Tuesday, March 31, 2015

විහංඟනාවී- දසවන කොටස

"ගුඩ් මෝනිං අයුමි...නැගිටලාද ඉන්නේ?"
පහුවදා උඩේම කෝල් එක ආවේ රවීන්ගෙන්. අයුමි ඒ වෙනකොටත් ඇඳගෙන හෙම ලෑස්ති වෙලයි උන්නේ.
"ගුඩ් මෝනිං සර්...මම මේ ලෑස්ති වෙලත් ඉවරයි"
"ආ ඈත්තද? මම මේ පිටත් වෙන්න හදන්නේ. මම ලඟට ඇවිත් රිං කරන්නම් ඔයා එතකොට පහලට එන්න"
"හොඳයි සර්" අයුමි කිව්වා.
තනූජා ෆෝන් එකේ සද්දෙට ඇහැරගත්තා.
"ඔයා ලෑස්තිත් වුණාද?" ඈ ඇහුවේ නිදිමරගාතෙම.
"ඔව්. ඔයා නිදාගන්න තනූ"
"ම්ම්...ඔයා තනියෙම යන්න එපා පහලට. ඉන්න මමත් එන්නම්"
"කමක් නෑ ළමයෝ. ඔයා නිදාගන්න. දැන් ඇන්ටිත් ඇහැරිලා ඉන්නේ"
"සුවර්ද?"
"ඇන්ටි ඇහැරලා කියලද?" අයුමි ඇහුවේ හිනාවක් පාලා.
"නෑ මෝඩි. තනියෙම ඉන්න පුලුවන් කියලා බොසා එනකල්"
"එයා ලඟට ඇවිත් කෝල් කලාම මම යන්නේ"
"ම්ම්..හා එහෙනම්. පරෙස්සමින් ගිහින්, පරෙස්සමින් එන්න. බොසාටයි, අර අනික් යන කොල්ලටයි කරදරයක් නොකර එක්ක එන්න හොඳේ?" තනූජා කිව්වා.
"හා. හා. එක්ක එන්නම්කෝ පරෙස්සමින්" අයුමි කට ඇද කලා.
තනූජා හිනා වුණා.
"මට දැන් නිදිමත නෑ. කොහෙද බොසාගේ කෝල් එක මාව ඇහැරෙව්වානේ"
"ම්ම්...නරකද ඉතිං?"
තනූජා ඒකට මොනවත් කියන්න කලින් ආයෙම අයුමිගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"ඕං ඇවිල්ලද කොහෙද. යන්න යන්න" තනූජා අයුමිව හදිසි කලා.
ඇඳුම් බෑග් එකයි, හෑන්ඩ් බෑග් එකයි, ලැප් ටොප් එකයි සේරම කරේ එල්ලගෙන අයුමි දඩි බිඩියේ පහල තට්ටුවට බැස්සා.
"වාහනේ ඇවිත්ද ළමයෝ?" එහෙම ඇහුවේ ඉස්තෝප්ප්වට එබිකම් කරපු බෝඩිමේ ඇන්ටි.
"දැන් ලඟ ඇන්ටි"
"හා...එතකොට ඔය ළමය එන්නේ හෙට රෑ නේද?"
"ඔව් ඇන්ටි?"
"ගොඩක් රෑ වෙනවා නම් කෝල් එකක් දෙන්න ඕන හොඳේ. පරෙස්සමින් ගිහින් එන්න"
"හා ඇන්ටි" අයුමි කිව්වේ ඇන්ටිට වඳින ගමන්.
"තෙරුවණ් සරණයි"
ඇන්ටි අයුමි එක්කම එලියේ ගෙට්ටුව ලඟටම ආවා. එතකොටත් රවීන්ගේ වාහනේ ඇවිත්. රවීන් උන්නේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා. රවෙඟේ රියදුරා තමයි වාහනේ අරගෙන ඇවිත් තිබුණේ.පෙනුමෙන් වයස හැටක් විතර වුණ ඒ කෙනා අයුමි කලින් දැණගෙන උන්නු කෙනෙක් නෙවෙයි. ඈ පිටිපස්සේ දොර ඇරලා ඇන්ටිට අතක් වනලා වාහනේට නැග්ගා.
"ඔහොමම හැරිලා බෑග් අරව මේවා සීට් එක පිටිපස්සට දාන්න අයුමි" රවීන් ඈ දිහාට හැරිලා කිව්වා.
