Tuesday, May 29, 2012

හතලිස් අටවන කොටස


උදේ පාන්දරම නිසාදෝ ඈත පේන කඳු වලල්ල තිබුණේ තවමත් මීදුමෙන් වැහිලා. හරියත පොරෝනාවක් ඇතුලට වෙලා නිදාගෙන ඉන්නවා වගේ. ඒ කඳු පෙලයි, ඉස්සරහින් වැවුණ කොල පාට උස මාර ගස් පෙලයි ආන්යගේ හිතේ ඇති කලේ අමුතුම හැඟීමක්. කලින්දා රෑ හරියට නිදානොඅගත්ත නිසාදෝ ඇගේ ඇස් තිබුණේ යන්තමට රිදුම් දෙමින්. මේ ඇස් මේ දවස් ටිකේ කොයි තරම් නම් වෙහෙසෙන්න ඇතද අඬලා අඬලම? ආන්යගේ හිත ආයෙම දිව්වේ කලින්දා ආර්යන් එක්ක වුණ කතාබහට. අභී සම්බන්ධයෙන් සෑහෙන දේවල් වුණ හන්දා, ආන්යා හිතාගෙන උන්නේ ඔහු තමන්ව අමතක කරන්න හොඳටම හිත හදාගෙන ඇති කියලයි. ඒත් ඒක එහෙම නොවෙන වග දැනුනම ඈට දැනුනේ ආර්යන් ගැන ලොකු දුකක්, දාලා යන්න බැරි හැගීමක්. ඒත් ඈ දැන් අභීට වචනයක් දීලා ඉවරයි නේද කියලා ඇගේ හිත හැම තිස්සෙම මතක් කලා. කොච්චර හිත ඉල්ලුවත් ආර්යන් කවදාවත් තමන්ගේ වෙලා උන්නෙත් නෑ නේද කියලා ආන්යා මතක් කර ගත්තා. ආර්යන් ගැන හිත හිත අභීව රවට්ටන්න ආන්යට උවමනා නොවුනත්, දිය යට ඔබන රබර් බෝලයක් වගේ යටපත් කරන්න කරන්න ඒ සිතුවිලි ආයෙම හිත උඩට ආවා. ආන්යා ඈත පෙනෙන කඳු දිහා බලාගෙන කල්පනා කලේ තමන්ට හිත හදාගන්න කොව්වර කලක් යාවිද කියලයි. ඇගේ හිතේ අභී ගැන හැඟීමක් නොතිබුණාමත් නෙවෙයි, ඒත් ඒක ආදරේකට වඩා යාලුකමක්, සෙනෙහසක්,අනුකම්පාවක් වත්දෝ කියලා ඈ ආයෙම හිතුවා.
"ඔයා කොහේ යන්නද මේ උදේම ලෑස්ති වෙලා?"
ඉස්තෝප්පුවට වෙලා උන්නු ආන්යා හැරිලා බැලුවේ අම්මා තාත්තගෙන එහෙම අහපු හඬට.
"ඉසිපිරිතාලෙනේ, කෝ මීනු ලෑස්ති වෙලාද?" තාත්තා ඇහුවා.
"මීනු යන්න ඕන නෑ" ආන්යට ඇහුණා අම්මා එහෙම කියනවා. ඈට දැනුනේ එක්තරා විදියක පුදුමක් අම්මගෙ මේ හැසිරීම ගැන.
"ඇයි ඒ?" තාත්තා අහද්දි ආන්යත් හෙමින් ඒ පැත්තට ඇදුනා.
"අපි මොකටද තේරුමක් නැති දෙයක් කරන්න මෙයාට ඉඩ දෙන්නේ?"
"තේරුමක් නැති දේවල්? ලෙඩෙක් බලන්න යන එකේ තේරුමක් නොතේරුමක් හොයන්න ඕනද?" තාත්තා ඇහුවා.
"මේක ලෙඩෙක් බලන්න යන ගමන්ක් විතරක් නෙවෙයි කියලා නොතේරෙන්න ඔයා බබෙක් නෙවෙයිනේ. අනික ඔය යන එන ගමන් වලින් තව තව අනේවාරතේ බලාපොරොත්තු වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑනෙ. ඕවා කෙරෙයිද නොකෙරෙයිද අපි දන්නවද? දැන් අපි මෙයාවත් ඉස්සර කරෙගෙන යද්දි මනී මහත්තයා වුණත් හිතයි අපි කොහොමහරි මෙයාව අභීගේ ඇඟේ ගහන්න යනවා කියලා" අම්මා උන්නේ මොකක්දෝ එකකට කෝප වෙලා කියලා ආන්යට හිතුණා
තාත්තා ඈ දිහා බැලුවත්, බය වෙලා වගේ බලා උන්නා මිස ආන්යා අම්මට විරුද්ධව මුකුත් කියන්න ගියේ නෑ. ඒත් අභී බලන්න යන්න ඕන කියලා උවමනාවක් ඇගේ හිතේ තිබුණා.
"රූපා...මම නෙවෙයි ඔයයි බබෙක් වගේ කතා කරන්නේ. මනී මහත්තයා එහෙම හිතන්නෑ කොයි වෙලේකවත්. අනික ඔයා හිතනවද, ආන්යව අපි හිර කරගෙන උන්නම සේරම හරියයි කියලා. මේ දෙන්න එතකොට සම්බන්ධේ නවත්තයිද? නිකම් තේරුමක් නැත් දේවල් කියන්න එපා රූපා. අනික් එක මනී මහත්තයා කොහොමටවත් ඔයා හිතන විදියට පටුව දේවල් දකින කෙනෙක් නෙවෙයි...අනුලා මැඩම් වුණත් එහෙමනේ. ඊයේ වචනයක්වත් කිව්වද? නෑනෙ. මට තේරෙන්නෑ ඔයා මොනාට මේ තරම් කලබල වෙලාද කියලා"
ආන්යගේ අම්මා ආන්යා දිහාට නොපහන් බැල්මක් හෙලුවේ මේ සේරටම මුල ඈ කියන්නා වගේ.
"මොකද අප්පේ මේ උදේ පාන්දර කෑ ගහගන්නේ? ආ...මීනු තාම මෙතනද? අරහේ අරයලා පිටත් වෙලත් ඇති" ඈනුමක් අරිමින් ආපු අනුහස් ඇහුවා.
"තාත්තයි දුවයි ඕන මංගල්ලයක් කර ගන්න එකයි. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියලා"
"දැන් මොකටද අම්මට ඔච්චර ඩෝං ගිහින් ඉන්නේ?" එහෙම ඇහුවේ අනුහස්.
"රූපා අපි යන්නෙ යුතුකමට මිස, මගුල් කතා කරන්න නෙවෙයිනේ. ඒවා වෙන්නේ පස්සෙනේ"
මේ රණ්ඩුව බලාගෙන ඉඳලා බැරිම තැන ආන්යා කතා කලා.
"අම්මයි, තාත්තයි රණ්ඩු වෙන්න ඕන නෑ. මම ගෙදර ඉන්නම්..." ආන්යා කිව්වේ බිම බලාගෙන.
තාත්තා ආන්යා දිහා බැලුවත් මොනවත් කිව්වේ නෑ, සුසුමක් හෙලුවා මිස.
"අනේ අම්මා, ඔච්චරම නපුරු වෙන්න එපා. අපි මොනා කිව්වත් ඉතින් මෙහේ ආපු නිසානේ අභීට ඔහොම වුණේ. ඒ නැතත් ඉතින් මේ දෙන්නා යාලු වුණ එකට දැන් අපට කරන්න දෙයක් නෑනෙ. අභී පව්, එයාට දුක හිතෙයි" අනුහස් කිව්වේ ආන්යගේ හිතට දුකක් කැන්දන් එමින්.
"ඔයාට තේරෙන්නෑ අනුහස්...අපි නිතර නිතර යන්න ගියාම ඒ මිනිස්සු හිතයි අපි මෙයාව කොහොමහරි එහාට දෙන්නයි වලි කන්නේ කියලා. මොන ලැජ්ජාවක්ද? මොකද මෙයාට වෙන මිනිස්සු හොයන්න බැරිවද අපට?"
අම්මා කොච්චර ආදරනීය කෙනෙක් වුණත් වෙලාවකට තේරුමක් නැති විදියට කලබල වෙන, තමන්ගේ මතේම එල්ලීගෙනා හිතුවක්කාර වෙන කනෙක් කියලා ආන්යට හිතුණා. ඒත් ඒ අම්මා ගැන තරහකින් නෙවෙයි. සමහරවිට අම්මා කියන එකෙත් ඇත්තක් තියෙන්න පුලුවන් කියලා ඈට නොහිතුණා නෙවෙයි.
"ඔන්න කිව්වා, ඔය කිව්වේ" තාත්ත කිව්වේ අමාරුවෙන් හැඟීම් පාලනය කරගෙන වගේ.
"අයියෝ අම්මා, මොනාද මේ ඔයා හිතන්නේ? ආයෙම මිනිස්සු හොයන්න ඕන නෑනෙ. දැන් එකෙක් හොයන් ඉන්නේ ඌ හොඳ නිසානේ. අනික ඉතින් එහෙම වලි කාලා දුන්නත් මොකෝ, ඒ පවුල නරක එකක්ද? නෑනෙ. මම නං හිතන්නෑ ඔය අම්ම කියන විදියට ඒ අය හිතයි කියලා. මොකෝ අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලද නෑනෙ. අපටත් සල්ලි තියෙනවා, මීනු ඉගෙනගෙනත් තියෙනවා, ලස්ස්නති තියෙනවා, හොඳ ගතිගුණත් තියෙනවා...වෙන මොනාද ඕන?" අනුහස් ඇහුවා.
ඒ පාර අම්මා අනුහස්ට රවලා අහක බලාගත්තා.
"එදා එද්දි, මැඩම් වැඩිය මා එක්ක කතා කලෙත් නෑ, කල්පනා කර කර ආවා මිසක...කැමති නම් ඒක නිකමට හරි මට දැනෙන්න හරි එපායැ" අම්මා කිව්වා.
"ඒ මනුස්සයා හිත හිත ඉන්න ඇත්තේ අභීගේ අසනීපේ ගැන. කකුලක් කැඩිලා ලමයෙක් ඉස්පිරිතාලේ ඉද්දි ඔයා වුණත් හිතයිද ඔය මංගල්ල ගැන? වෙලාව ආවාම ඒ අය මේ ගැන කතා කරයි.ඔයා අනේවාරතේ කලබල නොවී ඉන්න"
එහෙම කියපු තාත්තා ඔරලෝසුව දිහා බැලුවා. ආන්යගේ හිත දුකෙන් හැකිලුනා.'අභී දැන් ගිහින් ඇති' ඈ කලේ අම්මලා එතන ඉද්දි කාමරේට ආපු එක. ඒ ඇවිත් ඈ ෆෝන් එක අතට අරන් බැලුවා. අභීගෙන් මිස්ඩ් කෝල්ස් දාසය්ක්! ආන්යට ඒ පාර නම් හොඳටම දුක හිතුණා. ඈ ඉක්මණෛන් ආපහු අභීගේ නොම්මරේට කතා කරන්න උත්සාහ කලත් ඒක තිබුණේ විසන්ධි කරලා. ආන්යා ඇන්න්හ්ධේ ඉඳගත්වනම එහෙමම උන්නේ ඇස් වලට කඳුලු පිරෙද්දි. ඈ ආර්යන්ට කතා කරන්න හිතුවත් පස්සේ ඒ අදහස අමතක කලේ ඊයේ වුණ දේන් පස්සේ ඔහුට මූණ දෙන්න බැරි ගතියක් ඈට දැනුන නිසා. මේ අතරේ ආන්යගේ කාමරේ දොර අරගෙන ඇතුලට ආවේ අනුහස්. ආන්යා ඔහුගෙන මූණැ හංගගෙන්න ඉන්න උත්සාහ කලේ ඇගේ ඇස් වල කඳුලු නොපෙනෙන්න.
"මීනු..." අනුහස් කතාකලේ හෙමින්.
ආන්යා අහගෙන උන්නා.
"මීනු...මේ බලන්න...ඔයා දුකින් නේද ඉන්නේ?"
අනුහස් ඇහුවත් ආන්යට උත්තරයක් දීගන්න බරිවුණා. ඈ හිස දෙපසට වැනුවා විතරයි.
"බොරු කියන්න එපා. මං දන්න්වා ඔයා ඉන්නේ දුකෙන් වග. ඔයා අභීට කතා කරන්න බැලුවද?"
"හ්ම්ම්...ෆෝන් එක ඕෆ්" ආන්යා හෙමින් කිව්වා.
"ආර්යන්ට ගත්තේ නැද්ද?"
"වැඩ නෑ" ආන්යා කිව්වේ බොරුවක්.
අනුහස් තොල හපාගෙන මොහොතක් කල්පනා කලා.
"අභී මල පැනලා ෆෝන් එක ඕෆ් කරගෙන ඇති. මම හිතන්නෑ පහට යනවා කිව්වට පුලුවන් වෙයි කියලා. මොකද ඩොකියුමන්ට් ෆිල් කරද්දිම හය වෙයි.ඔයාට යන්න ඕන නම්, මම එක්ක යන්නම්. එස්.ඩීගේ බයික් එක ඉල්ලගෙන අපි යමු" අනුහස් කිව්වාම ආන්යට ඔහු ගැන ඇතී උණේ ආදරයක්.
"එපා අනූ...අම්මට තව තරහා යයි. මං ගෙදර ඉන්නත් එපැයි. අභී මට ආදරේ නම් දැන් තරහා වුණත් පස්සේ ඇත්ත දැනගත්තාම ආපහු යාලු වෙයි. මොනා කරන්නද? අනික ඔයා කිව්වට දැන් එයා ගිහින් තියෙන්නත් පුලුවන් නේ" ආන්යා එහෙම කියලා, සුසුමකින් ලය සැහැල්ලු කරගත්තා.
"ඔයා මහ පුදුම කෙල්ලෙක් මීනු...
"ඇයි එහෙම කියන්නේ?"
"වෙන කෙල්ලෙක් නම් මෙලහකට කොලඹ යන්න හරි ඇවිත්"
"මට යන්න ඕන නැතුව නෙවෙයි අනූ...ඒත් මම කොහොමද අම්මගේ හිත රිද්දන්නේ? ඔයා දන්නවනේ අපි කවදාවත් එහෙම කරලා නැති වග..."
" ඒක තමා මං කියන්නේ ඔයා පුදුම කෙල්ලෙක් කියලා..." ආන්යා බිම බලාගත්තා. අනුහස් කලේ හෙමින් ඇගේ හිස අතගාලා කාමරෙන් එලියට ගිය එක.
අම්මා එක්ක අමනාප වුණ නිසාදෝ තාත්තා උදේම කන්තෝරු ගිහින් තිබුණා. අම්මත් කොහෙද කියලා පේන්න උන්නේ නෑ.ආන්යට එක තැන ඉන්න හිත් දුන්නේ නෑ අභීව මතක් වෙද්දි . ඈ කලේ ගෙයි පිටිපස්සේ තිබුණ කොට්ටම්බා ගහයට පොඩි කොටේ උඩ ඉඳගෙන ඈත කඳු වලල්ල දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තු එකයි.
"...නන් එපා අප්පඩි සොරල්‍ද? අප්පඩි සොල්ල මුඩියුමා? (මම එහෙම කියන්නේ කොහොමද? මට එහෙම කියන්න පුලුවනෑ) ආනාල් අවර පාක්කම් පෝද මනස්ක්ක ඕරේ කශ්ඨමාඉරික්ක (ඒත් එයාව දකිද්දි නම් හිතට හරිම දුකයි...)ඔරු නාලෙක්ක රෙන්ඩ බෝතල් අඩික්කිරාර්..(එක දවසට බෝතල් දෙකක් බොන්වා). අදක යෙන්න පන්නමෝන තෙරිල්ල ඩී (ඒකට මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ)" ගහ පිටිපස්සෙන් ඇහුනේ රාධාගෙයි, ගෝපිගෙයි කටහඬ. ආන්යා හැරිලා බලද්දි ඒ දෙන්නත් ඈව දැක්කා. ගෝපි හොල්මනක් දැකලා බය වෙලා වගේ ඈ දිහා මොහොතක් බලාගෙන උන්නා.
"අයියෝ බේබි...උදේම පින්න බබා මෙතන මොකද කරනවා? මම හිතුවා ඉස්පිරිතාලේ ගිහිල්ලා කියලා" ගෝපි ඊට පස්සේ එහෙම කිව්වේ ආන්යගෙන් මොනා හරි හංගන්න වගේ කලබලේකින්.
"ගියේ නෑ ගෝපි" ආන්යා කිව්වේ දුකෙන්. ගෝපිගෙයි රාධාගෙයි මූණු වල ඇඳුනෙත් දුකක්.
"ලොකු නෝනා කෑ ගහනවා ඇහුණා. ගණන් ගන්න එපා බේබි...ඒ මාතියා ගිහින් හරි කතා කරයි" එහෙම කිව්වේ රාධා
"කවුද අර බොනවයි කියලා කිව්වේ?" ආන්යා ඊට පස්සේ ඇහුවා.
රාධායි, ගෝපියි මූණෙන් මූණ බලාගත්තා. ඊට පස්සේ ගෝපි මෝඩ විදියට හිනාවෙලා ආන්යා දිහා ආයෙම බැලුවා.
"ආ...ඒ මේ අපේ නාරද මාතියානේ"
"නාරද බොන්න ගත්තේ අද ඊයෙකයැ. අනික ගෝපි මොකද නාරද බොන තැන් වලට යන්නේ?" ආන්යා ඇහුවා.
"යන්න වෙනවනේ බේබි කතා කලාම" ගෝපි කිව්වේ හිස කස කස. ආන්යා ආයෙම කඳු වලල්ල දිහාට හැරුණා.
"යමු බේබි ගෙට...තාම උදේට කෑවෙත් නෑ නේද?" රාධා කිව්වේ ඈ ලඟ ඇවිත්.
"මම තව ටිකකින් එන්නම් රාධා...ඔයාලා යන්න. මට ටිකක් තනියෙම ඉන්න ඕන" ආන්යා එහෙම කිව්වම්ම ටිකක් වෙලා බලා උන්නු රාධා, ගෝපි එක්කම එතනින් යන්න ගියා.
හිතට ඔහේ නිදැල්ලේ දුවන්න ඉඩ දීලා, ආන්යා කොච්චර වෙලා එතන කල්පනා කරමින් උන්නද කියලා ඈට නිනව්වක් තිබුණේ නෑ. අභී දැන් වාහනේක නැගලා කොලඹ යන්න පල්ලම් බහිනවා ඇති කියලා ආන්යා හිතුවා. අභීව යන්න කලින් බලාන්න ඉඩක් නැතිවීම ගැන ආන්යා උන්නේ ඇත්තටම දුකින්. අභී මතක් වෙලා ඇහැට නැගුන කඳුලක් කම්මුල දිගේ බේරෙද්දිත් ඈ ඒවා පිහගන්න උත්සාහ කලේ නෑ. මේ හාත්පසම වගේ තම්ගේ හිතත් පාලු වෙලා කියලා ඈට හිතුණා.
"මීනු..." නොහිතපු වෙලාවක එතනට ඇවිත් උන්නේ අනුහස්.ආන්යා ඉක්මණ කම්මුල් පිහගෙන ඔහු දිහාට හැරුණා.
අනුහස් ඈ දිහා බලාගෙන් උන්නේ දුකෙන්.
"ඇඬුවද?" ඔහු ඇහුවා.
ආන්යා බොරු කියන්න බැරි නිසා මුනිවත රැක්කා.
"පොඩ්ඩක් යමුකෝ ගෙට...ඔයා හම්බෙන්න කෙනෙක් ඇවිත්"
"මාව...කවුද අනූ?" ආන්යා ඇහුවේ හදිසියේ නැගුනු කුතුහලේකින්.
"ගිහින්ම බලමු"
ආන්යා අනුහස් පස්සෙන් ඇදුනේ ඒ කවුරු වෙන්න ඇතිද කියලා දහ අතේ කල්පනා කරමින්. දෙන්නා ගෙට යද්දි අම්මයි, තාත්තයි දෙන්නම් උන්නේ කුස්සියේ. අම්මා හිස නවාගෙන උන්නා, තාත්තා උන්නේ තරමක් කෝප වෙලා වගේ. ආන්යව  අම්මයි, තාත්තයි දෙන්නම දැක්කේ එවෙලේ. ඒත් ඒ අය මුනිවත රැක්කා විතරයි. ආන්යා එතන නොනැවතී කුස්සියේ දොරෙන් සාලෙට එද්දිම වගේ දැක්කේ පුටුව්ක ඉඳගෙන උන්නු ඒ කෙනාව. ආන්යගේ කකුල් මැද සාලෙ නැවතුණේ ඉබේම. ඒ වාඩි වෙලා උන්නේ අභී. ප්ලාස්ටර් දාපු කකුල ටිකක් උස ටීපෝවක් උඩ තියාගෙන ඔහු වාඩිවෙලා උන්නේ කල්පනාවක් පිට. ඔහුව දැක්කාම ආන්යගේ හිත වාවන්නේ නැතිව යනවා ඈට දැනුනා.
"අභී..." ආන්යා කතාකරද්දිම වගේ අභීත් හැරුණා. ඊලඟට ආන්යා කලේ ඔහු අසලට දුවපු එක."ඔයා...කොහොමද?...අනේ මම හිතුවා ඔයා ගිහින් ඇති කියලා..." ඈ කිව්වේ අභී ලඟ දණගහගෙන.
"ඔයාට පුලුවන් වුණාට මාව නොබලා ඉන්න හිත හදාගන්න, මට බෑ මීනු එහෙම කරන්න...ඔයාව නොබලා යන්න මට බැරි වුණා"
අභී එහෙම කිව්වාම, වියලිලා තිබුණ ආන්යගේ ඇස් ආයෙම තෙත් වුණා.. එන්න බැරිවුණ හේතුව අභී දන්නේ නෑනෙ...
"ඔහොම කියන්න එපා...උවම්නාවෙන් නෑවිත් ඉන්න හිතුවා නෙවෙයි"
"උදේ හය වෙනකල්...පහේ ඉඳන් මම බලාගෙන හිටියා. මම නිසා අනික් අයත් හිටියා...ඔයා එක කෝල් එකක්වත් දුන්නෑ..."
ආන්යට පුලුවන් වුණේ කඳුලු පිරුණ ඇස් වලින් යුතුව මුනිවත රකින්න විතරයි.
"ගෙදර පොඩි ප්‍රශ්ණයක් වුණා අභී...ඒකයි එවන්න බැරිවුණේ" එහෙම කිව්වේ අනුහස්. ඔහුත් ලඟ උන්නු වග ආන්යා දැක්කේ එවෙලේ.
"අපි ආපහු හැරෙව්වේ ගිනිගත්හේනටත් ලං වෙලා...මේ ළමයාගේ හිතේ අමාරුව මට බලන් ඉන්න බැරි හන්දයි හරවගෙන බලල එමු කිව්වේ" එහෙම කිව්වේ අභීගේ අම්මා. ඈ උන්නේ අනුහස්ට පිටිපස්සේ. අභීගේ තාත්තා නම් මැද සාලේ පුටුවක වාඩි වෙලා කතාබහෙන් තොරවයි උන්නේ.
"මැඩම් එන්න මැද සාලෙට, තේ ලෑස්ති කරලා තියෙන්නේ" ආන්යට තාත්තගේ හඬ ඇහුණා.
"ගෙදර අයට තරහා ගිහින් ඇති අභී..." ආන්යා කිව්වේ අභී ගේ දෙමාපියෝ දෙන්න දිහා හොරෙන් බලමින්.
"මට තරහා ගිහින් නෑ කියලද හිතන්නේ?" අභී ඇහුවාම ආන්යා අසරණ වුණා.
"අයෑම් රියලි රියලි සොරි අභී..." ආන්යා කිව්වේ ආයෙම ඇස් කඳුලින් පිරෙද්දි.
අභීගේ මූණේ ඉරියව් වෙනස් වුණා, ඔහු කලේ ආන්යහේ ඇස් අගට ආපු කඬුලු ඇඟිලි තුඩු වලින් පිහපු එක.
"ප්ලීස් අඬන්න එපා...ඔයාව අඬවන්න නෙවෙයි මම මගක් දුර ගිහිනුත් ආපහු හැරිලා ආවේ..." අභී කිව්වේ දයාබරව.
"මං දන්නවා" ආන්යා කිව්වේ හැඬුම් අතරින්මයි.
"එහෙනම් නාඬා ඉන්න...ඔයාගේ කඳුලු අරගෙන මට ගෙදර යන්න බෑ" අභී කිව්වේ සංතාපයකින් වගේ.
ආන්යා අභී දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්.
"ඇයි මට මෙච්චර ආදරේ?" ආන්යා ඇහුවේ එහෙම.
අභී එකපාරටම නිහඬ වුණත් ඊලඟට ඔහු පුටු ඇන්ද උඩ තිබුණ ආන්යගේ සුරත අල්ලගත්තා.
"ඒක මමවත් දන්නෑ මීනු..."
"මට මෙච්චර ආදරේ කරන්න එපා අභී... එතකොට අපි දෙන්නටම දුක හිතෙනවා වැඩියි. හදිසියේ වත් අපට එකතු වෙන්න බැරි වුණොත්?”
"එහෙම වෙන්නෑ මීනු...හොඳින් හරි, නරකින් හරි, කැමැත්තෙන් හරි, අකමැත්තෙන් හරි මම මැරි කරන්නේ ඔයාව. ඒක ගැන සැකයක් හිතන්න එපා"
"මේ දේවල් තවත් මෙහෙම කරන්න බෑ වීරේ" මුල්ම වතාවට අභීගේ තාත්තා කතා කරද්දි, ආන්යයි, අභීයි දෙන්නම ඒ පැත්ත බැලුවා.
දොර ලඟ උන්නු අම්මයි, තාත්තයි, වාඩි වෙල උන්නු අභීගේ පවුලේ අයයි, අනුහසුයිත් බලාගෙන උන්නේ මනී මහත්තයා දිහා.
"සර්?"
"සමහර වෙලාවට ළමයි නිසා අපි හරියට හෙල්ප්ලස් වෙන වෙලාවල් තියෙනවා. දැන් අද මට මේ වැඩේ හන්දා ලොකු මීටින් එකක් කැන්සල් කරන්න වුණා. ඒකත් කමක් නෑ කියලා මම ආවේ මේ කාරණාව අපි විසඳගන්න ඕන හන්දා. මොකද දැන් අපි මේ ගැන දන්න නිසා තවත් ඉතින් හොරෙන් හොරෙන් දේවල් කරන්න ඕන නෑනෙ" අභීගේ තාත්තා එහෙම කිව්වා.
"ඒක ඇත්ත සර්...අපි ඒක් අපි පිලිගන්නවා. නොකිව්වට අපිත් ඔය ගැන ගොඩක් කතාබහ ක්ලා ඇත්තටම" එහෙම කිව්වේ ආන්යගේ තාත්තා.
"ඔව් මට තේරෙනවා, මට තේරෙනවා. ගෑණු ළමයෙක්ගේ දෙමාපියෝ විදිහට අපටත් වඩා ඔයාලා මේක ගැන කන්සර්න් වෙන්නම එපායැ...ඒත් සමහර වෙලාවත වීරේ අපි තරුණ කාලේ හැඟීම් වලට වහල් වෙලා ගන්න සමහර තීරණ පස්සේ වැරදියි කියලා හිතෙන වෙලාවල් තියෙන්න පුලුවන්. මං එහෙම කියන්නේ, මේ ළමයි දෙන්නා තාම හරියට මේ සම්බන්ධේ පටන් ගෙනවත් නෑ..." මනි මහත්තයා එහෙම කියද්දි ඉවසිල්ලක් නැතිව උන්නු අභී මැදින් කතා කලා.
"ඒක එහෙම නොවුනට, අපි දෙන්න අපි දෙන්නව තේරුම් අරගෙනයි ඉන්නේ. ඒක ජස්ට් ෆීලින්ග්ස් නිසා විතරක් ඇතීඋණ දෙයක් නෙවෙයි. අයි නෝ අයි වෝන ස්පෙන්ඩ් ද රෙස්ට් ඔෆ් මයි ලයිෆ් විත් ආන්යා..."
අහී දිහ බලාගෙන උන්නු ඔහුගේ තාත්තා ඊලඟට බැලුවේ ආන්යා දිහා.
"වට් අබවුට් යූ මයි ඩියර්?"
ආන්යා ටිකක් විතර බය නොවුනා නෙවෙයි, ඈට එකපාරටම ආර්යන් දිහාත් බැලුණා. ඔහුගේ මූණේ තිබ්බේ දුකක්ද කියලා ආන්යට තේරුම්ගන්න පුලුවන් වුණේ නෑ. ආන්යා ඒ ඇස් මගෑරලා ආයෙම බිම බලාගත්තා. අභී අල්ලගෙන උන්නු ඇගේ අතේ ග්‍රහණැය තද කලේ ඈට කතාකරන්න ධෛර්යය දෙන්න වගේ.
"මම අභීට වචනයක් දුන්නා තමයි...ඒත් ගෙවල් වලින් අකමැතිනම් මට මොනවත් කරන්න බෑ..."
ආන්යා එහෙම කිව්වාම අභීගේ ග්‍රහණය ලිහිල් වුණා.
"මීනු...වට් ඉස් දිස්?"
"අහන්න අභී...මට ඔයාව ගොඩක් ඕන, ඒත් අපට ගෙදරත් ඕනනේ"
අභී ආයෙම මොනවත් කියන්න කලින් ඔහුගේ තාත්තා ආයෙම කතා කලා.
"හරි...වීරේ කියන්නකෝ එහෙනම් අපි මේකට මොකද කරන්නේ කියලා. වීරෙලා කැමතිද දූව අභීට දෙන්න?"
කෙලින්ම එහෙම ඇහුවාම අන්දමන්ද වුණ තාත්තා බැලුවේ අම්මා දිහා. ඒ දෙන්නටම උත්තරයක් දීගන්න ටික වෙලාවක් ගියා. අනුහස් ආන්යා දිහා බලාගෙන උන්නේ ලොකු සෙනෙහසකින්.
"ඔව් සර්...අපි කැමතියි. අභීව මම දන්නේ එයා ඉපදුන දා ඉඳලා. අපි...අපේ දූව හැදුවේ මලක් වගේ, ඉල්ලන හැමදේම දීලා. අපට හැමදාම ඕන වුණේ අපි වගේම මේ ළමයව දුකක් නොදී ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක්. අද මේ වුණ දේවලුත් බලද්දි මට හිතෙන්නෑ අපේ දුවට මීට වඩා ආදරේ කරන කෙනෙක්, හොඳ කෙනෙක් ආයේම කවදාවත් ලැබේවි කියලා..."
තාත්තා එහෙම කියද්දි ආන්යගේ ඇස් වලට ආයෙම කඳුලු ආවා. ඇගේ ඇස් නිරායාසයෙන්ම දිව්වේ ආර්යන් දිහාට ආයෙමත්. ඔහු උන්නේ අත්දෙක එකට බැඳගෙන බිම බලාගෙන.
"අනුලා මොකද කියන්නේ?" ඊට පස්සේ අභීගේ තාත්තා බැලුවේ අභීගේ අම්මා දිහා.
ඈ ආන්යා දිහා බලලා ලස්සන හිනාවක් පෑවා.
"ආන්යා මගේ අභීව මං වගේම ආදරෙන් බලාගනී කියලා මට විශ්වාසයි"
ඈ එහෙම කිව්වාම ඒ ආදරේ, විශ්වාසේ දරාගන්න බැරිව ආන්යට ඇඬෙන්නම ආවා.
"වට් අබවුට් යූ අප්පා?" එහෙම ඇහුවේ අභී.
"අයි වෝන්ට් යූ ටූ ටු බී හැපි ඇන්ඩ් ලිව් විත් ටොටල් අන්ඩර්ස්ටෑන්ඩින්ග්. ලයික් මී ඇන්ඩ් මයි ගර්ල් ඩිඩ්..." එහෙම කියලා අභීගේ තාත්තා රතු වෙලා උන්නු අනුලා මැඩම් දිහා බලලා හිනාවුණා. ඒ පාර නම්  හැමෝටම හිනා ගියා.
"අපි අද අවුට් හවුස් එකේ නවතිනවා. අද රෑට ඩිනර් වලට එහේ එන්න කට්ටියම...සෙලිබ්‍රේට් කරන්නත් එපැයි නේද?"
ආපහු යන්න ලෑස්ති වෙලා සාලෙට රැස් වෙලා ඉද්දි අනුලා මැඩම් එහෙම කිව්වේ ආන්යලගේ පවුලේ සේරටම. අභී අනුහස්ගෙයි, ආර්යන්ගෙයි උදව්වෙන් වාහනේට නැග ගත්තා කලින්ම. ඒ දිහා බලාගෙන උන්නු ආන්යා දිහාට ආපු අනුලා මැඩම් ඈට හිනාවක් පාලා ඇගේ අතකින් අල්ලගත්තා.
"මම බයේ හිටියේ අභී පිටරටක කෙල්ලෙක්වත් උස්සගෙන ඒවි කියලා...ඔයා ලැබිච්ච එක අපේ වාසනාව. ඔයාගේ වාසනාවට තමා අර තරම් ලොකු දෙයක් වෙලත් අද අභී බේරිලා ඉන්නේ කියලයි මට හිතෙන්නේ...අභී හරිම ලකී...හ්ම්, හරි හවස එහෙනම් එන්න දෝණි" ඈ කිව්වේ ආන්යගේ මූණත් අතගාලා.
" ඔයා දැන් අපේ..."


5 comments:

  1. ඔන්න මම නම් බයේ හිටියේ අභීගේ තාත්තා මොනවා කියයිද කියලා ... ගොඩාක් ලසස්නට ඔයා ලියනවා අක්කියෝ.. දිගටම ලියන්න හැමදාමත් ඔ‍යාගේ නිර්මාණ බලන්න මම එනවා ....

    ReplyDelete
  2. මම හිතුවෙ අදින් ඉවරයි කියලා..

    ReplyDelete
    Replies
    1. කතාව තව ඉවර නෑ... අභී දන්නෙත් නෑනෙ ආර්යන් ආන්යට ආදරෙයි කියලා තාම :)

      Delete
  3. ආර්යන් ඕක නම් හොඳ පුරුද්දක් නෙමෙයි. :P.

    නෙතූ, කොටස් ඉක්මනට දාන එකට නම් ගොඩාක් සතුටුයි. Thanks .. :)

    ReplyDelete
  4. nethu akki podi mistake ekak wela thiyenewa.. 47 kotsate passe enne one 48 weni kotesa neda? ae unate akki athin waredila 49 kiyala dala thiyenne, ithin ethkote 50 weni kotesath correct wenne one 49 kiyala :)
    post dekeme lassanay ... kathawe galagene yane hati hithagane ba :)

    ReplyDelete