Monday, August 31, 2015

විහංඟනාවී: හතලිස් එක්වන කොටස



"ආනේ ප්‍රියා...ඔයා දවස් දෙකක්ම දැක්කෙවත් නෑනෙ. මොකෝ වුණේ?" උදේ රවීන්ගේ මොකක්දෝ වැඩකට උඩට ආපු ප්‍රියන්ති අයුමිගේ කාමරේට එබුණම අයුමි එහෙම ඇහුවේ ප්‍රියන්ති දවස් දෙකක්ම ඔෆිස් නාපු හන්දා.
"ඔව් අනේ. එන්න විදියක් තිබ්බේ නෑ. මහත්තයට මේ උණක් හැදිලා ඇඳෙන් නැගිටගන්න බැරිව හිටියා. අද තමා ඔන්න ටිකක් හොඳ. ඒ පාර මම අද ආවා" ප්‍රියන්ති එහෙම කිව්වේ අයුමිගේ මේසේ අසලට ඇවිත් වාඩි වෙන ගමන්.
"ආනේ ඇත්තද. දැන් හොඳටම හොඳ ද? ඉතිං අපරාදෙනේ අද ආවේ" අයුමි කිව්වා.
"නෑවිත් කොහොමද? නිවාඩු නෑනේ අයුමි. මම අවුරුද්ද මුල වෙඩින් එකට ගත්තනේ" ප්‍රියන්ති කිව්වා.
"ආ...එහෙමද?"
"හ්ම්ම්...ඔයත් එදා අඟහරුවාදා ආවේ නෑනෙ" ප්‍රියන්ති ඇහුවා.
"අනේ ඔව්. මට පොඩි වැඩ වගයක් තිබ්බා කරගන්න" අයුමි කිව්වා.
"ම්ම්... එදා මිස්ටර් රවීන් ආවෙත් නෑ උදේ. එයා ආවේ හවස, අර රීටත් එක්ක"
ප්‍රියන්ති එහෙම කිව්වම අයුමි ඈ දිහා බැලුවේ කියපු දේ තේරුණේ නෑ වගේ.
"රීටා?"
"ඔව්. මිස්ටර් රවීන් එක්කම ඇවිත්, පහට විතර එයා එක්කම තමා ගියේ" ප්‍රියන්ති කිව්වේ අයුමි දිහාම බලාගෙන.
අයුමි උත්සාහ කලා හිතේ ඇතිවුණ කැලඹිල්ල ප්‍රියන්තිට නොපෙන්වා ඉන්න. ඈ computer  එක දිහා බලාගෙන මවුස් එක එහාට මෙහාට කලේ ඒ කතාව ඈට ගාණක් නෑ වගේ.
"ආ...මේ...මොකක් හරි වැඩකට ආපු ගමන් වෙන්න ඇති ?" අයුමි කියද්දි ඈට දැනුනා හඬ යන්තම් වෙව්ලනවා.
"ම්ම්...නෑ මේ මම හිතුවා ඔයා දන්නවා ඇති කියලා" ප්‍රියන්ති කිව්වේ ඕනවට එපාවට වගේ.
අයුමි ආයාසයෙන් හිනාවක් නගාගත්තා.
"මම ඉතිං...මේ...මිස්ටර් රවීන්ගේ private secretaryයැ සේරම දැනගන්න?"
ප්‍රියන්තිත් ඒකට යන්තම් හිනාවෙලා එතනින් යන්න නැගිට්ටේ අයුමිගේ වචන වල තිබ්බ උපහාසේ නිසා වෙන්න ඇති.
ප්‍රියන්ති යන්න ගියාම අයුමි කරමින් උන්නු වැඩේ නවත්තලා පුටුවේ පස්සට හේත්තු වෙලා හිස හේත්තු කරගෙන ඇස් පියාගත්තේ ලොකු සුසුමක් හෙලමින්. ඈට හිතාගන්න බැරි වුණා ප්‍රියන්ති කියපු දේ. ඊටත් වඩා ඈට අදහාගන්න බැරි වුණේ ඇයි රවීන් තමන්ට ඒ වග නොකිව්වේ කියලා. ඈ වැඩ දෙක තුනක් බලන්න පටන් අරන් තිබුණත් ඒ එකක්වත් බලන්න දැන් ඈට හැකියාවක් තිබුණේ නෑ. හැමදේම එපාවෙලා වගේ හැඟීමක් ඈට දැනෙමින් තිබුණා. ඈට ඕන වුණේ රවීන්ගෙන් ගිහින් මේක කෙලින්ම අහන්න. දෙපාරක් නොහිතා අයුමි ෆෝන් එක අතට අරන් රවීන්ට රිං කලා.
