Thursday, February 28, 2013

විසි අටවන කොටස



ජේඩන් පිලිබඳව වූ විවිධ සිතුවිලි පෙරලි කරන සිතින් යුතුව මම අපගේ කාමරය දෙසට ඇදී ගියේ සිහිනයෙන් මෙනි. දොර අසලට යන තුරුත් මා අද මෙහි හිඳ පිට වූ හේතුව මා සිහියට නොනැගුනාක් මෙනි. එහෙත් දොර අසලදී, මහිතේ පැන නැගුනේ කිසියම් අයුරක දෙගිඩියාවකි. කාමරයට ඇතුලු විය නොහැකි තරම් ලැජ්ජාවක් මට දැනෙමින් තිබිණි. එහෙත් වරද මා අත වූ බැවින්, මා එයට මුහුණ දිය යුතු විය. මම සිතට ධෛර්යය ගෙන දොර හැරගෙන කාමරයට ඇතුලු වූයෙමි. දොර හැර තිබීමම මාගේ පුදුමයට හේතු විය.
මාගේ සියලුම යෙහෙලියන් ඒ වන විට කාමරය තුල විවිධ තැන් වල අසුන් ගෙන උන් අතර, මා ඇතුලු වූ වි‍ට ඔවුන්ගේ හිස එකාවන්ව මවෙත යොමු විණි. මම හුන් තැනම ගල් ගැසී බිම බලා ගත්තේ අන් කල හැකි දෙයක් මතක් නොවූ නිසාය. වරදකාරී හැඟීම මා හිස දවන ගින්නක් බඳු විය.
"පංචලී...මොන මංගල්ලෙකද මනුස්සායෝ ගියේ? අපි මෙහේ හොඳටම බය වෙලා හොයලා හොයලා...ඇයි මෝඩියේ මෙහෙම දේවල් කරන්නේ?" කවදත් ඉවසනු බැරි පූජා මුලින්ම මාගේ ඇඟට ගොඩ වූවාය.
"හොඳ වෙලාවට ජේඩන් හරි හිටියේ. නැත්තම් අද මොනා වෙයිද?" ඈ යලි කීවාය.
"කරුණාකරලා....අනේ මට සමාවෙන්න. මම හිතේ ආවේගෙට එහෙම ගිය එක ගැන මං ආඩම්බර වෙන්නෑ" මම හැඬුම්බරව සියලු යෙහෙලියන්ට කීවෙමි.
තවමත් මදෙස එක වරක්වත් හැරී නොබැලූ සොනාලි, තවමත් මදෙස නොබලාම උන්නාය.
"ඒ මොක වුණත්..." පූජා යලි පටන් ගත්තද, නයෝමි මදින් කතා කලාය.
"දැන් හරි. දැන් කොහොමහරි ආවනේ. හෙට විභාගේ. දැන්වත් යමු මොනා හරි බලා ගන්න"
මම නයෝමි දෙස බැලුවෙමි. ඈ මදෙස බැලුවද ඒ මුහුණේ සිනාවක් නොවිණි.
"අනේ මට සමාවෙන්න...සමාවෙන්න...කරුණාකරලා" මම යලි කීවෙමි.
"මෙතන සමාවගන්න දෙයක් වුණේ නෑ. ඒත් ඔයා අපිව හොඳටම බය කලා. පොඩි ළමයෙක් වගේ ආයෙම එහෙම කරන්න එපා. දැන් පාඩම් කරන්න. අපි යන්නම්" නයෝමි මට කීවාය.
"ඔව්...අපි තරහා නෑ" නජීබා ද කීවාය.
ලතිකා සහ පූජා මට මද සිනාවක් පා සොනාලි වෙත හැරී ඉඟිකලාය.
"පව්...පොඩ්ඩක් කතා කරන්න" ඔවුහු ශබ්ද නොනැගෙන සේ තොල් වලින් මට එසේ ප්වසා කාමරයෙන් නික්ම ගියෝය.
"තරහා වෙන්න එපා" මම ඔවුනට යලි කීවෙමි.

අවසන කාමරයේ ඉතිරි වූයේ සොනාලි සහ මම පමණි. තවමත් ඈ මදෙස නොබලාම උන්නාය. මම දිගු සුසුමක් හෙලා ඇගේ යහන අද්දරට ගියෙමි. ඈ දණහිස් වකුටුකො‍ටගෙන ඒ වටා දෝතම බැඳගෙන, දණහිස මත නිකට තබාගෙන, මට පිටුපා උන්නාය.
