Wednesday, November 28, 2012

විසිදෙවන කොටස



සොනාලි මුව අයාගෙන, වචනයක්වත් නොකියා මදෙස බලාගෙන උන්නාය. ඇය එසේ හැසිරේවි යන වග මම දැන උන්නෙන් එය මා කලබල කලේ නැත. තවත් සිටගෙන හිඳුනු නොහැකි වගක් හැඟී මම ගොස් මගේ යහන කෙලවර වාඩි වුණෙමි.
"මම දන්නෑ මොනා කියන්නද කියලා පංචලී...මම කවදාවත් හිතුවේ නෑ වෙන්න ඇත්තේ එහෙම දෙයක් කියලා" තවත් මද වේලාවකට පසු සොනාලි හඬ අවදි කරමින් කීවාය.
මට මදසිනාවක් නැගිනි. ඒ සතුටකට නොව මේ මොහොතේ ඇති තත්වය නිසාය. ඇතැම්විට මටම උපහාසයටය.
"අපි අවුරුදු තුනක් ආදරේ කරලයි බැන්දේ..." මම කතාව ඇරඹීමි.
සොනාලි උන් තැනින් නැගිට මා අසලට විත් වාඩි වූයේ, මගේ හඬ හරියටම අසාගැනීමට වැන්න.
"මුලින්ම එයා ඇවිත් අපේ ගෙදරින් කැමැත්ත ඇහුවා. ඒ වෙද්දි එයාට හරියටම ජොබ් එකක් තිබ්බෙත් නෑ. තාත්තගෙ බිස්නස් එකේම පොඩි වැඩක් තමා කලේ. ඒ නිසා අපේගෙදරින් එහෙමට කැමති වුණෙත් නෑ. අක්කා නම් කොහොමත් කැමති වුණේ නෑ. සමහරවිට සංකේත්ගේ ඇත්තම ගතිය එයාට ඉවෙන් වගේ තේරුණාද මම දන්නෑ" මම හැල්මේ කියවීමි.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ අපි බැන්දා, අවුරුදු එකහමාරකට විතර කලින්. ප්‍රශ්ණ තිබුණා වුණත් මට සංකේත් නැතිව ඉන්න බැරි වුණා. මං එයාට ඒ තරම් ආදරේ කලා සෝනු"
"අවුරුදු එකහමාරක් කියන්නේ, හරි...පොඩි කාලයක් නේ"
සොනාලි විපිලිසරව මෙන් විමසුවාය.
"ඔව්...ඒත් අවුරුදු පහක් විතර තේරුම් ගන්න බැරි වුණ මනුස්සයාගේ ඇත්ත ප්‍රතිරූපේ මම ඒ අවුරුද්ද ඇතුලේදි දැක්කා" මම කීවේ සියල්ල යලි මතක් වී ඇදුම් කන සිතේ වේදනාව අමතක කරන්නට යත්න දරමිනි.
"මොකද වුණේ?"
"බැන්දට පස්සේ සංකේත් වෙනස් වුණා. ඉස්සර වගේ මට ආදරේ කලේ නෑ. එච්චරම හොයලා බැලුවෙත් නෑ. කොටින්ම සෝනු මාස හයක්විතර යද්දි අපි වෙන වෙනම නිදා ගන්න තරමට දුරස් වෙලයි උන්නේ. සංකේත්ට මාව එපා වෙලා ගිහින් තිබුණා. ඊට පස්සෙයි මම දැනගත්තේ එයා අපි බඳින්නත් ටික කාලෙකට කලින් ඉඳන් වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා...මට ජීවිතේ එපා වුණා සෝනු. මම එක පාරක් නිදි පෙති බීලා මැරෙන්නම හිතුවා. ඒත්, ඒකටත් මට හයියක් තිබුණේ නෑ. මම හිටියේ ඒ තරම්ම මානසිකව වැටිලා. අක්කලා අම්මලා නොවෙන්න මම සමහරවිට අද නො ඉන්නත් ඉඩ තිබුණා" එය පවසද්දී මගේ දෑස් වලට කඳුලු පිරූයේ නිතැතිනි.සංකේත් අපගේ ආදරය පාවාදී තිබුණේය.
සොනාලි හීල්ලුවාය. එහෙත් ඈ කිසිත් නොකීවාය. මා සනසන්නට හෝ උත්සාහ නොකලාය. එයට මා ස්තුතිවන්ත වීමි. මට කිසිවෙකු අනුකම්පා කරන්නට ඇවැසි නොවිණි. එය මා තවත් දුර්වල කලා මිස ජීවත් වන්නට දිරි  ගන්නට මට ඉඩ නොදුන්නේය.
"මගේ සංකේත් මට නැති වුණා. එයා හරීම ඉක්මණට වෙනස් වුණා. එයාගේ ගෙදර අයත් හිටියේ එයාගේ පැත්තේ. මම හුරතලේට හැදුනා මිසක කිසි වැඩක් දන්නෑ, මනුස්සයට සලකන්න දන්නෑ, වගේ කතා කිය කිය ඒ අයත් මාව තව තව තැලුවා. මම දන්නෑ සෝනු එහෙම වුණේ කොහොමද කියලා. සංකේත් මට එහෙම කරාවි කියලා මං හීනෙකින්වත් හිතලා තිබුණේ නෑ. මම එයාට මගේ පණටත් වඩා ආදරේ කලා සෝනු..." අන්තිමේදී මගේ කඳුලු පිට පැන්නේය.
සොනාලි ඇඳ මත තිබූ මගේ සීතල අත මිරිකාගත්තාය.
"එපා...තවත් අඬන්න එපා..." ඈ සෙමෙන් කීවාය. මම කඳුලු පිසදා ගතිමි.
"බැඳලා මාස අටකට පස්සේ මම ආයෙම ගෙදර ගියා සෝනු. මට තවත් සංකේත් එක්ක ඉන්න පුලුවන් වුණේ නෑ. එයා මට කිව්වා, තවත් එයා මට ආදරේ නෑ කියලා. මං කොච්චර ඇඬුවද? ඒත් එයාගේ හිත උණු වුණේ නෑ. එයා මට කිව්වා අපි කැමැත්තෙන් වෙන් වෙමු කියලා. මගේ මුලු ලෝකෙම කඩා වැටුණා වගේ මට දැනුනේ. ඒත් මට ඇති වෙලා තිබුණා සෝනු. දුක් විඳලා මට ඇති වෙලයි තිබුණේ. ඊට පස්සේ මම දික්කසාද වෙන්න කැමති වුණා. ගෙදරිනුත් ඒකට ගොඩක් බල කලා මට. ජීවිතේ පටන් ගත්තා විතරයි, මම ඇදගෙන වැටුණා.මගේ මුලු ආත්මෙම ඒකෙන් කැලැල් වුණා වගේ. මගේ විශ්වාසේ කොච්චර පලුදු වුණාද කිව්වොත්, ආයෙම කිසිම පිරිමියෙක් විශ්වාස කරන්න මට පුලුවන් වුණේ නෑ"
සොනාලි සුසුමක් හෙලුවාය. ඈත් හඬනවාද කියා මට සැක සිතුණමුදු ඇගේ මුහුණ දෙස බලන්නට මට නොහැකි විය.
"ඊට පස්සේ මොකද වුණේ?" සොනාලි රහසින් මෙන් ඇසුවාය.
"දික්කසාද නඩුව අහන කාලේ තමයි මට මේක හම්බවුණේ. මේ මම විශ්ව විද්‍යාලෙන් අයින් වෙච්ච දවස් වලම ඉල්ලපු එකක්. ඒ අතරතුරේ අවශ්‍ය අනික් විභාග හෙමත් කරලයි තිබුණේ. අපි දෙන්නම එන්නයි මුලින් අපි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම මෙහේ ආවා. මට හිතුණා එතකොටවත් හිත හදාගන්න ලේසිවේවි කියලා. මොකද අපි දෙන්න ඇවිදපු, එකට හිටපු තැන් දකිද්දි හිත පෑරෙනවා වැඩි හන්දා" මම කතාව නතර කොට  හුස්මක් ඉහලට ගත්මි.
