Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා ඔබ සැමට!!!

පොත් ගුලට පැමිණෙන සියලුම යහලු යෙහෙලියන්ට සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!



Friday, December 21, 2012

විසිපස්වන කොටස





පසුදින එලඹි උදෑසන පෙරාදින රාත්‍රියට වඩා බෙහෙවින් සතුටුදායක එකක් විය. බොහෝ රෑ වන තුරුම නොනිදා සිත සමග අරගලයක යෙදුනු නිසාදෝ, සිතේ වූ බොහෝ කාරණා එකලසක් වී ඇති ලෙසක් මට හැඟුනි. එය බෙහෙවින්ම සුවදායී හැඟීමක් විය, මම ජේඩන් සිහි නොකර ඉන්නට උත්සාහ කලෙමි.
"යමු කන්න"
උදෑසන අලස ලෙස අවදිව අතට අසු වූ ඇඳුමක් ගෙන ඇඳගත් පසු සිය හිසකේ සකසාගෙන තොප්ප්පියක් දමාගනිමින් සොනාලි මටැ කීවාය.
"යමු" මම ඈට ඉස්සර වන්නට ඉඩ දෙමින් කීවෙමි.
අතරමගදි අනෙකුත් යෙහෙලියන් සිව් දෙනාද අප හා එකතු වූහ.
"ඊයේ මොකද අර වුණේ?" පූජා හදිසියේම සොනාලිගෙන් එසේ ඇසූ අතර සොනාලි මදෙස බැලුවාය.
"මුකුත් නෑ..." ඉන්පසු ඈ නොසැලකිල්ලෙන් මෙන් කීවාය.
"මුකුත් නැත්තේ මොකෝ? දෙන්නා එක්ක ගසා බසා දාලා ආවේ? අපට මුකුත් හිතා ගන්න බැරි වුණා. ජේඩනුත් දමලා ගහලා යන්න ගියා, අර කෙල්ලවත් ඇදගෙන. දැන් මොකද මේ ඇත්තටම වෙන්නේ? පංචලී ජේට අකමැති නම්, ජේ කා එක්ක උන්නම මොකද?" පූජා එවර කීවාය.
ලතිකා, නයෝමි සහ නජීබා බියපත්ව මෙන් සොනාලි දෙසත් මදෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූහ.
"අනේ අපට කමක් නෑ. ඒත් මට තරහා ගියේ එයාකරපු මවාපෑම මතක් වෙලා. මෙතන මැරෙන්න හැදුවේ වෙන කෙනෙක්ගැන හිතන්න බෑ, අරක මේක කියලා...මෙන්න සති දෙකක්වත් යන්න කලින් වෙන එකෙක් එක්ක" සොනාලි තවමත් උන්නේ නොරිස්සුමිනි.
"අනේ අපි ඔය කතාව නවත්තමු. තේරුමක් නෑනෙ කතාකරලා. අපට එයාගේ දේවල් වලින් වැඩක් නෑ. එච්චරයි" මම කීවේ අසාගෙන සිටිනු බැරිම තැනය.
"ඒක ඇත්ත. ආයෙම අපි ඔය ගැන කතා කරන්න ඕන නෑ" එවර සොනාලි යලි කීවාය.
ඉන්පසුව පූජා වුව යලි යමක් අසන්නට ඉදිරිපත් නොවූවාය.
"ඔයාට කොහොමද දැන්?" නමුදු කෑම පෝලිමේ යන අතරතුරේදී සොනාලි රහසින් මෙන් මගෙන් එසේ විමසූවාය.
"ප්‍රෂ්ණයක් නෑ. එවෙලේ නිකම් හිතේ ආවේගෙට ඇඬුනා මිස, මම දන්නවා සෝනු මට මේක කරන්න බෑ කියලා. අනික ඒක මට මගේ ඇස් ඉස්සරහම ඔප්පු වෙලා පෙනුනනේ" මම කීවෙමි.
සොනාලි මදෙස බලා උන්නේ අවිනිෂ්චිත හැඟීමකින් මෙනි. එහෙත් ඈ හිස සලා නිහඬ වූවා මිස යලි කිසිවක් නොකීවාය. මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගතිමි.
"පංචලී...කමාරේද පාඩම් කරන්නේ?"
කෑම කන අතරතුරේදී විවිධාකාර වූ වල් පල් දොඩමින් ඉන්නා අතරතුරේදී ලතිකා මගෙන් විමසුවාය.
"අනේ මන්දා. තාම හිතුවෙ නෑ. පොත් වගයක් බලන්න පුස්තකාලෙට යන්න ඕන කමකුත් තියෙනවා..." මම පිලිතුරු දුනිමි.
"හරි...එහෙමන මම කෝකටත් හවසට එන්නම්කෝ. මම හිතුවේ අර සයිකොලොජි කෑල්ල සේරම සාකච්ච කරලා පාඩම් කලොත් මොකද කියලා" ඈ කීවාය.
"අනේ ඔව්. එහෙම කරමු. මමත් උදේම සෝසෝ පාඩම් කරන්නයි හිතාඅගෙන ඉන්නේ පුස්තකාලෙට ගිහින්. හවසට දාගමු" නයෝමිද කීවාය.
බහුතරයකගේ මතය එයම වූ බැවින් උදෑසන වරුව පුස්තකාලයට යෑමට මම  ද තීරණය කලෙමි. මෙතුවක් කල් නොතිබූ හදිසියක් දැන් මට දැනෙමින් තිබිණි. ඒ මෙය අවසන් කොට හැකි ඉක්මණින් නිවෙස බලා යෑමටය.
"එහෙමනම් දවල් කෑමට හම්බවෙමු" කාමරයේ පාඩම් කරන්නට තීරණය කරගෙන් උන් සොනාලි හට එසේ පවසා ගෙන නේවාසිකාගාරයෙ  සිට  මම  වසන්තයේ හිරු කිරණින් එලි වූ එලිමහනට අවතීර්ණ වූයෙමි. එලිමහනේ බොහෝ සිසු සිසුවියන් පිරිසක් රැඳී උන් අතර ඔවුන් වසතයේ උණුසුමත්, අලංකාරත්වයත් විඳ ගනිමින් බංකු වල සහ පිට්ටනි  වලත් තැන තැන වාඩි වී සතුටු සාමිචියේ යෙදී හෝ, පොතක් පතක් කියවමින් ඉන්නවා දක්නට ලැබිනි. එහෙත් ඒ විවේක සුවය විඳින්නට අප හට අවකාෂ නොතිබුණේ අවසාන විභාගය ලං ලංව එමින් තිබූ නිසාය.
"ආ...හායි, සුබ උදෑසනක්...කොහෙද මේ යන්නේ?"
පුස්තකාලයට යන අතරමගදී මට එරික් මුණ ගැසිනි. ඔහු තව මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග මා යන මග අතරමග වූ බංකු පෙලක අසුන්ගෙන උන්නේය.
