Friday, August 7, 2015

විහංඟනාවී: තිස්පස්වන කොටස



ඕනම අත්දැකීමක පලවෙනි වතාව ගොඩ දෙනෙකුට හරිම සුවිශේෂී අත්දැකීමක් වෙන්නේ නිරායාසයෙන්ම. ඒ නිසාමදෝ රවීන් එක්ක, ඔහුගේ උණුසුමේ ගෙවුණ පැය දෙක තුන තවත් සති දෙක තුනක් යනකල්ම අයුමිගේ හිත මුල්ම දවස වගේම සසල කරන්න සමත් වුණා. ඒ සිදුවීම ගොඩාක් දේවල් අදෘශ්‍යමානවම වෙනස් කලා කියලා අයුමිට දැනුනා. ඈට රවීන් ගැන දැන් දැනෙමින් තිබුණේ වෙන කවරදාවත් නැති විදිහේ සමීපකමක්, බැඳියාවක්. රවීන්ටත් ඒක එහෙමම දැනුනද කියන්න ඈ දැනගෙන උන්නේ නැතත්, ඔහු තමට දක්වපු සැලකිල්ල ඉස්සරටත් වඩා වැඩියි කියන එක නම් ඈට හොඳින්ම දැනිලා තිබුණා.
"ඔයා මොකද කරන්නේ?"
ඒ සිදුවීමෙන් දවස් දෙක තුනකට පස්සේ ගෙදර ඇවිත් ඉද්දි රවීන් ඇමතුමක් දුන්නු වෙලාවක ඈ ඇහුවේ පුරුද්දට වගේ.
"කල්පනා කරනවා"
"මේ මහ රෑ...?"
"ම්ම්..."
"මොනා ගැනද?"
"වෙන මොනා ගැනද මට කල්පනා කරන්න තියෙන්නේ, මාව මෙහේ තනියෙම දාලා ගිය නපුරි ගැන මිසක" රවීන් කිව්වේ දයාබර හඬින්, ඒත් නිදිමතේ වගේ.
හොඳ වෙලවට අක්කා රෑ වැඩ හන්දා අයුමි කාමරේ නිදාගෙන උන්නෙත් තනියෙම. ඒ නිස කතා කරන්න ඈට නිදහසක් තිබුණා.
"නපුරු හින්දා දාලා ආවා නෙවෙයි නේ..." අයුමි කිව්වෙත් ආදරෙන්.
"හ්ම්ම්ම්...ඔයා නැතිව මුලු කොලඹම පාලු වෙලා වගේ බබී" රවීන් කිව්වේ උණුසුම් ස්වරයකින්.
ඔහුගේ සුසුමක් වතේ දැවටුන වෙලාවක වගේ ඒ වචන මොකක්දෝ නුහුරු උණුහුමක් අයුමිගේ හිතේ ඇතිකලා.
"ම්ම්"
"එදා වගේ ඔයා මගේ ලඟ දැන් හිටියා නම් කියලා හිතෙනවා" රවීන් කියද්දි අයුමිගේ හිතයි, ගතයි දෙකම උණුසුම් වුණ තරමටම ඇගේ වචන ගොලු වුණා.
රවීන් ඈට ඉඩ දීලා මොහොතක් ඉන්ධලා ආයෙම කතා කලා.
"බබී..."
"ම්ම්"
"මොනවද හිතන්නේ?"
"මම...එහෙම කවදාවත් එච්චර කාටවත්ම ලං වෙලා නෑ" අයුමි කිව්වේ හෙමින්, මොකක්දෝ පුංචි ලැජ්ජාවකුත් හිතේ පැතිරෙද්දි.
"ඒක මම දන්නවා" රවීන් කිව්වේ දයාබරව.
"කොහොමද දන්නේ?" අයුමි ඇහුවේ බොරු පුදුමයක් පෙන්නමින්, හිනාවකුත් එක්කම.
"ම්ම්...දැනගන්නම ඕනද?"
"ඔව් නේ"
අයුමිට දැනුනා රවීන් හිනාවෙන හඬ.
"මෙහෙමයි...ඒක ඉතිං අපි මොනා හරි පලතුරක් ඉදිලද කියලා හරි, මලක් සුවඳද කියලා හරි දැනගන්නවා වගේ තමා" රවීන් හිතලා මතලා කිව්වා.
අයුමිට ඒක එකපාරටම තේරුණේ නෑ.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වෙද, ඒ කිව්වේ ඉඹලා බලලා කියන එක"
ඒ කතාවට අයුමිට හොඳටම ලැජ්ජා හිතුණ.
"අනේ ඔයා හරි නරකයි රවීන්"
"ඉතිං ඔයානේ ඇහුවේ. අහලා ඇත්ත කිව්වම දැන් මම නරකද?"
අයුමි ඒකට මුකුත් කිව්වේ නෑ.
"මාව නරක් කරන්නේ ඔයානෙ" ඊලඟට රවීන් මිමිණුවා.
"දැන් ගොඩක් රෑ වෙලා. දැන් නිදියගමුද? අම්මට ඇහුණොත් හෙම දැන් නැගිටලා මෙතනට එයි" අයුමි කිව්වේ සාලේ ඔරලෝසුවේ රෑ දොලහා වැදෙනවා ඇහෙද්දි.
"මට නිදිමත නෑ..." රවීන් කිව්වා.
"ඉතිං එලි වෙනකම්ම කතා කර කර ඉන්නත් බෑනෙ"අයුමි කිව්වා.
"මට පුලුවන්" රවීන් කිව්වා.
"අනේ ඉතිං ඔය..."
"හරි හරි. ඒක නෙවෙයි ඔයා හෙට හවස එනවා නේද?" රවීන් අයුමිගෙන් ඇහුවේ ඉරිදා හවස ගැන.
"හෙට නෙවෙයි අද. දැන් දොලහත් පහු වෙලා"
"ආ...ඇත්ත තමයි. ඉතිං අද එනවද කියන්න?"
"ම්ම්" අයුමි කිව්වත් ඈ තවම උන්නේ දෙගිඩියාවෙන්.
"මම හවසට ඔයාව ගන්නම් බහින තැනින්"
"හා"
"එහෙනම් ඔයා නිදාගන්න බබී...ගුඩ් නයිට්"
'ගුඩ් නයිට්" අයුමි කිව්වේ මොකක්දෝ පාලුවක් හිතේ පැතිරෙද්දි. අයුමි දැනගෙන උන්නා රවීන්ටත් ඒක එහෙමම දැනෙන වග.
