Friday, September 27, 2013

අවසරයි ලං වෙන්න: දහ නවවන කොටස



"ඔය ඇහෙන්නේ වීණා නාදේ"
අපි කේතකීලගේ ගේ ලඟ යද්දි ඇහුණ වයලීන් නාදෙට කන් දෙන ගමන් කේතකී කිව්වේ මද හිනාවකුත් එක්ක.
ඒත් නාදේ මගේ හිත විනිවිද යනවා වගෙයි මට දැනුනේ. වාදනය මොකක්ද කියලා මම දැනගෙන උන්නේ නැතත්, එක හරියට හිතක තියෙන ආදරේ, සෙනෙහස භාවාත්මක ගීතයකට නගපු රාවයක් වගෙයි මට දැනුනේ. මට එහෙම දැනුනේ සමහරවිට මගේ හිතේ භූප ගැන තිබුණ ආදරේ නිසා වෙන්න ඇති.
අපි මිදුලට යද්දි මම දැක්කා භූප ඉස්තෝප්පුවේ කොනක බිම වාඩි වෙලා දැහැනකට සම වැදිලා වගේ වයලීන් එක වාදනය කරමින් ඉන්න හැටි. ඔහුව දැකපු ගමන් මගේ හිත ඉපිලුණා. ඒත් අපට පිටුපාලා උන්නු හන්දා භූප තවමත් අපි ආපු වග දැක්කේ නෑ. ඉස්තෝප්පුවේ නවතින්න මට ඕන වුණත්, එහෙම කරන්න බැරි හන්දා මම කේතකී එක්කම ගේ ඇතුලට ආවේ භූප තවමත් ඇස් පියාගෙන වයලීනය වාදනය කරමින් ඉද්දිමයි.
"...යාලුවෝ දෙන්නා ආවද? කෝ ළමයෝ තාත්තා එහෙමම ගියාද?" අපි ගෙට යද්දි ගෙදර අතු ගාමින් උන්නු කේතකීලගේ අම්මා ඇහුවා.
"ඔව් අම්මේ. එහෙමම යනවා කිව්වා...අයියෝ මේ අඳෝනාව.." කේතකී හිටි ගමන් එහෙම කිව්වේ එක පාරටම උස් වයලීන් හඬක් එලියෙන් ඇහුණ හන්දා.
"අනේ මන්දා නැගිට්ට වෙලේ ඉඳන් ඔය වැඩේ තමා. මේ පේන්නෑ, තේ එක තාම මේසේ උඩ. අනේ මන්දා මේ ළමයා නම්" කේතකීගේ අම්මත්, හඬට ඇහුම්කන්  දෙන ගමන් අපට කිව්වේ මේසේ උඩ තිබුණ තේ කෝප්පෙකුත් පෙන්නලා. මම හිනා වුණා විතරයි.
"අම්මේ අපි කජු ඇහිඳින්න යනවා ඕවිටට" කේතකී මේ අතරේ කිව්වා.
"ම්ම්...මම හිතුවා දෙන්නගේ චාරිත්‍රේ අමතක වෙලා කියලා" කේතකීගේ අම්මා කිව්වේ හිනා වෙලා.
'අපේ කජු ඇහිඳිල්ල මේ තරම් චිරප්‍රසිද්ධ වග මම දැනගෙන හිට්යේ නෑනෙ'.
"මේ මම මල්ලක් හොයාගෙන එන්නම් එහෙනම්. ඔයා පොඩ්ඩක් ඉන්න්කෝ" එහෙම කියලා කේතකී කුස්සිය පැත්තට ගියා. කේතකීලගේ අම්මා ආපහු අතු ගන්න පටන් ගත්තා.
"අම්මේ...මම..." මේ වෙලාවෙම වගේ එහෙම කියාගෙන ගේ ඇතුලට ආවේ භූප.
ඔහු මාව දැකලා ගැස්සිලා වගේ නැවතුණා කතාවත් එක්කම. එක්කම මගේ හිතත් මොහොතකට නැවතුණා වගේ, මොකද ඇස් මගේ ඇස් ලග නැවතුණ හන්දා.
"මොකක්ද?" මේ කිසි දෙයක් නොදැකපු කේතකීගේ අම්මා අතු ගාන එක නවත්තලා භූප දිහා බැලුවා.
"ඔයා කොයි වෙලේද ආවේ?" අම්මගේ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී භූප අහුවේ මා දිහා බලලා.
"දැන් දැන් ආවේ" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"මම දැක්කේ නෑනෙ"
"දකීනේ කොහෙද, මේ ලොකේ වගක් නැතුව වයලීන් ගගහ ඉද්දි. මේ පේන්නෑ..තේ එක මෙතන කූඹි වහනවා" භූපගේ අම්මා එහෙම පොඩි දෝස්මුරයක් දැම්මා.
"එහෙම තමයි අම්මේ ප්‍රැක්ටිස් කරද්දි"
භූප අම්මට කියද්දි මට පොඩි හිනාවක් ගියේ ඉබේටම. මේ අතරේ කුස්සියට ගිය කේතකී මලු දෙක තුනකුත් අරන් සාලෙට ආවා.
"...මේ කොහේ යන්නද සිලි  මලු හෙම අරගෙන?" භූප පාර කේතකීගෙන් ඇහුවා.
"කජු අහුලන්න. එනවද?"
"කජු? ....මේක මේ දෙන්නගේ චාරිත්‍රේ නේද? මට අමතකත් වුණා. කොහාටද යන්නේ?" භූප ඇහුවේ මා දිහාටත් පොඩි හිනාවක් පාලා.
"කොහෙවත් යන්නේ මොකටද අපේ ඕවිට තියෙද්දි. ඔයා එනවද කියන්නකෝ" කතකී කිව්වා.
"...අනේ මේ මම අද උදේට පොදි වැඩක් දාගෙන තිබුණේ. ගම්පහ යාලුවෙක් එනවා බොන්ගෝ එකක් බලන්න යන්න. මම මේ යන්න කියලයි ලෑස්ති වෙන්න හැදුවේ" භූප එහෙම කිව්වාම මගේ හිත හුලං ගිය බැලුම් බෝලයක් වගේ ඇකිලුණා. භූප මා දිහා බලද්දි මට බිම බැලුණේ ඒකයි.
"ඕන දීපංකරේක ගියාට කමක් නෑ, දවල්ට කෑමට එනවද නැද්ද කියලා යන එකයි ඇත්තේ. නැත්තම් මට මෙහේ උය උය අහක දාන බෑ ඔය තරම්"කේතකීගේ අම්මා එහෙම කිව්වේ ආපහු මේසේ ඇතුල අතු ගාන ගමන්.
"අම්මට මේ මක් වෙලාද?"
"මක් වෙලාවත් නෙවෙයි, මේ කුඹුරු වැඩ එනවා, ගෙයි අටුව අස් කරන්න තියෙනවා. අස්සේ තාත්තත් නෑ. මගේ ඔලුව තමා අවුල් වෙන්නේ" කේතකීලගේ අම්මා කිව්වා.
"අනේ සුදු අම්මා කලබල වෙන්න එපා, හිත නරක් කර ගන්න එපා. මම ඇවිත් ඔය වැඩ ටික බලන්නම්කෝ. හැබැයිමං එද්දි නම් හවස් වෙයි අම්මා"
භූප එහෙම කිව්වාම මට ඔහු දිහා බැලුණා.'මම ආවා විතරයි, ඔහු යන්න හදනවා' ගැන හිතේ ඇති වෙමින් තිබුණේ දුකක්. භූප මා දිහා බලලා අහක බලා ගත්තා. කට්ටිය ඉන්න නිස මොකවත් කියන්නත් බැරුව වෙන්න ඇති.
"මං ඉක්මණට එන්න බලන්නම්" ඔහු ඒක අම්මට වඩා කිව්වේ මට වග මම දැනගෙන හිටියා.
කේතකීලගේ අම්මා මුකුත්ම නොකියා, භූප දිහාට පොඩි බැල්මක් විතරක් හෙලලා කුස්සියට වැදුනා අතු ගාගෙනම.
"අනේ නංගි, මේ තේ එක රත් කරලා දෙන්නකෝ" භූප හදිසියේම වගේ කේතකීට එහෙම කිව්වා.
"අනේ දැන්? අපි මේ යන්න හැදුවා විතරයි. ඔයා අම්මට දෙන්නකෝ" කේතකී කිව්වා.
"මොනාද හලෝ... සතියකින් ගෙදර ආවම අයියට සලකන්නේ ඔහොමද?"
"ඔයාගෙන් මහ වදේ අයියා...ඉන්න මම එන්නම් දුලා" කේතකී අන්තිමේදි එහෙම කියාගෙන මේසේ උඩ තිබුණ තේ කෝප්පේ අරගෙන කුස්සියට ගියේ අපි දෙන්නව මොහොතකට සාලේ තනි කරලා.
ඒත් මම භූප දිහා බැළුවේ නෑ.
"දුලාරා..." භූප මට හෙමින් කතා කලා.
"ම්ම්"
"මං ඉක්මණට එන්න බලන්නම්...මේ අර Faculty Day එකේම වැඩකට යන්නේ" භූප කිව්වා.
මම හිස වැනුවා විතරයි.
"මේ බලන්න..." ඔහු කිව්වේ දයාබරව.
ඒත් මම බැලුවේ නෑ. නොකිව්වත් හිතේ පොඩි අමනාපයක් වගේ එකක් තිබ්බ හන්දා.
"ඔය ඉතිං මා එක්ක තරහා වෙලාද?" ඔහු ඇහුවාම මම ඔහු දිහා බැලුවා.
නිදිබර ඇස් දහස් වෙනි වතාවටත් මගේ හිත සසල කරන්න ඇති.
"නෑ" මම කිව්වා.
"මං නොයා ඉන්නද එහෙනම්?" භූප ඇහුවා.
"එපා එපා...ඔයා යන්න. අපි හෙට හම්බවෙනවනේ" මම කිව්වේ මුලු හිතින්ම නොවුණත්, ඔහුව නතර කර ගන්න මට හිතුණේ නෑ.
"තෑන්ක්ස් දුලාරා...මාව තේරුම් ගන්නවට"
"තෑන්ක් කරන්න ඕන නෑ" මම කිව්වා.
"මං එනකල් ඉන්නවා නේද?" භූප ඇහුවා ආයෙම.
"බලමු"
"කමක් නෑ...මෙහෙම හරි ඔයාව දැක්කනේ. ඒත් ඇති" භූප කිව්වේ හෙමින්මයි.
භූප එහෙම කිව්වාම මට ඔහු දිහා බැලුණේ 'ඇත්තටම ඇතිද?' කියලා හිත මගෙන් අහද්දි. භූප පාර මා ලඟට තව ටිකක් ලං වුණා. මාව ගැහෙන්න ගත්තා කේතකීවත් ඒවිදෝ කියලා.
"ඔයා නොදැක එක දවසක් වත් ඉන්න මට බෑ දුලාරා...ඔයා ඒක දන්නවා නේද?"
භූප අහද්දිම වගෙයි අපට ඇහුණේ කුස්සිය දිහාවෙන් කේතකී එන හඬ. අපි දෙන්න දෙපැත්තට වුණේ තප්පරෙන් දහයෙන් එකක්වත් යන්න කලින් වගේ.
"මෙන්න තේ...ඕං අපි ගියා" තේ එක මේසේ උඩ තියන ගමන්ම මගේ අතකින් අල්ලගත්තු කේතකී, සාලේ දොර ලඟට මාව ඇදගෙන ගියේ එහෙම කියාගෙන. මම භූප දිහා බලලා හිනාවක් පෑවා. ඔහු අපි දිහා බලාගෙන උන්නේ සෙනෙහසකින් වගේ. 'මගේ භූප...මගේම දයාබර භූප...ඔයාට මම කොච්චර නම් ආදරේද?'

කේතකීලගේ ඕවිටේ කජු ගහ යට පිදුරු දාලා තිබුණ හන්දා අපි දෙන්නට පිදුරු අවුස්ස අවුස්ස තමා කජු ඇහිඳින්න වුණේ. අතරෙම ගස්වල තැන තැන කහ රතු පාට වලින් දිලිසි දිලිසි තිබුණ පුහුලන් වලට වග කියන්නත් අපි දෙන්න අමතක කලේ නැහැ. අන්තිමේදි පැය දෙකකට විතර පස්සේ අපි යන්තම් කජු ඇට මලු දෙකකුයි, තව පුහුලන් මල්ලකුයි එකතු කරගෙන ඉවර වුණා.
කේතකීලගේ ඔවිට පිටිපස්සෙන් තමයි කුඹුරට වතුර හරවලා තිබුණ ඇල ආයෙම ලොකු ඇලට එකතු වෙන්න ගලාගෙන යන්න හදලා තිබුණේ. ඉතිං අපි දෙන්න පුරුදු පරිදි මහන්සිය නිවෙන්න ඇලට කකුල් දාගෙන, කුඹුරෙන් එන හුලඟ විඳිමින් ඔහේ වාඩි වෙලා හිටිය ඇල බැම්ම උඩ. වෙලාවේ හිතේ තිබුණේ හරීම සැනසීමක්.
"මෙහෙම ඉන්නකොට මට අපේ පොඩි කාලේ මතක් වෙනවා කේතකී...අපි දෙන්න කොච්චර නම් කාලයක් මේ විදියට කජු ඇහිඳ ඇහිඳ, වෙලේ දුව පැන පැන ඉන්න ඇත්ද?" මම කිව්වේ අතීතයේ සුන්දර දවස් මතක්කර ගන්න ගමන්.
කේතකී මා දිහා බලලා හිණා වුණා.
"හ්ම්...ඒක ඇත්ත. මෙහෙම ඉද්දි හිතෙනවා අපි මේ තරම් ලොකු වුණාද කියලත්"
"එන්න එන්නම අපට මේ දේවල් එක්ක ඉන්න තියෙන කාලේ අඩු වෙනවා. තව අවුරුද්දකින් දෙකකින්, අපට රස්සාවකට යන්න වෙයි. දැන් අපේ ලොකු අයියා පේන්නේ නැද්ද...."
"ඔව්. ඊලඟට දුලා කසාද බඳී...ඊට පස්සේ මෙහෙන් යන්න යයි...මමත් යන්න යයි. එතකොට කවදාවත් ආයෙ කිසි දෙයක් පරණ විදිය වෙන්නේ නෑ"
එහෙම කියද්දි නම් මට පොඩි දුකකුත් දැනුනා. ඇත්තටම ලොකු වෙන්න වෙන්න ජීවිතේ මොන තරම් බැරෑරුම් වෙනවද කියලා මට හිතුණා. පොඩි කාලේ එකට වෙලේ, ගමේ ඔවිටවල්වල දුව පැන ඇවිදපු මමයි භූපයි අද පෙම්වතුන් වෙලා, එකට හිටපු මායි කේතකීයි අද වෙන් වෙලා. මම කැම්පස් එකේ එයා තාම ගමේ. ඊට පසේ අපේ අයියලා...එයාලා වෙනම ලෝකෙක. අනේ මන්දා...හැමදේම ගොඩක් සංකීර්ණ වෙල නේද කියලයි මට අන්තිමට හිතුණේ.
"දුලා..." මම කල්පනා කරමින් ඉන්න අතරේ කේතකී මට කතා කලා.
"ම්ම්?"
"තාම කැම්පස් එකේ කොල්ලෙක් හෙම යාලු වෙන්න ඇහුවේ වත් නැද්ද?" කේතකී එක පාරටම එහෙම ඇහුවාම මම ඇස් ලොකු කර ගත්තා.
"... මොකද එහෙම අහන්නේ?"
"නෑ..ඉතිං...ඔයා ගමෙන් යන එක ගැන හිතුවාම මට අහන්න හිතුණා. යන්නේ කොහාටද කියලා දැන ගන්න" කේතකී කිව්වේ හිනා වෙවී.
"සමහරවිට මම ගමෙන් ගියේ නැත්තම්?" මම ඇහුවේ කේතකී දිහා යන්තමින් බලන ගමන්.
"මොකක්ද කතාවේ තේරුම? නොබැඳ ඉන්නද කල්පනාව?" කේතකී ඇහුවා.
"ඇයි බැඳලා ගමේම ඉන්න බැරිද?" මම ඇහුවේ හිනාව තද කරගෙන.
"? කියන්නේ....ගමේම කෙනෙක්...ගමේම කවුරුහරි? අනේ...නිකං ඉන්න දුලා. මේ ගමේ ඉන්නවද එහෙම කෙනෙක්?" කේතකී කිව්වාම මට හිනා ගියා.
කේතකී නොදන්නවට මට ඕන කෙනා ඉන්නේ මේ ගමේ ඇර වෙන කොහේවත් නෙවෙයි නේ.
"ම්ම්....හැබැයි එක්කෙනෙක් නම් ඉන්නවා" මොහොතක් කල්පනා කරපු කේතකී එහෙම කිව්වා.
"කවුද?"
"අපේ අයියා!"
කේතකී එහෙම කිව්වාම නම් මට බකස් ගලා හිනා ගියා. ඇත්තටම කියපු දේ ඇත්ත නැත්ත කේතකී දනන්වා නම්..
"මොකෝ හිනා වෙන්නේ?" කේතකී ඇහුවා.
"නෑ..නෑ...නිකං"
පාර කේතකී තමන්ගේ විකට ස්වරූපේ අතෑරලා, මා දිහා බැලුවේ සීරියස් මූණක් හදාගෙන.
"ඇයි?" මමත් හිනාව නවත්තලා ඇහුවා.
"විහිලුවට නෙවෙයි දුලා...ඇත්තටම වෙලාවකට මට හිතෙනවා, ඔයා මගේ නෑනා වෙනවා නම් කියලා..."
"මම?" මම එහෙම ඇහුවේ හද ගැස්ම වැඩි වීගෙන එද්දි.
"හ්ම්...ඔයා අපි ගැන දන්නවා. අපි ඔයා ගැන දන්නවා. අනික අපේ අයියා වගේ පිස්සු විකාරයක් බලාගන්න ඔයාට පුලුවන් වෙයි කාටත් වඩා"
කේතකී එහෙම කියද්දි මට අදහා ගන්න බැරි වුණා.මම හිතුවේ නෑ කවදාවත් කේතකී මම ගැන එහෙම හිතාවි කියලා. හින්දමදෝ හිතේ තිබුණ ගැස්ම අඩු වීගෙන යමිනුයි තිබුණේ. කේතකීගේ මේ දයාබරත්වය හන්දම ඇත්තම ඈට කියන්න මට නොහිතුණා නෙවෙයි. ඒත් භූපගෙන් නාහා මට එක කරන්න බෑනෙ.
"හරි ෂෝක්...අයියගේ කපුවා මෙයානෙ" මම ඒකයි විහිලුවට එහෙම කිව්වේ.
"හා...එහෙනම් එපා කියයි, වගේ සත් ගුනවත්, හැදිච්ච, උගත් කොල්ලෙක්" කේතකී කිව්වා.
"නෑ, මංමේ කිව්වේ මහත්තයා නම් හොඳ වෙයි, ඒත් නෑනා තමා අප්සට් වෙන්නේ.." මම එහෙම කිව්වාම කේතකී මාව තල්ලු කලා මවාගත්තු තරහකින්.
"අනේ යනවා යන්න...අපි වගේ නෑනලා හම්බවෙන්න පින් කරන්න ඕන" කේතකී කිව්වා.
මම ඒකට හිණා වුණා විතරයි, මුකුත්ම නොකියා. මොකද මම පින් කරලා තියෙන වග ඈට කියන්න තාමත් මට බැරි හන්දා.

අපි කජු මලුත් අරගෙන, ඕවිටේ තිබුණ මෑ කරල් වගයකුයි, එල බටු ටිකකුයිත් කඩාගෙන ආපහු කේතකීලගේ ගෙදරට එද්දි දවල් කන වෙලාවත් ලං වෙලා. ඒත් තාමත් භූප ගෙදර ඇවිත් උන්නේ නෑ.
"යසයි ගෑණු ළමයි දෙන්න එන වෙලාව...කෝ කජු ඇහිලුවද?"
අපි යද්දි සාලෙට වෙලා පත්තරයක් කියවමින් උන්නු කේතකීලගේ අම්ම ඇහුවේ අපි දෙන්න දිහා දාගෙන උන්නු කණ්ණාඩිය යටින් බලලා.
"ඔව් අම්මේ. සෑහෙන්න තිබුණා මේ පාර" කේතකී කිව්වේ කජු මලු පෙන්නන ගමන්.
"හ්ම්......මේ එලවලුත් කඩාගෙන ඇවිත් තියෙන්නේ. මෑ ටික හැදිලා ආයෙම නේද?"
"හ්ම්.."
"එහෙනම් දෙන්න එක්ක මූණ කට සෝදගෙන එන්න. කෑම මේසෙට ඇරලා තියෙන්නේ"
"අයියා තාම නෑ නේද අම්මා"
"අනේ මන්දා එයා එන වෙලාවක්. ඔය ගියාට ආපහු ගොම්මන් කලුවර වැටෙනකල් එන එකක්  නෑ. වයලීන් එකත් අරගෙනම නේ ගියේ. මෙලහකට කොහේ හරි පුරුදු වෙනවා ඇති සංගීතේ"
කේතකීගේ අම්මා එහෙම කිව්වාම හිතේ ඇති වුණේ පොඩි සංතාපයක්. එහෙනම් භූප දැන්ම එන එකක් නෑ.
ඔරලෝසුවේ හවස තුන වදින වෙලාව එනකලුත් මම හිටියේ කේතකීලගේ ගෙදර. ඒත් අම්මා කිව්වා වගේම භූප තවමත් ඇවිත් තිබුණේ නෑ. මායි කේතකීයි, කජු පුච්ච පුච්ච, පුහුලන් කකා, වල් පල් කියව කියව උන්නත්, භූප නැති අඩුව හැම තප්පරේකම මට දැනෙමින් තිබුණා. ඔය අතරේ තමයි කොහේදෝ ගියපු අපේ පොඩි අයියයි, චේතියයිත් කේතකීලගේ ගෙදරට ආවේ.
"හම්මෝ...කජු දුම! අන්න අරහේ මදුරුවෝ සේරම ගම අතෑරලා යනවා...කජු පුච්චනවද නැත්තම් දුම් ගහනවද ඔය දෙන්න ?"ගෙයි පිලිකන්න පැත්තෙන් මතු වුණ පොඩි අයියා අපි ලඟට ආවේ එහෙම අහගෙන.
අපි දුම අස්සෙන් ඇස් පුංචි කරගෙන දෙන්න දිහා බැලුවා.
"කෝ භූප නැද්ද?" අයියා ඇහුවේ අපි ලඟින් බාගෙට වාඩි වෙන ගමන්.
"නෑ අයියා. යාලුවෙන් හම්බවෙන්න ගිහින්, ගම්පහ"
කේතකී අඟුරු වලට පවන් ගහන් අගමන් කිව්වා.
"මේ හලෝ..අන්න අරහේ අම්මා දුම්මල වරම අරන් ඉන්නවා ඔයා එනකල්. මෙච්චර හවස් වෙනකල් මොනා කරනවද කියලා..." අයියා ඊට පස්සේ මට කිව්වා.
මම උන්නු තැනින් නැගිට්ටේ දුම් ගහන හන්දා.
"හරි වැඩක්නේ. මම වෙනදටත් ඉන්නේ හවස් වෙනකල්ම"
"අම්මා වැදගත් පණිවිඩයක් කියන්න ඉන්නේ බලාගෙන" අයියා කීවේ ලඟ තිබුණ බෙලෙක් පිඟානෙන් කජු මද කීපයක් අරන් චේතියටත් දෙන ගමන්.
"අනේ...පුච්චනකල් ඉන්නකෝ අයියා. සේරම කනවා. මොකක්ද අම්මා කියන්න ඉන්නේ?" මම අයියාට හෙමිහිට උරහිසට පාරක් අනින ගමන් කිව්වා.
"මම දන්නෑ. ගියාම අහගන්න"
"අනේ...කියන්නකෝ"
"මම දන්නෑ හලෝ"
පාර මම චේතිය දිහා බැලුවේ ඔහු දන්නවද අහන්න.
"මම නම් මොනවත් දන්නෑ"චේතිය කිව්වෙත් උරහිස් හකුලුවලා.
මම දෙන්නටම රවලා ආයෙම, කජු පුච්චන්න වාඩි වුණා.
අන්තිමේදි අපි කේතකීලගේ ගෙදරින් එන්න පිටත් වුනේ තේත් බීලා හවසට. කේතකීලගේ අම්මා දිව් ලෝකේ රහ කජු අලුවා වගයක් හදලා තිබුණ හන්දා, තේ නොබී එන්න අපට හිත දුන්නේ නෑ. ඒත් වෙද්දිවත් භූප ආවේ නෑ. නිසාම හිතේ තිබුණේ දුකක් එක්කම පාලුවක්.
"ගිහිං එන්නම් කේතකී..ලබන සතියේ කුඹුරු වැඩ කරද්දි ආයෙ හම්බවෙනවනේ. අපට සතියේ ඉඳ අවුරුදු ඉවර වෙනකල් නිවාඩු...එතකොට තව පිස්සු නටන්න ගොඩක් කල් තියෙනවා" මම සමු ගෙන එද්දි කේතකීට කිව්වා.
"හරි හරි"කේතකී අත වැනුවේ හිනාවකුත් එක්ක.

අපි ගෙදරට යද්දි අම්මයි, තත්තයි දෙන්නම උන්නේ ඉස්තෝප්පුවේ වාඩි වෙලා බර කතාවක. පුදුමෙකට වගේ අපේ ලොකු අයියත් එතන උන්නා. අපි ගෙට ගොඩ වෙද්දි තාත්තා මට ලොකු හිනාවක් පෑවා.
"කෙල්ල කජු ඇහින්දද?"
"හ්ම්...ගොඩක්. මේ පාර එහේ කජු ගොඩයි තාත්තා" මම කිව්වේ තාත්තා ඉඳගෙන උන්නු පුටු ඇන්දේ වාඩි වෙන ගමන්.
අම්මා නම් මං දිහා උඩ ඉඳලා පහලට බැලුවේ හිනාවක් නැතුවමයි.
"දැන් පොඩි එකා වගේ වෙල් වල දුව දුව ඉඳලා හරියන්නේ නෑ" අම්මා ඊට පස්සේ එහෙම කිව්වා.
"ඇයි?"
මම ඇහුවේ හැමෝම දිහා බලන ගමන්. මොකද හැමෝගෙම මූණු වල මොකක්දෝ රහසක් තිබ්බා වගේ මට දැනුන හන්දා.
"මොකද දන්නවද? දැන් මගේ දෝණි නැන්දා කෙනෙක් වෙන්න යන හන්දා" තාත්තා එහෙම කිව්වාම, මට උන්නු තැනින් නැගිට්ටුණේ හිතේ එක පාරටම ඇති වුණ පුදුමයත්, සතුටත් නිසා. මම කෙලින්ම බැලුවේ ලොකු අයියා දිහා.
"ඇත්තමද?"
ලොකු අයියා හිස වැනුවේ හිනා වෙවී. ඔහුගේ ඇස් තිබුණේ දිලිසෙමින්.
"අනේ හරි ෂෝක් නේ. කෝ සෙනුරි අක්කා?"
මම ගෙට දුවන්න ලෑස්ති වෙලා ඇහුවා.
"හා..හා...දැන් ළමයට වද දෙන්න යන්න එපා. ඇඟට පණ නෑ කියලා අන්න නිදි. පස්සේ නැගිට්ටාම ඕන දෙයක් සමරගන්නකෝ" අම්මා කිවා.
මම කීකරු වෙලා ආපහු පුටුවකට බර වුණා. 'මම නැන්දා කෙනෙක්'
ජීවිතේට සතුට එනකොට එන්නේ පොදි බැඳගෙන. සමහරවිට පිටිපස්ස්නෙන් දුකකුත් ඈඳිලා එනවා ඇති වුණත්, මේ මොහොතේ මම උන්නේ සතුටින්. වෙලාවේ මට දැනුනේ ලොකේ පුදුමකාර සුබදායි තැනක් කියලා විතරමයි.