Tuesday, August 28, 2012

එකොලොස්වන කොටස


අම්මා..."
දහ අටවනදා දිවා කාලය වද්දී අම්මා, තාත්තා, අක්කා සහ මධුර අයියා අපගේ පොදු කාමරයේ පෙනී සිටියහ. ඔවුන් එනතුරු  දින ගනිමින් සිටින සඳ එය කවදාවත් නොගෙවෙන්නක් මෙන් දැනුනද, හදිසියේම මා බලාපොරොත්තුවෙන් හුන් දවස එලඹී තිබිණි. මතුල වූයේ නිම් හිම් නැති සතුටකි.
"යමු අපි බෑග් අරගෙන එන්න උදව් කරන්නම්" සියලුම ආචාර සමාචාර අවසානයේ,තාත්තාට තුරුලුව උන් මට අක්කා කීවාය.
"හදිසියක් නෑ. අපේ ෆ්ලයිට් එකට තව වෙලා තියෙනවා. හෙමිහිට ලෑස්ති කරගෙන එන්න" තාත්තා අපට කීවේය.
අපි ගමන් මලුද රැගෙන නේවාසිකාගාරයෙන් පිටව නගරය බලා එන්නට ආවෙමු. එහිදී දිවා ආහාරය ගෙන, තරමක් වේලා ඇවිදිමින් සහ නගරයේ සිරි නරඹමින් හුන් අපි සැවොම, අවසානයේ රාත්‍රී නවයට ගුවන්ගත වීමට නියමිතව තිබූ ගුවන් යානයට ගොඩ වන්නට ගුවන් තොටුපොල බලා පිටත් වූයෙමු.
මධුර අයියාගේ නැන්දණිය පදිංචි වී උන්නේ බොස්ටන් හි පිහිටි ඉතාමත් සුන්දර පෙදෙසක්වූ බීකන් හිල් පෙදෙසේය. අප එහි ලඟ වනවිට තවමත් රාත්‍රිය වූ බැවින් එහි සුන්දරත්වය දැක බලාගැනීමට මට උදෑසන වන තෙක් හිඳින්නට සිදු විය. මධුර අයියාගේ මාමා සහ නැන්දණිය වාසය කලේ දුඹුරු පාට ගඩොලින් නිම කල තට්ටු නිවාසයක පලමුවන මහලේය. මෙම තට්ටු නිවාස පෙල තරමක් පටු මාවතක් දෙපසින් දිගට දිගට විහිද තිබූ අතර, සෑම නිවෙසකම වාගේ ජනේල වලට පිටතින්, බිත්තියතම සවි කල කුඩා පෙට්ටියක් වැන්නක, පෙටූනියා, හෝ ජෙරේනියම් වැනි මල් වර්ගයක් වවා තිබිණි. නිවාස වල බිත්ති පමණක් පිහිටි ස්ථාන වල පහන් කණු සිටුවා තිබූ අතර, මේ නත්තල් සමය වූ බැවින් ඒවායේ රතු ලොකු රිබන් වලින් තැනූ සැරසිලි ගැටගසා තිබෙණු දැකිය හැකි විය. එමෙන්ම, ඇතැම් ස්ථාන වල ගෙවල් වලත ඉදිරියෙන් හිමෙන් වැසී ගිය ගස් එක දෙකක්ද පැන නැගී තිබුණි. මෙම තට්ටු නිවාස වල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පැත්තේ, මාර්ගය දෙපස සිටුවා තිබූ උස ශාක පේලියක් සුදු හිමෙන් වැසී කෙට්ටුවට හා කලුවට නැගී සිටි අතර, නිවාස වලට ඉදිරියෙන් වූ යකඩ වැටවල් හා කණුද හිමෙන් වැසී පැවතුණි. මා එලියට බැස අවට සිරි නරඹා එද්දී මධුර අයියාගේ නැන්දණිය වූ සීතා නැන්දා, දහවල් කෑම සූදානම් කර තිබුණාය.
සීතා නැන්දා සහ කොල්වින් මාමා පනස්විය ඉක්මවූ, ඉතාම සුහදශීලි යුවලක් වූ අතර, ඔවුන්ට දරුවන් උන්නේ නැත. ඔවුන් දෙදෙනා ජීවිකාව ලෙස බීකන් හිල් නගරයේම සිංහල සහ ඉන්දියානු කෑම සහ කුලු බඩු වෙලෙඳාම් කෙරෙන කුඩා අවන්හලක් පවත්වාගෙන ගිය හ. සීතා නැන්දා, වයසට ගියා වුව රූ සපුවෙන් අඩුවක් නොවූ තැනැත්තියක් වූවාය. ඉනෙන් පහලට වැටෙන්නට තරම් දිගු කොණ්ඩයකුත්, තියුණු, කලු දෑසක් සහ උස් තියුණු කටහඬ සහ සිනාවකුත් ඈ සතු විය. පැහැපත් ලියක් වූ ඇය, තද දුඹුරු පැහැ සමක් තිබූ කොල්වින් මාමා අසලදී තවත් පැහැපත්ව මට පෙනුනි. කොල්වින් මමා කාලවර්ණ, උස මහත් සිරුරකින් හෙබි, ගණකම් උඩු රැවුලක් වැවූ අයකු  විය. ඔහු දුටු වනම නම් මට ඔහු නපුරු අයෙක් විය යුතු බව සිතුනද, සැබවින්ම ඔහු ඉතා කාරුණික තැනැත්තෙකු වග මට ඉක්මණින්ම වැටහිනි.
"කොහොමද වටපිටාව ලස්සනද? මොකද හිතන්නේ මෙහේ ගැන?" කෑම මේසයදී කොල්වින් මාමා මගේන් විමසුවේය.
"හරිම ලස්සනයි මාමේ. දුඹුරු පාට ගෙවල් හරියට චිත්‍රයක් වගේ සුදු හිම මැද. මෙහේ autumn එකට තව ලස්සන ඇති නේද?" මම කීවෙමි.
"ඔව් ඔව්. පාට පාට කොල වැටුණම ලස්සනයි තමා. ඒත් අපට නම් දැන් ඒකෙ ලොකු අරුමයක් නෑ, කාලයක් මෙහේ උන්නු හන්දා" එවර කීවේ සිතා නැන්දාය.
නිවාඩුවට මෙහි පැමිණෙන්නට ලැබීම ගැන මසිතේ වූයේ මහත් සතුටකි. මගේ පවුලේ අය මා සමග වීම ඒ සතුට වැඩිකරලන්නට හේතු විය. එනිසාම මට තාවකාලිකව ජේඩන්වද අමතකව තිබිණි. ඔහුව මට හිටිවනම සිහි වූයේ ඔහු මා හට දුරකථන ඇමතුමක් ලබා දු වේලේ වීම මසිතට වරදකාරී හැඟීමක් දනවන්නට සමත්ව තිබිණි.
"ගෙදර අය ආපු හන්දා යාලුවෝ අමතක වෙලා නේද?" ඔහු කතා කල සැනෙන් මට නෝක්කාඩුවක් කීවේය.
"අනේ නෑ එහෙම වුණා නෙවෙයි, දන්නැද්ද, නිදහස් හැඟීම  හන්දා නින්ද ගියා. ඊට පස්සේ එලියේ ඇවිදින්න ගියා. ඕපා දූප  කතා කරන්න පැටලුනා...ඉතින්, කතා කරන්න වෙලාවක් නැති වුණා"
"මට තේරෙනවා. ඔයාගේ කටහඬින්ම තේරෙනවා ඔයා ඉන්නේ සතුටින්, උද්‍යෝගයෙන් කියලා. ඒක හරිම හොඳයි. ඉතිං බොස්ටන් වල කොහෙද ඔයා මේ ඉන්නේ?" ඔහු එවර පුරුදු පරිදි මිත්‍රශීලී වෙමින් විමසුවේය.
