Monday, June 30, 2014

හැත්තෑවෙනි කොටස



"ඉන්න...මම අහලා එන්නම්" අනුක් වැස්සෙම වාහනෙන් පැනලා අඩියට දෙකට ඒ ගෙයි දිහාවට යද්දි, මම ඔහු කීව නාහා වැස්සෙම ඔහු පිටිපස්සෙ දිව්වා.
"මං කිව්වනේ ඉන්න කියලා" මම ලඟට එනවා දැකලා අනුක් කිව්වේ එහෙම. අනුක් දොරට තට්ටු කරලා වෙන්න ඇති, එවෙලෙම වගේ දොර ඇරුණා. බිත්තිය සහ ඇරුණ දොර අස්සෙන් අපි දිහා බලාගෙන උන්නේ ටිකක් ලස්සන, තරුණ ගෑණු ළමයෙක්. මගේ හද ගැස්ම හොඳටම වැඩි වෙද්දි අනුක් මා දිහා බැලුවා.
"මේ...මේ අර භූප කියලා, මීරිගම පැත්තේ මහත්තයෙක් නැවතිලා ඉන්න ගෙදරද?"
උත්තරයක් දෙන්න කලින් ඒ ගෑණු ළමයා අපි දෙන්නගේ උඩ ඉඳන් පහලටම බැලුවා.
"ඔව්...මහත්තයලා කවුද?"
"ආ...මේ අපි එයාගේ ගමේ යාලුවෝ කට්ටියක්. භූප ගෙදර ඉන්නවද?" අනුක් කිව්වා.
"මහත්තයා නම් ගෙදර නෑ. එන්න මහත්තයා ගෙට එලියේ වහිනවනේ" අපට සිනහවක් පාපු ඒ ගෑණු ලමයා අපව ගේ ඇතුලට කැඳෙව්වා.
සාරි වලින් වහලා තිබ්බ පුටු කීපයක් පොඩි සාලේ තියලා තිබුණා. ගේ ඇතුලේ පොඩි අඳුරු, සීතල ගතියක් තිබුණත් මොකක්දෝ සිරියාවකුත් තිබුණා කියලා මට හිතුණා. ගේ ඇතුලේ මට දැනුනේ හීන් සම්බ්‍රානි දුම් සුවඳක්.
මම අනුක්ගේ මූණ දිහා බලද්දි ඔහු උන්නේ මා දිහා බලාගෙන. ඊලඟට අපි දෙන්නම ගෙට ඇතුලු වුණේ එකටම.
"වාඩිවෙන්න මහත්තයා... මම තාත්තව එක්කගෙන එන්නම්" එහෙම කියපු ඒ ගෑණු ලමයා ගෙතුලට ගියේ අපි ඒ සීතල සාලේ තනි කරලා. සාලේ පුටු ඇරුණම තිබුණේ මල් පෝචියක් තියපු පොඩි ටීපෝවක් විතරයි. ඒ සාලේ තව එයි ඇතුලට දිගට ශාලාවක් වගේ තිබුණා. ඒ කෙලවරේ වීදුරු බඩු දාන පරණ තාලේ කැබිනට් එකක් තියෙනවා මට පෙනුණා. එතැනින් දෙපැත්තටම තිබුණේ පැසේජ් දෙකක් වෙන්න ඇති කියලා මට හිතුණා.
"හරි පාලුයි නේද?"අනුක් ඇහුවේ වට පිට බලන ගමන්.
"හ්ම්.. සීතලයිත් එක්ක" මම කිව්වේ හීගඩු පිපුණ අත්දෙක අතුල්ලන ගමන්.
ඊලඟට අර කලින් ආපු ගෑණු ලමයා ආපහු සාලෙට ආවා ජර්සියක් සහ සරමකින් සැරසුණ කෙට්ටු කලු මනුස්සයෙක් එක්ක. ඔහු අපිව දැකපු ගමන් හිනා කටක් මුවට නගාගත්තා. ඒ එක්කම ඒ හිනාව පොඩ්ඩක් වියැකුණේ ඔහු මාව දැක්කාම. ඒක එහෙමම වුණා නැත්තම් මගේ හිතලුවක්ද කියන්නත් මම දන්නේ නෑ.
"මහත්තයා...භූප මහත්තයා හම්බෙන්න ආවා කිව්වා?"
"ඔව්, අපි මේ එයාව බලලා යන්න කියලා ආවා මේ ලඟකට ආපු ගමන්" කතා කලේ අනුක්.
"මහත්තයා දන්නේ නැද්ද එන වග. මට කිව්වේ නම් නෑ කවුරුත් එනවා කියලා" අර පුද්ගලයා කිව්වේ හිස කස කස.
"නෑ නෑ. එයා දන්නේ නෑ. අපි මේ හදිසියෙනේ ආවේ. මේ..මුන්නැහේ එතකොට කවුද?" අනුක් ඇහුවා.
"මම සුමනදාස. මේ මගේ දුව. මමයි මගේ නෝනයි දුවයි තමයි මේ ගෙදර බලාගන්න ඉන්නේ.” ඔහු කිව්වා.
"ආ...එහෙමද? එතකොට භූප මෙහේ ඉන්නේ කුලියටද?" අනුක් ඇහුවම සුමනදාස ඔහු දිහා බැලුවේ පොඩි පුදුමයකින් වගේ.
"ආ...නෑ නෑ. මේ ගෙයි අයිති මහත්තයගේ යාලුවෙක් නේ භූප මහත්තයා. ඒ මහත්තයා ඉන්නේ කොලඹ. ඉතිං ටික දවසකට මේ මහත්තයට නවතින්න ගෙයි දීලා තියෙනවා. මහත්තයලා දන්නේ නැතුව ඇති මහිතේ" සුමනදාස කිව්වේ මා දිහාත් බලමින්.
"නෑ. අපි එච්චරම විස්තර දන්නේ නෑ. මේ කාලෙකින් තමයි හම්බවෙන්නෙත්. මේ  භූප කොහෙද දන්නෑ ගියේ?" " අනුක් ඇහුවා.
"වැඩකට පිට යනවා කියලා ගියේ. එහෙම ගියාම දවස් දෙක තුනක් එන්නේ නෑ වෙලාවකට. ඒත් ඊයේ කතා කරලා කිව්ව අද එනවා කියලා”
"භූප එද්දි සාමාන්‍යයෙන් රෑ වෙනවද?" අනුක් ඊටපස්සේ ඇහුවා.
"ගොඩක් වෙලාවට එහෙම තමා. මහත්තයා පොඩ්ඩක් කෝල් එකක් දීලා බැලුවේ නැද්ද?"
සුමන්දාස අහද්දි ඒ මූණේ තිබ්බේ පොඩි සැක සංකාවක ලකුණු කියලා ඔහු දිහා බලාගෙන උන්නු මට හිතුණා. හදිසියේම දෙන්නෙක් ඇවිත් යාලුවොයි කියලා මනුස්සයෙක්ව හොයද්දි ඕන කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන් නේ. අනික දැන් කාලේ කෝල් එකක් වත් නොදී එහෙම කෙනෙක්ට නොදන්වා හම්බවෙන්න එනවා කියන එකත් හරිම අහඹු දෙයක් නිසාත් සුමනදාස පුදුම වෙන්න ඇති කියලා මට හිතුණා..
"ආ..මේ.."
"ඔය කොලේ තියෙනවා" මම අනුක්ට හෙමින් කිව්වා.
"මම බලන්නම්කෝ" අනුක් එහෙම කියලා ෆෝන් එක අතට අරන් භූපගේ නොම්මර dial කරන අතරේ අර ගෑණු ලමයා ගෙට ගියා.
"වැඩ නෑ.ඕෆ් කරල හරි සිග්නල් නැති තැනක හරි ඇත්තේ. දැන් මොකද කරන්නේ?" අනුක් ඇහුවාම මගේ බලාපොරොත්තු තව ටිකක් කඩ වුණා.
" මහත්තයාගේ නොම්මරේ නම් වැඩ නොකර තියෙන්නේ නෑ. ඉන්නකෝ මමත් බලන්න" එහෙම කියලා සුමනදාස සාලේ එහා කෙලවර තිබුණ ටෙලිෆෝන් එක ලඟට ගියා.
"වෙලාව  දෙකත් පහුවෙලා. මොකද දැන් කරන්නේ?"" අනුක් ඇහුවේ ඔරලෝසුව දිහාත් බලන ගමන්.
"භූප එනකල් මම ඉන්නවා. මට ආයෙම ගිහින් එන්න පුලුවන් වෙන එකක් නෑ. කීයට හරි භූප හම්බවෙලා මිස මම යන්නේ නෑ ආපහු" මම කිව්වේ ස්ථිරවම.