"Yes බබී..." මොකදෝ හේතුවකට රවීන්ගේ හඬ ඈ තුල ඇති කලේ නොරිස්සුමක්.
"මට පොඩ්ඩක් හම්බවෙන්න පුලුවන්ද දැන්?" අයුමි ඇහුවේ තමන්ව පාලනය කරගන්න උත්සාහ කරමින්.
"ඔව් ඔව්. පොඩ්ඩක් නෙවෙයි සම්පූර්ණයෙන්ම පුලුවන්" රවීන් උත්තර දුන්නේ සැහැල්ලුවෙන්.
අයුමි ඒ පාර ෆෝන් එක තියලා, Conference රූම් එකට ගියේ හිතේ දුක, නොරිස්සුම, හීන මානය, මේ හැමදේම කැලතෙද්දි. අයුමි දොර ඇරගෙන යද්දි, කණ්ණාඩි දෙකක් නහය මුල රඳවගෙන මොකක්දෝ කියවමින් උන්නු රවීන් හිස උස්සලා බලලා ඈට හිනාවක් පෑවා.
"කෝල් කර කර ඉන්නේ මොකෝ, එන්නේ නැතුව? ඔහු ඇහුවේ මුදු හඬින්.
ඉතිං අයුමිගේ හිත තවත් රිදුණා මොකක්දෝ හේතුවකට. ඇගේ මූණෙන් ඒක පේන්න ඇති. රවීන්ගේ මූණේ හිනාව වියැකෙද්දි ඔහු කණ්ණාඩි දෙක ගලවලා මේසේ මතින් තියලා අයුමිට කතා කලා.
"වාඩි වෙන්නකෝ ඉතිං. මොකක් හරි ප්‍රශ්ණයක්ද?"
අයුමි වාඩි වෙන්න ගියේ නෑ. ඈ ඒ වෙනුවට කලේ රවීන් දිහා එක එල්ලේම බලාගෙන උන්නු එක. රවීන්ගේ ඇස්වල තිබ්බේ ප්‍රශ්ණාර්ථයක්.
"ඇයි එදා මම නිවාඩු දාපු දවසේ හවස ඔයා මිස් රීටාව හම්බවුණ වග මට නොකිව්වේ?"
අයුමි ටිකක් තද හඬකින් එහෙම ඇහුවම රවීන් පුදුම වුණාද කියන්න අයුමිට පෙනුනේ නෑ. පුදුම වුණත් ඔහු ඒ වගක් පෙන්නුවේ නෑ. ඒත් ඔහු කතා කරන්න කල් ගත්තා.
"මොකක්ද?"
"රීටා ඔයා එක්ක එදා මෙහේ ආවා නේ. ඇයි නිකංවත් මට ඒක නොකිව්වේ?" අයුමි ආයෙම ඇහුවා.
"ආ...මට ඒක එච්චර ගාණක් ගියේ නෑ. ඔයා දන්නවනේ එදා මම හිටියේ වෙනමම මානසිකත්වයකනේ. කවුද ඔයාට මේ කේලම් කියන්නේ?"
"ඒක කේලමක් නෙවෙයි. ඒකනේ සිද්ධ වුණේ"
"මොනාද දැන් සිද්ධ වුණා කියලා ඔයාට ආරංචි වුණේ?" ඒ පාර රවීන්ගේ මුදු ගතිය තිබ්බේ නැති වෙලා.
"ආරංචි වුණේ ඔයා එදා රීටා එක්ක ඇවිත් පැය දෙකම මෙහේ හිටියා කියන එක. අර ලෙඩ ළමයවත් දාලා එන්න තරම් ඔයාට එයාව වැදගත් කියලා මම දැනගෙන හිටියේ නෑ"
ඒ පාර රවීන්ගේ මූණ රතු වුණා. ඔහු වට පිට බැලුවේ තරහා ගිහින් වගේ. ඒත් අයුමිට ඒක වගක් දැනුනේ නෑ.
