Tuesday, June 26, 2012

මේ වැස්ස ඉවර වෙන්න ලඟයි...

කමෙන්ට්ස් දාපු, නොදාපු, මේ පැත්තේ ආපු සේරම යාලුවන්ට ගොඩම ගොඩක් ස්තුතියි! වීශේෂයෙන්ම තමන්ගේ අදහස් මට දන්වමින්, කතාව එක්ක දිගටම රැඳුන යාලුවෝ සේරටම ආයෙම ස්තුතියි.
ඉතින් මට කියන්න මේ කතාවේ අඩු පාඩු, හොඳ දේවල් ගැන හෙම. කොහොමත් තව කොටස් දෙකක් විතර තමා ඉතිරි පල කරන්න. සමහරවිට දෙකම එක කොටසක් විදියට පල කරන්නත් ඉඩ තියෙනවා. :)
මොකෝ ඉතින් හිතුණේ? කතාව හොඳද? මේක ඉවර වෙලා මොන වගේ කතාවක් ලියන්නද කියලා මම තාම හිතනවා. අදහස් නම් දෙක තුනක් තියෙනවා, බලමුකෝ නේද?
එහෙනම් මේ වැස්ස ඉවර වෙන දවසටත් එන්න කියලා ආරාධනා කරනවා...
ඒක නෙවෙයි, ලයනෝ, dream boy, sihina, සමාධි...මේ අය මේ පැත්තේ එනවද තාම? කලින් කතාවෙදි හම්බවුණ යාලුවනුත් පොත් ගුලට එනවා ඇති කියලා හිතනවා කමෙන්ට් නොකලත්...
දිගටම මේ පැත්තේ ආවොත් ඔයාලට කියවන්න දෙයක් ආයෙම පොත් ගුලේ තියේවි... :)




Monday, June 25, 2012

හැට තුන්වන කොටස

ආයෙම උදා වෙලා තිබුණේ වස්සාන කාලේ. ඒ කියන්නේ වහින කාලේ. ආන්යා ආසම කරපු කාලේ. උදේ හවස වෙනසක් නැතිව වැහැ වැහැ තියෙද්දි ආන්යට ඕන කලේ පාඩම්කරන්වට වඩා ඒ වැස්ස දිහා බලාගෙන ඉන්න. ගෙදර කාමරේ ජනේලෙන් එලිය බලාගෙන,සිතිවිලි වලට ඔහේ දඟ කරන්න ඉඩ දීලා ඉද්දි ආන්යට හිතුණේ ආපහු කැලඹිච්ච ජීවිතේ කෙමෙන් කෙමෙන් ඉස්සර වගේ වීගෙන එනවා කියලයි. ඉස්සර වගේ ආයෙම හිත පුරා හිනාවෙන්න, තාත්තයි, අම්මයි එක්ක හුරතල් වෙන්න, කුට්ටි එක මල් කඩන්න යන්න ඈට ආයෙම පුලුවන් වෙලා තිබුණා. ආන්යගේ මේ වෙනසින් කාටවත් වඩා සතුටු වුණේ තමන්ගේ තාත්තා කියලා ආන්යා දැනගෙන හිටියා. මේ හැම වෙනසක්ම අස්සේ ආර්යන් හෙවනැල්ලක් වගේ ආන්යා පස්සෙන් උන්නේ ඇගේ හැමදේකටම උදව් කරමින්. ආන්යගේ හිතේ ඔහු ගැන ආදරේකට වඩා තිබුණේ ගෞරවයක්.


"බේබි යමුකෝ...වැස්සක් එන්න යන්නේ" ගෙයි පිටිපස්සේ වත්තේ ආන්යා එක්ක රාබු ගලවමින් උන්නු රාධා කතා කලේ ආන්යට වත්තෙන් එන්න කිසිම අදහසක් නොතිබ්බ හන්දයි.
"වැස්සට ඔච්චරම බයද රාධෝ...පොඩ්ඩක් තෙමුණට දිය වෙන්නෑ, නැද්ද ගෝපි?" ආන්යා ඇහුවේ ගලවපු රාබු මල්ලකට පුරවමින් උන්නු ගෝපිගෙන්.
"ඒකනෙ..."
ආයෙම ආන්යා මොනවත් කියන්න කලින්ම මොර ගෙඩි වැස්සක් එක පාරටම ඇද වැටෙන්න ගත්තා. ආන්යා උඩ බලාගෙන වැහි බිංදු මූණට වැටෙන්න ඉඩ දුන්නා. සීතලට මූණේ වැදිලා බිඳිලා යන වැහි බිංදු වල පහස ඈට ගෙනාවේ සතුටක්.
"අයියයියෝ...මම නම් දුවන්වා" රාධා දුවන්න ලෑස්ති වෙද්දි ආන්යා ඇගේ අතකින් අල්ලලා තමන්ගේ පැත්තට ඇදගත්තේ හිනා වෙවී. ගෝපිටත් හිනා. රාධා කෑ ගහනවා. කොහොමොඉන් හරි විනාඩි දෙකක්වත් යන්න කලින් තුන් දෙනාම හොඳටම වැස්සෙන් තෙත බරිත වුණා. වත්තේ පස් හේදිලා එතන දැන් තිබුණේ එකම මඩ ගොහොරුවක්.
"පිස්සුද බේබි මෙහෙම මඩේ නටන්නේ?" රාධා ඇහුවේ ආන්යා උඩ පනිද්දි ඇඟට මඩ විසිවෙන එක වල්ක්වගන්න උත්සාහ කරමින්.
"ආන්යා..." මේ අස්සේ ගෙදර ඉඳන් අම්මා කෑ ගැහුවා.
"අපි මෙහේ..." ආන්යා වත්තෙන් උඩත නගින පඩියකට නැගලා කෑ ගැහුවා. එතකොටයි ඈ දැක්කේ අම්මා පිළෛකන්නේ එලිපත්තේ හිටගෙන උන්නේ තනියෙම නිවෙන වග. බෙල්ල දික් කරගෙන ඈ උන්නු දිහාට එබිකම් කරගෙන උන්නේ ආර්යන්. කවදාවත් නැතිව අද හොඳට කෝට් හෙම දාලා, ලස්සන මහත්තයෙක් වගේ. ආන්යා එහෙමම පඩිපෙල නැගලා ගෙයි දිහාඅ ආවේ ලැජ්ජාවෙන් වගේ. තවමත් අනෝරා වැස්ස එක දිගටම ඇදහැලෙමින් තිබුණා.
"හනේ හනේ...ලස්සනයි ගෑණු ළමයෙක්ගේ හැටි...වැස්සේ තෙමිලා ලෙඩක් හෙම හැදුනොත් ඔන්න මට නම් කියන්න එපා කසාය තම්බන්න. හැමදාම කියනවා හවසට වැස්සේ ත්ගෙමෙන්න එපා කියලා" අම්මා ආන්යා දිහා බලලා ඉනටත් අත් දෙක තියාගෙන කිව්වා.
ආන්යා ආර්යන් දිහා බලලා හිනාවුණේ උරහිස් හකුලුවමින්.
"ඔහොම ඉන්න, මාත් එනවා" ආන්යා ගෙට ගොද වෙන්න යද්දි ඈව නවත්තපු ආර්යන් කිව්වේ ඇඳගෙන උන්නු කෝට් එක ගලවන ගමන්.
"ඔහොම?" ආන්යා ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්" සපත්තු දෙකත් ගලවලා එතනම් තියපු ආර්යන් කලිසමේ කකුල් දෙක නවාගෙන ආන්යා උන්නු තැනට පැන්නේ අම්මා පුදුමෙන් ගොලු වෙලා බලාගෙන ඉද්දි.
"මේ ළමයි දෙන්නටම පිස්සු. ඕන එකක් කරගන්න එකයි. කිව්වා නාහන ගුරු ඉහල නම් ඉහල, පහල නම් පහල කිව්වලු" අන්තිමට එහෙම කියල, ආර්යන්ගේ ඇඳුම් ටිකත් අරගෙන අම්මා ගෙට යන්න ගියා.
ඒ පස්සෙන්ම රාධාත් ගෙට දිව්වා. රාබු මල්ල අතේ අරගෙන උන්නු ගෝපි වැස්සේ තෙමෙන දෙපල දිහා බලාගෙන උන්නේ හිනාවෙමින්.
ආර්යන් දෑත් දෙපසට කරගෙන උඩ බලාගෙන උන්නා.
"හරි ෂෝක්...වැස්සේ තෙමෙද්දි මාර ජොලි. ඉස්කෝලේ ගිය කාලෙට පස්සෙම මේ මම වැස්සේ මෙහෙම තෙමෙනවාමයි"
ආන්යා තෙමෙමින්ම වටයක් කැරකුනා.
"ඉතින් ඇයි අද මේ පැත්තේ?" ඊට පස්සේ ඈ ඇහුවා.
"ලොකු වැඩකට ආවා"
"කෝට් බෝට් ඇඳගෙන ඉද්දි මට හිතුණා. මොකක්ද ඉතින් ලොකු වැඩේ?"
"මගේ හාමිනේ බලන එකනේ" ආර්යන් කිව්වේ ආන්යා දිහාට ආදරණීය බැල්මක් හෙලමින්.
"ඇත්තට? කවුද අප්පේ ඒ? ඔයාට මෙහේ හාමිනේ කෙනෙකුත් ඉන්න වග අපි දන්නෑනෙ" ආන්යා කිව්වේ විහිලුවට.
"දන්නෙම නැද්ද?"
"ම්හු..."
"එන්නකෝ පෙන්නන්න" එහෙම කියපු ආර්යන් ආන්යවත් ඇදගෙන දිව්වේ වත්ත කෙලවර කොට්ටම්බා ගහ යට බංකුවට. එතනත් තිබුණේ හොඳටම තෙමිලා. ඒත් ඒ වග නොතකා දෙන්නම එතනින් වාඩි වුණා.
"කෝ ඉතින්?" ආන්යා ඇහුවා.
"මේ ඉන්නේ?" ආර්යන් නහය පෙන්නුවා.
"අනේ ඔයා හරි නරකයි"
"දන්නෑ වගේ අහන්නේ ඇයි එහෙනම්?"
ඒ පාර ආන්යට හිනාවක් ගියා.
"ඇයි කියන්නකෝ ඉතින් මේ ලස්සනට ඇඳගෙන?"
"ඔයා බලන්න තම මේ ආවේ. ම්...ඊට කලින් එහේ ඔෆිස් එකේ පොඩි උත්සවේකුත් තිබුණා. අප්පා මටයි, අභීටයි අද අපේ බිස්නස් එකේ ෂෙයාස් පවරලා දුන්නා..."
ඒක ඇහුවාම ආන්යගේ හිතේ උපන්නේ ලොකු සතුටක්.
"ඒ කියන්නේ ඩිරෙක්ටර් මහත්තයෙක්?"
"හ්ම්..හ්ම්..." ආර්යන් හිස තාලෙට වනමින් කිව්වා.
"හම්මෝ බයේ බෑ. දැන් ලොකු මහත්තයෙක් නේ" ආන්යා කිව්වේ ඔහුගෙන් ඈතට යන වගක් අඟවමින්.
ආර්යන් ඇගේ උරහිස වටා අතක් දාලා ඈව තමන් දිහාට ලං කරගත්තා.
"එහෙම නෑ...මම තාමත් ඉස්සර හිටපු ආර්යන්මයි. ඩිරෙක්ටර් කෙනෙක් වුණත්, ඔයාගේ තාත්තගෙන් පස්සේ ජී.එම්. වෙලා මෙහාට එන්නේ මමම තමයි" ආර්යන් කිව්වේ ඇගේ මූණට එබෙන ගමන්. ආන්යා ඒ දැස් දිහා බැලුවා.
"ඔයා මෙහාට එච්චරම ආසද?"
"මං ආස නිසාටත් වඩා, ඔයා ආස හන්දා" ඔහු කිව්වේ ආදරෙන්.
ආන්යා මොන්වත්ම නොකියා ඔහුගේ උරහිසින් හිස තියා ගත්තේ, ඔහු ගැන උපන් සෙනෙහස හිත උතුරා ගලද්දි.
"ඔයාට මතකද ආන්යා, අපි මුලින්ම හම්බවුණ දවස? අර ඔයා මම එස්.ඩී. කියලා වැරදියට අඳුනගත්තු දවස?"  ආර්යන් මතක් කලා.
"ම්ම්...මතකයි" ආන්යා කිව්වෙත් ඒ සිදුවීම මතක් වෙලා හිනා වෙමින්.
"එදා හිතුවද මේ මරුමුස් කොල්ලා කවදාහරි ඔයාට මෙහෙම ලං වේවි කියලා?" ආර්යන් ඇහුවා.
"ම්...එහෙමම නෙවෙයි, ඒත් මීට කලින් දන්නවා වගේ හැඟීමක් නම් ආවා"
"කලින් ජීවිතේක්දිත් ඔයා මේ වගේ මගේම වෙලා ඉන්න ඇති, ඒක්යි ඒ" ආර්යන් කිව්වේ ආන්යගේ අතක් අරගෙන දෝතට මැදි කරගන්න ගමන්.
ආන්යා ඈට පේන මාරගස් පෙල මත ඇස් රැඳෙව්වා. දෙන්නා ඉඳගෙන උන්නු කොට්ටම්බ ගහ යට බංකුව උඩට කොට්ටම්බා කොල දෙක තුනක් පතිත වුණේ හමාගෙන ගිය සුලඟ හන්දයි. ගස් කොලන් ඒ සුලඟින් වැනෙද්දි ආන්යා අහස දිහා බැලුවා. මුලු අහසම තිබුණේ අලු පාට වෙලා.
"වැස්ස නවතින පාටක් නෑ වගේ" ආන්යා ඊට පස්සේ ආර්යන්ට කිව්වා.
"මම වැස්සට ආසයි...ඒ ඔයා නිසා"
"මං නිසා? ඒ කිව්වේ?"
"අපි අතර වුණ හැම ලොකු සිදුවීමක් එක්කම වැස්සකුත් තිබුණා, ඔයාට මතකද මන්දා. වැස්ස හරියට අපේ ආදරේම කොටසක් වගේ" ආර්යන් කිව්වා.
 මොර ගෙඩි වැහි බින්දු එක දෙක ටොක් ටොක් හඬින් කොට්ටම්බා කොල මත පතිත වෙන්න පටන් ගත්තා. ආර්යන්ගේ අත හෙමිහිට මිරිකපු ආන්යා උඩ බැලුවා.
"අපි යමු, වැස්ස තදින් වහියි වගේ" ආන්යා කිව්වා.
"නෑ...අපි ඉමු, ඉඳලා වැස්සේ තෙමෙමු..." ආර්යන් යෝජනා කලා.
"අනේ බෑ. ඔයාට මේ වැස්ස පුරුදු නෑනෙ. ඔයා ලෙඩ වෙයි" ආන්යා කිව්වා.
"කමක් නෑ, මේ මගේ හාමිනේ ඉන්නේ මාව බලාගන්න" ආර්යන් කිව්වේ හිසට කම්මුලක් හේත්තු කරගන්න ගමන්.
ආන්යා හෙමිහිට සුසුමක් හෙලුවා. ආර්යන් ලඟ ඉද්දි ඇගේ හිතේ තිබුණේ පුදුමාකාර සාමකාමි, සන්සුන් භාවයක්.
"අපි ගෙට යමු, මේ තෙමුණා මදෑ. ඔයාට නිකං හරි කිඹුහුමක් ගියොත් අපේ අම්මා මට තමා දෙහි කපන්නේ" නිහඬව ටික වෙලාවක් උන්නු ආන්යා කිව්වා.
"ඔව් ඔව්. අදම මං ආපහු යන්නත් එපැයි" ආර්යන් එහෙම කිව්වාම ආන්යා හැරිලා ඔහු දිහා බැලුවේ මූණ ඇද කරගෙන.
"අනේ අදම යන්වද?"
"යන්න එපැයි පැටියෝ" ආර්යන් කිව්වේ හිස ඇල කරලා.
"අනේ...අද ඉඳලා යන්නකෝ...ප්ලීස්. මෙච්චර දුර ඇවිත්, අදම යන්න හදන්නේ? කොච්චර දවසකින්ද ආවේ?" ආන්යා කෙඳිරි ගාද්දි ආර්යන් කලේ නහය හකුලුවලා හිනාවුණ එක.
"හරි ඉතින් ඉස්සෙලා ගෙට යමුකෝ, වෙන ඇඳුමක් දාගන්නත් එපැයි" අන්තිමේදි ආර්යන් කිව්වා.
"අද ඉන්න, ප්ලීස්" ආන්යා කිව්වේ ආර්යන් දිහාට නැවිලා.
ආර්යන් මොහොතක් ඈ දිහා බලාගෙන උන්නා.
"හරි හරි...අනේ මන්දා හැබැයි මෙහෙම ගියෝතින් මට ජී.එම්. නෙවෙයි මේ වත්තේ කංකානි පට්ටමක් වත් හම්බවෙන්නැති වෙයි" ආර්යන් කිව්වා ඊට පස්සේ.
"ඇයි?"
"මෙච්චර නිවාඩු දැම්මාම?"
"ම්...එහෙනම් යන එකයි ඇත්තේ" ආන්යා අහක බලාගත්තේ බොරු අමනාපයක් මවාගෙන.
"ඔය ඉතින්, මං කිව්වනේ ඉන්නම් කියලා. ඔයා ඉන්න්වනම් මම කංකානි වුණත් මොකද?" ආර්යන් කිව්වේ හිනා වෙවීමයි.
ආන්යා ආපහු ඔහු දිහාට හැරුණාම ඔහුගේ හිනාව නතර වෙලා ඒ ඇස් දෙක ආන්යගේ ඇස් දෙකේ පැටලුණා.
"විහිලු නෙවෙයි, මම අද විතරක් ඉන්නම්. හැබැයි හෙට උදේ පාන්දරම මම යන්න ඕන" ආර්යන් කිව්වේ ඇත්තටම.
"හ්ම්" ආන්යා හිස වැනුවා.
වැස්ස තිබුණේ හෙමිහිට අඩු වෙමින්.
"පිස්සු කෙල්ල" ආර්යන් එහෙම කිව්වේ ඔහුගේ නළල ආන්යගේ නලලේ හප්පමින්. ආයෙම දැස් හතර එකටෙක පැටලුණා. ආර්යන් ආන්යගේ තෙමුණ මුහුණ දෝතට මැදි කරගත්තාම ආන්යට බිම බැලුණේ ඉබේටම. ඇගේ හද ගැස්ම වැඩි වෙලා තිබුණා අහේතුකවම. ආයෙම කිසිවක්ම නොකියා ආර්යන් ආන්යව මුදුවට සිපගනිද්දි ඇගේ දෑස් ඉබේටම පියවුණා. ඒ උණුසුම් මොහොත තප්පරයක් දෙකක් තියෙන්න ඇති. ඊලඟට ආන්යා දෑස් ඇරියා. ආර්යන් දිහා තව එක පාරක් බලපු ඈ, ඔහුගෙන් මිදිලා ගෙට දිව්වේ කන්පෙති රත් වුණ, කම්මුල් රතු වුණ ලැජ්ජාවකින් මිරිකිලා. ආර්යනුත් තනියෙම හිනාවෙලා ඈ පස්සෙම ගෙට එන්න ආවා.


