Thursday, May 24, 2012

හතලිස් තුන්වන කොටස


අහස තිබුණේ ආයෙම වැස්සකට අර අඳිමින්. ආන්යා ෆෝන් එක කනේ තියාගෙනම එලියට බැස්සේ ඈට පේන කඳු වලල්ල දිහා බලාගෙන.
"එතකොට දැන් සේරම ඉවරද?" ආන්යගේ දුක්බර සතිය ගැන අහගෙන උන්නු අංජලී ඇහුවා.
"මම දන්නෑ අංජු...මගේ ඔලුව විකාර වෙලා. මට කොහොමටවත් බෑ ආර්යන් අයියට ලං වෙන්න එයා එන්ගේජ් වෙලා ඉවරයි. ඒත්...එයාව හිතින් අයින් කරන්න ලේසි නෑ අංජු. ශර්මිලා එක්ක එයාව දකින් හැම වාරෙකම මගේ හිත ගොඩාක් රිදෙනවා. ඒ වුණත් මම ඒකට හුරු වෙන්න ඕන...ආර්යන් අයියා ඉස්සර වගේ මා දිහා දැන් බලන්නෙවත් නෑ. මම අභී එක්ක ඉද්දි, සමහර වෙලාවට ඒ ඇස් වල ඉරිසියාවක් මට පේනවා. ඒත් ඒ මට පේන හැටි මිස එයා ඇත්තටම මුකුත්ම නොහිතනවා වෙන්නත් පුලුවන්" ආන්යා හැල්මේ කියාගෙන ගියා.
"මට පේන විදියට ඔයා මෙතන අනවශ්‍ය ප්‍රශ්ණයක් මවාගෙන ආන්යා. පළවෙනිම දේ තමා, ඔයාට ආර්යන්-ශර්මිලා දෙන්න අතරට එන්න බෑ කියන එක. එහෙමනම් කරන්න තියෙන දේ සරලයි, ආර්යන් ගැන හිතන්න එපා. ඒක වැරැද්දක්, එයා අනුන්ගෙ නේ. අනික තමා ඔයා අභීට අකමැති නම් එයාට බලාපොරොත්තු ඇතිවෙන විදියට එයා එක්ක ඕනවට වඩා අඟෑලුම්කම් පාන්න යන්න එපා. ඒත් මට හිතෙනවා, අභී ඔයාට ගොඩාක් ආදරේ ඇති කියලා. මම ඔයා වුණා නම් මම ඔය බඳින්න ඔන්න මෙන්න ඉන්න ආර්යන්ව අතෑරලා අභීට තෝරගන්නවා ආන්යා" අංජලී කිව්වා.
"ඒත් අංජු කවදාහරි දවසක අපට එක ගෙදරක, එක මේසෙක ඉන්න වෙනවා. දවසකට හරි. එදාට මම කොහොමද ආර්යන් අයියට මූණ දෙන්නේ? එයත් මට ආදරේ කල බව දැන දැන මම කොහොමද එයාගෙම මල්ලිට කැමති වෙන්නේ?"
"අනේ මෝඩි තව කල්පයකින් විතර වෙන්න තියෙන දෙයක් ගැන දැන්ම හිත හිත වද වෙන්න ඕනෙද? ඔයා ආර්යන්ව හිතින් අයින් කලාම ඔය දෙන්නගේ චැප්ටර් එක ඉවරයි. ඉතින් ඔයා අභීව පිලිගන්නවනම් එයාට ආදරේ කරන්න ඕන. නැතුව ඔය දෙන්නට එකතු වෙන්න හේතුවක් නෑනෙ. මම හිතන්නෑ දැන් ආර්යන් තවත් ඔයා ගැන හිතනවා ඇති කියලා ආන්යා. මොකද එයා දන්නවා අභී ඔයාට ආදරේ වග. අභීට එයාට වගේ කමිට්මන්ට් නෑ, අනික අභී ඔයාව එයා තරම්ම හොඳින් බලාගන්න වග එයා දන්නවා ඇති" අංජලී කිව්වා.
"ඔයා කියන්නේ මට මොනා කරන්න කියලද අංජු?"
"මුලින්ම ආර්යන්ව අමතක කරන්න බලන්න. ඊට පස්සේ බලන්න අභීට ලංවෙන්න පුලුවන්ද කියලා. බැරිනම් ඔය දෙන්නගෙන්ම අයින් වෙන්න, එච්චරයි"
ආන්යා සුසුමක් හෙලුවා. කියන තරම් ඔය කියන දේවල් කරන්න ලේසි නම් මොනා කරන්න බැරිද කියලා ඈට හිතුණා.
"ආන්යා, පුතේ වත්ත පහලට දුවලා තක්කාලි ගෙඩි දෙකක් කඩාගෙන එන්නකෝ මේ සැමන් එකට දාන්න" ආන්යා ගෙයි පිටිපස්සේ පීච් ගහ යටට වෙලා පොතක් කියවමින් ඉද්දි කුස්සියෙන් එලියට එබුණු අම්මා කිව්වා.
"අනේ අම්මා කෝ වෙන කවුරුත් නැද්ද?"
"ඔය ඉතින් මොකක් කිව්වත් හනේ අම්මා කියලා තමයි පටන් ගන්නේ. රාධා මේහේ වැඩක්. අර යෝදයා මොන දීපංකරේකද නෑ. යන්න යන්න ගිහින් අරන් එන්න. මොකෝ හත් ගව්වක් යන්න තියෙනවද?"
අම්මගෙන් තවත් බැනුම් අහන්න නොඉඳ ආන්යා පුටුවෙන් නැගිටලා වත්ත දිහාට පල්ලම් බැස්සා. තක්කාලි පඳුරු සේරම හැදිලා තිබුණේ වත්තේ පාර මායිමට වෙන්න. ආන්යා තක්කාලි ගෙඩි කීපයක් කඩාගනිද්දිම වගේ ඈට ඇහුණා ජීප් එකක් එන හඬ. ඈ කෙලින් වෙලා බලද්දි එතන පාරෙන් යන්න ආව ජීප් එක ටිකක් ඉස්සරහට ගිහින් නැවැත්තුවා. ඒක අභීලගේ ජීප් එකක් වග ආන්යා දැනගෙන හිටියා. .
ආන්යා ඒ දිහා බලාගෙන හිටියේ කුතුහලෙන්. වාහනේ දොර ඇරගෙන එලියට බැස්සේ අභී. ආන්යා ඔහු එන දිහා බලාගෙන හිටියේ හැඟීමකින් තොරව.
"මේ නංඟි...ඔයා දන්නවද අර ආන්යා කියලා වස නපුරු කෙල්ලෙක් ඉන්නේ, අන්න එයා ඉන්න ගෙදර?" අභී ඇහුවේ හිනාවක් වත් නැතිව බැරෑරුම් මූණක් මවාගෙන.
ආන්යට හිනා යන්න ආවත් හිනාව මැඩගෙන ඈ කතා කලා.
"අනේ අයියා...මම දන්නෑනෙ. හදිසියකටද හොයන්නේ?"
"පොඩි හදිසියකට තමා"
"ම්ම්...මං දන්නෑනෙ"
"අයියෝ ඔයා දන්නැද්ද, මේ වත්ත අයිති මහත්තයාගේ පොඩි පුතා බඳින්න ඉන්නේ එයානේ"
"ඇත්තට? හීනෙන් වෙන්න ඇති" ආන්යා කිව්වා.
"ඇයි ඇත්තටම මට ඒක කරන්න බෑ කියලා හිතුවද?"
"ඒක කරන්න ඉතින් එයා කැමති වෙන්න එපැයි" ආන්යා කිව්වේ අතේ තිබුණ තක්කාලි ගෙඩි දෙක කරකවමින් ඒ දිහා බලාගෙන.
"හරි හරි, එයා ඕන නෑ. නංගි කැමති නැද්ද මාව මැරි කරන්න?"
"අපෝ නෑ...පිස්සෙක් මැරි කරන්න පුලුවන් කාටද?"
ආන්යා ඇහුවේ කටැ කොනකින් හිනාවෙමින්.
"එතකොට මට පිස්සු"
"ඔව්"
ඒ පාර අභී කම්බි වැත අසලට ඇවිත් ආන්යට ලං වුණා.
"ඔයානේ මාව පිස්සෙක් කරන්නේ"
එහෙම කිව්වාම ආන්යා රතු වුණා. ඈ අහක බලාගෙන කතා කලා.
"අනේ මේ...විකාර නොකියා කියන්න කොහෙද ඇත්තටම යන්නේ කියලා"
"විකාර නෙවෙයි මීනු...ඇත්ත. ඔයාගේ හිනාව, ඔය බලන විදිහ, තරහා යන විදිහ, මේ සේරම මාව පිස්සු වට්ටනවා තමයි"
"අභී ප්ලීස්...මම ඔයාට කොච්චර කියන්නද? මං ගැන ඔහොම හිතන්න එපා"
"එහෙනම් කවුරු ගැනද හිතන්න ඕන?"