"හායි, හායි. සුබ උදෑසනක් ඔයාලටත්. මම මේ පුස්තකාලෙ පැත්තට යනවා"
"තනියෙම පාඩම්ද?" එරික් යලි විමසීය.
"හ්ම්...ඔව්"
එරික් යලිත් යමක් කියන්නට සැරසුනද අප අසලින් ගිය කිහිප දෙනෙකු නිසාවෙනොහුගේ අවධානය වෙනතක යොමු විය. මටද නිරායාසයෙන්ම ඔහු අනුව බැලිනි.
"ඒ...ලින්ඩා නේද?" එරික් මගෙන් විමසූයේ ඒ ඈ වග මා පසක් කරගන්නට උත්සාහ කරද්දීය.
"අ..ම්.. අනේ මන්දා මම නම් හරියට දැක්කේ නෑ"  මම අප පසු කර ගිය යුවතියන් දෙස බලමින් ලින්ඩා කොයි කෙනාදැයි සොයාගන්නට උත්සාහ කරමින් කීවෙමි.
"ඔව් ඔව්. ඒ ලින්ඩා තමයි" මේ අතරේ ඔහුගේ මිතුරු කැල අතරේ උන් අයෙකු පැවසීය.
"ජේඩන්ගේ ගෑණු ළමයනේ?" එරික් ඇසූ විට මහිත යන්න්තමට සැලිනි.
"මොන? මේ...අර...සොෂියෝලොජි එකේ, උස, තට්ටේ තියෙන හාදයා?" කලින් පිලිවදන් දුන් තරුණයා විමසුවේය.
"ඔව්"
"ආ...එහෙමද? මම නම් දන්නෑ ඒක. ඒත් මෙයා මෙයා ලඟක් වෙනකල් නම් ආවේ ගියේ අර මැත්ස් එකේ හාදයෙක් එක්ක.  බාස්කට් බෝල් චැම්පියන් කෙනෙක් එක්ක"
"නෑ...බොරු" එරික් සිය විමතිය ප්‍රකාෂ කල අතර, මමද උන්නේ මදක් පුදුම වී ය.
"බොරු නෙවෙයි ඇත්ත. එයා ඉන්නේ මගේ අල්ලපු කාමරේ නෙ. මෙයා එහේ එනවා" එරික්ගේ මිතුරා එසේ කී අතර මම එරික් හා මුහුනෙන් මුහුණ බලා ගතිමි.
"මෙහෙමයි ඉතින්, ඔය කෙල්ලෝ කවදා කා එක්ක යනවා එනවද කියලා කියන්න බෑනෙ. සමහරවිට දැන් ජේඩන් එක්කද දන්නෑ" එරික්ගේ මිතුරා යලි කී අතර ඔහු හා උන් අනෙක් අය එය අනුමත කරමින් සිනාසුනහ.
"ඒත් ඉතින් එහෙම නම් මෙයා මේ තනියෙම ඇවිද ඇවිද ඉන්නේ මොකෝ. ජේඩන් අතන ඉද්දි"
හදිසියේම එරික්ගේ මිතුරු කැල අතරේ උන් තව අයෙකු අපට වම් පසින් වූ පිට්ටනියේ ඈත කෙලවරක් දක්වමින් කීවේය. සියල්ලෝම එවර එදෙසට හැරුණි. නමුත් මම ආයාසයෙන් එදෙස නොබලා විසිර යමින් තිබූ සිතුවිලි එකතැන් කරගන්නට වෙහෙසුනෙමි.
"ආ..මේ, මට යන්නත් පරක්කු වෙනවා එරික්. මම ගිහින් එන්නම්. අපි පස්සේ හම්බවෙමු. ගිහින් එන්නම්" එරික්ටත් ඔහුගේ මිතුරු පිරිසටත් හදිසියෙන් මෙන් එසේ පවසා මම යලිත් පුස්තක්ලාලය දෙසට පියමනින්නට වීමි. ඒ එන අතරතුරේදී, එරික්ගේ මිතුරා පැවසූ දේවල් සිහි වීම මට වලකා ගත නොහැකි විය.
'ඇත්තටම ජේඩන් තනියෙම මොකද එතන කරන්නේ?'
මගේ පැනයට පිළිතුරු ලැබෙන්නට එතරම් වෙලාවක් ගත නොවිනි. එහෙත් ඒ වන විට මම පාඩම් කරන්නට සැදී පැහැදී, අවශ්‍ය පොත් පත් සියල්ලම ලඟට ගෙන මේසයක් අසල හරි බරි ගැසී උන්නෙමි. මා උන් මේසයේ ඈත කෙලවරේ තව එක සිසුවියක වාඩි වී පාඩම් කරමින් උන් අතර, පුස්තකාලය තුල මා කවදත් ආශාකල ගැඹුරු නිහැඬියාවකුත්, පොත් වලින් එන පැරණි සුවඳත් වා තලයේ පැතිර තිබිණි. ඉහලට ඉහලට විහිද තිබූ උස වහලය හා දෙපස වූ ආරුක්කු මහේෂාක්‍ය ලීලාවක් ගෙනහැර පෑ අතර මම පාඩම් කරන්නට සිත එකලස් කර ගන්නට මොහොතක් ඒවා දෙස බලා උන්නෙමි.
'මිනිස් සමාජයේ දක්නට ඇති වසම් චර්යා අතර, විවිධ පැහැ කොඩි-'
මිනිස් වසම් චර්යා පිලිබඳව ලියැවුණ ඡේදයක් කියවමින් ඉන්නා අතර, මා පිටුපසින් යමෙකු ඇවිද යන හඬක් ඇසුනෙන් මගේ අවධානය මදකට බිඳුනද, මම එදෙස නොබලා දිගටම ඡේදය කියවන්නට වීමි. පැමිණිකවුරුන් හෝ කෙනා මා හුන් මේසය අසලින් ඇවිද යනවා මට දැනුනි.
"පංචලී"
මා සිත පතුලේ සිට නැගී ආ හඬක් මෙන් ජේඩන්ගේ මුදු ස්වරය මා සවනේ පතිත වූයේත්, මම ගැස්සි මෙන් මා පසෙකින් සිට ගෙන් ඔහු දෙස බැලුවේත් එක විටම වාගේය.
"ජෙ...ජේඩන්!"
මා තවමත් පුදුමයෙන් දෑස් දල්වාගෙන බලා සිටියදී, ඔහු අනවසරයෙන්ම මා අසල වූ පුටුව ඇද එහි වාඩි වූයේය. මසිත පිටට ඇසෙන තරම් හඬකින් ගැහෙමින් තිබිණි. ඔහු දෙස නොබලා මම ඉවත බලාගතිමි.
"මට කතාකරන්න ඕන" ඔහු සෙමෙන් කීවේය.
එය පවා පුස්තකාලය තුල මහා ශබ්දයක් ලෙස මට දැනුනෙන් මම වටපිට බැලීමි.
"ඔයාට ඇහුණද? පංචලී මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" ඔහු යලි කීය.
"ජේඩන්, කරුණාකරලා යන්න. මෙතන කතා කරන්න පුලුවන් තැනක් නෙවෙයි නේ" මම හැකි උපරිම සෙමෙන් කීවෙමි.
