Tuesday, August 4, 2015

විහංඟනාවී: තිස්හතරවන කොටස

හයවෙනි තට්ටුවේ ලිෆ්ට් එක නතර වුණාම අයුමි එලියට බැස්සේ ලස්සන ලොකු සුදුපාට ටයිල් වලින් හැඩ කරපු, කහ පාට මන්දාලෝකයකින් එලි වුණු කොරිඩෝවකට. රවීන් ඈට ඉස්සර වෙලා ගිහින් දකුණු පැත්තේ තිබ්බ දොරක් ලඟ නැවතුණා. අයුමි දැක්කා ඒ දොරේ සවි කරපු රිදී පාට පොඩි බෝඩ් එකක ගෙදර නොම්මරේට උඩින් රවීන්ගේ නම සටහන් වෙලා තියෙනවා.
රවීන් දොර ඇරලා ඇතුලට ගිහින් දොර ලඟ උන්නු ඇයුමි දිහා බැලුවේ ඇතුලට එන්න කියන්නා වගේ. ටිකක් විතර පුදුම වුණත් අයුමි ඒ ගෙදර වගේ එක ඇතුලට ආවේ කුතුහලෙන්. ගෙදර මුලින්ම තිබුණ හීන් පැසේජ් එකෙන් ඇතුලු වුණ ගමන් තිබුණේ සාලේ වගේ ඉඩක්. එතන රෙදි වලින් වහපු ලොකු සෝපා පුටු වගයක් තිබුණා. ඊට ඉස්සරහ බිත්තියේ පැතලි ටීවී එකක් සවි කරලා තිබුණා. එතනින්ම තව ටිකක් එහාට වෙන්න තිබුණේ පෑන්ටිය එක්ක කුස්සිය. ඒක හදලා තිබුණේ සුදු කලු පාට වලින්. පස්සේ ටිකක් බැලුවම අයුමිට පෙනුනා මුලු ගෙදරම වගේ එහෙම සුදු කලු මිශ්‍රනයකින් හදලා, හැඩ කරලා තිබ්බ් වග. කුස්සියට කෙලින්ම විරුද්ධ පැත්තට තිබ්බේ තව පැසේජ් එකක්. ඒකේ වහපු දොරවල් දෙකක් අයුමිට යන්තම් පෙනුනා. ඒ කාමර වෙන්න ඇති කියලා ඈ හිතුවා. 'එතකොට මේ ඇවිත් ඉන්නේ කොහේද?' අයුමි එහෙම හිත හිත වටපිට බලද්දියි ඈ පිටිපස්ස හරවලා උන්නු බිත්තිය දැක්කේ. එතන තිබුණේ රාව්මු කරපු පිංතූර කීපෙකින් හැඩවුණ බිත්තියක්. ඒ පිංතූර වල උන්නු අය දැක්කම අයුමිගේ හිත නැවතුණා වගේ ඈට දැනුනා. මැදින්ම එල්ලලා තිබ්බ ලොකු පිංතූරේ උන්නේ අවුරුදු දහයක් විතර වගේ තරුණ රවීන්මයි. ඔහුගේ අතේ එල්ලිලා මංගල ඇඳුමකින් සැරසිලා හිනාවීගෙන උන්නේ පූර්ණි, තරුණ, කෙට්ටු ලස්සන පූර්ණි. අයුමි ගල් ගැහිලා උන්නේ පිංතූරේ නිසාම නෙවෙයි, එකේ වීදුරුව දෙකට තුනට ඉරි තලලා තියෙන හැටි දැකලා. ඈ ඒ පිංතූරේ දිහා ඇහිපිය නොහෙලා බලාගෙන ඉද්දි, රවීන් ගෙදර ඇතුලේ විදුලි පහන් එක දෙකක් දල්වලා ඈ අසලට ආවා. ඔහු ආ වග දැනිලා අයුමි ඔහු දිහා බලද්දි රවීන් උන්නෙත් බිත්තියේ පිංතූර දිහා බලාගෙන.
"මේක තමයි මගේ හීන ගෙදර" අන්තිමේදි ඔහු කිව්වේ සුසුමක් හෙලලා.
අයුමි බිම බලාගත්තා.