"අම්මගෙයි, තාත්තාගෙයි අකමැත්තක් නැත්තම්, ආන්යගේ ඩිග්‍රි එක ඉවර වුණ ගමන් එයාව මැරි කරන්නයි මගේ අදහස"
රෑ කෑම අරගෙන අහවර සාලේ කතා කරමින් උන්නු ආර්යන් එහෙම කිව්වේ, ආන්යගේ තාත්තා ආර්යන්ගෙන් ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද කියල ඇහුවාමයි.
"අපට අකමැති වෙන හේතු නොතිබ්බා නෙවෙයි ආර්යන්, ඒත් මට දැන් හිතෙනවා, මගේ කෙල්ලට හරියන්නේ ඔයාම තමයි කියලා. අනික අපි මොනවා කිව්වත් ඔය දෙන්නා ඔයාලගේ සම්බන්ධේ නතර කරන්නෙත් නෑනෙ?" තාත්තා ඇහුවේ හිනාවකුත් මුවේ නගාගෙන.
අම්මා ලඟ උන්නු ආන්යා බිම බලගත්තා ලැජ්ජාවෙන්.
"අපට ඕන මීනුව ආදරෙන් බලාගන්න, ආරක්ෂා කරන, අපි වගේම එයාව බලාගන්න කෙනෙක් ආර්යන්. ඒක ඔයා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දමයි, කලින් වුණ සේරම අමතක කරලා අපි ආයෙම ඔයාට චාන්ස් එකක් දුන්නේ" එහෙම කිව්වේ ආර්යන් අසලම වාඩි වෙලා උන්නු අනුහස්. ආන්යා අනුහස් දිහා බැලුවේ ලොකු සෙනෙහසකින්.
"මම එක දන්නවා අනූ. ඒ විශ්වාසේ මා අතින් කැඩෙන්න මම ඉඩ තියන්නෑ"
ආර්යන් එහෙම කියලා ඔහුගේ බැල්ම ආන්යා ලඟ නතර කලා.
"අපට ඕනත් එච්චරයි" අම්මා කිව්වා.


ඉස්සරෝම දවස්වල පුංචි කාලේ වගේ ආන්යයි, අනුහසුයි අම්මගේ උරහිස් දෙකට වාරු වෙලා ඇගේ දෙපැත්තෙන් වාඩි වෙලා හිටියා. තාතා ඒ ලඟම අම්මට පිටිපස්සෙන් වාඩි වෙලා ආන්යගේ හිස අතගාමිනුයි උන්නේ. උදේම යන්න ඕන හන්දා ආර්යන් නිදාගන්න ගිහින් උන්නා.
"මෙහෙම ඉද්දි රූපා මට මතක් වෙනවා ඔයාට මේ දෙන්නා හම්බවෙන්න හිටපු දවස්...හම්බවුණාට පස්සේ තමා හොඳම සෙල්ලම පටන් ගත්තේ නේද?" තාත්තා කිව්වාම අම්මා හිනාවුණා විතරයි.
"ඇයි තාත්තා?" ආන්යා ඇහුවා.
"ඔයා මගේ අතේ නින්ද යාගෙන එද්දිම මෙයා පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඔයත් ඇහැරෙනවා. අපි දෙන්නා ආයෙම නලවන්න පටන් ගන්නවා.(අම්මයි, තාත්තයි දෙන්නම හිනා වෙනවා)ඒ දවස්වල මම ඔෆිස් ඇවිත් මට මේසේ උඩ නින්ද යන්වා...හොඳ වෙලාවට හැබැයි ඔයාලගේ අච්චි අම්මලා දෙන්නා හිටියා අම්මගේ උදව්වට"
තාත්තා කියද්දි ආන්යා අහගෙන උන්නේ ආසාවෙන්.
"මම නම් නෙවෙයි, මෙයා වෙන්න ඇති වැඩියෙන්ම වද දෙන්න ඇත්තේ" අනුහස් ආන්යා දිහාට නැවිලා කිව්වා.
"අනේ යනවා යන්න"
"නෑ, නෑ. ආන්යා පොඩි කාලේ ඉඳන්ම සයිලන්ස් එක්කෙනෙක්. ඔය තමා දඟ මල්ල. අයියටත් ගහනවා" එහෙම කිව්වේ අම්මා.
"ආ...ඇද්ද අහගත්තා?" ආන්යා අනුහස්ට ඇද කලා.
"හරි හරි. කමක් නෑ..." අනුහස් හිස නවාගෙන කිව්වා.
"ඉතිං තාත්තා තව කියන්නකෝ අපි ගැන" ආන්යා තාත්තගෙන් ඉල්ලුවා.
"මම එදා මුලින්ම ඉස්පිරිතාලෙට ගියාම, ඔය දෙන්නා පොඩි ගුලි දෙකක් වගේ අම්මා ලඟ දොයි (තාත්තගේ හඬ හැඟුම්බර වුණා). මම දැනගෙන හිටියේ නෑ, පොඩි කෙල්ලෙකුත් එතන උන්නු වග. ඒත් මම මුලින්ම අතට අරන් තිබුණේ ඒ කෙල්ලව. ඒ වෙලාවේ දැනුන හැඟීම මට අදටත් විස්තර කරන්න බෑ දරුවෝ..." තාත්තා එහෙම කියලා පුංචි කල්පනාවකට වැටුණා.
ආන්යා දැක්කා අම්මගේ ඇස්  දිලිසෙනවා. ඇගේ ඇස් තිබුණෙත් අහේතුක කඳුලකින් බොඳ වෙලා. අනුහස් අම්මට තව ටිකක් තුරුල් වුණා.
"අපි අපට දෙන්න පුලුවන් හැම සැප සම්පතක්ම දීලා ඔයාලව හැදුවේ, කවදාහරි ඔයාලගෙන් ඒවා ආයෙම බලාපොරොත්තුවෙන් නෙවෙයි. හැමදාම ඔය තුන් දෙනා සතුටින්,හොඳඉන් ඉඳීවි කියන ආසාව ඇතුව. ඔයාලගෙන් කාට හරි පොඩි දුකක් වුණත් අපේ හිත් ගොඩක් රිදෙනවා පුතේ. ඒක්යි අපි හැමවෙලේකම ඔයාලගේ සතුටට ඉඩ දෙන්නේ" තාත්තගේ කතාව නැවතුන හන්දා අම්මා කිව්වා.
ආන්යා අම්මට තුරුල් වුණේ ආදරෙන්.
"අපි ඒක දන්නවා අම්මා" අනුහස් මිමිණුවා.
ආන්යා තමන්ගේ උරහිස මත තිබුණ තාත්තගේ අතින් තද කරලා අල්ලගත්තා.
"ඔය දෙන්නගේ හිත් රිදෙන දෙයක් කවදාවත් අපි කරන්නෑ..."
"ඔයාලා ඒක ඔප්පු කරලා තියෙනවා පුතේ. අපට ඔය තුන් දෙනා ගැනම හරිම ආඩම්බරයි. ඒ වගේම, ආර්යන් වගේ හොඳ කොල්ලෙක් අපේ පවුලට ලැබෙන්න යන එක ගැනත් අපට ආඩම්බරයි" තාත්තා කිව්වා.
ආන්යා තාත්තගේ අත තව ටිකක් තදින් මිරික ගත්තා. ඒ මොහොතේ තමගේ දෙමව්පියන් දෙන්නා ගැන උතුරා හැලෙන සෙනෙහසක්, ආදරයක් ආන්යගෙයි, අනුහස්ගෙයි දෙන්නගෙම සිත් වල තිබුණා.








