Monday, December 29, 2014

අනූහතරවන කොටස

"මොකෝ මේ? මොකද freeze  වෙලා? දැකලා අදහාගන්න බැරි වුණාද?"
වෙඩින් එක දා උදේ අපි ඇඳගෙන එලියට එද්දි අපි දිහා ගල් ගැහිල වගේ බලාගෙන උන්නු අනුක්ගෙන් එහෙම ඇහුවේ ගෝතමී අක්කා.
"නෑ...මං මේ බැලුවේ, ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන වගේ එන්නේ කවුද කියලා" අනුක් කිව්වා.
මටයි, යශෝ අක්කටයි හිනා ගියේ ඉබේටම.
"හොල්මන කිව්වේ අපටද?"
"හොල්මන කියන්නේ ඒකවචනයක් නේ. ඒකවත් දන්නේ නැද්ද?, තොප්පිය හරි නම් දා ගන්න එකයි ඇත්තේ"
"අනේ මේ...ඔයා එක්ක වාද කර කර ඉන්න අපට වෙලා නෑ. වාහනේ ඇවිල්ලද photo ගන්න යන්න?" ගෝතමී අක්කා ඇහුවා.
"ඒක කියන්න තමා ආවේ. කෝ ලොකු අක්කා?"
"දැන් එයි. එතන පුංචම්මයි, නැන්දලා දෙන්නයි, අප්පච්චියි ඉන්නවා.  අපි යමුද කාර් එකට?" යශෝ අක්කා කිව්වා.
"හරි එහෙනම්. කාර් එක ඇවිත් තියෙන්නේ"
අක්කලා දෙන්නා සාලේ දිහාට යන්න පිටත් වෙද්දි මම උවමනාවෙන්ම පමා වුණේ අනුක් එක්ක කතා කරන්න ඕන නිසා.
"ඔයාව මට අඳුනගන්නත් බැරි තරම්" අනුක් කිව්වේ මා දිහාට දයාබර බැල්මක් හෙලලා. මට දැනුනේ පොඩි ලැජ්ජාවක්.
"ඒ මොකද? එච්චරටම වෙනස් වෙලාද?"
"වෙනස් වෙලා නෙවෙයි, ලස්සන වෙලා"
"ඒ කියන්නේ වෙනදට ලස්සන නෑ?"
"එහෙම නෙවෙයි වෙනදට වඩා ලස්සනයි"
අනුක් කිව්වම මම හිනාවුණා.
"ඒක නෙවෙයි, මම මේ කාරණයක් කියන්න නැවතුණේ" මම ඊට පස්සේ කිව්වා.
"මොකක්ද?"
"ඊයේ රෑ මට භූප කතා කලා" මම ඒක කිව්වේ හිනාවකුත් එක්කම.
"ආ එහෙමද? ඉතිං එයා මොකද කිව්වේ?" අනුක් ඇහුවේ තරමක් පුදුම වෙලා වගේ.
"එයා ඉරිදට මාව බලන්න එනවා කිව්වා" මම කිව්වේ හිනාව තවත් පුලුල් වෙද්දි.
"කොච්චර හොඳද.. ඒකනේ මම කිව්වේ කතා කරාම ප්‍රශ්ණ විසඳගන්න ලේසියි කියලා" අනුක් කිව්වේ මා දිහා කෙලින් නොබලා.
"හ්ම්ම්"
"දැන් හිත හොඳද?" අනුක් ඇහුවා.
"ඔව්...හිත සැහැල්ලුයි වගේ දැනෙනවා"
"ම්ම්. එහෙනම් එච්චරයි"
මම අනුක් දිහා බැලුවේ ස්තුතිපූර්වක හිනාවක් එක්ක. ඔහු එවෙලේ මා දිහා බැලුවා.
"දුක බෙදාගන්න හිටපු එකට තෑන්ක්ස් අනුක්...that meant a lot"
"It’s my pleasure. You know I will be there for you always"
මම ආයෙම ඔහුට හිනාවක් පෑවා.
"දුලාරා එනවද අදම..." ඊලඟට මොනවත් කතා කරන්න කලින් සාලේ දිහාවෙන් ඇහුණේ ගෝතමී අක්කගේ හඬ.
"පස්සේ හම්බෙමු එහෙනම්"  මම එහෙම කියලා සාලෙට දුවගෙන එන්න ආවා.
එදා මම ජීවිතේ ගොඩක් සතුටින් උන්නු එක දවසක්. ඒ භූප, අනුක් දෙන්නම හන්දා. භූපගේ ආදරේ, අනුක්ගේ මිතුරුකම හිතට එක් කලේ ලොකු අස්වැසිල්ලක් හන්දා.  
*****
Wedding  එක ඉවර වෙද්දි අපි උන්නේ බාගෙට පණ ගිහින් ෆෝටෝ වලට ඉඳලම. වෙඩින් එක අතරතුරදි මම නොසන්සුන් වෙලා හිටියේ චේතිය අයියලගේ අම්මලත් ඒකට එන හන්දා. චේතිය අයියා හිටියේ කැනඩා ගිහින් හන්දා එයා වෙඩින් එකට එන්නේ නෑ කියලා අනුක් මට කලින් කියලා තිබුණා. කොහොම වුණත් උන්නු සෙනග කන්දරාවේ හැටියට ඒ අය මාව දැක්කද, අඳුනගත්තද කියන්න මම දන්නෙත් නෑ. කොහොම වුණත් කෝකටත් හොඳයි කියලා මම ඈතටම වෙලා උන්නා පුලුවන් තරම්.
Wedding ඒක ඉවර වුණා කියලා නිවනක් තිබුණේ නෑ, ඊලඟට සෙනසුරාදා හෝම් කමින් එකට ලෑස්ති වෙන්න තිබ්බ හන්දා. සිකුරාදා දවසින් බාගයක්ම නිදාගත්තු අපි දවසේ ඊලඟ බාගේ වල් පල් කියව කියල පහුවදා දවසට ලෑස්ති වුණා. හිත සැහැල්ලුවෙන් තිබ්බ හන්දා මම උන්නේ ගොඩක්ම සතුටින්. ඒත් මොන හේතුවක් නිසාද මන්දා අනුක් හිටියේ ලොකු සතුටකින් නෙවෙයි කියලා මට දැනුනා. මට හිතුණා ඒ උත්පලා අක්කා මේ ගෙදරින් දැන් යන්න යන හන්දා වෙන්න ඇති කියලත්. මොකද අනුක් පොඩි අක්කලා දෙන්නට වඩා ලං වෙලා හිටියේ උත්පලා අක්කට හන්දා.
"අනුක් අයියා...අර වත්ත පහල ගහේ පේර ගොඩ හැදිලා අනේ. අපි යමුද කඩාගෙන එන්න?" ගෙදරට ඇවිල්ල උන්නු පොඩි අය කීප දෙනෙක් අනුක්ගේ ඇඟේ එල්ලි එල්ලි ඉද්දි මමත් එතනට ගියේ අනුක් එක්ක කතා කරන්න ඕන හන්දා.
"දැන්?" අනුක් ඇහුවා.
"අනේ ඔව්...දැන් යමුකෝ..." පොඩි අය කෑ ගහනවා.
අනුක් එතනට ආපු මාව දැක්කේ එවෙලේ. මම ඔහුට හිනාවක් පෑවා.
"කොහෙද යන්න හදන්නේ?" මම ඇහුවේ එතන උන්නු අනුක්ගේ පොඩි නැන්දගේ පුතාගෙන්.
"පේර කඩන්න. බලන්නකෝ අක්කි මේ අයියට කිසිම උනන්දුවක් නෑනෙ එන්න"
"යන්නකෝ අනුක්, මොනාද. පොඩි අය පව්නේ" මම කිව්වා.
අනුක් කටත් ඇද කර කර මා දිහා බැලුවේ එපාවෙලා වගේ.
"අක්කිත් එන්නවද?" පොඩි අය අදද්දි අනුක් උන්නේ මම උත්තර්‍රේ දෙනක්ල් බලාගෙන.
"ම්ම්...හා එහෙනම් යංකෝ" මම ඉස්සර වුණත් අනුක් මා පස්සේ ආවේ කකුල් ඇද ඇද.
"මොනාද අනුක් පණ ඇතුව එන්නකෝ"
ළමයි කට්ටිය ඉස්සරහින් දුවන අතරේ මම අනුක් එනකල් පමාවෙමින් කිව්වා.
"මුන් සෙට් එක ආවම මට හරි වදේ. ගෙඩි කඩන්නයි, බෝල ගහන්නයි, කරේ තියාගෙන ලුණු ගෙනියන්නයි..."
"ඉතිං ෂෝක් නේ. පස්සේ  කාලෙක ඕන වෙයි ඔය එක්ස්පීරියන්ස් එක"
"අනේ මේ... පිස්සු කතා නම් කියන්න එපා"
අනුක් කිව්වම මම හිනාවුණා. අපි ඊලඟට හෙමින් වත්ත පල්ලට බහිද්දි පොඩ්ඩෝ ටික ලඟ තිබ්බ ජම්බු ගහකින් ගෙඩි කඩන්න පටන් අරගෙන.
"මෙතනට ආවට පස්සේ මම ඕන නෑ. ඔය පේනවා නේද?" අනුක් කිව්වේ පේර ගහ ලඟට පිය මනින ගමන්.
මටත් පේර ගෙඩි දෙකක් කඩාගෙන ඔහු මා ලඟට ආවේ පොඩ්ඩන්ට ඇති වෙන්න පේර, ජම්බු කඩන්න ඉඩ දීලා. අපි දෙන්නා හෙමින් ඇවිදගෙන වත්ත කෙලවරට ආවා. ඈත පේන කඳු වලල්ල බොඳ වෙලා වගේ පෙනුනේ පරිසරයේ තිබ්බ උණුසුම නිසා වෙන්න ඇති.
"පොඩ්ඩෝ ටිකක් කරදර කලාට මොකද, ඉද්දි පාලු නෑ පොඩ්ඩක්වත්" අනුක් මට කිව්වේ ලඟ තිබ්බ ගස් කොටයක් උඩින් වාඩි වෙලා මටත් වාඩි වෙන්න කියන ගමන්.
"ම්ම්...පොඩි අය ඉද්දි පාලු නෑ තමයි. කොයි වෙලේත් මොනා හරි කරන ගමන් නේ ඉන්නේ" මමත් කිව්වා.
"හ්ම්ම්" අනුක් මා දිහා නොබලා ඈත බලාගෙන සුසුමක් හෙලුවා.
"ඇයි අනුක්?" මම ඇහුවා.
"ම්ම්?" අනුක් මා දිහා බැලුවා.
"මම ඇහුවේ ඇයි ඔයා මේ අමුතු වෙලා කියලා. උත්පලා අක්කා ගෙදරින් යන එක ගැන නේද ඔයා හිතන්නේ?" මම ඇහුවාම අනුක් මට ලා හිනාවක් පාලා ආයෙම ඈත කඳු වලල්ල දිහාවේ ඇස් රඳවගත්තා.
"ඇයි ඔයා එහෙම අහන්නේ?"
"නෑ, මම බලාගෙන ඔයා ඊයේ හවස ඉඳලම ඉන්නේ වෙනම මූඩ් එකක. හරියට හිතේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා වගේ" මම කිව්වා.
"ඒ කියන්නේ ඔයා මා දිහාත් බලලා තියෙනවා?"
"විහිලු නෙවෙයි අනුක්" මම කිව්වම අනුක් ආයෙම හිනා වුණා.
"හිතේ ප්‍රශ්ණ නැත්තේ කාගෙද දුලාරා?"
"මොනාද ඔයාට තියෙන ප්‍රශ්ණ?"
අනුක් හිනාවෙලා උන්නත් ඒ වතේ තිබ්බේ දුකක සේයාවක් වග මට හොඳටම පෙනුනා. ඔහු ටික වෙලාවක් යනකල්ම කතා කලේ නෑ.
"මට කියන්න බැරි දෙයක්ද?" මම ඇහුවේ ඒකයි.
අනුක් ඇස් කොනකින් මා දිහා ඉක්මණ් බැල්මක් හෙලුවා.
"නෑ දුලාරා. එහෙම දෙයක් නෙවෙයි. අක්කා ආපහු අපේ ගෙදර ඉන්න එන්නේ නෑ කියන එක හිතට ටික දරා ගන්න අමාරු දෙයක් තමයි. අම්මා නැති වුණ දා ඉඳන් මට දෙවනි අම්මා කෙනෙක් වුණේ එයා. එයා මද්දු අක්කා වගේ සීරියස් නෑ. පොඩි අක්කා තරම් නපුරුත් නෑ. එයා අපේ අම්මා වගේ හොඳ sensible කෙනෙක්" අනුක් කියාගෙන යද්දි මම අහගෙන උන්නේ හිතේ දුකක් මෝදු වෙද්දි.
"ඒත් මම දන්නවා මේක තමයි ජීවිතේ ඇත්ත. අපට හැමදාම හැමෝම ලඟින් තියාගන්න බෑ. අපට එහෙම ඉන්නත් බෑ. අර ප්‍රොෆෙසර් සර්ත්චන්ද්‍රගේ පොතක තියෙන්නේ, ආවොතින් යා යුතු ය. නො ගොසින් යළි එනු බැරි ය. මේ ලොව ඇත්තේ යාම්-ඊම් පමණකි කියලා අනුක් එහෙම කියලා ආයෙම පුංචි හිනාවක් පෑවේ හිතේ තිබුණ සංතාපය වහගන්න වගේ.
ආදරේ කරන අයගෙන් වෙන් වෙන එකේ දුක මම ගොඩක් පොඩි කාලෙදිම තේරුම් ගත්තු දෙයක්. ඒ මගේ අම්මා නැති වුණ දවසේ. හිතට සීයට සීයක් තේරුම් කරන්න අමාරුයි, ඒත් මම උත්සාහ කරනවා එහෙම කරන්න" අනුක් කිව්වේ පාලනය කරගත්ත හඬකින් වගේ.
"අම්මා නොහිතපු වෙලාවක් නැතිවුණ එක නම් ලොකු දුකක් තමයි. ඒත් ඒක නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ. අම්මා කොහේ හරි ඉඳන් ඔයාලා දිහා බලාගෙන ඇති අනුක්. අම්මට ඉහලින්ම සතුටු වෙන්න පුලුවන් විදියට ඔය හතර දෙනාම වැඩ කරලා තියෙනවා. ඉදිරියටත් එහෙම කරයි. ඉතිං ඒ තමයි අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ" මම කිව්වා.
"ම්ම්...අනුක් හිස වැනුවේ කල්පනාබරව. අක්කා පෝරුවට නගින වෙලේ මට අම්මව හරියට මතක් වුණා" ඊලඟට ඔහු කිව්වා.
එවෙලේ මට ඔහු ගැන දනුනේ දුකක් එක්කම මොකක්දෝ සෙනෙහසකුත් දැනුනා.  මම ඔහුට ලං වෙලා ඒ සුරතින් උඩින් හෙමින් අත තිබ්බේ ඒකයි.
"මට ඔයාගේ හිත තේරෙනවා අනුක්"
"හ්ම්ම්ම්" අනුක් ඊලඟට ලොකු සුසුමක් හෙලුවා.
"උත්පලා අක්කා යන තැනක හොඳින් ඉඳීවි අනුක්. ඒ අයියත් හරිම හොඳ පාටයි. ඒ අම්මලත් එහෙමයි. වැදගත්ම දේ එයා සතුටින්, සැපෙන් ඉන්න එක නේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. දුරකටම යනවත් නෙවෙයි, මුල්ගම්පලටනේ යන්නේ" මම කිව්වා ආයෙම.
"ම්ම්..."
"අනුක්...අනේ ඔහොම දුකෙන් ඉන්න එපා"
මම කිව්වම අනුක් යන්තම් හැරිලා මගේ ඇස් වලට එබුණා. මම ඔහුට ලෙන්ගතු හිනාවක් පෑවේ ඒ හිත හදන්න මට ඕන වුණ හන්දා.
"දුලාරා..."
"ම්ම්..."
"අපි හැමදාම හොඳ යාලුවෝ නේද?"
"ඔව් අනුක්. ඇයි එහෙම අහන්නේ?"
"මගේ ජීවිතේ ඔයා මොන විදියකින් හරි ඉන්න ඕන කියලා මම හිතන නිසා"
ඔහු එහෙම කිව්වම මට පුංචි නොසන්සුන්භාවයක් දැනුනත් මම එවෙලේ ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කලා. ඊලඟට අනුක් මුලුමනින්ම මා දිහාට හැරුණා. ඒ ඇස්වල තිබුණේ මොකක්දෝ කලබලයක්.
"දුලාරා...මට කියන්න ඕන...මම...මොන දේ වුණත්, ඕනම වෙලාවක, ඒ කියන්නේ...හැම වෙලාවකම...ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයා ලඟ මම ඉන්නවා. ඒක අමතක කරන්න එපා"
අනුක් කලබලෙන් වගේ එහෙම කියද්දි මම ටිකක් විතර පුදුම නූනා නෙවෙයි. හිතාගන්න බැරි වුණා ඇයි ඔහු මේ වෙලාවේ එහෙම කිව්වේ කියලා. මට ඕන වුණේ නෑ ජීවිතකාලෙම අනුක් මේ වගේ මම හන්දා ඉන්නවා දකින්න. ඒක හිතට වදයක් වගේම, දුකකුත් වුණ හන්දා. මම හෙමින් එතනින් නැගිට්ටා.
"ඇයි?" අනුක් ඇහුවා.
"ඒත් ඔයාට හැමදාම එහෙම ඉන්න බෑ අනුක්. ඔයා ඔයාගේ ජීවිතේ ගැනත් මීට වඩා හිතන්න ඕන"මම කිව්වේ ඔහු දිහා නොබලා.
"ඔයා කොහොමද කියන්නේ මම මගේ ජීවිතේ ගැන හිතන්නෑ කියලා? මම ජොබ් එකක් කරන්නැද්ද? ගෙදර ගැන බලන්නැද්ද? යාලුවෝ ආශ්‍රය කරන්නැද්ද? මේ හැමදේම මම කරනවා"
"ඔයා දන්නවා මම කියන්නේ මොකක් ගැනද කියලා" මම කිව්වා.
"ඔයා හිතනවා නම් මම කෙල්ලෙක් හොයාගත්තොත් සේරම හරි යයි කියලා, ඒක වැරදියි දුලාරා. කෙල්ලෙක් හොයා ගන්න එක, මැරි කරන එක අමාරු දෙයක් නෙවෙයි. අමාරු ඒ තීරණේ ගන්න එක. ඒක එහෙම ආවට ගියාට කරන්න බෑ. ඔයාගේ හිත හදන්න මට මැරි කරන්න බෑ දුලාරා...ඒක තේරුම් ගන්න"
අනුක් එහෙම කිව්වම මම තිගැස්සුණා. ඒ අනුක් කෙලින්ම ඇත්තම කියපු හන්දද?
"අනුක් මම එහෙම කියන්නේ ඔයාගෙම හොඳකට මිස මගෙ ආත්මාර්ථකාමී කමට නෙවෙයි"
මම කිව්වම අනුක් ම දිහාට හෙලුවේ තියුණු බැල්මක්. ඒ ඇස්වල තිබ්බේ දුකක සේයාවක්.
"ඔයා ඔයාගේ හිතෙන් අහලා බලන්න ඒක"
"අනුක්...මට ඕන ඔයා හොඳින් ඉන්නවා බලන්න"
"නෑ...ඔයාට ඕන මගෙන් ගැලවුණා කියලා හිත හදාගන්න. මම ඔයා ගැන හිතන එක, මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම් ඔයාට වදයක්. ඒකයි..."
"මොනාද මේ කියන පිස්සු කතා?"
"ඔයා කිසි දේකට බැඳිලා නෑ දුලාරා. ඔයාට මගෙන් ඈත් වෙන්න ඕන නම්, අපි කතා නොකර ඉන්න ඕන කියලා ඔයා හිතනවා නම් එහෙම කලාට කමක් නෑ. ඔයාගේ හිතට වදයක් වෙලා ඔයා ලඟ ඉන්න මට ඕන නෑ"
අනුක් එහෙම කිව්වම මට උහුලගන්න බැරුව ගියේ ඇයි කියන්න මම දන්නේ නෑ. මට දුක හිතුණා හොඳටම. මම ආයෙම ගිහින් ඔහු ලඟින් වාඩි වුණා.
"ඔයාව මට වදයක් නෙවෙයි. ඔහොම කතා කියන්න එපා"
"එහෙනම් මට මෙහෙම ඉන්න දෙන්න.මම මේ ඉන්න විදිය මට හොඳයි" අනුක් කිව්වේ අහක බලාගෙන.
මට ඔහු ගැන දුක හිතුණා ගොඩක්. මට ඕන වුණේ ඔහුගේ හිත හදන්න මිසක තියෙන ප්‍රශ්ණ මදිවට තවත් දේවල් ඇදලා හිත රිද්දන්න නෙවෙයි.. ඊලඟට අපි දෙන්නම කතා බහක් නැතිව ඔහේ තම තමන්ගේ සිතිවිලි වල පැටලි පැටලි ටික වෙලාවක් උන්නා.
"අනුක් අයියා...පේර කැඩුවා ඇති. අපි ගෙදරට යනවා" ඒ නිහඬ බව බින්දේ වත්ත කෙලවරට ඇවිත් කතා කරපු පොඩ්ඩෝ ටික.
"ආ...යමු යමු...අපිත් මේ එනවා" අනුක් ඒ පැත්තට හැරිලා කිව්වා.
පොඩ්ඩෝ ටික දුවන හඬ මට ඇහුණා. මගේ හිත තිබුණේ යකාගේ කම්මල වගේ සිතුවිලි වලින් හැඩි වෙලා.
"අපි යමු"  අනුක් කිව්වේ වියලි ස්වරයකින්.
"මම කියපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුනා නම් අයෑම් සොරි අනුක්" මම හෙමින් කිව්වා.
"දැන දැන හිත රිද්දලා සොරි කියන්න එපා..."
"ඔයා ඉන්නේ මා එක්ක තරහෙන්"
"තරහා නෑ"
අනුක් නිර්දය විදියට එහෙම කිව්වම මගේ හිත පෑරුණා. මම කොහොමද අනුකට පැහැදිලි කරලා දෙන්නේ මගේ හිත?
"ඔයාට තේරෙන්නෑ..." මම මුලපිරුවා විතරයි.
"මොනවද?"
"මම ඔයා ගැන හිතන විදිහ"
"ඔව් මට තේරෙන්නෑ..."
"මම බයයි අනුක්..."
"මොනාටද?"
අනුක් ඇහුවම මම ඒ මූණ දිහා බැලුවා.
"මගේ හිතට...ඔයා ගැන මේ හිතට දැනෙන හැඟීම් ඔක්කොටම. මම හන්දා ඔයා ඔයාගෙ ජීවිතේ වෙනස් වෙයි කියලා, මම හන්දා ඔය හිත රිදෙයි කියලා. ඔයාගේ හිත රිදුණොත් පව් පිරෙන්නේ මට. තේරුම්ගන්න...මම ආස නෑ මම හන්දා ඔයාට මොනම හිත් රිදීමක්වත් ඇතිවෙනවට. ඒ මම ඔයා ගැන හිතන හන්දා...ගොඩක් හිතන හන්දා..." මම කිව්වේ බිම බලාගෙන.
මම කියපු එක තේරුම් ගන්න බැරිවා වගේ ටික වෙලාවක් උන්නු ඔහු හෙමින් මම මට්ටමට පාත් වෙලා මට ලං වුණා.
"ඒත් මම භූපගේ. එයා මට ආදරෙයි...මම හීන දැක්කේ එයාගේ වෙන්න. මම දුක් විඳේ ඒ ආදරේ රැක ගන්න. ඒත් දැන් මගේ හිත පැටලිලා..." මම කිව්වේ අහේතුකවම දෙනෙත් තෙත් වෙද්දි.
අනුක් හෙමින් හෙලපු සුසුමක උණුසුම මගේ කම්මුලට දැනුනා. මම හිස හැරෙව්වම අපේ දෑස් අතරේ තිබුණේ පුංචි පරතරයක් විතරයි. භූපගේ වගේම දිගටි ඒ ඇස් දිහා මම තප්පර කීපයක් බලාගෙන ඉන්න ඇති. ඒ ඇස්වල තිබුණේ උහුලගන්න බැරි තරම් ආදරයක් විතරමයි.
"මට පව් පුරවන්න එපා දෙයියනේ..." මම ඔහුට එහෙම කියපු සියවෙනි වතාව වෙන්න ඇති.
"මොනාද මම කරන්න ඕන?" අනුක් මගේ දෑස් මගනෑරම ඇහුවේ ගොඩක් දයාබර හඬින්.
"ඒක ඔයා දන්නවා"  මම එහෙම කියල නෙතු බිමට යොමාගත්තා.
"ඔයාට ඕන නම් ඔයාගේ ජීවිත නෑවිත් මට හැම්දාටම ඈත් වෙලා ඉන්න පුලුවන්. ඒත්...මම දන්නෑ එහෙම වුණත් ඔයා ගැන මගේ හිතේ තියෙන දේවල් වෙනස් වෙයිද කියලා. ඒක බලෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. දුලාරා....සමහරවිට මම මේ කරන්නේ වරදක් වෙන්න ඇති. ඒත්...මට ඔයා ගැන නොහිතා ඉන්න බෑ. එහෙම ඉන්න මට ඕනත් නෑ. ඒ නිසා මට මෙහෙම ඉන්න දෙන්න ප්ලීස්..."
අනුක් එහෙම කියද්දි මම අහගෙන උන්නේ හිත වේදනාවකින් පෙලෙද්දි. ඒ එක්කම අනුක් ගැන තිබ්බ සෙනෙහස කවරදාටත් වඩා වැඩියෙන් මට දැනුනා. අපි අපේ දෑස් දිහා බලාගෙන තප්පර දෙක තුනක් එහෙමම ඉන්න ඇති. ඊලඟ මොහොතේ අනුක් හෙමින් මගේ කම්මුලක් මත අත තියලා මගේ නලලට මූණ හේත්තු කරගත්තම මගේ දෑස් පියවුණා. ඒ එක්කම හද ගැස්ම වැඩි වුණේ එකපාරටම.
"I can’t stop loving you...." අනුක් හෙමින් කෙඳිරුවා.  "I just can’t do that…"
මම දෑස් ඇරලා ඔහු දිහා බැලුවේ කියන්න දෙයක් හිතාගන්න බැරිව. ඒ එක්කම මට භූප මතක් වුණේ එක පාරටම. හීනෙකින් පිබිදෙන්නා වගේ මම පියවි සිහියට ආවේ එවෙලේ. මට හිතුණා මම මේ මොනවද කරන්නේ කියලා. මම ඇයි මෙහෙම අනුක්ට මට ලං වෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔහුගෙන් ඈත් වෙලා හිට ගත්තේ ක්ෂණයකින්. මගේ හුස්ම තිබ්බේ වේගවත් වෙලා. මම අනුක් දිහා එක පාරක් බලලා එතනින් නැගිටලා දුවගෙන එන්න ආවා. ගෙදරට සේන්දු වෙද්දි මගේ හදවත තිබ්බේ වේගයෙන් ගැහෙමින්.
"දුලාරා..."
අනුක් ඒ එක්කම මගේ පස්සෙන් ආවත් මම ඔහුව මගෑරලා අම්මලා උන්නු තැනට යන්න ගියා.
ඉන්පස්සේ කාලේ ගෙවුණේ හීනෙන් ඇවිදින්නා වගේ. ඒ සිද්ධියෙන් පස්සේ දිගටම මම අනුක්ව මගෑරියා. අනුක් එක්ක තරහා වෙන්න මට බැරි වුණත්, ඔහුට මූණ දෙන්න බැරි කමක් මට දැනෙමින් තිබ්බා.  මට හැමවෙලේකම හිතුණේ මම කරන්නේ ලොකු වරදක් කියලා. මට අසීමාන්තිකව ලං වෙන්න මම ඇයි අනුක්ට ඉඩ දෙන්නේ කියලා පහදන්න මට හේතු තිබුණේ නෑ. ඒත් ඒ හිත ලඟ, ඒ ඇස් ලඟ, ඒ දයාබර බව ලඟ මම දුර්වල වුණා. මට අනුක්ට පිටුපාන්න හැකියාවක් තිබ්බේ නෑ. මොකද මම දැනගෙන උන්නා භූප ඇරුණාම, මම  ගැන හොඳටම දැනගෙන උන්නේ අනුක් කියලා. මාව තේරුම් ගත්තේ අනුක් කියලා.

කොහොම වෙට්ටු දම දම උන්නත් අන්තිමේදි හෝම් කමිං එක තිබ්බ දා රෑ, උත්සවේ සෙනග අස්සේ මට අනුක්ව මගාරින්න බැරි වුණා. මම උදුල අයියලගේ අම්මා එක්ක වෙඩින් කේක් බෙදන වැඩේ ගැන කතා කරමින් ඉද්දි එතනට ආපු අනුක් මගේ අනික් පැත්තෙන් හිටගත්තම පිටකොන්ද දිගේ සීතල ජලධාරාවක් ගලන්නා වගේ හැඟීමකින් මම සලිත වෙලා ගියා. මේ උත්සවේ අස්සේ අනුක් මොකක් හරි විකාර දෙයක් වත් කරාවිදෝ කියන බය ඒ හැඟීම වැඩි කලා.
"එහෙනම් දූ ඔයයි, අපේ චූටි දුවයි දෙන්නා කේක් බෙදන වැඩේ කරන්න. එහෙම හොඳයි නේද පුතේ?"උදුල අයියගේ අම්මා අනුක්ගෙනුත් ඇහුවා ලඟ උන්නු නිසා.
"ඔව් නැන්දා එහෙම කරා නම් හරි තමා" අනුක් කිව්වේ වෙනසක් නැතිව.
"එහෙනම් තව විනාඩි පහලවකින් විතර ඒ වැඩේ කරමු"
ඒ ඇන්ටි මට එහෙම කියලා එතනින් යන්න ගියාම මමත් ඒ එක්කම යන්න ලෑස්ති වුණත් අනුක් එක පාරටම මගේ අතකින් අල්ලගත්තේ හයියෙන්ම. යන්න ගිය මම එහෙමම ඇදිලා නැවතුණා. මම ඔහු දිහාට හැරුණේ තරහින්.
"අනුක්....මොනාද මේ..."
"එන්න" අනුක් මම කියන එක නාහා මාව හෝල් එකෙන් එලියට ඇදගෙන   ආවේ අනවසරෙන්ම.
මම වටපිට බැලුවේ කවුරුහරි අපිව දැක්කෝතින් කියලා. අනුක් නොනැවතීම මාව ඇදගෙන ආවේ හොටෙල් එකේ පූල් එක ලඟට. එතන තිබුණ රවුම් ලී මේසයක් ලඟ ඔහු නතර වුණාම මම ඔහුගේ අත ගසලා දාලා ඔහු දිහා බැලුවේ රවලා.
"මොකක්ද මේ කරන්නේ? ඔයාට පිස්සුද?" මම ඇහුවේ රහසින් වගේ කාටවත් ඇහුණොත් හරි නැති හන්දා.
"ඒක අහන්න ඕන මම" අනුක් කිව්වෙත් මම තරම්ම තියුණු බැල්මකින් මා දිහා බලාගෙන.
"මොනා ගැනද මේ කියන්නේ?"
"ඇයි මාව මගාරින්නේ?" අනුක් ඒ පාර නම් ඇහුවේ ටිකක් විතර බිඳුණ හඬකින්.
"එහෙම දෙයක් නෑ " මම බොරුවක් කිව්වා අහක බලාගන්න ගමන්.
"බොරු කියන්න එපා. ඔයා හිතන්නේ මට දැනෙන්නෑ කියලද? මම රොබෝ කෙනෙක් නෙවෙයි. ඔයා දන්නවා මට ඔයාගේ පුංචි වෙන්සක් වුණත් දැනෙනවා කියලා"
"අනුක්... මොනවද මේ කියන්නේ?"
"මගේ දිහා බලලා කියන්න මාව මගෑරියේ නැද්ද කියලා?" අනුක් ඇහුවම මම ආයෙම ඔහු දිහා බැලුවා.
"මට තනියෙම ඉන්න ඕන වුණා. තනියෙම හිතන්න ඕන වුණා"
"එහෙම කලේ එදා හවස අපි කතා කලායින් පස්සෙ. මම ඔයාට වරදක් කලාද?" අනුක් ඇහුවා.
"වරද කලේ ඔයා නෙවෙයි අනුක්. මම. මට වෙලවකට මාව පාලනය කරගන්න බැරි වුණාම, මට මගේ ඇත්ත තත්වේ අමතක වෙනවා. ඒත් මට එහෙම වෙන්න දෙන්න බෑ. ඇත්ත වෙනස් වෙන්නේ නෑ" මම කිව්වේ හෙමින්.
"මම ඔයාට මෙච්චර ලං වෙන එක ඔයාගේ වරදක් නෙවෙයි" අනුක් කිව්වා.
මම ඒ දෑස් දිහා බලාගෙන උන්නේ හිතේ මොකක්දෝ දුකක් පැතිරෙද්දි.  ඒ ඔහු ගැනමයි.
"වරද මම ඔයාට මෙච්චර ලං වෙන එක" මම කිව්වා.
කොච්චර නෑ කියලා හිතන්න උත්සාහ කලත්, යටපත් කරන්න උත්සාහ කලත් ඇත්ත වුණේ ඒක. අනුක් මා දිහා බලාගෙන් උන්නේ කියන්න දෙයක් හිතාගන්න බැරුව වගේ.
"මට එහෙම වෙන්න ඕන නෑ අනුක්...මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි"
මම එහෙම කියලා ලඟ තිබ්බ පුටුවට බර වුණේ මට පණ නැති ගතියක් දැනුණ නිසා. අනුක් දිග සුසුමක් හෙලලා ලඟ තිබ්බ අනෙක් පුටුවෙන් වාඩි වුණා.
"දුලාරා..."
ඔහු මාව ඇමතුවේ මුදු හඬින්. මම ඔහු දිහා බැලුවේ බොඳවුණ ඇස් වලින් යුතුව.
"අපි කතා නොකර, මුණ නොගැහී හිටියොත් ඔයාට හිත හදාගෙන ඉන්න පුලුවන් වෙයිද? ඔයාට එහෙම ඉන්න ඕන නම් කොච්චර අමාරු වුණත් මං ඒක කරනවා"
"මං දන්නෑ. එහෙම ඉන්න මට බැරි වෙයි. ඒත් කවදක හරි කරන්න වෙන්නේ ඒක. මට බෑ භූපව රවට්ටන්න. භූප මැරෙයි"
මම එහෙම කිව්වම අනුක් බිම බලාගත්තා.
"ඔය දෙන්නගේ මැද්දට එන්න ඕන නෑ මට. මට ඕන ඔයා සතුටින් ඉන්න විතරයි. ලඟින් නො ඉඳ, ඔයා ගැණ හොයා නොබලා ඉන්නත් මට බෑ. ඒ මං ඔයාට ගොඩක් ආදරේ හින්දා දුලාරා...මගේ හිතිං මං විඳින දුක දන්නේ මං විතරයි. සමහරවිට ඒ මම කරන පවට වන්දි ගෙවන්න වෙලා තියේන හැටි වෙන්න ඇති. මං ආදරේ කරන්නේ අනුන්ගේ වස්තුවකට" අනුක් කිව්වේ දුක්බර ස්වරයකින්.
ඒ වචන ඉස්සරහදි මම මහා හුඟක් සැලුණා.  
"ඒ කොහොමවුණත් දුලාරා...ඔයාට හොඳක් වෙන දේයි මම කරන්න ඕන. මට ආත්මාර්ථකාමී වෙන්න පුලුවන් නම්, වෙන කිසි දෙයක් ගැන හිතන්න ඕන නැත්තම් මම ඔයාව මගේ කරගන්නේ මේ දැන්. ඒත්  මට එහෙම ජරා මිනිහෙක් වෙන්න බෑ. මං උත්සාහ කරන්නම් දුරින් ඉන්න. කාලෙකදි එතකොට පුලුවන් වෙයි දුරස් වෙලා යන්නත්"
අනුක් කිව්වම මගේ හිත ගැස්සුනා.
"මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ, ඔයයි භූපයි වෙන් වෙලා ඉන්න කාලේ. ඒ නිසා මම හිතන්නේ නෑ එදා මම කලේ වරදක් කියලා. ඒත් එදත් අදත් ඔයා හැමදාම ආදරේ කලේ භූපට. ඒ නිසා සමහරවිට ඔයාගේ පැත්තෙන් මම ගොඩක් වැරදි ඇති"
"ඔයා වැරදියි කියලා මම කවදාවත් හිතන්නේ නෑ. ආදරේ කියන්නේ පස්මහ බැලුම් බලලා ඇතිවෙන දෙයක් නෙවෙයි කියලා මම දන්නවා. මම දුරින් ඉන්න හදන්නේ මම හන්දා නෙවෙයි, ඔයා හන්දා. ඔයා දුක් වෙන එක මට බලන් ඉන්න බැරි හන්දා" මම කිව්වේ ඇත්තටම.
අනුක් මට යන්තම් හිනාවක් පෑවේ මොකටද කියන්න මම දන්නේ නෑ.
"හිතන්න...නික්මට හිතන්න අපේ ජීවිත මීට වඩා වෙනස් වුණා කියලා. ඔයාට මේ වගේ commitment තිබ්බේ නෑ කියලා. එහෙම වුණා නම් ඔයා මා ලඟ ඉන්නවද?"
අනුක් ඇහුවේ අහිංසක විදියට. උත්තරයක් දෙන්න කලින් මම ඒ ඇස් දිහා බලාග උන්න අද අඳුරෙම.
"ඔව්..." මම මිමිණුවා.
අනුක් ආයෙම හිනාවුණේ වේදනාවෙන් වගේ.
"එකට ඉන්න බැරි වුණාට කමක් නෑ. මාව මගාරින්න එපා අර විදියට. ඔයා දන්නෑ ඒක කොච්චර අමාරුද කියලා දරාගන්න" අනුක් කිව්වා.
අනුක්ගේ මූණේ තිබ්බ දුක, ඒ ඇස්වල තිබ්බ අව්‍යාජබව, ඒ වචන වල තිබ්බ සෙනෙහස මගේ හිත පතුලටම දැනුනා. ඔහුව වැලඳගෙන සනසන්න තිබ්බා නම් කියලා මහ නොගැලපෙන සිතිවිල්ලකුත් හිතේ හොල්මන් කරද්දි මම හෙමින් නැගිට්ටේ තව කතා කලොත් මේ කතාව කොහෙන් කෙලවර වේවිද නොදන්න නිසා.
"එහෙම කරන්නෑ ආයෙත්..." මම කිව්වා.
පස්සේ කතා බහකින් තොරවම තව විනාඩි කීපයක් එහෙමම ගෙවුණේ හිතේ සිතුවිලි කුණාටුවකින් වගේ සැලෙද්දි.
"අපි යං ? අම්මලා හොයනවද දන්නෙත් නෑ" අන්තිමේදි මම ඇහුවා.
"ඔයා යන්න මම එන්නම්" අනුක් කිව්වේ හෙමින්.
"අනේ අනුක් ඔහොම ඉන්න එපා... එන්න යන්න ප්ලීස්. තනියෙම මෙතන ඉන්න එපා" මම ඔහුගේ උරහිසකට අතක් තියලා කිව්වා.
යන්තම් හිස හරවලා මා දිහා බලපු අනුක් මොහොතක් විපිලිසරව වගේ ඉඳලා නැගිට්ටා. අපි ආපහු උත්සවේට ආවේ බරවුණ හිත් වලින්. අනුක්ටත් වඩා කැලඹිලා, පැටලිලා උන්නේ මම. ඒ මොනා වුණත් එක දෙයක් මම හොඳින්ම දැනගෙන උන්නා. ඒ අනුක් මගේ හිත කොයි තරම් සසල කලත්, භූප මට ඒ තරම් ආදරේ කලත් නොකලත්, මම ආදරේ කරන්නේ භූපට කියලා. ඒ ආදරේ සේරම පැටලුණ සිතිවිලි අස්සේ තාමත් දිලිසෙන රත්තරන් නූලක් වගේ නොකැඩී, නොනිවී තියෙනවා මට දැනුනා.