"අපි ඉන්නේ බීකන් හිල් කියන පැත්තේ. මෙහේ හරිම ලස්සනයි ජේඩන්. උස දුඹුරු පාට ගෙවල්, කොල හැලුණ, කලු පාට ගස්, ජනේල වල එල්ලලා තියෙන මල් පඳුරු, ඇයි පහන් කණු, ඒවත් රතු රිබන් වලින් සරසලයි තියෙන්නේ...මං මෙහාට හරිම ආස වුණා. ඇත්තමයි" මම කීවේ සැබෑම උද්‍යෝගයකිනි.
"මම කවදාවත් ඇවිත් නෑ බීකන් හිල් වලට. පිංතූර වලින් නම් දැකලා තියෙනවා. අපට කොහෙද ඉතිං වෙලාවක් රට වටේ ඇවිදින්න? කොහොම වුණත් ඉතිං ඔයා සතුටින් නම් එච්චරයි" ඔහු කීවේය.
"කොහොමද, ඔය පැත්ත?" මම එවර විමසුවෙමි.
"මෙහේද? මෙහේ ඉත්නින් පුරුදු විදියම තමා. කවුරුවත් නැති නිසා මම තනියෙම ඉන්නවා. නිව්යෝර්ක් යන්න ඇඟිලි ගැන ගැන. ඒ වගේම, ඔයා....ලා.. නැති පාලුවත් දැනෙනවා ගොඩක්" ඔහු කීවේය.
"පාලුව යන්න කවුරුහරි හොයා ගන්න බැරියැ" මම ඒවර සරදමට මෙන් කීවෙමි.
"අපෝ අපෝ, එක පාරක් හොයාගෙන මදෑ වෙච්ච දේ. ඔයාටත් මල් පොකුරකින් ගුටි කන්න වුණානේ. තාම ඒ තිගැස්ම හිතින් අහක් වෙලා නෑ මගේ. බලමුකෝ, නිව්යෝර්ක් වල වත් ඉඳීවිද කියලා කෙනක් නේද?" ඔහු කීවිට මට සිනා පහල විණි.
"බලන්න, බලන්න. කරන්න දේකුත් එපැයි නේද?"
"හ්ම්. හ්ම්"
"එහෙනම් මම තියන්නද ජේඩන්? මම ඔයාට කතා කරන්නම් නත්තලට" මම එසේ කීවිට ඔහු දිගු සුසුමක් හෙලුවේය.
"හොඳයි එහෙනම්...සතුටින් ඉන්න"
"ඔයත්"
"කොහේ ගියත් මට ඔයා නැති පාලුව නම් දැනේවි පංචලී" ඔහු අවසානයේ කීවේ මහිත මදක් සසලවාලමිනි.
මම ගොලු වූයෙමි. ඔහුට කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය.
"පංචලී...ඔයාට ඇහෙනවද?" ඔහු මාගේ නිහන්න්ඩතාවය දිගු වූ නිසාදෝ මා ඇමතීය.
"හ්ම්..."
"මම හිතනවා, ඔයාගේ හිත හදා ගන්න ඔය පැත්තේ ලස්සන, බලන්න තියෙන දේවල්, ගෙදර අය උදව් වේවි කියලා. හැමදාම දුකෙන් ඉන්න එක අමාරුයි පංචලී. සතුටින් ඉන්නයි ලේසි. ඒ නිසා හෙමිහිට පරණ දේවල් වලට හිතෙන් ඈත් වෙලා යන්න ඉඩ දෙන්න. අලුත් දේවල් ජීවිතේට ලං කරගන්න බලන්න. සමහරවිට, ඔයා ඔය නොලැබෙන දෙයක් මත්තේ නැහෙන්න හද හද ඉද්දි, ඔයා ගැන හිතන, ඔයාට ආදරේ කරන අයත් ඔයා ලඟපාතම ඉන්නවා වෙන්න පුලුවන්. පොඩ්ඩක් වට පිට බලන්න පංචලී...ජීවිතේ වීඳින්න උත්සාහ කරන්න" ඔහු කියවාගෙන ගියේ මා තව තවත් සසලවාලමිනි.
"ස්තුතියි ජේඩන්. මම උත්සාහ කරන්නම්" වචන ගැටගසාගත හැකි වූ වහාම මම එසේ කියා දැමීමි.
"සතුටින්, පරෙස්සමින් ඉන්න. ආපහු ඔයාලව හම්බවෙනකල් මම බලාගෙන ඉන්නවා"
"හරි"
"මම ආයෙ කතා කරන්නම්"
"හොඳයි"
"හොඳට විනෝදවෙලා එන්න"
"ඔයත්"
සිතේ සසලවීම මදකුදු අඩු නොකර ජේඩන් ඇමතුම විසන්ධි කලේය. ඔහු මෙසේ අමුතු කතා කියද්දිඔහු කෙරෙහි මහිතේ ඇති වූයේ අහේතුක බියකි. එහෙත් ඔහු පිලිබඳව වූ ලබැඳි යාවක් ද මසිතේ නොතිබුණා නොවේ. එහෙත් ඒ ඔස්සේ සිතන්නට මට කිසි විටෙකවත් දිරියක් හෝ උවමනාවක් තිබුණේ නැත. සංකේත් නිසාවෙන් මා සියල්ල්න්වම එකසේ අවිශ්වාස කිරිමත්, ජේඩන් හැදී වැඩුණ සමාජයේ මා අදහන විශ්වාසය, බැඳීම් වැනි දේ පිලිබඳව වූ වෙනස් ආකල්පයත් එයටැ හේතු වූවා විය හැක. ඒ කෙසේ වුවද, ඔහු මා හට ලං වන්නට උත්සාහ කරතැයි යන්න මා නොපිලිගත්තද, මහිත ඉඳුරාම පිලිගත් දෙයක් බවටැ පත්ව තිබිණි.
"එහෙම හරි නැනෙ මුතු...අපට ඒකට බල කරන්න බෑනෙ"
මා සාලයට යද්දී මධුර අයියා කියනු ඇසුනෙන් මම මදක් වේගය අඩු කොට ඔවුන්ට සවන් දීමට නැවතුනෙමි. කුමක්දෝ හේතුවකට ඔවුන් දොඩන්නේ මා ගැන යැයි මට සැකයක් ඉපදීම ඊට හේතුවයි.
"රෑ කෑමට එන්න කියමු. වෙන මොනවත් කියන්න ඕන නෑ පංචලීට. දෙනා කතා කරද්දි, ආශ්‍රය කරද්දි මොනා හරි වෙන්නේ නැතෑ" සීතා නැන්දාගේ කටහඬ ද මට ඇසිණි.
ඔවුන් මා සම්බන්ධයෙන් කුමක්දෝ කිරීමට කුමන්ත්‍රණය කරන්වා කියා මට සිතුණි. වෙනත් අයෙකු කිසිවක් කියන්නට පෙර මා ඔවුන් ඉදිර්යේ පෙනී සිටියේ එය කුමක්දැයි දැන ගැනීමට මට බලවත් සේ උවමණා වූ නිසාය. සියල්ලන්ගේම මුහුණු එක්වරම මා දෙසට හැරිණි.
"ආ...මෙන්න මෙයා හොරා වගේ හෙමින්ම ඇවිත්" මා දුටු අක්ක මදක් තිගැස්සී මෙන් කීවාය.
"මොකක්ද මේ, මන්ත්‍රනයක් ද, කුමන්ත්‍රණයක්ද?" මම අම්මා අසල වූ පුටුවටකට බර වෙමින් ඇසුවෙමි. සාලයේ මැද ගිනි උදුන දල්වා තිබිණෙන් අප හුන් ස්ථානය වඩාත් උණුසුම් විය.
"මන්ත්‍රණ‍යක් වගේ කුමන්ත්‍රණයක් කියලා හිතාගන්නකෝ නන්ගා" මධුර අයියා හිනැහී මට කීවේය.
එයින් පසු අම්මා සහ සීතා නැන්දා කිසිත් නොදන්නවා සේ කතාව වෙනතක හැරවූ අතර, ඔවුන්ගේ මන්ත්‍රණයේ හේතු භීත දැනගන්නට මටපසුදා රාත්‍රිය තෙක් කල් තිබිණි.
