Wednesday, May 23, 2012

හතලිස් දෙවන කොටස


"අනේ හැබෑට, මම මේ කල්පනා කලේ මේ ගෝපිට තියෙන ගමන් වල හැටියට ලඟදිම ලාඩම් ගහන්න වෙයිද කියලා..." වරුවක ඉඳන් මොක්දෝ වැඩකට ගෝපිව හොයමින් උන්නු අම්මා එහෙම කිව්වේ බීට් ගෙඩි වගයක් ලෙලි ගහමින් උන්නු ආන්යවයි, රාධාවයි හිනාගස්වමින්.
"ඇයි දැන් කොහේ ගිහින්ද අම්මා?"
"අනේ කවුරු දන්නවද? මෙලහකට දොරේලා දෙන්නා බලන්න ගිහින් වෙන්ඩෑ. අද එහාට කට්ටියකුත් ඇවිත්ලු නේ. මේ ලෝකේ සිහියක් නැතිව එහාට වෙලා ඇති" අම්මා කිව්වාමයි ආන්යට මතක් වුණේ අද ශර්මිලා එනවා කියලා ආර්යන් කියපු වග. ඒත් ඇගේ හිතේ තවත් රිදෙන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නෑ.
"තාත්තා ආවද කොහෙද" අම්මා එක පාරටම කුස්සියේ දොරෙන් එබුනේ ආන්යව ආයෙම පියවි ලෝකෙට අරගෙන එන ගමන්.
"කෝ මීනු...කියන්න එයාගේ යාලුවෙක් ඇවිත් කියලා, බරටම තෑගිත් අරගෙන" සාලේ දිහාවෙන් තාත්තගේ හඬ ඇහුණාම බීට් ගෙඩියත් අතින් අරන්ම ආන්යත් සාලෙට එබුණේ කුතුහලෙන්.
බෑග් කීපයක් අතින් එල්ලගෙන විකට විදියට හිනාවෙමින් ඈ දිහා බලාගෙන උන්නේ අභී. ඊට පිටිපස්සෙන් උන්නේ ගෝපි.
"ඔහ්...අයි ෂුඩ් හෑව් නෝව්න්..." ආන්යා කිව්වේ යන්තමට හිනාවෙන ගමන්.
"ඔෆ් කෝස් යූ ෂුඩ් හෑව්, මම නෑවිත් ඔයාව වෙන කවුරු බලන්න එන්නද?" අභී කවුරුවත් ඉන්නවා කියලා නොහිතා එහෙම කිව්වාම ආන්යා රතු වුණා.
තාත්තයි, අම්මයි නම් උන්නේ හිනා වෙවී.
"මම ඇඳුම් මාරු කරගෙන එන්නම් අභී, ඔයාලා වාඩි වෙලා කතා කරන්නකෝ" තාත්තා එහෙම කියාගෙන ගෙට වැදුනා.
"කාටද මේ බරටම තෑගි ගෙනාවේ?" ආන්යා අසල උන්නු අම්මා ඇහුවා.
"හැමෝටම තමා ආන්ටි. ඔන්න මේ ෂෝල් එක ආන්ටිට. අන්කල්ට ගෙනාපුවා කලින්ම දුන්නා" අභී කිව්වේ ලස්සන දුඹුරුපාට වූල් සලුවක් දාපු බෑග් එකක් ආන්යගේ අම්මා අතට දෙන ගමන්.
"අනේ මට මොකට තෑගි ගේන්න කරදර වුණාද?"
"කරදර නම් මොනාද ආන්ටි"
"මේක අනුහස්ට, මේක අයියට, එතකොට මේ අනික් සේරම ඔයාට" අභී බෑග් එකින් එක පැත්තක තියලා ඉතිරිවුණ බෑග් කීපය පෙන්නලා ආන්යට කිව්වා.
"මට...මෙච්චර මොනාද?"
"බලන්නකෝ ඉතින්" අභී කිව්වා.
"මගේ අතේ බීට් ඉස්ම ගෑවිලා"
"ඔන්න බලන්නකෝ ආන්ටි, ඉතින් අත හෝදගෙන ඇවිත් බලන්න" ඔහු ආයෙම කිව්වා.
ආන්යා වදෙන් පොරෙන් වගේ ගිහින් අත හෝදගෙන ඇවිත් බෑග් එකක් අතට ගත්තා. ඒකේ තිබුණේ ලස්සන රෝසපාට ස්ත්‍රෝබෙරි ගෙඩි වැටුණ, සුමුදු රෙද්දකින් මහපු ලස්සන ගවුමක්.
