Wednesday, October 9, 2013

අවසරයි ලං වෙන්න: විසිවැනි කොටස

"ඕවා ඉතිං එහෙම එක පාර කියන්න පුලුවන් දේවල් නෙවෙයි නේ පුතේ. අනික තව කල් තියෙනවනේ"
උදේ මම ඇහැරිලා කුස්සියට යන්කොට අම්මයි, පොඩි අයියයි රහසින් රහසින් ලොකු කතාවක්.
"ඒක ඇත්ත තමයි අම්මේ. ඒත් දැන්ම ඔය ගැන කතා කරලා තිබ්බා නම්, තව අඳුනගන්න, තේරුම් ගන්න කල් හම්බවේන්වා නේද? ඒකයි මම කිව්වේ" පොඩි අයියා එහෙම කියනවා මට යාන්තමට ඇහුණා.
"අනේ මන්දා පුතේ...තාත්තා නම් තාමත් මොකවත්ම කිව්වේ නෑ ඔය ගැන" අම්මා සුසුමක් හෙලලා එහෙම කිව්වා.
මගේ හිතේ ඇති වෙමින් තිබුණේ කුතුහලයක්. 'මොනා ගැනද මේ කතා වෙන්නේ? අයියගේ අලුත් ගෑණු ළමය ගැනවත් ද?'
"හදිසියක් නෑනෙ. මමත් කිව්වා හෙමිහිට අහලා බලන්න කියලා .." අයියා කතාව ඉවර කරන්නත් කලින්ම මම කුස්සියේ දොරෙන් එබුණ හන්දා, එයාගේ කතාව මග නැවතුනා. අම්මා මා දිහා බැලුවේ ගැස්සිලා වගේ. අයියත් කතාව නවත්තලා අම්මා දිහා යන්තමින් බලලා ආයෙම මා දිහාට හැරුණා.
"මොනවද මේ අම්මයි, පුතයි කුස්සියට වෙලා කුටු කුටු ගාන්නේ?" මම අයියගෙන් ඇහුවේ විහිලුවට වගේ.
"ආ... මොකද මේ මෙයා උදේම ඇහැරිලා..." අයියා මම අහපු එකට මුකුත් නොකියා එහෙම ඇහුවා.
"මම උදේම ඇහැරෙනවා හරිද?" මම එහෙම කියාගෙන කුස්සියේ පොඩි මේසේ ලඟින් වාඩි වුණා.
"පුරුදු වෙන්නත් එක්ක හොඳයි එහෙනම්" අයියා එහෙම කියාගෙන කුස්සියෙන් යන්න ගියා.
අම්මා මට හදලා තිබුණ තේ එක අතට දීලා ආපහු මිරිස් ගලේ මොනවද අඹරන්න ගත්තා.
"මොනාද අම්මේ හදන්න යන්නේ?"
"අද උදේට කන්න කිරිබත් ටිකක් හැදුවා. මේ ඒකට ලුණු මිරිසක් අඹරනවා. ඔයා අද කීයටද යන්නේ? රෑට කෑම එකක් ගෙනියනවා නේද?" අම්මා ඇහුවේ මා දිහා නොබලම.
"ඔව්. ගෙනියන්න ඕන. යන වෙලාවක් නම් හිතුවේ නෑ. භූපත් යනවා ඇති නේ" මම කිව්වා.
ඒ පාර අම්මා කරමින් උන්නු වැඩේ නවත්තලා මා දිහා බැලුවා.
"අනේ මන්දා...ඔය වැඩේ ඉතිං ඒ ළමයා කවදා වෙනකල් කරන්නද? දැන් ඉතිං ඔයාට පුරුදුත් එකේ ඒ ළමයට ආයෙම කරදර කරන්නේ මොකටද?" අම්මා ඇහුවා.
මගේ හිත පෝඩ්ඩක් විතර සසල නොවුණා නෙවෙයි.