"නංඟි, පොඩ්ඩක් මෙහාට එන්න"
සවස සියල්ලෝම මදක් නිදාගන්නට ගොස් සිටි මොහොතක අක්කා මා ඇමතුවාය.
මම ඈ අනුව ගියෙමි. ඈ මාව කෑම කාමරයට කැඳවාගෙන ගිය අතර, එහි මේසය මත තිබූ කුඩා පෙට්ටියක් වෙත මගේ දෑස් නිතැතින්ම යොමු විය.
"මේ මොකක්ද?" අක්කා පුටුවක් ඇද මේසයෙන් වාඩිවූ අතර, මමඩ ඈ අසලින්ම හිඳගනිමින් එසේ ඇසුවෙමි.
ඈ උත්තරයක් දෙන්නට කල් ගත්තාය. එහෙත් ඈ මදේස බලා හුන්නේ හැඟීම් විරහිත බැලමකිනි.
"සංකේත් මේවා එවලා තිබුණා, අර ඩොකියුමන්ට්ස් එක්ක" අක්කා සෙමෙන් කීවාය.
ඈ කියා අහවර වන්නටත් පෙර මම පැන මේසය මත වූ පෙට්ටිය අතට ගතිමි. අහේතුකව මගේ හද ගැස්ම වැඩි වී තිබිණි. එහි උඩින්ම වූ ෆයිල් කවරයේ ලාංචනය දුටු වනම ඒ කුමක්දැයි සිතා ගන්නට මට අපහසු නොවිනි. විසකුරු සතෙකු දුටුවා සේ මම අත ඇදගත්තේ නිරායාසයෙන්මය. එහෙත් ඉන්පසු සිතටැ දිරි ගෙන මම එය පෙට්ටියෙන් ඉවත් කලෙමි. දැන්මම නෙත් වලට කඳුලු උණා තිබුණි.
පෙට්ටිය තුල වූ ඉතිරි සියල්ල, අපගේ ආදරය පිළිබඳව වූ සාක්ෂි විය. බොඳ වූ දෑසින් වුව, මට ඒවා හැඳිනගැනීම අපහසු වූයේ නැත. ඒ මා ඔහුටැ දුන් සියලු තෑගි, ලියුම්, කාඩ්පත් සහ අනෙකුත් සියල්ලම විය. ඔහු සියල්ලම ආපසු මවෙත එවන්නට තරම් නිර්දය වී තිබිණි. ඔහුට එපා නම් ඒවා දවා හලු නොකර මවෙත එවන්නට තරම් ඔහු නපුරු වී තිබිණි. සට සට ගා මනෙතින් කඳුලු වැටෙද්දී, ඒවා අල්ලන්නටවත් දිරියක් මතුල තිබුණේ නැත. පෙට්ටියම වැරෙන් බිමට තල්ලු කල මා මේසයේ හිස ගසාගෙන හොඳටම හඬා වැටෙන්නට වීමි. අක්කා තවමත් කිසිවක් නොකියා බලා උන්නාය. එහෙත් මා අසලට පැමිණි ඇගේ අතේ ස්පර්ෂය මහිස මත මට දැනුණි.
"අනේ ඇයි අක්කේ සංකේත් මෙහෙම මගෙන් පලි ගන්න හදන්නේ? මම එයාට කරපු වරද මොකක්ද?" මම හඬමින්ම ඇසුවෙමි.
"එයාට ඕන ඔයාට රිද්දන්න. කරපු දේ මදිවට තවත් රිද්දන්න. ඔයාට එයාව එපා කරවන්න. තේරෙනවද? ඔයාට තේරෙනවද තවත් එයා ගැන හිත හිත ඉන්න එකේ තේරුමක් නෑ කියලා?" අක්කා ඇසුවාය.
"එයාට මාව එපා නම් ඇයි පැත්තකට වෙලා නො ඉඳ මෙහෙම කරලා මට රිද්දන්න හදන්නේ?"
", ඒ මිනිහා හැඟීම් දැනීම් නැති යක්ෂයෙක් නිසා" අක්කා කීවේ තරහිනි.
"ඒත් එහෙම වුණේ කොහොමද? අපි කොච්චර සතුටින් හිටියද අක්කා? මම දන්නෑ අපට මෙහෙම වුණේ ඇයි කියලා" මම තව තවත් හඬා වැටුනෙමි.
"එයා කවදාවත් ඔයාට ආදරේ කරලා නෑ නංඟි. එහෙම කලා නම් මෙහෙම කරන්න බෑනෙ. දැන් එයා අර නැට්ටුක්කාරි එක්ක ඉන්නෙලු. මම නම් දැකපු දවසේම හිතුවා මේ මිනිහා නම් අංකූරෙක් කියලා. ඔයා තමයි අපේ කීම නෑහුවේ. ඒත් දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ" අක්කා කීවාය.
මේ අතර කෑම කාමරයට කවුදෝ එන පියවර හඬක් මට ඇසුණි.
"මුතූ...මොකද මේ?" මට ඇසුනේ මධුර අයියාගේ හඬයි."ඔයා....මොනාදමේ කලේ මුතූ? මම හිතුවා මේක අපි ලංකාවේ දාලයි ආවේ කියලා. ඇයි ඔයා මේක ගෙනාවේ?" එවර ඔහුගේ හඬ නපුරු වනු මට දැනුනි.
"මධුර...එයා මේවා දැනගන්න ඕන. නැත්තම් කොහොමද හිත හදා ගන්නේ? හැමදාම අර මිනිහා සුදනා කියලා හිත හිත මෙයා ජීවිතකාලෙම ඉඳීවි. මම කැමති නෑ, එහෙම වෙලා මගේ නංගිගේ ජීවිතේ නාස්තිවෙනවා බලාගෙන ඉන්න" අක්කාද නපුරු හඬි දැඩිව කීවාය.
"එතකොට දැන් හිත රිදෙන්නේ නැද්ද? හිත ආපහු පෑරෙන්නේ නැද්ද?"
"ඒක එහෙම වුණාවේ. එහෙම වෙලා අඬලා, දැන්ම එයා හිත හදා ගන්න එක හොඳයි ආයේ කවදාවක් අර මිනිහා එන්නේ නෑ කියලා. ජීවිත කාලෙම විඳවනවට වඩා ඒක හොඳ නැද්ද?” අක්කාගේ හඬ බිඳිනි. ඈද හඬන වග මට වැටහුනෙන් මම හිස ඔසවා බැලීමි. අක්කා යලි මා සල හිඳගෙන උන්නාය. ඇගේහිස බිමට පත් වී තිබූ අතර, ඇගේ උකුල මත කඳුලු පැල්ලම් ඇඳෙමින් තිබිණි. මනෙතු යලි උණුසුම් විය.
"ලොකූ කියන එක ඇත්ත පුතා" එවර මට ඇසුනේ තාත්තාගේ හඬයි. අම්මා හා තාත්තාද එහි උන් වග මට පෙනුනේ එවෙලේය."මේ විඳවන එකේ කෙලවරක් තියෙන්න ඕන. දැන් හැමදේම ඉවරයි කියලා පොඩි දෝණි දැනගන්න එක හොඳයි. එතකො‍ට හිත හදා ගන්න ලේසි වෙයි" තාතා කීවේ දුක්බරවය.
මා නිසා අවුරුදු දෙකක්ම ඔවුන් විඳවූ තරම් මට උහුලාගත නොහැකි දුකක් විය. ඔවුන් දුක් වූයේ මා නිසාය. මා දුක්වන අයුරු බලා ඉන්නට නොහැකි වූ නිසාය. මම උන් තැනින් නැගිට ගොස් අම්මාට තුරුලු වූයෙමි.
