ඈ බම්බලපිටියෙන් බහිද්දි ආයෙම වැස්ස
පටන් අරන්. ඈ හන්දියෙන් ත්‍රීවීල් එකක නැගලා රවීන්ගේ ගෙදර තියෙන පැත්තට එන්න ආවා.
ඈ යද්දි රවීන් උන්නේ බැල්කනියට වෙලා මග බලාගෙන. රෝලර් ගේට්ටුව ස්වයංක්‍රීයව
ඇරෙද්දි අයුමි වැස්ස මැද්දෙම ගේ දිහාට පැනගත්තා. ඒ වෙද්දි රවීන් උන්නේ සාලෙට
බහිමින්.
"තෙමුණද?" රවීන් පඩිපෙලේ ඉඳගෙනම ඇහුවේ සිනාමුසුව.
අලු පාට සැහැල්ලු ලොකු T-shirt එකක් ඇඳලා, ඒ වගේම සැහැල්ලු දිග කපු කලිසමක් ඇඳලා,
රැවුල කපන්නත් අමතක වෙලා උනා වුණත් ඔහුව අයුමිට පෙනුනේ වෙනදටත් වඩා කඩවසම්ව.
"නෑ නෑ. මම දුවලා ආවා"
"කෝ යාලුවා?" රවීන් ඇහුවේ ඈ ලඟින් නැවතිලා.
"ම්ම්...එයාව බෝඩිමට දාලා ආවේ. කෝ දැන්
ශාරා, නිදිද?"
අයුමි ඇහුවම රවීන් උඩ තට්ටුව දිහා
බැලුවා.
"නෑ දැන් ඇහැරලා මොකක්ද කාටූන් එකක්
බලනවා. උදේට කාලත් නෑ, කිරි එක විතරයි බිව්වේ. මම මේ එයාට
කන්න දෙන්න දෙයක් හිත හිත ඔයා එනවදත් බල බල හිටියේ" රවීන් කිව්වා.
"ඉතිං doctor කෙනෙක් ලඟට එක්ක ගියේ නැද්ද?"
අයුමි ඇහුවා.
"අපේ Family Doctor ඇවිත් බලලා ගියා. ඒ තරමම් බය වෙන්න
දෙයක් නෑ කිව්වා. අදත් උණ බහින්නේ නැතුවම තිබ්බොත් තමා blood check කරලා බලන්න කිව්වේ" රවීන් කිව්වා.
"උණ බහිනවනේ නේද?"
"ඔව් ඔව්. බෙහෙත් දීලා ටිකකින්
බහිනවා"
"එහෙනම් කමක් නෑ. dungue නම් උණ බහින්නෙම නැල්ලු නේ. ම්...කෝ ඔයාලගේ ආයා නැද්ද?"
අයුමි ඇහුවේ වට පිට බලමින්.
"ඉන්නවා, අරහේ කැඳද මොනාද හදනවා. ඒත් කවාගන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ
නෑ"
"ම්ම්...බලමුකෝ ගිහින්" අයුමි
කිව්වම රවීන් ඉස්සර වුණා.
"තාත්තා උදේම ගිහින්ද?" ඒ යන අතරේ අයුමි ඇහුවා.
"ඔව්. අද medical checkup වගයක් දාගෙන නවලෝකේ. උදේ වරුවම ඒකට යනවා"
අයුමි පඩිපෙල නැගගෙන උඩට යද්දි ශාරා
උන්නේ ඇඳේ කොට්ටෙකට බර වෙලා ඇඳ උඩ තිබ්බ
ලැප්ටොප් එක දිහා බලාගෙන. අයුමි ගිහින් හෙමින් ඇගේ හිස පිරිමැද්දම ඈ ඉක්මණින්
හැරිලා අයුමි දිහා බැලුවා.
"Auntie..."
