Sunday, May 20, 2012

තිස් නමවන කොටස


ඒ එලඹිලා තිබුණේ වැහිබර උදෑසනවල් පිරුණු කාලේ. හුඟ වෙලාව්ට වැස්ස නැතත් හුලඟ නම් අනිවාර්යෙන්ම තිබුණා. මීදුමෙන් බර වුණ අඳුරු කාලගුණය, ගස්කොලන් අඹරවාගෙන හමන් සීතල මුසු වුණ හුලඟ, ආන්යගේ හිත තව තවත් අඳුරු කලා. ඉස්සර නම් තමන් මේ කාලගුණේට කොච්චර නම් ආසද කියලා ඈ හිතුවා. ටිකකට හරි මේ ලතැවුල් ඈට අමතක වුණේ මොනවාහරි වැඩක යෙදිලා ඉන්දැද්දි විතරයි. ඒ නිසා ගෙදර අතුපතු ගාන්න අස් කරන්න වගේම ගෝපියි රාධායි එක්ක වත්තේ පැල හිටවන්න, වල් ගලවන්න වගේ දේවල් වලටත් ඈ දායක වුණේ අම්මගේ අප්‍රසාදයත් නොතකා. ආන්යා ගිහින් වගා කටයුතු කරන්වට අම්මා ඒ තරම් කැමැත්තක් පෙන්නුවේ නෑ.
"අනේ හැබෑට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ළමයෝ මේ වැඩකාරයෝ එක්ක වතු අස්සේ රිංගන්වට වඩා?" දවසක් ආන්යා රාධා එක්ක පහල ලීක්ස් දාපු වත්තට යන්න ලෑස්ති වෙද්දි අම්මා ඇහුවා.
"අනේ අම්මා...ගෙදරට වෙලා පාලුවේ මං මොනා කරන්නද? අනික ඉතින් අපේ වත්තනේ. මං වැඩ කලාම මොකද?" ආන්යා කිව්වා.
"ඕන දෙයක් කරගන්න එකයි...තාත්ත්ට ගාණකුත් නෑනෙ" අම්මා අමනාපෙන් අහක බලාගත්තේ එහෙම කියාගෙන.
ආන්යා අම්මා අසලට ඇවිත් ඈට හාදුවක් දීලා ගෙයින් එලියට දුවගෙන ආවා, ඈ එනකල් බලා උන්නු රාධායි, ගෝපියි එක්ක එකතු වෙන්න.
"මේක ඉක්මණට කරානං මට දවල් වෙන්න කලින් ආර්යන් මාතියාගේ ගෙදර තමා යන්න පුලුවන්" පාත්තියකට බෙහෙත් ඉහිමින් උන්නු ගෝපි කිව්වේ බෙහෙත් නො ඉහපු පාති ගාණ දිහා බලමින්.
"ඇයි, ගෝපි දැන් එහේ පාට් ටයිම් වැඩද?" ආර්යන්ගේ නම ඇහීමෙන්ම හිත කම්පාවට පත් වුනත් ඒ වගක් නොපෙන්නා ආන්යා ඇහුවේ ආර්යන් ගන මොනා හරි තොරතුරක් දැනගන්න හිතාගෙන. එදා ඈව ඇරලලා ගියායින් පස්සෙම ආයෙම ආර්යන් ඈට දකින්න්වත් ලැබුණේ නෑ.
"නෑ, මාතියා මේ දවස් වල තනියෙම නේ. අනික් මාතියත් නෑනෙ. ඒකයි" ගෝපි උත්තර දුන්නා.
"ආර්යන් මහත්තයා හොඳින් ඉන්නවද ගෝපි?" ආන්යා ඇහුවාම ගෝපි ආයෙම වැඩේ නවත්තලා ඈ දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ඔව්. හොඳින් තමා ඉන්නවා. කනවා, බොනවා, සයිට් එකටද මොකටද යනවා...ඇයි බේබි එහෙම අහන්නේ?"
රාධා ආන්යා දිහා බලාගෙන උන්නේ දුකකින් වගේ. වෙච්ච දේවල් ආන්යා රාධාට කිව්වේ මේ හැම දේකම මුල ඉඳන්ම ඈත් කොටස්කාරියක් වුණ හන්දයි.
"නිකං. මහත්තයා අපි ගැන අහන්නේ නැද්ද?" ආන්යා ආයෙම ඇහුවා.
"නෑ බේබි ඇහුවේ නම් නෑ"
ආන්යගේ හිත දුකින් බර වුණා. ඇත්තටම ආර්යන් තමන් එක්ක හුඟක් තරහා වෙලා කියලා ඈට හිතුණා.
"ඇයි බේබි, මොකක් හරි ප්‍රශ්ණයක්ද?" ආන්යගේ මැලවුණ මූණ දැකපු ගෝපි වැඩේ හොඳටම නවත්තලා ඈ දිහා බැලුවා.
"ඒ මහත්තයා මා එක්ක තරහා වෙලා ගෝපි"
"තරහා වෙලා? බේබි එක්ක? ඇයි ඒ?" ගෝපි තාමත් උන්නේ ටිකක් විතර පුදුම වෙලා.
ආන්යා උත්තරයක් නොදී බිම බලාගෙන හිස වැනුවා.
"අභී මාතියාගේ වැඩේ නිසාද? ගෝපි එහෙම ඇහුවා.
"නෑ. නෑ. අනේ නෑ. කියන්නත් එපා ගෝපි, බැරිවෙලාවත්. තේරුණාද?" ආන්යා ඉක්මණට කිව්වා.
"තේරුණා. එහෙනම් ඇයි බේබි?" ගෝපි ආයෙම අහනවා.
ආන්යා උත්තරයක් නොදී හිස වැනුවා, හරියට මං දන්නෑ කියන්න වගේ. ඈ කතා කරන්න බය වුණේ එහෙම වුනොත් ඈට ඇඬෙන වග හූඳටැම දැනං උන්නු නිසා.
"ඹේබි ඇයි මේ?" ආන්යගේ දුකෙන් බර වුණ මූණ දැකලා ගෝපි ඇහුවේ ඔවුන් දෙන්නා උන්නු තැනට ලං වෙලා.
"ආර්යන් මහත්තයා ඉන්නේ සතුටින්ද ගෝපි?" ආන්යා ඒ ප්‍රශ්ණෙට උත්තර නොදී ආයෙම ඇහුවා.
ගෝපි ආන්යා දිහා බලාගෙන උන්නේ මොනවදෝ ගොඩාක් දේවල් හිතමින් කියලා ආන්යට හිතුණා. ඊට පස්සේ ඔහු ඈ දිහා බැලුවේ බියපත් දෑසින්.
"අයියෝ බේබි, බේබි ආර්යන් මාතියා ගැන ගොඩක් හිතනවා නේද? ආඬවනේ...මොනාද බේබි මේ කරන්න හදන්නේ? දන්නැද්ද ඒ මාතියා හෙට අනිද්දට බඳින්න තමා යනවා"
"ඒ මහත්තයා එහෙම කිව්වද?" ආන්යා ගෝපිගේ බය නොසලකා ඇහුවා.
"කිව්වා නෙවෙයි, මට ඇහුණා. ෆෝන් එකෙන් කියනවා ඒ ගැන"
ආන්යා සුසුමක් හෙලුවා හිතේ බර නිදහස් වේවිද බලන්න. ඒත් එහෙම වුණේ නෑ.
"බේබි...ආර්යන් මාතියා රත්තරං  තමා. ඒත් බේබි එයාට වෙන ගේනු ළමයෙක් ඉන්නවනේ..."
>ආන්යගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඇසිල්ලකින්. ආන්යා ඒ වග දැනගෙන උන්නත්  හැමවෙලේකම වගේ අදත් ඇගේ හිත ඒක පිලිගන්න ලෑස්ති වුණේ නෑ.
"මේම ගියොත් ලොකු විනාසයක් තමා වෙනවා බේබි...ආර්යන් මාතියා ගෙන හිතන්න එපා බේබි" ගෝපි ආයෙම කිව්වාම රාධා මුල්ම වතාවට කතා කලා.
"උනක්ක ඔන්නු තෙරියාද ඩා.. අවර් තාන් මුදල්ල වන්ද ඉවකිට්ට අදු ඉදු සොන්නද (ඔයා මොන්වත් දන්නේ නෑ. එයා තමයි මුලින්ම ඇවිත් මෙයාට අරක මේක කිව්වේ)" රාධා එහෙම කිව්වා ගෝපිට.
ගෝපි රාධා දිහා මොහොතක් බලාගෙන් උන්නේ ඈ කියපු දේ අදහාගන්න බැරිව වගේ.
"නෙජමාවා (ඇත්තටමද )?"
"ආමා(ඔව්)"
"දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ රාධා. වැඩක් නෑ"
ආන්යා එහෙම කිව්වේ ඇහැ අගිස්සේ රැඳුණ කඳුලු බිංදුවක් පිසදාන ගමන්. ගෝපි ඈ දිහා තවමත් බලාගෙන උන්නේ ප්‍රශ්ණාර්ථයක් දලවගෙන.
"ගෝපි වචනයක්වත් මහත්තයාට කියනවා එහම නෙවෙයි, තේරුණාද? කියලා තිබ්බොත් මම තරහම තරහයි"
ඈ ආයෙම කිව්වා. ඒත් ගෝපි ඒක තේරුම් ගත්තද කියලා ඈට තේරුණේ නෑ. ගෝපිවයි රාධාවයි එතන තියලා, ඊට පස්සේ ඈ එන්න ආවේ තවත් මේ කතාව දිගට ඇදගෙන යන්න ඈට උවමනා නොවුණ හන්දයි.
ආන්යා ගෙදරට නොගිහින් ගෙයි පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට බැස්සේ යන එන දිහාවක් ගැන අරමුණක් නැතිව. ඈ වෙන සමහර දවස් වලත් තනියෙම වත්තේ ඇවිදින්න ගිහින් තියෙන හන්දා ඈට අද අමුතු තනියක් දැනුනේ නෑ. ඈට ඕන වුණේ පුලුවන් තරම් තමන්ගේ හිත අනික් අයගෙන හංගෑන ඉන්නයි. අම්මා දෙතුන් පාරක්ම ඇගේ මොකක්දෝ වෙනසක් තියෙනවා කියලා කියපු නිසා ඈ උන්නේ අම්මට මොනවත් තේරේවි කියන තැතිගැන්මෙන්. මේ දේවල් හිත හිත ආන්යා නොදැනුවත්වම ඈ පියනගලා තිබුණේ මහ නුගේ දිහාවට. ඇගේ ඇස් එක පාරටැම යොඋමු වුණේ වෙනදා කිසිම බාහ්දාවකින් තොරව ඈත පෙනුන කඳු වලලු වල දර්ශණය මුවා කරගෙන නුගේ ඉස්සරහ කඳු ගැටේ උඩ උන්නු කෙනෙක් දිහාවට. ඒ කෙන උන්නේ මොකක්දෝ චිත්‍රයක් අඳිමින්, කල්පනාබරව. ඈට තියා වුණත් ඒ කවුද කියලා අඳුනගන්න ආන්යට අමාරු වුණේ නෑ. ඇගේ හිතේ තුනී වෙලා තිබුණ වේදනාව ආයෙම තීව්‍ර වෙලා ඈට දැනෙන්න ගත්තා. ආන්යා සද්දේ නොඇහෙන්න පුලුවන් තරම් හෙමින් ඔහු උන්නු දිහාට පානැගුවා. ආර්යන් මේ මොනවත් නොදැන තම්න්ගේ වැඩේටම හිත යොමු කරගෙන, ඉඳහිට කල්පනා කර කර ඉන්න හැටි ආන්යා මොහොතක් දෙකක් බලාගෙන ඉන්න ඇති. ඒත් ඊලඟ මොහොතේ ඈ නොදැනුවත්වමන පය තිබ්බේ වේලිච්ච කෝටු ගොදක් උඩට. ඒවා චර චර හඬින් කැඩෙද්දි ඒ හඬට දැහැන බිබ්බ්ධුනු ආර්යන් පස්ස බැලුවා එක පාරටම. ආන්යා ඔහු දිහා බැලුවේ තිකක් බියපත් වුණු ඇස් වලින්.
"ඔයා...මොකද මෙතන කරන්නේ?" ආර්යන් ඇහුවේ පුදුමෙන් වගේ.
"වත්තේ ඇවිදින්න ලොකු මහත්තයාගෙන අවසර ගන්න ඕන වගක් මම දන්නේ නෑනෙ" ආර්යන්ගේ හැඟීම්විරහිත මූණ දැකපු ආන්යා කිව්වේ ආරෝවට වගේ.
"පිස්සු කතා නොකියා කියන්න මොකෝ ආවේ කියලා" ආර්යන් ඇහුවේ වියලි හඬකින්.
"ඔයාව බලන්න ආවා නෙවෙයි" ආන්යා එකටෙක කිව්වා.
"මං එක දන්නවා" ආර්යන් කිව්වේ යන්තම අහක බලාගෙන.
"චිත්‍රේ බලන්නයි මං ආවේ" ආන්යා ඔහු කියපු දේ ගණනකට නොගෙන කිව්වා.
"බලන්න තාම ඉවර නෑ" ආර්යන් කිව්වේ ආපහු ආන්යට පිටුපාලා හිටගන්න ගමන්.
ආන්යා ආපහු එන්න හැරුණේ වචනයක්වත් නොකියා. හිත හදාගන්න ආවත් අන්තිමට වුණේ ආයෙම හිත සසැලුණ එක විතරයි.
"ආන්යා..." අඩි දෙක තුනක් එන්නත් කලින් ආයෙම ආර්යන් ඈට කත කලා.
ඈ යන්තම් බෙල්ල හරවලා ඔහු දිහා බැලුවා. ඔහු අඩියට දෙකට ඈ ලඟට ආවා.
"කොහෙද යන්නේ?" ඔහු අහුවේ ඈ දිහාට කෙලින්ම බලාගෙන.
"හිස හැරුණු අතේ" ආන්යා ඔහුගෙන් ඇස් මුදාගෙන ඉවත බලාගත්තා.
"කොහේ?"
"කොහෙවත් නෑ. නිකම් ඔහේ ඇවිදගෙන ආවා විතරයි" ආන්යා කිව්වා.
"තනියෙම?"
"ඔව්"
"මෙතනට ආවෙත් නිකම් ඔහේද?"
ආර්යන් එහෙම ඇහුවාම ආන්යට ආපහු ඔහු දිහා බැලුණා.
"ඔයාට කරදර කරන්න හිතුවෙ නෑ. ඈතින් බලලා යන්නයි හැදුවේ" ආන්යා කිව්වේ වෙව්ලන හඬින්.
ආර්යන් මොනාදෝ කියන්න වගේ තොල් හෙලෙව්වත් ඔහු කියන්න ගිය දේ කිව්වේ නෑ. ඔහු ඒ වෙනුවට සුසුමක් හෙලලා මොහොතකට නිහඬ වුණා.
"ඔයා හදන්නේ හැමදාම දුරින් ඉඳන් ඔහොම බලන් ඉන්නද?" ආර්යන් ඇහුවා අන්තිමට.
"මං දන්නෑ..." ආන්යා කිව්වේ ඇස් කඳුලින් බර වෙද්දි.
"හැමදාම ඔය හිත හංගන්න ඔයාට බෑ ආන්යා"
"හැන්ගුවත් නැතත් වෙන්න තියෙන දේ වෙන්න ඕන. නොදැන කලා වුණත් මං කරපු වැරැද්දට දඬුවම ඒක"
"ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයි"
"අනුන්ගේ දේකට ආදරේ කරන එක වැරදියි"
"අනුන්ගේ වෙන්නේ කොහොම්ද ආන්න්යා, මං ආදරේ ඔයාට වෙද්දි? මං එදා එද්දි ඔයාට මොනා කියලා ආවත් හිත හදාගන්න මට බරි වුණා. මම උන්නේ අද කොලඹ යන්න ඒත් මට ඔයාව දාලා යන්න බැරි නිසයි මං නැවතුනේ. කොහොම කලත් මේ හිත හැදෙන්නෑ ආන්යා. ඔයා ඒක තේරුම් ගන්නවානං"
ආර්යන් වේදනාවකින් වගේ කිව්වාම ආන්යා ගොලු වුණා. ඒ අතරේ ඈතින් කවුදෝ දුවලා එන සද්දයක් ඇහුණ නිසා දෙන්නම හැරිලා බැලුවේ මොහොතකට මේ කතාව අමතක කරලා.
"හලෝ...අන්නා...නාන් වන්දිට්ටේන්...මෙන්න මං ආවා..."
ඔවුන් දෙන්නවම පුදුමයට පත් කරමින් ගෝපි එක්ක පහලට දුවලා එමින් උන්නේ වෙන කවුරුත් නෙවෙයි අභිමන්යු. ආන්යා හොඳටම අන්ද මන්ද වුණා. මොහොතකින් හති දමන අභීයි, ගෝපියි උන්නේ මේ දෙන්නා ලඟ.
"මම බංග්ලෝ එකට ආවම සදා කිව්වා අන්නා මේ පැත්තට ආවා කියලා..." එහෙම කියපු අභී ආර්යන්ව වැලඬගත්තේ ලොකු සෙනෙහසකින්. ආර්යන් ඔහුගේ හිස අවුල් කරලා හිනා වුණා.
"වෙල්කම් බැක් ඩා"
ඊලඟට අභී බැලුවේ ආන්යා දිහා, ආදරේ උතුරන් ඇස් වලින්. ආන්යා ඉක්මණට බිම බලා ගත්තා.
"කොහොමද මීනු? හම්මෝ ඔයාව දකින්න මම බලා උන්නු තරමක්! ඒක නෙවෙයි මොකද ඔය දෙන්න මෙතන කරන්නේ?"
අභී මේ දැන් තුශ්නිම්භූත වුණ ආර්යන් දිහායි, ආන්යා දිහායි මාරුවෙන් මාරුවට බලමින් ඇහුවා.
"අ...ම්...මම මෙතනට මේ ඩ්‍රෝවින්ග් එකක් කරන්න එද්දි ආන්යත් හිටියා. වී ජස්ට් මෙට්" ආර්යන් බොරුවක් කිව්වා.
"ඒක හොඳයි...දෙන්නම මෙතනදිම හම්බවුන එක හොඳයි. අන්නා මට අන්නට දෙයක් කියන්න තියෙනවා. අම්මට අප්පට කලින්, මොද මොදලා උනක්ක තාන් නාන් සොල්ල පෝරේන්(ඉස්ඉස්සෙල්ලම ඔයාටයි මම කියන්න හදන්නේ)"
අභී එහෙම කියද්දි ආන්යගේ හිතට ආවේ අනියත බයක්.
"සොල්ල(කියන්න)"
"කියන්නද?" අභී ඇහුවේ බියපත් ඇස් වලින් මේ දෙන්නම දිහා බලාගෙන උන්නු ආන්යගෙන්.
ආන්යා මුකුත් හිතාගන්න බැරිව ගෝපි දිහා බැලුවා. ගෝපි උන්නෙත් ඇස් විසල් කරගෙන.
"මොකක්ද මේ කියන්න හදන්නේ?" ආර්යන් ඇහුවේ ආන්යගෙන්.
ඒත් දඟකාර හිනාවක් පාපු අභී මහ නුගේ ඉස්සරහ කඳුගැටේ අගිස්සට ගිහින් හි ගත්තා.
" මීනු …..අයි ලව් යූ …."අභී කලේ එතන උන්නු තුන්දෙනාම නොහිතපු දෙයක්.
ඒ හඬ දෝංකාර දිදී ඇහෙද්දි ආන්යට දැනුනේ තමන්ගේ හිස ගිනි ගත්තා වගේ හැඟීමක්. ආර්යන්ගේ ඇස් තිබුණේ ඈ ලඟ. ඒ ඇස් වල තිබ්බේ වෙන්කරලා අඳුනගන්න බැරි තරම් හැඟීම් සමුදායක්. ආයෙම අභී ඇවිත් ආර්යන්ව මුවා කරගෙන හිට ගත්තා.
"ආමා අන්නා. නාන් ආන්යාව කාදලික්කිරේන්...ඉදු වරෛක්කුම් නාන් උනක්ක ඔන්නුමේ හයිඩ් පන්නදිල්ල. ඉප්පවුම් ඉල්ල. යූකේල ඉරින්ද වන්ද ඔඩනේ උනක්ක ඉදු සොල්ලුවේන්න නාන් ඩිසයිඩ් පන්නිට්ටේන්. ප්ලීස් එනක ඒස වේනා...ඉවන් ඔරු නල්ලපුල්ල, අදු උනක්ක තෙරියුමේ...(ඔව් අයියා. මම ආන්යට ආදරේ කරනවා. මේ වෙනකල් මම ඔයාට කිසිම දෙයක් හංගලත් නෑ, දැන් හංගන්නෙත් නෑ. යූ කේ ඉඳලා ආපු ගමන් මේක ඔයාට කියන්න මම තීරනය කරගෙන හිටියේ. ප්ලීස් මට බනින්න එපා. මෙයා හොඳ ගෑණු ළමයෙක් වග ඔයා දන්නවනේ)
ගහෙන් ගෙඩි එන්න වගේ අභී එහෙම කියද්දි ආන්යගේ හිසත් කැරකෙන්න ගත්තා. ආර්යන් ආන්යා දිහායි, අභී දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ අදහාගන්න බැරිව වගේ.
ඊට පස්සේ අභී ආන්යා දිහාට හැරුණා.
"අභී..." ආන්යා කතා කරන්න හැදුවා.
"ම්ම්...මම ඔයාගේ උත්තරේ දැන්ම අහන්නේ නෑ...ඒකට වෙලාවක් තියෙයි. දැන් අපි ගෙදර යමු. මං හැමෝටම තෑගි ගොඩක් අරගෙන ආවේ" අභී ආන්යට ඉඩ නොදී එහෙම කිව්වා.
ආන්යට ආර්යන් දිහා බලන්න බය හිතුණා. හැමදේම හරියාගෙන වගේ එද්දි මෙහෙම වෙන්නේ ඇයි කියලා ඈ හිතුවේ වේදනාවෙන්.
"ප්ලීස් අභී මං කියන දේ අහන්න..." ආන්යා කිව්වේ ආයාචනාත්මකව.
"කියන්න ඔච්චරම හදිසිද?" අභීට නම් විහිලු.
"එහෙමනම් ඔය දෙන්න ටිකක් කතා කරලා එන්න. අපි බන්ග්ලෝ එක පැත්තට යන්නම්. අභී ආන්යව ගෙදර ඇරලවලා එන්න ඕන හරිද?" ආර්යන්ගේ තොල් හෙලවෙනවා නොපෙනුනා නම් ආන්යා කීයටවත් ඒ කිව්වේ ඔහු කියලා විශ්වාස කරන්නේ නෑ. ආන්යා ආර්යන් දිහා බැලුවේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන. ඒත් ආර්යන් ඒ වෙනකොටත් ආපහු හැරිලා.
"ඒත්..."
"තෑන්ක්යූ අන්නා..."
ආන්යට ඕන වුණේ ආර්යන් පස්සෙන් දුවන්න. ඒත් ඇගේ දෙපා හොලවගන්නවත් ඈට පනක් තිබුණේ නෑ. හිත කෑගසමින් අඬද්දි ආන්යා කලේ නිහඬ වුණ එක විතරයි.


1 comment:

  1. මේ කොටස නම් කියෙව්වා.සේරම කොටස් කියවලාම කමෙන්ට් කරන්නම් හොදේ. එතෙක් ඔයාට ජය..!

    ReplyDelete