"අනේ අම්මා, අඬන්න එපා අම්මා. අක්කා කියන්වා වගේ, දැන් සේරම ඉවරයි කියලා හිත හදාගන්න මට පුලුවන් වෙයි. මම පොරොන්දු වෙනවා එහෙම කරනවා කියලා. අනේ තාත්තා, ඔහොම දුකෙන් ඉන්න එපා. මම ආයෙම ඒ ගැන හිතන්නේ නෑ. මම...ආයෙම ඉස්සර වගේ සතුටින් ඉන්න උත්සාහ කරන්නම්. කොහොමහරි. අපි ඉස්සර වගේ සතුටින් ඉමු තාත්තා..." මම කඳුලු පිසදමමින් කීවෙමි.
එය සම්පූර්ණයෙන්ම ඇත්ත නොවුණත්, ඔවුන් සැනසීමට මට කුමක් හෝ කරන්නට උවමනා විය. සංකේත්ව අමතක කිරීමට වඩා, ඔහු මට රිදවූ තරම් අමතක කිරීම අපහසු විය. අවසන ඔහු කෙරේ මසිතේ වූයේ කලකිරීමකි. ඒ ඔහු මා හැඬවූ නිසා නොවේ, උවමණාවටත් වඩා දුකක් මාගේ පවුලේ සියල්ලන්න්ටම දුන් බැවිනි. පිරිමින් සියල්ලන්ම විෂයේ මහත් කලකිරීමක්, අවිශ්වාසයක් මතුල ඉතාමත් දැඩි ලෙස ගොඩනැගී තිබිණි.
"ආදරෙන් තුවාල වුන හිතක් ආදරෙන්ම සුවපත් වෙන්න ඕන" එදින රාත්‍රියේ නිදා ගන්නට පෙර මා හා තනිව හුන් අක්කා කීවාය. මම කිසිවක් නොකියා ඇදෙස බලා උන්නෙමි.
"ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මේ ලොකේ කොහේ හරි ඇති න්ංඟා. එයාව ඔයාට මුණගැහේවි කවදාහරි" ඈ තවදුරටත් කීවාය.
මම සුසුමක් හෙලුවෙමි.
"ආයෙම එහෙම දෙයක් ගැන හිතන්න මම බයයි අක්කා. මට කිසි කෙනෙක් දැන් විශ්වාස නෑ"
"ලෝකේ ඉන්නේ නරක අයම විතරක් නෙවෙයි. හොඳ අයත් ඉන්නවා. අපට නරක අය හම්බවෙච්ච පලියට හැමෝම නරකයි කියලා හිතන්න අපට බෑනෙ"
ඈ කීවට මම මදහසක් පෑවෙමි. නිරායාසයෙන්ම මගේ සිහියට ආවේ ජේඩන්ය. එහෙත් ඔහු මට ආදරය කරනවා ඇතැයි සිතන්නට මට හේතු තිබුණේ නැත.
"ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියනවනේ අක්කා" මම ඉන්පසු කීවෙමි.
"සෑම කලු වලාකුලකම රිදී ඉරක් තියෙනවා කියලත් කියනවනේ" ඒවර අක්කා කීවාය.
"රෑ වැටුන වලේ ද්වල් වැටෙන්න එපා කියලත් කියමනක් තියෙනවා" එවර මම කීවේ  හිනැහෙමිනි.
"ආ...එක මකුණෙක් කෑවට ඔක්කෙම මකුණෝ මරන්න ඕන නෑ කියලත් කියනවා"
එවර මගේ සිනහව වැඩි විය.
"එහෙමයි කියලා මට කබලෙන් ලිපට වැටෙන්න වුණොත් හෙම?" මම එසේ ඇසුවේ විහිලුවට ය.
"එහෙම වෙන්නේ නෑ නංඟා, ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියනවනේ..."
ඒවර මට හයියෙන්ම සිනා ගියෙන් අක්කටද සිනාව නවතාගත නොහැකි විය. සිනාව නවතාගන්නට අප දෙදෙනාට මද වෙලාවක් ගත විය. අවසානයේ නින්දට යන්නට පෙරාතුව මා ඇයව වැලඳගතිමි. ඉස්සරෝම දිනවලත් සිතට දුකක් ආ විට ඈ මාව මෙසේ වැලඳගෙන සනසනවා මට සිහියට නැගිනි.
"හැමදේම හරියාවි නංඟා. දුක වුනත් හැමදාම තියෙන්නේ නෑ" ඈ එසේ කීවා පමණි.
ඉන්පසුව ගෙවුනු දින දෙක තුලදී මා තනි නොකිරීමට මගේ පවුලේ අය වගබලාගත් වගක් මට වැටහිනි. ඔවුන් නිරන්තරයෙන් මා සමග රැඳී උන් අතර, කිසිවෙකු නැතහොත් කොල්වින් මාමා හෝ මා සමග කතා බහ කරන්නට උන්නේය. මට ඔවුන් සියලු දෙනා ගැනම දුකක් මෙනම මහත් වූ සෙනෙහසක්ද දැනුනි. ඔවුන් නොවන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නත පවා ඉඩ තිබිණි. එනිසාම මගේ ජීවිතයෙන් මා ඔවුන්ට ණයගැති බව මට සිතුණි.
මේ දින දෙකේම හිම පතනය දැඩි වුයෙන් අපට වටපිටාවේ ඇවිදින්නට එතරම් ඉඩකඩක් නොලැබිණි. එහෙත්, නිවෙසට වී, සීතා නැන්දා සහ අම්මා එකතුව පිලියෙල කර දෙන දෑ කමින් බොමින්, උණුසුම් ගිනි මැලය වටා හිඳගෙන, ඇත්තද බොරුද යැයි සිතිය නොහැකි, මධුර අයියා සහ කොල්වින් මාමා කියන කතාන්දර අසාගෙන සිටීම වුව ප්‍රියජනක විය.
"කිව්වට විශ්වාස කරන්න රණේ, කැබිතිගොල්ලෑවේ ඒ කාලේ වැඩ කරපු ගොඩක් ඔය යක්ෂණීව දැකලා තිබුණා"
තමන් වන නිලධාරියෙකු ලෙස කැබිතිගොල්ලෑවේ සේවය කල සමයේ දුටුවා යැයි කියන අත කොට යක්ෂණියක් ගැන කතාවක් අපට කියමින් උන් කොල්වින් මාමා කීවේය.
"මොන බොරුද?" මධුර අයියා එකහෙලාම කියා සිටියේය.
"ඔය ඉතිං, මම දැකපු එකනේ මම කියන්නේ. හැබැයි මූණ නම් පැහැදිලි නෑ. මූණ ලඟට දැක්කා නම්, අද මම මෙතන නෑ" කොල්වින් මාමා ඉතාමත් විශවාසයෙන්ම කියා සිටියේය.
"සමහරවිට ඇත්ත වෙන්නත් පුලුවන්. යක්ෂ කියන්නේ ගෝත්‍රයක් නෙව. ඒ මිනිස්සුත් හරියටැ අප්‍රිකාවේ මිනී කන ගෝත්‍රයක් වගේ නම් ඉතින් අමනුසායි කියලා කියන්න වෙනවනේ. එහෙම පෙනුම තියෙන මිනිස්සු නැතුවයැ. සමහරවිට ඔය කැලෑ අස්සේ පරණ ගෝත්‍ර වලින් ඉතිරි වුණ කීප දෙනෙක් උන්න වෙන්න පුලුවන්" එසේ කීවේ අපෑඅ තාත්තාය.
එය පිළිගතහැකි පැහැදිලි කිරිමක් බැව් පිළිගන්නට අපට සිදු විය.
"ඒකයැ, මම කියන්න හිටියේ අද රෑ කෑමට මගේ යාලුවෙක් එනවා එයාගේ පුතා එක්ක. එයාලත් මේ ලඟම තමා ඉන්නේ. අපි නිතර ගෙවල්වල යනවා එනවා. ඒ දරුවා, මේ...පුංචි බබාලට වෙදකම් කරන දොස්තර කෙනෙක්" අප ඉන්න තැනට පැමිණි සීතා නැන්දා කීවාය.
මධුර අයියා, අක්කා සහ, තාත්තා හැසිරුණ විදියෙන්, මේ පුවත එවෙලේ දැනගත් එකම කෙනා මාදෝ කියා මසිතේ සියුම් කුකුසක් ඉපදිණි. කෙසේ වුවද, රාත්‍රී කෑම වනතෙක් ඒ පිළිබඳව වද වීමට මට සිදු වූයේ නැත.
"අනේ, මොකට කරදර වුණාද? ඉතිං ඉතිං? කාලෙකින් එන්නත් බරි වුණානෙ" සීතා නැන්දාගේ උස් සිනා හඬ විසිත්ත කාමරය දෙසින් අසෙද්දී, මම රෑ කෑමට එන්නට පහත මාලයට බැස්සා පමණි.
මා සාලයට එබී බලද්දී, නන්දා වැනිම පෙනුමක් තිබූ, ඇගේ වයසේම යැයි සිතිය හැකි තවත් කාන්තාවක් සමග නැන්දා කතාවේ යෙදී ඉනු මට පෙනුනි. ඈ ජර්සි ගණනාවකින්, මෆ්ලරයකින් හා දිගු කලිසමකින් සැරසී උන් වගද මට පෙනුනි. මම එදෙසට නොගොස් හීන් සීරුවේ මුලුතැන්ගෙය දෙසට යන්නට ගියෙමි.
"පුතේ මේ සුප් කෝප්ප ටික ගිහින් තියන්න කෑම මේසෙන්" අම්මා මා එහි ගිය වහාම මට වැඩක් පැවරුවාය.
මම ඒවා කෑම මේසයට ගෙන ගොස් තබද්දී, සාලයේ තව අමුත්තකු වූ බව මගේ නෙතට හසු විනි. නැන්දා සඳහන් කරන්නට යෙදුනු වෛද්‍යවරයා මොහු විය යුතු යැයි මම අනුමාන කලෙමි. බැලූ බැල්මට ඔහු තලෙලු පැහැයක් තිබූ, ඉතා උස තැනැත්තෙකු වග මට පෙනුනි. එහෙත් ඔහු ජේඩන් තරම් උස නැති බව මම මටම කියා ගතිමි. ඔහු (බොහෝ වෛද්‍යවරුන් මෙන්) උපැස් යුවලක් පැලඳ සිටි අතර, සැහැල්ලු, තද නිල් පහැ උස් කර පුලෝවරයක් හා ඩෙනිම් කලිසමකින් සැරසී උන්නේය. මා හුන් තැනට පෙනුන අනෙක් එකම දෙය වූයේ, තරමක් කොට වෙන්නට කැපූ ඔහුගේ හිසකේ පමණි.
"ආ...මෙන්න අපේ එක කෙල්ලෙක්" පිඟන් භාණ්ඩ එකටෙක ගැටෙන හඬට සාලයේ හුන් සියල්ලෝම මා දෙස හැරී බලද්දී, සීතා නැන්දා කීවාය.එය මා හට එතැනට එන්න යැයි නොකියා කියූ ඇරයුමක් විය. මම සුහද සිනාවක් මුවට නගා ගන්නට උත්සාහ කරමින්,අපහසුවෙන් සාලයට ගියෙමි.
"දුවේ, මේ මම අර කියපු මගේ යාලුවා, නාලිනී රන්දුනු, මේ එයාගේ එකම පුතා, සුදම් මහිංස රන්දුනු, සොරි සොරි, ඩොක්ටර් සුදම්. මේ ඉන්නේ නාලි, අපේ අයියගේ පොඩි පුතා බැඳපු දුවගේ නංඟි, පංචලී" එසේ කියා නැන්දා හිනැහෙද්දී සුදම් ලැජාවෙන් මෙන් මදෙස බලා හිනැහුනේය.
මම නාලිනි නැන්දාට වැඳ, සුදම්ට සුහද සිනාවකින් පමණක් සංග්‍රහ කොට ඔවුන්ව පිළිගතිමි.
රාත්‍රී කෑම අහවර වනතෙක් සියල්ලම සන්සුන්ව පැවතිනි. සීතා නැන්දා සහ අම්මා, කැකුලු හාලේ බත්, සමග කන්නට කුකුල් මස කරියක්, ගොටුඅකොල සලාදයක්, උකු, සුවඳවත් අල හොද්දක් සහ අම්මා ලංකාවෙන් ගෙනැවිත් තිබූ අච්චාරුවක් තබා තිබුණි. නිතරම පාන් පිටි ගිල දමමින් උන් මට මෙම ආහාර වේල රජ බොජුනක් සේ දැනුනි.
"ලංකාවෙන් ආවට පස්සෙම මෙහෙම කෑමක් කෑවමයි. හරිම රහයි නැන්දේ. අල හොද්ද රහායි අම්මා"
අනෙක් සියල්ලෝ කෑම මේසයෙන් පිටව ගොස් උන් වෙලේ, මම අම්මාට හා සීතා නැන්දාට  ස්තුති පූර්වකව කියා සිටියෙමි.
"සේරම එන්න සාලෙට. මෙතන තමයි රස්නෙම. ආවට පස්සේ, අපේ සුදම් පුතා අපි වෙනුවෙන් ලස්සන පියානෝ වාදනයක් ඉදිරිපත් කරාවි" සාලේ හිඳගෙන උන් කොල්වින් මාමා සැමට ඇසෙන සේ එසේ කියා  සිටියේය.
"අනේ, අද නම් බෑ අන්කල්. කාලෙකින්  ප්ලේ කලේ නැති නිසා පුරුදුත් නෑ" සුදම් එසේ කියනු මට ඇසුණි. ඔහුට තිබුණේ තරමක් ගැඹුරු හඬකි.
"අපිත් යමු එන්න"
අප සාලයට යන විට කොල්වින් මාමා සහ නාලනී නැන්දා සුදම්ට පියානෝව වාදනය කරන්නැයි බල කරමින් උන්නු වග අපට පෙනුනි. එහෙත් සුදම් ලැජ්ජාවෙන් මෙන් එය ප්‍රතික්ෂේප කරමින් උන්නේය.
"මෙයා හරිම ළමයෙක්නේ. මේ අලුත් යාලුවන්ට ඇහෙන්න පොඩ්ඩක් ප්ලේ කරන්න බැරි මොකද?" නාලනි නැන්දා එසේ කීවාය.
සුදම් අපහසුතාවයට පත්ව, රතු වී උන් අයුරු දුටු මට ඔහු ගැන දැනුනේ අනුකම්පාවකි.
"බැරි නම්  බල කරන්න එපා" මා සිතූ දෙය එවර කීවේ අක්කාය.
"ප්ලීස් පුතා, ඔයාට ලේසි එකක් ප්ලේ කරන්නකෝ" එවර කොල්වින් මාමා නැවත කීවේය.
ඔවුන්ගේ නිවසේ තරම කුඩා ප්‍රමාණයේ පියානෝවක් සාලයේ එක පසෙක තබා තිබුණු වග මම කලින් නුදුටුවෙමි. එය රෙද්දකින් වසා ඒ මත මල් පෙච්චියක් තබා තිබූ නිසා වන්නට ඇත. කෙසේ හෝ අන්තිමේදී සුදම් නැගී සිටි අතර, මධුර අයියා අත්පුඩියක්ද ගැසුවෙය. සුදම් සෙමෙන් පියානෝව වෙත ඇවිද ගියේ මින් පෙර ද ඔහු එය එතැනදී වාදනය කර පුරුද්දක් ත්බුණාක් මෙනි. අපි සැවොම හුස්ම අල්ලාගෙන මෙන් ඔහුගේ වාදනය අසන්නට නිශ්ෂබ්දව බලා උන්නෙමු. ඔහු මුලින්ම, පියානෝව පරීක්ෂා කරන්නට මෙන් තත් එක දෙකක් අතරින් පතර වයා බැලුවේය. ඉන්පසු වාදනය ඇරඹිණි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ඉතාමත්ම මියුරු වාදනයක් විය. ඔහු වාදනය කරන්නට යෙදුනේ, බීතෝවන් නම් මහා සංගීතධරයා විසින් නිර්මාණය කරන ලද 'ෆියෝ එලිසා' නම් වූ සුප්‍රකට සංගීත වාදනය වග මට පසුව දැනගන්නට ලැබිණි. මා එම සංගීතය ඊට පෙර අසා තිබුණත් එවෙලේ තරම් මියුරුවට එම සංගීතය මා අසා නොතිබිණි. එය එතරම්ම ලයාන්විත, ඇසට කඳුලු උනන සුලු වූ රාවයක් විය. හිම වැටෙන සීතල රාත්‍රියේ, වැගිරෙන සීතල දිය දහරාවක් සේ සිත නිවාලමින් එය මසිත පතුලටම දැනුනේය. වාදනය අවසන් වූ විට, අත්පුඩි ගැසීමටවත් බැරි තරම් සියලු දෙනාම එම සංගීතයට සමවැදී උන්නාක් මෙනි.