ශාරා පැනපු ගමන් අයුමිගේ අත දෝතින්ම
අල්ලගත්තා. එවෙලෙත් ඒ අත්වල තිබුණේ අමුතු උණුසුමක්. අයුමි ඒ ගමන ඇඳ උඩින් වාඩි
වුණා ශාරාගේ මුදු අත් අල්ලගෙනම.
"ඔයාට සනීප නැති හන්දා බලලා යන්න
ආවා" අයුමි කිව්වා.
"මට උණ නේ" ශාරා කිව්වේ
හුරතලෙන්."බලන්න රස්නෙද කියලා" ශාරා ඒ පාර අයුමිගේ අත නලලට තියා ඇහුවා.
"ආ...ටිකක් රස්නෙයි. හැබැයි ගොඩක් නෑ.
මම හිතන්නේ දැන් හොඳ වීගෙන එනවද කොහෙද. පැටියා බෙහෙත් බිව්වනේ නේද?"
"බොහෝම අමාරුවෙන් තමා ඒවා නම්" ලඟ තිබ්බ බීන් බෑග් එක උඩින් වාඩි වෙලා දෙන්නා
දිහා බලාගෙන උන්නු රවීන් කිව්වා.
"බේත් තිත්තයි. මං ආස නෑ" ශාරා
කිව්වේ රවීන් දිහාට රවමින්.
"ඒ වුණාට බෙහෙත් නොබිව්වොත් උණ හොඳ
වෙන්නේ නෑනේ පැටියෝ" අයුමි කිව්වේ ඇගේ හිස අතගාලා.
ශාරා හිස වනලා ආයෙම කාටූන් එක දිහා ඇස්
රඳවගත්තා.
"පැටියෝ දැන් අපි ඕක pause කරලා මූණ හෝදලා ඉමුද? Auntie බලයි දෝණි මොකද අද මේ කැතට ඉන්නේ
පිජාමා එක පිටින්ම කියලා" රවීන් ඇහුවේ ආදරෙන්.
"මට බෑ..." ශාරා ඇදලා කිව්වා.
"ප්ලීස්..."
"ම්ම්ම්....බෑ අනේ..."
"මා එක්ක හෝදමුද? හෝදලා ලස්සන ඇඳුමක් දාලා, අපි ආයෙම ඕක බලමු ඈ?" අයුමි ඒ පාර ඇහුවා.
"ම්ම්ම්...ම්ම්..." ශාරා හිස
වැණුවා බෑ කියලා.
අන්තිමේදි බොහොම අමාරුවෙන්, වදෙන් පොරෙන් වගේ අයුමියි, රවීනුයි දෙන්නම යාප්පු වෙලා වගේ කැමති කරගෙන
ශාරව සෝදලා ගත්තා. රවීන් ඇඳුම් අන්දනකල් අයුමි ඇඳ හෙමත් අස් කරලා, කාමරේ පිලිවෙලක් කලා. ඔය අතරේ තමා ආයා උඩට ආවේ. කාමරේ අයුමි ඉන්නවා දැකලා ඈ පුදුම වුණා වගේ.
"මහත්තයා කැඳ ගෙනාවා" ඈ අයුමි දිහා
මොකක්දෝ විදියකට බලලා රවීන්ට කිව්වා.
"ආ...ඔහොම තියන්න ඕක නිවෙන්න. ආයා අපට
තේ පොඩ්ඩක් ලෑස්ති කරන්නවද ප්ලීස් පහල?" ආයා යන්න හදද්දි රවීන් කිව්වා.
ඈ යන්න ගියේ අයුමි දිහා ආයෙම ඇස්
කොනකින් බලමින්.
"ඒ මනුස්සයා මම ගැන මොනා හිතනවද දන්නේ
නෑ" අයුමිට කියවුණා එහෙම.
"ඇයි?" කැඳ එක නිවමින් උන්නු රවීන් ඇහුවා.
"නෑ ඉතිං ඔයා එක්ක හිටි ගමන් පාත්
වෙනවා. කාමරවලට යනවා..." අයුමි කිව්වා.
