Friday, May 25, 2012

හතලිස් පස්වන කොටස


"ලෙඩාට සිහිය එනවා වගේ..."
කවුදෝ ඇවිත් එහෙම කියනවා ආන්යට ඇහුණේ හීනෙන් වගේ. ඈ යන්තමට පියවීගෙන ගිය ඇස් දෙක ඇරලා වටපිට බලද්දි ආර්යන්, රෝහලේ හෙදියක් එක්ක කතා කරමින් ඉන්නවා ආන්යට පෙනුනා.
"එන්න" ආර්යන් ආන්යට කතා කලා.
ආන්යා උන්නු තැනින් නැගිටේ හදිසියෙන්. ආර්යන් පස්සේ ඈ ගියෙත් ඒ හදිසියෙන්මයි. ඒ අභීගේ මූණ බලන්න, ඔහු ඇස් ඇරලා ඉන්නවා බලන්න ඈට ඕන වුණ නිසාමයි.
"අ...මිස්...ලෙඩා ඉන්නේ අයි.සී.යූ. නිසා මිස්ට ඔහොම ඇතුලට යන්න දෙන්න නම් විදියක් නෑ. සර් විතරක් යන්න" ICU එකේ දොර ලඟදි ආන්යව නවත්තපු හෙදිය කිව්වාම ආන්යා එතන ඉද්ද ගැහුවා වගේ නැවතුනේ ආයෙම ඇස් වලට කඳුලු උනද්දි. ආර්යන් ඈ දිහා බැලුවේ අසරණව.
"කමක් නෑ ඔයා යන්න. මට පස්සේ යන්න පුලුවන් නේ..." ආන්යා කිව්වේ ඇඬුම් වලකගන්න උත්සාහ කරමින්.
ආර්යන් ආයෙම ලොකු සුස්මක් හෙලලා ICU එකේ දොර ලඟට යද්දිම ආන්යා ආපහු ඔහුට කතා කලා.
"ආර්යන් අයියා...එයාට කියන්න මං ඇවිත් ඉන්නේ කියලා...මම මෙතන ඉන්නවා කියන්න...මෙතන" ආන්යගේ හඬ බිඳුණා.
ආන්යා කම්මුල් තෙමපු කඳුලු පිහිද්දි, එතන උන්නු හෙදිය ඈ දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ.
"මොනා කරන්නද මිස්...පුලුවන්කමක් තිබ්බා නම් කොහොමහරි ලෙඩා බලන්න යන්න දෙනවා. ඒත් ඉතින් ඔහොම ගියාම ලෙඩාටමනේ හොඳ නැත්තේ..." හෙදිය කියද්දි ආන්යා අහගෙන උන්නා විතරයි.
"මිස් ලෙඩාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද?" ඒ හෙදිය ඊලඟට අහද්දි ඇතුලුවෙන දොර ලඟ උන්නු ආර්යනුත් හැරිලා බැලුවා.
"ඔව්" ආන්යා අඬ අඬම හිස වැනුවා.
ඊටපස්සේ හෙදිය එක්කම ආර්යන් ඇතුලට යන හැටි ආන්යා බලාගෙන උන්නේ දොරෙ මැද තිබුණ ඇතූල පෙනෙන වීදුරු රවුම ඇතුලෙන්. තවමත් සට සට ගාලා ඇගේ කඳුලු වැටෙමින් තිබුණා.
රවුම ඇතුලෙන් ඈට පෙනුනේ, සුදු රෙද්දකින් පපුව දක්වා වහපු අභීගේ සිරුර විතරයි. ඇඳ වටේට විවිධාකාර මැෂින් ගොඩකුත්, ලේයි, සේලයිනුයි දෙන්න සකසපු උපකරණයකුත් ආන්යට පෙනුනා. ඔක්සිජන් මාස්ක් එකක් පලන්දලා උන්නු අභීගේ මූණ ආන්යට හරියටම පෙනුනේ නෑ.
විනාඩි දෙක තුනකට පස්සේ, ආර්යනුයි, හෙදියයි දොර දිහා හැරිලා බලනවා ආන්යට පෙනුනා. ඒත් අභී ඈ දිහ බැලුවද නැද්ද කියලා ඈට නොපුනුනේ ඔහුගේ හිස තවමත් නොසෙල්වී කොට්ටය උඩම තිබ්බ නිසයි. ඊටත් විනාඩි කීපෙකට පස්සේ ආර්යන් ආපහු එලියට ආවේ රතු කරගත්තු ඇස් වලින් යුතුව. ආන්යා ඇස් දල්වගෙන ඔහු දිහා බලාගෙන උන්නේ ඔහු මොනවද කියන්නේ අහන්න.
