Friday, July 31, 2015

විහංඟනාවී: තිස් එක්වන කොටස

"අයුමි...අපි කන්න යන්න හදන්නේ එන්න..." දවල් ප්‍රියන්ති කෝල් එකක් දෙද්දිත් ඈ උන්නේ කල්පනාබර වෙලා බොඳවුණ ඇස් වලින් යුතුව.
"මට දැන්ම බඩගිනි නෑ ප්‍රියා...ඔයාලා කන්න" අයුමි කිව්වේ බරවුණ හඬින්.
"මොකද මේ කටහඬ අමුතු වෙලා? හෙම්බිරිස්සාව හැදිලා වගේ. අසනීපයක්ද?" ප්‍රියන්ති ඇහුවා.
"ඔව් අනේ. ඔලුව චුට්ටක් බරයි වගෙ, ඒකයි මම පස්සේ කන්නම්"
"ආ...මම පැනඩෝල් දෙකක් එවන්නම්. උණු වතුර ටිකක් බොන්න. ඒත් නොකා ඉන්න එපා" ප්‍රියන්ති එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
අයුමි ආයෙම පුටුවේ පස්සට ඇදිලා කල්පනාබර වුණා. රවීන් මොනා කරන්වද කියලා ඈ දැනගෙන හිටියේ නෑ. ඒත් ඈ ආපහු තමගේ කාමරේට ආවට පස්සේ ඔහු ඒ පැත්තේවත් ආවෙ නෑ. ඈට කතා කලෙත් නෑ. ඉතින් අයුමිගේ හිත තවත් රිදුනා විතරයි.
"අයුමි...මේ තනූ. අද හවස යනවා නේද? මට නොහානුත් කෝල් කලා. ඔයා පහට වැඩ ඇරිලා යන්න එපා ඉන්න. නොහාන්ලා කිව්වා එයාලා වාහනේක එන හන්දා අපි දෙන්නව ඔෆිස් ලඟින් ගන්නම් කියලා"
දෙකට විතර තනූජා කතා කල වෙලෙත් අයුමි උන්නේ බලාගත්තු අත බලාගෙන දුකෙන්. රවීන් ඔෆිස් එකෙන් ගිය වග ඈ එතකොට දැනගෙන උන්නු නිසා.
"අනේ මන්දා තනූ" ඈ කිව්වේ කිසීම දෙයක් කරන්න ඇගේ හිතේ පිරියක් නොතිබ්බ හන්දා.
"අනේ පිස්සු නම් කියන්න එපා හොඳේ. පව්නේ අයුමි, ඉන්වයිට් කරාම නොගිහින් හොඳද. ඔන්න ලෑස්ති වෙලා ඉන්න. අපි පහයි කාලට විතර ඔතනට එනවා" තනූජා එහෙම කියලා ෆෝන් එක තිබ්බේ ආයෙම අයුමිට මොනවත්ම කියන්න ඉඩ නොතියා.
හවස තුන හතර වෙද්දි ක්ලයන්ටලාගෙන් ආපු කෝල් නිසයි, ඒ හන්දම ඉක්මණ් කරන්න ඕණවුණ වැඩ හන්දයි අයුමිට හිත හිත ඉන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒත් දවල්ටත් කාලා නොහිටපු නිසා ඈට දැනුනේ ලොකු විඩාපත් ගතියක්. ඒ එක්කම හිසත් තිබ්බේ පුපුරන්න තරම් කකියමින්. උදේ යශෝධට කිව්ව නිසා නොවෙන්න, හවස ගමන යන්න ආසාවක් වත්, පුලුවන් කමක් වත් ඈට දැනුනේ නෑ.