"නඩුව මොකද වුණේ"
"මම ගියේ එක පාරයි. මට යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. එතන අහන දේවල් දරන්න හරි අමාරුයි. මම කිව්වා සංකේත්ට මම ආයෙම එන්නෑ. දික්කසාදෙ ගන්න කියලා. නඩුවේ තීන්දුව හම්බවුණේ මම මෙහේ ආවටත් පස්සේ. අනිතිමේදි අපි දික්කසාද වුණා සෝනු. බැඳලා අවුරුද්දක් යද්දිත් අපි වෙන් වෙලා. හිතන්න මම මොනතරම් කාලකණ්ණි ගෑණියෙක්ද කියලා"
 හිතේ වූ පීඩන ඉවසනු බැරි තැන මම දෝතේ මුහුණ හංගාගෙන හඬන්නට වීමි. සොනාලි මාගේ පිට අතගාමින් මා සනසන්නට උත්සාහ කලාය. එහෙත් මගේ හැඬුම නතර වන්නට මද වෙලාවක් ගතවිණි. සොනාලි වරින් වර මොන මොනවාදෝ කීවත්, මට ඒවා නෑසුන තරම් විය.
"ඔයාට තේරෙන්වද මගේ හිත කොච්චර තැලිලද කියලා? මට  බෑ සෝනු ආයෙම කාවවත් එහෙම විශ්වාස කරන්න. මම හරි බයයි ඒ දුකට. මට ආයෙම උහුලන්න පුලුවන් වෙන එකක් නෑ. මම තාමත් විඳවනවා කලින් සිද්ධිය හන්දා. මට ජේඩන් ගැන හිතන්න බැරි ඒකයි. අපේ සමාජ දෙක ගොඩක් වෙනස්. එයාට බැරි වේවි මම බලාපොරොත්තු වෙන කෙනා වෙන්න. මං වෙනුවෙන්, මා එක්ක ජීවිත කාලෙම ඉන්න.මෙහේ සම්බන්ධතා එහෙම නෑනෙ. ඒවා හරි අස්ථිරයි. මට තවත් එහෙම දේකට සම්බන්ධ වෙන්න බෑ සෝනු"
"මට තේරෙනවා පංචලී" සොනාලි කීවාය.
"ඒත් ඔයා හිතන්වා ඇති, එහෙමනම් ඇයි මම ජේඩන් එක්ක දුරදිග යන දෙයක් කලේ කියලා. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. ජේඩන් ගැන මගේ හිතේ තියෙන පැහැදීම, එයා මං වෙනුවෙන් මහන්සි වෙන හැටි වගේ දේවල් හන්දා එක මොහොතක වෙච්ච හැඟීම වල පිපිරීමක් විතරයි. ඒක ආදරේ නෙවෙයි...ඒක මහා වැරැද්දක්. ඒත් දැන් ඒකට කරන්න දෙයක් නෑ" මම කීවෙමි.
සොනාලි මදෙස නොබලාම කල්පනාකාරී වී උන්නාය.
"ජේඩන් ඔයාට ආදරෙයි" ඈ හිටිවනම එසේ කීවෙන් මම මදක් අන්ද මන්ද වීමි.
"මට ඒක විශ්වාස නෑ"
"මිනිස්සු හැමෝම එක වගේ නෑ පංචලී" ඈ කීවිට මම ඈදෙස බැලීමි.
"මම කියපු සේරම අහගෙන ඉඳලත් ඔයා කොහොමද සෝනු මට ඔහොම කියන්නේ?" මම ඇසීමි.
"ආදරේ නිසා ඇති වුණ තුවාල සනීප කරන්න පුලුවනුත් ආදරෙන්ම විතරයි. මගේ හිතට දැනෙනවා පංචලී, ජේඩන් ඔයාට ගොඩක් ආදරේ වග. ඇයි ඔයා ඉඩ නොදෙන්නේ එයාට එයාගේ ආදරෙන් ඔයාව සුවපත් කරන්න?"
"ඒක කරන්න බෑ. මම ජේඩන්ට ආදරේ නෑ"
"ඔන්න ඕකයි ඔයාට වරදින තැන. තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි, තමන්ට ආදරේ කරන කෙනෙක් හොයාගන්න ඕන"
"ඔයා හොඳටම ජේඩන්ගේ පැත්තේ" මම කීවෙමි.
"සමහරවිට වෙන්න ඇති පංචලී. මට කැමතියි ඔයා සතුටින් ඉන්නවට. අපි හැමෝම කැමතියි. මට විශ්වාසයි ජේඩන් ඔයාව සතුටින් තියාවි"
"ඔයා කොහොමද එහෙම කියන්නේ?"
"ජේඩන් ඔයාට ආදරේ කරන වග මම ගොඩක් ඉස්සර ඉඳලම දන්න නිසා"
"ගොඩක් ඉස්සර?"
"හ්ම්...ඔයාලා හම්බවුණ මුල් දවස් වලම වගේ"
මම මවිතව ඈ දෙස බැලීමි.
"ඔයා මොනාද මේ කියන්නේ?"
"මං කියන්නේ ඇත්ත. එයා ඔයාට ආදරේකරන්න ගත්තේ ගොඩක් කල් ඉඳන්. ඒයාට ඕන නම් එහෙම නොකර ඉන්න තිබුණා. ඕන තරම් ගෑණු ළමයි මෙහේ ඉන්නවනේ. ඒත් එයාට ඕන වුණේ එයාව. එදත්, අදත්"
සොනාලි කීව අසා සිත මදක් සැලුනද මම හිස වැනීමි.
"මට හිතන්න බෑ ඒක එහෙමයි කියලා. ඒක එහෙමම වුණත් මට හිත හදාගන්න බෑ සෝනු තාමත්" මම කීවෙමි.
"ජේඩන් ඉන්නේ තුශ්නිම්භූත වෙලා. අඩුගාණෙ ඔයා අකමැති ඇයි කියන එක එයා දැනගන්න ඕන නැද්ද?"
"ඔයා ඇයි ජේඩන්ට ඔය තරම් අනුකම්පා කරන්නේ?" මම ඇසූ විට සොනාලි වහා හැරී මදෙසට තියුණු බැල්මක් හෙලුවාය.
"අනුකම්පා කරන්නෙද? එයා ආදරේ වග මම දන්න නිසා. ඔයා නිකමට හරි ආයෙම එලියට ඒවි කියලා මේ දැන් ටිකක් වෙලා වෙනකල්ම එයා සීතලේ අර එලියේ හිටගෙන බලාගෙන උන්නු නිසා"
"මොකක්?"
"ඔව්, මම ගියේ එයාට කතා කරලා එන්න" සොනාලි එවර සෙමෙන් කීවාය.
මගේ සිත යලි බිඳ වැටිණි. ජේඩන් එසේ කරාවි කියා මා සිතුවේ නැත.
"සෝනු...අහන්න, ඔයාට පුලුවන් නේද මගේ තත්වේ ගැන එයාට කියන්න? කියන්න මම ගැන තවත් හිතන්න එපා කියලා" මම සොනාලි වෙත හැරී කීවෙමි.
"මට බෑ පංචලී. මට සමාවෙන්න ඒත් මට ඒක කරන්න බෑ. ඒක කරන්න ඕන ඔයා මිස වෙන කවුරුවත් නෙවෙයි" සොනාලි තදින්ම කියා සිටියාය.
"මට උදව් කරන්න සෝනු" මම ආයාචනා කලෙමි.