"වාව්... ඒක නම් මාර ලස්සනයි මලේ. මම අහපු ලස්සනම එකක්" මුලින්ම හඬ අවදි කල මධුර අයියාය.
"ඇත්තමයි" අනෙක් අයද මුණු මුණු ගාමින් කියූහ.
"ම්ම්" මම ද හිස වැනීමි. පුදුමයකට එන් මගේ නෙත් අග කඳුලු බිංඳු  දෙකක් රැඳී තිබුණි. මා හිනැහෙමින් ඒවා පිස ගනිද්දී සුදම් මදෙස පුදුමයෙන් මෙන් බලනු මම ඇස් කොනකින් දුටිමි.


Friday, August 24, 2012

දසවන කොටස


ඒ නත්තලට පෙර ජේඩන් මට හමු වූ අවසාන වතාව විය. මමත්, ලතිකා සහ බ්‍රයනුත්, ඩීනෝත් ඩොල්ලීස් අවන්හලේ සවස තේ පානයට ගොස් බලා උන්නේ ජේඩන් එන තුරු ය.
"ලෙක්චර්ස් ආපහු විසි අට වෙනිදා පටන් ගන්න එක අපරාදේ. එතකොට 31 රෑ සාද, උත්සව හෙම ගෙදර ඉඳන් සමරන්න බැරි වෙනවනේ" ලතිකා මේස වටා අසුන්ගෙන උන් අප සැමට කීවාය.
"මොන පිස්සුද? මෙහේ 31 රෑ පාටියට ගහන්න එකක් නෑ ඔය කොහේවත්. මට මතකයි ගිය පාර අපි උත්සවේ තිබ්බේ ගණිත අංශයේ, තාරකා නිරීක්ෂණාගාරයේ වහල උඩ කොටසේ. අපි මල් වෙඩි පත්තු කරලා, කාලා, බීලා, නටලා, හොඳට විනෝද වුණා. හොඳම දේ තමයි යාලුවෝ සේරම එවෙලේ එකට ඉන්න එක" එවිට එසේ කීවේ බ්‍රයන් ය.
"හ්ම්...ඔය කිව්වේ" ලතිකා හිනැහී ඔහුට ඇද කලාය.
"මේ සැරෙත් අපි එහෙම දෙයක් සංවිධානය කරන්න බල්මු" ඩිනෝද උනන්දුවෙන් කීවේය.
"ආ...අන්න අරයා ඇවිත්. හේයි, ජේ...අපි මෙහේ" ජේඩන් පැමිණි වග මුලින්ම දුටුවේ බ්‍රයන්ය. මම දොර දෙසට පිටුපා උන්නෙන් ඔහු ආ බව මට නොපෙනුනි. එනිසා මා පිටුපස හැරී, අප වෙත එමින් උන් ජේඩන් දෙස බලා සිනාවක් පෑවෙමි. ඔහුද සිය දීප්තිමත් සිනාව අප සැම වෙත පාමින් විත් මා අසලින් වාඩි ගත්තේය.
"පරක්කු වුණා, ටිකක්. ඔයාලා කෑවා, බිව්වද?" ඔහු සිය අත් වැසුම් ගලවමින් අපෙන් විමසීය.
"නෑ, අපිත් මේ දැන් දැන් ආවේ. මොනා හරි කමු එහෙනම් නේද?"
ඉදින් අපි බ්‍රවුනීස්, ක්‍රීම් ටාට්ස්, පේස්ටීස් හා ජේඩන්ගේ කැමතිම කෑම වූ ක්‍රීම් පිරුණු කේක් කමින්, කෝපි පානය කරමින් සහ විවිධ දෑ කතා කරම්න් පැයක් පමණ ගෙවා දැමූවෙමු. ඉනික්බිති ඩීනෝ පසුදා නිවෙස බලා යෑමට ඇති බැවින් අපෙන් සමු ගෙන නික්ම ගිය අතර, බ්‍රයන් හා ලතිකාද මද වෙලාවකින් අපෙන් සමු ගෙන ගියේ, අවන්හලින් එලියට බට මා, ජේඩන් හා තනිකර ලමිනි.
"එතකොට ඔයා අනිද්දට බොස්ටන් යනවා නේද?" ජේඩන් සිය අත වූ බෑගය කරේ දමා ගැනිමින් ඇසුවේය.
"හ්ම්. මට ඉවසිල්ලක් නෑ ගෙදරින් එනකල්. ඒ අයව මාස කීයකින් ද මම දකින්න යන්නේ...හිතාගන්න බා මම කොහොම හිටියද කියලා අම්මලා කවුරුවත් නැතිව මෙහේ තනියෙම" මම කීවෙමි.
"තනියෙම? ඔයා තනියෙම හිටියේ නෑනෙ. අපි ඔයා එක්ක හිටියනේ" ඔහු එවර කී විට මම ඔහු දෙස බලා ලොකු සිනාවක් පෑවෙමි.
"අනේ ඔව්. ඒක නම් ඇත්ත තමා. ඔයාලා නිසා තමයි එක නොදැනුනේ. ඇත්තටම ඔය සේරම හරිම හොඳ යාලුවෝ ටිකක්" මම ඔහුව පසසමින් කීවෙමි.
ඔහු මා කීවට පෙරලා සිනහවක් පෑවා පමණි. අප දෙදෙනා නිශ්චිත අරමුණකින් තොරව පටු පාරවල් දිගේ ඔහේ ඇවිද ගියෙමු.
"කොහොම වුණත්..." ජේඩන් යලි කතාව ඇරඹීය. "ඔයා හෙට ගියාම මට පාලු දැනෙයි. මම යන්න ඉන්නේ විස්ස නිව්යෝර්ක්. ඊට පස්සේ අපි ආයෙම ආවාම අපට මෙහෙම කතා කරන්න ඉඩලැබෙන එකක් නෑ. මොකද ඔයාගේ පරිවාර සේනාවත් එනවනේ. ඔයා ඉතින් සොනාලි අතෑඅරලා අඟලක් වත් හෙල්ලෙන එකක්යැ" ඔහු කලේ විහිලුවකැයි මා සිතුවෙමි.
"එහෙම නෑ ජේඩන්. අපි හැමෝම එකටනේ ඉන්නේ. ඒත් ඇත්තටම, ඒ අය ගිය හන්දා තමයි මට ඔයාව මේ තරම් දැන් ඇඳිනගන්න ඉඩ ලැබුණේ. ඔයා මම වෙනුවෙන් කරපු හැම දේටම ඔයාට ස්තුතියි ජේඩන්. මම හිතනවා අපි හැමදාම හොඳම යාලුවෝ වේවි කියලා" මම කීවේ සිතට එකඟවමය.
"ඇත්තටමද?"
"හ්ම්"
"ම්ම්...වෙලාවකට මටත් පුදුම හිතෙනවා අපි සේරම් මේ තරම් කොහොම යාලු වුනාදත් කියලා. මට කවදාවත් මේ වගේ කවලම් වෙච්ච යාලුවෝ පිරිසක් ඉඳලා නෑ. අනික අපි හුවමාරු කර ගන්න අදහස්, ඒ උදව් පදව්, හරිම ලෙන්ගතුයි කියලා මට දැනෙනවා. එතකොට ඒ අතරේ ඔයා...ඔයා මට ගොඩක් විශේෂ කෙනෙක් පංචලී" ඔහු අවසන් වදන් පෙල කීවේ මා දෙස බලා ඇහෙන නෑහෙන හඬිනි.