“ඔයාට පිස්සුද ඇත්තටම"
"ඔයාට ඕන නම් යන්න අනුක්"
"දුලාරා, මගේ යකා අවුස්සගන්න එපා ආයෙම. මම මෙච්චර දුර මැරීගෙන ආවේ ඕක අහන්නද? ඔයාගේ තියෙන ලොකුම අවුල තමයි ඔය පණ්ඩිතකම. ‘ඔයාට ඕන නම් යන්න’...මම තමයි මෙතන මෝඩයා...කවදාවත් මමත් හැදෙන එකක් නම් නෑ"
"අනුක්...නොබැන ඉන්න බැරි නම් මුකුත් නොකියා ඉන්න ප්ලීස්. ඔයා දන්නෑ මගේ හිතේ තියෙන ගින්දර"
මම එහෙම කිව්වම අනුක් සුසුමක් හෙලලා ආපහු නොම්මරේ dial කර කර බලන්න පටන් ගත්තා.
ගෙට ගිය  ගෑණු ළමයා එලියට ආවේ අපට තේ හදාගෙන, උණු උණු වඩේ වගේකුත් එක්ක.
"හනේ...මොකට කරදර වුණාද?" අනුක් කිව්වා.
"මොනවත් කරදරයක් නෑ. භූප මහත්තය වඩේ වලට කැමතියි. ඒකයි මේ හැදුවේ"" ඒ ගෑණු ළමයා කිව්වේ අපට තේ පිලිගනවන ගමන්. එපා කියන්න බැරි නිසා මම වඩේ එකක් අතට ගත්තා.
" මේ මිස්, මහත්තයගේ නංගිද? මම මිස්ව කොහේ හරි දැකලා තියෙනවා වගේ" මට තේ එක පිලිගන්වන ගමන් ඈ කිව්වේ මගේ දිහා හොඳින් බලන ගමන්.
"නෑ..." මම කිව්වේ එච්චරයි.
ඈ මට තේ එක පිලිගන්වලා මද හිනාවක් පෑවා. ඒ වතේ තිබ්බේ මොකක්දෝ සුන්දර බවක් කියලා මට නිකමට හිතුණා.
"භූප මෙහේ නැවතිලා ගොඩක් කල්ද?" මම ඇහුවා.
"දැන් මාස හයක් විතර වෙනවා"
"එහෙමද?"
මේ අතරේ ටෙලිෆෝන් කෝල් එක ගන්න ගිය සුමනදාස ආපහු ආවා එතනට.
"වැඩ නෑ නේන්නම් මහත්තයෝ..."
"ඒකනේ. මාත් මේ කීප පාරක්ම අරන් බැලුවා"
සුමනදාස ඊලඟට අනුක් දිහා බලාගෙන උන්නේ අපි ඊලඟට කරන්නේ මොකක්ද අහන්න වගේ. අනුක් මා දිහා බැලුවා.
"මොකද දුලාරා දැන් කරන්නේ? අපි තව කොච්චර වෙලා ඉන්නද?"
අනුක් ඇහුවම මට සුසුමක් හෙලුණා.
"දු..ලාරා..? මේ නෝනගේ නමද දුලාරා?"
අපි දෙන්නා කරන දෙයක් කල්පනා කරන වෙලේ අපෙන් එහෙම ඇහුවේ සුමනදාස. සාලෙන් ආපහු යමින් උන්නු අර ගෑණු ලමයත් ඉද්ද ගැහුවා වගේ නැවතිලා අපි දිහා බලනවා මට පෙනුනා. අපි දෙන්නම සුමනදාස දිහා බැලුවේ පුදුමෙන්.
"ඔව්...ඇයි සුමනදාස?"
අනුක් එහෙම ඇහුවම සුමනදාස මා දිහායි අනුක් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ පොඩි හිතේ කලබලේකින් වගේ.
"එතකොට...මේ නෝනද... භූප මහත්තයගෙ ගමේ ඉන්න නෝනා?" සුමනදාස ඇහුවේ සැකෙන් වගේ.
මම එවෙලේ පත් වුණේ අපහසුතාවයකට. එක පාරටම කියන්න දෙයක් මට හිතාගන්න බැරි වුණා.
" සුමනදාස කොහොමද ඒක දන්නේ?" එහෙම ඇහුවේ අනුක්.
එවෙලේ සුමනදාස බිම බලාගෙන මද හිනාවක් පෑවත් ඒ දුකෙන් වගේ කියලා මට හිතුණා.
"මම දන්නවා මහත්තය. මෙහාට ආපු දවසේ ඉඳලා අපේ මහත්තය නෝනව මතක් නොකරපු එක දවසක් වත් තිබුණා මට මතක නෑ. ඒ මහත්තය දෙයියෙක් වගේ...හරීම හොඳයි. ඒත් බීපු වෙලාවට සිහියක් නෑ වගේ හැසිරෙන්නේ. ඉතිං නින්ද යනකල්ම මට නෝනා ගැන කියනවා...අනේ නෝනා, මහත්තය මෙහාට වෙලා සැපෙන් ඉන්නවා නෙවෙයි. හැම වෙලේම ඒ මහත්තය ඉන්නේ දුකෙන්...මට අපේ මහත්තය ගැන හරි දුකයි. ගොඩක්ම හිතට ගොඩක්ම අමාරු මේ රැයක් දවාලක් නැතුව හැමදාම බොන එක තමයි..."
සුමනදාස එහෙම කියාගෙන කියාගෙන යද්දි අන්තිමේදි ඔහුගේ හිතේ දුක වචන වලිනුත් අපට දැනුනා. ඒ එක්කම මම උන්නේ ඇහුණ දේවල් අදහාගන්න බැරිව.
"භූප...ඒ තරම්ම බොනවද?" කතා කරගන්න පුලුවන් වුණ වෙලේ මම ඇහුවා.
"ගෙදර එන හැමදාම බොනවා...එහෙම නැති දවසක් මම දැකලම නෑ. ඇයි නෝනා මේම මහත්තය බොන්නේ? ඇයි කලින් හොයලා බැළුවේ නැත්තේ? භූප මහත්තය රත්ත්‍රං මනුස්සයා. ඒ මහත්තයා වෙලාවකට මගේම දරුවෙක් වගේ මට දැනෙන්නේ. ඒ නිසා මගේ හිතටත් හරි අමාරුයි මේවා මෙහෙම වෙද්දි. ඒත් මම කියන දෙයක් මහත්තයා කනකටවත් ගන්නේ නෑ නෙව " සුමනදාස අහද්දි දෙන්න උත්තරයක් මට තිබ්බේ නෑ.
අනුක් උන්නෙත් කම්පනය වෙලා වගේ ඔහු දිහාම බලාගෙන. මම බිම බලාගත්තේ මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් හිත වෙලාගනිද්දි.  ඒක කඳුලු වලින් දිය කරන්න පුලුවන් දුකක් නෙවෙයි. කඳුලු තිබුණේ හිතේම ගල් වෙලා.
" සුමනදාස නොදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හැමදේම කියන්න දැන් වෙලාව නෙවෙයි. ඒත් අපට භූපව කොහොමහරි අද හම්බවෙන්න ඕන..සමහරවිට එහෙම කලොත් භූපගේ ඔය තත්වේ ගැන මොනා හරි නෝනට කරන්න බැරි වෙන එකක් නෑ" අනුක් ඊටපස්සේ කිව්වා.
"නෝනට ඉන්න ඕන නම් ඉන්න නෝනා. ඒක එපා කියන්න මට අයිතියක් නෑ. නෝනා ගැන මහත්තයා ගොඩාක් හිතාගෙන ඉන්න බව මට තේරෙනවා. මොකක් හරි නිසා දෙන්නා එකට නෑ කියලත් මට තේරෙනවා. එහෙම එකේ නෝනා එන්න ඇත්තේ මොකක් හරි වැදගත් දේකට වෙන්න ඇති නේ. ඉඳලා බලන්න නෝනා.." සුමනදාස කිව්වා.
ඒ පාර අනුක් මා දිහා බැලුවා.
"මොක්ද කරන්නේ කියන්න? ඔයාට ඉන්න ඕනද?"
" මහත්තයලා කතාකරගන්නකෝ" එහෙම කියලා සුමනදාස ගෙට ගියේ අපට කතා කරගෙන තීරණේකට එන්න ඉඩ දීලා.