"මෙතන නෙවෙයි...කරුණාකරලා, එක විනාඩි පහකට අපි එලියට ගිහින් කතාකරමු"
ඔහුගේ හඬ ආයාචනාත්මක විය. නමුත් මට සිත දැඩි කරගන්නට උවමනා විනි.
"මට බෑ. මට...පාඩම් කරන්න තියෙනවා" මම ඔහු දෙස නොබලා කීවෙමි.
"පංචලී ඔය තරම් නපුරු වෙන්න එපා...විනාඩි පහකට මම කියන දේ අහන්න ඔයාට බැරිද?"
"මට බෑ" මම එකවරම කීවෙමි.
ජේඩන් සුසුමක් හෙලීය.
"එහෙමද? එහෙම නම් ඔයා කීයට හරි එනවා කියනකල් මම මෙතන ඉන්නවා" ඔහු කීවේ තිර හඬකින් වූ අතර එය මා මදක් බියපත් කලේය.
"මෙතන?"
"ඔව් මෙතන"
"ඔයාට පිස්සුද?"
"ඔව්..වෙන්න ඇති"
"කරුණාකරලා යන්න ජේඩන්, මට තවත් කියන්න දෙයක් නෑ"
"මට තියෙනවා"
ඔහුගේ හිතුවක්කාර හඬ හමුවේ මගේ කෝපය නැග ආ බැවින් මම පුටුව ඇද හුන් තැනින් නැගිට එන්නට ආවෙමි. එහෙත් මා අඩි දෙකක් තියන්නටත් පෙර ජේඩන්ගේ දැඩි හස්තයක් මාගේ බාහුවේ පැටලිනි. ඔහු මා නැවැත්වූ වේගයට මම අසල වූ පොත් රාක්කයක නොවැදී බේරුණේ අනූ නවයෙනි. එහෙත් එම වෙගයෙනම් ඔහු මා ඒ අසල වූ බිත්තියට හේත්තු කලේය. අනපේක්ෂිතව වූ දේ නිසා මා උන්නේ ගැහෙමිනි.
"අහනවා..."
මා හට ඉතාමත් ආසන්නයෙන් උන් ජේඩන්, මගේ දකුණු කන අසලින් අතදමා පිටුපසින් ගෙල දක්වා වැටුණු හිසකේ මිටක් අල්වාගෙන බලෙන්ම මාගේ මුහුණ ඔහුවෙත හරවා ගත්තේය. මට රිදුනද ඒ වග නොපෙන්වා ඉන්නට මම උත්සාහ කලෙමි. ඒ දෑස් කුමක්දෝ හැඟීමකින් දැවෙමින් තිබූ අතර මම ඔන්න මෙන්න හඬන්නට ලංව ඒ දෑස් දෙස බලා උන්නෙමි.
"මා එක්ක එනවද නැද්ද?"
පුස්තකාලාධිපතිනිය හෝ වෙනත් කිසිවෙකු මේ දිශාවට ඒවි යන බියෙන් මම යලි බියපත් වූයේ ඔහුගේ හඬ දැඩි වූ බැවිනි.
"දෙයියන්ගේ නාමෙට කෑ ගහන්න එපා...මං එන්නම්"
ඒ නිසාම ඔහුට එකඟ වෙනවා හැරෙන්නට කල හැකි අන් දෙයක් නොවුනෙන් මම එසේ කීවෙමි.
එවර ඔහුගේ ග්‍රහණය ලිහිල් විය. මම හිසකේ අතින් සකසා ගනිමින්, අසල වූ මේසයෙන් මාගෙ පොත් දෙකද රැගෙන ඉස්සර වූයෙමි. ජේඩන් කරන්නට හදන්නේ කුමක්ද කියා අදහසක් මට නොවිණි. එහෙත් ඔහුට මා හා කියන්නට ඇත්තේ මොනවාදැයි දැනගැනීමට මහිතේ කුතුහලයක් නොවුණා නොවේ.
පුස්තකාලයෙන් එලියට එද්දී ජෙඩන් මට සමාන්තරව ඇවිද ආ අතර, වරින් වර මදෙස බැලුවේ මා පැන යාවි යන අදහසින් යැයි මට සිතිණි. පුස්තකාලය ඉදිරියේ වූ විද්‍යාල මාවත ඉදිරියේ මම නතර වී ඔහු යමක් කියන තුරු බලා උන්නෙමි.
"ඇයි?" ඔහු මදක් විමතියට පත්ව මගෙන් විමසීය.
"කොහාටද යන්න ඕන?" මම ඇසීමි.
"ඔයාට ඕන තැනකට"
"මට කොහේවත් යන්න ඕන නෑ...කියන්න තියෙන දේ මෙතන කියන්න පුලුවන් නම් කියන්න"
මදෙස තවමත් විමතියෙන්ම බලා හුන් ජේඩන් සුසුමක් හෙලා හිස වැනුවේය.
"කොහොමද ඔච්චරම නපුරු වෙන්නේ?" ඔහු විමසුවේ සෙමිනි.
"ඒකද අහන්න ඕන?" මම ඔහුගෙන් ඇසීමි.
ඔහු යලි සුසුමක් හෙලා වටපිට බැලුවේය.
"හරි අපි විල ලඟට යමු. එතන සෙනග හිටියත්, ඕන තරම් ඉඩ තියෙනවා නිදහසේ කතා කරන්න"
එසේ පවසා ඔහු ඉස්සර වූ අතර, මදක් නැවතී දෙගිඩියාවෙන් පසු වූ මම ද අවසානයේ ඔහුව අනුගමනය කලෙමි.
සෑහෙන තරම් දුරක් ඇවිද විල අසල වූ පිට්ටනිය සහ තුරු ලතා පිරි උද්‍යානයක් වැනි පිට්ටනිය දෙසට යන තුරුත් අප අතර කතාවක් සිදු නොවිනි. අවසානයේ සෙනග අඩුවෙන්ම ගැවසුන ස්ථානයක් බලා ජේඩන් අසල වූ මේපල් ගසක් යට සිටුවා තිබූ ලී බංකුවක වාඩි වූයේය.
"වාඩිවෙනවද, කරුණාකරලා"
මසිත ඇතුලේ තිබුණේ එකම යුද්ධයකි. පරස්පර විරෝධී සිතුවිලි එකේනෙක හා ගැටෙමින් සිතේ මහා ගින්නක් අවුලුවා ඇතුවාක් මෙන් මට දැනුනි.
"මට යන්න ඕන ආයෙම ඉක්මණට, කියන දෙයක් කියන්න දැන්ම" වාඩි ගන්නට නොගොස් මම කීවෙමි.
"ඔයා පුදුම හිතුවක්කාරයි පංචලී. පුදුම ගොඩක් හිතුවක්කාරයි...වෙන කෙනෙක් වුණා නම් මම මේ තරම් එන්නේ නෑ පස්සෙන්...කරුණාකරලා ඇවිත් වාඩි වෙන්න" ඔහුගේ හඬේ වූයේ කුමක්දෝ කලකිරීමකි.