"අහස් නිල් පාට අත්කොට කමිසයක් ඇඳලා, කොණ්ඩ පොඩිත්ත බැඳලා උන්නු රවීන්ව අයුමිට පෙනුනේ ගොඩක්ම කඩවසම් විදියට. ඒත් ඈ ක්ෂණයකින් ඒ හැඟීම මැඩගෙන බෑග් ටික පිටිපස්සට දාන්න හැරුණා.
"සර්ලාට ගොඩ වෙලා ඉන්න වුණාද?" අයුමි ඇහුවේ බයෙන් සැකෙන් වගේ.
"අපෝ නෑ. ඔයා එලියට එද්දිම වගේ අපි ආවේ"
"ම්ම්"
"කීයේ ඉඳන්ද ලෑස්ති වෙන්න ගත්තේ?" ඊලඟට රවීන් ඇහුවේ විහිලුවට වගේ.
"හතරහමාරට විතර නැගිට්ටේ සර්"
"ම්ම්...අයුමි මීට කලින් නුවර එලියේ ගිහිල්ලා ඇති නේ නේද?" රවීන් ඇහුවා.
"ඔව්. ඉස්කෝලෙන් එක පාරක් ගියා. training ඉද්දි එහේ යාලුවෝ එක්කත් ගිහින් තියෙනවා"
"අඹේවෙල එහෙමත් ගියාද?"
"ඔව්. අපි ලෝකාන්තේ බලන්න යද්දි ගියා"
"හා...එහෙනම් ඉතිං අලුත් ගමනක් නෙවෙයි නේ"
රවීන් කිව්වම අයුමි හිනාවුණා විතරයි. ඊලඟට ටික දුරක් යනකල් රවීන් කතා කරමින් ගියේ වාහනේ රියදුරා එක්ක. අයුමි යන්න්තම් එලිය වැටෙමින් තිබුණ උදෑසන දිහා වාහනේ වීදුරුවෙන් එපිට බලාගෙන උන්නා.
"අයුමි උදේට මොනාද කන්නේ?" රවීන් අහද්දි ඈ යන්තම් තිගැස්සිලා ඔහු දිහා බැලුවා.
"ආ...එහෙම විශේෂත්වයක් නෑ සර්"
"ආ...බඩගිනි නෑ නේද? අපි සමින්දවත් අරගෙනම කමු"
"ආනේ නෑ සර්. මට ගාණක් නෑ"
අයුමි කිව්වම රවීන් ඈට හිනාවක් පෑවා. හිනාවෙද්දි පවා ඔහු මොන තරම් වෙනස්ද. කඩවසම්ද කියලා හිතෙන එක වලක්වගනන් අයුමිට බැරි වුණා. ඈ ඉක්මණින් අහක බලාගත්තේ එකයි.
සමින්ද කැලණියෙන් නැග්ගා. ඔහු අසුන්ගත්තේ අයුමිට එහා පැත්තෙන්. කොහොමින් හරි අන්තිමේදි උදේට කෑම කන්න නවත්තද්දි උදේ හතත් වෙලා. අයුමිට ඒ වෙනකොටනම් බඩගින්න දැනෙන්න පටන් අරන් තිබ්බා වගේම වෙන වෙන අමාරුත් තිබුණා.
"මොනාද දෙන්න උදේට කන්නේ? මෙතන ඕන දෙයක් තියෙනවා. කැමති විදියකට කන්න" රවීන් කිව්වේ වාහනෙන් බැහැලා දෑතම දෙපසට විහිදවලා ඇඟපතේ හිරි අරින ගමන්.
"යමු යමු" රවීන් ඊට පස්සේ සමින්දටයි, අයුමිටයි ඉස්සර වෙන්න දුන්නා.
රෙස්ටූරන්ට් එක ඇතුලට ඇවිත් අයුමි වට පිට බැලුවේ වොෂ් රූම් එක කොහෙද කියලා.
"wazzup? වොෂ් රූම් එකද බැලුවේ?" අයුමි වට පිට බලමින් ඉද්දි ඈ ලඟට ආපු රවීන් ඇහුවේ හෙමින්.
ලැජ්ජාවක් දැනුනත්, අයුමි යන්තම් හිස වැනුවා.
"මෙහෙන් එන්නකෝ" රවීන් අයුමිට කිව්වා.
අයුමි ඔහු පස්සෙන් ගියේ ඉස්සර තාත්තා පස්සෙන් යන්නා වගේ.