Saturday, June 23, 2012

හැට දෙවන කොටස

හැමදාම වගේ රාමනාදන් නේවාසිකාගාරේ කැන්ටිම උදේ කෑම ගන්න ආපු ළමයින්ගෙන් පිරිලා තිබුණා. අනික් තුන් දෙනාටත් එක්ක කෑම ගන්න හිතාගෙන අද පෝලිමේ උන්නේ ආන්යයි, පාරමීයි. පෝලිමේ මැද හරියක උන්නු මේ දෙන්නා කෑම අරන් එනකල් අනික් තුන් දෙනා කැන්ටිමේ පැත්තකට වෙලා බලාගෙන උන්නා. මේ අතරේ හදිසියේම ආන්යගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. පෝලිමේ තිබුණ තදබදේ හන්ද ආන්යා කවුද කියලාවත් නොබලා ෆෝන් එකට උත්තර දුන්නා.
"මීනු..." ඒ හඬ ඇවිත් ආන්යගේ සවනේ හැපුනම ඈ එක පාරටම ගල් ගැහුණා වගේ. ඒත් හද ගැස්ම වැඩි වුණා.
"අභී..." ආන්යා කතා කලේ ගැහෙන හිතින්. ඈ දිහා බලාගෙන උන්නු පාරමී ඇස් උස්සලා ඉඟි කලා.
'ඔයා එන්න කෑම ගන්න ප්ලීස්' රශ්මිට තොල් වලින් කියපු ආන්යා ෆෝන් එකත් කනේ තියාගෙනම එලියට ආවා.
"අභී...ම්...කොහොමද?" අහන්න වෙන දෙයක් මතක් නොවුනු පාර ආන්යා එහෙම ඇහුවා.
"හොඳයි, ඔයාට?"
"වරදක් නෑ ඉන්නවා"
"ම්...කොහෙද කැම්පස්ද ඉන්නේ?"
"ඔව්, මේ ලෙක්චර්ස් යන්න ලෑස්ති වෙන ගමන්" ආන්යා එහෙම උත්තර දුන්නේ මේ තරම් සාමාන්‍ය විදියට කතා කරන්න තරම් තමන් දෙන්නා කොයි තරම් දුර වෙලාද කියන එක ගැන පුදුම වෙමින්.
"අනේ සොරි මම ඔයාට ඩිස්ටර්බ් කලාද මන්දා" අභී කිව්වා.
"නෑ, නෑ, තව වෙලා තියෙනවා යන්න. අ..ම්..ඔයා කතා කලේ?"
ආන්යා එහෙම ඇහුවාම අභී ඒකට උත්තර දෙන්න ටිකක් වෙලා ගත්තා.
"කතා කලේ, මම...යනව කියන්න" ඔහු කිව්වාම ආන්යගේ හිත සැලුනා.
"යනවා? කොහෙද?"
"මම ආපහු යූකේ යන්වා මීනු. එහේ මට ජොබ් ඔෆර් එකක් හම්බවුනා. අපේ අප්පාගේ යාලුවෙක්ගේ ටී කම්පනි එකකමයි. ඔෆර් එක ඇවිත් නම් ටික දවසක්, මම...ඊයේ තම ඩිසයිඩ් කලේ යනවා කියලා" අභී කිව්වා.
"කොච්චර කාලෙකටද?" ආන්යා ඇහුවේ හිතේ හීනියට දුකක් පැතිරෙද්දි.
අභී හිනාවුණ වග ආන්යට තේරුණා.
"සමහරවිට හැමදාටම. එහෙම නූනත් තව හුඟ කාලෙකට මම ආපහු එන එකක් නෑ" අභී එහෙම කිව්වාම ආන්යා ගොලු වුණේ මොනවා කියන්නද කියලා හිතගන්න බැරිව.
"ඒ ඇයි කියලා අහන්න එපා මීනු. මට ඔයාට බොරු කියන්න බෑ. මට හිත හදාගන්න වෙන ක්‍රමයක් නෑ.මම ඔයාගෙන දෙයක්ක අහන්නද ඔයා තරහා වෙන්නැත්තම්?" අභී හිටපු ගමන් එහෙම ඇහුවා.
"මොකක්ද?" ආන්යා කතා කලේ අපහසුවෙන්.
"ඔයා මේ හැමදේම අමතක කරලා, කවදාහරි මගේ අන්නා එක්ක එකතු වෙනවා නේද?" අභී ඇහුවේ එහෙම.
"ඇයි ඕවා මගෙන් අහන්නේ?" ආන්යා ඇහුවේ රිදුම් දෙන හිතින්.
"ටු මේක් ෂුවර් දැට් මයි සෆරිංග්ස් අර් නොට් ඉන්වේන්...මමත් මගේ අන්නට ගොඩක් ආදරෙයි මීනු. ආයෙමත් මං හන්දා එයාට දුකක් වෙනවා මට බලන්න ඹෑ. එයා ගොඩක් දෙවල් විඳගෙන හිටියේ මට ආදරේ හන්දා, ඒ වගේම ඔයාට ගොඩක් ආදරේ හන්දා, අහන්න මීනු...මං ඒක දැන් දන්නවා. ඔයා කවදාවත් බයක් හිතන්න එපා. මම ආයෙම කවදාවත් ඔය දෙන්නා අතරට එන්නේ නෑ. වෙච්ච දේවල් අමතක කරලා හිත හදාගන්න පුලුවන් වෙනකල් මං ඔය දෙන්න ඉස්සරහටවත් එන්නෑ මීනු. අයි ප්‍රොමිස් දැට්" අභී කියවගෙන ගියා.
අහගෙන ඉන්නවා ඇරෙන්න ආන්යට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ.
"ඔයා අහගෙනද ඉන්නේ මීනු?"
"හ්ම්"
"මොනවත් නොකියන්නේ ඇයි?"
"මොනා කියන්නද?"
"ඔයා අන්නට ආදරෙන්, එයාට දුකක් නොදී ඉන්නවා නේද කියන්න?"
"ප්ලීස් අභී...අපි ඔය කතාව නවත්තමු. මට දැන්ම ඔය මොනවත්ම හිතන්න බෑ. මට තව කල් ඕන..." ආන්යා කිව්වේ ඇඬුම්බරව වගේ.
"අයෑම් සොරි මීනු, දැනුත්, කලිනුත් වෙච්ච සේරම හිත් රිදීම් වලට මට සමාව දෙන්න. හිත රිද්දන්න හිතාගෙන ලං වුණා නෙවෙයි.(ඔහු සුසුමක් හෙලුවා) ඒත් දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ"
ආන්යා හුස්මක් උඩට ගත්තා. ඇගේ යෙහෙලියෝ ඇවිත් ඈ එනකල් පැත්තක බලාගෙන උන්නා.
"අභී...මම දැන් යන්න ඕන" ආන්යා ක්ලිව්වා.
"හොඳයි මීනු"
"අහන්න බැරි වුණා, කවද්ද ෆ්ලයිට් එක?"
"අනිද්දා රෑ..."
ආන්යා ආයෙම සුසුමක් හෙලුවා.
"පරිස්සමින් ගිහින් පරිස්සමින් ඉන්න එහෙනම් අභී. කරන හැමදේම හරියන්න කියලා මං විෂ් කරනවා" ආන්යා කිව්වා.
"තෑන්ක් යූ මීනු. ඔයත් පරිස්සමෙන් ඉන්න. වෙච්ච දේවල් නරක හීනයක් කියලා හිතලා අමතක කරලා දන්න. හැමදේම හරියයි විත් ටයිම්. අන්නා ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි, එයා ඔයාගේ හිත හදාගන්න උදව් කරයි"
'ඔයා ආදරේ නැද්ද?' කියලා සිතිවිල්ලක් අනායාසයෙන්ම ආන්යගේ හිතට ආවත් ඈ ඒක ක්ෂණයකින් යටපත් කරගත්තා.
"අයෑම් ගෝන මිස් යූ ප්‍රින්-ඔහ් අයෑම් සොරි, මීනු" අභී ගේ හඬ තිබ්බේ දුර්වල වෙලා, ගැහෙමින් වගේ.
ආන්යගේ දෑස් කඳුලු පටලයකින් වැහුණා.
"මම තියන්වා අභී...ගුඩ් බායි"
"ගුඩ් බායි ප්‍රින්සස්"
ආන්යා ෆෝන් එක කට් කරලා ඇඬුම නවතගත්තේ අමාරුවෙන්. ඈ ඇස් දෙක කරකවලා, ඉක්මණින් ඇසිපිය ගැසුවේ කඳුලු පිට පනීවි කියලයි. ඊට පස්සේ තමන් දිහා පුදුමෙන් වගේ බලාගෙන උන්නු යෙහෙලියන්ට ඈ එකතු වුනා.
"අපි යමු"
ඊට පස්සේ ආයෙම ආන්යට නොකියම අභී ලංකාවෙන් යන්න ගිහින් තිබුණා. ආන්යට එදා ඔහුව මතක් නූනා නෙවෙයි. හිතේ මොකක්දෝ කියාගන්න බැරි දුකක් පෙරලි කරමින් තිබුණත් ඈ ඒක ගැන නොහිතා ඉන්න උත්සාහ කලා. ඒත් අභී ආයෙම හිතේ ඉස්මතු වුනේ කාලෙකට කලින් ඔහු එවපු එස්.එම්.එස්. එකක් අහම්බෙන් වගේ ආන්යගේ නෙත ගැටුණාමයි.
'හිමගිර මට වැලි අහුරකි, මහ සමුදුර දිය රැල්ලකි- කඩු තුඩු මත සැතපෙන්නෙමි, ඔබ සැනසේනම්...'
ආන්යා ඒ එස්.එම්.එස්. එක දිහා බලාගෙන මොහොතක් උන්නා. අභී දැන් කරන්න හදන්නෙත් ඒ ගීතයේ කියවෙනවා වගේ දෙයක්දෝ කියලත් ඈට හිතුණා. එහෙමම ආයෙම ඇදේ වාඩි වුණ ඇය ඇස් දෙක පියාගෙන ඒක මකලා දැම්මේ කඳුලු වලින් ආයෙම ඇස් උණුසුම් වෙද්දි.


මම රෑ මැද ආන්යාගේ නිදි දැහැන බිඳුනේ ඇගේ ෆෝන් එක නාද වුණ හඬට. ඈ නිදිමතේම ඒකට උත්තර දුන්නා.
"ආන්යා..." එහා පැත්තෙන් කතා කලේ ආර්යන්. ඒ පාර ආන්යා  හොඳටම ඇහැරුණා.
"ඔයා නිදිද?" ආර්යන් ඇහුවා.
"නිදාගෙන තමා හිටියේ ඒත් දැන් ඉන්නේ ඇහැරිලා...ඇයි මේ රෑ?" ආන්යා ඇහුවේ හෙමිහිට දොර ඇරගෙන කාමරෙන් එලියට එන ගමන්.
"මට ඔයා බලන්න ඕන" ආර්යන් කිව්වේ පොඩි එකෙක් වගේ.
"දැන්?"
"දැන් නෙවෙයි...මම හෙට එන්නද?"
"හෙට? හෙට මට ලෙක්චර්ස් නේ"
"කීයටද ඉවර වෙන්නේ?"
"ම්ම්...ඉන්න බලන්න...හෙට බ්‍රහස්පතින්දා...ම්ම්...හතරට විතර තමා"
"හරි, ඒ වෙලාවට මං ඇවිත් ඉන්නම්"
"ඒත්...ඇයි හදිසියේ?"
"මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනව"
"මොනවද?" ආන්යා ඇහුවා.
"හෙට ඇවිත්ම කියන්නම්" ආර්යන් කිව්වා.
"ම්..හ්ම්" ආන්යා ඇස් දෙක මිරිකමින් වෙලාව බැලුවා ෆෝන් එකේ.
"දෙයියනේ...රෑ දෙකයි වෙලාව. ඔයා කොහෙද ඉන්නේ? නිදාගන්නැද්ද?" ආන්යා ඇහුවා.
"නින්ද යන්නෑ ආන්යා"
ඒ පාර ආන්යගේ හිතට ආවේ වෙනම සිතිවිල්ලක්.
"ඔයා...ඇහැරගෙන බොනවා නේද? මට ඇත්ත කියන්න" ආන්යා ඇහුවේ චෝදනාත්මකව.
"නෑ...නෑ.."
"ඔයා කියන්නේ බොරු..."
"ඇත්තමයි"
"නෑ...මට ඔයාගේ කටහඬින් තේරෙනවා..."
"නෑ ආන්යා. සත්තමයි. එදා ඔයා මට බැනපු දා ඉඳන් මම ආයෙ බිව්වේ නෑ...ට්‍රස්ට් මී..." ආර්යන් එහෙම කිව්වාම ආන්යා මදක් නිවුනා.
"එහෙමනම් කමක් නෑ"
"අපෝ තියෙන ගනකම...හරි අමාරුයි දෙයක් කන්වින්ස් කරන්න" ආර්යන් කිව්වා.
"එහෙම නැතුව බෑනෙ" ආන්යා එහෙම කිව්වම ආර්යන් හිනා වුණා.
"හරි හරි, මං හෙට එන්නම්. එද්දි මොනාද ඔයාට ගේන්න ඕන?"
"මට? මට මොනවත් එපා..." ආන්යා හිනා වුණා.
"ම්...හරි, මම හිතලා දෙයක් ගේන්නම්කෝ"
"මට මොනවත් ඕන නෑ, දැන් නිදියන්නයි ඕන" ආන්යා එහෙම කිව්වාම ආර්යන්ට හිනාවක් ගියා.
"හරි හරි...එහෙනම් නිදියන්න. මාත් නිදියන්න යනවා"
"හරි...ස්ලීප් ටයිට්" ආන්යා කිව්වේ ඈනුමක් අරින ගමන්.
"යූ ටූ"
ආන්යා කකුල් අද්ද අද්ද ඇඳට යන ගමන් කල්පනා කලේ හෙට ආර්යන් ඇවිත් මොනවා කියාවිද කියලයි.


"මොකද අනේ අද මේ මෙයාට වෙලා තියෙන්නේ? ආපු වෙලේ ඉඳන් වොච් එක දිහා බලාගෙන" ආන්යා දිහා බලාගෙන උන්නු පාරමී ඇහුවා.
"අද අරයා එනවලුනේ" රශ්මි එහෙම කිව්වේ ඇදලා පැදලා.
"කවුද ආර්යන්?" බෑග් එක අදිමින් මොනවදෝ හොයමින් උන්නු සම්මානි වැඩේ නවත්තලා එහෙම ඇහුවේ හිනාවකුත් එක්ක.
"නැතුව නැතුව"
"ඒ කියන්නේ දැන් වැඩේ හරි ඈ?" සම්මානි ඇහුවා.
"අනේ මොනවද අනේ මේ කියන්නේ? මොනවත් හරි නෑ. එයා එන්නේ කතා කරන්න විතරයි" ආන්යා කෙඳිරි ගෑවා.
"කතාවෙන් කතාවෙන් වැඩේ නිකම්ම හරියයි" රශ්මි කිව්වාම ආන්යා ඈට ගස්සලා බිම බලාගත්තා.
"අනේ මන්දා, මට නම් තේරෙන්නෑ ඔයා මොනා කරන්න යන්වද කියලා අන්යා. ඔයාමයි කියන්නේ එයාට ලං වෙන්න හිත හදාගන්න බෑ කියලා. ඔයාමයි ආයෙම එයාට ලං වෙන්න ඉඩ දෙන්නෙත්" එහෙම කිව්වේ හිනාවකින් තොරව උන්නු අංජලී.
"මට එයාට ලං වෙන්න බැරි මම එයාට අකමැති හන්දා නෙවෙයි අංජු. ඒක ඔයා දන්නවනේ..." අංජලීගේ කතාවට හිත පෑරුණ ආන්යා කිව්වා.
"දැන් එහෙනම් මොකද කරන්න හදන්නේ?" එහෙම ඇහුවේ පාරමී.
"මොනවත් නෑ. එන විදියකට මූණ දෙනවා. අපට අපිව අයිති වෙන්න ඕන නම් කොහොමහරි ඒක සිද්ධ වෙයි...ඒ මොනා වුණත් එන ඕනම දේකට මූණ දෙන්න මම හිත හදාගෙන ඉන්නේ" ආන්යා කිව්වේ ස්ථිර හඬින්.
ඊට පස්සේ ඇගේ යෙහෙලියෝ ඈට මොනවත් කියන්න ගියේ නෑ.
"අන්න සර් ආවා..."