සිටගෙන ඉනු බැරිම තැන මම ගොස් බංකුවේ ඔහු උන් කෙලවරට විරුද්ධ පැත්තේ හැකි තරම් ඈතින් හිඳ ගෙන, මා අත වූ පොත් කිහිපය අප දෙදෙනා අතර වූ ඉඩෙහි තැබීමි.
ඔහු පොත් ගොඩ දෙසත්, යලි මදෙසත් බලා බර සුසුමක් හෙලුවේය. අප අතරේ විනාඩියක පමණ නිහැඬියාවක් ගොඩනැගුනු අතර, අප වටා විවිධ තැන් වල කෙලිදෙලෙන් පසු වූවන්ගේ සිනාහඬවල් විත් මාගේ සවනතේ හැපිනි.
"හරි...මේකයි. ඊයේ වෙච්ච දෙයින් පස්සේ...මට ආයෙම ඔයා දකින්න, කතා කරන්න ඔන වුණා පංචලී. දන්නෑ එහෙම වුණේ ඇයි කියලා. එද මම ඔයාලගේ හොස්ටල් එකෙන් පිටවෙලා එද්දි හිතාගෙන ආවේ ආයෙම කවදාවත් ඔයා ගැන හිතන්න උත්සාහ කරන්නේ නෑ කියලා. මොකද ඒ වෙලාවේ මම උන්නේ ඔයා එක්ක තරහින් නිසා. ඒත් මම ආපහු ගෙදර ගියාම, ඔයා එක්ක හිටපු තැන් දකිද්දි, ඔයාගේ මතකයන් එක එක මතක් වෙද්දි....එහෙම කරන්න මට බැරි වුණා"
ඔහු හෙමි හෙමිහිට කියන්නට විය.
"එතකොට ලින්ඩා?" මම ඇසීමි. එය මා ඔහුගෙන් අසන්නට පෙරුම් පුර පුරා උන්නා යැයි කීවොත් නිවැරදිය.
"හරි...ලින්ඩා කියන්නේ මම  කාලෙක ඉඳන් දන්න කෙල්ලෙක්. ඔයාව අමතක කරන්න ඕන හන්දම මම එයාට කිට්ටු වුණා තමයි. අපි එකට එහේ මෙහේ ගියා තමයි. ඒත් පංචලී...කිසිම දෙයක් වෙනස් වුණේ නෑ"
"එයාව ගෙදර එක්ක ගියේ නෑ කියලද කියන්නේ?" මම උපහාසාත්මකව ඇසුවෙමි.
ජේඩන් මදෙස බැලුවේ වේදනාවෙන් මෙනි.
"ඔව් හරි. එක්ක ගිය එක ඇත්ත. එකපාරක් එයාව ඉඹපු එකත් ඇත්ත. ඒත්...ලින්ඩා හිතන්නේ මම මහා නෝන්ජල් කොල්ලෙක් කියලා"
ඔහු එසේ කී විට මම ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
"මොකක්ද?"
"ඔව්...එහෙම තමයි හිතන්නේ. මොකද, එයා එක්ක ඊට වැඩි සම්බන්ධෙකට යන්න මට බැරි හන්දා. මට ඒක කරන්න බෑ. අතීතෙදි මම මොනා කලත්, දැන් මට ඒක කරන්න බෑ" එසේ කියූ ඔහු මදෙස බැලුවේ හැඟීම්බර වූ දෑසිනි.
මම ගැහෙන හදින් යුතුව ඔහු කියන දෑ අසා උන්නෙමි.
"ඒ ඔයා නිසා පංචලී..."
"මට තේරෙන්නෑ ඔයා කියන දේ"
"නෑ...ඔයාට තේරෙනවා ඒත් ඔයා ඒක හිතට ගන්න උත්සාහ කරන්නෑ. පංචලී මම බැරිම තැන ගෙදර සේරම බඩුත් මාරු කලා. ඔයාගේ සුවඳ තිබුණ අර දිග සැටි පුටුව පවා. ඔයාව මතක් නොකර ඉන්න. අමතක කරන්න නෙවෙයි. ඒත්...ඊයේ මම ආපහු ඒක එලියට ගත්තා. ඔයා ඊයේ මා ලඟට ඇවිත් අර විදියට කියපු වෙලාවේ ඔයාගේ ඇස් වල තිබ්බේ තරහක් නෙවෙයි. ආදරයක්. ඒක මම දැක්කා පංචලී"
ඔහු කී විට මහිත කඩා වැටිනි.
"නෑ...ඒක ඇත්ත නෙවෙයි" මම වේගයෙන් කීවෙමි.
"ඔයා කියන්නේ බොරු"
"බොරු නෙවෙයි ජේඩන්..."
"ඒක එහෙම නොවුණත්, මට ඔයාව අමතක කරන්න බෑ. හිතන්නෑ පුලුවන් වෙයි කියලා කවදාවත්"
මම කිසිවක් කියාගත නොහී ඉවත බලාගෙන උන්නෙමි.
"ඇයි ඔයා මට අවස්ථාවක් නොදෙන්නේ? ඇයි ඔයා හිතන කෙනා වෙන්න මට බෑ කියලා මුලින්ම නීතියක් දාගෙන මා දිහා බලන්නේ? ඔයා හිතනවද මට එක ගෑණු කෙනෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න බෑ කියලා?" ඔහු යලි ඇසීය.
මම තවමත් කිසිත් නොකීවෙමි. එහෙත් මහිත එන්න එන්නම බර වන්නට විය.
"මට දෙන්න එක අවස්ථාවක්"
"එක පාරක් එහෙම කරලා මම තාම විදවනවා ජේඩන්. ආයෙමත් මොනාවත් වුණොත් මට දරගන්න බැරි වෙයි...මට මෙහෙම ඉන්න දෙන්න. අපි මේ දුරින් ඉමු" කතාකරගත හැකි වූ වහාම මම එසේ පැවසීමි.
"අර තරම් ලං වෙලා ඉඳලා, කොහොමද ඔයා කියන්නේ ලං වෙන්න බෑ කියලා"
"මම කිව්වනේ ජේඩන් ඒක වැරැද්දක් විතරයි කියලා"
"මං ඒක විශ්වාස කරන්නේ නෑ. වැරදීමකින් එහෙම වෙන්න කොහොමටවත් බෑ, ඔයා මා ගැන පොඩ්ඩක් වත් හිතන කෙනෙක් නෙවෙයි නම්" ජේඩන් කීවේය.
මම කඳුලු වලින් උණුහුම් වූ දෑස් වියලෙන්නට වහා අසිපිය සලමින් ඉවත බලාගෙන උන්නෙමි.
ජේඩන් අප අතර වූ පොත් ගොඩ ඉවත්කර පසෙක තබා මා වෙතට ලං වූයේය. ගල් පිලිමයක් සේ නිසල්ව උන් මා හට සෙලවීමටවත් නොහැකි බවක් දැනුනි.