"මෙතනින් දකුණට. ඔයා ගිහින් එන්න"
රවීන් අයුමිට කිව්වේ වොෂ් රූම් එක තිබ්බේ ටිකක් ඇතුලට වෙන්න හන්දා. ඈ ගිහින් මූණත් ටිකක් හෝදගෙන එලියට එන්න ආවත්, රවීන් ඉන්නවා ඇති කියලා ඈ බලාපොරොත්තු වුණේ නෑ. ඒත් ඔහු ඈ එනකල් කොරිඩෝව කොනේ උන්නා.
"යමු..මට යකෙක් කන්න තරම් බඩගිනියි"
අයුමි තෑන්ක් කරනවද නැද්ද කියලා හිතාගන්නත් බැරිව, අන්ද මන්ද වෙලා ඉද්දි රවීන් කිව්වේ සැහැල්ලුවෙන්. ඈ ආයෙම ඔහු පස්සෙන් ඇදුනා මුකුත් නොකියම.
උදේට බත් කාලා හැමෝම එතනින් පිටත් වෙලා මග දුරක් එද්දි අයුමිට නින්දක් ගියා. ඈ ආයෙම ඇහැරෙද්දි වාහනේ තේ බොන්න කොතමලේ හරියේ නතර කරලා. දවල් තරු පේන තරම් සැර ලුණු මිරිසක් එක්ක පොල් රොටී කාලා, උණු උණු ප්ලේන්ටියක් බිව්වට පස්සේ අයුමිගේ නිදිමත කොහෙන් ගියාද කියලා නැති වුණා. වාහනේට ආපහු නගිද්දිත් අයුමි උන්නේ හූස් හූස් ගගා ලුණුමිරිසේ සැරට.
"ඒ සම්බෝලේ නම් මාරම සැරයි නේද ඇත්තට?" සමින්දත් ඇහුවේ හූස් හූස් ගාන ගමන්.
"ඔව්. නයි මිරිස්වලින්මයි හදලා තියෙන්නේ" අයුමිත් කිව්වා.
"මම හරි ආසයි ඒ සම්බෝලෙට" එහෙම කිව්වේ රවීන්.
"රසයි තමා. ඒත් සැරයි" අයුමිට කියවුණා.
හිනාවක් පාපු රවීන් ඈට දික් කලේ tictac පුංචි පෙට්ටියක්.
"මේකෙන් දෙක තුනක් කන්න එතකොට හරියයි" ඔහු කිව්වේ අයුමි දිහාට අනුකම්පාසහගත බැල්මක් හෙලන ගමන්.
"තෑන්ක් යූ සර්" ඈ ටික් තැක් දෙක තුනක් අරන් ඒක ආපහු රවීන් අතටම දුන්නා.
රවීන් ඒක මුකුත් නොකියම සමින්දටත් දීලා ඈත පෙනෙන කඳු වලල්ල දිහාට හැරුණා.
"මේ view එක හරි ලස්සනයි නේද? අව්ව නැති නිසා තවත් ලස්සනයි"
"හ්ම්ම්" සමින්ද හූමිටි තියද්දි අයුමි නිහඬවම ඒ සුන්දරත්වය දිහා බලාගෙන උන්නා.
"ඉඳහිට හරි මෙහෙම ගමනක් එන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?" ඊලඟට රවීන් කිව්වා.
"අයුමි මේ බලන්නකෝ"
සමින්ද එක පාරටම එහෙම කිව්වම අයුමි ඔහු දිහාට හැරුණා. ඒ හැරුණ සැනින්ම සමින්ද කලේ ඇගේ පිංතූරයක් ගත්තු එක.
"view එක එක්ක,pink color කැපිලා පේනවා. මේ බලන්නකෝ" සමින්ද අයුමිට කැමරාව පාන ගමන් කිව්වේ හිනාවක් පාලා.
රවීන් තප්පරයක් දෙකක් පුදුම වෙලා වගේ බලන් උන්නත් පස්සේ ඔහුත් හිනාවක් එක්කම අයුමි ෆොටෝ එක බලමින් උන්නු තැනට ආවා.
"කෝ බලන්න...ආ...ඔය තියෙන්නේ classy shot එකක්. සමින්ද නරකම නෑ ආ" රවීන් කිව්වේ විහිලුවට වගේ.
ඒ ගත්තු පිංතූරේ අයුමි කිසීම මවාගත්තු හැගීමකින් තොරව උන්නු විදියටම හැරිලා බලාගෙන හිටපු නිසා, ඒකේ අමුතු ස්වභාවික ලස්සනක් තියෙනවා කියලා අයුමිටත් හිතුණා.