ඒ මන්දැයි අසන්නට මසිතට දිරියක් නොතිබිණි. මහිත නොසන්සුන් වන්නට පටන්ගෙන තිබූ අතර, ඔහු මෙතැන දමා දිවයන්නට සිත්දෙන තරම් එය බලවත් විය.
"මට ඔයාගෙන් දෙයක් අහන්න ඔයා, වරදවා හිතන්නේ නෑ නේද මා ගැන?" මා කිසිවක් නොකී තැන ඔහු මගෙන් විමසුවේය.
"මොකක්ද?" මම ඇසුවේ ගැහෙන සිතිනි.
"ඔයා තාමත් අර ලංකාවේ  ඉන්න කෙනා ගැන හිතනවද?" ඔහු වදනින් වදන සෙමෙන් ගලපමින් මගෙන් විමසුවේය.
"ඔව් ජේඩන්" ඔහු එසේ ඇසුවේ මන්දැයි නාසා මම පිළිතුරක් දුනිමි. එය සමහරවිට දරුණු වැඩිදෝ කියාත් මට නොසිතුනා නොවේ.
ජේඩන් ඉවත බලාගෙන සුසුමක් හෙලුවේය.
"ඔයා හිතනවද කවදාහරි ඔයාට එයාව ආපහු හම්බවේවි කියලා?" ඔහු ඉන්පසු ඇසුවේ එසේය.
ඔහුට පිලිතුරක් දෙන්නට මට වෙලා ඇවැසි විය. ඇත්ත කියම් ද නොකියම්ද කියා මසිතේ දෙපැත්තට ඇදෙමින් පැවතිණි. ඔහුට කිසිවක්ම නොකියන්නට මට උවමනා විනි. එහෙත් එය විසඳුමක් නොවේය වග මසිතේ එක පැත්තක් කීවේය. 
"මම කිව්වනේ ජේඩන්, මං ආස නෑ කියලා ඒ ගැන කතා කරන්න" මම බැරිම තැන කීවෙමි.
ඔහු හුන් තැනම නැවතී මදෙසට හැරුණේ මුහුණේ කුමක්දෝ අසහනකාරී හැඟීමක්ද ඇතිවය.
"ඇයි ඔයාට මං අහන දේට උත්තරයක් දෙන්න බැරි?"
මම ඔහුගේ බැල්ම මගැර බිම බලා ගතිමි.
"පංචලී..." ඔහු යලි මා ඇමතීය.
"මේකයි, එයා මට හම්බවුණත් නොවුනත් මම එයාට ආදරෙයි. ඒක එහෙමමයි" මට තරමක් කෑ ගැසෙන්නට ඇත. මගේ සැනසීමට හේතු වෙමින්, අප අසල ඇහෙන මානයේ කිසිවකු උන්නේ නැත.
"ඒත් නොලැබෙන දෙයක් පස්සේ ඔහොම යන එක, මෝඩකමක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?" ඔහු සන්සුන්වම මගේන් ඇසුවේය.
මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.
"ඔයා කවදාවත්, කාටවත්ම ඇත්තටම ආදරේ කරලා නැද්ද?" මම ඔහුගෙන් ඇසුවෙමි.
"ඔයා...මොනාද...ඇයි මෙහෙම අහන්නේ?"
"එහෙම කලා නම් ඔයාටත් තේරේවි, දවසකින්, දෙකකින් දේවල් අමතක කරන්න බෑ කියන එක"
"ඒක ඇත්ත පංචලී, ඒත් අපි අපේ ජීවිත වලින් ගිලිහුන දේවල් ගැන හිතමින් ලත වෙනවට වඩා, ජීවිතේට ආයෙම ලැබෙන දේවල් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන නැද්ද?" ඔහු ඇසුවේය.
"ඔයා කියන දේ මට තේරෙනවා ජේඩන්. ඒත් ඇත්තටම අලුතෙන් දෙයක් ගැන හිතන්න මම බයයි. අපි කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ?"
"හැමෝම එක වගේ නෑ පංචලී"
"අපි කොහොමද දන්නේ ජේඩන්? ඔයාගේ ජීවිතේම ගන්න. ඔයා කී පාරක් යාලු වෙලා අතෑඅරලා තියෙනවද? ඔයාට කී පාරක් ඒක වෙලා තියෙනවද? එහෙම නොවෙයි කියලා සහතික වෙන්න අපට බෑ"
"ඔව් ඒක ඇත්ත. අපට එහෙම හිතන්න බෑ තමා. ඒත් ඒක එහෙම නම්, ඒක ඒ විදියට බාර ගන්න එකයි හොඳ. අපට ජීවිත කාලෙම වැලපෙමින් ඉන්න බෑ එක දෙයක් මත්තේම. අනික එක්කෙනෙක් වෙනුවෙන්ම කැප වෙලා ඉන්න බැරි වෙන්න පුලුවන්. එහෙම ඕන තරම් වෙනවා"
ඔහු එසේ කියද්දී, මහිතේඔහු ගැන වූ කුමක්දෝ හැඟීමක් සිත පතුලට, පතුලට ඇදී ගොස් නොපෙනී යන්නාක් සේ මට දැනුනි.
"ජේඩන්...ඒ ඔයාලගේ සමාජේ. මම හැදුන වැඩුන සමාජේ ඊට වෙනස්. අපේ සමාජ වල එකම එක්කෙනෙක් වෙනුවෙන් කැප වෙලා ජීවිත කාලෙමත්, ඒ කෙන නැති වුනාට පස්සෙත් ඉන්න ඕන තරම් ගෑණු, පිරිමි ඉන්නවා. අපේ රටේ මිනිස්සු,අනෙක් කෙනාගේ දුර්වලතාවයක් නිසා දුක් විඳින්න වුණත් ඒක උහුලගෙන ඒ කෙනා වෙනුවෙන් කැපවෙලා ඉන්න අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඒක මේ සති පූජාවක් වගේ අන්තවාදී කැප කිරීමක් නෙවෙයි, හදවතින්ම කරන දෙයක්. මගේ අම්මයි තාත්තයි ඒ වගේ දෙන්නෙක්. දෙන්නගෙන මුල්ම ආදරය, කවදාවත් දරුණු විදියට රණ්ඩු වෙලා නෑ. බැන්දට පස්සෙත් නෑ. ඒ දෙන්නා අදටත් එහෙමයි. මම හැදුනේ එහෙම සමාජෙක නිසා වෙන්න ඇති මමත් එහෙම දේවල් බලාපොරොත්තු වුණේ. ඒක මට නොලැබුණ එක මගේ අවාසනාව..." මම හැල්මේ කියාගෙන කියාගෙන ගියේ ජේඩන්ගේ මුහුණේ ඇඳි විවිධ ඉරියව් හා හැඟීම් ද නොසලකා ය.
"සමාජ වෙනස්කම් තියෙන වග මම පිලිගන්නවා පංචලී. ඒත් ඔයා ඔය කියන විදිහේ සම්බන්ධත මෙහෙත් නැත්තේ නෑ. එහෙම දේවල් තියෙනවා. එකම වෙනස අපේ සමාජ වල ඉන්න මිනිස්සුන් බලාපොරොත්තු වෙන නිදහසේ සීමාවන් වෙන්න ඇති. එකේ අදහස, අපේ රටේ මිනිස්සු චපලයි කියන එක නෙවෙයි"
"මම එහෙම කිව්වා නෙවෙයි නේ. මම දන්නවා හැමෝවම එකම මිම්මෙන් මනින එක අසාධාරණයි කියලා. මම කියන්න උත්සාහ කලේ, කොයි දීපංකරේකින් ආවත්, ඒ සමාජේ මොන විදිය එකක් වුණත් ආයෙම මට කාටවත් ලං වෙන්න බෑ කියලයි..."
ජේඩන් කිසිවක් අසන්නේත් නැතිව, මම ඔහුගෙන් විමසන්නේවත් නැතිව මට දැනුන දේ මම කියා දැමීමි.
අවසන ජේඩන් සුසුමක් හෙලුවේ තර්ක විතරක කොට මහන්සි වූවාක් මෙනි.
"ඔයාට ඕන තව කාලය විතරයි පංචලී. කාලා සේරම විසඳනවා. හැම තුවාලයක්ම සුවපත් කරනවා. අපට මේ ලෝකේ තියෙන සේරම කාලේ තියෙනවා පංචලී...ඒ නිසා දැන් අපි මේ විවාදේ නතර කරමු. නැත්තම් ඔයා තරහා වෙලා ගියොත් හෙම, මගේ පාලුව දෙගුණ වෙයි" ඔහු ඉන්පසු කීවේ මසිත මදක් මුදු බවට හරවමිනි.
"කියපු දෙයක් හන්දා හිත රිදුනා නම් මට සමාවෙන්න ජේඩන්" මම සෙමෙන් කීවෙමි.
"ප්‍රශ්ණයක් නෑ" ඔහු මදහසක් පා කීවේය.
අපි නොදැනුවත්වම වාගේ පිවිස තිබුණේ, විශ්වවිද්‍යාලීය භූමියේ වූ මිදුන පුංචි විල අසලටය. නිවාඩු දවස් වූ බැවින් එහි කිසිවකු උන්නේ නැත.
අප එහි ඉවුර අසල වූ ලී බංකුවක වාඩි වී නත්තල් තෑගි හුවමාරු කර ගතිමු. මගේ තෑග්ග දැක ජේඩ්නට හොඳටම සිනා පහල විය.
"අනේ, මේක නම් හරිම ෂෝක්. මට නිදා ගන්නකොට දාගන්න පුලුවන්. එතකොට මත හිතේවි මම ආයෙම පුංචි කාලේට ගියා කියලා. 'සැන්ටා මේස්'...මං ආසයි මේකට" ඔහු මට කීවේය.
"මම කවදාවත් නත්තලකට තෑගි දීලා නැති නිසා ගන්න දෙයක් මට හිතාගන්න බැරි වුණා. ඒකයි ඕක ගත්තේ" මම ලැජ්ජාවෙන් මෙන් කීවෙමි.
"මේක ඇත්තටම ගොඩක් වටිනවා මට" ඔහු බර කොට කීවේය.
මම ඉන්පසුව ඔහු දුන් තෑග්ග දිගහැරියෙමි. එතුල වූයේ පුලුං පුරවා සකසන ලද තරමක් විශාල, දිගු කන් ඇති සුදු හාවෙක් සහ පුංචි ස්වර්ණාභරණ පෙට්ටියකි.
"අනේ...ලස්ස්න බනී කෙනෙක්. ආ...මේ මොකකද මේ?"
මම පෙට්ටියේ පියන ඔසවා බලද්දී, රතු පහැ වෙල්වට් අසුරනයක් තැන්පත් කර තිබී අලංකාර ගවුම් කටුවක් මගේ නෙත ගැටිනි. එය ඇත්දත් පැහැ ඕකිඩ් මල් දෙකකින් හා පොහොට්ටු කීපයකින් නිර්මිත වී තිබූ අතර, ඒවායේ දාර රත්තරක් පැහැයෙන් දිලිසුනි. ඒවා ඇත්ත මල් මෙන්ම පෙනෙන සේ ඉතා සියුම්ව නිම කර තිබිණි.
"ඔහ්...ජේඩන්, මේක...හරිම...ලස්සනයි"
"ඕක මගේ අම්මගේ එකක්. අම්මා ආසම කරපු එකක්. ඒත් අපේ පවුලේ උන්නේ පිරිමි ලමයිම හන්දා ඒක දෙන්න ඈට කෙනෙක් හිටියේ නෑ. පස්සේ කාලෙක මම අම්මා මතක් වෙන්න ඒක අරන් ආවා. මට මේක් ඔයාට දෙන්න ඕන වුණා පංචලී. මොකද ඔයත් මගේ අම්මා තරම්ම හොඳ කෙනෙක් වග මගේ හිතට තේරෙන හන්දා. ඔයත් එයා වගේම අහිංසක හන්දා" ඔහු කීවේ හැඟුම්බරව වූ අතර, මගේ දෑස් අහේතුකවම තෙත්ව ගියේය.
"මම අහිංසක නෑ ජේඩන්"
"මට පේන්නේ එහෙමයි"
"ඔයාගේ අම්මා ගැන, මට කියන්නේ කවද්ද?" මම ඉන්පසු ඇසුවේ ඔහු ඒ ගැන මට තවමත් නොකී නිසාවෙනි.
"ඒක මෙහෙම කියන්න බෑ. මේ වෙලාවේ බෑ. ඒත් මම කියන්නම් අනිවාර්යෙන්ම දවසක. එයාගේ ෆොටෝ හෙම පෙන්නලාම. හරිද?"
ජේඩන් ඔහුගේ මවගෙන් ඈත් වී උන්නාද නැතිනම් ඇය මියගොස් උනාද කියා මේ කතා බහ තුලින් මට සිතාගත නොහැකි විය. කුමක් වුවද එය ඔහුට මහත් වේදනාවක් ගෙන දුන් එකක් වන්නට ඇති වග මට සහතික විය. එනිසාම වෙනත් කිසිවක් ඔහුගෙන් නාසන්නට මම ප්‍රවේසම් වුණෙමි.
සැන්දෑවේ අඳුර වැටෙන්නට පටන් ගත්තේ  හිම වරුසාවක්ද ගෙන එමිනි. එලිමහන සිටගෙන සිටීමට හෝ ඇවිදීමට නොහැකි තරම් සීතල වූ බැවින් අපි වහවහා නවාතැන් බලා එන්නට ආවෙමු.ජේඩන් මා නේවාසිකාගාරයට අසලට ඇරලවීය. අප සමුගන්නට පෙර මදක් එහි දොරටුව අසල නැවතුනෙමු.
"එහෙනම්, අපි විසි අට මුණගැහෙමු ආයෙම නේද?" මම එසේ කීවෙමි.
ජේඩන් සිය තොප්පියට යටින් වූ දිලිසෙන දෑස් මවෙත පාවේය.
"පංචලී...මම ඔයාට එහෙට කෝල් කරන්නද?" ඔහු තරමක් කල්පනාකොට මගෙන් ඇසුවේය.
ඔහුට එපා කියන්නට මගේ දිව නොනැමුණි. එය කරදරයක් විය හැකි වුවද, ඔහුගේ සිත රිද්දනු නොහී මම ඔහුට මගේ දුරකථන අංකය ලබා දුන්නෙමි.
"මං කතා කරන්නම්" ඔහු එය ලියූ කොල කැබැල්ල සාක්කුවේ රුවා ගනිමින් කීවේය.
"ඔයා පරෙස්සමෙන් ගිහින්, විනෝද වෙලා, පරෙස්සමෙන් ආපහු එන්න" මම කීවෙමි.
"ඔයත්"
ඔහු එසේ කියා මදෙස බලා හුන් අතර, මට කියන්නට දෙයක් මතක් නොවිනි. ඉන්පසු ඔහු යලිදු වතාවක් අනවසරයෙන් මගේ කම්මුලක් සිප, එක් වරක් පමණක් මදෙස බලා යන්නට ගියේය. හිතේ කුමක්දෝ පාලුවක් මෝදු වෙද්දී, මම ඔහු යනතුරු බලා නොසිට නේවාසිකාගාරය තුලට එන්නට ආවෙමි. අනාගතය එන්න එන්නම අපැහැදිලිව යමින් තිබිණි. එහෙත් මම ඉන්නේ සතුටින් යැයි මට මුල්ම වතාවට හැඟිනි.