"ඔයා ඔය කොහොම කිව්වත් මම පිලිගන්නෑ පංචලී. කවදාහරි ඔයා එනකල් බලා ඉන්න මට ඕන" ගෑවෙන නොගෑවෙන තරම් දුරකින් නතර වූ ඔහු එසේ තෙපලේය.
මම හිස වැනීමි. ඒ එය සිදු නොවන්නක් බව කියන්නටය.
"නෑ"
"මං ඔයාට ආදරෙයි පංචලී...හිතාගන්න බැරි තරම් ආදරෙයි...ඔයාට එන්න වෙනවා ඒ නිසා"
"මට යන්න ඕන ජේඩන්" මම ඔහුගේ වදන් ඉවස හිඳිනු නොහැකි තැන කීවෙමි. ඒවර ඔහු මුනිවත රැක්කා පමණි. මම ඔහු කතා කරන තුරු ඉවසිලිමත් වීමි.එහෙත් ඔහු ඒ වෙනුවට බංකුව මට වූ මා අතක් තදින් මිරිකාගත්තේය. මම නොසන්සුන් වීමි.
"අඩුගානෙ මා එක්ක කතාකරන්නවත් පුලුවන්ද?" ඔහු ඉන්පසු ඇසුවේය.
"මං දන්නෑ ජේඩන්"
"යන්න එපා පංචලී...මට ඔයාව ඕන"
"ජේඩන්..."
ඔහු මා අත තවත් තදින් මිරිකාගත්තේය.
"කරුණාකරලා වෙලාව අරගෙන ආයෙම හිතන්න...ඔයාට ඕන තරම් කල් ගන්න...එතකොට ඔයාටම බලන්න පුලුවන් වෙයි, මම කියන්නේ ඇත්තද බොරුද කියලා" ඔහු කීවේය.
"මම යන්න ඕන"
"හිතනවා නේද?"
"මං බලන්නම්" බැරිම තැන මම එසේ කීවෙමි.
"මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ දවස ගැන"
"ඒත් මට කතාකරන්න එන්න කියලා කරදර කරන්න බෑ" මම කීවෙමි.
"මං පොරොන්දු වෙනවා. එහෙම කරන්නෑ. කරන්න වෙලාවක් එන එකකුත් නෑ අන්තිම විභාගෙයි, ව්‍යාපෘතියයි එක්ක"
"මම දැන් යන්නද?"
"හ්ම්" සුසුමක් හෙලූ ඔහු එසේ කියා සිය දෝතට මැදිව තිබූ මා අත සිප ගත්තේය. මම සිතේ අවදි වූ කෝල හැඟීමකින් සලිත වී ගියෙමි.
ඉන්පසු ඔහු බංකුවේ අනෙක් පස තබා තිබූ පොත් කිහිපය රැගෙන මා අත තැබුවේය.
"හම්බවෙමු එහෙනම් ආයෙම"
"හ්ම්"
මම හිස වනා වහා එතැනින් නැගිට එන්නට ආවෙමි. ඔහු ගැන සිතේ වූයේ අපැහැදිලි හැඟුම් ගොන්නකි. එහෙත් ඔහු මට ඇවැසි බව නම් සියල්ලට වඩා පැහැදිලි විය. සිතේ වූ තිගැස්ම විසින් ඔහු ප්‍රතික්ෂේප කලා වුව, ඔහු කෙරෙන් පල වූ අවංකභාවය හා මා කෙරේ වූ සෙනෙහස නිසාම මට ඔහු ගැන නොසිතා ඉන්නට නුපුලුවන් විය.
අවසානයේ මා නේවාසිකාගරයට යන මොහොතේ පවා මා සිතමින් උන්නේ ඔහු අද කී කල දෑ ගැනම පමණි. එහෙත් සිදු වූ සියල්ල දැනගත් කල සොනාලි සහ අනෙක් යෙහෙලියන් කෙසේ හැසිරේවිද කියා නේවාසිකාගාරයට ඇතුලු වන අතරේ මට කල්පනා විනි.





Monday, December 17, 2012

විසිහතර වන කොටස



ගස් වැල් සියල්ල මල් පලින් බර වන,සියලු සිත් සතන් වසන්තයේ පැහැබර කාලගුණයෙන් ඉපිලෙන ඒ සමයේ මහිත පමණක් ඇතුලාන්තයෙන් වැලපෙමින් තිබිණි. ජේඩන් පැවසූ පරිද්දෙන්ම යලි මා සොයා ආවේ නැත. එහෙත් ඔහු යලි ඒවි කියා මම බලාපොරොත්තු වීමි. මගතොටකදී පවා මා ඔහුව දුටුවේ කලාතුරකිනි. එහෙත් ඒ සියලු අවස්ථා වලදී ඔහු අසාමාන්‍ය ලෙස වෙන දෙයක් කෙරේ අවධානය යොමු කොට උන්නා මිස මදෙස බැලුවේවත් නැත. ඉදින් ඔහු දැකීම මහඉත තවත් දුක්බර කලා පමණි. එහෙත් මා එය ඉවසිය යුතු විය. මන්ද යත් ඔහුව ප්‍රතික්ෂේප කරන ලද්දේ මා විසින්ම බැවිණි.
"ඔයා කොහොම වුණත් ඇත්තම එයාට කියපු එක හොඳයි. නැත්තම් නිරපරාදේ මනුස්සයා බලාපොරොත්තු තියා ගන්නවනේ" මගේ කතාව එහෙන් මෙහෙන් දැන උන් පූජා සහ ලතිකා මට කියූහ.
මම ඒවා නෑසුකන්ව ඉන්නට උත්සාහ කලෙමි. මා යමක් කිවහොත් ඇරෙන්නට සොනාලි කිසි විටෙකත් මේ පිළිබඳව මගෙන් නෑසුවාය. එය මට එක අතකට සැනසිල්ලක් වූයේ, කාමරයේ ඉන්නා අවස්ථා වලදී සිදු වූ දෑ නොසිතා ඉන්නට මට සොනාලි නිසා අවකාෂ ලැබුණ බැවිනි. අවසාන විභාගය ලං ලංව ආයෙන් අපට පාඩම් කරන්නට බොහෝ දෑ තිබිණි. ඉන්පසුව එලැඹෙන්නේ කණ්ඩායම් පර්යේෂණ සමය වූ නිසාවෙන් කාලය ඉතිරි කර ගැනීම අපට බෙහෙවින් අවශ්‍ය විණි. වාසනාවකට මම හා සොනාලිත් නජීබාත් එකම කණ්ඩායමකට අයිති වීමු.
"මම හිතනවා මනුස්සයෙක්ගේ වෘත්තීය නිසා ඇතිවෙන මානසික පීඩනයයි, එයාලගේ පවුල් ජීවිතයයි අතරේ තියෙන සම්බන්ධතාවය හොයලා බලන්න ඕන කියලා" සොනාලි ඩොලීස් හි අපි සවස තේ පානය කරමින් ඉන්නා වෙලාවක පැවසුවාය.
"ඔයා හිතනවද මිස්නිස්සු එහෙම පෞද්ගලික දේවල් ගැන කතා කරන්න කැමති වේවි කියලා?" එසේ ඇඋවේ ඩීනෝ ය.
"අපිට පුලුවන් නේ ඔය සමථ මණ්ඩලේක හරි, උසාවියක උපදේශණ ගන්න හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙන කට්ටියක් ගන්න" සොනාලි යලි කීවාය.
"එතකොට ඒක නිවැරදි නියැදියක් ගත්තා වෙන්නේ නෑ නේද?" නජීබා ඇසුවාය.
"මෙහෙමයි, හැම වෙලේකම එහෙම ගන්නත් බෑනෙ. සමහර වෙලාවලට අපට නියැදිය ගන්න පිරිසකගේ ලැයිස්තුවක් හොයාගන්න බැරි වෙන්න පුලුවන්. එහෙම වෙලාවක මේක කරන්න වෙනවා" මම එසේ කීවා පමණි.
"හැබැයි ඔයාලා යන්න හදන්නේ උසාවියකට හරි සමථ මණ්ඩලේට හරි නම්, ලැයිස්තුවක් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ මහිතේ" මන්ජීත් සිය කෝපි කෝප්ප්ය තොල ගාමින් කියන්නට විය"
"බලමුකෝ...ඉස්සෙල්ලා අපේ අරමුණු හෙම හදාගෙන ඉන්න එපැයි. ඒවා නම් ඉතින් විභාගෙට පස්සේ තම කෙරෙන්නේ" සොනාලි කීවාය.
"පාඩම් කරලා කරලම මගේ නම් ඔලුවත් විකාර වෙලා වගේ. වෙන කිසිම දේකට යන්නවත් විදිහක් නෑනෙ මේ නිසා" එහා කෙලවරේ අසුන්ගෙන උන් එරික් පැවසුවේ විඩාබරව මෙනි.
"කියලා වැඩක් නෑ...නිකමට ෂොපින් පාරක් වත් යන්න වෙලාවක් නෑ" පූජාද ඔහුව අනුමත කලාය.
"ඉතිං අහන්නකෝ...මේ දවස් වල හවසට ළමයි කීප දෙනෙක් එකතු වෙලා අර පහල පුංචි ශ්‍රවණාගාරෙ තියනවා පොඩි සංගීත සැඳෑවක් වගේ එකක්. මේ විභාගේ නිසාම ඔලු විකාර කර ගන්න අයටම තමයි. මොකෝ කියන්නේ එනවද යන්න හවස ඒ පැත්තේ?" අපගේ කියුම් කෙරුම් අසා හුන් ඩීනෝ හදිසියේම යෝජනාවක් ඉදිරිපත් කලේය.
"ඇත්තටම එහෙම එකක් තියෙනවද?" ලතිකා ඇසුවේ තමන් අසල උන් බ්‍රයන්ගෙනි.
"අනේ මන්දා" ඔහු උරහිස් හැකිලුවේය.
"තියෙනවා තියෙනවා. අපි කීප දවසක් ගියා. ඔයාලා කැමති නම් එන්න. අපි අද හවසත් යනවා" ඩීනෝ කීවේය.
"මොකෝ පංචලී කියන්නේ? යමුද?" නයෝමි මගෙන් විමසුවාය. මම සොනාලි දෙස බැලීමි.
"මම ඕකේ" ඈ කීවාය.
නමුදු මට එසේ යන්නට තරම් ආශාවක් නොවුණෙන් මට එන්නට බැහැයි කීමටත් පෙරම මදෙස බලා හුන් පූජා ඉදිරියට පැන්නාය.
"ඔන්න බෑ කියන්න ඔට්ටු නෑ. එන්නම ඕන. අපි සේරම ගියාමනේ ජොලි"

අවසානයේ කෙසේ හෝ සවස පැවැත්වෙන සංගීත රාත්‍රියට සහභාගි වන්නට සූදානම්ව අපි නේවාසිකාගාරය බලා ගියෙමු. සවස හත වන විට රෑ කෑම අහවර කොට අපි සියලු දෙනා පායා තිබූ සඳවතින් හා වීදි ලාම්පු වල තැඹිලි පැහැ එලියෙන් නැහැවුණු පටු මාවතක් දිගේ ගොස් අදාල ස්ථානයට සේන්දු වීමු.
"බැලුවාම මේකට සෙනග නැත්තෙත් නෑ වගේ නේද?" එසේ කීවේ පූජාය.
එසේ පැවසීම වුව  මදිපුංචිකමක් ලෙස මටැ හැඟුනේ එම ස්ථානය පිරෙන්නට තරම් සෙනගක් එලියේ පොදි කමින් උන් සැටි දැකීමෙනි.
"බලන්න අරගොල්ලෝ කොහේද කියලා?" සොනාලි කීවාය.
අපි බෙලි දික් කරමින් ඩීනෝ ඇතුලු පිරිස සොයන්නට වීමු.ඒ සෙනග අතර හදිසියෙන් මෙන් දුටු රුවක් අසල මා නෙතු නැවතුනේ නිරායාසයෙනි. ඒ ජේඩන් විය. අපි වෙන් වූ දාට පසුව ඔහු මදෙස එක එල්ලේ බැලූ මුල්ම වතාව මෙය විය. මම මොහොතක්ගල් ගැසී මෙන් හිඳ ඇසිපිය හෙලන නිමේෂයකදී ඔහු සිටි තැනින් අතුරුදන්ව උන්නේය. මම තව මොහොතක් සෙනග අතරේ ඔහුගේ රුව සෙවීමි.
"හලෝ හලෝ...අපි මෙහේ. එන්න එන්න"
අවසානයේ ලතිකා සහ බ්‍රයන්ට ඩීනෝ ඇතුලු පිරිස හමු වී තිබිණි.
"ආ...කට්ටියම ඇවිත් නේද?"
ශ්‍රවණාගාරය තුල වූ මන්ද්‍ර ස්වර සංගීතය අතරින් ඩීනෝගේ හඬ අපට ඇසුණි. රවුමට රවුමට සැකසූ මේස සහ පුටු වටා සිසුන් සමහරෙක් අසුන්ගෙන උන් අතර සමහරුන් එහේ මෙහේ ඇවිදිමින් හා මිතුරු මිතුරියන් සමග කතා බස් කරමින් පසු වනු වටපිට බැලූ මට පෙනුනි. එහෙත් ඒ කිසිම තැන මම ජේඩන්ව නුදුටිමි. සිතේ එක පැත්තක් ජේඩන් සොයද්දී අනෙක් පස ඔහු ගැන නොසිතන්නට මට බල කරන්නට විය.
"ඒයි...අර බලන්නකෝ, මෙහේ කෑමත් තියෙනවා" මන්ජීත් ගේ පසෙකින් සිටගෙන් උන් එරික් කෑ ගෑසුයෙන් අප සියලු දෙනාගේම දෑස් යොමු වූයේ එදෙසටය.
"බාබිකියු...කෙබාබ්...ම්ම්ම්"
"අනේ මට නම් එපා"
පූජා, ලතිකා සහ නජීබා බ්‍රයන්ද සමග කෑම පිසෙන එලිමහනේ පිට්ටනිය දෙසට ඇදී යද්දී මම පැවසීමි. සොනාලිද ඊට එකඟ වූයෙන් අප දෙදෙනා ඩීනෝ සමග ඇතුලේ ඉඩ තිබූ තැනක් බලා අසුන් ගතිමු. වේදිකාවේ වූ අයෙක්, බ්‍රයන් ඇඩම්ස් නම් ගායකයාගේ "ප්ලීස් ෆෝගිව් මි.." නම් වූ ගීය ගයමින් උන් අතර, ඔහුගේ හඬ ලයාන්විත වූයෙන් එය ප්‍රියජනක විය.
"තව මාස හතරක් යද්දි, විභාග ඉවර වෙලා, අපේ පර්යේෂණ වැඩත් බොහෝ දුරට ඉවර වෙලා තියේවි. ඊට පස්සේ ඔයාලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ?" ඩීනෝ, වේදිකාවෙන් දෑස් මුදාගෙන අප දෙස බලා විමසීය.
"රස්සාවක් කරන්න තමා" සොනාලි කීවාය.
"ඉන්දියාවෙද?" ඩීනෝ ඇදෙස බලා ඇසුවේය.
"කියන්න බෑ. සමහරවිට අය්යා මොකක් හරිහොයලා දුන්නොත්, මම නිව් ජර්සි යන්න ඉඩ තියෙනවා" සොනාලි කීවාය.
එවර ඩීනෝ ගේ මුහුණ එලිය වැටෙනු මට පෙනුනි.
"ඒක හොඳයි...මමත් කොහොමටත් මෙහේ තම ඉඳෙන්නේ"
ඔහු කී විට මා මුවට මද සිනාවක් නැගුනේ ඉබේටය. සොනාලි මේසය යටින් අත දමා මගේ බාහුව සෙමෙන් කෙනිත්තුවාය.
"පංචලී එතකොට?" ඩීනෝ එවර විමසුවේ මගෙන්ය.
"මම...ආපහු ලංකාවට යන්වා"
"ඒත් ඔයාගේ සහෝදරී ඉන්නේ බොස්ටන් වල නේද?"
"ම්ම්...ඒත් මම එහේ යන එකක් නෑ. මට ගෙදර යන්නයි ඕන. අම්මලා බලන්න එහේ කවුරුවත් නෑනෙ නැත්තම්" මම පැවසීමි.
මෙවෙලේම වාගේ කෑම පිඟන් කිහිපයක්ද අතැතිව එලියටැ ගිය සියල්ලෝම අප උන් තැනට පැමිණියහ. ඒ සුවඳ සහ පෙනුම දුටු විට එහි රස නොබලා ඉන්නට මට හා සොනාලිට හැකියාව නොතිබිණි.
"එපා හෙපා කියලා දැන් අපිටත් නොතියා කනවා..." පූජා බොරු නොරිස්සුමකින් කීවාය.
"හරි හරි...එකනේ කෑවෙ"
මමකෙබාබ් කෝටුව්ක් අතට ගෙන එය රස විඳින අතරේ, මට ඉදිරියෙන් හුන් මන්ජීත් මා පසුපස උන් යමෙකුදැක සිවුරුහම් බෑවේ අප සියල්ලඟේම අවධානය එදෙසට යොමු කරලමිනි.
"මේ අපේ ජේඩන් නේද?පිස්සු හැදෙයි. කවුද අර එල්ලගෙන ඉන්න කෑල්ල?"
ඩීනෝ එසේ කියූ විට මා නෙතු එදෙසට යොමු වූයේ නිතැතිනි. ඔහු පැවසූ ලෙසම රූමත් තරුණියකගේ සුරතින් අල්වාගෙන ශාලාව මැද සිටගෙන හිනැහෙමින් උන්නේ ජේඩන්ය. එකවර අකුණු ලක්ෂයක් ගැසුවාක් වැනි හැඟීමකින් ගත සලිත වී යද්දී, මම වහා ඔහු මගැර ඉදිරිය බලා ගතිමි. නමුත් මහිත දුකෙන් මිරිකී තිබූ අතර මට හඬන්නට ඇවැසි විය. මා අසල උන් සොනාලි නැවත හැරී මදෙස බැලුවේ මෙවෙලේය. මම වෙනසක් නොපෙන්වා ඉන්නට උත්සාහ කලෙමි.
"මම හිතුවේ එයා කැමති පංචලීට කියලා" මේසයේ එහා කෙලවරේ හිඳගෙන උන් එරික් එසේ කියනු මට ඇසිණි. බිරන්තට්ටු වූ කලෙක මෙන් පූජා, ලතිකා සහ නයෝමි තවමත් ජේඩන් උන් දෙස බලාගෙනම උන්නහ.
"මට මේක විශ්වාස කරන්නත් බෑ...බලාගෙන ගියාම මුන් ඔක්කොම එකයි" සොනාලි තරහින් මෙන් මිමිණුවාය.
"හාලෝ...කොහොමද? කට්ටිය අද කලින්ම ඇවිත් වගේ"
එවර මා බිය වූ පරිදිම ජේඩන් අප හුන් මේසය අසලට පැමිණ උන්නේය.
"ලින්ඩා...මේ තමයි අර අනික් ක්ලාස් එකේ මගේ යාලුවෝ කට්ටිය. මේ ලින්ඩා..." ජේඩන් එසේ පවසනු මට ඇසිණි.
"මේ මන්ජීත්, මේ ඩීනෝ, මේ පූජා...මේ නජීබා..." ජේඩන් එසේ පවසා මොහොතක් නතර විය.
නජීබාට පසුව උන්නේ මායි. මම යන්තම් හිස හරවා අප අසල සිටගෙන උන් දැකුම්කලු තරුණියට මද සිනාවක් පෑවෙමි.
"මම පංචලී...අඳුනාගන්න ලැබීම සතුටක්" මා අපහසුවෙන් හිනැහී එසේ පවසදී, ඈ මට පියකරු සිනාවක් පෑවාය. ඇගේ බැල්ම මගහැර ඉවත බලන්නට මොහොතකට පෙර ජේඩන් හා මගේ දෑස් පැටලුනේ නොසිතූ විලසටය. ඒ දෑස් වල වූයේ තියුණු බැල්මකි. මම දෙවරක් නොසිතාම යලි ඉවත බලා ගතිමි.
"ඔයාගේ පෙම්වතියද?" එරික් එසේ විමසුවේ මන්දැයි මම සිතීමි.
එහෙත් ජේඩන් කිසිවක් නොකියා හිනැහුනා පමණි. මම උන්නේ ඇතුලාන්තයෙන් දැවෙමිනි.
"ඔයා පුදුමයි ජේඩන්...ඇත්තමයි" වදනක්වත් නොකියා උන් ඩීනෝ එසේ කීවේ සැබවින්ම පුදුමයෙන්ද නැතහොත් නොරිස්සුමින්ද කියා මම වටහාගන්නට උත්සාහ කලෙමි.