"මම ඕන දෙයක් කරනවා. ඒත් මේක කරන්න ඕන ඔයා. එයාට කියන්න ඇයි කියලා. ඊටපස්සේ වෙන් වෙනවා හරි ඕන එකක් කර ගන්න පුලුවන්"
"මං දන්නෑ සෝනු, මම තව හිතන්න ඕන" මම අන්තිමේදී කීවෙමි.
"ඔව්, හිතන්න. ඒත් පරණ දේවල් ගැන නෙවෙයි. ඔයාට ඕන දේකට මම ඉන්නවා පංචලී. ඒ වගේමයි අනෙක් අයත්. ඒක අමතක කරන්න එපා. ඔයාට ජීවිතේ සේරම නැති වෙලා නෑ. තේරුණාද? අදින් පස්සේ ඒවා ගැන සිතීම තහනම්...අමතක කරන්න නෙවෙයි, ඒත් මතක් නොකරවත් ඉන්න පුලුවන් නම්..ඒකයි හොඳම"
නින්දට යෑමට පෙරාතුව මා වැලඳගෙන සොනාලි එසේ කීවාය. සියල්ල ඈට කියූ නිසාදෝ සිතේ මද සහනයක් විය. මම ඇඳට වැටී නෙත් පියා ගතිමි. සිතට එන විවිධ සිතුවිලි මගහරිමින් මම නිදාගන්නට උත්සාහ කලෙමි. එහෙත් ජේඩන් මතක් වීම මට වලකාගත නොහැකි විය. ඔහු හිතේ කොටසක්ම වී උන්නා සේ දැඩිව මහිතේ සැරිසරන්නට වූයේය.
'මම ඔයාට ආදරෙයි පංචලී...' ඔහු එසේ කියූ අයුරු මට නිරන්තරයෙන් සිහි වූයේ හදවතම පිලිස්සී යන්නාක් බඳු හැඟීමක් අවසානයේ ඉතිරි කරලමිනි. ඔහු මට ආදරය කරන බව විශ්වාස කරන්නට මගේ හදවතට උවමනා විය. එහෙත් මගේ බුද්ධිය එයට මට ඉඩක් නොදුන් අතර අවසානයේ සෑම විටකම සිදු වන්නාක් මෙන්ම, මහිත ජේඩන් වෙත හැරී නතර විණි.

Friday, November 23, 2012

විසි එක්වන කොටස



මා කඳුලු වලින් කොට්ටයක් තෙත් වනතුරු හැඬූ රාත්‍රියක් වී නම් ඒ සංකෙත් මුලින්ම මා හැර යන වග මට කී දවස විය. ඉන්පසුව ඔහු මා රිදවූ තරමට මට හඬන්නට නොහැකි විය, නමුදු ඒ වෙනුවට සිත ගැඹුරඉන් ගැඹුරට තුවාල වූවා පමණි. ඒය කඳුලු වලින් ඔබ්බට ගිය වේදනාවක් විණි. එහෙත් අද, මාස ගණනාවකට පසු මම සත්‍ය වශයෙන්ම හඬමින් උන්නෙමි. ජේඩන්ගේ සිත රිදුනු වග ඉඳුරා දැන දැන මට නාඬා ඉන්නට නොහැකි විය.
මෙතුවක් වේලා මාගේ යහන අසල විවිධ දෑ කියවමින්, විටෙක මා හට දොස් පවරමින් සහ විටෙක මා සනසන්නට උත්සාහ කරමින් සොනාලි, අවසන හති වැටීදෝ සිය යහන වෙත ගොස් උන්නාය. තවත් හඬනු නොහැකි තැන මගේ හැඬුම දැන් සියුම් හීල්ලිමක් වූවා පමණි.
"පංචලී...අනේ දැන්වත් නැගිටින්නකෝ..." තවමත් මාගේ යහන මත හිඳගෙන උන් පූජා පවසනු මට ඇසුණි.
ලතිකා සහ නයෝමි සවස කොහේදෝ ගිහින් තිබුණෙන් පූජා සොනාලි සමග පැමිණ තිබුණාය.
අවසානයේදී, මම පිටි අල්ලෙන් කම්මුල් පිස දමමින් නැගිට අඳේ වාඩි ගතිමි. එහෙත් සොනාලි හෝ, පූජ ද්සෙස බලන්නට ශක්තියක් මතුල නොවිණි.
"දැන්වත් අපට කියන්න පංචලී මොකද ඇත්තටම වුණේ කියලා...අරහේ ජේඩන් ගල් ගිලලා වගේ, බලාගත්තු අත බලාගෙන. ඔයා මෙහේ අඬ අඬ...මොකද වුණේ කියන්නකෝ" මා අසලට තව මද්ක් ලං වූ පූජා ඇසුවාය.
"අනේ කරුණාකරලා පූජා මගෙන් මොන්වත් අහන්න එපා...' මම බැගෑපත්ව පූජාට කීව්මි.
"එයාට කියන්න ඕන නැත්තම් අහන්න ඕන නෑ පූජා. හිතුවක්කාරකමෙත් සීමාවක් තියෙන්න ඕන" මා හා උරණ වීදෝ සොනාලි සිය මතය පල කලාය. මම කිසිවක් නොකියා ඇඳේ අනෙක් පසට හැරුණෙමි. පූජා ජේඩන් ගැන කියූව අස සිත තව පෑරුණා පමණි.
"අනේ මංදන්නෑ" පූජා සුසුමක් හෙලා මගේ යහනින් නැගිටිනු මට ඇසුණි.
අනෙක්පස හැරී, විවිධ දෑ සිතමින් උන් මට නොදැනීම නින්ද ගොසින් තිබිණි. අපැහැදිලී හීනයක සැරිසරමින් උන් මා එකවර ගැස්සී මෙන් ඇහැරෙද්දී, කාමරයේ විදුලි පහන් දල්වා නොතිබූ අතර කාමරය කලුවරින් වැසී තිබිණි. සොනාලි කාමරයේ නැතුවා වන්නට ඇතැයි මට සිතුණි. මෙතුවල් වේලා වේදනාවෙන් නිදහස්ව තිබූ හිත එක්වරම යලි දුකෙන් පිරී ගියේ, මෙවන්ම වූ කලුවර රැයක ජේඩන්ගේ නිවසේ ගෙවූ දින සිහි වූ නිසාය. මම ඇඳ මතම වාඩි වී මොහොතකට සිත සන්සුන් කර ගන්නට උත්සාහ කෙලෙමි. දහවල් කෑවාට පසුව කිසිදු අහරක් හෝ පානයක් නොගත් නිසාදෝ, කුස තුල යම් දැවිල්ලක් විනිද කන්නට තරම් පිරියක් මතුල නොතිබිණි. කාමරයේ විදුලි පහන් නොදල්වාම මම මන්දාලෝකයක් කාමරය තුලට ගෙන ආ ජනේලය වෙත ගොස් එහි පඩියට බර දී සිට ගතිමි. නියොන්  එලි වලින් එලිය වුණ විශ්ව විද්‍යාලයේ පටු මාවත් පාලුවට ගොස් තිබිණි. දැන් වෙලාව කීයද කියා වගක් නොවුණත්, මාවත් මේ තරම් පාලුවට යන්නට නම් බොහෝ රෑ බෝ වී ඇති වග පමණක් මට සිතන්නට පිලිවන් විය.
"හරි හරි...සුබ රාත්‍රියක්..."
මා එකවරම යම් තිගැස්මකට ලක් කරමින් කාමරයේ දොර විවර වූ අතර, සොනාලි කාමරයට ඇතුලු වූවාය. ඇය විදුලි පහනේ ස්විචය සොයා බිත්තිය අත පත ගානු මට ඇසුණි.
"ඔහ්...ඔයා නැගිට්ටද?"
