Tuesday, November 22, 2016

විහංඟනාවී : පනස් පස්වන කොටස

"ආ..මෙන්න මෙයා ඇවිල්ලා. මොකද අප්පේ දැන් සති අන්තෙත් ඉඳලා සඳුදම එනවා කියලා නේද ගියේ?"
රවීන්ට කලින් ඔෆිස් එක ඇතුලට ආපු අයුමි තිගැස්සුනා ඒ හඬට. ඈ අසලට හිනාවෙවී එමින් උන්නේ ප්‍රියන්ති. අයුමි හිනාවක් නගාගත්තේ අපහසුවෙන්.
"ඔව් අනේ. එන්න වුණා" ඈ කිව්වේ එච්චරයි.
"ඒ මොකෝ, බොසාට පාලුයි කියලා එන්න කිව්වද" ප්‍රියන්ති ඇහුවේ හිනාවෙවීමයි.
"ඔයාට නම් පිස්සු ප්‍රියා"
"පිස්සු නෙවෙයි. එදා ඔයා ගියාට පස්සේ බොසුත් කඟවේනා වගේ කඩාගෙන ඔෆිස් එකෙන් යන්න ගියා. අපි නම් හිතුවේ ඔයා..." ප්‍රියන්ති කිය කිය හිටපු දේ එහෙමම ඈ ගිල ගත්තේ අයුමිට පිටිපස්සෙන් ආපු කෙනෙක් දිහාට ඇහැ ගියාම. අයුමි දැනගත්තා ඒ රවීන් කියලා.
"ගුඩ් මෝනිං සර්..." ඒ පාර ප්‍රියන්ති ගරු සරු බවකින් කිව්වේ රවීන්ට යන්න ඉඩ දෙන ගමන්.
"ගුඩ් මෝනිං. ගුඩ් මෝනිං. මොකද මේ අවුරුදු ගානකින් හම්බවෙලා වගේ දෙන්න කිචි කිචි ගාන්නේ?" රවීන් එහෙම අහගෙනම උඩට යද්දි ප්‍රියන්ති උත්තරයක් දුන්නෙත් නෑ.
"හප්පා...මම දැක්කේ නෑ එයා ආපු වග. හා හා ඔයත් දැන් යන්න. නැත්තම් අනික්පාර තවත් එකක්. බොසා මේ දවස් වල ටිකක් අප්සට් පිට වගේ නේ ඉන්නේ" ප්‍රියන්ති කිව්වේ අයුමිව හිමින් තල්ලු කරන ගමන්.
"අප්සට් පිට කිව්වේ?" යන්න ගියපු අයුමි හැරිලා ඇහුවේ දැන් දැන් අහන දකින ඕන දේකින් සැලෙන්න තරම් ඇගේ හිත දුර්වල වෙලා තිබ්බ නිසා.
"අර ගෑනියෙක් ඇවිත් ගිය වෙලේ ඉඳන් බොස් ඉන්නේ අමුතු වෙලා කියලා ඔයාට තේරුණේ නැද්ද. අනේ මන්දා, ඔයාට කිව්වට මොකද පටන් ගන්න කොට පුදුමාකාර ඇල්මල් බැල්මක් තියෙන්නේ. එතකොට ඔය එක එක්කෙනා හැමදාම ඔෆිස් එකේ. එපා වුණාම මගාරිනවා. අපි ඒවට බොරු කියනවා. මිස්ටර් රවීන් අපට ගොඩාක්ම හිතවත් නිසා නොවෙන්න මම නම් මෙහෙම දේවල් කරන්න ආස නෑ අයුමි. ඇත්තටම. ඔයා දැන් යන්නකෝ. අපි පස්සේ කතා කරමු" ප්‍රියන්තිම ඒ පාර යන්න හැරුණා.
අයුමි උඩට එන්න ආවේ තවත් හිත අවුල් කරගෙන. නොකිව්වට ප්‍රියන්ති ගොඩක් දේවල් දන්නවා ඇති කියලා අයුමිට හිතුණා. ඒ පාර ඇගේ හිතේ ඇතිවුණේ නොඉවසිල්ලක්. කොහොමද, කවදද ඒ දේවල් දැනගන්නේ කියලා.
කල්පනාවෙන් කල්පනාවෙන් ගිය නිසාම ඔෆිස් රූම් එකට ඇතුල් වෙලත් අයුමි දැක්කේ නෑ රවීන් උන්නෙත් ඒක ඇතුලේ බව. ඔහුව දැක්ක ගමන්ම ඈ තිගස්සුනේ ඒකයි.
"මොකද මේ බය වෙලා වගේ?" රවීන් ඇහුවේ ඇගේ මූණේ පෙනුම දැකලා.
"නෑ මං මේ වෙන කල්පනාවක ආවේ"
"ම්ම්... මට හිතුණා. උදේ පානදරම මොකක් හරි ඕපදූපයක් අහගත්තද ප්‍රියන්තිගෙන්?" රවීන් ඇහුවේ විහිලුවෙන් වගේ.
ඒත් අයුමිට හිනාවෙන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ඈ මුකුත් නොකියම ගිහින් මේසේ උඩින් බෑග් එක තිබ්බේ හීන් සුසුමක් හෙලන ගමන්.
"දැන් ඔය මොකද මූණ එල්ලගෙන?" ඒ පාර රවීන්ගෙත් හඬ තිබ්බේ ටිකක් නොරිස්සුම් වෙලා.
"මුකුත් නෑ" අයුමි කිව්වේ ඔහු දිහා නොබලා.
"මුකුත් නැත්තේ මොකද. මොකක් හරි තියෙනවා. විකාර නොකර කියන්න මොකක්ද ප්‍රශ්ණේ කියලා" රවීන් ඒ පාර ඈ ලඟටම ඇවිත් ඇහුවා.
අයුමි ඔහු දිහා බලලා බිම බලාගත්තා.
"ඔව් ඉතිං දැන් මම විකාරයක් නේ ඔයාට" ඈ කිව්වේ හෙමින් උනත් ඒ වචන වල තිබ්බේ ලොකු නොරිස්සුමක්.
"අයුමි ප්ලීස්. ඔයාට ඕන රණ්ඩු වෙන්නද? ප්‍රියන්ති ඔයාට පහලදි මොනාද කිව්වේ?"
"ප්‍රියන්ති කියපු දෙයක් නෑ"
"එහෙනම්?"
"මම කොහොමද රවීන් මේ ඔෆිස් එකේ මෙහෙම වැඩ කරන්නේ? කට්ටිය මොනා හරි විදියකින් දැනගත්තොත් මම ඉන්නේ ඔයාගේ අපාට්මන්ට් එකේ කියලා, හිතන්න ඒක අපි දෙන්නටම හොඳ නෑ. විශේෂයෙන්ම ඔයාට. මට තේරෙන්නේ නෑ. මට ඉස්සර හිටියා වගේ ඔෆිස් එකේ ඉන්න දැන් මානසිකත්වයක් නෑ" අයුමි කිව්වේ ඇගේ හිතට වද දෙමින් තිබ්බ එක ප්‍රශ්ණයක් විතරයි.
රවීන් සුසුමක් හෙලුවා.
"ඉතිං මොකද්ද දැන් ඒකට කරන්න පුලුවන්?" ඔහු ඉන්පස්සේ ඇහුවා.
අයුමි ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඈ ඔහුගෙන් බලාපොරොත්තු වුණේ ඒ වගේ උත්තරයක් නෙවෙයි.
"එක්කෝ මම අපාට්මන්ට් එකෙන් යන්න ඕන. නැත්තම් මෙහෙන් යන්න ඕන" අයුමි කිව්වේ තරහටමයි.
"ඔයාට නම් මොනා වෙලාද කියලා මම දන්නේ නෑ අයුමි. ඔය කියපු දෙකෙන් එකක් වත් වෙන්නේ නෑ. දැන් ඔයාට තියෙන ප්‍රශ්ණේ අපි ගැන දැණගත්තොත් කියන එකනේ. එහෙම නොදන්නවා නම් නොදන්නේ හසිකයි, ප්‍රියන්තියි විතරයි. අස්මිර්, සමින්ද දෙන්නම මේ ගැන දන්නවා. ඔයාට ඕන නම් ඔයාම ප්‍රියන්තිටයි, හසිකටයි කියන්න. නැතත් මෙහෙම යද්දි ඒ අය දැනගනියි. එක්කෝ දැනටමත් දන්නවත් ඇති. හරිද?" රවීන් කියාගෙන යද්දි අයුමිගේ හිතේ බරක් වගේ හැඟීම ටිකක් අඩු වුණා වගේ වුණත් හිතේ නොරිස්සුම සම්පූර්ණයෙන්ම පහ වුණේ නෑ.
"අයුමි මේ අහන්න. දෙයියන්ගේ නාමෙන් ඔය එක එක්කෙනාගෙන් දේවල් අහගෙන ඇවිත්, දේවල් හිතේ මවාගෙන මා එක්ක රණ්ඩු වෙන්න එපා" රවීන් එහෙම කිව්වම අයුමි ආයෙම ඇවිස්සුනා.
"ඔයා කොහොමද කියන්නේ ප්‍රියා මට මොනා හරි කිව්වා කියලා? එයා ඔයා ගැන එච්චර දේවල් දන්නවද, කියලා මාව අවුල් කරන්න තරම්?"
අයුමි එක පාරටම එහෙම අහපු නිසාදෝ ටිකක් පුදුම වුණ වගක් පෙන්නපු රවීන් උත්තර දෙන්න වෙලාව ගත්තා. 
"මම දන්නේ නෑ ඔයාට මොනා වෙලාද කියලා. මා එක්ක රණ්ඩු කරන්න එපා. එච්චරයි මං කියන්නේ. ප්‍රියන්ති මොනවත් දන්නවා කියලා මම කිව්වේ නෑනෙ. ඒත් දැන් මෙහේ වැඩ කරන්නේ කොහොමද, අරකද මේකද කියලා ඔයා කියන්න ගත්තේ මේ දැන් නේ. ප්‍රියන්තිත් එක්ක කතා කරලා ආවට පස්සේ නේ. ඔයාට මාව මෙච්චරම සැකද අයුමි? මෙච්චර දේවල් වුණාට පස්සෙත්? මම ඔයාට පිස්සෙක් වගේ ආදරේ කරද්දිත්?" තරහින් ගල් වෙලා තිබ්බ අයුමිගේ හිත එක පාරටම දිය වුණා වගේ වුණා ඒ අන්තිම වචන පෙල ඇහෙද්දි.
ඇගේ දෑස් වලට කඳුලු පිරීගෙන ආවේ ඊටපස්සේ. ඒත් රවීන් එවෙලේ ඈ උන්නු තැනින් ඈත් වෙලා ඔහුගේ මේසේ පැත්තෙන් ජනේලේ ලඟට ගිහින් උන්නා. කොහෙන්දෝ මන්දා ගත්තු සිගරට් එකක් ඔහු පත්තු කරගත්තේ පුරුද්දට වගේ. අයුමිගේ හිත සලිත වුණා ඒක දැක්කම. ඈ ඒ පාර රවීන් ලඟට හෙමින් පා නැගුවේ ඔහු ගැන දුකකුත්, වෙච්ච දේවල් ගැන පසුතැවිල්ලකුත් හිතේ ඇති වෙද්දි.
"රවීන්.." ඈ කතා කරද්දි රවීන් උන්නෙ සිගරට් එකත් අතේ තියාගෙන ජනේලෙන් එපිට බලාගෙන.
"රවීන්...අහන්න. අයෑම් සොරි. ප්ලීස් මා එක්ක තරහා වෙන්න එපා" අයුමි ආයෙම කිව්වත් ඔහු උන්නේ නෑසුකන්ව.
ඒ පාර අයුමි ඔහුගේ අතේ තිබ්බ සිගරට් එක ඇදලා අරන් ජනෙල් පඩෛය උඩ තිබ්බ ඇෂ්ට්‍රේ එකට දාලා පොඩි කලා. ඔහු ඒත් ගල් රූපයක් වගේ උන්නා විතරයි.
"මා එක්ක කතා කරන්නකෝ රවීන්" අයුමි යන්තමට ඔහුගේ අතින් අල්ලලා බැගෑපත් වුණා.
රවීන් ඈ දිහා බැලුවේ ඒ වෙලාවේ. ඔහුගේ ඇස්වල තිබ්බේ මොකක්දෝ දුකක්.
"ඇයි මාව අවිශ්වාස කරන්නේ?" රවීන් ඇහුවේ මුදු හඬින්.
ඒ වචන ආයෙම අයුමිගේ දෑස්වලට කඳුලු ගෙනාවා.
"එහෙම...නෑ...රවීන්"
"ඇයි මේ මන්ස්ගත හිතේ මවාගෙන අපි දෙන්නා අතරේ ප්‍රශ්ණ ඇති කරගන්නේ? ඔයා හැමවෙලේම හිතන්නේ අපි අතරේ ලොකු පරතරයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑ. ඔයා මගේ. ඒ නිසාම මේ බිස්නස් එක, මගේ ළමයි මගේ හැමදේම ඔයාගේ. හැමදේම smoothly ලස්සනට පිලිවෙලක් කරගන්නේ කොහොමද කියලා මම හිත හිත වද වෙද්දි, ඔයා මෙහෙම වෙන එක මට අමතර බරක් අයුමි. එහෙම වෙන්න එපා. මට ඕන ඔයාව මගෙම කරගන්න. හැමදේම ලස්සනට විසඳගෙන ඔයාලගේ පවුලේ අයගේ හිතුත් හදලා හොඳින් ජීවත් වෙන්න. ඒක විශ්වාස කරන්න අයුමි. මම ඔයාව කිසි වෙලාවක රවට්ටන්නේ නෑ"
රවීන් එහෙම කියලා කතාව ඉවර කරද්දිම අයුමි කලේ දෝතිම ඔහුගේ අත අල්ලගෙන ඔහුට තුරුල් වුණ එක.
"මට සමාවෙන්න රවීන්" ඈ කිව්වේ කඳුලු ඔහුගේ අත තෙමද්දි.
"අඬන්න එපා ප්ලීස්. ඔය ඇඬුවා ඇති. මම දන්නවා ඔයා ගෙදර ප්‍රශ්ණේ නිසා ඉන්නේ අප්සට් එකේ කියලා. අපාට්මන්ට් එකේ තනියෙම ඉද්දි හිත හිත ඉඳි කියලා ඔෆිස් එක්ක ආවම මෙහෙදිත් ඔයා ඉන්නේ අවුල් වෙලා. ආපහු යන්න ඕනේ නම් ගිහින් රෙස්ට් කරනවද එහෙනම්?" රවීන් කිව්වේ ඇගේ හිස හෙමින් පිරිමදින ගමන්.
"මට තනියෙම ඉන්න බෑ එහේ" අයුමි කිව්වා.
"ම්ම්... එහෙනම් ඔෆිස් එකේ මොකක් හරි වැඩක් කරන්න බලන්නකෝ. මම දැන් පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්න  යන්න ඕන. තාත්තා දැනුත් කෝල් එකක් දුන්න කොහේද අහලා. මම ලන්ච් වලට එන්න බලන්නම්. ඊටපස්සේ අපි කලින් යමුකෝ" රවීන් කිව්වා.
අයුමි හිස වැනුවා හෙමින්. රවීන් ඊලඟට පාත් වෙලා හෙමින් ඇගේ හිස ඉඹලා ආයෙම හිස මුදුවට පිරිමැද්දා. අයුමි දෑස් පියාගෙන ඒ ආදරේ ඉවසගෙන උන්නේ, රවීන්ගේ ආදරේ, රැකවරණේ නැති වුණොත් ඈට  මේ ලෝකේ දැන් වෙන කිසි දෙයක්  නෑ නේද කියලා කල්පනා කරමින්.
"ඒක නෙවෙයි දැන් ඔයාගේ බෝඩිමට ගිහින් බඩු ටික අරන් එන්නත් ඕන නේද? මට ඒක අමතකත් වුණා. ඔයාට ඕන නම් ඔයාව මම දැන් ගිහින් දාන්නම්. බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න මම එන ගමන් පික් කරගෙන එන්නම් ඔයාව. එහෙම කරමුද?"
තුරුල් වෙලා, අඬලා, රණ්ඩු වෙලා ඉවර වෙලා රවීන් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් එහෙම ඇහුවේ අයුමි මේසේ ලඟට ගිහින් කම්පියුටරේ ඔන් කරද්දි.
"ආ...දැන් මම මේ වැඩක් කරන්න බැලුවේ. ඔයා යන්නකෝ රවීන්. අර shipping  company එකේ ඉන්ටීරියර් එකේ වැඩේ තව ඉවර නෑ. එදා...මම හදිසියෙන් ගියානේ. (අයුමි ඒක කිව්වේ ලැජ්ජාවෙන් වගේ). ඒක මම ඉවර කරන්න බලන්නම්. ලන්ච් වලට කලින් ඉවර උණොත් මම බස් එකේ බෝඩිමට ගිහින් බඩු ටික හදලා එන්නම්. හවස යද්දි අපට පුලුවන් නේ අරන් යන්න"
ඒ පාර රවීන්ගේ මූණට නැගුණේ හිනාවක්.
"ඇයි ඒ පාර හිනාවෙන්නේ?"
"නෑ...මගේ පොඩි වැඩකාරි දැකලා"
"වැඩකාරි?"
"ඔව් ඉතිං ඔයා වැඩ්ඩා නේ කොහොමත්. වැඩ කරද්දි ඔය ප්‍රශ්ණ ටිකක් ඔලුවෙන් අයින් වෙයි. බෝඩිමට යනවා නම් බස් එකේ යන්න එපා. කැබ් එකක් ගෙන්නගෙන යන්න"
"අනේ ඕන නෑ රවීන්. නිරපරදේ සල්ලි නේ"
"එහෙම නෑ. කම්පැනි එකේ අයිතිකාරයගේ වයිෆ් වෙලා ලැජ්ජ නැද්ද බස් වල යන්න?"
"වයිෆ් වුණාමනේ ඒ ලැජ්ජාව. එතකල් එහෙම එකක් නෑ"
"ඔය ඉතිං කියන දේ අහන්නකෝ ළමයෝ"
"හා හා හරි. දැන් ඔයා යන්නකෝ. තාත්තා බලාගෙන ඇති. පොඩි දෙන්නත් බලාගෙන ඇති"
"හ්ම්. මම ගිහින් එන්නම්කෝ එහෙනම්. බෝඩිමට යනවා නම් කෝල් එකක් දෙන්න හොඳේ"
"හා"
රවීන් හිනාවක් පාලා අයුමිගේ කම්මුලක් යාන්තමට අතගාගෙන කාමරෙන් පිට වුණා.
ඔහු ගිය දිහාව මොහොතක් බලාගෙන උන්නු අයුමි සුසුමක් හෙලලා ආයෙම කම්පියුටරේට එබුණේ වැඩේ ආපහු පටන් ගන්න.

Monday, August 8, 2016

විහංඟනාවී : පනස් හතරවන කොටස

"බබී..."
නින්දත් නොනින්දත් අතරේ රවීන්ගේ හඬ හීනෙන් වගේ ඇහෙද්දි අයුමිට එක පාරටම හිතාගන්න බැරි වුණා මේ ඉන්නේ කොහොද කියලා. වුණ දේවල් එකින් එක ඈට මතක් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඒ සිතිවිලි ආයෙම හිත රිද්දුවත් ඈ ඇඳෙන් නැගිටලා වාඩි වුණේ රවීන් දිහාට පහන් බැල්මක් හෙලන ගමන්. ඔහු තාමත් උන්නේ කලින්දා ඇඳුම් පිටින්මයි. තේ එකකුත් අතින් අරන් ඇඳ ලඟ හිටගෙන උන්නු ඔහුව දැක්කම අයුමිට ඔහු ගැනත් දැනුනේ දුකක්.
"ඔයා තේ හැදුවද?"
"ම්ම්...ඔයා ඊයෙ කාලත් නෑනෙ. තේ එක නම් හොඳද මන්දා. මම දන්න විදියටයි හැදුවේ" රවීන් කිව්වේ තේ එක ඈ අතට දෙන ගමන්.
ඈ ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ සෙනෙහස ආයෙම අලුත් වෙද්දි.
"ඔයා ඇඳුම්වත්  මාරු කරලා නෑ" තේ එක අරන් අතේ තියාගෙන අයුමි කිව්වා.
රවීන් සුසුමක් හෙලලා ඇඳේ වාඩි වුණේ ඔහුගේ තේ එක ලඟ තිබ්බ මේසේ මතින් තියන ගමන්.
"හ්ම්ම්...ඔව්. වෙලාවක් උණේ නෑනෙ" රවීන් කිව්වා කල්පනාබරව වගේ.
අයුමි ඔහු දිහා බලාගෙනම උන්නේ ඔහු ගැන දුකක් හිතේ පැතිරෙද්දි.
"මම නිසා ඔයාට වුණ කරදරේ බලන්න රවීන්" අයුමි එහෙම කිව්වම රවීන් හිස හරවලා ඈ දිහා බැලුවා.
"මොනාද ඔයා මේ කියන්නේ?"
"හිතපු නැති දෙයක් නේ වුණේ. දැන් අපි මොනාද කරන්නේ? මම දැන් මොනාද කරන්නේ?" අයුමි කිව්වේ කලකිරීමෙන් වගේ.
"එන විදියට මූණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්  නෑනෙ බබී. හිතපු නැති දෙයක් නම් තමා වුණේ. ඒත් ඉතිං අන්තිමේදි වෙන්න ඕන වුණේ අපි එකතු වෙන එකනේ. දැන් ඒක ඉබේටම වෙලා. එච්චරයි වෙනස" රවීන් කිව්වා.
"ඒත්... මේ දේවල් මෙහෙම වෙන්න නෙවෙයි මට ඕන වුණේ. මම හිතුවේ නෑ මේවා මේ ඉක්මණට මෙහෙම වෙයි කියලා" අයුමි කිව්වේ ආයෙම සංතාපයට පත් වෙමින්.
"දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑනෙ බබී. දැන් අපි හිතන්න ඕන ඉස්සරහට කරන දෙයක් ගැන"
"ඒත් මම කොහොමද රවීන් එහෙම ගෙදර අමතක කරන්නේ. හැමදේම අතෑරලා මට කවුරුත් නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න හිත හදාගන්නේ? මම කොහොමද අම්මලාව අමතක කරන්නේ?" අයුමි ඇහුවේ හැඬුම්බර වෙමින්. 
"එහෙම කරන්න ඕන නෑ. අම්මලා දැන් තරහින් ඇත්තේ. ඒත් ටික දවසක් යද්දි සේරම හරියාවි. හැබැයි ඉතිං එතකල් ඉවසගෙන ඉන්න වෙනවා. අනික ඔයාට කවුරුත් නෑ කියලා ඔයා හිතන්න ඕනේ නෑනෙ. ඔයාට මම ඉන්නවා කියලා හිතෙන්නේ නැත්තේ ඇයි?" රවීන් අන්තිම ටික කිව්වේ පොඩි නොරිස්සුමකින් වගේද කියලා අයුමිට හිතුණා.
අයුමි රවීන් දිහා යන්තමින් බලලා ඔහුගේ උරහිසකට යන්තමින් හිස හේත්තු කරගත්තා. රවීන් හෙමින් සුසුමක් හෙලුවා.
"ඔය තේ එක බොන්නකෝ. මම උදේ කෑම ඕඩර් කලා. මම ඔෆිස් ගිහින් ගෙදර යන්නත් ඕන. දවසක්ම ගෙදර ගියේ නැති නිසා තාත්තත් ඇහුවා කතා කරලා. පොඩි දෙන්නාත් බලාගෙන ඉන්නවා ඇති නේ.
ඔයා දැන් ආයෙම බෝඩිමට යන්න ඕන නෑ. ඔයා මෙහේ ඉන්න දැනට. අපි බලමු මොකද්ද ඉස්සරහට කරන්නේ කියලා" රවීන් කියාගෙන ගියා.
අයුමි හිස උස්සලා රවීන් දිහා බැලුවා. රවීන් ඈ දිහා බැලුවා.
"මෙහේ මම කොච්චර කල් ඉන්නද රවීන්? මම වැඩට එන්නත් ඕන නේ"
"ඉතිං මෙහේ ඉඳන් වැඩට යන්න බැරි මොකද? මම ඔයාව පික් කරලා ආපහු ගෙනැත් දාන්නම්"
"ඒත්...එහෙම කරන්නේ කොහොමද?"
"මොකද්ද ඉතිං ඔයා කියන්නේ?"
"රවීන්...මම ඔයාගේ කවුරු විදියට මෙහේ ඉන්නද? කොච්චර කල් ඉන්නද?"
රවීන් ඒ පාර සුසුමක් හෙලලා හිස වැනුවේ 'ඔයාට කිසි දෙයක් තේරෙන්නේ නෑ' කියන්නා වගේ.
"බබී...අපට මේ හදිසියේ හෙට අනිද්දට මැරි කරන්න බෑනෙ. පොඩ්ඩක් මට කාලේ දෙන්න. සතියක් දෙකක්. වැඩ ටිකවත් හරියට finalize  කරගන්න කල්. අනික තාත්තට කියනන් ඕන. පොඩි දෙන්නට තේරුම් කරන්න ඕන. ඒවාට කල් ඕන නේ" රවීන් කිව්වා.
ඒක ඇහුවම අයුමිගේ හිතට දැනුනේ ලැජාවක් එක්කම නොරිස්සුමක්.
"මම දැන් ඔයාට මාව බඳින්න කිව්වද?" අයුමි ඇහුවේ ඒ නොරිස්සුම හන්දාමයි.
උත්තරයක් දෙන්න කලින් රවීන් ඈ දිහා බැලුවේ ටිකක් පුදුම වෙලා වගේ.
"රවීන් පිං සිද්ධ වෙයි මා බෝඩිමට ගිහින් දාන්න. මම එහේ ඉඳන් වැඩට එන්නම්. මේවා මගේම වැරදි මිස වෙන කිසි දෙයක් නෙවෙයි" අයුමි කිව්වේ තාමත් නොබීපු තේ එක මේසේ මතින් තියලා ඇඳෙන් නැගිටලා යන ගමන්.
"මොනවද ඔයා මේ කියන විකාර අයුමි?" ඒ පාර රවීන් උන්නෙත් තරහා ගිහින් වගේ.
"මට මේ දේ අද වෙලා තියෙන්නේ මගේ වැරදි  නිසා නෙවෙයිද?" අයුමි ඇහුවේ ඔහු දිහාවට හැරිලා.
"මොකද්ද දැන් ඒ වරද? අපි affair එකක් පටන් ගත්තු එකද? අපි ගොඩක් ලං වුණ එකද? ඒකද?"
"හැමදේම වැරදියි තමා" අයුමි කිව්වේ ඔහුගේ තරහින් රතු වුණ මූණ නොපෙනෙන්න බිම බලාගනිමින්.
"මගේ යකා අවුස්සන්න එපා අයුමි. මොනාද මේ කියන තේරුමක් නැති කතා? ඔයා මොකද්ද මට දැන් කරන්න කියන්නේ?" රවීන් ඇහුවෙත් ඇඳෙන් නැගිටලා ඈ දිහා බලාගෙන.
"මාව බෝඩිමට ගිහින් දාන්න" අයුමි කිව්වේ බිම බලාගෙන.
"ඔයා කොහේවත් යන්නේ නෑ. අපි මැරි කරනකල් ඔයා ඉන්නේ මෙහේ. එච්චරයි කතාව" රවීන් කිව්වේ තදින්.
අයුමි මොනවත්ම නොකියා බිම බලාගෙනම උන්නා.
"දැන් මේ තේ එක බොන්න. නොකා නොබී ඉඳලා ලෙඩ වෙන්නේ නැතුව. විකාර හිතනවා හිතන්
දේවල් නැතුව වගේ. ඔයාට තේරෙන්නේ නැද්ද මට ඕන ඔයා සතුටින් ඉන්නවා බලන්නයි කියලා?" රවීන් ආයෙම ඇහුවා.
අයුමි සුසුමක් හෙලුවා විතරයි. රවීන් ගැන තරහක් තවත් ඇගේ හිතේ තිබ්බේ නෑ.
"හැමදේම පැටලිලා රවීන්. මම දන්නේ නෑ මොනාද කරන්න ඔනේ කියලා" අයුමි කිව්වේ එතන බිත්තියට හේත්තු වෙන ගමන්.
රවීන් හෙමින් ඈ අසලට ඇවිදගෙන ඇවිත් ඇගේ අතකින් අල්ලගත්තේ මුදුවට.
"මම ඔයාට ඉන්නවානේ. වැඩිය හිතන්න එපා. ඔයාට මාව විශ්වාස නැද්ද අයුමි" රවීන් ඇහුවේ ඇගේ දෑස් වලට එබිලා.
අයුමි ඒ දෑස් දිහා බලාගෙන උන්නේ හිතේ දුක හෙමින් ඔහුගේ සෙනෙහසින් වැහෙද්දි.
රවීන් හෙමින් ඇගේ කම්මුලක් පිරිමැද්දලා හෙමින් ඒ කම්මුලම ඉම්බා.
"ඔයා බය වෙන්න එපා බබී.මම ඔයාට නැති වෙන්නේ නෑ. අපි ඉක්මණින්ම මැරි කරමු" ඈව තුරුල් කරගනන් ගමන් රවීන් කිව්වා.
අයුමි ඔහුට තුරුලු වුණේ ආදරෙන්.
"දැන් හොඳ ළමයා වගේ තේ එක බීලා, මූණ සෝදගන්න. එතකොට කෑමත් ඒවි. අපි ඔෆිස් යමු. නැත්තම් මෙහේ හිටියොත් ඔයා හිතලම ආයෙම අවුල් යයි" 

"ඔෆිස් ඇවිත් වැඩ කරන්න මට හිතක් නෑ රවීන්. මට මෙහේ තනියෙම ඉන්නත් බෑ තමයි. අනේ මන්දා මොනා කරන්නද කියලා"
"වැඩ කරන්න ඕන නෑ. ඔෆිස් එකට ඇවිත් ඉන්නකෝ" රවීන් කිව්වා.
අයුමි සුසුමක් හෙලලා රවීන් දිහා බලද්දි, ඇගේ හිතේ ඔහු ගැන මොකක්දෝ දුකකුත් උපන්නේ රවුලවත් කපලා නැතිව, විඩාපත් වුණ ඒ මූණයි ඇස් දෙකයි දැකලා. ඒ එක්කම ඈට හිතුණා දැන් ඔහු ඇරෙන්න වෙන කෙනෙක් ඈට නෑ නේද කියලා. ඒ සිතිවිලිත් එක්කම ආයෙම ගෙදර මතක් වුණාම ඇගේ හිත ආයෙම බර වුණා. ඈ බිම බලාගත්තේ ඒකයි.
ඈ දිහා බලාගෙන උන්නු රවීන් හිස මතින් අතක් තියලා ඈට කතා කලේ ඇගේ හිත තේරුම් අරන් වගේ.
"ඔන්න ඉතිං ආයෙමත් ඔයා වෙච්ච දේවල් ගැන හිතන්න ගත්තා නේද? බබී...මේ අහන්න. හිතුවා කියලා කිසි දෙයක් වෙන්නේ නෑ දැන්. ඔයාට ඕනම නම් අපි තව දවසකින් දෙකකින් ගෙදරට කතා කරලා බලමු. ඒත් මම දන්නේ නෑ ඒකෙන් කොයි තරම් දුරට වැඩක් වේද කියලා. ඔයා දැන් මා එක්ක ඇවිත් ඉවරනේ කොහොමත්" රවීන් කියද්දි අයුමිගේ හිත තවත් රිදුනා විතරයි.
"මට ගෙදර ඉන්න තිබ්බා රවීන්. ගැහුවත්, බැන්නත් කමක් නෑ කියලා මට එහෙම ඉන්න තිබ්බා" ඈ කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"එහෙම කලා කියලා මොනා වෙන්නද? වෙන කෙනෙක් මැරි කරන්නද?"
"එහෙම නෙවෙයි...වෙච්ච දේවල් එක්ක අම්මලට කැමති වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑනෙ රවීන්" අයුමි කිව්වේ දෑස් පියාගන්න ගමන්.
වෙච්ච සේරම දේවල් ගැණ ඇගේ හිතේ තිබ්බේ පුදුමාකාර තරම් පසුතැවිල්ලක්. වරදකාරී හැඟීමක්. ඒ වෙලාවට හැමදේම සුන්දර වුණත්, ඒවයේ පසු විපාක කොයි තරම් දරුණුද, හිත රිදවනසුලුද කියලා හිතද්දි ඈට තමන් ගැනම ලැජ්ජාවකුයි, තරහකුයි දැනුනේ.
"මේ හැමදේම මගේ වැරදි නිසා. මම මහා පව්කාරියක් රවීන්. තාත්තත් නැතිව අපිව දුක් විඳලා හදපු අම්මවයි මම රිද්දුවේ. ඒගොල්ලන්ටයි මම ලැජ්ජා කලේ ඒකට මට සමාවක් නෑ" බිත්තියට හිස හේත්තු කරගෙන අයුමි කිව්වේ කලකිරීමෙන්. ඇගේ දෑස් වලට ආයෙම කඳුලු පුරමින් තිබුණා.
"මොනාද බබී මේ හිත හිත කියවන්නේ? මේ බලන්න..." රවීන් ඇගේ කම්මුලකට අතක් තියලා ඈව තමන් දිහාට හරවගනන් ගමන්.
"ඔයා ලැජ්ජාවෙන්න දෙයක් කරලා නෑ බබී. එහෙම වෙන්නේ අපි එකතු නූනා නම් නේ. මම ඔයාව දාලා ගියෙත් නෑ. මම යන්නෙත් නෑ. මම එහෙම මනුස්සයෙක් නෙවෙයි. මම ඔයාට ආදරේ කලේ ලං වුණේ ඔයා මගේම කරගන්න මිසක එහෙම අතෑරලා දාන්න නෙවෙයි. ඉතිං ඇයි ලැජ්ජා වෙන්නේ? දුක් වෙන්නේ? දැන් ඇති. දැන් අපි ඕක ගැන නොහිතා ඉමු. සේරම දවසක හරි යයි. ඔයා මාව විශ්වාස කරන්නකෝ"
ඇස් වල කඳුලු පුරෝගෙනම අයුමි රවීන්ට තුරුල් වුණා. කැමති වුණත්, අකමැති වුණත් ඈට මේ වෙලා තියෙන දේවල් ඒ විදියට පිලිගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.

Saturday, July 30, 2016

විහංඟනාවී: පනස්තුන්වන කොටස

පහුවදා නැගිට්ට වෙලේ ඉඳලා අයුමි උන්නේ පුදුමාකාර තරම් නොසන්සුන්තාවයකින්. රවීන් මොනා කරන්න හිතාගෙන ඉන්නවද කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඒ අස්සේ අම්මගෙයි, අක්කගෙයි ආඩපාලි අහගෙන ඉන්න එක ඊටත් වඩා ඈට වදයක් වෙලයි දැනුනේ.
"දැන් නොකා නොබී අපට පාඩමක් උගන්වන්නද ඔය ඉන්නේ?" උදේ දහයට විතර කාමරේට එබිලා අම්මා ඇහුවේ අයුමි උදේටවත් කාපු නැති හන්දා.
"මම නොකන්නේ කාටවත් පාඩමක් උගන්වන්න නෙවෙයි. මට කන්න බැරි නිසා" අයුමි කිව්වේ හෙමින්.
"දැන් කවදා වෙනකල් ඔහොම ඉන්නද හිතාගෙන ඉන්නේ?" ඒ පාර කාමරේට ආවේ අක්කා.
අයුමි අක්කා දිහා බලලා අහක බලාගත්තේ නොරිස්සුමින්.
"මොලේ කියලා නාමයක් නැතුවා වගේ වැඩ කරලා දැන් අපට ගස්සලා වැඩක් නෑ"
"ලොකු දුව කට වහගෙන ඉන්න" අක්කා ඇවිස්සීගෙන එනවා තේරුණ නිසාදෝ අම්මා කියනවා අයුමිට ඇහුණා.
"කටවහගෙන නිදහස දීලා උන්න නිසානේ අම්මා මේ සේරම"
ඒ පාර අයුමිගෙත් ඉවසීමේ සීමාව පැන්නා.
"මම මොකද්ද කරපු වරද?" ඈ ඇහුවේ අනුකි දිහා බලලා. "මම රවීන්ට ආදරෙයි. මගේ හිත ඇදුනේ එයාට. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද? අනික රවීන් බැඳලා දික්කසාද වුණ කෙනෙක් මිස තාමත් බැඳලා ඉන්න කෙනෙක් නෙවෙයි නේ. මට රවීන්ව අමතක කරන්න බෑ. ඒක විතරයි මම දන්නේ" අයුමි කිව්වේ ආවේගයෙන්.
ඒ පාර අම්මයි අනුකියි දෙන්නම අයුමි දිහා බලාගෙන උන්නේ කෝපයත් පුදුමයක් මුසු වුණ හැඟීමකින් ගල් වෙලා වගේ.
"රවීන් නැතුව වෙන කෙනෙක් මට ඕන නෑ" අයුමි අන්තිමට එහෙමත් කිව්වා.
"හිතුවක්කාරකමෙත් සීමාවක් තියෙන්න ඕන. ඇයි තමුසේ අපේ මූණේ දැලි ගාන්න හදන්නේ?" ආයෙම කතා කලේ අනුකි.
"මම එහෙම කරන්නේ නෑ. මේක එහෙම දෙයක් වෙන්නේ කොහොමද? රවීන්ගේ වරද මොකක්ද?" අයුමි ඇහුවා.
"බැඳලා ළමයි දෙන්නකු ඉන්න වයසක මනුස්සයෙක් බැඳගන්න තමුසෙට තියෙන අඩුපාඩුව මොකද්ද? මිනිස්සු කියයි අපි සල්ලි වලට කෑදරවෙලා එහෙම දේකට ඉඩ දුන්නා කියලා"
"මෝඩ කතා කියන්න එපා අක්කේ"
"මෝඩ කතා? බලන්න අම්මේ මේකගේ කට. අම්මා ඒ පාර කට වහගෙන ඉන්නවා" අනුකි කෑ ගැහුවා.
අයුමි අම්මා දිහා බැලුවා. අම්මා උන්නෙත් අයුමි දිහා බලාගෙන.
"මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ" අයුමි අන්තිමට එහෙම කියලා අහක බලාගත්තා.
අනුකි ආයෙම මොනාදෝ කියන්න ලෑස්ති වුණත්, ගෙදර ලඟින් ඇහුණ වාහනේක සද්දෙට තුන් දෙනාගෙම අවධානේ බිඳවැටුණා.
අයුමි ජනේලේ ලඟට ගියේ ඒ කවුද බලන්න. අම්මයි, අනුකියි කාමරෙන් එලියට ඇවිත් සාලෙට යන්න ගියා. අයුමිගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනේ නවත්තලා තිබ්බ වාහනෙන් මේ දැන් බැහැපු රවීන්ව දැක්කම. 
අයුමි අනික් පැත්ත හැරිලා සාලෙට දුවගෙන ආවේ අම්මලා මොන විදියට හැසිරෙයිද නොදන්න නිසා.
"මේ මහත්තයා මොකද ආයෙම මේ පැත්තේ?" අයුමිට ඇහුණා අම්මා අහනවා.
"කියන්න තියෙන දේවල් ඊයෙ කිව්වට පස්සේ ආයෙම මොකට ආවද?" ඒ අනුකි.
"ලොකු දුව ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්න" අයුමිගේ අම්මා එහෙම කියලා රවීන්ට ගේ ඇතුලට එන්න ඉඩ ඇරියා.
රවීන් එද්දිම ඔහුගේ ඇස් යොමු වුණේ සාලෙ මැද හිතගෙන බලාගෙන උන්නු අයුමි දිහාට. අයුමිගේ හිත කඩා වැටෙනවා වගෙයි ඈට දැනුනේ. ඔහු ආපහු ගෙදර නොගිහින්ම එන්න ඇත්ද කියලා ඈ කල්පනා කලේ ඊයේ ඇඳගෙන උන්නු ඇඳුමම ඔහු ඇඳගෙන ඉන්නව දැකලා.
"මොකක්ද මහත්තයා මේකේ තේරුම?" එහෙම ඇහුවේ අම්මා.
"තේරුම මට අයුමිව ඕන කියන එක" රවීන් කෙලින්ම කිව්වා.
"ඒ ගැන අපේ තීරණේ මම ඊයෙම කිව්වනේ. ඉතිං ඇයි මහත්තයා ආයෙම ඇවිත් අපට මේ වගේ කරදර කරන්නේ?" අම්මා ඇහුවා. ඒ වචන වල කෝපයක් තිබුණත් ස්වරය තාමත් ඈ පාලනය කරගෙන උන්නා.
"අම්මලගේ තීරණේ වෙනස් කරන්න බැරි එකක් නෙවෙයි නේ. අනික අයුමිගේ තීරණේ මොකද්ද කියලා ඇයි කවුරුවත් අහන්නේ නැත්තේ?" රවීන් කිව්වේ අයුමි දිහා බලලා.
ඒ පාර අම්මයි, අක්කයි දෙන්නමත් බැලුවා අයුමි දිහා. අයුමි බිම බලාගත්තේ කියන්න දෙයක් නැතිව ගොලු වෙලා.
"මෙතන අපට අකමැති වෙන්න කිසි දෙයක් නෑ අම්මේ. මම මගේ කලින් වයිෆ්ගෙන් නීතියෙන් වෙන් වෙලා ඉන්නේ. මේ තියෙන්නේ ඒ ලියවිලි. මම ඒවා අරන් ආවේ අම්මලා මාව විශ්වාස නොකරන නිසා" රවීන් අතේ තිබ්බ බෑග් එකකින් ලියවිලි වගයක් අදින ගමන් කිව්වා.
අම්මා ඒ දිහා යන්තම් බලලා අහක බලාගත්තේ අප්‍රසාදෙන් වගේ.
"මේක මිස්ට රවීන්ගේ වරදක් නෙවෙයි. මේක අපේ එකාගේ මෝඩකම. මේ ලෝකේ වෙන මිනිස්සු නෑ වගේ..." එහෙම කියන්න පටන් ගත්තේ අනුකි.
"මට වෙන මිනිස්සු ඕන නෑ" අයුමි කෑ ගැහුවේ අනුකි රවීන්ට අපහාස කරපු එක ඈට උහුලන්න බැරි නිසා.
ඒ පාර තුන් දෙනාම පුදුම වෙලා වගේ අයුමි දිහා බැලුවා.
"ප්ලීස් රවීන් ඔයා යන්න. මේ මිනිස්සු අපිව තේරුම් ගන්නේ නෑ" අයුමි කිව්වේ ඇස් වලට කඳුලු පුරද්දි.
"අයුමි..."
"මගේ ආදරේ වෙනසක් නෑ. මම ඔයාට විතරයි ආදරේ. ඔයා දන්නවා මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ කියලා" අයුමි රවීන්ට කිව්වේ එතන වෙන කවුරුවත්ම උන්නේ නැති ගානට. ඒ පාර රවීන් පුටුවෙන් නැගිට්ටා.
"මාත් එක්ක යමු" ඔහු කිව්වා.
අයුමි වචනයක්වත් කියාගන්න බැරිව ඔහේ බලාගෙන උන්නා.
"එයා කොහේවත් යන්නේ නෑ" එහෙම කිව්ව අයුමිගේ අම්මා.
"එයාට වෙන කෙනෙක්ගේ වෙන්න බෑ. එයා මගේ වෙලා ඉවරයි" ඒ පාර රවීන් එහෙම කිව්වම අයුමිගේ හිත කඩා වැටුණා.
"මොකද්ද ඒ කතාවේ තේරුම?" එහෙම ඇහුවේ අනුකි.
ඒත් අයුමිගේ අම්මා දෑසත් ලොකු කරගෙන අයුමි දිහා බලාගෙන උන්නේ මොනවත්ම නාහා. අයුමි ආයෙම බිම බලාගත්තා.
"අපි අතරේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒත් ඒ ආදරේට මිස වෙන කිසි දෙයක් හන්දා නෙවෙයි.  අයුමිට මා එක්ක එන්න වෙනවා. වෙන කරන්න කිසි දෙයක් නෑ. මට අයුමිව අතාරින්න බෑ.එහෙම කලොත් මම මනුස්සයෙක් නෙවෙයි තිරිසනෙක් වෙනවා.  මම අද ආවෙත් ඒකයි. මට මගෑරලා ඉන්න තිබුණා. ඒත්...මම එහෙම මිනිහෙක් නෙවෙයි. මම අයුමිට ආදරේ කරන්නේ ඇත්තටම"
"මොනවද මම මේ අහන්නේ?" අම්මා තාමත් උන්නේ අයුමි දිහාම බලාගෙන.
"මේ කියන දේවල් ඇත්තද නංඟි?"
අයුමි බිම බලාගෙනම උන්න මිස උත්තරයක් දුන්නේ නෑ. ඒ දේවල් ඈ හිත ඇතුලේ තියාගෙන උන්නේ ඒ කිසි දෙයක් ගෙදරට කියන්න ඈට හයියක් නොතිබ්බ නිසා. ඒත් කවදා හරි කොහොමින් හරි මේ හැමදේම එලි වෙනවා කියන එක ඈ නොදැන උන්නා නෙවෙයි. ඒ පාර අම්මා ඈ උන්නු දිහාට ඇවිදගෙන ආවා. ඈ හිතුවේ අම්මා ඈට ගහයි කියලා. ඒත් ඈව පහු කරගෙන අම්මා ගියේ ගේ ඇතුලට.
"කියනවා... ඇත්තද මේ මනුස්සයා මේ කියන්නේ? තමුසෙට මොනාද නංඟි වුණේ? මොලේ කියලා නාමයක් තිබුණේ නැද්ද තමුසෙට?" ඒ පාර අනුකි උන්නේ හැඬුම්බර වෙලා.
අයුමිගේ හිත තිබ්බේ අසිහියෙන් වගේ ගල් වෙලා. වෙන්නේ මොනාද, කරන්න ඕන මොනාද කියලා ඈට ටික වෙලාවක් යනකල් හිතාගන්න බැරි වුණා. ඈ දැනගෙන උන්නා කොතනකදි හරි ඈ වරද්දගත්තු බව. ඒත් ඒක වරදක්ද? ඈ ආදරේ කලේ රවීන්ට නම් ඒක වරදක් වෙන්නේ කොහොමද?
සිතිවිලි අතරේ අතරමං වෙලා උන්නු ඈ පියවි සිහියට ආවේ තමන්ගේ කකුල් දෙක ලඟින්ම 'දඩස්'ගාලා ඇහුණ සද්දෙට. කකුල් දෙක ලඟ තිබුණේ ඇගේ ලොකු සූට්කේස් එකයි අනෙක් බෑග් දෙක තුනයි. ඇගේ හිත හොඳටම ගැස්සුනා. ඒ එක්කම ඈට බැලුණේ ඒ අසලම උන්නු අම්මා දිහාව.
"මේ ටිකත් අරගෙන මේ මොහොතෙම මේ ගෙදරින් යන්න ඕන" අම්මා කිව්වේ පොඩ්ඩක්වත් හිතේ තෙතක් නැති හඬකින්.
අයුමිගේ හිත කඩාවැටුණා වගෙයි ඈට දැනුනේ.
"අනේ අම්මේ..."
"කතා ඕන නෑ. අම්මෙක් ඉන්නවා, පවුලක් තියෙනවා කියලා හිතලා වැඩ කරලා නෑනෙ. එහෙව් දරුවෝ මට ඕන නෑ"
"අම්මේ...මාව එලවන්න එපා අම්මේ" අයුමි පිංසෙණ්ඩු වුණේ දෑස් වලින් කඬුලු බේරෙද්දි.
"මහත්තයා කරුණාකරලා දෙන්නත් එක්කම මෙහෙන් ගියොත් හොඳයි. තවත් අපේ මූණේ දැලි ගාන්නේ නැතිව" අම්මා කිව්වේ අයුමි අසලින් ඈත් වෙමින්.
"අම්මේ..." අයුමි කෑ ගැහුවා.
"මොකද්ද මෙතන වෙන්නේ?" කොහේදෝ උන්නු ආත්තම්ම සාලෙට ආවේ එහෙම අහගෙන.
"මෙයා අපේ මූණේ දැලි ගාලා ඉවරයි. දැන් ඉතිං වෙන මොනා වෙන්නද? වෙන කරනන් දේකුත් නෑනෙ. තවත් මෙතන නො ඉඳ තෝරගත්තු කෙනා එක්ක යනව ඉතිං අපට තවත් පව් නොදී" එහෙම කිව්වේ අනුකි.
අයුමිට හොඳටම ඇඬෙන්න ගත්තේ ඒ වචන වල තිබ්බ නිර්දයකමට.
ඒ එක්කම ඈට දැනුනා ඇගේ අතකින් රවීන් අල්ලගන්නවා. ඈ රවීන් දිහා එක පාරක් බලලා ආයෙම බැලුවේ අම්මා දිහා.
"අම්මේ...ඇයි අම්මේ මෙහෙම කරන්නේ?" ඈ ආයෙම ඇහුවා.
"තමන්ගේ ආත්මගරුත්වය නැති කරගෙන ගෙදර ඇවිත්, තව ප්‍රශ්න අහනන් එපා අයුමි. තාත්තත් නැතිව උඹලා තුන් දෙනාව හදන්න මම මැරුණ හැටි දන්නේ මමයි. ඒ කිසි දේක වටිනාකමක් උඹට තිබිලා නෑ. තවත් මෙතන ඉඳලා මගේ ලේ කෝප කරනන් එපා. දැන් ඕනවුණේ මේ මනුස්සයා එක්ක යන්න නේ. ඉතිං යන එකයි ඇත්තේ. හැබැයි ආයේ මේ ගේදර පස් පාගන්න එන්න හිතන්නවත් එපා" අම්මා කිව්වේ වියලි ස්වරයකින්. ඇගේ ඇස්වල කඳුලක්වත් තිබුණේ නෑ.
අයුමි අම්මා දිහා බලාගෙන උන්නේ හිතාගන්න බැරිව ඒ ඈම ද කියලා. ඇගේ හිත තිබ්බේ දුකෙන්ම ගල් වෙලා වගේ.
"අයුමි වරදක් කලේ නෑ අම්මේ. වුණ හැමදේම වුණේ එයා මට ආදරේ නිසා. මම අයුමිව අතාරින්නේ නෑ. එයාට නිකරුණේ දොස් කියන්න එපා"
"මට මහත්තයා එක්ක කතාවක් නෑ. දැන් ආවේ එක්ක යන්න නේ. එක්ක යන එකයි ඇත්තේ. මෙහෙව් දරුවෝ මට වැඩක් නෑ" අම්මා ආයෙම කිව්වා.
"ප්ලීස් අම්මේ මං කියන දේ අහන්න. මෙහෙම කරන එක වැරදියි"
"මහත්තයා කරුණාකරලා දෙන්නත් එක්ක මෙතනින් පිටවෙලා යනවද? තවත් මට අහන්නවත් කියන්නවත් දෙයක් නෑ"
අම්මා එහෙම කිව්වම රවීන් ආයෙම ඈට මුකුත් කිව්වේ නෑ.  
"මෙතන ඉඳලා තවත් තේරුමක් නෑ බබී. ඔයා එන්න ඕන මා එක්ක යන්න" අන්තිමේදි රවීන් අයුමිට කිව්වා.
ඈ අනුකි දිහා බැලුවා. අනුකි අහකබලාගත්තේ ගස්සලා. ආත්තම්මා ඈ දිහා බලාගෙන උන්නේ කිසි දෙයක් හිතාගන්න බැරිව වගේ. අයුමි ආයෙම අම්මා දිහා බලද්දි අම්මා එතනින් යන්න ගියේ ආත්තම්මවත් අතකින් ඇදගෙන.
"අම්මේ...." අයුමි කෑ ගැහුවා.
ඒත් අම්මා ඒ කිසි දෙයක් නෑහුණ ගානට ගේ ඇතුලේ නොපෙනී ගියා. අයුමිගේ දෑස් වලින් කඳුලු බේරෙන්න ගත්තා.
"අම්මේ..." අයුමි ආයෙම කෑ ගැහුවා.
"අපි යමු බබී..." ඈට ඇහුණා රවීන් ආයෙම මුදු හඬින් කියනවා.
අයුමි හොඳටම අඬන්න ගත්තා එතනම හිටගෙන. අනුකිත් සාලෙන් යන්න ගියේ තවත් කිසිවක්ම නොකියා. රවීන් අයුමිගේ උරහිසකි අල්ලගෙන ඈව ඔහු වෙත වාරු කරගත්තා. ගෙයි ඇතුලට දිවලා ගිහින් මෙහෙම කරන්න එපා කියලා අම්මගේ කකුල් ලඟ වැටිලා යදින්න ඈට ඕනවුණත්, ඈට එතනින් හෙලවෙන්නවත් හයියක් තිබුණේ නැති ගානයි. අන්තිමේදි බෑග් දෙක තුනත් අරගෙන, අයුමිව වත්තන් කරගෙනම ඈව එලියට එක්කගෙන ආවේ රවීන්.
ඈ ගෙයින් පිටතට ආවේ කොහොමද, වාහනේට නැග්ගේ කොහොමද කියලා ඈට නිනව්වක් තිබ්බේ නෑ. ඉස්සරහ සීට එකට වාරු වෙලා දෑස් වලින් කඳුලු ගලන්න් දීලා කොච්චර වෙලා ඈ ඇඬුවද කියලත් ඈට නිනව්වක් තිබ්බෙත් නෑ. ගෙදර දැන් මොන තත්වයක් ඇත්ද කියලා ඈ කල්පනා කලේ හිත තවත් රිදුම් දෙද්දි. දැන් මාමලා, නැන්දලා සේරම ඇවිත් ඇති කියලා ඈ දැනගෙන උන්නා. අම්මා තද හිතක් තිබ්බ කෙනෙක් වග ඈ දැනගෙන උන්නත් මේ තරම් තද හිතක් ඈට තියෙනවා කියලා අයුමි කවදාවත් හිතලා තිබුණේ නෑ.
කොලඹට එනකල්ම අඬනවා ඇරෙන්න වෙන දෙයක් අයුමි කලේ නෑ. වතුර පොදක් බොන්නවත් ඈට හිතක් තිබුණේ නෑ. ඒ නිසාම කොලඹ රවීන්ගේ apartment එකට එද්දි ඈ උන්නේ පුදුමාකාර තරම් දුර්වල වෙලා. රවීන් ඈව එකතු කරගෙන ගෙදර ඇතුලට ආවේ පරෙස්සමින්. වතුර ඇරෙන්න වෙන කිසිම දෙයක් නොබීපු අයුමි ඇඳටවත් නොයා පුටුවෙම ඇලවෙලා ඔහේ උන්නේ මැරිලා වගේ. වෙච්ච දේවල් ඈට පුදුමාකාර තරමේ කම්පනයක් වෙලා තිබුණා. රවීන් ඈ අසලින්ම ඉඳගෙන මොන මොනවදෝ කියමින් ඇගේ හිත හදන්න උත්සාහ කලත් ඈට ඒ කිසි දෙයක් ඇහුනේ නැති ගාණයි.
"දැන් දේවල් ගැන හිතුවා කියලා ඒවා විසඳෙන්නේ නෑ බබී. අම්මලා දැන් තරහින් හිටියට ටික දවසකින් එයාලගේ හිත හැදේවි. ඔයා වරදක් කලේ නෑ. මොන දේ වුණත් මං ඔයාට ඉන්නවනේ. ප්ලීස් දැන් චුට්ටක් නිදාගන්න" රවීන් බැරිම තැන ඇගේ හිස අතගාලා කිව්ව්වා.
දවස් දෙකකට පස්සේ අයුමි රවීන් දිහා හරියටම බැලුවේ එවෙලේ. ඒ ඇස්වල තිබ්බ ආදරයයි, කරුණාවයි ඉස්සරහ ඇගේ හිත ආයෙම දිය වුණා වගේ ඈට දැනුනා. ඒත් මේ හැමදේම වුණේ ඔහු හන්දා කියන මොකක්දෝ නොරිස්සුමකුත් ඇගේ හිතේ තිබුණා. ඈ ඔහුගෙන් දෑන් අයින් කරගෙන තනියෙම්ම sofa ඇන්දේ හිස තියාගත්තේ ඒක හන්දා. ඒත් ඈ දැනගෙන උන්නා දැන් ඈට මොන දේටත් ඉන්නේ රවීන් විතරයි කියලා. ජීවිතේ මොන තරම් මායාකාරීද? එක මොහොතක හොඳට තිබිලා අනෙක් මොහොතේ කුණාටුවක් වගේ හැඩි වෙන ජීවිතේ ගැන අයුමිට දැනුනේ කලකිරීමක්. ඉස්සරහට කරන්න ඕන මොකක්ද කියලා ඈ දැනගෙන උන්නේ නෑ. කවදාහරි ආත්මෙක කරපු මොකක්දෝ ලොකු පාපයකට තමන් වන්දි ගෙවනවාදෝ කියලා හිත හිත ඈ ඇස් පියාග්ත්තේ, නින්දෙන් ඇහැරෙද්දි මේක නරක හීනයක් වෙනවා නම් කියලා ප්‍රර්ථනා කරමින්.

Thursday, March 10, 2016

විහංඟනාවී: පනස් දෙවන කොටස

"තමුසෙට ඇත්තටම මොලේ හොඳ නැද්ද නංඟි?" කාමරේ මේසේ ලඟ හිටගෙන අයුමි දිහා බලාගෙන උන්නු අනුකි ඇහුවේ නොරිස්සුම මුසු ස්වරයකින්.
හවස වුණ සිද්ධියෙන් පස්සේ ඇඳටම වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින් උන්නු අයුමිගේ හිත ඒ වචන වලින් පෑරුණත් ඈ ඔහේ නෑහුණා වගේ හිටියා.
"දැන් මොකකද තමුසේ කරන්න යන්නේ?" අනුකි ආයෙම ඇහුවා ඒ පාර.
අයුමි ඒත් උත්තරයක් දුන්නේ නෑ. අනුකි ගැන නොරිස්සුමක් ඇගේ හිතේ ඇති වෙමින් තිබුණා.
"පෙනේද තියෙන හිතුවක්කාරකම. කට නැද්ද?" ඒ පාර අනුකි කලේ අයුමි අසලට ඇවිල්ලා ඈව හොලවලාම එහෙම අහපු එක.
ඒ පාර උන්නු ඉරියව්ව වෙනස් කරපු අයුමි අනුකි දිහා බැලුවෙ වේදනාවයි, නොරිස්සුමයි දෙකම පිරුණ ඇස් වලින්. අනුකිත් උන්නේ ඈ දිහාම රවලා බලාගෙන. අයුමි ඒ පාර ආයෙම බිම බලාගත්තා.
"මම මොනවත් කරන්නේ නෑ" ඈ ඉන්පස්සේ කිව්වා.
"ඒ කියන්නේ ඔය සම්බන්ධේ නවත්තන්නෙත් නෑ කියන එකද?" අනුකි ඇහ්වුඒ සැරෙන්.
අයුමි මුනිවත රැක්කා.
"ඔව්, තමුසෙගේ හිතුවක්කාර කමනේ. දැන් ඉතිං මොනා හරි කරලා තමුසේ අපේ මූණේ දැලි ගානවකෝ. එතකොට සේරම ඉවරයි. මටවත්, මල්ලිටවත් ආයෙම පාර බැහැලා යන්න නැති කරනවකෝ තමුසේ" අනුකි කෑ ගැහුවා.
ඒ පාර අයුමිගේ ඉවසීමේ සීමාව පැන්නා. ඈ ඇසිල්ලකින් ඇඳෙන් නැගිටලා අනුකිගෙන් පුලුවන් තරම් ඈතට ගිහින් කාමරේ කොනක හිට ගත්තා.
"මට කාගෙවත් මූණේ දැලි ගාන්න ඔනේ නෑ. මම එහෙම වෙන්න තරම් දෙයක් කරලත් නෑ. ඒත් මට රවීන්ව අමතක කරන්න බෑ. මට එහෙම කරන්න බෑ" අයුමි කිව්වෙත් කෑ ගහලා වගේ.
"ඒ කියන්නේ අපි මොනා කිව්වත්, තමුසේ ඒ මනුස්සයාව කසාද බඳිනවා?" අනුකි ඇහුවා.
"ආදරේ කරනවා කියන්නේ කසාද බඳින්නම ඕන කියන එකවත්, ලඟ ඉන්නම ඕන කියන එකත් නෙවෙයි. මම කොහේ හිටියත්, ජීවිත කාලේම නොබැඳ හිටියත් රවීන්ට විතරයි ආදරේ. ඒක වෙනස් වෙන්නේ නෑ" අයුමි කිව්වේ අනුකි දිහා කෙලින්ම බලලා.
එවෙලේ මොහොතකට අනුකි නිරුත්තර වුණා. දෙන්නම මොහොතක් දෙන්නා දිහාම බලාගෙන ඉන්න ඇති.
"තමුසේ ඕන මගුලක් කරනවා. හැබැයි පවුලේ නමට කැලලක් නොවෙන්න. අම්මා අපිව අමාරුවෙන් හැදුවේ, මේ තත්වෙට ගෙනාවේ කාගෙන්වත් කතාවක් නාහා. තමුසේ ඒක විනාස කරන්න හදන්න එපා. මහ ආත්මාර්ථකාමී හිතුවක්කිරියක් වෙන්න එපා" අන්තිමේදි අනුකි ආයෙම කිව්වා.
අයුමි අහක බලාගත්තා මිස මුකුත් කිව්වේ නෑ. ඇගේ හිත කොච්චර රිදිලා තිබුණද කිව්වොත් ඈට ඕනවුණේ හයියෙන්ම කෑ ගහලා අඬන්න. ඒත් අනුකිගේ නපුරුකම ඉස්සරහදි ඇගේ හිත ගල් වුණා. අනුකිට පේන්න අඬන්න ඈට ඕන වුණේ නෑ.
අනුකි ගස්සගෙන කාමරෙන් යන්න ගියාට පස්සේ අයුමි ආපහු ඇවිත් ඇඳෙන් වාඩි වුණේ දුර්වලව. ඈට නොදැනීම ඇස් වල පිරුණ කඳුලු කම්මුල් දිගේ රෝල් වුණා. ඒ වෙනකොට කාමරේ තිබ්බේ අඳුරේ ගිලිලා. ඇඳ කොනේ කොට්ටේ ලඟින් එක පාරටම පුංචි එලියක් විහිදුනාම අයුමිට ඒ දිහාව බැලුණේ ඉබේටම. 'ෆෝන් එක'
ඈ කඳුලු පිහගෙන ෆෝන් එක අතට ගද්දිම වගේ කෝල් එක කට් වුණා. 'මිස්ඩ් කෝල් 45ක් රවීන්ගෙන්!' අයුමිට දැනුනේ හිත කඩාවැටුණාවගේ හැඟීමක්. රවීන්ගේ නොම්මරේට ආපහු කෝල් එක ගනිද්දි ඇගේ ඇඟිලි වෙව්ලුවා.
"දෙයියනේ බබී...මං කී පාරක් කෝල් කලාද?"
රවීන්ගේ හඬ එහා පැත්තෙන් ඇහෙද්දි, අයුමිගේ කඳුලු ආයෙම අලුත් වුණා. ඈට එක පාරටම කතා කරගන්න පුළුවන් වුණේ නෑ.
"බබී..." රවීන්ට ඇගේ වෙනස දැනිලදෝ ඔහු ඈව ආයෙම ඇමතුවේ හෙමින්.
"ඇයි රවීන් ඔයා මෙහේ ආවේ?" අයුමි ඇහුවේ කඳුලු අතරින්මයි.
රවීන් එක පාරටම උත්තරයක් නොදුන්නේ ඒ ප්‍රශ්ණෙන් ඔහු එකපාරටම වික්ෂිප්ත වුණ හන්දා වෙන්න ඇති. ඒත් අයුමිගේ හැඬුම් ඇහුණම වෙලා තියෙන දේ ඔහු තේරුම් ගන්න පුලුවන් වුණ හන්දදෝ ඔහු කතා කලේ සැකමුසු ස්වරයකින්.
"මොකද වුණේ බබී?" ඒ හඬේ තිබ්බේ බයක්.
"වෙන්න තියෙන සේරම වුණා, තවත් වෙන්න දෙයක් නෑ" අයුමි කිව්වේ හැඬුම් අතරින්මයි.
රවීන් ආයෙම තප්පර කීපයක් නිහඬ වුණේ වුණ දේවල් නිරායාසයෙන්ම වටහාගෙන වගේ.  අයුමිට දිගටම ඇඬුනා.
රවීන් බරට සුසුමක් හෙලුවා. ඔහු තව තප්පර දෙක තුනක් නිහඬවම ඉද්දි, අයුමි තව තවත් කඳුලු හෙලුවා විතරයි.
"අම්මලා ඔයාට දොස් කිව්වද බබී?" රවීන් අන්තිමට ඇහුවේ පරාජිත හඬකින්.
රවීන් එහෙම ඇහුවම අයුමිට ත්ව ටිකක් දුක හිතුණා. ඔහු ලඟ උන්නා නම් හිතේ තියෙන දුක කියන්න, ඔහු එක්ක එකතු වෙලා මේ ප්‍රශ්ණෙට විසඳුමක් හොයන්න තිබුණා කියලා ඈ හිතුවේ හිත මහා තනිකමකින් වෙලෙද්දි.
"අන්ඬන්න එප බබී ප්ලීස්. අම්මලා මොනාද කිව්වේ කියන්න්න මට" රවීන් ඇහුවේ දයාබරව.
ඒත් අයුමි උත්තරයක් දුන්නේ නෑ හීල්ලුවා ඇරෙන්න.
"අපේ සම්බන්ධේ නවත්තන්න කිව්වද?"
රවීන් එහෙම අහද්දි අයුමි 'හ්ම්' කිව්වේ කඳුලු අතරින්මයි.
ඒ පාර රවීන් ආයෙම නිහඬ වුණා. අයුමි කඳුලු පිහ පිහ ඇහුම්කන්දීගෙන උන්නා.
"එතකොට ඔයාගේ තීරණේ මොකක්ද බබී?" අන්තිමේදි රවීන් ඇහුවේ එහෙම.
"මම දන්නේ නෑ දෙයියනේ" අයුමි කිව්වේ හැඬුම්බරවමයි.
"මට ඔයාව හම්බවෙන්න ඕන. මට ඔයාව බලන්න ඕන බබී. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මම ඇවිත් ආයෙම අම්මලා එක්ක කතා කරන්නම්. මම දන්නවා ඇයි එයාලා කලබල වෙලා තියෙන්නේ කියලා. මට පුලුවන් පැහැදිලි කරලා දෙන්න ආයෙම. මම හෙට එන්නම් ආයෙත්" රවීන්ගේ හඬේ ඒ පාර තිබ්බේ කලබලයක්.
"වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ රවීන්" අයුමි කිව්වා.
"එහෙම කියන්න එපා බබී. අපි උත්සාහ කරලා බලමු"
"මම දන්නේ නෑ රවීන්..."
"ඇයි එහෙම කියන්නේ? ඔයාට මාව එපාද? මට ආදරේ නැද්ද බබී ඔයා?" රවීන්ගේ හඬේ තිබ්බේ අසරණකමක්.
ඒ පාර ආයෙම අයුමිගේ ඇස්වල කඳුලු පිරුණා.
"මට ඔයාව ඕනේ. මං ගොඩක් ආදරෙයි. ඔයා ඒක දන්නවා" අයුමි උත්තරයක් දෙන්න කල් ගනිද්දි රවීන් කිව්වේ ගොඩක්ම හැඟීම්බරව.
"මම දන්නේ නෑ මොනා කරන්නද කියලා. ඔයා නැතුව ජීවත් වෙන්න මම දන්නේ නෑ රවීන්. ඒත් මම කොහොමද අම්මලට පිටුපාන්නේ? මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා" අයුමි අන්තිමට කිව්වා.
"අහන්න...මම ආයෙම ඇවිත් කතා කරන්නම්. එක පාරක නෙවෙයි දහස් පාරක් හරි එන්න මට පුලුවන් අයුමි. මට එන්න එපා කියන්න එපා. මම ආයෙම එනවා. බලාපොරොත්තු නැතිකරගනන් එපා. ප්ලීස්...ආදරේ නැති කරගන්න එපා. දැන් මගේ හොඳ ළමයා වගේ නාඬා ඉන්න. මං එනවා. ඔයාට වෙන කාගෙවත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ" රවීන් කිව්වේ දයාබරව, ලොකු විශ්වාසෙකින්.
  ඒ දයාබර බවට ඇගේ කඳුලු අලුත් වුණා. එදා උදේ තිබුණ තත්වෙයි, දැන් තියෙන තත්වෙයි ගැන හිතද්දි ඈට දැනුනේ ඒ උදේ අවුරුදු ගාණකට එපිට දවසක් වගේ හැඟීමක්. මොනා වුණත් ටිකක් ඉවසලා, මොලේ කල්පනා කරලා රවීන් එක්ක රණ්ඩු නොවී උන්නා නම් අද මෙච්චර දෙයක් වෙන්නේ නෑ නේද කියලත් ඈ කල්පනා කලා. අතීතෙදි මොන දේ වුණත් දැන් රවීන් ආදරෙ කරන්නේ ඈට නේද කියන එක ඈ හිතුවේ, පුංචි වරදකාරී හැඟීමකින් හිත බර වෙද්දි. සැකේකට වඩා සැන්ඩ්‍රා ගැන ඇගේ හිතේ තිබුණ ඉරිසියාව හන්දයි ඒ තරම් දුකක්, තරහක් ඈට දැනුනේ කියන එක ඈ දැනගෙන උන්නා. අන්තිමටත් ඈට හිතුණේ රවීන් එක්ක රණ්ඩු නොවුණා නම් කියලා. ඒ සිතිවිලි වලින් හිත බර වෙද්දි ඈට රවීන් ගැන මහා ලොකු සෙනෙහසකින් හිත පිරුණා.
"මට සමාවෙන්න රවීන්..." ඈ හෙමින් කිව්වේ ඇස්වල කඳුලක් ආයෙම කම්මුලක් දිගේ රෝල් වෙද්දි.
"බබී...එහෙම කියන්න එපා. ඔයා මට වරදක් කලේ නෑ"
"මම උදේ ඔයා එක්ක රණ්ඩු නූන නම් අද මෙච්චර දෙයක් වෙන්නේ නෑ" අයුමි කිව්වේ හැඬුම්බරව.
"අද නැතත් අපිට මේ ප්‍රශ්ණෙට කවදා හරි මූණ දෙන්න වෙනවනේ බබී" රවීන් කිව්වා.
"මට බයයි රවීන්...ආයෙ කවදාවත් අපට හම්බවෙන්න බැරි උණොත්...අන්තිමට අපි වෙනවුනේ රණ්ඩුවකින්. මම කොහොමද හිත හදාගෙන ඉන්නේ රවීන්?" අයුමි කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"බබී...අනේ ඔහොම depress වෙන්න එපා. මම කිව්වනේ එනවා කියලා. මෙහෙම වුණා කියලා අපි වෙන් වෙන්නේ නෑ බබී. පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි කොහොමහරි අම්මලා කැමති කරගමු"
"ඔයා දන්නේ නෑ රවීන්..." අයුමි පටන් ගත්තත් රවීන් ඊට කලින් කතා කලා.
"අහන්න....මොන දේ වුණත් ඔයා මගේ වෙනවා. එච්චරයි. මාව විශ්වාස කරන්න"
රවීන්ගේ හඬේ තිබ්බ විශ්වාසය නිසාම හිතටත් පොඩි සහනයක් දැනුනා අයුමිගේ. ෆෝන් එක තියලා ආපහු ඇඳේ ඇල
වෙද්දි හිත නොසන්සුන් වෙලා තිබුණත්, හිත පතුල තිබ්බේ සන්සුන්ව. මොනා වුණත්, රවීන් වෙනස් වෙන්නේ නෑ කියන තහවුරු වීමත්, ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියන විශ්වාසයත් ඒ සන්සුන් සිතිවිලි අතරේ ගැබ් වෙලා තිබුණා. 

Monday, January 11, 2016

විහංඟනාවී: පනස් එක්වන කොටස

රවීන් යන්න ගියාට පස්සෙත් ටික වෙලාවක් යනකල් අයුමිගේ අම්මා උන්නු තැනම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන උන්නේ මොකක්දෝ හැඟීමකින් ගල් වෙලා වගේ. රවීන් ගැන ඇගේ හිතේ තාමත් බුබුලු දමමින් තිබුණේ නොරිස්සුමක්. ගෙදරට ආපු නිසා නොවෙන්න, වෙන තැනක වුණා නම් ඈ රවීන්ට හොඳටම දොස් කියන්න තරම් ආවේගයකුත් ඇගේ හිතේ තිබුණා. ඒ ඒක්කම දැන් ඊලඟට මොනවා වෙයිද කියන අහේතුක බයත් හිතේ හොල්මන් කරමින් තිබුණා.  රවීන් යද්දි සිරිතට වගේ පෙරමගට ආපු අයුමිත් දොර උලුවස්ස ලඟ නැවතිලා එලිමහන දිහාම බලාගෙන උන්නේ ආයෙම හැරිලා ගෙට යන්න හිත හදාගන්න බැරිව. ඒත් එතන ඉන්න බැරි තැන අයුමි ගේ ඇතුලට එන්න හැරුණේ එහා පැත්තේ තවමත් වාඩි වෙලා උන්නු අම්මා දිහා නොබලා.
"මද්දු...පොඩ්ඩක් ඔහොම පොඩ්ඩක් නවතින්න..." අම්මා කිව්වේ විධානාත්මකව.
අයුමි ඉද්ද ගැහුවා වගේ නැවතුනා උන්නු තැනම. ඈට දැනුනේ හිස්මුදුනට ලෝදිය බාල්දියක් හැලුවා වගේ, වරදකාරී, නොසන්සුන්කමක්.
"පොඩ්ඩක් මෙහෙන් වාඩි වෙන්න" අම්මා ඊලඟට කිව්වේ ඈ දිහාවත් නොබලා.
අයුමිට එහා පැත්තේ ඈතට වෙන්න උන්නු ආත්තම්ම දිහා බැලුණේ ඉබේටම. ආත්තම්මත් ඇගේ දෑස් මගෑරලා අමනාපෙන් වගේ ඉවත බලාගත්තම අයුමිගේ හිතේ තිගැස්ම තවත් වැඩි වුණා. ඈ අම්මට ඈතින් තිබ්බ පුටුවකට බර වුණේ යන්ත්‍රානුසාරයෙන් වගේ. දැන් අම්මා මොනා කියාවිද කියලා හිතාගන්න බැරිව ගෙවුණ තප්පර ඈට දරාගන්න බැරි තරම් වුණා.
"මොකක්ද මද්දු අපි ඔයාට කරපු වරද? මොකක්ද අපි ඔයාට කරපු අඩුව? තාත්තා නැති වුණ දා ඉඳන් දුක් විඳගෙන ඔයාලව හදපු එකද මගේ වරද?" අන්තිමේදි අම්මා ඇහුවේ දරුණුම විදිහට.
තිගැස්සුන පාරට අම්මා දිහා අයුමි බැලුවා නෙවෙයි, බැලුණා. අම්මා ඒත් උන්නේ ඉවත බලාගෙන. අයුමිට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.
"මෙච්චර රටේ මිනිස්සු ඉද්දි බැඳපු මිනිහෙක්ම හොයාගන්න තරම් උඹට තිබ්බ අඩුපාඩුව මොකක්ද ළමයෝ? හැබෑටම මොලේ කලක් වත් තිබ්බේ නැද්ද? මොකක්ද මේ කරලා තියෙන වැඩේ තේරුම?" ඒ පාර දොස් කියන්න ගත්තේ ආත්තම්මා.
අයුමිට හිතාගන්න බැරි වුණා ඒ ප්‍රශ්ණෙට කොයි විදියට උත්තරයක් දෙන්නද කියලා. ඈ බිමට නෙත් යොමාගෙන කල්පනා කලේ ඒකයි. 'ඇත්තටම ඇයි ඒක මං කලේ?' අයුමි තමන්ගෙන්ම අහගත්තත්, ඒකට තියෙන්නේ එකම උත්තරයක් වග ඈ දැනගෙන උන්නා. හිතේ අනික් සේරම හැඟීම් පරයාගෙන ඒ පාර ඇගේ හිතේ නැගුනේ රවීන් ගැන හිතේ හැමදාමත් තිබ්බ ආදරේ. මොන වරදක් කලා වුණත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නැති එක මොන පුදුමයක්ද කියලා ඈ මොහොතක් කල්පනා කලා.
"දැන් ඉතිං කසාය බීපු ගොලුවා වගේ නො ඉඳ කියනවා මද්දු, මොකකද මේකේ තේරුම? දෙවියනේ මොලේ කල්පනා නොකර කොහොමද මෙහෙම දෙයක් කලේ? පොඩ්ඩක්වත් පවුල ගැන මතක් වුණේ නැද්ද මද්දු? පොඩ්ඩක් වත් අනික් දෙන්න ගැන හිතන්න මතක් වුණේ නැද්ද? මේවා ගමේ මිනිස්සුන්ට හෙම ආරංචි වුණොත් කොහොමද අපි රටට ලෝකෙට මූණ දෙන්නේ? කට වහගෙන නො ඉඳ කියනවා" අම්මා ඒ පාර කලින්ටත් වඩා හයියෙන්ම ඇහුවා.
අයුමි දිග සුසුමක් හෙලුවේ ඇස් වල කඳුලු පිට පනින්න ඔන්න මෙන්න තියෙද්දි. ඒත් තාමත් ඈට වචනයක්වත් කතා කරන්න දිව නැමුනේ නෑ. වෙච්ච හැම දේකින්ම ඈ ඕනවටත් වඩා තිගැස්සිලයි උන්නේ.
"පෙනේද කිසීම වගේ වගක් නෑ වගේ මේක ඉන්න හැටි? කටේ පිට්ටු හිර වෙලාද අහන දේකට උත්තරයක් දෙන්න බැරි?" ඒ ආත්තම්මා.
"මම වරදක් කලේ නෑ" අයුමිට එහෙම කියවුණේ හිතේ නැගුන ආවේගයට.
"වරදක් කලේ නෑ?" අම්මා ඒ පාර ඇහුවේ අයුමි දිහා බලලා උස් හඬකින්.
"මම ගෙදරටවත්, අම්මලාටවත් වරදක් කරන්න හිතුවේ නෑ අම්මේ" අයුමි ආයෙම කිව්වා.
"උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද මද්දු?" අම්මගේ කේන්තිය ඒ පාර තිබුණේ වැඩි වෙලා.
"රවීන් නරක මනුස්සයෙක් නෙවෙයි අම්මේ" අයුමි කිව්වේ අම්මා දිහා නොබලා ඉන්න උත්සාහ කරමින්.
"මනුස්සය නරකද කියන එකද මද්දු මෙතන තියෙනේ ප්‍රශ්ණේ? ප්‍රශ්ණේ ඒ මිනිහා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක් වෙච්චි එක. උඹ හදන්නේ ඒ ළමයි දෙන්නට කුඩම්මා වෙලා උඹේ ජීවිතේ ඉතිරි කාලේ ඒකට මිඩංගු කරන්නද? දෙයියනේ දික්කසාද වෙච්ච මිනිහෙක් එක්ක උඹ මොනා කරන්නද මද්දු? ඒ මිනිහා උඹවත් දික්කසාද නොකරාවි කියලා උඹට කියන්න පුලුවන්ද? ඔය සල්ලිකාර මිනිස්සුන්ගේ හැටි උඹ දන්නේ නැද්ද? මෙච්චර හොඳට උඹලව හදලා වඩලත් මෙහෙම තමුන් මෝඩ වුණේ කොහොමද කියලා මට හිතාගන්න බෑ" අම්මා ඒ පාර කිව්වේ ටිකක් පරාජිත හඬකින්.
අයුමිට අම්මා දැන දුකක් නොදැනුනා නෙවෙයි. 'ඒත් ආදරේ කරන එක මෝඩකමක්ද?'
"රවීන්ට දික්කසාද වෙන්න වුණ හේතුවවත් නොදැන එහෙම කතා කරන එක හරිද අම්මේ? එයාට රවීන් එක්ක සතුටින් ඉන්න බැරි හන්දා යන්න ගිය එක රවීන්ගේ වරද නෙවෙයි. ළමයි දෙන්නවත් දාලා එහෙම යන්න ගිය ගෑණිට වඩා රවීන් නරක වෙන්නේ කොහොමද?" අයුමි තර්ක කලා.
"ගෑණි නරකද, මිනිහා නරකද කියලා තමුන් මට කියන්න ඕන නෑ. ඒකෙන් මට වැඩක් නෑ. මට තියෙන ප්‍රශ්ණේ තමුන් දැන දැනම මේ වගේ තේරුමක් නැති සම්බන්ධෙක පැටලුණේ ඇයි කියන එක. දික්කසාද වෙච්ච මිනිස්සුන්ගේ වැරදි හදාගන්න දෙන්න මම ළමයි හැදුවේ නෑ. අන්න ඒක තමුන් දැනගත්තොත් හොඳයි" අම්මා ගර්ජනා කලා.
"දික්කසාද වුණා කියලා කෙනෙක් මුලු ජීවිතේම තනියෙම ඉන්න ඕනද අම්මේ? ඒ කෙනාට ආදරේ කරන්න, ආදරේ ලබන්න තහනම්ද?" අයුමි ඇහුවා.
"කට වහගනින් මද්දු. වැරදි කරලා තව උඹ මා එක්ක තර්ක කරන්නත් එනවද? ආදරේ ගැන තර්ක කරන්න මොකෝ උඹ මහලොකු ජුලියට් ද? උඹ මට ආදරේ ගැන කියලා දෙන්න එන්න ඕන නෑ. ආදරේ ගැන මම ඉගෙන ගත්තේ උඹට කලින්. මේක ආදරේ ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. අපේ ගෙදර නම්බුව ගැන ප්‍රශ්ණයක්..." අම්මා කිව්වේ තරහින්.
"මම ගෙදර නම්බුවට කැලලක් වෙන දෙයක් කලේ නෑ අම්මේ" අයුමි පුලුවන් තරම් නොරිස්සුම පාලනය කරගන්න උත්සාහ කරමින් කිව්වා.
නොරිස්සුම බලවත් වුණේ අම්මලාවත්, අඩුම තරමේ රවීන්වත් තමන් ගැන හිතන්නේ නැති හැටි කියලා කල්පනා වෙද්දි. හවස ඔෆිස් එකේදි වුණ සිදුවීම තවම ඇගේ හිතේ හොල්මන් කරමින් තිබ්බ තියෙන ප්‍රශ්ණ මදිවට වගේ.
"ඔව්. තාම කලේ නෑ. දෙයියන්ට පිං සිද්ධ වෙන්න. ඒත් ඒක කරන්න කලින් තමා මම මේ කියන්නේ. උඹ අදම මේ සම්බන්ධේ නවත්තන්න ඕන. ඔය රස්සා කිරිල්ලෙන් වැඩක් නෑ. ආයෙම උඹ  ඔය රස්සාවට නොගියට කමක් නෑ. මම මේ හොඳින් කියන්නේ. මට මේක වෙන විදියකට කියන්න ඉඩ හදන්න එපා. මම උඹලා තුන් දෙනාව දුක් මහන්සි වෙලා උස් මහත් කලේ ලොකු බලාපොරොත්තු ඇතුව. ඒ මට සැප විඳින්න නෙවෙයි. උඹලා තුන් දෙනාට හොඳ අනාගතයක් ලැබෙන්න ඕන නිසා. ඒ නිසා, මද්දු ඔය සම්බන්ධේ මෙතනින් ඉවර වෙන්න ඕන. ආයෙම වැඩට යන්න ඕන නෑ. රස්සාවෙන් අස් වෙනවා කියලා ලියුමක් දාන්න ඔය රවීන්ට"
අම්මා එහෙම කිව්වේ කලින් වගේම විධානාත්මකව. අම්මා එහෙම කිව්වම අයුමි මොහොතකට ගොලු වුණා. ඈට හිතාගන්න බැරි වුණා අම්මා එක පාරටම එහෙම කිව්වම.'එතකොට හැමදේම ඉවර වෙන්නේ එහෙමද?'
"රස්සාවෙන් අස් වෙන්න?" අයුමි මිමිණුවා අන්තිමට.
"ඔව්. ආයෙමත් කොලඹ යන්න ඕන නෑ. මෙන්න මෙහේ ගෙදරට වෙලා ඉන්නවා අපට ලැජ්ජා නොකර" අම්මා කිව්වා.
"මට ඒක කරන්න බෑ අම්මේ. මම කොහොමද එහෙම රස්සාව එපා කියලා දමලා ගහලා ගෙදර ඉන්නේ? ඒක රවීන් ගැන විතරක් ප්‍රශ්ණයක් නම් එහෙම කරන්න තිබ්බා. ඒත් ඒක මුලු කම්පැනිය ගැනම ප්‍රශ්ණයක්. මම නැවතුනොත් එහේ වැඩ සේරම නවතිනවා බාරගෙන තියෙන. අම්මේ රවීන් මට ආදරේ කලා කියලා කම්පැනියට වරදක් වෙන දෙයක් කරන්න ඕනද මම? මම කොහොමද එහෙම කරන්නේ?" අයුමි ඉන් පස්සෙ ඇහුවා.
"උඹ නොගියා කියලා මොකෝ ඒකේ වෙන මිනිස්සු නැද්ද වැඩ කරන්න?"
"මාසයක් වත් කල් නොදී අස් වෙන්න මට බෑ අම්මේ. අම්මා දන්නවනේ වැඩ කරන තැන් වල එහෙම කරන්න බෑ කියලා. මොනා වුණත් ඒ මම හම්බකරගෙන කාපු තැන නෙවෙයිද?" අයුමි ඇහුවෙත් ආවේගෙන්.
"ඒවයින් මට වැඩක් නෑ මද්දු. යනවා නම් යන්න පුලුවන් ඒත් ආයෙම එන්න හිතන්න එපා. ගෙදර මිනිස්සු මැරුණා කියලා හිතාගෙන ගියාට කමක් නෑ" අම්මා කිව්වේ නිර්දය විදිහට.
"අම්මේ...!" අයුමිට කෑ ගැහුණා. "මොනාද අම්මේ මේ කියන්නේ?"
"තීරණයක් ගන්න එක තමන්ට බාරයි" අම්මා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.
ඒත් අයුමි උන්නේ කතාව ඉවර කරන්න ඕන තැනක නෙවෙයි. හිත තිබ්බේ පුදුමාකාර තරම් නොසන්සුන් වෙලා. එක්කම හිතේ තිබුණේ එක්තරා විදිහක භීතියක් වගේ එකක්.'මම කොහොමද රවීන්ව අමතක කරන්නේ?' හිත අහපු එකම ප්රශ්ණේ ඒක. මොන දේ කලත්, මොන දේ වුණත් තමන්ට රවීන්ව අමතක කරන්න බෑ නේද කියලා අයුමි කල්පනා කලේ වෙදනාවෙන් හිත මිරිකෙද්දි. වෙච්ච දේවල් රවීන් දන්නවා නම් මොනවා වේවිද කියලා කල්පනා කලා. එක්කම ඔහු එක්ක ගෙවුණ කාලේ, බෙදාගත්තු විඳගත්තු ආදරේ මතක් වෙද්දි අයුමිට හිත හදාගෙන ඉන්න පුලුවන් වුණේ නෑ. හැමදේම අමතක කරලා ජීවත් වෙන්න හිත හදාගන්නේ කොහොමද? එහෙම කරලා ජීවත් වෙන්නේ මොනා වෙනුවෙන්ද? රවීන් නැති අනාගතේක තමන්ට කිසිම අරමුණක් නෑ නේද කියලා අයුමි හිතුවේ අනාගතේ ගැන හිතන්නවත් බය වෙමින්.
"මට රවීන්ව අමතක කරන්න බෑ අම්මේ?" අන්තිමේදි ඈට කියවුණා.
යන්න නැගිටපු අම්මා දිහා බැලුවේ ඇස් පුංචි කරලා.
"මොකක්ද? අමතක කරන්න බෑ?"
"මට ඒක කරන්න බෑ" අයුමි මිමිණුවේ හීනෙන් වගේ.
"මොකද ළමයා උඹට වෙලා තියෙන්නේ? මොකක්ද මේ විගඩම? තව මිනිස්සු කොච්චරවත් ඉන්දැද්දි, මේ මිනිහා මත්තෙම මොකට නැහෙන්න යනවද?" ආත්තම්මා.
"මට වෙන මිනිස්සු ඕන නෑ..." අයුමි කිව්වේ කෑ ගහලා වගේ.
" කියන්නේ අපි කියන දේ අහන්න ඔයාට බෑ?" අම්මා ඇහුවේ වියලි ස්වරයකින්.
අයුමි අම්මා දිහා බැලුවේ ඇස් වල කඳුලු වලින් අම්මගේ රූපේ බොඳ වෙද්දි.
"මට ආයෙමත් වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ" ඇගේ ස්වරයේ තිබ්බේ උමතුවක් වගේ හැඟීමක්.
අම්මා අයුමි දිහා බලාගෙන උන්නේ කවදාවත් ඈව එහෙම දැකලා නෑ වගේ නොරිස්සුම් බැල්මකින්. මුකුත් නොකියම ඉන්පස්සේ අහකබලාගත්තත් උන්නු තැනින් නොහෙල්ලී උන්නේ මොකක්දෝ කල්පනාවකින් වගේ.
"මට කියන්න තියෙන දේ මම කිව්වා. ඊට පස්සේ කරනන් ඕන තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. තාත්තත් නැතිව මම ඔය තුන් දෙනා කාගෙන්වත් කතාවක් නාහා හදාවඩා ගත්තේ මේවා බලන්න නෙවෙයි. උස්මහත් කරලා මේ තැනට ගෙනාවේ මෙහෙම ජීවිතේ වැරදි තීරණ ගන්නවා බලන්න නෙවෙයි. ඒත් දැන් ඔයා වැඩිහිටි ළමයෙක්. කාරණා කාරණා තේරුම් ගන්න ඔයාටත් පුලුවන් කමක් තියේන්වා නේ. හැඟීම් වලට වහල් වෙලා ඔයාගේ තීරණේම ඉන්නවද, නැත්තම් ගෙදර ගැන හිතලා තීරණයක් ගනන්වද කියලා ඔයාම හිතලා බලන්න. මම වෙන මොනවත් කියන්නේ නෑ" අම්මා ටික කිව්වේ තරහක් වත්, දුකක් වත් නැති අමුතුම වියලි ස්වරයකින්.
අයුමිගේ හිත තව තවත් බර වුණා. අම්මා තමන්ගේ කම්මුලට ගැහුවා නම්, මේ වචන වලින් තරම් තමට රිදෙන එකක් නෑ කියලා හිතුවා.
අම්මා ඊලඟට එතනින් යන්න ගියා ආයෙම දිහාවත් නොබලා. ආත්තම්මත් ආයෙම මුකුත් නොකියා යන්න ගියේ ලොකු සුසුමක් හෙලලා. ගල් වෙලා වගේ මොහොතක් තමන් උන්නු පුටුවෙම වාඩි වෙලා උන්නු අයුමි අන්තිමේදි නැගිටලා කාමරේට ගියේ හිත මුලුමනින්ම කඩා වැටෙද්දි. රවීන් ගැන ලෝබකමක්, හිත පුපුරන්න තරම් ආදරේකුත් එක්කම, ඔහු ගැන තරහකුත් ඇගේ හිතේ තිබුණා. ඔහු අද ඇවිදින් මේක නොකිව්වා නම් අඩුම තරමේ විසඳුමක් කතා කරගනන්වත් තමන්ට කාලේ ලැබෙන්න ඉඩ තිබුණා නේද කියලා හිතුවා. ඇඳේ ඉඳගනිද්දි, ඈට කීකරු නොවුණ ඇස් වලින් සට සට ගාලා කඳුලු කැට ගොඩක් කඩාගෙන වැටුණේ රවීන්ට තිබුණ ආදරේ අර සේරම හැඟීම් මැඩගෙන හිතේ බලවත් වෙද්දි.