"පූර්ණියි මායි marry කරලා මාස දෙක තුනකට පස්සේ අපිට ඉන්න මම හා හා පුරා කියලා ගත්තු ගෙදර මේක. ඒත් මෙහෙදි දැකපු හීන, හීන විදියටම නැති වෙලා ගියා. මෙහේ ඉද්දි අපට වුණ හොඳම දේ ශමිත්ව හම්බවුණ එක විතරයි. හ්ම්ම්...ජීවිතේ හැටි එහෙම තමයි. හීන කියන්නේ ඇත්ත නෙවෙයි කියලා අපි කොයි වෙලේක හරි තේරුම් ගන්න ඕන"  රවීන් එහෙම කිව්වේ ගෙදර ඇතුල සිසාරා බලමින්, උපේක්ෂාවෙන් වගේ. ඒත් අයුමිගේ හිතේ ඔහු ගැන තිබුණ නොරිස්සුම පරයමින්ඉපදෙමින් තිබුණේ දුකක්.
"ඇවිත් වාඩි වෙන්න අයුමි" රවීන් ඊට පස්සේ කිව්වේ සාලේ දිහාවට ඇවිදගෙන යන ගමන්. ඔහු පුටු උඩින් දාලා තිබ්බ රෙද්ද අයින් කරලා තිබුණා එවෙලේ. අයුමි උන්නේ බය වෙන්නවත් බැරි තරමට වික්ෂිප්ත වෙලා හැම දේකින්ම.
"ඔයා ඉන්නේ බය වෙලා" අයුමිට ඉස්සරහා පුටුවෙන් වාඩිවුණ රවීන් ඈ දිහා බලලා කිව්වා.
'න්..නෑ..." අයුමි කිව්වේ ඔහුගේ දෑස් මගාරිමින්.
ඒ පාර මුකුත් නොකියා එතනින් නැගිටලා ගියපු රවීන් ආපහු ආවේ, පලතුරු බීම බෝතලයකුයි, වීදුරු දෙකකුයි කොහෙන්දෝ අරගෙන. ඔහු බීම වීදුරුවක් වත්කරලා අයුමි අතට දුන්නා. ආ ඒක අතට ගත්තේ රොබෝ කෙනෙක් වගේ. ඊලඟට රවීන් ඇවිත් ඈ අසලින්ම වාඩි වුණා. ඈ ඊට කලින් කවදාවත් ඒ තරම් ඔහු ලඟින් ඉඳලා තිබුණේ නෑ. ඔහුගේ විලවුන් සුවඳ පවා ඈට හොඳින්ම දැනුනා.
"ඕක බොන්න ඉතිං" රවීන් කිව්වේ දයාබරව.
ඒ පාර අයුමි බීම උගුරක් විතර බීලා වීදුරුව අතේ තියාගත්තා. ඈට බොන්න පිරියක් තිබුණේ නෑ. හිත තිබ්බේ අන්ද මන්ද වෙලා නිසා.
"ඊයේ උදේ, මම හැසිරුණ විදිය ගැන මට සමාවෙන්න අයුමි" දිගා නිහැඬියාවකට පස්සේ රවීන් එහෙම කිව්වේ පෂ්චත්තාපෙන් වගේ.
අයුමිගේ හිත එවෙලේ සසල වුණත්, ඒ එක්කම වගේ හිතේ පිරුණේ හිතුවක්කාරකම මුසු නොරිස්සුමක්.
"මට...ඔයාට නපුරු වෙන්න ඕන වුණේ නෑ. ඒත් මම හිටියේ ගොඩාක් අවුල් වෙලා. මගේ තරහා ඔයා පිටින් ගිය එක ගැන මම තාමත් ගොඩක් දුක් වෙනවා" රවීන් කිව්වා.
"ඒකට කමක් නෑ. දැන් ඒක වෙලා ඉවරනේ" අයුමි කිව්වේ උපේක්ෂාවෙන් වගේ.
"ඔයා කතා කරන්නේ තරහින් අයුමි. ඔයා දන්නවා නම් ඊයේ මම හිටපු තත්වේ..."
"පෞද්ගලික දේවල් අහන්න මට අයිතියක් නෑ..." අයුමි කිව්වේ මැදින් පැනලා.