බැරිම තැන ඈ පහල තට්ටුවට බැස්සේ ප්‍රියන්තිගෙන් පැනඩෝල් දෙකක් ඉල්ලගන්න. පැනඩෝක් දෙක බීලා කෑම කාමරෙන් එලියට එද්දි ලොබීකේ උන්නු ප්‍රියන්තියි, හ්සඉකයි, සමින්දයි සේරමල්ල උන්නේ මොකක්දෝ දෙයක් දැකලා බය වෙලා වගේ එලිය බලාගෙන. අයුමිත් එබුනේ ඒ මොකක්ද බලන්න. එවෙලෙම වගේ පුදුමාකාර ආවේගෙකින් ඉක් ඉක්මණින් ඔෆිස් එක ඇතුලට ඇවිදගෙන එමින් උන්නේ රවීන්. ඊට පිටිපස්සෙන් ඒ තරම්ම වගේ වේගෙකින් ඇවිදගෙන ආවේ කොන්ඩේ කරල්, අයුමි විතර උස, ඒත් ටිකක් මහත, ලස්සන ගෑණු කෙනෙක්. අයුමිගේ හිත නතර වුණා වගේ ඈට දැනුනා. 'ඒ කවුද?' ඒ ගෑණු කෙනා යද්දි සමින්දලා ඈට හිස වනලා යන්තම් හිනා පාද්දි අයුමි බලාගෙන උන්නේ ගල් වෙලා වගේ. තමන් දිහා බලන්න තප්පරේකට යොමු වුණ ඒ රවුම් ඇස්, තරහින් උල් වුණ දෙතොල්, කොහේදිදෝ දැකලා පුරුදුයි වගේ කියලා ඈට කල්පනා වුණා. කොහොමින් හරි දෙන්නම උඩ තට්ටුවට වැදිලා නොපෙනී ගියාට පස්සේ අයුමි ප්‍රියන්තිලා දිහා බැලුවා.
"පූර්ණි මැඩම්...බොස්ගේ කලින් වයිෆ්" එහෙම කිව්වේ සමින්ද.
සමින්දගේ වචන අයුමිට ඇහුණේ හීනෙන් වගේ. එතකොට 'ඒ ද පූර්ණි?'
අයුමිගේ හිත ආයෙම නොසන්සුන් වුණා. රවීන් උදේ ඉඳන් තරහින් උන්නේ පූර්ණි ඇවිත් හන්දද කියලත් ඈ කල්පනා කලා. අමාරුම වැඩ වුණේ කිසි වෙන්සක් නොපෙන්වා ඔෆිස් එකේ අය ඉස්සරහදි හැසිරෙන එක.  පස්සේ සමින්ද හසිකත් එක්ක ආපහු තමන්ගේ ඔෆිස් කාමරේට යන්න ගියාට පස්සේ, ලොබි එකේ ඉතිරි වුණේ ප්‍රියන්තියි, අයුමියි විතරයි.
"මැඩම් හිටි ගමන් ඔහොම එනවා. එදාට ඉතිං මෙතන ගිනි අවි සහ ගිනි කෙලි තමා. අනේ මන්දා අයුමි, මට නම් හිතාගන්න බෑ අවුරුදු ගනන මැරීගෙන ආදරේ කරලා, බැඳලා, ළමයිනුත් හම්බවුණාට පස්සේ මිනිස්සු කොහොම මෙහෙම වෙනස් වෙනවද කියලා. මේවා දැක්කම බඳින්නත් බයයි...නැද්ද හා?" ප්‍රියන්ති කිව්වේ පුටුවකට බරවෙන ගමන්.
අයුමි මුකුත් කිව්වේ නෑ ඒ කතාවට.
"ඔයා උඩට යන්න එපා දැන්ම. මගදි හම්බුණොත් පූර්ණි මිස් ඔයාටත් ගහයි. එක දවසක් ඒ වගේ මෙහේ මහා ගිනි විජ්ජුම්බරයක් වුණා අර රීටා ගෑනි එක්ක. එතකොට මේ දෙන්න වෙන් වෙලා ඒත් මම හිතන්නේ ඩිවෝස් වෙලා නෑ. එතකොට උඩ තට්ටුවේ මොකක් හරි renovation එකක් නිසා බොස් හිටියේ සමින්දලා ඉන්න රූම් එකේ. පූර්ණි මැඩම් එද්දි, රීටා මෙහේ ඇවිත් යන්න ලෑස්ති වෙලා ලොබි එකේ. ඇවිත් දුන්නා කම්මුල් පාරක්, දෙයියනේ මම ගල් ගැහුනා. එතකොට කට්ටිය පැනලා රණ්ඩුව බේරුවා. පූර්ණි මිස්ගේ බෝයි ෆ්‍රෙන්ඩුත් කාර් එකේ ඉඳලා දුවගෙන ආවා මට මතකයි. මේවා මහා පිස්සුයි අයුමි. සල්ලි තිබ්බට ජීවිත හරි විකාරයි මේ මිනිස්සුන්ගේ. කලකිරෙනවා...නේද?" ප්‍රියන්ති අහද්දි අයුමි උන්නේ ගල් ගිල්ලා වගේ අහක බලාගෙන.
රවීන් එක්ක රණ්ඩු වුණ එකේ දුක වසාගෙන ඇගේ හිතේ දැන් පැතිරෙමින් තිබ්බේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්. තමන් මේ පැටලිලා ඉන්නේ පඹගාලකදෝ කියලා ඈට නොහිතුණා නෙවෙයි.
"ඔයා මොකද මේ බය වෙලා වගේ ඒ පාර?" ප්‍රියන්ති ඇහුවේ ඇගේ හැඟීම් මූනෙන් පෙනුන හන්දද මන්දා.
"මට බෑග් එක ගන්න යන්නත් මොකක්ද වගේ ප්‍රියා" අයුමි කිව්වේ වෙන කිය්න්න දෙයක් මතක් නොවුණු තැන.
"යං අපි දෙන්නම ගිහින් අරන් එමු. දැන් පහටත් ලඟයි නේ"
ප්‍රියන්ති කැමත්තෙන්ම ඉදිරිපත් වුණ හන්දා අයුමිට සිද්ධ වුණා ඈ එක්ක උඩ තට්ටුවට යන්න.
"It will never happen…”
කාමරේ ලඟට යද්දිම දෙන්නටම ඇහුණේ රවීන්ගේ උස් හඬ. දෙන්නම මූණෙන් මූණ බලාගත්තා. පස්සේ අයුමි දනි පනි ගාලා ගිහින් බෑග් එක අරගෙන, කම්පියුටරේ වහලා කාමරෙන් එලියට එන්න ආවා. පූර්ණි පහලට ඇවිත් පිටවෙලා යද්දි අයුමි උන්නේ ලොබි එකේ, තනූජලා එනකල් බලාගෙන.  පූර්ණි ඈ දිහාවත් නොබලා ඔෆිස් එකෙන් එලියට බැහැලා යන්න ගියා. පූර්ණිගේ පිටදිගේ වැටුණ ලස්සන කැරලි කොණ්ඩෙයි, ඇඳගෙන උන්නු රෝසපාට දිග සිල්ක් ගවුමයි එකම තාලෙන් ඇගේ වේගවත් ගමන එක්ක පැද්දෙන හැටි අයුමි දැක්කේ යන්තමින්. ඈට සුසුමක් හෙලුණා ඉබේටම. ඒ එක්කම හිතට පිවිසුණේ ලොකු බරක්. රවීන්ගෙයි, තමනුයි අතර තියෙන දේ ඈ දන්නවා නම් මොනා වේවිද කියලා ඈට හිතාගනන්වත් බැරිවුණා. ඒ එක්කම මොකක්දෝ පුංචි හීනමානයක් පූර්ණි දැක්කට පස්සේ අයුමිත දැනෙමින් තිබුණා. ඈ ඉස්සරහදි තමන් හැම අතකින්ම කොච්චර නොගිනිය හැකි තරම්ද කියලා ඈට හිතුණ හන්දා. ඒ පාර ඇගේ හිතේ ආයෙම පිරුණේ ආත්මානුකම්පාවක් එක්කම් ප්‍රශ්ණාර්ථ ගොඩක්. 'මොනවද මං මේ කරන්නේ? ඇයි මම මේ දේවල් වෙන්න ඉඩ දුන්නේ?'
හිත හිත ඉන්න අතරේ තනූජගෙන් රිං කට් එකක් එද්දිම වගේ රවීන් පඩිපෙල මුදුනේ පෙනී හිටියා. ඔහු දැක්කම ආයෙම ඇගේහිත විසිරුණා. ඒත් ඈඔහු දිහා යන්තම් බලලා එලියට එන්න ආවේ තනූජලව මුණගැහෙන්න. රවීන්ට එවෙලේ මූණදෙන්න උවමනාවක් ඈට තිබ්බත් ඒකට හැකියාවක් ඈට තිබුණේ නෑ.
"අයුමි ඕෆ් වුණාද?"
දොරකොඩ ලඟ හිටගෙන උන්නු අයුමිගේ කන ලඟින්ම රවීන්ගේ හඬ ඇහෙද්දි, තනූජලා උන්නේ ඔෆිස් එක ඉස්සරහ.
"ඔව්..." අයුමි හිස වැනුවා ඒත් ඇයි කියලා ඈ ඇහුවේ නෑ.
ඒත් රවීන්ට ඒක තේරුන වගක් පෙනුනෙත් නෑ, මොකද ඔහු එවෙලේ බලාගෙන උන්නේ තනූජලා ආපු වාහනේ දිහා හන්දා.
"යන්නං" අයුමි එහෙම කිව්වේ තනූජා වාහනේ ඉස්සරහ ඉඳන් ඈට අත වනද්දි.
"කවුද ඒ?" රවීන් ඇහුවා.
"යාලුවෝ...මම යන්නම්"
අයුමි එහෙම කියාගෙන නවත්තලා තිබ්බ පුංචි කාර් එක දිහාට එන්න ආවා. ඈ ලඟට යද්දි පස්සේ දොරෙන් එලියට බැස්සේ යශෝධ. බැහැලා ඈ නැග්ගට පස්සේ දොර වහලා ඇවිත් ඔහු අනික් පැත්තෙන් නැගලා අයුමි ලඟින් වාඩි වුණා. වාහනේ පිටත් වෙද්දි අයුමි හිස යන්තම් උස්සලා බලද්දි රවීන් තාමත් උන්නේ ඉස්සරහ දොර ලඟ. ඒ මූණේ තිබ්බ හැඟීම් කියවන්න ඈට තේරුණේ නෑ. ඒත් ඈට දැනුනා ඔහු උන්නේ හැඟීම් පාලනය කරගෙන වග. ඇගේ හිත දුක් වුණේ ඒ හිත රිදුනාවත්ද කියලා හිතෙද්දි. උදේ මොනා කිව්වා කලත්, රවීන් ගැන ඇගේ හිතේ අහිතක් තිබුණේ නෑ ආදරයක්ම මිස. තනූජලා මොන මොනවදෝ කියලා හිනාවෙද්දි ඈ බොරු හිනාවක් පාලා හැඟීම් හංගාන්න උත්සාහ කලේ ලොකු සුසුමක් හෙලලා.
***
"අයියා කාර් එක දුන්නේ දාහක් නීති දාලා, ඒ හන්දා දොරක් වත් හයියෙන් වහන්න එපා මගේ දෙයියෝ ඈ"
නොහාන් එහෙම කියමින් උන්නේ තනූජට. අයුමි එවෙලේයි දැනගත්තේ නොහාන් අරන් ඇවිත් තිබුණේ ඔහුගේ අයියගේ වාහනේ වග. තනූජා ඒකට මොනවදෝ කියනවා ඇහුණත් අයුමි උන්නේ වෙනම ලෝකෙක.
"මේ ඒක නෙවෙයි අයුමි...කවුද අර එන්න ලං වෙලා ඔයා ලඟට ඇවිත් කතා කලේ, බොස් ?" නොහාන් ඊලගන්නට අයුමිගෙන් ඇහුවා.
"ඔව්..."
"අර්ජුන් රාම්පාල් වගේ ඈතට දැක්කේ" නොහාන්ට එහෙම කියන්න මොන එහෙකට හිතුනද මන්දා. ඒත් එවෙලේ ඒ වචන ඇති කරපු වෙනස අයුමිට තේරුණේ නෑ.
"මොකක්ද බොස්ගේ නම?" නොහාන් ආයෙම ඇහුවා.
"ඒ...මෙයා බලන්නකෝ. මොකදට ඔච්චර විස්තර අහන්නේ?" ඒ අතරේ තනූජා නොහාන්ට පල් එක දැම්මා.
"අහන්නේ දැනගන්නනේ. මට ඒ ඔෆිස් එක නිකං දැකලා පුරුදු තැනක් වගේ. මොකක්ද නම කියන්නකෝ" නොහාන් කිව්වා.
"මේ...රවීන් සේනානායක" අයුමි හෙමින් උත්තර දුන්නා.
"රවීන් සේනානායක...? රවීන් කාශ්‍යප සේනානායක?" නොහාන් ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්" අයුමි උත්තර දුන්නම පුදුම වුණේ නොහාන් විතරක්ම නෙවෙයි.
"සීරියස්ලි...හා. ඔයා මාර තැනකනේ වැඩ කරන්නේ. මේ ඔයා දන්නවද එයා අපේ හොටෙල් ස්කූල් එකේ lectures දෙකකට ආවා හොටෙල් Interior Deco ගැන. මම දැනගෙන හිටියේ නෑනෙ ඔයා වැඩ කරන්නේ එතන කියලා. ඔයා එතන ඩිසයිනර් කෙනෙක්ද?" නොහාන් ඇහුවේ උද්‍යෝගයෙන්.
"ඔව්..."
"ඔයාගේ බොස්ගේ තාත්තත් හොඳ ආකිටෙක්ට්. ඒත් එයාලගේ මේන් බිස්නස් එක shipping ලු. රහල් සේනානයකනේ, ඔයාගේ බොස්ගේ අයියා?" නොහාන් රවීන්ගේ හත්මුතු පරම්පරාවම දන්න පාටකුයි පෙනුනේ.
"ආ...අනේ මම දන්නේ නෑ" අයුමි කිව්වා.
"උඹ කොහොමද එච්චර දේවල් දන්නේ?" ඒ පාර එහෙම ඇහුවේ යශෝධ.
"නෑ මම ඒ lecure එක තිබ්බ දවස්වල net එකේ ටිකක හොයලා බැලුවා කවුද මේ  කියලා. කොහොමත් මම Interior Decoration subject එකට ආසයිත් නේ"
"මට නම් මතකත් නෑ ඔය කියන ලෙක්චර් එක" අයුමිට ඇහුණා යශෝධ එහෙම කියනවා.
"මෙයාගේ මොලේ මේ දවස්වල පිරිලා තියෙන්නේ වෙන වෙන එව්වනේ. ඉතිං කොහෙද එව්වා මතක" ඒ යොහාන්ගේ උත්තරේ.
ඒත් අයුමිට ඒ කිසි දෙයක් ඔලුවට ගියේ නැහැ. අයුමි උන්නෙ ආයෙම කල්පනාබර වෙලා.  ඒ රවීන්ගේ පවුල වත්, අතීත විස්තර ගැනවත් නෙවෙයි, ඈ කල්පනා කලේ රවීන් දැන් මොනා කරනවා ඇතිද කියලා.
"මේ ඒක නෙවෙයි, කෝ අර එනවා කිව්ව යාලුවෝ දෙන්නා?" හිටි ගමන් තනූජා මතක් වුණ දෙයක් ඇහුවා.
"ඒ දෙන්නා එතනට එනවා, එතන ලඟ පාත ඒ දෙන්නම ඉන්නේ" නොහාන් කිව්වා.
කට්ටිය කයිය ගහන අතරේ අයුමි ෆෝන් එක අතට ගත්තේ රවීන් කෝල් කරලාවත් ඇත්ද බලන්න. ඒත් ඇගේම වෙලාවට ෆෝන් එක තිබ්බේ ඕෆ් වෙලා. දවසේ තිබ්බ කලබලේ හන්දා චාජ් කරන්න ඈට අමතක වෙලා තිබුණා.
"මොකෝ ෆෝන් එක දිහා බලාගෙන සුසුම් හෙලන්නේ?" යශෝධ හෙමින් ඇහුවේ ඉස්සරහ තනූජයි, නොහානුයි මොකක්දෝ ගැන මහා හයියෙන් වාද කරමින් ඉන්දැද්දි.
"ෆෝ එක ඕෆ් වෙලා, බැටරි බැහැලද කොහෙද?" අයුමි කිව්වා.
"ආ...ඔයාට කාට හරි කෝල් එකක් ගන්න ඕන නම් මගේ ෆෝන් එකෙන් ගන්න" යශෝධ කිව්වේ ඔහුගේ ෆෝන් එක අදින ගමන්.
"අනේ නෑ යශෝධ ඕන නෑ. මම මේ බැලුවේ ගෙදරින් කෝල් එකක් ඇවිත්ද කියලා. කමක් නෑ මම බෝඩිමට ගිහින්ම බලනවා දැන්" ඈ සුහද වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔයා අද මැලවිලා වගේ..." නිහඬවම ෆෝන් එක ආපහු සාක්කුව දාගත්තු යශෝධ කිව්වේ මොහොතකට පස්සේ.
"අනේ ඔව්. අද දවස ටිකක් වැඩ වැඩියි. මගේ හිස කකියන්න අරන් තිබ්බේ හවස් වෙද්දි" අයුමි බාගෙට බොරුවක් කිව්වා.
"ආනේ ඇත්තද? ඔලුව ගොඩක් රිදෙනවද?" යශෝධ ඇහුවේ දයාබරව.
"නෑ නෑ. ඒ තරම්ම නෑ. ටිකකින් හරියයි. මම පැන්ඩෝල් බීලා ආවේ.." අයුමි බොරුවක් කිව්වා.