"මම එයාට එන්න කියලා නෑනෙ අම්මේ. අනික් එක ඉතිං එකම කැම්පස් එකේ, එක ලඟ හොස්ටල් දෙකකට යද්දි, එකට ගියාම මක් වෙනවද?" මම ඇහුවේ අම්ම දිහා යන්තමින් බලන ගමන්.
"නෑ ඉතිං, මම මේ කිව්වේ සමහර වෙලාවට දකින කෙනෙක් වුණත් වැරදියට හිතන්න පුලුවන් නේ කියලා"
අම්මා එහෙම කියද්දි  මට තේරුණා මොනා හරි ඉවක් අම්මට වැටිලා ඇත්දෝ කියලා. ඒ එක්කම හිතේ ඇති වුනේ පොඩි බයක් වගේ එකක්.
"දැන් ඔයා ඉස්සර වගේ පොඩි ළමයෙක් නෙවෙයි නේ. හෙට අනිද්දට දීග යන්න වුණත් වයසක් නේ දැන්. ඒ නිසා දෝණි කාගෙන්වත් කතාවක් නාහන්න ඔයා ඉන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ කියලා මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ" අම්මා ආයෙම මිරිස් අඹරන ගමන් කිව්වා.
මගේ හිතේ ඒ පාර නම් ඇති වුණේ පොඩි අමනාපයක් වගේ එකක්.
"අම්මා කියන්නේ ආයේ භූප එක්ක යන්න එපා කියලද?" මම ඇහුවා.
"නෑ...නෑ...එහෙමම කරන්න කියනවා නෙවෙයි. ඒත් ඉතිං නිතර දෙවේලේ යන්න ඕන නෑ කියලයි මම කියන්නේ" අම්මා කිව්වා.
මම කෝප්පේ මේසේ උඩ තියලා නැගිට්ටා.
"ඒ කියන්නේ මට කේතකීලගේ ගෙදරත් යන්න එපා කියලද?"
"අනේ ළමයෝ මම දැන් එහෙම කිව්වද? මම කිව්වේ ඔය නිතර යන එන එක ගැන නෙව. අර චේතිය ළමයත් අහලා තියෙනවා ඔය ගැන අයියගෙන්. ඒකයි මම වුණත් කල්පනා කලේ පිට  මිනිස්සුන්ට එහෙම දැනෙනවා නම්, ඒක ඒ තරම් හරි මදි නෙවද කියලා"
"චේතියට තියෙන අමාරුව මොකක්ද මං ගැන?"
"අනේ දෝණි මේ, ඔයගේ විසි පැන වලට මට උත්තර දිදී ඉන්න බෑ. ඔයා කියන දේ කරන්න"
"හරි හරි...මීට පස්සේ මම එයාට එන්න එපා කියන්නම්කෝ ඉවරනේ" මම කිව්වේ ඇත්තටම අමනාපෙන්.
"අනේ හැබෑට මේ ළමයට මොනවත් කියන්න බැරි හැටි? ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න බලන්නකෝ. එක පාරටම එහෙම කලාම ඒ ළමය වුණත් බලාවි මේ මොකද කියලා"
"අම්මා මොනාද මට එහෙනම් කරන්න කියන්නේ?"
"මම කියන්නේ ආශ්‍රය අඩු කරන්න කියලා. එච්චරයි"
මම ආයෙම මුකුත් නොකියා කුස්සියෙන් එන්න ආවේ, හිතේ අමනාපෙ වගෙම පොඩි බයකුත් එක්කමයි. 'භූප ගැන අම්මලා හිතන්නේ මෙහෙම නම්, අපි ගැන ඇත්ත දන්නවා නම් අම්මලා කොහොම හැසිරේවිද?'ඒ එක්කම මට අනාගතේ ගැන දැනුනෙත් මහා අවිනිශ්චිත බවක්.
"ආපු වෙලේ ඉඳලා මොනවද මේ ඔයා අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"
ගෙදරදි වුණ දේවල් ගැන හිත හිත උන්නු මම පියවි ලෝකෙට ආවේ භූපගේ හඬට.