රස්සාවට ගියායින් පස්සෙම අයුමි කවදාවත් ඉරිදා හවස කොලඹ ගිහින් තිබුණේ නෑ බෝඩිමට යන්න. ඒ හන්දා එදා අම්මගෙයි, ආත්තම්මගෙයි ප්‍රශ්ණ ගොඩකට උත්තර දෙන්න ඈට සිද්ධ වුණා.
"හෙට උදේම ඔෆිස් ඉන්න ඕන අම්මා. අනික උදේ පාන්දරම ගිහින් ඔෆිස් එකට ගියාම දවසම හරි අමාරුයි" ඉස්සෙලම කිව්ව එක ඇත්ත නූනත් අන්තිමට නම් අයුමි කිව්වේ ඈත්ත.
"හ්ම්ම්...ඒක නම් ඇත්ත තමා" අම්මා අන්තිමේදි කිව්වා.
"එහෙනම් ඉතිං රෑ නොවී ඔය එලිය වැටිලා තියෙද්දි කොලඹ පය ගහන්න යන්න ලෑස්ති වෙන්න වෙයි. රෑ පානේ ගමන් යන්න තියාගන්න එපා" එහෙම කිව්වේ ආත්තම්මා.
"රෑට කෑම එකක් අරන් යන්වද?" ඒ පාර අම්මා ඇහුවා.
"එපා අම්මේ. බෝඩිමෙන් කෑම ගතහැකි" අයුමි කිව්වා.
"අපේ කාලේ නම් ඉලන්දාරි රස්සා වලට ගියා, ගෑණු හිටියේ ගෙවල්වල. දැන් කාලේ ගෑණු, පිරිමි කියලා නෑ දොගොල්ලොම හරි හරියට වැඩ. වෙලාවක් කලාවක් නෑ. ඉස්පාසුවක් නෑ. හනේ මන්දා ළමයෝ මොකක්ද මේ ජීවිතේ කියලා. මං අහගෙන අර ඉස්සරහ ගෙදර පොඩි නෝනගේ පුතාගේ ළමයිනුත් උදේ පාන්දරම අරන් යනවලු මොකක්ද මේ ඩෙකෙයද මොකක්ද කියලා ඉස්කෝලයක් වගේ එකකට..."
"ඩේ කෙයා ආත්තම්මේ...ඩේ කෙයා" සාලේ උන්නු මල්ලි එහෙම කියන්වා අයුමිට ඇහුණා.
"මොන කෙයා හරි. ඉතිං ඒ පොඩි උන් හවස් වෙනකල්ම ඒකෙලු, දෙන්නා දෙමාල්ලෝ වැඩ ඇරිලා ඇවිත් එක්ක යනකල්. මොන ජීවිතයක්ද අම්මපා ඒ ඈ? අර පොඩි උන්ට අම්මලත් නෑ, අප්පලත් නෑ දවසෙම. හපෙ අප්පෝ රටකට ගිහින් තියෙන කලක්"
"මොනා කරන්නද අත්තම්මේ. දැන් කාලේ ඉතිං දෙන්නම ජොබ් නොකර ජීවත් වෙන්න අමාරුයි" එහෙම කිව්වේ අයුමි.
"හනේ මන්දා. ඔය විදියට යද්දි ඉතිං මහ උන්දලා රස්සාවල් කොර කොර හම්බ කරලම මැරිලා යනවා. ළමයි ඔහේ කැලේට කොලේට හැදිලා නන්නත්තාර වෙලා යනවා"
"හැමතැනම එහෙම වෙන්නේ නෑ අත්තම්මේ. දැන් අපේ අම්මා රස්සාව කලේ" මල්ලි ආයෙම කතාවට මැදිහත් වුණා.
"කොලා නේන්නම් බලාගන්න මමයි, මාමලයි හිටපු හන්දා" ආත්තම්ම කිව්වේ අහංකාර විදියට.
"ආත්තම්මා ඉතිං අපේ ඉෂ්ඨ දේවතාවිනේ. දිරිය කාන්තාව නේ. ඒකනේ ආත්තම්මට අපි මෙච්චර් ආදරේ" මල්ලි අත්තම්ම දිහා බලලා ලොකු හිනාවක් පාලා එහෙම කිව්ව්ම, අත්තම්මටත් හිනාවක් නැගුනා.
"හනේ කොල්ලෝ ඔව්වා කියලා මාව නම් මුරුංගා අත්තේ තියන්න හම්බෙන්නේ නෑ"  අත්තම්ම මල්ලිට කිව්වා හිනාවෙවීම.
අයුමිටත් හිනා ගියා මල්ලිගේ විකාර වලට. ඈ හිනාවෙවීම කියාගෙන කාමරේට එන්න ආවේ බඩු ලෑස්ති කරගන්න.
රෑ වැඩ කරලා ගෙදර ඇවිත් උන්නු අනුකි එවෙලේ උන්නේ කාමරේ නිදාගෙන. ඈව දැක්කම අයුමිට දැනුනේ පුංචි දුකක්. ඒ ඈ රෑ වැඩ කර කර, දවස තිස්සේ මහන්සි වෙනවා නේද කියලා හිතුණ හන්දම නෙවෙයි. ඒ දුක, පසුතැවිල්ල වගේ ගතිය අයුමිට ගෙදර ආ වෙලේ ඉඳලම දැනෙමින් තිබ්බ එකක්. ඒ සමහරවිට ගෙදරින් නොදැන තමන් මොන තරම් දේවල් එක්ක පැටලිලාද කියන කාරණාව හිතට වද දුන්න නිසා වෙන්න ඇති.. ටික දවසකට කලින් වුණ දෙවල් අම්මලා දන්නවා නම් හෙම මොනා වෙයිද කියලා හිතද්දි ඇව වෙව්ලලා ගියා වගේ. ඈ ඒ සිතිවිල්ල ඉක්මණින් මැඩගන්න උත්සාහ කරමින් පුටුව මත තිබ්බ බෑග් එක ඇදලා ගත්තා අස් කරන්න.
"අක්කගේ කාරණා කටයුතු ඉවර වුණාම, ඔයාවත් මොකක් හරි පිලිවෙලක් වෙන ඕන මද්දු"
කොලඹ එන්න ඇඳුම් අයන් කරමින් ඉන්න වෙලේ කාමරේට ඇවිත් උන්නු අම්මා කිව්වේ බැරෑරුම් ස්වරයකින්. අයුමිගේ හිත සීතල වුණා ඒ කතාව ඇහුවම.
"අම්මේ...මට තාම වයස විසි හතරයි. මම ජොබ් එකට ගිහින් අවුරුද්දක්වත් නෑ. දැන්මම මට ඕවා ගැන හිතන්න බෑ" අයුමි අම්මා දිහාට හැරිලා කිව්වා.
"මම කියන්නේ කසාද බඳින්න කියලා නෙවෙයි ළමයෝ. අඩු ගාණේ කවදක හරි බඳින්න හොඳ කෙනෙක් හොයාගන්නවත් ඕන නැද්ද දැන්ම?"
අයුමි අම්මා දිහා යන්තම් හැරිලා ආයෙම ඉස්සරහ බලාගත්තේ නොමනාපෙන්.
"ගස්සලා හරියනේ නෑ. දැනටමත් යෝජනා දෙක තුනක් ඇවිත් තියෙන්නේ. මම මේ කල් මර මර ඉන්නේ අනුකිගේ කටයුත්ත ඉවර වෙනකල්" අම්මා කිව්වා.
අම්මා එහෙම කිව්වම අයුමිගේ නොමනාපේ වැඩි වුණත් එක්කම, හිතේ ඇතිවුණේ අනියත බයක්.
"අනේ අම්මේ මේ. ඔය යෝජනා අම්මම තියාගන්න. මට නම් කියන්න එන්න එපා"
"ඔයාගේ මොකක් හරි දෙයක් දැනටමත් තියෙනවද එහෙනම්?" අම්මා ඇහුවම අයුමි ටිකක් තිගැස්සුනේ නැතුවා නෙවෙයි.
ඒ එක්කම ඈ හිතුවේ අම්මට නම් මේවගේ දෙයක් කොහොමද කෙනෙක්ගෙන් අහන්නේ කියලා තේරෙන්නේ නෑ කියලයි.
"අනේ අම්මේ. එහෙම එකක් නෑ. මට මෙහෙම පොඩ්ඩක් නිදහසේ තව ඉන්න දෙන්නකෝ. වද දෙන්නේ ඇයි?" අයුමි අයන් කරපු බ්ලවුස් එක පුටුව උඩට විසි කරමින් කිව්වා.
"ඔයාට තේරෙන්නේ නෑ මද්දු. තාත්තත් නැතිව ඔය තුන් දෙනා බලාකියාගන්න මමයි අත්තම්මයි මහන්සි වෙන තරම්. කල වයස හරි ගියාට පස්සේ ඉක්මණින් අනික් කටයුතු බලන්න ඕන. තමන් ජීවත් වෙලා ඉන්දැද්දිම ඒවා වෙනවා බලන්නයි අත්තම්මත් කැමති. අපට හැමදාම මේ හයි හත්තිය තියෙන්නේ නෑනෙ.මට පුලුවන් කාලේ ඔය දෙන්නට කෙරෙන්න ඕන යුතුකමත් ඉවර කලාම, කොල්ලා නම් එයා ගැන බලාගනීවි" අම්මා එහෙම කිව්වම නම් අයුමිට දැනුනේ පසුතැවිල්ල මුසු දුකක්.
"අම්මේ...අපට ඕන වුණා කියලා දේවල් ඉක්මණ් කරවන්න අපට බෑනෙ. ඒවා වෙලාවේ හැටියට වෙන්න ඕන නෙවෙයිද? අනික වයස විසි පහ වෙද්දි බැඳලා, මහා ලොකු වගකීම් ගොඩක් බාරගන්න මම ආස නෑ. අම්මා බය නොවී ඉන්නකෝ. සේරම හොඳින් සිද්ධ වෙයි "
අයුමි එහෙම කිව්වේ දයාවෙන්. අම්මා ඈ දිහා බලලා සුසුමක් හෙලලා එතනින් නැගිට්ටේ කාමරෙන් එලියට යන්න.
"මාමා රඹුටන් වගයක් ගෙනැත් දීලා ගියා. මම ආන්න ටිකක් පාර්සල් කරලා ඉස්සරහ තිබ්බා. ඒකත් අරන් යන්න"
අම්මා එහෙම කියලා කාමරෙන් යන්න ගියාම අයුමි අම්මා ගිය දිහා බලාගෙන උන්නේ නොසන්සුන් හිතින්. වරදකාරී හැඟීමක් හිතේ තිබුණත්, කරන්න ඕන මොනාද කියලා ඈට හිතාගන්න පුලුවන් වුණේ නෑ. ඒ අම්මලා වගේම රවීන්වත් ඈට එක තරමටම වටින හන්දා.
අයුමි කොලඹින් බහිද්දි කිව්වා වගේම රවීන් බස්නැවතුම ලඟට ඇවිත් උන්නා ඈව ගන්න. ඈ වාහනේ අසලට ගියේ හිනාවක් මුවට නගාගෙන. රවීන් ඈ එන දිහා ඇස් දල්වගෙන වගේ බලාගෙන උන්නා.
"ගොඩක් වෙලා බලාගෙන හිටියද?" අයුමි වාහනේ ඉස්සරහ දොර ඇරගෙන නැග්ගේ එහෙම අහගෙන.
රවීන් උත්තරයක් දෙන්න කලින්ම ඇගේ දෑස් නැවතුණේ පිටිපස්සේ සීට් එකේ. එතන ඉඳගෙන ඈ දිහා බලාගෙන උන්නේ ශාරා. ශමිත් නම් ඈව නොදැක්කා වගේ අතේ තිබ්බ Play station එක දිහා බලාගෙන උන්නා.
"ආ.. නෑ නෑ. අපි මේ දැන් දැන් ආවේ" රවීන් කිව්වා.
අයුමි ඉස්සරහින් වාඩි වුණේ දෙගිඩියාවෙන්. ළමයි දෙන්නත් අරන් එන වගක් රවීන් ඈට කියලා තිබුණේ නෑ. ඈ නොසන්සුන් වුණේ රවීන් එක්ක තනි වෙන්න ඈ බලාපොරොත්තුවෙන් උන්නු නිසා නෙවෙයි. රවීන්ගේ පරන කල් කිරියාව එක්ක බලලා ළමයි දෙන්නා දැන් තමන් ගැන වරදවා හිතාවිද කියලයි.
"මේ දෙන්නට අද හවස කොහේ හරි යන්න ඕන කිව්වා. ඉතිං මම හිතුවා ඔයත් එන එකේ තුන් දෙනාම එක්ක යමු කියලා" රවීන් කිව්වේ වාහනේ පණගන්වලා පාරට දාන ගමන්.
"ආ...එහෙමද? කොහෙද ඉතිං මේ යන්නේ?" අයුමි සාමාන්‍ය විදියට කතා කරන්න උත්සාහ කරමින් ඇහුවා.
"බීච්...බීච්" පිටිපස්සේ ඉඳන් එහෙම කෑගැහුවේ ශාරා.
"හා" අයුමි ඈ දිහාට හිනාවක් පෑවා.
රවීන් අයුමිලව එක්කගෙන ආවේ දෙහිවල බීච් සයිඩ් එකේ තිබුණ රෙස්ටූරන්ට් එකකට. අයුමි කවදාවත් එහෙම එකකට මීට කලින් ඇවිත් තිබ්බේ නෑ. හැබැයි, සමිත්ටයි, ශාරටයි නම් ඒ තැන හොඳට පුරුදුයි කියන එක ඈට පෙනුනා. බීච් එකට ආපු ගමන් ශාරා දිව්වේ රැල්ල පාගන්න. ශමිත් නම් එලියේ තියලා තිබුණ සුදු පාට පුටුවකට බර වෙලා Play Station එකේ ගේම් එක ගහන්න පටන් ගත්තා. ශාරාව තනි නොකරන්න ඕන නිසා අයුමි ශාරා පස්සෙන් මූද දිහාට යද්දි රවීන් රෙස්ටුරන්ට් එකේ මැනේජර් එක කතබහ කරන්න නැවතුණ ටිකකට.
"ආන්ටි එන්න ෂෙල්ස් ඇහිඳින්න" රෝස පාට කොට කලිසමකිනුයි, ලස්සන සුසු ටී සහ්‍රට් එකකිනුයි සැරසිලා, කැරලි කොණ්ඩේ උඩට කරලා බැඳගෙන උන්නු ශාරා ඇත්තටම ගොඩක් හුරුබුහුටියි නේද කියලා අයුමිට හිතුණා.
"රැල්ල සැරයි ශාරා. ඈතට යන්න එපා" එහෙම කියාගෙන රවීන් එතනට ආවේ අයුමි බෙල්ලෝ ඇහිඳින්න යන්න ලෑස්ති වෙද්දිම වගේ. ඒත් ඔහු ආ නිසා ඈ ටිකකට නැවතුණා.
"බීච් ආවොත් ඕකම තමා වැඩේ" රවීන් කිව්වේ ශාරා දිහා බලලා  හිනාවෙමින්.
සුදු පාට කපු කොට කලිසමකින් සැරසිලා, තද නිල් පාට සැහැල්ලු කමිසෙකින් සැරසිලා උන්නු රවීන් අයුමිට වෙනදටත් වඩා කඩවසම් විදියට පෙනුනා. ඒ එක්කම ඔහු අද උන්නෙත් සැහැල්ලුවෙන් කියලා ඈට හිතුණා.
"ඔයා අද බබෙක් වගේ" රවීන් දිහා ඇස් කොනකින් බලමින් ඉද්දි ඈ දිහා බලන්න මොහොතක් නැවතිලා උන්නු රවීන් කිව්වා.
"බබෙක්?" අයුමි ඇහුවෙ ඔහු දිහා ඇස් යටින් බලලා ලා හිනාවක් පාමින්.
"ඔව්...ඔය ගවුමට ඔයා බබෙක් වගේ පේන්නේ" රවීන් කිව්වා.
අයුමි ඇඳගෙන උන්නේ හීන් බෝරිච්චි අත් දෙකක් තියෙන සුදු polka dots වැටුණු කලු පාට සරල, කොට ගවුමක්. ඈ ඒක ඇන්දම හැඩයි කියලා ඈ නොදැන උන්නා නෙවෙයි, මොකද ඒක ඇඳින හැම දවසකම හැමෝම ඈට එහෙම කියලා තියෙන නිසා. අද රවීන්ව මුණගැහෙන්න එද්දි ලස්සනට ඉන්න ඈට තිබ්බ ඕනකම හන්දමයි ඈ ඒ ඇඳුම ඇඳගෙන ආවෙත්. ඒ නිසාම රවීන්ගේ කතාවට ඈ ටිකක විතර රතු වුණා.
"රෝසමලේ ඇත්දත් පාට වෙනදටත් වඩා කැපිලා පේනවා අද" රවීන් කිව්වේ හෙමින් ඈ දිහාට අඩියක් විතර ලං වෙමින්.
ඒ අතරේ ආපු ලොකු මූදු රැල්ලක් රවීන්ගෙයි, අයුමිගෙයි දෙපා තෙමාගෙන යද්දි, රැල්ලෙන් බේරෙන්න ගොඩට දුවගෙන ආපු ශාරාගේ හිනාව මුසු කෑගැහිල්ලට දෙන්නටම ඒ පැත්ත බැලුණේ ඉබේටම.
"ශාරා ඇඳුම් නම් තෙමාගන්න එපා.මම extra ගෙනාවේ නෑ" රවීන් ටිකක් ඈතින් උන්නු ශාරට ඇහෙන්න කිව්වා.
"තෙමා ගන්නෑ" එහෙම කිය කිය ශාරා ආපහු දිව්වෙත් මූද පැත්තටමයි.
"මම මේ දෙන්නා එක්ක එන්න හිටියේ නෑ. ඒත් ඉතිං පහුගිය සතියෙම පූර්ණිගෙ කෙහෙල්මල් හන්දා පොඩි දෙන්නා හිටියෙත් පොඩ්ඩක් confuse වෙලා. ඒ දෙන්නව දාලා එන්න හිත දුන්නෑ මට" රවීන් කිව්වේ අයුමිට ඒක පහදන්න උවමනාවක් තිබ්බා වගේ.
"ඒ දෙන්නා එක්ක ආපු එක කොච්චර හොඳද? මම ආසයි ඒ දෙන්නා ආපු එකට. අනික ඔයා ඉතිං ගෙදර හරියට ඉන්නෙත් සතියේ මේ දවස් දෙකේනේ. කොහේදෝ ඉඳන් ආපු මං හන්දා ඒ දෙන්නට ඔයාගේ තියෙන කාලේ නැති වෙනවට මම කැමති නෑ. ඔයා මාව හම්බෙන්න එන හැමදාකම මේ දෙන්නව එක්ක ආවත් මට කමක් නෑ. මම කැමතියි" අයුමි කිව්වේ ඇත්තම, අවංකවම.
රවීන් තව ටිකක් ඈට ලං වෙලා ඇගේ අතක් මුදුවට අල්ලගත්තා. අයුමි හීන් සුසුමක් හෙලුවේ හිත නිවිලා සැනසෙද්දි.
ඉර බැහැගෙන යමින් තිබුණ හන්දා දැන් දැන් හාත්පසම පැතිරෙන්න අරන් තිබ්බේ මන්දාලෝකයක්. ඒත් බටහිර අහදේ තිබ්බ වලාකුලු හන්දා ඉර බැහැගෙනයන ලස්සන දර්ශණය අයුමිට දකින්න ලැබුණේ නෑ.
"ශමිත් ආස නෑ වගේ වැල්ලේ දුව පනින්න" අයුමි කිව්වේ යන්තම් හැරිලා ඈත උන්නු ශමිත් දිහා බලන ගමන්.
ඒ පාර ඒ දිහාට හැරුණ රවීන් ආයෙම ඉස්සරහ බලාගත්තේ සුසුමක් හෙලලා, මොකක්දෝ වේදනාවකින් වගේ.
"හ්ම්ම්...අනේ මම දන්නෑ මේ ළමයට මොනා කරන්නද කියලා. computer එකටයි, games වලටයි ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. කියන දේ අහන්නෙත් නෑ. මට සැර කරලා බනින්නත් බෑ, දැන් එයා ලොකු ළමයෙක් හන්දා. නොපෙන්නුවට පූර්ණිගේ වෙනස්කම් පුදුමාකාර විදියට බලපෑවේ ශමිත්ට. මට හිතෙනවා අයුමි ශමිත් ඉන්නේ මා එක්කත් තරහින්දෝ කියලා වෙලාවකට" රවීන්ගේ වදන් වල ගැබ් වෙලා තිබුණේ දුකක්ද?
ඒ පාර අයුමි ඇගේ අතැඟිලි අල්ලගෙන උන්නු ඔහුගේ අත හෙමින් මිරිකගත්තා.
"එහෙම හිතන්න එපා. සමහර ළමයි ආස පැත්තකට වෙලා පාඩුවේ ඉන්න නේ. ඒ එක එක්කෙනාගේ හැටි. සමහරවිට ඒ විදිය වෙන්න ඇති එයාලට ඉන්න ලේසිම විදිය. මම හිතන්නෑ ශමිත් ඉන්නේ ඔයා එක්ක අමනාපෙන් කියලා. මොකද එයා දැනුම් තේරුම් තියෙන ළමයෙක් හන්දා ඇත්ත මොකක්ද කියලත් එයා දන්නවා ඇති නේ" අයුමි කිව්වා.
"හ්ම්..." රවීන් ඈත ක්ෂිතිජය දිහා බලාගෙන යන්තම් හිස වැනුවා.
"මේ...බලන්නකෝ බෙල්ලෝ ගොඩයි" ඒ අතරේ ශාරා ඒ දෙන්න අසලට ඇවිත් එක අතක ගුලු කරගෙන උන්නු විවිධාකාර තත්වයේ තිබ්බ බෙලි කටු ගොඩක් පෙන්නුවා.
"ෂා... හරි ලස්සනයි නේ" අයුමි කිව්වේ ඈට ලොකු හිනාවක් පාලා.
"අපි එහෙනම් කෑම ඕඩර් කරමුද? ඔයා බෝඩිමට යන්නත් එපැයි" රවීන් හෙමින්ම ඇයුමිගේ අත අතෑරලා ආපහු යන්න හැරෙන ගමන් ඇහුවා.
"තාත්තා මට කජු ඕනා shrimps එක්ක" ශාරා කෑ ගැහුවා.
"හරි හරි දෝණි. අපි ඕඩර් කරමුකෝ ඈ. එන්න අයුමි යමු. ශාරා එන්න ඉතිං"
රවීන් ඉස්සර වුණා. අයුමි ඔහු පස්සෙන් වැටුණම අයුමි බලාපොරොත්තු නොවුණ විදියට ශාරා ඇවිත් ඇගේ අතක එල්ලුණා. අයුමිගේ හිතේ පිරුණේ ඈ ගැන සෙනෙහසක්. ඒ හන්දම ඇගේ මුදු අතකින් අල්ලගෙන, හෙමි හෙමින් ඈ එක්ක අයුමි රෙස්ටුරන්ට් එකට එන්න ආවා.
ඉන්පස්සේ කට්ටියම ඔවුන් වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණ මේසේ ලඟින් වාඩි වුණේ කෑම කන්න. රවීන් හැමෝගෙන්ම අහ අහ ඕඩර් කරන වෙලේ, මේසේට ඇවිතුත් ශමිත් උන්නේ ප්ලේශ්ටේෂන් එකට එබිලා.
“Samith can you please put that away while you eat”
රවීන් ඇහුවමයි ඔහු මේසේ උන්නු හැමෝම දිහා වටයක් බලලා playstation එක බිමින් තිබ්බේ. ඒත් ඔහුගේ මූණේ තිබුණේ නොසතුටු පෙනුමක්. අයුමි ඔහු දිහා බලලා 'ගණන් ගන්න එපා' වගේ හිනාවෙන්න උත්සාහ කලත් ඔහු උන්නේ ඈව සම්පූර්ණයෙන්ම නොසලකාහැරලා වගේ.
"අයියේ මේ shells"
ශාරා බෙලි කටු ටික ඔහුට පෙන්නද්දි විතරක් ඔහු ඒවා දැක්ක වගක් සහ ශාරා වෙනුවෙන් සතුටුවෙන වගක් පෙන්නුවත්, අනික් වෙලාවල ඔහු උන්නේ හැඟීමක් දැනීමක් නැතුවා වගේ. රවීන් අයුමිගෙනුත් අහ අහ, කෑමයි බීමයි ගෙන්නුවා මේසෙට. ඒත් හැමෝම කැම ගත්තේ වැඩි කතා බහක් නැතිව. ඒ කෑම වේල ඇත්තටම ගොඩක් රසයි කියලා අයුමිට හිතුණා කන අතරෙදි.Hot butter cuttlefish, crab and onion salad, Fish and Chips වගේම කන්න ගත්තු fried rice එකත් ඈ ගොඩක් රසවින්ඳා.
කාලා ඉවර වෙලා, ශමිත් ආපහු ඔහුගේ සෙල්ලම් උපකරණෙත් අරන් කලින් පුටුවටම බර වෙද්දි, ශාරාත් උන්නේ ඔහු ලඟින්ම පුටුවක වාඩි වෙලා තමන් හොයාගත්තු බෙලි කටු එක්ක සෙල්ලම් කරමින්. ඒ අවසරෙන් අයුමියි රවීනුයි ආයෙම ටික දුරක් වෙරලා දිහාට ඇවිදගෙන ඇවිත් ඒ හරියේ තිබ්බ පුටු දෙකක වාඩි වුණා.
"ගෙදර අය සනීපෙන්ද බබී?" මුලින්ම කතාව පටන්ගත්තේ රවීන්.
"ම්ම්. ආත්තම්මට නම් ඉතිං වාත අමාරුව ටික ටික තියෙනවා. දැන් වයසයි නේ. ඒත් අනික් අය ඔක්කොම නම් සනීපෙන්" අයුමි කිව්වා.
"එතකොට මගේ නපුරි, එයත් සනීපෙන්ද?" රවීන් අහද්දි අයුමි අඩ අඳුරෙම ඔහුගේ දිලිසෙමින් තිබුණ දෑස් දිහා බැලුවා.  
"පොඩි හිතේ අසනීපෙකින් හිටියා, දැන් නම් හොඳයි" අයුමි කිව්වේ තොල හපාගෙන හිනාව වලකගෙන.
"ආ...එහෙමද? අනේ පව් දන්නේ නෑනෙ අපි"
"ඒකනේ"
"දැන් හොඳයි කිව්වට කොහොමද දන්නේ නෑ නේ. පොඩ්ඩක් කන තියලා බලන්න වෙයිද?" රවීන් ඇහුවේ අයුමි දිහා බලාගෙන ඇත්තටම වගේ.
"ඒවට නම් ටිකක් වෙලා යයි හැබැයි" අයුමි ඒක විහිලුවක් කරගන්න උත්සාහ කරමින් කිව්වා.
"වෙලා ගියාට කමක් නෑ. මට බලා ඉන්න පුලුවන්" රවීන් කිව්වා.
අයුමි ඈත වලාකුලු අස්සෙන් තරු එලි පේන අහස දිහාට ඇස් යොමුකරගත්තේ ඒකට හිනාවකින් විතරක් උත්තර දීලා.
"කවදද ආයෙත් මට ඔය සුවඳ බලන්න දෙන්නේ?" රවීන් ඇහුවේ පුටු ඇන්ද මත තිබ්බ ඇගේ අත මුදුවට අල්ලගෙන අ ඈ අනුවම ඈත අහස දිහා බලාගෙන.
"මම දන්නෑ..." අයුමි හෙමින් මිමිණුවා.
"ඔයාව එදා මම එක පාරටම මගේ අපාට්මන්ට් එකට එක්ක ගියාට මොකද පස්සේ මට හිතුණා මම ඔයාව නිරපරාදේ බය කලාද කියලා" රවීන් කිව්වේ ටිකක් කල් අරගෙන.
"ම්ම්...බය හිතුණා මුලින්. ඒත් ටිකකින් ඒක නැති වුණා" අයුමි කිව්වේ ඔහු දිහා යටැසින් බලලා.
රවීන්ගේ මුවග ඒ පාර ඇඳුනේ හිනාවක්.
"ඒක හොඳයි. එහෙනම් ආයෙම දවසක යන්න බයක් නැති වෙයි නේ" ඔහු කිව්වම අයුමි ඔහු දිහාට මුලුමනින්ම හැරුණා.
"ආයෙම දවසක?"
ඈගේ විසල් වුණ දෑස් දිහා බලපු රවීන් ඇගේ අත හෙමින් පිරිමැද්දා.
"මම ඔයාව එදා එතනට එක්ක ගියේ වෙන කරන්න දෙයක් නැති හන්දා. අපට ඔෆිස් එකේ කතා කරන්න බෑ. ඒක අපි දෙන්නටම හරි නෑ. ඔෆිස් වෙලාවේ පිට යන එකත් හරි නෑ. ඒක කරන්නත් බෑ තියෙන වැඩ එක්ක. ඊටපස්සේ, සතිඅන්තෙත් බෑ, ඔයා නෑ කොලඹ. හවසට බෑ, ඔයාගේ බෝඩිමේ ඇන්ටිගේ ප්‍රශ්ණ. ඔය සේරම කිරලා මැනලයි මම හදිසියේම හිතුවේ එහාට යන්න ඕන කියලා. මට වෙන ඔයාව එක්ක යන්න ලඟ තැනක් තිබ්බේ නෑ, ඇතිවුණ පරශ්ණේ කතා කරලා විසඳගන්න. ඒ හන්දා මම ගැන වරදවා හිතන එපා...මම ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හිතන්නේ නෑ කොයිම වෙලේකවත්. එදාවත්, අදවත්"
රවීන් එහෙම කියද්දි අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ උපන්න හීන් සංවේගයක් එක්කම, ලොකු සෙනෙහසකුත් එක්ක.
"මම ඒක දන්නවා. මට ඔයාව විශ්වාසයි, හැමදේටම වඩා"
"මම ඒ විශ්වාසේ බිඳින්නේ නෑ කවදාවත්" රවීන් කිව්වේ පහන් එලියෙන් දිලිසෙන ඇගේ දෑස් වලට එබිලා. අයුමි හිස වැනුවා.
"ඒත් මට හිතෙනවා දැන් තියෙන තත්වෙත් එක්ක, ටිකක් දේවල් settle වෙනකල් අපට හම්බෙන්න හොඳම තැන එතන කියලා. මං ආස නෑ ඔයාට ඔෆිස් එකේවත්, පිටවත් මා එක්ක දැකලා කතා හැදෙනවට. ඒක්ට මූණ දෙන්න මම තාම ලෑස්ති නෑ. මම දන්නවා හොඳටම ඔයා මම තරම්වත් ලෑස්ති නෑ. ඔයාට තේරෙනවා නේද මම කියන දේ. එදා වුණත් මම ඔයාව එහේ එක්කන් ගියේ ඒකයි. ඒ හන්දා මාව වරදවා හිතන්න එපා, මම කැමති ඔයාව අපාට්මන්ට් එකේදි හම්බවෙන්න. අඩු ගාණේ අපි දෙන්නටම වෙලාවක් තියෙන වෙලාවලටවත්"
අයුමි මුකුත් නොකියා අහගෙන උන්නේ, නිරුවත් දෙපාවලින් මූදේ වැලි හෙමින් එහේ මෙහේ කරන ගමන්. ඒ හිතේ තිබ්බ චංචල බව හන්දා.
"ඒත් ඔයා අකමැති නම්..." රවීන් කියන්න හදද්දි අයුමි ආයෙම ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"මට ඕන ඔයා ලඟ ඉන්න විතරයි, කොහේවුණත්" අයුමි කිව්වේ බොලඳ විදියට වුණත්, ඈ කිව්වේ ඈට ඇත්තටම ඕන වුණ දේ.
රවීන් ඈ දිහා බලාගෙන උන්නේ ආදරෙන්. ඊලඟට දෙන්නගේ දැහැන බින්දේ එතනට දුවගෙන ආපු  ශාරා.
"twenty වෙන්න තව shells පහක් ඕන. අනේ ආන්ටි ප්ලීස් මට අහුලලා දෙනවද?"
ශාරා හුරතල් විදියට අහද්දි අයුමිට බෑ කියන්න බැරි වුණා. රවීන් ඈට යන්න ඉඩ දීලා පුටුවට වෙලා දෙන්නා බෙල්ලො ඇහිඳිනවා බලාගෙන උන්නේ සතුටකින් වගේ. කොහොමින් හරි බෙල්ලෝ අහුලන්න ගිහින් අයුමිගේ ගවුමත් දණහිස් වලින් උඩටම තෙමුණා. කොහොමින් හරි අන්තිමේදි තෙත බේරෙමින්, ලුණු වතුර හන්දා ඇලෙන ගතියකින් යුතුව, ඒ ඔක්කොටම හරියන්න කකුල් වල වැලි ලොරියක් විතර එකතු කරගෙන අයුමිලා එතනින් එන්න පිටත් වෙද්දි රෑ හතහමාරත් පහු වෙලා තිබුණා. ශාරා නම් ඒ වෙද්දිත් උන්නේ, මහන්සියයි, රස්නෙයි, දෙකම හන්දා නිදිමතේ.
"ඔය වැලියි, තෙතයි එක්ක බෝඩිමට යන එක හරි නෑනෙ. ඔයා ටක් ගාලා අපේ ගෙදරින් හෝදගෙන යන්න. මම මේ දෙන්නව දාලා ඔයාව ගිහින් බස්සන්නම්. ඔයා බෝඩිමේ ඇන්ටිට කෝල් කරලා කියලා නේ තියෙන්නේ අද එද්දි රෑ වෙයි කියලා"
රවීන් එහෙම කිව්වේ වාහනේට නගිද්දිමයි. අයුමි හිතුවා ඒක හොඳයි කියලා. නැත්තම් මූදු වැලි එක්ක ගෙදරට එද්දි ඇන්ටි මොනවා හරි වරද්වා හිතන්න ඉඩ තියෙනවා කියලා අයුමිටත් හිතුණා.
ආපහු එද්දි ශාරගේ පෙරැත්තේ නිසා අයුමිට එන්න වුණේ ඈ එක්ක පිටිපස්සේ සීට් එකේ. ගෙදරට ලඟාවෙද්දි, ශාරා උන්නේ අයුමිගේ උරහිසකට හේත්තු වෙලා අඩනින්දේ. ශමිත් බැහැලා ගියාට පස්සේ, ශාරව ගන්න පිටිපස්සට ආපු රවීන්, ඊට කලින් අයුමියි ශාරයි දිහා මොහොතක් බලාගෙන උන්නා.
"පව් කෙල්ල" ඔහු ඊලඟට ශාරව උස්සගත්තේ එහෙම කියාගෙන.
අයුමි ගෙයි ඇතුලට යද්දි ආයා උන්නේ මග බලාගෙන. රවීන්ගේ තාත්තා රෑ මොකක්දෝ ක්ලබ් එකකට ගියා කියලා ඈ රවීන්ට කියනවා අයුමිට ඇහුණා.
"අයුමි එන්න..." රවීන් ශාරවත් උස්සගෙනම උඩ තට්ටුවට නැග්ගේ, ආයත් පස්සෙන්ම එද්දි.
"ඔයා ඔය බාත්‍රූම් එකට ගිහින් වැලි හෝදගන්න. ආයා දෝණිගේ කකුල් වල වැලි ටික තෙත රෙද්දකින් පිහලා දාන්න. ප්ලීස්"
රවීන් ශාරව ඇඳෙන් තියන ගමන් දෙන්නට එහෙම කියලා කාමරෙන් එලියට යන්න ගියා. අයුමි බාත්‍රූම් එකට ගිහින් වැලි හෝදගෙන, ගවුමත් ටිකක් මිරිකගෙන, මූණත් සෝදගෙන එලියට එද්දි කාමරේ ආයා උන්නෙත් නෑ.
අයුමි කාමරේ සිසාරා බැලුවේ දෙන්නම කොහේ ගිහින්ද කියලා හිතමින්. ඒ අතරෙයි ඈට පෙනුනේ ඒ කාමරේ තිබුණ විශේෂත්වේ. මුලුමනින්ම වගේ සුදුපාට වුණ ඒ කාමරේ,  ජනෙල් තිර රෙදි වල ඉඳලා, ඇඳ රෙදි දක්වාම පාවිච්චි කරලා තිබුණේ දම්, සුදු මිශ්‍ර පුංචි, සරල මෝස්තර තිබුණ රෙදි වර්ග කියන එක ඇගේ මුලින්ම ඇස ගැටුණා. ඊට අමතරව කාමරේ ලී බඩු විදිහට තිබ්බේ එක කොනක තිබ්බ ලොකු ඇඳයි, ජනේලේ ගාවට වෙන්න තිබුණ රවීන්ගේ ලියන මේසෙයි, අනික් පැත්තේ බිත්තියටම සවි කරලා තිබුණ, මී වදේක හැඩය ගත්තු පොත් පිරුණු සුදුපාටම පොත් රාක්කෙකුයි විතරයි. අයුමිහේ හිත නැවතුණේ රවීන්ගේ ලියන මෙසේ ජනේලේ පැත්තේ එක කොනක තිබුණ, සුදු මල් පෝච්චියක දාපු ඇෆ්‍රිකන් වයලට් මල් පැලේ දැකලා. ඈ දැනං උන්නා ඒ තමන් ආපු දවස්වලම ඔෆිස් එකේ කොන්ෆෙරන්ස් රූම් එකෙන් අයින් කරපු මල් පැලෙයි ඒ කියලා. අයුමි ඒ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන ඉද්දි දොර රෙද්ද මෑත් කරගෙන රවීන් කාමරේට ආවාම අයුමි තිගැස්සුනා.
"හෝදගත්තද?" ෆෝන් එකේ මොකක්ද ඔබමින් උන්නු හන්දා ඇගේ තිගැස්ම නොදැකපු රවීන් ඇහුවා.
"ඔව්...දැං යමුද එහෙනම්?" අයුමි ඇහුවේ ඔහු දිහාට එන ගමන්.
ඒ පාර රවීන් ෆෝන් එක සාකුවට දාගෙන, එක අතකින් ඇගේ සුරතින් අල්ලලා ඔහු දිහාට ඈව ඇදගත්තා.
"රවීන්...අනේ...ආයාවත් ඒවි" අයුමි කිව්වේ අත මුදාගන්න උත්සාහ කරමින්.
"ඉතිං..."
"අතාරින්නකෝ. එහෙම දැක්කොත් හරි නෑනෙ"
"මොකක්ද හරි නැත්තේ?" රවීන් ඇහුවේ අයුමිගේ කන් පෙත්තක් අසලටම දෙතොල් ලං කරලා හෙමින්.
අයුමිට දැනුනේ ඒ පැත්තම හිරි වැටුණා වගේ හැඟීමක්.
"ඔය ඉතිං..." අයුමි උරහිස හකුලලා ඔහුගෙන් ඈත් වෙන්න උත්සාහ කලා.
ඒ පාර රවීන් ඇගේ මූණ ඉස්සරහට ඇවිත් ඇගේ දෑස් වලට එබුණා. ඒ දෑස්වල තිබුණේ අයුමිට දරාගන්න බැරි හැඟීම් සමුදායක්. අයුමිට ඒ සැනින්ම බිම බැලුණේ ඒකයි. රවීන් මොහොතක් එහෙමම ඉඳලා හෙමින් ඇගේ හිස අතගාලා, නලලත ඉම්බේ ලොකු ආදරේකින් වගේ.
"මගේ පිස්සු කෙල්ල" ඊටපස්සේ ඔහු මිමිණුවා.
ඊලඟට අයුමිට එන්න කියලා ඈට කලින්ම රවීන් පහල තට්ටුවට යන්න ගියා.  අයුමි නිදාගෙන උන්නු ශාරා දිහාත් එක පාරක් බලලා පහලට එද්දි රවීන් උන්නේ යන්න එලියට බැහැලා. ආයා පේන්න උන්නේ නැති හන්දා අයුමි කෙලින්ම රවීන් එක්ක බෝඩිමට එන්න පිටත් වුණා.
"අද දවස මට දුන්නට ඔයාට ගොඩක් තෑන්ක්ස් බබී. මම කියන්නේ අපේ ළමයි දෙන්නා එක්ක හවස ගත කරන්න ආපු එකට" බහින තැනට ටිකක් මෙහායින් වාහනේ නවත්තලා, රවීන් අයුමිට කිව්වේ ඇගේ සුරත අල්ලගෙන.
"ඒක ලොකු දෙයක් නෙවෙයි" අයුමි කිව්වා.
"ඒක මට ලොකු දෙයක්" රවීන් කිව්වේ එහෙම.
"එහෙම නම් ඒක මට ලොකු සතුටක්" අයුමි කිව්වේ ඔහුගේ අත මිරිකගෙන.
රවීන් තව මොහොතක් ඈ දිහා බලාගෙන ඉඳලා අනික් අතින් ඇගේ කම්මුලක් හෙමින් පිරිමැද්දා ගෑවෙන නොගෑවෙන තරමින්. අයුමිට දැනුනේ අර නුහුරු උණුසුම දෙපතුල් වලින් පටනරගෙන ඉහලට ඇදෙන්නා වගේ.
“you mean so much to me…”
රවීන් අන්තිමට එහෙම කියලා ඇගේ අල්ලගෙන උන්නු අත අරන් දෙතොල් වලින් ස්පර්ෂ කලේ, ඉඹිනවටත් වඩා සුවඳ බලනවා වගේ. අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ ආදරෙන් වගේම ඔහුගෙන් දැන් සමුගන්න ඕන කියලා හිතද්දි හිතට දැනුන සාංකාවත් එක්කම.
"එහෙනම් යමු නේ. තව ඉන්න ඉන්න යන්න දෙන්න බෑ කියලම හිතෙයි" ආපහු වාහනේ පාරට දාන්න කලින් අයුමිව හෙමින් අතාරින ගමන් රවීන් එහෙම කිව්වා.
බෝඩිම ලඟින් ඈව බස්සලා රවීන් යන්න ගියාම අයුමිගේ හිතේ ඉතිරි වෙලා තිබුණේ ලොකු රික්තයක් වගේ හැඟීමක්. ඔහුව හෙට ආපහු දකිනවා වුණත්, මේ පැය දෙක තුනක දුරස් වීමත් කොච්චර් ආමාරුද දරන්න කියලා ඈ කල්පනා කලා. ඈ බෝඩිමට යද්දි තනූජා ඇවිත් උන්නේ නෑ, මොකද ඈ එන්නෙත් ගෙදර ඉඳන් උදේ හන්දා. බෝඩිමේ ඇන්ටිගේ ප්‍රශ්ණ වලට උත්තර බැඳලා අන්තිමේදි ඈ ඇවිත් ඇඳට වැටුනේ ඒ දවස ගැන මිහිරි මතක ආයෙ ආයෙ හිත මතක් කරද්දි.

No comments:

Post a Comment