Thursday, August 13, 2015

විහංඟනාවී: තිස් හත්වෙනි කොටස

කොහේදෝ ඉඳලා හමාගෙන ආපු හුලඟකින් අයුමිලා නිදාගෙන උන්නු කාමරේ ඇර්ලා තිබුණ ජනේලේ හයියෙන්ම වැහුණම, නින්දත් නොනින්දත් අතර උන්නු අයුමි ඇහැරුණේ ගැස්සිලා වගේ. ඈ යන්තම් ඇස් ඇරලා බලද්දි හාත්පසම තිබ්බේ අඳුරේ ගිලිලා. ඈ නිදිමතේම ලඟ තිබ්බ ෆෝන් එක අරන් වෙලාව බලද්දි ඒකේ සටහන් වෙලා තිබුණේ උදේ පහ. අයුමි ආයෙම ඇස්පියාගත්තත්, ඈට එකපාරටම නින්දක් ආවේ නෑ. ඇගේ මතකෙට හෙමින් හෙමින් ආවේ කලින්දා තනූජා එක්ක වුණ සිද්ධිය. ඒ ගමන ඈ යන්තම් හැරිලා තනූජගේ ඇඳ දිහා බැලුවා. අඳුරේ ඈව පෙනුනේ කලුපාට හෙවනැල්ලක් වගේ. ඊයේ  රෑ වෙනකල් ඇහැරිලා කල්පනා කරමින්, අඬමින් උන්නු හන්දා ඈට හොඳටම නින්ද ගිහිල්ලා වෙන්න ඇති කියලා අයුමි හිතුවේ, පුංචි සංවේගයකින් හිත වැහෙද්දි. ඒ තනූජා ගැන. එවෙලෙම වගේ අයුමිට ඇහුණා එලියේන් සෝ ගාලා සද්දයක්. 'වහිනවද?' ඈ ඒ පාර ඇඳෙන් බැහැලා ගියේ හුලඟක් ඇවිත් ආයෙම ජනේලේ වදීවි කියලා ඒක වහලා දාන්න. ඈ එලියට එබිලා බලද්දි, පාරේ විදුලි ලාම්පු එලියෙන් ඈට පෙනුනා වැස්ස වහින හැටි. ජනේලේ වහලා ඇවිත් ඈ ආයෙම ඇඳේ ගුලි වුණේ කම්මැලිකමින්.
"අයුමි...අයුමි..අද වැඩට යන්නේ නැද්ද?"
අමුතුම නින්දක උන්නු අයුමි එක පාරටම ගැස්සිලා වගේ ඇහැරුණේ තනූජාගේ කටහඬට. බාගෙට නින්ද යාගෙන එද්දි කවුරු හරි තමන්ව හොල්ලලා ඇහැරෙව්වා වගේ, අපහසුතාවයක් අයුමිට දැනෙමින් තිබ්බා, නිදිමතත් එක්කම.
"මේන් තේ එක ගෙනවා. නැගිටින්න" තනූජා ආයෙම කිව්වා.
"කීයද අනේ වෙලාව?" අයුමි නැගිට්ටේ බාගෙට ඇස් ඇරගෙන.
"හයමාරයි"
"ම්ම්...අනේ...ඔය තාම වහිනවද ඇහෙන්නේ?" අයුමි ඇඳ ලඟ තිබ්බ වතුර වීදුරුව ගන්න ගමන් එලිය බලන්න උත්සාහ කරමින් ඇහුවා.
"ඔව්. මහා වැස්සක් වහිනවා" තනූජා කිව්වම අයුමි ඈ දිහා බැලුවා.
සාමාන්‍යයෙන් තනූජා අයුමිට කලින් යන්න ඇඳගෙන ලෑස්ති වෙනවා. ඒත් අද තනූජා උන්නේ නයිටිය පිටින්මයි තාමත්.
"ඔයා අද වැඩට යන්නේ නැද්ද?" අයුමි ඇහුවේ ටිකක් පුදුමෙන්.
"නෑ..." තනූජා කිව්වේ ඇහෙන නෑහෙන හඬින්.