"සෝනු..." මම සෙමෙන් ඇය ඇමතීමි.
එහෙත් ඈ සෙල් රුවක් සේ නිසලව උන්නාය.
"සෝනු...මේ අහන්න..." මම යලි කතා කලෙමි.
එහෙත් ඈ නිහඬවම උන්නාය.
මහිත වරදකාරී හැඟීමකින් සහ, ඈට යලි කතා කිරීමේ නොහැකියාවකින් කැලඹෙමින් තිබිනි. එහෙත් වරද මා අත වූ නිසාවෙන් මට ඈ නොසලකා හැරීමද කල නොහැකි විය. මම දිගු සුසුමක් හෙලීමි,
"මට සමාවෙන්න සෝනු...අද වුණ දේවල් ගැන මම ඇත්තටම ගොඩක්...ම්...ලැජ්ජා වෙනවා. කරුණාකරලා මට සමාව දෙන්න..." ඉන්පසු මම ඇදෙස යලි නොබලාම පැවසීමි.
සොනාලි නහය සූරනු මට ඇසිනි. 'ඈ හඬනවාවත් ද?' ඒ සිතිවිල්ල මා තවත් කැලඹුවා පමණි. මම සොනාලිගේ යහන අසලට යද්දී ඈ දණහිසේ මුහුණ සඟවාගෙන උන්නාය. ඇගෙ පිට හෙමි හෙමින් ගැස්සෙමින් තිබිණි. එවෙලේ මහිතේ එක් වරම පිරී ගියේ  මහා දුකකි. සැබවින්ම සොනාලි හඬමින් උන්නාය. මගේ නෙත් වලටද කඳුලු පිරුණේ ඇසිල්ලකිනි.
"සෝනු...ඔයා අඬන්නේ ඇයි? කරුණාකරලා අඬන්න එපා..."
මා හැඬුම්බරව කියද්දී ඈ ද තව හැඬුම්බර වූවා පමණි.
"සෝනු...මම දන්නවා ඔයා කියපු දේට මම තරහා ගත්තු එක වැරදි බව. එහෙම වුණේ මගේ හිතෙත් ලොකු පීඩනයක් තියෙන හන්දා. මේ සේරම් දේවල් නිසා. ඔයා මා එක්ක දැන් කතා නොකලොත් මට හිතන්න වෙන්නේ ඔයා මට සමාව දුන්නේ නෑ කියලයි..." මම අගේ යහනත පාමුලින්  හිඳ ගනිමින් කීවෙමි.
එහෙත් තවමත් සොනාලි කිසිවක්ම නොකීවාය. මේ වන විට වේලාව රාත්‍රී දොලහටද ආසන්නවතිබිණි. අන්තිමේදී මම හුන් තැනින් නැගිට මාගේ යහන වෙත පැමිණියේ, සොනාලි හිස ඔසොවන පාටක් නොවූ බැවිනි.
"හරි...මේකේ තේරුම ඔයා මා එක්ක තරහයි කියන එකනේ. කමක් නෑ. මම ඔයාගෙන් සමාව ඉල්ලුවා. ඔයයි මට සමාව නොදෙන්නේ...කමක් නෑ" මම අන්තිමේදී කීවෙමි. මහිතේ කලකිරීමක්ද, දුකක්ද එකසේ තිබිණි.
"මම තරහා නෑ..."
අන්තිමේදී සොනාලිගේ දුබල හඬ නැගී ආවේය. මට එදෙස බැලුනේ නිතැතිනි. ඈ යන්තම් හිස ඔසවා මදෙස බලා උන්නාය. යලිත් මා නෙතු වලට කඳුලු පිරුණි.
"ඒත්...මට ගොඩක් දුක හිතුණා...ඔයා එහෙම දමලා ගහලා ගියාම. සමහරවිට මමයි වැරදි ඇත්තේ. මොකද මම කිව්වේ ඕන නැති දෙයක් වෙන්න ඇති" ඈ කීවාය.
"නෑ සෝනු...ඔයා කිව්ව දේ හරි හන්දා වෙන්න ඇති මට එච්චරටම තරහා ගියේ..." මම කීවෙමි.