"දැන් වෙලාව දෙක හමාරයි. මේ දැන් ගියත් ගෙදර යන්න පැය පහක්වත් යයි කාර් එකෙත්. මොනාද දුලාරා ඔයා කරන්න හිතන්නේ?  හය විතර යද්දි අනිවාර්යෙන්ම ගෙදර අය කලබල වෙන්න පටන් ගනී. ඊලඟට එක ලැව් ගින්නක් වගේ පලාතෙම පැතිරිලා, චේතිය අයියටත් ආරංචි වුණාම තමයි හොඳම සෙල්ලම පටන් ගන්නේ. කියන්න දුලාරා අපි මොකද කරන්නේ?" අනුක් ඇහුවා.
ගෙදර ගැන හිතද්දි නම් හිතට බයක්, අම්මලා ගැන දුකක් දැනුනා තමයි. ඒත් චේතිය ගැන නම් අබමල් රේණුවක තරම්වත් හැඟීමක් මට දැනුනේ නෑ.
"මට ආයේ හැරෙන්න බෑ අනුක්. මං ඇත්තටම කියන්නේ, ඔයා මේ දැන් ගියත් මම ඔයා එක්ක තරහා වෙන්න නෑ. මම කොහොමහරි කරලා මොනාහරි කරගන්න බලන්නම්" මම කිව්වා.
"ඔයාට පිස්සුද? ඔයා හිතනවද මම මේ වෙලාවේ ඔයාව දාලා යන්න යයි කියලා මේ තත්වේ උඩ. භූප ආවත් මට ඔයා දාලා යන්න බෑ. බීගෙන නම් එන්නේ සිහියක් පතක් නැතුව ප්‍රශ්ණ කතා කරන්න බෑනෙ දුලාරා..." අනුක් කිව්වා.
"මං කවදාවත් හිතුවේ නෑ මේ දේවල් මේ තරම් දුරදිග යයි කියලා අනුක්. හිතන්න... සුමනදාස කිව්වා භූප ඉන්නේ හැමදාම බීගෙන කියලා. එයා එහෙම බීපු කෙනෙක් නෙවෙයි අනුක්. මේ දේවල් සේරටම මුල මම. එයා මට ආදරේ නොකලා නම් මෙච්චර එයාගේ ජීවිතේ කාලකණ්ණි වෙන එකක් නෑ. මට දැනෙන්නේ මහා වරදකාරී හැඟීමක් අනුක්...මං දන්නෑ තව කොච්චර දුක් මගේ හිතට උහුලන්න පුලුවන් වෙයිද කියලා මේවගේ. මට පිස්සු හැදෙයි අනුක්...ඇත්තමයි මට පිස්සු හැදෙයි" මම කිව්වේ හැඬුම්බරව.අනුක් සුසුමක් හෙලුවා.
"දැන් ඉතිං අඬන්න හදන්න එපා ඔහොම. අඬලා ප්‍රශ්ණ විසඳන්න බෑනෙ. මම නම් කියන්නේ හොඳම දේ අපි දැන් ආපහු යන එක කියලා. දැන් අපි දන්නවනේ භූප ඉන්න තැන. අපිට පුලුවන් වෙන දවසක එන්න. ඔයා මොකද කියන්නේ?" අනුක් ඇහුවා.
"මට බෑ අනුක්. මම මේ ආපු ගමන භූප හම්බවෙලාම තමයි යන්නේ. කවුද දන්නේ ගෙදර ගිහිං ආයෙම මට එන්න ඉඩක් ලැබේවිද කියලා" මම කිව්වා.
"ඔයාට මාව විශ්වාස නැද්ද? මං ඔයාව එක්ක එනවා දුලාරා" අනුක් කිව්වා.
"බෑ අනුක්. මට ඔයා අවිශ්වාසයි නෙවෙයි. ඒත් මට අනාගතේ ගැන විශ්වාසයක් නෑ. අපි හිතන දේවල් වෙන්නේ නැනෙ"
"එහෙමයි කියලා අපි රෑ වෙනකල් මෙහේ ඉන්නද? රෑ වුණාම මොකද කරන්නේ? අපි කොහෙද ඉන්නේ? මෙහේ ඉන්නද? පොඩ්ඩක් හිතන්න දුලාරා" අනුක් කිව්වා.
"භූප එන වෙලාවක එයාව හම්බවෙලා, අපි නුවර යමු. ඔයා මාව ස්ටේෂන් එකෙන් දාන්න. මම තියෙන කෝච්චියක ආපහු ගෙදර යන්නම්" මම කිව්වා.
අනුක් ඒ පාර මා දිහා බැලුවේ රවලා.
"මගෙන් මුකුත් අහගන්න එපා දුලාරා ඔයා. කෝච්චියේ තනියෙම යන්න ඔයා මහ චන්ඩියෙක් කියලද හිතාගෙන ඉන්නේ. අපරාදෙ මම ආවේ චන්ඩියට සේරම කරගන්න කියලා මට එහාට වෙලා ඉන්න තිබුණා" එහෙම කියලා අනුක් එතනින් නැගිටලා ලඟ තිබ්බ ජනේලෙ ලඟට ගියා.
"ඉතිං නෑවිත් එන්න එපැයි. මම එන්න කිව්වද?" මම කිව්වෙත් හිතේ කෝපයක් ඇතිවුණ නිසා.
අනුක් මා දිහා බැලුවේ ඒ ඇස් වල කෝපයක් එක්ක.
"එතකොට දැන් ආපු එකයි වරද?" අනුක් ඇහුවෙත් තරහින්.
"මට ඔයා එක්ක තර්ක කරන්න ඕන නෑ අනුක්. ආවේ අපරාදේ කියලා හිතනවා නම් ඔයා යන්න. මම මේක මොනා හරි කරගන්නම්" මම කිව්වා
ඒ පාර විදුලි වේගෙන් මා දිහාට ආපු අනුක් මගේ මූණට එබුණේ මූණත් රතු කරගෙන.
"කට වහගන්නවා. කෙලෙහිගුණයක් කියලා දෙයක් නැද්ද? මම මේ හැමදේම ඔහේ දාලා පිස්සෙක් වගේ ඔයාව හොයාගෙන ආවේ ඇයි කියලා ඔයා දන්නවා. දැන දැන මෙහෙම හිත හීරෙන දේවල් කියන්නේ ඇයි  දුලාරා? මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ? මට ඔයා වෙනුවෙන් වත් කා වෙනුවෙන්වත් මේ දේවල් කරන්න ඕන නෑ. අනික ඔයා මගේම අයිය කෙනෙක් බඳින්නත් ඉද්දි. මම යමු කිව්වේ ඔයාගේ හොඳට මිස වෙන දේකට නෙවෙයි. මම කැමතියි ඔයා භූපව හම්බවෙනවට. පුලුවන් නම් ආයෙම එකතු වෙන්වටත් මම කැමතියි...ඒ... ආදරේ කියන්නේ මොකක්ද කියලා මම දන්න නිසා...." කියාගෙන කියාගෙන් ආපු අනුක් අන්තිමේදි නැවතිලා බිම බලාගත්තා. මම උන්නේ ගල් ගැහිලා වගේ. ඔහු මෙහෙම හැසිරෙනවා මම කවදාවත් දැකලා තිබුණේ නෑ. මම ගැහෙන හිතින් ඔහු දිහා බලාගෙන උන්නා.
"ආදරේ නැති වෙන එක කොච්චර දුකක්ද  කියලා මම දන්න නිසා. ඒක මට කියලා දුන්නේ ඔයා...ඔය ඇස් වල කඳුලු, ඔය හිතේ තිබිලා වචන වලට පෙරලුණ දුක...ඒ දුක මට ඔයාට වගේම දැනුනා. ඒ මම ඔයා ගැන ගොඩක් හිතපු නිසා. මම මේ හැම දෙයක්ම කරන්නෙත් මම ඔයා ගැ හිතන නිසා. ප්ලීස්, දෙයක් කියන්න කලින් ආයෙම ඒකත් මතක් කරගන්න දුලාරා...මේ ආවේ ඇඟ කසනවට නෙවෙයි. ඔයා ගැන මට බය  හිතුණ නිසා. ඔයාව බලාගන්න මම මටම පොරොන්දුවෙලයි උන්නේ. මං ආවේ ඒ නිසා. දැන් ආපහු යන් කියන්නෙත් ඒක නිසා...ඔයාට කරදරයක් වෙන්න මට ඕන නෑ...තේරුම් ගන්න. මෙතන  නැති ප්‍රශ්ණ ඇති කරගන්නවට වඩා හොඳ නැද්ද අපි ගිහින් ආයෙම දවසක එන එක? ඔයාට ඕන නම් මේ සෙනසුරාදම එන්න පුලුවන්. ඒත් ඔයා හිතන්නේ මේ වෙලාව ගැනයි, ඔයාගේ හිතයි, ඔයාගේ ප්‍රශ්ණ ගැනයි විතරයි නේ. ඔයාට මං කියන එක තේරෙන්නේ නෑ. කොටින්ම ඔයා කොහොමටවත් මාව තේරුම් ගන්නේ නෑ. ඔයා හිතාගෙන ඉන්නේ මමත් ඔයාගේ තරහාකාරයෙක් කියලා. එහෙම නෑ දුලාරා...මට ඕන ඔයා දුකක් නැතුව ඉන්නවා බලන්න විතරයි. මගේ හිතේ ඔයා ගැන තියෙන  හැඟීම මාව ඉරිසියාකාරයෙක් කරලා නෑ...මට ඇත්තටම ඕන ඔයා සතුටින් ඉන්න විතරයි, කොහේ හරි...ඒත් ඔයා ඒක තේරුම් ගන්නේ නැත්තම්, ඒක මගේ කරුමෙ. ඒකට කරන්න දෙයක් නෑ..."
අනුක් එහෙම කියලා එතනින් නැගිටලා එලියට යන්න ගියේ හඬාවැටෙන හිතක් එක්ක මාව තනි කරලා. අත්දෙකේ මූණ ගහගෙන, මම ඇස් වල කඳුලු වලට ඔහේ බේරෙන්න ඉඩ ඇරියා. හිතේ තිබුණේ යුද්ධයක්. භූප ගැන වගේම අනුක් ගැනත් හිත වැලපෙනවා මට ඒ අතරේ තේරුණා.

Wednesday, June 25, 2014

හැටනමවන කොටස



උදේ 6.30 ට එන බදුලු කෝච්චිය එතනට එද්දිත් මම උන්නේ කල්පනාවක. එදා සතියේ දවසක් නිසා කෝච්චියේ වැඩිය සෙනග උන්නේ නෑ. මම හිත තද කරගෙන කෝච්චියට නැග්ගා.ජනේලයක් අයිනේ වාඩි වෙලා මම ඔහේ කල්පනා කර කර එන්න ආවා. හිතේ තිබ්බේ එකම එක අරමුණක්. ඒ භූපව මුණගැහෙන එක. පොල්ගහවෙලට විතර කෝච්චිය ලං වෙද්දි මම කලේ කේතකීට කෝල් එකක් ගත්තු එක.
"හලෝ..." ෆෝන් එක ගත්තේ කේතකීගේ අම්මා.
"කේතකී ඉන්නවද?"
"ආ...ඉන්නවා. කවුද මේ සකුන්තලා නේද? ඔහොම ඉන්නකෝ. පොඩි දූ...මේ කෝල් එකක්"
කේතකීගේ අම්මා කතා කරනවා මට ඇහුණා.
"හලෝ..."
"කේතකී..."
"කවුද මේ?"
"මං...දුලාරා"
"ද්..දු..දුලාරා..? ඇයි?" ඒ පාර ඈ කතා කලේ රහසින් වගේ.
"ඔයාගෙන් දෙයක් ඉල්ලගන්න මම කතා කලේ"
"මොකක්ද? ඔයා ඔය කොහේද ඉන්නේ? මොකක්ද ඔය සද්දේ?"
"මට...මට භූප ඉන්න තැන address එක දෙන්න කේතකී"
"මොනාද? address එක? ඒ මොකටද? දුලාරා...ඔයා මේ කොහෙද ඉන්නේ?" කේතකීගේ ස්වරයේ තිබුණේ කලබලයක්.
"කෝච්චියේ"
"කෝච්චියේ?ඔයා කොහේද මේ යන්නේ?"
"මට භූපගේ address එක දෙන්න කේතකී...ප්ලීස්"
"ඔයා කොහෙද ඉන්නෙ කියන්න ඉස්සෙල්ලම"
"මං ඉන්නෙ ඉන්නේ කෝච්චිය...මම යනවා හැටන් වලට"  මම කිව්වා.
" හැටන් වලට!!! අනේ දෙයියනේ...ඔයා මොනාද දුලාරා මේ කරන්නේ? ඔයා ඇයි ඔය විදිහේ දෙයක් කලේ. මං දන්නෑ මොනා කරන්නද කියලා" ඒ පාර නම් කේතකීගේ ස්වරය උත්සන්න වෙලා.
"මට address එක දෙන්න කේතකී...මට භූපව හම්බවෙන්න ඕන. එයා හම්බනොවී මම මෙහෙන් එන්නේ නෑ. ඔයා address එක නොදුන්නොත් මුලු හැටන්වලම ඇවිදලා හරි මම එයාව හොයාගන්නවා" මම කිව්වා.
"අනේ දුලාරා...දෙයියනේ ඔයාට හොඳටම පිස්සු දුලාරා. පිස්සු නොකර අනේ ගෙදර එන්න" කේතකී කිව්වේ අඳෝනාවක් වගේ.
"මං කිව්වනේ කේතකී...භූප හම්බෙලා මිස මම එන්නේ නෑ. ඔයා address එක දෙනවද, නැත්තම් මම තනියෙම හොයාගන්නද?"
"විකාර කියන්න එපා. ඔයා දැන්මම ආපහු එන්න. නැත්තම් මම මේ වෙලාවෙම ඔයාගේ ගෙදරට ගිහින් කියනවා"
"කියලා කොහොමද හොයාගන්නේ? එහෙම වුණොත් මම මගින් බැහැලා කොහේ හරි යන්වා" මම කිව්වේ හිතුවක්කාර විදියට.
"මොන ගොන් මෝඩියෙක්ද මන්දා මේ...කියන එක අහන්න" කේතකී කිව්වේ සැරෙන්.
"හරි එහෙනම් මම තනියෙම හොයාගන්නම්" මම කිව්වා.
"දුලාරා.... දුලාරා, ඔයා මහා හිතුවක්කාර කෙල්ලෙක් දුලාරා...මං දන්නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා...පොඩ්ඩක් ඉන්න...ඔහොම ඉන්න"
මම දැනගෙන උන්නා කේතකී මේ විදිහට කොහොමත් භූපගේ address එක මට දෙන වග. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. හිත බලවත් වුණේ භූප ගැන හැඟීම් විතරමයි. ඒත් හිතේ චකිතයක් නොතිබුණා නෙවෙයි තනියෙම හැටන් යන්න. මම කවදාවත් තනියෙම එහෙම දුර ගමනක් නොදන්න දිහාකට ගිහින් තිබුණේ නෑ.
ටිකකින් කේතකී මට භූප ඉන්න තැන address  එකයි, භූපගේ ෆෝන් නම්බර් එකයි දුන්නේ අඳෝනා කිය කියමයි. ඒත් මම නෑසුකන්ව ෆෝන් එක කට් කලා. මේ යන ගමන ගැන ගොඩක් හිතලා හිතලා අන්තිමේදි මම තීරණය කලා අනුක්ට කතා කරන්න. ඒත් වැඩි හොඳට මම ඔහුට කතා කලේ පේරාදෙණිය පහු වුණාට පස්සේ.
"දුලාරා...මොකෝ මේ අවේලාවෙ මාව මතක් වුණේ?” අනුක්ට මම කතා කරද්දි කෝච්චිය නුවරින් ආපහු හැටන් පැත්තට එන්න පටන් ගෙන.
"ඔයා කැම්පස් එකේද ඉන්නේ?" මම ඇහුවා.
"ඔව් ඔව්. අද ලෙක්චර් එක දහයට. මම මේ කන ගමන්. ඉතිං ඉතිං?"
"අනුක්...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"
"මොකක්ද?"
"අනුක්...."
"දුලාරා...ඔයා...කොහෙද ඔය ඉන්නේ? මොක හරි වාහනේකද? ඔයා ඉන්නේ කෝච්චියකද?"
"ඔව්"
"ඔයා කොහෙද යන්නේ?" අනුක් එහෙම අහද්දි ඒ හඬේ තිබ්බේ සැකයක්.
"අනුක්...මම තීරණයක් ගත්තා"
"දුලාරා...ඔයා කොහෙද ඉන්නේ කියන්න?" ඒ පාර නම් අනුක් උන්නේ කලබල වෙලා.
"මම යනවා, මගේ භූප හොයාගෙන"
"ඔයා.... ඔයා ඉන්නේ හැටන්ද?"
"නෑ..."
"කා එක්කද මේ ඔයා යන්නේ?"
"කා එක්කවත් නෙවෙයි තනියෙම"
"තනියෙම...? තනියෙම?"
"අනුක් අහන්න..."
"කොහෙද ඔයා ඉන්නේ?" අනුක් කෑ ගැහුව තරමයි.
"පේරාදෙනිය පහුවුණා අනුක්"
"දෙයියනේ දුලාරා...ඔයා මොනාද මේ කරන්නේ? කරුණාකරලා ඊලඟ ස්ටේෂන් එකෙන් බහින්න. ප්ලීස්...මං කියන දේ අහලා ගම්පොලින් බහින්න..මම එන්නම් එතනට"
"එපා..එපා එපා. මම තීරණයක් ගත්තා අනුක් ආයෙම හැරෙන්න මට බෑ"
"දුලාරා...පිස්සෙක් වගේ වැඩ කරන්න එපා" අනුක් කෑ ගැහුවා.
"අනුක් මම යන්නේ භූප එක්ක නවතින්න නෙවෙයි. මට එයාව බලන්න විතරයි ඕන" මම කිව්වා.
"ඒ පාර කෙහෙම්මලක් කතා කරනවා. භූප එක්ක නවතින එක ගැන නෙවෙයි මම කියන්නේ. ඔය තනියෙම යන ගමනේ අවධානම ගැන. දෙයියන්ගේ නාමෙට කෝච්චියෙන් බහින්න. මම ගම්පොලට එන්නම්"
"ඔයා එන්න එපා"
"දුලාරා..."
"මං තියනවා අනුක්"
"දුලාරා...අහන්න අහන්න. ඔයාට යන්නම ඕන නම් මම එක්කං යන්නම්.please please කොච්චියෙන් බහින්න"
"තවත් ඔයාට කරදර කරන්න මට බෑ අනුක්. මම කතා කලේ ඔයාට කියන්න විතරයි"
"මං කියන දේ අහන්න...මං එක්කන් යන්නම්. promis මම එක්කන් යනවා. කොහෙන් හරි බහින්න දුලාරා... බැහැලා  මට කතා කරන්න. ප්ලීස් ඔය වැඩේ කරන්න එපා"
අනුක් කෑ ගහද්දිම මම ෆෝන් එක කට් කරලා off  කලා. හිත තිබුණේ හුඟක් චංචල වෙලා. ඒත් භූප මතක් වෙද්දි හිත ගල් කරගන්න මට පුලුවන් වුණා. පස්සේ හිතද්දි මට පුදුමත් හිතුණා ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ හයියයි, හිතුවක්කාරකමයි ගැන.
තෙහෙට්ටුවයි, හිතේ කලබ්බලෙයි, කෝච්චියේ ඒකාකාරී සද්දෙයි නිසා නින්ද ගිය මට ආයේම ඇහැරුණේ නාවලපිටියත් පාස් වෙලා. අන්තිමේදි කොහොමින් කොහොමින් හරි කෝච්චිය හැටන් වලට ලං වුණා. ඒක හැටන් station එකේ නැවැත්තුවාම මම ලොකු හුස්මක් අරන් කෝච්චියෙන් බැස්සේ, භූපගේ address එකයි, ෆෝන් නම්බර් එකයි ලියපු කොලේ අතේ ගුලි කරගෙන. මම ඉස්සරහට ඇවිදගෙන ඇවිත් පාලම් පඩිපෙල නගින්න උඩ බලද්දි එතන උඩ හිටගෙන යන එන මිනිස්සු අතරේ මාව හොයමින් උන්නු කෙනා දැක්කම මම උන්නු තැනම ගල් ගැහුණා. ඒක මම කොහොමටවත් බලාපොරොත්තු වුණ දෙයක් නොවුණ නිසා. ඒ ඇස් දෙක මා ලඟ නැවතුනෙත් එවෙලෙම වගේ. ඔහු ඊලඟට මා දිහාට දුවගෙන ආවේ මිනිස්සු දෙතුන්දෙනෙක්ගේ ඇඟෙත් හැපෙමින්. ඒත් ඒ  ඇස්වල තිබුණේ මම කවදාවත් දැකලා නොතිබුණ තරමේ නපුරුකමක්.
"අනුක්..."
"එනවා යන්න" අනුක් මගේ අතකින් රිදෙන තරම් හයියෙන් අල්ලගෙන මාව ඇදගෙන වගේ පඩිපෙල නැගගෙන ස්ටේෂන් එකෙන් එලියට යනකල්ම ගියේ තරහින් පුපුර පුපුර වගේ. station එකෙන් පිටත ඔහුගේ වාහනේ නවත්තලා තිබුණා. ඔහු දොර ඇරලා මාව සීට් එකට තල්ලු කලා.
"ඔයා...ඔයා ආවේ මොකටද? අනුක්… ඇයි මෙහෙම ලෙක්චර්ස් කට් කරගෙන ආවේ?"
"කතා කරන්න එපා. මට තමුසෙට දෙන්න පුලුවන් කම්මුල රත් වෙන්න එකක්...මොන මගුලක්ද මේ කරන්නේ? මගේ ඇඟේ ලේ නැතුව මම ආවේ. තමුසෙ දන්නවද මම නාවලපිටිය පාරේ ආවේ සීයට... මෙච්චර ගින්දර දෙන්නේ ඇයි දුලාරා? මට විතරක් නෙවෙයි නේ... දැන් ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා වෙයිද?" අනුක්ට ඒ තරම් තරහා ගිහින් තියෙනවා මම කවදාවත් දැකලා නෑ.
"මට භූප බලන්න ඕන"
"මොලේ හොඳ නැද්ද තමුසෙගේ. මේ නොදන්න ගමකට ඇවිත්, තනි කෙල්ලෙක් කොහොමද එහෙම හොයන්නේ? දුලාරා මම කීපාරක් කිව්වද හිතට ආපු පලියට වැඩ කරන්න එපා කියලා. දැන් බලනවා වෙලාව කීයද කියලා. දොලහටත් ලඟයි. දැන් ආපහු යන්නේ කොහොමද? ඒව හිතුවේ නැද්ද? බැරිවෙලාවත් භූප කොහේ හරි ගිහින් නම්? මොනාද තමුසේ කරන්නේ? කියනවා?"
"මම එච්චර දුර හිතුවේ නෑ"
"my foot!!"
"ඔයා ආවේ මට බනින්නද?" බැරිම තැන මම ඇහුවා. මම උන්නේ අඬන්න ඔන්න මෙන්න.
"බනින්න නෙවෙයි ගහන්නයි ඕන කරන වැඩ වලට"
"බැනලා ඉවරනම් මට යන්න දෙන්න" මම එහෙම කිව්වම අනුක් සුසුමක් හෙලුවා.
"මගෙන් තව මුකුත් අහගන්න එපා...දැන් භූප ඉන්න තැන දැනගෙනද නටාගෙන ආවේ?"
"ඔව්"
ඔහු ඒ පාර මා දිහා බැලුවේ පුදුමයකින් වගේ.
"කොහොමද දැනගත්තේ?"
"මම කේතකීගෙන් ඉල්ලගත්තා"
අනුක් හිස වැනුවා එපා වෙලා වගේ.
"දුලාරා...ඔයාට නම් පොඩ්ඩක්වත් මොලේ නෑ. address එක දන්නවා නම් අපට වෙන ඕන වෙලාවක භූප හොයාගෙන එන්න තිබුණා. මම ඔයාව එක්ක එනවා. ඒත් මේ ඔයා කරපු වැඩේ බලන්න. දැන් අනිද්දා චේතිය අයියලා එහේ එනවා. අද දැන් කොහොමද හවස් නොවී ගෙදර යන්නේ? ගිහින් මොනාද කියන්නේ?"
"මං දන්නෑ අනුක්"
අනුක් ආයෙම සුසුමක් හෙලුවා.
"කෝ දෙනවා මෙහේට"
"මොකක්ද?"
"අර මගුල් address එක"
අනුක්ගේ තරහා අවුස්සන්න බැරි නිසා මම ඒක ඔහුගේ අතේ තිබ්බා.
"දැන් ඉතිං මොනා කරන්නද? ආපු එකේ හම්බෙලාම යනවා ඇරෙන්න. මම දන්නෑ මේ තැන කොහේ තියෙනවාවත්ද කියලා"
අනුක් කියාගත්තේ තමන්ටම වගේ. මම කට වහගෙන උන්නා. අනුක් මාව හොඳටම පුදුම කලා වුණත්, මට නරකම විදියට බැන්නා වුණත් ඔහු මා එක්ක ඉන්න එක පුදුමාකාර හයියකින්, ආරක්ෂාසහගත හැඟීමකින් හිත පුරවලා තිබුණා. මට ඔහු එක්ක තරහා නොගියේ ඒ නිසා වෙන්න ඇති.
හැටන් ටවුමේ තැන් ගොඩකින් අහගෙන අහගෙන අපි අන්තිමට යන්න පිටත් වුණේ කාසල්‍රී පැත්තට. අනුක්ට ඔහේ මාව අරන් යන්න ඉඩ දීලා මම ඔහේ උන්නා. පොඩි බඩගින්නක් දැන් දැන් දැනෙමින් තිබුණත් කන්න තරම් උවමනාවක් මට තිබුණේ නෑ.
"උදේ කීයටද ආවේ?" අනුක් ඇහුවේ මම ඔහේ පහුවෙන තේ වතු දිහා බලාගෙන ඉද්දි.
"පහමාරට විතර"
"කෑවද?"
"නෑ..කන්න බෑ"
"ඒ පාර පිස්සු මදිවට නොකා මැරෙන්නද යන්නේ?"
එහෙම කියපු අනුක් අතරමග තිබුණ පුංචි පෙට්ටි කඩේකින් මට බිස්කට පැකට් එකකුයි කෙසෙල් ගෙඩියි අරන් දුන්නේ බැන බැනමයි. කාලා පන ඇතුව ඉන්න ඕන නිසා මම අමාරුවෙන් වුණත් පොඩ්ඩක් කෑවා.
"ගෙවල්වල මොන තත්වයක් ඇත්ද කියලා මට නම් හිතද්දිත් බයයි. අනේ ඇත්තටම දුලාරා ඔයා නම් මොන විදිහේ කෙල්ලෙක්ද කියලා මට තේරෙන්නේ නෑ. මෙච්චරම හිතුවක්කාරකමක්!"
"මට බනින්න එපා අනුක්" මම කිව්වේ ආයාචනාත්මකව.
ඒ පාර අනුක් මා දිහා බැලුවේ අනුකම්පාවකින් වගේ.
"ඔයාමයි මට කිව්වේ හරි තීරණේ ගන්න කියලා"
"ඉතිං...මේකද ඒ තීරණේ?"
"මම භූප එක්ක නවතින්න ආපු ගමනක් නෙවෙයි. අම්මලා ඒකට අකමැති නම් මම ඒක කරන්නේ නෑ. ඒත්...මං තීරනේ කලා. මම චේතියව බඳින්නෙත් නෑ..."
"මොකක්?"
"මං කියන්නේ ඇත්තටම"
අනුක් මා දිහා වරින් වර බැලුවේ පුදුමෙන් වගේ. දැන් දැන් මීදුමෙන් වැහෙන්න පටන් ගත්තු තේ වතු සමූහය දිහා මම බලාගෙන උන්නේ හැඟීමකින් තොරව.
"ආ... මෙතන තමයි ගමේ නම නම්…මෙතනින් නවත්තලා කාගෙන් හරි අහමු" ඒ අතරේ අනුක් භූප ඉන්න දිහාට යන පාර හොයාගෙන.
අනුක් මීදුම අස්සෙම පොඩි කඩ මණ්ඩියක් ලඟින් බැහැලා පාර හරියටම අහගන්න තව වෙලාවක් ගියේ එතනින් ගිය අය උන්නෙම නැති තරම් නිසා. ඒ අතරේ පුංචි වැස්සකුත් වහින්න පටන් ගත්තා.
"මෙතනින් උඩට යන්න ඕනලු. ක්වාටස් එකක් කිව්වා.. ගිහින් බලමු" අනුක් හිසට අත තියාගෙන දුවලා ඇවිත් වාහනේට නැගලා කිව්වේ එහෙම.
වල ගොඩලි වලින් ගහණ වෙච්ච ගුරු පාර දිගේ වාහනේ හෙමි හෙමින් උඩට ඇදෙද්දි මට දැනුනේ ලොකුම ලොකු චකිතයක්. බඩත් කැලතෙනවා වගේ හැඟීමක් මට දැනෙමින් තිබුණා. දැන් භූප දැක්කම ඔහු මොන විදියට ප්‍රතිචාර දක්වයිද, මම මොනා කරයිද කියන එක මට හිතාගන්නවත් බැරි වුණා. අන්තිමේදි අනුක් කන්දේ මගක, වැල් රෝස මල් ගාලකින් වටවුණ පොඩි ගෙයක් ලඟ වාහනේ නැවැත්තුවා.

Monday, June 23, 2014

හැට අටවන කොටස



"මම නුවර ගිහිං ඔයාට ආපහු කතා කරන්නම්. මේ...එක එක දේවල් ගැන වැඩිය නොහිතා ඉන්න බලන්න. හිටි ගමන් emotional වෙලා පිස්සු වැඩ කරන්න එහෙම යන්න එපා. මම දන්නවනේ ඔයාගේ හැටි. මොනාටම හරි ඕන වුණොත් මට කතා කරන්න...හරිද? බ්‍රහස්පතින්දා මට එන්න වෙන්නේ නෑ. කැම්පස් එකේ වැඩනේ. ඒත් මම කෝල් කරන්නම් හරිද?"
කලින්දා ගෙදර එන්න ටිකක් හවස් වුණ හන්දයි, මං මොනා කරයිද කියන එක ගැන වැඩි විශ්වාසයක් අනුක්ගේ හිතේ නොතිබුණ හන්දයි ඔහු ආපහු නුවර යන්න ලෑස්ති වුණේ පහුවදා උදේ. යන්න එලියට බැහැලා ඔහු මට අවවාදයක් දුන්නම මම හිස වනලා ඒක පිලිගත්තේ අවංකවම.
"වෙන දේවල් ඉවසගෙන ඉන්න බලන්න. කුඩප්පච්චිලා ආවා කියලා ඊලඟ දවසේ කසාද බඳින්නේ නෑනෙ. ඒ නිසා ප්ලීස්, ඉවසලා ඉන්න" අනුක් ආයෙම කිව්වා.
"හරි අනුක්...ඔයා දැන් පරෙස්සමින් යන්නකෝ" මම කිව්වේ ඔහු යන එක ගැන සියුම් දුකක් හිතේ පැතිරෙද්දි.
ඔහු මොහොතක් මා දිහා බලාගෙන උන්නෙත් දුකෙන් වගේ. ඒත් ඊලඟට එතනට අපේ අම්මයි, තාත්තයි ආපු හන්දා අපේ කතාව එතනම නතර වුණා. අනුක ඒ දෙන්නට වැඳලා යන්න පිටත් වෙද්දි තාත්තා මග දුරක් ඔහු එක්කම ගියා.
"අපරාදේ කියන්න බෑ, චේතිය ළමයගේ නෑදෑයොත් ඒ ළමයා වගේම හොඳයි" මට එහා පැත්තේ උන්නු අම්මා කිව්වේ අනුක් ගැන පැහැදීමෙන්. ඒත් ඒකේ ලකුණුත් බාගයක් වැටුණේ චේතියට.
"හ්ම්" මම එහෙම කියාගෙන ගෙට එන්න ආවා.
යාන්තම් දවල් වීගෙන එද්දි, ආච්චි අම්මයි, නැන්දලයි, සෙනුරි අක්කයි සේරමල්ල අපේ ගෙදර ඇවිත් පිරුණේ ලඟ ලඟ එන විශේෂ දවස ගැන කතා කරන්න. මම මේ දේවල් ඉවසගෙන උන්නේ අමාරුවෙන්. හැමවෙලේකම මගේ හිතේ වැඩකලේ භූප ගැන සිතුවිලි ගොඩක් විතරයි. කේතකී කියපු දේවල් මතක් වෙද්දි හිත කීරි ගැහුණා ආයෙ ආයෙත්. මම නිසා භූප තාමත් විඳවනවා ඇති කියලා හිතද්දි මට දහස් වාරයක් හිතුණා කෑ ගහලා අඬන්න. පුබුදු අයියා මොනා කිව්වත් භූපව අමතක කරලා අලුත් ජීවිතේකට හැඩගැහෙන්න මට පුලුවන්කමක් තිබ්බේ නෑ. ඒත් කරන්න ඕන මොකක්ද කියන එක ගැන හිතේ තිබ්බේ මහා පටලැවිල්ලක්.
ඒත් හැමදේම වෙනස් වෙන්න හේතු වුණේ එකම එක ෆෝන් කෝල් එකක් විතරයි. අඟහරුවාදා හවස මම ලොකු අයියගේ පැංචි එක්ක සෙල්ලම් කර කර ඉද්දි, ලොකු නැන්දගේ දුව කාමරේට එබුණේ මට කෝල් එකක් කියාගෙන. මම පැංචිව ඈ අතට දීලා සාලෙට ගියේ ඒ කවුරු වෙන්න ඇතිද කියලා හිතමින්. මොකද එවෙලේ චේතියයි, අනුකුයි දෙන්නම මට කතා කරලා ඉවර වුණ විතරයි.