හවස හතරයි කාල වෙද්දි ආන්යා උන්නේ ආර්යන් එක්ක ඔහුගේ  ජීප් එක ඇතුලේ. ඈ එනකල් ඔහු ගේට්ටුව ඉස්සරහ ජීප් එක නවත්තගෙන උන්නා.
"අද ඔයා හරි ලස්සනයි නේ" ආන්යා නැගපු ගමන් ඈ දිහා බලලා ආර්යන් කිව්වේ එහෙම.
සුදු පාට බෝරිච්චි අත් දාපු බ්ලවුස් එකයි, රෝස පාට පුංචි මල් වැටුණ දිග රැලි සායයි ආන්යා කවදත් ආස කරපු ඇඳුම් දෙකක්. ආර්යන්ගේ කතාවට ඈ රතු වුණා.
"අපි කොහෙද යන්නේ?" දේශණ ඉවර වෙලා යන ළමයින්ගෙන් පිරුණ පාර දිහා බලපු ආන්යා ඇහුවා.
"කොහාටද යන ඕන?"
"අනේ මන්දා...ඔයා කියන්න. ඒක තීරණය වෙන්නේ ඔයාගේ කතාව මොනවගේ එකක්ද, කොච්චර දිගද කියන එක මත නේ" ආන්යා කිව්වා.
"අද හොස්ටල් ආපහු එන්නම ඕනද?" ආර්යන් එහෙම ඇහුවාම නම් ආන්යගේ ඇස් ලොකු වුණා.
"ඈ? නැත්තම්? ඔයා...කොහේ යන්නද මේ එන්න කියන්නේ?" ඈ ඇහුවේ බයෙන් වගේ.
ආර්යන් ඈව දැකපු ගමන් ඔහුට ලොකු හිනාවක් ගියා.
"කොහේ වුණත් දැන් එන්න එපැයි ජීප් එකට නැග්ගා නම්" ඔහු කිව්වා.
"අනේ ආර්යන් අයියා, විහිලු කරන්න එපා. මට නම් බෑ කොහේවත් යන්න එන්න"
"මං බලෙන්නේ අරන් යන්නේ" ඔහු කිව්වේ හිනාවෙන්මයි.
"මට බහින්න ඕන" අපහසුතාවයට පත් වෙලා උන්නු ආන්යා කිව්වේ දොර ඇරගන්න උත්සාහ කරන ගමන්.
"හරි හරි...අයියෝ, මෙයාට විහිලුවක්වත් තේරෙන්නේ නෑනෙ. මම ඔයාව එක්ක යන්න හදන්නේ ඔයා කැමතිම දිහාකට..."
"කොහෙද?" ආන්යා ඇහුවේ සැකෙන්.
"මාව ඔයාට විශ්වාස නැද්ද?" ආර්යන් ඇහුවේ දයාබරව.
ආන්යා ඒ පාර නිෂ්ශබ්ද වුණා. ඒත් ඇගේ දෑස් වල තිබුනේ මොකක්දෝ බයක් වග ආර්යන්ට තේරෙන්න ඇති.
ඒත් ඔහු  මොනවත් නොකියා වහනේ පණගන්වලා ඉස්සරහට ඇදුනා. ගලහා හන්දියෙන් පේරාදෙණිය පැත්තට හරවද්දි යන්නේ කොහෙද කියලා ආන්යට හිතාගන්න බැරි වුණා.
"කොහෙද මේ යන්නේ කියන්නකෝ" ආන්යා කිව්වා.
ආර්යන් යන්තම් ඈ දිහා බලලා ඉංජිනේරු පීඨේ පහුවුණ ගමන්ම වගේ වාහනේ පැත්තකට කරලා නැවැත්තුවා.
"හරි, මට කියන්න මේ රටේ ඔයා යන ආසම තැන මොකක්ද කියලා" ආර්යන් මොනා අහනවද කියලා ආන්යට තේරුණේ නෑ.
"ගෙදර" ආන්යා කටට ආවට කිව්වා.
"අන්න ඒකනේ. ඉතින් මේ පාරට හැරෙව්වම ඔයාට හිතුණේ නැද්ද අපි යන්නේ එහේ කියලා?" ආර්යන් ඇහුවම ආන්යා ඔහු දිහා බැලුවේ කටත් ඇරගෙන.
"අපි යන්නේ ගෙදරද?"
"ඒකනේ මම ඇහුවේ හොස්ටල් එන්නම ඕනද කියලා?" ආර්යන් එහෙම කියලා හිනාවුණා.
ඒ පාර ආන්යටත් හිනාවක් ගියා.
"ඔයා නම් අනේ මන්දා...මම බයත් වුණා"
"අයි මම ඔයාව වෙන කොහේ හරි අරගෙන යයි කියලද?"
"කියන්න බෑනෙ" ආන්යා කිව්වේ අනික් පැත්ත හැරිලා.
ආර්යන් ආයෙම වාහනේ පණ්ගැන්නුවා.
"අරන් නම් යනවා තමයි, ඒත් අද නෙවෙයි" ඔහු ආන්යා දිහා නොබලම කිව්වා.
ආන්යා ඒක නෑහුණා වගේ අහක බලාගෙන හිටියා. ටිකක් දුර කතාවකින් තොරව ගමන ඇදුනා.
"ඔයා ගොඩක් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද?" ඒ නිහඬ බව බින්දේ ආන්යා.
"හ්ම්...මම මේ කල්පනා කර කර ආවෙත් කොහෙන් පටන් ගන්නද කියලා" ආර්යන් කිව්වා.
"ඇයි එච්චරටම පැටලිලාද?"
ආර්යන් මන්දහාසයක් පාලා තව මොහොතක් නිහඬවම උන්නා.
"අභී ආපහු යූකේ ගියා ආන්යා" ආර්යන් කිව්වේ දුකෙන් වගේ කියලා ආන්යට හිතුණා.
"ම්...මං දන්නවා. අභී යන්න කලින් මට කතා කලා" ආන්යා කිව්වේ ඉස්සරහ බලාගෙන. ගමන යන්න පටන් ගනිද්දි තිබුණ සතුට මැකිලා යනවා ඈට දැනුනා.
"කතා කලා? මොනවද කිව්වේ?" ආර්යන් ඇහුවේ කලබලෙන් වගේ.
"විශේෂ දෙයක් කිව්වේ නෑ. යන වග විතරයි කිව්වේ" ආන්යා උත්තර දුන්නා.
"මට අභී ගැන හරි දුකයි ආන්යා. එයා යද්දි මට ගොඩක්ම දුක හිතුණා. මේ හැමදේම වුණේ මම මෝඩයෙක් වගේ කට වහගෙන මගේ හැඟීම් සේරම හංගෙන හිටි නිසාදෝ කියලත් මට හිතුණා" ආර්යන් කිව්වා.
"හැමෝම කරන්නේ තම තමන්ට දොස් පවරගන්න එක විතරයි. එහෙම කලා කියලා වෙච්ච දේවල් වෙනස් වෙන්නෑ. ඒ නිසා ඒ ගැන හිත හිත දුක් වෙලා ඇති වැඩේ මොකක්ද?" ආන්යා කිව්වා.
ඒ පාර ආර්යන් ආන්යා දිහා බැලුවා.
"ඔයාට අභී ගැන දුක නැද්ද?" ආර්යන් එහෙම ඇහුවාම ආන්යගේ හිතේ මොකක්දෝ සීමාවක් ඉක්මගියා වගේ ඇගේ හිතට එක පාරටම ආවේ තරහක්.
"ඔයා මොනාද මේ අහන්නේ? ඇත්තටම ඔය දෙන්නට මොකද වෙලා තියෙන්නේ? අභී කතා කරලා අහනවා මම ඔයාට ආදරේද කියලා...ඔයා අහනවාඅ අභී ගැන මට දුක නැද්ද කියලා...ඇයි මෙහෙම අහ අහ මාව අවුල් කරන්න හදන්නේ? ඔය දෙන්නම හොඬටම දන්නවනේ මම ඉන්නේ මොන තත්වෙකද කියලා. ආර්යන් අයියා ප්ලීස්...ඔයා හිතනවා නම් අභීට ඔයා නිසා වරදක් වුණා කියලා, අපි අපි දෙන්නගේ මේ ආශ්‍රය නවත්තමු...මට මේවා අහලා ඇති වෙලා. ඔය දෙන්නම හිතන්නෑ ඔය ප්‍රශ්ණ අහද්දි මගේ හිත කොච්චර පෑරෙනවද කියලා...මම ආදරේ කාටද කියලා ඔය දෙන්නම දන්නවනේ. ඇයි මෙහෙම කරන්නේ?" ආන්යා අන්තිම ටික කියද්දි ඈ උන්නේ අඬන්න ලං වෙලා.
අනපේක්ෂිතව සිද්ධ වුණ මේ දේ හන්දා පුදුමයටත්, කම්පනටත් පත් වුණ ආර්යන් ආපහු ගෙලිඔය හරියෙදි වාහනේ අයිනක නතර කලා.
"ආන්යා...අයෑම් ටෙරිබ්ලි සොරි...ප්ලීස්...මා දිහා බලන්න. ඔයාගේ හිත රිද්දන්න ඇහුවා නෙවෙයි...(එහෙම කියලා ඔහු තමන්ගේ නලල පිරිමදින්න ගත්තා) මම පොඩ්ඩක් අවුලෙන් හිටියේ අභී ගිය හන්දා. මම දන්නව ඔයාට මේ දේවල් බර වැඩියි කියලා. අනේ ප්ලීස් ආන්යා, ප්ලීස් මට සමාවෙන්න. ප්ලීස්..." ආන්යා දිහාට හැරිලා ආර්යන් ආයාචනා කලා.
"ඔය දෙන්නම හිතන්නේ ඔය දෙන්නා ගැන විතරයි" ආන්යා නිර්දය විදියට කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ? මට අභී ගැන දුකක් හිතෙන එක වරදක්ද?"
"නෑ...ඒක නෙවෙයි වරද. ඔයාට ඔච්චරම දුක නම් අභීටම මාව තියාගන්න නොකිව්වේ ඇයි? ඇයි අපහු ඔයා මට ලං වෙන්න හදන්නේ? අභී කරන්නෙත් ඒක. එයාට මාව ඕන නම් ඇයි ඔයාට ආදරේ කරන්න කියලා මට කියන්නේ? මම කවුරු කියලා හිතාගෙනද? මං නිකම් පිදුරු බෝනික්කෙක්ද?"
ආර්යන්ගේ මූණ වේදනාවෙන් පිරිලා තිබුණා.
"එහෙම කියන්න එපා ආන්යා. මම ඔයාට කවදාවත් කියන්නෑ ආපහු අභී ගැන හිතන්න කියලා. ඒක අපි තුන් දෙනාටම ආයෙම කරන්න බැරි දෙයක් වග මං දන්නවා. ප්ලීස් මට සමාවෙන්න, මම අභීව මතක් කරලා ඔයගේ හිත රිද්දුවට. මටැ ඕන වුණේ මගේ හිතේ තියෙන දුක කාටහරි කියන්න විතරයි. අපි දෙන්නම ගොඩක් එකටම හිටපු හන්දා, එයා ගිය එක මට ගොඩක් දැනෙනවා. ඒකයි"
"ඉතිං ඇයි ඔයත් නොයන්නේ? මට ඔය දෙන්නව වෙන් කරන්න ඕන නෑ. ඔයා මාව බාධාවක් කරගන්න එපා. එයා ඔයාගේ මල්ලි. මම ඔයාගෙ ජීවිතේට අද ඊයෙක ආපු කෙල්ලෙක් විතර්යි" ආන්යා කිව්වේ ආවේගශීලීව වගේ.
"ආන්යා...මොනාද ඔයා මේ කියන්නේ? මම දැන් එහෙම දෙයක් කිව්වද? ප්ලීස් මාව තේරුම් ගන්නකෝ. ඔයා අපිව වෙන් කලා කියලා මම කිව්වේ නෑ. කවදාවත් කියන්නෙත් නෑ. අපි වෙන් වුණේ අපි දෙන්නටම ඕන නිසයි. ඔයාට තේරෙන්නේ නැද්ද ආන්යා, මම මේ සේරම කරන්නේ ඔයා හන්දා කියලා. ඔයාව මට ඕන හන්දා කියලා. කලින් ප්‍රශ්ණේ වුණ වෙලාවේ මට ඕන නම් ඔය දෙන්නා දෙපැත්තට වුනාවේ, මාත් පැත්තකට වෙනවා කියලා ඉන්න තිබුණ. ඒත් මට එහෙම කරන්නබැරි වුණා. ඇයි ඒ දන්නදවද? මම ඒ මොහොතෙත් ඔයාට ගොඩක් ආදරේ කරපු නිසා...ඔයාව මට ඕන නිසා. මම අභී ගැනවත් ආයෙම නොහිතා ඔයාට ලං වුණේ ඒකයි. ආයෙම මට ඔයාව නැති කරගන්න බෑ හිතුණා. සමහරවිට ඒක අභීගේ පැත්තෙන් මහා නරක වැඩක් වෙන්න ඇති. ඒත් ඒකට තව හේතුවකුත් තිබුණා ආන්යා..."
එහෙම කියද්දි ආන්යා යන්තමට ආර්යන්ගේ මූණ දිහා බැලුවා.
"ඔයා ආදරේ මට කියන එක, මම දැනගෙන හිටපු එක..."
එහෙම කියලා ආර්යන් ඉස්සරහ බලා ගත්තේ ආන්යට හිතන්න ඉඩ දීලා.
ආන්යා තමන්ගේ ආසනේට හේත්තු වෙලා දෑස් පියා ගත්තා. මොහොතක් දෙකක් ඈ එහෙමම ඉන්න ඇති.
"අපි යමු" ඊට පස්සේ ඈ කිව්වේ නිවුණ හඬින්.
"කොහාටද, ආපහුද?"
"ම්හු..ගෙදර" ආන්යා කිව්වේ යටසින් ආර්යන් දිහා බලලා.
ආර්යන් ඈ දිහා මොහොතක් බලා ඉඳලා වාහනේ පණගැන්නුවා.
"අයෑම් සොරි" එහෙම කිව්වේ ආන්යා.
"ඉට්ස් ඕකේ..." ආර්යන් කිව්වා.
ඊලඟට ආයෙම නිහඬ විනාඩි කීපයක් උදා වුණා.