"ඇයි?"
"ගියා කියලා හිත හදාගෙන වැඩ කරන්න මට බෑ අයුමි" තනූජා කිව්වා.
අයුමි ඈ දිහා බලාගෙන උන්නේ දුකකින්.
"තනූ...මම ගිහින් ලොක්කයියට කතා කරන්නද?" අයුමි ඇහුවා ඉන්පස්සේ.
ඒත් තනූජා ඒ නම ඇහුණ වගක්වත් නොපෙන්නා ඔහේ ඇඳ උඩ වාඩි වෙලා ඉඳගෙන හිස වැනුවා.
"එපා. දැන් මොනා කතා කරන්නද?"
"එහෙම කියන්න එපා තනූ. මොනා හරි කරලා අපට එයාගේ හිත වෙනස්කරගන්න පුලුවන් වුණොත්?"
" එයාගේ හිත එයා හිතලා වෙනස් කරගන්න ඕන එකක් මිස, අපි ගිහින් බලෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි අයුමි. අනික එයා මට තීරණයක් ගන්න කියලා කිව්වත් එක්කනේ" තනූජා කිව්වේ කලකිරීමකින් වගේ.
අයුමි තනූජා දිහා බලාගෙන උන්නේ අදහාගන්න බැරිව වගේ.
"ඉතිං...එහෙමයි කියලා ඔයා ඒක එහෙමම නැතිවෙන්න ඉඩ දීලා බලන් ඉන්නවද තනූ? කවුද දන්නේ ලොක්කයියා ඒක කලේ හිතට එකඟව නෙවෙයිද කියලත්" අයුමි ඇහුවා.
"මම වෙනා මොනා කරන්නද?"
"තනූ, මේ අහන්න..."
"මම ආයෙම එයාගේ දෙපතුල ලඟට ආදරේ හිඟාගෙන යන්නේ නෑ අයුමි. මාවා එපා කියලා ගියාට පස්සේ මට ආයෙම එහෙම යන්න බෑ. මට කරදර කරන්න එපා" තනූජා ආවේගයකින් වගේ එහෙම කියලා ආපහු ඇඳට වැටිලා කොට්ටේ බදාගත්තා. අයුමිට දැනගෙන උන්නා ඈ අඬන වග.
කොහොමින් හරි වෙලාව උදේ හත වෙනකල්ම අයුමිත් වැඩට යන්න ලෑස්ති වෙලා උන්නේ නෑ. තනූජා තාමත් උන්නේ ඇඳේ මුනින් අතට දිගාවෙලා කල්පනා කරමින්. මොකක් හරි හේතුවකට අයුමිට ඈව බෝඩිමේ තනියෙම දාලා යන්න හිත දුන්නේ නෑ. අනික තනූජා මෙහෙම දුක් වෙන්නෙත් තමන්ගෙම කෙනෙක් නිසා හදා ඈට තවත් ඒ ප්‍රශ්ණෙට තමනව ඈඳිලා කියලා ඈට හිතුණා. ඒ හන්දා ඈ තීරණය කලා තනූජා එක්ක අද බෝඩිමේ නවතින්න.
"තනූ...උදේට කාලා, වැස්ස නතර වුණාම අපි යමුද පන්සලකට...ම්ම්?"
ඇඳේ වැතිරිලා උන්නු තනූජාගෙන් අයුමි ඇහුවේ ඈ ලඟට ගිහින් හිස අතගාන ගමන්.
"ඔයා වැඩට යන්නේ නැද්ද?" තනූජා ඇහුවේ නොහැරීම.
"නෑ..."
"ඇයි..?" තනූජා ඒ පාර හිස හරවලා ඇහුවා.
අයුමි උත්තරයක් දෙන්න කල් ගද්දි තනූජට තේරෙන්න ඇති අයුමිගේ හිතේ තිබුණ දේ.
ඈ ඒ පාර අයුමි දිහාට හැරුණේ ඇස් පිහ පිහ. ඒ වෙද්දිත් ඇගේ ඇස් තිබුණේ අඬලම ඉදිමිලා.