"අනේ හරිම ලස්සන්යිනේ මේක" එහෙම කිව්වේ ආන්යගේ අම්මා. ආන්යා නම් උන්නේ ගොලු වෙලා.
ඊලඟට බෑග් එකින් එක ඇරලා ඈ එලියෙන් තිබ්බේ සුදු පාට ලස්සන පුලුන් හාවෙක්, රිදී පාට අත් ඔරලෝසුවක්, සුවඳ විලවුන් පෙට්ටියක්.
"කොහොමද හොඳද?" අභී ඇහුවේ පොඩි එකෙක්ට සෙල්ලම්බඩුවක් අරන් දීලා ඒ දිහා බලලා සතුටු වෙන කෙනෙක් වගේ.
ආන්යා මුකුත්ම කියාගන්න බැරිව මොහොතක් උන්නා. ඒ අතරේ අම්මයි, තාත්තයිත් අභී දිහා බලාගෙන උන්නේ ප්‍රශ්ණාර්ථයක් දල්වගෙන.
"ලස්සනයි" ආන්යා අන්තිමට කිව්වා.
"මේ ළමයා මෙච්චර මොකට කරදර වුණාද?" අම්මා කිව්වේ තරමක් අපහසුතාවයට පත් වෙලා වගේදෝ කියලා ආන්යට හිතුණා.
"කරදරයක් නෑ ආන්ටි. ආන්ටිලා අපට කොච්චර නම් කන්න හදලා දීලම තියෙනවද? මට අසනීප වෙච්ච දවස් වල ආන්යා මට කොච්චර සාත්තු කරලා තියෙනවද? අනික ඉතින් හැමදාම ගේන එකක්යැ?" අභී කිව්වේ හැඟීම්බරව.
වචන අම්මගෙත් හිත සසලන්න ඇති කියලා ආන්යට හිතුණා. මොකද අම්මා කොයි වෙලෙත් පුතාලා දෙන්න ගැන හිතන, අනික් සේරම පුතාලත් තමන්ගේ වගේ සලකන කෙනෙක් හන්දා.
"අභී මටත් ඔරලෝසුවක් ගෙනත් දුන්නා, එපා කිව්වට ඉතින් අහන්නේ නෑනෙ" තාත්තාත් කිව්වා.
"තෑග්ගක් දුන්නම එපා කියන එක රූඩ් නේ අන්කල්" අභී කිව්වේ හිනාවේලා.
"ඇත්ත ඇත්ත"
"ඒක නෙවෙයි අන්කල්...අද හවස අපේ බන්ග්ලෝ එකේ පුංචි පහේ පාටියක් තියෙනවා. අන්නාගේ ෆියොන්සේ එහෙම ඇවිත් නේ ඉන්නේ. ඉතින් මං ආන්යවයි, ගෝපිවයි එහාට එක්ක ගියොත් කමක් නැද්ද?"ඒ පාර අභී හෙමි හෙමින් ඇහුවා.
"ඩිනර් පාටියක්ද?" එහෙම ඇහුවේ අම්මා.
"ඔව්, ඩිනර් එක හත වෙද්දි අරන් මම ඉක්මණට ගෙනැත් ඇරලවන්නම් ආන්ටි"
මේ අයට මැදිවෙලා උන්නු ආන්යා නොසන්සුන් වුණා. මේ සේරම අස්සේ ආයෙම ඈ ආර්යන්ගේ මූණ කොහොම බලන්නද කියලා ඈට තේරුණේ නෑ.
"මේ ලඟටනේ යන්නේ, කමක් නෑ ඉතින් ගොඩක් රෑ නොවී එනවා නම්. ඔය රාධාවත් එක්ක යන්නකෝ" තාත්තා කිව්වා.
"අනේ අභී...මම කොහොමද එන්නේ?" ආන්යා තැතනුවා.
"ඇයි?"
"ඒක ඔයාලගේ ෆැමිලි එකේ දෙයක්නේ"
"ඉතින්, ඔයත් අපේ ෆැමිලි එකේ වගේ තමා. මේ නිකම් පාලුවේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව එන්නකෝ ආන්යා. ඔය තුන් දෙනා ආවාම මටත් පාලු නෑනෙ. නැත්තම් අන්නා එයාගේ වයිෆ් එක්ක තනි වුණාම, මායි, අර පොඩි එකයි, එයාලගේ ආච්චි අම්මයි විතරයි. ප්ලීස් ආන්යා...." අභී කියපු දේ වලින් ආන්යගේ හිත තවත් රිදුණා.