"ඒකනේ මාර වෙනසක්" මන්ජීත් ද කීවේය.
"නෑ...කොල්ලෝ, වෙනසක් නෑ. සමහර දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒක සමහර අයට තේරෙන්නෙත් නෑ. ඒත්, අපට නවතින්න බෑනෙ. අපි ඉස්සරහට යන්න ඕන..." එවර ජේඩන්ගේ හඬ මදක් මුදුව තිබිණි.
අසල උන් ලින්ඩාට නම් එය ඇසුනාදැයි මා නොදත්තේ ඈ එරික් සමග කතාවක පැටලී උන් වග දුටු නිසාය. මේ සියල්ල අස්සේ ජේඩන්ගේ වදන් පිහි තිඩු සේ විත් මහිත පසාරු කරගෙන සිතේ පතුලට වැටිණි.
"එච්චර ඉක්මණට ඉස්සරහට යන්න පුලුවන් එක කොච්චර දෙයක්ද?" එවර මතුව ආයේ සොනාලිගේ නොරිස්සුම් හඬයි.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" ජේඩන් ඇසීය.
"තේරුම ඔයා දන්නවනේ"
"සොනාලි කියන්නේ මට මොනා කරන්න තිබ්බා කියලද?"
ජේඩන් එසේ අසද්දී මම සොනාලිගේ අතක් මිරිකා ගත්තේ කිසිවක් නොකියන්නැයි කියමිනි.
"එක අතකට ඉතින් මොනා කරත් ඔයා ඔයාමනේ. වෙච්ච දේවල් සේරම වුණේ හොඳට වග හිතලා දැන් කාට කාටත් හිත හදාගන්න පුලුවන්" ඈ එසේ කීවේ ඔහු දෙස නොබලමිනි.
"මිනිස්සුනට කොච්චර ඉක්මණට වෙනස් වෙන්න පුලුවන්ද ඇත්තටම?" සොනාලි යලි  කීවාය.
"ඔව්..ඒක ඔයා හොඳටම දැනගන්න ඕන තමයි. මිනිස්සුන්ට එක රෑකින් වෙනස් වෙන්න පුලුවන් වග මමත් දැනගත්තේ ඔයාලගෙන් තමයි" ජේඩන් එසේ කී විට මහිත තවත් රිදිනි.
මේසය වට නිහඬතාවයක් පැතිර තිබුණ අතර, සියල්ලෝම ජේඩන් සහ සොනාලි දෙස වරින් වර බලනු මට පෙනුනි.
"ජේ...මොකද මේ වෙන්නේ?" ඒ ලින්ඩාගේ හඬ විය යුතුය.
"මුකුත් නෑ..."
"මටත් මේ මොන්වත් තේරෙන්නේ නෑ" එසේ කීවේ ඩීනෝය.
"අපි යමු යන්න පංචලී. මෙතන ප්‍රෙහේලිකා තෝරන්න අපට වෙලා නෑනෙ" එසේ කියූ සොනාලි මාවද ඇදගෙන මේසයෙන් නැගිට්ටාය. මම ඈ අනුව ඇදී ගොස් යන්තමින් ජේඩන්ගේ සිරුරේ නොවැදි නැවතුනෙමි. යලි අප දෑස් මොහොතකට මුණගැසිණි.
"මං කිව්වේ මේන්න මේක තමයි ජේඩන්...ඔයාට පුලුවන් ඒත් මට බෑ...මට දරාගන්න බෑ" මම ඔහුට පමණක් ඇසෙන්නට එසේ මුමුණා සොනාලි සමග එන්නට ආවෙමි. සියල්ලෝම අන්ද මන්දව බලා ඉනු දොරෙන් එලියට බසින ඇසිල්ලේ එදෙස බැලූ මට පෙනුනි.
"කිසිම...වගකීමක් නැති, දඩාවතේ යන සත්තු...අද එකයි, හෙට එකයි...ෂික්! මමත් කම්පා වුණානෙ මූ ගැන හිතලා...මූ පව් කියලා. අන්තිමට...ෂික්!!" සොනාලි තනිවම කියවමින් උන්නාය.
මහිත යලි හඬ වැලපෙමින් තිබිණි. එහෙත් ජේඩන්ද මා රවටා තිබුණා පමණි. අවසානයේ කිසිවකු මට ප්‍රේම කර තිබුණේ නැත. මම මොහොතකට පමණක් ඔවුනට ඇවැසි වූ පණ නැති බෝනික්කෙකු හා සම වූවා පමණි.
සොනාලි නොනැවතීම මාව ඇදගෙන ගොස් නැවතුණේ අපගේ කුටියේය. එහි ගිය විගස මා කලේ යහනට පැන හැඬීමයි. සිදු වූ සියල්ල නරක හීනයක් මෙන් මා පෙලමින් තිබිණි.
"අඬන්න...ඕන තරම් අඬන්න. හැබැයි අද විතරයි. මෙහෙම එවුන් වෙනුවෙන් කඳුලු නාස්ති කරන්න එපා පංචලී. ගෑණියෙක්ගේ කඳුලු වලටත් වටිනාකමක් තියෙනවා. ඒවා ඒකට වටින කෙනෙක් වෙනුවෙන් මිස වෙන කෙනෙක් වෙනුවෙන් හෙලන්න එපා..."
 සොනාලිගේ හඬ කාමරයේ ඈත කොනක සිට විත් මා සවනේ පතිත විණි.
"ඒත් ඔයාට දැන් තේරෙනවනේ ගත්තු තීරණේ හරි වග. මට නම් විශ්වාස කරන්න බෑ තාමත්. මං ඉස්සරහ ඔයා ගැන කියව කියව හිටපු, බලාපොරොත්තු සුන් වෙලා වගේ කතා කරපු ජේ මද මේ කියලා හිතුණා. ඇත්තමයි. ඒත් දැන් ඒ මොනවත් වැඩක් නෑ. දැන් හිත හදා ගන්න ලේසියි..."
සොනාලි යලි යලිත් කීවාය.
මම හැඬූවේ මන්දැයි මම නොදැන උන්නෙමි. ජේඩන් එපා යැයි ඉවතලනු ලැබූයේ මා ම විසිනි. එහෙත් ඔහු අන් කෙනෙකු හා හිඳිනු දැකීම මහිතට දරන්නට නොහැකි විය. එම හැඟීම ඉරිසියාව හා කෝපයද මුසු දුකක් විය. එහෙත් මා ඔහුව නිදහස් කොට තිබිණි. ඔහුගේ ජීවිතය නිදහසේ විඳ ගැන්මට මා ඉඩ දිය යුතුව තිබිණි. තවත් ඔහුට බලාපොරොත්තු දීම හෝ, ඔහු වෙනුවෙන් වැලපීම පලක් නැතිදෙයක් වග මා හිතේ එක පසක් මොර ගාද්දී, අනෙක් පස දුකෙන් පීඩිතව නිශ්ෂබ්දවම වැලපෙමින් තිබිණි.