"අනේ එපා අයුමි. ඔයා වැඩට යන්න.මම හන්දා ඔයා වැඩ පාඩු කරගන්න එපා" තනූජා කිව්වා.
"දැන් යන්න වෙලාවකුත් නෑ. අපි වැස්ස නතර වුණාම පන්සලකට යමු. ඔයා ඔහොම ඉන්න මම පහලට ගිහින් කෑම අරගෙන එන්නම්" 
ආයෙම තනූජා මොනවත් කියන්න කලින් අයුමි ෆෝන් එකත් අරන් පහලට බැස්සේ කෑම අරගෙන, ඒ ගමන්ම රවීන්ටත් කෝල් කරන්න හිතාගෙන.
"මොකද ළමයෝ අද වැඩට යන්නේ නැද්ද?" අයුමි පහලට බහිද්දි බෝඩිමේ ඇන්ටි අයුමිලව බලන්න උඩහට එනවා.
"ආ...ඔව් ඇන්ටි අද යන්නේ නෑ. මේ තනූට පොඩ්ඩක් සනීප නෑ වගේ"
"ආ.. ඒ මක් වෙලාද?"
"මම හිතන්නේ උණ හෙම්බිරිස්සාවද කොහෙද?"
"ආ..එහෙමද? ඒත් මම බැලුවා ඊය කලින්ම ආවේ මොකදත් කියලා. බෙහෙතක් ගන්න යන්න වෙයිද?" ඇන්ටි ඇහුවේ අයුමිලගේ කාමරේ දිහාට එබෙන ගමන්.
"ඔව් ඇන්ටි. උදේ කාලා මම එයාව එක්ක ගිහින් එන්නම්. වැස්සේ යන්නත් බෑ. නැවතුනාමම යනවා" අයුමි කිව්වා.
"හා හා හොඳයි. මම කෑමත් බැන්දා"
"යමු ඇන්ටි මම එන්නම් කෑම දෙක ගන්න" අයුමි ඇන්ටිව ආයෙම හරවගෙන පහලට එන්න ආවා.
"හපොයි මහ පුදුම මුරුගසන් වරුසාවක් නේ වහින්නේ" ඇන්ටි කිව්වේ සාලේ ජනේලිකින් එලියට එබෙන ගමන්.
"ඔව් අප්පා. වැඩට යන්න වුණත් කොහොම යන්නද මන්දා" අයුමිත් කිව්වා.
"ඈ ළමයෝ මම මේ අහන්නම්යි හිටියේ, කවුද අර සමහර දාට ඔය ළමයව ගෙනැත් බස්සන මහත්තයා? එදත් කතා කරලා ගියාට කවුද කියලා මට වැඩිය නිච්චි නෑ"
අයුමි කෑම දෙක අරගෙන එන්න හදද්දි, එක පාරටම ඇන්ටි එහෙම ඇහුවම අයුමි උන්නු තැනම නැවතුණා.
"ආ...ඒ, මේ අපේ ඔෆිස් එක මේ...මගේ බොස් ඇන්ටි"
"හැබෑට...ඉතිං ඔය ළමයගේ ඔෆිස් එකේ driver ලා කාරිය නැද්ද, ඒ මහත්තයම ගෙනැත් දාන්නේ?"
ඇන්ටි ආයෙම ඇහුවම අයුමිට දැනුනේ පුංචි නොරිස්සුමක්. 'ඇන්ටිටත් ඕන්නෑති එකක් නෑ'
"driver ලා ඉන්නවා, මේ අපි සමහර දාට එලියේ මීටින් වලට යද්දි අපේ සර් එක්ක තමා යන්නේ. එතකොට driver යන්නේ නෑ. ඉතිං එහෙම දවසට සර් ගෙනැත් දානවා"
"අපරාදේ කියන්න බෑ එහෙනම්, හොඳ මහත්තයෙක් නොවැ" ඇන්ටි කිව්වේ හිනාවක් පාලා.