"අභීට හොඳටම සිහිය ආවද?" ආන්යා ඇහුවා.
"හ්ම්" ආර්යන් හිස වැනුවා.
"ඉතින්?"
"වුණ දේවල් හරියටම මතක නෑ වගේ.ඒත්..." ආර්යන් මොහොතක් ගොලු වුණා.
"ඒත්?"
"සිහිය එද්දි කතා කලේ මීනුට"
ඇසිල්ලකින් ආන්යගේ ඇස් ආයෙම කඳුලින් බර වුණා. ඈ අතින් කට වහගත්තා.
"ඔයා ඇවිත් ඉන්නවා කියලා මං එයාට කිව්වා..."
"ඉතින්?"
"ඔයා හෙට බලන්න ඒවි කියලා මම කිව්වා. එයා ඔයාව ඈත තියා නම් දකින්න ඇති අපි පෙන්නුවාම"
"එයා මා එක්ක තරහා නැද්ද ආර්යන් අයියා?"
"ආදරේ කරන කෙනෙක් එක්ක තරහා වෙන්න කටවත් බෑ ආන්යා...එයා තරහා නම් සිහිය එද්දිම ඔයාව අහන්නේ නෑනෙ"
"හ්ම්" ආන්යා හිස වැනුවා.
"දැන් අපි ගෙදර යමු. නර්ස්ලයි, ඩොක්ටර්ස්ලයි අභීව දිගටම බලයි. අපි හෙට උදේ ආයෙම එමු"
"හ්ම්" ආන්යා ආයෙම ICU එක දිහා එක පාරක් හැරිලා බලලා ආර්යන් එක්ක එලියට එන්න ආවා.
ඒ එද්දිම වාට්ටුවේ කොරිඩෝව දිගේ තවත් කවුදෝ හදිසියෙන්ම දුවගෙන එනවා මේ දෙන්නතම පෙනුනා. වාට්ටුවේ ලයිට් එලිය තිබුණ තැනත එද්දියි ඒ කවුද කියලා දෙන්නම හරියටම දැක්කේ.
"අප්පා?"
දුවගෙන එමින් උන්නේ ආර්යන්ගේ අප්පයි, අම්මයි.
"ආරු..යෙංග අභී? ඉන්ග යෙන්න නඩන්දදද? ශර්මිලා ඔරු ඇක්සිඩන්ට්න සොන්නා (ආරු, කෝ අභී? මෙහේ මොකද වුණේ? ශර්මිලා ඇක්සිඩන්ට් එකක් ගැන කිව්වා )...මනී මහත්තයා ඇහුවේ හති දමමින් වගේ. ආර්යන්ගේ අම්මගේ මූණේ තිබ්බේ වෙහෙසිලා වගේ පෙනුමක්.
"ඉප්ප එල්ලම් සරි අප්පා..අවරක ඔන්නුම් ඉල්ල...දැන් සිහිය ආවා අම්මා. එච්චර අමාරු නෑ කියලා ඩොක්ට කිව්වා"
ආර්යන් කිව්වා.
"අනේ...මගේ පුතා...දැන් කොහෙද ඉන්නේ?" ආර්යන්ගේ අම්මා ඇහුවේ ඇඬුම්බරව.
"ඔපෙරෂන් එක ඉවරවුණේ දැන් දැන් නිසා තාම ඉන්නේ ICU එකේ. හෙට වෙද්දි වෝඩ් එකට දානවා කිව්වා" ආර්යන් කිව්වාම අනුලා මැඩම් අඬන්න පටන් ගත්තා. මනි මහත්තයාගේ මූණු තව ටිකක් අඳුරු වුණා. ඒ එක්කම ඔහුගේ ඇස් යොමු වුණේ ආන්යා දිහාවට.
"ඉවර් යාර (මේ කවුද )?" මනී මහත්තයා ඇහුවේ ආන්යව මේ තත්වෙන් අඳුනගන්න බැරි වුණ නිසා.
"නම්බ මිස්ට වීරප්පෙරුම උඩය ඩෝටර්. ඉවංග තාන් අප්පා අභී හොස්පිටල් කොණ්ඩුවන්දද (අපේ මිස්ට වීරප්පෙරුමගේ දුව. අභීව ඉස්පිරිතාලේ ගෙනැත් තියෙන්නේ මේගොල්ලෝ)"
"අප්පුඩියා? ඉප්ප වීරේ යෙංග(එහෙමද? දැන් කෝ වීරේ )?"
"කාර් පාක්ල, වේට් පන්නිරික්කිරාර (කා පාක් එකේ බලාගෙන ඉන්නවා)" ආර්යන් කිව්වා.
"අනේ අපි පුතා බලන්න යමු..." අනුලා මැඩම් ඉඳලා ඉඳලා බැරි තැන කිව්වා.
"අපි බලලා එන්නම්. ඔය දෙන්න එලියෙන් ඉන්න අපි එනකල්"

අන්තිමේදි අභීව බලලා ඉස්පිරිතාලෙන් එලියට යද්දි උදේ පාන්දර හතර වෙලා තිබුණා. ආපු හැමෝම ගියේ ආන්යලාගේ ගෙදරට. ඒ වෙද්දිත් අභීගේ පෙරලුණ ජීප් එක ගොඩ අරගෙන තිබුණේ නෑ. නාරදයි, එස්. ඩී. මහත්තයයි, පොලිස් නිලධාරීන් දෙන්නෙකුයි, රක්ෂණ නිලධාරියෝ දෙන්නෙකුයි පඩිපෙල මුල හිටගෙන උන්නා. වාහනේ අදින්න ගෙනාපු ක්‍රේන් එක පාර අවහිර කරමින් නවත්තලා තිබුණා.
තාත්තගේ කැබ් එකේ පිටිපස්සට වෙලා අනුහස්ගේ උරහිසට වාරු වෙලා උන්නු ආන්යා යන්තම් හිස උස්සලා බැලුවේ ජීප් එක පෙරලිලා තිබ්බ දිහාව. ඒක දක්කාම ඇගේ අඟ කිලිපොලා ගියා. ජීප් එකේ රෝද හතරම තිබුණේ උඩට හැරිලා. පීල්ලේ වතුර එකතුවෙන තැන වාහනේ හිරවෙලා තිබුණා. වහල නොපෙනුනත් ඒක සම්පූර්ණයෙන්ම තැලිලා ඇති කියන එක ගැන සැකයක් තිබුණේ නෑ.
"ඒ ඇක්සිඩන්ට් වෙලා තියෙන විදියට අභී බේරුණා පුදුමයි. අපි අභීව එලියට ගත්තේ පුදුම අමාරුවකින්. වහල ඉවරයි..." අභී ඒ දිහාව බලාගෙන උන්නු තාත්තට විස්තර කලා.
"ඒක නේන්නම්, ඒ ලමයගේ මොකක්දෝ වාසනාවකටයි බේරුණේ" තාත්තා කිව්වා.
"ඒ ළමයගේ වගේම අපේ ළමයගෙත් වාසනාව කියන්න. මොනා හරි වුණා නම් අපි මොන හිතකින් මෙහේ ඉන්නද? මේ ළමයගේ දුරදිග නොබලා කරන වැඩ නේ ඕකට හේතු වුණේ" අම්මා කලින්දා දාන්න බැරි වුන දෝස්මුරේ දැන් දාන්න පටන් ගත්තා.
ආන්යා උන්නේ නෑහුණා වගේ. ඒත් අම්මා කියන්නා වගේ බැරිවෙලාවත් අභීට මොනාහරි වුණා නම් තමන්ට මොනවා වෙයිද කියලා ආන්යා හිතන්නත් බය වුණා.
"රූපා...අනේ කරුණාකරලා අපි ඕක ගැන කතා නොකර ඉමුද? දැන් වෙච්ච දේ වුණානේ. අනික, ඇක්සිඩන්ට් වුණේ වාහනේ දෝසෙකින්ද කවුද දන්නේ. ඒ නැතත් එහෙම දෙයක් වෙන්න කියලා මේ ළමයා මුකුත් කලා නෙවෙයි නේ. ඕවා මනී මහත්තයාලට ඇහුනොත් මෙතන තවත් ප්‍රශ්ණයක් වෙයි. දෙයියන්ගේ නාමෙට කට වහගෙන ඉන්න" තාත්තා එහෙම කිව්වාම අම්මා නිහඬ වුණා.
"ඔව්, දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. ඉස්සෙල්ලා මේ කොල්ල සනීප කරගන්න ඕන නේ" එහෙම කිව්වේ අනුහස්. ආන්යා ආයෙම ඔහුගේ උරහිසට හිස තියා ගත්තා.

"මේ කරපු දේට අපි කොහොම, මොනවා කරලා ණය ගෙවන්නද කියලා මම දන්නෑ වීරේ" ගෙදරට ආපු මනී මහත්තයා එහෙම කිව්වේ ගොඩක් හැඟීම්බරව.
"එහෙම කියන්න එපා සර්. අපේ ගෙදර ඇවිත් යද්දි නේ මේක වුණේ. අපි කලේ එවෙලේ ඕනම කෙනෙක් කරන දෙයක්. මෙතනදි ඕක වුණේ අභීගේ මොකක්දෝ පිනකට. අර කැලෑව ලඟදි පෙරලුනා නම් උදේ වෙනකල් දැනගන්න හම්බෙන්නෑ" තාත්තා කිව්වා.
පැය ගාණකට පස්සේ සේරම ඇඳුම් සෝදලා, නාගෙන ආපු ආන්යා සාලෙට ආවේ මෙවෙලේ. හැමෝම උන්නේ තේ බොමින්.
"මෙහේ එන්න දුව..." අනුලා මැඩම් ආන්යට කතා කලේ ආදරෙන්.
 ආන්යා ඈ ලඟට ගියේ ගැහෙන හිතින්. ඒ ආසලම ඉඳගෙන උන්නු ආර්යන් ආන්යා දිහා හිස් බැල්මක් හෙලලා ආයෙම බිම බලාගෙන තේ බොන්න පටන් ගත්තා.
"ඊයේ ඔය ළමයා කරපු දේ වෙන නම් කෙනෙක් කරයි කියලා මං හිතන්නේ නෑ. මම දැක්කා මුලු රෑම ඔයා අර ලේ පෙඟුන ඇඳුමම ඇඳගෙන අභීට මොකද බලන්න උන්නු හැටි. ඩොක්ට කිව්වා, ඔයාලා වෙලාවට අභීව ගෙනියලා තිබුණා, නැත්තම් බ්ලීඩ් වෙලා මොනා හරි වෙන්නත් තිබ්බා කියලා...අනේ මං කොහොම මේවට ස්තුති කරන්නද?" අනුලා මැඩම් කඳුලු පිස්සා.
ආන්යගේ ඇස් වලට කඳුලු ආවෙත් ඉබේටම.
"එහෙම කියන්න එපා මැඩම්. අභීට ඔහොම වුණේ මෙහේ ඇවිත් ගිය නිසානේ..." ආන්යා කිව්වේ ආයෙම කලින්දා රෑ මතක් කර ගන්න ගමන්. තමන් පිස්සියෙක් වගේ ඔහුට කෑ ගහපු හැටි මතක් වෙද්දි ඈට ඈ ගැනම දැනුනේ තරහක්.
"ඒත් අභී එච්චර රෑ වෙලා මෙහේ මොකට ආවද? ආරුත් නැතුව?" අනුලා මැඩම් ඇහුවාම ආන්යගේ හද ගැස්ම වැඩි වුණා.
"අම්මා, එක අභීම අම්මට කියයි...අම්මලා දැන් ටිකක් නිදා ගන්න. මම, අනුහස් එක්ක හොස්පිටල් ගිහින් එන්නම්. අම්මලා ආවත් බලන්න දෙන්නෑ ICU නිසා. පාස් එකයි නේ දීලා තියෙන්නේ. අනික රෑ ඉඳන්ම ඇවිත් මහන්සි නේ. ඊලඟට ඔයාගේ ප්‍රෙෂර් වැඩි වුණොත් අපට ආයෙම හොස්පිටල් යන්නයි වෙන්නේ" " ඒකට ආර්යන් උත්තර දුන්නේ එහෙම.
"ප්‍රෙෂර් නම් නැගලා තමා තියෙන්නේ. මේ වෙන දේවල් වල හැටියට එහෙම නූනොත් නේ පුදුමේ" අභීගේ අම්මා ආර්යන්ට එහෙම කිව්වා.
"අයි වෝන කම් ටූ...අයි වෝන සී ඉෆ් හී කුඩ් බී ට්‍රාන්ස්ෆර්ඩ් ටු කලම්බෝ..." ඉඳගෙන උන්නු, පුටුවෙන් නැගිටින ගමන් එහෙම කිව්වේ ආර්යන්ගේ තාත්තා.
ආන්යට අභීව බලන්න යන්න ඕන වුණත්, මේ අය ඉස්සරහ හිතුවක්කාර වෙන්න ඇගේ හිත හයිය තිබුණේ නෑ. ඒ නිසාම අකමැත්තෙන් වුණත් ඈට වුණේ ගෙදර නවතින්න.
"මොනාද අභීට කියන්න ඕන?" යන්න ලෑස්ති වෙලා හොරෙන් වගේ ආන්යා දිහාට ඇවිත් එහෙම ඇහුවේ අනුහස්.
"පුලුවන් නම් මට ඊයේ වුන දේවලට සමාව දෙන්න කියන්න..."ආන්යා කිව්වේ ඇස් වලට කඳුලු උනද්දි.


6 comments:

  1. අභීට මොනවා වෙලා ඇත්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න ඔයාලා නිසාමයි මේක දාන්නේ...

    ReplyDelete
  2. Your writing style is awesome... Wish you Good Luck Girl.... :)

    ReplyDelete
  3. thanks a lot V :)
    thanks for inspiring me to write more...

    ReplyDelete
  4. තැන්ක්ස් නෙතු... ඔයා ඉක්මනටම කොටස් ටික දානවට..!!!

    ReplyDelete