"හෙලෝ..."
මම කතා කලත් එහා පැත්තෙන් හඬක් ඇහුණේ නෑ.
"හෙලෝ...හෙලෝ..."
මම ආයෙම කතා කලා. ඒත් හඬක් ආවේ නෑ. මම ෆෝන් එක තියන්න හදද්දිම වගේ මට ඇහුණා එහා පැත්තෙන් සුසුම් හඬක්.
"හෙලෝ...කවුද මේ?" මම ආයෙම ඇහුවා.
"කවුද අනේ?" එතනින් යන්න ආපු සෙනුරි අකා ඇහුවේ මම කීප පාරක් හලෝ හලෝ ගාපු නිසා.
"අනේ මන්දා...කවුරුත් කතා කරන්නේ නෑ අක්කා" මම එහෙම කියලා ෆෝන් එක තියලා මගට එද්දි ආපහු ෆෝන් එක නාද වුණා.
"හෙලෝ..." මම ආයෙම කතා කලා. ඒත් තවමත් ඇහුණේ සුසුම් හඬක් විතරයි.
"හෙලෝ කවුද අනේ මේ? ඇහෙනවද?" මම ඇහුවා. ඒත් ඇහුණේ හුස්ම ගන්න හඬ විතරමයි.
"අනේ මන්දා කවුද කියලා..." මම එහෙම කියලා ෆෝන් එක තියන්න යද්දිම,
"දුලාරා..." එහා පැත්තෙන් ඇහුණේ රහසින් වගේ. ඒ හඬ අඳුනගන්න මට තප්පරයක්වත් ගියේ නෑ. ඒ එක්කම මට දැනුණේ පණනැති ගතියක්. ලඟ තිබ්බ පුටුව මම අල්ලගත්තේ එකයි.
"භූප...?"
"ඔව්..." ඔහු එහෙම කිව්වම ඇස් වලට කඳුලු පිරුණේ ඇසිල්ලකින්.
"ඔයා...ඇ...ඇයි... කොහොමද..."
"කතා කරන එක කරදරයක්ද?" ඔහු ඇහුවම හිත කීරි ගැහිලා යනවා මට දැනුනා.
"නෑ...තියන්න එපා. කතා කරන්න ඕන මට" මම කිව්වේ ඉක්මණට.
ටික වෙලාවක් යනකල් ආයෙම භූප කතා කලේ නෑ.
"භූප..."
"මං ඉන්නවා...මං අහගෙන ඉන්නේ"
"ඔයා මේ කොහෙද ඉන්නේ භූප?"
"ඔයාගෙන් ගොඩක් දුර..." ඔහු කිව්වම මගේ හිත පෑරුණා ආයෙම. මම මුනිවත රැක්කේ කථා කලොත් ඇඬේවි කියලා මට හිතුණ නිසා.
"මං කතා කලේ ඇයි කියලා අහන්නේ නැද්ද?" භූප ඇහුවා.
"ඇයි කියලා මම දන්නවා..." මම කිව්වේ හෙමින්.
එතනින් ආපහු යන්න ගිය සෙනුරි අක්කා මා දිහා උවමනාවෙන් බලාගෙන යනවා මට පෙනුනා.
"දන්නවා?"
"ඔව්"
භූප ආයෙම සුසුමක් හෙලුවා. "කියන්න"
"මට ආදරේ නිසා..." මම රහසින් වගේ කිව්වේ උගුර රිදුම් දෙද්දි.
භූප හුස්ම පහල හෙලන හඬ මට ඇහුණා හොඳින්ම. ඉන් පස්සේ ඔහු උන්නේ ගොලු වෙලා.
"එහෙම නෙවෙයිද?" මම ඇහුවේ ඒකයි.
මට ඇහුණේ භූප හුස්ම ගන්න හඬ විතරමයි.
"භූප..."
"හ්ම්ම්"
"එහෙම නෙවෙයිද කියලා කියන්න?"
"නෑ..." භූප කිව්වම මාව ගැස්සුනා.
"නෑ?"
"කතා කලේ ඒ නිසා නෙවෙයි..."
"එහෙනං?" මම ඇහුවේ කඳුලක් කම්මුල දිගේ බේරෙද්දි.
"සුබ පතන්න...අලුත් ජීවිතේට"
"ඒක..."
"මං දන්නවා. කොහොමද අහන්න එපා"
භූප කිව්වා. මම අල්ලගෙන උන්නු පුටුවෙම වාඩි වුණා.
"ඒත්....මට ඉරිසියයි දුලාරා..." භූප කිව්වෙ මම මුකුත් ආපහු කියන්න කලින්. ඒ හඬේ ඒ පාර තිබ්බේ ආවේගෂීලි බවක් කියලා මට හිතුණා. මම ඉකි ගැහෙන එක වලක්වගෙන උන්නේ අමාරුවෙන්.
"භූප..."
"ඉරිසියයි...ඒ ආදරේ නිසා..."
ඒ පාර මට තවත් හැඬුම නවත්තගන්න පුලුවන් වුණේ නෑ. මම එක අතකින් ඇස් දෙක වහගෙන ලඟ තිබුණ වීදුරු කබඩ් එකට හිස වාරු කරගත්තේ කවුරුහරි දකීවි කියලා.
"අනේ අඬන්න එපා මැණික..."
 මට ඒ හඬ ඇහෙන වාරයක් පාසා තව තව ඇඬුනා.
"අඬන්න එපා...ඔයා සතුටින් ඉන්නයි මට ඕන. කතා කලේ හිත රිද්දන්න නෙවෙයි...ඔයා තවත් දුක් ගත්තොත් මාව පිස්සෙක් වෙයි දුලාරා. මම ඔයාට දීපු දුක් හන්දා තවත් මං විඳවනවා"
"ඔයා මට දුකක් දීලා නෑ භූප..."
මම එහෙම කිව්වම භූප ආයෙම මොහොතකට ගොලු වුණා.
"මං තියන්නම් දුලාරා" භූප එහෙම කියද්දි ඒ හඬ තිබ්බේ වෙනස් වෙලා.
එපා කියන්නවත් මට කතා කරන්න පුලුවන් වුණේ නෑ. මං උන්නේ හොඳටම දුකෙන් පරිපීඩිත වෙලා.
"තියන්න එපා..." මම කිව්වේ හැඬුම් අතරින්මයි.
"පරෙස්සමින් ඉන්න, හොඳින් ඉන්න...කතා කලේ අඬවන්න නෙවෙයි...සත්තකින්ම ඔයාට සුබ පතන්න. ඔයා සතුටින් ඉන්න ඕන...එච්චරයි"
මම කියපු දේ නෑහුණා වගේ භූප කිව්වේ එහෙම ගැස්සෙන හඬකින්. ඔහු උන්නෙත් හැඬුම්බර වෙලාද?
"භූප..."
"ඔයාට බුදු සරණයි මගේ මැණික"
ඒ වචන පෙල හීනෙන් වගේ ඇවිත් මගේ සවනේ හැපෙද්දි මම උන්නේ ගල් ගැහිලා වගේ. භූප ෆෝන් එක තියන හඬ ඇහිලා විනාඩියක් විතර යනකලුත් මම උන්නේ රිසීවරේ කනේ තියාගෙන.
"දෝණි..."
මම පියවි සිහියට ආවේ මගේ පිටිපස්සෙන්ම ඇහුණ තාත්තගේ හඬට. ඒ එක්කම ගැස්සුන මම අවසිහියෙන් වගේ රිසීවරේ තියලා, එහෙන් මෙහෙන් කඳුලු පිහගෙන තාත්තා දිහාට හැරුණා.
"කවුද කතා කලේ?" තාත්තා ඇහුවම මම පත් වුණේ ලොකු අපහසුතාවයකට.
"මේ...මේ...යාලුවෙක්"
"යාලුවෙක්?"
"ඔව්...  මේ කැම්පස් එකේ"
මම එහෙම කිව්වම තාත්තා මා දිහාට හෙලුවේ සැකමුසු බැල්මක්. මගේ වෙලාවට එවෙලේ නැන්දගේ දුව බබාවත් වඩාගෙන එතනට ආවා.
"ඔයාගේ කටහඬ ඇහුණම උඩ පනිනවා මේක" නැන්දගේ දුව කිව්වේ මගේ අතට පනින්න දඟලන පැංචිව පෙන්නලා ආදරෙන්. ඒ පාර තාත්තගේ මූණේ ඇඳුනෙත් හිනාවක්.
"එන්න පැටියෝ" මම පැංචිව අතට අරන් එතනින් එන්න ආවේ ආයෙම තාත්ත මුකුත් අහන්න කලින්.
ඒත් මට තේරුණා තාත්තා මාව සැක කරපු වග. මට ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ. හිත තිබුණේ යකාගේ කම්මල වගේ කලබල වෙලා. භූප කතා කරපු එක හිතේ යටපත් වෙලා තිබ්බ දුක, ආවේග මේ සේරම ඇවිස්සිලයි තිබුණේ. එවෙලේ භූප තරම් මට ඕන කරපු වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. ඔහුගේ ආදරේ වෙනස් වෙලා නැති වග මම විශ්වාස කලා වගේම මට ප්‍රත්‍යක්ෂ වුණා. මට මතක් වුණේ අනුක් කියපු දේවල්. ඊලඟත චේතිය කරපු කියපු දේවල්. ඊලඟට කේතකීගේ, එයාගේ අම්මගේ තාත්තගේ දුක පිරුණ මුහුණු...අන්තිමට දකිද්දි ලේ පෙරාගෙන උන්නු භූපගේ මූණ, ඒ ඇස් දෙක...මම හුස්මක් උඩට ගත්තේ ආයෙම ඇඬේවි කියලා හිතුණ හන්දා. ඒත් එවෙලේ එක පාරටම එලියක් පත්තු වුණා වගේ මම කරන්න ඕන මොකක්ද කියන එක මට පැහැදිලි වුණා. ඒක ලොකු තීරණයක් වුණත්, හිත පුදුමාකාර විදියට හිතුවකාර වෙලයි තිබුණේ. මට ඕන වුණේ හිතුණ දේ කරන්න විතරයි.

"අම්මෙ..." රෑ කෑම කන අතරේ මම අම්මට කතා කලේ ගැහෙන හිතිං.
"ම්ම්?"
"හෙට..මේ..මම කැම්පස් එකට ගිහිං එන්න ඕන"
"හදිසියෙම?" එහෙම ඇහුවේ තාත්තා.
"ඔව්. අර යාලුවෙක් කතා කරලා කිව්වේ. මගේ project එකේ වැඩකට. දැන් සේරම ඉවර කරලා බාරදෙන්න ඕන නේ. ඒ ගමන්ම හොස්ටල්, ලයිබ්‍රි clearance ගන්නත් ඕනේ. ඒකයි"
මම කිව්වේ තාත්තා දිහා නොබලා. එච්චරම ලොකු බොරුවක් මම කවදාවත් ගෙදරට කියලා තිබුණේ නෑ. ඒත් මම එහෙම කලේ අම්මලව රිද්දන්න, රවට්ටන්න නෙවෙයි. කවදකහරි අපි හැමෝම පසුතැවිලි වෙන එක වලක්වගන්න ඕන හන්දයි.
"හ්ම්. එහෙනමන් ඉතිං මොනා කරන්නද? ගිහිං එන්න වෙනවනේ. අනේ මන්දා අනිද්දට අර මිනිස්සු එනවා. කරන දෙයක් කරගෙන එහෙනම් ඉක්මණින් එන්න බලන්න. ඔයා චේතියට කිව්වා නේද?" අම්ම ඇහුවා.
"එයාට ඔක්කොම කියන්න ඕනයැ" මම කිව්වේ නොමනාපෙන්.
තාත්තා මදහිනාවක් පෑවා මිස මුකුත් කිව්වේ නැ.
"අනේ මංදා ඔයා. මොනා කරත් කමක් නෑ, මේ ගෙදර එන්න ඔන්න මෙන්න අල්ලපනල්ලේ ඒ ළමයා එක්ක රණ්ඩු හෙම ඇදගන්නවා නෙවෙයි" අම්මා කිව්වා.
මම මුකුත් නොකියා උන්නේ ආයෙම අම්මගෙන් බැනුම් අහන්න ඕන නැති හන්දා. හිතේ තිබ්බේ බර ගතියක්. ඒත් හිත කිව්වා මම කරන්නේ හරි දේ කියලා.
****
"ආ... ඇහැරුණාද? තේ එකක් හදන්නද?"
මම උදේ පාන්දරම ඇහැරලා කුස්සියට යද්දි උදේට උයන්න ලෑස්ති කරමින් උන්නු අම්මා ඇහුව්වෙ මා දිහා බලන ගමන්.
"මං හදාගන්නම් අම්මා"
"එහෙනම් තාත්තටත් එක්කම හදන්න" අම්මා කිව්වේ හාල් හෝදපු වතුර එක පිළිකන්නට විසි කරන්න යන ගමන්. මට සුසුමක් හෙලුණේ ඉබේටම.එලියෙ නිවිති මැස්සෙන් කොල මිටක් කඩාගත්තු තාත්තාත් පිලිකන්නෙන් කුස්සියට ගොඩ වුණා මෙවෙලේ.
"කීයේ කෝච්චියේද යන්නේ?" තාත්තා කොල මිට නෑඹිලියට දාලා ඇහුවා.
"මේ..පහමාරේ ගම්පහට ගිහින් එහෙන් හයාමාරේ යන්වා. එහාට යද්දි කොහොමත් නවය විතර වෙයි" මම කිව්වේ තාත්තා අතට තේ එක දෙන ගමන්.
"හ්ම්. කෑම එකක් අරගෙන යන්න" තාත්තා කිව්වම හිතේ ඇතිවුණේ දුකක්.
"ඕන නෑ. ගිහින්ම කනවා තාත්තේ"
මට ඒ මූණ බලන්න බැරි කමක් දැනුනා. හිතේ තිබ්බේ වරදකාරී හැඟීමක්. ඒත් භූප වෙනුවෙන් හිතුවක්කාර වුණ හිත ඒ සිතුවිල්ල යටපත් කලේ ඉක්මණින්.  මම තේ එක අරන් ඉස්තෝප්පුවට ආවේ තාත්තා ආයෙම මොනවත් අහයි කියන බයට.
මූණ හෝදගෙන ලෑස්ති වෙලා, ෆෝන් එක බෑග් එකට දා ගනිද්දි මම ආයෙම කල්පනා කලා මම මේ කරන්න හදන දේ හරිද කියලා. හිත කිව්වෙම ඒක කරන්න කියලා විතරයි.
"දෝණි...මේ සල්ලි ටිකත් අරගෙන යන්න" මම කාමරෙන් එලියට එද්දි මගේ ලඟට ආපු අම්මා මට දාහේ කොල පහක් දුන්නම හිතේ වරදකාරී හැඟීම ආයේම් උත්සන්න වුණා.
"සල්ලි තියෙනවා අම්මා"
"කමක් නෑ. මේකත් අරන් යන්න උවමනාවක් වුණොත් බැංකු ගානේ ඇවිදින්න ඕන නෑනෙ එතකොට"
එහෙම කියලා අම්මා බලෙන්ම සල්ලි මගේ බෑග් එකේ එබුවා. මම හැඟීම් පාලනය කරගෙන උන්නේ අමාරුවෙන්. අම්මටයි, තාත්තටයි වැඳලා ගෙදරින් එලියට බැහැලා එද්දි මට ආපහු පිටිපස්ස බැලුණා. අම්මයි තාත්තයි ඉස්තෝප්පුවට වෙලා මම එන දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට ආයෙම ගෙදර දුවන්නත් හිතුණා. ඒත් ආපහු භූප මතක් වෙද්දි මම කරන්න අදහස් කරපු දේ කරන්නම මට ඕන වුණා. මම ස්ටේෂන් එකට ඇවිදගෙන ආවේ මගේ හිත මා එක්කම තර්ක කරද්දි. ස්ටේෂන් එකෙන් මම ගම්පහ කෝච්චියට නැග්ගේ හිතේ දෙගිඩියාවෙන්. කෝච්චිය අද්දලා යද්දි එක වෙලාවක මට හිතුණා ගම්පහින් බැහැලා ආයෙම ගෙදර එන්නත්. ඒත් හිත කිව්වෙම හැමදේම විසඳගන්න ආයෙම දවසක් එන එකක් නෑ කියලා. මම ගම්පහින් බැහැලා ටිකට් කවුන්ටරේට ගියෙත් ගැහෙන හිතින්.
"හැටන් වලට එකක්. Second class"
දෙපාරක් නොහිතම මම ටිකට් එක අරගෙන එතනින් ඉක්මනින් එන්න ආවේ අඳුරන කෙනෙක් දකින්න කලින්.