Tuesday, September 29, 2015

විහංඟනාවී : තිස් හත්වන කොටස



නිදාගද්දි ගොඩක් රෑ වුණත්, අයුමිට පුරුද්දට වගේ උදේ පාන්දරම ඇහැරුණා. නැගිටපු ගමන් ටික වෙලාවක් යනකල් ඈට හිතාගන්න බැරි වුණා මේ ඉන්නේ කොහෙද කියලා එක පාරටම. ඒත් ඊට පස්සේ ඈගේ මතකෙට ආවා ඉන්නේ කොහෙද කියන එකත්, ඒ වගේම කලින්දා වුණ දේවල් සේරමත්. ඈ හැරිලා අනික් ඇඳේ නිදාගෙන උන්නු ශාරා දිහා බැලුවා. ඈ ගුලි වෙලා තාමත් උන්නේ තද නින්දේ.
අයුමි ඇඳෙන් බැහැලා, හෝ, හෝ ගාලා නද දෙන මුහුදේ හඬ අහගෙන ජනේලේ දිහාට ගියේ අරමුණකින් තොරව. ඇගේ හිත තිබ්බේ හැඟීම් ගොඩකින් පිරිලා. ඒ හන්දා ඈට දැනුනේ අපහසුවක්. හිටගෙන උන්නු ජනෙල් වීදුරුවෙන් යාන්තමට පෙනුන තමන්ගෙම චායාව දිහා ඈ බලාගෙන උන්නේ, මේ ඉන්නේ තමන් නෙවෙයිද කියලා හිතමින්. ගෙල දිහාවේ ඉඳලා ලැම දිහාවට තරමක් නිරවරණය වුණ තමන්ගෙම රුව දිහා බලාගෙන, ඈ පපුව මත අතක් තියාගත්තේ, ඒකෙන්වත් හිත සන්සුන් වේවිද කියලා බලන්න වගේ. ඈට ආයෙ ආයෙම මතක් වුණේ රවීන්ගේ උණුසුම, ඒ ආදරේ, ඒ සෙනෙහස. ඒත්...ඒ ආදරේ හන්දම දේවල් තිබුණාටත් වඩා සංකීර්ණ වෙලා නේද කියලා ඈට හිතුණා.
ටිකක් වෙලා හිත හිත උන්නු අයුමි ඉන් පස්සේ එතනින් මෑත් වුණේ ලෑස්ති වෙන්න හිතාගෙන. ප්‍රශ්ණ විසඳන එක තනියෙම කරන්න බැරි වග ඈ දැනගෙන උන්නා. ශාරා නිදාගෙන ඉන්දැද්දිම මූණ සෝදලා, ඇඳුම් මාරු කරගත්තු අයුමි ඈව ඇහැරවන්නද නැද්ද කියලා හිත හිත ඉද්දි කාමරේ දොරට තට්ටු කරන හඬක් ඇහුණා.  ඈ දොර යන්තම් ඇරලා බලද්දි එතන උන්නේ රවීන්.
"ගුඩ් මෝනිං... අමල්බිසෝ දොර අරින්නේ නැද්ද මට?" රවීන් ඇහුවේ හිනාවෙලා.
අයුමිත් හිනාවේගෙනම දොර ඇරලා ඔහුට එන්න ඉඩ ඇරියා.
"ඔයා ලෑස්තිත් වෙලානේ. නින්ද ගියේ නැද්ද ඊයේ?" රවීන් ඇහුවේ ඇතුලට එන ගමන්.
"නින්ද ගියා" අයුමි කිව්වේ හෙමින්.
රවීන් නිදාගෙන උන්නු ශාරා දිහා බලලා අයුමිව ලඟට ඇදලා අරගෙන ඈව තුරුලු කරගෙන ඇගේ මූණ දිහා බලාගෙන උන්නේ ආදරෙන්. අයුමි උත්සාහ කලේ ඔහුගෙන් මිදෙන්න.
 "ශාරා ඇහැරෙයි රවීන්" අයුමි ඔහුගෙන් ඈත් වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"මට ඊයේ රෑ නින්ද ගියේ නෑ බබී" ඈ කිව්ව එක නෑහුණා වගේ ඔහු මිමිණුවා.
"ඉතිං?" අයුමි ඇහුවේ තවමත් ඔහුගෙන් ඈත් වෙන්න උත්සාහ කරමින්.
"ඉතිං ඇහැරලා ඉඳලා එලිය වැටුණ ගමන් ආවා" රවීන් ග්‍රහණය වැඩි කරන ගමන් කිව්වා.
"ඔයාට පිස්සු අනේ. මාව අතාරින්නකෝ"
"ඔයානේ මාව පිස්සු වට්ටන්නේ"
"රවීන්...අනේ ප්ලීස්...මාව අතාරින්න"
අයුමි ආයාචනා කලාම රවීන් හිනාවක් පාලා ඈව අතෑරියා. අතෑරලා ශාරාගේ ඇඳ ගාවට ගිහින් ඇගේ හිස අතගාපු රවීන් ආයෙම අයුමි දිහා බැලුවා.
"උදේට මොනාද කන්නේ?"
"ඔයා කැමති දෙයක් ඕඩර් කරන්න "
"එක්කෝ අපි එහාට ගිහින්ම කමුද දැන් ඇහැරුණත් එකේ?" අන්තිමට රවීන් යෝජනා කලා.
ඉතිං කෑම කෑමෙන් පටන් ගත්තු ඇවිදිල්ල නතර වුණේ, නිලාවේලි, Pigon Island, Snorkeling හෙම ඉවර වෙලා, දවල්ට කාලා පිටත් වෙන්න හිතාගෙන ආපහු හොටෙල් එකට ආපු වෙලේ. අව්වේ කර වෙලා, මූදේ ගිලිලා, වතුරත් මදි වෙලා, අයුමියි ශාරයි දෙන්නම උන්නේ ටිකක් හෙම්බත් වෙලා වුණාට, ගොඩාක් දේවල් කරන්න, බලන්න ලැබුණ නිසා හිතේ උද්‍යෝගයකුත් නොතිබ්බා නෙවෙයි. කොහොමහරි නා කියාගෙන, බඩු ලෑස්ති කරගෙන, යන්න පිටත් වෙන්න කාමරෙන් එලියට එද්දි නම් අයුමිට මොකක්දෝ සාංකාවක් වගෙ එකකුත් දැනුනේ ඒ ලස්සන ගමන එතනින් ඉවර වෙන හන්දා වෙන්න ඇති.
වාහනේ කොලඹට ලං වෙද්දි මහන්සිය හන්දා ළමයි දෙන්නම උන්නේ නිදාගෙන. අයුමිට නිදිමතක් දැනුනත් රවීන් හන්දා ඈ නිදානොගෙන ඉන්න උත්සාහ කලා.
"තව දවස් දෙක තුනක් ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා නේද?" එන ගමන් එක වෙලාවක රවීන් ඇහුවා.
"හ්ම්ම්...ඒක නම් ඇත්ත" අයුමි කිව්වා.
"අපි ආයෙම වෙලාවක එමු. හොඳ නිවාඩුවක් අල්ලලා" රවීන් කිව්වේ ඉස්සරහා කණ්ණාඩියෙන් අයුමි දිහා බලලා හිනාවක් පාමින්.
"ම්ම්..." අයුමි හිස වැණුවා විතරයි.
ඊලඟට ටික වෙලාවක් කතා බහක් නැතිව ගෙවිලා යද්දි, හිතට දැණුන සාංකාව එක්කම අයුමි කල්පනා කරමින් උන්නේ රවීන් තමන්ගේ ජීවිතෙට කොච්චර නම් ලං වෙලාද කියලා. දැන් තව පැය දෙක තුනකින් ඈ බැහැලා යන්න ගියාම, ඔහු ලාන්ග නැති පාලුව අන් කවරදාටත් වඩා ඈට දැනෙන වග ඈ දැනගෙන උන්නා.
"මොනාද ඔය තරම් හිතන්නේ?" රවීන් අහනවා ඈට ඇහුණේ හීනෙන් වගේ.
"?"
"මොනාද හිතන්නේ?" රවීන් ආයෙම ඇහුවා.
"විශේෂ දෙයක් නෑ රවීන්"
"ම්ම්...ඔයා...හිතන්නේ ඊයේ වුණ දේවල් ගැනද?" රවීන් එහෙම ඇහුවේ හිතලා මතලා වගේ.
ඒ පාර අයුමිගේ හිස බිමට බර වුණේ රවීන් දිහා බලාගෙන ඒ ගැන කතා කරන්න ඈට නොහැකියාවක් දැනුන නිසා.
"නැහැ" අයුමි අන්තිමේදි කියාගත්තා.
"අහන්න...ඔයාට බය වෙන්න, ලැජ්ජ වෙන්න වෙන කිසි දෙයක් වුණේ නෑ ඊයේ. ඒ මොනා වුණත්, අපි දෙන්නා කවදාවත් ඈත් වෙන්නේ නෑ. මම ඔයාව අතාරින්නේ නෑ මොනා වුණත්. තේරුණාද? අපි අතරේ වෙන හැම දේකින්ම වෙන්නේ තවත් මං ඔයාට ලං වෙන එක විතරයි. ඒ හන්දා ඒ දේවල් ගැන හිතනන් එපා" රවීන් කිව්වේ දයාබරව.
"නෑ රවීන්...මං හිතුවේ ඒ ගැන නෙවෙයි"
"එහෙනං?"
"කොහොමද මං අද බෝඩිමට ගිහිං ඉන්නේ කියලා. මට ඔයා නැති පාලුව හුඟක් දැනෙයි" අයුමි හෙමින් කිව්වම රවීන් මොහොතකට ගොලු වුණා.
"ම්ම්...මට තේරෙනවා. ඒක මටත් එහෙමමයි"
"ඒත්... මොනා කරන්නද?" අයුමි සුසුමක් හෙලුවා.
"හ්ම්..." රවීනුත් සුසුමක් හෙලුවා.
අයුමි ඔහු දිහා යන්තමින් බලලා ආයෙම ජනෙල් වීදුරුවෙන් එපිට ඇස් රඳවගත්තා.
"ඔෆිස් ආවම අපි හම්බවුණත්, එහෙදි අපේ පෞද්ගලික දේවල් වලට ඉඩ හදන්න බෑනෙ. ජොබ් එක වෙනම අපි තියාගන්නම ඕන. ඒකට අපි apartment එකේදි හම්බවෙමු, අඩුමගානේ සතියකට එක පාරක්වත්. එතකොට ඒක ඒ තරම්ම දැනෙන එකක් නෑ" රවීන් කිව්වා.
අයුමි ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"රවීන්...මම බ්‍රහස්පතින්දා විතර නිවාඩු දෙකක අරන් ගෙදර ගිහිං එන්න යන්නද? මේ සතියෙත් නොගිය නිසා මට හිතට හරි නෑ වගේ" ටිකක් ඉඳලා අයුමි ඇහුවා.
"දවස් දෙකක්ද? කමක් නෑ බබී. ඔයාට ඕන නම් බදාදම යන්න. මම මෙහේ වැඩ ටික බලන්නම්" රවීන් කිව්වා.
"නෑ, බ්‍රහස්පතින්දා ගියාම ඇති" අයුමි කිව්වා.
රවීන් ආයෙම ඉස්සරහ කණ්ණාඩියෙන් මන්දරී දිහා බැලුවේ ඈ උන්නේ සතුටකින් නෙවෙයි කියලා ඔහුට දැනුන නිසාද? ඒත් ඔහු මොනවත් ආයෙම ඇගෙන් ඇහුවේ නෑ. අයුමි ආයෙම කල්පනාබර වුණා මිසක රවීන්ට මුකුත් කියන්න ගියෙත් නෑ. ඒත් දෙන්නගෙන හිත් වල සමුගන්න බැරිව දැනෙන වේදනාව, මොහොතකට හරි වෙන් වෙලා ඉන්න බැරිකම වගේ හැඟීම් ගොඩනැගෙමින් තිබුණා. ඒ දෙන්නම වෙන්න පුලුවන් හැම විදියෙන්ම දෙන්නා කෙරෙහි බැඳිලා උන්නු නිසා වෙන්න ඇති.
අයුමි බෝඩිම ලඟින් බහිද්දි ඇහැරලා උන්නු ශාරා උන්නේ ඇස් වල කඳුලු පුරවගෙන. අයුමි එතනින් බැහැලා යන හන්දා. අයුමි බලාපොරොත්තු වුණේ නෑ ශාරා තමන් වෙත තරම්ම බැඳිලා ඇති කියලා. ඇගේ හිත රවීන්ගෙන් වෙන් වෙන්න බැරි දුකෙන් වගේම ශාරාට සමු දෙන්න බැරි දුකිනුත් බර වුණාම ඇගේ ඇස් වල කඳුලුත් ඈට නවත්තගන්න පුලුවන් වුණේ නෑ.
"ආන්ටි ආයෙම අපේ ගෙදර ඒවි පැටියෝ. දැන් එයා යන්න එපෑයි" ශාරාගේ මූණ දැකලා රවීන් කිව්වෙත් දුකෙන් වගේ.
ශාරා මුකුත්ම කිව්වේ නෑ seatඑකේ දිගෑදිලා මූණ හංඟගත්තා මිසක.
"මම ආයෙම ඉක්මණින් ඔයාව බලන්න එන්නම් පැටියෝ" අයුමි එහෙම කියලා ශාරාගේ පිට මුදුවට අතගෑවා.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නෙත් දුකකින්. ශමිත් උන්නේ නින්දට වැටිලා නිසා යන වග ඔහුට කියන්න වුණේ නෑ අයුමිට.
"ගිහිං එන්නම් රවීන්" අන්තිමේදි අයුමි රවීන් දිහාට හැරුණා.
"හ්ම්ම්" ඔහු කිව්වේ එච්චරයි.
"පරෙස්සමින් යන්න" අයුමි ආයෙම කිව්වා.
"අයි ලව් යූ" ඇගේ අතක් මුදුවට ස්පර්ෂ කරලා රවීන් කිව්වේ රහසින් වගේ.
හිත දුකකින්, සාංකාවකින් බර වෙද්දි අයුමි හෙමි හෙමින් බෝඩිමට එන්න ආවා. ගේට්ටුව ලඟදි හැරිලා බලද්දි වාහනේ ඈතට ගිහින් තිබුණා. අයුමි සුසුමක් හෙලලා එන්න ආවේ, බැඳීම්  කියන්නේ මොන තරම් හිත බර කරන හැඟීම් සමුදායක්ද කියලා මෙනෙහි කරමින්.

"මම මේ බ්‍රහස්පතින්දා ඉඳන් දවස් දෙකක් නිවාඩු දානවා සමින්ද. දවස් දෙකේ හදිසි මීටින් එකක් ආවොත්, කරන්න පුලුවන් අලුත් තීම් presentation එක මම ඔයාට එවන්නම්"
සතියට අදාල, වැඩ කටයුතු ප්ලෑන් කරමින් ඉන්න අතරේ අයුමි සමින්දට කිව්වා.
"ඇයි බබී කොහෙද යන්නේ මේ සතියේ?"
ලඟ පාතකම උන්නු ප්‍රියන්ති එහෙම ඇහුවම අයුමි පුදුමාකාර විදියට තිගැස්සුණා.
ප්‍රියන්ති දිහා එක පාරටම බලද්දි, සමින්දත් දිහා බැලුවේ තිගැස්සිලා වගේ. අයුමි අමාරුවෙන් හිනාවක් නගාගෙන ආපහු අහක බැලුවේ ප්රියන්ති දිහා අමුතු හිනාවක් එක්ක බලාගෙන උන්නු නිසා.
"ගෙදර...වෙන කොහේ යන්නද" අයුමි කිව්වේ මේසේ මත තිබ්බ ඩිසයින් magazine ටික අරමුණකින් තොරව එහා මෙහා කරමින්.
"අයුමි ගියාම බොසාට උණ ගනීවිද දන්නේ නෑ හැබැයි" ප්‍රියන්ති ආයෙම කිව්වා.
සමින්ද ආයෙම මූණ නපුරු කරගෙන ප්රියන්ති දිහා බලනවා අයුමි ඇස් කොනකින් දැක්කා.
"ප්‍රියා...ඔන්න ඔය කතාව නවත්තන්න. බොස්ගේ personal දෙවල් අපට අදාලා නෑනෙ" සමින්ද එහෙම කිව්වම අයුමිට දැනෙන්න ගත්තේ ලැජ්ජාවක්.
"හා හා. අපට මොකෝ ඉතිං. කාට කාටත් හොඳක් වෙනවා නම් අපිත්  කැමතියි" ප්‍රියන්ති ආයෙම කිව්වේ විහිලුවෙන් වගේ.
අයුමි එතනින් නැගිට්ටේ එතනින් එලියට එන්න හිතාගෙන.
"අයුමි" පාර සමින්ද ඈට කතා කලා, ප්‍රියන්ති හෙමින් එලියට යද්දි.
"ඇයි සමින්ද?"
"ප්‍රියන්ති  කියන ඒවා ගණං ගන්න එපා. එයාගේ කට දන්නේ නැද්ද" සමින්ද පාර කිව්වේ නිවුණ හඬකින්.
අයුමි ඒකට මුකුත්  නොකියා එතනින් එන්න ආවේ එලියට එද්දි රිසෙප්ෂන් එකේ උන්නු ප්‍රියන්තිලා දිහා නොබලම.
කාමරේට එද්දි රවීන් උන්නේ කෝල් එකක. පුටුවේ වාඩි වෙලා කම්පියුටර් එක අස්සේ මූණ හංඟගත්තේ රවීන්ට තරහා මූණ පෙන්නන්න බැරි නිසා.
ඒත් ඇගේ හිත තිබ්බේ තරහකින් ඇවිලෙමින්. එක්කම ප්‍රශ්ණාර්ථයක් මතුවෙලා තිබුණේ කොහොමද ප්‍රියන්ති ඇගේ නම දැනගත්තේ කියලත්. රවීන්ට කට වැරදිලා කොහේදි හරි ඒක කියල වුණාවත්ද? ඒත් ඒක එහෙම වුණාද කියලා මතකයක් අයුමිට තිබුණේ නෑ. අයුමි ඔහේ අතට අහුවුණ program එකක් open කරලා දිහා බලාගෙන උන්නා මුකුත් නොකරම හිත නිවෙනකල්.
"අයුමි..." රවීන් ලඟට ඇවිත් කතා කරනකල්ම ඈට ඇහුණේ නෑ කල්පනාව කොච්චර තද එකක් වුණාද කිව්වොත්.
"...රවීන්" පුටුවෙන් හිටගත්තේ පුරුද්දට වගේ.
"මොනාද මේ කම්පියුටරේට රවාගෙන කල්පනා කරන්නේ?"
අයුමි හිනාවුණේ ආයාසයකින්.
"මොනවත් නෑ රවීන්"
"නැත්තේ මොකද මේ මූණත් රතු වෙලා. ඇස් දෙක දිලිසෙනවා" රවීන් කිව්වේ හිනාවක් පාලා.
"මුකුත් නෑ..." අයුමි කිව්වේ සුසුමක් හෙලලා සන්සුන් වෙන්න උත්සාහ  කරමින්.
රවීන්ට වෙච්ච දේ කිව්වොත් ඔහු හොඳටම තරහා ගන්න වග දනගෙන උන්නා.
"කියන්න බැරි නම් කමක් නෑ. ඒත් මොකාක් හරි වෙලා නම් තියෙනවා කියලා මට තේරෙනවා" රවීන් කිව්වේ දිහා යටැසින් බලාගෙන.
"නෑ...මේ පහලදි ප්‍රියන්තිලා එක්ක පොඩි ආගියුමන්ට් එකක් ගියා, ඒක එච්චර දෙයක් නෙවෙයි. මම මුකුත් නොකියා උඩට ආවා"
රවීන් ඒක අහලා මිස නවතින්නේ නැති බව හැඟුණ නිසාදෝ අයුමි පුංචි බොරුවක් කිව්වා.
"මොකක් ගැනද?"
"මේ...නිකං රටේ තොටේ ගොසිප් එකක් ගැන"
"හ්ම්ම්...ඔයා ප්‍රියන්තිලා එක්ක ගොසිප් කතා කරන්න යන්න ඕන නෑනෙ. මෙන්න මෙහාට වෙලා හිටියා නම් ඉවරනේ. බොරුවට ලේ පුච්ච ගන්නවා. ආයෙ එහෙම ගිහිං මූණ ඇඹුල් කරගෙන ආවොත් අනිනවා ටොක්කක් හොඳද?" රවීන් කිව්වේ දිහාට හිනාවක් පාලා.
අයුමි හිනාවෙලා හිස වැනුවා. හිත යාන්තම් සැහැල්ලු වෙනවා වගේ ඈට දැනුනා ඔහු ලඟදි. ඔෆිස් එකේ නැති වෙලාවක හෙමිහිට වෙච්ච දේ ඔහුට කියනවා කියලා හිතාගත්තා එවෙලේ. මොකද කවදා නමුත් මේ ප්‍රශ්ණ හැම එකකටම දෙන්නට විසඳුම් හොයන්න වෙන වග දැනගෙන උන්නු නිසා.