Friday, May 4, 2012

තිස් හයවෙනි කොටස


"පුතා අද ගෙදර ගිහින් යමු නේද?"
නුවර එලියේ වික්ටෝරියා උද්‍යානයේ ඇවිදිමින් ඉන්න අතරේ ආන්යගේ තාත්තා ඇගෙන් ඇහුවා.
"අද ඉරිදානේ තාත්තා. හෙට ලෙක්චර්ස් යන්න ඕන නේ" ආන්යා එහෙම කිව්වේ ගෙදර යන්න අකමැති නිසා නෙවෙයි. මේ මානසිකත්වය තියාගෙන ගෙදර ගිහින් අම්මටයි, තාත්තටයි වෙනස නොපෙන්වා ඉන්න ඈට බැරි වග ඈ දන්න නිසා. ඒ අයට මොනවා හරි දැනුනොත් ඒ අයගේ හිත් රිදේවි කියලා ආන්යා බය වුණා.
"හෙට උදේම ආවොත් මදිද?" තාත්තා එහෙම ඇහුවාම ඈට ඔහු ගැන දැනුනේ දුකක්. ගෙදර ළමයි කවුරුවත්ම නැති නිසා අම්මයි, තාත්තයි ඇත්තේ පාලුවෙන් කියලා ඈට හිතුණා.
"අනූ මොකෝ කිව්වේ?" ආන්යා ඇහුවා.
"මම ඇහුවේ නම් නෑ. ඒත් ඉතින් ඔයාට වැඩ නම් ඉතින් අද යන්න එපැයි අනූ ගියත් නොගියත්"
ආන්යා යන්තම් හිනාවෙලා වට පිට බැලුවා. අම්මා කාන්ති ඇන්ටිලත් එක්ක ඈත බංකුවක වාඩි වෙලා බර කතාවක්. අනුහස් කවුදෝ කට්ටියක් එක්ක මල් ගස් අස්සේ රිංගමින්, ෆොටෝ ගහනවා. ඈ කොච්චර යටපත් කරගෙන ඉන්න හැදුවත් ඇගේ ඇස් ආර්යන්වත් හොයන එක වලක්වගන්න ඈට පුලුවන් වුණේ නෑ. ආන්යලා ඇවිදිමින් උන්නු තැනට ඉස්සරහ බංකුවක ආර්යන් ශර්මිලත් එක්ක වාඩි වෙලා ඉන්න හැටි ආන්යා වටපිට බලද්දි දැක්කා. හිත ආයෙම ඉරිසියාව මුසු දුකකින් පිරෙද්දි, තාත්තා කියන දෙවලුත් ඈට නෑහී ගියා වගේ වුණා. ඒත් ඒ දෙන්නව හරියටම දැක්කාම ආන්යගේ හිතේ ඇතිවුණේ කුතුහලයක්. ආර්යන් උන්නේ බිම බලාගෙන මොනවදෝ කියමින්. ශර්මිලත් ඒ වගේම බිම බලාගෙන, ඒත් විටින් විට ලේන්සුවකින් ඇස් පිහිමින් උන්නු වග දැක්කාම ආන්යගේ හිත ගිනි වැදුනා.'ආර්යන් ශර්මිලාට මොනවා හරි කියලද?' ආන්යා කලේ ඒ දිහාවත් නොබලා අනික් පැත්ත හැරුණ එකයි.
"තාත්තේ අපිත් යමුකෝ ෆොටෝ ගන්න" ආන්යා තරමක් පුදුමවෙලා වගේ එකතැනම හිටගෙන උන්නු තාත්තට කිව්වේ අනුහස්ලා උන්නු දිහාට පය ඔසවන ගමන්.
"අයිස් ක්‍රීම්?" ආන්යයි,අනුහසුයි ගත්තු ෆොටෝ ආපහු බලමින් උන්නු වෙලාවක එතනට ආපු ආර්යන් ඔවුන්ගෙන් ඇහුවේ අයිස් ක්‍රීම් කෝන්ස් පුරවපු බෑග් එකක් ඔවුන්ට දික් කරන ගමන්. තාත්තා නම් සීතල වැඩියි කියලා එලියේ ජීප් එකට ගිහින් උන්නේමඩුගල්ල අන්කල්ලා එක්ක තාත්තලගෙම භාෂාවෙන් කිව්වොත් 'සෙට්' වෙන්න වග ආන්යා දැනගෙන හිටියා.
"කමු කමු" අනුහස් බෑග් එකට අත දාලා එකක් ගත්තා.
"මට එපා" ආන්යා එහෙම කිව්වේ ආර්යන් දිහාවත් නොබලා.
"කන්නැද්ද?" ආර්යන් ඇහුවේ මුදු හඬින්.
"කන්න කන්න මීනු, බොරු නොකර" අනුහස් අයිස් ක්‍රීම් කටේ පුරවගෙන ආන්යට කිව්වා. ආර්යන් තවමත් ඔවුන් ලඟ හිටගෙන.
"දැන් කන්න බෑ" ආන්යා ආයෙම කිව්වා.
"එයාට කන්න බැරි නම් එයාගේඑකත් මට දෙන්න ආර්යන්"
අනුහස් කියපු එකට ආර්යන් මුකුත්ම කිව්වේ නෑ.
"ආර්යන්...අර දිනිතිලාට අයිස් ක්‍රීම් දුන්නේ නැද්ද?" අනුහස් එක පාරටම ඇහුවා ආයෙමත්.
"තාම නෑ, මේ ගෙනාවා විතරයි ඇයි?" ආර්යන් අන්ද මන්ද වෙලා වගේ උත්තර දුන්නා.
"එහෙනම් මම මේ ටික බෙදන්නද? ප්ලීස්...දන්නවනේ, යන්න කලින් තව ලකුණු ටිකක් දාගන්න එපැයි" අනුහස් ආන්යට ඇහැක් ගහලා කිව්වා. ආර්යන්  ඔහු අතට බෑග් එක දුන්නේ හිනා වෙවී.
"අනූ...ඔයාට පිස්සුද?"
"මේ ඔයා මෙතන ඉන්නකෝ, මම ටක් ගාලා එනවා. තනි නම් ඔය ආර්යන්ව තියාගන්නකෝ" අනුහස් ඒ වෙනකොටත් මගක් දුර ගිහිල්ලා ඉවරයි.
තරමක් වැහිබර වෙලා තිබුණ, සීතල අහස දිහා බලාගෙන ආන්යා සුසුමක් හෙලුවා. ආර්යන් ඈ උන්නු බංකුවේම අනික් කොනේ වාදි වුණේ ඇගෙන අවසරයක් නොඉල්ලාම. ආන්යා යන්න නැගිටත් ආර්යන් ඇගේ අතකින් අල්ලලා ආයෙම වාඩි කරගත්තේ ක්ෂණයකින්.
"මාව අතාරින්න..." ආන්යා කිව්වේ වට පිට බලමින්, කවුරුහරි ඒවි කියලා බයෙන් වගේම නොසන්සුන්කමින්.
"යන්න එපා, ඔහොම පොඩ්ඩක් ඉන්න ආන්යා" ආර්යන්ගේ හඬ පරාජිතයි. ආන්යා අත ගසාදාලා බංකුවේ පුලුවන් තරම් කොනට වුණා.
"ඒ පාර මොනවද කියන්න හදන්නේ?" ආන්යා ඇහුවේ නපුරු විදියට.
"ඔයා මට සමාව දෙන්නෙම නෑ නේද?" ආර්යන් ඇහුවේ ඇහෙන නෑහෙන ගාණට. ඒත් ආන්යා මුනිවත රැක්කා මිස ඒකට උත්තර බඳින්න ගියේ නෑ.
"මං ශර්මිලාට හැමදේම කිව්වා ආන්යා" ආර්යන් එහම කියනවත් එක්කම ආන්යා ඔහු දිහාට හැරුණේ විදුලි සැරයක් වැදුනා වගේ.
"මොකක්? ඔයා මොනවද කිව්වේ?"
"මට එයාව මැරි කරන්න බෑ කියලා. මං සේරම කලේ ගෙදරට ඕන නිසා කියලා"
ආන්යා සුසුමක් හෙලුවා.
"එතකොට?"
"එතකොට මොකක්ද?"
"ශර්මිලා මොකද කිව්වේ?"
"එයා මුලින් ෂොක් වුණා ඒත්, මං හිතන්නේ පස්සේ එයා මගේ තත්වේ තේරුම් ගන්න ඇති. එයාට ආදරේ නොකරන කෙනෙක් මැරි කරලා දුක් විඳින්න එපා කියලා මං එයාට පැහැදිලි කලා"
ආන්යගේ හිත දුකකින් පිරෙන්න ගත්තා. ඒ ශර්මිලා වෙනුවෙන්.
"මං දැක්කා එයා අඬනවා..." ආන්යා කිව්වා.
"ඔව්, ඇඬුවා තමයි. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ ආන්යා. ඔයා ගැන හිත හිත මට එයාව මැරි කරන්න බෑ. ඒක එතකොට ඊට වඩා ලොකු දුකක් වේවි එයාට ඒකයි"
"එයා ඇහුවේ නැද්ද ඇයි මේක කලින්ම නොකිව්වේ කියලා?"
ආර්යන් ලොකු සුසුමක් හෙලුවා.
"ඇහුවා...ඒත් ඒකට උත්තරෙත් එයා දැනගෙන හිටියා. ඒ අපේ අප්පාලගේ හිත රිද්දන්න මට බැරි නිසා කියලා. නැතුව මං එයාට ආදරෙ කරපු නිසා නෙවෙයි"
"ඇයි ඔයා මේවා එයාට කියන්න ගියේ? ඊටත් අදම? ශර්මිලා පව් කියලා ඔයාට හිතුණේ නැද්ද?"
"හිතුණා. ඒ නිසයි තාමත් මං එයාට මගේ හොඳම යාලුවෙක්ට වගේ සලකන්නේ. ඒත් මං එයාව මැරි කලා නම් එයාට වෙන්නේ ලොකු අසාධාරණයක්. මං එයාට ආදරේ නොකරන නිසා. දැන් එයාට පුලුවන් එයාට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න"
ආන්යා යන්තම් ඇස් හරවලා ආර්යන් දිහා බැලුවා.
"ඒත් එයා ඔයාට ආදරේ නම්? ඔයා මට වගේ එයත් ඔයාට ගොඩක් ආදරේ නම්?" ආන්යා ඇහුවා.
ආර්යන් ආන්යා දිහාවට ටිකක් ලං වුණා.
"මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා ඔයා දන්නවා එහෙනම්?"
ඔහු ඇහුවේ ආන්යගේ හිත පතුලටම දැනෙන විදිහේ හඬකින්. ආන්යා නිරුත්තර වුණා.
"ආන්යා...ඔයා මගෙයි, ශර්මිලාගෙයි ප්‍රශ්ණේ ගැන හිතන්න එපා. ඒක මං බලාගන්නම්. තේරුණාද? මං දන්නවා ඔයාට හිත හදාගන්න කල් ඕන බව. ඔයාට ඕන තරම් කල් ගන්න එතකල් මට ඉන්න පුලුවන්"
ආන්යා හිස වැනුවා.
"ඒ ප්‍රශ්ණේ ඉවරම වුණත් මේක කොහොමටවත් වෙන්න බෑ. අපි ඔයාලගේ වත්තේ සේවකයෝ. ඔයාලා අයිතිකාරයෝ. අපේ පවුල් කොච්චර හිතවත් වුණත් ඒක වෙනස් වෙන්නේ නෑ. ඔයා හිතනවද ඔයාලගේ ගෙදර අය මේකට ඉඩ දේවි කියලා? ශර්මිලාගේ ගෙදර අය නිකම් බලා ඉඳීවි කියලා? ඔයාට හිතන්නවත් බැරි තරම් අපි දුරයි ආර්යන් අයියා..."
"ඔයා ආයෙමත් කියන්නේ ඒක. මං නිසා ඔයාලගේ පවුලට කිසිම දෙයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ ආන්යා...මං හැමදේම බලාගන්නම්. ජස්ට් ට්‍රස්ට් මී..."
ආන්යා කියන්න දෙයක් හිත හිත ඉද්දි එක පාරටම මහා වැස්සක් කඩා වැටෙන්න ගත්තේ හාස්පසම සැනෙකින් තෙතබරිත කරමින්. එලියේ උන්නු අය කෑ ගහමින් ගස් යටට දුවනවා ආන්යට පෙනුනේ මහ වැස්ස අස්සෙන් බොඳ වෙලා. ආන්යයි, ආර්යනුයි ඉක්මණට නැගිටලා බංකුව පිටිපස්සේ තිබුණ ගහ යටට පැන්නා වැස්සෙන් බේරෙන්න.
"හිතන්නවත් කලින් වැස්ස ආවා" ආර්යන් කිව්වේ තෙමුණ කමිස අත පිහදාන ගමන්.
ආන්යත් තෙමුණ ඇඳුම් වල වතුර අතින් ගසා දැම්මා. එක පාරටම පටන් ගත්තු වැස්ස හාත්පසම මීදුමකින් වගේ වහලා දමමින්, හතරවටේටම තෙමමින් වහිමින් තිබුණා. ඒ තරම් ලොකු වැස්සක් ආන්යා කාලෙකින් දැකලා තිබුණේ නෑ.
"මාර වැස්සක්නේ. එහා මෙහා පේන්නෙත් නෑ" ආර්යන් කිව්වේ සාක්කුවෙන් ෆෝන් එකක් එලියට අදින ගමන්. ඔහු එක ඔබලා කනේ තියා ගත්තා.
"ඕ. කේ. අයෑම් විත් ආන්යා. අයි විල් කම් දෙයා වන්ස් ද රේන් ස්ටොප්ස්.ෂුවර්, බායි" ඔහු කාටදෝ කතා කලා.
ආන්යා උන්නේ වැස්ස දිහා බලාගෙන. ආර්යනුත් තමන්ගේ ජීවිතේට ආපු මේ වගේ අසෙනිය වැස්සක් කියලා ඈට හිතුණා.
"මේ වැස්ස වහින්නේ අපට" ආන්යා ගැස්සුනා ඇගේ කන අසලින්ම වගේ ආර්යන්ගේ හඬ ඇහුනාම. ඈ දුරට යන්න හැදුවත්, ආර්යන් ආයෙම ඇගේ අතකින් තද කරලා අල්ලගත්තා. ඔහුගේ අතේ උණුසුම ආන්යගේ සීතල අත උණුසුම් කලා.
"ඔයා මොනවද මේ කරන්නේ?" ආන්යා ඇහුවේ වෙව්ලමින්.
"ආදරේ..." ආර්යන් මිමිණුවා.
"ප්ලීස්, මගේන් ඈත් වෙලා ඉන්න" ආන්යා අත ඇදගන්න උත්සාහ කලා. ඒත් ඔහු අතාරින්න ලෑස්ති නෑ.
"ඔයා මට ආදරෙයි, මට එක දැනෙනවා" ඔහු ආයෙම මිමිණුවා.
"නෑ" ආන්යා බොරුවක් කිව්වා.
"ඔය ඇත්තටමද කියන්නේ?"
"ඔව්"
"මේ අහන්න ආන්යා..." ආර්යන් ආන්යව පහසුවෙන්ම තමන්ගේ පැත්තට හරවගත්තා. ඔහුගේ ඇස් වල තිබුණේ මොකක්දෝ තද බවක්.
"ඔයා හිතන්න එපා ඔයා මට අකමැති වුණා කියලා, මම ආයෙම ශර්මිලා ගාවට යාවි කියලා. ඒක වෙන්නෑ. වෙන්නේ එකම එක දෙයයි. ඒ මම මේ රටෙන් යන එක, ආයෙමත් නේන්නම. ඔයා නැතුව මට මෙහේ ඉන්න හිත හදාගන්න බෑ. ඔයාව මට ඕන, ගොඩක්...ගොඩාක්. ඒක ඔයා දන්නෑ. ඒ නිසා මට ඇත්තම කියන්න ආන්යා...ඔයා මට අකමැතිද?"
ආන්යගේ හද ගැස්ම වේගවත් වෙලා තිබුණා. ඇගේ මුව ගොලු වෙලා ඇස් විතරක් දොඩමලු වෙලා තිබුණා.
"ඇයි මේ ඇස් වල කඳුලු? අනේ ප්ලීස් අඬන්න එපා...ඔයාව අඬවන්න මට ඕන නෑ"
ආර්යන් කිව්වේ ආන්යගේ අත අරගෙන තමන්ගේ පපුවට තියලා තද කරගන්න ගමන්. ආන්යා පණ නැති රෙදි බෝනික්කෙක් වගේ ඔහුට අවනත වෙලා හිටියේ මොනවත්ම හිතාගන්න බැරිව.
"හරි...මං ඔයාට අද ආයෙම මොනවත් කියන්නේ නෑ. හිත හදාගෙන ඔලුව නිදහස් කරගෙන හිතන්න තරම් මේ සිද්ධිය තවමත් අලුත් වැඩියි. ඔයා තාම ඉන්නේ ෂොක් වෙලා. ගෙදර ගිහින් නිදහසේ හිතන්න ආන්යා,හැමදේම ගැන. හිතලා මට කියන්න. මං බලාගෙන ඉන්නවා ඕන තරම් කලක්. ඔයාගේ හිතේ මට ඉඩක් තිබුණා කියලා මම දන්නවා ආන්යා. වෙච්ච දේවල් හරියට තේරුම් නොගෙන ඒ ඉඩ මට නැති කරන්න එපා. මට ඔයාව ඕන...මං ඔයාට ආදරෙයි, ඇත්තටම ගොඩාක් ආදරෙයි"
ආන්යගේ ඇස් වලට එබිලා ආර්යන් එහෙම කියද්දි ඇගේ හිතුවක්කාර හිත හෙමි හෙමිහිට සන්සුන් වෙන්න ගත්තේ, ඔහු ගැන අනුකම්පාවක් වගේ හැඟීමක් වගේම කොහොදෝ හැංගිලා තිබුණ ආදරයක් ආයෙම හිතේ මෝදු වෙමින්. ආන්යා ආර්යන්ගේ දෑස් දිහා බැලුවෙ බොඳවුණා දෑසින්. ඒ ඇස් කියපු කතාව ඔහුට තේරුම් යන්න ඇති. ඔහු කලේ තමන්ගේ පපුව මත තිබුණ ඇගේ අත අරගෙන හෙමිහිට සිප ගත්තු එක. ආන්යගේ හිත එක පාරටම කෝල හැඟීමක බරින් මිරිකුණා. ඈ හෙමිහිට අත ඇදලාගත්තා.
"අපි යමු, වැස්ස යන්තම් පායලා"



5 comments:

  1. මේ දෙන්නා ළං වෙන කං මං බලාගෙන හිටියෙ.ඒත් මට මොකක්දෝ හිස් ගතියක් දැනෙනවනෙ දැන්.ඇයි ඒ..? අභී පව් කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ලියාගෙන යද්දි මටත් එහෙම හිතෙනවා. ඒත් ඉතින් මේක ආර්යන්ගෙයි ආන්යගෙයි කතාවනේ. තාම අභී රට ඉඳලා ආවෙත් නැති නිසා මොනා වෙයිද කියලත් කියන්න බෑනෙ.

      Delete
  2. Mate hithenewa aryan kochara anyate adarey kiwwath,, abhi thama anyate galepenne kiyala :)

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ඉතින් මාත් කියන්නෙ අක්කියෝ..

      Delete