"ඒ කියන්නේ?" සොනාලි ඇසුවාය.
"ඒ කියන්නේ...ඔයා කිව්ව එක හරි කියලයි" මම නෙතු කඳුලු පිසිමින්ම ඇගෙන් ඉවතට හැරී, අඳුරු වූ ජනේලය අසලට ගියෙමි. ජනේලය තුලින් අපැහැදිලිව පාත වූ වීදී ලාම්පු වල එලිය පෙනුනි.
"සෝනු...මං ජේඩන් ගැන හිතනවා...ඒක බොරුවක් නෙවෙයි. එක පාරක්, දෙකක් නෙවෙයි, දවසකට සිය දහස් වතාවක් එයාව මට මතක් වෙනවා. එයා මට ගොඩක් ආදරේ වගත් මම දන්නවා. අද වුණත් එයා මාව හොයාගෙන ආවේ, මගේහිත හදන්න හැදුවේ ඒ ආදරේ නිසා තමයි...ඉතිං ඒ තරම් එයා මට ආදරේ කරද්දි, මට එයා ගැන නොහිතා ඉන්න බෑ..." එසේ පවසා මම සොනාලි දෙසට හැරුණෙමි.
ඇය දැන් මුලුමනින්ම වාගේ කෙලින් වී මදෙස පුදුමයෙන් මෙන් බලා උන්නාය. මම වහා ඈ අසලට ගොස් ඇගේ යහනත අසල දණගසාගෙන, ඇගේ දෑත අල්වාගතිමි. ඈ අවිනිෂ්චිතව මෙන් මදෙස බලා උන්නාය.
"සෝනු...මම ජේඩන්ට ආදරෙයි...මුලු හිතින්ම...මුලු ආත්මෙන්ම..."
මා එසේ පැවසූ කල සොනාලි සිය දෑස් උපරිමයෙන්ම විසල් කොටගෙන මදෙස බැලුවාය. අප මොහොතකට පෙර විරසක්ව හුන් වග දෙදෙනාටම අමතක වී ගිය සෙයකි.
"ඔය...ඔය ඇත්තමද?" ඈ විමසුවාය.
"ඔව්...ඇත්තමයි"
සොනාලි මා කියූව විශ්වාස නොකලාක් මෙන් මදෙස බලා උන්නාය.
"ඇත්තටම? ඒ කියන්නේ...සංකේත්ව අයින්ම කරලම?"
පුදුමයකට මෙන් සංකේත්ගේ නම ඇසීම මා තවදුරටත් පෙර මෙන් දුක්බර කලේ නැත. සිත යාන්තමට සසල කලා පමණි.
"කාලයක් යද්දි, අමතකම වේවි..ඔව්" මම කීවෙමි.
"ඔයා...ජේඩන්ට කිව්වද?"
"නෑ" මම හිස වැනීමි. "එයා ලබන සතියේ ටික දවසකට ටෙක්සාස් යනවලු. ඒ ගිහින් ආවාම, මම මේක කියනවා..."
සොනාලි දිගු සුසුමක් හෙලා, මදෙස බලා මද සිනාවක් පෑවාය.
"ඇති යාන්තම්...මදෑ, කොච්චර කල් ගියාද ඒක තේරුම් ගන්න?" ඈ කීවේ සැහැල්ලුවෙන් මෙනි.
මම ද පෙරලා සිනාසුනෙමි.
"හරි...මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා" එවර කීවේ සොනාලිය.
"ඒ මොකක්ද?"
කතාව කියන්නට පෙරම සොනාලිගේ කම්මුල් මද පැහැ ගැහෙනු මට පෙනුනි.
"මම ඩීනෝට කැමති වුණා..."
"නෑ!!" මට කියවිණි.
"ඔව්" සොනාලි ලැජ්ජාවෙන් ඉවත බලාගෙන තෙපලුවාය.
"කවද්ද?"
"අද උදේ"
"මට කිව්වෙවත් නෑනෙ"
"කියන්න වුණාද? රණ්ඩු වෙලා යන්න ගියානෙ"
"හරි හරි ඒක වැඩක් නෑ. ඩීනෝ, තාමත් උඩ පාවෙනවද දන්නෑ සතුටින්" මම හිනැහී කීවෙමි.
