Monday, November 17, 2014

අනූ එක්වන කොටස

"දෝණි...දෝණි...නැගිටින්න ළමයෝ"
අම්මා උදේ ඇවිත් මාව කූද්දද්දි මට දැනුනේ විනාඩියක්වත් නින්ද ගියේ නෑ වගේ හැඟීමක්. ඒ මදිවට තාම හාත්පසම තිබ්බෙත් කලුවර වෙලා.
"ම්ම්...ඇයි අම්මා...මේ උදේ පාන්දර?" මම ඇහුවේ ඇස් වත් නෑරම.
"උදේ පාන්දර තමයි. අන්න අර භූප ළමයගෙන කෝල් එකක්"
අම්මා එහෙම කිව්වාම මගේ නිදිමත කොහේදෝ නැතුව ගියා.
"මොකක්? "කෝල් එකක්? මේ වෙලාවේ?"
මම දනි පනි ගාලා ඇඳෙන් නැගිට්ටේ බිත්තියේ ඔරලෝසුවේ වෙලාවත් බලන ගමන්.
"බලන්න හතරහමාරයි වෙලාව. මොකක්ද දරුවෝ මේකේ තේරුම?" අම්මා එහෙම ඇහුවම මම අම්මා දිහා බලාගෙන උන්නේ මොකවත් හිතාගන්න බැරිව.
"අනේ මංදන්නෑ අම්මා. මටත් හිතාගන්න බෑ"
"ඔය දෙන්න ඊයේ රණ්ඩු වුණාද?" ඊලඟට අම්මා ඇහුවා.
"රණ්ඩුවක් නම් වුණා තමයි ඒත් ඒක ලොකු දෙයක් නෙවෙයි" මම අම්මා දිහා නොබලා බොරුවක් කිව්වා.
"ලොකු දෙයක් නෙවෙයි නම් ඒ ළමය මේ උදේ පාන්දරම කෝල් කරාවියැ?"
"දන්නෑ අම්මා. මම ගිහින් බලන්නම්"
මම එහෙම කියාගෙන ඉක්මණට නයිටියට උඩින් T shirt එකක් දාගෙන සාලෙ දිහාට පය ඉක්මණ් කලේ අම්මා වෙන මොනවත් කියන්නත් කලින්. හාත්පසම තිබ්බේ රෑ වගේ අඳුරක්. මම සාලෙට ගිහින් රිසීවරේ අතට ගත්තේ හිතේ ආයෙම අර හිතුවක්කාරකම නැගීගෙන එද්දි.
"හෙලෝ" මම හෙමින් කිව්වා.
"දුලාරා..." භූපගේ හඬ ඇහෙද්දි හිත ආපහු විසිරෙනවා වගේ මට දැනුනා.
"ඇයි මේ උදේ පාන්දර?"
"මට ඊයේ නින්ද ගියේ නෑ" භූප කිව්වේ හෙමින්.
"ඉතිං?"
"මට සමාවෙන්න දුලාරා...මට ඔයාගේ හිත රිද්දන්න ඕන වුණේ නෑ. ඊයේ මම හිටියේ මනහ්සි වෙලා ගොඩක්, එද්දි හිටියේ නිදාගෙන. ෆෝන් එකේ සල්ලි තිබ්බෙත් නෑ. කතා කරන්න බැරි වුණේ එකයි. මට තරහා ගියේ ඔයා මම කියන එක තේරුම් නොගත්තු නිසා...මම දන්නවා මම හැසිරුණ විදිය වැරදියි..." භූප කියාගෙන යද්දි මම මැදින් පැන්නා.
"හැසිරුණ විදිය විතරද? එතකොට අර බෑග් එකේ තිබ්බ ඒවා?"
"දුලාරා..."
"ආ...මට අමතක වුණා. ඔයාගේ ජීවිතේනේ. ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන් කිව්වනේ"
"දුලාරා ප්ලීස්... මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕන නෑ ආයෙම"
"මොකටද කතා කලේ? තවත් මොනාද ඔයාට කියන්න තියෙන්නේ? තවත් මොනාද ඔයාට පෙන්නන්න තියෙන්නේ?"
" දුලාරා..."