විදුලි පහන දැල්වූ සැනෙන් මා දැක එක්වරම තිගැස්සුණු සොනාලි හුන් තැන ගල් ගැසී මෙන් මගෙන් විමසුවාය.
"ම්ම්..." ඇදෙස නොබලා බිම බලාගෙන මම පැවසීමි.
"ගේන්න තිබුණේ බටර් එක්ක පාන් විතරයි. පලතුරු වගයක් ඇති ෆ්‍රිජ් එකේ" මේසය වෙත ගොස් අත වූ පාර්සලයක් ඒ මත තබමින් ඈ කීවාය.
මටැ සොනාලි ගැන දැනුනේ මහත්ම වූ සෙනෙහසකි. මා කුමන අන්දමේ මෝඩ ආකාරයට හැසිරුණත් ඈ සෑම විටම වැඩිමහල් සහෝදරියක මෙන් දයාවෙන් මා ඉවසුවාය. මා ගැන සොයා බැලුවාය. මනෙතු වලට යලි කඳුලු පිරුණේ ඇසිල්ලකිනි.
"කන්නැද්ද?" ඈ නන කාමරයට ගොස් එන විටත් හුන් ඉරියව්වෙන්න්ම උන් මා දැක ඈ විමසුවාය.
"කන්න බෑ" මම කීවෙමි.
සොනාලිගේ දිගු සුසුමක හඬ මට පල කලේ ඈ තුල වූ  නොරිස්සුමයි.
"ඔයා ඕන එකක් කරගන්න. මම නිදියනවා" ඈ එසේ පවසා යහනතට නැගුනාය.
මම හිස ඔසවා ඈ දෙස බැලීමි. යහන මත හිඳගෙන ඇඳ විට්ටමට හේත්තුව ඈ පොතකට එබී ඉනු මට පෙනුනි.
"සෝනු..." මම ඈව ඇමතීමි.
ඇය මුවින් නොබැන පොතෙන් දෑස් ඔසවා මා දෙස බැලුවාය.
"මට සමාවෙන්න"
"මොකටද මගෙන් සමාව ඉල්ලන්න්නේ?" ඈ තවමත් උන්නේ කෝපයෙනි.
"මෙහෙම කරදර කරනවට. මම මහා කමකට නැති කෙනෙක් විතරයි සෝනු. කාටවත් වැඩක් නැති කෙනෙක්"
එවර සොනාලි මදෙස ඇසිපිය නොහෙලා බලා උන්නාය.
"මොනාද මේ කියන්නේ?"
මම ජනේලය අසල වූ බිත්තියට හේත්තු වීමි. සිරුර අවසඟව යනු ඇතැයි මට බියක් විය.
"මට ජේඩන්ගේ හිත රිද්දන්න ඕන නෑ සෝනු. එයා හොඳ කෙනෙක් වග මම දන්නවා. ඒත්..."
"අර ලංකාවේ ඉන්න මෝඩයා නිසා ඔයාට තීරණයක් ගන්න බෑ. එහෙමද?"
"නෑ සෝනු...එයා නිසා නෙවෙයි. ඒ වෙච්ච සිද්ධිය නිසා. මට ආයෙමත් පැරදෙන්න බෑ. මම ඒකෙන් ගොඩක් විඳවපු, සමහරවිට තාමත් විඳවන කෙනෙක්. මට ඒ අවදානම ආයෙම ගන්න බෑ" මම ඇත්තම කීවෙමි.
එවර සිය අත වූ පොත ඇඳ මතින් තැබූ සොනාලි, උනන්දුවෙන් මදෙස බලා උන්නාය.
"ජේඩන් ඔයාට ආදරෙයි කිව්වද?" මොහොතක නිහැඬියාවකට පසු සොනාලි ඇසුවාය.
"හ්ම්...ඔව්"
"මට හිතුණා. ඉතිං ඒකටද රණ්ඩු වෙලා ඇවිත් මෙහේ අඬ අඬ හිටියේ?"
"මට ජේඩන්ගේ හිත රිද්දන්න දුකයි සෝනු. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. මට එයාට බොරු බලාපොරොත්තු දෙන්න බෑ"
"බොරු බලාපොරොත්තු? පංචලී, ඔය දෙන්නා දෙන්නට ආදරෙයි නම්, වෙන මොනවත් ගැන හිතන්න ඕන නෑ නේද? ඇයි තේරුමක් නැතිව ජීවිතේ සංකීර්ණ කර ගන්නේ?"
"සංකීර්ණ වෙන්න, අවුල් වෙන්න තවත් මොනවත් මගේ ජීවිතේ නෑ සෝනු. මං ආදරේ කරපු සේරම මට නැති වුණා එක පාරක්. ඒ තරම්වත් විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං මොනා හිතන්නද?"
"ඔයා මොනා කියන්වද කියලා මට තේරෙන්නෑ. ඔයා කියන්නේ ඔයා ජේඩන්ට අකමැති එයා විශ්වාස නැති නිසා කියලද?"
"සමහරවිට ඔව්"
"පංචලී...එහෙම බැලුවොත් අපට ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්. 100%ක් එහෙම කෙනෙක් හොයාගන්න පුලුවන්ද?"
ඈ කියූව නිවැරදි නිසාවෙන් මම මුනිවත රැක්කෙමි.
"එහෙම අය කොහේවත් නෑ පංචලී. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන හැටි අපට කලින් නිගමනය කරන්නත් බෑ. ඒත් එහෙමයි කියලා ඔයා හැමදාම ඔහොම ඉන්නද? නැත්තම් ඔයා මෙහෙම කරන්නෙ ඩොක්ට සුදම් නිසාද?"
"නෑ..නෑ සෝනු. අනේ එහෙම දෙයක් නිසා නෙවෙයි"
"ඔයා ජේඩන්ට ආදරෙද පංචලී?" මගේ කියුම නෑසුනා සේ සොනාලි මගෙන් විමසා සිටියා ය.
"මම දන්නෑ. මම හිතන්නේ... නෑ"
"ඒත් එයා හරියට විඳවනවා...ඔයා ඒකත් දන්න්වා නේද?"
"හ්ම්" මම හිස සෙමෙන් සෙලවීමි.
මටත් හිතට දුක ඒකයි"
"ඔයා ජේඩන්ට කිව්වද කැමති නෑ කියලත්?"
"මං කිව්වා. ඒත්, එයා පිලිගන්න සූදානම් නෑ" ජේඩන් සිහි වී සිත යලි දුකින් බරවද්දී මම කීවෙමි.
"මට තේරෙන්නෑ පංචලී...මට ඇත්තටම තේරෙන්නේ නෑ. පරණ අතිතෙක ජීවත් වෙවී ඇයි ඔයා මෙහෙම විඳවන්න හදන්නේ කියලා. අපි කොච්චර නම් අෆෙයාර් ඇති කර ගන්න්වද? ඒවා බිඳෙනවා, අලුත් ඒවා ඇති වෙනවා. ඒක ස්වභාවික දෙයක්"
"සමහර බැඳීම් එහෙම නෑ සෝනු. ඔය කිව්වට වඩා ලොකු බැඳීමකින් මායි සන්කෙතුයි බැඳිලා හිටියේ" මම ඔද්දල් වූ හිත සනසාගන්නට වෙහෙස නොවී කීවෙමි.
"ඒ කිව්වේ?"
මම දිගු සුසුමක් හෙලුවෙමි. අවසානයේ සියල්ල කාට හෝ පැවසීමට කාලය උදාව තිබිණි. සොනාලි ඒ සියල්ල ඇසීමට සුදුසු වග බොහෝ කලකට පෙරම තහවුරු කොට තිබුණමුදු, මා තුලම වූ පසුබෑම නිසා මට ඈට කිසිවක් පවසන්නට ධෛර්ය්‍යයක් නොතිබිණි. එහෙත් අද මා සියල්ල පැවසිය යුතුය. මා නිසි පරිදි තේරුම් ගන්නට නම් ඈ සියල්ල දැනගත යුතුමය.