"ඔච්චර කියන එකේ යන්න පුතේ" අම්මත් කිව්වා.

අන්තිමට හවස පහමාර විතර වෙද්දි ආන්යා උන්නේ ගෝපියි, රාධායි එක්ක පහල ඩිවිෂන් එකේ බංගලාව ලඟ.
"එන්න යං" අභී ඉස්සර වුනා ආන්යත් එක්ක.
ආන්යා ගෙට අඩිය තිබ්බේ ගැහෙන හිතින්. දැන් කොයි මොහොතක හරි ආර්යන්ව ඈට පෙනෙයි කියලා ඈ උන්නේ නොසන්සුන්වෙලා. සාලෙට යද්දි එතන උන්නේ ශර්මිලාගේ ආච්චි අම්මයි, පොඩි මල්ලියි විතරයි.
"අන්නා යෙංග අම්මා?(අයියා කෝ අම්මා) අභී ඇහුවා.
"ඉදෝ ඉප්ප ඉංග තා ඉරින්දද. වෙලිය කොන්ජ පාර (මේ දැන් මෙතන තම්මා හිටියේ,පොඩ්ඩක් එලියෙත් බලන්න)" ආච්චි අම්මා කිව්වා.
"අවර් ඉරික්කිට්ටුම්, අම්මා ඉවන් ආන්යා...(එයා හිටපුවාවේ. අම්මා මේ ආන්යා)" අභී ආන්යව අඳුන්නලා දෙද්දි ඒ ආච්චි අම්මා කණ්ණාඩිය හෙම හදලා ආන්යා දිහා බැලුවේ හිනා කටක් පුරෝගෙන.
"ආමා...ඉවර් යාරෝඩ පුල්ල (මේ කාගේ ළමයෙක්ද )?"
"නම්බ ජෙනරල් මැනේජරුඩය ඔරේ ඔරු මඝන් (අපේ ජෙනරල් මැනේජර්ගේ එකම දුව ). ඉවර් තාන් නාන් කල්‍යාණ පන්න පොරේන් (මෙයාව තමා මම කසාද බඳින්නේ )" අභී එහෙම කියලා හිනාවුණා.
ආච්චිගේ ඇස් උඩ ගියා.
" අනේ අභී ඔය ඕන්නැති විහිලු කලොත් මම ගෙදර යනවා. ඉල්ල අම්මා අදු පොයි (නෑ අම්මා ඒක බොරුවක්)" ආන්යා කිව්වා.
"අනේ මෙයා දෙමලත් දන්නවනේ...වෙරි නයිස්. දැන් නම් මට හැම අතින්ම ගැලපෙනවා. බොරු නෙවෙයි, ඔයාව තමා මම මැරි කරන්නේ"
"අභී..." ආන්යා ඔහුට රවලා අනික් පැත්ත හැරෙද්දිම වගේ ඉස්සරහ දොරෙන් මතු වුණේ ශර්මිලාව අතකින් අල්ලගෙන උන්නු ආර්යන්. ආන්යට දැනුනේ තමන්ගේ හිත අඳුරු පතුලකට කිදා බහිනවා වගේ හැඟීමක්. ඒ එක්කම ආර්යන් ගැන පුංචි තරහක්. 'අතින් අල්ලගෙන ඉන්න හැටි?'
ආර්යන් ආන්යගේ ඇස් මගෑරලා අහක බලාගත්තත්, ශර්මිලා හිනාවක් මුවට නගාගෙන ආන්යා අසලට ආවා. ආන්යත් අමාරුවෙන් හිනාවක් මුවට නගා ගත්තා.
"හායි ආන්යා...කොහොමද? මේ දවස් වල ගෙදරද ඉන්නේ? අනේ සොරි මම දන්නෑනෙ ඔයාලත් එනවා කියලා. අපි දෙන්න චුට්ටක් ඇවිදින්න ගියා" ශර්මිලා කිව්වේ සුහදව.
"ඒකට කමක් නෑ, අපි දැන් ආවේ" ආන්යා අපහසුවෙන් වචන ගැටගහ ගත්තා.
"ආපු එක නම් හොඳයි. නැත්තම් අභීට තමා පාලු" ශර්මිලා කිව්වේ අභීට ඇහැක් ඉඟි කරන ගමන්.