'මං දන්නෑ" ආන්යා කිව්වේ බිම බලාගෙන.
"ඇයි මීනු ඔයාට මගේ ආදරේ පිළිගන්න බැරි? ඔයා දන්නවා මං ඔයාට ගොඩාක් ආදරෙයි කියලා"
ආන්යා සුසුමක් හෙලුවා. අභී විහිලු කර කර ම උන්නා නම් හොඳයි කියලා ඈට හිතුණා.
"ඇයි කියන්න?" අභී කම්බි වැට අත් දෙකින්ම අල්ලගෙන ඈ දිහාට තව ලං වෙලා ඇහුවා.
"හැමදේටම හේතු ඕනද?" ආන්යා ඇහුවා.
"ඕන...මට දැනගන්න ඕන මොකක් නිසාද ඔයා තාම ඔහොම හෙසිටේට් කර කර ඉන්නේ කියලා, මං පිස්සෙක් වගේ ඔයා පස්සෙන් එද්දිත්" ඒ පාර අභී උන්නේ ඇත්තටම බැරෑරුම් වෙලා.
"මට තව ඒ ගැන හිතන්න ඕන. අනික අපේ ගෙදරඉන් මේවා දැනගත්තොත් මොනා වෙයිද කියන්න බෑ"
"මම ඇවිත් අනකල්ගෙන් අහන්නද?" අභී එහෙම ඇහුවාම ආන්යා ඔහු දිහා බැලුවේ බියපත්වෙලා.
"අනේ එපා..එපා. ප්ලීස් අභී මට තව හිතන්න දෙන්න"
"මං කිව්වනේ, ඔයාට ඕන තරමක් කල් දෙනවා කියලා. ජීවිත කාලෙම වුණත් දෙන්න පුලුවන්, ඔයා අන්තිමට හරි මගේ වෙනවනම් මීනු..."
අභී එහෙම කිව්වාම ආන්යගේ හිතට ආවේ ඔහු ගැන මහා සංතාපයක්. ආදරේ කලත් ලබාගන්න බැරි ආර්යන්, ආදරේ වුණාට තමට ආදරේ කරන්න බැරි අභී...ආන්යගේ හිත තිබුණේ පැටලිලා.
"මට කවදාවත් ඔයාට ආදරේ කරන්න බැරි වුණොත්?" ආන්යා ඇහුවා.
අභී ඈ දිහා බලාගෙන උන්නේ වේදනාව පිරුණ ඇස් වලින්.
"මට එහෙම පෙසිමිස්ටිච් විදියට හිතන්න බෑ. ඒත් ඇයි මීනු ඔයාට එහෙම හිතෙන්නේ? මට ඇත්තම කියන්න මීනු, ඔයා අර කලින් හිතේ තිබ්බ දේ ගැන තාම හිතනවද?"
ආන්යා සුසුමක් හෙලුවේ හිත රිදුම් දෙන හන්දා.
"සමහරවිට..."
"එහෙමන එදා ඇයි කිව්වේ ආයේ මුකුත්ම හිතේ නෑ කියල?"
"අභී...ඔයාට පුලුවන්ද මාව දවසකින්, දෙකකින් අමතක කරන්න?"
ආන්යා ඇහුවාමා අභී ඈ දිහා මොහොතක් බලා ඉඳලා අහක බලා ගත්තා.
"මට තේරෙනවා...මං කල් දෙන්නම් කිව්වේ ඒකයි. ඒත් ඇයි මීනු ඔයාට මං ගැනත් පොඩ්ඩක් හරි හිතන්න බැරි? මම ඔයා වෙනුවෙන් කරන දේවල් මදිද? තව මොනාද මං කරන්න ඕන?" අභීගේ හඬ ටිකක් ආවේගශීලී වුණා.
"එහෙම නෙවෙයි අභී...ඔයා...ඔයා තරම් මට ආදරේ කරන කෙනෙක් ආයෙම මට කවදාවත් හම්බවෙන එකක් නෑ. ඔයා තරම් දේවල් කවදාවත් කිසිම කෙනෙක් මට කරලත් නෑ. ඒකයි මට බය...මම ඔයාගේ හිත රිද්දන්න බයයි අභී..."
අභී කම්බි වැට ඇතුලෙන් දෝතම දාලා ක්සිසිම සූදානමක් නැතිව උන්නු ආන්යගේ දෝතින් අල්ලගත්තා. ඈ අභී දිහාවට පොඩ්ඩක් ඇදිලා ගියා. අතේ තිබුණ තක්කාලි ගෙඩි දෙක පොඩි වුණා.
"ඒත් ඔයා දැන් කරන්නෙත් ඒක නෙවෙයිද මීනු?"
"මාව අතාරින්න අභී, දැන් මාව හොයාගෙන අම්මාවත් ආවොත්?"
"මං අම්මට කියන්නම්"
"ම්ම්...මොනාද?"
"දුවට මම ආදරෙයි කියලා"
"ඔයාට හැමදේම විහිලු අභී..."
"ඇයි ඔයා හැමවෙලේම එහෙම හිතන්නේ? ඔයා හිතන්නේ මට ඒක කියන්න බෑ කියලද?" අභී ආන්යගේ අත තවත් මිරිකගෙන ඇහුවා.
"ඔව්"
"ඔට්ටුද?"
"මොනාද?"
"හරි මම ඇවිත් ඇහුවොත් මට මොනාද දෙන්නේ?"
"ඔයාට අහන්න බෑ"
"ඇහුවොත්?"
"ඔයා එහෙම කරන්නෑ..."
"හරි මම ඇහුවොත්, ඊලන්ග දවස ඔයා එන්න ඕන මා එක්ක මුලු දවසම ඇවිදින්න. හරිද?"
"අහලා අකමැති වුණොත් එන්න බෑනෙ"
"බේබ්...මම ඇහුවොත්, කැමති වෙන විදියට තමා අහන්නේ"
"බලමුකෝ..." ආන්යා ඇත්තටම හිතුවේ අභී කරන්නේ විහිලුවක් කියලමයි.
"බලාගෙන ඉන්න" අභී අන්තිමට ආන්යගේ අත අතෑරියේ එහෙම කියලා.
 -------------------------
"අපෝ මේ යක්සයා මොකට ගෙදර ආවද මන්දා..." ආන්යා කිව්වේ තුන්වෙනි වතාවටත් අනුහස්ට කෑම ගේන්න කුස්සියට යන ගමන්.
"මොකෝ මේ?" කුස්සියේ උන්නු අම්මා ආන්යා දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ගෙදර ආ වෙලේ ඉඳලා මට වද දෙනවා. තේ ගේන්න, වතුර ගේන්න, කලිසම හෝදන්න දාන්න, ඇඳ අස් කරන්න, කැරම් ඉත්තෝ හොයන්න...මට නම් එපා වෙලා" ආනා නහයෙන් අඬ අඬ කැම බෙදාගෙන ඉස්සරහට ගියා.
"හා... හා...ඉන්න ටිකේ ඕවා කරලා දෙනවා. මොකෙක් හරි ඇවිත් ගෙනියපු දාට අපට සලකන්න වෙන්නේ නෑ ඊට පස්සේ ඔයාට" අනුහස් බත් එක අතට ගන්න ගමන් කිව්වා.
"අනේ හිතන් ඇති දෙන්න"
"ආ...හිතේ ඇති නාකි වෙනකල් ගෙදර ඉන්න එහෙනම්"
"ඉන්නවා තමයි"
"ඔව් ඉතින් වතු අයිතිකාරයෝ වුණාම ඉතින් කැමති තැනක ඉන්න පුලුවන් නේන්නම්" අනුහස් කිව්වේ සද්දේ ටිකක් අඩු කරලා.
"මොකක්ද කිව්වේ?"
"ඇයි අභී?" අනුහස් තොල් වලින් විතරක් කියලා ඉඟි කලා.
"අනේ යනව යන්න" ආන්යා ගස්සගෙන කුස්සියට වැදුනා.
"හලෝ මචං...මොකද මේ යක්කු ගස් නගින වෙලාවේ?" එක පාරටම සාලේ දිහාවෙන් ඇහුනේ අනුහස්ගේ හඬ. ආන්යා බත් මාලු  බෙදාගන්න ලෑස්ති වුණා විතරයි.
"කවුද?" කුස්සියේ උන්නු අම්මා සාලෙට එබුණා.
ආන්යා බත් බෙදාගන්න එක මදකට නවත්තලා අම්මා අනුවම බැලුවා.
"අම්මා...මේ අභී ඇවිත්" ඊලඟ මොහොතේ අනුහස්ගේ හඬ ඇහුණා.
දවල් වෙච්ච සේරම අමතක වෙලා උන්නු ආඅන්යා අම්මා පස්සෙන්ම සාලෙට ගියේ කුතුහලෙන්.
"ඇයි අභී මොකක් හරි හදිසියක්ද? වාඩි වෙන්නකෝ" කාලා අත පිහිමින් උන්නු තාත්තා පුටුවකට බර වෙමින් කිව්වා.
අභී දිග සුසුමක් හෙලුවා. ආන්යගේ හිතට අනියත බයක් දැනුනා. 'ඇත්තටම අභී ඇවිත් තියෙන්නේ ඇයි?'
"ආන්ටියි අන්කලුයි බලනවා ඇති, මං ඇයි මේ තරම් රෑ වෙලා මෙහෙම ආවේ  කියලා නේද? අන්කල් ෆැක්ට්‍රි එකෙන් එන්න පරක්කු වුණ හන්දයි මාත් දැන් ආවේ" අභී ආන්යා දිහා යන්තමට බලලා කිව්වා.
ආන්යට හීන්දාඩිය දාන්න ගත්තා. අභී මේ මොනවද කියන්න හදන්නේ?
"කොච්චර හිටියත් අන්තිමට මේක ඔය දෙන්නට කියන්නම වෙන නිසා මං හිතුවා අදම මේක කියන්න ඕන කියලා. හැමෝම ඉද්දි කියන්නයි මට ඕන වුණේ ඇත්තටම. සමහරවිට ආන්යා මේක කියලා නැතිව ඇති, මං දන්නවා එයා බයයි"
"අභී මොකක්ද මේ කියන්නේ?" තාත්ත ඇහුවේ කුතුහලෙන් වගේ.අම්මා නම් උන්නේ දැන්මම මූණ පොඩ්ඩක් විතර නපුරු කරගෙනද මන්දා.
"අන්කල්, ආන්ටි...මගේ හිතේ ආන්යා ගැන...කාලෙක ඉඳන් අදහසක් තියෙනවා...මං කලින් ආන්ය මේ ගැන කියලයි තිබුණේ. ඒත් එයා තාම මට උත්තරයක් දීලා නෑ. ඒ නිසා මං හිතුවා ආයෙම් ආන්යගෙන් අහන්න කලින් ඔයාලා දෙන්නගෙන් මේකට පර්මිෂන් ගන්න ඕන කියලා. මොකද අපි අපට කැමති වුණත් පේරන්ට්ස්ලා අකමැති වුණොත් මොනවත් කරන්න බැරි නිසා"
ආන්යා උන්නු විදියටම ගල් ගැහිලා උන්නා. තප්පරයක් දෙකක් විතර යනකල් ගෙදරම නිහඬතාවයක ගිලුණා.
"අභී...ඔහොම පොඩ්ඩක් වාඩි වෙන්නකෝ" අන්තිමට නලල පිරිමදිමින් තාත්තා කිව්වා. අම්මගේ ඉරියව්ව මොකක්ද කියලා ආන්යට පෙනුනේ නෑ.
"අභී දන්නවද දැන් ඔයා ඔය කිව්ව දේ බරපතලකම?"
තාත්තා එහෙම ඇහුවාම අභී තාත්තා දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"අන්කල්?"
"මම දන්නවා මේ වයසට ඔය වගේ අදහස් ඇති වෙන එක සාමාන්‍යයි. ඒත් අපි ඔයිට වඩා දුරදිග හිතන්න ඕන. එහෙම නේද?" තාත්තගේ සංයමය ගැන ආන්යට දැනුනේ පුදුමයක්. ආන්යා නම් උන්නේ ටිකෙන් ටික තමන් තුල උත්සන්න වෙන නොසන්සුන්තාවයක්, බයක්, ඒවගේම ලැජ්ජාවකුත් එක්කයි.
"මේක මනී මහත්තයට ආරංචි වුණොත් අපට වත්තෙනුත් යන්නයි වෙන්නේ" එහෙම කිව්වේ අම්මා.
"රූපා...පොඩ්ඩක් ඉන්නකෝ" තාත්තා අම්මව නැවැත්තුවා.
"එහෙම වෙන්නේ නෑ ආන්ටි. ඒක මට ගැරන්ට් කරන්න පුලුවන්. ඒ නිසයි මම බය නැතිව ඇවිත් මේ ගැන කතා කරන්න හිතුවේ. ආන්ටිලා වොරි වෙන්නේ ඒ ගැන නම්, ඒක කොහොමටවත් ප්‍රශ්ණයක් කර ගන්න එපා" අභී කිව්වා.
"ඔයා එහෙම කිව්වට පුතේ, ඔයා තාම ගෙදරට කියලා නෑනෙ. එහේ රියැක්ෂන් එක වෙනස් වෙන්නත් ඉඩ තියෙනවනේ" තාත්තා ආයෙම කිව්වේ පුරුදු නිවුණු ස්වරයෙන්.
"මං ඒ පැත්ත බලාගන්නවා. මට දැනගන්න ඕන අන්කල්ලා මේ ගැන මොකද හිතන්නේ කියලා විතරයි"
"එතකොට දැන් ඔය දෙන්න එකඟතාවෙකට ඇවිල්ලා ඉවරද? ආන්යා?" අම්මා එහෙම ඇහුවේ ටිකක් සැරෙන් වගේ.
"නෑ..." ආන්යා කිව්වේ ඇහෙන නෑහෙන ගාණට. මේ වෙන දේවල් නවත්තන්න ඈට ඕන වුණත් ඒක කරන්න ඈට හයියක් තිබුණේ නෑ.
"ආන්යා මගෙන් කල් ඉල්ලුවා. එයාට ඕන තරමක් කල් දෙන්න ම පුලුවන්. ඒත් ඒ මොනාටත් ආන්ටිලගේ කැමැත්ත අකමැත්ත අපට ඕනනේ"
තාත්තා සුසුමක් හෙලලා පුටුවට හේත්තු වුණා.
"මේක අපි තව හිතන්න ඕන දෙයක් පුතා"
"මට තේරෙනවා අන්කල්"
"හිතන්න දෙයක් නෑනෙ...අපි කොහොමද ඔයාගේ බොස්ගේ පුතාට අපේ දූව දෙන්නේ? මිනිස්සු මොනා නොකියයිද? මිල මුදල් වලට ආසවේ දූව දුන්න කියයි" අම්මා නම් උන්නේ කලබල වෙලා.
"රූපා...පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. ඔහොම ගහෙන් ගෙඩි එන්නා වගේ මේවා විසඳන්න බෑනෙ. මේකයි අභී...අපට ඔයාගේ දෙමාපියෝ එක්ක කතා නොකර මේකට මොනවත් කියන්න බෑ. ඒත් එක පාරටම ගිහින් මේ ගැන ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නත් මට බෑ කියන එක ඔයාට තේරෙන්න ඕන. මොකද මොනා කලත් ඒ මගේ හාම්පුතා නිසා. ඔයාට පුලුවන්ද ඔයා අද මේ අපට ඇවිත් කිව්වා වගේ ඔයාගේ ගෙදරටත් මේ ගැන කියන්න? එහෙම කියලා තිබ්බොත් මේ ගැන කතා කරන්න අපට ලේසි වෙනවා. තේරුණාද?"
"මට තේරෙනවා අන්කල්. මං ඉක්මණටම මේ ගැන ගෙදරට කියනවා. අයි ප්‍රොමිස්"
"ඔයා ගැන අපේ හිතේ කොහොමටවත් අපැහැදීමක් නෑ පුතේ. මොකද මම ඔයාලා දෙන්නවම දන්නේ පුංචි කාලේ ඉඳලා හන්දා. ඒ නිසා වෙනදා වගේ අපේ ළමයින්ව ආශ්‍රය කරනවටත් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒත් ගොඩක් දේවල් ගැන ගොඩක් බලාපොරොත්තු තියානොගන්න එක තමා කෝකටත් හොඳ"
ආන්යගේ හිතේ තෙරපි තෙරපි තිබ්බ නොසන්සුන්කම තවත් දරාගෙන ඉන්න ඈට පුලුවන් වුණේ නෑ. හැමෝම කතා කරන විදියෙන් ගෙදර අයගෙත් අභීට අකමැත්තක් නෑ වගේ කියලා ආන්යට හිතුණා. අනුහස් කෑම කන එක පැත්තක තියලා මූණට බැරෑරුම් පෙනුමක් ආරූඨ කරගෙන පැත්තකට වෙලා උන්නේ වචනයක්වත් නොකියා.
"ඇයි මගෙන් කවුරුත් අහන්නැත්තේ මේකට මම මොකද්ද කියන්නේ කියලා?" මෙච්චර වෙලා නිහඬව උන්නු ආන්යා කතා කලාම හැමෝම ඈ දිහා බැලුවේ පුදුමෙන්.
"මීනු..."
"අභී...ඔයා මෙහෙම කරයි කියලා මම කොහොමටවත් හිතුවේ නෑ..." ආන්යා කිව්වේ ඇස් වල කඳුලු පිරෙද්දි.
"ඒත්...අද දවාලේ...? මං?" අභී තැතනුවා.
"ගෙදරින් ඇවිත් අහන්න තරම් දෙයක් අපි අතර නෑ අභී...එහෙම දෙයක් ඇති වෙන්නෙත් නෑ. මම ඔයාට කී පාරක් කියන්නද?"
අභීගේ මූණ අමුතු වුණා. අම්මලා, අනුහස් මේ සේරම අය මේ දෙන්න දිහා බලාගෙන උන්නේ අන්ද මන්ද වෙලා, මුකුත්ම කියාගන්න හිතාගන්න බැරිව.
"මීනු...වට් ආ යූ ටෝකින් අබවුට්? ඔයා...කිව්වේ තව හිතන්න ඕන කියලා විතරයි" අභී ඇඟිල්ල දික් කරලා ආන්යට කිව්වේ නැවති නැවති, හැඟීම් පාලනය කරගන්න අමාරුවෙන් උත්සාහ කරමින්.
"කොච්චර කල් ගියත් මට ඒක කරන්න බෑ අභී..."
"මීනු...දැන් ඇයි...ඔහොම කියන්නේ?"අභී උන්නේ කතා කරගන්න බැරි තරම් වේදනාවට පත් වෙලා.
"ඇයි ඔයා මෙහෙම ආවේ? ඇයි...අපි තීරණයක් ගන්නත් කලින් මෙහෙම කලේ?" ආන්යා කෑ ගැහුවා.
"මීනු..."
"අයි ඩෝන්ට් ලව් යු....අයි කැන් නෙවර් එවර් ඩූ දැට් ඊදර්" ආන්යා ආයෙම කිව්වා.
අභී ආන්යා දිහා බලාගෙන උන්නේ ඈ කියපු දේ අදහාගන්න බැරිව වගේ.
"ආන්යා....මොනාද මේ කරන්නේ?" ආන්යා අසලම උන්නු තාත්තා ඈ ලඟට ඇවිත් ඇහුවේ සැරෙන්.
අනුහස් උන්නෙත් නැගිටලා අභීට ලඟින්.අම්මා තාමත් උන්නේ අන්ද මන්ද වෙලා.
"මේක කොහොමත් වෙන්න බෑ..." ආන්යා ආයෙම කෑ ගැහුවා.
අභී ආයෙම මුකුත් කිව්වේ නෑ. මොහොතක් ආන්යා දිහා බලාගෙන උන්නු ඔහු වට පිට දෙපාරක් විතර බැලුවා.
"අභී...පොඩ්ඩක් මේ අහන්න" අනුහස්ට මොකදෝ අනතුරක් තේරිලා වගේ ඔහු අභීට තවත් ලං වුණා.
"වයි, ඇයි මේක වෙන්න බැරි? කියන්න...මට ඒක දැනගන්න ඕන. ඔයා මට හංගන ඒ දේ මට දැනගන්නම ඕන..." අභී ඊට පස්සේ කිව්වා.
"මට ඔයාට ආදරේ කරන්න බැරි හන්දා..." ආන්යා කිව්වා.
"ආන්යා" අනුහස් ඈ දිහා බැලුවා.
"ඉස් දැට් ද ගෝඩ් ඩෑම්න් රීසන්? හා..."
"ඔව්"
"ෆයින්... ආෆ්ටර් ඕල් අයි හැව් ඩන් ෆෝර් යූ, ඉෆ් දැට් ඉස් වට් යූ ගොට් ටු ටෙල් මී, ෆයින්..."
අභී එහෙම කියලාගෙදරින් අඩියට දෙකට එලියට බැස්සේ අනුහස් ඔහු පස්සෙන් දුවද්දි. 
"අභී ඔහොම පොඩ්ඩක් ඉන්න"
ඊටපස්සේ ආන්යට ඇහුණා අභී ජීප් එක පණගන්වන සද්දේ. ඒක මිදුලෙන් එලියට ගියේ මහා සද්දෙන් රේස් කරගෙන.
"මොනවද ළමයෝ ඔයාට වෙලා තියෙන්නේ? පිස්සෙක් වගේ පුලුවන්ද දේවල් විසඳන්න? ඔයා අකමැති නම් ඒක කියන විදියක් තියෙනවා. ගෙදරට ආපු මිනිහෙක්ට ඔහොම අපහාස වෙන විදියට හැසිරෙන්න ඕනද? අභී ගියේ හොඳටම හිත රිදිලා. කාට වුණත් ආත්ම ගරුත්වයක් තියෙනවා ආන්යා. ඔයා හැසිරුන විදිහ අන්තිම නරකයි" පුටුවක ඉඳගෙන හති අරිමින් උන්නු ආන්යට තාත්තා දොස් කිව්වා.
"ඒක ඇත්ත. ඒ මනුස්සය ආවේ හිතේ හොර බොරුවක් නැති නිසානේ අපෙන් කෙලින්ම අහන්න. ඔයා යක්සනී වගේ කඩාපැන්න එක වැරදියි. තාත්තා කියන්වා වගේ අකමැතියි කියන විදිහක් තියෙනවනේ" අම්මත් කිව්වා.
"ඒක කියලා, කියලා මට ඇති වෙලා. අභී අහන්නෑ. මටැ බැරි දෙයක් මම කොහොම කරන්නද?" ආන්යා කිව්වේ අත් දෙකේ මූණ ගහගෙන අඬන ගමන්.
"ඔයාට වෙන අෆෙයර් එකක් තියෙනවද?" තාත්තා ඇහුවා.
ඒක්ට උත්තරයක් දෙන්න කලින් සිද්ධි කීපයක් වුණේ එකට. එලියට ගිය අනුහස් ගෙට ආවෙත් වත්ත පහලින් වාහනයක් හයියෙන්ම තිරිංග දමන සද්ද්යක් ආවෙත්, මොකක්ද කියලා හිතාගන්න බැරි මහා සද්ද දෙක තුනක් ඊට පස්සේ ඇහුනෙත් එක දිගට. ගෙට තිබ්බ අඩිය එහෙමම ගත්තු අනුහස් මිදුලට දිව්වේ එක පිම්මේ. තාත්තයි , අම්මයිත් ඒ පස්සේ දිව්වා. ආන්යා උන්නේ පුටුවෙන් නැගිටලා. මොකක්දෝ මහා බයක් ඇගේ හිතට දැනෙන්න ගත්තා.
"අයියෝ...කඩවලේ..." ගෝපි කෑ ගහනවා ආන්යට ඇහුනේ හීනෙන් වගේ. ඈ දෙවරක් නොහිතම එලියට දිව්වා.
අම්මලා, අනුහස්, ගෝපි එක රොත්තට වත්ත දිගේ දුවනවා ආන්යට පෙනුනා.
"අයියෝ...ජීප් එක පීල්ලට පෙරලිලා..." ගෝපිගේ අඳෝනාව රාත්‍රිය දෙවනත් කරද්දි ආන්යගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ ඈට දැනුනා. ඈ ඉන්න තැනින්ම පහල වත්තට පැනලා වැටි වැටීම පීල්ලට බහින පඩිපෙල අසලට දිව්වා. මොනා වෙලා ඇතිද කියලා හිතන්නවත් ඈ බය වුණා. යන්තම් පඩිපෙල අසලට යද්දි පහල ඉඳන් දුවගෙන ආපු තාත්තා, එක පිම්මේ ගේ දිහාට දිව්වේ ආන්යගේ ඇඟෙත් වැදීගෙන. ඊට මොහොතකට පස්සේ, අනුහසුයි, ගෝපියි යමක් උස්සගෙන පඩිපෙල දිගේ උඩට නගිනවා දැක්කම ආන්යගේ හිස කැරකෙන්න ගත්තා. අම්මා උන්නේ ඒ ලඟ ගලක් උඩ වාඩි වෙලා පපුවත් අල්ලගෙන.


5 comments:

  1. I am really sorry abt publishing an incomplete half before...Pls ignore it and read this part now, which is corrected
    :)

    ReplyDelete
  2. මෙි කාතාවෙි අද කොටසත් එක්ක කොටස් 6ක් ම කියෙවිවෙි දැන්. ලස්සනට ලියලා තියෙනවා නෙතු... ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න කියලා ඉල්ලනවා ඔයාගෙන්. බොහොම ස්තුතියි..!!!

    ReplyDelete
    Replies
    1. thank you Nadun. I will try my best to put the chapters quickly.

      Delete
  3. apoy deyane me moko une appa :( hope abhi is fine :\

    ReplyDelete
  4. දැන් වෙන්නෝනැ කතාවෙ හොඳම හරිය..

    ReplyDelete