"ඔච්චරම නපුරු වෙන්න එපා අයුමි"
"නපුරු වුණේ මමද? ඊයේ මට එහෙම කිව්වේ ඔයා " අයුමි කිව්වා.
"ඔයගේ හිත රිද්දන්න හිතුවේ නෑ මම. මගේ හිතේ මහා ප්‍රශ්ණ ගොඩක් තිබුණා. එවෙලේ මට මොනා වුණාද මම දන්නේ නෑ. I am so so sorry"
රවීන් කිව්වම අයුමි ඔහු දිහාට හැරුණා.
"Sorry කිව්වම සේරම හරියනවද? අද මේ මොහොත වෙනකලුත් මම කොච්චර විඳෙව්වද කියලා ඔයා දන්නවද රවීන්? ඔයා මගේ හිත රිද්දුවේ එවෙලේ විතරද?"
අයුමි අහද්දි රවීන් ඈ දිහා බලාගෙන උන්නේ පරාජිත විදිහට.
"මං කියන දේත් අහන්න ප්ලීස්. මම ඔයාට කතා කරන්න ආවා. ඒ එද්දි ඔයා රූම් එකේ නෑ. ඊට පස්සේ පූර්ණිගේ විකාර බලන්න යන්න වුණා. ඒ ඇවිල්ලා, ඒ සේරම තිත්ත වැඩ ටික ඉවර කරලා ඔයාව හම්බෙන්න එද්දි, ඔයා කවුදෝ කට්ටියක් එන්න යන්න යනවා. ඊයේ දවස කවද්ද කියල ඔයාට මතකද අයුමි. ඊයේ බදාදා. අපි කතා කරගත්තේ නැද්ද බදාදා අපි හම්බවෙනවා කියලා? මට තරහා ගිය එක අසාධාරණද එතකොට?ආ...? මම කතා කරද්දි ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා. ඔයා දන්නෑ මම කොච්චර පීඩනේකින්ද ඊයේ දවස හිටියේ කියලා. ඊයේ රෑ එක වෙනකල් මම ඔෆිස් එකේ. ඒ ඔයා නිසා...ඔයා හිතන්නේ විඳෙව්වේ ඔයා විතරයි කියලා..."
රවීන් කියාගෙන යද්දි අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ පුදුමෙකිනුයි, දුකකිනුයි. ඊලඟට ඈ බිම බලාගත්තා.
"මගේ පෞද්ගලික දේවල් අහන්න එපා කිව්වේ, ඔයාව මගෙන් ඈත් කරන්න ඕන නිසා නෙවෙයි. මගේ ප්‍රශ්ණත් ඔයා ඔලුවට අරගෙන වද වෙනවා බලන්න මම ආස නැති නිසා. ඔයා තාම ජීවිතේ හරි හැටි දැකලාවත් නැති පොඩි කෙල්ලෙක් අයුමි. මගේ ප්‍රශ්ණ දරන්න ඔයාට බෑ. තාම මම ඔය හිත හරියට දන්නෙවත් නෑ. ඔයා මාව හරියටම දන්නවා කියලා මම හිතන්නෙත් නෑ. ඒත්...ඒ මොනා නැතත් එක දෙයක් මම දන්නවා. ඒ මට ඔයාව ඕන කියලා... මං මෙච්චරම ඔයාට මේක පැහැදිලි කරන්න හදන්නේ ඒකයි"
රවීන් මුදු හඬින් එහෙම කියද්දි අයුමිගේ ගත හිරිවැටිලා වගේ ගියේ ඒ වචන වල තිබ්බ බරකම හන්දා. ආදරේ හන්දා.
"ඔයා ඊයේ අර කවුද එක්ක යන්න ගියාම, දහයේ පංතියේ කොල්ලෙක්ගේ වගේ මගේ හිත ඉරිසියාවකින් පිරුණා. එහෙම වුණ එක වැරදිද? මම දන්නවා මම ඔයාට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්.  එහෙම වෙද්දි ඔයාගේ හිත වෙන තරුණ කෙනෙකුට ඇදිලා නොයාවි කියලා හිතන්නේ කොහොමද මම? ඔයා දන්නෑ ඒ හැඟීම මාව කොච්චර තරහාගැස්සුවද කියල. ඔයා කෝල් කරලා නොගත්තම මගේ හිත කලබල වුණා අයුමි. මම පස්සෙදි කතා නොකලේ ඒකයි. ඒ තරහින් නෙවෙයි . ඒ මං හිටියේ දුකින් හින්දා. ඔයා කතා කරපු වෙලේ කොහොමත් මම හිටියේ කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි. මම මේ කියන්නේ ඇත්ත. ඒ ඔයාට තේරුම්ගන්න. ඔයා හිතන්න එපා එක පාරක් තදින් කතා කර පලියට මට ඔයාව ඕන නෑ කියලා. ඔයා උදේ කියපු දේවල් වලින් මගේ හිත හොඳටම රිදුනා. ඇයි මාව තේරුම්ගන්න බැරි කියලා මම හිතුවා. ඒත්...මම දන්නවා ඔයා තාම පුංචි කෙල්ලෙක්...මාව තේරුම්ගන්න තරම් දේවල් ඔයා තාම දන්නෙත් නෑ. මගේ හිතට ඒක තේරුම් කරන්න බෑ සමහර වෙලාවට. මොකද මමත් ඔයා ඉස්සරහදි පුංචි ළමයෙක් වගේ වෙන හන්දා..."
රවීන්ගේ කතාව අහගෙන ඉද්දි අයුමිගේ ඇස් කඳුලු පුරාගෙන ආවේ නිරායාසයෙන්ම. ඔහු ගැන මහා ලොකු සෙනෙහසකින් ඇගේ හිතම වැහිලා, පිරිලා, ඉතිරිලා ගිහින් තිබුණා. ඒ එක්කම රවීන් උන්නු තත්වේ නොදැන ඔහු එක්ක අමනාප වුණ එක ගැනත් හිතේ තිබ්බේ හීන් පසුතැවිල්ලක්.  කඳුලු කැට දෙකක් කම්මුල් වලට වැටුණේ අයුමි ලොකු හුස්මක් හෙලද්දි. රවීන් ඔහුගේ උණුසුම් ඇඟිලි තුඩු වලින් ඇගේ කම්මුල් පිහලා එහෙමම දෝතින්ම ඇගේ සුමුදු මූණ අල්ලගෙන ඇගේ දෑස් වල‍ට එබුණා.
"අඬන්න එපා..." ඔහු කිව්වේ ගොඩාක් දයාවෙන්.
ඒත් ඒ හඬ ඇහුණම ඈට හොඳටම ඇඬුනා. දුක, ආදරේ, පසුතැවිල්ල, සෙනෙහස...මේ සේරම ඒ කඳුලු වල තියෙන්න ඇති. රවීන් එහෙමම ඈව පපුවට තුරුලුකරගත්තේ ඈව සනසවන්න වගේ. ඔහුගේ බෙල්ල මුල මූණ ඔබාගෙන අයුමි තව ටික වෙලාවක් කඳුලු වලට ගලන්න ඉඩ දුන්නා. රවීන් කලේ ඒ මුලු වෙලාවෙම ඇගේ හිස අතගාපු එක. අන්තිමේදි හැඬුම පුංචි හීල්ලුමක් වුණාමත් අයුමි හිස ඉස්සුවේ නෑ ටික වෙලාවක් යනකල්ම. විලවුන් සුවඳ එක්කම, ඔහුගේ දාඩිය, සුසුම්, ඇඳගෙන උන්නු ඇඳුමෙන් ආපු අමුතු සුවඳ මේ සේරම අයුමි ආඝ්‍රාණය කලේ ඒ සුවඳ මුලු සිරුර පුරාම පුරවගන්න උවමනාවෙන් වගේ. කොච්චර වෙලා ගිහින් තිබුණද කියලා ඈට නිනව්වක් තිබුනේත් නෑ.
"දැන් මේක බොන්න...අඬල අඬලා ඔයාව වේලිලා ඇති..." රවීන් බීම වීදුරුව අරන් දෙන ගමන් කිව්වා.
අයුමි ඔහුගෙන් ඈත් වෙලා, කීකරුව ඒක අතට අරන් උගුරු දෙකක් විතර බීලා බිම බලාගෙන උන්නේ ඔහු දිහා බලන්න නොහැකියාවක් ඈට දැනුන නිසා. රවීන් හෙමින් ඇගේ නිකටින් අල්ලලා ඈව තමන් දිහාට හරවගත්තා. ඊටපස්සේ ඇගේ උඩු තොලට උඩින් රැඳිලා තිබුණ බීම බිංදු කීපයක් ඔහු පිහදැම්මේ සීරුවට. ඒ ස්පර්ෂයෙන් නුහුරු තිගැස්මකට පත් වුණ හන්දා ඈට රවීන් දිහා බැලුණේ ඉබේටම. රවීන් ඇගේ දෑස් දිහාම බලාගෙන උන්නා. ඔහුගේ ඇඟිලි තුඩු තිබුණේ ඇගේ කම්මුල් මත. ඔහුට තිබ්බේ almond හැඩය ගත්තු කෙල්ලක්ගේ වගේ ඇස් දෙකක් කියලා අයුමි දැක්කේ එවෙලේ. ඒත් ඒ දෑස් තිබ්බේ මදක් රතු වෙලා, හරියට නිදිමැරුවම වගේ. දෑස් දිහා බලාගෙනම රවීන් ඈට තව ටිකක් ලං වුණාම අයුමිගේ ගත උණුසුම් වුණේ ඈ කවදාවත්ම නොවිඳපු මොකක්දෝ හැඟීමකින්. ඒත් ඒ එක්කම ඈට දැනුනේ ලැජ්ජාවක්. රවීන් හිතන්නවත් කලින් ඈ ඔහු ලඟින් නැගිටලා එතනින් මෑත් වුණේ ක්ෂණයකින්. ඒ ක්ෂනයෙන්ම වගේ රවීනුත් නැගිටලා ඈ අසලට ඇවිත් ඇගේ බඳෙන් අල්ලලා ඈව ඔහු දිහාට හරවගත්තා. එවෙලේ අයුමි උන්නේ ඔහුගේ ගතට එහෙම පිටින්ම ලං වෙලා. ඇගේ හදගැස්ම පිටට ඇහෙන තරම් වැඩි වුණේ එකපාරටම.රවීන් එක අතකින් ඇගේ බඳෙන් අල්ලගෙන අනෙක් අතින් ඇගේ විසිරිලා තිබුණ කෙස් රොදවල් ටික පිලිවෙලක් කලේ සීරුවට.
"මා එක්ක තාම තරහද?" රවීන් ඇහුවේ ඇහෙන නෑහෙන ගාණට.
අයුමි 'නෑ' කියලා හිස වැනුවේ බිමට නෙතු යොමාගෙන. මොහොතක් කල් මරපු රවීන් ඊලඟට ඇගේ ගෙලට පිටිපස්සෙන් හිසකේ අතරින් ඇඟිලි යවලා, ඇගේ මූණ යන්තම් උස්සලා ඇගේ කම්මුලක් සිපගත්තේ අයුමිට හිතන්නවත් අවසරයක් නොදී. අර නුහුරු උණුසුම ගින්නක් වෙලා ගත දවනවා වගේ අයුමිට දැනුනා. සිරුර පුරා සියලුම, ඇට මස් නහර විනිවිද ඒ හැඟීම පැතිරෙනවත් ඈට දැනුනා. ඒත් ඔහුගෙන් ඈත් වෙන්න ඈට ඕන වුණේ නෑ. ඈ දෑස් පියාගෙන ඔහුගේ පුලුල් පපුතුරට තව තුරුලු වුණා.රවීන්ගේ උණුසුම් වුණ දෙතොල් අයුමිගේ දෙතොල් මත තැවරුණේ ඊලඟ මොහොතේ. අයුමිට එවෙලේ දැනුනේ මුලු සිරුරම අවසඟ වෙනවා වගේ හැඟීමක්. ඒත් රවීන් ගේ ශක්තිමත් දෑත් ඈව තවත් ඔහු වෙතම තුරුලු කරගෙනම උන්නා. ඈගේ දෝත ඔහුගේ ගෙල වටා වෙලුණෙ නිරායාසයෙන්ම. ඊලඟට වුණ දේවල් අයුමිට දැනුනේ හීනයක් වගේ. උණුසුම්, නුහුරු, සුලි සුලඟක් තරම් කැලඹුණු, සුන්දරම හීනයක් වගේ. ඒ හීනෙන් අවදි වෙලා ඇස් අරිද්දි ඈ උන්නේ ආපහු දිග සෝෆා පුටුව මත. ඈ අසලින් බිම දණගහගෙන ඇගේ මූණට එබිලා උන්නේ රවීන්. අයුමිගේ හුස්ම තිබුණේ තවමත් වේගවත් වෙලා. රවීන් ඈ දිහා දයාබර බැල්මක් හෙලලා විසිරිලා තිබුණ ඇගේ හිසකේ ආයෙම පිලිවෙල කලා. අයුමි ඒ අත අල්ලගතා මුදුවට. රවීන් ඒ ගමන හෙමින් පාත් වෙලා ඇගේ නලල ඉම්බේ ලොකු සෙනෙහසකින් වගේ. ඊටපස්සේ ඔහු ආයෙම ඇගේ දෑස් වලට එබුණා.
"මගේ පුංචි රෝසමල..." ඔහු එහෙම කිව්වම අයුමිගේ මුවේ ඇඳුණේ හිනාවක්.
“I have dreamed of this moment many times over...you…me…and no one else…” එහෙම කියලා රවීන් හීන් සුසුමක් හෙලද්දි, අයුමිගේ දෑස් බිමට නැවුණේ ලැජ්ජාවෙන්.
"මම ඔයාට කොච්චර ආසද, මට ඔයාව කොච්චර ඕනද කියලා ඔයා දන්නේ නෑ. ඒත්...ඔයා තාම පිපුණා විතරයි...මගේ රෝසමල පොඩි කරන්න මට බෑනෙ..."
ඔහු කියපු දේ ඈට හොඳිම තේරුණා. රවීන් ගැන ආදරේ සිය ගුණයකින් වැඩි වෙලා ඈට දැනුනා. ඈ දැනගෙන හිටියා ඔහුට ඕන නම් මේ කාත් කවුරුවත් නැති තැනක, ඈට ඕනම දෙයක් කරන්න ඉඩ තිබ්බ වග. ඒත් ඔහු ඈව සිපගත්තා විතරමයි. ඈ ඔහු දිහා බැලුවේ ඒ කෘතඥපූර්වක බවත් හිතේ දරාගෙන. රවීන්ට ඒක දැනෙන්න ඇති.
"ඔය ඇස් දිහා බලාගෙන මට බොරු කියන්න බෑ. ඒ හන්දා මාව විශ්වාස කරන්න, පූර්ණි ඇරෙන්න මම ලඟින් ආශ්‍රය කරපු වෙන කිසිම ගෑණු කෙනෙක් ගැන මට මෙහෙම හැඟීමක් දැනිලා නෑ. මම ශාන්තුවරයෙක් නෙවෙයි අයුමි. මම හිතන්නේ ඔයාට ඒක මම කියන්න ඕනත් නෑ. වෙන ගෑනු ඉස්සරහදි මම ශාන්තුවරයෙක් වෙන්න උත්සාහ කරලත් නෑ. ඒත්...ඒ හැඟීම වෙන එකක්. ඔයා ගැන මගේ හිතේ තියෙන හැඟීම වෙනමම එකක්"
රවීන් කියන හදන්නේ මොකක්ද කියලා අයුමි බලාගෙන හිටියේ ඒක ඈට හරියටම නොතේරුණ නිසා.
"සමහර වෙලාවට ඉවුරු කඩාගෙන විසිරෙන හැඟීම් නවත්තන්න පුලුවන් වෙන්න හිතේ ඊට වඩා පිරිසිදු හැඟීම් ගොඩක් තියෙන්න ඕන මම හිතන්නේ"
රවීන් හැඟීම්බරව එහෙම කියාගෙන යද්දි, අයුමි ඔහුගේ අත දෝතින්ම තවත් හයියෙන්ම මිරිකගත්තා. රවීන් ආයෙම ඈට ලං වෙලා නැවිලා ඇගේ දෝතම සිප ගත්තා. අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතින් ආදරේ දොරේ ගලද්දි. ඔහු එහෙමම අයුමිගේ ලැම මත මුහුණහොවාගත්තා ඉන්පස්සේ. ඔහුගේ හිස මතින් අතක් තියාගෙන අයුමි කල්පනා කලේ තමන් ඔහුට මේ තරම් ලං මේ තරම් ආදරේ වුණේ කොහොමද කියලා. ටිකකින් රවීන් හිස උස්සලා ඔහුගේ ඔරලෝසුව දිහා බැලුවේ පුරුද්දට වගේ.
" හපොයි..." ඔහු එක පාරටම කියද්දි අයුමිගේ සේරම හැඟීම් අතුරුදහන් වුණා වගේ.
"කීයද වෙලාව?" අයුමි ඇහුවේ ඔරලෝසුව දිහාට එබෙන ගමන්.
"හතයි කාලයි. වෙලාව පියාඹලා ගිහින්ද කොහෙද"
"අනේ...අපි යමු. බෝඩිමේ ඇන්ටි කෝල් කරලද දන්නෙත් නෑ"
අයුමි බෑග් එක කොහෙද බලන ගමන් කිව්වා.
"යන්න ඕනද?" රවීන් ඇහුවා.
"ඉන්න බෑනෙ" අයුමි කිව්වේ ආයෙම ඔහුගේ වදන් ලඟ සන්සුන් වෙමින්.
"ඔයාව මට තියාගන්න ඕන හැමදාටම"
"ම්ම්...එහෙම කරන්නේ කොහොමද?"
"හ්ම්ම්...ඒකනේ....I think I am already addicted to you”
"ම්ම්...අනේ පිස්සු කියෙව්ව ඇති අපි දැන් යමු"
" හරි හරි...wash room එක ඔය passage එක කොනේ. ගිහින් මූණේ වතුර ටිකක් ගාගෙන එන්න. මූණේ මගේ ගඳ ගෑවිලා ඇති" රවීන් කිව්වේ හිනාවෙලා.
අයුමි දනි පනි ගාලා ගිහින් මූණ සෝදගෙන, කොණ්ඩේ සකසගෙන ආවා. ඒත් ඈට දැනුනා තාමත් රවීන්ගේ සුවඳ තමන් තුල තියෙනවා වගේ කියලා. යන්න ලෑස්ති වෙලා දොර ලඟදි රවීන් ආයෙම වතාවත් ඈව වැලඳගෙන සිප ගත්තා.
"ආයෙ එහෙම මට පේන්න එක එක කොල්ලෝ එක්ක යනවා එහෙම නෙවෙයි හරිද?" රවීන් කිව්වේ දඟකාර විදියට.
"ඉරිසියාකාරයා..." අයුමි මූණ ඇද කරලා කිව්වා.
"ඉරිසියයි තමයි... "
"පේන්න ගියොත් මොකද කරන්නේ?" අයුමි ඇහුවේ හිස ඇල කරලා.
ඒ පාර රවීන් පාත්වෙලා ආයේම අයුමිගේ දෙතොල් යන්තම් ඉඹලා ඇගේ තොල්පෙති කොණක් හැපුවේ ඈට රිදෙන්නම.
"ඌයි.." ඈ ඇඟිලු තුඩුවලින් තොල් පෙත්ත අල්ලගත්තේ ක්ෂණයකින්.
"මරලා දානවා එහෙම වුණොත්" ඊලඟට රවීන් එහෙම  කිව්වම අයුමිගේ හිත මුදු වුණා.
"එච්චරම ඉරිසියාවක්?" අයුමි ඇහුවේ ඇස් පුංචි කරලා.
"එච්චරම ඉරිසියයි"
අයුමි ඒ පාර ඔහු දිහාට හෙලුවේ දයාබර හිනාවක්.  රවීනුත් හිනාවෙලා ඇගේ රිදුම් දෙමින් තිබුණ තොල් පෙති අග හෙමින් ඇඟිල්ලකින් පිරිමැද්දා.
"ගොඩක් රිදුනද?" ඔහු ඇහුවේ හෙමින්.
"නෑ...අපි යං" අයුමි ඔහුගේ අත එහෙමම අල්ලගෙන දොර අසලට ලං වෙලා කිව්වා.

රවීන් අවනත වුණේ පුංචි ළමයෙක් වගේ. ඈව බෝඩිම ලඟින් බස්සවල, බෝඩිමේ ඇන්ටිටත් කියලමයි අන්තිමට ඔහු යන්න ගියේ. අයුමිගේ හිත තිබ්බේ උතුරලා යන්න තරම් පිරිලා. රවීන්ගේ උණුසුම ඔහුව සිහි වෙන හැම මොහොතකම ඈට ඔහු ලඟ ඉන්නවා වගේම දැනුනා. ඒ මොහොතේ ඈ දුක හිතෙන අතීතය ගැන මතක් කලේ නැහැ. අනාගතේ ගැන හිතුවෙත් නැහැ. ඈ සැරිසරමින් උන්නේ රවීන් ඈව උණුසුම් කරපු, ඈව ආදරෙන් සනසපු ඒ දවසේ. ඒ මොහොතේ විතරමයි.

11 comments:

  1. මේ කතාවට ලිව්වම කියලා හිතන්න එපා. මම දැනුවත්වම මෙහෙම දෙයක් ඇත්තටම වෙලත් තියෙනවා. මේ කතාවට ලිව්ව බොලඳ කොටසක්ම කියලා හිතන්න එපා. මම දැනුවත්වම මෙහෙම දෙයක් ඇත්තටම වෙලත් තියෙනවා.

    ReplyDelete
  2. Adare wadi unama hitha selfish wenne apitath nodanuwathmai. Hari lassanai Nethu.

    ReplyDelete
  3. ම්.. ම් .. ඉරිසියාවයි ආදරෙයි ..දුකයි ...සතුටයි ... හැමදේම පිරිච්ච දවසක්.. හරිම ලස්සනයි ....

    ReplyDelete
  4. "මම දැනුවත්වම මෙහෙම දෙයක් ඇත්තටම වෙලත් තියෙනවා" මේක ඇත්තම කතාවක්ද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මුලු කතාවම නම් ඇත්ත නෙවෙයි. ඒත් ඇත්ත කතාවේ සමහර සිදුවීම් මේකේ ඇතුලේ තියෙන්න පුලුවන්. :) හැබැයි මේ එකක්වත් මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙවෙයි ඈ.

      Delete
  5. ආදරය කියන දේ රවීන් ගෙන් අයුම් දැනගත්ත දවස අද වෙන්න ඇති...මමත් ආදරය කරන්නේ ජීවිතේ එන මේ වගේ දවස් වලට....

    ReplyDelete
  6. නෙතුට මේ කතාව හොදට හිතලා අල්ලලා වගේ. ඒකනේ මෙච්චර ඉක්මනට කතාව ලියවෙන්නේ. නේද?

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියලා එහෙමම විශේෂයක් නෑ. මගේ හැම කතාවකටම මම ආසයි. මම ආස කතා තමයි මම ලියන්නේ, මොකද මම හිතනවා අනික් අයත් මම වගේම ඒවට ආස වේවි කියලා. කොහොම වුණත් "ඔබ හීනයක් වගේ" තමා මම ආසම මගේ කතාව. ඒ කතාව හන්දත් මම සෑහෙන්න නිදි මරලා තියෙනවා. අනික මල් වැහි වැටුනාවේ කතාව. අභියි, ආර්යනුයි හන්දත් මම නිදි මරලා තියෙනවා ටිකක්. :)

      Delete
  7. ඔයාගේ හැම කතාවක්ම මම කියෙව්වා... මම ආසම චරිත තමයි ආර්යන් & අනුක්. ඒ චරිත දෙක නම් තියෙන පිරිමි ළමයි ඉන්නවද මන්දා... ඉන්නවා නම් එහෙම අය ලැබෙන අය ගොඩක්ම වාසනාවන්තයි.
    මේ කතාවත් මම කියවනවා හැමදාම. පරක්කු නොකර ලියන්න :)

    ReplyDelete