"මොකද වුණේ කියන්න පංචලී. මොකක්ද සංකේත්ගෙයි, ඔයාගෙයි අතර තිබුණ දේ?"
"සන්කේත්, මාව නීතියේ හැටියට කසාද බැඳපු කෙනා...ඔව් සෝනු, මම කසාද බැඳපු කෙනෙක්"


Tuesday, November 20, 2012

විසිවන කොටස



"මම අහන්නේ ඔයා මොකටද එයා එක්ක එදා ගියේ?"
නේවාසිකාගාරයේ අපි හුන් කාමරය උසාවියක සිරි ගෙන තිබිණි. මාගේ ඇඳේ පසෙක වාඩි වී උන් අක්කා මගෙන් දහසක් දෑ විමසමින් උන් අතර අසල වූ පුටුවක වාඩි ගෙන උන් සුදම් උපේක්ෂාවෙන් මෙන් අප දෙස් අබලා උන්නේය. සොනාලිද බියපත්ව මෙන් මදෙස  බලාගෙන අසලකින් සිටගෙන් උන්නාය.
"මම වෙන දේකට ගියා නෙවෙයි. කෑමකට එලියට ගියා විතරයි" මම අක්කා දෙස නොබලමින් කීවෙමි. ඈ ගැන මට දැනෙමින් තිබුණේ නොරිස්සුමකි.
"එහෙම යන්න තරම් ඔය දෙන්නා අතරේ තියෙන දේ මොකක්ද?" අක්කා විමසා සිටියා ය.
"අක්කේ, හැත්තෑ ගණං වල අච්චි කෙනෙක් වගේ කතා කරන්න එපා. මේක ඇමරිකාව. ලංකාව නෙවෙයි. එහෙම සම්බම්ධයක් තියෙන්නම ඕන නෑ කෑමකට එලියට යන්න" මම බැරිම තැන තරමක් තදින් කීවෙමි.
"මට ඒකෙන් වැඩක් නෑ. ඔයා ගියා විතරක් නෙවෙයි නේ. දවස් තුනක්ම එහෙනෙ"
"ඉතිං?"
"මොනා හරි වුණා නම්?"
"මොනාද?" මම ඇසූ කල අක්කා උත්තරයක් දී ගනු නොහී තරහින් හිස සෙලෙව්වාය.
"ඔයා සංකේත් ගැනත් මුලින්ම කිව්වේ ඔහොම. මොනවත් සම්බන්ධයක් නෑ කිව්වා. ඊට පස්සේ මොකද වුණේ?" අක්කා ඉන්පසු වෙනත්ම දෙයක් කියන්නට වූවාය.
"අක්කා මෙතනට සංකේත්ව ඇදගන්න එපා. ඒක කොහොමත්ම මෙතනට අදාලා නෑනෙ" මම කීවෙමි.
"අක්කේ...සමාවෙන්න ඔය දෙන්නගේ කතාවට මැදින් පනිනවට. ඒත් මට හිතෙන්නේ දැන් ඔය වෙච්ච දේවල් ගැන වාද කරලා වැඩක් නෑ. වැදගත්ම දේ පංචලී කරදරයක් නැතිව ආපු එක නේ. අනික එදා නවතින්න වෙන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති වුණ නිසා වෙන්න ඇති නේ. නේද?" එවර සුදම් අප දෙදෙනාටම කතා කොට එසේ කීවේ ය. මට ඔහු පිළිබඳව ස්තුති පූර්වක හැඟීමක් දැනුනි.
අක්කා සුදම් දෙස බලා, යලි මදෙස බලා නිශ්ෂබ්ද වූවා ය. මම දිග සුසුමක් හෙලුවෙමි. සිදු වූ දෑ අක්කා දනී නම් මෙතන කුමන ගිනි විජ්ජුම්බරයක් වේවිද යන්න මට සිතා ගත නොහැකි විය.
"අපට එන්න විදියක් තිබ්බේ නෑ. පාරට ගස් වැටිලා. ඒ පාර කරන්න වෙන දෙයක් තිබුණේ නෑ" අවසරලත් ඇසිල්ලක මම සුදම්ට සිදු වූ දෑ පැහැදිලි කරමින් කීවෙමි.
"ඒක තමයි. මට හිතුණා"
"අක්කට පිස්සු. එයා ඕන නති දේවලුත් හිතන්වා"
"ඒ එයා ඔයා ගැන ගොඩක් කරදර වෙන හන්දා පංචලී" සුදම් කී විට මම යන්තම් හිනැහුනෙමි.
නැවත බොස්ටන් යාමට පිටත් වීමට පෙර අප සියල්ලෝම රෑ කෑම සඳහා එලියට පැමිණ සිටියෙන් හිත තරමක් අස්වැසී තිබිණි. අක්කා සහ සොනාලි, එලිමහනේ වූ බාබි කියු කරන ලද කෑමසහිත මේසයක් අසල සිටගෙන කෑම තෝරමින් මිල ගණන් විමසු මට ඈතට පෙනුනි.
"පංචලී..." එවර සුදම් යලි මා ඇමතුවේය.
"ම්ම්?"
"මෙහෙමකිව්වට මම ගැන වැරදියට හිතන්න එපා. ඒත්...එදා ඔයා බොස්ටන් ඇවිත් ගිය දා ඉඳලා, මට ඔයාව නිතර මතක් වුණා" ඔහු මදෙස නොබලා නැවතිල්ලේ කියන්නට වන.
මේ කුමක් සිදු වන්නට යන්නේදැයි සිතාගත නොහැකිව යලි මසිත ගිනි වැදිනි.
"ඔයාට මම ගොඩක් දේවල් කියපු එක ඇත්ත, මගේ අතීතේ ගැන. ඒත් මට ඔයා හම්බවුණායින් පස්සේ හිතුණා, ඇත්තටම අපි දෙන්නම මේ ආයේම ගෙන්නන්න බැරි අතීතයක් වෙනුවෙන් වැලපි වැලපි ඉන්න ඕනද කියලා" ඔහු යලි කීවේ ය.
මම හැරි හැරී අක්කලා දැන් එනු ඇත්දැයි පිරික්සීමි. ඔහු කියන්නට හදන්නේ කුමක්දැයි මට සිතා ගන්නට අපහසු නොවිනි.
"ඒත් මම තවදුර හිතන්න කලින්, ඔයාගෙන් අහන්න ඕන දෙයක් මට" සුදම් කීය.
"ම්ම්...මො..මොකක්ද?"
"අද ඔයා කෑමට ගිය කෙනා එක්ක ඔයාගේ තියෙන්නේ යාලු කමක් විතරමද?"
සුදම් එසේ ඇසූ විට මා පත් වූයේ බල්වත් අපහසුතාවයකට ය.
"ඇයි සුදම් එහෙම අහන්නේ?"
"සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුලුවන් නිසා" ඔහු කීවේ ය.
"ඒ මොකක් වුණත් සුදම් ඔය කිසි දෙයක් ගැන මට හිතන්න බෑ. තාමත්. ඒකයි ඇත්ත. ඒ නිසා කරුණාකරලා, අපි මේ කතාව නවත්තමු" මම බැරිම තැන එසේ කීවෙමි.
වාසනාවටදෝ, එවෙලේ කෑම රැගත් අක්කා සහ සොනාලි අප අතරට පැමිණියා ය.
"මොන වැස්ස ආවත්, පායපු මුල් වතාවෙම මෙහේ තියෙන මේ බාබි කියු එක නම් තියෙනවා. ඒක තමයි හොඳම දේ" සොනාලි අප අසලින් වාඩි වෙමින් කීවා ය.
සුදම් මදෙස බලා ඉනු මා යන්තමින් දුටුවත්, එය නොදුටුවාක් සේ මම අත වූ පිඟානට කෙබාබ් කෝටු දෙකක් බෙදා ගතිමි. සිදු වන සියල්ල කොහේ ගොස් කොහෙන් කෙලවර වේවිද කියා මා සිතූවේ බර වූ හදවතිනි. කාලය ගතව යත්ම සියල්ලම තව තවත් සංකීර්ණ වූවා පමණි.
"...මම නම් හිතුවා අපටත් අනාථ කඳවුරකට යන්න වේවි කියලා. කුණාටුව මේ තරම් ඉක්මණෛන් නැවතුන එක අපේ වාසනාව. සමහර පැති වල නම් ලොකුම ලොකු ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලලු"
සිදු වූ කාලගුණ විපර්යාසය ගැන විවිධ මත ප්‍රකාශ කරමින් උන් සොනාලි තවමත් උන්නේ කියවමිනි.
මම ඇඳ මත දිගා වී වහ දෙස බලාගෙන කල්පනා කරමින් පසු වූයෙමි. සැබවින්ම මා උන්නේ ජේඩන් ගැන සිතමිනි. මා මොන දේ කීවත්, ඔහු හා ගෙවුණු සියලූම කාලය අමතක කල නොහැකි ලෙස හවතේ ඇඳී තිබුණාක් මෙනි.
"පංචලී...ඔයා මොන්වද ඔය තරම් කල්පනා කරන්නේ?"
මා තිගැස්සි ගියේ මාගේ සයනය අසල ඉනට දෑත් තබාගෙන මා අසල සිටගෙන උන් සොනාලි දැකීඉමෙනි.
"ඇ...ඇයි?"
"ඇයි කියන්නේ? මම ඔයාගෙන් ඇහුවේ බොන්න උ ණු දෙයක් ඕනද කියලා...ඒත් කෝ, ඇහෙන එකක්යැ"
"මට මොනවත් එපා සෝනු...ස්තුතියි" මම හිනැහී කීවෙමි.
එහෙත් ඇය මා අසලින් නොගොස්, සුපරීක්ෂාකාරීව මදෙස බලාගෙන උන්නාය.
"ඔයා මට මොනා හරි හංගනවා"
"මම?"
"හ්ම්...මට ඒක් තේරෙනවා. පංචලී...මම ඔයාගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහනවා කියලා හිතන්න එපා. ඒත් මට කියන්නකෝ, ඇත්තටම ජේඩන්යි, ඔයයි අතර තියෙන්නේ මොකක්ද?"
සොනාලි එසේ ඇසූ කල මට සුසුමක් හෙලුනේ ඉබේටය. මේ සිතේ කැකෑරෙන දෑ කාට හෝ කියන්නට මට ඇවැසි විය.
"ඒක මංවත් දන්නෑ"
"මොකක්? මොකක්ද ඒ කතාවෙ තේරුම?"
මම යලිදු කිසිවක් නොකියා ඇඳ මතින් නැගිට විට්ටමට හේත්තු වී වාඩි වුණෙමි. සොනාලි මුහුණ අමුතු කරගෙන මදෙස බලාගෙනම මා අසලින් වාඩි වූවා ය.
"පංචලී...ඔයා මාව බය කරනවා...මට කියන්න, ජේඩන්ගේ ගෙදර උන්නු දවස් ටිකේ මොකද වුණේ කියලා"
මසිත ඉව කරන්නත සොනාලිට තිබුණේ පුදුමාකාර හැකියාවකි. ඒ බව මම හොඳින්ම දැනගෙන උන්නෙමි. නමුදු සිදු වූ දෑ කියන්නට මට වචන ගැටගසා ගත නොහැකි විය.
"මම දන්නෑ සෝනු...ජේඩන්...මම..." සිතුණු සියල්ල වදන් වලට හරවාගත නොහී මට ගොත ගැසිනි.
"පංචලී...මොනා හරි වුණාද ඔය දෙන්නා අතර?" සොනාලිගේ හඬ බියපත් විය.
ඈට පිලිතුරක් නොදී මම දෙකකුල් නවා දෙදණ මත හිස හොවා ගතිමි.
"දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ...ඔයා...පංචලී....අයියෝ..." සොනාලි, කිසිවකුත් හරිහැටි කියාගත නොහැකිව ඇඳෙන් නැගිට කාමරය පුරා සක්මන් කරන්නට වූවා ය.
"ලොකුම ලොකු වැරැද්දක් වෙලා තියෙන්නේ" සොනාලි අවසන එසේ කීවා ය.
බොහෝ වෙලාවක් මොන මොනවාදෝ දොඩවමින් කාමරයේ සක්මන් කරමින් උන් ඇය අන්තිමේදී,  සන්සුන්ව මාගේ යහන මත හිඳගෙන උන්නා ය.මම ඇදෙස නොබලාම උන්නෙමි.
"දැන් කරන්න දෙයක් නෑ" මම කීවෙමි.
"කරන්න දෙයක් නෑ කියන්නේ මොකක්ද? එහෙම කියලා බෑනෙ. දැන් ඉතින් මොනා හරි කරලා ඔයා ජේඩන් එක්කම ඉන්න බලන්න" සොනාලි මට උපදෙසක් දුන්නා ය.
"සෝනු මට එහෙම කරන්න බෑ. අනික ජේඩන් මං ගැන එහෙම හිතනවද කියලාවත් මං දන්නෑ" මම ඇත්තම කීවෙමි.
"මොන පිස්සු කතාවක්ද මේක? එහෙම නොදැන ඔච්චර දුර ගියේ ඇයි පංචලී?"
"ඒක හිතලා වුණ දෙයක් නෙවෙයි" මම සෙමෙන් කීවෙමි.
"මෝඩියෙක් ඔයා. මම දන්නෑ වෙන මොනා කියන්නද කියලා. දැන් ගෙදරින් දැනගත්තු දාට මොකද වෙන්නේ?"
"මම ගෙදරට කියන්නේ නෑ"
"කවදාහරි දැන්ගනීවි නොකිව්වට. ඔයා කවදාහරි කසාද බඳිද්දි?"
සොනාලි එකේ කියූ විට මට සිනාවක් නැගුනේ ඉබේටමය. ඒය සතුටට නොවේ, දුකට ය. සොනාලි කිසිවක්ම දන්නේ නැත.
"සෝනු...මේ අහන්න. කරුණාකරලා ඔයා පිස්සියක් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න. මම මේක බලා ගන්නම්"
අවසන මම කිසිවක්ම නොකියා සොනාලිට එපමණක් කීවෙමි. මදෙස අදහාගත නොහැකිව මෙන් බලා හුන් සොනාලි අවසන මට ගස්සාගෙන සිය යහන වෙත ගියා ය.
"ඔයා ඕන දෙයක් කර ගන්න"
කෙදිනක හෝ මම සිදුවූ සියල්ල ඇයට කියන වග එවෙලේ මම මසිතට පොරොන්දු වීමි. නැතහොත් ඈ මාව කිසිදා තේරුම් නොගනු ඇත. ඉන්පසු නින්ද එන තෙක් ගෙවුණු  පැය කිහිපයම මම සියල්ල ගැන මුල සිටම කල්පනා කලෙමි. මගේ ජීවිතයට සම්බන්ධ වූ සියල්ලන් ගැනම කල්පනා කලෙමි. ජේඩන් පිලිබඳව  විශේෂයෙන්ම සිතුවෙමි. සියල්ල අවසන මා එලඹි නිගමනය වූයේ, කිසිවිටෙකවත් මා ඉන්නා වර්තමාන තත්වය වෙනස් කර ගැනීමට මට නොහැකි බවයි. අතීතයේ සිත පෑරවූ තුවාල තවමත් සුව වී නැති මොහොතක, තවත් සිත තැලෙන කිසිවක් කරන්නට තරම් මහිතට දැඩි නොවිනි. එසේම කිසිදා සිදුවිය නොහැකි යමකට තවත් අයෙකුට බලාපොරොත්තු දීමද මට කල නොහැක්කක් විය. ඉදින්, එලඹි සතියේ සිතට වෙර ගෙන, මම ජේඩන් මගැර සිටීමට උත්සාහ කලෙමි.
"ජේඩන් පව් පංචලී...බලන්න, අර ඔයා ලඟ එන්න නේ එයා එන්න ඇත්තේ. ඔයා අපි අස්සේ රිංග ගත්තේ ඇයි?"
ජේඩන් අප හා එක වන එකම දේශණය පටන් ගන්නට පෙර පූජා සහ සොනාලිට මැදිව මම වාඩිගෙන හිඳිද්දී, මගේ කනට කර රහසින් මෙන් එසේ ඇසුවේ සොනාලි ය.
"සෝනු...මම කිව්වනේ. වෙච්ච දේ වැරදීමක්. මට ජේඩන්ට මං ගැන වැරදියට හිතන්න ඉඩ දෙන්න බෑ" මම ද සෙමෙන් කීවෙමි.
"ඔයාගේ මොලේ නරක් වෙලා. මට නම් තේරෙන්නෙ නෑ ඔයාව පොඩ්ඩක්වත්. මෙච්චර දෙයක් වුණාට පස්සෙදිත්, ඔයා එයාව මගාරින්නෙ අකොහොමද කියලා මට ඇත්තටම හිතාගන්න බෑ" සොනාලි මේ දිනවල බොහෝ කරන පරිදි මා හා උරණ වෙමින් කීවාය. නමුදු ඒ සියල්ල මම සිනා සී ඉවසීමි.
ඈ නොදන්නවාට, ජේඩන් දැකීම පවා මසිතට වේදනාවක් විය. එදා දවස උදා නොවූවා නම් කියා මට දහස් වර නොහිතුණා නොවේ. ජේඩන් දෙස වරක් හෝ බලන්නට කෙතරම් උවමනාවක් වීද යත්, එය ශාරීරික වේදනාවක් තරමට මා පෙලන්නට විය. නමුදු මට ඔහුට බලාපොරොත්තු දීම කෙසේවත් කල නොහැක්කක් විණි. එසේ කොට ඔහුව අතැර යන්නට වී නම් මට සිදු වන්නේ ජීවිත කාලයම ඒ නිසාවෙන් විඳවන්නට වග මා දැන උන්නෙමි. මට ජේඩන් ඇවැසි නොවූවා නොවේ. එහෙත්, ඔහු මා හා හිඳීවි කියා හෝ, මාගේ විශ්වාසය රකීවි කියා මතුල විශ්වාසයක් තිබුණේ නැත. අන් සියල්ලටම වඩා මා බිය වූයේ එයටයි. මන්ද යත් තවත් වරක් මාගේ විශ්වාසය බිඳුනොත්, එය මා හට උහුලන්නට නොහැකි වග මම ඉඳුරාම දැන උන් නිසා ය.
මා කුමන දෑ කලත්, අද ජේඩන්ගෙන් වසන් වී යෑමට මට නොහැකි විය. දේශණ ශාලාවේ දොරටුව් අබියස ඔහු මා එන තුරු රැක උන්නේ ය. ඔහු දුටු මසිත වෙඬරු පිඬක් සේ උණුව ගියේ, මා කරන කිසිදු දේකට ඔහු පලි නැති වග මට සිහි වූ නිසා ය. ඔහු අසල නතර වද්දී මගේ දෑස් වලට කඳුලු පවා නැගී තිබිණි.
"පංචලී...ඔයා...කොහෙද දවස් දෙකක් ගියේ? මම ඔයාව කොච්චර හෙව්වද? මන්ජීත් කිව්වා ලෙක්චර්ස් ආවා කියලා. එහෙම නම් ඇයි මාව මුණනොගැහුනේ?" ඩොලීස් අවන්හල වෙත ඇවිද යන තර තුරේ ජේඩන් මගෙන් විමසී ය.
"මට වැඩ තිබුණා ජේඩන් ඒකයි" මම බොරුවක් ගැලපීමි.
"මටත් වඩා වැදගත් වැඩ?" ඔහු මග නතර වී ඇසුවේ ය.
අඩි දෙක තුනක් ඉදිරියට ආ මම නැවතී ඔහු දෙස බැලීමි.
"මොනාද මේ ඔයා කියන්නේ? වෙලාව මට ඕන වුණා ජේඩන් අතපසු වෙච්ච වැඩ වගයකට. මම දවස් තුනක් ඔයා එක්කම උන්නා මදිද?" මම හිනැහෙන්නට උත්සාහ කරමින් කීවෙමි.
එහෙත් ඔහු හිනැහුනේ නැත. ඒ තබා ඔහු උන් තැනින් සෙලවුණේ ද නැත.
"එන්නකෝ...සීතලයි" මම ඔහුට කතා කලෙමි.
"අපි වෙන කොහේ හරි ගිහින් කතා කරමු" ඔහු එසේම හිඳ මට කීවේය.
"ම්හු...මට නම් බෑ. දැන් ආපු එකේ මෙහාටම යමුකෝ" මම කීවෙමි.
"මට ඔයා එක්ක තනියෙම කතා කරන්නයි ඕන" එවර මවෙතට ඇවිද ආ ඔහු මගේ උරහිසින් අල්වා මා දෙසට නැවී කීවේය.
"ඉතිං තනියෙම කතා කරන්න බැරි ඇයි එතන?"
"ඔයාට මා එක්ක කතා කරන්න ඕන නෑ පංචලී..." සුසුමක් හෙලා මා අතැර පසෙකට වෙමින් ඔහු කීවෙ ය.
"ජේඩන් මේ බලන්න. ටිකක් හිතන්නකෝ දැන් තත්වේ ගැන. මම වැඩකරගන්න එපාද?" මම ඔහුගෙන් ඇසීමි.
"ඔය වැඩ අස්සේ මං වෙනුවෙන් ඔයාට පුංචි වෙලාවක් වත් නැද්ද?"
"මේ තියෙන්නේ..."
එවර ඔහු කිසිවක් නොකියා මදෙස බලා උන්නා පමණි. මම ඔහුට මුදු සිනාවක් පෑවෙමි.
"හරි. කමක් නෑ" එසේ කියා දිගු සුසුමක් හෙලූ ඔහු මවෙත ඇවිද විත් එක අතකින් මා ඔහු වෙත තුරුලු කරගත්තේ ය.
"අපි යමු"
අප යන විට පුරුදු පරිදි ඩොලීස් ආපණ ශාලාව සෙනග කන්දරාවකින් පිරී පැවතිනි. වදෙන් පොරෙන් මෙන් අපගේ යහලු යෙහෙලියන් පිරිස සෙනග පීරා සොයා ගත් අපි ඔවුන් උන් මේසය වෙත ගියෙමු.
"ආ...මේ ඩබල දැන් එන්නේ. මොකෝ පරක්කු?" කෝපි කෝප්පයක් අතැතිව උන් මන්ජීත් ඇසුවේ ය. ඔහු පසෙකින් හිඳගෙන උන් එරික් අප දෙදෙනාට අතක් ඔසවා සමාචාර දැක්වූයේ ය.
" කුණාටුවට පස්සේ, මොකෝ හිත ජේඩන් ලඟ නතර වුණාද?" ඩීනෝ කිසිදු වගවිභාගයකින් තොරව එසේ ඇසූ කල කෝපි බොමින් උන් පූජාටත්. නයෝමිටත් පිට උගුරේ ගියේ එකවිටම වාගේ ය.
"මොනාද ඔයා මේ අහන්නේ ඩීනෝ, ඔයාට පිස්සුද හැබෑටම?" මම පූජා හට ටිෂූ කොල කිහිපයක් ලබා දෙමින් ඇසීමි.
"ඇයි? මම කිව්වේ බොරුවක්ද?"
"එහෙම මොනවත් වුණේ නෑ" මම නොරිස්සුමින් කීවෙමි.
"මොකක්ද?" එසේ ඇසුවේ ඩීනෝ නොවේ. මා අසල උන් ජේඩන් ය. මම හිස හරවා ඔහු දෙස බැලීමි.
"අපි අතර මොනවත් නෑ කියලයි මං කිව්වේ" මම ඔහුට සෙමෙන් කීවෙමි.
එහෙත් ඉන්පසු ඒ විසල් වූ දෑස් දෙස බලන්නට මට හැකියාවක් නොවිණි. ජේඩන් බලවත් සේ අපහසුතාවයට පත්ව උන් වගක් මට පෙනුනි.
"අපි පොඩ්ඩක් තනියෙම කතා කරමු පංචලී. මට කතා කරන්න ඕන" ජේදන් මදෙස නොබලමින් කීවේ සෙමෙන් මට පමණක් ඇසෙන පරිදි ය.
"අපි ආවා විතරනේ" මම ඔහු දෙස නොබලමින් ම කීවෙමි.
එවර ඔහුයලිත් මාගෙන් අස අසා උන්නේ නැත. ඒ යදඬු වැනි අතකින් මගේ බාහුව තද කොට අලවාගේන ඔහු මාව ද ඇදගෙන ඩොලීස් වෙතින් පිට වූයේ පුදුමයට පත් අපගේ මිතුරු පිරිස අන්ද මන්දවා බලා සිටිද්දී ය.
"මොකක්ද මේ ඔයා කරන්නේ?" මන්දාලෝකය පැතිර තිබූ එලිමහනේ බර්ච් ගසක් යට මා අතහැරිය ඔහුගේ මුහුණට එබී මම ඇසුවේ සැබවින්ම මසිත නොරිස්සුම්ව තිබූ නිසාවෙනි.
"ඒක අහන්න ඕන මමයි"
"මොනාද මේ ඔයා කියන්නේ?"
"ඔයා අතනදි කියපු කතාවේ තේරුම මොකක්ද?"
"මම කිව්වේ ඇත්ත"
"අපි අතර මොන්වත්ම නෑ කියලා?"
"ඔව්" මම ඔහු දෙස නොබලා තෙපලීමි.
"මේ බලන්න...මා දිහා බලන්න...එහෙම නම් කොහොමද අර තරම් දෙයක් වුණේ පංචලී...අපි අතරේ, අපේ හිත වල මොනවත්ම නැත්තම්, එහෙම වුණේ කොහොමද?"
ඔහු යලි මගේ බාහුවකින් අල්වා ඔහු වෙත ම හරවා ගනිමින් ඇසුවේ ය.
"ඒක...ඒක...එවෙලේ ඇති වුණ දෙයක් විතරයි..." මම දෑස් පියාගෙන තෙපලීමි.
ජේඩ්න මා අතහැරියේ ය. මගේ දෑස් ඉබේටම විවර විණි. ඔහු වේදනව පිරි වතින් යුතුව මදෙස බලා උන්නේය.
"ඔයා....මොනාද මේ ....කියන්නේ?"
"ජේඩන්....කරුණාකරලා, මම ගැන මොනවත්ම හිතන්න එපා. මට ඔයාට ඕන දේ දෙන්න බෑ..." නෙත් කඳුලු පිරී උණුසුම් වද්දී, හදවත පැලෙන්නට මෙන් රිදුම් දෙද්දී මම කීවෙමි.
"මොනාද? ඇයි පංචලී මෙහෙම කරන්නේ?" ඔහු මා දෙසට ලං වී ඇසුවේ වේදනාවෙනි.
"වෙච්ච හැමදේම, එවෙලේ වුණ වැරැද්දක් විතරයි ජේඩන්..."
මම  හැඬුම්බරව කීවෙමි.
"ඒත්...ඒත්....මං...මං ඔයාට ආදරෙයි පංචලී. මගේ හිතට දරා ගන්න බැරි තරම් ආදරෙයි..."
ඔහුගේ වදන් මසිත පසාරු කරගෙන යන්නාක් සේ මට දැනුනි. කඳුලු පිට පැන්නේ එවෙලේ ය.
"එපා ජේඩන්....මට ඒකට ඉඩ දෙන්න බෑ" මම කඳුලු අතරින්ම කීවෙමි.
"ඇයි....ඇයි එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඔයා මගේ වෙලා ඉවරයි පංචලී..." ජේඩන් මගේ අතක් අල්වා මගේ වතට එබී කීවේ ය.
"මම ඔයාගේ නෙවෙයි....මට ඔයාගේ වෙන්න බෑ ජේඩන්...මම ඔයාට අයිති නෑ. මට එහෙම කරන්න බෑ"මම ඔහු දෙස නොබලන්නට උත්සාහ කරමින් කීවෙමි. ජේඩන් මවෙතට පැමිණ මගේ නිකටින් ඔසවා ඔහුවෙත මා වත හරවාගත්තේය.
"ඇත්තටම මොනාද ඔයා මේ කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? මට ඔයාව ඕන පංචලී"
මම හිස වැනීමි. මට ඔහු වෙතින් ඉවත්ව යන්නට උවමනා විනි ද ඔහු මා බඳ වටා අතක් දමා මා දැඩිවා අල්වාගෙන උන්නෙන් එය කිරීම අපහසු විය. එනිසාම මම ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට දැඟලීමි.
"මට යන්න දෙන්න ජේඩන්..."
"ඇයි පංචලී මෙහෙම හැසිරෙන්නේ? ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි මම ඔයාට ආදරෙයි කියලා"
"මට ඔයාට ආදරේ කරන්නවත්, ලඟ ඉන්නවත් බෑ. මට ඒක කරන්න බෑ"
"ඇයි ඒ, කියන්න මට?"
"මට බෑ, එච්චරයි. මට බෑ" අන්තිමේදී ඔහුගේ ග්‍රහණයෙන් මිදී මම ඔහු වෙතින් ඈත් වුණෙමි. ජේඩන් ගල් ගැසී මෙන් මදෙස බලා උන්නා පමණි.
"මට සමාවෙන්න ජේඩන්" මම හැඬුම්බරව කීවෙමි.
"සමාව දෙන්න බෑ...ඔයා...අද...දැන් මෙහෙම කියන්නේ ඇයි කියලා නොදැන...."
"ජේඩන්....මට සංකේත්ව අමතක කරන්න බෑ..."
මා එසේ කියූ කල ඔහු දෑස් පියාගෙන අනෙක් පසට හැරුණේ කේන්තියෙන් මෙනි. මට හොඳටම හැඬෙන්නට ආයෙන්
තව මොහොතක් වත් එතැන නොරැඳී දුවගෙන එන්නට ආමි.
"පංචලී...." ජේඩන්ගේ හඬ මාපසු පසින් මට ඇසුනි.
එහෙත් මට නවතින්නට පුලුවන් කමක් තිබුණේ නැත. ඔහුගේ වන්නට තවමත් හිත හදා ගන්නට පුලුවන් කමක් මතුල තිබුණේ නැත. සත්තකින්ම මම තාමත් සංකේත්ගේ වග මත අමතක කරන්නට මට අද පවා නොහැකි විය. ඒ ඔහු මට දුන් වේදනාව තවමත් අලුත්ව සිත තුල රිදුම් දෙමින් තිබූ නිසාය.