අයුමි ඇන්ටිට යාන්තම් හිනාවක් පාලා ආයෙම මුකුත් අහන්න කලින් උඩට එන්න ආවා.
තනූජා කෑම එක අනමින් ඉන්දැද්දි, කන අතරෙම අයුමි ෆෝන් එක අතට ගත්තේ රවීන්ට කතා කරන්න. ඒත් එතකොටම වගේ රවීන්ගෙන් කෝල් එකක් ආවා.
"හලෝ..." අයුමි දෙපාර වැදෙද්දිම කතා කලා.
"ආ...ෆෝන් එක අතේම තියාගෙනද හිටියේ?" රවීන්ගේ හඬ එහාපැත්තෙන් ඇහුණා.
"නෑ නෑ. මම මේ දැන් කෝල් එකක් ගන්න හිතුවා විතරයි" අයුමි කිව්වේ යන්තම් හිනාවෙලා.
"ඒ මොකද? කොහෙද ඔය බස් එකේද ඉන්නේ?" රවීන් ඇහුවා.
"නෑ..මේ...අද මට නිවාඩුවක් ගන්න ඕන"
"නිවාඩුවක්?" රවීන් ඇහුවේ එක පාරටම.
"ඔව්. මගේ රූම් එකේ යාලුවට පොඩි ප්‍රශ්ණයක් වෙලා. ඉතිං එයාව තනියෙම දාලා එන්න විදියක් නෑ" අයුමි කිව්වා.
"ඇයි, මොකක්ද වෙලා තියෙන්නේ? කරදරයක්ද?" රවීන්ගේ හඬේ තිබ්බේ හදිසියක්.
"නෑ...මම හම්බුණාම කියන්නම්"
"ම්ම්...ඔයා සිස්ටම් ලොග් වෙලා ඇප්ලයි කරන්නකෝ. මටත් අද ඔෆිස් යන්න වෙන්න පරක්කු වෙලා. ශාරට උණ"
"ආනේ...ඒ මොකද ඒ?" අයුමි ඇහුවේ කලබලෙන්.
"මේ වයිරස් උණක්.පංතියේ ගොඩකට තියෙනවලු. අනේ මන්දා මේ ළමයට මොන අපලයක්ද කියලා" රවීන් කිව්වේ සිත්තැවුලෙන් වගේ.
ඒ පාර අයුමිට ශාරව බලන්න යන්න ලොකු උවමනාවක් දැනුනා.
"ඔයා එතකොට හවස් වෙලා ඔෆිස් යනවද?" අයුමි ඇහුවා.
"යන්න එපැයි. ඔයත් නෑනෙ"
"මේ... යාලුවාගේ වැඩේ ඉවර වෙලා මම එන්නද ශාරව බලන්න?" අයුමි ඇහුවේ නැවතිල්ලේ.
"ඔයා කොහෙද යාලුවා එක්ක කොහේ හරි යනවද?"
"අපි පන්සලට යනවා"
"කොහෙද?"
"දුරක නෙවෙයි, මේ ලඟට"
"කීය වෙයිද ගිහින් එද්දි"
"ම්ම්...දහය එකොලහ වෙයි මම හිතන්නේ"
"හ්ම්ම්ම්...මම එකට දෙකට විතර ඔෆිස් යන්න ඉන්නේ. ඔයා එහෙම නම් ත්‍රීවීල් එකක් අරන් එනවද? මට එන්න විදියක් නෑ තාත්තා උදේ වරුවේ ගෙදර නෑ. ආයට දාලා එන්න බෑ ශාරා කෑ ගහනවා" රවීන් ඇහුවා.
"මං එන්නම්" අයුමි කිව්වා.
****
අයුමිලා පන්සලට යන්න එලියට බහිද්දි වැස්ස තිබුණේ පායලා. වෙනදට තොර තෝංචියක් නැතුව දොඩවන තනූජා අද මේ වගේ නිහඬ වෙලා ඉද්දි අයුමිට දැනුනේ මොකක්දෝ පාලුවක් වගේ එකක්. ඈ තනූජගේ අතකින් අල්ලගත්තා.
"ලොක්කයියා ඊට පස්සේ කතා කලේම නැද්ද?" අයුමි හෙමින් ඇහුවා.
"රිං කරලා තිබුණා. මැසේජ් එකකුත් එවලා තිබ්බා. ඒත් මම බැලුවේ නෑ" තනූජා කිව්වා.
අයුමි හීන් සුසුමක් හෙලුවා.
"ඉතිං ඔයා හිතුවක්කාර වෙනවනේ. එයා කතා කරේ ඇයි කියලා බලන්න එපැයි" ඈ ඉන්පස්සේ කිව්වා.
"සමාව ඉල්ලන්න මිස වෙන මොකටද එයා කතා කරන්නේ. මැසේජ් එකෙත් උඩින්ම තිබ්බේ ඒක." එහෙම කියලා තනූජා ලොකු හුස්මක් හෙලුවේ කඳුලු නතර කරගන්න වගේ.
"දැන් ඒ කියන්නෙ  ඔයා ලොක්කයියව අමතක කරන්න හිත හදාගෙනද ඉන්නේ?" අයුමි ඇහුවා.
තනූජා ඒකට උත්තරයක් දෙන්න කල් ගත්තා.
"මම දන්නෑ අයුමි. මම මොනවත් හිතන්නෙවත්, කරන්නෙවත් නෑ. වෙන දෙයක් වෙචාවේ කියලා ඔහේ ඉන්නවා" ඈ කිව්වේ කලකිරීමකින් වගේ.
"මම දන්නෑ ඔයාට මොනවා කියන්නද කියලා. මට ඔයාගේ හිතේ දුක තේරෙනවා ඒත්" අයුමි කිව්වා.
"අයුමි...ඕනම දේකට ඕනවට වඩා බැඳෙන්න එපා. මොකද අපි දන්නෑ කොයි වෙලේ ඒ දේ අපට නැතිවේවිද කියලා. අනික කාවවත් විශ්වාස කරන්න එපා. සමහර වෙලාවට තමන්ගේ පහසුව වෙනුවෙන් අනුන්ගේ හිත් කඩන්න දෙපාරක් නොහිතන මිනිස්සු අපි අතරේ වැඩියි" තනූජා කිව්වේ ඈ දිහා බලලා.
අයුමි තනූජා දිහා බලාගෙන උන්නේ බය වෙලා වගේ. ඈ දැනගෙන උන්නා තනූජා මේ කියන්නේ රවීන් ගැනත් කියලා. ඒත් එතනින් එහාට හිතන්න අයුමි බය වුණා.
පන්සලට ගිහින් එද්දි අයුමි තනූජව බෝඩිමේ ගේට්ටුව ලඟටම ඇරලවලා නැවතුණාම, තනූජා ඈ දිහා බැලුවේ පුදුමෙන්.
"ඔයා ආයෙ කොහේ හරි යන්නද?"
"ඔව් තනූ මම පොඩ්ඩක් බම්බලපිටියට ගිහින් එන්න යනවා රවීන්ව මුණගැහෙන්න. ඇවිත් විස්තරේ කියන්නම්" අයුමි කිව්වම තනූජා ඈ දිහා බලාගෙන උන්නා මුකුත් නොකියා මොහොතක්.
"ඔයා ඇන්ටිට කියනවද මම පොඩි වැඩකට ටවුන් එකට ගිහින් එන්න ගියා කියලා?" අයුමි ඇහුවා.

තනූජා මොනා හිතුවද කියන්න අයුමි දන්නේ නෑ. ඒත් අන්තිමේදි ඈ යන්තම් හිස වනලා ගේට්ටුවෙන් ඇතුලට යන්න ගියාම, අයුමි අනික් අතට හැරිලා එන්න ආවේ බස් නැවතුමට. 

2 comments:

  1. Ane thawa tikak thibuna nam hodai kiyala hithuna kiyawala ivara unama, thanks Nethu

    ReplyDelete
  2. අනේ අයුමිවයි රවීන්වයි නම් මේ විදියට වෙන් කරන්න එපා. :(

    ReplyDelete