එතකල්ම ආර්යන් පැත්තකට වෙලා උන්න මිසක ආන්යා දිහා බැලුවේවත් නෑ. ආන්යගේ හිතේ පැන නැගුන තරහා තවත් ඉස්මතු වුණා. එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම කොහොම ඔහු වෙනස් වුණාද කියලා ඈට හිතාගන්න බැරි වුණා.
"ඉතින් වාඩි වෙන්නකෝ...අපි හවස ලෑස්තිවෙලා හිටියේ වෙඩින් රිංග්ස් තෝරන්න. ඔයාටත් පුලුවන්නේ උදව් වෙන්න, නේද ආරු?" ශර්මිලා ආර්යන් දිහා බලලා එහෙම කිව්වා.
ආන්යා උන්නේ හොඳටම හිත රිදිලා වුනත්, කිසිම ගාණක් නැතුවා වගේ පිටින් පෙන්නගෙන හිටපු ආර්යන්ට ඒක පෙන්නන්න ඈ කැමති වුණේ නෑ. ඒ වෙනුවට ඈ කලේ, ආර්යන්ට පේන්න අභීට සමීප වුණ එක. ඒක නපුරු අදහසක් වුණත්, ආදරේදි ඒ වගේ දේවලුත් මිනිස්සු කරනවනේ.
"මම උදව් වෙන්නම්..." ආන්යා බොරු හිනාවක් නගාගෙන කිව්වා.
"තෑන්ක්ස්, ඊට කලින් අපි තේ බොමු නේද?" ශර්මිලා ඇහුවා.
"මං ඒක බලන්නම්" ආර්යන් එහෙම කියාගෙන සාලෙන් පිට වුණා.
තේ මේසෙදි ආන්යා අභී ලඟින්ම වාඩි වුණේ හිතලමයි. ආර්යන් යන්තමට ඔවුන් දිහා බලලා අහක බලාගත්තා විතරයි. ඒ අතරේ ආච්චි අම්මා ඉන්දියාවෙන් ගෙනාපු කැවිලි වගයක් හැමෝටම පිළිගැන්වුවා.
"අනේ මට මේ මුලු එකක්ම කන්න බෑ. අභී බාගයක් කන්නකෝ" ආන්යා කිව්වේ ආච්චි අම්ම තමන් අතට දීපු ලොකු ලඩ්ඩු ගුලිය දිහා බලමින්.
"හා...දෙන්න දෙන්න" අභී ඒක දෙකට කඩලා එක කෑල්ලක් ගත්තා. ආර්යන් ආයෙමත් ඇස් කොනකින් තමන් දිහා බලනවා ආන්යා දැක්කා. ඇගේ හිතේ ඇතිවුණේ පුංචි කුරිරු සතුටක්.
"ඉතින්...කොහොමද ඔය දෙන්නගේ කතාව?" ශර්මිලා හිටපු ගමන් තේ බොන අතරේ එහෙම ඇහුවාම බිබී උන්නු තේ එක ආන්යගේ පිට උගුරේ යන්නත් ගියා.
"අපේ කතාව මොනා වෙන්නද? මෙයා තාම මට මොනවත්ම කියන්නේ නෑනෙ" අභී කිව්වේ ආන්යා දිහා හිස ඇල කරලා බලමින්.
"අභී...ප්ලීස්. අපි ඔය ගැන කතා නොකර ඉමුද?"
"ඇයි ඒ? අභී නරක කෙනෙක් නෙවෙයිනේ. අනික ඉතින් ඔය දෙන්න දැන් කාලයක් ආශ්‍රය කරනවා නේද?" ශර්මිලා එහෙම ඇහුවා.
ආන්යාට දැනුනේ තරහක්. ඒ නිසාම ඈ බිම බලාගෙන කතා නොකර හිටියා.
"ඔයා වෙන කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවද?" ශර්මිලා ඇහුවම ඒ පාර පිට උගුරේ ගියේ අභීට.
ආන්යා ඔහුගේ පිටට තට්ටු කරන ගමන් හොරැහින් ආර්යන් දිහා බැලුවා. ඔහු උන්නෙත් ඇස් දල්වගෙන ඈ දිහා බලාගෙන. ආන්යට ආයෙම ඔහු එක්ක දැනුනේ අමනාපයක්.
"අනේ...ඉන්නවා කියලා නම් කියන්න එපා...මට ඌට වැඩක් දෙන්න තමා වෙන්නේ" අභී කිව්වේ කැහැ කැහැම.
ශර්මිලා හිනාවුණා.
"එහෙම කෙනෙක් හිටියා...ඒත් දැන් නෑ. මම එයාව අමතක කරන්න හිත හදාගෙන ඉවරයි" ආන්යා කිව්වේ අනික් දෙන්නට හොරෙන් එකමෙකපාරක් ආර්යන් දිහා බලමින්.
"රියලි?" අභී ඇහුවා.
"අපි අතර අෆෙයාර් එකක් තිබ්බේ නෑ. හැමදේම තිබ්බේ හිතේ විතරයි" ආන්යා කිව්වාම ශර්මිලාගෙත් මූණ අඳුරු වෙනවා ඈට පෙනුනා.
"කොහේ කෙනෙක්ද?" ඈ ඇහුවා ආන්යගෙන්.
"මෙහේ නෙවෙයි...එහේ" ඕන එකක් හිතාගත්තාවේ කියලා ආන්යා එහෙම කිව්වා.
"දැන් හිතෙත් මොනවත් නෑ නේද?" අභී ඇහුවේ හෙමින්.
ආන්යා අභී දිහා බලලා යන්තමට හිනාවක් පාලා හිස වැනුවා.
"නෑ...මොනවත්ම නෑ"
ඒ මුල්ම වතාවට ආන්යා, අභීගේ දෑස් වලට එබුණ අවස්ථාව. ඒ ඇස් වල තිබ්බේ බයක්, ආදරයක්, සෙනෙහසක් කවලම්වුණ හැඟීමක්. ඒ ඇස් ඉස්සරහ ආන්යගේ හිත පිච්චීගෙන යනවා වගේ මොහොතකට ඈට දැනුනා.
"මම තව තේ අරන් එන්න කියන්නම්" මේ දෙන්නා අහක බලාගත්තේ ආර්යන් පුටුව අදින සද්දෙට.
තේ බීලා ඉවර වෙලා කට්ටියම ආයෙම සාලෙට ආවේ විවාහ උත්සව ගැන තියෙන එක එක විදියේ පොත් ගොඩක් ලඟට. ඒව අතර මුදු වලට වෙනම, අනික් ආභරණ වලට වෙනම, ඇඳුම් වලට වෙනම පොත් තිබුණා. ශර්මිලා ආර්යන්වත් ලඟට ඇදගෙන මුදු තියෙන පොතක් දිගඇරගත්තා.
"මේ අපිට නම් බෑ ඔය බෝරිං වැඩ කරන්න. ඔයාලගේ මුදු ඔයාලම තෝරගන්න. අපි මැද සාලෙට යනවා මූවි එකෙක් බලන්න කෑම හදනකල්" අභී කිව්වේ පොත්ගොඩ දිහා බලලා ඈනුමක් අරින ගමන්.
ආර්යන් ආන්යා දිහා බැලුවා. ඈ අහක බලාගත්තා.
"ඕකේ...කැමැත්තක්" එහෙම කිව්වේ ශර්මිලා.
මේ බංගලාවේ මැද සාලෙට ආන්යා ඇවි තිබුණේ නෑ මීට කලින්. එතනට යද්දි ඈ දැක්ක අති විශාල හෝම් තියටර් සිස්ටම් එකක් සාලේ පැත්තක තියලා තියෙනවා. ඒ ඉස්සරහා, සුව පහසුවට ඉඳගෙන ටීවී බලන්න සැප පුටු කට්ටල දෙක තුනකුත් තියලා තිබුණා.
"ඔයාට මොකක්ද බලන්න ඕන?" අභී ඇහුවේ එක පුටුවකට බර වෙලා ආන්යට ඉඳගන්න ඉඩ දෙමින්. ගෝපියි රාධායිත් වෙන තැනක තිබුණ පුටු දෙකකට බර වුණා.
"ඕන එකක්"
"ඉන්ග්ලිෂ් එකක බලමු නේද ගෝපි? කමක් නෑනෙ" අභී ඇහුවේ පැත්තක උන්නු ගෝපිගෙන්. ඔහු හිස වැනුවා විතරයි.
"අපි බලමු ලේක් හවුස්...ඒක හරිම ලස්සන අමුතු කතාවක්" අභී ආන්යට කිව්වා.
කීනු රියුස්, සැන්ඩ්‍රා බුලොක් ප්‍රධාන චරිත රඟපාපු මේ චිත්‍රපටිය 'ඉල් මාරේ' කියන කොරියන් චිත්‍රපටයක ඉංග්‍රීසි අනුවාදය. ඒ කතාවට පාදක වෙලා තිබුණේ අතීතයේ ඉන්න තරුණයෙකුයි, අනාගතේ ඉන්න තරුණියෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්. මැද සාලේ තිර ඇදලා තරමක් අඳුරු කරපු අභී චිත්‍රපටය ක්‍රියාත්මක කලා.
"ආන්යා ආසම ඉන්ග්ලිෂ් ඇක්ටර් කවුද?" චිත්‍රපටය පටන්ගන්න අතරතුර අභී ඇහුවා.
"විල් ස්මිත්" ආන්යා එකපාරටම කිව්වේ ඈ එදා ඉඳන්ම ආදරය කරපු නලුවා ඔහු නිසා.
"ආ...ගුඩ්. ඇක්ට්‍රස්?"
"ජූලියා රොබර්ට්ස්"
"ඕ...ප්‍රිටි වුමන්. මාත් ආසයි. මම ඊට වඩා ආසයි හැබැයි ජෙනිෆර් ලොපේස්ට. ඇක්ටර් නම් රිචර්ඩ් ගියර්. ප්‍රිටි වුමන් එකේ ඉන්නේ"
"ම්...මං දන්නවා. එයාම නේද ජේලෝ එක්ක ෂැල් වී ඩාන්ස් එකේ ඉන්නෙත්?" ආන්යා ඇහුවාම අභී හැරිලම ඈ දිහා බැලුවා.
"ළමයා යමක් කමක් දන්නවා එහෙනම් හොලිවුඩ් ගැන නේද?"
ආන්යා හිනාවුණා.
ඊටපස්සේ දෙන්නම ආයෙම ටික වෙලාවක් කතාවකින් තොරව චිත්‍රපටය නැරඹුවා.
"මීනු..." අභී ඒ නිහඬතාවය බින්දා.
"ම්ම්..." ආන්යා දැන් ඒ නමට පුරුදු වෙලාද මන්දා.
"මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා" ඔහු කිව්වේ හෙමින්.
"මොකක්ද?" ආන්යා ඇහුවේ චිත්‍රපටයෙන් ඇස් ඉවතට නොගෙනම.
"බලන්නකෝ..." ඔහු අත්ල පෑවා.
ආන්යා ඒ දිහා බලද්දි ඔහුගේ අතේ තිබ්බේ පුංචි ස්වර්ණාභරණ පෙට්ටියක්. ඇගේ හද ගැස්ම වේගවත් වුණා.
"මේ මොකක්ද?"
අභී හෙමිහිට ඒක විවෘත කලා. ඒකේ ඇතුලේ තිබුණේ ලස්සන, හීන් රත්තරං චේන් පොතක්. තනි සුදු ගලක් අල්ලපු මාල පෙත්තකුත් ඒකට අමුණලා තිබුණා.
"මේ...මටද?"
"නැත්තම් ගෝපිටයැ?"
"ඒත් අභී..."
"මීනු...හැමවෙලේම ඔහොම හෙසිටේට් වෙන්න එපා. ඔයා මේක නොගත්තොත් මම අර කන්ද පහලට මේක වීසි කරනවා" අභී කිව්වේ හිතුවක්කාර විදියට.
"මම කොහොමද මේක ගන්නේ? මම ගෙදරට මොකද කියන්නේ?"
"ගෙදරට කියන්න ඕනද හැමදේම? මං කියන්නේ දැන්මම?"
ආන්යා ඒත් උන්නේ දෙගිඩියාවකින්. අභීගේ මූණ අඳුරු වුණා.
"ඔයාට මේක එපාද?"
ආන්යා ඔහු දිහා බැලුවේ බියපත් දෑසින්.
අභී පෙට්ටිය වහලා නැගිටින්න හැදුවේ තරහ ගිහින්. ආන්යා එක පාරටම පැනලා ඔහුගේ අතකින් අල්ලගත්තේ, වැඩිය නොහිතා.
"හරි මං ගන්නම්...ගන්නම් ඉතින් වාඩි වෙන්න" ආන්යා බැගෑපත් වුණා.
අභී වාඩි වෙලා, චේන් පොට අතට අරන් තමන්ම ඒක ආන්යගේ ගෙල වටා පැලැන්දුවා. ආන්යට දැනුනේ මුලු ගතම හිරිවැටිලා යනවා වගේ හැඟීමක්.ඔහුගේ කම්මුල තිබුණේ ඇගේ කනේ ගෑවෙන්න නොගෑවෙන්න. ඔහු වෙතින් ආපු සුමුදු විලවුන් සුවඳකුත් ඇගේ නහයට දැනුනා.
"ලස්සනයි..." ඈ දිහා බලපු අභී කිව්වේ රහසින් වගේ. ආන්යා බිම බලාගෙන ලොකු සුසුමක් හෙලුවා.
"හරි හරි දැන් මූවි එක බලන්නකෝ"
ආන්යා ආයෙමත් රූපවාහිනි තිරය මත ඇස් රඳෝගත්තා. ඒත් ඇගේ හිත තිබුණේ නොසන්සුන් වෙලා. අභීට ලං වෙන්න බෑ කියලා හිතේ එක පැත්තක් කියද්දි, ඔහුට මේ තරම් තමන්ට ලං වෙන්න දෙන්න ඈ ඉඩ දෙන්නේ ඇයි කියලා ඈ කලපනා කලා. කොච්චර මගාරින්න හිතුවත් අභීගේ දයාබරත්වය ඉස්සරහ ඔහුව මගාරින්න ආන්යට හයියක් තිබුණේ නෑ.
"මීනු..." විනාඩි පහක් යන්න කලින් අභී ආයෙම ඇගේ කන ලඟට ඇවිත් මිමිණුවා.
"ඔයා මට මේක බලන්න දෙනවද නැද්ද?" ආන්යා ඇහුවේ ඔහුගෙන් ඈතට වෙන ගමන්.
"මම දවසක් අහපු දේට..." ඈ කියපු දේ ගාණකට නොගෙන ඔහු පටන් ගත්තා.
"මම උත්තර දීලා ඇති" ආන්යා මැදින් පැන්නා.
"අහන්න...මට උත්තරයක් ඕන නෑ" අභී කිව්වා.
ආන්යා ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"ඒ කිව්වේ?"
"මට ඔයා ලඟින් මෙහෙම ඉන්න දෙන්න...ඔයා මගේ ලඟ ඉන්න...එතකොට නිකම්ම ඔයාට ඔයාගේ උත්තරේ හම්බවෙයි. මටත් හම්බවෙයි"
ආන්යගේ හිත සැලෙන්න වුණා.
"මම මෙහෙම හැමදාම එන්නේ නෑ" ඈ කිව්වා.
"ඇයි ඔච්චර නපුරු? මං මෙච්චර ආදරේ නිසාද?"
"නපුරු වෙනවා නෙවෙයි අභී...මං ඇත්ත කියන්නේ"
"ඔයා නොදන්නවට ඔයාගේ හිතේ මට පුංචි ඉඩක් හරි තියෙනවා. ඒක මට දැනෙනවා මීනු"
"අභී..."
"මම එතන ඉඳන් ඔයාගේ මුලු හිතම කවදාහරි මගේ කරගන්නවා" මද අඳුරේ අභීගේ ඇස් දිලිසෙනවා ආන්යට පෙනුනා. ඔහු උන්නේ ආන්යට ගෑවෙන නොගෑවෙන තරම් ලඟින්. ආන්යගේ සුසුම් වේගවත් වුණා.
"අභී...මට යන්න ඕන. මම ආවේ මේවා කතා කරන්න නෙවෙයි" ආන්යා කිව්වේ තදින්.
"යන්න දෙන්න බෑ"
"මට තනියෙම යන්න පුලුවන්"
ආන්යා එහෙම කිව්වාම අභී කලේ සැටිය මත තිබ්බ ආන්යගේ අතින් තදින්ම අල්ලගත්තු එක. ආන්යා ගැස්සුනා. අත ඇදගන්න හැදුවත් අභීගේ දැඩි අතට තවත් ඇගේ අත හිර වුණා.
මැද සාලේ දොර ඇරුනෙත්, ආර්යන් සාලෙට ආවෙත් මෙවෙලෙමයි. අභීගේ පපුව ලඟ හිර කරගෙන උන්නු ආන්යගේ අත දිහාට ඔහුගේ ඇස් යොමු වුණා. අභී ඉක්මණට ඇගේ අත අතෑරියා. ආන්යට දැනුනේ ලැජ්ජාවක් එක්කම දුකක්. ආර්යන් කතා කලේ බිම බලාගෙන.
"අයෑම් සොරි අභී...කෑම ලෑස්තියි කියන්න මං ආවේ"
"අපි එන්නම අන්නා" අභී කිව්වෙත් ටිකක් අපහසුතාවයට පත් වෙලා වගේ.
"ෂික් අන්නා දැක්කද මන්දා" අභී කිව්වා ආන්යට.
"මොකටද ඕන නැති වැඩ කරන්නේ?" ආන්යා කිව්වේ අමනාපෙන්.
"අම්මෝ නපුරුකම...මගේ අතත් හීරුවා. යමු කන්න" අභී කිව්වේ හිස කස කස හිනාවෙමින්.
කෑම මේසෙට යද්දි ශර්මිලා, ආර්යන් එක්ක මේසේ වාඩි වෙලයි උන්නේ. මේ දෙන්න පස්සෙන් ආපු ගෝපියි රාධායි එහෙම්මම කුස්සිය දිහාවට ගියා.
"ෆිල්ම් එක බැලුවද? මොකක්ද?" ශර්මිලා ඇහුවා.
"ලේක් හවුස්" අභී කිව්වේ ආර්යන්  දිහා තවමත් කෙලින් නොබලමින්.
"බලන්න දෙන්න එපෑ බලන්න. ඉඳගත්තු වෙලේ ඉඳන් කතා කරනවනේ මෙයා" ආන්යා කිව්වා.
"කතා කලා විතරද?" ශර්මිලා එහෙම අහද්දි ආන්යා රතු වුණා. ඈ වචනයක්වත් නොකියා බිම බලාගත්තා.
"අයියෝ... ශර්මි ප්ලීස්... ඩෝන්ට් එම්බැරස් හර්. එහෙම මොනවත් වුණේ නෑ. දිස් ඉස් නොට් යුරෝප් යූ නෝ" අභී කීවේ ආන්යව ආරක්ෂාකරන්න වගේ.
"ඕ කේ, ඕ කේ අයැම් සොරි...අයෑම් සොරි ආන්යා" ශර්මිලා කිව්වා.
"කාලා ඉවර වෙලා ඉක්මණට ආන්යව ගෙදර ගිහින් දාන්න. රෑ වෙනකල් තියාගන්න එක හරි නෑනෙ. අම්මලා බලාගෙන ඇති" හිටපු ගමන් එහෙම කිව්වේ ආර්යන්.
ආන්යා ඇස් කොනකින් ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ බිම බලාගෙන.
"සරි අන්නා" අභි හෙමිච්චා වගේ කිව්වා.
කිව්වා වගේම හතහමාර වෙද්දි ආන්යව අභී ගෙදරට ඇරලුවා. එන්න කලින් ආන්යා ආර්යන්ගෙන් සමු ගත්තේ හිත  ගල් කරගෙන.
"මීනු...වැරැද්දක් වුණා නම් සොරි. මම ආයෙත් එහෙම නොකර ඉන්න බලන්නම්..." ගෙදරට ලං වෙලා අභී කිව්වා.
"ඇයි අභී අපිට බැරි හොඳ යාලුවෝ විතරක් වෙන්න?" ආන්යා ඇහුවා.
අභී ඈ දිහා බලාගෙන උන්නා තප්පරයක් දෙකක් විතර.
"මං ඔයාට ආදරේ නිසා..."
"මම මෙහෙම ඔයාව ආශ්‍රය කලා කියලා මාව වරදවා තේරුම් ගන්න එපා ප්ලීස්"
"නෑ...මං දන්නවා ඔයා එහෙම කරන්නේ මට රිද්දන්න ඔයා අකමැති නිසා කියලා. ඇන්ඩ් දැට් ඉස්, ද ෆස්ට් සයින් ඔෆ් යෝර් ලව් ෆෝ මී..."
"අයි ඩෝන්ට් ලව් යූ අභී..."
"යූ විල්..."
"බට්..."
"ෂ්....ඉෆ් යූ ඩෝන්ට් ෂට් අප්, අයි විල් කිස් යු..." ආන්යා ඇස් ලොකු කර ගත්තා. අභී හිනාවුණා.
"බය වුණා නේද?"
"යනවා යන්න"
"ඕ කේ, ඔන්න ගෙදරට ආවා. ගෙට එන්න බෑ, යන්න ඕන. දන්නවනේ අන්නගේ රූල්ස්. ආන්ටිලට කියන්න. ගුඩ් නයිට් ප්‍රින්සස්..."
"ගුඩ් නයිට් පිස්සා"


1 comment: