Thursday, August 29, 2013

අවසරයි ලං වෙන්න: දාහත්වන කොටස



 "එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..."
මමයි, භූපයි ගැන අහපු තාරකා එහෙම කිව්වේ හිනා වෙවී. මමත් ඒ කතාවට හිනා වුණා විතරයි.
"සිරික්කිය දාලා විතරක් නම් මදි රජෝ, අපට පාටියක් ඕන" නිලීකා එහා පැත්තේ ඇඳේ ඉඳන් කෑ ගැහුවා.
"මෙයාගෙන් විතරක් අරන් මදි, භූපගෙනුත් ගන්න ඕන" මා දිහා බලාගෙන කට පුරා හිනාවෙමින් එහෙම කිව්වේ චතූ.
"බැරියැ...බැරියැ" මම කට්ටියගෙන් ගැලවෙන්න උත්සාහ කරමින් කිව්වා.
"එහෙම කියලා බෑ...අපට මොනාහරි ඕනා" කේතකී කෑ ගහන්න ගත්තා.
"හෙට බලමුකෝ" මම එහෙම කිව්වේ බේරෙන්න හිතාගෙන. ඒ පාර කට්ටිය මොහොතකට නිහඬ වුණා.
"මම මේ කල්පනා කලේ, දැන් ඔයාට අර සිංදුව කියන්න පුලුවන් නේද කියලා" ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩි වෙලා,වතුර එකක් බොමින් උන්නු නිලීකා කිව්වා.
"මොකක්ද?" අපි තුන් දෙනාම ඈ දිහා බැලුවා.
"කොණ්ඩේ දිගට වවලා..කරාඹුවක් දමලා...අණ්දැමූ කලිසම ඇඳි මගේ පෙම්වතා..." නිලීකා කිව්වේ මහ හයියෙන් හිනා වෙවී.
"අනේ..........." මම කෑ ගැහුවා."එයා එහෙම නෑ"
"එයා එහෙම තමා..." නිලීකා කෑ ගැහුවේ අනික් දෙන්නම හිනා වෙවී බලාගෙන ඉද්දි.
"නිකං ඉන්නකෝ නිලී..." මම කෑ ගැහුවා.
"හූ හූ...කොණ්ඩේ දිගට වවලා..." නිලීකා උඩ පනිද්දි, අතේ තිබුණ වතුර එක චොස් ගාලා ඇඳේ හැලුණා. ඉතිං ඒ පාර හූ කිව්වේ අපි.
එදාට පස්සේ ගෙවුණ දවස් දෙක තුන මගේ ජීවිතේ මම සතුටින්ම උන්නු දවස් කීපය වෙන්න ඇති. උදේ, දවල්, හවස, මේ හැම වෙලේකම භූප මගේ ලඟින් හිටියා. ඉස්සර වගේ ඔහු එක්ක තොර තෝංචියක් නැතිව දොඩමලු නොවුණත්, අපි ඇවිද්දා, එහෙමත් නැත්නම් කොහේ හරි වාඩි වෙලා එක එක දේවල් කතා කලා. අන්තිමේදි නොදැනීම සිකුරාදත් උදා වෙලා තිබුණා.
ගෙදර යන එක ගැන හිතේ තිබුණේ චකිතයක්. අපි ගැන එක පාරටම ගෙදරට කියන්න බැරි හන්දා, ටික කාලෙකට හරි මට වෙන්නේ ගෙදරට මේ දේවල් රහසක්ව තියා ගන්න. කවදාවත් එහෙම කිසිම දෙයක් නොතිබුණ හන්දා, මම දැනගෙන හිටියේ නෑ ඒක කොහොම කරන්නද කියලා ඒ වුණත්.
"මොකද ඔයා මේ බය වෙලා වගේ ඉන්නේ?" කෝච්චියේ නැගලා ගෙදර එන අතරතුරේ, භූප මගෙන් ඇහුවේමගේ කල්පනාව බිඳලා දාමින්.
"ම්ම්...නෑ..."
"නෑ? මං බලාගෙන ඔයා දැන් සෑහෙන වෙලේක ඉඳන් කල්පනා කරනවා" භූප කිව්වා.
මම ඔහු දිහා බලලා ආයෙම අහක බලා ගත්තා.
"මං කල්පනා කලේ ගෙදර ගැන"
"ගෙදර ගැන?"
"හ්ම්..." මම හිස වැනුවා. "ගෙදර ගිහිං මම කොහොම ඉඳීද කියලා මම දන්නෑ භූප. අපේ අම්මට කිසි දෙයක් හංගන්න බෑ. ඉවෙන් වගේ දේවල් අඳුනගන්න්වා. එක පාරටම මෙහෙම දෙයක් එයාලට කියන්නත් බෑ" මම අන්තිමේදි හිතට වද දෙන ප්‍රශ්ණේ භූපට කිව්වා.
"මම ඇවිත් කියන්නද?" භූප ඇහුවේ යන්තම් හිනාවක් පාලා.
"පිස්සුද? තාම මම කැම්පස් ඇවිත් අවුරුද්දක් වත් නෑ. අම්මලා ඒක එක පාරටම කලබල වෙයි. දන්නවනේ අපේ ගෙවල් වල අයගේ හැටි” මම කිව්වා.
"ඔයා හිතන්නේ තාමත් ඔයා පුංචි දෙකේ පංතියේ ළමයෙක් කියලා වගේ. හෙට අනිද්දට ගමේ අනික් පැත්තට දීග එන්නත් නේද ඉන්නේ? ඔහොම නම් බෑ..." භූප ආයෙම හිනා වෙනවා.
"අනේ විහිලු නෙවෙයි භූප..." මම කිව්වේ නොරිස්සුමින්. "මට ගොඩක්ම හිතා ගන්න බැරි අයියලා මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ඔයා දන්නවනේ අපේ පොඩි අයියගේ හැටි" මම කිව්වා.
භූපට ආයෙම හිනා. මම සුසුමක් හෙලලා අහා බලා ගත්තා.
"ඔයා බයද අයියා මට ගහයි කියලා. අර ඔයාගෙන් ඒ දවස් වල යාලුවෙන්න අහපු නාරදට වගේ?" භූප ඇහුවේ පරණ කාලේ වුණ සිද්ධියක් මතක් කරමින්.
"අයියා විතරක්යැ, ඔයත් හවුල් වුණානෙ ඒ අහිංසකයට ගහන්න" මම කිව්වේ,ඒ අතීතය මතක් වෙලා.
මගේ පස්සෙන් ඇවිත් යාලු වෙන්න අහනවා කියලා, අයියා ටවුන් එකේ ඉස්කෝලේ පිරිමි ළමයෙක්ට බිම දාගෙන ගහපු හැටි මට අද ඊයෙ වගේ මතක තිබුණා. ඒකට භූපත් හවුල්.
"එහෙම තමා...ගමේ කජු, ගමේ වවුලන්ට කියනවනේ" භූපව්වා. භූපට අද හොඳටම පිස්සු කියලයි මට හිතුණේ.
"මම ඔයා එක්ක තරහයි භූප. ඔයා කිසිම දෙයක් සීරියස් ගන්නේ නෑනෙ"
"සොරි සොරි. සමාවෙන්න මැණිකේ. දැන් ඉඳන් ඔන්න මම ෆුල් සීරියස්" භූප ඒක කිව්වෙත් විහිලුවෙන්.
"ඔයාට මොකද වෙලා තියෙන්නේ?" මම ඔහු දිහා බලලා ඇහුවාම, ඔහු මගේ දිහා බැලුවේ සෙනෙහස දෝරේ ගලන ඇස් වලින්.
"පිස්සි...බොරුවට බය වෙන්න එපා. කීසි දෙයක් වෙන්නෑ. ඔයා ගෙදර ගිහිං වෙනදා වගේ ඉන්නකෝ.අපි බලමු මොකද වෙන්නේ කියලා තව මාසයක් දෙකක්. ඊට පස්සේ හෙමිහිට මම අපේ ගෙදරට කියන්නම්. කොහොමටත් අවුට් වෙන්නත් කලින්, නිකමෙක් වගේ ඇවිත් ගෙදරින් ඔයාගේ අත ඉල්ලන්න මට බෑ..." භූප ඒ පාර නම් ටිකක් බැරෑරුම් හඬින් කිව්වා.
"ඒත් මට බය හිතෙනවා භූප. හිතන්න බැරි වෙලාවත්..." මම කියන්න යද්දි භූප අතක් උස්සලා මාව නැවැත්තුවා.
"ඔය තරම් අසුභවාදි වෙන්න එපා දුලාරා...හැමදේම හොඳින් වෙයි. මාව විශ්වාස කරන්න" භූප කිව්වේ ආදරෙන්.
මම ලොකු සුසුමක් හෙලලා ඔහු දිහා බැලුවා.
"ඒ මොනා වුණත්, මාව දාලා යන්නේ නෑ නේද?" මම ඇහුවා හෙමින්.
භූප මට මද සිනාවක් පාලා, මගේ අතකින් මුදුවට අල්ලගත්තා.
"මොනවත් වෙන්නෑ...තවත් ඒ ගැන හිතන්න එපා. බැරි වෙලාවත් එහෙම දෙයක් වුණත්, මම ඔයාව අතාරින්නේ නෑ. එහෙම කරන්න නෙවෙයි මෙච්චර පෙරුම් පුරලා ඔයාව මගේ කරගත්තේ. මොනා වුණත්, කවුරු එපා කිව්වත්, අපි ඈත් වෙන්නෑ දුලාරා. මම එහෙම වෙන්න දෙන්නේ නෑ. බය නොවී ඉන්න. ගෙදරින් ප්‍රශ්ණයක් නොවෙන්න මම වග බලා ගන්නම් " භූප කිව්වේ ගොඩාක් දයාබරව.
මම ආයෙම සුසුමක් හෙලලා, මද සිනාවක් පාලා, කෝච්චියේ යකඩ  බිත්තියට හේත්තු වුණා. පොල්ගහවෙලින් පස්සේ සෙනග එතරම්ම නොහිටියත් හැමදාම වගේ අදත් අපි උන්නේ හිටගෙන.
කෝච්චියෙන් බැහැලා අපේ ගමට යන් පාරට අවතීර්ණ වෙද්දි, මම දැනුනේ වෙනස්ම හැඟීමක්. අද ගමට එන මම ගිය සතියේ ගමෙන් පිට වෙලා ගිය දුලාරා නෙවෙයි නේද කියලා මට හිතුණා. භූපත් එහෙමයි. මීට පස්සේ මම ගමේ දෙපැත්තම අයිති කෙනෙක් නේද කියලා හිතෙද්දි මට තනියෙම හිනාවක් ගියා.
"ඒ පාර මොකෝ මේ හිනාවෙන්නේ?"
බෑග් එක කරේ එල්ලගන්න ගමන් භූප ඇහුවෙත් හිනාවක් එක්ක.
"කොයි පැත්තට යන්නද කියලයි හිතුවේ" මම කිව්වා.
භූපගේ හිනාව පුලුල් වුණා.
"අදම එන්නයි කල්පනාව එහෙනම්?" භූප ඇහුවා.
"ඇයි එක්ක යන්නේ නැද්ද?" මම ඇහුවා.
"එනවනං ඉතිං බැරි කමක් නෑ" භූප එහෙම කියද්දියි මම දැක්කේ ගමේ අපි අඳුනන මාමලා කීපදෙනෙක් අපි ඉස්සරහට එමින් උන්නු වග.
"ආ...මම ඒත් බැලුවා මේ ජෝඩුව කවුද කියලා. මේ අපේ ග්රාමසේවක මහත්තයගේ දෝනියන්දැ නේ. දෙන්නා එක්ක වාසිටි ගිහින් එන ගමන් වෙන්න ඕනෑ?" පිරිසේ ඉස්සරහින්ම ආපු රාලහාමි මාමා ඇහුවා. ඒ තමයි, අපේ station එකේ පුංචි පෙට්ටි කඩේ කරපු මුදලාලි. මාමා ගමේ ප්රසිද්ධ වෙලා උන්නේ ඕනවටත් වඩා කතා කරන, හැම දේකටම ඔලුව දාන්න හදන කෙනෙක් විදියට. වග දන්න හන්දා මම හිනා වුණා විතරයි.
"ඔව් මාමෙ" භූපත් හිනාවෙලා හිස වැනුවා.
"පුංචි මහත්තයව නම් දැන් අඳුනන්නත් බෑ නොවැ. මූණ පුරා රැවුලකුත් වවාගෙන හන්දා" රාලහාමි මාමා භූපට කිව්වේ අනික් අයගෙත් මූණු වල හිනා ඇඳෙද්දි.
"පුංචි මහත්තයට විහිලුවක් වත් කරන්න බෑ නොවැ"
"විහිලු කරන්න වෙලාවක්යැ මේක. දැන් අනික් කෝච්චිය එන වෙලාවත් ලඟයි නේද? මාමා එහෙමනම් යන්න. අපිත් යන්නම් රෑ වීගෙන එනවනේ" භූප එහෙම කිව්වා.
පාර රාලාහාමි මායි, අනෙක් දෙන්නයි යන්න ගියා.
පිරිසගෙන් සමු අරගෙන අපි ආපහු අපේ ගෙදර දිහාට එන්න ආවා.
"කතා කරන්න අහු වුණොත් ගැලවීමක් නෑ උන්දැගෙන් නම්. ඉස්සර කෝච්චිය පරක්කු වෙද්දි, ස්ටේෂන් එකේ මිනිස්සු එක්ක කතා කරන්න පුරු දු වෙච්චි පාරද කොහෙද"
භූප එහෙම කිව්වේ අපි හන්දිය ලඟට එද්දි.
"ඒක ඉතිං ගමම දන්න දෙයක් නෙ" මම කිව්වේ හිනා වෙවී.
මේ වෙලාව වෙනකොට වටින් ගොඩින් කලුවර වැටීගෙන එමිනුයි තිබුණේ. භූප කතාවක් නැතුවම අපේ ගෙවල් දිහාට යන පාරට හැරුණා මා එක්කම. මම ඔහු දිහා බැලුවා. වෙන දවස් වලට කෙසේ වෙතත් අද භූප එක්ක ගෙදර යන්න මට නිකං මොකක්ද වගේ දැනුනා.
"ඔයා එනවද?" මම ඇහුවේ ඒකයි.
පාර භූප මං දිහා පුදුමෙන් බැලුවා.
"ඇයි එහෙම අහන්නේ? වෙනදටත් රෑ වෙලා නම් මම එනවනේ"
"ඉතිං අද තරම් රෑ වෙලා නෑනෙ"
"එහෙනම් එන්න එපාද?" භූප ඇහුවේ උන්නු තැනම නැවතිලා.
"අනේ නෑ. එන්න එපා නෙවෙයි. ඒත් මට පොඩ්ඩක් විතර බයයි භූප. අම්මලට මොනා හරි දැනුනොත්?"
"දැනුනොත් ඉතිං කරන්න දෙයක් නෑ ඇත්ත කියනවා මිස" භූප කිව්වා.
"ඔයා නං කියයි"
"මේ...පිස්සු නැතුව එන්න ළමයෝ. මම ඔයා ගිහිං දාලා ඉක්මණට එහෙන් එන්නම්" භූප ආපහු යන්න පටන් ගනිමින් කිව්වා.
අන්තිමට පුහුල් හොරා කරෙන් දැනේ වගේ වැඩක් වෙයිද දන්නේ නෑ කියලා හිත හිත මම භූප එක්ක යන්න එකතු වුණා. ගෙදර ලඟට යද්දි නම් සෑහෙන තරම් කලුවර වැටිලා තිබුණ හන්දා හිතට දැනුනේ පොඩි සහනයක්.
අපේ කඩුල්ල ලඟට යද්දියි මම දැක්කේ චේතියගේ ලොකු ජීප් එක මිදුලේ තියෙන වග.
"අද මස්සිනාලා දෙන්නා ඇවිත් වගේ" භූප කිව්වේ යන්තමට හිනාවක් නගාගෙන.
මම මුකුත් නොකියා කඩුල්ල ඇරගෙන ගේ ලඟට යද්දි, ඉස්තෝප්පුවේ සෙනග ගොඩයි. චේතියට අමතරව ගමේ උන්නු පුබුදු අයියයි, කුමාරසිරි අයියයි, තව මම තරම් අඳුනන්නේ නැති, විල්වත්තේ අයියගේ යාලුවෙකුත් එතන උන්නා. අපි යද්දිම වගේ සේරම එක පාරටම අපි දෙන්නා දිහා බැලුවම මට දැනුනේ අපහසුතාවයක්.
"...භූපයා..." පුබුදු අයියා කෑගැහුවා මම ගෙට ගොඩ වෙද්දිම.
"වරෙන් වරෙන් ගෙට" එහෙම කිව්වේ අයියා.
"බෑ මචෝ යන්න ඕන" මට ඇහුණා භූප කියනවා.
භූපගෙන් සමු ගන්න්වත් මට ඉඩක් ලැබුණේ නෑ මේ සෙනග හන්දා. නිසා මම දොරකඩ හිටගෙන උන්නේ එක පාරක් හරි ඔහු මා දිහා බලයි කියලා.
"භූප හැමදාම දුලාරව ඇරලනවද?" හිටපු ගමන් එහෙම ඇහුවේ චේතිය.
මම ඔහු දිහා බැලුවේ ඇහුණ දේ එක පාරටම හිතාගන්න බැරුව. භූපත් ඔහු දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"මුගේ වැඩේ ඉතිං කැම්පස් ගිය දා ඉඳලා බොඩි ගාඩ් වැඩේ කරන එකනේ" එහෙම කිව්වේ කුමරසිරි අයියා.
පාර භූප මා දිහා බැලුවා. මට දැනුනේ ලොකු නොරිස්සුමක්.
"අනේ මේ ඕන නැති මගුල් නොකියා හිටපන්. මේ කලුවර වැටිලා හන්දයි අද ආවේ" භූප ඊට පස්සේ එහෙම කිව්වේ කුමාරසිරි අයියා දිහාට නොපහන් බැල්මක් හෙලමින්.
හොඳ වෙලාවට මේ කතා බහ යන අතරේ අපේ පොඩි අයියට කෝල් එකක් ආපු හන්දා එයා එලියට බැහැලා කතා කරමිනුයි උන්නේ.
"කලුවර වැටෙන්න කලින් එන්න විදිහක්ම නැද්ද?" ආයෙම එහෙම ඇහුවේ චේතිය.
මට හිතුණා ඔහු හදන්නේ භූප එක්ක වාදෙකට පැටලෙන්නදෝ කියලා.
"කලුවර වැටෙන්න කලින් එන්න ඉතිං එකට දෙකට නුවරින් එන්න එපැයි. චේතියත් එහේ නේද,ඒක දන්නැද්ද? ලෙක්චර්ස් ඉවර වෙන වෙලාවට තමයි එන්න පුලුවන්. වෙලාවට තමයි එන්නේ" මට ඉවසන්නම බැරි තැන මම කිව්වා.
භූප මා දිහාට හෙලුවේ ඉක්මණ් බැල්මක්. ඇස් වල තිබුණේ මේකට මැදිහත් වෙන්න එපා කියන්න වගේ බැල්මක්.
"...දෙන්නටම එකටමයි ලෙක්චර්ස් ඉවර වෙන්නේ එතකොට?" චේතිය ඇහුවා.
"ලෙක්චර්ස් නම් ඉවර වෙන්නේ එක වෙලාවෙ නෙවෙයි, ඒත් ඉතිං කෝච්චි තියෙන්නේ එක වෙලාවටනේ"
මම භූපගේ ඇස් මගෑරලා එහෙම කිව්වාම නම් චේතිය නිහඬ වුණා. පුබුදු අයියාගෙයි, කුමාරසිරි අයියගේයි හිනා මැද්දේ. පාර නම් භූපගේ මූණෙත් ඇඳුනේ හිනාවක්.
"මොකෝ මොකෝ මේ සද්දේ?" අයියා කෝල් එක ඉවර වෙලා ගෙට ආවේ එහෙම අහගෙන.
"උඹේ මල කැපිල්ල ඉවරද?" කුමාරසිරි අයියා ඇහුවා.
"මල? උඹලට පිස්සුද? මේ වෙන කෝල් එකක්" අයියා කිව්වේ මා දිහාත් හොරෙන් බලන ගමන්.
"මොකෝ භූප එලියේ? එන්නැද්ද ගෙට?"
"බෑ බං මම යන්න ඕන. මෙතන හිටියොත් මුන් ටික තව මොනා කියයිද දන්නෑ" භූප එහෙම කිව්වා.
"පිස්සු නැතුව වරෙන් බං. අද මෙහේ පොඩි පාටියක්. දුලියට ජොබ් එකක ලැබිලා" එහෙම කිව්වේ පුබුදු අයියා.
"ආනේ...ඇත්තමද අයියා? නියමයි නේ" ඒක අහපු මට දැනුනේ ලොකු සතුටක්.
අයියත් හිනා වෙවී හිස වැනුවා.
"මේ සුබ පැතුම් මචන්...ඇත්තටම මාර සතුටුයි" භූප කිව්වේ අයියගේ අතකින් අල්ලගෙන. අයියා හිනා වෙවී උන්නා විතරයි. මම හිතන්නේ කතා කරගන්න බැරි තරම් හැඟීම්බර වෙලා වෙන්න ඇති.
"ඒත් මම යන්න ඕන බං. අම්මා බලාගෙන ඇති නේ. මම හෙට එන්නම්" භූප කිව්වා.
"ගෙදර ගිහිං අම්මට කියලා වරෙන්කෝ" අයියා කිව්වා.
"බලමු" භූප කිව්වේ යන්තමට මා දිහාත් බලලා.
භූප ආයෙම එනවා නම් මටත් කොච්චර සතුටුද?
අන්තිමේදි කොහොමහරි, අපි හැමෝටම කියලා භූප ගෙදර යන්න ගියා.හිතේ පුංචි පාලුවක් තිබුණත් ඔහු හෙටත් හම්බවෙන හන්දා ඒක ඉවසන්න මට පොඩ්ඩක් විතර පුලුවන් වුණා.
මම ගේ ඇතුලට එන්න හැරෙද්දි මම දැක්ක චේතිය ලොකු කල්පනාව පැටලිලා ඉන්න වග, අනෙක් අය සේරම මොකක්දෝ විහිලුවකට හිනා වෙවී ඉද්දි. මට හිතුණා ඔහු මම කියපු එකට තරහා අරන්දෝ කියලත්. ඒත් භූපව කවුරුවත්ම බයිට් කරනවට මම කැමති වුණේ නෑ. චේතිය එහෙම කරන්න හැදුවේ ඇයි කියලත් මට හිතා ගන්න බැරි වුණා.
මම ඕවා මේවා හිත හිත කුස්සිය දිහාවට ඇදුනේ පුරුද්දට වගේ. මම යද්දි අම්මයි, තාත්තයි දෙන්නම කුස්සියේ කට්ලට් වගයක් බදිනවා. සෙනුරි අක්කත් ඇවිත් පුරුදු පරිදි පොල් ගානවා. මාව දැක්ක ගමන් සේරගේම මූණු වල ඇඳුනේ හිනාවක්.
"...දෝණි ආවද? භූප ළමයත් ආවද?" එහෙම ඇහුවේ අම්මා.
"ඇවිත් ඔය ගියේ" මම ඕනවට එපාවට වගේ එහෙම කිව්වේ අම්මලට මොනවමහෝ දැනෙයි කියලා බයට. ඒ එක්කම මගේ ඇහැ ගියේ කුස්සියේ මෙසේ උඩ සුවඳ විහිදුවමින් තියලා තිබුණ වෑංජන ගොඩ දිහාට. අයියා ආස සේරම ජාති වගේ එතන තිබුණා. කොස් ඇට කලු පොල් මාලුව, කිරි හැන්ද මැල්ලුම, බැදපු වැව් මාලු එක්ක , පරිප්පු තෙල් දලා. ඒවා දකිද්දි නම් මට බඩගින්නකුත් ආවා.
"ඉන්න කිව්වේ නැත්තේ මොකෝ?"
"එයාගේ හැටි දන්නැද්ද අම්මා. එහෙම ඉන්න කෙනෙක් නෙවෙයිනේ" මම කිව්වා.
"දෝණි දන්නවද, අයියට ජොබ් එක හම්බවෙලා නෙ" අම්මා මම කිව්ව දේට මුකුත් නොකියා එක පාරටම එහෙම කිව්වේ ඒක කොයි වෙලේද කියන්නේ කියලා හිටියා වගේ.
"ඔව්ලු නේද? අනේ ෂෝක් අම්මා. දැන් ඉතිං මට ඕන ඕන දේවල් මම එයාට කියලා අරගන්නවා.  මම කිව්වෙත් ලොකු හිනාව එක්ක.
"මගේ කොල්ලට වරදින්නෑ" අම්මා කිව්වේ හැඟීම්බරව.
පාර තාත්තත් අම්මා දිහා බලලා මා දිහා බැලුවා. එවෙලේ අපි හැමෝගෙම හිත් වල තිබුණ සතුට හැමෝගෙම දිලිසෙන ඇස් වල සටහන් වෙලා තිබුණා. එදා කොච්චර සතුටුදායක දවසක්ද?