ආර්යන් අඹගමුවේ ලස්සන තැනක තිබුණ පුංචි තේ කඩයක් ලඟ වාහනේ නැවැත්තුවේ ආන්යගෙන් නාහම. එතන තේ බොන්න ආපු වෙන කවුරුවත්ම උන්නේ නෑ. ආන්යයි ආර්යනුයි කඩේ ඇතුලට ගියේ එලියේ වැහි අඳුරක් තිබුණ හන්දයි.
"ඔයා ගෙදරට කෝල් එකක් දීලා කියන්න අද එනවා කියලා. නැත්තම් අම්මලා බයත් වෙයි" තේ ඇනවුම් කරලා උණු රොටී වගයක් පිරික්සමින් ආර්යන් කිව්වා.
"දැන් කිව්වොත් තවත් බය වෙයි, මම ඔයා එක්ක තනියෙම එනවා කියලා දැනගෙන. ඊට හොඳයි ගිහින්ම කියනවා. නැත්තම් අම්මා ඒවා මේවා හිතලා හිතේ අමාරුවකුත් හදාගෙන ඉඳී"
රොටියක් අතට අරගෙන ආර්යන් හිනා වුණා.
"ඒකත් ඇත්ත"
"මෙතන ලස්සනයි, මම මීට කලින් ඇවිත් නෑ, තාත්තා එක්ක යද්දිවත්" ආන්යා කිව්වේ වටපිට බලන ගමන්.
කඩේට ඉස්සරහ පාරෙන් අනික් පැත්තේ පෙනුනේ උස, මීදුමින් වැහුණු කන්දක්. හැමදාම වගේ අදත් ඒ දර්ශණය ආන්යගේ හිතට ගෙනාවේ අමුතු හැඟීමක්.
"ඔයා කොහොමත් කඳු දිහා බලාගෙන ඉන්න ආස, වැස්සේ තෙමෙන්න ආස, තේ වතු අස්සේ දුවන්න ආස කෙනෙක් නේ නේද?" ආර්යන් ඇහුවා.
"ඒත් ඉතින් හැමදාම ඒවා එක්ක ඉන්න මට ලැබෙන එකක් නෑ. කවදහරි මේ සේරගෙන්ම ඈත් වෙලා අපට කොලඹ එන්න වෙනවනේ" ආන්යා කිව්වා.
"ඔයා අකමැති නම් එන්න ඕන නෑනෙ. ඔයාට බැරියැ වත්තෙම රස්සාවක් හොයීගෙන එහේ ඉන්න. මේ රොටි රහයි, කන්න" ආර්යන් රොටි පිඟාන ආන්යට දෙමින් කිව්වා.
"කන්නම්. වත්තේ ඉතින් මං මොනා කරන්නද? දලු කඩන්නයැ? එහෙම නෙවෙයි මම ආස මෙහෙම ඈට ඉඳලා ආපහු ගෙදර යනවා කියලා ඒ පරිසරයට යන්න. අම්මලා හැමෝම එක්ක ඉස්සර වගේ ඉන්න..."
"දලු කඩන්න ඕන නෑ. ඔයාට ඕන නම් මැනේජ්මන්ට් පෝස්ට් එකක් ගන පුලුවන් වෙයි ඔයා ඇග්‍රි කරන හන්දා...මේ මිරිස් මොකක්ද එක නම් සැරයි" ආර්යන් වතුර වීදුරුවක් හොයන ගමන් කිව්වා.
"ඒත් අපි ඉන්න ගෙදර, ඒ පරිසරේ ආයෙම අපට හම්බවෙන එකක් නෑනෙ. අලුත් මැනේජර් ආවම දෙන්න එපැයි"
"ආ...අලුත් මැනේජර්ද? එයා සමහරවිට ඔයාලා එක්ක ෂෙයා කරගෙන ඉන්න කැමති වෙයි"
"ඈ? ෂෙයා කරගෙන ඉන්න? ඒ කියන්නෙ බෝඩිංකාරයෙක් වගේ? පිස්සුද? ඒත් ඒක ඔයා කොහොමද දන්නේ?" ආන්යා ඇහුවා.
"එයා මගේ යාලුවෙක් නිසා" ආර්යන් ඒ පාර අමුතුම හිනාවක් මුවේ නගාගෙන කිව්වා.
"යාලුවෙක්? එහෙමද?"
"ඔව්. හැබැයි ඉතින් පොඩි කන්ඩිෂන් වගයක් තියෙනවා"
"මොනාද?"
"එයාට ඔයාගේ රූම් එක දෙන්න ඕන"
"මගේ රූම් එක? එතකොට මම කොහෙද ඉන්නේ?"
"ඒකෙම තමා" දැන් ආර්යන්ගේ හිනාව වැඩි වෙලා.
"ඒකෙම? ඇයි මැනේජර් ගෑනු කෙනෙක්ද?"
"නෑ, නෑ.පිරිමි කෙනෙක් තමා"
"අනේ ඔයාට පිස්සුද? මොනාද මේ කියන්නේ? ෂික්!" ආන්යා ආර්යන්ට ගස්සලා අහක බලාගත්තා.
"ඉතින් ඇහුවේ නෑනෙ ඒ කවුද කියලා හරියටම"
"කවුද?" ආන්යා ඇහුවේ ආර්යන් දිහාවත් නොබලා.
"මිස්ට ආර්යන් යුව්රාජ්..."
ආර්යන් එහෙම කිව්වාම ආන්යා ඔහු දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොනවා?"
"ම්ම්...ඇයි? ෂෙයා කරගන්න බැරිද?"
ආන්යා රතු වෙලා අහක බලාගත්තා. ආර්යන් හිනා වෙන්න ගත්තා.
"බය වෙන්න එපා, මම එහෙම එන්නෑ"
"ඔයා මට කිව්වෙවත් නෑ, අලුත් ජී එම් ඔයා කියලා" ටික වෙලාවකට පස්සේ ආන්යා කිව්වා.
"දැන් කිව්වනේ. මම දන්නෙත් නෑ, ගිය සතියේ අප්පා තමයි කිව්වේ. ඔයාව සප්‍රයිස් කරන්න මට ඕන වුණා"
"ම්ම්...ඒක නම් කලා තමයි" ආන්යා කිව්වේ බොරු අමනාපෙකින්.
හැබැයි ඉතින් ඒකට තව ටිකක් කල් යාවි. මොකද මම තව ස්ටඩි කරන්න ඕන හන්දා. එතකල් ඔයාගෙ තාත්තා ඉන්නවනේ. මම ආවත් ඔයාගේ තාත්තා වගේ වැඩ කරන්න ඉගෙන ගන්න මට සෑහෙන කලක් යාවි" ආර්යන් කිව්වා.
"ඒ කියන්නේ ඔයත් රට යනවද ආයෙම?" ආන්යා ඇහුවා.
මේ වෙලාවේ තේ අරගෙන කඩේ ගෑණුකෙනා ආව නිසා කතාව මදකට නැවතුණා.
"සමහරවිට කියන්න බෑ. ඒත් දැනට නම් එහෙම අදහසක් නෑ. ඇයි ඔයා බය වුණාද මම ඔයාව දාලා යයි කියලා?" ආර්යන් ඇහුවේ ආන්යා දිහාට නැවිලා.
"නෑ...බය වෙන්නේ මොකටද? මෙච්චර කාලයක් හිටියා වගේ මට තව ඉන්න පුලුවන්..."
"ඒ කියන්නේ මං වෙනුවෙන් ඉන්නවා කියන එකද?" ආර්යන් ඇහුවේ ආන්යගේ දෑස් වලටැ එබෙන්න උත්සාහ කරමින්.
"කියන්න බෑ" ආන්යා එහෙම කියලා හිනාවුණා.
"මට ඉන්න බෑනෙ...ඒ නිසා, යන්න හිතක් නෑ" ආර්යන් කිව්වේ ආදරෙන්. ආන්යා මොනවත්ම නොකියා මුනිවත රැක්කා.
ආන්යායි, ආර්යනුයි වත්තට එද්දි රෑ හතටත් ලං වෙලා තිබුණා. ආන්යා නම් උන්නේ ටිකක් විතර බය වෙලා.
"අම්මා මට බනීද දන්නෑ මෙච්චර රෑ වෙලා මොකට ආවද කියලා" වත්තට ඇතුලු වෙද්දි ආන්යා කිව්වා.
"බය වෙන්න එපා මම ගෙදරට ඇරලවනවනේ"
"ඒ වුණාට, මෙහෙම ආවේ ඇය්හි කියලා අහයි නේ"
"එතකොට ඔයාට කියන්න දෙයක්ම නැද්ද?"
"මම කොඵොමද කියන්නේ?" ආන්යා කෙඳිරි ගෑවා.
"එහෙනම් මා එක්ක යමු" ආර්යන් කිව්වේ හිනා වෙවී.
"ඔය ඉතින් ඔයාට නම් විහිලු. මම මේ බයේ ඉද්දි තව විහිලු කරන්නත් එනවා"
"බය වෙන්න එපා අපි යමුකෝ" ආර්යන් කිව්වේ ආන්යගේ ගෙදර පේන මානෙට එද්දි.
හිතුවා වගේම ආමායි, තාත්තයි ආන්යා දැකලා හොඳටම පුදුම වුණා.
"ඇයි ළමයෝ...නිඅක්ංවත් එනවා කියලා කෝල් එකක් දෙන්න තිබ්බා නේද? දැන් රෑ වෙන්නත් ඇවිත්...එන්න ආර්යන් ඉඳගන්න" තාත්තා ඔහුගේ ප්පුදුමය පල කලේ එහෙම.
"නෑ, මිස්ට වීරප්පෑර්ම මමයි කිව්වේ වත්තට එන හන්දා එමු කියලා. හතරහමාරට විතර තමා එන වුණේ. ඒකයි වෙලා ගියේ" ආර්යන් කිව්වේ හිටගෙනමයි.
"ඒ වුණාට මේ දේවල් කරන එක එච්චරම හරි නෑ නේද ආර්යන්? මිනිස්සු දැක්කා නම් මොනා හරි කතාවක් හැදෙන්න පුලුවන් නේ" එහෙම කිව්වේ අම්මා.
"මම දන්නවා මිසිස් වීරප්පෙරුම...ඒත් කතා හැදෙන්න දෙයක් නෑ. අද හෙට නූනත්, ඉස්සරහදි මම කැමතියි ආන්යව මැරි කරන්න. හැමදේම ටිකක් සෙට්ල් වුණාට පස්සේ. වත්තේ අය ඒක දැනගනීවි.  ඒ හන්දා බය වෙන්න එපා"ආර්යන් එහෙම කිව්වාම ආන්යා ඔහු දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
ආන්යගේ අම්මයි, තාත්තයිත් එහෙමයි.
"ආර්යන් හොඳට හිතලා බලලද ඔය තීරණේ ගත්තේ? ඔයා හොඳටම දන්නවනේ වෙච්ච දේවල්" ටික වෙලාවකට පස්සේ ආන්යගේ තාත්තා එහෙම ඇහුවා.
"ඔව්...මම ඒ ගැන හිතුවෙ ආන්යට ආදරේ කරන්න පටන් ගත්තු මුල් කාලෙමයි. දැනුත්, ඉස්සරහටත් ඒක වෙනස් වෙන්නෑ" ආර්යන් කිව්වේ ස්ථිර හඬින්.
"ඒ වුණාට ළමයෝ අර කියමනකුත් තියෙනවනේ, ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියලා. එක පාරක් වෙච්ච දේ මතකනේ" එහෙම කිව්වේ අම්මා.
"මං නිසා ආන්යට කවදාවත් ආයෙම එහෙම දේකට මූණ දෙන මම ඉඩ තියන්නෑ. ඒක මම පොරොන්දු වෙනවා" ආර්යන් කිව්වා.
"කොහොම වුණත් අපි තව හිතන්න ඕන ආර්යන්...සිද්ධ වෙච්ච දේවල් එක්ක හිතලා බලද්දි, අපි මේ දේවල් මීට වඩා ගැඹුරින් හිතන්න ඕන දේවල් කියලා මට හිතෙනවා" අන්තිමට තාත්තා කිව්වේ එහෙම.
"ආන්යා මොකද කියන්නේ?" ඊට පස්සේ තාත්තා ආන්යගෙන් එහෙම ඇහුවේ, ගහෙන් ගෙඩි එන්නා වගේ.
"අකමැති නම් ඉතින් මෙහෙම ඒවියැ?" ඒකට උත්තරේ දුන්නේ අම්මා. තාත්තා ආන්යා දිහාම බලාගෙන උන්නා.
"අම්මා කියන එක ඇත්ත තාත්තා. ඒත් බඳින එකක් ගැන නම් මට දැණ්ම හිතන්න බෑ" ආන්යා කිව්වේ ආර්යන් දිහාත් බලලා.
"ඔයාට විශ්වාසද එක පාරක් වුණ දේ ආයෙම නොවෙයි කියලා. අනික මේ අභීගේ අයියා...ඒක මතකයි නේද ඔයාට?" අම්මා ඇහුවා.
"මට ආර්යන් අයියව විශ්වාසයි අම්මා" ආන්යා කිව්වා.
ඒක අහපු ආර්යන් ඈ දිහා බැලුවේ ගොඩක් හැඟීම්බරව.
"කවදාවත්, කවමදාවත් ඒ විශ්වාසේ මම කඩන්නෑ ආන්යා...මගේ ජීවිතේ පල්ල" ඔහු කිව්වා.
මෙච්චර වෙලා ඉස්තෝප්පුවේ හිටගෙන උන්නු තාත්තා අන්තිමේදි ගෙට ඇතුලු වුණේ ආයෙම වැස්ස පටන් ගන්න අර අඳින වග දැක්කාමයි.
"අපි හෙමිහිට ඔය ගැන හිතලා බලන්නම් ආර්යන්. ආන්යා දැන් ගෙට ගිහින් ඇඳුම් මාරු කර ගෙන එන්න කන්න. අපි ඕක පස්සේ කතා කරමු. ආර්යන් එන්න කෑම ටිකක් කාලම යන්න" තාත්තා අවසානෙදි එහෙම කිව්වා.
ආන්යා ඔහුට කීකරු වෙලා ගෙට ගියේ පස්සෙන් ආපු අම්මා එක්කමයි.
"කරන දෙයක් හොඳට හිතලා මතලා කරන එකයි ඇත්තේ. තවත් ඔයා දුක් විඳිනවා බලන්න අපට නම් බෑ මීනු. ඔයාට තේරෙනවා නේද?" අම්මා ඇහුවේ ආන්යා නාන කාමරේට යන්න ලෑස්ති වෙද්දි.
ආන්යා අම්මා අසල දණගහගෙන ඇගේ මූණට එබුණා.
"නෑ අම්මා. දුක් විඳින්න වෙන දෙයක් ආයෙම මම කරන්නෑ. ඇත්තටම මට ආර්යන්ව විශ්වාසයි...මොකද මම දන්නවා එයා මට ගොඩක් ආදරෙයි"
ආන්යා එහෙම කිව්වාම අම්මා ඇගේ මූණ අත ගෑවා ආදරෙන්.
"අපට ඕන එච්චරයි මීනු...ඔයාගේ සතුට විතරයි"