"මම මිස්ටර් රවීන්ගේ එකකුත් ගත්තා" සමින්ද කිව්වේ රවීන් ඈත බලාගෙන තේ කෝප්පයක් බිබී ඉන්න පිංතූරයක් පෙන්නලා.
"ආ...නොකියම අරගෙන නේ?"
ඒ පිංතූරේ නම්, රවීන් අර්ජුන් රාම්පාල් වගේමයි කියලා අයුමිට හිතුණා.
"මේ වැඩේ කවදාහරි එපාවුණ දවසක, සමින්දට පුලුවන් ෆැෂන් photography කරන්න. Nice captures by the way"
රවීන් සමින්දගේ පිටට තට්ටුවක් දාලා වාහනේ දිහාට යමින් කිව්වා. සමින්දයි, අයුමියි ඔහු පස්සෙන් ඇදුණා.
කොහොමින් කොහොමින් හරි අන්තිමේදි දවල්දෙක විතර වෙද්දි කට්ටියම අඹේවෙලට සේන්දු වුණා. සුරේෂ් අයුමිලා වෙනුවෙන් බුක් කරලා තිබුණේ එහේ තිබුණ ලස්සනම හොටෙල් එකක්. ඒකේ නම Warwick Gardens. ලොකූ ගාඩ්න් එකක් මැද කලු ගල් වලින් නිම කරලා තිබ්බ ඒ හොටෙල් එක අයුමිට පෙනුනේ පුංචි මාලිගාවක් වගේ.
"මේක අර Adisham Bunglow එක වගේ නේද?" සමින්ද ඇහුවම අයුමි හිස වැනුවා.
"හරි ලස්සනයි" අයුමි ඒ එක්කම කිව්වා.
ඒ වෙද්දි රවීන්, හොටෙල්  එක ඇතුලේ උන්නු සුරේෂ්ව හම්බවෙන්නත් ගිහින්. ඒ නිසා දෙන්නම ඒ දිහාවට පය ඉක්මණ් කලා බෑග් දෙක තුනත් අතින් අරන්.
"අපි බෑග්ස් තියලා, වොෂ් එකක් හෙම දාලා , කාලා යමු මගේ බංගලාව බලන්න" සුරේෂ් කිව්වේ හිනාවක් පාමින්.
"OK මචං. ඒක හොඳයි"
අයුමි නම් ඒ වෙනකොටත් ඒ හොටෙල් එකේ ලස්සනින් මන්මත් වෙලා, කතා කරගන්නත් බැරි වෙලයි උන්නේ. ඈ ඊට කලින් නවතින්න ඒ වගේ හොටෙල් එකකට ඇවිත් තිබුණේ නෑ. ඒකේ තිබුණ පුටු මේස වල ඉඳන්, පාවිච්චි කරලා තිබුණ පාටවල්, මැටීරියල් මේ සේරම දිහා අයුමි බලාගෙන උන්නේ ඩිසයිනර් කෙනෙක් විදියට ගොඩක්ම ආසාවෙන්.
අන්තිමේදි බඩු මුට්ටු සේරම ඉක්මණින් කාමර වලට දාලා, කෑම කාලා කට්ටියම සුරෙෂ්ගේ හොටෙල් එක බලන්න යන්න පිටත් වුණා. ඒ නිසාම අයුමිට හිතේ හැටියට ඈට හම්බවුණ උඩ තට්ටුවේ තිබුණ ලස්සන කාමරේ වග විස්තර බලන්න වුණේ නෑ. ඒත් ඉතිං තව දවසක්ම තිබුණා ඈට මේ සේරම රස විඳින්න. අයුමිගේ හිතේ කරන්න ආපු වැඩේ ගැන තිබුණෙත් ලොකු උද්‍යෝගයක්.
"ඔන්න දැන් ගියාම සේරම විස්තර හොඳට බලාගන්න. ඔයාගේ පලවෙනිම ඩිසයින් එකනේ. මම දන්නවා ඔයා ඒක හොඳටම කරාවි කියලා" ඒ යන අතරෙදි රවීන් අයුමිට කිව්වා.
අයුමි රවීන් දිහා බැලුවේ කියන්න දෙයක් එකපාරටම හිතාගන්න බැරිව.රවීන් පොඩ්ඩක් පුදුම වුණා වගේ වුණත්, ඇගේ දෑස් වල බැල්මෙන් ඔහුගේ දෑස් මුදාගන්න උත්සාහ කලේ නෑ. අන්තිමේදි මුලින් අහක බැලුවේ අයුමි.
"මම පුලුවන් හොඳින් කරන්න බලන්නම් සර්" ඈ කිව්වේ ඊට පස්සේ.
"අයුමි ඔෆිස් එකේ වගේ නැතුව මෙහෙම කැෂුවල් ඉද්දි හරි වෙනස්" ඈ කිව්ව එක නෑහුණා වගේ රවීන් කිව්වේ හෙමින්.
ඒ කතාවට අයුමිගේ කන් දෙකත් රත් වුණා. ඈ මුකුත්ම කිව්වේ නෑ.
"වෙනස් කිව්වේ කැතයි කියන එක නෙවෙයි හරිද?"
රවීන් ආයෙම එහෙම කියද්දි අයුමි හිනාවක් පෑවා ඔහු දිහා නොබලම.
"රවි අද එනවද?" ඒ අතරේ වාහනේ ලඟට ගිහින් උන්නු සුරේෂ්ගේ හඬ ඇහුණම තමයි දෙන්නම පියවි ලෝකෙට ආවේ වගේ.

ඊට පස්සේ රවීන්ට ආයෙම අයුමි එක්ක තනියෙම කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒත් අයුමිගේ හිත තිබ්බේ මොකක්දෝ නුහුරු හැඟීමකින් ගැහෙමින්. ඒ මොකක්ද කියන්න ඈට තේරුණේ නැතත්, රවීන් ඈ දිහා යන්තමින් බැලුවත් ඇගේ හිත හීන්වට නොසන්සුන් වෙන වග ඈට දැනුනා. ඒ හැඟීම ගැන ඈට දැනුනේ බයක්. ඒ නිසාම ඈ පුලුවන් තරම් රවීන් දිහා නොබලා කරන වැඩේටම විතරක් හිත යොමු කරන්න උත්සාහ කලා.

Saturday, March 28, 2015

විහංඟනාවී- නමවන කොටස

"මම හිතුවේ අපි සිකුරාදා උදේ යමු කියලා. මොකද අපට එතකොට සෙනසුරාදා හවස් වෙද්දි ආයෙම එන්න පුලුවන් නේ. ඊටප්ස්සේ ඔයාලට ඔන්න ඉරිදා නිවාඩුවත් තියෙනවා. මොකද කියන්නේ? එහෙම හොඳයි නේද?"
අඹේවෙල යන ගමන ගැන කතා කරන්න රැස්වීමක් කැඳවපු රවීන් එහෙම ඇහුවේ එතන උන්නු හැමෝගෙම මූණු දිහා බලන ගමන්. ගමන යන්න එකතු වෙන්නේ සමින්දයි, අයුමියි විතරක් වුණත් ප්‍රියන්තිත් එතනට ඇවිල්ලා හිටියා ගමන සූදානම් කරන වැඩේ බලන්න ඕන ඈ හන්දා.
"උදේ කීයටද මිස්ටර් රවීන් එතකොට vehicle එකක් ඕනේ?" ප්‍රියන්ති ඇහුවා.
"ම්ම්...මම හිතුවේ මගේ වාහනේම යන්න කියලා ප්‍රියන්ති. ඒක තමා ඔය කඳු නගින්න හොඳම වාහනේ. මම fuel ඇවිල්ල  claim  කරන්නම්. ඒත් අර හොටෙල් එකට කතා කරලා rooms හරියටම confirm  කරන්න. මේ අපේ ගෑණු ළමයට හරියන විදියට විශේෂයෙන්ම සේරම ඕකේද කියලත් මතක් කරලා අහන්න හොඳේ" රවීන් කිව්වේ අයුමිට හිනාවක් පාලා.
"හරි" ප්‍රියන්ති ඒ දේවල් සටහන් කර ගනිමින් කිව්වා.
"ආ...තව, කැමරා එක සමින්දට දෙන්න. ඒක චාජ් කරලා දන්නවනේ ලෑස්ති කරලා දෙන්න" රවීන් ආයෙම කිව්වේ ප්‍රියන්ති ඒකත් නෝට් පොතේ කුරුටු ගාගනිද්දි.
"එතකොට advance request  එක දන්නේ මිස්ටර් රවීන්ද නැත්තම්?" ප්‍රියන්ති ඇහුවේ සමින්ද දිහාත් බලන ගමන්.
"advance ඕන නෑ. මම ඇවිත් bills claim කරන්නම්. No worries"
"OK එහෙනම්"
"ආ...අයුමිව මට බෝඩිම ලඟින් pick කරන්න පුලුවන් මම එන්නෙත් ඒ පෑත්තෙන් නිසා. සමින්ද වෙනදා වගේ මගින් නගිනවද, කොහොමද?" රවීන් ඇහුවා.
"ඔව් සර්. මම කැලණියේ කැම්පස් එක ලඟින් වෙනදා වගේම නගින්නම්"
"OK"
මීටින් එක ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි රවීන් ආයෙම අයුමිට කතා කලා.
"අයුමි අර material බැලුවද? මට අහන්නත් බැරි වුණා" රවීන් ඇහුවේ එහෙම.
අයුමි දිහා එක පාරක් බලලා ප්‍රියන්තියි, සමින්දයි එලියට යන්න ගියා.
"ආ...තාම බලාගෙන යනවා සර්. මම දැනට select කරපු suppliersලගේ details මම සර්ට mail කරන්නද?" අයුමි ඇහුවේ හිටගත් වනම.
රවීන් පුටුවට හේත්තු වෙලා හිස පිටිපස්සට ඇල කරගෙන අයුමි දිහා බලාගෙන උන්නා.
"ඔයා මට තුන් දෙනෙක් select කරලා පෙන්නන්න. අපි ඊටපස්සේ ගිහිල්ලම material බලල කෙනෙක් තෝරගමු. හරිද?" ඔහු ඊලඟට ඇහුවා.
"හා"
අයුමි බලාගෙන උන්නේ ඊලඟට මොකක්ද රවීන් කියන්නේ  කියලා.
"ම්ම්...ඔයා ඉන්නවා කිව්වේ රාජගිරියේ නේද?" රවීන් ඊලඟට ඇහුවේ එහෙම.
"ඔව් සර්"
"කොයි හරියෙද?"
අඹගහ හන්දිය ලඟ. නෙලුම් පෙදෙස කියලා ඒ පැත්තට කියන්නේ"
"ආ...ඒ කියන්නේ මේ බුත්ගමුව පාරේ නේද? 175 යන්නේ ඒ පාරෙ නේ?" රවීන් ඇහුවා.
"ඔව් සර්"
"ම්ම්" රවීන් හිස වැනුවා.
"OK එහෙනම්. වැඩේ කරගෙන යන්නකෝ. මම හෙට එන්නේ නැතිවෙයි ගොඩ වෙලාවට. මම කෝල් එකක් දෙන්නම් ඒත් අනිද්දා කොහොමද ඔයාව, කීයටද pick කරන්නේ කියලා"
"හා සර්.."
අයුමි හිස වැනුවම රවීන් හිනාවක් පෑවා 'හරි එහෙනම්' කියන්න වගේ. ඈ එලියට එන්න ආවේ හිතේ දේවල් ගොඩක් වැඩ කරද්දි. ඇඳුමක් ලෑස්ති කරගන්න ඕන, ගෙදරට කියන්න ඕන, ඒ අස්සේ විස්තර හොයන්න ඕන, ඊටත් වඩා ඇගේ හිතට හීනියට වද දෙමින් තිබ්බ දේ වුණේ පිටස්තර පිරිමි දෙන්නෙක් එක්ක මේ වගේ ගමනක් යන්න වෙන එක. ඇගේ හිතේ ඒ දෙන්නා ගැන අවිශ්වාසයක් තිබ්බ නිසා එහෙම හිතුණා නෙවෙයි අයුමිට. ඒත් තව ගෑණු ළමයෙක් නමට හරි උන්නා නම් කියන සාංකාවක් ඈ තුල තිබුණා, ඒ පිට පිරිමි කෙනෙක් එක්ක එක දවසින් ගිහින් එන ගමනක් වත් මීට කලින් ඈ ගිහින් නොතිබුණ හන්දා.
****
"නුවර එලියේ යනවා නම් අනිවාර්යෙන්ම ජර්සියක් ගෙනියන්න ඔයා. මොකද එහේ සීතල නැති වෙලාවක් නෑනෙ"
තමන් යනන් ඉන්න ගමන ගැන තනූජට කිව්වම ඈ කිව්වේ එහෙම.
"ජර්සියක්? අනේ මං ලඟ ජර්සියක් නෑනෙ. දැන් ගන්න යන්න වෙලාවකුත් නෑ" අයුමි කිව්වේ පොඩ්ඩක් කලබල වෙලා.
"දැන් ඉතිං ගියත් ජර්සි ගන්න කියලා තැනක් හොයන්නේ කොහොමද? මං කියන්න ද මම ඔයාට මගේ ලඟ තියෙන බොලෙරෝ එකක් දෙන්නම්. හැබැයි රජෝ ඒක නම් ඉතිං මදි වෙයි එහේ තියෙන සීතලට. ඔයා එහාට ගිහින් හොඳ එකක් ගන්න" තනූජා කිව්වා.
අයුමි ඒකට එකඟ වුණේ වෙන කරන්න දෙයක් නැති හන්දා.
ගෙදරට ගමන ගැන දැනුම් දීලා, ගෙනියන ඇඳුම් ලෑස්ති කරමින් ඉන්න වෙලේ ඔන්න රවීන්ගෙන් කෝල් එකක් ආවා.
"අයුමි මම රවීන්"
"ආ...ඔව් සර්" කතා කරද්දි අයුමිට ඇඳෙන් නැගිටුනේ ඉබේටම.
"මම උදේ පහට ඔයාව ගෙදර ලඟට එනවා. ඒ වෙලාවට ලෑස්ති වෙලා එලියට ඇවිත් ඉන්න. මට පොඩ්ඩක් කියන්න ගෙදර නොම්මරේ"
අයුමි ගෙදර නොම්මරෙයි, එන විදියයි කෙටියෙන් කිව්වා.
“OK. එහෙනම් හරියටම පහට මම එනවා. ආ..මතක් කරලා ලැප් ටොප් එක අරන් එන්න හරිද?" රවීන් කිව්වා.
"හරි සර්. මං අරන් එන්නම්" අයුමි කිව්වා.
"ම්ම්...අයුමි කෑම කකාද හිටියේ මම කතා කරද්දි?" රවීන් ඊලඟට ඇහුවා.
"අනේ නෑ සර්. මම මේ ඇඳුම් ලෑස්ති කර කර හිටියේ. තාම කෑම කෑවේ නෑ"
"දැන් අටත් පහු වෙලානේ" රවීන් කිව්වා.
"ඔව්..මේ අද මෙහේ ආන්ටි ගමන්ක් ගිහින් එද්දි හවස් වෙලා උයන්න පරක්කුයි. ඒකයි" අයුමි ලැජ්ජාවෙන් වගේ හෙමින් කිව්වා.
"ආ... මාර වැඩේනෙ. දැන් ඇත්තටම ඔයාලට කෑම තියෙනවද? ඔය හරියේ  ගන්න කඩයක් තියෙනවද?"
"කෑම තියෙනවා සර්. කඩෙන් ගන්න ඕන නෑ"
"ම්ම්. එහෙම නම් කමක් නෑ. බඩගින්නේ ඉන්න එපා" රවීන් කිව්වේ දයාබරත්වය මුසු වුණ හඬකින් වගේ කියලා අයුමිට හිතුණා. ඈට මුකුත්ම කියාගන්න බැරිව ගොලු වුණේ ඒකයි.
"හරි එහෙනම් මම තියන්නම්. හෙට හම්බවෙමු. ගුඩ් නයිට් අයුමි"
"ගුඩ් නයිට් සර්.  බුදු සරණයි" ඈට අන්තිමට කියවුණේ පුරුද්දට වගේ.
"ඔයාටත් බුදු සරණයි" රවීන් මොහොතක් නිහඬව ඉඳලා එහෙම කිව්වා.
"බොසාද?" අයුමි ෆෝන් එක කට් කරලා සුසුමක් හෙලද්දි එහෙම ඇහුවේ තනූජා.
"හ්ම්ම්"
"ඔයා බොස්ට මාර විදියට ගරු කරනවා නේ?" තනූජා එහෙම ඇහුවේ ඇගේ බොලෙරෝ එක නවලා අයුමිගේ බෑග් එකට ඔබන ගමන්.
"ඇයි එහෙම අහන්නේ?"
"නෑ, මේ කෝල් එක ආව ගමන් ඔයා සීරුවෙන් හිටගත්තු හන්දා"
තනූජා හිනාවෙවී කිව්වම අයුමිටත් හිනා ගියා.
"බොස්ට ගරු කරන්න ඕන නේ" ඈ කිව්වේ හිනාව මැද්දෙන්මයි.
තනූජා අයුමිට කට ඇද කරලා රේඩියෝ එක දැම්මා. අයුමි ඒ අතරේ ඇඳුම් අස් කරන්න ගත්තා ආයෙම.
"මා ඔබත් එක්ක සුහද කතාවක්...ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..."
වාදනය වෙන්න ගත්තේ අයුමි ආස කරපු ගීතයක්.
"ඒකත් මාරයි නේද?" ගීතය වාදනය වෙන අතරේ තනූජා හිටි ගමන් කිව්වා.
"මොකක්ද?"
"කියන්නේ එකක්, ඒත් හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක් කියන එකනේ මේ සිංදුවෙන් කියන්නේ" තනූජා උත්තර දුන්නා.
"එහෙමද?" එද්දි අඳින්න ගවුමක් ගෙනියනවද, ජීන්ස් එකක් ගෙනියනවද කියලා හිතමින් උන්නු අයුමි ඇහුවේ එතරම් කල්පනාවකින් තොරව.
"ඔව්. ආදරේ කියන්නේ හිතේ ඉපදිලා ඇස් වලින් එලියට එන දෙයක් වචන වලින් කියන්න කලින්" තනූජා කිව්වේ හැඟීම්බරව වගේ.
අයුමි ඒ පාර හැරිලා ඈ දිහා බැලුවා.
"අයුමිට boy friend කෙනෙක් ඉන්නවද?" තනූජා අයුමි දිහා බලලා ඇහුවා.
"අනේ නෑ"
"ඇත්තටම? අනේ මේ බොරු නොකියා ඉන්න"
"බොරු නෙවෙයි. ඇත්තටම එහෙම කෙනෙක් නෑ. ඉඳලත් නෑ"
"හාපෝ...මොකක්ද අනේ ඒ ජීවිතේ?"
"එහෙම තමා. කොල්ලෙක් ඉන්නම ඕනද ජීවිතයක් පරිපූර්ණ වෙන්න?"
"දැන් නම් ඔහොම කියයි. බලමුකෝ කොල්ලෙක් හම්බුන දාට. මෙතන ලව් සික් වුණාම මට තමා කරදරේ"
"ඒ එහෙම වුණොත් නේ" අයුමි කිව්වේ හිනා වෙවී.
"මේ නංඟී... ලව් කොතනද එතන සික් තියෙනවා. ඒක තමා ඒකේ හැටි"
"ආ...එහෙමද අක්කා. ඔයත් මාර දේවල් නේ දන්නේ"
"ඔව් ඔව්. මේ ශතවර්ෂ කාලක ජීවිතේ නිකම්ම ගෙවුණා නෙවෙයි නේ"
"හා හා. එහෙනම් හොඳයි. ඉතිං දැන් ඔය අක්කට කොල්ලෙක් ඉන්නවද?"
අයුමි ඇහුවම තනූජා ඇස් ලොකු කර ගත්තා.
"ඉන්නවා ඉන්නවා නැත්තේ මොකෝ. දැන් කාලේ කොල්ලෙක් නැති කෙල්ලෙක් ඉන්නේ එහෙමත් තැනක. ඔය ඔයා වගේ"
"මේ විදිය මට හොඳයි තනූ. අනික එහෙම හිතට ඇල්ලුවා කියලා කෙනෙක් මට හම්බවෙලාම නෑ"
"පුදුමයි...ඔය මුවෙක් වගේ ඇස් වලට, දිග කොණ්ඩෙට කවුරුත්ම වශී වුණේ නෑ කිව්වම"
"අනේ මේ...නිකං ඉන්න අනේ විහිලු නොකර"
"විහිලු නෙවෙයි"
"මේකනේ වශී වුණ අය හිටියට, මාව වශී කරගන්න ඒ අයට බැරි වුණා" අයුමි කිව්වේ ඇදලා පැදලා.
"ආ...ඇත්තට? ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට. අපි බලා ඉමුකෝ කවුද මේ ගල් හිත වශී කරගන්න ගල් වඩුවා කියලා"
තනූජා එහෙම කිව්වම අයුමි තවත් හිනා වුණා.
"පිපුණු මලක හැඩ දෑස සලා...සිතුම් විහඟ කැල වසඟ කලා..." රේඩියෝ එකේ දැන් වාදනය වෙමින් තිබුණ ගීතය ඒක.

අයුමිගේ හිත ඒ ගීතයත් ඒක්ක ඈතට ඈතට ඇදිලා ගියා. ඇගේ හිතේ මතු වෙමින් තිබ්බ කල්පනාව වුණේ තමන්ගේ ණයකාරයා (ආත්තම්ම කියන විදියට) කොහේ ඉන්න, කොහොම කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා.