Thursday, January 30, 2014

අවසරයි ලං වෙන්න : හතලිස් හත්වන කොටස



"මොකෝ මේ...පැයකට library  ගිහින් ඔච්චර මහන්සිද?"
හවස ගෙදර යන්න අනුක්ගෙ අවාහනේට නැගපු මම කලේ සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තු එක. හිත යකාගේ කම්මල වගේ කැලඹිලා තියෙද්දි, මට ඕන වුණේ තනි වෙන්න විතරයි මගේම සිතිවිලි එක්ක.
"දුලාරා....ඇයි මේ?" පාර අනුක් ඇහුවේ මදක් කලබල වුණ ස්වරයකින්.
"මුකුත් නෑ...අපි යමු" මම කිව්වා.
"එහෙනම් ඇයි ඔහොම ඉන්නේ?" අනුක් ඇහුවා ආයෙම.
"මගේ හිස කකියනවා..." මම එහෙම කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා.
පාර සුසුමක් හෙලපු අනුක් වාහනේ පණගන්වලා පාරට දැම්මා. මහ වැස්සක් වහින්න පටන් ගත්තේ අපි ගලහා හන්දියට ලඟාවෙන්නත් කලින්.
"ඔයා හිස කකියන්වා කියන්නේ ඇත්තමද? නැත්තම් ඔයාට වෙන ප්රශ්ණයක් තියෙනවද? මම බලාගෙන අද හවස ඉඳන්ම ඔයාගේ හැසිරීම හරිම අමුතුයි" අනුක් කිව්වා.
මම උන්නු තත්වේ නිසාදෝ මට අනුක්ව දැනුනෙත් මහා වදයක් විදියට. ඔහු මෙච්චර මම ගැන වද වෙන්නේ මොකටද? මම මුනිවත රැකගෙනම උන්නා.
"ඔයත් හරියට මේ දවස් වල කාලගුණේ වගේ. කොයි මොහොතේ ඔයාගේ mood එක වෙනස් වෙන්වද කියන්න බෑ. වෙලාවකට හොඳයි. වෙලාවකට කියාගන්න බැරි තරම් ගුප්තයි. හරියට ලෝකේ තියෙන සේරම දුක ඔයා ඇතුලේ හංගගෙන වගේ වෙලාවකට ඔයා ඉන්නේ" අනුක් එහෙම කියාගෙන යද්දි  මම ඇස් ඇරියේ වචන මගේ හිත තවත් පෑරුව නිසා.
"මොනා හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් ඇයි ඔයා කාටවත් ඒක නොකියන්නේ? හැමදේම හිතේ හංගගෙන හිටියම ප්‍රශ්ණ විසඳෙනවද?" අනුක් ඇහුවා.
"මට ඇති ප්‍රශ්ණයක් නෑ අනුක්" මම කිව්වා.
"බොරු කියන්න එපා දුලාරා....ඔයා දිහා බැලුවම මට හොඳටම පේනවා ඔයා ඉන්නේ tension එකේ කියලා. ඔයා හිතන්නේ ඔයා මේ විනාදි දහයත කීපාරක් සුසුම් හෙලුවා කියලද? බලන්න ඔයාගේ ඇස්...ඒවයේ කඳුලු නැති දවසක් මම තාම දැකලා නෑ. ඔයා ඉන්නේ දුකෙන්. ඒත් ඒක ඔයා කාටවත් කියන්න කැමති නෑ. ඇයි ඔයා ඔහොම ඉන්නේ?" අනුක් ඇහුවේ තදින්.
"ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි අනුක්" මම කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ? අපි යාලුවෝ නෙවෙයිද? අනික ඔයා ඉන්නේ අපේ ගෙදර. ඔයා අපේ නෑයෙක් වෙන්න ඉන්න කෙනෙක්. අපි හැමෝම ඔයාට සලකන්නේ අපේම කෙනෙක් විදියට. ඉතිං එහෙම තියෙද්දිත් ඒක අපට අදාල නොවෙන්නේ කොහොමද?" අනුක් එහෙම කියද්දි මට දුකක් නොදැනුනා නෙවෙයි.
"මගේ ගැන ඔයාලා කරදර වෙන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න, කරන්න පුලුවන් ලොකුම උදව්ව ඒක" මම කිව්වාම අනුක් මා දිහා බැලුවා.
"ඔයා මහ පුදුම කෙල්ලෙක් දුලාරා. මට ඔයාව තේරුම් ගන්න බෑ"
අනුක් එහෙම කිව්වම මම මුකුත්ම කිව්වේ නෑ, ආපහු සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා මිස.
"හරි එහෙනම් මට මේක කියන්නකෝ, අද අර WUS එකට ගිය වෙලේ ඔයා එක පාරටම වෙනස් වුණේ ඇයි?
අනුක් එහෙම ඇහුවම මගේ හිස ගිනි ගත්තා වගෙයි මට දැනුනේ. අනුක් ඒකත් දැකලද?
"වෙනස් වුණා?"
"ඔව්...මම බලාගෙන ඔයා නිකං එක පාරටම හොල්මනක් දැකලා බය වෙලා වගේ හිටියේ. මං දැක්කා අර ඔයාගේ යාලුවත් මොනාද ඔයාට කිය කිය ඉන්නවත්"
අනුක් ඒක දැක්කා නම් මට එහෙම වුණේ නෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. අනුක්ගේ ප්‍රශ්ණ විචාරිල්ල මට මහා වදයක් වෙලයි තිබුනේ. මම ඔහු දිහා බැලුවේ නිසා.
"ඇයි ඔයා මේ තරම් මේ දේවල් ගැන හාරාවුස්සන්න හදන්නේ? මම කැමති  නෑ මේ දේවල් ගැන කතා කරන්න. ඒක තේරුම් ගන්න. ඔයාට කවුද මෙහෙම කරන්නේ කිව්වේ චේතියද?" මම ඇහුවේ ඇත්තටම කේන්තියෙන්.
අනුක් මා දිහා බැලුවෙත් නොරිසුමකින් වගේ කියලා මට හිතුණා. ඇස් නොපෙනෙන්න මම අහක බලාගත්තා.
"මම හදන්නේ ඔයාට උදව් කරන්න" අනුක් කිව්වා.
"මට ඔයාගේ උදව් ඕන නෑ" මම කිව්වා.
"ඔයා මහ නපුරු කෙල්ලෙක් දුලාරා..."
"වෙන්න ඇති"
"මම හිතුවා අපි යාලුවෝ කියලා. මම ඔයාට සලකන්නේ මගේ හොඳ යාලුවෙක්ට වගේ. මම මේ දේවල් කරන්නේ චේතිය කියපු  හන්දා නෙවෙයි. ඔයා ඔහොම දුකෙන් ඉන්නවා බලන්න මමත් ආස නැති නිසා" අනුක් කිව්වේ කලකිරීමෙන් වගේ.
"ඔයා මං ගැන හිතන්න ඇයි? ඔයා මගේ කවුද? එහෙම කරන්න ඕන කමක් නෑ. අනික ඔයා හිතුවට අපි නෑයෝ වෙන්නේ නෑ. මම කවදාවත් චේතියව බඳින්නේ නෑ. කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න" මම කියාගෙන කියාගෙන ගියේ අනුක් ඇස් ලොකු කරගෙන මා දිහා බලාගෙන ඉද්දි.
"දුලාරා...what..." අනුක් උන්නේ කතා කරගන්නත් බැරි තරම් හැඟීම් වලින් මැඩිලා.
මට හිතාගන්න බැරි වුණේ ඇයි මම එහෙම අනුක්ට කතා කලේ කියලා. මගේ හිත ඇතුලේ කැකෑරෙමින් තිබුණ දුක, තරහා, නොරිස්සුම මේ සේරම පීඩනය අන්තිමට ගියේ අනුක් පිටින්. ඔහුගේ කරුණාව, මට උදව් කරන්න හදන එක මට කරදරයක් විදියට දැනුනටත් වඩා, අනෙක් අය මට අනුකම්පා කරන එක දරාගන්න බැරි කමයි එතන වැඩිපුරම තිබුණේ කියලා පස්සේ මට හිතුණා.
ඒත් අනුක්ට මම කතා කරපු විදිය ගැන පසුතැවිල්ලක් මට දැනෙමින් තිබුණා. ඔහු මට කිසිම වරදකුත් නොකර මම ඇයි  එහෙම ඔහුට කතා කලේ කියලා හිතද්දි මම ප්‍රමාද වැඩියි. අනුක්ගේ හිත තිබුණේ හොඳටම රිදිලා. ඔහු ඊටපස්සේ ගෙදර ලඟට යනකල්ම වචනයක්වත් කිව්වේ නෑ. මම උන්නේ අතකින් ඇස් දෙක වහගෙන. වාහනේ ගෙයි පෝටිකෝව යට නවත්තලා, වචනයක්වත් නොකියා අනුක් බැහැලා යන්න ගියේ මම කාර් එකේ ඉද්දිමයි. මම කාර් එකෙන් බැස්සේ කරපු දේ ගැන පුදුමාකාර පසුතැවිල්ලකින්. ඒත් මගේ ජීවිතේට, මගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න අනුක්ටවත්, ගෙදර වෙන කාටවත් ඉඩ දෙන්න මට පුලුවන්ද? ඉඩ දුන්නත් මට උදව් කරන්න අයට පුලුවන්ද?
"මැණිකෙලා දෙන්නා සිරිදාස එක්ක ගියේ. ළමා නිවාසේ හවස තේ පාටිය ඉවර වෙලාම ඒවි මහිතේ. ගෝතමී මැණිකෙත් මගින්ම ගන්නවා කිව්වා. පුංචි මහත්තයත් මෙහෙමම යන්වද?"
මම ඇතුලට යද්දි සාලේ උන්නු ලතා අම්මා අනුක්ට එහෙම කියන්වා මට ඇහුණා.
"මට දැන් යන්න බෑ" අනුක් එහෙම කියාගෙන යන්න යද්දි, ගෙට ආපු මා දිහ ලතා අම්මා බැලුවා.
"ආයෙමත් වැස්ස නේද නෝනේ?" ලතා අම්මා ඇහුවේ මගේ බෑග් එක අතින් ගන්න ගමන්.
"හ්ම්... අද අක්කලා කොහේ හරි ගිහින්ද?"
"අනේ ඔව්. අද මේ දොඩම්වල දිහා තියෙන ළමා නිවාසෙකට දානයක් දෙනවයි කියලා, නුගවෙල මහ මැණිකේ උදේ කතා කලා. අපේ මැණිකෙලෑ ලොකු නැන්දා. ඉතිං තුන් දෙනාම ඒකට ගියා. මහ මැණිකෙලගේ ගෙදරත් ගිහින් එනවා කියලා, නෝනලා අවාම එහාට එන්නයි කියන්න කිව්වා. කොහෙද මේ අනුක් මහත්තයට යන්න බැරිලුනේ" ලතා අම්මා කිව්වා.
"ඒගොල්ලන් එද්දි රෑ වෙයිද?"
"නෑ. හවස හත විතර වෙද්දි ඒවි මම හිතන්නේ"
"හ්ම්"
මම කාමරේට එන්න ආවේ ඇත්තටම මගේ හිස ගොඩක් කකියන්න පටන් අරන් තිබුණ නිසා. මදිවට මට මේ ගෙදර ඉන්න බෑ කියලා හිතෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඉන්න ඉන්න වෙන්නේ මම තවත් චේතියට බලාපොරොත්තු දෙන එකයි, කවදාවත් වෙන්න බැරි දෙයක් ගැන මේ එද් අයට බලාපොරොත්තු දෙන එකයි කියලා මට හිතුණා. ආයෙම කැම්පස් යන්න ඕන කියලවත් මට හිතුණේ නෑ. භූපත් නැතිව මම එහේ යන්නේ මොන එහෙකටද කියලා මට හිතුණා. හිත තිබුණේ දුක්, කලකිරීම්, පසුතැවිලි වලින් ඔද්දල් වෙලා. මට දැනුනේ හැමදේම එපා වෙලා වගේ හැඟීමක්. අද වුණ සේරම දේවල් ආයෙ ආයෙ මතක් වුණේ හිත තවත් පාරවමින්. භූප කතා කරපු හැටි, ඇස්, කඳුලු... සිද්ධිය එක්කම ආපහු හිතේ මතු වුණේ අනායාසයෙන්මයි. මම ඇඳේ වාඩි වෙලා කල්පනා කලේ මම ඇත්තටම දැන් කරන්න ඕන මොකක්ද කියලා.
ඒත් ඊලඟ මොහොතේ වුණේ මම නොහිතපු දෙයක්. එක පාරටම දොර රෙද්දත් ඇරගෙන කාමරේට කඩා වැදුනේ අනුක්. මම බය වෙච්ච පාර එහෙමම හිටගැනුනා.
"මම මොකක්ද ඔයාට කරපු වරද?" අනුක් තාමත් උන්නේ ඇඳගෙන ආපු ඇඳුම් පිටින්මයි.
"අනුක්...?"
"ඔයාට කිසිම අයිතියක් නෑ අර විදියට මට කතා කරන්න. I was just offering you help and you talked to me like… like …like to a dog…WHAT IS WRONG WITH YOU!!!”
අනුක් ඇහුවේ මූණත් නපුරු කරගෙන. ඇස් තිබුණේ තරහින් පුංචි වෙලා.
"අනුක්...මම එහෙම හිතලා..." මම කියන්න ගියත් අනුක් උන්නේ මම කියන දේ අහන තත්වෙක නෙවෙයි.
"From the beginning I treated you as my own sister. And with all these comings and goings I thought we can be friends… we are friends. But I was wrong. You are so full of your self and you do not allow anyone to come near you. Just because you hate Chetiya. You hate him and you hate us too…You think you alone can do everything and you think it makes you so divine or something….”අනුක් කියවගෙන කියවගෙන යද්දි මම අහගෙන උන්නේ බිම බලාගෙන.
“I was trying to help you. Because I saw that all the time you were so sad and unhappy. Your eyes were always welled with tears. I wondered why, I wanted to know why. Because I thought you were a nice girl. I like the calmness of you. I liked how you cared for all of us. You came to our house when things were all gloomy and depressing.  You bought some light with you. You bought a change into our lives here. So I was happy that you came. But when you isolate your self and always seems like lost, I knew you were not happy.  I did not want you to be unhappy…because then I felt bad too. Because I care for you Dulara…I cared for you. But today you nullified everything. ඔයා තමන්ම හරි කියලා හිතන, වෙන කාගෙවත් උදව් ඕන නෑ කියලා ඔලුව උදුම්මගෙන ඉන්න, හිතක් පපුවක් නැති කෙල්ලෙක් විතරයි. You think only your worries are worries. You just don’t care about how others feel do you? DO YOU?”
අනුක් එහෙම ඇහුවේ මගේ දිහා එක එල්ලෙම බලාගෙන.  මගේ හිතේ තවත් රිදෙන්න තැනක් තිබුණේ නෑ. ඇහැට උනන්න කඳුලක් තිබුණෙත් නෑ. ඒත් මට දුකක් දැනුනා. ඒ අනුක් මට බැනපු නිසා නෙවෙයි. ඔහු මම ගැන හිතාගෙන ඉන්න විදිය ගැන.
“You are pathetic…I am totally disappointed about you. Hereon there will be no personal level things. I am gonna ask Siridaada to take you and bring you home. ආයෙම අපි කතා කරන්න ඕන නෑ. එතකොට මට දුකකුත් නෑ. ඔයාට ප්‍රශ්ණෙකුත් නෑ. ඔයාගේ තනි ලෝකේ ඔයාට ඕන විදියකට ඉන්න පුලුවන්" අනුක් එහෙම කියලා අහක බලාගත්තා.
මගේ දුක තවත් වැඩි වුණා. මට තියෙන ප්‍රශ්ණ මදිවට අනුක් පවා මෙහෙම මං ගැන වැරදියට හිතද්දි මොනා කරන්නද කියලා මට තේරුණේ නෑ. මට ගොඩක්ම දුක හිතුණේ මාව යාලුවෙක්, සහෝදරියක් විදියට සලකපු ඔහුගේ හිත මම කඩපු නිසා.
මම වචනයක්වත් නොකියා ඉද්දි අනුක් ලොකු සුසුමක් හෙලලා ආපහු යන්න හැරුණා. මම දැනගෙන උන්නා ඇත්ත පහදලා දෙන්න මට ලැබෙන අන්තිම අවස්ථාව මේක වග.
"අනුක්..." මම ඔහුට කතා කලේ ඒකයි.
ඔහු නැවතුනා හැරිලාවත් නොබලම.
"මට සමාවෙන්න. සත්තකයි මම ඔයාගේ හිත රිද්දන්න හිතුවේ නෑ. මට කාගෙවත් හිත රිද්දන්න ඕන නෑ. මම...ඔයාට එහෙම කතා කලේ, එවෙලේ මගේ හිතට ආපු ආවේගේ නිසා. ඒකට ඔයා පලි නෑ. ඒත්...මට උදව් කරන්න ඔයාට බෑ අනුක්" මම කිව්වේ වෙව්ලන හඬින්.
අනුක් එහෙමම හිටගෙන අහගෙන උන්නා.
"මම දන්නවා මම අද හැසිරුණේ මහා නපුරු විදියට කියලා. එහෙම වුණේ මම මේ දවස් වල ඉන්න මානසික තත්වේ නිසා. ඒක මමම විසඳගන්න ඕන එකක්. මට ඔයාට තවත් වදයක් වෙන්න බෑ. මම ඔයාලට දෙන වද හොඳටම ඇති" මම කිව්වේ බිම බලන ගමන්.
අනුක් ආයෙම ලොකු සුසුමක් හෙලුවා.
"ප්ලීස් මට සමාවෙන්න අනුක්. ඔයා මාව මීට පස්සේ එක්ක නොගියත් කමක් නෑ. කතා නොකරම උන්නත් කමක් නෑ. ඒත් අද මේ වුණ හිත් රිදීමට මට සමාවෙන්න..." මම කිව්වා ආයෙම.
අනුක් ඒ පාර මා දිහාට හැරුණා.
"ඔයා මට උදව් කරන්න අහන්නේ හොඳ හිතින් වග මම නොදන්නවා නෙවෙයි. ඒත් මට උදව් කරන්න කාටවත් බෑ අනුක්. මගේ ජීවිතේ හැඩි වෙලා ඉවරයි. මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා ඉවරයි. ඒ හිත හදන්න කාටවත් බෑ" මම කිව්වේ පුදුමෙකට වගේ ආයෙම ඇස් වලට කඳුලු පිරෙද්දි.
අනුක් ඒ පාර මගේ ලඟටම වගේ ආවා.
"ඔයා ආපහු අඬනවා" ඔහුගේ වචනවල තිබුණේ දයාබරත්වයක්.
මට ඔහු දිහා බැලුණේ ඉබේටම. ඔහු ඒ නිදිබර ඇස් වල දුකක් තවරගෙන මා දිහා බලාගෙන උන්නා.
"මං දිහා ඔහොම බලන්න එපා අනුක්..." මට කියවුණා.
"දුලාරා..."
"මට හිත හදාගන්න බෑ අනුක්. මට මගේ භූපව ඕන. මට එයා නැති හෙට දවසක් ගැන හිතන්න බෑ. මම එයාට ගොඩක් ආදරෙයි..." ඒ ඇස් නිසාදෝ විසිරුණ මගේ හිතින් දුක ආපහු පිටාර ගලද්දි මම කියවගෙන ගියේ උමතුවෙන් වගේ.
"භූප?"
"ඒත් එයා මාව දාලා ගිහින්. මම මෙච්චර ආදරේ වග දැන දැන. මට එයා නැතිව ජීවත් වෙන්න බෑ කියලා දැන දැන එයා යන්න ගිහින්. ඒත් එයා එහෙම යන්නේ මට ආදරෙ නිසාලු. ආදරේ නම් එහෙම යන්නේ කොහොමද අනුක්...එහෙම යන්න පුලුවන්ද?"
අනුක් මම කියන දේවල් අදහාගන්න බෑ වගේ ලොකු දුකකින්  මා දිහා බලාගෙන ඉද්දි මට හොඳටම ඇඬෙන්න වුණා.
මම දැනං හිටියේ නෑ, චතූලට පවා හංගපු මගේ හැඟීම් අනුක් ඉස්සරහදි මෙහෙම එලියට පැන්නේ ඇයි කියලා. මම වෙන කවදාවත් කිසිම කෙනෙක් එක්ක මේ විදිහට මගේ හැඟීම්, මගේ දුක කියලා තිබුණේ නෑ. ඒත් මම අනුක් ඉස්සරහදි බිඳ වැටුණා සම්පූර්ණයෙන්ම. මම වැලහින්නක් වගේ අඬාවැලපෙද්දි, අනුක් දෙපාරක් නොහිතම මාව එහෙමම ඔහුගේ පපුවට තුරුලු කරගත්තා. තාමත් තැනින් තැන තෙත බරිත වෙලා තිබුණ ඔහුගේ කමිසේ එල්ලිලා මම අඬාවැටුනේ කඳුලු තවත් ඒ පපුතුර තෙත් කරද්දි. අන්තිමට මට තවත් අඬන්න බැරි වෙනකල්ම ඔහු එහෙමම උන්නා. මගේ හිස අතගාමින්. ඒත් මම ඉක්මණින් ඔහුගෙන් ඈත් වුණේ හිතේ තිබුණ කැලඹීම නිසා විකාර වෙලා තිබුණ මගේ පියවි සිහිය ආපහු එද්දි.
මම අනුක්ට පිටුපාලා ඇඳේ අනික් පැත්තෙන් ගිහින් වාඩි වුණා.
"මම දන්නෑ මොනා කියන්නද කියලා" අනුක් එහෙම කිව්වම මම මුකුත් කිව්වේ නෑ.
"කොහොමද දුලාරා මේ දේවල් වුණේ?" අනුක් ආයෙම ඇහුවා.
"ඒක මහා දිග කතාවක්..." මම අන්තිමට හඬ අවදි කලා.
"මට ඒක අහන්න ඕන...ඒත් ඊට කලින් ඔයා වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් rest  කරන්න. පොඩ්ඩක් නින්ද ගියොත් ඔය කලබල ගතිය හිතෙන් ටිකක් අඩු වෙයි" අනුක් එහෙම කිව්වා.
මම හිස හරවලා ඔහු දිහා බැලුවේ ඇත්තටම ඔහු ගැන උපන්න පැහැදීමකින්. අනුක්ගේ කරුණාව මට එවෙලේ දැනුනේ මහා මෙරක් වගේ. ඔහු ත්වමත් හිටගෙන මා දිහා බලාගෙන උන්නේ දුකකින් වගේ.
"ඔයා අද ගොඩක් ඇඬුවා...මං ඉස්සරහදි කවුරුවත් කවදාවත් මෙහෙම අඬලා නෑ දුලාරා...ඒක මට ලොකු shock එකක් වගේ ඇත්තමයි. මම දැනං හිටියේ නෑ ඔයා නිතර නිතර කල්පනා කර කර ඉද්දි, ඔයාගේ ඇස් නිතරම අඬන්න ලං වෙලා වගේ පෙනෙද්දි, ඉඳලා ඉඳලා හිනා වුණත් ඉක්මණටම ආයෙම හිනාව හංග ගද්දි, ඔයා ඉන්නේ මෙච්චර දුකකින් කියලා. මම දන්නෑ ඔයා අද මේ ඉන්න තත්වෙට පත් වුණේ කොහොමද කියලා. මට ඒක දැනගන්නම ඕන. මට ඒක දැනගන්න ඕන ඔයාට උදව් කරන්න. I really want to help you" 
අනුක් කියද්දි මම උන්නේ බිම බලාගෙන. ඔහු එහෙම කිව්වට මට දැන් උදව් කරන්න පුලුවන් කාටද? උදව් කරන්නේ මොනාටද? තවත් මට රැකගන්න ආදරයක් තිබුණේ නැතිකොට. ඒත් මම අග අනුක්ට කියන්න උත්සාහ ගත්තේ නෑ. අන්තිමට දිග සුසුමක් හෙලපු අනුක් කාමරෙන් යන්න ගියාම, මම  කාමරේ තනි වුණා. තනිකමයි, වැලපෙන හිතකුයි, භූප ගැන මතක ගොඩකුයි එක්ක.