Tuesday, June 19, 2012

හැට එක්වන කොටස


"මම මෙතනින් ටිකක් වාඩි වුණාට කමක් නැද්ද?"
ආන්යගේ දැහැන බිඳුනේ ඒ හඬට. ඒ හඬ හඬවල් දාහක් මැද්දේ වුනත් අඳුනගන්න ආන්යට අමාරු වුණේ නෑ. සීතල අයිස් වතුර දහරාවක් පිට දිගේ ගලන්නා වගේ සසල වීමක් ඈට දැනුනා ඒ මුදු හඬ ඇහුණම.
"කමක් නෑ" ආන්යා කිව්වේ පස්ස නොබලම.
ආර්යන් ඇවිත් ආන්යට මදක් දුරින් වාඩි වුණා. ආන්යා යන්තම් යටැසින් ඔහු දිහා බැලුවා.
"අද වහින්න වගේ නේද?" ඈත ආකාසේ දිහා බලාගෙන් ඖන්නු ආර්යන් ඇහුවේ සාමාන්‍ය විදියට.
"හ්ම්..." ආන්යා කිව්වා.
"ආන්යා...ඔයා ඉන්නේ දුකෙන් වගේ. ඇයි ඒ?" ඔහු ඇහුවා.
"මුකුත් නෑ" ආන්යා උත්තර දුන්නා.
"බොරු කියන්න එපා"
ආන්යා ඒ පාර මුකුත් නොකියා ඈත ආකාසේ දිහා බලාගෙනම උන්නා.
"ඔයා දුකෙන් ඉන්නේ මෙහෙන් යන්න වෙලා හන්දද?"
ඒත් ආන්යා මුනිවත රැක්කා. ඒ පාර ආර්යන් ආන්යා දිහාට තව ටිකක් ලං වුණා.
"ඇයි මට කියන්න බැරි?"
"එහෙම මොනවත් දෙයක් නෑ. මම නිකං එක එක දේවල් ගැන කල්පනා කලා විතරයි" ආන්යා බැරිම තැන කිව්වා.
"හ්ම්...එහෙමද?" ආර්යන් කිව්වා.
ඊට පස්සේ දෙන්නා ආරේ ආයෙම ඇතිවුණේ නිහඬතාවයක්.
"ඊයේ අභී මෙහේ ආව" ආන්යා නිහඬතාවය බින්දා. ආර්යන් ඈ දිහා බැලුවා ඉක්මණට.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ මම කිව්වා අපි අතර ආයෙමත් මොනවත් සිද්ධ වෙන්න බෑ කියලා"
ආන්යා එහෙම කිව්වාම ආර්යන් ඈ දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"ඔයා...එහෙම කිව්වද?"
ආන්යා ආර්යන් දිහාට හෙලුවේ තියුණු බැල්මක්.
"වෙන මොනවා කියන්නද? මට බෑ එයාට බොරු බලාපොරොත්තු දෙන්න. මම එයාට සේරම ඇත්ත කිව්වා...එයා සමහර දේවල් නොදැන උන්නත් නෙවෙයි"
ආර්යන් උන්නේ තරමක් කම්පනයට පත් වෙලා වගේ.
"සමහර දේවල් කිව්වේ?"
"ඔයා ගැන"
"මං ගැන?"
"ඔව්...ඔයාගේ හිත ගැන"
"ඒ කියන්නේ මං ඔයාට තාමත්-"
"ඔව්" ඔහු ඉවර කරන්න කලින් මැදින් පැනපු ආන්යා කිව්වා.
"අභි ඒක දන්නවා කිව්වද?" ආර්යන් ඇහුවේ හෙමින්.
"සමහර දේවල් කොච්චර අපි උත්සාහ කලත් හංගන්න බෑ ආර්යන් අයියා"
ආන්යා එහෙම කිව්වම ආර්යන් මොහොතකට නිහඬ වුණා.
"මට අභී ගැන දුකයි ඒත්, අපිට අපි ගැලපෙන්නෑ" ආන්යා ආයෙම කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ කියලා අභී ඇහුවේ නැද්ද?" ආර්යන් ඇහුවා.
"නෑ...ඒත් මං එයාට කිව්වා හේතුව"
"මොකක්ද?"
"මම මගේ හිත හරියටම තේරුම්ගත්තු වග" ආන්යා කිව්වා.
ආර්යන් ආන්යා දිහාට මදක් නැමිලා ඈ දිහා බැලුවා.
"ඔයාගේ හිත තේරුම්ගත්තේ මොනවද ආන්යා?"
ආන්යා හිස නවාගෙනම ආර්යන් දිහා බැලුවා. ඒ දෑස් හතර තප්පරයක් දෙකක් එකිනෙකා එක්ක පැටලිලා තිබුණා.
"ඒක ඔයා දන්නවා" ආන්යා කිව්වේ ආර්යන්ගේ ඇස් ඉස්සරහ තමන්ගේ හිත දියවෙලා යනවා වගේ හඟිමින්.
"මට ඒක අහන්න ඕන"
ඒ ඇස් දිහා තව මොහොතක් බලාගෙන උන්නු ආන්යා ඊලඟට ඒ නෙත් මගාරලා අහක බලාගත්තා.
"කවදාවත් වෙන්න බැරි දේවල් ගැන ආයෙමත් මම හිතන්නෑ ආර්යන් අයියා"
ආන්යා එහෙම කිව්වාම ආර්යන් මදක් කලබල වුණා.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" ඔහු ඇහුවා.
"තේරුම අහන්න එපා"
"ඔයා කියන්නේ ඔයාට ආයෙමත් මගේ වෙන්න බෑ කියලද?" ආර්ය්න ඇහුවාම ආන්යගේ හිත සසැලුනා.
"ආයෙමත්?"
"ඔයා මගේ කියලා මම හිතපු කාලයක් තිබුණා. ඊට පස්සේ එහෙම නොහිතපු කාලෙකුත් තිබුණා. ඒත් තවත් මට එහෙම නොහිතා ඉන්න බෑ. හැමදාම ඔයා මගේ හිතේ ඉන්න හන්දා" ආර්යන් කිව්වා.
"එහෙම කරන්න බෑ ආර්යන් අයියා...ඔයාට තේරෙන්නැද්ද? මම කොහොමද ආයෙම ඔයාගේ ගෙදරට ඔයාගේ වෙලා එන්නේ? මම එහාට ආවේ ඒ විදියට නෙවෙයි" ආන්යා කිව්වා.
"වෙච්ච දේවල් වෙලා ඉවරයි කියලා කිව්වේ ඔයාමයි"
"ඇත්ත, ඒත් අපට ඒ දේවල් දවසින්, දෙකෙන් අමතක කරන්න පුලුවන්ද? වෙච්ච දේවල් වල උණුහුම යන්නත් කලින්ම මම කොහොමද ආර්යන් අයියා ඔයාට ලං වෙන්නේ? ඔයාලගෙ අම්මලා, අපේ අම්මලා...මොනවා නොකියයිද? අනේ මට මෙහෙම ඉන්න දෙන්න අයියා. මගේ හිතේ තියෙන දේවල් හිතේම තිබුණාවේ" ආන්යා කිව්වා.
"ඔයාට හිත හදාගන්න කාලේ ඕන වග මට තේරෙනවා ආන්යා..."
"ඔව් මට කාලේ ඕන"
"කාලෙ දෙන්නම් හැබැයි ජීවිත කාලෙම ඉල්ලන්න එපා. ඔයා එක්ක ඉන්න මට ජීවිතෙන් ගොඩක් කල් ඕන නිසා ආන්යා"
ආන්යා උන්නේ බිම බලාගෙන.
"සමහරවිට ඔයා හිතනවා ඇති මට අභී ගැන ගාණක්වත් නැතුවද මේවා ඔයාට කියන්නේ කියලා. අභී ගැන මම නොහිතන්වා නෙවෙයි. ඒත් ඔයාගේ හිතේ ඉන්නේ මම කියලා දැන දැන, අභීට ලං වෙන්න කියලා මට ඔයාට කියන්න බෑ ආන්යා. ඒක කරන්න බැරිවග මං තරම් දන්න කෙනෙක් තවත් නෑ" ආර්යන් කිව්වා ආයෙම.
ආන්යට ඔහු ගැන දැනුනේ දුකක්.
"කොහොමද දන්නේ හිතේ ඉන්න වග?" ආන්යා ඇහුවේ විහිලුවට වගේ.
"ඇයි හිතේ නැද්ද?"
ආන්යා උත්තරයක් නොදී බිම බලාගත්තේ යන්තම් හිනාවෙලා.
"එහෙනම් මම මෙතන ඉන්න ඕන නෑනෙ. මං යන්නම්" ආර්යන් ආන්යාගෙන් ඇත් වෙලා කිව්වා.
"එපා..." ආන්යා කිව්වේ විදුලි වේගෙන් ඔහු දිහාට හැරිලා.
ආර්යන් ආන්යට ආයෙම ලං වුණා.
"එහෙමනං ඇයි ලඟ තියාගන්නේ නැත්තේ?" ඔහු ඇහුවේ රහසින් වගේ ඇගේ කන ලඟට කරලා.
එතකොටම වගේ අනපේක්ෂිත වැස්සක් කඩාපාත් වුණේ දෙන්නටම හිතන්නවත් ඉඩක් නොදී. ආන්යා ඇකිලුණා. ආර්යන් අත් දෙක දෙපැත්තට දික් කරලා උඩ බැලුව.
"තෑන්ක් යූ ගෝඩ්..." ඔහු කෑ ගැහුවා. ආන්යට ඒ පාර නම් හිනා ගියා.
"මං වැස්සට ආසයි" ඈ කීවේ පුංචි ළමයෙක් වගේ.
මොහොතකට සේරම ලතැවුල් දෙන්නටම අමතක වෙලා තිබුණා.
"අද නම් තෙමෙන්න බෑ, එන්න ගෙට යන්න" ආර්යන් ආන්යව අතින් ඇදගෙන දිව්වේ ගෙයි පිලිකන්නේ වහල යටට.එතන පුංචි පිල උඩ ඉඳන් ආන්යා ඇදවැටෙන මොර ගෙඩි වගේ වරුසාව දිහා බලාගෙන උන්නේ සතුටින්.
"හිනාවෙලා ඉද්දි ඔයා කොච්චර ෂෝක්ද?" ඈ දිහා බලාගෙන උන්නු ආර්යන් මිමිණුවා.
ආන්යා ඇස් හරවලා ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ ඈට ගෑවෙන නොගෑවෙන තරම් දුරකින්. ආර්යන්ගේ ඇස් වල තිබුණෑ මොකක්දෝ උණුසුමක්.
"මා එක්ක ඉන්න ප්ලීස්...ආයෙමත් මාව දාලා යන්න හදන්නේ ඇයි?" ඔහු ඇහුවෙ හෙමින්, ආදරෙන්.
ආන්යගේ හිනාව වියැකිලා ගිහින් තිබුණා. හිත ආදරෙන් මත් වෙලා වගේ ඈට දැනුනා.
"දුර යනවා විතරයි...හිත ගෙනියන්නෑ..." ආන්යා කිව්වෙත් ඒ දෑස් වලට එබීගෙන.
ආර්යන්ගේ දෑස් තවත් හැඟුම්බර වුණා.
"යන්න දෙන්නෑ මං ආයෙමත්"
එහෙම කියලා ඔහු ඔහු ආන්යට තව ටිකක් ලං වුණා. ආන්යගේ දෙකන් පෙති රත් වීගෙන එද්දි ඈ බිම බලාගත්තා. "මේ බලන්න ආන්යා...මම ඕන කාලයක් ඉන්නම්, ඒත් මට පොරොන්දු වෙන්න ඔයා මගේ වෙනවා කියලා..." ආර්යන් එහෙම කිව්වාම ආන්යා හිස උස්සලා ඔහු දිහා බැලුවා.
ඔහුගේ වත තිබුණේ ඇගේ වතට හුඟාක්ම ලඟින්. ආර්යන් ඈ දිහා මොහොතක් බලාගෙන ඉඳලා තව ඩිංගිත්තක් ඈට ලං වෙද්දි ආන්යගේ ඇස් පියවුණේ ඉබේටම.
"පොරොන්දු වෙනවද?" ආර්යන්ගේ හඬ ඈට හෙමිහිට ඇහුණා. ඒත් ඒ මොහොතෙම වගේ,
"ආන්යා..." ආන්යගේ අම්මගේ හඬ කුස්සිය දිහාවෙන් ඇහුණා. ඇසිල්ලකින් දෙන්න උන්නේ අඩි ගාණක් දුරස් වෙලා. ආර්යන් දිහා එක පාරක් බලලා ආන්යා ගෙට දිව්වේ ඔහු තවමත් බලා ඉද්දිමයි.
ඊට පස්සේ ආර්යන්ගේ පවුලේ අය යන්න ගියේ ආන්යගේහිතේ පුංචි පාලුවක් ඉතිරි කරලා. යන්න කලින් මේ දෙන්නට ආයෙම කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ආන්යා ආර්යන්ට උණුසුම් හිනාවක් පෑවා විතරයි.
"අයි විල් කෝල් යූ" ආර්යන් ගියේ එහෙම කියලා.
හැමෝම ගියාට පස්සේ තාත්තා සාලේ උන්නු සේරම දිහාට හැරිලා හිණා වුණා.
"ආයේම පෙට්ටි ලිහන්න පටන් ගමු එහෙනම්"


Monday, June 18, 2012

හැටවන කොටස


ආන්යා උදේම ඇහැරිලා සාලෙට යද්දි තාත්තා කා එක්කදෝ ෆෝන් එකෙන් බර කතාවක් කරමින් ඉස්තෝප්පුවේ දොර ලඟ හිටගෙන උන්නා. අම්මත් සේරම වැඩ නවත්තලා සාලෙ බඩු පුරවලා තිබුණ පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉන්නවා දැක්කාම ආන්යට හිතුණා මොකක් නමුත් අමුත්තක් වෙලා තියෙන වග. ආන්යා අම්මා ලඟට කිට්ටු කලේ කුතුහලෙන්.
"මොකෝ අම්මා?"
අම්මා ආන්යා දිහා බලලා ආයෙම තාත්තා දිහා බැලුවේ හිතේ කරදරෙන් වගේ.
"මනී මහත්තයා කතා කරනවා" ඈ කිව්වා.
ආන්යට දැනුවේ පුංචි බයක් වගේ එකක්.
"ඇයිද දන්නෑ?"
"අනේ මන්දා  මේ තාත්තගෙත් වැඩ ලමයෝ. දැන් මේ පණ කඩාගෙන ගෙදරින් යන්න හැදුවට මොකද මනී මහත්තයා තාම අස්වීම බාර අරන් නැහැල්ලු" අම්මා කිව්වා.
"බාර අරන් නැල්ලු? ඉතින් දැන් මොකද වෙන්න යන්නේ?"
"අනේ මන්දා...කතා කරලා ආවාම තමා බලන්න වෙන්නේ"
ඒ පාර ආන්යයි, අම්මයි දෙන්නම ඉස්තෝප්පුවේ කෙලවරට ගිහින් උන්නු තාත්ත දිහා බලාගෙන හිටියා. තාත්තා ආඵු ආවේ තවත් විනාඩි දහයකට විතර පස්සේ. ඒ එද්දි ඔහුගේ මූණේ තිබුණෙත් නොඉවසිල්ලක් වගේ හැඟීමක් කියලා ආන්යට හිතුණා.
"මොකෝ කියන්නේ?" අම්මා බෙල්ල උස්සලා හිටගෙන උන්නු තාත්තා දිහා බැලුවා.
"තව ටිකක් හිතලා බලන්න කියනවා. ඒ අය අර සයිට් එක බලන්න එන ගමන් මගලු ඉන්නේ. එනකල් ගෙයි අස් කරන්නේ නැතිව ඉන්නලු. තව හිතන්න කියලා තමා කිව්වේ"
තාත්තා කිව්වේ ෆෝන් එක අතේ කරකවමින් කල්පනාවක් පිටමයි.
"ඉතින් ඔයා මොකද කිව්වේ?"
"මොනා කියන්නද මන්දා රූපා. කියන්න තියෙන හැම විදිහෙන්ම කිව්වත් මනී මහත්තයා අහන්නේ නැති එකනේ වැඩේ. මේකනේ ඉතින්, අපි දෙන්නම වැඩට ආවේ එක කාලේ. ගොඩක් කල් ඉඳලා දන්නවා. ඒ සේරටම වැඩිය කෙන්යා වල ඉන්නේ අපේ කම්පෙටිටර් කෙනෙක් නේ. එයාලා ගාවට මම යනවට මෙයා කැමති නෑ" තාත්තා කිව්වා.
"ඒත් තාත්තා කෙන්යා වල අයට එන්නම් කිව්වා නේද?" ආන්යා ඇහුවා.
"මම කිව්වේ හිතලා බලන්නම් කියලා විතරයි ඇත්තටම" තාත්තා කිව්වේ ආයෙම කල්පනා කරමින්.
කොච්චර කිව්වත් තාත්තත් මේ වත්ත දාලා යන්න ගොඩක් අකමැතියි කියලා ආන්යා දැනගෙන උන්නා. ඒ හැමදාම්ත් ඔහු මේ වත්තට මේකේ ඉන්න මිනිස්සුන්ට හරි ඇතිකමින් යුතුව, සලකපු හන්දයි.
"මම දන්නවා ඔයා දැන් හිතන්නේ මොකක්ද කියලා. මනී මහත්තයා තවත් පාරක් කිව්වොත් ඔයා අනිවාර්යෙන්ම නවතිනවා, අස් වෙන්නෑ. මම දන්නැද්ද ඔයාගේ හැටි. අනේ වීරේ අපි කවදා හිටියත් මෙහෙන් යන්න ඕන එකේ, අපි මේ පාර යමු යන්න" අම්මා කිව්වා.
තාත්තා අම්මා දිහාට හෙලුවේ නොපහන් බැල්මක්.
"ඔයත් මහ පුදුම කතානේ රූපා කියන්නේ? මේ මනුස්සයා මට අස්වීම දෙන්නැත්තම් මම ගහලා ගන්නද? නොදී ඉන්න හේතුවක් ඇතිනේ. දැන් ආවාම කතා කරගමුකෝ. ඔයා කතා කරන්නේ හරියට මම යන්න බෑ කිව්වා වගේ නෙ...දැන් මෙතන විකර කියකිය නොඉඳ  යන්න ගිහින් ඔය ඉතිරි බඩු ටික ලෑස්ති කරගන්න" තාත්තා කිව්වා.
අම්මා පෙට්ටිය උඩින් නැගිට්ටේ මොනවදෝ තනියෙම මුමුණමින්. ආන්යට පුංචි හිනාවකුත් ගියා.
"එන්න තේ බොන්න" ආන්යට එහෙම කියාගෙන අම්මා කුස්සිය දිහාවට ගියා.
තාත්තටත් තේ එකක් අරගෙන ආන්යා සාලෙට එද්දි තාත්තා පේන්න උන්නේ නෑ. ආන්යා ඉස්තෝප්පුවට ගිහින් බලද්දි තාත්තා උන්නේ මිදුල මයිමේ හිටගෙන ඈත කඳු දිහා බලාගෙන. ආන්යත් ඒ දිහාවට පා නැගුවා.
"තාත්තේ තේ" ආන්යා එහෙම කියද්දි ඇගේ තාත්තා ඈ දිහා බැලුවේ ටිකක් ගැස්සිලා වගේ.
"ආ..."
"තාත්තා මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" ආන්යා ඇහුවේ ඔහු දිහා සුපරීක්ෂාවෙන් බලලා.
තාත්තා හිනා වුණා.
"කල්පනා කරන්නද දේවල් නැත්තේ සුදු දූ"
"තාත්තා මෙහෙන් යන්න ආස නෑ නේද? ඒක මං දන්නවා. තාත්තා දැන් ඉන්නේ දෙගඩියාවෙන්, යන්වද නැද්ද කියලා. එහෙම නේද?" ආන්යා ඇහුවේ ඈත කඳු වලල්ලේ නෙත් රඳවන ගමන්.
තාත්ත සුසුමක් හෙලන හඬ ඈට ඇහුණා. ඔහු උන්නෙත් ඈත බලාගෙන.
"ඒ මොකද දුව එහෙම කියන්නේ? දුවට හිතෙනවද මම එහෙමයි කියලා?"
"තාත්තා මේ වත්තට, මිනිස්සුන්ට කොච්චර ආදරේද කියන එක රහසක් නෙවෙයි නේ තාත්තේ. ඒකනේ මිනිස්සු මෙච්චරම තාත්තට ආදරේ. ඊයේ රෑ කීය වෙනකල් කට්ටිය ආවද? ඒ තාත්තට ආදරේ හන්දා. මේ වත්ත මේ තත්වෙට ගෙනාවේ තාත්තා කියලා හැමෝම දන්න්වා. ඒකම වෙන්න ඇති තාත්තා යනවට මනී මහත්තයා වුනත් අකමැති. තාත්තා නොදන්නවට මං තාත්තා ගැන හොඳට දන්නවා තාත්තේ" ආන්යා කියද්දි ඇගේ තාත්තා ඇ දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ. ආන්යා ඔහු දිහා බැලුවා.
"ඇත්ත නේද මං කිව්වේ?" ගොලු වෙලා උන්නු තාත්තගෙන් ඈ ආයෙම ඇහුවා. ඔහු හිනාවුණා විතරයි.
"මට සමාවෙන්න තාත්තා. ගොඩක් සමාවෙන්න. මේ සේරම වුණේ මගේ දුරදිග නොහිතා කරන මෝඩ වැඩ හන්දයි. ඒත් ඇත්තටම මේ දේවල් මෙහෙම වේවි කියලා දන්නවනම් මම කවදාවත් අභී වත්, ආර්යන් වත් දිහා බලන්නේවත් නෑ" ආන්යා කිව්වේ හිත දුක්බර වෙද්දි.
තාත්ත පොඩ්ඩක් කලබල වුණා ඒ කතාව ඇහුවම.
"මොනවද දූ මේ කියන්නේ? එහෙම හිතන්න එපා. වෙන්න තියෙන දේ තමා වෙන්නේ. ඒක අපට වෙනස් කරන්න බෑ. ඔයා අද මාව පුදුම කලා සුදු දූ. මම හිතුවේ නෑ කවදාවත් ඔයා මේ තරම් මාව තේරුම් අරන් ඇති කියලා. ඔයා කියපු දේවල් ඇත්ත තමා. මම මේ වත්තට ආදරෙයි"
තාත්තා ඊට පස්සේ කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"මාත් එහෙමයි..." ආන්යා කිව්වේ දුකෙන්.
"ඒත් පුතේ අපි කවදාහරි යන්නම එපෑ අර අම්මා කියන්නා වගේ"
"මං දන්නවා තාත්තා. ඒත් දුක හිතෙන එක නවත්තගන්න මට තේරෙන්නෑ තාත්තා"
ඒ පාර තාත්තා කලේ ආන්යව එක අතකින් තමන්ට ලං කරගෙන තුරුල් කරගත්තු එකයි. ඈ පුරුදු විදියට තාත්තගේ පපුතුරේ කම්මුලක් තියාගත්තා. ඈත කඳු මුදුන් නැගගෙන එන හිරු රැස් වලින් කෙමෙන් කෙමෙන් ආලෝකමත් වෙන හැටි ආන්යට පෙනුනා.

"මම අද ආවේ වීරෙගේ බොස් හැටියට වඩා කාලයක් දන්න යාලුවෙක් හැටියටයි"
වේලිච්ච රෙදි වගයක් ගන්න පිළිකන්නට ගිහි උන්නු ආන්යා මැද ගෙට එන්න එද්දිම වගේ ඈට ඇහුණේ මනී මහත්තයගේ කටහඩ. යන්න ආපු ගමන නවත්තලා ඈ හෙමිහිට දොර රෙද්ද මෑත් කරලා සාලෙට එබුණා.
සාලේ ඈට පෙනුන පැත්තේ මනී මහත්තයයි, ඒ නෝනායි වාඩි වෙලා ඉන්නවා ඈට පෙනුනා. මෙහා පැත්තේ පුටුවේ කවුරුත් උන්නද කියලවත් ඈට පෙනුනේ නෑ. ඈ හෙව්වේ ආර්යන්ව.
"ඔව් සර්" තාත්තා කිව්වා.
"මට නොතේරෙන්නේ වීරේ, මේ අපේ පවුල් වල ඇතිවුණ ප්‍රශ්ණයක් හන්දා වීරේ ඇයි තමන් මේ තරම් හොඳට කරගෙන ආපු රාජකාරිය අතාරින්න හදන්නේ කියලා. පවුල වෙනයි, වැඩ වෙනයි"
"එහෙම හන්දම නෙවෙයි සර්, ඉතින් අපි කවදා හිටියත් මෙහෙන් යන්නම එපායැ"
"ඇයි වීරේ හිතුවද අස් නොවුණොත් මම අස් කරයි කියලා?"
එහෙම ඇහුවම තාත්තා රතු වුණ වග ආන්යා යන්තමට දැක්කා.
"අනේ නෑ සර්...එහෙම හිතුවා නෙවෙයි"
"හරි...අපි කෙලින්ම කාරණාවට බහිමුකෝ. වීරෙට අස් වෙන්නම ඕන නම් මම මේකට සුදුසු කෙනෙක් හොයා ගන්නකල්වත් ඉන්න වෙනවා. නැත්තම් මේ වැඩ පාඩු වෙනවනේ. මම දැනටත් ගන්න කෙනෙක් ගැන හිතලයි ඉන්නේ, ඒත් එයාට තව ටිකක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ගැන. එයා එනකල් වීරෙට ඉන්න වෙනවා" මනී මහත්තයා කෙලින්ම කිව්වා.
තාත්තා අම්මගේ මූණ දිහා බැලුවා. අම්මා උන්නේ බිම බලාගෙන.
"වීරේ මොකද කියන්නේ?" මනී මහත්තයා ඇහුවා.
"ඔව් සර් මට තේරෙනවා සර් කියන එක. එහෙම නම් ඉතින් කවුරු හරි ගන්නකල් විතරක් වත් මම ඉන්නම් සර්. මට කම්පැනිය අමාරුවේ දාන්නත් බෑනෙ" තාත්තා ටික වෙලාවක් අරන් එහෙම කිව්වා.
"ආන්න ඒකනේ. තෑන්ක් යූ වීරේ" මනී මහත්තයා කිව්වේ හිනාවෙලා.
"කෝ ආන්යා?" ආන්යගේ මහත් භීතියට හේතු වෙමින් මේ අස්සේ එහෙම ඇහුව ආර්යන්ගේ අම්මා.
"මේ හිටියා...ඉන්නකෝ මම බලලා එන්නම්. තේත් දැන් ලෑස්ති ඇති" එහෙම කියපු ආන්යගේ අම්මා කුසිය දිහාට එද්ද්දි ආන්යා දොර ලඟින් මෑත් වුණේ ගැහෙන හිතින්.
"ආ... ඔයා මෙතනද?...අන්න අනුලා මැඩම් කතා කරනවා" අම්මා ආන්යව දැකලා කිව්වා.
"අනේ අම්මා මට නම් යන්න බෑ...අනේ" ආන්යා කිව්වේ කටත් ඇද කරගෙන.
"මේ මොන පිස්සුවක්ද? ගිහින් කතා කරන්න. අපි වරදක් කරේ නෑනෙ, බය වෙන්න එපා. සාමාන්‍ය විදියට කතා කරලා එන්න" අම්මා ආන්යා අතින් රෙදි ටික අරන් ඈව ඉස්සරහට යවන්න උත්සාහ කලා.
"අනේ අම්මා..."ආන්යා එක තැනම ඉඳගෙන කෙඳිරි ගෑවා.
"රූපා...සීනි අඩු තේ හදන්න" ආන්යා කුස්සියට වෙලා ඇඹරි ඇඹරි ඉන්දැද්දි එහෙම කියාගෙන කුස්සියට එබුණේ අනුලා මැඩම්. ඈ ආන්යව එක පාරටම දැකලා හිනාවක් මුවට නගා ගත්තා.
"මෙයත් කුස්සියෙද වැඩ?"
ආන්යා බිම බලාගත්තේ හිනා වෙන්නත් අමතක වෙලා. අනුලා මැඩම් කුස්සිය ඇතුලට ආවා.
"අනේ මැඩම් මෙහාට මොකට ආවද?" අම්මා ඇහුවා.
"අනේ ඕක මොකක්ද? ආන්යා...දෝණි එක්කකෝ පොඩ්ඩක් මේ පැත්තෙන් එලියට යන්න" එහෙම කියාගෙන ඈ කුස්සියේ දොරෙන් එලියට බැස්සා.
ආන්යා අම්මා දිහා බැලුවේ බියපත්ව. අම්මා ඉඟි කරලා කිව්වා යන්න කියලා.
අනුලා මැඩම් ආන්යව තනි කරගන්න උත්සාහ කරනවා කියලා ආන්යට හිතුණා. ඒත් ඒ මොනවා කියන්න වෙන්න ඇතිද කියලා ඈ හිතුවේ ගැහෙන හිතින්. පිලිකන්නේ කොට්ටම්බා ගහ යටට අනුලා මැඩම් ඇවිදගෙන යද්දි ආන්යා ඒ පස්සෙන් ගියේ කරගන්න දෙයක් නැතිව.
"මේ පුටුව තාම මෙතන තියෙනවා නේද?" අනුලා මැඩම් කොට්ටම්බා ගහ යට බංකුව පෙන්නලා එහෙම ඇහුවේ ආන්යව පුදුමයට පත් කරමින්.
අනුලා මැඩම් ආන්යගෙන් උත්තරයක් නාහම ගිහින් ඒ බංකුවේ වාඩි වුණා.
"එන්න වාඩි වෙන්න දෝණි" ඈ එහෙම කිව්වාම ආන්යා තවත් පුදුම වුණා. ඈ ඒ නමින් තමන්ට කතාකරන්නේ ඇගේ හිතේ අමනාපයක් නැති  නිසාවද කියලත් ආන්යට නොහිතුණා නෙවෙයි. ආන්යා ගිහින් බංකුවේ එක කෙල්වරක වාඩි වුණා.
"මම මනීව බැඳලා මුලින්ම ආවේ මේ වත්තට. එතකොට එයා මෙහේ මැනේජර් කෙනෙක්. ඔයා දන්නේ නැතිව ඇති සමහරවිට අපි මුල් අවුරුදු දෙකේ විතර නැවතිලා හිටියේ මේ ගෙදරමයි. මේ බංකුව මට හයි කරලා දුන්නේ ඒ දවස්වල ගෙදර වැඩට හිටිය මාඩසාමි කියලා කෙනෙක්. මං හරි ආස තැනක් මේ" අනුලා මැඩම් කිව්වේ ආන්යව තවත් පුදුම කරමින්. ඈ කියපු මේ දේවල් ඈ කවදාවත් දැනගෙන උන්නු දේවල් නෙවෙයි.
"ඒ වග මං දැනගෙන හිටියේ නෑ" මොනා හරි නොකිව්වොත් හොඳ නැති හන්දා ආන්යා එහෙම කිව්වා.
අනුලා මැඩම් ඈට බලාගෙන හිනාවුණා යන්තම්.
"මම...මනී එක්ක ආවේ තනි කැමැත්තට. අපේ ගෙදරින් එකහෙලාම මේකට විරුද්ධ වුණා. අපි නුවර වලව් පෙලැන්තියේ හන්දා. ඒත් මං ආවා. ගෙදරින් මං මැරුණා කියලා දානෙකුත් දුන්නා(ඈ එහෙම කියලා ආයෙම හිනා වුණා). ඒත් එහෙම වුණා කියලා මම ගත්තු තීරණේ මගේ නරකට හිටියේ නෑ. මනී කියන්නේ පුදුම හොඳ මනුස්සයෙක් නිසා. ඔයා බලනවා ඇති මං ඇයි මේ ඔයාට මේවා කියන්නේ කියලා නේද?" එක පාරටම දැහැනකින් මිදුනා වගේ ආන්යා දිහා බලපු අනුලා මැඩම් කිව්වා. ආන්යා හිනාවෙලා බිම බලාගත්තා.
"දෝණි...ආදරේ කියන්නේ මොකක්ද කියලා මම හොඳට දන්නවා. එදා දවසේ වුණ දේවල් එක්ක බලද්දි ඔයාගේ මානසිකත්වය මොකක්ද කියලා මට හොඳට තේරුම් ගන්න පුලුවන්. ඒත් අභීවත්, ආර්යන්වත් නරක ළමයි නෙවෙයි. ඒ දෙන්නම එයාලගේ තාත්තා වගේ හොඳ, අවංක ළමයි දෙන්නෙක් කියලා මට සහතික වෙන්න පුලුවන්.." ඈ එහෙම කියද්දි ආඅන්යා ඉක්මණට ඈ දිහා බැලුවේ හිත දුකින් බරවෙද්දි.
"මං ඒක දන්නවා මැඩම්"
අනුලා මැඩම් ආන්යගේ දෑස් දිහා බලාගෙන හිටියා.
"මට ඔය තුන් දෙනා ගැනම හරි දුකයි. මම සිද්ධ වුණ සේරම දැන් දන්නවා. ඒක ඇහුවම මට ඔය තුන් දෙනා ගැනම දුක හිතුණා හරියට. ගොඩක්ම ආර්යන් ගැන. එයා කවදාවත් අපට අකීකරු නූන, හිත් නොරිදවපු ළමයෙක්. අපේ උවමණාවටමයි එයා ශර්මිට කැමති වුණේ. ඒත් පුතේ අපි කොහොමද එයාගේ හිත කියවන්නේ? අපි කොහොමද දන්නේ එයාගේ හිතේ ඉන්නේ කවුද කියලා? අපි හැදුවේ එයාට හොඳක් වෙන දෙයක් කරන්න මිස, සල්ලි නිසා නෙවෙයි. ශර්මිලා කියන්නෙත් ඔයා වගේම හොඳ ළමයෙක් හන්දා. ඒත් අපිට එතනදි වැරදුනා. ආරු ආදරේ කලේ එයාට ඕන වුණේ ඔයාව. ඒකෙන් වුණේ මෙහෙම දෙයක් වෙන්න අපිත් එක අතකින් දායක් වුණ එකයි. මනී අද දුකෙන් ඉන්නේ ආරුගේ මැරෙජ් එක නූන නිසා නෙවෙයි, ආරුව එයාට හරියට තේරුම්ගන්න බැරි වුණා කියලයි. තමන්ට ආදරේ කරන්න බැරි කෙනෙක්ව මොනම හේතුවක් නිසාවත් මැරි කරන්න ඕන නෑ කියන ස්ථාවරේ මමයි, මනීයි දෙන්නම හිටියා. දැන් ආර්යන් නිදහස්. ඒත් ඔයයි, අභීයි වෙන් වෙලා. මේ දේවල් අපි දෙන්නටම දරා ගන්න හරි අමාරුයි දෝණි" එහෙම කියලා අනුලා මැඩම් ලොකු සුසුමක් හෙලුවා. ආන්යට ඈ ගැන ලොකු අනුකම්පාවකුත්, ආදරේකුත් දැනුනා. මේ දෙපල තමන්ගේ ළමයින්ව කොච්චර හොඳට තේරුම්ගෙනද කියලා ඈට හිතුණා.
"මට සමාවෙන්න මැඩම්, මේ සේරටම මම ලොකු වැරදිකාරියක්" ආන්යා කිව්වා.
"ඔයා විතරක් නෙවෙයි අපි සේරම"
"ඒත් මම දැන් ඇත්ත තේරුම් ගත්තු නිසයි අභීගෙන් වෙන් වෙන්න හිතුවේ. මම හිත හදාගෙන එයාට ලං වෙන්න උත්සාහ කලා. එතකොට මේ ප්‍රශ්ණේ ඇදිලා ආවා. එවෙලේ අභී කලේ එයාගේ තරහා පිරිමහපු එක මිස ඇත්ත මොකක්ද කියලා හොයලා බලපු එක නෙවෙයි. ඒයා මගේ හිත කැඩුවා මැඩම්, ඒකයි අපි වෙන් වුණේ" ආන්යා කිව්වේ මදක් ආවේගශීලීව.
""මං දන්නවා ඒක. අභී ඒ ගැන සෑහෙන්න කණගාටු වුණා. ඒත් ඔයාගේ හිතට එකඟ නැතිව ඔයා ඇයි අභීට ලං වෙන්න හැදුවේ කියලා නම් මට හිතාගන්න බෑ"
ආන්යා අහක බලාගෙන සුසුමක් හෙලුවා.
"මට බය හිතුණා අභීට මොනාහරි වේවි කියලා. ඒ එක්කම ආර්යන් අයියා ශර්මිලාව අතාරියි කියලත් මට බය හිතුණා. ඒ පවට දායක වෙන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ" ආන්යා ඉක්මණට කිව්වේ තිත්ත බේත් බොන්න වගේ හැඟීමකින්. මේවා ඉක්මණට කියලා ඉවර කරන්න හිතාගෙන වගේ.
"ඔයා දැනගෙන හිටියද ආර්යන් ඔයාත ආදරේ වග?"
ආන්යා වචනෙන් උත්තරයක් නොදී හිස වැනුවේ දුකෙන් වගේම ලැජ්ජාවකින්.
අනුලා මැඩම් මොහොතක් කතා නොකර උන්නා. ආන්යත් කැලඹුණ හිතින් යුතුව ඔහේ වාඩි වෙලා උන්නා.
"මං දෙයක් අහන්න දෝණි මට ඇත්තම කියනවද?" ඊත පස්සේ ඈ ඇහුවාඅ.
ආන්යා ඈ දිහා බියපත්ව බැලුවේ මොනා අහයිද කියලා බයෙන්.
"ඔයා ආර්යන්ට තාම ආදරේද?"
ඒ ඇහුවේ ආන්යාට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්ණයක්. ප්‍රශ්ණේ වුණේ උත්තරේ නෙවෙයි, ඒක කාටවත් කියන එකයි. ආන්යා උකුල උඩ  තිබ්බ තමන්ගේ දෑත් දෙක දිහා බලාගෙන උන්නා.
"ඇයි මොනවත් නොකියන්නේ, එහෙම දෙයක් නැති හන්දද?" අනුලා නැඩම් ආයෙම එහෙම ඇහුවම ආන්යා ඈ දිහා යන්තමත බැලුවා විතරයි.
"දෝණි...සමහර වෙලාවට ජීවිතේදි අපි හරි තීරණ වගේම වැරදි තීරනත් ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. එකම දේ අපි ගන්න වැදරි තීරණ අපට හිතන්න දෙයක් ඉතිරි කරනවා. ඉගෙන ගන්න දෙයක්. එතකොට අපට පුලුවන් වෙන්න ඕන හරි දේ කරන්න ඒකෙන් පාඩම්ක් ඉගෙන ගන්න. මං ඔයාට කියන්නේ මෙච්චරයි. ඔය මං අහපු දේට උත්තරේ මොකක් වුණත්, ඔයා හිතට එකඟව හරි දේ කරන්න. හිතට විරුද්ධව අභීව තෝරගත්තා වගේ දෙයක් කරන්න එපා. මම මෙහෙම කියන්නේ ඔයා මගේම දුවක් වගේ කියලා මට හිතෙන හන්දා. මම දන්නවා මෙතන ඔයාට ආර්යන් තෝරගන්නවද නැද්ද කියලා හිතද්දි හිතන්න ප්‍රශ්ණ ගොඩක් තියෙනවා කියලා. ඒත් ඔයා හිතට එකඟව කරන්නේ හරි දේ නම්, ඔයාව අපේ ගෙදරට ආයෙම බාර ගන්න අපේ අකමැත්තක් නෑ කියන්නයි මට ඕන වුණේ" අනුලා මැඩම් කිව්වා.
ආන්යට කරකැවිල්ලක් වගේ දැනුනා ඒවා අහද්දි. ඒ වගේම අනුලා මැඩම් ගැන ලොකු ගෞරවයකුත් ඈට දැණුණා. මෙච්චර හොඳ මිනිස්සුත් ලෝකේ ඉන්න පුලුවන්ද කියලා ඈට හිතුණා.
ඊට පස්සේ අනුලා මැඩම් එතනින් නැගිටලා යන්න ගියේ ආන්යගේ හිසත් අතගාගෙන. ආන්යා කොට්ටම්බා ගහ යට බංකුවේ තනි වුණා. ඈට මීදුමෙන් වැහුන හිස් අවකාෂය දිහා බලාගෙන ඈ කල්පනා කලේ ඇත්තටම තමන් දැන් කරන්න ඕන මොනවද කියලයි.