"ආයා හිතන්න ඕන එක දන්නවා" රවීන්
ඉන්පස්සේ කිව්වා.
ඒක මොකක්ද කියලා අහන්න ඕන වුණත්,
අයුමි ශාරා උන්නු නිසා කටවහගෙන උන්නා.
අයුමි රවීන් එක්ක පහලට බැස්සේ
අමාරුවෙන් ශාරට කැඳ හැඳි පහක් විතර පොවාගත්තට පස්සේ. අයුමි නොපොවන්න
එහෙමවත් බොන එකක් නෑ කියලයි රවීන් කිව්වේ.
"ආන්ටි තේ බීලා ආයෙම එන්න" පහලට
එද්දි ශාරා කෑ ගැහුවා.
අයුමිලා තේ මේසේ ලඟට එද්දි, ආයා තේ මේසේ තවම ලෑස්ති කරන ගමන් උන්නේ. ඒත්
රවීන් අයුමිට පුටුවක් ඇදලා දීලා ඔහුත් වාඩි වුණා ඈ අසලින්ම වගේ.
"ඉතිං කියන්න යාලුවට මොකක්ද වුණේ
කියලා" රවීන් ඇහුවේ මේසේ මත තිබ්බ බටර් තවරපු toast දෙකක් අරගෙන අයුමි ඉස්සරහ තිබ්බ
පිඟානෙන් තියන ගමන්.
"අනේ මම කාලා ආවේ රවීන්"
"කමක් නෑ. ඉතිං කෑල්ලක් කන ගමන්
කියන්නකෝ මොකද වුණේ කියලා"
අයුමි ඒ පාර කෙටියෙන් වෙච්ච දේවල්
රවීන්ට කිව්වා. ඔහු අහගෙන උන්නේ සාවධානව.
"මෙහෙමයි, ප්‍රශ්ණ ඉතිං මිනිස්සු අතරේ ඇති වෙනවා. ඒත් ඉතිං ආදරේ ඇත්තටම නං එවා
ටික කලකින් හරියනවා. ඒවා ඒ දෙන්නටම විසඳගන්න දෙන්න අයුමි. ඔයාට පුලුවන් යාලුවගේ
හිත හදන්න විතරයි ඒ ඇරුණම. ඒ අයගේ ප්‍රශ්ණ වලට ඔයා මැදිහත් වෙන්න යන්න එපා...මොකද
ඇත්තටම වුණේ කියලා ඔයා දන්නෙත් නෑනෙ" රවීන් අන්තිමට කිව්වේ එහෙම.
අයුමි ඒකට මුකුත් කිව්වේ නෑ, හෙමින් හිස වැනුවා ඇරෙන්න. ඒ අතරේ ආයා තේ අරගෙන
ආවා.
"මේ...ආයම්මේ, මට හරි විදියට අඳුන්නලා දෙන්න බැරි වුණානෙ මේ නෝනව. මේ අයුමි.මගේ
ඔෆිස් එකේ මා එක්ක වැඩ කරන මගේ සහකාරිය" රවීන් එහෙම කියලා හිනාවක් පෑවා.
රවීන් ඇඟට පතට නොදැනී එහෙම කිව්වම,
අයුමි පත්වුණේ මහාම මහා ලැජ්ජාවකට. ඈගේ දෙකන්
පවා රත් වෙනවා ඈට දැනුනා. අයුමි ආයා දිහා බලලා හිනාවුණත්, ඇගේ මූණේ තිබ්බේ හිනාවකට වඩා දත් විලිස්සීමක්
වගෙයි ඈට පෙනුනේ.
"රවීන්..." මේසේ ඇතුලෙන් ඈ ආයට
නොපෙනෙන්න රවීන්ගේ කකුල පෑගුවා.
ආයා ඒ පාර මුකුත් නොකියා අඳුරගත්තට
සංතෝෂයි වගේ යන්තම් හිස වනලා ආපහු කුස්සියට යන්න ගියා.
"ඔයාට නම් පිස්සු රවීන්. ඒ මනුස්සයට
ඔයාගේ කතාව නම් එච්චර ඇල්ලුවේ නැද්ද කොහෙද?"
"අනේ...ඒක ගණං ගන්න එපා. ආයා එහෙම
තමා"
රවීන් හිනාවෙලා කිව්වත් අයුමිට නම්
එහෙම ගණං නොගෙන ඉන්න හිතුණේ නෑ. මොකද ආයා බලපු විදිහ ඇගේ හිත නොසන්සුන් කල හන්දා. ඒත් ඈ ඒක හිතේ තියාගෙන උන්නා මිස රවීන් එක්ක
වාද කරන්න ගියේ නෑ.
"මම එහෙනම් දැන් යන්නම්ද රවීන්?"
තේ බීලා ආපහු සාලෙට එන අතරේ අයුමි ඇහුවා.
"දැන්ම? දැන්ම යන්න එපා. දවල්ට කාලා යන්න ඉන්න. අද නිවාඩු දාලානේ ඉන්නේ"
"අනේ ඒ වුණාට? එහෙම ඉන්නේ කොහොමද? ඔයාගේ
තාත්තා දැන් ආවම ආයයම්මට වඩා අප්සට් යයි මම මොකද මේ හැමදාම මෙහේ කියලා" අයුමි
කිව්වා.
"ඔයා ඒවා ගැන හිතන්න ඕන නෑ. ඒවා මම
බලාගන්නම්" රවීන් කිව්වම අයුමි ඔහුගේ මූණ දිහා බලාගෙන උන්නේ ඒ උත්තරෙන්
සෑහීමකට පත් වෙන්න බැරිව.
"බය වෙන්න එපා ළමයෝ මොනවත් ප්‍රශ්ණයක්
වෙන්නේ නෑ" රවීන් ඊට පස්සේ කිව්වා..
ඊට පස්සේ ආයෙම දෙන්නා ගියේ ශාරා උන්නු
කාමරේට. රවීන් අයුමිව ශාරා එක්ක තියලා ඔහුගේ වැඩ කරගන්න පහලට ආවා. එතකල් ශාරට
බෙහෙත් පොවලා (ලොකු නැටුමක් නටලා, ශාරා
ආයගේ ඇඟට බෙහෙත් එක පාරක් විසි කරලා හෙම) ඈ එක්ක කතා කරමින්, කාටූන් බලමින් අයුමි තව පැයක් විතරම එහේම
උන්නා. ශාරා උන්නේ අයුමිගේ උකුල උඩින් හිස තියාගෙන පහසුවට. ඈ ගැන තිබ්බ ආදරේ හන්දා
එහෙම ඉන්න දීලා
අයුමිත් ඇඳ විට්ටමට හේත්තු වෙලා උන්නා.
අන්තිමේදි බෙහෙත් හන්දද මන්දා ශාරට එහෙමම අයුමිගේ උකුල උඩම නින්ද ගිහින්
තියෙද්දියි රවීන් ආයෙම කාමරේට ආවේ.
"හානේ...කෙල්ලට නින්ද ගිහින් නේද?
මට මේ හදිසි web conference එකක් තිබ්බා අපේ shipping එකේ වැඩකට. වෙලාව ගියා දන්නෙත් නෑ. කෙල්ලට ගොඩක් වෙලාද නින්ද ගිහින්?"
රවීන් ඇහුවා.
"දැන් චූට්ටක් වෙලා" අයුමි ඔහු
දිහා බෙල්ල හරවලා බලලා කිව්වා.
රවීන් ඇඳ විට්ටම අසලට ඇවිත් ශාරගේ හිස
අතගාලා ඊලඟට අයුමිගේ හිස උඩින් අත තියලා ඈ දිහා බලාගෙන උන්නේ මොකක්දෝ කියාගන්න
බැරි සෙනෙහසකින් වගේ.
"ඇයි...ඔහොම බලන්නේ?" අයුමි ඇහුවා බැරිම තැන.
"නෑ...මං මේ කල්පනා කලේ, අම්මා කෙනෙක් නූනට ගොඩාක් ගෑණු අය ලඟ දරුවන්ට
සෙනෙහසක් නිකං උපතින්ම වගේ තියෙන හැටි ගැන. බෝණික්කෝ එක්ක සෙල්ලම් කරන පුංචි ගෑණු
ළමයෙක්ගේ ඉඳන් ඔයා වගේ කෙල්ලෙක්ගේ ඉඳන්, ආයායම්මා වගේ ගෑණු කෙනෙක් වෙනකල්ම ඒ හැඟීම් මහා පුදුමාකාර විදියට ඔයාලා ඇතුලේ
තියෙනවා" රවීන් කියද්දි හැඟීම්බර වුණේ අයුමි.
"ඒ...කවදක හරි අපට අම්මා කෙනෙක් වෙන්න
සිද්ධ වෙන හන්දා වෙන්න ඇති. ගෑණු කෙනෙක් කියන්නේ අම්ම කෙනෙක් වෙන්න ඉපදුන කෙනෙක් නෙ" අයුමි කිව්වා.
"ම්ම්ම්...ඒත් කරුමෙට හැම ගෑණු කෙනෙක්ම එහෙම
නෑ. මට නම් හම්බවුණ ගෑනු ගොඩක් එහෙම නෑ" රවීන් කිව්වා.
"එහෙම අයත් ඉන්න එපැයි" අයුමි
කිව්වේ උපේක්ෂාවෙන් වගේ. රවීන් තමන්ගේ ජීවිතේ හිටපු අනෙක් ගෑණු අය ගැන කියනවට
අයුමිගේ හිතේ කැමැත්තක් තිබුණේ නෑ කොහොමත්.
"ම්ම්...ඔව් ඉතිං ඒකත් ඇත්ත" රවීන්
කිව්වේ ශාරව හෙමින් සීරුවේ අයුමිගේ උකුලෙන් උස්සලා ඇඳෙන් තියන ගමන්.
"ඒත් අන්තිමේදි හරි ඔයාව මට හම්බුනානේ.
ලොකු පවක් කරලා මම පොඩි පිනක් හරි කරලා තියෙනවා වගේ" රවීන් හිනාවෙලා කිව්වම
අයුමිටත් හිනා ගියා.
"පිං කරලා තියෙන්න මම රවීන්" ඈ
අන්තිමට එහෙම කිව්වම රවීන්ගේ ඇස් සෙනෙහසින් පිරුණා.
ඔහු ශාරව හෙමින් ඇඳ උඩින් තියලා අයුමිගේ
අතකින් අල්ලලා ඈව එතනින් නැගිට්ටවගත්තා.
"එන්නකෝ යාලුවෙක් පෙන්නන්න"
රවීන් අයුමිව එක්කගෙන ගියේ ඔහුගේ මේසේ
ලඟට.
"දන්න අඳුනන කෙනෙක් ඉන්නවද බලන්න" රවීන්
කිව්වම අයුමි දැනගෙන උන්නා ඒ කියන්නේ අර African violet පැලේ ගැන කියලා.
"ඉන්නවා නේන්නම්..." අයුමි හිස වැනුවා හිනා වෙවී.
"ම්ම්...මම ඒක තියාගෙන ඉන්නවා පව් නේ. නපුරියෙක්
ඇවිල්ලා ඒක තිබ්බ තැනින් අයින් කලානේ" රවීන් කිව්වේ අයුමිට ලං වෙලා.
"ඉතිං ඒකෙන් නරකක් වුණේ නෑනෙ. දැන් මේ කාමරේ
ලස්සනට තියෙන්නේ" අයුමි කිව්වේ රවීන් දිහා බලලා හිනාවෙලා.
රවීන් ඇගේ දැස දිහා බලාගෙන උන්නා
මොහොතක්.
"මම මේසේ ඉඳගෙන වැඩ කරගෙන හැම වෙලාවකම මේ මල්
පැලේ මතක් කරන්නේ ඔයාව. ඉස්සරෝම දවස් වලත්
එහෙමයි" ඔහු කිව්වේ උණුසුම් හඬින්.
"එතකොට මල් පැලේ දකිද්දි විතරද මතක් වෙනේ?" අයුමි ඇහුවේ සරදමට වගේ.
"ම්ම්...නෑ. තව වෙලාවලටත් මතක් වෙනවා. අහන්න ඕනද?" රවීන් අමුතු හිනාවක් පාලා අහද්දි අයුමි දැනගත්තා මොකාක් හරි කට
කැඩිච්ච කතාවක් කියන්නයි මේ එන්න හදන්නේ කියලා.
"එපා එපා. ඕන නෑ. මතක් වෙනවා කියලා දැනගත්තා නේ.
ඒ ඇති" අයුමි කිව්වේ ඔහුගෙන් ඈත් වෙන ගමන්.
රවීන් ඇගේ අතකින් අල්ලගත්තා දුර යන්න
කලින්ම.
"ඔයා මේ දැන්, මෙතන මගේ ලඟ ඉන්න එක මට හරියට හීනයක්
වගේ. මම හිතුවේ අදත් ඔෆිස් ඇවිලා ඔයා දිහා බල බල ඉඳලා, අඳුරන්නේ නැති ගාණට ඉඳලා, සුසුම් හෙල හෙල එන්න වේවි කියලා"
රවීන් කිව්වා.
"ඇත්තට? ඔයා ඔෆිස් එන්නේ ඒකටද?" අයුමි ඇහුවේ විහිලුවෙන්.
"ඒක තමා මාත් හිතුවේ. ඉස්සර මම ඔෆිස් එන්නේ දවස්
දෙකක් හෝ තුනක්. ඒත් දැන් ඒකේ අනික් පැත්ත. සුසුම් හෙල හෙල ඉන්න හරි ඔෆිස් එන්න ඕන
කියලා හිතෙනවා. මට බෑනෙ මගේ රෝසමල නොබලා ඉන්න"
රවීන් කිව්වම අයුමිට ඔහු ගැන දැනුනේලොකු
සෙනෙහසක්.
"ඔයා ඇත්තටම වෙලාවකට පොඩි ළමයෙක් වගේ"
අයුමි ඉන්පස්සේ කිව්වා.
"ඔයා ලඟදි එහෙම තමයි"
රවීන් එහෙම කියලා ඇගේ අත අරන් හෙමින්
සිප ගත්තා. අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ උපන්න සෙනෙහස වැඩි වෙද්දි.
රවීන්ලගේ තාත්තා ගෙදරට ආවේ, අයුමි රවීන් එක්ක පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි.
"ඔයා යන්නද හදන්නේ, කෝ දැන් ශාරට මොකද?"
රවීන්ගේ තාත්තා ගෙට ආවේ එහෙම අහගෙන.
රවීන් ඒකට උත්තර බඳින අතරේ, රවීන්ගේ තාත්තාගේ දෑස් යොමු වුණා අයුමි දිහාවටත්. ඈ යන්තම් හිනාවෙන්න
උත්සාහ කලත් ඒ වෙද්දි ඔහු උන්නේ ආයෙම අහක බලාගෙන.
කොහොමින් හරි අන්තිමේදි ගෙදරින් එලියට
බහිද්දි තව පැයක් විතර පහු වෙලයි තිබුණේ. ඒත් වාහනේ එලියට ගන්නකොටම වගේ ආයා
තකහනියේ දුවගෙන ආවේ වාහනේ නවත්තන්න කියලා අතින් කියමින්.
"ඒ පාර මොකක්ද දන්නෑ" රවීන්
වාහනේ නැවැත්තුවේ නොරිස්සුමින්.
No comments:
Post a Comment