භූප practise ඉවර වෙලා එනකල් වුස් එකේ  සිමෙන්ති බංකුවක වාඩි වෙලා උන්නු මම ඔහු දිහා බැලුවේ මද හිනාවක් එක්ක. ඒ මගේ හිතේ තියෙන කැලඹිල්ල ඔහුට නොදැනෙන්න.
"නෑ..."
"නැත්තේ මොකද? ඔයාට මම කතා කලා ඇහුණෙත් නෑ දැන්, කල්පනාවේ බර කමට" භූප කිව්වේ මා ලඟින් වාඩි වෙන ගමන්.
මම ඔහු දිහා බලාගෙන උන්නේ සෙනෙහසින්. ඒ නිදිමත ඇස් දෙකෙත් තිබුනේ ඒ තරම්ම සෙනෙහසක්. වෙනදා වගේ නැතුව අද භූප පිලිවෙලකට රැවුල අඩු කරලා, කොණ්ඩෙත් පිටිපස්සට පීරලයි උන්නේ.
"ඇයි?" භූප ඇහුවේ මගේ අතකින් මුදුවට අල්ලගන්න ගමන්.
"මුකුත් නෑ" මම කිව්වා.
"බොරු කියන්න එපා, ඔයා අද මට මොනා හරි හංගනවා. මේ පාර ගෙදර ඉඳන් ආපු දවසේ ඉඳන්ම ඔයාගේ මූඩ් එක වෙනස්. ඒ මම එදා සෙනසුරාදා මුලු දවසම practice ගිහින් ඔයාව බලන්න නාපු හන්දද?" භූප ඇහුවා.
"අනේ නෑ" මම එහෙම කියලා සුසුමක් හෙලුවා. මේවා භූපට කියලත් බෑ. නොකියත් බෑ.
"මචෝ excuse...අපි එහෙමනම් යනවා...උඹලා දැන්ම එන්නේ නෑනෙ"
අපි උන්නු තැනින් යන්න ආපු භූපගේ යාලුවෙක් අපට කතා කලේ එවෙලෙමයි.
"ඔව් බං, අපි හෙමීට එන්නම්.උඹලා පලයල්ලා. හොස්ටල් එකේදි set වෙමු ආයෙම"
භූප එහෙම කිව්වා.
කට්ටියම යන්න ගියාම වුස් එක ලඟ ඉතිරි වෙලා උන්නේ තැන තැන තියෙන සිමෙන්ති බංකු උඩ වාඩි වෙලා, තම තමන්ගේ ආදර ලෝක වල උන්නු couples දෙක තුනක් විතරයි. එවෙලේ වෙලාව පහමාරට විතර ඇති.
"හම්මේ යන්තම් අනිද්දට Faculty Day එක ඉවර වුණාම ලොකු නිදහසක්. නිවාඩු හම්බවෙන හන්දා හිතේ හැටියට කුඹුරු වැඩ වලට වුණත් උදව් වෙන්න පුලුවන්" භූප කිව්වේ ඈත බලාගෙන.
"හ්ම්ම්...ඊට පස්සේ අවුරුදු එද්දි තව ජොලි" මම කිව්වා.
"අපි දෙන්නගේ පළවෙනි අලුත් අවුරුද්ද" භූප කිව්වේ මගේ ඇස් වලට එබිලා. මම හිණා වුණා.
"මම හිතාගෙන ඉන්නේ මේ පාර ගියාම නංඟිට විතරක් අපි ගැන කියන්න දුලාරා" භූප කිව්වා.
එහෙම කිව්වාම මම පොඩ්ඩක් විතර ගැස්සුනේ නැත්තේ නෑ.
"දැන්ම?"
"ඇයි කියන්න එපාද?"
"නෑ...එහෙම නෙවෙයි ඒත්, අනේ මංදා...මට නිකං මොකක්ද වගේ. මම කොහොමද ඊට පස්සේ කේතකීට මූණ දෙන්නේ?" මම ඇහුවා.
