Thursday, May 24, 2012

හතලිස් හතරවන කොටස


අනුහස්ලා එද්දි තාත්තා වාහනේ අරන් එතනට ඇවිත් ඉවරයි.
"ටක් ගාලා දා ගන්න...ගොඩක් ලේ යනවා වගේ..." අනුහස්ගේ හඬ ඇහුනාම ආන්යව එතන දණගැස්සුනා. එතනින් අභීගේ සිහිය නැතිවුණ සිරුර අරන් යද්දි, ඒ මූණ ලේ වලින් වැහිලා තියෙනවා ඈට පෙනුනා. හැමදාම දඟකාර විදියට ඈ දිහා බලන ඇස් තිබුණේ වැහිලා.
"මාත් එන්න ඕන" ආන්යා එක පාරටම එතනින් නැගිටලා අනුහස්ලා පස්සෙන් ගියේ පිස්සුවෙන් වගේ.
"ආන්යා ඔයා ඉන්න" අනුහස් කෑ ගැහුවා.
"බෑ, බෑ...මට යන්න ඕන...මට යන්න ඕන..."
"බල බල ඉන්න බෑ ඔය හැමෝම නගින්න" රියදුරු අසුනේ උන්නු තාත්තා කෑ ගැහුවා.
පිටිපස්සෙන් නැගපු ආන්යා, ඒ අසුන මත පරෙස්සමින් තියපු අභීගේ හිස තමන්ගේ උකුලෙන් තියාගත්තා. ඈට තෙත උණුසුමක් දැනිලා බලද්දි අභීගේ හිසින් තවමත් ලේ ගලනවා. ඇගේ හිතට ආවේ මහා බයක්. ඇස් වලින් නොනවත්වාම කඳුලු ගලද්දි ආන්යා කලේ ඇඳගෙන උන්නු ජර්සිය ගලවලා ලේ ගලන තැනට තද කර ගත්තු එක. ඒ අතරේ තාත්තා පුලුවන් තරම් වේගයෙන් වාහනේ පැදෙව්වා. අනුහස්, ගෝපි එක්ක, අභීගේ ඇඟේ අනෙක් ලේ ගලන තැන් ඇඳගෙන උන්නු ඇඳුම් ගලවලා වෙලන්න වුණා.
"හාට් එක වැඩ කරනවද බලන්න..." අනුහස් ඒ අස්සේ ආන්යට කෑ ගහනවා.
ආන්යා අභීගේ නිරාවරණය වුණ ගෙලේ පැත්තකට අත තිබ්බේ ගැහෙන හිතින්. ඈට සැනසුම් සුසුමක්  හෙලුනේ අතට යන්තමින් නාඩි වැටෙන රිදමය දැනුනාමයි.
"ඔව් ඔව්" ඈ කිව්වේ ඇස් වලින් කඳුලු බේරි බේරි ලේ වැකුණ අභීගේ මූණ මත පතිත වෙද්දිමයි.
'අනේ අභීට මුකුත් වෙන්න නම් එපා දෙයියනේ...මුකුත් වෙන්න එපා' ආන්යා අරමුණකින් තොරව නොපෙනෙන දෙවියන් යැද්දා නොනවත්වාම.
තාත්තා රෝහලේ ලෙඩ්ඩු ගන්න තැනට වාහනේ පැදෙව්වට වඩා පැන්නුවා. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මී වදයක් වගේ වුණා. ඒ අය ආන්යගේ උකුලෙන් අභීගේ හිස් පරිස්සමට ගනිද්දි ඈට හොඳටම ඇඬෙන්න ගත්තා. ඈ ඇඳගෙන උන්නු රෝස පාට සායේ පදාසයක්ම ලේ වලින් පෙඟිලයි තිබුණේ.
"ලෙඩාගේ බාරකාරයා කවුද? එන්න එන්න..."
"හී ඉස් බ්ලීඩින්ද් ෆාස්ට්, ගෙට් මි දැට්...යස්, හී නීඩ්ස් ඇන් ඉම්මීදියේට් ඔපෙරෂන්..."
"ඔය ලේ එක ගන්න ගන්න..."
ආන්යට රෝහල ඇතුලේ කලබලේ ඇහුනේ වෙනම ලෝකෙක ඉඳන් එන්නා වගේ. අභීව එවෙලෙම වගේ ශල්‍යාගාරයට ගෙනිච්චා. ආපු හැමෝමත් ඒ පස්සෙන් දිව්වා. ඒත් ඒ අයට වාට්ටුවට ඇතුල් වෙන්න අවසර ලැබුණේ නෑ.
"අර එලියේ පුටු වලින් වාඩි වෙලා ඉන්න මහත්තයා" කවුදෝ කියන්වා ආන්යට ඇහුණා. ඈට දැනුනේ පණ නැති ගතියක්. ඈ ඒ නිසා රෝහලේ කණුවකට බර වෙලා එතනම බිම ඉඳගත්තා. ඉඳගෙන ඈ කලේ හූල්ලපු එක විතරයි. තවත් අඬන්න ඈට පණක් තිබ්බේ නෑ.
"මීනු..." ඒ නම ඇහෙද්දි ආන්යගේ වත කිලිපොලා යන්වා වගේ ඈට දැනුනා. ඈ ලඟ උන්නේ අනුහස්.
"යමු පුටුවට"
ආන්යා මුකුත් නොකියා ඔහුට අවනත වෙලා පුටු තිබ්බ තැනට ගියා. තාත්තා උන්නේ එතන පුටුවක උන්නු අම්මට පවන් ගහන ගමන්. ගෝපි එතනම හිටගෙන් අලොකු කල්පනාවක. අනුහස් ආන්යව පුටුවකින් ඉන්දුවා.
"ආර්යන්ට කෝල් එකක් දෙන්න වේවි නේද තාත්තා?"
"හ්ම්..." තාත්තා උන්නෙත් අවසිහියෙන් වගේ.
"ආන්යා දනිස් දෙකේ වැලිමිට තියලා අත් දෙකට මූණ බර කර ගත්තා. ආර්යන් ගැන හිතන්න ඇගේ හිතේ එකලසක් තිබ්බේ නෑ. හිත පුරාම තිබ්බේ වරදකාරී හැඟීමකුයි, අභී ගැන බයකුයි විතරයි.
ආර්යන් එනකල්ම කිසි කෙනෙක් ආයෙමත් කතා කලේ නෑ. සුසුම් හෙලමින්, සක්මන් කරමින් උන්නා මිසක. ටික වෙලාවකින් ආර්යන් එතනට දුවගෙන ආවේ පිස්සෙක් වගේ. ඔහු ගෙදරට ඇඳගෙන්න උන්නු කොට කලිසම පිටින්ම දුවගෙන ඇවිත් තිබුණා.
"මොකද වුණේ? කෝ අභී? අභීට මොකද වුණේ?" ඔහු උන්නේ පුදුමාකාර තරම් කලබල වෙලා.
"ආර්යන් කම් ඩවුන්...පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. දැන්...අභී තියටර් ගත්තා" තාත්තා හඬ අවදි කලා.
"තියටර්? එච්චරම සීරියස්ද?" එහෙම අහලා ඔහුගේ ඇස් යොමු වුණේ ලෙයින් තෙත් වෙලා උන්නු ආන්යා දිහාට.
"ආන්යට මොකද වුණේ?"
"එයාට මුකුත් නෑ" අනුහස් කිව්වා.
ආන්යා නම් උන්නෙ කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි. ගෙදරදි වුණ රණ්ඩුව ඇරෙන්න අනික් සිදුවීම්  හෙමිහිට අනුහස් ආර්යන්ට විස්තර කරද්දි, ආර්යන් අහගෙන හිටියේ ගල් පිලිමයක් වගේ. ආන්යා මුලු කාලෙම කලේ 'අභිට මුකුත් වෙන්න එපා කියලා මන්තරයක් වගේ මතුරමින් උන්නු එකයි. අභීට සනීප වුණොත් ඈ ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා ඈ හිතාගත්තා. ඔහොම පැය තුනක් විතර ගියාට පස්සේ, ශල්‍යාගාරේ පැත්තේ ඉඳලා එක වෛද්‍යවරයෙක් එලියට ආවා.
"මිස්ට වීරප්පෙරුම..."
තාත්තා ඉක්මණට නැගිටලා ඒ පැත්තට ගියා. ආර්යන් ඒ පස්සෙන් දිව්වා.
"ම්ම්...දැන් බයවෙන්න දෙයක් නම් නෑ. හැබැයි ලෙඩාගෙන් ගොඩාක් ලේ ගිහින් හන්දා එයා ටිකක් විතර දුර්වලයි. ඒත් හොඳ වෙලාවට ඔයාලා පරක්කු නොවී ගෙනාවේ. නැත්තම් බ්ලීඩ් වෙලාම ලෙඩාගේ ජීවිතේට හානි වෙන්න වුණත් ඉඩ තිබුණා. ඉන්ටර්නල් ඉන්ජරීස් මොන්වත් නම් නෑ. තැලිච්ච තැන් කීපෙකුයි, ටිකක් ඩීප් කට්ස් වගේකුයි තමා තියෙන්නේ. එකම දේ එයාගේ දකුණු දණහිස පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඒක අපි ෆික්ස් කලා, ඒත් කාලයක් යනකල් ලෙඩාට ක්ලචස් වලින් ඇවිදින්න වේවි. ඒ ඇරුණාම නම් බයවෙන්න මොනවත් නෑ. තව පැය දෙක තුනකින් සිහිය ඒවි"
වෛද්‍යවරයා එහෙම කිව්වාම, ආන්යා මෙච්චරවෙලා හිතේ තද කරගෙන උන්නු දුක, අභීට කරදරයක් නෑ කියලා ඇහුණාම දැනුන සතුට,  ඉවුරු කඩාගෙන පිට පැන්නා. ඈ හොඳටම අඬන්න ගත්තා.
""කවුද මේ පේෂන්ට්ගේ ගර්ල්ද? මිස් බයවෙන්න එපා, එයාට ඉක්මණට සනීප වෙයි. අපි ඉන්න්වනේ...බය වෙන්න එපා" වෛද්‍යවරයා කිව්වේ ආන්යගේ උරහිසට තට්ටුවක් දාන ගමන්.
"ඔයාලට දැන් ගෙදර යන්න පුලුවන්, හොස්පිටල් එකෙන් ලෙඩාව බලාගන්නවා. දැනට එයාව අපි අයි. සී. යූ. දානව, හෙට වෙද්දි නෝමල් වෝඩ් දාන්න පුලුවන් වෙයි" වෛද්‍යවරයා ආපහු එහෙම කියලා යන්න ගියා.
"මම සිහිය එනකල් ඉන්නවා මිස්ට වීරප්පෙරුම" ආර්යන් එහෙම කිව්වා.
"එහෙමනම් අපි දැන් ගිහින් උදේම එමු නේද. දැන් වෙලාව දෙකටත් ලඟයි" එහෙම කිව්වේ ආන්යගේ තාත්තා.
"මාත් ඉන්න ඕන" ආන්යා කිව්වා.
"මීනු දැන් අභීට හොඳයි නේ, අපි ගෙදර ගිහින් එමු. ඔයාගේ අඳුම් මාරු කරගන්නත් ඕන නේ" එහෙම කිව්වේ අනුහස්.
"මට බෑ අනූ...මටත් සිහිය එනකල් ඉන්න ඕන" ආන්යා කිව්වේ කඳු වැල් කම්මුල් තෙම තෙමා ගලද්දි.
"පුතේ අපි උදේට එමු..."
"අනේ තාත්තා...අභීට මෙහෙම වුණේ මං නිසා...මට ඉන්න දෙන්න...අනේ පිං සිද්ධ වෙයි මට ඉන්න දෙන්න" ආන්යා බිම දණගහගෙන අඬා වැලපුණා.
ආන්යගේ අම්මා උන්නෙත් අඬමින්. ගෝපිත් පැත්තක ඉඳලා නහය හීරුවා.
"ආන්යා හිටපුදෙන්, මං ඉන්නවනේ. සිහිය ආපු ගමන් මම එයාව ගෙනත් දාන්නම්" ආර්යන් කිව්වා.
"එහෙමනම් අපිත් ඉන්නම්. මෙතන ගොඩක් අයට ඉන්න දෙන්නේ නෑනෙ. අපි ජීප් එකට වෙලා ඉන්නම්, ආන්යා ඔයාට ජීප් එකටවත් එන්න බැරිද?" එහෙම ඇහුවේ අනුහස්.
"අනේ අනූ...මට මෙතන ඉන්න දෙන්න අනූ..." ආන්යා කිව්වේ ආයෙම අඬමින්.
හැමෝම එක එක්කෙනාගේ මූණු බලාගත්තා.
සිහිය ආවාම අපට කතා කරන්න" එහෙම කියලා අනුහස් අම්මලා එක්කම යන්න ගියා.
අම්මයි, තාත්තයි ආන්යව තියලා යන්න එතරම් කැමති නූනත් ආන්යා එක පයින් එන්නම බෑ කියලා හිටපු නිසා, ඒ අයට ඈව බලෙන් ඇදගෙන යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
ආන්යා නිකටට අත තියාගෙන හූල්ල හූල්ල බලාගත් අත බලාගෙන හිටියා. ආර්යන් අනික පුටුවට වෙලා සුසුම් හෙලමින් කල්ප්නාබරව හිටියා. ඔහු විටින් විට ගිහින් අභීට සිහිය ආවද කියලා වාට්ටුවේ කාගෙන් හරි අහලා ආවා. තවමත් මේ දෙන්නටම අභීව දකින්න ලැබිලා තිබුණේ නෑ. අභීගේ හිසින් ගලපු ලේ, වත්තෙදි වැටිලා ගෑවුණ මඩ, මේ සේරම ආන්යගේ කකුල්වලටම ඇලිලා වේලිලා ගිහින් තිබුණා. ඒත් ආන්යා උන්නේ මේ කිසි දෙයක් ගැන හිතන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි. අභීට මේ දේ වුණේ තමන් නිසා නේද කියලා හිතද්දි ඈට දැනුනේ උහුලන්න බැරි තරම් හිතේ වේදනාවක්. අභී වෙනදට ඈව ඇරලවලා යද්දි 'ගුඩ් නයිට් ප්‍රින්සස්' කියන හැටි ඈට මැවිලා පෙනුනා. ඒ එක්කම ඇගේ කඳුලු ආයෙම අලුත් වුණා.
"ආන්යා...ඔයාට බොන්න වතුර එකක් ගෙනත් දෙන්නද?" බලා ඉඳලා ඉඳලා ආර්යන් ඇහුවා.
"මේ සේරම වුණේ මං නිසා..." මෙච්චර වෙලා හූල්ලමින් උන්නු ආන්යා එහෙම කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"ඔයා මොනවද ආන්යා මේ කියන්නේ? වාහනේ ඇක්සිඩන්ට් වුණේ ඔයාගේ වරදකින් නෙවෙයිනේ"
"මං නිසා තමයි..." ආන්යා කිව්වේ ආයෙම අඬන ගමන්."අභී අද අපේ ගෙදර ආවා, රෑ...අපි ගැන අම්මලට කියන්න...මං එයාට බැන්නා ආර්යන් අයියා...මට මේ තරම් ආදරේ කරද්දිත් මං එයාව එපා එපා කියලා ඈතට ඇතට ගියා...මම කිව්වා මට එයාට ආදරේ කරන්න බෑ කියලා..."
"ආදරේ නෑ කියලා?"
"ඔව්...ඒක තමයි ඇත්ත. මම කොහොමද එහෙම කරන්නේ, මට අභීට බොරුවට ආදරේ කරන්න බෑ. එහෙමයි කියලා මට ඒක එයාට කියන්නත් බෑ. මම කොහොමද අභීට කියන්නේ ආර්යන් අයියා, මගේ හිතේ ඉන්නේ කවුද කියලා?" ආන්යා එහෙම කියලා ආයෙම අඬන්න ගත්තා.
ආර්යන් විදුලි සැරයක් වැදුනා වගේ කම්පනයට පත් වුණා.  "ආන්යා..."
ඔයාව දකින දකින වාරයක් පාසා මගේ හිත පෑරෙනවා තමයි. මට ශර්මිලා ගැන ඉරිසියා හිතෙනවත් තමයි. ඒත් මං දන්නවා කවදාවත් අපට එකතු වෙන්න බෑ කියලා. මට ශර්මිලාට දුකක් දෙන්න බැරි නිසා. මම අභීට ලං නොවී ඉන්න හැදුවෙත් මට ඔයාව දැක දැක අභීට ලං වෙන්න බැරි නිසා. එයාට ආදරේ කරන්න බැරි නිසා. එහෙම කරන එක අසාධාරණ නිසා. ඒත් අන්තිමට වුණේ එයාට ඇත්ත පහදන්න ගිහින් තව පොඩ්ඩෙන් එයාගේ ජීවිතෙත් නැති වෙන්න ගිය එකයි. අනේ මට ඒක නම් කොහොමවත් දරාගන්න බෑ ආර්යන් අයියා. අභී මට ගොඩාක්, ගොඩාක් ආදරෙයි. මට හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි...මට උහුලගන්න බැරි  ඒ නිසයි..." ආන්යා ආයෙම කියවගෙන ගියා.
ආර්යන් දිග සුසුමක් හෙලලා ඈත බලාගත්තා. "ඒක ඇත්ත ආන්යා...අභී ඇත්තටම ඔයාට පණවගේ ආදරෙයි"
" අභී සනීප වුනෝතින්, එයා මට සමාව දුන්නෝතින්, මම එයා කියන ඕනම දේකට කැමති වෙනවා. සමහරවිට මට බැරිවෙයි ගොඩ කාලයක් යනකල් හිත හදාගන්න. ඒත් එයා වෙනුවෙන් මං ඒක කරනවා...මං ඒක කරනවා..." ආන්යා ආයෙම කියෙව්වේ තෝන්තුවාවෙන් වගේ.
"අභී වෙනුවෙන්, මාත් ඒක කරනවා ආන්යා... ඒක කොච්චර අමාරු වුණත්, ජීවිත කාලෙම මට විඳවන්න වුණත්, මං ඒක කරනවා. ඒ අභී තරම් සමහරවිට කාටවත් ඔයාට ආදරේ කරන්න බෑ කියලා මම දන්න නිසා. එයා ඔයාව ඇස් දෙක වගේ බලාගනී කියලා මට විශ්වාස නිසා"
ආන්යා ආර්යන් දිහා යන්තමට හිස උස්සලා බලද්දි, ඔහු ඇස් දෙක පිහිනවා ඈ දැක්කා. ඒ අභී නිසාමද, නැත්තම් එකම ආදරයක් වෙනුවෙන් දුක් විඳින තුන් දෙනා නිසාමද කියලා ආන්යා දැනගෙන හිටියේ නෑ. 


3 comments: