Tuesday, May 8, 2012

තිස් අටවන කොටස


ශර්මිලා ඇවිත් ගිහින් දවස් දෙකක් විතර යනකල් ආර්යන් ආන්යට කතා කලේ නැහැ. ඒක එක අතකට හොඳයි කියලා සම්මානි කිව්වා. මොකද අලුත් පිටම ආයෙමත් හිත පෑරෙන්න ලේසි නිසා. ඒත් ඇය මොනවා කිව්වත් ආන්යා උන්නේ හිත ඇතුලෙන් අසීමාන්තික විදියට තැවෙමින්. මේ හැම කරදරෙම අස්සේ විභාගෙත් එන්න එන්නම ලං වෙනවා නේද කියලා හිතද්දි ආන්යට දැනුනේ තමන්ගේ මොලේ විකාරවීගෙන එන්නා වගේ. හැම උදේකම ඇහැරෙද්දිත්, රෑට කීයට හරි නින්දට යද්දි ආන්යට ආර්යන් සිහි වුණේ නිතැතින්මයි. ඒ වෙලාවත ඈ කලේ අනික් අයට නොපෙනෙන තැනකට ගිහින් කඳුලු සලපු එක. තමන් ආර්යන්ව ශර්මිලාටම බාර කරන්න තීරණය කරන්, එද මොන මොනවා කිව්වත්, ඇගේහිතෙන් ආර්යන්ව අයින් කරන්න හිතුවට වඩ සෑහෙන අමාරුයි කියන් එක ආන්යට තේරුම් ගිහින් තිබුණා.
ආන්යා විභාග ලිව්වේ යාලුවන් එක්ක සාකච්ඡා කරමින් කරපු පාඩම් වලට පිං සිද්ධවෙන්න. ඒත් මීට කලින් කවදාවත් ඈ මේ තරම් නොසැලකිල්ලකින් පාඩම් කරලා විභාගයක් ලියලා තිබුණේ නෑ. ඒ නිසාම අන්තිම දවසේ කෘමි විද්‍යා විභාගය ඉවර වුණාම ඈට දැනුනේ මහා සැනසිල්ලක්. ඊලඟ දවසේ ගෙදර දුවන්න පෙරුම් පුරමින් උන්නේ ආන්යා විතරක් නෙවෙයි. හැමෝම උනන්දුවෙන් ලෑස්ති වෙලා හිටියේ ලැබෙන සති දෙකක නිවාඩුවට ඉක්මණින් ගමරට යන්න. විභාග ශාලාවෙන් එලියට බැහැපු සේරම එක රොත්තට කචබච ගාමින් ඉද්දි, විභාගෙට යද්දි පැත්තක තියලා ගිය ෆෝන් එක අතට අරගෙන ඒ දිහා බලපු ආන්යට සුසුමක් හෙලුනේ ඉබේටම. කොච්චර හිතට බොරු කරන්න හැදුවත් ආන්යා ආර්යන් අද කතා කරයි , හෙට කතා කරයි කියලා බලාපොරොත්තුවෙන් උන්නා. ඒත් ඔහුගෙන් එස්.එම්.එස්. එකක් වත් ආවේ නෑ.
සති දෙකකට තමන්ගේ යෙහෙලියන්ගෙන් සමු ගත්තු ආන්යා, රාමනාදන් ශාලාවේ පොදු කාමරෙන් එලියට බැස්සේ අනුහස්ගේ නොම්මරේ ෆෝන් එකේ ඔබන ගමන්.
"ඇයි මීනු හදිසියක්ද?" අනුහස්ගේ හඬ එහාපැත්තෙන් ඇහුණා.
"නෑ, මට එක්සෑම් ඉවරයි, මම මේ ගෙදර යන්න හදන්නේ. ඔයා මේ සතියේ ගෙදර එනවද?"
"ආ...විභාගේ ඉවරද? මට නම් මේ සතියේ එන්න වෙන්නේ නෑ මීනු. මම ලබන සතියේ එන්නම්. ඔයාට කොච්චර දවස් නිවාඩුද?"
"සති දෙකයි"
"ඒ මදෑ. එහෙනම් පරිස්සමෙන් යන්න මීනු. ගිහින් බැහැලා තාත්තට කෝල් කරන්න එක්ක යන්න එන්න කියලා. එක්කෝ මම කියන්නම්කෝ තාරකාට. තියන්නද එහෙනම්?"
"හා. බුදු සරණයි" ආන්යා ඇමතුම විසන්ධි කලා.
ආන්යා උන්නු බස් රථය ගිනිගත්හේන පහු කරද්දි, හාත්පසම තිබ්බේ වැහි අඳුරක්. ටිකක් විතර සුලං තද වුණත් ආන්යා ජනේලේ වහන්න උත්සාහ කලෙත් නෑ. සුලඟට ඇගේ අකීකරු කෙහෙරැල් ඕන ඕන විදියට පාවෙමින් අගේ මුහුණේ වැදුනා. ආන්යා උන්නේ නිතරම නොසන්සුන් වෙමින් තිබුණ තමන්ගේ හිත සන්සුන් කර ගන්න උත්සාහ කරමින්. සමහරවිට ශර්මිලා ආර්යන්ට වෙච්ච දේවල් කියන්න ඇති කියලා ඈට හිතුණා. ඔහු ඊට පස්සෙම කතා නොකලේ ඒ දේවල් ඔහුත් පිළිගත්තු නිසාවත්ද? නැත්තම් ඔහුට ආන්යා එක්ක තරහා ගිය නිසාවත්ද? ඒවට උත්තර ආන්යා දැනගෙන හිටියේ නෑ. සමහරවිට ආර්ය්න වත්තේ උන්නොත් ඈට  මුණ්ගැහෙන්නත් ඉඩ තියෙන නිසා ආන්යා දෙගිඩියාවඉන් පෙලෙන්න ගත්තේ ඒ වෙලාවට ඔහුට කොහොම මුහුණ දෙන්නද කියලා හිතමින්. ඒ මොනවා වුණත් තම ගත්තු තීරණේ වෙනස් නොකරන්න ඈ තදින්ම හිතාගෙන හිටියා. තවත් ප්‍රශ්ණ දරාගන්න ඈට බැරිවේවි කියලා හිතුණ නිසා.
"ආන්යා මිස්, ඔයාට එන්න අපේ වාහනයක් එව්වා. ඒක බස් ස්ටෑන්ඩ් එක එහාපැත්තේ වෙනදා තැන නවත්තගෙන ඇති. එතනට යන්න හොඳේ" ආන්යා බහින්න ඔන්න මෙන්න තියෙද්දි කතාකරලා කිව්වේ වත්තේ කන්තෝරුවේ උන්නු තාරකා.
ආන්යා බස් එකෙන් බහිද්දි හැටන් නගරෙට හීන් පොද වැස්සක් ඇදහැලෙමින් තිබුණා. නමුත් ඈ කුඩේවත් අතට නොගෙන වාහනේ තියෙනවයි කියන පැත්තට දිව්වේ ඉක්මණින් වාහනේට නගින්න හිතාගෙන. ඈ එතනට යද්දි රියදුරා පේන්න උන්නේ නෑ, ඈ එක පාරක් වටපිට බලලා වාහනේ පස්ස දොරට අත තිබ්බා විතරයි-
"ඉස්සරහින් නගින්න ආන්යා..." ඈ ලඟින්ම ඇහුණේ පුරුදු හඬක්. ආන්යා ඒ දිහාට හැරුණා එක පාරටම.
"ඔයා?ඒත්...කෝ...?" ආන්යට ආර්යන්ගේ තියුණු බැල්ම ඉස්සරහා ගොත ගැහුණා.
"නගින්න...වැස්සක් එන්න හදන්නේ" ආර්යන් ඈ අහපුවා නෑහුණා වගේ රියදුරු අසුන පැත්තට ගියා. කරන්න දෙයක් නැති තැන ආන්යා ඉස්සරහ අසුනට නැග ගත්තා.
"එක්සෑම් ඉවරද?" ආර්යන් වාහනේ පණගන්වලා පාරට දමන ගමන් ඇහුවා.
"ඔව්" ආන්යා කිව්වේ හෙමින්.
'අනුහස් ඔෆිස් එකට කෝල් කරද්දි ගත්තේ මම. ඒකයි මං ආවේ" ආන්යා කලින් අහපු ප්‍රශ්නෙට ආර්යන් උත්තර දුන්නේ දැන්.
ආන්යගේ හද ගැස්ම පිටටත් ඇහෙන තරමට වැඩි වෙලයි තිබුණේ.
"කොහොමටත් ඔයාට කතා කරන්න මට ඕනවෙලා තිබුණා" ආර්යන් ආයෙම කිව්වා.
"ඒකද සති ගාණක් කෝල් එකක්වත් නොදී උන්නේ?" ආන්යා එහෙම ඇහුවාම ආර්යන් එක පාරටම ඈ දිහා බලලා ආයෙම ඉස්සරහ බලා ගත්තා.
"මට කෝල් කරන්න ඕන වුණේ නෑ…. ඔහු එහෙම කියලා මොහොතක් උන්නා. යූ බ්‍රෝක් මයි හාට් ආන්යා...ඔයාව මං තෝරගත්තේ, ඔයා මට ආදරේ කරයි, මාව තේරුම් ගනියි කියලා ලොකු හෝප් එකකින්. ඒත් ඔයා ඒ දෙකම කරේ නෑ" ඔහුගේ වචන හී තුඩු වගේ ඇවිත් ආන්යගේ හිත සිදුරු කරලා වේදනාවට පත් කලා.
"ඔයත් කලේ අනික් අය කරපු දේමයි..." ආර්යන් සුසුමක් හෙලුවා. පොද වැස්ස තද වෙන්න පටන් අරගෙන තිබුණා.
"අවුරුදු විසි පහක් ඒ කියන්නේ අද වෙනකල්, මගේ ජීවිතේ ගැන තීරණ ගත්තේ අනික් අය. අම්මා, අප්පා, සිත්තපා...මම හැමදාම කලේ ඒ අයගේ හිත් රිදවන්න බයේ ඒවට කැමති වුණ එක. මට යන්තම් අවුරුදු දහය වෙද්දි, අප්පට ඕන වුණා මාව යූ කේ ඉන්න සිත්තප්පා ලඟට යවන්න. එහේ ඉගෙන ගන්න. ඒත් මට අම්මයි, අප්පයි, අභීයි දාලා යන්න කොච්චර අමාරුද, මං ඒ අය එක්ක ඉන්න කොච්චර ආසද කියන එක කවුරුවත් සැලකුවේ නෑ. ඊට පස්සේ, එහේදි ඉගෙන ගෙන මෙරීන් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අසාවෙන් මං ඉද්දි, ආයෙම අම්මටයි, අප්පටයි ඕන වුණා මගේ ජීවිතේට ඇඟිලි ගහන්න. ඒ පාර ඒ අයට ඕනවත මම බිස්නස් පැත්තෙන් හයර් ස්ටඩීස් කලා. මම හිතුවා ඊට පස්සෙවත් මට මගේ නිදහස ලැබේවි කියලා. ඒත් යන්තම් අවුරුදු විසි හතර වෙද්දි, ඒ දෙන්නා ආයෙම මා ලඟට ආවේ මගුල් යෝජනාවක් උස්සගෙන. ඒ ශර්මිලා ගැන. තාත්තගේ බිස්නස් පාට්නර් කෙනෙක්ගේ දුවක් එයා...ආර්යන් සුසුමක් හෙලුවා.
ආන්යා මේ සේරම අහගෙන උන්නේ ඇස් වල කඳුලු පුරෝගෙන. ආර්යන් බැරිම තැන වාහනේ අයිනක නතර කලා. පොද වැස්ස මුරුගසන් වරුසාවක් බවට පත් වෙලා තිබුණා.
"ඒ වෙද්දි මම පුරුදු වෙලා හිටියේ අම්මයි. අප්පයි කියන දේවල් දේව වාක්‍යක් වගේ විශ්වාස කරන්න. පිළිගන්න. පේරන්ට්ස්ලා කියන දේවල් දේව වාක්‍ය වගේ තමයි, ඒත් හැම වෙලේම නෙවෙයි. ශර්මිලා එක්ක වචනයක්වත් කතා නොකර මම ඒකට කැමති වුණා. ඊට පස්සේ අපි ගොඩ වෙලාවට හම්බවුණත් එයා ගැන විශේෂ හැඟීමක් මට ඇති වුණේ නෑ. මම එයා එක්ක හිටියේ අම්මලා නිසා. ඊට පස්සේ එක දවසක....ආර්යන් තප්පරයක් දෙකක් නිහඬ වුණා. ආන්යගේ ඇස් වලින් ගලපු කඳුලක් ඇගේ උකුලට වැටුණා.
"එක දවසක...මම නොහිතපු විදියට මට ඔයාව හම්බවුණා. ඔයා එක්ක ආශ්‍රය කරද්දි මට තේරෙන්න ගත්තා, මම මෙච්චර කල් හිටියේ ඔයාව හොයමින් නේද කියලා. ඒත් ඔයාට ලං වෙන්න බැරි බොන්ඩ්ස් ගොඩක් මට තිබුණා. ඒකයි මම ට්‍රයි කලේ වැඩිය ඔයා එක්ක කතාවත් නොකරන්න. ඒත් ආන්යා මට ඒක කරන්න බැරි වුණා...අදටත් මට බෑ...ඔයාට පේනවා නේද? ඔයා ශර්මිලා එක්ක එකතු වෙලා මගේ ආදරේ ගැන, මගේ මැරෙජ් එක ගැන තනි තීරණ ගද්දිත්, මගෙන් අහන්නෙවත් නැතිව ඔයයි මායි අතර තිබ්බ බැඳීම් ඉවර කරද්දිත් මට ඔයා ගැන නොහිතා ඉන්න බැරි ඇයි ආන්යා?"
ඒ පාර අ ආන්යාට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඈ අත් දෙකේ මූණ හොවා ගත්තේ හොඳටම අඬමින්. ආර්යන් ගැන මහා දුකක්, තමන් ගැන මොකක්දෝ තරහක්, වරදකාරී හැඟීමක්...මේ සියල්ලක්ම ඇගේ හිතේ පෙරලි කරමින් තිබුණා.
"අඬන්න ඕන මං ආන්යා. ඔයාට නිකං හරි තිබ්බා ශර්මිලා ආපු වග මට කියන්න. ඒත් ඔයා එහෙම කලේ නෑ. ඔයාට මං මේ තරම් ආදරේ වග දැන දැන, වෙන ගෑණියෙකුට මාව ලං කරන්න ඔයාට ඕන ඇයි? මං දන්නවා, ඒ ඔයා මට ආදරේ නැති හන්දා. මං ඒක තේරුම් අරන් ඉන්නේ. ඔයා මට ආදරේ නම් ඔයාට එහෙම කරන්න බෑනෙ. මං මෙච්චර කියද්දිත් ඒක මම විසඳගන්නම් කියලා ඔයා ශර්මිලාගේ කිඹුල් කඳුලකට මගේ ආදරේ යට කලා...යූ...රියලි හර්ට් මී සෝ මච් ආන්යා...සෝ මච්. ඒත් ඔයාට ඒක තේරෙන්නෑ. අම්මට අප්පට වගේම, මං ඇත්තටම ආදරේ කරන ඔයාටත් අන්තිමට ඕන වුණේ ශර්මිලාව මට ජෝඩු කරන්න...ඔය කවුරුවත් මං ගැන හිතන්නේ නෑ. හැමෝම තම තමන්ගේ පර්සනල් රීසන්ස් වලට මාව පාවිච්චි කරනවා විතරයි..."
"අනේ ආර්යන් අයියා..." ආන්යා කිව්වේ හඬමින්මයි.
"ඔයාට ඕන මම ශර්මිලාව මැරි කරන්න නම්, ඕ කේ...මම ඒක කරන්නම්. එතකොට ඔයාට සැනසීමක් ලැබේවි. ඒත් ආයෙම කවදාවත් ඔයාට මං තරම් ආදරේ කරන කෙනෙක් ලැබෙන එකක් නෑ...මං එහෙම කියන්නේ මෙච්චර දේවල් වෙලත් තාම මං ඔයාට ආදරේ නිසා. ඔයාව බලන්න මට ඕන නිසා...ඔයා එක්ක කතා නොකර ඉන්න මට බැරි නිසා. ඒත් ආන්යා ආයෙම කවදාවත් මං ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නෑ. මං මැරෙනකල්ම ඔයාට ආදරේ කලත් මගේ ලඟට එන්න කියලා මං ඔයාට කියන්නේ නෑ. ඇයි කිව්වොත් මට ආදරේ නොකරන කෙනෙක් මට ඕන නැති නිසා..."
ආන්යා උන්නේ හොඳටම හිත රිදිලා. ඒත් ඒක සාධාරණයි කියලා ඈ හිතුවේ ආර්යන්ගේ හැම වචනෙකම තිබ්බ වේදනාව ඈ තේරුම් ගත්තු නිසා. ඒත් ඈට ඔහුට කියන්න දෙයක් තිබ්බේ නෑ. ඔහුගේ හිත මේ තරම් රිද්දපු පාපෙට තමන් මෙහෙම විඳවන්න ඕන කියලා ආන්යා හිතුවා.
"ඔයාගේ හිත රිද්දන්න මං මේ දේවල් කලා නෙවෙයි ආර්යන් අයියා...කවදාවත්, කවමදාවත් එහෙම කරන්න මට ඕන වුණේ නෑ. ඒත් ඔයා දන්නවා ඔයාලගේ මැරෙජ් එක නොවුනොත් වෙන දේ. මං නිසා පවුල් දෙකක සතුටට ගිනි අවුලන්න මට හිත හදා ගන්න බෑ අයියා. අනික ශර්මිලා ඔයාට ආදරෙයි. එයා පුංචි කාලේඉඳන්ම ඔයාට ආදරේ කරපු කෙනෙක්. ඔයාලා අතරට ඇවිත් මට පව් පුරෝගන්න බෑ...ඒකයි මම එහෙම කලේ" ආන්යා හැඬුම් අතරින්ම කිව්වා.
"හරි, මට මේක කියන්න ආන්යා, ඔය එක දවසක්වත් මට ආදරේ කලේ නැද්ද? එක මොහොතක්වත්?" ආර්යන් ඈ දිහා බලා ඇහුවා.
ඒත් ඒකට උත්තරයක් දෙන්න ශක්තියක් ආන්යට තිබුණේ නෑ. ඈ ඇස් පියාගෙන තවත් කඳුලක් හෙලුවා විතරයි.
"ඇයි ඔයාට ඒකට උත්තරයක් දෙන්න බැරි?" ආර්යන් ඇහුවේ තරමක් තදින්. ආන්යා ඒ හඬට ගැස්සිලා ගියා.
"මං දන්නෑ...මං දන්නෑ දෙයියනේ..." ආන්යා කිව්වෙත් කෑ ගහලා වගේ.
"ඔයාට මාව ඕන නැද්ද ආන්යා?" ආර්යන් ගොඩාක් වෙලා නිහඬව ඉඳලා එහෙම ඇහුවේ මුදුවට.
ආන්යා ඔහුගේ මූණ දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ විදාබර ගතියක්. දුකක්.
"ඔයා මගේ නෙවෙයි"
ආයෙමත් ආර්යන් මුකුත් අහන්න කලින් ආර්යන්ගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"ඔයාගේ තාත්තා..." ආර්යන් කිව්වාම ආන්යගේ හිතට එක පාරටම අනියත බයකුත් දැනුනා.
"ඔව්, මිස්ට වීරප්පෙරුම, දැන් ලඟ ඉන්නේ"
එහෙම උත්තර දීපු ආර්යන් ආයෙමත් ප්‍රශ්ණ නාහා රිය පණගන්වලා පාරට දැම්මා.
"වැඩක් නෑ ආන්යා...ආයෙමත් අපි මේ ගැන කතාකරන්නෑ. ඔයා කැමති විදියකට ඉන්න. මම මගේ පාඩුවෙ ඉන්නම්"
ආර්යන් ගෙදරට එනකලුත්, කිව්වේ එච්චරමයි. ආන්යා මුකුත් කියන්න ගියෙත් නැහැ. ඈට කියන්න දෙයක් නොතිබුණු හන්දා. ඒත් ඇගේ හිත නම් උන්නේ හොඳටම වැලපෙමින්. ඒ ආර්යන් වෙනුවෙන්මයි. ආර්යන් කිසිවක්ම නොකියා ආන්යව ගෙදරට ඇරලවලා යන්න ගියා. ආන්යා ඒ ජීප් එක නොපෙනෙනකල් බලාගෙන උන්නා.
"වා වෙන්නිලා උන්නයි  තානේ වානම් තේඩිනේන්...(එන්න සඳවතියේ ඔබවයි අහස සොය සොයා හිටියේ...) ගෝපි ආන්යා ලඟට ආවේ එහෙම කියාගෙන.
ආන්යා අමාරුවෙන් මුවට හිනාවක් නගාගෙන අතේ තිබ්බ බෑග් එක ඔහු අතට දීල ගේ දිහාට එන්න ආවා. ආර්යන් මොනවා කිව්වත් ඔහු තම්න්ත ගොඩාක් ආදරේ බව ආන්යා තේරුම් අරන් තිබුණා.'මං ආදරේ නැතුව නෙවෙයි ආර්යන් අයියා...'


5 comments:

  1. Ane hari pawu appa anya,, eya nikan girete ahu wecha puwak gediyak wage hame pathenme hire wela :(

    ReplyDelete
    Replies
    1. එතකොට ආර්යන් පව් නැද්ද?

      Delete
  2. අනේ මන්දා.. දෙන්නටම පව්!
    ඔයා මොනවා කරන්න යනවද කියල මට තේරෙන්නෙ නැහැ නෙතු අක්කි.

    ReplyDelete
    Replies
    1. අක්කිගෙ කතාවල චරිත සෑහෙන පුමාණයක නම් පටන් ගන්නෙ අ යන්නෙන් නේද?
      අපූර්ව.. ආර්යන්.. අභී.. ආන්යා.. අනුහස්.. අපර්ණා etc.

      Delete
    2. ඇත්ත තමයි. හැබැයි ඉතින් ඒක මම හිතලා කරපු දෙයක් නම් නෙවෙයි. මට ලස්සනයි කියලා හිතෙන නම් තමා ගත්තේ.
      …කතාවේ එන දෙතුන්දෙනාම පව් තමා. කොහොමටත් මේ කතාවේ පොඩි පොඩි twist ගොඩාක් තියේවි. බලාගෙන ඉන්නකෝ...

      Delete