Friday, January 23, 2015

අවසාන කොටස

මේසේ මත තියලා තිබ්බ පිංතූරේ උන්නු භූපගෙන් මම ඇස් දෙක ඉවතට ගත්තේ සුසුමක් හෙලන ගමන්. අවුරුදු තුනකට පස්සෙත් ඒ වත දකිද්දි තවමත් දෑස් තුනී කඳුලු පටලයකින් බොඳ වුණා.
"චූටි දූ...මල්ලියට ඔය බෝලේ දෙන්න පැටියෝ..." මම දැහැනින් මිදුණේ අනුක්ගේ හඬට.
ඒ එක්කම මට ඇහුණා කේතකීගේ පුංචි පුතා අඬන හඬත්.
"පුතු පැටියා ඔය අනික් ලොකු බෝලේ ගන්නකෝ. බලන්න අක්කිගේ එකට වඩා මේක ලස්සනයි"
මට ඇහුණා පුබුදු අයියා සාලේ තිබ්බ තව බෝලයක් පුංචි පුතාට දීලා නලවගන්න හදනවා.
"තනියෙම නේ ඉන්නේ. කිසි දෙයක් දෙන්න කැමති නෑ වෙන කෙනෙක්ට" මා ලඟ උන්නු කේතකී මට පුතා ගැන කිව්වේ පුංචි හිනාවකුත් එක්ක.
"ලොකු වෙද්දි ඕවා හරි යයි" මම කිව්වා.
"අපි යමු කුස්සියට දුලා. කොච්චර දේවල් තියේද කතා කරන්න"
අනුක්ටයි, පුබුදු අයියටයි බබාලා බලන්න දීලා අපි දෙන්න කුස්සියට ආවා.
"ඉතිං කියන්නකෝ...කොහොමද කොලඹ ජීවිතේ? කොහොමද වැඩ?" කේතකී ඇහුවේ කේතලේ ලිපෙන් තියන ගමන්.
"ඔක්කොම හොඳයි කිසිම වරදක් නෑ කේතකී"
මම එහෙම කිව්වම කේතකී මගේ මූණ දිහා බලාගෙන උන්න මොහොතක්.
"මම ඇත්තටම කියන්නේ"
මම කිව්වේ කුස්සියේ තිබ්බ රවුම් මේසේ අසලින් වාඩි වෙන ගමන්. කේතකීත් මගේ අසලින් වාඩි වුණේ බැරෑරුම් මූණක් මවාගෙන.
"අවුරුදු තුනක් දුලාරා...අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්. ඔයා තව කොච්චර කල් ඔහොම ඉන්නද?" කේතකී ඇහුවම මම හිනා වුණා විතරයි.
"ඔයා හිනාවෙනවා"
"හිනාවෙනවා නෙවෙයි. හිනා ගියා. ගෙදර ආවම අම්මලගෙන් වදේ. යාලුවෙක් බලන්න ආවම එයාගෙන් වදේ. මම මේ ඉන්න විදිය මට හොඳයි කේතකී" මම කිව්වා.
"මම දන්නෑ ඔයාට කොහොම කියන්නද කියලා"
"මම මෙහෙම ඉන්නේ භූප නිසා නෙවෙයි කේතකී" මම ඈට කිව්වා.
කේතකී මොහොතකට ගොලු වුණේ පුදුම වෙලා වගේ.
"අපි ආදරේ කරපු කාලයක් තිබා. ඊට පස්සේ අපි වෙන් වුණා. දැන් ඒ සේරම ඉවරයි. මම මෙහෙම ඉන්නේ ඒක මට නිදහසක් හන්දා"
කේතකී ඉවත බැලුවේ අමනාපෙන් වගේ.
"ඒක යස නිදහසක් නේ.කෙල්ලෙක්ට පුලුවන්ද ජීවිතකාලෙම ඔහොම ඉන්න?" කේතකී කිව්වේ අමනාපයෙන් වගේ වුණත් මම දැනගෙන හිටියා ඈ මේවා කියන්නේ මගේ හොඳට කියලා.
"බැඳීම් අඩුවෙන තරමට ජීවිතේ ලේසියි කේතකී. ඒක තේරුම් ගනන් පුලුවන් අමාරුම විදියෙන් මම තේරුම් ගත්තු දෙයක්"
මම කිව්වම කේතකීගේ ඇස් ආයෙම මා දිහාවට යොමු වුණා.
"එතකොට අනුක්?"
කේතකී ඇහුවම මම දැනං හිටියේ නෑ කොහොම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නද කියලා.
"අනුක් මොකක්ද?"
""මේ අවුරුදු ගාණෙම හැමදාම, හැමදේකදිම ඔයා ලඟ හිටියේ අනුක් නේද? ඔයාලා එකට යනවා එනවා, කනවා බොනවා, ආශ්‍රය කරනවා.  ඔයා අනුක්ව ඔච්චර ලඟින් ආශ්‍රයකරන්නේ මොකටද එහෙම බඳින්න වත් අදහසක් නැත්තම්?" කේතකී ආයෙම ඇහුවා.
"ලඟින් ආශ්‍රය කරාම එයාව බඳින්නම ඕනද කේතකී?බඳිනවා කියන්නේ කොලේක අත්සන් කරනවා කියන එක විතරයි. ඒත් අනුක් එක්ක මගේ තියෙන්නේ එහෙම කලා නොකලා කියලා පලුදු වෙන බැඳීමක් නෙවෙයි. ඇත්තම කිව්වොත් භූප ඇරුණාම මම මේ තරම් හිතින් බැඳිලා ඉන්නේ අනුක්ට විතරයි.  ඒක මෙහෙමයි කියලා පැහැදිලිකරන්න මට බෑ.  අනුක් නොහිටින්න වෙච්ච දේවල් වල හැටියට මගේ ඔලුවත් අවුල් වෙන්න තිබුණා. මම ආපහු ජීවිතේ දැක්කේ අනුක්ගේ ඇස් වලින්. මට ආපහු ජීවිතේ දුන්නේ ඒ වචන. ඒත් කවදාවත්ම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. අනුක් මට ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු පහකට විතර කලින්. ඔව් කේතකී...එච්චර කාලෙකට කලින්. ඒත් අද වෙනකල් කවදාවත් අහලා නෑ මම එයා ගැන හිතන්නේ මොනාද කියලාවත්. හැමදාමත් මට ආදරේ දුන්නා මිසක එයා මගෙන් ආපස්සට දෙයක් බලාපොරොත්තු වුණේ නෑ
මම කියද්දි කේතකී සාවධානව අහගෙන උන්නා විතරයි.
මේකයි, ඒක මට ඔයාට තේරුම් කරන්න බෑ. අපි දෙන්නා අතර වචනෙන් එහෙම සම්මුතියක් නෑ. ඒත් අපි දෙන්න අපි දෙන්නා එක්ක මෙහෙම ඉන්නවා. අනුක්ගේ ඒකට අකමැත්තක් නෑ. එයා මට කිසි දේකට බල කරන්නෙත් නෑ. මොකද අනුක් මාව දන්න නිසා. ඇත්තම කිව්වොත් ආයෙම දේකට commit වෙන්න මම බයයි. හිත් රිදුණ තරම් හොඳටම ඇති. අනුක් ඒකත් දන්නවා." මම කිව්වා.
"ඒත් ඔයා හිතන්නේ එහෙම ඉන්න එක අනුක්ට ලේසි ඇති කියලද? අපි හැමෝම මිනිස්සු දුලා. හැමෝම ආසයි ආදරේ ලබන්න, ආදරේ කරන්න. ආදරෙන් ඉන්න" කේතකී කිව්වා.
"මේ අවුරුදු තුනටම එයා කවදාවත් මට ආදරේ ගැනවත්, අපි එකට ඉන්න ඕන කියලාවත් කවදාවත් කියලා නෑ. ඉතිං මට එක බලෙන් අහන්න බෑ"
"ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. සමහර දේවල් කියන්න අහන්න ඕන නෑ දුලාරා. තේරුම්ගන්නයි ඕන" ඊලඟට ඈ කිව්වේ තේ හදන්න මේසෙන් නැගිටින ගමන්.
මම මුකුත්ම කිව්වේ නෑ.
"අයියට කවදාවත් ඕන වුණේ නෑ ඔයා මෙහෙම ඉන්න. ඔයා දන්නවද එයා හිතාගෙන ඉන්නේ ඔයා අනුක්ව මැරි කරයි කියලා. එයා දන්නවා දුලාරා අනුක්වගේ ඔයාව බලාගන්න එයාටවත් බැරි වුණා කියන එක" කේතකී එහෙම කිව්වම මගේ හිත සැලුණා.
"භූප ඔයාට එහෙම කිව්වද?" මම ඇහුවේ ගැහෙන හිතින්.
"හ්ම්ම්" කේතකී හිස වැනුවා. "අයියා කිව්වේ ඔයාව එයාට නැති වුණත් එයාට වඩා හොඳින් අනුක් ඔයාව බලාගන්න වග, ඔයාට ආදරෙන් ඉන්න වග එයා දන්නවා කියලා" කේතකී කිව්ව්ම හිතේ ඉපදුණේ සංවේගයක්.
"ඒ කියන්නේ භූප තාම මාව මතක් කරනවා?"
"අමතක වෙන්න එයා මැරිලා ඉපදුණේ නෑ  දුලා. එහෙම වුණත් එයාට ඔයාව අමතක වෙයිද කියන්න මම දන්නෑ. තාමත් එයා කතා කරාම ඔයා ගැන විස්තර අහනවා ඉඳ හිට. ඒත් දුලා දැන් ඒවයින් වැඩක් නෑ. අතීතේ වෙච්ච දේවල් අමතක කරන්න දැන් හොඳටම කල් ඇති"
කේතකී එහෙම කිව්වත් මගේ හිතේ ඇතිවුණ සසලවීම ඔස්සේ මම තවත් කල්පනා කරමින් උන්නේ භූප ගැන. ඉස්සර තරම් මහා දුකක් දැන් ඔහු වෙනුවෙන් හිතේ නැතත් හිත සසල කරන්න තරම් තාමත් ඔහු ගැන ආදරයක් මගේ හිතේ ඉතිරි වෙලා තිබුණා.
"ඔයාට භූප අන්තිමට හම්බවුණේ කවද්ද?" මම කොහෙත්ම නොගැලපෙන ප්‍රශ්ණයක් ඇහුවා.
"සිංහල අවුරුද්දට අයියා ඇවිත් ගියා" කේතකී කිව්වා.
"එහෙමද?"
"වැඩි වෙලා හිටියේ නෑ. අම්මලට කතා කරලා එයා ගියා. සනීප වෙලා ගෙදරින් ගියාට පස්සෙම පැය දෙක තුනකට ඇරෙන්න එයා ගෙදර ඇවිල්ලම නෑ"
"එතකොට නයනා?"
"අයියා නයනව තාම ගෙදර එක්කන් ඇවිල්ලත් නෑ"
"ඇයි ඒ?"
"හේතුව දන්නේ ඉතිං එයාම තමයි.  එයාලගේ දෝණි හම්බවුණාට පස්සේ අම්මලා ගිහින් බලලා අවා. අම්මලා නම් එන්න කියනවා ඒත් අයියා එන්න කැමති නෑ"
කේතකී කිව්වම හිත මොකක්දෝ හීන් දුකකින් පිරුණා.
""ඒගොල්ලන්ට දැන් බබෙකුත් ඉන්නවද? කොච්චර ද වයස?"
"තාම අවුරුද්දක් නෑ. අපේ පුතාටත් බාලයි නේ" කේතකී කිව්වා.
මට සුසුමක් හෙලුණේ ඉබේටම. ඒ පාර කේතකී තේ හදන එක නවත්තලා මා දිහා බැලුවා. ඇගේ මූණේ තිබ්බේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.
" බබා කවුරු වගේද, භූප වගේද?" මම ඒ හැඟීම වහගන්න හිනාවක් පාලා ඇහුවා.
"මම තාම දැකලා නෑ. ෆෝටෝ එකකින් දැක්කට එහෙම මූණුවර කියන්න බෑ. බලන්න යන්න හිතාගෙන ඉන්නවා ඒත්"
"හ්ම්ම් බර වුණ හිතත් එක්ක මට වෙන මොනවත් අහන්න ඕන වුණේ නෑ.
"දෝණිගේ නම…. දුලීෂා"
කේතකී එහෙම කිව්වම මගේ උගුර හිර වුණා වගෙයි මට දැනුනේ. මම බිම බලාගත්තේ ඒකයි. ඒ පාර කේතකී තේ හදන එක නවත්තලා ඇවිත් මගේ අතකින් අල්ලගත්තා මුදුවට.
"අහන්න දුලා. වෙච්ච දේවල් සේරම වෙලා ඉවරයි. අයියා දැන් එයාගෙම ජීවිතයක් හදාගෙන ජීවත් වෙනවා. බලන්න මමත් එහෙමයි. ඒත් ඔයා විතරක් අතීතයටත් නැතුව, වර්තමානෙටත් නැතුව ඔහේ පාවි පාවි ඉන්නවා. ඔයා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි දුලා. ඔයාගේ අම්මලා එහෙන් දුක් වෙනවා. අනුක් ඔයා නිසා මෙහෙන් තැවි තැවී ඉන්නවා. මම වුණත් ඔයා ගැන කොච්චර හිතනවද කියලා ඔයා දන්නෑනෙ දුලා. අනික ඔයා ඔහොම හිටියා කියලා වෙච්ච දේවල් වෙනස් වෙන්නෙත් නෑ, ගියපු දේවල් ඇදලා ගන්නත් බෑ. අපි හැමෝවම අතාරින්නකෝ. ඒත් ඔයා මේ ඉන්න විදිය අයියා දන්නවා නම් ඔයා හිතනවද එයාට කවදාවත් සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා?"පොඩ්ඩක් හිතලා බලන්න" ඈ කිව්වා.
කේතකී කියන්නේ ඇත්ත කියන එක මට නොතේරුණා නෙවෙයි. ඒත් මම එයාලට කොහොම පැහැදිලි කරන්නද මම මෙහෙම ඉන්නේ මට ඒක සැනසීමක් නිසා කියලා.
"මේ ඉන්න විදිය අපි දෙන්නටම හොඳයි කේතකී"
" ඒ ඔයා හිතන විදිය. අනුක් එහෙම හිතනවා කියලා මම හිතන්නේ නෑ"
මට කේතකී එක්ක වාද කරන්න ඕන වුණේ නෑ. ඒ ඈට කොහොමත් මගේ හිත නොතේරෙන වග මම දැනං උන්නු නිසා. ඈ දැනං හිටියේ නෑ භූපට තරම්ම, සෙනෙහසක් අනුක්ටත් මගේ හිතේ තිබ්බ කියලා. පහුගිය අවුරුදු තුනේ ගෙවිච්ච හැම දවසකම මගේ හිතේ ඒ හැගීම් අලුත් වෙලා බැඳීම් තහවුරු වුණා මිසක අනුක්ව එපාවීමක් වුණේ නෑ. ඒත් ලැබුණ අමිහිරි අත්දැකීම එක්ක, ආයෙම සම්මත කරගත්තු බැඳීමකට ඈඳෙන්න මගේ හිතේ තිගැස්මක් තිබ්බා තාමත්.
ආයෙම ඒ ගැන කතා නොකරපු අපි තේත් අරගෙන සාලෙට ගියා. යද්දි පොඩි දෙන්නා ඒ පාර එකමුතු වෙලා සෙල්ලම් කරනවා. අනුක් පුබුදු අයියා එක්ක බර කතාවක.
"බොන්න අනුක් තේ එකක්. වැලි තලප නම් කඩෙන් ගෙනාවේ. ඔයා කැමති වෙයිද මන්දා" කේතකී අනුක්ට තේ පිලිගන්වමින් කිව්වා.
"ආ ඒකට මොකද? මම ආසයි වැලි තලප වලට. ඒක නෙවෙයි දුලාරා සෙනුරි අක්කා කතා කලා. අක්කා ටවුමට යනවා කිව්වා. පැන්චිව එක්ක ඇවිත් ඔයාලගේ ගෙදරම තියාගන්න කිව්වා එයා ඇවිත් එක්ක යන්නම් කියලා"
"හරි හරි" මම කිව්වේ තේ එක අරන් අනුක් ලඟින්ම වාඩි වෙන ගමන්.
"දැන් කොහෙද නංඟි කොලඹ බෝඩ් වෙලා ඉන්නේ?"පුබුදු අයියත් වැලි තලප කෑල්ලක් අතට ගන්න ගමන් ඇහුවා.
"මං ඉන්නෙත් මෙයාගේ ෆ්ලැට් එක ලඟම තමයි. එයාගේ බැල්කනියට ආවම අපේ බෝඩිම පේනවා"
"ආ.. එහෙමද? එහෙනම් ඉතිං දෙන්නා හවසට ටටා කිය කිය ඇති නේ හවසට දෙන්න දෙපැත්තට වෙලා?" පුබුදු අයියා විහිලු කලා.
"අනේ නෑ අයියේ මම එද්දි පරක්කු වෙනවා. මෙයා එතකොට එලියේ නෑ. අපි ඉතිං හම්බෙන්නේ weekend එකේ තමා ගෙදර ආවේ නැත්තම්" අනුක් කිව්වේ මා දිහා බලලා ඇහැක් ගහන ගමන්.
"ආ ඇත්තද?" කේතකී ඇහුවා.
"ඉතිං ඔය දෙන්නා දෙපැත්තට වෙලා නො ඉඳ එක වහලක් යටට වුණා නම් ඉවරනේ. එතකොට weekend එකට විතරක් නෙවෙයි හැමදාම හම්බෙන්න බැරියැ"
පුබුදු අයියා කිව්වම මම කටට ගත්තු උණු තේ උගුර එහෙමම ගිලුණේ උගුරත් පිච්චීගෙන. අනුක්ටත් තේ එක පිට උගුරේ ගියාද කොහෙද.
"අනේ මේ මොනා කියනවද මන්දා" උගුර දැවිල්ල ගද්දි මම කිව්වේ  අපහසුවෙන්.
"මොකෝ බඳින්න අදහසක් නැද්ද?" පුබුදු අයියා ඇහුවා.
"ඒක තමයි මාත් ඇහුවේ" කේතකිත් ඒකටම හරි.
"අපෝ...තාම එහෙම දේවල් හිතලාවත් නෑ" අනුක් කිව්වේත් අපහසුවෙන් වගේ.
"දැන් හිතන්න කාලේ හරි. තව කල් හිටියොත් ඉතිං මිනි පෙට්ටිය වටේට ටීක් බෝල ගහන තමා දෙන්නගේ පොඩි එවුන්ට වෙන්නේ" පුබුදු අයියා කිව්වේ හිනාවෙවී.
"පුබුදු අයියා පිස්සු නොකියා ඉන්න. බඳින්න කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද?"
"ඔය පස් මහ බැලුම් බල බල ඉඳලා හරියන්නේ නෑ. අනුක් ඔයාවත් ටිකක් මුල් වෙලා මොකක් හරි මේක පිලිවෙලක් කරගන්න. බැඳලා පාරේ බැහැලා එක්ක යනන් පුලුවන් කාලේ බඳින්න. තව ටික දවසක් යද්දි ඉතිං මේ ගොල්ලෝ නාකි ලමිස්සියෝ නේ"පුබුදු අයියා ආයෙම විහිලු කලා.
මට අනුක්ගේ මූණ බලන්නත් බැරි තරම් අපහසුතාවයක් දැනුනත් මම හිනාවුණා මුකුත්ම නොකියා. ඒත් මම කේතකීට යන්තම් රැව්වේ ඈ මාව බේරගන්නවත් ඉදිරිපත් නොවීම හන්දා.
කොහොම හරි විහිලුවෙන් තහලුවෙන් තේ බීලා අහවර ටික වෙලාවකින් අපි කේතකීලගේ ගෙදරින් එන්න ලෑස්ති වුණා. එවෙලේ කේතකී මට සමු දුන්නේ ඇස්වල කඳුලු පුරෝගෙන.
"මෙහෙම හරි ඇවිල්ලා යන්න ආපු එක කොච්චර දෙයක්ද දුලා. අපිත් ලඟදි ගමේ යන්න ඉන්නේ. සති අන්තෙක ආවොත් ඔයා ඉන්නවද බලලා ඇවිත් යන්න එන්නම් ගෙදරට"
"අනේ ඔව්. අම්මලත් ආස වෙයි ඔයාව බලන්න"
"ඔයා ඇවිත් ගිය වග මම අයියට කිව්වට කමක් නෑ නේද?" ඊලඟට කේතකී ඇහුවේ හෙමින්.
"කමක් නෑ කේතකී. අයියට කියන්න මම මතක් කලා කියලා. පරණ කිසි දෙයක් මගේ හිතේ තවත් නෑ, ඒ අතීතේ මම අමතක කරන්න උත්සාහ කරනවා කේතකී" මම එහෙම කිව්වා.
"මම කියපුවා ගැනත් හිතලා බලන්න" කේතකී කිව්වා.
ඈව වැලඳගෙන, පුබුදු අයියගෙනුත් සමු අරගෙන මම ආපහු එන්න එද්දි හිතේ තිබ්බේ බරක් නෙවෙයි මොකක්දෝ සැහැල්ලුවක්.
"බබාලා යන්න ඕන කාර් වල පිටිපස්සේ, හරි නේද?"
අනුක් ලොකු අයියගේ පැංචිව කාර් එකේ පිටිපස්සේ සීට් එකේ ඉන්දන ගමන් කිව්ව්වේ හුරතලෙන්. පැංචි ඇඟිල්ලක් කටේ ගහගෙන හිස වැනුවා. ඊලඟට හිනාවීගෙන මා දිහාට ආපු අනුක්ගේ මූණ දැක්කම මට දැනුනේ වෙනස්ම හැඟීමක්. මට මතක් වුණේ කේතකී කියපු දේවල්. ඒ එක්කම අනුක් ගැණ කවදත් හිතේ තිබ්බ සෙනෙහස ඉස්මතු වුණා වෙනදටත් වඩා. භූප ගැන සිතුවිලි එක එක හිතේ ගැඹුරු පතුලක තැන්පත් වෙනවා මට දැනුනා.
***
පහුවදා හවස අනුක් එක්ක කොලඹ එන්න පිටත් වෙද්දි අම්මයි, තාත්තයි බලාගෙන උන්නේ දුකෙන් වගේ. ලොකු අයියගේ දෝණිත් තාත්ත අතට වෙලා අපි දෙන්නට අත වැනුවේ හිනාවක්වත් නැතිව. ගෙදර  ඇවිත් යද්දි හැමදාම දැනෙන පාලුව අදත් ඒ විදියටම මගේ හිත පෙලද්දි මම ගේ නොපෙනී ගියාට පස්සේ ඉස්සරහට හැරුණේ සුසුමක් හෙලලා.
එදා උදේ අම්මයි තාත්තයි කියපු දේවල් ආයෙමත් මට මතක් වුණා. ඒ කිව්ව දේවල් එක්ක එවෙලේ එකඟ නූනට, ගෙදර එකම ගෑණු ළමයා වුණ මං හන්දා ඒ දෙන්නගේ හිතට කොයි තරම් කරදරේද කියලා හිතද්දි මට දැනුනේ දුකක්.
"දැන් ඔයාට වයස කීයද බලන්න? කවදා වෙනකල් මෙහෙම ඉන්නද දරුවෝ? නෑයෙක්ගේ ගෙදර ගියත් හැමෝම අහන්නේ ඔයා ගැන. මට නම් දැන් නෑයෝ දකිද්දිත් හිසරදේ හැදෙනවා මේ ප්‍රශ්ණේ නිසාම" අම්මා එහෙම කියද්දි ඒ මූණේ තිබ්බේ ලොකු විඩාපත් බවක්.
"නෑයන්ට ඉතිං ඒක නැතත් මොක හරි තියෙනවාමනේ අම්මේ හොයන්න" මම කිව්වේ ඒ කතාව ගණනකට නොගෙන. 
"හැමදේම විහිලුවට ගන්න එපා දෝණි. දැන් බලන්න කලින් සම්බන්ධේ නැති වුණාට පස්සෙ ඔයා අර අනුක් ළමයව දිගටම ආශ්‍රය කරද්දි අපි හිතුවා එහෙනම් ඒකවත් හරියාවි කියලා. දැන් ඔය දෙන්නම ඒ ගැන කතාවත් කරන්නෑ. මේ කරන වැඩවල තේරුම අපට නම් තේරෙන්නේ නෑ දෝණි. වෙච්ච දේවල් ඉවර වෙලා දැන් කොච්චර කල් ගිහින්ද? ඔයා තාමත් ඒ දේවල් ගැන හිතන නිසාද මෙහෙම ඉන්නේ?" අම්මා ආයෙම ඇහුවා.
"වෙච්ච දේවල් ගැන මම තවත් හිතන්නේ නෑ අම්මා. ඒත් මට තව ටික දවසක් මෙහෙම ඉන්න දෙන්නකෝ"
"ඔයා අනුක්ට කැමති නම් අපි ඒ ළමයගේ ගෙදර එක්ක මේ ගැන කතා කරන්නද?" එහෙම ඇහුවේ තාත්තා.
"එපා එපා. එහෙම දෙයක් අපි හිතලාවත් නෑ තාත්තේ"
"අනුක් නැත්තම් වෙන කැමති කෙනෙක් ඉන්නවද ඔයා? එහෙම කෙනෙක් ඉන්නවා නම් අපට ඒකවත් කියන්නකෝ. තවත් මෙහෙම ඔයාට ගෙදරට නාකි වෙන්න දෙන්න බෑ නෙව අපට" තාත්තා කිව්වේ තදින්.
"මම ඒ ගැන හිතලා බලන්නම් තාත්තේ. අම්මයි තාත්තයි ඒ ගැන තවත් හිතන්න එපා"
මම එහෙම කිව්වේ ඒ කතාවෙන් ගැලවෙන්න ඕනකමට. ඒත් අම්මලා මාව විශ්වාස කලා කියලා මට හිතුණේ නෑ. අම්මලගෙ හිත්වල තියෙන පීඩනේ මම නොදැන උන්නා නෙවෙයි. ඒ හන්දත්, කේතකීලගේ ගෙදරදි අහපු දේවල් හන්දත් මට මගේ ජීවිතේ ගැන ආයෙම වෙනස් විදියකට හිතන්න උවමනාවක් ඇති වෙලා තිබුණා.
"මොනාද අනේ මේ කාර් එකට නැග්ග වෙලේ ඉඳලා අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"
මගේ කල්පනා ලෝකේ බින්ඳේ අනුක්. මම ඔහු දිහා බලලා හිනාවක් පෑවා.
"එහෙම විශේෂ දෙයක් නෑ අනුක්"
" මම හිතුවා යාලුව හම්බවෙලා ඇවිත් ආයෙම  පරණ දුලාරා වෙලාද දන්නෑ කියලා" අනුක් කිව්වේ යන්තමට හිනාවෙලා.
"පරණ දුලාරා ආයෙම එන්නෑ අනුක්. මේ එයාගේ ලෝකෙ නෙවෙයි. එයා අයිති අතීතෙට" මම කිව්වේ ඔහු දිහා නොබලම.
"හදිසියෙම ඒක එහෙම වුණේ කොහොමද?" අනුක් ඇහුවා.
"හදිසියේ නෙවෙයි...කාලයක් තිස්සේ හිත හිත වෙනස් කරගත්තු දෙයක් අනුක් ඒක. මට ඕන වුණත්, කාලෙත් එක්ක දේවල් වෙනස් වෙද්දි ඒ දුලාරා වෙන්න තවත් මට බෑ"  මම කිව්වා.
"හ්ම්ම්" අනුක් හිස වැනුවේ ආරූඨකරගත් බැරෑරුම්බවකින්.
"ඔයා කැමති මම කොයි කෙනා වෙනවටද?" මම ඇහුවේ ඔහු දිහා බලලා. ඔහු මගේ දිහා බැලුවේ විමතියෙන් වගේ.
"ඇයි එහෙම අහන්නේ?"
"නිකං, දැනගන්න"
"ඔයා කොයි කෙනා වුණත්, මගේ ඔයා ගැන තියෙන හැඟීම් වෙනස් වෙන්නේ නෑ. එදා නුවරදි මුලින්ම දැක්ක දුලාරටත්, හැටන් කෝච්චියේ මුරණ්ඩු ගමනක් ආපු දුලාරටත්, ඇනිමේෂන් ෆිල්ම් බලලා පොඩිළමයෙක් වගේ සතුටු වෙන දුලාරටත්, දැන් මේ මගේ ලඟ ඉන්න සන්සුන් දුලාරටත් මගේ තියෙන කැමැත්තේ වෙනසක් නෑ..." ඔහු කිව්වේ මුදුවට.
මම හිනාවක් පාලා සුසුමක් හෙලුවා. හිතේ පිරෙමින් තිබුණේ අනුක් ගැන ලොකු සෙනෙහසක්. අවුරුදු ගාණක් මා එක්කම මගේ හෙවනැල්ල වගේ හිටපු ඔහු ගැන වෙන කවරදාටත් වඩා ලොකු ආදරයක්, ලෙන්ගතුකමක් මට දැනෙමින් තිබුණා.  එවෙලේ මට හිතුණා දැන් තමයි මම වෙනස් වෙන්න ඕන වෙලාව කියලා. මම අනුක් දිහා බලද්දි ඔහු උන්නේ කල්පනාබරව.  මොහොතක් මට ඔහේ හිතන්න ඉඩ දීලා අනුක් බලාගෙන උන්නා. ඒත් මට දැනුනා අහන්න ගොඩක් දේවල් හිතේ තියාගෙනයි ඔහු මේ ඉන්නේ කියලා.
"ඔයා හිත රිද්දගන්නේ නැත්තම් මම ප්‍රශ්ණයක් අහන්නද?" ඊලඟට අනුක් ඇහුවා.
"අහන්න"
" එදා ගිය ගෙදර ගිය දවසේ කේතකී ඔයාට භූප ගැන විස්තර කිව්වද?" අනුක් ඇහුවේ එහෙම.
"ඔව්. ටිකක් කිව්වා. එයාලට දැන් දුවෙක් ඉන්නවලු" මම කිව්වේ උපේක්ෂාවෙන්.
මම කිව්වම අනුක් ඇස් කොනකින් මා දිහාට ඉක්මණ් බැල්මක් හෙලුවා.
"ම්ම්...පුබුදු අයියත් මට ඒ විස්තර කිව්වා" එහෙම කියලා අනුක් ආයෙම මා දිහා යන්තමට බැලුවා.
"දුලාරා...මේ අහන්න"
" ම්ම්?"
" ඔයා මේ කල්පනා කර කර ඉන්නේ ඒ හන්දද? ඔයා තාමත් භූප හන්දා දුක් වෙනවද දුලාරා? මෙච්චර අවුරුදු තුනකටත් වඩා ගෙවිලා ගියාට පස්සෙත්? "
"ඔයාට හිතෙනවද මම ඉන්නේ දුකෙන් කියලා?"
"එහෙම නෙවෙයි. ඒත් ඔයාගේ මොකක්දෝ අමුත්තක් මට පේනවා" අනුක් කිව්වා.
මට ඔහු ගැන දැනුනේ පුංචි දුකක්.
"ඇත්තම කිව්වොත් මුලින් හීන් දුකක දැනුනා භූපගේ පිංතූරේ ආපහු දැක්කම. ඒත් එයාගේ විස්තර අහලා එයා හොඳින් ඉන්නවා කියලා දැනගත්තම ඒ දුක නැතිවුණා අනුක්. භූපගේ ජීවිතේ දැන්  සම්පූර්ණ වෙලා තියෙන්නේ. මම දන්නවා එයා ඇත්තේ සතුටින්. ඒ හන්දා මගේ හිතේ දැන් පරණ දේවල් ගැන කිසිම හැඟීමක් නෑ. ඒක තමයි ඇත්ත" මම කිව්වා.
මම එහෙම කිව්වම අනුක් මා දිහා බලාගෙන උන්නේ මම ඒ කිව්වේ ඇත්තමද කියලා සැක ඇරලා දැන ගන්න වගේ.
"මාව විශ්වාස නැද්ද ඔයාට?" මම ඇහුවා.
 අනුක් හිස වැනුවා.  
" නෑ. මට ඔයාව විශ්වාසයි. ඔයා කියන විදියට  ඒක එහෙම නෙවෙයි නම්,  එහෙම නම් ඒක කොච්චර හොඳද? මම කියන්නේ ඔයාගේ පැත්තෙන්"
"ඔව්. ඒක හරි සැහැල්ලු හැඟීමක් අනුක්. මට තේරෙනවා දැන් සේරම අතීතෙට එකතු වෙලා ඉවරයි කියලා. මම ඒ අතීතේ හිතේ වලදාන්න තීරණය කරලා ඉවරයි" මම කිව්වේ යන්තමට හිනා වෙලා.
"ඊටපස්සේ?" අනුක් ඇහුවා.
"ඊටපස්සේ කිව්වේ?" මාත් ඇහුවා.
"ඊටපස්සේ ඔයා මොනාද කරන්න හිතන්නේ?"
"එහෙම හිතලා නෑ තාම. ඒත් හිතන්න ඕන කියලා මට දැන් හිතෙනවා. ආපහු හැරිලා බලද්දි හැමෝම ගිහින්, නතරවෙලා ඉඳලා තියෙන්නේ අපි දෙන්නා විතරයි අනුක්" මම කිව්වා.
"එක අතකින් හිතද්දි ඒකත් හරි" අනුක් කිව්වා.
මම අනුක් දිහා බැලුවේ ඔහු ගැන හිතේ මෝදු වෙමින් තිබුණ සෙනෙහස හිත හෙමින් හෙමින් පුරවද්දි.
"ඇයි?" අනුක් ඇහුවා.
"නෑ. මම මේ කල්පනා කලේ කොහේවත් උන්නු ඔයා මගේ ජීවිතේට ඈඳිලා මාත් එක්ක දුක් විඳින්න ඉතුරු වෙලා නේද කියලා" මම හෙමින් කිව්වා.
අනුක් මගේ දෑස් දිහා කෙලින් බලලා ආයෙම ඉස්සරහ බලාගත්තා.
"කවුද කියන්නේ මම දුක් විඳිනවා කියලා?"
"මම. ඒ මට ඒක පේන නිසා. ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි අනුක්" මම කිව්වා.
"මම ඉන්නේ මට හොඳයි කියලා හිතෙන තැන. මට සැනසීමෙන් ඉන්න පුලුවන් තැන. මනුස්සයෙක්ට ඊට වඩා ඕන මොනවද? ඔයා පිස්සු විකාර හිතන්න එපා" අනුක් කිව්වා.
"ඒ වුණාට අපේ අම්මලා එහෙම හිතන්නේ නෑනෙ. එයාලා හිතන්නේ අපි අපේ ජීවිත විහිලුවකට අරන් කියලා. අද එන්න කලිනුත් කතා කරලා අම්මලා මට බණ දේශනාවක්ම කලා." මම කිව්වා.
"ඒක නම් ඉතිං අපේ ගෙදරිනුත් එහෙමම තමා. එක එක දවසට එක එක අය ගැන කියලා කතා කරනවා. මම වෙලාවකට ගෝතමී අක්කා හෙම කතා කලොත් ෆෝන් එක ගන්නෙත් නෑ. එයා කියන ඒවා ඇහුවම මොලේ විකාර වෙනවා" අනුක් කිව්වා.
"ඔයාලගේ ගෙදර අක්කලා මා එක්කත් ඇත්තේ හිත් අමනාපෙන් අනුක්. මොකද මම නිසයි මේ සේරම මෙහෙම වුණේ"
"විකාර කියන්න එපා දුලාරා...මේක මගෙත් තීරණේ"
"ඒත් අනුක් මම හිතනවා දැන් ඔයා තමන් ගැන හිතන්න කාලේ හරි කියලා" මම එහෙම කිව්ව ගමන් අනුක් මා දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොකක්ද ඔයා කියන්නේ?" ඔහු ඊලඟට ඇහුවා.
"ඔයා කවදා වෙනකල් මේ විදියට  ඉන්නද?" මම ඇහුවම අනුක් මා දිහා බැලුවේ විමතියෙන් වගේ.
" මොනාද මේ කියන්නේ? ඔයාට ඕන මම ඔයාගෙන් දුරස් වෙලා යන්න ?" අනුක් ඇහුවා.
"අනුක් මම කියන්න හදන්නේ ඒක නෙවෙයි..." මම කියන්න හැදුවත් ඔහු මට ඒකට ඉඩ දුන්නේ නෑ.
"දුලාරා...ඔයා කොහොමද මෙහෙම මට කරන්නේ? ඔයා දන්නවා ඇයි මම මෙච්චර කාලයක් ඔයා එක්ක, ඔයා ලඟින් හිටියේ කියලා. මට ඕන නම් තිබ්බා අපේ ගෙදරින් කියන දෙයක් අහලා නුවරින්ම කාව හරි බැඳගන්න. ඒත් මට එහෙම කරන්න ඕන වුණේ නෑ. ඔයාට විතරක් නෙවෙයි දුලාරා, මටත් ගෙදරින් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒත් එහෙමයි කියලා මම ඔයාව අතාරින්න ලෑස්ති වුණේ නෑ. ඒ ඇයි කියලා මේ ලෝකේ කාටත් වඩා දන්නේ ඔයා. එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කියලා මාව පිටස්තරයෙක් කරන්න හදන්නේ?
අනුක් අහද්දි මම උන්නේ ගල් ගැහිලා වගේ. ඔහු මේක ඒ තරම්ම බැරෑරුම්ව ගනීවි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ.
"මං...මං...එහෙම කරන්න හැදුවා නෙවෙයි අනුක්"
වාහනේ සුක්කානම මත අත්දෙක තියාගෙන, කෝපයෙන් යුතුව ඉස්සරහ බලාගෙන උන්නු ඔහුට මම කිව්වා.
"ඔයාට මාව එපා නම් මට ඒක කෙලින් කියන්න. එහෙම කතා කරන්න පුලුවන් විදියේ සම්බන්ධයක් අපි අතරේ තියෙන්න ඕන. ඔයාට මාව එපා නම් මට කොච්චර ඕන වුණත් මම ඔයා එක්ක ඉන්නේ නෑ" අනුක් කිව්වම මගේ හිතට දැනුනේ ලොකු දුකක්.
"මම කොයි වෙලේද එහෙම කිව්වේ?"
"එදා ඉඳන් ඔයා හැමදාම මට නොකියා කිව්වේ ඒක නෙවෙයිද? දුලාරා අවුරුදු තුනකටත් වඩා මම ඔයා එක්ක, ඔයා ලඟින් හිටියා. ඒ මට ඔයාව දලා යන්න බැරි හන්දා. එහෙම ඉඳපු හැමදාකම මගේ හිත යට පුංචි බලාපොරොත්තුවක් තිබ්බා ඔයා කවදාහරි මාව තේරුම්ගනීවි, ඔයාගේ ජීවිතේ එක පොඩි ඉඩක් හරි මට දේවි කියලා. ඒත් ඔයා එහෙම කලේ නෑ. නෑ නෑ. ඒක මම ඔයාගේ වරදක් කියලා කියන්නේ නෑ. ඒ ඔයාගේ ජීවිතේ. එතන වරද මගේ. වෙන්න බැරි දෙයක් වේවි කියලා හිත හිත ඔයාගේ ලඟ උන්නු එකේ  වරද මගේ"
අනුක් දිගටම මෙහෙම මාව තේරුම් නොගෙන කතා කරද්දි මට දැනුනෙත් නොරිස්සුමක්.
"මා එක්ක ඉන්න කියලා මම ඔයාට බල කලේ නෑ අනුක්. ඔයාට ඕන වෙලාවක යනන් නිදහස තිබුණා. මට ඔයාව අල්ලගෙන තියාගන්න කවදාවත් ඕන වුණේ නෑ"
"ඔව්...ඔව්. ඒ මෝඩකම කලේ මම" අනුක් එහෙම කිව්වම මගේ හිත හොඳටම රිදුනා. මගේ ඇස් වලින් කඳුලු පිට පැන්නා.
"ඔයා එහෙම හිතනවා නම්, ආයෙම ඒ මෝඩකම දිගටම කරන්න එපා. මම කවදාවත් හිතලා නෑ ඔයා ඒ මගේ ලඟ ඉන්නේ ඔයාගේ නොංජල්කමට කියලා. අනේ කවදාවත් නෑ. මම දන්නවා ඔයා ඒ හිටියේ මම ගැන හිතන නිසා කියලා. ඒත් අනුක් ඔයාට ඕන නැත්තම්, ඔයා බලෙන් එහෙම ඉන්න ඕන නෑ. ඔයාට ඕන වෙලාවක යන්න පුලුවන්. මට තනියෙම ඉන්න පුලුවන්" මම කිව්වේ කඳුලු  අතරින්.
මොහොතකට කලින් හිනාවෙවී උන්නු අපි දෙන්නමද මේ ඉන්නේ කියලා හිතද්දි මගේ හිතට දැනුනේ ලොකු දුකක්. ඒ දුක වැඩි වුණේ අනුක් මගේ හිත හරියට තේරුම් නොගෙන මෙහෙම කතා කරද්දි.
"හරි. එක එහෙම වුණාවේ. ආයෙත් මට මොනවත් අහන්න ඕන නෑ. දැන් බෝඩිමට ලඟයිනේ. මම ඔයාව ගිහිං දාන්නම්. ඔයා කැමති දෙයක් ඔයා කරන්න. මීට පස්සේ මං  ගැන හිතන්න ඕන නෑ"
අනුක් කිව්වේ මගේ හිත හොඳටම පාරවමින්. ඔහුට තේරුම් කරලා දෙන්න ගොඩක් දේ තිබුණත් ඒ කිසි දෙයක් කරන්න මට එවෙලේ හිතුණේ නෑ. ඒ හිත ගොඩක්ම රිදිලා තිබ්බ නිසා. මම මුනිවත රැකගෙන එහෙමම එන්න ආවේ ඒකයි. අනුක් ආයෙම මුකුත්ම නොකියා ඇවිත් මගේ බෝඩිම ලඟ වාහනේ නතර කලේ මට බහින්න.
"මං යනවා අනුක්" මම එහෙම කිව්වත් වාහනෙන් බැස්සේ නෑ.
අනුක් හා කිව්වෙවත්, එපා කිව්වෙවත් නෑ. මම ඔහු දිහා බැලුවත් ඔහු උන්නේ අහක බලාගෙන.
ඒත් මට හිතෙන දේ ඔහුට කියාගන්න එවෙලේ මට හයියක් තිබුණේ නෑ. මම වාහනෙන් බැස්සේ පරාජිත හිතක් එක්ක. අනුක්ට කියන්න උන්නු සේරම හිතේම සුනු විසුණු වෙලා ගියා වගේ මට දැනුනා. මම වාහනෙන් බැහැලා හරියට දොර වහන්නත් කලින්ම අනුක් වාහනේ අද්දවගෙන යන්න ගියා. මම බෝඩිම් කාමරේට ආවේ හිත හොඳටම කැඩිලා. කාමරේට ආවට පස්සේ දැනුන දුකටයි, පසුතැවිල්ලටයි මේ සේරටම එක්ක මට හොඳටම ඇඬුනා. කරන්නේ මොනාද කියලා නිනව්වක් මට එවෙලේ තිබුණේ නෑ. ඒත් හැඬුම් නතර වෙලා ටික ටික සිතිවිලි පැහැදිලි වෙද්දි මට තේරුණා අනුක් ඒ තරම්ම තරහා ගත්තේ මට ගොඩක් ආදරේ නිසා නේද කියලා. ඒ එක්කම හිතට පිවිසුණේ බයක්. ආපු ආවේගෙට අනුක් මොන තීරණයක් ගනීවිද කියලා මම නොදන්න නිසා. මම එවෙලෙම අනුක්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්න උත්සාහ කලත් ඔහුගේ ෆෝන් එක තිබ්බේ ඕෆ් කරලා. මට හිතුණා ඔහු ඇත්තේ මා එක්ක හොඳටම අමනාපෙන් කියලා. හිත තිබ්බේ දුකෙන් පිරිලා. එදා මුලු රෑම වගේ ඇහැරගෙන මම කල්පනා කලේ මොකද මේ ගැන කරන්න ඕන කියලා. මට කීයට හරි නින්ද යන්න ඇති, ඒත් ආයෙම උදේ පහට විතර මට ඇහැරුණා.
හිත තිබ්බේ තාමත් නොසන්සුන්වෙලා. අනුක් හැමදාමත් මා ලඟින් ඉද්දි ඔහුගේ අඩුව මට  නොදැනුනාට, ඔහු තරහා වෙලා ගියාම මට දැනුනා මම ඔහුට කොයි තරම් හිතිං ලං වෙලාද කියන එක. මට හිතුණා කේතකීලගෙ ගෙදර ගිය ගමනින් තවත් ඒ බැඳීම තහවුරු වෙන්න කටයුතු සිද්ධ වුණාද කියලත්. ඇන්තිමේදි කල්පනා කරලා කරලා මම තීරණය කලා කරන්න ඕන එකම දේ මේක හරියටම අනුක්ට පැහැදිලි කරලා දෙන එක කියලා. හිතුණ ගමන්ම මම ඉක්මණින්ම ලෑස්ති වෙලා බෝඩිමේ ඇන්ටිට කිව්වායින් නොකිව්වායින් බෝඩිමෙන් එලියට දුවලා ආවා.
අනුක්ගෙ apartment එක තිබ්බේ පාරෙන් එහා පැත්තේ. මම වාහනවත් නොතකා පාර පැනලා apartment එකට පයින්ම දිව්වා. එතනට ලං වෙද්දි මට හොඳටෝම හති. මගේ වෙලාවට එතන උන්නේ මම අඳුනන security අන්කල් කෙනෙක්මයි. කලින් සැරවල්වල මම ආව ගිහින් තිබ්බ හන්දා ඔහු මාව ඇඳිනුවා. ඒ හන්දා ඒ අවසරෙන් මම දුවලා ඇවිත් ලිෆ්ට් එකට නැගලා අනුක්ගේ apartment එක තියෙන දිහාට එන්න ආවේ හදවත හොඳටම ගැහෙද්දි. තුන්වන තට්ටුවේ බැහැලා මම කොරිඩෝව දිගේ දුවගෙන apartment එක තියෙන දිහාවට ගියේ. එතන දොර ලඟදි හති අරින්නවත් මහන්සි නොවී මම බෙල් එක රිං කලා. ඒත් උත්තරයක් ආවේ නෑ. මම ආයෙම දෙතුන් පාරක් රිං කලත් ගේ ඇතුලෙන් උත්තරයක් ආවේ නෑ. මට හිතාගන්න බැරි වුණා දැන් මොකද කරන්නෙ  කියලා. මොකද මගේ අතේ ෆෝන් එකවත් තිබුණේ නෑ, හදිසියට දුවලා ආවේ බෑග් එකත් දාලා හන්දා. හිතට දැනුන පරාජිතකම, දුක මේ සේරම එක්ක, අනුක් ගැන හිතේ තිබ්බ සෙනෙහසත් මුදු වුණාම මට අඬනවා ඇරෙන්න කරන්න දෙයක් මතක් වුණේ නැහැ. අනුක් කොහේ ගියාද කියලා මම දැනගෙන උන්නෙත් නෑ. අන්තිමේදි බැරිම තැන, කරන්න දෙයක් නැති තැන මම එතනින් එන්න ආවා. ලිෆ්ට් එක එනකල් හිටගෙන ඉද්දි පවා ඇස් අග තෙත් වුණේ හිතේ දුක වැඩිකමට.  මම හිත හිත ආවේ කාමරේට ගිහින් අනුක්ට කෝල් කරනවා කියලා. ඊලඟට ලිෆ්ට් එක ඇරුණම මම ඒක ඇතුලට යන්න හිස ඔසවද්දි කොහොමවත්ම බලාපොරොත්තු නූන විදියට මගේ ඉස්සරහින් එලියට එමින් උන්නේ අනුක්. මම එතනම ගල් ගැහුණම අනුක් පවා ගල් ගැහිලා වගේ බලාගෙන උන්නා මොහොතක්. අන්තිමට ලිෆ්ට් එකේ දොර වැහෙන්න යද්දි අතදාලා ඒක නවත්තපු අනුක් මම උන්නු පැත්තට ආවේ ප්‍රශ්නාර්ථයක් දල්වගෙන.
" දුලාරා? ඔයා... ඔයා මොකද මෙහේ කරන්නේ?" ඔහු ඇහුවේ විමතියෙන්.
මට ඔයාට...කතා කරන්න ඕන වුණා අනුක්" මම ඔහු දිහා බලාගෙන කිව්වම ඔහු මා දිහා බලගෙන උන්නේ මොනවත් හිතාගන්න බැරිව වගේ.
"ඔයා කීයටද මෙහාට ආවේ?" අනුක් ඊලඟට ඇහුවා.
"පහමාරට. ඔයා කොහෙද උදේම ගියේ?" මම ඇහුවම මා දිහා මොහොතක් බලා උන්නු අනුක් ආයෙම අහක බලාගත්තා.
"ඒකෙන් වැඩක් නෑ. එන්න..."වෙන මුකුත් නොකියා අනුක් මාව එක්කගෙන ආවේ ඔහුගේ apartment එකට. (මම පස්සේ දැනගත්තා කලින්දා අනුක් apartment එකට නෑවිත්, ගෝල් ෆේස් එකට වෙලා රෑවෙනකල් ඉඳලා, apartment එකට ආවට පස්සේ කල්පනාවෙන්, කල්පනාවෙන්ම කාර් එකේම නින්ද ගිහින් තිබුණ වග).
අනුක් දොර වහලා මා දිහාට හැරුණා. ඒ දෑස් තිබ්බේ මගේ දෑස් මත නැවතිලා.
"ඇයි මේ උදේ පාන්දර මෙහෙම ආවේ?" අනුක් ඇහුවේ වියලි ස්වරයකින්.
"මට බෝඩිමට ගිහින් හිත හදාගෙන ඉන්න බැරි වුණ නිසා" මම එහෙම කිව්වම අනුක්ගේ මූණේ හැඟීම් වෙනස් වුණා.
"ඇයි ඒ?" අනුක් ඇහුවා.
"මට ඔයාගේ හිත රිද්දලා ඉන්න බැරි හන්දා. අනික මට බය හිතුණ නිසා"මම කිව්වේ බිම බලාගෙන.
"ඇයි බය හිතුණේ? මම මොකක් හරි මෝඩ වැඩක් කරයි කියලද?" අනුක් ඇහුවා.
"නෑ..."
"එහෙනං?"
"ඔයා...ඔයා...මගෙන් ඈත් වෙයි කියලා. මාව දාලා යයි කියලා"
 මම එහෙම කිව්වම අනුක්ට එක පාරම ඒක තේරුණේ නැතුවද කොහෙද ටික වෙලාවක් මගේ මූණ දිහා බලාගෙන උන්නා.
"මට ඔයාට ටික කාලෙක ඉඳන් කියන්න ඕන වුණ දෙයක් තිබ්බා අනුක්. අද ඒක මම කියන්න හදද්දි සේරම පෙරලුණේ නොහිතපු පැත්තකට. මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕන වුණේ නෑ. ඒත් ඒක එහෙම වුණා. ඒකට මට සමාවෙන්න ප්ලීස්...."
මම කියද්දි අනුක් මා දිහාම බලාගෙන උන්නේ මොනවත්ම හිතාගන්න බැරිව වගේ තාමත්.
"භූප මුලින්ම මට නැතිවුණාම  ආයෙම ජීවත් වෙන්න මට හේතුවක් තිබ්බේ නෑ. මට අඬන්න මිස හිනාවෙන්න හේතු තිබ්බේ නෑ. කොටින්ම මගේජීවිතේ පුදුමාකාර විදියට අසම්පූර්ණ වෙලයි තිබුණේ..." මම එහෙම කියලා තව ටිකක් අනුක්ට ලං වෙලා ඒ දෑස් වල ඇස් රඳවගත්තා. අනුක් තාම උන්නේ වික්ෂිප්ත වෙලා වගේ.
"මගේ ජීවිතේ සම්පූර්ණ කලේ ඔයා අනුක්..." විනාඩියක් විතරම හිතලා මම එහෙම කිව්වේ හෙමින්.
අනුක් ඒ පාර මා දිහා බැලුවේ ඒ කිව්ව දේ අදහාගන්න බැරිව වගේ.
"අපි රණ්ඩු වුණා. අපි බැනගත්තා. ඒ හැමදේම ඇත්ත. ඒකට මට ගොඩාක් සමාවෙන්න අනුක්. මට ඔයා එක්ක රණ්ඩු වෙන්න, ඔයාව තරහා ගස්සන්න ඕන වුණේ නෑ. මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්නයි මට ඕන වුණේ. මට කියන්න ඕන මේකයි, ඔයා හිතනවා නම් ඔයා මගේ ජීවිතේ සම්පූර්ණ කලා වගේ  මට පුලුවන් කියලා ඔයාගේ ජීවිතෙත් සම්පූර්ණ කරන්න..."
මම කියද්දි අනුක් මගේ දෝතම අල්ලගත්තා. ඒ ඇස් තිබුණේ විමතියකින් පිරිලා.  අපි දෙන්නා අපි දෙන්නගේ දෑස් දිහා බලාගෙන උන්නා තප්පර කීපයක්.
"අපි මුණගැහුණේ අවුරුදු පහකට කලින් වුණාට මට දැනෙන්නේ මම ඔයාව මගේ මුලු ජීවිතකාලෙම දැනගෙන උන්න වගේ. ඒ තරම් ඔයා මගේ ජීවිතේ එකතු වෙලා අනුක්...මම දන්නෑ ඔයා නොහිටින්න පහුගිය අවුරුදු තුන කොහොම ගෙවෙයිද කියලාවත්. ඒ හැම දවසක්ම ටිකෙන් ටික, ටිකෙන් ටික, මටත් නොදැනිම ඔයා මගේ ජීවිතේ කොටසක් තරම් සම්බන්ධ වෙලා මට. මට හැමදාම ඔයාව ඕන...අනුක් ඇත්තටම මට ඔයාගේ වෙන්න ඕන"
මම එහෙම කියද්දි අනුක් මගේ දෝත මිරිකගත්තා ඒ දෑස් තවත් දිලිසෙද්දි.
"ඒත්...ඇයි? " අනුක් ඇහුවේ හෙමින්, වෙව්ලන හඬින්.
"මම ඔයාට ආදරේ හන්දා" මම දයාබරව කිව්වා.
අනුක් මා දිහා බලාගෙනම උන්නේ ඒ ඇස් වලින් දරාගන්න බැරි තරම් හැඟීම් ගොඩක් උතුරද්දි.
"ඔය ඇත්තටමද කියන්නේ?" අනුක් ඇහුවා.
"ඔව්. ඔව් ඔව් ඔව්. මේ මගේ වාරේ. ඔයා තරම්ම මමත් ඔයාට ආදරෙයි කියලා මට ඔප්පු කරන්න දෙන්න. කවුද දන්නේ සමහරවිට ඔයා මට වඩා මං ඔයාට ආදරේ කරාවි..." මම කිව්වේ යන්තම් හිනාවෙලා.
අනුක් එක අතකින් මගේ කම්මුලක් මත තියලා මගේ මූණට ලං වුණේ දෑස් පියාගෙන. මම ඒ නලලත මත නලල තියලා ඔහුට තව ලං වුණා. ඒ දෑස් ආයේ ඇරුණම මම ඒවයේ දැක්කේ ආදරේ විතරමයි.
"තාමත් මට ආදරෙයි ද?
මම ඇහුවේ ඔහු තවමත් මොනවත්ම කියාගනන් බැරිව ඉද්දි. ඔහු මගේ දෑස් දිහාම බලාගෙනම උන්නා. මම ඒ දෝතේ තවත් මගේ දෝත ගුලි කරගෙන  ඔහු දිහා බලාගෙන උන්නා.
"you took a long long time for this..." ඔහු මිමිණුවා
"I know….and I am sorry"
"I wanted you so much...”
"me too. I… I still want you so much”
මම එහෙම කිව්වම මා දිහා අඩවන් දෑසින් බලපු අනුක්, හෙමින් ඔහුගේ දෙතොල් මගේ දෙතොල් මත තිබ්බා. ආදරයේ උණුසුමින් ගතම උණුසුම් වෙද්දි, ඔහු මාව වැලඳගත්තේ ගොඩාක්ම ආදරෙන්.
"මං ඔයාට ගොඩක් ආදරෙයි" ඔහු ඒ අතරෙම හෙමින් මගේ කනට කරලා මිමිණුවා.
මට ඉස්සරහින් තිබුණ ජනේලේ තුලින් මට පෙනුනා ලා කහ පාට වෙච්චි ආකාසේ පහන් තරුව දිලිසෙද්දි, ඊට ඉහලින් වලාකුලු දම් පාටින් රටා අඳින හැටි.  කුරුල්ලෝ රංචු රංචු ආකහේ පුරා ඉගිලුණ ඒ ලස්සන උදෑසන මම නැවතිලා උන්නේ අන්තිමේදි මට හොයාගන්න පුලුවන් වුණ මගේ ජීවිතේ, ආදරේ නවාතැනේ. ආයෙම ඉගිල්ලිලා යන්න මට ඕන වුණේ නෑ කොහේටවත්ම. උදාවෙන අලුත් දවසට අලුත් බලාපොරොත්තු, අලුත් හීන හිතේ දරාගෙන, එකිනෙකාගේ දෑත්වල වෙලිලා අපි දෙන්නා වචනයක්වත් කතා නොකරම, අපේ අලුත් ආදරේ ගැන සිතිවිලි වලින් හිත් පුරෝගෙන, එකිනෙකාට ලං වෙලා උන්නා. හෙමින් හෙමින් පායගෙන් එමින් තිබුණ හිරුගේ ලා හිරු කිරණ ජනේල වීදුරුවේ වැදිලා රත්තරං පාටින් දිලිසුණා. ඒ අතරේ මගේ ජීවිතේට බලාපොරොත්තු ගෙනාපු, හීන ගෙනාපු, මගේ දුක් තමන්ගේ කරගත්තු, මගේ කඳුලු පිහපු, ආදරෙන් මගේ ලෝකෙම පුරවපු ඒ සුන්දර හිතේ අයිතිකාරයාගේ සතුටින් පිරුණු දෑස් දිහා බලලා මම ආයෙම සැරයක් හිනාවුණ.

ජීවිතේ මල් දමට සුවඳ මල් අමුණන්න
කඳුලු කැට සතුටු මිණි කැට බවට පෙරලන්න
ප්‍රේමයේ කුසුම් කැන් නුඹේ නමට පුද දෙන්න

හද දොරටු විවර කර අවසරයි ලං වෙන්න...

කතාව ඉවරයි....