්වාස කලේ නෑ,
ඒත් ඔහුට ආදරේ කරන්න ඒ හිත පටන්ගෙන
තිබුණා. අයුමිට නවත්තගන්න බැරිවුණේ අන්න ඒ දේ. ඒ නිසා අන්තිමේදි නින්දට යද්දිත්
අයුමිගේ හිත තිබ්බේ පඹගාලක පැටලිච්ච ගාණට.