යශෝධගේ මේ සමීපවීම, දයාබරත්වය, මේ සේරම අයුමිගේ හිතට කෙමෙන් කෙමෙන් එකතු කරමින් තිබුණේ නොසන්සුන්කමක්. දියත උයනට ගිහින් කෑම කන්න ගත කරපු මුලු වෙලෙත්, ඊට පස්සේ   පැත්තක වාඩි වෙලා කතා කරමින් උන්නු මුලු වෙලෙත් යශෝධ උන්නේ අයුමි ලඟින්මයි.
තනූජලයි, ආපු අනෙක් ගෑණු ළමයි දෙනන්යිත් හිතලම වගේ තමන් දෙන්නව තනි කලාදෝ කියලත් අයුමිට එක වෙලාවක සැකයක් උපන්නා.  යශෝධ අයුමිගෙන් පවුලේ විස්තර, ඉස්කෝලේ, ජොබ් එක, ඔය වගේ එක එක දේවල් ගැන අහද්දි අයුමි කලේ ඒවට පුලුවන් තරම් කෙටියෙන් උත්තර දුන්නු එක විතරයි. යශෝධ කියපු දෙයක් ඇරෙන්න අයුමි කිසි දෙයක් ගැන ඔහුගෙන් ඇහුවේ නෑ. ඔහුට එක අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලයි, අම්මයි, තාත්තයි දෙන්නම පෙන්ෂන් ගිය ගුරුවරු කියලයි ඔහු ඈට කිව්වා. අයුමිගේ විස්තර අහද්දි ඇගේ තාත්තා නැති වග දැනගත්තම යශෝධ දුක් වුණේ අවංකවම.
"ඒ අය වෙනුවෙන් අපට කරන්න පුලුවන් ලොකුම දේ, අපේ ජීවිත ලස්සනට ගොඩනගාගෙන, වැදගත් විදියට ජීවත් වෙන එකයි" කියලා යශෝධ කිව්වම ඒ වචන ඇගේ හිතට දැනුනේ තියුණුවට.
ඊට පස්සේ මුලු වෙලාවෙම ඈ හිත හිත උන්නේ ඒ ගැන. කොහොමින් හරි අන්තිමේදි කට්ටියම බෝඩිම් වලට ආපහු සේන්දු වෙද්දි රෑ හතහමාරත් පහු වෙලා තිබුණා. යශෝධ අයුමිට ගුඩ් නයිට් කියන්න මොහොතකට තනිකරගත්තු වෙලේ මොකක්දෝ හේතුවකට ඈගේ දෑස් නැවතිලා තිබ්බේ ඔහුගේ දෑස් මත. කාමරේට ආවට පස්සෙත්  අයුමි හිතමින් උන්නේ ඒ ගැන. ඒ ඇස්වල තිබ්බේ දයාබර බවක් එක්කම, අවංකබවක් කියලා ඈට හිතුණා. ඔහුගේ හිනාවෙත්, කතා කරපු වචන වලත් ඒ ගතිය එහෙමම තිබුණා කියලා ඈට දැනුනා. ඒත් දයාබර බව ඈව දැනටත් අහේතුකවම නොසන්සුන් කලා.
ඒ සිතිවිලි වල බලවත්කම හන්දා තනූජාගේ හැසිරීමේ තිබ්බ වෙනස අයුමිට තවම පෙනුනේ නෑ. ෆෝන් එක චාජ් වෙන්න ගහලා, නිදන්න ඇඳ හෙම හදලා ඉවර වෙද්දි  මූණකට සෝදගෙන, ඇඳුම් මාරු කරගෙන ඇඳේ වාඩි වෙලා උන්නු තනූජා ඈ දිහා බැලුවේ බැරෑරුම් විදියට. ඒ එක්කම ඒ ඇස්වල තිබුණේ කේන්තියක්ද?
"අයුමි..."
තනූජගේ වියලි ස්වරය ඇහුණම අයුමි ඈ දිහා බැලුවේ මදක් පුදුමෙන්.
"?"

"මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා, හැබැයි මට ඔයා ඇත්තම කියන්න ඕන"

3 comments:

  1. මට හිතෙන්නෙම රවීන් පව් කියලා :/

    ReplyDelete
  2. The relationship between Ayumi and Raveen is already complicated without a love triangle. Therefore wish the story wouldn't go there.

    ReplyDelete