"ම්ම්...මම කැමතියි කිව්වම එයාට ඒක අදහාගන්න බැරිව වගේ ටික වෙලාවක් හිටියා. ඊට පස්සෙයි මොලේට වැටිලා තියෙන්නේ" සොනාලි කීවාය.
"හ්ම්...හරිම ෂෝක් නේ. ඉතින් ඊට පස්සේ මොකද වුණේ?" මම ඇසීමි.
සොනාලි සිය දෑස් කරකවා, සිනාවක්ද සමගම ඈත බැල්ම රඳවා ගත්තාය.
"අපි ඇවිද්දා, කෑවා...ම්ම්..."
"එයා ඔයාව ඉම්බද?" මම නො ඉවසිලිමත් වී ඇසීමි.
"හානේ...හරි නරකයි...හිතන දේවල්...!" ඈ රතු වී ගිය මුහුණින් කීවාය.
"හරි හරි...වෙච්ච දේ නේ ඇහුවේ"
"හ්ම්" ඈ එවර මදෙස නොබලා, ඉමහත් වූ ලැජ්ජාවෙන් තෙපලුවාය.
මට කට පුරාම සිනා නැගුණි. එනිසාම මම හුන් තැනින් නැගිට සිනාසෙමින්ම කාමරයේ සක්මන් කරන්නට වීමි.
"හිතන්න...මේක හරි පුදුමසහගත දෙයක් නේද කියලා. මම ඩීනෝට කැමති වුණ දවසෙම, ඔයත් ජේඩන්ට කැමති වෙන්න තීරණය කරපු එක?" සොනාලි විමසුවාය.
"හ්ම්" මම හිස වැනීමි."හෙට විභාගේ නැත්නම් අපට මේක හොඳට සමරන්න තිබුණා"
"අපි, ජේඩනුත් ආවාම සමරමු. දෙකම එකට" සොනාලි කීවාය.
මම සුසුමක් හෙලා ඇදෙස බැලීමි. හැඬූ නිසා විඩාපත් බවක් පල වූවද ඇගේ දෑසේ කාන්තියක් විය.
"ආයෙම මෙහෙම දෙයක් ගැන හිතද්දි බයත් හිතෙනවා සෝනු. ජීවිතේ ආදරේ සම්බන්ධයෙන් මට තියෙන්නේ කටුක අත්දැකීම් විතරයි. ඇත්තටම මට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න යනවා කියලා හිතෙන එකත් හීනයක් වගේ" මම කීවෙමි.
"පිස්සි...දෙයක් අශුභවාදීව දකින්න ඔයා තරම් කෙනෙක් නෑ..."
ඈ කී විට මට සිනා නැගුනේ ජේඩන්ද එසේම මට කී වග මතක් වී  ය.
"ජේඩනුත් එහෙම කියන්වා"
"ඇත්තනේ"
"මට දැන්මම එයා නැති පාලුව දැනෙනවා වගේ" මම කීවෙමි.
"සති දෙකක් කියන්නේ මහා කාලයක් යැ?"
"දෙකක් නෙවෙයි තුනක්"
"හරි හරි. විභාගේට ලෑස්ති  වෙද්දි කාලේ හරි යයි. ඊලඟට ඒක ඉවර වෙද්දි, ජේඩන් ඇවිත් ඉඳීවි. හැමදේම හොඳින් සිද්ධ වේවි පංචලී...බය වෙන්න එපා..." සොනාලි කීවාය.
මම ඈට සිනාවක් පෑවෙමි."හ්ම්... අපි එහෙම හිතමු"
සොනාලි එවර ජනේලයෙන් එපිට නෙතු  රඳවාගෙන මද කල්පනාවකට වැටී උන්නාය.
"සෝනු..."
"හ්ම්" ඈ නෙතු ඉවතට නොගෙනම ඇසුවාය.
"අද වෙච්ච දේට මම ඇත්තටම ගොඩක් කණගාටු වෙනවා...ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න...." මම එසේ කීවේ මුලු හිතින්මය.
සොනාලි නෙතු හරවා මදෙස බැලුවාය.
"හිත රිදුනා නම් තමයි ටිකක්, ඒත් මම වුණත් හැසිරුණ විදිය හරි කියලා කියන්න බෑ මට.ඒ මොක වුණත් අපි ඒක අමතක කරමු. හ්ම්...හරිම මහන්සියි. දැන් නම් ආයෙම පාඩම් කරන්න බෑ. අපි නිදාගමු නේද?"
"ඔව්...ඒක නම් හොඳයි තමයි"
ඉදින් අපි කිසිවක්ම නොවූ ලෙස පුරුදු පරිදි, තම තමන්ගේ යහන් මත දිගෑදී නිදා ගත්තෙමු. 


පසුදින එවෙලේම පහන් වූවාක් සේ හැඟුනේ ඇඳ පසෙක වූ ඔරලෝසුවේ වෙලාව නාද වන හඬට ගැස්සී ඇහැරුණු පසුවය. එකෙනෙහිම සීතල ජල දහරාවක් සේ සිතට පැමිණියේ විභාගය පිලිබඳ වූ භීතියයි. පිස්සන් දෙදෙනෙකු සේ අවදිව, එහා මෙහා දුවමින් ලෑස්ති වී, කෑවායින් නොකෑවායින් මගට බසින විටත් විභාගයට ඉතිරිව තිබුණේ පැය බාගයකටත් අඩු කාලයකි.
අපි අත වූ කෙටි සටහන් දෙසත්, ගමන් කරන මග දෙසත් වරින් වර බලමින්, මන්තර සේ පාඩම් කල දෑ මුමුණමින් විභාග ශාලා කරා ඇදුනෙමු. සතියේ ඉදිරි දවස් හරතම ගෙවුණේ එපරිද්දෙනි. අතරමැද එක් දිනක් නිවාඩු තිබුණද, දවසේ පැය ගණනට මදිවන තරමට කරන්නට පාඩම් වැඩද තිබිණි.
"පහුගිය සති දෙකේම කලෙත් පාඩම් කරන එක.ඒත් දැන් පොත බලද්දි දැනෙන්නේ අලුතින්ම බලනවා වගේ...අනේ මන්දා මේවා ඔලුවට යන්නෙම නැති හැටි..."
බ්‍රහස්පතින්දා සවස විභාගය අහවරව, ඩොලීස් හි කෝපි බොන්නට වාඩි වී සිටින අතරතුර මෙසේ ආඩපාලි කීවේ පූජාය.
"අපටත් එමම තමා" මම කීවෙමි.
"කියලා වැඩක් නෑ" මන්ජීත්ද හිස දෙපසට වනමින් කීවේය.
"එච්චරම හිතට ගන්න එපා සුදෝ" එරික් ඇද පැද මන්ජීත්ට කීවේ අසල හුන් නජීබාගේ මුහුණ ඇද වෙද්දීය.
මට ඉබේටම සිනාවක් නැගුනි. පූජා දෑස් කරකවා ඉවත බලා ගත්තාය. විභගය අහවර වූ සැනින්ම වාගේ සොනාලි, ඩීනෝ හමු වන්නට ගිය අතර ඔවුන් දෙදෙනා තවමත් අප ඉන්නා තැනට පැමිණ උන්නේ නැත.
"පංචලී..."
මා කෝපි කෝප්පය යන්තම් තොල ගෑවා පමණි. එරික් මා ඇමතුවේය.
"ඇයි?"
"අන්න...ඔයාව වෙන්න ඇති හොයන්නේ" ඔහු මා පිටුපා උන් දෙසට ඇගිල්ලක් දික් කරමින් කී අතර මම එදෙස හැරී බැලුවෙමි. මා මදක් පුදුමයට පත් කරවමින්ම අප උන් තැන එමින් උන්නේ ජේඩන්ය.
"හායි...හායි...කට්ටියටම. කොහොමද විභාගේ එහෙම?"
මා අසලට පැමිණ සිටගත් ඔහු අනෙක් අයට ආචාර කරමින් විමසුවේය.
"අනේ මන්දා.."
"වරදකුත් නෑ"
"අමාරුයි මට නම්"
එකෙ එක්කෙනා සිය අදහස් මුමුණද්දී මම හිස ඔසොවා ඔහු දෙස බැලීමි.
"බොමුද කෝපි එකක්?" මන්ජීත් ජේඩන්ගෙන් ඇසුවේය.
"ස්තුතියි. දැන් බෑ. මම ආවේ ඇත්තටම පංචලීව හම්බවෙන්න...කමක් නෑනෙ අපි පොඩ්ඩක් එලියට ගියාට?" ජේඩන් විමසීය.
"කිසීම ප්‍රශ්ණයක් නෑ. අපෙන් අහන්න ඕනත් නෑ. පංචලී ඉතින් අපට වඩා ඔයාගෙනෙ නේද?" පූජා එසේ කීවිට මම ඇයට මදක් රවා අසුනින් නැගී සිටියෙමි.
"පිස්සු කතා නොකියා ඉන්න පූජා…." "එනකල් අපි ඉන්න ඕනද? ඔයා මෙයව හොස්ටල් ඇරලවනවද?" පූජා අප යන අතරතුරේදී ඇසුවාය.
"මම ගෙනැත් දාන්නම්" ජේඩන් පිටුපස හැරී හිනැහී කීය.
එතකින්, සිනාසෙමින් අපට අත වනන පිරිසගෙන් සමුගෙන මම ජේඩන් හා ඩොලීස් වෙතින් එලියට පිලිපන්නෙමි.
අවට පරිසරය මන්දාරම් එලියකින් නැහැවී ගොස් තිබූ අතර, කාලගුණය සෞම්‍ය විය.
 "ඉතිං?" මම ඇසුවෙමි.
ජේඩන් යන්තමින් මදෙස බලා මද සිනාවක් මුවට නගා ගත්තේය.
"මම හිතුවා නොකියම ගියා වත්දෝ කියලා" මම යලි කීවෙමි.
"ඔයාට නොකියා?"
"හ්ම්"
"ඔයා දන්න්වානේ මම එහෙම කරන්නෑ කියලා...මම නෑවිත් හිටියේ විභාගේ අස්සේ ඔයාට කරදර කරන්න හොඳ නැති නිසයි" ඔහු සෙමෙන් කීවේය.
"අපට හෙටත් විශයක බාගයක් තියෙනවා" මම කීවෙමි.
"හ්ම්...ඒක තමයි. මට කොහොමත් ගොද වෙලා ඉන්නත් බෑ. මම ආපහු ගෙදර යන්න ඕන ඉක්මණට" ඔහු කියද්දී මම ඔහු දෙස බැලුවේ කුතුහලයෙනි.
"මොකක් හරි හදිසියක්ද?"
"නෑ...එහෙමම නෙවෙයි. මම අද රෑ ටෙක්සාස් යනවා. හෙට ඉඳන් වැඩපටන් ගන්නයි තියෙන්නේ" ඔහු කී විට මගේ පියවර නතර වුණේ ඉබේටම වාගේය.
"අද රෑට?"
"හ්ම්...ඔව්"
"ඒත්, හෙට සිකුරාදා නේ?"
"ඔව්...වැඩ පටන් ගන්න දවස මොක වුණත් කමක් නෑනෙ. මම හිතාගෙන ඉන්නේ ඉරිදා දවස් බාගයක් විතරක් නිවාඩු අරන් ඉතිරි දවස් සේරගේම වැඩ කරන්න...එතකොට සති තුනට කලින් වැඩ ඉවර කරගෙන මට ආපහු එන්න ලැබේවි..." ඔහු කීවේ නතර වී හුන් මා අසලට එමිනි.
"එහෙමද? ඒත් ඉතිං මොකක්ද හදිසිය? මුලු කාලෙම ඉඳලා අවා නම් හරි නේ. නිවාඩුත් අරගෙනම. නැත්නම් ඔයාට මහන්සි වෙවි...නැද්ද?" මම කීවෙමි.
"මට ඔයාව නොදැක එච්චරකල් ඉන්න බැරි වෙයි පංචලී..." එවර ඔහු මුදුව එසේ කීවේය.
ඔහු පිලිබඳව සිතේ වූ සෙනෙහස ගින්නක් සේ සිතේ ඇවිලුනි.කියන්නට දෙයක් සිතාගත නොහැකිව, ඔහු දෙස බලන්නටද නොහැකිව, මම බිම බලා ගතිමි.
"අනික ඔයා මට දෙන උත්තරේ දැනගන්න මට හදිසියි තමයි. මම ගියාම ඔයාට තව නිදහසේ හිතන්න පුලුවන් වෙයි නේ" ඔහු තවමත් කතා කරයි.
එහෙත් මම මුනිවතරැක්කෙමි. ඔහු ටික දිනකට හෝ මගෙන් ඈත්ව යන පුවතත්, ඔහු තුල මා කෙරේ වන සෙනෙහසත් යන දෙකම සිතේ මහා බරක්ව තෙරපෙමින් තිබිණි.
"පංචලී...ඇයි ඔයා මුකුත්ම නොකියන්නේ?" ඔහු මට තවත් සමීප වෙමින් ඇසීය.
"ඔයා පරෙස්සමින් ගිහින් එන්න ජේඩන්..." මම තතනමින් වචන ගැට ගසා ගතිමි.
"ඔයා නැති පාලුව මට දැන්මම දැනෙන්න පටන් අරන් වගේ...සති තුනක් කියන්නේ දිග කාලයක්.." ඔහු යලි කීය.
"කාලේ ඉක්මණට ගෙවිලා යාවි..." මටම කියාගත යුතු දෙයක් මම ඔහුට කීවෙමි. ඔහුට තරමටම මටද එම කාලය ඉවසා හිඳින්නට අපහසු වග ඔහු දන්නේ නැත.
"මං එනකල් ඉන්නවා නේද?" ඔහු ඇසීය.
මම 'ඔව්'යි කියන්නට හිස වැනීමි.
"මම අහපු දේ ගැනත් ආයේ හිතනවා නේද?"
ඔහු ඇසූ කල මම යන්තම් හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඒ ඇස් වල වූ දරාගත නොහෙන බැල්ම මහිත පසාරු කරගෙන යන්නාක් සේ මට දැනුනි.
ඒ පිළිබඳව යලි සිතන්නට දෙයක් නැති වග ඔහුට කියන්නට මට උවමනා විනිද, මා ඉවසිය යුතු යැයි මහිත පවසන්නට විය.
"හ්ම්" එනිසා මම යලිත් හිස පමණක් වැනීමි.
එවර ඔහු සෙමෙන් මාගේ සීතලව තිබූ අතකින් අල්වා ගත්තේය.
"මොකද මේ අත සීතල වෙලා?" ඔහු මගේ අත මිරිකා ගනිමින් ඇසීය.
"දන්නෑ..." මම කීවෙමි.
"ඔයා ඉන්නේ නොසන්සුන් වෙලා වගේ"
"එහෙම දෙයක් නෑ" මම කීවෙමි.
"මම ආපහු එනකල් ඔයත් පරෙස්සමින් ඉන්න. හොඳට විභාගෙත් කරන්න. තේරුනාද?" ඔහු මදෙස බලා දයාබරව කීවේය.
"ඉතිං ඔය යන්නද?" මම ඇසීමි.
ජේඩන් හිනැහුණේය.
"යන්නත් ඕන නම් තමයි...ඒත්..." ඔහු එපමණැක් කියා යලි මදෙස බලා ඉන්නට විය.
"ඒත්?"
ඔහු මදෙස බල උන්නා මිස මා ඇසූවට පිලිතුරක් දුන්නේ නැත. ඒ දෑස් අභිමුව මට දෑස් ඔසොවාගත නොහැකි විය.
"යමු මම ඔයාව හොස්ටල් එක ලඟින් ඇරල්වාගෙනම යන්නම්" ඔහු ඉන්පසුව කීවේය. අපි යලිත් සෙමෙන් පියවර මනින්නට වීමු.
"ඔයා අද හරි වෙනස් පංචලී...හිත ඇතුලේ මොකක්දෝ දුකක් තොයාගෙන මට නොපෙන්නා ඉන්නවා කියලා මට හිතෙනවා.." ඒ අතරතුරේ ඔහු මට කීවේය.
ඔහුට මා සිතැඟි මෙසේ දැනීම මා මවිත නොකලා නොවේ. මා දුක් වන්නේ ඔහු නිසා වග එනමුදු මට පැවසිය නොහැකි විය.
"නෑ..."
"ඇත්තමද? නැත්තම් මම යන හන්දා නොකියා ඉන්නවද?"
"ඇත්තමයි...මුකුත් එහෙම දෙයක් නෑ" මම බොරුවක් කීවෙමි.
"අනේ මන්දා...මොකද මට මෙහෙම දැනෙන්නේ කියලා. ඒත් වෙන කවරදාටත් වඩා අද ඔයා හිතට ලඟයි වගේ දැනෙනවා...දාලා යන්න හිත හදා ගන්න බැරි තරම්"
මහිත සසල වූ තරමටම වදන් නොමැතිව මම ගොලු වීමි.
සෙමෙන් පැමිනියද අපි ඉක්මනින්ම නේවාසිකාගාරය වෙත සේන්දු වී උන්නෙමු. පුරුදු පරිදි එහි දොරටුව අබියස ඔහුත් මමත් නැවතුනෙමු.
"කීයටද ෆ්ලයිට් එක?" මම හඬ අවදි කලෙමි.
"රෑ දහයාමාරට...ම්ම්...දැන් වෙලාව හයාමාරයි. දැන් ගිය ගමන්ම අනෙක් පැත්තට යන්න ඕන" ඔහු කීය.
"කොහොමද යන්නේ?"
"කැබ් එකක්ට කතා කරලා තියෙන්නේ"
"ම්ම්...එතකොට එහාට යද්දි කීය වෙයිද?"
"පැය දෙකහමාරක් විතර යන්වා. මගේ යාලුවෙක් ඒවි මාව ගන්න. ගිහින් හෙට උදේම වැඩ පටන් ගන්නවා" ඔහු කීය.
මහිත කුමක්දෝ සංතාපයකින් පිරී යද්දී මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.මද සිනවකින් යුතුව මදෙස බලා හුන් ඔහුගේ වතේ එවර ඇඳුනේ මට කියවාගත නොහුනු හැඟීම් පොකුරකි. ඉන්පසුව ඔහු මානෙත් මගැර බිම බලා ගත්තේය.
"මා දිහා ඔහොම බලන්න එපා පංචලී...මට එහේ ගිහින් ඉන්න බැරි වේවි ඔයා ඇස් මතක් වෙද්දි"
'ඉතිං යන්න එපා' යැයි කියන්නට මට උවමනා විය. නමුදු මම කිසිවක්ම නොකියා උන්නෙමි.
ඔහු යලි මදෙස බලා අඩියක් දෙකක් මවෙත ලං විය.
"මට ඔයා නැති පාලුව ගොඩක් දැනේවි..."ඔහු ඉන්පසු සෙමෙන් කීවේය.
මම සෙමෙන් නෙතු ඔසවා ඔහු දෙස බැලීමි. ඒ ඇසිල්ලේ, ඔහු මවෙත නැමී මුදුව්ට මගේ කම්මුලක් සිප ගත්තේය.
"මම දැන් යන්න ඕන පංචලී. ඒත්...මම ඉක්මණින් එන්නම් ආපහු...හරිද?"
"හොඳයි..." මම තෙපලුවෙමි.
"දැන් ඇතුලට යන්න...හොඳට පාඩම් කරන්න. මම එහේ ගිහින් කතා කරන්න බලන්නම්. අඩුම ගානේ FB පණිවිඩයක්වත් දාන්නම්...හරිද?" ඔහු ඉන්පසු මහිස අතගා කීවේය.
"හ්ම්" මම හිස වැනීමි.
එහෙත් අපි දෙදෙනාම දෙදෙනාගෙන් සමුගන්නට නොහැකිව තව මොහොතක් එතනම සිටගෙන උන්නෙමු.
"මම යන්නද?" ඔහු ඇසීය.
"ගිහින් එන්න" මම කීවෙමි.
"යන්නම්" එසේ කියා ඔහු සෙමෙන් සෙමෙන් පසුපසට ගොස් මට අතක් වනා මාර්ගයට අවතීර්ණ විය. මගේ උගුර සිරවීගෙන පැමිණි අතර, දැස සියුම් කඳුලු පටලයකින් බොඳ විය.
"ජේඩන්...." හදිසියේ හිතේ ඇති වූ ආවේගය නිසා මම දුර යන ඔහුට කෑ ගැසීමි.
"මොකක්ද?"ඔහු හුන් තැන නතර වී හඬගා ඇසුවේය.
"ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා..." මම කීවෙමි.
"මම ඉක්මණින් එනවා...සහතිකයි මං එනවා..." ඔහු මට අතක් වනමින් කීවේය.
ඉන්පසු ඔහු අසල වූ වංගුවෙන් හැරී නොපෙනී යන තුරු මම බලා උන්නෙමි. ඔහු ඒ සැන්දෑවේ නික්ම යද්දී මා සිතද ඔහු හා රැගෙන ගොස් තිබිණි.