"අයුමි කුණුහරුප කතා කරන්න එපා. ප්ලීස්...මම එදා ආවේ නෑවිත්ම බැරි වැඩක් තිබ්බ නිසා. මම ඒක ඔයාට කිව්වනේ"
"නැවිත්ම බැරි වුණේ රීටා එන නිසාද?"
"අයුමි...ප්ලීස්...මගේ යකා අවුස්සන්න එපා"
රවීන් එහෙම කිව්වම අයුමිගේ හිත බිඳුණා. ඒත් ඇගේ කෝපය ඊට වඩා බලවත් වුණා.
"මොකක්ද ඔයාගේ තියෙන සම්බන්ධේ ඒ ගෑණිත් එක්ක. මට කියන්නත් බැරි තරම්, ඔයාට මොනම හේතුවක් නිසාවත් නෑවිත් ඉන්නත් බැරි තරම් එයාගේ තියෙන විශේෂත්වය මොකක්ද රවීන්? ඔයාට ඕන එයා නම්, මම මොකක්ද මෙතන මේ කරන්නේ?" අයුමි ඇහුවේ තරහින්මයි.
රවීන් මේසෙන් නැගිට්ටේ වේගෙන්. ඒත් අයුමි හෙලවුණේ වත් නෑ.
"Ayumi… you can’t talk to me like this. You don’t know anything. Anything at all”
“How can I know? I don’t have sixth sense”
“Reeta is my good friend. She is not what you think. Believe it if you can” රවීන් කිව්වා.
"හැමෝම පටන් ගන්නේ යාලුවෝ කියලා තමයි" අයුමි පොඩි එකෙක් වගේ මුරණ්ඩු වුණා.
රවීන් ඈ දිහා බැලුවේ තරහා වගේම කලකිරීමත් මුසු වුණ බැල්මකින්.
"මොකක්ද මේ? මොකද ඔයාට මං කියන දේ පිලිගන්න බැරි. ඇයි මෙහෙම නරක දේවල් හිතන්නේ? ගෑනු පිරිමි අතර යාලුකමක් තියෙන්න බැරිද? ඇයි මේ බොරුවට කලබල වෙලා නැති ප්‍රශ්ණ ඇති කරන්න හදන්නේ?" ඔහු ඇහුවා.
"මම ඔයාට කවදාවත් එහෙම කියලා නෑනෙ රවීන්. කියලා තියෙනවද මම? මම අහන්නේ ඒක නෙවෙයි, ඇයි මට නොකිව්වේ රීටා හම්බවුණ වග?"
"ඒක කියන්න තරම් දෙයක්ද?"
"ඒක කියන්න තරම් දෙයක් තමයි. මම ආස නෑ ඔෆිස් එකේ මිනිස්සුන්ගෙන් දැනගන්න හැමදේම. අනික රීටා කවදාවත් මං ඉද්දි මෙහේ ආවේ නෑ ලඟදි. ඇයි මම නැති දවසෙම ආවේ?" අයුමි අහද්දි රවීන් හිස පාත් කරගෙන අහගෙන උන්නේ එපාවෙලා වගේ.
"I am telling you for the last time. Reeta is my good, long standing friend. She will always be my good friend and I cannot ask her to stop coming to see me or meet me for tea or a dinner. I just cannot do that, because…”
“because of me..! I know…I understand” රවීන්ගේ වචන වලින් හිත රිද්දගත්තු අයුමි කිව්වේ නාඬා ඉන්න උත්සාහ කරමින්.
“NO! Ayumi you don’t understand. It is not what you think”
"ඒක නෙවෙයි නම් මොකක්ද?"
"ඇයි ඔයාට මම දෙයක් කිව්වාම ඒක විශ්වාස කරන්න බැරි? මම කිව්වා එයා මගේ හිතවත් කෙනෙක් කියලා. ඇයි ඔයාට ඒක විශ්වාස කරන්න බැරි?"