" ඔයා වෙනස්වෙලා ඉවරයි. මට ඔයාව හදන්න බෑ භූප. ඉස්සර කැම්පස් යද්දි උන්නු භූපව ආයෙමත් ඔයා තුලින් මැවෙන්නෑ කියලා මම තේරුම් අරන් ඉන්නේ"
මම එහෙම කිව්වම භූප මුකුත් කිව්වේ නෑ. විනාඩියක් දෙකක් මුනිවත රැක්කා මිස.
"ඔයා ඉන්නේ කලකිරිලා. ඒක මට තේරෙනවා. ඒත් ඒක ඔයාගේ වරදක් නෙවෙයි. ඒක මගේම වරද..."
"ඔයාට දැනෙන්නේ මගේ කලකිරීම විතරමද භූප? ඔයාට දැනෙන්නේ නැද්ද මගේ ආදරේ? ඔයාට ඒක කවදාවත්ම දැනුනේ නැද්ද? ඇයි මාව මෙහෙම නොමරා මරන්නේ? ඔයා ඉස්සෙල්ලම මම බෑ කියද්දි චේතිය ලඟ මාව දාලා යන්න ගියා. ඊට පස්සේ මම දහ දුක් විඳගෙන ඔයාව හොයාගෙන ආපහු ආවට පස්සෙත් ඔයා කරන්නේ මාව ඈත් කරන්න හදන එක. එහෙම නෙවෙයිද? ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ? මම ඔයාට මෙච්චර ආදරේ නිසාද? ඔයා මොනා කලත් මම ඔයා එක්ක ඉන්න වග දන්න නිසාද?"
මම ඇහුවේ ආවේගෂීලීව. ඇස් වලින් ගින්දර වගේ උණුසුම් කඳුලු පිටපැන්නෙත් ඒ ආවේගෙට. හිතේ කැකෑරෙමින් තිබ්බ දුකට.
"මම ඔයා ඉස්සරහ ලොකුම ලොකු වැරදිකාරයෙක්..." භූප කිව්වේ පරාජිත විදියට.
"ඔයා වැරදිකාරයෙක් නෙවෙයි. වෙච්ච දෙවල් වලින් පාඩමක් ඉගෙන නොගන්න මමයි වැරදි" මම කිව්වේ නිර්දය විදියට.
"ඔයාට දොස් කියාගන්නේ ඇයි ඔහොම? වැරදි කලේ මම..."
"මම දොස් කියාගන්නේ මම කරගත්තු වැරදි වලට. ඔයාගේ වැරදි ගැන මම හිතන්නෑ. කවදාවත් හිතලත් නෑ. ඒත් ඔයා තේරුම් ගන්නවානම් තේරුම් ගන්න භූප ඔයා මේ තලන්නේ ඔයාට ආදරේ කරන හිත් කියලා. ඔයාට මාව එපා නම් ඒක කෙලින්ම කියන්න. මෙහෙම මැරි මැරී ඉන්නවට වඩා ඒක මට දරාගන්න පුලුවන් වෙයි"
මම අන්තිම වචන පෙල කිව්වේ බිඳුනු හඬින්.
" හැමවෙලේකම මොනා හරි ප්‍රශ්ණයක් වුණාම ඔහොම කියන්න එපා ප්ලීස්..."
භූප එහෙම කිව්වාම මට දුක හිතුණා ඔහු ගැන. ඒත් මම කොහොමද ඔහු ආයෙම බොන්න පටන් අරන් තිබ්බ එකට සමාවක් දෙන්නේ? හිත ආයෙම දැඩි කරගෙන මම අහක බලාගත්තේ ඒකයි.
ඔයා මට බැන්නට මට දුක නෑ භූප. මට දුක අර බෑග් එකේ තිබ්බ දේවල් ගැන. දැන් මට කියන්න එපා ඒවා ඔයාගේ නෙවෙයි කියලා. මාව අමතක කරන්න, හිතන්න ඔයාගේ ගෙදර අය ගැන. ඒ අයගේ ලොකුම බලාපොරොත්තුව ඔයා...ඒත් ඔයා ඒ කිසී දෙයක් දන්නෑ වගේ ඔහේ ඔයාට ඕන විදියට ජීවත් වෙන්න හදනවා.  ඔයාගේ ජීවිතේ වෙනුවෙන් අපි මෙච්චර මහන්සි වෙන කොට ඔයා ඒක සෙල්ලමකට අරගද්දි, අපි හරි අසරණ වෙනවා භූප. ඒක තේරුම් ගන්න. මං වෙනුවෙන් නෙවෙයි අර ගෙදර මිනිස්සු වෙනුවෙන්" මම කිව්වා.
"පොඩ්ඩක් ජීවිතේ ගැන වගකීමෙන් වැඩ කරන්න භූප...කවදා වෙනකල් ඔහොම ඉන්නද ඔයා හිතන්නේ. ඔයා බබෙක් නෙවෙයි නේ..."
"මම කතා කලේ ආයෙම ඔයා එක්ක රණ්ඩු වෙන්න නෙවෙයි දුලාරා..."
"ඔයා හිතන්නේ මට රණ්ඩු වෙන්න ඕන කියලද? මට එහෙම ඕන නෑ. මේ ප්‍රශ්ණ නිසා මම විඳවන තරම් ඔයා දන්නෑ භූප"
මම කිව්වම භූප සුසුමක් හෙලනවා මට ඇහුණා.
"ප්‍රශ්ණ ඇති වෙන්නෑ දුලාරා ඔයා මාව තේරුම් ගන්නවා නම්. තේරුම් ගන්නවා තියා ඔයා මම කියන එක පිලිගන්නෙත් නෑ"
"මොනා තේරුම් ගන්න කියලද ඔයා කියන්නේ? ඔයාගේ වැඩ ගැන මම තේරුම් අරන් නැද්ද? ඔයාට හැමදාම එන්න යන්න බෑ කියන එක මම තේරුම් අරන් නැද්ද? හැබැයි ඔව් මට තේරුම් ගන්න බෑ අර බෑග් එකේ තිබ්බ දේවල් කොහොමද එතනට ආවේ කියලා නම්" මම කිව්වේ ආවේගෙන්.
"ඔව්. මම පිලිගන්නවා. මම බිව්වා තමයි. ඉතිං ඒකට මොකද? බිව්වා කියන පමණින් මනුස්සයෙක් නරක් වෙන්නේ කොහොමද? මම බේබද්දෙක් නෙවෙයි දුලාරා. මම එහෙම ඉස්සර වගේ බොන්නේ නෑ. ඒත් වැඩ අස්සේ, මහන්සි වෙද්දි සමහර වෙලාවට මට බොන්න ඕන වෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. ඒත් ඔයා හිතන විදියට බිව්වා කියලා මම සහමුලින් වෙනස් වෙන්නේ නෑ. මම පරාස්සයෙක් වෙන්නේ නෑ...දේවල් ඔය තරම් බොලඳ විදියටම දකින්න එපා" භූප කියද්දි මගේ හිත හොඳටම රිදුණා.
"මම බොලඳයි තමයි භූප...මට දුක ඔයාට ඒක තේරුම් ගන්න මෙච්චර කල් ගියපු එක"
"දුලාරා...ඔයා හදන්නේ ආයෙම මා එක්ක පැටලෙන්න"
"මට කා එක්කවත් පැටලෙන්න ඕන නෑ. මට ඔයා බිව්වත් එකයි, නැතත් එකයි. මම හිතුවේ ඒ ගැන නෙවෙයි. ඒකෙන් ඔයාගේ අසනීපෙට බලපෑමක් වෙයිද කියන එක ගැන"
"බිව්වත්, නොබිව්වත් අපි කවදක හරි මැරෙනවා දුලාරා. මම බීලා බීලා මැරෙන්න කලින්, නොබොන අය ඕන තරම් මැරෙයි. ජීවිතේ හැටි එහෙම තමයි. ඒක ගැන මට ආයෙම තේරුම් ගන්න දෙයක් නෑ" භූප කිව්වා.
"කොහොමහරි ඉතිං ඔයා ඔය කියන්න හදන්නේ ඔයා බොන එක නවත්තන්නේ නෑ කියලනේ?" මම ඇහුවා.
"දුලාරා මම බේබද්දෙක් වගේ බොන්නේ නෑ. ඒක ඇයි තේරුම් නොගන්නේ?"
"මට තේරෙන්නේ නෑ. තේරුම් ගන්න ඕනත් නෑ"
"ඔයාට ඕන මා එක්ක තරහා වෙලා ඉන්නද?" ඊලඟට භූප ඇහුවා.
"යාලුවෙලා හිටියා කියලත් වැඩි වෙනසක් නෑනෙ" මම කිව්වා නෙවෙයි මට කියවුණා.
"මම දන්නෑ ඔයාට මොනා වෙලාද කියලා. ඔයා ඕන දෙයක් කරගන්න" භූප අන්තිමට කිව්වේ එහෙම.
මගේ හිත ආයෙම ලොකු දුකකින් බර වුණා.
"ඇයි භූප ඔයා මට මෙහෙම කරන්නේ? මෙච්චර දුක් විඳින්නද ආයෙම අපි එකතු වුණේ? මෙයිට හොඳයි අපි යාලු නොවීම හිටියා නම්"  මම කිව්වේ ඇස් වල කඳුලු පිරෙද්දි.
"එතකොට දැන් ඔයාට හිතෙන්නේ එහෙමද?" භූප ඇහුවේ හෙමින්.
"ඔයා මගේ භූප නෙවෙයි" මම කිව්වා.
"දුලාරා...මොනාද මේ කියන්නේ?"
"ඔයා මගේ භූප නෙවෙයි"
"තියෙන ප්‍රශ්ණ මදිවට ඔයත් මෙහෙම ප්‍රශ්ණ ඇති කරන්න හදන්න එපා"
"ඔයාට මාව ප්‍රශ්ණයක් නම් ආයෙ අපි කතා නොකර ඉමු. එතකොට ඉවරනේ" මම කිව්වේ ඇස් වල කඳුලු පිරෙද්දි.
භූප ආයෙම සුසුමක් හෙලුවා.
"මං තියනවා" මම ආයෙම කිව්වා.
"ඔයා ඕන දෙයක් කරන්න. ඔයාට ඕන කියලා හිතුණොත් ආයෙම මට කතා කරන්න. මම ආයෙ කතා කරන්නේ නෑ. ඔයාට මාව තේරුම් ගන්න බැරි තාක් කල් කතා කරලා වැඩක් නෑ" භූප එහෙම කිව්වා.
"ඒකත් එහෙමද? එතකොට ආයෙම කතා නොකරම්ම හිටියත් කමක් නැතුව ඇති මහිතේ" මම කිව්වා.
"ඔයාට ඕන ඒක නම් ඔයා එහෙම කරන්න. කවදක හරි ඔය තරහා නිවුණ දවසක කතා කරන්න. එතකොට වුණත් ඔයා හැරිලා බැලුවොත් පෙනෙයි ඔයාගේ පස්සෙන් මම ඉන්න වග. ඔයා ඒක තේරුම් ගත්තු දවසක මට කතා කරන්න" භූප අන්තිමට කිව්වේ එහෙම.
මම මොනවත් නොකියම ෆෝන් එක කට් කරලා කාමරේට දිව්වේ  ඇස් වලින් කඳුලු බේරෙද්දි.
"ඇඟෑලුම්කම වැඩි වුණාමත් ප්‍රශ්ණ ඇති වෙනවා දෝණි"
උදේ කැම කලා අහවර කන්තෝරුවට යන්න කලින් උදේ වුණ කතාබහ ගැන මගෙන් අහපු තාත්තා කිව්වේ එහෙම.
"සමහර වෙලාවට අපි ගොඩක් තරහා ගන්නේ, අපි ගොඩක්ම ආදරේ කරන අය එක්ක. ආදරේ වැඩි වුණාම කරන දේවල් දරාගන්නත් අමාරුයි නේ. ඒ කොහොම වුණත්, ඔයා හිතුවක්කාරෙට ඉන්න එපා. ඕනම පිරිමියෙක් ගෑණු කෙනෙක්ගෙන් මුදු බව, ඉවසන සුලු බව, තේරුම් ගැනීම බලාපොරොත්තු වෙනවා. හිතුවක්කාර කෙල්ලන්නට කොල්ලෝ ආස වෙන්නේ නෑ. මගේ දෝණි හොඳ ළමයෙක් නෙව. ඒ නිසා ඉවසලා කටයුතු කරන්න පුරුදු වෙන්න. දැන් ඔය තරහා නිවුණම ආයෙම කතා කරලා බලන්න. තේරුණාද?"

තාත්තා කිව්වේ මගේ හිස අතගාලා. මම ඒත් හිස වැනුවා විතරයි. භූප හන්දා මගේ හිත පෑරිලා තිබ්බ තරම් තාත්තා දන්නේ නෑනෙ.