Tuesday, May 22, 2012

හතලිස් එක්වන කොටස


"මීනු...මෙහේ එන්න මෙන්න කැම්පස් එකේ මොකක්ද ගැන නිව්ස් වලට කියනවා"
ආන්යා උදේ ඇහැරිලා තේ එක බිබී කුස්සියේ ඉන්න අතරේ සාලේ උන්නු තාත්තා ඈට කතා කලා.
"මොකක්ද තාත්තේ?"
"ලෙක්චරස්ලගේ ස්ට්‍රයික් එකෙක්ලු...පඩි වැඩි කිරීමක්ද කොහෙද ඉල්ලලා..."
"අයියෝ...ඉතින් කැම්පස් වහනවලුද?" ආන්යා ඇහුවේ ටීVඊ එක ලඟට ලං වෙන ගමන්.
"පේන විදියට නම් එහෙම තමයි. ඉතින් මේ අය ස්ට්‍රයික් කලාම උගන්නන්නේ කවුද?" තාත්තා කිව්වේ අම්මා ගෙනැත් දුන්නු මැදපු කමිසේ අතට ගන්න ගමන්.
"මෙහෙම ගියොත් මේ ළමයින්ට නාකි වෙනකල්ම කැම්පස් එකෙ තමා ඉන්න වෙන්නේ. එක පාරකට ළමයි ස්ට්‍රයික් කරනවා, ඊට පස්සේ අනධ්‍යයන කාර්යමණ්ඩලේ...දැන් ලෙක්චරස්ලා...අනේ මන්දන්නෑ..." අම්මා සුසුමක් හෙලලා ආයෙම කාමරේ දිහාට යන්න ගියා.
"මීනු..." ආන්යා කාට හරි කතා කරලා විස්තරේ දැනගන්න කාමරේට යන්න හදද්දි තාත්තා ඈට කතා කලා.
"ඇයි තාත්තා?"
"පොඩ්ඩක් ඔහෙන් වාඩි වුණා නං" තාත්තා කිව්වේ ටීවි එකේ සද්දේ අඩු කරලා සැටියේ ඉඳගන්න ගමන්.
ආන්යට මොකක්දෝ බයක් දැනුනත් ඈ තාත්ත අසලින් වාඩි වුණා.
"ටික දවසක ඉඳන් මම ඔයාගෙන් අහන්නම හිටියේ. ඔයා දැන් ඉස්සර හිටපු ළමයා නෙවෙයි වගේ මට තේරෙනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන්වද පුතේ?"
තාත්තා එන්න හදන්නේ මේකට කියලා ආන්යා ඉවෙන් වගේ දැනගෙන හිටියා.
"මට? නෑ...එහෙම එකක් නෑ"
ඒ පාර තාත්තා ආන්යා දිහා පරීක්ෂාවෙන් බලාගෙන හිටියා. ආන්යා උන්නේ අපහසුවෙන්.
"මට හංගන්න හදන්න එපා පුතේ. අවුරුදු විසි හතරක් ඔයාලව හදපු මට ඔයාලගේ චූටි වෙනසක් වුණත් හොඳට තේරෙනවා. මං දන්නවා ඔය වයසට විවිධ ප්‍රශ්ණ තියෙන වග. ඒවා නැචුරල්. ඒත් ඒ ප්‍රශ්ණ නිසා අපි හිතින් දුක් විඳින්න ඕන නෑ. ඔයා දන්නවනේ අපි හැමදාම හිටියේ යාලුවෝ වගේ කියලා. ඉතින් ඇයි ඔයාට බැරි හිතේ හැමදේම හංගගෙන නොඉඳ ඕක මට හරි අම්මට හරි කියන්න?"
ආන්යා කියන්න දෙයක් හිතාගන්න බැරිව පුටුවේ එහා මෙහා ඇඹරුණා.
"ප්‍රශ්ණේ කොල්ලෙක් ගැන නේද?" තාත්තා ඇහුවේ කට කොනකින් හිනාවෙන ගමන්.
තමට මෙච්චර ආදරේ තාත්තා ඉස්සරහ බොරුවක් කියන්න ආන්යගේ දිව නැමුනේ නෑ. ඒ නිසා ඈ කලේ නිහඬ වුණ එක.
"දුව කා එක්ක හරි අෆෙයාර් එකක් තියෙනවා නම් අපට කියන්න. ඒ කවුරුහරි එක්ක කතා කරලා, දෙමව්පියන්ට හෙම කියලා අපි මේවා හොඉඳට ප්ලෑන් කරගමු"
"එහම දෙයක් නෑ තාත්තේ..."
"එහෙනම්?" තාත්තා ආන්යා දිහා ඇස් දල්වගෙන බලාගෙන උන්නා.
ආන්යට දුක හිතුණා. ඇත්තටම සේරම දේවල් තාත්තට කියලා හිත සැහැල්ලු කරගන්න පුලුවන් නම්, හිතේ හැටියට දුක ඉවර වෙනකල් අඬන්න පුලුවන් නම් කියලා ආන්යට හිතුණා. ඒත් කොහොම කියන්නද? ආන්යා කලේ තාත්තා උන්නු තැනට ගිහින් දණගහගෙන ඔහුගේ දෝතම අල්ලගත්තු එක.
"තාත්තා...අද නෙවෙයි ඒත් ඉක්මණටම කියන්නම්. එතකල් මගේන් මුකුත් අහන්න එපා තාත්තා. මම කවදාවත් අම්මටයි, තාත්තටයි නරකක් අහන්න තියන්නේ නෑ"
තාත්තා ඈ දිහා මොහොතක් බලා ඉඳලා ඇගේ හිස අතගෑවේ සෙනෙහසින්.
"ඒක මං දන්නවා පුතේ. මොනා කලත් සිහිබුද්ධියෙන් කරන්න පුතේ. තීරණ ගද්දි හදිසි වෙන්න එපා. අනාගතේ ගැනත් හිතන්න. තේරුණාද?"
"ම්ම්" ආන්යා හිස වැනුවා.
"ඔයාට ගෙදර ඉන්න කම්මැලි නම් ඔෆිස් එකට එන්න. මට ගොඩ වෙච්ච වැඩ වගයකුත් තියෙනවා"
"මං එන්නම් තාත්තා"
තාත්තා ගිහින් ටික වෙලාවකට පස්සේ ආන්යා ගේට්ටුවෙන් එලියට බැස්සේ පයින්ම ෆැක්ට්‍රි එකට යන්න හිතාගෙන. ඒ තාත්තා යන වෙලාව වෙද්දි ලාස්ති වෙලා ඉවර වෙන්න ඈට බැරි වුණ හන්දා.
"බේබි...බේබි ඔහොම ඉන්න..." ආන්යා ගේට්ටුව වහන්න යද්දි ඈ දිහාවට දුවගෙන ආවේ ගෝපි.
"ඇයි ගෝපි?"
"ලොකු නෝනා කිව්වා බේබිව ඇරලවලා එන්න කියලා"
ගෝපි ගේට්ටුවෙන් එලියට ආවේ එහෙම කියාගෙන.
"හ්ම්..හ්ම්..එහෙනම් යමු ඉතින්"
දෙන්නත් එක්ක මග දුරක් කතා බහෙන් තොරවම පල්ලම් බැස්සා.
"බේබි...ඊයේ ව්ච්ච දේවල් හන්දා බේබි ඉන්නේ දුකෙන් නේද?" ගෝපි ගොඩ වෙලාවක ඉඳන් මේ ප්‍රශ්ණේ අහන්න බලාගෙන හිටියා වගේ ආන්යට තේරුණා.
"අපි ඔය ගැන කතා නොකර ඉමු ගෝපි..."
"මේක එමදාම මට හිතේ තියාගෙන ඉන්න බෑ බේබි...මම ආර්යන් මාතියාට වචනේ දුන්නා තමයි ඒත් මම මේක බේබිට කියන්න ඕන"
ගෝපි එහෙම කිව්වාම ආන්යා උන් තනම නැවතිලා ගෝපි දිහා බැලුවා.
"මොකක්ද?"
"ආර්යන් මාතියා පව් බේබි...ඊයේ ඒ මාතියා සෑහෙන්න අප්සට් එකෙන් තමා හිටියා. මම කවදාවත් දෙකලා නෑ ඒ මාතියා මේම බොනවා"
"බොනවා?" ආන්යා ඇස් විසල් කරගත්තා.
"ම්ම්...රෑ අර පහල මස්ටර් ෂෙඩ් එකට තමා ඇවිත් බිව්වා. මාත් හිටියා. තනියෙම දාන්න බයයිනේ බේබි"
ආන්යගේ හිතට ආවේ දරාගන්න බැරි තරම් දුකක්.
"එතකොට අභී කොහෙද හිටියේ?"
"ඒ මාතියා උදේ දෙකට තමා කොලඹින් ඇවිත් තියෙනවා. ඉතින් ඒ මාතියා නිදා ගත්තා"
ආන්යා ඇඟිලි එකටෙක මිරිකමින් කල්පනා කරන්න වුණේ හිතේ දුක තව ඇවිලෙද්දි.
"ගෝපි ඇයි ආර්යන්ව නැවැත්තුවේ නැත්තේ?"
"අයියෝ බේබි මම කොහොමද ඒම කරන්නේ?"
"ඉතින් ආර්යන් මහත්තයා මොකද කිව්වේ?" ආන්යා ඇහුවේ රහසින් වගේ.
"බේබි ගෙන තමා ගොඩාක් කතා කලා. අභී මාතියා ගෙනත් කිව්වා. ශර්මිලා නෝනාව බඳිනවා කියලත් කිව්වා. අනේ මන්දා බේබි...මට පපුව පැලෙන්න තමා ආවා, ඒ මාතියාගේ ඇස් වල කඳුලු දෙකලා"
"කඳුලු?" ආන්යා ඇහුවේ බිඳුනු හඬින්.
"බේබි වගේම, ඒ මාතියත් බේබි ගෙන ඉතනවා බේබි...යේක මට ඊයේ තමා තේරුණා. ඒත් අභී මාතියත් බේබි ගෙන ඉතනවනේ...අයියො කඩවලේ මට නම් තේරෙන්නේ නෑ" ගෝපි ආයෙම කිව්වත් ආන්යා උන්නේ වෙනම ලෝකෙක.
ආර්යන්ගේ ඇස් වල කඳුලු ගැන ඇහුවාම ඇගේ හිත වාවන්නේ නැතිව ගියා.
"බේබි...ආර්යන් මාතියා ආයෙමත් බේබිට කරදර කරන්නේ නෑ කියන්න කියලා විතරක් මට කිව්වා. බේබි යේක ඒම වෙච්ච එක තමා හොඳ. ඒ මාතියා දෙන් කසාද බඳින්න නේ ඉන්නේ. මේක ඔක්කොම වෙරදි වෙඩ නේ බේබි. ඒ මාතියා ගෙන ආයම ඉතන්න එපා බේබි. රත්තරං මාතියා තමා. ඒත් තනි නෑනෙ. අමතක කරන්න බේබි...ඉතන්න එපා"
ගෝපි ගේ අවවාද නිහඬවම අහගෙන ආන්යා හිත ඇතුලෙන් වැලපුනා. මේ වෙද්දි දෙන්නම ෆැක්ට්‍රිය ලඟට ඇවිත් උන්නේ.
"ආර්යන් මාතියා ඊයේ සේරම තීරණේ කරලා අර නෝනවම බඳින්න තමා යනවා. බේබි මේක ඔක්කොම අමතක කරන්න. අභී මාතියාත් බේබි ට පණවගේ නේ...ඒ මාතියා තමා බේබිට හරියන්නේ"
""මට තේරෙන්නේ නෑ ගෝපි මොනා කරන්නද කියලා. මගේ හිත සේරම අවුල් වෙලා...අපි දැන් ඔය කතාව නවත්තමු. මම මෙතනින් යන්නම්, ගෝපි ගෙදර යන්න. මා එක්ක කතා කරපුවා කාටවත් කියන්න එහෙම එපා තේරුණාද?"
ගෝපි හිස වැනුවා. ආන්යා කඳුලු පිහගෙන තාත්තගේ කන්තෝරු කාමරේට යන්න ගියා.
"ගුඩ් මෝනින්ග් මිස්...ලොකු මහත්තයා නම් ටිකකට අනික් ඩිවිෂන් එකට ගිහින් එන්න ගියා. මේසෙ උඩ ෆයිල් වගයක් ඇති කිව්වා, ලැප්ටොප් එකට එන්ටර් කරන්න ඕන. ෆයිල් එක ඒකේ ඇරලා ඇති කිව්වා" ආන්යා කන්තෝරුව ඇතුලට යද්දි ඈ අසලට ආපු තාරුකා කිව්වා.
"හරි තාරුකා"
ආන්යා නිහඬවම වැඩ කරන්න පටන් ගත්තේ, ගෝපි කියපු දේවල් සිහි නොකර ඉන්න උත්සාහ කරමින්. ඈ පලවෙන් ෆයිල් එකේ දත්ත පුරවලා ඉවර වෙද්දිම වගේ කන්තෝරුවෙ දොර ඇරගෙන ඇතුලට ආවේ ඈ කොහොමවත් දකින්න බලාපොරොත්තු නොවුණ කෙනෙක්.
"ආ...මේ...මිස්ට වීරප්පෙරුම නැද්ද?" ආර්යන් බාගෙට දොරෙන් ඇතුලු වෙලා ආන්යගෙන් ඇහුවේ එක පාරටම වෙච්ච දෙයින් අපහසුතාවයට පත් වෙලා වගේ.
"නෑ, වෙන ඩිවිෂන් එකකට ගිහින්" ආන්යා උත්තර දුන්නෙත් අමාරුවෙන්.
"ආ..ඕකේ. මම පස්සේ එන්නම්" ආර්යන් කතා කලේ ආන්යව කවදාවත් මුණගැහිල නැති ගාණට.
"අද යනවා කිව්වේ" ඔහු එලියට යන්න කලින් ආන්යා ඇහුවේ රිදුම් දෙන හිතින්.
"ගියේ නෑ. ශර්මිලා මෙහේ එනවා, සයිට් එක බලන්නත් එක්ක. ම්ම්...මම එයාලව අද අනික් අඅවුට් හවුස්  එකේ නවත්තනවා කියන්නයි ආවේ. ප්ලීස් තාත්තට කියන්න. මම ඒ අය අරන් එද්දි එන්න පරක්කු වුනොත්"
ආන්යගේ ඇස් මගාරිමින් ආර්යන් එහෙම කියද්දි ආන්යා ඔහු දිහාම බලාගෙන උන්නේ හිත ඉකි ගසමින් අඬද්දි. ඒත් තප්පරේකට ආයෙම ඔවුන්ගේ ඇස් හමුවුණා. ආර්යන්ගේ රතු වුණ ඇස් දැක්කාම ආන්යගේ ඇස් ඇසිල්ලකින් කඳුලු පිරුවා.
"මං යනවා" කඳුලු වැටෙන්න කලින් ආර්යන් දොර වහගෙන පිටවෙලත් ඉවරයි. මුවට ආපු ඇඬුම ආයාසයෙන් නවතගත්තු ආන්යා ඇඟිලි තුඩකින් දෑස් පිහ ගත්තා. ඒත් ඒ වේලාවේ ආර්යන් දොරෙන් එහා පැත්තේ හිටගෙන තමන්ගේ හිත සන්සුන්කරගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින් උන්න්නු වගවත්, ඒ රතු වුණ ඇස් වලත් රැඳුනු කඳුලු පටලයක් තිබ්බ වගවත් ආන්යා දැනගෙන හිටියේ නෑ.
ආන්යා අමාරුවෙන් හිත එකලස් කරගන ආපහු ටික වෙලාවක් වැඩ කරගෙන යද්දි ඔන්න මේ පාර ඇගේ ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා.
"හලෝ..." ඈ වැඩ කරන ගමන්ම ඒක කනේ තියා ගත්තා.
"ගුඩ් මෝනින්ග්, මීනු පැට්ටා...ඔයා කොහෙද ඉන්නේ?" එහා පැත්තෙන් ඇහුණේ අභීගේ නිදිබර කටහඬ.
"පැට්ටා? මොකද මේ උදේම ඇඳෙන් වැටුනද? මෝනින්ග් නෙවෙයි දැන් දවල්ට කන වෙලාවත් ලඟයි" ආන්යා කිව්වේ තරමක අමනාපයෙන්.
"අප්පෝ ඔච්චරම තරහා ගන්න එපා මීනු, ඔයා ඉක්මණට වයසට යයි. අයි කාන්ට් මැරී ඇන් ඕල්ඩ් හැග්"
"හූ සේඩ් අයෑම් ගොන්න මැරී යූ?"
"ඩෙස්ටිනි...හරි ඉතින් බඳින්න කලින් තව කොච්චර වැඩ කරන්න තියෙනවද? ඉස්සෙල්ලා කියන්න ඔයා ඉන්නේ ගෙදරද කියලා" ඒ පාර අභී නැගිටලා වගේ.
"නෑ"
"එහෙනම්?"
"කියන්නෑ...ඇවිත් මට කරදර කරන හන්දා"
"මං හොයාගන්නම්කෝ එහෙනම්"
"අනේ අභී...මම ලොකු වැඩක ඉන්නේ. ඇවිත් කරදර කරන්න නම් එපා" ආන්යා ඒ පාර ටිකක් මුදුවට කිව්වා.
"අයි වෝන ගිව් යූ සම්තින්ග්..."
"පස්සේ දෙන්න"
"ම්හු...බෑ. අදම දෙන්න ඕන. මම හවස ගෙදර එන්නද?"
"අනේ..."
"නැත්තම් දැන් ෆැක්ට්‍රි එකට එන්නද?" ඔහු එහෙම ඇහුවාම ආන්යා පුදුම වුණා.
"ඔයා කොහොමද දන්නේ?"
"ටෙලිපති"
"අභී...ප්ලීස් මම වැඩක ඉන්නේ"
"එහෙනම් හවස ගෙදරට එන්නම්"
"හා...හා...හරි. දැන් මට මේ වැඩේ කරන්න දෙන්න"
"ඕ...කේ... ලව් යූ ප්‍රින්සස්..."
අභී ඇමතුම විසන්ධි කලේ එහෙම කියලා. ආන්යා සුසුමක් හෙලුවා. එක අතකට මොනවත්ම නොදන්න අභී එක්ක තරහා අරගන්න එක අසාධාරණයි නේද කියලා ඈට හිතුණා.


2 comments:

  1. abhith pawu arayanuth pawu,, ane manda mona wenne yanewade kiyala :(

    ReplyDelete
    Replies
    1. dennama paw, eat itin mona karannada neda? aadare samahara welaawata hariyata duk denawa apata.

      Delete