"ඇයි ඔයාට බැරි විශ්වාසය ඇතිවෙන විදියට ඉන්න?" අයුමි ඇහුවා.
"මම ඔයාගේ විශ්වාසේ කඩ කරලා නෑ. ඔයාට පුලුවන්ද අඩුගානේ ඒකවත් විශ්වාස කරන්න?"
"මම දන්නේ නෑ රවීන්"
අයුමි එහෙම කිව්වේ හිතලා නෙවෙයි. හිතේ ආවේගේ නිසාමයි. ඒත් ඒ වචන වලින් රවීන්ගේ හිත පෑරෙන එක වල්ක්වන්න ඈට බැරි වුණා.
"ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ?" රවීන් ඇහුවේ හෙමින්.
"ඔයා මට දේවල් හැංගුවා" අයුමි උත්තරේ විදියට කිව්වේ එහෙම.
"හංගන්න දෙයක් නෑ මට ඔයාට. ඒත් මගේ නොවෙන දේවල් මට ඔයාට කියන්න බෑ. ඒ මම ඔයාට බොරු කිව්වේ නෑ." රවීන් කිව්වා.
"මම හිතුවා දැන්වත් ඔයා පරණ රවීන් නොවෙයි කියලා. ඒත් මම වැරදියි. මට ඔයාව හදන්න බෑ" අයුමි කිව්වේ කලකිරීමයි, රවීන් රීටාව ආරක්ෂා කරන්න හදන හන්දා ඇතිවුණ හිත් රිදීමයි, තරහයි දෙක තුනම නිසා.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" අයුමි දිහා මොහොතක් බලාගෙන උන්නු රවීන් ඇහුවේ සැකෙන් වගේ. "මොකක්ද පරණ රවීන්ගෙයි, මගෙයි තියෙන වෙනස? මොනාද ඔයා මේ කියන්නේ?" අන්තිමට ඔහුගේ හඬේ තිබ්බේ ආවේගයක්.
අයුමි බිම බලාගත්තා, ඈට දැනෙමින් තිබ්බේ තමන් ගැනම කලකිරීමක්.
"ඔයා හිතං ඉන්නේ මම ගෑණු පස්සේ යන සල්ලාල මිනිහෙක් කියලා, එහෙම නේද?" රවීන් ඊලඟට ඇහුවේ කෝපය පාලනය කරගෙන වගේ.
අයුමි ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"මට උත්තර දෙන්න" රවීන් ඒ පාර උස් හඬකින් කිව්වම අයුමි තිගැස්සුනා.
"මම දන්නෑ" අයුමි කිව්වේ දෙන්න පුලුවන් නරකම උත්තරේ වෙන්න ඇති.
රවීන් ඈ දිහා බලාගෙන උන්නේ කේන්තියක්, දුකක, පාලනය කරගත්තු ආවේගයක්...මේ සේරම මිශ්‍රවුණ බැල්මකින්.
"එහෙනං මොන මගුලටද මා එක්ක ඉන්න කැමති වුණේ? මොකටද මං වගේ මිනිහෙක්ට ලං වුණේ?" රවීන් ඇහුවේ මේසේට බරවෙලා අයුමි දිහා කෙලින්ම බලාගෙන, කේන්තියෙන්.
"දැන් ඒකත් එතකොට මගේ වරදද?" අයුමි ඇහුවේ හිත කම්පා වෙද්දි.
ඒත් ඈ දැනගෙන නො උන්නා නෙවෙයි, රවීන් කෙසේ වෙතත් අනික් මිනිස්සු හැමෝම මේ ගැන වරද පටවන්නේ තමන් පිට කියලා. රවීන් ඇගෙන් බැල්ම මුදාගෙන නැගිටලා අනෙක් පැත්ත හැරුණා.