"පිස්සු කෙල්ලේ...ඔහොම හිත හිත ආදරේ කරන්න බෑ. අනික කවදා හිටියත් අපි මේක ගෙවල් වලට කියන්නම එපායැ. ඒත් රස්සාවක් වත් හොයා ගන්නකල් අම්මලට  කියන්න මගේ අදහසක් නෑ, ඔයාගෙවත් මගෙවත්. මොකද මට නිකමෙක් වගේ ඇවිත් මාමගෙන් ඔයාව ඉල්ලන්න බෑනෙ"
භූප එහෙම කිව්වාම මට ආයෙම මතක් වුණේ අම්මා එදා කියපු දේවල් ටික.
"ඔයාගේ කැමැත්තක්" මම එහෙම කියලා හෙමිහිට භූපගේ උරහිසේ හිස තියා ගත්තා. ඔහු මගේ හිසට මූණ හේත්තු කරගත්තා.
"ඒත් මට බයයි භූප, බැරි වෙලාවත් ගෙවල් වලින් අකමැති වුණොත් කියලා" මම ඒ කතාව භූපට කියපු සියවෙනි වතාව වෙන්න ඇති.
"ඇයි ඔයා ඔහොම හිතන්නේ?...මම කිව්වනේ දුලාරා එහෙම වෙන්න නෑ කියලා. මොනා වුණත් මම ඔයා ලඟ ඉන්නවා කියලා. ඉතිං ඇයි හැමදාම බය වෙන්නේ?" භූප ඇහුවා.
"මම ඔයාට ගොඩක් ආදරේ හන්දා...ඔයාව නැති කරගන්න මම බය හන්දා..." මම මිමිණුවා.
භූප මගේ දිහා බැලුවේ ලොකු ආදරේකින්. ඒක නොකිව්වට ඒ ඇස් වල කාන්තියෙන් මට ඒක පැහැදිලිවම දැනුනා. ඔහු මුකුත් නොකියම මගේ අතක් අරගෙන සිප ගත්තේ, මම නොහිතපු විදියට. ඒත් අත ඇදගන්න බැරි තරම් හයියෙන් ඔහු මගේ අත අල්ලගෙනයි හිටියේ.
"මට එච්චරම ආදරේද?" භූප ඇහුවේ හෙමින්.
"ඔව්...එච්චරටම ආදරෙයි. ඔයා නැති දවසක්, මොහොතක් තියා තප්පරයක් ගැනවත් හිතන්න මට බෑ..." මම කිව්වෙත් හෙමින්.
භූප මගේ අත හයියෙන්ම මිරිකගත්තා.
"මටත් එහෙමයි..." භූප මිමිණුවා.
"බොරු..."
"බොරු?"
"ඔව්...ඒක එහෙම නම් එදා මාව දාලා practise ගියේ?"
මම එහෙම ඇහුවාම භූපට හිනා.
"ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. ළමයෝ ඒ ගියේ ඒක මට බාර දීපු වගකීමක් හන්දා නේ" භූප කිව්වා.
මම ඔහුගේ දැස් වලින් මිදිලා අහක බලා ගත්තා.
"එහෙම ලොකු වගකීමත් ඇවිත් කවදාහරි ඔයා මාව දාලම යන්න යයිද දන්නෑ" මම කිව්වා.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" ඒ පාර භූපගේ හඬ තිබුණේ වෙනස් වෙලා.
මම ආයෙම ඔහු දිහා බැලුවා.
"ඔයා හිතනවද මම එහෙම කරයි කියලා?" භූප ආයෙම ඇහුවා.
මම හෙමින් හිස වැනුවේ එහෙම නෑ කියන්න.
"එහෙනං ඇයි අරහෙම කතාවක් කිව්වේ?"
"විහිලුවට" මම කිව්වේ යන්තම් හිනා වෙලා.
භූප අහක බලාගත්තා මගේ අතත් අතෑරලා.'භූපට තරහා ගියා වත්ද?'
"භූප..." මම ඔහුට කතා කලා.
ඔහු ආයෙම මා දිහා බලද්දි ඒ ඇස් වල තිබුණේ අමුතුම හැඟීමක්.
"මාව අවිශ්වාස කරන්න එපා දුලාරා..." ඔහු කිව්වේ දුකෙන් වගේ. මගේ හිත ගොඩක් සසැලුණා එවෙලේ.
"අනේ නෑ...සත්තයි මම එහෙම හිතන්නෑ. මම විහිලුවක්නේ කලේ"
"විහිලුවටත් එහෙම හිතන්න එපා. ඔයා දන්නෑ මම ඔයාට කොච්චර ආදරේද කියලා...ඒත් ඒකේ තේරුම අපි හැමදේම අමතක කරලා ආදරේ විතරක්ම කරන්න ඕන කියන එක නෙවෙයි නේද?"
"නෑ...ඒක ඇත්ත" මම කිව්වේ බිම බලාගෙන.
"දුලාරා..." භූප ආයෙම මට කතා කලේ මුදු හඬින්.
"ම්ම්" මම ඔහු දිහා බැලුවා.
"මම අවුරුදු ගණනාවක් ඔයාගෙන් ඈත් වෙලා පිට හිටියත්, මේ හිත තියෙන්නේ ඔයා ලඟ. මේ හිතේ ඉන්නේ ඔයා විතරයි. ඔයා දන්නෑ...මම...මට කොච්චර ඔයාව වටිනවද කියලා. මං වගේ කැත කොල්ලෙක්ට කැමති වෙලා, මගේ සේරම විකාර ඉවසගෙන….”
"කවුද ඔයා කැතයි කිව්වේ?" භූප කතාව ඉවර කරන්න කලින් මම මැදින් පැන්නා.
"කවුරුත් කියන්න ඕන නෑ, කණ්ණාඩිය ලඟට ගියාම මට ඒක පේනවා"
මම ආපහු භූපගේ උරහිසට වාරු වුණා.
"මම එහෙම හිතන්නෑ...අනික් අය වුණත් එහෙම හිතනවා ඇති කියලා මම හිතන්නෙත් නෑ..."
"ඔයා එහෙම හිතන්නේ ඔයා මට ආදරේ නිසා"
"පිස්සු...එහෙමනම් ඉතිං මේ ලොකේ සේරම අය කැතයි"
මම කිව්වම භූප පාර මුකුත්ම නොකියා හිණා වුණා විතරයි.අපි පොඩි වෙලාවක් එහෙමම කතා නොකරම උන්නා.
"දුලාරා..." ඊට පස්සේ නිහඬතාවය බින්දේ භූප.
"ම්ම්?"
"මේ බලන්නකෝ..."
"ඇයි?" මම හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"මම ඔයාට ගොඩක් ආදරෙයි...ගොඩක් ගොඩක් ආදරෙයි..."
මගේ දෝතින්ම අල්ලගෙන, භූප බොහොම හැඟීම්බරව එහෙම කියද්දි මගේ ඇස් වලට කඳුලු පිරුණේ ඉබේටම. ඒ එක්කම මුකුත් කියන්නගන්න බැරිව මම ගොලු වුණා. මම කලේ ඔහුගේ අතක වෙලිලා, උරහිසට වාරු වුණ එක. භූපත් මුකුත්ම නොකියා මුදුවටමගේ ඇඟිලි ටික අතේ ගුලි කරගත්තා. අපි එහෙම ටික වෙලාවක් ඉන්න ඇති. ඊට පස්සේ, ඉර හෙමිහිට අවරදිගින් බැහැගෙන යද්දි අපි දෙන්න අත පටලගෙන හොස්ටල් එකට එන්න පිටත් වුණා. ඉස්සරහදි අපේ කතාවේ අනාගතේ විනිශ්චිත වුණත්, එවෙලේ අපේ කතාව තරම් නිශ්චිත, ස්ථිර දෙයක් අපි දෙන්නටම වෙන තිබුනේ නෑ. ඒ වගේම අපේ ආදරේ තරම් සුන්දර දෙයක් වෙන තිබුණෙත් නෑ.