අයුමි තනූජා දිහා බැලුවේ පුදුමෙන්. ඈ එහෙම කිව්වේ මොකද කියලා හිතාගන්න බැරිව ඈ අන්ද මන්ද වුණා.
"මොකක්ද අහන්න හදන්නේ?" අයුමි තමන්ගේ ඇඳෙන් වාඩි වෙන ගමන් ඇහුවා.
ඒත් තනූජා කතා කරන්න තව තප්පර කීපයක් ගත්තා.
"ඔයා, ඔයාගේ boy friend ගැන මට කිව්වේ ඇත්තම නෙවෙයි නේද?" තනූජා එහෙම ඇහුවම අයුමි පුදුම වුණා එක්කම පොඩි නොසන්සුන්කමකුත් ඈට දැනෙන්න ගත්තා.
"මොනාද තනූ ඔයා මේ අහන්නේ? මම එහෙම කරන්නේ මොකටද?" අයුමි කලබල වුණ වගක් නොපෙන්වා ඇහුවා.
"ඒක තමා මටත් හිතාගන්න බැරි. එක්කෝ ඔයාට මාව විශ්වාස නෑ, එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා"
තනූජා එහෙම කියද්දි අයුමි කල්පනා කලේ හදිසියේම තනූජට මෙහෙම හිතෙන්න තරම් සිද්ධ වුණේ දේ මොකක්ද කියලා.
"ඔයාට පිස්සු තනූ. ඔයා මොනා කියන්වද කියලා මට නම් තේරෙන්නේ නෑ" අයුමි කිව්වේ තනූජා දිහා නොබ්ලා.
"එහෙමද? එතකොට රවීන් කාශ්‍යප කියන්නෙයි, ඔයාගේ කාශ්‍යපයි දෙන්නෙක්ද? දෙන්නම එකම විදිහ වුණේ කොහොමද?"
තනූජා එහෙම ඇහුවාමයි අයුමිට දෙලෝ රත් වුණේ. හවස ඔෆිස් එකට ඇවිත් ගිය වෙලේ ඉඳන් වෙච්ච කතා බහ ටික ටික ඈට මතක් වුණා. නොහාන් කියපු සමහර දේවල් තනූජා මේ තරම් අවධාරණයෙන් අහන් ඉන්න ඇති කියලා අයුමි කොහොමවත් බලාපොරොත්තු වුණේ නෑ. අයුමි ටික වෙලාවක් යනකල් උත්තරයක් දුන්නේ නෑ.
"ඇයි ඔයා මට බොරු කිව්වේ?" තනූජගේ හඬ ඇගේ හිතේ තිබ්බ වරදකාරී හැඟීම වැඩි කලා.
"මම හිතුවේ නෑ ඔයා මාව ඒ තරම් අවිශ්වාස කරනවා ඇති කියලා අයුමි. මම ඇත්තටම හිතුවේ අපි හොඳ යාලුවෝ කියලා" තනූජා එහෙම කියද්දි අයුමිගේ හිත රිදුනා. මොකද ඈ සම්පූර්ණයෙන්ම අනික් පැත්තට දේවල් තේරුම් ගන්න පටන් අරන් තිබ්බ නිසා.
"එහෙම දෙයක් නෙවෙයි තනූ..." අයුමි කිව්වේ ටිකක් උස් හඬින්.
"බොරු කියනවට වඩා හොඳනේ කිසිම දෙයක් නොකියා හිටියා නම්. කමක් නෑ...ඒක ඔයාගේ කැමැත්තනේ. මම ඒ ගැන ආයෙම අහන්නේ නෑ. " තනූජා එහෙම කියලා ඇඳෙන් නැගිට්ටේ කාමරෙන් එලියට යන්න වගේ.
තිබ්බ ප්‍රශ්ණ මදිවට,මෙතනත් ප්‍රශ්ණ ඇතිවෙද්දි අයුමිගේ හිස තවත් අවුල් වුණා.
"ඔයාට තේරෙන්නේ නෑ තනූජා මම ඉන්න තත්වේ" අයුමි කිව්වේ හිතේ ආවේගේ හන්දා.
රවීන්ගේ වෙනස, පූර්ණිගේ පැමිණීම, යශෝධගේ සමීපවීම, මේ හැම දේකින්ම මිරිකිලා, තෙරපිලා තිබ්බ හිතේ හැඟීම් සේරම දැන් දැන් ආවේගයකට හැරෙමින් තිබුණා ඇගේ හිත ඇතුලේ. තනූජා දොර ලඟ නැවතිලා හැරිලා බැලුවා එවෙලේ.
"සමහර දේවල් මම කිව්වේ නෑ කියලා මම පිලිගන්නවා. ඒත් ඒ හැම දේකටම හේතු තිබුණා"
"හේතුව ඔයාට මාව අවිශ්වාස එක" තනූජා කිව්වා.
"නෑ තනූ. එහෙම හිතන්න එපා. මම හැම දෙයක්ම මෙහෙමවත් කතා කරන්න ඉන්න එකම යාලුවා ඔයා විතරයි" අයුමි එහෙම කියද්දි ඈත දැනෙමින් තිබුණේ මොකක්දෝ අසරණ කමක්.
ඇත්තටම ඇයට අගේ හිතේ තියෙන දේවල් ඒ විදියටම කතා කරන්න වෙන කිසි කෙනෙක් හිටියේ නෑ. අඩු තරමේ රවීන්ටවත් ඈ එක්ක නිදහසේ කතා කරන්න, ඈ කියන දේවල් අහගෙන ඉන්න නිදහසක් තිබ්බේ නෑ. ඒ හන්දා තමන්ගේ හිතේ තියෙන දේවල් වලින් පීඩිත වෙලා, හිත රිදිලා ඉන්න වෙලාවකත් හැම දේම තමන් තනියෙන් දරාගන්න ඕන නේද කියලා හිතෙද්දි ඈට දැනෙන්න ගත්තේ ආත්මානුකම්පාවක්. ඒ එක්කම ඈ දැනං හිටියා මෙහෙම හරි කතා කරන්න උන්නේ තනූජා විතරක් නේද කියලා.
"අයුමි"
තනූජා අයුමි අසලට ඇවිත් කතා කරද්දි ඇයුමි උන්නේ බිම බලාගෙන ඇස් වල කඳුලු පුරෝගෙන. තනූජා සුසුමක් හෙලලා ඈ අසලින් වාඩි වුණා.
"මම දන්නවා ඔයා හිත හොඳ කෙල්ලෙක් කියලා. ඒත් ඔයා මට කිව්වේ බොරුවක් කියලා දැනගත්තම මගේ හිත රිදුනා. මොකද ඔයා මගේ හොඳම යාලුවෙක් කියලා මම හිතන හන්දා"
තනූජා කියාගෙන යද්දි අයුමි ඇස් කොනක රැඳුණ කඳුලක් පිහදාලා නහය හීරුව.
"ඇයි ඔයා මට ඇත්ත නොකිව්වේ, එයා ඔයාගේ බොස් නිසාද?" තනූජා ඇහුවේ දයාබරව.
අයුමි මුකුත්ම කිව්වේ නැහැ.
"ඉතිං ඒකේ තියෙන වරද මොකක්ද ළමයෝ? අපි හැමෝම හැඟීම් දැණීම් තියෙන මිනිස්සුනේ. ඔයාලගේ ඔෆිස් එකේ ඇතුලේ අය එක affairs තියාගන්න තහනම්ද?" තනූජා ඇහුවම අයුමි හිස වැනුවා නෑ කියන්න.
"එහෙනං? මොකට ඒ තරම්ම රහසින් මේක තියාගන්න හදන්නේ?" තනූජා නො ඉවසිලිමත් වෙලා වගේ ඇහුවම අයුමිට තිගැස්සිලා වගේ ඈ දිහා බැලුණේ ඉබේටම.
තනූජා ඈ දිහා තප්පරයක් විතර බලා ඉන්න ඇති. ඊට පස්සේ ඇගේ දෑස් ලොකු වුණේ මොකදෝ භයානක දෙයක් තේරුම් ගත්තා වගේ.
"අයුමි... ඔයා මේ පැටලිලා ඉන්නේ බැඳපු මනුස්සයෙක් එක්කද? එයා කසාද බැඳපු එක්කෙනෙක් නේද?" තනූජා ඇහුවේ සැකෙන්, බයෙන් වගේ.
අයුමි හිස වැනුවම, තනූජා අතින් කට වහගත්තා.
"දෙයියනේ...අයුමි ඔයා මොකකද මේ පැටලුණේ?"
"තනූ..තනූ...අහන්න"
"මොකක් අහන්නද? ඔයා නම් හරි මෝඩ කෙල්ලෙක් අයුමි"
"තනූ...එයා බැඳලා divorce වුණ කෙනෙක්" අන්තිමේදි අයුමි කියාගත්තා.
ඒ පාර තනූජා විස්සෝප වෙන එක මොහොතකට නවත්තලා ආයෙම අයුමි දිහා බලාගෙන උන්නේ ගල් වෙලා වගේ.
"මොකක්?"
"එයා divorce වෙලා ගොඩක් කල්" අයුමි කිව්වා.
"ළමයිනුත් ඉන්නවද?" තනූජා ඇහුවා.
"ඔව්"
"කී දෙනෙක්ද, ලොකු ළමයිද?"
"දෙන්නෙක් ඉන්නවා. දුව එක වසරේ. පුතා හයේ" අයුමි කිව්වේ තනූජා දිහා නොබලා.
"එතකොට මේ කෙනා ඔයාට වැඩිය කොච්චර වැඩිමල් ඇත්ද, අවුරුදු විස්සක්?"
"නෑ...දහයක්, එකොලහක් විතර" අයුමි කිව්වේ හෙමින්.
තනූජා ඈ අසලින් නැගිට්ටේ නලලේ අතක් තියාගෙන.
"දෙයියනේ අයුමි...ඔයාට නම් හොඳටම පිස්සු. මොලේ හොඳ නෑ. ඔයා ඇත්තටම මෙච්චර මෝඩද? මෙච්චර මේ මිනිස්සු ඉන්න රටේ, නොබැඳපු, ඔයාට වඩා අවුරුද්දක්, දෙකක්, තුනක්, වැඩිම හතක් කියමු. එච්චර මිනිස්සු ඉද්දි ඇති අයුමි ඔයා මේ වගේ දේක පැටලුණේ ආ?"
තනූජා අහද්දි අයුමි මුනිවත රැක්කේ, තනූජගේ කලබලේ සංසිඳෙනකල්.
"දැන් කසාය බීපු ගොලුවා වගේ නො ඉඳ කියන්න, කොහොමද මෙච්චර මෝඩ වැඩක් කරන්න හිතුවේ ඔයා?"
"මම රවීන්ට ආදරෙයි තනූ..." ඒ කිසි දෙයක් නෑහුණා වගේ අන්තිමට අයුමි කිව්වේ හැඟීම්බරව.
එතෙක් වෙලා කාමරේ සක්මන් කරමින් උන්නු තනූජා නිශ්චල වෙලා ඈ දිහා බලාගෙන උන්නේ ඒ කියපු දේ තේරුණේ නෑ වගේ.
"මම දන්නේ නෑ මම කවදා, කොහොම එයාට ආදරේ කරන්න පටන් ගත්තද කියලා. ආදරේ කියන්නේ එහෙම ඉබේ ඇතිවෙන දෙයක් නෙවෙයිද? ඒක පස්මහ බැලුම් බලලා, වත් පොහොසත්කම් බලලා ඇති කරගන්න ඕන ගනුදෙනුවක්ද තනූ? ඔයා ලොක්කයියට ආදරේ කරන්න පටන් ගත්තේ කොහොම්ද?" අයුමිගේ වචන වල පුංචි ආවේගයක් තිබුණා.
ඒ පාර තනූජා බිම බලාගත්තා.
"ඔයාට තේරෙන්නේ නෑ මම කියන එක අයුමි" ඈ කිව්වේ හෙමින්.
"මොකක්ද?"
"ආදරේ ඉබේ ඇතිවෙන්න පුලුවන් කියලා මම පිලිගන්නවා. ඒත් හැඟීම් ඇතිවුණ පලියට අපි ඒවට වහල් වෙන්න නරකයි. මිනිස්සුන්ට හිතක් එක්කම මොලයක් තියෙන්නෙත් ඒව හිතන්න. ඔයාම දැන් හිතලා බලන්න, ඔයාට පුලුවන්ද ඔය මනුස්සයව ගෙදරට අඳුන්නලා දෙන්න? මම කලබල වෙච්ච තරම හිතද්දි, ගෙදර අය කොච්චර කලබල වෙයිද? දික්කසාද වෙච්ච, ළමයි දෙන්නෙක් ඉන්න මනුස්සයෙක්? සල්ලි ගෝණි ගනන් තිබ්බත් එහෙම කෙනෙක්ට කැමති වෙයිද ගෙදරින්? මම කියන්නේ ඒවා ගැන"
"එතකොට දික්කසාද වුණ කෙනෙක්ගේ හිතේ හැඟීම් නැද්ද, ඒ මිනිස්සුන්ට ආදරේ කරන්න, ලබන්න අයිතියක් නැද්ද? එක පාරක් කඩා වැටුණ ජීවිතේ ආයෙම හදාගන්න අයිතියක් නැද්ද? ඇයි මිනිස්සු ඒ තරම් පටු විදියට හිතන්නේ?" අයුමි ඇහුවා.
"අයුමි...මේ ඇමෙරිකාව නෙවෙයි, මේ රටේ තියෙන සංස්කෘතිය, සමාජ ක්‍රමය එක්ක ඔය දේවල් මෙහාට හරියන්නේ නෑ. මට ඔයා කියන දේ නොතේරෙනවා නෙවෙයි. ඒත් ඔයාට පුලුවන්ද ඔය මට කියපු දේවල් ඒ විදියටම ඔයාගේ අම්මලට කියන්න? එයාලගෙන් අහන්න? පුලුවන්ද?" තනූජා ඇහුවා.
"මම ඒ ගැන හිතලා නෑ තාම. ඒත් කවදකහරි ඕන වුණොත් මට ඒක කරන්න වෙනවා. එදාට රවීන් මා එක්ක ඉඳීවි" අයුමි කිව්වා.
"මම දන්නෑ ඔයා මොනාට මේ මනුස්සයට වශී වෙලාද කියලා. කොහොමද ඔයා එයාව විශ්වාස කරන්නෙවත්. දික්කසාද වුණ කෙනෙක්. කවුද දන්නේ මොනා කරලද, මොනා වෙලාද කියලා" තනූජා එහෙම කිව්වම නම් අයුමිට තරහා ගියා.
"එයා ගැන දැනගන්න ඕන දේවල් මම දන්නවා තනූ. මට එයාව විශ්වාසයි"
"ඔයා ඉන්නේ ආදරෙන් අන්ධ වෙලා. ඒකයි ඔයාට මොනවත්ම පෙනෙන්නැත්තේ. මම දන්නෑ අයුමි. මට තේරෙන දේ මම කිව්වා. ඒක අහන්න බැරි නම්, හිතන්න බැරි නම් ඒක ඔයාගේ වැඩක්. ඒත් ඔයාගේ සතුට වෙනුවෙන් අම්මලට දුක් වෙන්න ඉඩ තියන්න එපා"
"මම එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ. අම්මලා අකමැති දෙයක් මම කරන්නේ නෑ. ඒත් එහෙම වුණත් රවීන්ට ඇරෙන්න මම වෙන කෙනෙක්ට ආදරේ කරයි කියලා මම හිතන්නේ නෑ. මට එහෙම කරන්න බෑ" අයුමි කිව්වේ අවංකවම.
තනූජා දිග සුසුමක් හෙලලා ඇගේ ඇඳෙන් වාඩි වුණා.
"...රවීන්, ඔයාට ආදරේද?" තනූජා ඇහුවේ ටික වෙලාවකට පස්සේ.
"ඔව්" අයුමි කිව්වත් ඈ තුල ඒ ගැන සීයට සීයක්ම විශ්වාසයක්, අදහසක් තිබුණේ නෑ.
"හ්ම්ම්...අනේ මම දන්නෑ අයුමි..." තනූජා අන්තිමට එහෙම කියලා ඇඳේ දිගා වුණා.
අයුමි මොනවත්ම කිව්වේ නෑ. තනූජත් ආයෙම මොනවත්ම නොකියා ඇඳේ අනික් පැත්තට හැරුණේ නිදාගන්න. අයුමි තව ටික වෙලාවක් එහෙමම ඉඳලා චාජ් වෙන්න ගහපු ෆෝන් එක අතට අරන් ඔන් කලා. ඒ ගමන්ම ඈ හිත හිත උන්නේ තනූජා කියපු දේවල් ගැන. අයුමි බලාපොරොත්තු වුණේ නෑ රවීන් කෝල් කරලා ඇති කියලා. ඒත් alert message එක ආවමයි ඇගේ ඇස් උඩ ගියේ. රවීන්ගේ නොම්මරෙන් කෝල් තිස් දෙකක් ආපු වග message එකෙ සටහන් වෙලා තිබුණා. 'දෙයියනේ' අයුමිට රවීන් ගැන ලොකු දුකක් එක්කම, පුදුමාකාර නො ඉවසිලිමත් ගතියක් දැනෙන්න ගත්තා.
අයුමි එවෙලේ ඔරලෝසුව බලද්දි වෙලාව සටහන් වෙලා රෑ නවය සටහන් වෙලා තිබුණා. කෝල් කරම්දෝ, නොකරම්දෝ කියලා හිත හිත උන්නු අයුමි අන්තිමට රවීන්ගේ නොම්මරේ dial කරලා ෆෝන් එක කනේ තියාගත්තේ ඇගේ හිතේ නො ඉවසිල්ල බලවත් වුණ හන්දා.
ෆෝන් එක ටිකක් වෙලා රිං වුණත් රවීන්ගෙන්ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. අයුමිගේ හිතේ නො ඉවසිල්ලට දුකකුත් එකතු වුණා ඒ හන්දා. ඈ ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කලේ දැන් මොකක්ද කරන්නේ කියලා. ඈට එවෙලේ හැකියාවක් තිබුණා නම් රවීන්ව හොයාගෙන යන තරමටම ඇගේ හිතේ කැලඹිලයි තිබුණේ. සමහරවිට රවීන්, නිදි වෙන්න ඇති කියලා අයුමිට හිතුණා. 'ඒත් මෙච්චර ඉක්මණට?.. එහෙම නැත්තම් පූර්ණි ගෙදර ඇවිත් වත්ද?' අයුමි හිතුවේ හිත මොකක්දෝ වේදනාවකින් හැකිලෙද්දි. බැරිම තැන අයුමි හිතුවා තව එක පාරක් රිං කරලා බලනවා කියලා.
"බීප්..බීප්..." ෆෝන් එක දෙපාරක් රිං වෙද්දිම එහා පැත්තෙන් කෝල් එක කට් කලේ අයුමි බලාපොරොත්තු නොවුණ විදිහට.
ඈ ෆෝන් එක මෑත් කරල ඒ දිහා බලාගෙන උන්නේ, එහෙම වුණේ ෆෝන් එකේ වරදකින්ද බලන්න. ඒත් ඒ එක්කම මැසේජ් එකක් ආවා, ඒ රවීන්ගෙන්.
"I don’t want to talk to you"
ඒක දැක්කාම අයුමිගේ දෑස් වලට කඳුලුත් පිරුණා.
එහෙම කරන්නේ ඇයි කියලා අහන්න හිතුවත්, දැන් කතා කරන්න එපා කිව්වට පස්සේ ආයෙම මොනවා කියන්නද කියලා ඈට අනෙක් අතට හිතුණා. ඒත් රවීන්ට තමන් එක්ක තරහා ගන්න තරම් තිබ්බ හේතුව මොකක්ද කියලා ඈට හිතාගන්න පුලුවන් වුණේ නෑ. මොකද ඔහු උදේ කතා කරපු විදියට හරිනම් තරහා ගන්න ඕන තමන් නේද කියලා ඈට හිතුණ හන්දා. හිතේ වේදනාව වැඩි වුණේ ඒ හන්දයි.ඒ මොනා වුණත් මොන හේතුවකට හරි රවීන් ඉන්නේ හිත හොඳින් නෙවෙයි වග ඈට තේරුණ හන්දා, ඈ කලේ අමාරුවෙන් වුණත් ඔහුට ආයෙම කතා නොකර ඉන්න හිත හදාගත්තු එක. අනික් දවසේ මුණගැහුණම, තරහා නිවිලා තියෙද්දි කෙලින්ම කතා කරලා ප්‍රශ්ණේ විසඳගන්න එක හොඳයි කියලයි ඈට හිතුණේ දැන් කතා කරන්න ගිහින් හිත රිද්දගන්නවට වඩා.ඒ පාර ෆෝන් එක චාජ් වෙන්න තියලා ඇඳේ ඇලවුණේ දුකින් බරවුණ හිතත් එක්කමයි. එක පැත්තකින් තනූජා කියපු දේවලුත්, අනෙක් පැත්තෙන් රවීන් කියපු, කරපු දේවලුත් හන්දා හිත ඇතුල තිබුණේ යුද්ධ පිටියක් වගේ ඇවිලෙමින්. බැඳීම් කියන්නේ සුන්දර වුණ තරමටම අනෙක් පැත්තට හිත රිද්දනසුලු දෙයක් වග ඈ මේ තේරුම්ගත්තු දෙවනි වතාව.
***
පහුවදා උදේ නැගිටිද්දිත් අයුමිගේ හිතේ තිබුණේ මොකක්දෝ සාංකාවක් වගේ හැඟීමක්. ඇඳේ ඉඳගෙනම ඈ ඒ මොකද කියලා නිදිමතේම කල්පනා කරද්දි ආයෙම කලින්දා වුණ දේවල් එකින් එක ඇගේ මතකෙට ආවා. ඉතිං එදා උදේ ඈ ඇඳෙන් බැස්සේ හිත බර කරගෙන. ඒත් තනූජා නම් කලින්දා රෑ මොනවත් නූනා ගාණට වෙනදා වගේම හැසිරුණා. කතා කරපු කිසි දෙයක් ගැන ඈ ආයෙම අයුමි එක්ක කතා කලේ නැහැ. අතට අහුවුණ ඇඳුමක් ඇඳගෙන, එලියට බැහැපු අයුමි මගට එද්දි ඈ බලාපොරොත්තු නොවුණ විදියට මග උන්නේ යශෝධ. ඔහුව දැක්ක ගමන් ඇයුමිගේ ගමන් වේගය බාල වුණා. යශෝධ ඈ එන වග දැනිලාදෝ හිස උස්සලා ඈ දිහා බැලුවේ හිත සසල කරවන සුලු බැල්මකින්. ඇගේ හිත සැලෙන්න ගත්තා කවදාවත් නැති විදියට. ඒත් ඈ ඒ වග නොපෙනෙන්න වගේ හිනාවක් මූණට නගාගත්තා.
පුරුදු විදියටම ගුඩ් මෝනිං කියලා යශෝධ අයුමි එක්කම බස් පාරට එන්න ඇවිදගෙන ආවේ හැමදාම එහෙම කරපු ගාණට.
"යශෝධ අදත් යන්නේ ගෝල් ෆේස් ද? මුලින්ම කතාව පටන් ගත්තේ අයුමි.
"හ්ම්ම්" යශෝධ හිස වැනුවේ කල්පනාබරව.
ඔහුගේ දැනුන වෙන්ස නිසා අයුමිට ආයෙම මුකුත් අහන්න හිතුණේ නෑ. ඒ හන්දා ඈ නිහඬ්වම ඔහු ලඟින් ඇවිදගෙන ආවා.
"මම ඔයා එක්ක එන එක ඔයාට කරදරයක් නෙවෙයි නේද?" හිටි ගමන් යශෝධ එහෙම ඇහුවේ මුදු හඬින්.
අයුමිගේ හිත ඒ හඬට ටිකක් සසල වුණා.
"මට කරදරයක් වෙන්නේ කොහොමද? එහෙම කිසි කරදරයක් නෑ" අයුමි සැහැල්ලු වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"මං හැමදාම ආවත්?" යශෝධ ඇහුවේ අයුමි දිහා බලලා.
අයුමි ඔහු දිහා බලලා ඉක්මණින් අහකබලාගත්තා.
"අපි දෙන්නම යන්නේ එකම බස් ස්ටෑන්ඩ් එකටනේ. ඉන්නෙත් එකම පාරේ. ඉතිං අහම්බෙන් හරි හැමදාම අපි හම්බවේවි කොහොමත්" අයුමි පුලුවන් තරම් සාමාන්‍ය වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔයා හිතුවේ අද මං හම්බවුණ එක අහම්බයක් කියලද?" යශෝධ පුරුදු මුදු ස්වරයෙන්ම ඇහුවම අයුමි තව ටිකක් සසල වුණා. ඈ ඔහු දිහා ඇස් කොනකින් බලලා මුනිවත රැක්කේ ඒකයි.
"මම ඔයා එනකල් බලාගෙන හිටියේ" යශෝධ ඉන්පස්සේ කිව්වා.
අයුමිගේ හිත ඒ කතාවට සැලුණා. යශෝධ එන්න හදන්නේ මොකටද කියලා ඈට ඉවෙන් වගේ දැනුන හන්දා ඈ උත්සාහ කලේ ඒ කතාව මගාරින්න.
"කෝ නොහාන් එතකොට? එයාට ඔයාව අද දාගෙන යන්න තිබ්බනේ" අයුමි ඔහුගේ කතාවට හිනාවක් පාලා එහෙම ඇහුවා.
"ආ...එයා පරක්කු වෙලා යන්නේ. මම කලින් යන්න ඕන" යශෝධ උත්තර දුන්නා.
"ම්ම්...ඊයේ ගිය තැන හරි ෂෝක්. හදිසියෙන් හරි යන්න ලැබිච්ච එක හොඳයි. දවසක අපේ අම්මලව එක්කන් එන්න ඕන. එයාලා ආස වෙයි" අයුමි කතාව එහෙම පිටින්ම අනික්පැත්ත හරවන ගමන් කිව්වා.
"ම්ම්...මම එක පාරක් අපේ අම්මලව එක්ක ආවා" යශෝධ කිව්වා.
ඊට පස්සේ කතාව ඒ පැත්තට ඇදිලා ගිහින් ටිකකින් බස් නැවතුම්පොල ලඟට දෙන්නම සේන්දු වුණාම අයුමි හිත යටින් සැනසුම් සුසුමක් හෙලුවා. යශෝධ කියන්න උත්සාහ කලේ මොන දේ වුණත් ඒක අහන්න අයුමිට ඕනකමක් තිබුණේ නෑ. යශෝධ කියන්නේ හොඳ කෙනෙක් කියන එක ඈට තේරිලා තිබුණා. ඒ හන්දම ඒ හිතවත්කම වෙනස් වෙනව දකින්න ඈට ඕන වුණේ නෑ.
"අන්න ඔයාට යන්න පුලුවන් බස් එකක් එනවා" අයුමි බස් නැවතුමේදි ඈත එන බස් එක පෙන්නලා යශෝධට කිව්වා.
"ම්ම්..." යශෝධ බස් එක එන දිහාව යන්තම් බලලා අයුමි දිහාට හැරුණා.
"අහන්න...මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන. ඒත් මෙහෙම මේවගේ හදිසියෙන් නෙවෙයි"
ඔහු එහෙම කිව්වම අයුමි ඔහු දිහා බැලුවේ සසල වුණ හිතින්.
"ඇයි...?" අයුමි ඇහුවා.
යශෝධ ඇස් ලොකු කරලා ඈ දිහා බැලුවේ හිනාවකුත් එක්ක.
"ඇයි කියලා කියන්නම් ආයෙම හම්බවුණාම"
ඔහු එහෙම කියමින් ඉද්දි බස් එක ඇවිත් නැවැත්තුවත් ඔහු ඒකෙ නැග්ගේ නෑ.
"ඔයා යන්නේ නැද්ද?" අයුමි ඇහුවා.
ඒත් උත්තරයක් දෙන්න කලින් යශෝධ ඈ දිහාට දයාබර හිනාවක් පෑවා.
"ඔයාව බස් එකට නග්ගලා මම යන්නම්"
"ආ... මේන් වැඩක් මම පොඩි ළමයෙකද? අනික වෙනදත් ඔයා ආවයැ මාව බස් එකට නග්ගන්න?" අයුමි කිව්වේ අහක බලාගන්න ගමන්.
"වෙනදා අදයි වෙනස් නේ. සමහර දේවල් වෙනස් වුණාම හැමදේම වෙනදා වගේ තියෙන්නේ නෑ. තේරුණාද?" යශෝධ ඇහුවා.
අයුමි ඒකට මොනවත්ම කියන්න ගියේ නෑ, බස් එකක් එනවද කියලා ඈත බලාගෙන උන්නා මිස. වෙලාවටම වගේ ඈත බස් එකක් එනවා පෙනුනා.
"බස් එකක් නම් එනවා" ඈ කිව්වා ඒ පාර.
යශෝධ ඈව බස් එකට නග්ගලා, බස් එක එතනින් යනකල්ම බලාගෙන උන්නා ඈ දිහා. ඒ ඇස්වල තිබ්බ මොකක්දෝ අහිංසක අවංකකම මුසු බැල්ම දැක්කම අයුමිට ඔහු ගැන ඇතිවුණේ දුකක්.
අයුමි ඔෆිස් එකට ඇවිත් පඩිපෙල නැග්ගෙත් ඒ හැඟීම් සමුදායයි, රවීන් නිසා ඇති වුණ හිතේ කැලඹිල්ලයි දෙකම එකතු වුණ අමුතුම නොසන්සුන් හැඟීම් ගොඩක් හිතේ දරාගෙන. රවීන්ගේ වාහනේ ඔෆිස් එකේ තිබුණේ නෑ,ඒ හන්දා ඈ දැනගත්තා ඔහු තාම ඇවිත් නැතුව ඇති කියලා. ඔහු ආවම පස්සේ මොනවා වෙයිද කියලා හිතෙන්න ගත්තත් ඈ ඒ සිතිවිලි මඩගෙන වැඩ පටන් ගන්න උත්සාහ කලා. විඩෙන් විඩේ රවීන් ගැන සිතිවිලි හිතේ ඉපිලෙන අතරේ ඈ වැඩ කරගෙන ගියේ අපහසුවෙන්.
කලින් පෝස්ට් කරපු සැරේ මොකක්ද අවුලක් ගිහින් සේරම හයිලයිට් වෙලා තිබුණේ. ඒකට සමාවෙන්න ඕන. දැන් ඒක හැදුවා.
ReplyDeleteස්තූතියි නෙතූ ඔයා මේ කොටස් ටික ඉක්මනින් ඉක්මනින් දානවට. අපිට බලන් ඉන්නත් අමාරුයිනෙ. අද මම හිතුවෙ ඔයා කොටස් තුනක්ම එකවර දාලා කියලා. සැදී පැහැදී බලන්න කියලා වාඩි උනාමන වැඩේ තේරුනේ.
ReplyDeleteඅනේ මන්දා මටත් මොනා වෙලාද කියලා, දිගටම කතාව ලියාගෙනම යන්න හිතෙනවා. :) දවස් දෙකක්ම රෑ එකහමාරයි නිදියද්දි මේක ලියලා. බස් එකේ යන එන වෙලාවටත් ගොඩක් විට මම හිත හිත යන්නේ ඊලඟ කොටස කොහොමද වෙන්න ඕන කියලයි. ඒ හන්දා වෙන්න ඕන ඉක් ඉක්මණට ලියන්න මට පුලුවෙන් වෙලා තියෙන්නේ.
ReplyDeleteකතාව ඉක්මනින් අපිට ගේන්න මහන්සි වෙනවට ගොඩාක් ස්තූතියි. දවසට පනස් පාරක් විතර ඔයාගෙ Blog එකට එනව ඊළඟ කොටස දාලද බලන්න. :)
Deleteමමත් එහෙමයි.
DeleteHi, Nethu, thanks ane oyage kathawata. Oyage katha godak lassanai. Mama okkoma kiyewwa. Oyage kathawa ikmanata danna oya godak mahansi wenawa kiyalay mata therenawa. Ane eth ikmanata danna, oyata pin
ReplyDelete