"මං ඔයාට ලං වුණේ හිතලා නෙවෙයි.ඒක...ඉබේම එහෙම වුණා. සමහරවිට ඔව්, ඒක පාලනය කර නොගත්තු එක මගේ වරද වෙන්න ඇති. ඔයා ගැන නොහිතා ඉන්න බැරි වුණ එක මගේ වරද වෙන්න ඇති. ඒත්...ඔයාට මම ආදරේ කරන එක වැරැද්දක් කියලා මම කවදාවත් හිතලා නෑ රවීන්...ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ. හිත රිදෙන්නේ ඒකයි. මම මේ ගැන මෙච්චර අහන්නේ හොයන්නේ ඒකයි. ඔයාට ආදරේ කරපු එක තමයි මම කරපු වරද කියලා කවදාක හරි හිතන්න මට ඕන නෑ..." අයුමි කිව්වේ බිඳුණු හඬින්. අන්තිමේදි අඬන්නේ නෑ කියලා හිතාගෙනම උන්නත් කඳුලු බිංදු ගොඩක් කම්මුල් දිගේ රෝල් වෙලා ගිහින් පොලවේ පතිත වුණා.
රවීන් ඈ දිහාට හැරුණේ නෑ. ඔහුගේ මූණේ හැඟීම් ඈට පෙනුනේ නෑ. අයුමි ලොකු හුස්මක් අරන් කඳුලු වලකගනන් උත්සාහ කලා.
"ඒත්...එහෙමයි කියලා මට ඔයාගේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය විදියට බලපෑම කරන්න ඕන නෑ. ඔයාට ඕන මම මේ දුරින් ඉන්න නම්, එතනින් එහාට එන්න මම උත්සාහ කරන්නේ නෑ. ඒක ඔයාගේ කැමැත්ත...ඒක ඔයාගේ තීරණේ..."
අයුමි එහෙම කියලා එන්න ආවේ තවත් ඈට කියන්න දෙයක් නැති හන්දා. රවීන්ගෙන් ඈත් වෙන්න ඈට පුලුවන්කමක් තිබ්බේ නෑ. ඒත් ඔහු ඈව මෙහෙම ඈත් කරන්න හදනවා කියලා තේරෙද්දි ඔහුට ලං වෙලා ඉන්න උත්සාහ කරන්නත් ඈට ඕන වුණේ නෑ. ඇගේ හිතේ ලොකුවටම තිබ්බේ තමන් ගැනම ආත්මානුකම්පාවක්. ඇයි මෙහෙම දෙයක් තමන්ට වුණේ කියලා.
"අයුමි Vendor මීටින් එක එකහමාරට. හරිනේ. කාලා ඉන්න" ඈ ඔෆිස් රූම් එක පැත්තට යද්දි, මොනාදෝ ලියවිලි වගයක් උඩට උස්සගෙන එමින් ඉඳපු සමින්ද කිව්වේ ඈව දැකලා.
"ම්ම්..." අයුමි හිස වනලා තමන්ගේ ඔෆිස් රූම් එකට වැදුනේ ලොකු පීඩනේකින් පෙලෙමින්.
හිතේ මොන ප්‍රශ්ණ තිබ්බත්, වැඩ කරන්න ඈට සිද්ධ වෙලා තිබුණා. ඒත් ඈට ඕන වුණේ මේ හැමදේම දමලා ගහලා හිස හැරුණ අතේ යන්න. ඔෆිස් එකට ගිහින් ඈ කලේ ජනේලේ අසලට වෙලා ඔහේ කඳුලු වලට ගලාගෙන යන්න ඉඩ දීපු එක.
එලියේ ගාඩ්න් එකේ රොබරෝසියා ගස්වල මල් පිපෙන්න පටන් අරන් තිබුණ හැටි, වලාකුලු එකතු වෙවී අහස වැස්සකට අර අඳින හැටි, ඈට පෙනුනේ බොඳ වුණ දෑසින්. ඈට හිතුණා තමන්ගේ හිතත් හරියට අර අලුපාට අහස වගේ කියලා.
ඈ තමන්ගේ සිතිවිලි අස්සේ කොච්චර ගිලිලා හිටියද කිව්වොත් ඈට ඇහුණේ නෑ ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන කවුරුහරි කාමරේට ආපු වගවත්. ඒත් එක පාරටම ඈට තමන් ලඟ කවුරුහරි ඉන්නව දැනුනෙත්, බලාපොරොත්තු නොවුණ විදියට පිටිපස්සේ උන්නු රවීන්ගේ දෑත් ඇගේ බඳ වටා වෙලුණෙත් එකටම වගේ. ඈ ඔහුගේ අත්දෙක අයින් කරන්න තැත් කරන ගමන් හැරිලා බැලුවේ හොඳටම ගැසුණු හිතිං.
"අයෑම් සොරි"
රවීන් ඇගේ කන ලඟට මූණ හේත්තු කරගෙන, ඈව අතනෑරම කිව්වා. 
"මාව අතාරින්න" අයුමි කිව්වත්, ඔහුගෙන් ඈත් වෙන්න හදපු වෑයම තිබ්බේ ඉබේටම දුර්වල වෙලා.
රවීන් ඈව ඔහුගේ පැත්තට හරවගත්තා ඊලඟ නිමේෂයේ.  ඒත් අයුමි උන්නේ බිම බලාගෙන, ඈට එවෙල නම් හොඳටම ඇඬුම් එමින් තිබුණා. රවීන් එක අතක් ඇගේ බඳේ තියෙද්දිම අනික් අත අරන් ඇගේ මුහුණ උස්සලා ඈ දිහා බලාගෙන උන්නේ සෙනෙහසයි, දුකයි දෙකම කැටිවුණ බැලමකින්.
"ප්ලීස් බබී මෙහෙම කරන්න එපා..." ඔහු ඉන්පස්සේ මිමිණුවා.
අයුමි මූණ හරවගෙන ආයෙම බිම බලාගත්තා.
"ඔයා ඇරෙන්න වෙන කවුරුත් මට ඕන නෑ. ඔයා ඉද්දි මට එහෙම වෙන කෙනෙක් පස්සේ යන්න උවමනාවක් නෑ. කොහොමද ඔයා එහෙම හිතන්නේ වත්? ම්ම්...ඔයා හිතනවද ඔයාගේ ආදරේ එච්චරම දුර්වලයි කියලා? “ රවීන් ඇහුවේ ඇගේ මූණට එබිලා.
අයුමි තෙත් වුණ දෑස් ඉක්මණින් පිස දැම්මා මිස වචනයක්වත් කිව්වේ නෑ.
"මිනිස්සු කියන ඕප දූපා අහලා, ඔයා මාව අර විදියට සැක කරද්දි මට තරහා ගියා බබී. ඒත්...මම දන්නවා ඒක වැරදියි. ඔයාට කරන්න දෙයක් නෑ ඔයා මුකුත් නොදන්න නිසා. ඒත් මාව විශ්වාස කරන්න ප්ලීස්...මම කවදාවත් ඔයාව රවට්ටලා නෑ. එහෙම හිතාගෙන මම ඔයාව ආශ්‍රය කරා නම්, ඔයා දන්නව මට ඕන දෙයක් කරන්න තිබ්බා කියල ඕන වෙලාවක. ඒත් මට එහෙම ඕන නෑ. මම ආදරේ කරන්නේ ඔයාගේ හිතට මිස, වෙන දේකට නෙවෙයි. ඒත් ඔයාගෙන් මිස වෙන කාගෙන්වත් මට වෙන දේවල් ඕනෙත් නෑ...තේරුම් ගන්න. මම අද වෙනකල් ඔයාගේ විශ්වාසේ කඩලා නෑ. ඉස්සරහට එහෙම දෙයක් වෙන්නෙත් නෑ. That is my promise...මම ඔයාට ගොඩාක් ආදරෙයි..."
රවීන් නැවතිල්ලේ, කිව්වේ ගොඩාක් දයාබරව. ආදරේ, දුක, පසුතැවිල්ල මේ හැමදේම සංකලණය වුණ හැඟීම් ගොඩක් හිතට වද දෙද්දි අයුමි උන්නේ කඳුලු සලමින්.
"අනික් එක...බබී... රීටා ගැන වරදවා හිතන්න එපා. ඔයා නොදන්න සමහර දේවල් තියෙනවා එයා ගැන. ඔයා දවසක ඒ දේවල් දැන ගත්තම සමහරවිට ඔයා එයාව තේරුම් ගන්න බලයි. ඒ කොහොම වුණත් මම ආස නෑ මගේ හොඳම යාලුවෙක් මුල් කරගෙන මේ වගේ ප්‍රශ්ණ ඇති වෙනවට. මිනිස්සු කියන එවා ඇහුවට කමක් නෑ ඒත් පිලිගන්න කලින් හිතලා බලන්න මේක වෙන්න පුලුවන්ද කියලා. සමහරවෙලාවට අපි දකින දේ අනුව එන නිගමන සේරම ඇත්ත නෙවෙයි. මං දැනුත් කියනවා ඔයාට, රීටා මගේ හොඳ යාලුවෙක්. අපි දෙන්නා අතරේ එහෙම romantic affair එකක් නෑ. කවදාවත් තිබිලත් නෑ. ඒක ඔයා රීටව හම්බවෙලා කතා කලොත් තව තේරුම් ගනීවි. Please trust me"
රවීන් එහෙම කියද්දි අයුමි ආයෙම කඳුලු පිස්සේ රවීන් කියපු දේ ගැන හිතමින්. ඔහු මේ තරම් කියද්දි, මේ තරම් අවධාරණයෙන් කියද්දි ඒක පිලි නොගෙන ඉන්න ඈත පුලුවන් වුණේ නෑ. ඈට ඇඬුනේ රවීන්ව ඈ සැක කලේ නිස්කාරණේද කියලා හිතුණ නිසා. රවීන් ඈව හෙමින් ඔහුගේ පපුවට තුරුලු කරගත්තා. ඈ කලේ ඔහුට තුරුලු වෙලා තව ටිකක් අඬපු එක. රවීන් ඇගේ හිස අතගෑවා, ඒත් අඬන්න එපා කිව්වේ නෑ. ඔහු දැනගෙන උන්න ඒ කඳුලු  හිත සැහැල්ලු කරන වග. අන්තිමේදි රවීන්ගේ සාක්කුවේ තිබුණ ෆෝන් එකෙන් බීප් සද්දයක් ආවහම, ඔහු ඈව පොඩිත්තක් අතෑරියා.
"මීටින් එක" ඉන්පස්සේ ඔහු කිව්වේ ෆෝන් එක දිහා බලලා.
අයුමි රවීන් දිහා කෙලින් බැලුවේ එවෙලේ. ෆෝන් එකෙන් දෑස් අයින් කරගෙන ඔහු ඈ දිහා බැලුවම ඒ දෑස් වල ඇඳුනේ පුංචි විමතියක්.
"අයෑම් සොරි" අයුමි තනනලා කියාගත්තා.
ඈ දිහා ටිකක් වෙලා බලාගෙන උන්නු රවීන්ගේ කට කොනක හිනාවක් ඇඳුනා ඒ පාර.
"එහෙම කියලා මදි" ඔහු කිව්වා.
අයුමි ඔහු දිහා බලාගෙන ඉද්දි ඇගේ මුවෙත් ඇඳුනේ ලා හිනාවක්.
"තව මොනවද?"
"ඒක මම කියන්නම්කෝ නිදහසේ. දැන් කියන්න වෙලාව මදි. ම්ම්...මම යනවා එහෙනම් meeting එකට.  ඔයාට තාම ok නෑ වගේ නම් එන්න ඕන නෑ. මං ඒක මැනේජ් කරගන්නම්"
රවීන් ඊට පස්සේ කිව්වා. අයුමි හිස වැනුවේ ඇත්තටම ඒක ලොකු නිදහසක් නිසා. ඈ කොහොමත් උන්නේ මීටින් එකකට යන්න තරම් නිදහස් මානසිකත්වයක නෙවෙයි.රවීන් තව තප්පරයක් දෙකක් ඈ දිහා දයාබර බැල්මකින් බලා ඉඳලා එතනින් යන්න ගියේ ඇගේ කම්මුලක් යාන්තමට ස්පර්ෂ කරලා.
වෙච්ච දේවල් ගැන ආයෙම හිතද්දි අයුමිට දැනුනේ පුංචි ලැජ්ජාවක්. ඒත් ඒවා එහෙම වෙච්ච එකත් හොඳයි කියලා අනෙක් අතට ඈට හිතුණා. මොකද අන්තිමේදි ඒ දේ පසක් කරලා තිබුණේ අයුමි, රවීන්ට, රවීන් අයුමිට කොයි තරම් බැඳිලද කියන එක හන්දා.

2 comments: